මම එකපාර නැගිටින්න හැදුවා. මොන නැගිටිල්ලක්ද! මගේ හිරිවැටිල්ල තද සැරේටම දැනෙන්න ගත්තා. ඒ අස්සේ මගේ ඉස්සරහ තිබුනු හැමදෙයක්ම නමය ගානෙ පෙනෙන්න ගත්තා.
කොහොමහරි මම ඔලුව ගසලා, ගසලා නමය ගානෙ පේන එක එක ගානෙ පේන්න හදාගෙන වටපිට බැලුවා. ඒ වෙලාව වෙනකොට මුලු පන්තියම නිශ්ශබ්ද වෙලයි තිබුනෙ.
ඉතිං මම හොඳ හුස්මක් ගත්තා.
පස්සෙ මම හීන්සීරුවෙ නැගිට්ටා, "දැං ඉතිං ඔක්කෝම හරිනේ.................." කියලා හිතාගෙනම.
එතකොටයි මට තේරුනේ මේ සිද්දිය මෙතැනින් ඉවර වෙලා නෑ කියලා. මොකද මම දැක්කා හිස් අතින්ම ඥාණතිස්ස කලු ලෑල්ලට මුවා වෙලා ඉන්නවා.
මිනිහා මොනවට හරි බයවෙලයි හිටියේ.
මම වටපිට බැලුවේ ඥාණතිස්ස මොකටද බය උනේ කියලා හොයාගන්න.
එතකොට මම දැක්කා ඒ ළඟම රෙදිකෑලී අතේ තියාගත්තු ගැණු ළමයි දෙන්නෙකක් ජයග්‍රාහී ලීලාවෙන් බලා ඉන්නවා.
කොහොමහරි මේ ඔක්කොම පටන් ගත්තෙ අපි කව්රුත් හිතපුනැති විදිහටයි.
ඔය සිද්ධිය වෙන්න කලින් පීරීයඩ් එකේ තිබුනේ සිංහල.
ඉතිං අපේ බද්‍රා ටීචර් "ලබන සදුදා එනකොට ඔක්කොමලා, “ඉරිදා පොළ” කියන මාතෘකාවට චිත්‍රයක් ඇදගෙන එන්න ඕනේ... ඇහුනද හැමොටම........” කියලා අහපු එකෙන් තමයි ඔය හැම සිද්ධියක්ම පටන්ගත්තෙ.
ඥාණතිස්ස ඇරෙන්න අපි ඔක්කොමලා එකා වගේ “ඕ.........”කිව්වා ඒ වෙලාවෙ.
ඥාණතිස්ස හිටියේ මං ඉන්න පේලියට වම් පැත්තෙ පිටිපස්සේ පේලියේ. එයා ඒ වෙලාවේ බැග් එක ඇරලා එයාට එහාපැත්තෙන් හිටපු ප්‍රදීප්ට ඒක ඇතුල පෙන්න පෙන්නයි හිටියෙ. ප්‍රදීප් බෑක් එක ඇතුලෙ දැක්කා විතරයි එයාගෙ ඇස් දෙක බොත්තං දෙකක් වගේ ලොකු වෙනවා මම බලාගෙන. ඒ එක්කම ඥාණතිස්ස කට පැත්තට දාලා හිනාවෙලා ඔලුව දෙපාරක් වනලා බෑග් එක ඇඹරුවා.
ඔන්න ඔය වෙලාවෙයි මගේ වම් ඇහැ ගැලවිලා වැටෙන්න වාගේ ආවේ.
ඒ ඹලුව චීටර් දිහා හරෝගෙන වම් ඇහැ විතරක් ඥාණතිස්සගෙ බෑග් එක දිහා හරොගෙන සෑහෙන වෙලාවක් හිටපු හින්දා වෙන්නැති!
ඇත්තට ප්‍රදීප්ට අච්චර පුදුම වෙන්න තරං බෑග් එකේ මොනා තියෙන්න ඇද්ද කියලා මම කල්පනා කලා.
මටනං කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.
මිනිහගේ පොත් බෑග් එක මහ අරුම පුදුම එකක් බව මම පිළිගන්නවා.
ඒකේ ශිප් එකක් තිබුනේ නැ. ඒක කැඩිලා. ඒ හින්දා මිනිහා කරන්නේ තියෙන ලට්ට ලොට්ට ඔක්කොම බැග් එකට දාලා කරපටියෙන් අල්ලලා අඔරවන එක. එතකොට සොරොව්වක් වැහෙනවා වගේ හීන් සිරුවෙ පටිය ඈඔරිලා බෑග් එක වැහෙනවා. ඒක ඈතුලෙ පොත් දෙක තුනක් තිබුනට මොකද වැඩිපුරම තිබුනේ වෙන වෙන ලට්ට ලොට්ටනෙ.
ඔන්න හිස් පීරියඩ් එකක් ආවා.
ඉතිං මේ වෙලාවේ මොන වැඩේටත් වඩා වටින්නේ අපේ ඥාණතිස්සගෙ බෑග් එකේ රහස හොයාගන්න එක හින්දා මම ඒකට ක්‍රමයක් හිතුවා.
“ප්‍රදීප්.........” මම ඥාණතිස්සගේ බෑග් එකේ රහස ඇස්දෙකට දැක්ක එකම මනුස්සයට කතා කලා.
“මේ පීරියඩ් එකේ ඹයා මොනාද කරන්න යන්නෙ......?”
“ඇයි... මුකුත් නැ.....මේක හිස් නේද?”
