කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා Season 2 ඇරඹුනා...!

2010/12/10

ඇට දෙකේ අන්දරය | තාත්තා එන තුරු...

එදා පොඩි ඕනැකමකට මම කුස්සියට ගිය වෙලාවෙයි මේ සිද්ධියට මට මුණ දෙන්න උනේ.

අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන දුවගෙන එද්දි මම හිටියේ කුස්සියෙයි.

අපේ තාත්තා “ සතුටු කදුලු” කියලා ටෙලි නාට්‍ටියක වැඩ කරන්න කියලා එදා කොළඹ ගියාට පස්සේ තමා මේ ඔක්කොම කරදර පටන් ගත්තෙ.

තාත්තා දවස් ගානක් ගෙදරින් පිට ඉන්න එකටනං මම කොහොමත් කැමති උනේ නෑ.

ඒක හින්දම තාත්තා, එයා එන දවස වෙනකං තියෙන දවස් කපන්න කියලා මට ගෙයි පිලිකන්න පැත්තෙ බිත්තියෙ ඉරි වාගයක් ගහලා දුන්නා. මට තියෙන්නෙ ඒවා එක දවසට එක ගානේ එකින් එක කපන්නයි. අන්තිම ඉර කපපු දා රෑට තාත්තා එනවා. ඒ මට මොකක් ම හරි අලුත් සෙල්ලං බඩුවකුත් අරං කියලා පොරොන්දු වෙලයි තාත්තා යන්න පිටත් උනේ. බාගදා මෙදා පාර තාත්තා එද්දි දොරවල් අරින්න පුලුවන් කාර් එකක් ගේන්න ඉඩ තියෙනවා කියලා මට නිකමට වගේ හිතිලයි තිබුනෙ.

කොහොම හරි මමත් කැමැත්තෙන් ඉරි කපන වැඩේ බාර ගත්තා. මොකද ඉරි කපලා ඉවර වෙන දාට තාත්ත සෙල්ලං බඩුත් අරං ගෙදර එන හින්දා.

ඒ උනාට මොකද, තාත්තා ගිය දා ඉදලා ඔරලෝසුවේ කටු ඔක්කොම කැරකුනේ හරිම හෙමීට!

දවස ගෙවෙන්නේ ඊටත් හෙමීට!

මට වෙලාව බලලම ඇති වෙලයි තිබුනේ. අනික මට කල්පාන්තරයක් විතර බලං ඉන්න උනා පලවෙනි ඉර කපලා දාන්න!

තාත්තා වැඩ කරන කන්තෝරුව දිහා බලන්නවත් මට හිතක් නෑ. ඒක හරියට කාලෙකට ඉස්සරින් අතඇරලා දමාපු ගොඩනැගිල්ලක් වගෙයි මට පෙනුනේ. රණවීර මාමලා, සුදත් අයියලා වැඩකරද්දි කරන විහිලු මට ඇහුනේ හරි ඈතකින් ඇහෙන “එක එක සද්ද” ගොඩක් වගේ.

මම එදා හවස කෙහෙල්කොටුවට පැනලා යාලුවොත් එක්ක සෙල්ලං කලාට මොකද ගෙදර එන්න යද්දියි මට ආයෙත් පාලු දැනුනෙ. ඇරත් ගෙදර ආපු හැටියේයි දැන ගත්තෙ අම්මත් සමිතියට ගිහිල්ලා කියලා. ඒ මදිවට කතන්දර සීයත් හරකා ගේන්න ගිහිං. ආච්චි විතරක් හවස් වරුවෙ පින්නට අහුවෙන්න නොදී මිරිස් වාගෙකුයි, කොප්පරා වාගෙකුයි ගෙට දානවා මම බලාගෙන.

මම වැලිගොඩ උඩට වෙලා කකුල් වලට වැලි වක්කරන ගමන් ඔහේ පාර දිහායි, තැපැල් කන්තෝරුව දිහායි සැරින් සැරෙ බලා හිටියා.

මට ලොකු බඩිගින්නකුත් ඇවිල්ලයි තිබුනේ. ඒ මදිවට මට බඩගිනිද කියලා අහන්නවත් කවුරුත් ඉන්න එකක් යැ!

