2010/04/25

බබුරු ආච්චිට ආපු ටෙලිග්‍රැම් එකේ තිබූ පෑගුන අකුරු | වැඩිහිටියන්ට සැලකීමට ගියෙමි.

සුපුදුරුදු ආකාරයට අනං මනං නැතුව සුට්ටං කතන්දරයක් අදනං දානවමයි කියලා හිතාගෙන කොම්පියුටරේ ලග ඉදගත්තෙ.

අවුරුදු කාලා, සවාරි ගිය හින්දම නෙමෙයි මේ දවස් වල වැඩ එකසිය ගානට. ඒක හින්දා බ්ලොග් පෝස්ට් දානව තියා සිත්තරයක් ඈදගන්ටවත් හරිහමං වෙලාවක් හොයා ගන්ට අමාරුයි. මේ ''නිවී හැනහිල්ලෙ ඉන්ට කැමති කොලු ගැටය'' මෙච්චර බිසි වෙන්ට හේතුව සයිබර් යාලුවෝ කීපදෙනෙක් සහසුද්දෙන්ම දන්නවා. සමහරුන්ට නං හිතාගන්නත් පුලුවං වෙයි.

වැල් වටාරං වලින් පස්සෙ කතාව පටන් ගන්නයි යන්නෙ.

ඔන්න එකෝමත් එක කාලෙක, ඒ කියන්නෙ 80 ගනන් වල මෙහා කෙරෝලෙ ම විතර තැපැල් කන්තෝරුවක තැපැල් මහත්තයෙක් හිටියා. ඒයාට ඒ ගමේ කව්රුත් සැලකුවා. ඒ ඒයා රාජකාරි වෙලාවෙන් පස්සෙ උනත් ගමේ කාටත් උදව් පදව් කරගෙන හිටපු නිසා.

ඒක නිසාම අඔ ගස්වල පේර ගස්වල ඵලදාව උනත් එයාට ගමේ කට්ටිය ගෙනත් දෙනවා පුලුපුලුවං හැටියට. එයාගේ ගෙදරට උදේට ගෙනත් දෙන එලකිරි වලට උනත් වතුර කලවං වෙලා තිබුනෙ අඩුවෙන්!

ලියුමක් කියවගන්ට, ඉල්ලුම්පත්තරයක් පුරවන්න එහෙමත් ගමේ කට්ටිය හොයාගෙන එන්නෙ ඔය තැපැල් මහත්තයවමයි. ඒයා ඈරුනම මුලු ගමටම ඔය වගේ වැඩ කරගන්න හිටියේ තව දෙන්නයි. එක්කෙනෙක් ඈම්. ඒ. රණවීර!!! ඒයා ග්‍රාම සේවක කියලා මගේ පළමු රාජකාරි ලියුම කියෝපු ඔයාලා දැනටමත් දන්නවනේ. අනික් කෙනා පන්සලේ හාමුදුරුවෝ. උන්නාන්සෙ ගැන නං මට තාම ලියන්න බැරි උනා.

ඔය තැපැල් මහත්තයට හිටියා හුරුබුහුටි කීකරු පුංචි පුත් රුවණක්. එයාගේ නම බුද්ධි උනාට, එයාට අර තැපැල් මහත්තයයි, තැපැල් මහත්තගේ නෝනයි දෙන්නම වගේම ගමේ අයත් කිව්වෙ චූටි මහත්තයා කියලා.

ඔය චූටි මහත්තයි, එයාගේ තාත්ත තැපැල් මහත්තයයි එකතු වෙලා ටොපී තර​ගෙට ටොපි කොල යවල උනු
ඈබැද්දිය ටොපි කොල හතලිහේ කතා වස්තුව කියොපු අය දන්නවා, කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා ලාස්ට් එපිසෝඩ් එකේ තිබ්බෙ චූටිමහත්තයගේ පොඩි අත්වැරද්දක් හින්දා තැපැල් මහත්තයට වෙච්ච වැඩක්.

මම අද කියන්න යන කතාවේ අර පුංචි පහේ ඈබැද්දියට මූණ දුන්නෙ මමවත්, තැපැල් මහත්තයා වෙච්ච තාත්තවත් නෙමේ.