“මා ගාව පොඩි බඩුවක් තියෙනවා මේ.......”
“ශා..... තුල් මාරු කරන පැන්සලක්, කොහෙන්ද මේ.......”
“ආ...... ඕන්නං මෙතන ඉදං මේකෙන් ලියන්න.!” මිනිහගේ ඇස් දිලිසුනා. මං දැනගත්තා වැඩේ හරි විත්තිය. මිනිහා පැන්සල අල්ලගත්තෙ අත්දෙකෙන්මයි. පස්සෙ දුවලා ගිහිං පොතක් අරගෙන ඇවිල්ලා මගේ ඩෙස් එකෙ ඉදං කුරුටු ගාන්න ගත්තා.
මම ගිහිං ඥාණතිස්ස ගාව වාඩි උනා.
“ඇයි...........”
“ඹයා දන්නවද "පොළක්" අදින්න....”
“අඳින්න දන්නැ...... ඒත් තාත්තාත් එක්ක බතල විකුණන්න පොලේ යනවා හුඟක් ඉරිදවල් වලට” මිනිහා කට උල්කරලා මහ උජාරුවෙන් කිව්වා.
මිනිහා කියන්නෙ ඇත්ත. මිනිහා ඉස්කෝලෙ වැඩ වලට නං පොඩ්ඩක්වත් දක්ෂ නෑ අත්වැඩවලට ඇරෙන්න. ඇරත් මිනිහට ගෙදර කව්රුත් ඉන්න එකකයැ එවා අහගන්න.
“මම පොලේ ගිහිං නැති හින්දා මට චිත්‍රෙ අඳින්න තේරෙන්නැනෙ... ඒක හින්දා මට කියලා දෙනවද පොලේ විස්තර.........”
අපෝ මං කියන්නං,
මිනිහා වටපිට බලලා හිමිට, ඒත් දත්මිටි කාගෙන මෙහෙම කියන්න තියාගත්තා,
“අනේ මහත්තයෝ....පොඩිඑකා පාං එපා කියනවා, තාත්තෙ......... මට බතල ඕනැ කියනවා, පොඩි එකා බතල ඕනැ කියනවා, ගන්න මහත්තයෝ කිලෝ එකම රුපියා පහලොවයි, රුපියා පහලොවයි, අන්න එහෙමයි තාත්තා මාව පෙන්නා පෙන්නා පොලෙදී කෑ ගගහ බතල විකුණන්නේ.....”
“එතකොට පොලේ අනිත් මිනිස්සුත් ඔයාලගෙ තාත්තා වගේ කෑ ගහනවද?”
“නැත්තං! කටවහං හිටියොත් හිටියම තමා”
“අනිත් අය මොනා කියලද කෑ ගහන්නේ?”
“රත්නෙ මාම කෑ ගහන්නෙ මෙහෙමයි, ‘තව පොඩ්ඩයි සුලු මොහොතයි, බෝංචි ගන්න රුපියල් දහයයි”
“නෑ...............එතකොට හැමෝම කවි සින්දු කියකියද බඩු විකුණන්නෙ...?”
“ගොඩක් අය එහෙම තමා, නැත්තං බෑනේ....... රටකජු විකුණන සිරිල් මාමයි නැන්දයි කෑ ගහන්නේ, "උදෙයි බැද්දේ...... ඒකයි මේ පරක්කු උනේ” කියලා,
“ආ...... ඉතිං හැමදාම ඒගොල්ල පරක්කු වෙනවා ද?”
“නැහ්.... ඒ කියන්නෙ බොරු, ඒ ගොල්ල ඒවා අලුත් කියන්නනේ එහෙම කියන්නෙ....ඉතිං රංජි අයියා ලඟ කොච්චර අල ගෝනි තිබ්බත් එයා කෑ ගහන්නේ “තව වාසනාවත්තයෝ දෙන්නටයි, මහත්තයෝ ජෝඩුවම විස්සයි අනේ විස්සයි.........කියලනෙ ”
“නෑ........ ඒ කියන්නෙ එයා අල ගෙඩි ජෝඩුවක් විස්සට ද විකුණන්නේ......”
“හිහ්....ඔයාට පිස්සුද! එයා ජෝඩුවක් කියන්නේ කිලෝ දෙකකටනේ!!”
මිනිහා දෙතුන්පාර ඔහොම කියද්දි මම හිතුවා දැන් තමා රහස ගැන දැන ගන්න නියම වෙලාව කියලා.
මම එකපාරටම මෙහෙම ඇහැව්වා,
“හරි හරි .... මේ බෑග් එකේ මොනාද තියෙන්නේ එතකොට”
එක අහපු ගමන් මිනිහා රියන් ටොක්කක් කාපු වස්සෙක් වගේ ගල් ගැහුනා.
“මුකුත් නෑ.....”
“එහෙනං ප්‍රදීප්ට පෙන්නුවේ.... මං බලාගෙනනෙ හිටියෙ.....”
“මුකුත් නැ!” මිනිහා ආයෙත් අහක බලාගෙන කිව්වා.
ඒත් ටිකක් වෙලා කල්පනා කරපු ඥාණතිස්ස ඊලගට මම දිහා බැරෑරුම් විදිහට බැලුවා. පස්සෙ මගේ පැත්තට බර වෙලා ලොකු රහසක් කියන්න වගේ වටපිට බැලුවා.
“හරි ඔයා මටත් “ඉරිදා පොළක්” ඇදලා දෙනවනං මම පෙන්නන්නං. හැබැයි කාටවත් කියන්න බෑ!” මිනිහා ඒ ටික කිව්වෙ රහසින් වගේ.
