2011/08/22

මං බොරු කියන එක අතඇරලා දාලා හුඟක් කල් | ඇත්ත කීමේ පලවිපාක

“බොරු කියන එක නරක පුරුද්දක්”

“බොරු කිව්වම මොකද වෙන්නෙ අපේ සාදු....!”

“මැරුනට පස්සෙ අපායෙ යන්ට වෙනවා! පස්සෙ කරපු වැරදි වලට අනුව දඩුවම තීරණය කරනවා. සමහර විට කටු ඉඹුල්ගහේ උනත් නග්ගයි ඒගොල්ලං......”

“ආ.....එහෙනං කමන්නැ..... මට කොහොමත් ගස් නැගලා පුරුදුයිනෙ අපේ සාදු......”

හිහ්......ගස් නැගලා පුරුදුයි...... එ‍හෙනං එන්ඩකො මං කටු ඉඹුල් ගහේ නගින හැටි පෙන්නන්ඩ.......”

ඔන්න ඔහොම කියලා අපේ සද්ධාතිස්ස පොඩි හාමුදුරුවො පංසලේ හදලා තියෙන කටු ඉඹුල් ගහ ගාවට මාව එක්ක ගියා. ඒකේ වැරදි කරපු නැන්දලයි මාමලයි කියන්ඩ පුලුවන් කට්ටිය ගහේ නග්ගනවා, බස්සනවා. වස පාට යම පල්ලො තමා විධාන දෙන්නෙ. ගස් නගින නැන්දලා මාමලාගේ ඇඟවල් වල නූල් පොටක්වත් නැ. ඒගොල්ලං ඔක්කොම දේවල් එලියෙ දාගෙන නිකං අඬන්න වගේ මූනු හදාගෙන ගහෙ නගිනවා.

“මෙහෙම පෙනුනට මේක අමුතු ගහක්. වැරදිකාරයොන්ව තමා මේකට නග්ගන්නෙ.......කට්ටිය ගහට නගිද්දි මේ කටු යට පැත්තට හැරෙනවා......මේ වගේ.......එතකොට ඒගොල්ලංගේ ඇඟවල් වල ලේසියෙන් ම මේ කටු ඇනෙනවා......යමපල්ලො මේ ගොල්ලං බස්සවන්ට හදද්දිම කටු උඩට හැරෙන්න ගන්නවා.....අර පැත්තෙ දැක්කද? ඒ ගහෙන් බැහැගෙන එන අය......” සාදු මං දිහා පුදුම හිතෙන බැල්මකින් බැලුවා.

“ශා නියමයි.....මේ ගහේ කටු වැඩකරන්නෙ මෝටරේකින්ද සාදු..............”

“මෝටරේකින්ද!......ඒවා දැනගත්තැකි දිගමට දහම් පාසල් ආවොතිං........”

කොහොමහරි එදා මං ගෙදර එනගමන් ඒ ගැන ටිකක් හිතුවා. කටු ඉඹුල් ගහෙ නගින එකනං හරිම ලේසි වැඩක්. කටු වලින් බේරිලා ගහදිගේ මුදුනට යන හැටි මමනෙ දන්නෙ. ඒත් අර මාමලා නැන්දලා වගේ අඩුම ගානේ කලිසම් කොටයක්වත් නැතුව ඇදුම් ඔක්කොම ගලෝල නං කීයටවත් මං නං ගස් නගින්නැ. ඒ ඇයි කියලා මගෙන් අහන්ඩත් එපා. හැබැයි ගස් නගිද්දි පොඩ්ඩක් කකුල එහා මෙහා වෙලා වැටෙන්න ගිය කව්රුත් එකේ අමාරුව දන්නවා ඇති කියලා මම හිතනවා.

ඉතිං මං කොහොමත් ආයෙ බොරු කියන්නැ කියලා හිතාගත්තා. එදා ඉදලා බැරිම වෙලාවක ඇරෙන්ඩ මං බොරුවක් නං කිව්වෙම නෑ!

ඒ අවුරුද්දෙ අවුරුදු නිවාඩුවට අපි ගියෙ ගාල්ලෙ හඹරාදුවේ අපේ නැන්දලාගෙ ගෙදර. එක දවසකුත් එහෙ යන්ඩ යද්දිනේ මගේ මීය සිප් එකට අහු උනේ.