ඔන්න එක පාරටම මට දුක හිතුනා. මගේ පපුවේ මොකද්දෝ හිර වෙනවා වගේ දැනුනා. මගේ ඇස් වලට කදුලු එනවා වගේ තේරුනා. ඒ හින්දා මම හිමිට එතනින් නැගිටලා ගැටුවේ ආච්චි දැක්කොත් මට උත්තර දීලා කෙරෝලක් දකින්න බැරි හින්දයි.

අනික මම දැන් බබෙක්යැ අන්න!

“කොහෙද මගේ පුතේ ඔය යන්නෙ..... දැං නේද ගෙදර ආවේ.......?” ආචිචි මාව දැක්කා.

මෙච්චර වෙලා ඉදලා ආච්චි අහපු දේට මට හොටම කේන්ති ගියා. අනික මට හොඳටම දුක හිතිලත්නෙ තිබුනේ.

“කොහෙවක්කත් නැ...’’ මම අඔ ගහ පැත්තට ගියා.

අඔ ගහේ නිතර දෙවෙලේ ඉන්න දෙබලක් බලාල, මේ තියෙන දුකයි, කේන්තියයි ඔක්කොම යන්නත් එක්කලා කාටත් ඇහෙන්න මම මහ හයියෙන් සින්දුවක් කියන්න ගත්තා.

මෙන්න මෙහෙම,

පුංචි මමයි කේතලේ - මහාතයි මිටියි

මේක මගේ අත - මේක මගේ කට

වතුර නටන කොටඅඅඅඅඅඅ - හඩක් ඇසෙයි මටටටටටටටටට

මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝ

මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝ‍

මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝකෝකෝකෝකෝකෝකෝ

හැබැයි ඔය අන්තිම පේලිය සින්දුවෙ නැ!

ඒත් මම වැඩිපුරත් එක්ක ඒ පෙලිය දාලා, වේගෙත් වැඩිකරලා, සද්දෙත් වැඩිකරලා, යටිගිරියෙන් බෙරිහන් දීලා ඒ කොටස කිව්වෙ මගේ තරහ වටේ පිටේ අයට පෙන්නන්නත් එක්කලා.

සින්දු කිවිල්ල කොහොමද කියන්නෙ මගේ උගුර දැවිල්ල අරගෙනයි ඒක නතර උනේ.

සින්දුව කිව්වට පස්සෙ මට පොඩි සැහැල්ලුවක් දැනුනට මොකද උගුර නං වස විදිහට දැවිල්ල ගත්තා. මට පුදුම තිබහක් දැනුනා. මම ගහෙං බැහැලා තනියම කුස්සිය පැත්තට ගියේ තේ එකක් වත් හදාගෙන බොන්න කියලා.

මමත් ඉතින් කුමාර වගේ තමා! ඕනැ වැඩක් බලාගෙන ඉදලා කරන්න පුලුවන්.

කවදාවත් තේ හදාගෙන බීලා නැති උනාට, මම තේ හදනවා බලං ඉදලා තියෙනවා ඇති වෙනකං!

මුලින්ම මම කලේ තේ මේසෙ ලග‍ට මගේ බංකු පොඩිය ගෙනාපු එක.

ඊලගට බංකුවට නැගලා තේ මේසෙට දණිස්ස තියලා උඩ රාක්කෙන් සීනි බෝතලේ ගත්තා. ඒ වැඩේ නං මට එච්චර අමාරු නැ.

කව්රුවත් නැති වෙලාවට ඉදලා හිටලා මම සීනි “ඇබින්දක්” කන්න ඕනැ උනාම ඔය විදිහටයි මම සීනි බෝතලේ ගන්නෙ. අනික කැස්ස හැදුනම දෙන රතු පාට පැණිය මුඩියට දාලා බොන්නයි, සීනි ඇබින්දක් කන එකයි දෙකම කරන්න ඔය විදිහට රාක්ක දිගේ බඩගාලා මට පුරුදුයිනේ!

ඊට පස්සෙ උණුවතුර බෝතලෙන් මගේ බෙලෙක් කෝප්පෙට තේ වක්කරගත්තා.

ඊලගට සීනී!

සීනි බෝතලේ අඩියට වෙන්න සීනි පිරිලා තියෙනවා දැකලා මට එක පාරට “බකස්” ගාලා හිනාවක් ගියා. මොකද අපේ අම්මා කවදාවත් මේ සීනි බෝතලේ පිරෙන්න සීනී දාන්නැ. ඒ මට හැන්ද දලා සීනි ගන්න එක අමාරු කරන්න හින්දා.