“අපෝ මං ඇදලා දෙන්නං...” ඒ වෙද්දි අපේ පංතියෙ ඝෝෂාව හොඳටම වැඩි වෙලා කියලා දැනුනෙ නැති හින්දා මමත් රහසින් ම කිව්වා.
“ඇස්වහගන්නකො......” ඉතිං මම මිනිහා පොත් බෑග් එකට අත දානවා හිතෙන් මවා ගත්තා. ඔන්න දැං අර අරුම පුදුම දේ එලියට ගන්න ඇති. ඔන්න දැං මේසෙන් තියන්න ඇති.
“කෝ හරිද ඥානේ.........”
“පොඩ්ඩක් ඉන්නකො....” කියාගෙන මිනිහා මොකද්දෝ එකක් මිනිහගේ පුටුව උඩින් තිබ්බා.
"හරි අල්ලා බලාලා කියන්ඩකො මොකද්ද මේ කියලා"
“මොනවා... මේ කුකුලෙක් නේද.....!”
“පිස්සුද.....”
“එහෙනං.... කුරුලු පැටියෙක්.....!!”
“ටිකක් හරි.... දැං බලන්නකො මොකද්ද කියලා”
මම ඇස් ඇරියා. පුටුව උඩ තිබිලා දැක්ක දෙයින් මම ගැස්සුනා. උගුර කටත් වේලිලා ගියා.
“අම්මො... මේ මොකෙද්ද?”
“බකමූණෙක්!”
“බකමූණෙක්!! බුදු අම්මො මට නං එපා!” මට කෑ ගැහුනා.
“බයවෙන්න එපා..... මූ හරිම අහිංසකයි.... ඔන්න බලන්න” කියලා මෙන්න මිනිහා උගෙ ඔලුව අත ගාන්න ගත්තා.
මම එදාමයි බකමුණෙක් මෙච්චර ලඟට දැක්කෙ. උගේ මුණ බලන්න බයයි. ඌ හිටියෙ නිදිමත වෙච්ච යකෙක් වගේ.
ඇරත් බකමුණංව අරං එනවා යැ ඉස්කෝල වලට. අපිත් සත්තු අරං එනවා තමා ඉස්කෝල වලට. හැබැයි උං සෙල්ලං සත්තු! මෙහෙම පණපිටින් සත්තු ගේන්න පුලුවන් නම් මමත් අපේ "ටුටු" වව ගෙනල්ලා පුටුකකුලේ බැඳලා තියාගන්නවනේ.
“බයවෙන්න එපා මූ හරි හොඳයි..... ඔයා මූව ටිකක් වෙලා තියාගන්න. හැබැයි ඒ හිලව්වට මට "පොළ" ඇඳලා ඕනැ.....” ටිකකින් මිනිහා ආයෙත් දොඩවන්න ගත්තා.
“අපෝ මටනං එපා” කියලා මම ඌව මිනිහගෙ ඇඟටම තල්ලු කරා.
ඒත් ඥාණතිස්ස කලේ බකමුණව කොහොමහරි මගේ ඇගේ ගහන්න හදපු එකයි! ඒ මිනිහට කොහොමහරි මං ලව්වා “ඉරිදා පොළ” ඇඳගන්න. මිනිහා තවත් මොනාද මොනාද කිය කියා උගේ වරුනේ පෙන්නනවා.
පස්සෙ එක පාරටම මිනිහා ඌව මගේ ඇගට අතඇරියෙ නැද්ද!
මම උගෙන් බේරෙන්න මොකද්දෝ කෝලමක් කලා. මොකද්ද කියලා මටත් හරියට නිච්චියක් නැ. මොකද මමත් බයවෙච්ච පාර ඇස් දෙක වහගෙනයි එහෙම කලේ. ඔන්න ඔය අල්ලපනල්ලේ බකමුණා හීන්සිරුවේ අපේ අත්වලින් බේරිලා එහා පැත්තෙ කෑමයි, වතුර බෝතලුයි තියෙන ඩේස් එක උඩට පැන්නා.
“මොකද්ද ඔයා කලේ.... මම කිව්වනේ ඌ වස නෑ කියලා.... දැං කොහොම හරි අල්ල ගන්න” මිනිහා මට රැව්වා.
“මටනං බෑ...”
“බෑ.. නෙමේ උදව් කරනවා... නැත්තං මං තමුසෙට හොඳ පාඩමක් උගන්නවා. මං කොච්චර අමාරුවෙන්ද ඌව අල්ලාගත්තෙ” මිනිහා මගේ කොලර් එකෙන් අල්ලං බෙල්ල තද කලා.
“ඉතිං අර ඉන්නේ අල්ලගන්න එකයි” මම කෑම පෙට්ටි දිහා පෙන්නලා කිව්වා.
ඥාණතිස්ස එක පාරටම කලේ එතෙන්ට පැනපු එකයි. කොච්චර වේගෙන් පැන්නද කියනවනං මිනිහාගේ කකුල් වල වැදිච්චි පුටු එහෙම හැමතැනම විසි වෙලා හරි සද්දයක් ආවා. ඔන්න ඔය වෙලාවෙදී අපේ "බකමුණු රහස" පන්තියටම එලි උනා.
හැබැයි බකමුණා නෙමේ ඥාණතිස්සව තඔ සතේකට මායිං කලේ. ඌ උගේ පාඩුවේ ටිකක් ඉස්සරට ගිහිං පංතිය අස්සෙම පියාඹන්න තියා ගත්තා.