මෙදා පාර අපි ගියේ වෑන් එකක් කුලියට අරං. අපියි නැන්දලයි. පස්සර හිටපු පස්සර නැන්දලා එහෙං ගාල්ලට එනවායි කිව්වා කියලා අම්මා කිව්වා.

කොහොමහරි අපි එහෙ ගියා.

පාන්දරම ගිය හින්දා නමය නමයහමාර විතර වෙද්දි අපි එහෙ. අපි යද්දි අනිත් කට්ටිය ඔක්කොම වගේ ඇවිල්ලා.

එදා නැන්දලාගේ තේ මේසෙ බලන්ඩ ලස්සනයි.

කිරිබත්, කැවුම්, අලුවා, කොකිස්, කෙසෙල් ගෙඩි, ආස්මී, ලුනුමිරිස්, තේ වතුර විතරක් නෙමේ අපිවගේ පොඩි අයට බොන්ඩ රතුම රතු නෙක්ටො කෝප්පෙ ගානෙත්......

කාලෙකින් නෑදෑයෝ එක්කහු වෙලා හින්දා නැන්දලාගෙ ගෙදර හරියට පොළ වගේ හරි සද්දයි.

ඉතිං මමත් අනිත් ළමයි වගේ වැදගත් විදිහට තේ මේසෙට වාඩි උනා. ඇරත් මේවා මට නුපුරුදු දේවල් නෙමේ. ඕගොල්ලන්ට හොඳටම මතක ඇතිනේ අපේ චීටර්ලා අපිට වැදගත් විදිහට කන බොන හැටි කියලා දුන්නෙ, එදා පංතියෙ සංවිධානය කරලා තිබ්බ ආදර්ශ දන්සැලෙන් කියලා.

කොහොමහරි මම වැදගත් විදිහට ඉඳගෙන කන්න ගත්තට මොකද, අපේ නැන්දලා මාමල මට ඒකට ඉඩදෙන්න ඇති කියලද ඕගොල්ලං හිතන්නෙ?

“ආ...නේ චූටි මහත්තයා දැං උස ගිහිල්ලනේ...... දැං වයස කීයද කිව්වෙ....ආනේ ඇත්තද...... ඒ උනාට කෝ ඇඟ පත මදි නෙව.... නේද ‍පස්සර අක්කෙ.....”

ඔන්න ඊට පස්සෙ පස්සර නැන්දා, “කෝ බලන්ඩ.......අනේ නැ... දෙයියන්ගෙ පිහිටෙන් මේ ඉන්නෙ කොල්ලා යස අගේට.....අපේ පරම්පරාව ගෙනියන්ඩ ඉන්න එකම එකානේ නෙව මේ.......අනේ මගේ අත්දෙකෙන් මේකව කොච්චර නං වඩාගෙන ඉන්නැද්ද හැබෑටම.....” පස්සර නැන්දා අඬන්න වගේ මූණ බෙරි කරගෙන කිරිබත් ‍පොඩිකෙරුව අතින්ම මගේ ඔලුව අතගාන්නඩ ගන්නවා.

“මොකද ඉලන්දාරියා ඔය ඇඟ හැම තැනම පැච් ගිහිල්ලා.......” ඒ සුනිල් බාප්පා.

“මේ පාර පුතා කී වැනියද පන්තියේ.........?” පියරත්ත මාමා හැමදාම ඔය වගේ ඉස්කෝලෙ දේවල් අහලා මගේ ඔලුව අවුල් කරන හින්දා මං උත්තර ලැස්ති කරගෙනමයි ඉන්නෙ.

“තාම රිපෝට් කාඩ් දුන්නැ....................ඒක මගේ බෑග් එකේ....” ඔය දෙවෙනි පේලිය මං කියන්නෙ හිතෙන්. මොකද මං බොරු කියන එක අතඇරලා දාලා හුඟක් කල්නෙ!

“කෝ...... තාම කෑම පිගාන එහෙම්මමනේ....... එහොම අත ගගා ඉඳලා බෑ ලොකු මිනිහෙක් වෙන්ඩ..... ඔක්කොම කන්ඩ ඕනැ.......” ඒගොල්ලං මෙච්චර වෙලා මගෙන් එක එක ඒවා අහලා, ඒ ගැන වගේ වගක් දන්නැති ගානට මට දොස් කියන්නෙ අන්න එහෙම. පස්සෙ ඒ ගොල්ලං මගේ වයසෙ වෙන කාවහරි අල්ලගෙන, ඔය මං කිව්ව විදිහටම බොරු ප්‍රශ්ණ අහන්න ගනියි තව ටිකකින්.