ඉතිං මම කොහොම හරි අත දාලා සීනි ටිකක් අරං, කෝකටත් කියලා තේ එකට දාන්න කලින් ඇබින්දක් කටේ හලාගෙන බැලුවා! කව්ද දන්නේ මේවා සීනි වගේ පෙනුනට සීනිමද කියලා.

ඒ සීනි තමා!!!

සිනි ටික කටේම දිය වෙලා උගුර තෙමාගෙන යද්දි, ඔන්න මෙච්චර වෙලා කෑගැහිල්ලෙන් දැවිල්ල අල්ලලා තිබුනු මගේ උගුරට සීතලක් දැනුනා. ඉතිං මං වැඩි පරිස්සමටත් එක්කලා හැන්ද පුරෝලා අරං තව සීනි “හින්නිකිත්තරයක්” කටේ හලාගත්තා. ඒක දිවෙන් උඩුතල්ලට තදකරලා දියවෙන්න අරින ගමන් මම තේ එකට සිනි හැදි දෙකක් දැම්මා.

මම බලා ඉදලා තියෙන හැටියට අම්මත් දානේනේ සිනි හැදි දෙකයි. පස්සෙ ඒක හොදට දිය කරලා හැන්දට තේ චුට්ටක් අරං රහද බැලුවා.

මොන රහක්ද? මෙලෝ රහක් නැ! පල්ම පල් රහයි!

ඉතිං මම තව සීනි හැදි දෙකක් දැම්මා. ඒක දිය කරනකං මට වැඩකුත් එපැයි. ඒක හින්දා මම සීනි ඩිංගක් කටේ හලාගෙන කන ගමන් තේ එක කාල් ගැවා.

ඊට පස්සෙ මම ආයෙත් රහ බැලුවා. පුදුමෙ කියන්නෙ ඒත් මෙලෝ රහක් නෑ!

පස්සෙ, මම සීනි බෝතලෙන් සැහෙන්න පංගුවක් තේ එකට දැම්මා.

ඒත් කිසිම වෙනසක් උනේ නැ!

මේ තේ එක මම රහට හදන එකත් හදනවාමයි කියලා, මටම පොරොන්දු වෙලා අන්තිම සීනි බින්දුවත් සුරලා මම තේ එකට හැලුවා.

පස්සෙ මම හැන්ද තේ එකට දාලා දියකරන්න ගියාට මොකද හැන්ද මඩේ ඇනපු ඉන්නක් වගේ සීනි පිරිච්ච තේ එකේ එරුනා. ඒත් මම උත්සාහය නං ඇත් ඇරියේ නැ! කොහොම හරි එක අතකින් කෝප්පෙ අල්ලං අනිත් අතින් අමාරුවෙන් හැන්ද තේ එකේ හෙලෙව්වා.

පුදුමෙ කියන්නෙ ඒත් කිසිම වෙනසක් නොවෙච්ච එකයි! අර පල් රහ වැඩිවෙනවා ඇරුනම.

ඊට පස්සෙ නං මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා මම දැන ගත්තා. සීනි බෝතලේ සීනිත් ඔක්කොම ඉවරයි.

ඒත් මම සිනි බෝතලේ දිහාවෙ බලද්දි මම දකින්නැතුව අඩියෙම ඉතුරු වෙලා තිබුනු තව සීනි ඇට දෙකක් සීනි බෝතලේ ඇතුලෙ ඉදගෙන, “අනේ අපිවත් එලියට ගන්නකෝ. අපිවත් එලියට ගන්නකෝ” කිය කියා කැ ගහනවා මම දැක්කා.

ඉතිං මම ඒ සීනි ඇට දෙකවත් දාලා තේ එක රහ වෙයිද කියලා බලන්න සීනි බෝතලේට හැන්ද දැම්මා.‍

එතකොටම හරි පුදුම වැඩක් උනා.

එකපාරටම තේ මෙසේ, මගේ තේ එකයි, සීනි බෝතලෙයි, අනිත් ලට්ට ලොට්ටයි ඔක්කොම අරං අහසට පැන්න. මම සීනි බෝතලේ අන්තිම බින්දුව ගන්න යද්දිමයි මෙසේ මගේ ඇස් දෙක ගාවින් උඩට ගියේ. ඒ යනවත් එක්කම වගේ මහා ගාන්ඨාර සද්දයක් මගේ කන්දෙක ගාවින් ඇහුනේ මගේ එක වැලමිටක් හිරිවට්ටගෙනමයි.