ඒ උනාට මොකද එයා හැම තැනම වැදුනා. එලියට යන්න යද්දිම වගේ දැලේ වැදිලා අයෙත් වැටුනා.
ඒක දැක්ක ගමන් ඥාණතිස්සට මමත් එක්ක යකා යන්න ඇති. මිනිහා අපේ පංතියට ඇහෙන්න මහ හයියෙන් මෙහෙම කෑ ගැහැව්වා.
“පේන්නැද්ද මනුස්සයෝ.... ඌට දවල්ට ඇස් පෙන්නැ.... බලනවා ඌ වැටිච්ච හැටි..”
ඔන්න ඒ වෙලාවෙනං මටත් දුක හිතුනා.
ඊටත් වඩා මේ බකමුණා මෙතැනිං පැනලා ගියොත් ඥාණතිස්සත් එක්ක ගුටිඇණගෙන කෙරෝලක් දකින්න වෙන්නැ! මේවා ඉතිං කතාකරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්ණයැයි!
බකමුණා දිහා බලබල එහෙම හිතද්දි මගේ ඉනෙං පහල පණ නැති වේගෙන වගේ ආවා.
කොරේ පිටට මරේ කියන්නා වගේ අපේ පංතියේ රොෂාන් ජනක කුමාර, "මොකෙද්ද අනේ ඒ අමුතු සතෙක්... !” කිය කියා මගේ පිටට අනින්න ගත්තා.
“පේන්නැද්ද හලෝ..... ඒ බකමුණෙක්නෙ... මෝඩ පස්න අහන්නැතුව ඌව අල්ලන්න උදව් කරනවා.....”
ඔන්න ඔහොම අපි දෙන්නාත් බකමුණාව අල්ලන මෙහෙයුමට එකතු උනා. මේ වගේ වගක් දන්නැකි බකමූණා ගිහිං පංතිය මැද තියෙන බාල්කෙ හිටගත්තා.
ඒ හරියටම “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියලා බාල්කෙ ලියලා තියෙන වාක්‍යයෙ “පි” යන්න කෙලින්. පස්සෙ හෙමීට ඌ “කොතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්” කියන පේලිය ගාවට ඇවිදං ගිහිං “ති” යන්න ගාව හිටගත්තා.
මේ හැම තිස්සෙම අපේ අසරණ ඥාණතිස්ස කලේ ආවේස වෙච්ච කපුරාල කෙනෙක් වගේ බකමූණා යන යන තැනට ඔලුව හරෝ හරෝ උඩ බලාගෙන ඒමේ අතේ ඉබාගාතෙ ගිය එකයි.
දැං මුලු පංතියම පිස්සු හැදිච්ච කඩිගුලක් වගේ ඇවිස්සිලා.
වැඩියෙම ගෑනුළමයි!
ඒගොල්ල කලේ හැමදාම වගේ බොරුවට යටි උගුරෙන් බෙරිහං දීපු එකයි. සමහරු බකමූණගෙන් බේරෙන්න ඒමේ අතේ දිව්වා. ඒත් ඌ රවුමක් ගහලා බිත්තිවල වැදි වැදි ආයෙත් එද්දි ඒ පැත්තට දුවපු ගැණු ළමයි ආපහු හැරිලා දුවන්න ගිහිං පස්සෙන් ආපු අයගේ ඇඟේ එකට වැදිලා වැටුනා. පස්සෙ ඒ දෙගොල්ල බැණගත්තා.
හැබැයි අපිනං එහෙම නෙමෙයි. පොඩ්ඩක්වත් බැණගත්තෙ නෑ. ඔක්කොමලා එකාවගේ එකමුතුවෙලා ආගිය අතේ දුව දුව ඥාණතිස්සට බකමූණා අල්ලන්න උදව් කලා.
දැං නං මෙකේ කෙරෝලක් දකින්න වෙලාව හරි කියලා මම හිතුවා. ඇයි ඉතිං මෙහෙම සද්දෙන් තව ටික වෙලාවක් කෑ ගැහැව්වොත් වෙන දේ අපි කව්රුත් දන්නවනෙ.
දැං කොයිවෙලෙ හරි මූ පහලට ආවොත් අල්ලන එක අල්ලවාමයි කියලා මම මටම පොරොන්දු උනා.
දැං බස්සා කොතනද එතන පිරිමි ළමයි රෑණම! ඒ වගේම ගැනු ළමයිගෙ හු සද්දෙ... ඒ උනාට අපේ බකුසු හාමිට නං ඒකේ වගේ වගක් තිබුනේ නැ!
ඔන්න ඔය වෙලාවෙයි බකමූණා ගිහිං ඩෙස් එකක් උඩ හිටගත්තෙ. ඉතිං මම ඒ වෙලෙම තීරණය කලා එඩිතර පිරිමි ළමයෙක් වගේ බය පැත්තක දාලා ඌව අල්ලනවා කියලා.
ඒත් මට තරු විසි උනේ ඌ හිටගෙන ඉන්න තැන දැක්කමයි. අපේ බකමූණා ඒ වෙලාවේ හිටගෙන හිටියෙ, ඉරට්ටක් වගේ හීනි කොයිවෙලෙත් අපි ගැන කේලං කියන ශ්‍රියාලතාගෙ මැහුම් පෙට්ටිය උඩ.
