2010/07/31

කතන්දර සීයගෙ කතාව

අද කියන්න යන්නෙ කතන්දරකාරයෙක් ගැන. මේ කතන්දර කාරයාට අපි කිව්වෙ සීයා කියලා.

කතන්දර සීය කියන්නෙ චූටිමහත්තයගේ අම්මගේ තාත්තට.

කතන්දර සීය ගාව මම මුලින්ම කිව්වා වගේ පුදුම ලස්සන කතා ගොඩාරියක් තිබුනා. සුරංගනා කතා, ඉන්දියාවේ ඉදලා ආපු සීයගේ යාලුවෝ කියලා දුන්නු ඉන්දියාවේ රජ කතා, දේශීය ආරකට කියැවෙන ගමරාලල යක්කුන්ව රවට්ටගෙන උන්ගෙන් කුඹුරු වැඩ ගත්තු විහිලු කතා, මෝඩයන්ගෙ ගැන කියවෙන උපහාස කතා, කවි කතා, මේ වගේ කතා ගෝඩාරියක්.

ඉස්සර අපි ඉස්කෝලේ ගිහිල්ලා​ දොලහයි හතලිස් පහට ගෙදර ආපු ගමන් අම්මා කරන්නෙ ඈගපත හෝදෝලා බලෙන්ම බත් ගිල්ලෝන එක.

ඊට පස්සේ දවසෙ වැදගත්ම රාජකාරි කොටස.

ඒ වෙලාවේ තමා බොරලු රොකට් හදලා උඩයවන්නෙ. නැත්තං චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව දෙක කරන්නෙ. නැත්තං ඉතිං චාලි මුදලාලිගේ මහ ගේට්ටුවේ ''ගේට්ටු බෝට්ටු'' පදිනවා.

සවස් වරුවම සෙල්ලං කෙරුවත්, ඒ කාලේ බඩගින්නක් නං එන්නෙම නෑ! මොනවා උයලා තිබුනාත් කන්නං බැ අප්පා.

ඔන්න ඔය වෙලාව​ට තමා අපේ කතන්දර සීයගේ කතන්දර වල වටිනාකම එන්නෙ.

''හා මයේ චූටිමහත්තයා බත් එක බෙදං එන්ඩ.... පුතා කනකං මං ලස්සන කතන්දරයක් කියන්නං''

සීයගේ කතන්දරයක් අහන ගමන් බත් ටික කන එක නං හරිම ලේසියි. කතන්දරේ කියන රසවත්කමට කෑම ඒකේ රහ දෙගුණ තෙගුණ වෙලා දන්නෙම නැතුව බත් ටික කැවෙනවා.

සීය කතන්රේ කියන කොට මම ''හූ මිටි'' තියනවට අමතරව ''ගැටපද විවරණයත්'' කරගෙනමයි බත්ටික කන්නෙ.

ඒ කාලේ අපිට ලයිට් නෑ. රෑට තියෙන හොදම එලිය තමා ලන්තෑරුම. වාහන සද්දක් ඈහෙන්න නෑ. බස්සෙක්, රැහැයියෙක් කෑගහනවා ඈරැණම මට ඈහෙන්නෙ සීයගේ කටහඩ විතරමයි! වැස්ස දවස් වලට නං ගෙම්බොත් මගේ නම කිය කියා කෑ ගහනවා මට නින්ද යනකම්ම!

මම සීයගේ කතන්දරේ ඔස්සෙ නිකංම සුරංගනා ලෝකෙට යනවා. නැත්තං යක්කුංව ගොනාට අන්දලා සීයත් එක්ක උන්ගෙන් වැඩ ගන්නවා හිත හිතා බත් කනවා.

මේ තියෙන්නෙ මට පුලුවං හැටියට ඒ අවස්ථාව සිතුවමට නැගුව විදිහ. අදත් , මේ මොහොතෙත් මට මේ කතාවේ කියන කොටත් ඒ අවස්ථාව මැවිලා පේනවා. මේ සිත්තරෙන් ඒ අවස්ථාව කොච්චර දුරට ඔයාලට දැනෙයිද දන්නැ හැබැයි!

බලන්නකෝ සිත්තරේ දිහා හොඳට.....


සීයා ඉන්නෙ අපි ඒ කාලේ පදිංචි වෙලා හිටපු මහ ගෙදර ස්තෝප්පුවේ. නිදාගන්නෙත් එතන. මමත් කතන්දර අහන්න එන්නෙ එතෙන්ට. එතන මටම කියලා ඉඳගන්න ''පකිස්'' පෙට්ටියක් තියලා තිබුනා.

ඔය තියෙන්නෙ සීයා රඟ පාන ගමන් මට කතාවක් කියලා දෙනවා, මමත් බත් එකත් එක අතකින් අල්ලං ගැටපදයක් විවරණය කරගන්නවා, මම කිව්වෙ ඒ කාලේ තිබුනු හොඳම එලිය ලන්තෑරුම් එලිය කියලා, ඔය තියෙන්නෙ ඒ එලියයි, ඒ එලියෙන් වැටිච්ච හෙවනැල්ලයි. මම කතන්දරේට වගේම සීයගේ හෙවනැල්ලෙන් මැවෙන රූපෙටත් ගොඩක් කැමතියි.