ඔ‍හොම උනාම මටත් ටිකක් කේන්ති යනවා. ඉතිං මම පාඩුවෙ කන්න ගත්තා. එකපාරට මගේ බඩට වැටිච්ච දෙයින් මගේ කන් දෙකෙන් දුම්ගියා.

“ශා..........මේවයෙ රස....“ මට ඉබේටම කියවුනා.

ඒක ඇහුනා විතරයි ඔන්න නැන්දලා මාමලා කලබල උනා.

“මොනාද චුටි මහත්තයා ඔච්චර රස........”

“ඈ....”

“මොනාද රස කිරිබද්ද, කැවුන්ද?” ඔන්න එගොල්ලං මගෙන් හොඳ නම ගන්ඩ දඟලනවා කියලා මට තේරුනා.

“මොකවත් නෑ.......”

“බොරු කියන්ඩ එපා....... දැං මේව්වයෙ රස කිව්වෙ එහෙනං.....”

“මොකවත් නෑ......”

“අලුවා වෙන්ඩැ! පස්සර අක්කගේ අත්ගුනෙ නෙව.... කොල්ලාට ඔය කෑමක් රහ වැටුනමයි මයෙ හිතේ.......අලුවා නේද පුතේ රස.....?”

“නෑ......” මම කිව්වා. දන්නවනේ මං බොරු කියන එක අතඇරලා දාලා හුක් කල්!

“එහ්හෙනං... ආස්මි වෙන්ඩැති! මං ගෙදර හැදුවත් මේගොල්ලං පොරකකා නෙ ආස්මි මුට්ටියට වග කියන්නෙ..... නැද්ද ඒයි?” රාණි නැද්දා ඒ ගොල්ලන්ගෙ ළමයි දිහා බලලා පියරත්න අංකල්ගෙන් ඇහැව්වා.

“හ්ම්....හ්ම්......ඇරත් මේවා ගෙවල් වල නියම පදමට හදන ඒවා වෙච්චි. ඔය කඩවල් වලින් ගන්න වහතු වගේයැ......කඩවල් වල කැවිලි ඉතිං එහෙටත් නෑ, මෙහෙටත් නෑ... නැද්ද මලේ.....” පියරත්න මාමා ඔලුව තාලෙට පද්දලා පොඩි මාමා කෙලින් නැවැත්තුවා.

"ලොකු අයියගෙ කතාව සහතික ඇත්ත..... නැත්තං පොඩි උන් කවද්ද කෑමක් රහයි කිව්වෙ" දැං ඒ ‍ගොල්ලං තම තමන්ගේ නෝනලාගෙන් හොඳ නම් ගන්ඩ හෙන පොරයක් කියලා මට තේරුනා.

මේ වෙද්දි ඒ ගොල්ලන්ගෙ ඔලුව උඩින් කාක්කෙක් ගියත් ඇති අලුත් කතාවකට කොනක් අල්ලගන්ඩ. මොකද ඒ ගොල්ලං කාලෙකින්නෙ හම්බවෙලා තියෙන්නෙ ඔය.

ඔන්න ඊට පස්සෙ හඹරාදූවේ නැන්දා ලස්සන හීනාවක් දාලා මං ගාවට නැමුනා,

“තක්කඩි කොල්ලා.......බොරු කියන්ඩ එපා...... පස්සර නැද්දා ගෙනාපු අලුවත් නෙමේයිනං, රාණි නැද්දා හදපු ආස්මිත් නෙමෙයිනං අනිත් කැවිලි ද රස.........” කියලා නැන්දා මගේ ඔලුව අත ගාලා “අනිත් ඒවා හැදුවෙ මමයි.....” කියලා ඇදලා වගේ කිව්වෙ, "ඒවා රහයි කියන්ඩ චූටිමහත්තයා" කියනවා වගේ.

