ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2010/07/31

කතන්දර සීයගෙ කතාව

අද කියන්න යන්නෙ කතන්දරකාරයෙක් ගැන. මේ කතන්දර කාරයාට අපි කිව්වෙ සීයා කියලා.

කතන්දර සීය කියන්නෙ චූටිමහත්තයගේ අම්මගේ තාත්තට.

කතන්දර සීය ගාව මම මුලින්ම කිව්වා වගේ පුදුම ලස්සන කතා ගොඩාරියක් තිබුනා. සුරංගනා කතා, ඉන්දියාවේ ඉදලා ආපු සීයගේ යාලුවෝ කියලා දුන්නු ඉන්දියාවේ රජ කතා, දේශීය ආරකට කියැවෙන ගමරාලල යක්කුන්ව රවට්ටගෙන උන්ගෙන් කුඹුරු වැඩ ගත්තු විහිලු කතා, මෝඩයන්ගෙ ගැන කියවෙන උපහාස කතා, කවි කතා, මේ වගේ කතා ගෝඩාරියක්.

ඉස්සර අපි ඉස්කෝලේ ගිහිල්ලා​ දොලහයි හතලිස් පහට ගෙදර ආපු ගමන් අම්මා කරන්නෙ ඈගපත හෝදෝලා බලෙන්ම බත් ගිල්ලෝන එක.

ඊට පස්සේ දවසෙ වැදගත්ම රාජකාරි කොටස.

ඒ වෙලාවේ තමා බොරලු රොකට් හදලා උඩයවන්නෙ. නැත්තං චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව දෙක කරන්නෙ. නැත්තං ඉතිං චාලි මුදලාලිගේ මහ ගේට්ටුවේ ''ගේට්ටු බෝට්ටු'' පදිනවා.

සවස් වරුවම සෙල්ලං කෙරුවත්, ඒ කාලේ බඩගින්නක් නං එන්නෙම නෑ! මොනවා උයලා තිබුනාත් කන්නං බැ අප්පා.

ඔන්න ඔය වෙලාව​ට තමා අපේ කතන්දර සීයගේ කතන්දර වල වටිනාකම එන්නෙ.

''හා මයේ චූටිමහත්තයා බත් එක බෙදං එන්ඩ.... පුතා කනකං මං ලස්සන කතන්දරයක් කියන්නං''

සීයගේ කතන්දරයක් අහන ගමන් බත් ටික කන එක නං හරිම ලේසියි. කතන්දරේ කියන රසවත්කමට කෑම ඒකේ රහ දෙගුණ තෙගුණ වෙලා දන්නෙම නැතුව බත් ටික කැවෙනවා.

සීය කතන්රේ කියන කොට මම ''හූ මිටි'' තියනවට අමතරව ''ගැටපද විවරණයත්'' කරගෙනමයි බත්ටික කන්නෙ.

ඒ කාලේ අපිට ලයිට් නෑ. රෑට තියෙන හොදම එලිය තමා ලන්තෑරුම. වාහන සද්දක් ඈහෙන්න නෑ. බස්සෙක්, රැහැයියෙක් කෑගහනවා ඈරැණම මට ඈහෙන්නෙ සීයගේ කටහඩ විතරමයි! වැස්ස දවස් වලට නං ගෙම්බොත් මගේ නම කිය කියා කෑ ගහනවා මට නින්ද යනකම්ම!

මම සීයගේ කතන්දරේ ඔස්සෙ නිකංම සුරංගනා ලෝකෙට යනවා. නැත්තං යක්කුංව ගොනාට අන්දලා සීයත් එක්ක උන්ගෙන් වැඩ ගන්නවා හිත හිතා බත් කනවා.

මේ තියෙන්නෙ මට පුලුවං හැටියට ඒ අවස්ථාව සිතුවමට නැගුව විදිහ. අදත් , මේ මොහොතෙත් මට මේ කතාවේ කියන කොටත් ඒ අවස්ථාව මැවිලා පේනවා. මේ සිත්තරෙන් ඒ අවස්ථාව කොච්චර දුරට ඔයාලට දැනෙයිද දන්නැ හැබැයි!

බලන්නකෝ සිත්තරේ දිහා හොඳට.....


සීයා ඉන්නෙ අපි ඒ කාලේ පදිංචි වෙලා හිටපු මහ ගෙදර ස්තෝප්පුවේ. නිදාගන්නෙත් එතන. මමත් කතන්දර අහන්න එන්නෙ එතෙන්ට. එතන මටම කියලා ඉඳගන්න ''පකිස්'' පෙට්ටියක් තියලා තිබුනා.

ඔය තියෙන්නෙ සීයා රඟ පාන ගමන් මට කතාවක් කියලා දෙනවා, මමත් බත් එකත් එක අතකින් අල්ලං ගැටපදයක් විවරණය කරගන්නවා, මම කිව්වෙ ඒ කාලේ තිබුනු හොඳම එලිය ලන්තෑරුම් එලිය කියලා, ඔය තියෙන්නෙ ඒ එලියයි, ඒ එලියෙන් වැටිච්ච හෙවනැල්ලයි. මම කතන්දරේට වගේම සීයගේ හෙවනැල්ලෙන් මැවෙන රූපෙටත් ගොඩක් කැමතියි.