සීයගේ වම් අත පැත්තෙ බිත්තියෙ තියෙන්නෙ සීයගේ ''වෑර්ලස්'' එක! සීයගේ වටිනම වස්තුව. බුදුපිළිමෙට විතරක් පහල තැනක රාක්කක් හදලා රේඩියේව ඒතන තියලා තිබුනේ. දැං කාලේ වගේ චැනල් ගොඩක් නැති හින්දා ඒකට ලගා වෙන්න අමාරු උනාට කිසි ගැටලුවක් නෑ. දවසටම එක පාරනේ දාන්න ඕන. සීයගේ ඇදට මෙට්ටයත් තිබුනෙ නෑ. ලණුවලින් ගොතලා පැදුරක් දාලා තිබුනේ. ඒකත් ඔය ඈඳලා ඈති බලන්ඩකෝ....

මම හිතන්නෙ ඒ කාලේ වගේ ලස්සන කාලයක් මේ විශ්වයේ ආයෙ කවම කවදාවත් එන්නැ කියලයි!

කොහොම හරි එක දවසක් සීයගේ කවි කනත්දරයක් හින්දා මට හරි වැඩක් උනා.

මේ තියෙන්නේ ඒ කතාව,

මම හතර වසරේ විතර ඉන්න කාලේ අපේ කණිෂ්ට සමිතිය වෙලාවකයි මේක උනේ. එදා සමිතියෙ තිබුනෙ ඒ ඒ පන්ති භාර චීටර් ලා කියලා දුන්නු කවි කතන්දර සමිතියේ දී ඉදිරිපත් කරන්න.

සමහරු ''රෝස මලේ'' කිව්වා සමහරු ''වත්තට යන්නං'' කිව්වා. සමහරු ''මගේ පොඩි හාවා'' කිව්වා. මට හොඳට මතකයි. ඔහොම කියලා ඒදාට නියමිත ඉදිරිපත් කිරීම් අවසන් උනත් තව වෙලාව ඉතිරි උනා.

ඔන්න එතකොට සභාපති තුමා නැගිටලා ''අතුරු කතා වාරය'' යෝජනා කලා.

ඔය ඔක්කොම කවි කතා ඉවරයි අපේ සීයගේ එක කතාවකට මට හිතුනා.

"කියන්ඩ ඕන සීය කියලා දුන්නු කවියක්!"

මම පුටුවෙන් නැගිටලා ගිහිල්ලා, සභාවෙන් අවසර අරගෙන කවිය කිව්වා.

ඒ කවියෙන් කියැවුනේ එකොමත් එක රටක, එකෝමත් එක කාලක හිටිය ගොවි රාල කෙනෙක් කරපු ''ගොං'' වැඩක් ගැන. ඒක කියද්දි ළමයි හිකි හිකි ගගායි අහගෙන හිටියෙ.

මේ තියෙන්නෙ ඒ කවිය.

එක දවසක් එක ගමයෙක් - උදැල්ලකුත් කරගහගෙන
හේනෙ තිබුනු පැල රකින්න පැලට රිංග ගත්තා...

උදේ හිටන් පැල් රැකලා - හවස ගෙදර එන්න ගියා
අනේ අපොයි ඒ වෙලාවේ වැස්ස පටන් ගත්තා...


(
මෙතෙන්ට එන්න ඕන පේලි දෙක මතක නෑ දැං. මෙතනින් කියවෙන්නෙ ගමරාලට බඩගිනි වෙලා කන්න දෙයක් හොයන්න හදන විදිහ ගැන)

වටපිට බලමි
න් මුල්ලක - තිබුනු කුරක්කන් පිටිටික
මුට්ටියකුත් පැලෙ
න් සොයා ඒක අනා ගත්තා...

මුට්ටියෙ කට බැද ගන්නට - ​රෙදි කැල්ලක් නැති හින්දා
ටිකක් වෙලා කැරකි කැරකි හිස කහ කහ උන්නා....


මතක්ව තම අඹුඩ
කෙටිය - ඉස්සරහින් එල්ලෙන පොට
දණ දෙක අර ගල උඩ ඈන මුට්ටියෙ කට බැන්දා...

දොං තරැකිට නදිං වතුර - නටමින්නේ පිට්ටු හැලිය
හොඳ තරමට තැම්බීගෙන සුවඳ දෙමින් ආවා...


හරියටමත් එවෙලාවට - ඌරන් පැන්නේ හේනට
ගමරාලට එළවලු පැල ටික කන බව දැනුනා...

ගමරාලට යකා වැහුනි - (
මේ ටිකත් මතක නෑ. මෙතන තියෙන්නෙ ගම රාල ඌරෝ එලවන්න කෑ ගහගෙන නැගිට්ටා කියලයි)

මුට්ටිය පෙරලුණි අහකට - ඈවිලුනි අඹුඩෙට ගින්දර
දෙවියො ඔහුට පෙනුනා...


දුරදිග නොබලා හනිකට - (
මේ ටිකත් අමතකයි! මෙතන තමා කතාවෙන් කියන්න යන ආදර්ශය දෙන්න පටන් ගන්න තැන.)
යස අපූරු පාඩමකිය - ''ගමරාලගෙ පිට්ටු කෑම''
මෙවැනි මෝඩ තක තිරුකම් නොකරනු කිසි කලෙකා.....


ඔන්න ඔය කවිය කියෝලා මම,

'' සභාවෙන් අවසරයි, මගේ කවිය මෙයින් අවසානයි, අසාසිටි ඔබ සැමට ස්තුතියි!''කිව්වා විතරයි,

බිල්ලො වගේ මං දිහා බලං හිටපු සර්ලා මිස්ලයි, ළමයිනුයි ඔක්කොම ''හෙන'' හයියෙන් අප්පුඩි ගහන්න ගත්තා. මේ බලාපොරොත්තු නොවුන මේ ප්‍රතිචාරය හින්දා මට උන් හිටි තැන් අමතක උනා. මගේ මොලේත් එක්ක හිර උනා. මම එහෙම්ම හිටං හිටියා. කව්ද සර් කෙනනක් ඈවිල්ලා මගේ පිටට අත තියලා ටිකක් ඉස්සරට තල්ලු කරං ගිහිං පඩිපෙල පෙන්නුවා මට බැහැලා යන්න.