ඒ සද්දෙට තමා අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන කුස්සියට දුවගෙන ආවා.

මම මුලින් හිතුවේ පියාඹන පීරිසියක් ඇවිල්ලා අපේ ගෙදර තේ මේසෙයි, බෝතල් රාක්කෙයි ඒ ගොල්ලන්ගේ අගුටුමිටි ලෝකෙට අරං යන්න ඇති කියලයි.

ඒත් සිද්ද වෙලා තිබුනේ වෙන දෙයක්.

මම දන්නෙ ම නැතුව මගේ බංකු පොඩිය අයිනට ඇවිල්ලා මාව බිමට වැටිලා. මගේ වැලමිටේ හාල් හෝදන කොරහ වැදිලා තියෙනවා. අන්න ඒකයි මගේ වැලමිට හිරිවැටිලා තියෙන්නෙ.

කොරහ ගිහිං ඇලුමිනියම් කලගෙඩියෙ වැදිච්ච පාරටයි ගාන්ඨාර සද්දක් ඇහුනේ කියලා මම තේරුං ගද්දියි, ආච්චි කම්බුල‍‍ට අත තියාගෙන ඉන්නවා මම දැක්කෙ.

“දෙවියනේ.................................................... අතක් පයක් කඩාගන්න ද ළමයෝ යන්නෙ.....? ඔය මක් කරන්න ගියාද?” ආච්චි කම්මුලට අත තියාගෙන හුල්ලන්න පටන් ගත්තා.

“මට තේ තිබහයි..... මම තේ එකක් හදාගන්නයි ගියේ......ඇයි අප්පා බඩගිනියි ඉන්ඩ බෑ මෙතන......තේ එකක් හදලා දෙන්ඩවත් කවුරුවක්කත් නැනේ...” මම බිම ඉදගෙනම ආච්චිට මගේ තරහා පෙන්නුව.

“තේ එකක්..... දෙඑ...වියනේ.......”කියාගෙන ආච්චි මාව නැගිට්ටෝලා, ‍අර මම යස අගේට හද හදා හිටපු තේ එක අරගත්තා.

“හතරවරං දෙ.......වියනේ........ මේකට සීනි හැදි කියක් දැම්මද...... ළමයෝ........?” ආච්චිගේ ඇස් දෙක බිත්තර දෙකක් වගේ ලොකු වෙලා, සුදු වෙලා.

“කීයද්දෝ මන්දා දැම්මා ඉතිං....... මට ඒක මතකත් නෑ දැං.........” මම වැලමිට වැටිලද කියලා බලන ගමන් කට උල් කරලා කිව්වා.

“කීයද්දෝ මන්දා දැම්මා.........?! මෙකේ තේ වලට වඩා සීනී නේද තියෙන්නෙ..... දෙවිය.......නේ? මෙහෙමත් කොල්ලෙක් අම්මපල්....................ලා........! ඉතිං වැටුනේ මක් කරන්නද ගිහිල්ලද ළමයෝ.........?” ආච්චි දෙවියන්ට මං ගැන කේලං කියන්න ගත්තා.

“වැටුනේ අන්න අර අන්තිම ඇට දෙකත් දාන්න ගිය හින්දනේ......... කොච්චර සීනි දැම්මත් තේ එතේ රහ ආවෙ නෑනෙ ඒකනේ.........?

“රහ..... රහ තමයි කටේ සීනි පුරොවං කොච්චර රහ බැලුවත් රහ තේරෙනවද චුටි මහත්තයා......?!”

“නැත්තෙ මොකෝ.......” කියන්නත් මට ඔන්න ගෙජ්ජි සද්දක් ඇහෙන්න ගත්තා.

අලි මදිවට හරක් කියන්නැහේ සීයත් හරකා අරං ඇවිල්ල ද කොහෙද?

දැං ඉතිං සියට‍ ආච්චි මේ කතාව කියයි. මගේ තේ එකත් පෙන්නයි. තව වැල් වටාරං ගොඩාක් කියයි. ඒ ඔක්කොම කියන කං මට මෙතන බලං ඉන්න වෙයි.

