2010/12/01

ඔබට සතුට පිරුණු ලොවක් දෙමි සොයා | සයිබර් යාය

මේ දවස් වල මම හරිම සතුටින් ඉන්නෙ හේතු කිහිපයක් හින්දා.

එකක් මම මීට කාලෙකට ඉහත දී පටන් ගත්තු "සයිබර් යාය" බ්ලොග් එකට අවුරුද්දක් සම්පූර්ණ වෙන්න යන හින්දා.

අනිත් එක අසෙනිය කුසුමක පියල්ලක් වෙන්න වගේම, ටැබුගේ අවධානයටත් සයිබර් යාය ලක්වුනු එක.

හැබැයි එකක්!

මේ මොනවා උනත් දැං කාලේ ඉපදෙන කිසිම පොඩ්ඩෙකුට කෙහෙල්කොටුවෙ ටූටි මහත්තයෙක් වෙන්න කවදාවත් ලැ‍බෙන්නැ සිකුරුයි!

ඒ සුන්දර කාලය මේ විශ්වයෙන් අතුරුදහන් වෙලා දැනට අවුරුදු ගානන් ගෙවිලා ඉවරයි. කතන්දර සියා කිය හැටියට මේ ‍පොලෝ තලෙන් සුන්දර කාලය ගිලිහිලා යන්න පටන් ගත්තෙ උන්දැ තරුණ කාලෙ.

අපි භුක්ති වින්දේ විශ්වයේ සොදුරු සමයේ අන්තිම කාලය!

ඒක නිසා ආයෙත් මේ ලෝකයේ ඉපදෙන කිසිම පොඩ්ඩෙකුට කෙහෙල්කොටුවෙ චූටිමහත්තයා වගේ කෙනෙක් වෙන්න කවදාවත්ම බැරි වෙවී!

ඒ වගේම මගේ මතක මන්දිරයෙන් මැකිලා යන්න පෙර සයිබර් යායේ විද්‍යුත් මතකයට එකින් එක එකතු වෙන මේ කතන්දරත් කවදා හෝ දවසක අතුරුදහන් වෙලා යනවා කියලා මම දන්නවා.

ඊට කලින් මේ කතන්දර අසෙනිය කුසුමක පියල්ලක් වෙන්නත් ටැබූගේ අවධානය දිනාගත් එකටත් මට හරිම සතුටුයි!

කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ තරගාවලියෙහි "2010 හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය" වගේම ටැබුගෙ කැමැත්ත අනුව "ටැබු සම්මාන දෙකකුත්" ලැබීම නිසා, ඔබේ ප්‍රතිචාර වලින් සතුටු වුනු මගේ සතුට දැන් තවත් වැඩි වෙලා විතරක් නෙමෙයි ඒ ගැන කියන්න මට වචනත් නැති වෙලා.

ඉතිං මම දිගටම ලියන එකත් ලියනවාමයි! සිත්තරත් අදිනවාමයි! හැබැයි ඒ ඔබ "චූටී මහත්තයත් එක්ක ඉන්නකං" විතරමයි!

ප්‍රතිචාර වලින් වගේම සම්මාන වලිනුත් මා දිරිමත් කල ඔබට ගොඩාක් ස්තුතියි.

අවුරුද්දක් පිරෙන දිනේ ඔබත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් කරන්නත් තියෙනවා. ඒක හරිම ලේසියි! ඒ ගැන මම පස්සෙ කියන්නයි හිතාගෙන ඉන්නෙ.

ඉතින්, සම්මානත් ලැබිලා, අවුරුද්දතුක් පිරෙන්න යන මේ වෙලාවෙ මම තව එක දෙයක් කියන්නම්.

අපේ පොඩි උන්ට මේ ‍පොලෝ තලෙන් ගිලිහිලා ගිය සුන්දර කාලය නැවත අපිට දෙන්න බැරි උනත්, එයාලට අපේ ආදරේ හැමදාම දෙන්න පුලුවන්.

හරියට චුටී මහත්තයගේ අම්මා චූටි මහත්තයට ආදරේ කරනවා වගේ,

මෙන්න මේ වගේ,

අම්මේ,

ඔයා මෙහෙම කරලා මෙහෙම කරලා පාට තවරලා - අර අහසෙ ඇන්ද පුංචි තරුවෙ ඉන්නෙ කව්රුදෝ......

මම මෙහෙම කරලා මෙහෙම කරලා පාට තවරලා - අර අහසෙ ඇන්ද පුංචි තරුව ඔයයි මගේ පුතේ....