සීයගේ වම් අත පැත්තෙ බිත්තියෙ තියෙන්නෙ සීයගේ ''වෑර්ලස්'' එක! සීයගේ වටිනම වස්තුව. බුදුපිළිමෙට විතරක් පහල තැනක රාක්කක් හදලා රේඩියේව ඒතන තියලා තිබුනේ. දැං කාලේ වගේ චැනල් ගොඩක් නැති හින්දා ඒකට ලගා වෙන්න අමාරු උනාට කිසි ගැටලුවක් නෑ. දවසටම එක පාරනේ දාන්න ඕන. සීයගේ ඇදට මෙට්ටයත් තිබුනෙ නෑ. ලණුවලින් ගොතලා පැදුරක් දාලා තිබුනේ. ඒකත් ඔය ඈඳලා ඈති බලන්ඩකෝ....

මම හිතන්නෙ ඒ කාලේ වගේ ලස්සන කාලයක් මේ විශ්වයේ ආයෙ කවම කවදාවත් එන්නැ කියලයි!

කොහොම හරි එක දවසක් සීයගේ කවි කනත්දරයක් හින්දා මට හරි වැඩක් උනා.

මේ තියෙන්නේ ඒ කතාව,

මම හතර වසරේ විතර ඉන්න කාලේ අපේ කණිෂ්ට සමිතිය වෙලාවකයි මේක උනේ. එදා සමිතියෙ තිබුනෙ ඒ ඒ පන්ති භාර චීටර් ලා කියලා දුන්නු කවි කතන්දර සමිතියේ දී ඉදිරිපත් කරන්න.

සමහරු ''රෝස මලේ'' කිව්වා සමහරු ''වත්තට යන්නං'' කිව්වා. සමහරු ''මගේ පොඩි හාවා'' කිව්වා. මට හොඳට මතකයි. ඔහොම කියලා ඒදාට නියමිත ඉදිරිපත් කිරීම් අවසන් උනත් තව වෙලාව ඉතිරි උනා.

ඔන්න එතකොට සභාපති තුමා නැගිටලා ''අතුරු කතා වාරය'' යෝජනා කලා.

ඔය ඔක්කොම කවි කතා ඉවරයි අපේ සීයගේ එක කතාවකට මට හිතුනා.

"කියන්ඩ ඕන සීය කියලා දුන්නු කවියක්!"

මම පුටුවෙන් නැගිටලා ගිහිල්ලා, සභාවෙන් අවසර අරගෙන කවිය කිව්වා.

ඒ කවියෙන් කියැවුනේ එකොමත් එක රටක, එකෝමත් එක කාලක හිටිය ගොවි රාල කෙනෙක් කරපු ''ගොං'' වැඩක් ගැන. ඒක කියද්දි ළමයි හිකි හිකි ගගායි අහගෙන හිටියෙ.

මේ තියෙන්නෙ ඒ කවිය.

එක දවසක් එක ගමයෙක් - උදැල්ලකුත් කරගහගෙන
හේනෙ තිබුනු පැල රකින්න පැලට රිංග ගත්තා...

උදේ හිටන් පැල් රැකලා - හවස ගෙදර එන්න ගියා
අනේ අපොයි ඒ වෙලාවේ වැස්ස පටන් ගත්තා...


(
මෙතෙන්ට එන්න ඕන පේලි දෙක මතක නෑ දැං. මෙතනින් කියවෙන්නෙ ගමරාලට බඩගිනි වෙලා කන්න දෙයක් හොයන්න හදන විදිහ ගැන)

වටපිට බලමි
න් මුල්ලක - තිබුනු කුරක්කන් පිටිටික
මුට්ටියකුත් පැලෙ
න් සොයා ඒක අනා ගත්තා...

මුට්ටියෙ කට බැද ගන්නට - ​රෙදි කැල්ලක් නැති හින්දා
ටිකක් වෙලා කැරකි කැරකි හිස කහ කහ උන්නා....


මතක්ව තම අඹුඩ
කෙටිය - ඉස්සරහින් එල්ලෙන පොට
දණ දෙක අර ගල උඩ ඈන මුට්ටියෙ කට බැන්දා...

දොං තරැකිට නදිං වතුර - නටමින්නේ පිට්ටු හැලිය
හොඳ තරමට තැම්බීගෙන සුවඳ දෙමින් ආවා...


හරියටමත් එවෙලාවට - ඌරන් පැන්නේ හේනට
ගමරාලට එළවලු පැල ටික කන බව දැනුනා...

ගමරාලට යකා වැහුනි - (
මේ ටිකත් මතක නෑ. මෙතන තියෙන්නෙ ගම රාල ඌරෝ එලවන්න කෑ ගහගෙන නැගිට්ටා කියලයි)

මුට්ටිය පෙරලුණි අහකට - ඈවිලුනි අඹුඩෙට ගින්දර
දෙවියො ඔහුට පෙනුනා...