ශ්‍රියාලතයි, අරුණියි මැහුම් පොත් දිගඇරගෙන මමහ ඉදලයි මේ කලබලෙ දැකලා ඇත්තෙ. මොකද උන්දැලාගෙ අත්වල තාම රෙදි කැලී එල්ලි එල්ලි තියෙනවා මම හොඳටම දැක්කා.
ඒ උනාට මමත් ඇරියෙ නැ.
මම කලේ හොඳ හුස්මක් අල්ලලා දක්ෂ ක්‍රීඩකයෙක් උඩපන්දුව රැක ගන්න පනිනවා වගේ ඩෙස් එකේ එහා කෙරෝලෙ මැහුම් පෙට්ටිය උඩ ඉන්න බකමුණව අල්ල ගන්න, මෙහා පැත්තෙ ඉදං ඉලක්කෙ අල්ලලා පැනපු එකයි. ආයෙ දෙපාරක් නොහිතම!
මේං මේ වගේ...

අරුණිගෙ මල් මහන මැහුම් වලල්ලෙ තියෙන, බුරුල් කරන තද කරන යකඩ මුරිච්චිය මගේ දණිස් පොල්කට්ටෙ ඇනිලා ඒ පැත්තම හිරිවැටුනා. ඇයි එයා හිටියෙ මෙහා පැත්තෙනෙ.
ඒ කෝක වෙතත් මම අතටම අහුවෙච්ච බකමූණාව තද කරලා අල්ලං වේදනාව යටපත් කරගෙන ඌ දිහා බැලුවා.
අවාසනාවක මහත!
බකමූණා නෙමේනෙ මට අහුවෙලා තියෙන්නෙ. ශ්‍රියාලතාගෙ මැහුම් පෙට්ටිය!!!
ඒකෙත් එක පලුවයි. ඉතිං පැත්තක් අහුවෙච්ච මැහුම් පෙට්ටිය කෙලින් වෙලා එකෙ තිබුනු එක එක සයිස් ඉදි කටුයි, තව මොනාද වළලු වගේ ජාතියි, වෙන ලට්ටලොට්ට වගේකුයි ඔක්කොම විසි උනා.
ඒක දැකපු ශ්‍රියාලතාට මොනවා වෙන්නැද්ද කියලා මම දන්නැ!
එයා මාව, “පිස්සුද මන්දා මේ කොල්ලට” කියාගෙන කුණු මාලු කෑල්ලක් වගේ ඩෙස් එකෙන් ඉස්සරහට තල්ලු කලා.
පැත්තට හැරිලා හිටපු මාව හිස් මැහුම් පෙට්ටිය අතේ තියෙද්දිම "දේයි" ගාලා ලේසියෙන්ම බිම පත බෑ උනෙ, ඉස්සරහා පුටු ඇඳි දෙකෙන් එකක් හරි අල්ල ගන්න කලින්.
වැටෙද්දිම මම හිතාගත්තා රිදිල්ල පැත්තක දාලා ඉක්මනට නැගිටින්න.
නැත්තං ශ්‍රියාලතාට, “මේ කොල්ලව මං එක අතිං තල්ලු කරලායි බිම දැම්මෙ” කියලා කතාවක් හදන්න ඒ හැටි වෙලාවක් යන්නැ. ඇරත් පන්තියෙ ළමයි දන්නවා යෑ පිම්ම නිසා මට වෙලා තියෙන සංගෙඩිය.
ඉතිං මම එකපාර නැගිටින්න හැදුවා.
ආන්න එතකොට තමා මට හැමදේම නමය ගානේ පෙනෙන්න අරං තිබුනෙ, අර මුලින්ම කිව්වා වගේ.
ඉතිං ඔය විදිහට බකමූණාව අල්ලගන්න ගත්තු උත්සාහය සම්පූර්ණයෙක්ම වතුරෙ ගියා.
ඒත් පොඩි සහනෙකට තිබුනෙ පංතිය ඔක්කොමලා නිශ්ශබ්ද වෙලා ඔක්කොම හොඳ අතට හැරිලා තිබුනු එක.
ඉතිං මම හීන්සීරුවෙ නැගිට්ටා, "දැං ඉතිං ඔක්කෝම හරිනේ.................." කියලා හිතාගෙනම. ඒත් ඒ සිතිවිල්ලත් වැඩි වෙලාවක් අල්ලලා හිටියෙ නැනේ.
මොකද පංතිය නිශ්ශබ්ද වෙලා තියෙන්නෙ අපේ බුද්ධධර්මෙ උගන්නන ලින්ටන් සර් දොර ගාව හිටිය හින්දා. සර් ලඟම අතේ රෙදි කෑලී තියාගෙන ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා.
නරකම දේ කියන්නෙ අර මම මුලින් කියපු රොෂාන් ජනක කුමාරගෙ කණ, අපේ ලින්ටන් සර්ගෙ අතෙයි තිබුනෙ. අසරණ රෝෂාන් ජනක කුමාර එයාගෙම කණේ එල්ලිලා ඇගිලි වලින් ඉස්සීගෙන හිටියා.
"ඒ කියන්නෙ මම වැටිච්ච අල්ලපනල්ලෙ ශ්‍රියාලතාල ලින්ටන් සර්ට කේලම කියලා එහෙනං!" මගේ හිත කිව්වා.
ඒක දැකපු මට "රොෂාන් පව්.........." කියලා හිතුනා.ඉතිං වෙච්ච දේ මට සහසුද්දෙන්ම තේරෙද්දි මම හොඳටම පරක්කු වෙලා වැඩියි. මොකද ඔය අස්සෙයි මමත් දනිපනි ගාලා පුටු අස්සෙන් මතුවෙලා තියෙන්නෙ.