ඉතිං ඒ ගොල්ලං‍ට මම ගැන දුක හිතෙන විදිහට හරි, අනුකම්පා හිතෙන හැටියට හරි, මගේ මුණ සැරින් සැරේ වෙනස් කර කර ඒ මුලු වෙලාවෙම මට මෙතන කල් මරන්න වෙයි. ‍

අන්තිමට කතන්දර සීයා, “ඇට දෙකක් දාන්න ගිහිල්ලා අපේ චුටි මහත්තයට වෙච්ච වැඩක්” කියලා විහිලු කරන්න තියා ගනියි.

ඉතිං මට මෙතනින් ගැලවිලා යන්න ඕනැ උනා. මම දහ අතේ කල්පනා කලේ, සියා මේ පැත්තට එන්න කලින් මෙතනින් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද කියලා.

අන්තිමේ මට හොම විසඳුම මතක් උනා!

ඒ මෙතනින් පැනලා දුවන එක.

ඉතිං මම ආච්චි ගාවට හිමින් හිමින් ඇවිල්ලා එතනින් පඩියට පැනලා ඔහොම්ම මිදුලට පැනලා දිව්වා.

මේ ඔක්කොම කරදර උනේ තාත්තා ගෙදර හිටපු නැති හින්දා නේද කියලා මට කල්පනා උනා. තාත්තා එනකං මට තව කොච්චර අකරතැබ්බ වලට මුණ දෙන්න වෙයිද කියලා හිතෙන කොටත් මට කේන්ති එනවා. තාත්තා ඉක්මන‍ට ගෙදර ආවානං මේ ඔක්කොම කරදර ඉවර වෙනවා නේද කියලා මම කල්පනා කලා.

ඒක හින්දා මම අර තාත්තා ඇදලා දුන්නු ඉරි කෑලි ගාවට ගිහිල්ලා එකම එක ඉරක් කපලා දැම්මා!

පස්සෙ ඕනැ දෙයක් වෙද්දෙන් කියලා තව එකක් කැපුවා!!

ඊට පස්සෙ තවත් එකක්!!!

ඔන්න ඊලග එකත් කැපුවට පස්සේ තාත්තා ගෙදර එන්න තිබ්බෙ තව එක දවසයි!!!!

............................................

-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

2010/12/03

සංවේගයෙන්!

සිංහල බ්ලොග්කරණයේ ආදරණීය මං සලකුණක් සටහන් කළ, අපේ කතන්දරකාරයාගේ තාත්තාගේ වියෝව පිළිබද අප සංවේගයෙන්...

ඉතින්,

අපි තාත්තාගේ ඊලග ආත්මභවය සුවපත් එකක් වී, අවසානයේ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

අහන්න මේ ගීතය......

අද කතන්දරටත් මෙහෙම හිතෙනවා ඇති.....




- චූටි මහත්තයා

2010/12/01

ඔබට සතුට පිරුණු ලොවක් දෙමි සොයා | සයිබර් යාය

මේ දවස් වල මම හරිම සතුටින් ඉන්නෙ හේතු කිහිපයක් හින්දා.

එකක් මම මීට කාලෙකට ඉහත දී පටන් ගත්තු "සයිබර් යාය" බ්ලොග් එකට අවුරුද්දක් සම්පූර්ණ වෙන්න යන හින්දා.

අනිත් එක අසෙනිය කුසුමක පියල්ලක් වෙන්න වගේම, ටැබුගේ අවධානයටත් සයිබර් යාය ලක්වුනු එක.

හැබැයි එකක්!

මේ මොනවා උනත් දැං කාලේ ඉපදෙන කිසිම පොඩ්ඩෙකුට කෙහෙල්කොටුවෙ ටූටි මහත්තයෙක් වෙන්න කවදාවත් ලැ‍බෙන්නැ සිකුරුයි!

ඒ සුන්දර කාලය මේ විශ්වයෙන් අතුරුදහන් වෙලා දැනට අවුරුදු ගානන් ගෙවිලා ඉවරයි. කතන්දර සියා කිය හැටියට මේ ‍පොලෝ තලෙන් සුන්දර කාලය ගිලිහිලා යන්න පටන් ගත්තෙ උන්දැ තරුණ කාලෙ.

අපි භුක්ති වින්දේ විශ්වයේ සොදුරු සමයේ අන්තිම කාලය!

ඒක නිසා ආයෙත් මේ ලෝකයේ ඉපදෙන කිසිම පොඩ්ඩෙකුට කෙහෙල්කොටුවෙ චූටිමහත්තයා වගේ කෙනෙක් වෙන්න කවදාවත්ම බැරි වෙවී!