දුරදිග නොබලා හනිකට - (
මේ ටිකත් අමතකයි! මෙතන තමා කතාවෙන් කියන්න යන ආදර්ශය දෙන්න පටන් ගන්න තැන.)
යස අපූරු පාඩමකිය - ''ගමරාලගෙ පිට්ටු කෑම''
මෙවැනි මෝඩ තක තිරුකම් නොකරනු කිසි කලෙකා.....


ඔන්න ඔය කවිය කියෝලා මම,

'' සභාවෙන් අවසරයි, මගේ කවිය මෙයින් අවසානයි, අසාසිටි ඔබ සැමට ස්තුතියි!''කිව්වා විතරයි,

බිල්ලො වගේ මං දිහා බලං හිටපු සර්ලා මිස්ලයි, ළමයිනුයි ඔක්කොම ''හෙන'' හයියෙන් අප්පුඩි ගහන්න ගත්තා. මේ බලාපොරොත්තු නොවුන මේ ප්‍රතිචාරය හින්දා මට උන් හිටි තැන් අමතක උනා. මගේ මොලේත් එක්ක හිර උනා. මම එහෙම්ම හිටං හිටියා. කව්ද සර් කෙනනක් ඈවිල්ලා මගේ පිටට අත තියලා ටිකක් ඉස්සරට තල්ලු කරං ගිහිං පඩිපෙල පෙන්නුවා මට බැහැලා යන්න.

මම පඩි පෙලෙන් බැහැලා ළමයි අස්සෙ මං හිටපු තැන හොයාගන්න අයාලෙ යනකොට මගේ පන්තියෙ යාලුවො ටික මාව ඈදලා නොගන්ට මම තාම මම ඉඳං හිටපු තැන හොයනවා.

මම එදා ගෙදර ගියේ, ගිය ගමන් සීයට කියලා එයාගේ ළකුණු පංගුව දෙන්න හිතං. මම සීයට ඒක කිව්වම
සීයා,

'' හ්ම් හ්ම්.... මයේ චූටි මහත්තයා දස්සයා'' කියලා මගෙ ඔලුව අත ගැවනේ. හරිනං වෙන්ඩ ඕන මම සීයට ස්තුති කරන එක. ඒත් සීය ලකුණු දා ගන්නවා වෙනුවට මටම ලකුණු ටික දුන්නා.

ඔය අපේ සීයා මට කරපු උදව් වලින් එක දෙයක් විතරයි!

ඔය සිද්දිය මට මතක් උනේ මෙන්න මේ පින්තූරෙ හින්දා, මෙ තියෙන්නෙ මීට අවුරුදු තුනකට
කලින් ගත්තු පින්තූරයක්.



මේ සීයලාගේ මහගෙවල්, නැත්තං මම චූටිමහත්තයා කාලේ හිටපු ගමට ''අලුත් අවුරුදු නිවාඩුවට'' ගිය වෙලාවෙ ගත්ත එකක්. අපේ අනිත් නෑදෑ සහෝදර සහෝදරියෝ කොටසක් එක්ක.

සීයා ඉපදිලා තිබුනෙ 1933නේ! දැං සීයගේ වයස අවුරුදු 77ක්.

හැබැයි සීය දැං කතන්දර කියන්නෙ නෑ. අපියි, සීයයි හිටපු මහ ගේ දැං එකම පස් ගොඩක්. ඉස්සතරම්ම දැවයෙන් හදපු දොරවල් උලුවහු ඔක්කොම ලොකුනැන්දලා අලුත් ගේ හදන්න ගලෝල, මහගෙදර අත් ඈරලා දැම්මා. මගේ ලස්සන මතකයන් හැංගිලා තිබුනු මහගේ දැං කඩා වැටිලත් අවුරුදු දෙකකට වැඩියි.

හැබයි සීයගේ වැර්ලස් එකයි, පෙට්ටගමයි තාම ලොකු නැන්දලා ගෙදර පරිස්සමට තියෙනවා.

මම මේ කතන්දරේ කිව්වෙ, අපි අද අවස ආයෙත් සීය බලන්න යන්න ලෑස්තිවෙන හින්දා.

මේදා පාර ගියාම සියත් එක්ක ගොඩාක් වෙලා කතාකර කර ඉන්න ඕන. සීයා දැං ලොකු නැන්දලාගේ ගෙදර නොහිටියත්, මම හවස් අතේ සීයා බලන්න ඒයා ඉන්න තැනට යනවා.

මම එතෙන්ට ගිහිල්ලා පොලොවේ තියෙන පස් තට්ටුව විනිවිදගෙන සීතල පොලොව අස්සෙ සීය සැතපිලා ඉන්නවා දකිනවා, හරියට මීට අවුරුදු දෙකකට කලින් සියා මෙතෙන්ට ආපු වෙලාවෙ දැක්ක වගේම!

සීයත් එක්ක වචනයෙන් කතා නොකලත් අතීත සිදුවීම් මතක් කරලා මට සීයත් එක්ක කතා කරන්න පුලුවනි. මම හැමදාම කලෙත් ඒක.