එතකොටම ලින්ටන් සර් මාව දැකලත් ඉවරයි.
ඊට පස්සෙ වෙච්ච දේවල් ගැන අහන්න ඔය ගොල්ල ගොඩාක් ආසයි කියලා මම දන්නවා.
ඒත් ඒ වෙච්ච දේවල් මටනං කියන්න තියා මතක් කරන්නත් අප්පිරියයි!
ඔයගොල්ල කොහොම කිව්වත් ඊට පස්සෙ වෙච්ච දේවල්නං මම කියන්නැ කිව්වොත් නෑ මයි! මොකද ඒ ටික කියෝලා ඔයගොල්ලත් මට කියයි, "අනේ චූටිමහත්තයා පව්.........................කියලා". මම කැමති නෑ එව්වට.
කොහොමහරි මේ සිද්ධියෙන් එදා මම පාඩම් කීයක් නං ඉගෙන ගත්ත කියලද හිතන්නෙ?ඔයගොල්ලත් ඕන්නං මේකෙන් පාඩමක් ඉගෙන ගත්තට මට කමක් නෑ. හැබැයි "චූටිමහත්තයා බකමූණෝ ඇල්ලුවා වගේ" කියලා, එක එක කතා හදන්න තියාගත්තොත් නං ආයෙ කිසිම දෙයක් කියන්නැ හොඳේ!
-කෙහෙල්කොටුවේ චුටිමහත්තයා
.......................
ඥාණතිස්සවයි, රෝෂාන් ජනක කුමාරවයි හොයාගන්න බැරි උනාට මොකද, මගේ තුල් මාරු කරන පැන්සලට රැවටිච්ච ප්‍රදීප් තමා ඕගොල්ලන්ගෙ කොම්පියුටරේ මවුස් එක තියෙන පැත්තෙ අයිනෙම ඉන්න ජබ්බා. ඒ ගැන වැඩි විස්තරත් තියෙනවා කියෝනවනම්.









පව් බොලේ බකමුනා... ඊට පස්සේ ඌට මක්කෙයි උනේ?
ReplyDeleteචූටි මහත්තයා වැරදියටනෙ තේරුම් අරන් තියෙන්නෙ. ශ්‍රියාලතා, සර්ට කේලම කියලා නෑ. අර බකමූණා තමයි ඕක කියලා තියෙන්නෙ.
ReplyDeleteවෙන මොනවා වෙන්නද මැහුම් පෙට්ටියෙ තිබිච්චි ඉඳිකටු, බොත්තම් සේරම එකතු කරන්න වෙන්න ඇති.... හොඳ වැඩේ... !!!
චූටිමහත්තයා බකමූණෝ ඇල්ලුවා වගේ
ReplyDeleteඑළම එළ කිරි කතා පොඩ්ඩ..
හෙහ්...හෙහ්...හෙහ්....පව් අප්පා චුටි මහත්තයට වෙලා තියෙන දේවල්.. සීනි ටිකක් වැඩිපුර දාල තේ එකක් හදාගෙන බීහන් කොලුවො.
ReplyDeleteඅම්මෝ! චුටි මහත්තයා සෑහෙන්න කාලෙකට පස්සේ....ඉතිං ඔය බකමූණව අල්ලගත්තද?
ReplyDelete-නිර්මල-
අඩේ බුද්ධියෝ ඊට පස්සෙ වෙච්ච දේත් කියහං. නැත්තං නමය නෙමෙයි දහ අට වෙලා පේයි....
ReplyDeleteඑලම තමයි
ReplyDeleteකේලමක් දෙකක් කීවට හරි අහිංසක ගෑණු ළමයි දෙන්නෙක්නෙ.
ReplyDeleteනැත්තං ඉතිං ලිංටන් සෑර් කරපු දේ (කියන්න කෑමති නැති, ඒත් අපි දන්න) ශ්‍රියාලතයි අරුණියි කරනව.
[කණ් දෙක අල්ලගෙන ඩෙස් එක උඩ පීරියඩ් එකක හිට්ටවල තිබ්බෙනෙ නෑනෙ නේද :D]
"හරියටම “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියලා බාල්කෙ ලියලා තියෙන වාක්‍යයෙ “පි” යන්න කෙලින්. පස්සෙ හෙමීට ඌ “කොතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්” කියන පේලිය ගාවට ඇවිදං ගිහිං “ති” යන්න ගාව හිටගත්තා. චිත්ත රැප මැවෙනවා බුද්ධි...
ReplyDeleteThanks....
ශ්‍රියාලතාගෙ මැහුම් පෙට්ටියට එහෙම මුකුත් වුනේ නෑනේ :D
ReplyDeleteලෙසටම ලියල තියෙනව ආහ්...
ReplyDeleteඅලේ ලියමයි..!
ReplyDeleteමේ කට්ටිය අද කොහෙද..? ශ්‍රියාලතා නං බැඳලා ළමයිනුත් ඇති... ඥානතිස්ස රටෙත් නැතුව ඇති... ලිංටන් සර් නම් මැරිලද දන්නෙත් නෑ...
මල් හතයිනේ,හුරතලේට බකමූනෙක් ඇතිකරන හාදයෙක් ගැන ඇහුවමයි ඔය.
ReplyDeleteහික් හික් ලිංටන් සර් දීපු පාරට ආයේ එක නමය වෙලා පෙන්න ඇති නේද?