මම පඩි පෙලෙන් බැහැලා ළමයි අස්සෙ මං හිටපු තැන හොයාගන්න අයාලෙ යනකොට මගේ පන්තියෙ යාලුවො ටික මාව ඈදලා නොගන්ට මම තාම මම ඉඳං හිටපු තැන හොයනවා.

මම එදා ගෙදර ගියේ, ගිය ගමන් සීයට කියලා එයාගේ ළකුණු පංගුව දෙන්න හිතං. මම සීයට ඒක කිව්වම
සීයා,

'' හ්ම් හ්ම්.... මයේ චූටි මහත්තයා දස්සයා'' කියලා මගෙ ඔලුව අත ගැවනේ. හරිනං වෙන්ඩ ඕන මම සීයට ස්තුති කරන එක. ඒත් සීය ලකුණු දා ගන්නවා වෙනුවට මටම ලකුණු ටික දුන්නා.

ඔය අපේ සීයා මට කරපු උදව් වලින් එක දෙයක් විතරයි!

ඔය සිද්දිය මට මතක් උනේ මෙන්න මේ පින්තූරෙ හින්දා, මෙ තියෙන්නෙ මීට අවුරුදු තුනකට
කලින් ගත්තු පින්තූරයක්.



මේ සීයලාගේ මහගෙවල්, නැත්තං මම චූටිමහත්තයා කාලේ හිටපු ගමට ''අලුත් අවුරුදු නිවාඩුවට'' ගිය වෙලාවෙ ගත්ත එකක්. අපේ අනිත් නෑදෑ සහෝදර සහෝදරියෝ කොටසක් එක්ක.

සීයා ඉපදිලා තිබුනෙ 1933නේ! දැං සීයගේ වයස අවුරුදු 77ක්.

හැබැයි සීය දැං කතන්දර කියන්නෙ නෑ. අපියි, සීයයි හිටපු මහ ගේ දැං එකම පස් ගොඩක්. ඉස්සතරම්ම දැවයෙන් හදපු දොරවල් උලුවහු ඔක්කොම ලොකුනැන්දලා අලුත් ගේ හදන්න ගලෝල, මහගෙදර අත් ඈරලා දැම්මා. මගේ ලස්සන මතකයන් හැංගිලා තිබුනු මහගේ දැං කඩා වැටිලත් අවුරුදු දෙකකට වැඩියි.

හැබයි සීයගේ වැර්ලස් එකයි, පෙට්ටගමයි තාම ලොකු නැන්දලා ගෙදර පරිස්සමට තියෙනවා.

මම මේ කතන්දරේ කිව්වෙ, අපි අද අවස ආයෙත් සීය බලන්න යන්න ලෑස්තිවෙන හින්දා.

මේදා පාර ගියාම සියත් එක්ක ගොඩාක් වෙලා කතාකර කර ඉන්න ඕන. සීයා දැං ලොකු නැන්දලාගේ ගෙදර නොහිටියත්, මම හවස් අතේ සීයා බලන්න ඒයා ඉන්න තැනට යනවා.

මම එතෙන්ට ගිහිල්ලා පොලොවේ තියෙන පස් තට්ටුව විනිවිදගෙන සීතල පොලොව අස්සෙ සීය සැතපිලා ඉන්නවා දකිනවා, හරියට මීට අවුරුදු දෙකකට කලින් සියා මෙතෙන්ට ආපු වෙලාවෙ දැක්ක වගේම!

සීයත් එක්ක වචනයෙන් කතා නොකලත් අතීත සිදුවීම් මතක් කරලා මට සීයත් එක්ක කතා කරන්න පුලුවනි. මම හැමදාම කලෙත් ඒක.

මෙදා පාර දානෙ දීලා ඉවර වෙලා, සීයා බලන්න ගියාම සීයට කියන්න ඕන,

'' සීයා කියලා දුන්නු කවි, කතන්දර ගොඩාරියකින් එකක් මට මතක හැටියට මගේ සයිබර් යාලුවන්ටත් කිව්වා'' කියලා.

අපේ සීයා දැං ගෙදර ජීවත් නොවුනත්, මගේ හිතේ නං හැමදාම ජීවත් වෙනවා. ඒකයි මම කිව්වෙ දැං සීයගේ වයස 77ක් කියලා.

දැං නං මට හරි සැහැල්ලුවක් දැනෙනවා මෙක සයිබර් යාලුවන්ට කිව්ව හින්දා, අද හවහ මට සීයා බලන්න ගමට යන ගමන සැහැල්ලුවෙන් යන්ඩ පුලුවං වෙයි වගේ!


51 ක් කියන්නේ !:

  1. අයියෙ තවම පෝස්ට් එක කියෙවුවෙ නෑ.. ඊට කලිං මේක කියනන් හිතුනේ.... සිත්තරා දැන් නම් මාරම මාර දියුණුයිනේ.... සිත්තර ටික එකතු කොරල ප්‍රදර්සනයක්වත් පවත්වමුද? ඔන්න දැන් තමා හරි බරි ගැහිලා පෝස්ට් එක කියවන්නේ....