මෙදා පාර දානෙ දීලා ඉවර වෙලා, සීයා බලන්න ගියාම සීයට කියන්න ඕන,

'' සීයා කියලා දුන්නු කවි, කතන්දර ගොඩාරියකින් එකක් මට මතක හැටියට මගේ සයිබර් යාලුවන්ටත් කිව්වා'' කියලා.

අපේ සීයා දැං ගෙදර ජීවත් නොවුනත්, මගේ හිතේ නං හැමදාම ජීවත් වෙනවා. ඒකයි මම කිව්වෙ දැං සීයගේ වයස 77ක් කියලා.

දැං නං මට හරි සැහැල්ලුවක් දැනෙනවා මෙක සයිබර් යාලුවන්ට කිව්ව හින්දා, අද හවහ මට සීයා බලන්න ගමට යන ගමන සැහැල්ලුවෙන් යන්ඩ පුලුවං වෙයි වගේ!


2010/07/16

හෙලෝ ෆ්ලයිට් !

සිත්තර ඇඳිලි, පොටෝ ගැහිලි අස්සෙ අලුතෙන් පටන්ගත්තු මේ බ්ලොග් කෙරුවාවටත් දැන් මාස හය හතක් වෙනවා. ඒ හින්ද මොනිටරේ දිහා බලාගෙන ඉන්න කාලේ තවත් වැඩි උනා. ඇස් වලට අපල කාලයක්ද කොහෙද?

උදේම නැගිටලා ගෙදර මැසිමෙන් මේල් චෙක් කරනවා. පස්සෙ කෙලින්ම කතන්දරගෙ ගෙවල් පැත්තෙ. එතනිත් මගේ සයිබර් යායට නිකමට හරි පාර වැරදිලා ගොඩවැදිච්ච කෙනෙක් ලියපු මොකක් හරි පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලාද බලනවා.

ඊට පස්සෙ රස්සාව කරන තැන උදේ 9 හවස 6 වෙනකං මැසිම ගාව.

ආයේ ගෙදර ඈවිල්ලා 7.30 විතර මැසිම ගාව 10.30 විතර වෙනකං.

තත්වය මෙසේ තිබුනත් බ්ලොග් කෙරුවාව කොහොම නවත්තන්නද? මෙ බ්ලොග් කෙරුවාව හින්දා මට අලුතෙන් හම්බවෙච්ච දේවල් එහෙමත් ගොඩක් තියෙනවානේ!

ඒක හින්දා මගේ යාවජීව සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි හැරුනම තවත් සාමාජිකයින් සිටීනම් ඒ අයටයි, කියවන්න අදත් කතාවක් දාන්නයි යන්නෙ.

පොඩි කතන්දරයක් කිව්වට පොඩිමත් නෑ ඉතිං දන්නවනේ මගේ කතා!

හමුදාවෙ ඉන්න කාලේ අපිව හදුන්වාදෙන්නෙ අපේ නිල අංකයෙන්. මුලින්ම අංකේ. ඊට පස්සෙ නිලය, ඊට පස්සෙ නමේ අන්තිම කෑල්ල. ඊට පස්සෙ වාසගමේ අකුරු ටික.

උදාහරණයක් විදිහට අපි කෑම්ප් එකේදි කෝල් එකකට ආන්සර් කරන්න ෆෝන් එක ගත්තා කියමුකෝ. එතකොට අපි ෆෝන් එක අරං,

''ගුඩ් මෝනින් සර්, 0102458, එල්. ඒ.සී. රංජිත් ඒ.සී, '' කියනවා.

ඕවා නැතුව නිකම්ම,

''හලෝ'' කියලා දැම්මොත්,

''ඈයි උඔලට ඉස්සරහට පස්සට මුකුත් නැද්ද?'' කියලා එහා පැත්තෙන් දෙනවා අම්බානක.

මේක මගේ යාලුවෙක් කිව්ව කතාවක්. මේක හොඳයි, මගේ කතාවෙ පෙරවදනට, ​මේකෙන් තෙරුම්ගන්ට පුලුවන් වෙයි කොහොමද හරිහමන් විදිහට කොල් එකකට ආන්සර් කරන්නෙ කියලා.

පෙරවදන මෙහෙමයි, අපේ යාලුවාගේ ගැණු දරුවත් වැඩකලේ හමුදාවෙමයි. එක දවසක් ඒ ගැනුදරුවගේ බිලට් (නිවස්නයට) එකට කොල් එකක් ආවලු. ගැණු දරුවා ෆෝන් එක අරං,

'' හෙලෝ, ආකාසෙ තාරුකා එල්ලේ'' කිව්වලු.

ඔතන ආකාසෙ කියන්නෙ ආධුනික කාන්තා සෙබළ කියන එකයි. තාරුකා කියන්නෙ නම. එල්. ඒ. කියන්නෙ වාසගම. දැන් තේරෙනවා නේ සහසුද්දෙන්ම හමුදාවෙ කොල් ගන්න හැටි.

පෙරවදන ඉවරයි.

මෙන්න හොඳ හරිය. මේක මමයි මගේ යාලුවොයි හමුදාවේ දි ෆෝන් එකෙන් කොල් එකක් ගත්තු හැටි කියෙවෙන ​​ෛඑතිහාසික කතාවක්.