ඒ වගේම මගේ මතක මන්දිරයෙන් මැකිලා යන්න පෙර සයිබර් යායේ විද්‍යුත් මතකයට එකින් එක එකතු වෙන මේ කතන්දරත් කවදා හෝ දවසක අතුරුදහන් වෙලා යනවා කියලා මම දන්නවා.

ඊට කලින් මේ කතන්දර අසෙනිය කුසුමක පියල්ලක් වෙන්නත් ටැබූගේ අවධානය දිනාගත් එකටත් මට හරිම සතුටුයි!

කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ තරගාවලියෙහි "2010 හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය" වගේම ටැබුගෙ කැමැත්ත අනුව "ටැබු සම්මාන දෙකකුත්" ලැබීම නිසා, ඔබේ ප්‍රතිචාර වලින් සතුටු වුනු මගේ සතුට දැන් තවත් වැඩි වෙලා විතරක් නෙමෙයි ඒ ගැන කියන්න මට වචනත් නැති වෙලා.

ඉතිං මම දිගටම ලියන එකත් ලියනවාමයි! සිත්තරත් අදිනවාමයි! හැබැයි ඒ ඔබ "චූටී මහත්තයත් එක්ක ඉන්නකං" විතරමයි!

ප්‍රතිචාර වලින් වගේම සම්මාන වලිනුත් මා දිරිමත් කල ඔබට ගොඩාක් ස්තුතියි.

අවුරුද්දක් පිරෙන දිනේ ඔබත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් කරන්නත් තියෙනවා. ඒක හරිම ලේසියි! ඒ ගැන මම පස්සෙ කියන්නයි හිතාගෙන ඉන්නෙ.

ඉතින්, සම්මානත් ලැබිලා, අවුරුද්දතුක් පිරෙන්න යන මේ වෙලාවෙ මම තව එක දෙයක් කියන්නම්.

අපේ පොඩි උන්ට මේ ‍පොලෝ තලෙන් ගිලිහිලා ගිය සුන්දර කාලය නැවත අපිට දෙන්න බැරි උනත්, එයාලට අපේ ආදරේ හැමදාම දෙන්න පුලුවන්.

හරියට චුටී මහත්තයගේ අම්මා චූටි මහත්තයට ආදරේ කරනවා වගේ,

මෙන්න මේ වගේ,

අම්මේ,

ඔයා මෙහෙම කරලා මෙහෙම කරලා පාට තවරලා - අර අහසෙ ඇන්ද පුංචි තරුවෙ ඉන්නෙ කව්රුදෝ......

මම මෙහෙම කරලා මෙහෙම කරලා පාට තවරලා - අර අහසෙ ඇන්ද පුංචි තරුව ඔයයි මගේ පුතේ....

අම්මේ,

ඔයා එහෙට කරලා මෙහෙට කරලා පොලොව හාරලා - අර එදා හොයා ගත්ත මැණික කොහෙද හැංගුවේ...

මම එහෙට කරලා මෙහෙට කරලා පොලොව හාරලා - අර එදා හොයා ගත්ත මැණික ඔයයි මගේ පුතේ...

අම්මෙ,

ඔයා පොහොර දාලා වතුර දාලා හැදුව මල් පැලේ - මල් ගොඩක් පිපිල පාට පිරිලා සුවද දස අතේ.....

මම පොහොර දාලා වතුර දාලා හැදුව මල් පැලේ - මල් වගේ පිපිලා සුවද දෙන්නෙ ඔයාමයි පුතේ.....

අම්මේ,

මල් වටේ රඟන බිගුන් විලස සුවඳෙ දැවටිලා - එමි ඔබේ ලගට සතුට පිරුණු ලොවක් සොය සොයා.....

මල් වටේ රන බිගුන් විලස එන්න මා සොයා - සුදු පුතේ ඔබට සතුට පිරුණු ලොවක් දෙමි සොයා.....

(මේ මගේ උපන් දිනේ දවසක අම්මා දුන්නු තැග්ගක්)

.........................

ආයෙත් දවසක චුටී මහත්තයගේ කතාවකින් හමුවෙමු!

- ලක්ඛණ බුද්ධි ප්‍රසාද් (​කෙහෙල්කොටුවේ චුටි මහත්තයා)

Related Posts with Thumbnails

බෙදා හදා ගන්නව නම්...