    ReplyDelete
  2. අනේ අයිය... අපිව හැමදාම හිනස්වන ඔබ අද ලියල තිබ්බ දෙයින් නම් ඇහැට ආවේ කඳුලු.. දුක හිතුනා. ඒත් අයියේ ඔබ හරි වාසනාවන්තයි ඒ වගේ ආදරනීය සීයෙක් ලබන්න... සීයාට යහපතක්ම වේවා!

    ReplyDelete
  3. ජීවිතේ මල්,
    පෝස්ට් එක දැම්මා විතරයි. මම ඒත් බැලුවා මෙච්චර ඉක්මනට කියෙව්වද කියලා, සිත්තර ඈඳිල්ල ටිකක් වෙනස් තමා, දැං මම දැම්ම පළමු සිත්තරේ බලද්දි මටත් හිතුනා ඔක්කොම දාලා ප්‍රදර්ශණක් තියන්න.... ස්තුතියි ජීවිතේ මල්

    ReplyDelete
  4. මගෙත් ඇස් වලට කඳුළු ආවා.. මට අපේ ආච්චිව මතක් උනා... හරිම සුන්දර මතකයක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි අයියේ.. සිත්තරේත් ඉස්තරම්...

    ReplyDelete
  5. ඇත්ත ....... ඒ අතීතය ආයිත් එන්නේ නැහැ ....

    [මෝඩයන්ගෙ ගැන කියවෙන උපහාස කතා කිව්වේ උබ ගැන අනික් අයට කියපුවද? :D ]

    ReplyDelete
  6. උදේ ඉඳං බලං හිටියා උඹ post එක දානකන්. ආවෙ හිනාවෙන්න බලාගෙන. යන්නේ කඳුලු පුරෝගෙන. අන්තිමට ටික කියවද්දී මගෙත් ඇස් තෙත් වුනා බං. උඹට ඔය පිහිටලා තියෙන්නේ සීයගේ අභාෂය තමයි.

    උඹලට අපිට ඒ වගේ සීයලා වෙන්න බෑනේ. දැන් ලෝකෙ වෙනස් වෙලා. අපිට පස්සේ පරම්පරාවල් වලට මොනවා වෙයිද. ඒක හිතෙන කොට තවත් දුකයි.

    ReplyDelete
  7. කාලය...
    අපි ගමන් කරන හැටි බලා
    තනිවම හිනාවෙන කාලය.....
    අපේ හිතේ
    සදාකාලික නැවතුම්පළ
    වූ අතීතය.....
    ජීවිතය පුරාවටම
    අඳින....
    හැමදාමත් අසම්පූර්ණ
    සිත්තම වූ....
    මතකය......

    ReplyDelete
  8. හරිම ලස්සන අතීතයක් නේද අයියා? ලෝබ හිතෙනවා.... අයියා සීයට කියන්න සමනලීත් හරිම ආසාවෙන් සීයගේ කවිය රස වින්දා කියලා..... අද සමනලීට හිනා ගියේ නෑ..... සීයා අදත් උන්නා නම් කියලා දුක හිතුනා....

    ඒ වගේම අයියේ මේ චිත්‍රය හරිම ලස්සනයි.... සමනලීගේ විදියෙන් කියනවානම් ඒක කතා කරන චිත්‍රයක්!!!!!

    ReplyDelete
  9. නියමයි හැම දාමත් වගේ චිත්‍ර ටික. කථාවත් ඇත්ත බං. මටත් තිබුණා ඔය වගේ කාලයක්. අත්තලා කිරි අම්මලා නැන්දලා වට කරගෙන කථා අහපු. උඹ කිව්වා වගේ මේ විශ්වයෙ නම් ඒ වගේ කාලයක් ආයෙ එන්නෙ නැහැ. ඒ ගැන හිතන්නවත් වෙලාවක් නැහැනෙ. රේස් එක දුවන්න එපෑ.
    උඹේ සීයට නිවන් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  10. ආසාවෙන් කියවිය හැකි බ්ලොග් එකක් වෙමින් පවතී. ගුණාත්මක භාවය නොසුන්කොටගෙන චිරාත් කාලයක් අප හා රැඳී ඉන්න. (කවුදෝ කීවාක් මෙන් ටැබූ කෙනෙකුගේ හොඳක් දකින්නේ කලාතුරෙකිනි!)

    - Taboo

    ReplyDelete
  11. වෙනදටත් වැඩියෙන් ලස්සනයි බුද්ධි...! විනාඩි ගානකට මාවත් ඒ පකිස් පෙට්ටිය උඩට අරන් ගියා....

    ReplyDelete
  12. බුද්ධි සහෝ මගේ අම්මාගේ තාත්තය මම ඉපදෙනකොට මෙලොව හිටියේ නෑ.. අප්පචිචීගේ තාත්තා ලෙඩ වෙලා.. ඉතික් ඒ දෙන්නාගෙන් කතා අහන්න මට නම් වාසනාව තිබුණේ නෑ.. දැන් ඉතින් බුද්ධි අයියගේ සීයා කියූ කතා අහන්න ළමයා සැදී පැහැදිලා ඉන්නවා.....

    ReplyDelete
  13. හොඳ සටහනක්,, ඇත්තටම මටත් මම ගොඩක්ම ආදරේ කරපු සීයා කෙනෙක් මතක් උනා. කඳුළු එනවා ලියලා තියෙන විදිහට,,
    ඔබේ සීයාට නිවන්සුව පතමි !!!

    ReplyDelete
  14. අපේ බුද්ධිත් එල කතන්දරකාරයෙක් වේගෙන එනවා.