අම්මේ,

ඔයා එහෙට කරලා මෙහෙට කරලා පොලොව හාරලා - අර එදා හොයා ගත්ත මැණික කොහෙද හැංගුවේ...

මම එහෙට කරලා මෙහෙට කරලා පොලොව හාරලා - අර එදා හොයා ගත්ත මැණික ඔයයි මගේ පුතේ...

අම්මෙ,

ඔයා පොහොර දාලා වතුර දාලා හැදුව මල් පැලේ - මල් ගොඩක් පිපිල පාට පිරිලා සුවද දස අතේ.....

මම පොහොර දාලා වතුර දාලා හැදුව මල් පැලේ - මල් වගේ පිපිලා සුවද දෙන්නෙ ඔයාමයි පුතේ.....

අම්මේ,

මල් වටේ රඟන බිගුන් විලස සුවඳෙ දැවටිලා - එමි ඔබේ ලගට සතුට පිරුණු ලොවක් සොය සොයා.....

මල් වටේ රන බිගුන් විලස එන්න මා සොයා - සුදු පුතේ ඔබට සතුට පිරුණු ලොවක් දෙමි සොයා.....

(මේ මගේ උපන් දිනේ දවසක අම්මා දුන්නු තැග්ගක්)

.........................

ආයෙත් දවසක චුටී මහත්තයගේ කතාවකින් හමුවෙමු!

- ලක්ඛණ බුද්ධි ප්‍රසාද් (​කෙහෙල්කොටුවේ චුටි මහත්තයා)

46 ක් කියන්නේ !:

  1. සුබ පැතුම් අයියේ.. ඔයාත් එක්ක අපි දිගටම ඉන්නවා..

    ReplyDelete
  2. මගේ උපරිම සුභ පැතුම්....ඔයා අර වැඩෙත් කරනව නේද? මීට අමතරව මට තව පුන්චි ආඩම්බරයක් තීයෙනව..මොකො හුගක් අය හිතුවෙ අපේ ස්කොලෙ පොලෙවෙ පය ගහල ඇවිදින සිංහල කතා කරන අය නැහැ කියල..ඒක එහෙම නැ කියල අසෙනිය කුසුම ඔප්පු කලා..ඉස්කොලෙ සාහිත්‍ය සංගමෙ පණ ගහල ආපු ගැන සතුටුයි..ඒවට මුලික වුනු අපෙ මල්ලිලට හුගක් ස්තූතියි..

    ReplyDelete
  3. හෘදයානංගම සුබ පැතුම්..!!

    ReplyDelete
  4. බුද්ධි ලබාගත් සම්මානයට මගේ උණුසුම් සුබ පැතුම් නැවත වරක් පිරිනමමි.

    'මේ මොනවා උනත් දැං කාලේ ඉපදෙන කිසිම පොඩ්ඩෙකුට කෙහෙල්කොටුවෙ ටූටි මහත්තයෙක් වෙන්න කවදාවත් ලැ‍බෙන්නැ සිකුරුයි!'
    මේ කතාව ඇත්ත වුනත් දෙමව්පියන් විදියට ළමයෙකුට පොඩිකාලෙ හරි සෙල්ලං කරන්න ඉඩක් දෙනවනං ඒක ලොකු දෙයක්.

    දිගටම ලියන්න හැකියාව ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවා. අපි සැමදා ඔබ සමගයි....

    ReplyDelete
  5. මගේ උණුසුම් සුභපැතුම් චූටි මහත්තයට . . . . කෙසෙල් කොටුව තව අක්කර සිය දහස් ගානකින් ලොකු කරලා හොඳවැයින් ආනමාළු, පුවාලු, කෝලිකුට්ටු, රත් කෙහෙල් වගේ වටිනා කරනා කෙසෙල් වගාවක් කරගෙන යෑමට ශක්තිය හා වාසනාව ලැබේවා . . . !

    ReplyDelete
  6. අප්‍රමාණ සං‍තෝසයි බුද්ධියෝ!
    හැම වංගියකම කියන්නැහෙ අවංකවම උඹ හැබෑ දස්සයෙක්.

    ReplyDelete
  7. බුද්ධි,
    ජීවිතේ මල් කියන්නේ මෙන්න මේ වගේ වෙලාවල්වලට තමයි.
    මගේ සුභපැතුම් ඔබට.
    ප/ලි
    අපි දෙන්නම එක බෝට්ටුවේ දෙන්නෙක් නේද?