සයිබර් යායේ මුල ඉදල හිටපු අය දන්නවා ඇතිනෙ මම ගුවන් හමුදාවෙ සේවය කොලා කියලා. මම ගියේ ක්‍රීඩා කරන්ඩ. විනය හොඳ කම නිසා අපිට කෝස් එකකතුත් කරන්ට උනා. එහෙදි මී සෙවන්ටීන් එක ඔලුවට කඩා වැටිච්ච හැටිත් දන්නවනෙ. ඇයි නිවාඩු යන්න ගිහිං විනය කාර්යාලේ පැණි කුරුල්ලො අල්ලපු හැටි. හොඳම සිද්දිය තමා ගුවන් හමුදා නිවස්නයට ආපු සෘෂිවරයා කියපු කතාව.

අද කියන්නෙ අපි අර කරපු කෝස් එක ගැන, අපේ ඉහල නිළයක් දරණ ''ෆ්ලයිට් සාජන්'' කෙනෙක්ගෙන් ෆෝන් කෝල් එකක් අරං විස්තර අහපු හැටියි.

හමුදාවේ කෝස් එකක් කරද්දි, ඒක සිද්දවෙන්නෙ හරිම පිළිවෙලක් ඇතුව. පිටින් බලන්නෙකුට ඒකම කොලු රෑනක් වගේ පෙනුනට, මේ මුලු කෝස් එක කරන ඔක්කොමලාවම කොටස් කරනවා. ඒ එක කොටසක් හදුන්වන්නෙ ''ෆ්ලයිට්'' එකක් කියලා.

අනිත් කාරනේ තමයි, එයාපෝස් නිල තල. මුලින්ම එල්ඒසී, ඊට පස්සෙ කොප්රල්, ඊලගට සාජන්, ඊට පස්සෙ ෆ්ලයිට් සාජන්, ඔය ෆ්ලයිට් සාජන්ට අපි වගේම හැමොන කියන්නෙ ලේසියට ''ෆ්ලයිට් '' කියලා. සෙසු නිළයන්ගෙ අන්තිම රෑන්ක් එක වොරන්ට් ඔ​ෆිස.

අපි හොයා ගත්තු ඔත්තුවලට අනුව අපේ කෝස් එකෙ, අපි ඉන්න ෆ්ලයිට් එක බාරව ඉන්නෙ යකෙක්වගේ වසම වස ​''ෆ්ලයිට් සාජන් කුලතුංග'' කියලා පොරක්ලු. අපි මේක දැනගත්තු දවසෙ ඉදං හිටියෙ ලබුගම ජලාසෙ අපේ ඇඟ හරහාට දැම්මා වගේ. තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා.

අපි කට්ටිය කතා වෙලා එක දවසක් ප්‍රැක්ටිස් එහෙමත් ඉවර වෙලා ඇවිල්ලා, කාලා, නාලා, කාරිය හවස දෙකට විතර කෝල් එකක් ගන්න සෙට් උනා, මේ සිද්දියේ ඇත්ත නැත්ත මිනිහගෙන්ම අහලා සැක ඇරලා දැන ගන්න.

දැං කව්ද කොල් එක ගන්නෙ. පූසගෙ කරේ සීනුව එල්ලන කේස් එක වගේ කතාකරන්න එකෙක් හොයා ගන්න බෑ.

පස්සෙ සෑහෙන සාකච්ඡාවකින් පස්සෙ ''සූරි'' කියලා අපේ කොල්ලෙක් ඉදිරිපත් උනා කියමුකෝ අර යකත් එක්ක ගනුදෙනුවට.

නැකත බලල එ​හෙම මිනිහා ෆෝන් එක උස්සලා කනේ තියා ගන්තා. අපි එහා පැත්තෙ අනිත් ෆෝන් එක උස්සලා කනේ තියාගත්තා, බැකප් දාගන්න හිතාගෙන.

මම '' සූරියා, විෂ් කරලා ගනින්. දන්නවනේ'' කියලා ලාස්ට් වෝනිං එකත් දුන්නා.

මිනිහා ''ෆිට් තමා'' කියලා මාපට ඈඟිල්ලත් උරුක් කරලා වැඩේට බැස්සා.

එහා පැත්තෙන් ෆෝන් එක ඉස්සුවා.

'' හලො, ෆ්ලයිට් සා... කුලතුංග'' කියලා මහා භයානක සද්දයක් ආවා.

අපිත් නිකං දාලා ගියා වගේ උනා.

''අම්මෝ මිනිහගේ කටේ සද්දෙ බොල'' මට හිතුනා. මම සුරියා දිහා බැලුවා.

මිනිහා ''කිරි කාපු රිලව'' වගේ වචන ලොක් කරගෙන තටමනවා.

''අහපං යකෝ'' අපි අතිං සංඥාවක් දුන්නා.

සුරියා තටමල තමටලා එක පාරටම, නමේ ඉස්සරහට පස්සට තියෙන කෑලි ඔක්කොම අමතක කරලා, කොටිම්ම නමත් අමතක කරලා, අහපි මෙන්න මෙහෙම,

''හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට්
,
ප්ලයිට්!''