    ReplyDelete
  15. ඔය සීයලා යන තැනට මගේ සීයලා දෙන්නත් ගිහින් දැන් සෑහෙන කාලයක් වෙනවා.

    අපි ඒ සීයලාට කළගුණ සලකන්න ඕනෑ, කවදා හරි අපි සීයලා වුණු කාලෙක අපේ මුණුබුරු මිණිබිරියන්ට හොඳ සීයලා වෙලයි.

    -කතන්දරකාරයා

    ReplyDelete
  16. @ කතන්දරකාරයා
    සීයලා ගිහින් සෑහෙන කාලයක් වෙන්ට එපෑය , කතන්දරකාරයත් දැන් සීය කෙනෙක් වෙන්න ළඟ කොට :D

    ReplyDelete
  17. මටත් මගේ සීයාව මතක් වුණා. පොඩි කාලේ කවි කතන්දර ගොඩාක් මටත් මගේ සීයා කියා දුන්නා.

    හුඟක් සීයලා ඒ වගේම ආච්චිලා තමන්ගේ මුණුපුරාලට මිණිපිරීලට තමන් පරම්පරාවෙන් අරන් ආපු කවි කතා කියා දීලා තියෙනවා වගේ..........

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. අදනම් බුද්ධි අපිට කත්න්දරයකට වඩා හොඳ උපදෙසක් දීල කියලයි මට දැනෙන්නේ. ඇත්තටම මගේ සීයල දෙන්නම ගැන මට මතක නෑ. මතක එකම එක අත්තම්මා කෙනෙක් ගැන විතරයි. දැන් හතර දෙනාම අර කතරන්දරගේ වගේම එකම තැනකට ගිහින්. ඇත්තටම අපි කරන්න තියෙන්නෙත් ඔවුන් පරමපරාවෙන් ගෙනා කතා ඉදිරියට ගෙනියන්න තමා. අපි කවුරුත් වගේ මේ තැන් වලට ගේන්න දෙමාපියනට පසුව වෙහෙසුනේ ඔවුන් තමා. පොඩි කාලේ බලා ගත්තතේ, කතන්දර කියා දුනනේ. හොඳ නරක කියා දුනනේ. ඔවුන් නේද?. මට මේක හොඳටම තෙරුනේ මගේ දෙමාපියන් මගේ සොයුරියගේ දරුවන්ට දක්වන ආදරය නිසා. ඇත්තටම ඔවුන් අපි පොඩිකාලේ බලා ගත්තා වගේම තම මුනුපුරන් බලා ගන්නවා. හරියට මතක නැතත් අපේ ආච්චිලා සීයලත් එහෙමයි. අපි කාගෙත් සීයලා, ආච්චිලාට එලොවදීත් සැනසිල්ල ලැබී අවසානයේ නිවන් සුව පතමු.

    ReplyDelete
  20. කීවත් පෙරදි රස බේරෙන විහිලු කතා
    අද නම් කියා ඇත්තේ නෙත් තෙමන කතා
    මේ හාදයා නම ගෙනයයි හොදට ඉතා
    සීයා උනත් හිනැහෙයි දැක බුද්ධි පුතා

    ReplyDelete
  21. ජීවිතේ මල්,
    ඔයා කියන එක ඈත්ත . ඒ අතින් නං මම වාසනාවන්තයි තමයි!.
    ...........................

    හසී,
    සිත්තරේ අගය කලාට ස්තුතියි! හැමෝටම අපි​ට වගේ සීයලා ආච්චිලා කතා තියලා දීලා තිබුනනං කොච්චර හොඳද නේද?
    ............................

    වැප්,
    ඒ වගේ අතීතයක් උඔටත් තිබ්බද? උඔලා පොඩිකාලෙත් ටවුන් වලද හිටියෙ. එහෙනං උඹට මේ වගේ අතීතයක් නෑතිව ඈති නේද?

    [මෝඩයන්ගෙ ගැන කියවෙන උපහාස කතා කිව්වේ උබ ගැන අනික් අයට කියපුවද? :D ]
    නෑ ... වැප්. සීයා අනාගතෙත් දැක්කනේ... අද කාලේ පොරක් ගැන තමා ඒ කිව්වෙ. කොම්පියුටර් සම්බන්ධව තියෙන නමක් තමන්ගේ නමට ඈදා ගත්තු කෙනෙක් ගැන කතාවක් ඒක.
    ............................

    කාංචන,
    මම නං කැමති හැම තිස්සෙම සතුටු හිතෙන කතාවක් කියන්න. දුක හිතෙන කතා නම් බැලු බැලු අත තියෙනවනෙ නේද? ඒත් සීයා ගැනත් නොකියා බෑරි උනේ ඒයා මට ලස්සන අතීතයක් ඉතුරු කරල ගිය හින්දා.

    අපි සීයලා වෙන කාලෙ ගැන නං හිතන්නත් බයයි! උන් අපෙන් කතා අහන්න කැමති වෙයිද මන්දා?
    ..............................

    හේමාලයා,
    මං හිතන්නෙ මගේ මුලු බ්ලොග් එකේම තියෙන්නෙ ඔය කවිය කියලා..... මේ වටිනා කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි හේමාලයා....
    ........................

    සමනලී,
    චිත්‍රෙ අගය කලාට ස්තුතියි! ඔයා කිව්වා වගේ හැම දේම මම සීයට කිව්වා. වෙනදට සීයා බලල ආවා වගේ නෙමේ, මෙදා පාර මාර සැහැල්ලුවක් දැනෙන්නෙ..... සියා බලල ආවම!
    ...................