ඔන්න දැං මට තේරුනා අපි කතාවේ අන්තිමේට ඇවිල්ලා ඉන්නෙ කියලා. හඔරාදූවේ නැන්දා අහපුදේට මගේ කටින් පනින උත්තරේ ඒ ගොල්ලන්ගේ කනවල් වලින් අල්ලගන්න හැමෝම වගේ අපි දෙන්නා දිහා බලාගෙනයි මේ වෙද්දි හිටියෙ.

ඒත් නැන්දා කිව්ව පලියට මං කො‍‍හොමද එහෙම කියන්නෙ, ඕගොල්ල දන්නවනේ, මං බොරු කියන එක අතඇරලා දාලා හුක් කල් කියලා! ඒ හින්දා මම ඇත්තම කිව්වා.

“ඒ එකක්වත් නෙමේ අයියො, මට රසම මේ නෙක්ටො කෝප්පෙ..............”

..................................

-කෙහෙල් කොටුවේ චූටිමහත්තයා.

විශේෂ නිවේදනයයි!

අද දවසට නියමිත සිත්තරය මං විසින් තවමත් ඇතුලත් කරනැත්තේ විශේෂ හේතුවක් හින්දාය. හැමදාම මංම ඇඳලා දානවා ඕගොල්ල බලනවාය. ඒ හින්දා අද දවසේ ඕගොල්ලන්ගේ සිත් ගත්තු තැනක් පුලුවන් විදිහට චිත්‍රයට නඟලා එවන්න කියා මං ඉල්ලා සිටිමි. සයිබර් යාය කියෝන නැන්දලා මාමලා විතරක් නෙමයි, ඕගොල්ලංගෙ ඉන්න මගේ වයසෙ නංගිලා, මල්ලිලා හරි, දුලා පුතාලාට හරි කියලා ඇඳලා එවන ඒවත් මේකට දාන්න ඔට්ටුය. දැං ඉස්කෝලා නිවාඩු හින්දා වේලාවත් හොයාගත්තැකි කියලා මම සිතමි. හොඳම ඒවා තෝරලා කතාවේ අදාල තැන් වලට දාන්න මං බලාපොරොත්තු වෙමි.

මේක තමන්ගේ ම එකක් කියලා ඔප්පු කරන්න තමන් කාගේ කව්ද මොනවද කරන්නෙ කියලා ලියලා එවන්නත් මතක තියා ගන්න.

වැදගත්ම දේ තමා සිත්තර එවන අය යටින් තියෙන හිතෙන දේවල් ලියලා යන කොටුවෙත් තමන් සිත්තරයක් එව්වා කියලා කියලා යන්ඩ ඕනේ!

සිත්තර ඔක්කොම මේ ලිපිනයට එවන්ඩ. cyberlipi@gmail.com

සිත්තර බාර ගන්න අන්තිම දවස ලබන සිකුරාදා.

...................

අවවාදයයි!

හැබැයි කව්රුවත් සිත්තර එව්වෙ නැත්තං මමත් ආයේ සිත්තර ඇඳලා දාන්නෙ නෑ කිව්වොත් නෑමයි!

ස්තුතියි,

මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.


48 ක් කියන්නේ !:

  1. ඒ පාර මොකාටද මේක එන්න හදන්නෙ, අපේ චිත්‍ර ටික එක්කහු කොරගෙන කලා භවනෙ ප්‍රදර්ශනයක් වත් තියන්නද? අපි නං අහු වෙය් ඕවට....

    පොඩි එකෝ, නැන්දල මාමලාගේ දෙබස් ටික නං මරේ මරු, මැවිල පේනව

    ReplyDelete
  2. මට පොඩි එවුවොත් නෑ මං සිත්තර අඳින්න දන්නෙත් නෑ..අනේ සමාවෙන්ට ඕනි...

    ReplyDelete
  3. ඇත්තම කියපං . . . උඹ ක‍ටු ඉඹුලෙ නගිද්දි ඇඳුං අඳින්න ඕනෙමයි කියල හිතුවෙ අර සිප් එකට අහුවෙච්චි වේදනාව මතක් උන නිසා නේද ?????

    ReplyDelete
  4. චූටි මහත්තයාගේ නැන්දලා වහ කන්න ඇති මයෙ හිතේ...

    බොරු කියන්නේ නෑ කිය කිය බොරු කියන හැටි...!