ඒ පැත්තෙන් දැඩි නිහඩ බවක් පැතුරුනා.

''මොකක්...'' ඊලගට ඇහුනේ බොහොම සන්සුන් ස්වර කිහිපයක්.

''මේ....හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට් ප්ලයිට්!'' මෙන්න සූරියා ආයිමත් ඒකම කියලා දැම්මා. මිනිහට පිස්සු වැහිලද මන්දා.

''මේ..... මට කරුණා..............කරලා කියපං, ඔය කතාකරන්නෙ, මයිනෙක්ද, නැත්තං මන්තරකාරයෙක්ද?'' කිසිදෙයක් එක පාරට තේරුම් ගන්න බැරුව ගිය කුලතුංග මහත්තයා කන් පැලෙන්න එහෙං ඉෂූ එක දෙනවා. ස්දදෙට අපි ඔක්කොමල ගල් උනා. මම සුරියා දිහා බැලුවා.

සූරියා රිසිවරේ තියලා ඔලුව බදාගෙන එහෙම්ම බිම ඇණ තියා ගත්තා.

අන්න ඒ විදිහටයි අපේ අමතක නොවන දුරකතන සංවාදය අවසන් උනේ.

ඔය පහල තියෙන්නෙ ඒ ​​ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැක්ක විදිහයි!



ගැටපද විවරණය -
කාටහරි කතාව ටියුබ් ලයිට් උනානනං මේ ටිකත් කියවන්න. හිතන්ඩකො කව්රු හරි කෙනෙකුට අපේ කතන්දරට කතා කරලා කතන්දර බ්ලොග් එක ලියන්නෙ එයාද කියලා කන්ෆෝම් කරගන්න ඕන උනා කියලා.

එතකොට ඒ කෙනා කතන්දරට කතා කරල,
''හෙලෝ කතන්දර, කතන්දරද කතන්දර, කතන්දර ලියන කතන්දර, කතන්දර'' කියලානෙ අහන්න ඕන. අන්න ඒවගේ හතර බිරි කතාවක් තමා ''සුරිය'' කුලතුංගයගෙන් ඈහැව්වෙ.

දැං ඔය ගැට පද විවරණයෙන් කතාව තේරුං ගත්තු අයට ලකුණු 50යි. අනිත් අයට 100යි.

එතකොට අදට කතාව ඉවරයි!.




2010/07/01

ජයසිරි අය්යාට වෙච්ච එකේ අනික! තරගෙ අතරතුර

ජයසිරි අය්යා රේස් පඳින්න ගිහිං කරගත්තු අලකලංචිය ගැන හිතල මතලා උත්තර දීලා, වටිනා තෑග්ගක් දිනා ගන්න අවස්ථාවක් ගිය සතියෙ සයිබර් යායට එන යාවජීව සාමාජිකයින්ට උදා උනා.

ඔය සිද්දිය මම කිව්වෙ විසේසම හේතුවක් හින්දයි. ඒ ගැන ඔහොම්ම තියෙද්දි මේක කියොල බලන්නකෝ!

මේකත් සයිකල් අලංකලංචියක්. ජයසිරි අය්යාට වෙච්ච එකේ අනික!

මේ කතාව හරියට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වගේ. තනිකර පියෝ. ඈත්තම ඈත්ත. අතීතයේ එක්තරා දවසක මේ ධරණීතලයේ වෙච්ච එක්තරා සිද්දියක්.

අද කතාවෙන් කියන්නෙ අපි එයාපෝස් යන්න කලින් පොලීසියට, පොලිස් රිපෝට් එක ගන්න ගිහිං වෙච්ච කේස් එක.

අපි ගුවන් හමුදාවේ පළවෙනි ඉන්ටවිව් එකට යනකං හිතං හිටියේ මේ ලෝකේ ඉන්න වසම කෙනා අපේ ඉස්කොලේ ප්‍රින්සිපල් ''සංඛභානු'' කියලා. සංඛභානු එද්දි අපි කලේ කවුරුත් කරනවා වගේ හේතුවක් නැතුව දුවන එක. එක්කෝ පුස්තකාලෙට. එක්කෝ සංගීත කාමරේට. නැත්තං පීටී සර් හම්බුවෙන්න.

එයාපෝස් පළවෙනි ඉන්ටවිව් එකෙන්ම තේරුණා අපේ සංඛභානු කොච්චර හොදද කියලා. මේ තියෙන්නෙ ඒකට එක හේතුවක්.

ඉන්ටවිව් එකට ගියේ මමයි, මගේ යාලුවා ඉඳුනියයි!

ඉන්ටවිව් එකත් ඉවරඋනා කියමුකො. ඒක ඉවරවෙලා ගුවන් හමුදාවේ ලොක්කෙක් කිව්වා, ඊලග දවසේ අපිව බඳවගන්න හින්දා පොලිස් රිපෝට් එකක් ගෙන්න කියලා.

දැං පොලිස් රිපොට් එක ගන්න යන්නෙ කව්ද?