ReplyDeleteඅලේ පවු...... චූටි මහත්තයට හෙට එනකොට තාත්තව එක්කන් එන්න කිව්වද ලින්ටන් සර්???? එතකොට තව ලින්ටන් සර් චූටි මහත්තයට කියලා මැහුම් පෙට්ටිය අහුලවලා තව පීරියඩ් එකක්ම හිටෝලත් තිව්වද? පව් අසරණ චූටි මහත්තයා...........
ReplyDeleteමදැයි බකමූණා කරපු දේ? අර කකුලෙ ඇණුන කටුවට මොකද උනේ?
ReplyDeleteඒ කෙරෝලේ ඉන්න ජබ්බා විතරක් නෙවෙයි බුද්ධියෝ..මට පොඩ්ඩක් කියහංකෝ අනිත් පැත්තෙන් දෙවෙනියට ඉන්න කබ්බා කව්ද කියලා...?
ReplyDelete(දැන් අනිත් කට්ටිය කියනවා එහෙම නෙවෙයි ඕන නැති ඒවා අහන්න ගිහින් බුද්ධියා බැන්නට පස්සේ "මාරයියා පව්" කියලා එහෙම)
අම්මප උඹ ඔය බකමූණව අල්ලගන්න පහුගිය ටිකේම දැඟලුව තරමක්...
ReplyDeleteමමත් මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. කවදාවත් ඉස්කොලෙට බකමූණෙක් අරන් යන්න හොඳ නෑ.
ReplyDelete(ඒත් ඉතින් මොනව කරන්නද අපි ඉස්කෝලේ යන්නේ ආයෙ ඊළඟ ආත්මෙනේ)
මමත් ඒ දවස් වල හරි ආසය් තුල් මාරු කරන පැන්සල් වලට!
ReplyDelete@ priyantha
ReplyDeleteඊළඟ ආත්මේ...!!! බුදු අම්මෝ මතක් කොරන්ඩ එපා ආයෙත් හෝඩියෙ පංතියෙ ඉඳල ඉස්කෝලෙ යන්ඩ වෙනව නේද බොලේ?
ශ්‍රියාලතා, "චූටි මහත්තයගේ දඟ කාර කම ඕනවට වැඩී" කියලා මැහුම් පෙට්ටියෙන් ලොකු ඉඳිකට්ටක් අරගෙන මොකක්වත් මැහුවේ එහෙම නෑ නේද කොල්ලෝ?
ReplyDeleteඅනේ අපොයි!!! චූටි මහත්තයට වෙච්ච දෙයක්!!!
ReplyDeleteමැහුම් පෙට්ටියේ ඉඳිකටු අහුලන වැඩේද ලේසි? බකමූණා අල්ලන එකද ලේසි???
ඉතිං අර උගුරට ආපු බඩයි පපුවයි හෝස් ගාලා එළියට දැම්මද? නැත්තං ආපහු ගිල්ලද? :)
ReplyDeleteදැන් ඔය සිරියලතා ලා මැහුං කොරන වෙේල් චූටි මහත්තැන් ලා මොනවද කලේ හැබැටම?
ReplyDeleteආෆ්ටර් අ ලෝන්ග් ටයිම් ආ.... ඔය සිරියලතා වගේ කෙල්ලෝ හැම ඉස්කෝලෙකම හැම පංතියකම ඉන්නවානේ බලාගෙන ගියාම.. චාටර් අප්පා...
ReplyDeleteපනින එකනම් පැනල තියෙනව ටක්කෙටම පෙට්ටිය ඉලක්ක කොරල.......හික්
ReplyDeleteප්‍රසසන්න මාමා,
ReplyDeleteබකමුණා යන්ඩ ගියේ නැද්ද වැදි වැදීම.
..............
හරී නැන්දා,
එහෙම උනානං මම ඒ ටිකත් කියනවනේ. උනේ එයිට වඩා වෙනස් දෙයක්නෙ. ඒකයි කියන්නැත්තෙ. මම දන්නවා බොරු හේතු කියලා මගෙන් අහගන්න නේද යන්නෙ...
.........
පැන්ඩා මාමා,
ට මම කිව්වනේ ඔය එක එක කතා හදලා විහිලු කරන්න එපා කියලා. කෝ ඉතිං මේ ගොල්ල අපි වගේ හොද ළමයි වගේ කවදා හැදෙයිද දන්නැ!
ඹබ්සවර් මාමේ,
ReplyDeleteමාම නං හරි හොදයි! මං ගැන හිතපු එකම එක්කෙනා!
...................
නිර්මල මාමා,
විකාර කතා කරනවා. අච්චර ගිනි විජ්ජුම්බරයක් වෙලා තියෙද්දි බකමූණවත් අල්ලහල්ලකෝ.......!
......................
ප්‍රසන්න මාමෙ,
ඒකනං කියන්නැ කිව්වොත් නෑ මයි
...............
ගීතීක මාමේ,
එහෙනං එච්චරයි.
....................
සසීන්ද්‍ර අයිය,
ත් මං වගේ ද කොහොද? ඒ ඒ දේවල් වලට ලැබෙන ඒ ඒ දඩුවම් ගැන පොඩි අවබෝධයක් තියෙනවා නේද!
සන්ධ්යාව නැන්දේ,
ReplyDeleteඇත්තම කියනවා නං මටත් කතාව කියන්න ඕනැ එදා සිද්දිය නැන්දලා බලාගෙන හිටියා වගේ හිතෙන්න තමා. ඒක හරිගිහිං වගේ හින්දා මට සතුටුයි......!.