    ඉෂාර,
    උඔට නං මම කියන්න හදන දේ හොඳටම තේරෙනවා ඈති. සමහරු සීයලාගෙන් ආච්චිලාගෙන් කතන්දර අහන ළමයි ගැන අහලා තියෙන්නෙ කතන්දර වලින් විතරනේ. ඒ අතින් අපි වාසනාවන්තයිනේද? ආ......... සිත්තරේ ගැන අගය කලාට ස්තුතියි.
    .............................

    ටැබූ,
    බොහොම ස්තුතියි කමෙන්ට් එකට! මිට පෙරත් මගේ පෝස්ට් කියවනවා කියලා දැනගෙන හිටියා. ප්‍රතිචාරයක් දක්වලා අගය කිරීම ගැන බොහොම සතුටුයි! ගුණාත්මක භාවය නොසුන්කොටගෙන චිරාත් කාලයක් රැඳී ඉන්න හැකි උපරිමයෙන් උත්සහ කරමි.
    ..........................................

    බීට්ල්,
    කාලෙකට පස්සෙ...මම හිතන්නෙ ඔයාටත් මට වගේ අතීතයක් තිබිලා වගේ නේද?.... ​ඔය ඉන්න කලබලකාරීත්වයෙන් මිදිලා විනාඩියක් අතිතයට ගියාම දැනෙන සැහැල්ලුවයි දුකයි උඔටත් දැනිලා තියෙනවා වගේ?
    ...........................

    ළමයෝ,
    උඔටත් ඒ වගේ කාලයක් තියෙන්නයි තිබ්බෙ. අපි බ්ලොග් වලින් කතා කියනවා වගේ නෙමේ ලාම්පු ඒලියෙ කලුවරේ කතන්දර අහනකොට ඈතිවෙන හැඟීම සහ අපේ හිතේ අපි මවා ගන්න චිත්තරූප හරිම ලස්සනයි!
    .......................

    හරී,
    ඒ ගැන නං කතාකරල වැඩක් නැ. අනේ මන්දා දැං සියලා ඉස්සර සියලා වගේ පොඩි උන්ට කරුණාවන්ත නැත්තෙ ඈයි කියල මට නං හිතාගන්න බැ?
    ......................

    තරිඳු,
    කතන්දරකාරයෙක් ද නැද්ද දන්නැ...... හැබැයි මේක ඈත්ත කතාවක්. මම කියන්නෙ අතීතයෙ මුණ දුන්නු එක එක සිද්දිනේ?
    ..........................

    කකා,
    @ KK
    අපි ඒ සීයලාට කළගුණ සලකන්න ඕනෑ, කවදා හරි අපි සීයලා වුණු කාලෙක අපේ මුණුබුරු මිණිබිරියන්ට හොඳ සීයලා වෙලයි.

    අපි හොඳ සීයලා වෙලා කතන්දර කියන කොට, අහන්න කැමති වෙයිද ඒ පොඩිඋං!
    ...........................

    හරී,
    කට. කට!
    .........................

    හසිතයා,
    ඔයත් සීයලා ආච්චිලා සෙවනෙ හිටියා කියලා හිතා ගත්තැකි ඔයාගෙ බ්ලොග් එක කියවද්දි. ඒ කාලෙ සීයලාට වෙලාව තිබ්බනේ අපිට කතන්දර කියලා දෙන්න. දැං සීයලාට කොහෙද එහෙම වෙලාවක්! ඒවයින් කමක් නෑ...
    එහෙනං කෙරෝලක ඉඳලා කියන්නකො ඔයාලගේ සීයා කියලා දීපු කතන්දර!
    ..................................

    ප්‍රියන්ත,
    ප්‍රියන්ත ඔයා දීර්ඝව කියලා තියෙන විස්තරෙන් ඈත්තටම ඔයා අපේ වැඩිහිටියන්ට කොච්චර ගරු කරනවද කියලා හිතාගන්න පුලුවන්.ඔයා කියනවා ඔවුන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු!
    .....................

    ගීතික,
    මෙන්න එක්කෙනෙක්ට කවි සිතිවිලිත් පහල වෙලා. මගේ පෝස්ට් එකට.......
    ස්තුතියි ගීතික මහන්සියෙන් ලිව්ව මේ කවි පේලියට......

    ReplyDelete
  22. කිරි අම්මා ව මතක් වුනා.

    ReplyDelete
  23. නිලත්ත,
    ඔයාගෙ කිරි අම්මත් අපේ සියා වගේ කවි කතන්දර කියලා දෙන්න ඈති නේද? දැන් ඉතිං ඒ වගේ කට්ටිය ඉතුරු වෙලා ඉන්නෙ බොහොම ටික දෙනයි නේද?

    ReplyDelete
  24. අනුරාධ,
    එල..................

    ReplyDelete
  25. # හකල්බරි ෆින්ගේ ටොම් සෝයර්ගෙ ඔක්කොම කතා
    # ලෝරා ඉංගල්ස් වයිල්ඩගේ ''ලිට්ල් හවුස්'' කතාමාලවෙ ඔක්කොම කතා
    <<<හත්වලාමෙ මේ මමත් කැමතිම පොත් නොවැ.
    ඈන් කතා මාලාව,එමිලි කතා මාලාව කියවල නැද්ද?ඒවත් මරු.රිදි තරු වියන යට සහ සුළගේ ගීතය කියවන්න ඒ දෙක එකම පොතේ කොටස් 2,මරේ මරු.
    ඔබතුමත් මගේ ටේස්ට් එකේම වගේ කියල පේන හන්දයි මේ කියන්නෙ.