ඔන්න එක දවසක් අපේ ගෙවල් ගාව ඉන්න බබුරු ආච්චිට හැන්දැ කොරේ ටෙලිග්‍රැම් එකක් ආවා. ඒ කාලේ ටෙලිග්‍රැම් එකක් කාගේ හරි ගෙදරකට ආවා කියන්නෙ ඉතිං සොරිම තමා. ගමේ මිනිස්සු හිතං හිටියේ ටෙලිග්‍රැම් එකක් කියන්නෙ කාගේ හරි මරණ වාර්තාවක් කියලා!

ඒ වෙලාව වෙනකොට පියුම් මාමත් වැඩඈරිල ගෙදර ගිහිං. වෙනදට පියුං මාමා නැති වෙලාවට තැපැල් ස්ථානාධිපතිකම පැත්තක දාලා තාත්තාම ටෙලිග්‍රැම් අරං ගියත් තාත්තට මොකක් හරි වැඩක් තියෙන නිසා,

''මෙන්න මේ ටෙලිග්‍රැම් එක බබුරු නැන්දා ආවම අතටම දෙන්න, මං පණිවිඩයක් යැව්ව එන්න කියලා'' අම්මට කියාගෙන තාත්තා යන්න ගියා.

''ඔයා මෙ හරියෙ ඉන්නවනේ චූටි මහත්තයා. බබුරු ආච්චි ආවොත් මට කතා කරන්න............'' කියලා අම්මා කන්තොරුව පිටිපස්සෙ අපේ ගෙදර කුස්සියට ගියා උයන්න.

මං මගේ වෙහිකල් එකේ ඩිකියට දාගන්න කන්තෝරු කාමරයේ මට අවශ්‍ය කරන ලිපිදුව්‍ය ටිකක් හොය හොය ඉන්න කොට බබුරු ආච්චි ආවා, හැරමිවටියත් ඈනඈනා.

''අම්ම්.......... බබුරු ආචිචි ආවෝ................... මම අරක දෙන්නද?''

''හා...හා.... අතටම දෙන්න''

මම ටෙලිග්‍රැම් එක අත්දෙකෙන්ම අරං බුලත් හුරුල්ලක් දෙන්නැහේ,

''ආ... ආච්චියේ මෙන්න ටෙලිග්‍රැම් එකක් ඈවිල්ලා'' කියලා ආච්චිට දික් කලා.

මෙන්න බොලේ ආච්චි බය වෙච්චි,

'' අනේ මේ මොකෝ මයේ රත්තරං පුතේ මට ටැලිගැරං එකක් ඈවිල්ල තියෙන්නෙ''

''දන්නැ ආච්චියේ කියෝල බලන්ඩකෝ''

''අනේ මයේ පුතේ මං අකුරු දන්න එකක්යෑ.... අනික ඕක අරං මට තැංතැංඔලට යන්න වෙලාවකුත් නැනේ පුතේ මේ වෙලාවේ, මයේ පුතාම ඕක කියවන්ඩකෝ මට ඈහෙන්න''

අප්පට සිරි...... දැං මොකද කරන්නෙ, මට තාම කියවන්න පුලුවං අච්චුපොතේ තියෙන තඩි අච්චු අකුරු විතරනේ.

අනික තාත්තා ටැලිෆෝන් එක උරහිස්සෙන් කණට තදකරාගෙන ''චාලි, ආතර්'' කිය කියා ලියන අකුරු මෙලෝ බබෙකුට කියවන්න බැහැ කියලා මං බබුරු උන්දැට කොහොම පැහැදිලි කරන්නද? අකුරු නොදන්න උන්දැ​ට, මේ හරක් පට්ටියකට පැගිලා වගේ තියෙන ටෙලිග්‍රැම් එකේ අකුරු වලයි, අචිචු අකුරු වලයි වෙනස පෙන්නුවැකියැ!!