.................
පූසා මාමේ,
ඒක ගැන මට නිව්වියක් නැනේ. කොහොමහරි ඒක පලු දෙකට ගියා වගේනං මතකයි.
.........................
ඉන්දි මාමෙ,
අර මාමා ලියපු පැල් කවිය වගේද
.........................
බීටිල් කුරුමිණි මාමේ,
යාලුවෝ නං සීසීකඩ වෙලා. මුලින්ම අපි ගමෙන් ආවා. අනිත් අය ගමේ ඉතුරු උනා. සමහරු හමුදාවට ගිහිං අවසන් සටනෙදි මලා. ඔය ප්රලදීප් මැදපෙරදිග මේසන් රස්සාවකට ගිහිං ඇවිල්ලා දැං කොන්ත්රාුත් ක්රඅමේට ගෙවල් හදනවා. මට අවුරුදු තුනකට විතර කලින් හමුවුනා. අනිත් අය ගැනත් හොයා බලන්න ඕනැ. ලින්ටන් සර් නං නැති වෙලා සෑහෙන කල්.
....................................
සිතුවිලිමණ්ඩිය මාමේ,
මමත් එදාමනේ දැක්කෙ. ඒකනේ බය උනේ.
....................
හසී නැන්දේ,
නැතුව නැතුව! මුලින්ම එක නමය උනේ වැටිලා ඊට පස්සෙ එක නමය උනේ දණ්ඩනේ හින්දනේ... ඒකනං මං කියන්නැ.
.......................
හා පැටික්කි නැන්දේ,
ඔවා ඇහැව්වට මම නං රැවටෙන්නැ හොදද! ඒවා එකක්වත් නෙමේ එදා උනේ.....
ඉෂාර ප්ලේන් මාමේ,
ReplyDeleteඑහෙනං එහෙනං! කකුලේ ඇණුනෙ කටුව නෙමේ. ඒ වලල්ල එජස් කරන ඇණෙ. මොනා වෙන්නද තරු විසිඋනා ඉතිං. ඔක්කොමත් හරි සීයා අල්ලලා මොනාද මතුර මතුර තෙල් ගාද්දි තමා හොදම එකෙන් තරු විසිවෙන්නෙ.
.......................
කේන්දර ගුරුන්නාසෙ මාමේ,
ඒ කබ්බෙක් නෙමේ ටොයියෙක්. හොදට බලන්න හොදට බලන්න.
කුෂ් මාමා,
ReplyDeleteමක් කියනවද මන්දා!ඒත් අල්ලගන්න පුලුවන් උනා යැයි
................
ප්‍රියන්ත මාමේ,
එන්න ඒ කතාව නං සම්පූර්ණ ඈත්ත. කවදාවත් බකමුනො අරං යන්න හොද නෑ තමා. හැබැයි බය වෙන්න එපා අපේ ඊලග ආත්ම වලත් බකමුණො ඉන්නැතැ!
.................
සමාධි නැන්දත්,
අපේම ජාතියෙ වගේ. මගේ පන්තියෙ හිටියනං තුල් මාරු කරන පැන්සල පෙන්නලා ඉංග්‍රිසි පොතේ වැඩ කරගන්න තිබ්බා....
දුකා මාමේ,
ReplyDeleteශ්‍රියාලතා එහෙම කරන්න ආවේ නං නෑ. මොකද ඒ ගොල්ල දන්නවා අපි ගාව හොඳට ඈලවෙන ගම්කුප්පි තියෙනවා කියලා. ඒ ගොල්ලං මැහුම් පාඩම කරද්දි අපි කලේ අත්වැඩ පාඩමනේ..
.........
මේනකා නැන්දේ,
ඒ දෙකම ලේසියි! අමාරු වැඩේ තමා ලින්ටන් සර් පැවරුවෙ. ඒක ඉතිං මෙහෙම කියන්න පුලුවනැ
රන්දිල් නැන්දෙ,
ReplyDeleteඒකනෙ වැඩේ කියන්නෙ. එහෙම උනානං එකක්. ඒක කෙලින්ම ගියේ ඔලුවටනේ. ඉතිං එතන ඉඳලා එක නමය වෙලානේ පෙනුනෙ.
............
කතන්දර මාමේ,
ඒක හිස් පිරීයඩ් එකක්නෙ. කැමති දෙයක් කලැකිනෙ. ඒ ගොල්ලං මැහුම් මැහුවා. අපි බස්සො ඈල්ලුවා.
..............
ළමයා අය්යෙ,
ඒකනං ඈත්ත! ඒ ගැන මොකට කතා කරනවද? චාටර් නේ....
හීනි අයියෙ,
ReplyDeleteඅනේ නැ මං ඉලක්ක කොලේ බකමුණවනෙ. අහුඋනේ පෙට්ටිය තමා ඒක වෙනම කතාවක්.:D
හැබෑට චූටි මහත්තයා ඉගෙන ගත්තෙත් හැරී පොටර් ඉගෙන ගත්ත ඉස්කෝලෙද ? ඒ ඉස්කෝලෙටනම් ළමයි බකමූණො හුරතලේට අරන් එනවා
ReplyDelete:D
ReplyDeletetakketama ilakka korala panala shriya lathage (Mahum) pettiya hema kaduwe na neda bola buddiyo.....??
ReplyDeleteඋඩ පන්දුවක්.. !! ගිලිහී යනවා මේ අවස්ථාවේදී....
ReplyDeleteහොඳටම හිකිස්ය, එලස්ය..