    ReplyDelete
  8. ඒ සුන්දර අතීතයේ අහුමුළු සොයා යන්න‍
    අපි ඉන්නවා මේන් මෙහෙම මග බලාන
    සයිබර් යාය කෙහෙල්කොටුව කරන් ඔන්න
    බුද්ධි, චූටි මහත්තයා වෙලා හනික එන්න

    ReplyDelete
  9. සුබ පැතුම් මිත්‍රයා!!

    ReplyDelete
  10. ඔබ රස කර ලිව්වේ ඔබෙත් අපෙත් සොඳුරු ළමා වියේ මතකයි,,,,, ජයග්‍රහණයට සුභ පැතුම් !!!!!!!!!!

    ReplyDelete
  11. "සයිබර් යාය"ට වසරක් පිරීම ගැනත්...
    ලැබුනු සම්මාන වලටත් උණුසුම් සුඹපැතුම්...

    ReplyDelete
  12. කෙහෙල්කොටුවේ චුටි මහත්තයාට ඔන්න හසියාගෙන් හෝට් හොට් සුභ පැතුම් මුළු හදවතින්ම සහ බොක්කෙන් සම සමව අඩු වැඩි නැතිව කල්දේරමකට මද ගින්නේ දමා පත අට දෙකට සිදුවා පොල්කට්ටට දමා කිතුල් හකුරු කෑල්ලක් සමඟ....

    පොඩ්ඩක් බීලා බැලුවනම්....

    හේහේහේහේ කොහෙමද....දැන් ඉතිං දිගටම ලියන එකයි ඇත්තේ ඕන්....අපි ඉන්නවා නෙවැ කෙහෙල්කොටුවේ චුටි මහත්තයාව බලන්න එන්න...

    එහෙනම් හසියා වාෂප වෙන්න කියලා....වැඳගත්තනම් කෙහෙල්කොටුවේ චුටි මහත්තයා......

    ඕන්...තව තව සම්මාන පිට සම්මාන ලැබෙන්න වගේම කමෙන්ට්ස් හිට්ස් වැඩිවෙන්න...ඇනෝ කරදර නැතිවෙන්න.....ලියන්න කරන්න ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙන්න වගේම...ඕන්...කරපු ජඩ වැඩ ගොං වැඩ මර වැඩ පොඩි වැඩ ලොකු වැඩ ඔය ඔක්කොම වැඩ එක දිගට මතක් වෙලා අකුරු කරන්න ලැබේවා......

    ඒස්වඃ පුඃ

    ReplyDelete
  13. මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ....

    ReplyDelete
  14. ආයෙමත් ආපු එකට සතුටුයි....................නේ?

    ReplyDelete
  15. සුබ පැතුම් බුද්ධි

    ඇත්ත අපෙ පොඩි උන් ගැන නම් දුකයි

    අම්මාගෙ කවි ටික නම් මාව කොහොටදො ගෙනිච්චා.

    ReplyDelete
  16. උඹේ සතුට අපේත් සතුටයි . .

    වැඩි වැඩියෙන් හොඳ බ්ලොග් පෝස්ට් ලියවේවා . .

    නිරතුරු සුභ පැතුම් සමඟින් . . දුකා

    ReplyDelete
  17. සොබා සෟන්දර්යත් සමග මුහුව හැදී වුඩුනු අපේ බාල කාලේ මතක සටහන් අයේ අපිට වගේම අපේ දුවා දරුවන්ටත් දකින්න විදින්න අවස්ථාවක් නැහැ. සියල්ලම නාගරීකරණය වන සියල්ලම තාක්ෂණීකරණය වන සියල්ලම වර්චුවල් වන ලෝකයක් තුල අපි වින්ද සියල්ල චින්තාව ලෝකනයක් පමනයි. එම අතීතය සිහිනයක් පමනයි. අනාගතයේ සියල්ල පරිඝණකයක් තුලින් වර්චුවල් අවකාශයකින් දකින අහන විදින අපේ දුවා දරුවන්ට අප විදි සොබා සෞන්දර්ය මෙසේ රසවත්ව දයාබරව ලියා තබන ඔබවැන්නන් අගය කිරීම ඉතාම කාලෝචිතයි. යම් කිසි දවසක වසර 50කින් 100කින් හෝ කවදා හෝ වේවා අප විදි අතීතය පුරා වෘත්තයන් වන අනාගත වකවානුවක ඔබගේ මෙම බ්ලොග් ලිපි එම පුරාවෘත්යන් යලි ප්ර ථිනිර්මාණය කිරීමට නැතිනම් සළරෑ කිරීමට මහෝපකාරී වනු ඇතිය. එවැනි දෙයක් කිරීමට පෙළබෙන්නෙකුට චූටිමහත්තයාගේ රසබර ලෙංගතු මෙම ලිපි ඇසගැටේවායි මා ප්රාතර්ථනා කරමි. ඔබගේ ජයග්රටහණයට මගේ හද පිරි උණූසුම් සුබ පැතුම්.