දැං ඉතිං මගෙ අභිමානයට කැලලක් නොවෙන්නයි, බබුරු උන්දැගේ උදව්වටයි, දෙකටම හරියන්න මම කොලේ අරං තාත්තගේ කන්තෝරු මේසෙට නැගලා කියවන්න ගත්තා. ඔය තියෙන්නෙ ඒ අවස්ථාව විදේසීය සිත්තරා ඈදපු විදිහ. (මිනිහත් ​මේ දවස් වල හොදටම බිසිලු. )



මම කොලේ අතට අරං, ''එ.....වි.....ජී.....නු....'' කියලා හරි අමාරුවෙන් ගැටගහගත්තා විතරයි .

''මොනවා එවිජීනු, අයියෝ මගෙ කොල්ල? මක් වෙලාද මයේ බුදු පුතේ?'' කියාගෙන උන්දැ පරල වෙච්චි.

මම ඉතුරු අකුරු ටිකක් අමුණන්න උනා.

මොනවා.....! ඉතුරු අකුරු අමුණපු මට තාත්තගේ කන්තෝරු මේසෙ උඩදීම දෙයියෝ සිහි උනා. මේකෙ ඉතුරු ටික මං කිවිවොත් බබුරු උන්දැ මෙතනම පර​ලෝ සැපත් වෙනවා සුවර්.

මම බබුරු ආචිචි දිහා නිකමට බැලුවා. උන්දැ මගේ කටින් පනින ඊලග වචනෙ කනේං අහුලගන්න නොයිවසිල්ලලෙන් බලං ඉන්නවා!

මං හිත දැඩි කරගෙන ටෙලිග්‍රැම් එකේ ඉතුරු ටික එක හුස්මට කියන්න හිත හදා ගත්තා. මොකක් හරි කේස් එකක් උනොත් අම්මා කුස්සියෙ ඉන්නවා නොවැ.

මම ''එවිජීනු මලා ගංවතුරට අහුවෙලා. ලොරියෙන් ගේන්නෙ අනිද්දා. මීට රංජි පුතා. '' කියලා එක හුස්මට කියාගෙන ගියා.

ඔන්න එතකොටම මලහත්ඉලව්ව පටන් ගත්තා.

බබුරු ආච්චි විලාප දීගෙන පාර දිගේ එයාගේ ගෙවල් පැත්තට දුවන්න ගත්තා.

''අනේ මගේ කොල්ලා. ලොරියක් ගන්ට කියලා ග​මේ ගිය එකා.......''කියාගෙන.

''සංසාරේ සංසාරේ'' පොඩි කමට මං හිතුවා.

ගිය සතියේ තාත්තා හම්බුවෙන්න ආපු වෙලාවේ මට ටොපීත් දිලා ගිය එවිජිනු මාම දැං කොහෙද? ගං වතුරට අහු වෙලා පරලෝ සැපත් වෙලා.

කොහොම හරි බබුරු ආච්චිගේ විලාප හඩට අම්මා දුවගෙන ඈවිත්,

'' ඈයි අර බබුරු ආචිචි අඩාගෙන දුවන්නෙ''

'' පව් අම්මෙ...... එවිජිං මාම මැරිලලු ගංවතුරට අහුවෙලා. මේ ටෙලිග්‍රැම් එකේ තියෙන්නෙ'' මං කොලේ අම්මට දුන්නා.

''එවිජිං මාම මැරිලා! කෝ බලන්ඩ ටෙලිග්‍රැම් එක . තාත්තා මට නිකං වත් කියලා යනවනේ මෙහෙම එකක් නං''

''මැරිලා තමා.. මමමයි ඕක කියෝල උන්දැට තේරුං කලේ''

''කෝ.... මෙකෙ කොහෙවත් මලා කියලා නැනෙ''.

නැත්තෙ මොකද ඔය තියෙන්නෙ මුලින්ම ''එවිජීනු මලා'' කියලා.