    ReplyDelete
  26. pipi,
    මමත් ඔය ඔක්කොම කතා වලට කැමතියි. පොත්ගැන විස්තර කිව්වට ස්තුතියි! ඒ කතා කියවද්දි අපි නිකම්ම ඒ යුගයට යනවා.. ඒවා ලියලා තියෙන හැටි නං පුදුම ලස්සනයි නේද?

    ReplyDelete
  27. කියල වැඩක් නෑ.ඔය ඇන් පොත් ටික තමා මගෙ ජිවිතේට කියෝපු හොදම පොත් සෙට් එක.මමත් බ්ලොග් එකක් පටන් ගත්තා.රස පොත් ගැන තමය් වැඩිපුර ලියන්න බලාපොරොත්තුව.විභාගෙ ඉවර වුණාම පටන් ගන්න ඉන්නෙ.එතකොට ඒ පැත්තෙත් ඈවිත් යන්න එන්න.
    මීට දිග මේස් දානලාගේ පිපී.
    :D:D:D

    ReplyDelete
  28. පිපී, අනිවා එනවා... මගෙන් සුබ පැතුම්. මීට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.

    ReplyDelete
  29. පීපී නෙවෙයි බුද්ධි සහෝ පප :පී

    ReplyDelete
  30. අයියේ පාඩම් කරලා කරලා අයියගෙ යායට ආවා හිනාවෙලා යන්න..... ඒත් ඉතින් අන්තිමට අඬන්නනේ වුනේ................ අනේ මන්දා අයියට දෙයක් බොක්කටම වදින්න කියන්න මාර හැකියාවක් තියෙන්නේ.....
    අනිත් එක කමෙන්ට් එකක් නොදැම්මට හැමදාම අයියගෙ කතා කියවනව හොඳේ... :)))))))))))))

    ReplyDelete
  31. මොකක් ළමයො
    ..............
    සන්දීප,
    හැමදාම එනව​ට ස්තුතියි! සීය ගැන නොකියත් බෑනේ. ඒකයි කිව්වෙ. දිගමට එන්න

    ReplyDelete
  32. Loku thaththawa mathak una :'(

    ReplyDelete
  33. බුද්ධි අයියේ,
    අයිය ඇත්තටම හරිම වාසනාවන්තයි. ඒ වගේ සීයෙක් ලබන්න. මට මතක ඇති කාලෙක මට ඒ වගේ කතා අහන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. මං පුංචි කාලේදිම සීයාතාත්තා නැති වුණා. තාත්තඅම්මා හිටියෙම ලෙඩගානේ. අපි තාත්තලගේ මහ ගෙදර (මොරටුවේ) හිටි හන්දා ආච්ච්අම්මාවත් සීයාවත් බලන්න (බෙලිඅත්තේ)යන්න ලැබුනේ හරිම අඩුවෙන්. අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒ ගිය වෙලාවක වුනත් සීයගෙන් කතන්දරයක් අහගන්න අවස්ථාව මට ලැබුණෙ නෑ. ඒත් ආච්චිඅම්මට තුරුලුවෙල හිටි හැටි නම් මට තාම මතකයි. ඒ සීයත් නැතිවුණා. ආච්චිඅම්මත් දැන් ඉන්නෙ ලෙඩ ගානේ. මට මතක් වෙන්නෙම මං ඉස්කෝලේ නවය වසරෙ ඉන්නකොට මං ලියාපු පළමුවෙනි කතන්දර පොත "ආඩම්බර සිංහයා" ළමා කතා පොත අරන් ගමේ ගිහින් ආච්චිඅම්මට පිළිගන්නපු එක. (එතකොට ජීවතුන් අතර හිටියෙ ආච්චිඅම්ම විතරයි) එදා ආච්චිගේ ඇස් කඳුලෙන් තෙත් වුණා. "අනේ පුතේ මං කොහොමෙයි මේක කියවන්නේ.. මයේ පුතාම මට ඇහෙන්න මේක කියවන්න" කියල ආච්චි කියපු වචන ටික තාමත් මගේ කන්වල දොංකාර දෙනවා. ආච්චිඅම්මට කියවන්න බැහැ කියල මං එදා වෙනකල් දැනන් හිටියෙ නෑ... අයියගෙ කතාව මාව ඒ අතීතයට අරන් ගියා.. ජීවිතේ මල් කිව්වා වගේ වෙනදා අපිව හිනස්සන අයියාගෙ අද පෝස්ට් එක නම් නෙතට නැංවුයෙ කඳුළක් ! ස්තූතියි මේ කතාව අපිත් එක්ක බෙදාගත්තට... සිත්තරේ නම් පංකාදුයි, හැබෑවටම..

    ReplyDelete
  34. ජය! කතාවලටත්, උඹටත්, චිත්‍රවලටත්, උඹට ගැම්ම දීපු සීයටත්!

    ReplyDelete
  35. සිත්තරේ නම් පට්ට මචන්... සීයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම උඹට සුබ පතනවා මේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබේවා කියලා.

    ReplyDelete
  36. බුද්ධි, මුලදි හරිම සතුටින් මගේ ළමා කාලයත් මතක් කරල කියවගෙන ගියා. අන්තිම කොටස ලියල තියෙන සංවේදි විදිහ නියමයි. දන්නෙම නැතුව ඇස් අගට කඳුලක් ආවා . . . . උඹට ජය වේවා !