    ReplyDelete
  18. පිලිගන්න මගෙත් උනුසුම් සුබපැතුම් !!‍‍

    ජයවේවා චූටි මහත්තයෝ !!

    ReplyDelete
  19. අපේ ආශිර්වාදයෙන් ඔයාගේ උත්සාහයෙන් තව ලස්සන ලස්සන කථා ගොඩක් ලියවේවා...

    ReplyDelete
  20. චූටි මහත්තයෝ... මෙන්න මයෙන් සුභ පැතුම්. උඹෙන් කියවන්න දේවල් ගොඩක් අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    අම්මගේ කවි පංතිය තාමත් හිතේ හොල්මං කරනවා බං. උඹට ජය...!!!

    ReplyDelete
  21. සුභ පැතුම් පෝලිමක්ම තියනවා නේද?
    අළුතින් කියන්න දෙයක් නෑ. කියවන්න පටන් ගත්ත මුල්ම දවසෙමයි මම සයිබර් යාය මෙතනට එනවා කියල හිතුවේ. ආයෙ කියන්න දෙයක් නෑනේ. ඊළඟ දවසෙත් චූටි මහත්තයා අපිව හොයන් එයිනේ.
    ඊට කලින් මතක් කරන්න තියනවා දෙයක්.
    පියන් දෙකේ ගේට්ටුව ගැන තාම කියල නෑ.
    ජයසිරි අයියගේ රේස් එක... කො පොරොන්දු??
    මම දන්නවා. උඹ ඒවා දවසක අපට දෙනවා කියල.
    ජය ශ්‍රී බුද්ධි!!!!!

    ReplyDelete
  22. චූටි මහත්තයාට අපෙනුත් උණුසුම් සුභපැතුම්! තවතවත් රසවත් ලිපි ඉදිරියට ලියන්න ලැබේවා...

    ReplyDelete
  23. මගෙත් සුබ පැතුම් චූටි මහත්තයා. අම්මගේ කවිය හරිම ලස්සනය්, පුදුමයක් නා ඔයාටත් ඒ හැකියාව ම පිහිටපු එක

    ReplyDelete
  24. චූටි මහත්තයාගෙ කෙහෙල් කොටුවේ තව තවත් රසපිරි රඹ කැන් පීදේවා...

    ReplyDelete
  25. සුබ පැතුම් ලොක්කා!

    ReplyDelete
  26. සුබ පැතුම් .....................!!!!

    ReplyDelete
  27. උණුසුම් සුබ පැතුම් බුද්ධිට.....!!!!

    ReplyDelete
  28. ඔන්න හැම දේකටම පූසාගෙනුත් සුභ පැතුම්!!!!!!!!!!!

    ReplyDelete
  29. කෙහෙල් කොටුව තවත් සාරෙට වැවෙන්න ඔන්න අපේ සුබ පැතුම්.

    ReplyDelete
  30. යකෝ මම උදේ දාපු කොමෙන්ට් එක නෑනෙ. පෝස්ට් වෙලා නැතිව ඇති. කමක් නෑ. බුද්ධි සුභපැතුම් මගෙන්. මම නම් දැන ගෙන හිටියා උඹට අනිවා ඩෙෆා එකක් ඇති කියලා. එක සැරයක් ආපු එකෙක් ආයි අයි එන සයිට් එකක්නෙ මේක. නියමයි බුද්ධි. සතුටුයි. දිගටම ලියපන්.

    ReplyDelete
  31. හලේ...මංං මෙතනටත් එන්න හොදටෝම පරමාදයි නොවැ.. සමාවෙන්න කිව්වා..

    ගත්ත සියලුම ජයග්‍රහන වලට මගේ උණසුම් සුභ පැතුම්.. ඉදිරියටත් මේ වගේම ලස්සන කථා ලියන්න ලැබේවා!!!

    ජය මචෝ....