මම ජීවිතේකට පොලිසියත් එක්ක ගනුදෙනු කරල තියෙන එකක්යැ! ඉඳුනියනං රාලහාමි කෙනෙකුට ''හූ'' කියලා බස් හොල්ට් එකේ වහලෙ ඉදං පැය බාගයක් විතර වදුරෙක්වගේ කෑ ගගහ ඉඳල පොලිසියත් එක්ක පොඩි ගණුදෙනුවක් කරල තිබුනා. මම එහෙමවත් නෑ. ඒක හින්දා මිනිහා එක්ක යන එක ගැනත් දෙපාරක් හිතන්න ඕන.

කොහොම හරි යන්න තියෙන දිනේ ලං උනා. මම ඉඳුනියත් එක්ක යන්න තීරණය කලා. හවස ප්‍රැක්ටිස් කරන්න ඉස්කෝලේ ග්‍රව්න්ඩ් එකට ආපු ගමන් ඉස්කොලේ වැඩ කරන රාමන්ගේ රෝස කරත්තෙ අරං ඒ බිහිසුනු ගමන යන්න පිටත් උනා.

රාමන්ගේ රෝස කරත්තෙ තමා ඒ කාලේ අපිට පිහිටට තිබුනෙ. මිනිහා එයාගේ බයිසිකලේ මොඩිෆයි කරලා තිබුනේ හැඬල් එකට කූඩයක් හයි කරලා කූඩෙට රෝස මල් පොකුරු ගොන්නක් ගහලා. ඒක හින්දා අපි ඒකට රෝස කරත්තෙ කිව්වෙ. මිනිහා මල් ගහලා තිබ්බෙ එක විසේස හේතුවක් හින්දා. මල් ගොඩක් ගහල හින්දා වැඩිය කව්රුත් මිනිහගෙන් සයිකලේ ඉල්ලන්නැලු. ඒකෙ යද්දි ''නෝන්ඩියි'' කියලා.

ඈත්තම කියනවනං මම හිතුවේ අපි පොලිසියට ගිහිල්ලා,

'' රාලහාමි අපි ආවේ පොලිස් රිපොට් එකක් ගන්න කියලා'' කිව්වම,

ආ... ඉන්න මහත්තයා මම ටක් ගාලා ගෙනල්ලා දෙන්නං'' කියලා පොලිස් මාම කෙනෙක් අපිට ඒක ගෙනල්ල දෙයි කියලා.

මමයි, ඉඳුනියයි රාමන්ගේ සයිකලේ පාරට දාලා පෑගුවා. ටිකක් දුර යද්දි රාමා කෑ ගහලා මොනවදෝ කියනවා වගේ මම දැක්කා. රාමා මඟුලක් කතා කරනවා.

''පොඩ්ඩක් හිටපාං. අපි ටක් ගාලා එනවා'' කියලා මම මිනිහට, සයිකලේ ඉස්සරහ ඉදං යන ගමන් අතපය විසි කරල ගොලු බාසාවෙන් කිව්වා. අපි පාගලා ගියා. පොලිස් රීපොට් එක අරං ඈවිල්ල හවස ප්‍රැක්ටිස් කරන්නත් එපැයි!

ඉස්කොලේ ග්‍රවුන්ඩ් එක ගාව ඉදලා පොලිසියට කිලෝමීටරයක් ඈති ඔන්නං. ඉඳුනියා මාවත් තියං පාගනවා රුපියලටම!

පොලීසිය ඔහොම මෙහෙම තියලා ඉඳුනියා ස්ලො කරන්න හිතං බ්රේක් ඈල්ලුවා. අප්පට සිරි මොන බ්රේක්ද, මේකේ බේතකටවත් බ්රේක් පලුවක් නැද්ද කොහොද? බ්රෙක් අල්ලන්න අල්ලන්න ඉස්පීඩ් වැඩිවෙනවා වගේ.

''රාමා කෑ ගහල කියන්න ඈත්තෙ ඒක වෙන්ඩැති ඉඳුව, මට නිකං යාන්තමට වගේ ඈහුනා බ්රෙක් කියනවා වගේ'' මම ඉඳුනියට කිව්වා.

''ඉතිං කියන්ඩපැයි බල්ලෝ... තෝ සද්ද නැතුව හිටියේ'' ඉඳුව එල්ලෙන්න පිදුරු හොයන අස්සෙ මට කෑ ගහනවා.

මට ඊට වඩා කිසිම දෙයක් කියන්න හම්බුන්නැ. මෙන්න මේ යකා පොලිසියේ බාගෙට උස්සලා තිබ්බ රතුයි සුදුයි තීන්ත ගාපු ගේට්ටු ලීයෙන් ඔලුව නමාගෙමන දැම්මා පොලිසිය අස්සට.

දැං ඉඳුනියා පොලිසිය අස්සෙ හැඩල් එක ඒමේ අතේ හරෝනවා.

රාමාගේ බයිසිකලේ, අපි දෙන්නවත් අරං පොලිසීයේ දොරකො​ඩ තියෙන සඳකඩපහණ උඩින් ගිහිල්ලා, ක්‍රෝටන් තාප්පෙ දෙබෑ කරං ගිහිල්ලා, හොර අරක්කු එක්ක අල්ලපු ගෝඩා බැරල් ගොඩක වැදුනා ''දඩෝරියං'' ගාලා.