''එවිජීනු මලා නෙමේ චූටි ම​හත්තයා, මෙකෙ තියෙන්නෙ එවිජීනු මාමා කියලා, 'එවිජීනු මාමා ගංවතුරට අහුවෙලා. ලොරිය ගේන්නෙ අනිද්දා. මීට රංජි පුතා' කියලා තියෙන්නෙ, ඒ කියන්නෙ අර ගේන්න ගිය ලොරිය ගං වතුර අඩු උනාම මොහට ගේනවා කියලනේ''

''අම්මච්චියා.............එහෙමද තියෙන්නෙ.........'' මට එදා රැ පායන්න නියමිතව තිබූනු තරු ඔක්කොම ඔන්ද ස්පොට් එවෙලේ පේන්න ගත්තා.

''දැං මොකද චූටි මහත්තයා කරන්නනෙ. බබරු උන්දැ දැං මොනවා................ කරගෙනද දන්නෑ.''

''ඒක තමා....... අම්මා බය වෙන්නැතුන ඉන්කෝ..... බබුරු ආචිචි මෙ පැත්තෙං යන වෙලාවට මම ඕක හීන්සිරුවේ කියලා දාන්නං''

''??''

25 ක් කියන්නේ !:

  1. ෂහ් ‍ෂෝක් කියවීම නෙව... :D ඔය වගේම තමයි රෝහල් වල දොස්තරලා ලියන බෙහෙත් වට්ටෝරුත්.... අනේ මන්දා සමනලීට හිතෙන හැටිය‍ට ඒවත් මෙලෝ යකෙකුට කියවන්න බෑ........ ඕවා බලලා ෆාමසියෙන් හරිම බේත දෙනවද මන්දා???
    ඉතින් බබුරු ආච්චිට හීන් සීරුවේ කියා දුන්නැයි "මාමා" "මලා" වෙච්ච හැටි???

    ReplyDelete
  2. හක් හක් හා... මැරතන් එක වෙලාවෙ මේක දැම්මෙ මොකෝ ?

    ReplyDelete
  3. මාත් කීවනේ ජුන්ඩං කාලෙ අත්තගෙ බේත් වට්ටෝරුවක් ඔහොම "කලතාලි පතබා කියල" කලතා ලිප තබා කියන එක.........

    [මැරතන් කියල නෑ චූටිමහත්තයගෙ කොමෙන්ට් 40 පනිනවානේ]

    ReplyDelete
  4. උඔට පිස්සු මොකද මේ වෙලාවේ මේක දැම්මේ දැන් වේලියන්

    ReplyDelete
  5. මැරතන් එක වෙලාවෙ මේක දැම්මෙ???

    ReplyDelete
  6. හිහ් හිහ්! බබරු උන්දැ මොකද කරගෙන තිබුණේ ඉතින්???

    ReplyDelete
  7. අනෙ මන්දා.. බලන් ගියාම ඔක්කොම අලකලංචි වෙලා තියෙන්නෙ මූටමනෙ.
    බබුරු ආචිචිට ඊට පස්සෙ හීන් සීරුවෙ කියලා දැම්මයි ඉතින්?

    ReplyDelete
  8. බබුරු ආච්චිව අල්ලන්න හම්බුනැයි ?

    ReplyDelete
  9. අපේ අම්මත් කියනව මතකයි ඔය වගේ කතාවක්.

    අපේ සීය කාටදෝ ලියල දුන්නු බෙහෙත් වට්ටෝරුවක් . . .

    "පත්තුව උදේ හවා මුඛේ ගානු . ."

    කියලා ලියල තිබ්බ එක කවුදෝ වැරදියට කියවලා දීලා ඒ ලෙඩා ඒක වැරදි තැනක ගාලා . . .

    (මුඛේ කියලා තියෙන්නේ තුවාලේ කටේ කියන නැතිනම් තුවාල වටේ කියන එක )

    ReplyDelete
  10. බුදු අම්මෝ මාර වැඩනේ කරන්නේ. තව පොඩ්ඩෙන් එක වචනයක් වෙනස් වෙලා කියෙව්වට බුබුරු ආච්චි මාරු දකිනවා.

    ReplyDelete
  11. මැරතන් අස්සේ දැක්කට දැන් තමයි කියෙව්වේ... මෙච්චර දවස් ඉඳලා ඒ වෙලාවෙම මේක දැම්මේ මොකෝ?