    ReplyDelete
  32. අඩෙයි..මං පය ගහන්නේ නැතිව මෙක සම්පූර්ණ නැහැ නෙව..
    මෙං උඹෙ කුරුළු හමුදාවෙ හිටපු මිත්තරයා වන මාරයා තුමාගෙන් සුභ පැතුම්...
    හා හා බාර ගන්ට බාර ගන්ට..ලැජ්ජා වෙන්න එපා චූටි මහත්තයා...

    ReplyDelete
  33. මගෙන් උණුසුම් සුභ පැතුම්!!!!!
    කාලයක් තිස්සේ කෙහෙල්කො‍ටුවේ හිටියට මම කමෙන්ට් කරලා නම් නෑ,,චූටි මහත්තයෝ

    ReplyDelete
  34. සුබ පැතුම් බුද්ධි

    ReplyDelete
  35. සුබ පැතුම් බුද්ධියො.. අපි බොහෝදෙනෙක් මේ බ්ලොග් එක මෙච්චර ආසාවෙන් බලන්නෙ ඒක අපේ ළමා කාලය ආයෙමත් මතක් කරලා දෙන නිසයි.. ඒ කියන්නෙ අපි බොහෝදෙනෙක් තුළ චූටි මහත්තයෙක් ජීවත් වී ඇති නිසයි.. ආයෙ කවදාවත් අපට හීනෙන්වත් යන්න බැරි අපේ ඒ ලස්සන කාලය අපට ඇස් ඉදිරිපිටම මැවිලා පේන තරං සජීවීව උඹ ලියන විලාසය නිසයි.. ජය, දිගටම ලියපං..

    ReplyDelete
  36. බොක්කෙන්ම සුභ පෑතුම් අයියගේ ජයග්‍රහන වලට ... , දිගටම ලියන්න .. , ජය !!

    ReplyDelete
  37. මගෙ පංගුව මෙන්න....

    මල්ලී ඇත්තටම සතුටුයි... මම පරක්කු නෑ නේද සුභ පතන්න? තාමත් හැබහින් දැකල කථා කරල නැති උනත් මනුස්සකම් පිරිච්ච මිනිස්සු කව්ද කියල හඳුනගන්න පුළුවන්... ඉතිං ඒ මනුස්සකම් වලින් මේ ලෝකය තව තවත් ලස්සන කරන්න හැකියාව ලැබෙන්න කියල මම පතනවා....

    ReplyDelete
  38. හද පිරි සුබ පැතුම් බුද්ධි..!!!
    සුදුස්සාට සුදුසුම තැන ලැබිලා තියෙනවා..

    ඒ උනාට දැන් ලිපියක් දෙකක් වැටෙන්නේ හෙන අඩුවෙන් නේ.

    ReplyDelete
  39. නැවත වරක් සුභ පැතුම් අයියා............

    ReplyDelete
  40. හදපිරි සතුටින් සුභ පතමි... සයිබර් යාය දිඟුකල් වැජඹේවා...

    ReplyDelete
  41. /ඉතිං මම දිගටම ලියන එකත් ලියනවාමයි! සිත්තරත් අදිනවාමයි! හැබැයි ඒ ඔබ "චූටී මහත්තයත් එක්ක ඉන්නකං" විතරමයි!/

    මොනවද මේ කියන්නේ අපි හැමදාමත් චූටි මහත්තයා එක්ක චූටි මහත්තයා කතන්දර කියනකං

    ReplyDelete
  42. satuta piruna hetak thama ape ekama heenaya.

    ReplyDelete
  43. හැම දෙනාටම වෙන වෙනම සුබ පතන්නයි මම ගොඩක් කැමති!ඒ මැම කෙනෙක්ගෙම හැම ප්‍රතිචාරයක්ම මට විශේෂ හින්දා.

    ඒත් මේ දවස් වල මැරියන්ගේ පුංචි ඉස්කෝලේ අලුත් නිවහනකට ගෙනියන්න ලැස්තිවෙන හින්දත්, වසර අවසානයේ පැවැත්වෙන විවිධ ප්‍රසංගයට උදව් දෙන්න වෙන නිසාත් මේ දවස් වල වැඩ වැඩියි.

    ඉතිං සුබ පැතු හැම දෙනාටම ස්තුතියි!

    ඒ අස්සෙ කොහොම හරි පෝස්ට් එකකතුක් ලියා ගත්තා.

    ඒකෙ නම "ඈට දෙකේ අන්දරය" කැමති අය කියවන්න අමතක කරන්න එපා හොදේ......

    ReplyDelete
  44. සුබ පැතුම් !!

    කවුද බන් ටැබූ කියන්නෙ ? තපස්සු බල්ලුක වගේ කෙකෙන්ද ?

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...