මේක ඈහිච්ච පොලිස් රාළහාමිලා, පොලිස් බල්ලෝ, පැමිණිලි දාන්න ආපු අය ඔක්කෝමලා තක්බීර් වෙලා බලං ඉන්නවා. සාම සාකච්ඡා අස්සෙ මොකද්ද මේ පිපුරුව බෝම්බෙ කියලා හිතාගන්න බැරුව.

මේ සිද්දිය නාට්ටියක් වගේ බලං හිටපු ගාඩ්රූම් එකේ හිටපු පොලිස් රාලහාමි ගෝඩා බැරල් ගාවට දුවං ආවා.

''කොහෙද යකෝ තොපි දෙන්න මේ යන්නෙ? රාලහාමි දත්මිටි කනවා.

'මේ...... රාලහාමි අපි පොලිස් රිපොට් එකක් ගන්න කියලා'' මම ගෝඩා බැරල්ගොඩේ වැදිලා හොම්බ රිවෙට් වෙච්ච ඉඳුනියව පෙන්නන ගමං බිම ඉඳගෙනම කිව්වා.

''පොලිස් රිපොට්''

''ඔව්.... රාලහාමි, අපි එයාපෝස් යන්න, එහෙං කිව්වා පොලිස් රිපෝට් එක අරං එන්න කියලා''

''ආ..ඈත්තද, තොපි එයාපෝස් යන්ඩද යන්නෙ! යන්ඩ කලිං මෙහෙම එනවනං, ගිහාම යකො තොපි අපේ කරෙත් යයිනෙ, තොපි දෙන්නා මෙතෙන්ට සයිකලේ අල්ලපු වෙලේ අල්ලන්ම අපැයි ලොකු මහත්තයගෙ කාමරේටම! දැම්ම උඔලට එයාපෝස් යන්න තිබුනා!'' පොලිස් රාලහාමි බල්ලෙක් වගේ කෑ ගහනවා. බල්ලො පොලිස් රාලහාමිගෙ සද්දෙට, අපි වගේ බයේ කුඩුවෙ ඉදං බලං ඉන්නවා.

''දණගහපියව් බල්ලො දෙන්නා. නැගිටින්නැ මම එනංකං'' කියලා මිනිහා ඉඳුනියගේ කනෙං අල්ලා දණගස්සෝලා යන්න ගියා. මම වටපිට බැලුවා. හප්පා, රාමගේ රෝස කරත්තෙ රෝස මල් හැම තැනම විසිරිලා. ඒ අස්සේ ඈප දෙන්න ආපු එව්වොයි, පැමිණිලි කාරයොයි, විත්තිකාරයොයි මේ ලෝකෙ ඉන්න එකම වැරදිකාරයෝ දෙන්නා අපි කියලා හිතලා හොරාට එබි එබි බලනවා.

අපේ පටි වල නං ගන්න දෙයක් නැතිවෙලා, පටි හොදටම රෝල් වෙලා, ක්‍රීඩාවෙන් සමස්ත ලංකා දිනපු ජයග්‍රාහී ක්‍රීඩකයා මෙන්න පොලිසීයේ දණගහගෙන, මීටර් හාරසීයෙ පාසල් වාර්තාව තියන එකත් ලගම තියාගෙන. ඉතිං කාට කියන්නද ඒ වෙලාවෙ මේ අවනඩුව.

හැබැයි ඕනැම අඳුරු වලාවක රිදී රේඛාවක් දකින ඉඳුනියා මට කියනවා,

'' උඹ ගණන් ගන්න එපා බං ඔව්වා. මූන්ට නෝන්ඩියටත් එක්කයි මම මේක ඈතුලට දැම්මෙ, අරූ යන්න ඈත්තෙ අපිට පොලිස් රිපෝට් එක ගේන්න වෙන්න ඈති!. උඔ දැක්කෙ නැද්ද ඌ ලොකු ටෝක් දුන්නට ''එයාපෝස්'' කිව්වම ඩිම්වෙලා ගිය හැටි!''

''බම්බුව. දැං මෙතනින් යන්නෙ කොහොමද කියලා හිතහං.'' මම ඉඳුනියට කියන්න හදලා, මිනිහගෙ හැටි දන්න හින්දා නිකං හිටියා.

ඔන්න ඔහොමයි අපි පොලිස් රිපෝට් ගන්න පොලිසියට ගියෙ.

ඔය පහල තියෙන්නෙ ඒ දුක්බර අවස්ථාව, මගේ විදෙස් ප්‍රෙන්තො ඈඳලා දුන්නු විදිහ.


ඔයාලටත් ජීවිතේ කවදා හරි මේ වගේ බ්රේක් පලු අරියාදු කරපු රෝස කරත්ත එහෙම හම්බවෙලා තියෙනවද? තියේනං ලියන්නකෝ ඔය පහලින්.

• ඒක නෙමේ, මේං මෙතන කොටලා, ජයසිරි අය්යට ඒදා මොකද උනේ කියලා තෑගි දිනන්න තාම අවස්ථාව තියෙනවා හරිද?
















Related Posts with Thumbnails