    ReplyDelete
  12. punchisamanaleeට, ත‍රිඳු, මැර-සහන්,චතුරංග රූපසිංහ, Ansh Lucky Sri Jay,ළමයා,සුළග,අනුරාධ,තර්ඩ් මෑන්, දුකා,කසුන්,නිශාචරයා,සියලු දෙනාට,

    බ්ලොග් මැරතන් දුවලා, වතුර ගහලා හෙම්බත් වෙලා ඉද්දිත් ම​ගේ බ්ලොගේට ඈවිත් ගිය ඔය සැමට මගේ ස්තුතිය!

    මම හිතන්නෙ අද බ්ලොග් එක දාපු එකත් එක අතකට හොදයි කියලා. මොකද දැන් සින්ඩි දෙකේම මුල් පිටුවලින් මේ පෝස්ට් එක විසිවෙලා ඉවරයි. ඒත් ඔබලා සයිබර් යායා හොයං ආපු එකම මදැයි මට!

    හැබැයි එකක්, අද වගේ හිට්ස් වදින්නෙ නැති දවසක මේ කතාව දාලා බබුරු ආචිචිට නිග්ගරහා කොරා කියලා බබුරු සීයා දොස් කියයිද දන්නැ මට!

    ReplyDelete
  13. හපොයි... මදැයි කොරා වැඩක්... බබරු ආච්චි හොඳින් හිටියද ඉතින්?

    ReplyDelete
  14. නියම කතාව........... තව කොටසක් ලියයි වගේ නේද ?

    ReplyDelete
  15. හෙ හේ ආච්චි ඇත්ත දැනගත්තට පස්සෙ උඹව හොයාගෙන එහෙම ආවේ නැද්ද? :)

    ReplyDelete
  16. ආව්චිගෙ හුස්මටික ගියානං උබේ පණ්ඩිත වැඩ නිසා. බැරිනං නිකාඉන්නෝනා. :P

    සිරා කතාව බං

    ReplyDelete
  17. බබුරු ආච්චිට නං මොනා පෙනුනද දන්නේ නෑ එක පාරටම ඕක කියුවාම , පව් ආච්චි !!!! ; මොනා උනත් එලස් කතාව අයියා !! :P

    ReplyDelete
  18. සෙල්ලංද කොල්ලො... !

    තව පොඩ්ඩෙන් තව ටෙලිග්‍රෑං එකක් ගහන්න වෙනව... එව්ජීනූ “මාමා” ට..

    එළ කතාව... හික් හික්..

    ReplyDelete
  19. මේ දැන් මං අවේ ..................

    [ එලකිරිස් කතාව .......... ]

    ReplyDelete
  20. හිපෝ, ගීතික, රොයිලි, ඈන්ත්‍රැක්ස්, සන්සරසිදු, වැප් මගේ සුපුරුදු යාලු මිත්‍රාදීන් ඈතුලු අලුතෙන් සයිබර් යායට ආපු හිගන්නට​ත් මගේ ස්තුතිය....
    වෙනදා වගේ ඔබගේ කමෙන්ටු වලට වෙන වෙනම ප්‍රතිචාර ලියන්න මේ දවස් වල අමාරුයි. ටිකක් විතර බිසි! කමෙන්ට් තමා ම​ගේ ඊ ලග කතාව ලියන්න ලැබෙන හොදම කික් එක. ඒක නිසා​ කමෙන්ට් කල සැමට තුති!

    ReplyDelete
  21. මැරතන් එක නිසාද කොහෙද මම නම් දැන් තමයි දැක්කේ...

    චුටි මහත්තයාගේ වැඩ නිසා තව පොඩ්ඩෙන් තැපැල් මහත්තයාට රංජි පුතාට ටෙලිග්‍රෑම් එකක් ගහන්න වෙනවා බබුරු ආච්චි මළා කියල

    ReplyDelete
  22. චූටි මහත්තය චූටි කාලෙ හරි චූටි වැඩ නෙව කරල තියෙන්නේ. මරු කතාව. අපි ඉතිං නිවිහැනහිල්ලෙ කියවන කස්ටියනේ

    ReplyDelete
  23. ගයාන් සහ සමීර තැන්ක්ස්

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...