    ReplyDelete
  37. sansarasidu,
    ඔයා ලියලා තියෙන දිග කමෙන්ට් එකෙන් පේනවා මම වගේම ඔයත් කොච්චර අ​පේ ආච්චිලා සීයලා එක්ක බැඳිලා ඉන්න ඈද්ද කියලා....
    අනික සීයලා ආච්චිලාට කියවන්න බැරි උනාට එයාලා ගාව පොත් ගානක ලියන්න කවි කතන්දර මතකෙන් තියං හිටියා! නේද?
    ....................
    මුචලින්ද,යා
    අම්මෝ කාලෙකට පස්සෙ......... බොහොම ස්තුතියි කමෙන්ට් එකට.
    ....................
    නිශාචර,යටත්
    කියන්න තියෙන්නෙ මුචාට කියපු එකමයි! කාලෙකට පස්සෙ... බොහොම ස්තුතියි කමෙන්ට් එකට. පුලුවං තරං දිගමට කරගෙන යන්න තමයි හිතං ඉන්නෙ....
    ...........................
    දූමී,
    මේ පොස්ට් එකේ දී නෙතට කඳුලක් ආවත් මගේ පරණ පෝස්ට් වල මගේ ලස්සන කාලේ ඈති, ඒවත් කියවලා බලන්න. මාව ​ධෛර්්‍යමත් කලාට ගොඩක්ම ස්තුතියි!

    ReplyDelete
  38. කව්ද බොල පප?

    ReplyDelete
  39. අපරාදේ කියන්න බෑ සීයාගේ කතන්දර කීමේ හැකියාව හොදට පිහිටලා තියෙනවා ඔයාට. වෙනදට සයිබර් යාය කියෙව්වම කෙල විසික් වෙන්න හිනා වෙන මට අද නම් සංවේදී සිද්දියක් කියවන්න ලැබුනා.

    ReplyDelete
  40. කස්සා, තෑන්ක්ස්. මොනිටරේ පරිස්සමට

    ReplyDelete
  41. ස්වප්නා ,
    හ්ම්ම්.. ඔව්. අපි කවුරුත් කවදාවත් හැමදාම ජිවත් වෙන්නෙ නෑ .. හැබැයි අපිට අනික් අයගෙ හිත් වල හැමදාම ඉඩ ගන්න පුලුවන් විදිහට ජීවත් වෙන්න පුලුවන් :) ඔයාගෙ සීයත් ඒ වගේ . නේද?
    ----------------------
    ඇත්තමයි ස්වප්නා.

    ReplyDelete
  42. oya siyata wayasa 77 k kiyana eka mata hondatama therenawa.
    mage yaluwo hithan inne mage kiri amma thama jeevathun athare innawa kiyala... man eya gana kiyana wisthara walata.

    ReplyDelete
  43. සුදු පුතා,
    ඒක තමා ඔබටත් ඒ වගේ අද්දැකීමක් තියෙන එ ගැන මට හරිම සතුටුයි!

    ReplyDelete
  44. අනේ බුද්ධි, සීයා ඉපදිලා තිබුනෙ 1933නේ! දැං සීයගේ වයස අවුරුදු 77ක්. කිව්ව නිසා මං හිතුවා කවදා හරි ඔයාලාගේ ගෙදර ආවහම සීයාට ඔයාගේ මේ වැඩේ ගැන කියන්න ඕනේ කියලා. ඒ වෙනකම් මාත් හිත හිතා හිටියේ දැන් ඉන්නවාද දන්නේ නැහැ කියලායි. ඒත්........

    කොහොම වුනත් තම නම අමරණීය කරනා මෙවන් මුණුපුරන් ලැබනා සීයලා මොන තරම් නම් වාසනාවන්තද?

    ReplyDelete
  45. රන්දිල් ස්තුතියි

    ReplyDelete
  46. මේ කතාව කියවගෙන යනකොට මගේ සීයවත් මතක් උනා.

    ReplyDelete
  47. හරි සංවේදී කතාවක්.මගේ හිත මටත් හොරෙන් පුංචි කාලෙට ගිය.මගේ සීයත් ඔය වගේමයි.හරි සුන්දර ලමා කාලයක් මටත් තිබුනා.මට විතරක් නෙවෙයි.අපි ඔක්කොටම.සුන්දර හීනයක් වගේ.

    ReplyDelete
  48. මධුරංග, සිතන්නට යමක්,

    මා සමඟ ඒ අද්දැකීම බෙදගැනීමට පැමිණි ඔබට ස්තුතියි

    ReplyDelete
  49. මටත් මතකයි අපේ සීයත් අපිට ඔහොම කතන්දර කිව්වා. හැමදාම හවසට පන්සිල් අරන් ඉවර වෙලා අයියයි මායි සීයගේ හාන්සි පුටුව දෙපැත්තට ලංවෙනවා. ඒ කාලෙත් සීයලගෙ ගෙදරට ලයිට් නෑ. ලාම්පු එලියෙන් තමා සීයා අපිට කතා කීවෙ. ආච්චි රෑට කන්ඩ කතා කරනකම්ම අපි කතා ඇහුවා.. අපේ සීයලගෙ මහ ගේත් දැන් ජරා වාස වෙලා.. මම එහෙ යන්ඩවත් ආස නෑ.. එතකොට පොඩි කාලෙ තිබුන සුන්දර මතකයන් ඔක්කොවන්ටම බෝම්බ වදිනවා.

    ReplyDelete
  50. ස්තුතියි සෙන්නා අද්දැකීම් බෙදා ගත්තට

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...