    ReplyDelete
  5. යකෝ ඔය කැවිලි ඔක්කොටම වැඩිය නෙක්ටෝ කෝප්පෙ රස තමයි. මාත් අත්දැකීමෙන් කියන්නෙ.
    ඔය සිදුවීමෙන් පසු චූටි මහත්තයාට කැවිලි වර්ග කෑම තහනම් උනාලු.

    ReplyDelete
  6. අපෝ මේ විදෙස් චිත්‍ර ශිල්පියාගේ විදේශ කුමන්ත්‍රණයක්ද කොහෙද. අහුවෙන්ඩ නරකයි ඕවට.

    ReplyDelete
  7. අනේ ඉතිං චිත්තරයක් කොලේක ඇඳලා ස්කෑන් කොරලා තමයි එවන්ට වෙන්නේ. ඔය චිත්තර අඳීන සොෆ්ට්වෙයාර් කෑලි අපි දන්නේ නෑ නොවැ

    ReplyDelete
  8. “ශා නියමයි.....මේ ගහේ කටු වැඩකරන්නෙ මෝටරේකින්ද සාදු..............”

    හික් හික්!! ලොවෙත් නෑ.

    ReplyDelete
  9. පූසා,
    එහෙම හොඳයි එවන්ඩ

    ReplyDelete
  10. දැන් කටු ඉඹුලේ නැන්දලා, මාමලා නගින චිත්‍රයක් එව්වත් කමක් නැද්ද?...:)

    ReplyDelete
  11. ඇයි විදෙස් සිත්තරා වැකේෂන් ගිහින්ද? චූටි මහත්තයා එයැයිගේ වැඩක් වගේ අපට පංගරාර්තු කොරන්නේ..???

    මං අහන්නේ කලින් කිව්වේ විදෙස් සිත්තරායි මේ සිත්තර අඳින්නේ කියලා... දැන් කියනව එයැයිට අද අඳින්න බැරිලු...

    බොරු කිවිල්ල නවත්තලා නෑ ඔය කිව්වට...

    ReplyDelete
  12. Podi Kumarihami දැන් කටු ඉඹුලේ නැන්දලා, මාමලා නගින චිත්‍රයක් ඇඳලා නිකන් සයිබර්යායටත් කොටු දම්මන්නද හදන්නේ... අනික කට්ටිය මත විමසුමකුත් පටන් ගනීවි... අපි දන්නේ නෑ ඕං.... :D

    ReplyDelete
  13. බුද්ධි කටු ඉඹුලේ නැගපු හැටි - දේශීය සිත්තරෙකුගේ තෙලි තුඬෙන් මෙන්න.

    බුද්ධි කටු ඉඹුලේ නැගපු හැටි

    Click the link above.

    ReplyDelete
  14. අපිනම් දන්නේ නෑ සිත්තර අඳින්න.... :)

    ReplyDelete
  15. “තාම රිපෝට් කාඩ් දුන්නැ....................ඒක මගේ බෑග් එකේ....” සම්‍යක් ප්‍රයෝග...
    කතන්දරගෙ චිත්‍රය හරිම ලස්සනයි...

    ReplyDelete
  16. @කතන්දර,

    ඔයාගේ චිත්‍රය හරිම ලස්සනයි. ඔයාම ඇඳපු එකක් වෙන්ට ඇතිනේ. අඳින වැඩේ නවත්තන්ට එපා. දිගටම අඳින්ට...:D:D:D

    ReplyDelete
  17. කුමාරිහාමි නැන්දේ,
    මම කුමාරිහාමි නැන්දට නැන්දා නැන්දා කිව්වෙ වැඩිහිටියටන්ට‍ කරන ගවුරවයක් විදිහට.

    කෙහෙල්කොටුවේ චූටිමහත්තයා වන මට තාම අවුරුදු 10/12 විතර තමා. (http://cyberyaya.blogspot.com/2011/07/blog-post.html)

    අනිත් කාරණාව මම ගැල්ලමයිට කතා කරන්න දන්නැ කියන එක. ඇයි එහෙම කිව්වෙ? මොනා උනත් නැන්දගෙ හිත නරක්වෙයි කියලා මම මං දාපු කොමෙන්ට් එක මැකුවා.

    ReplyDelete
  18. මම චිත්‍රයක් ඇන්දා. ඒක රැඟුම් පාලක මණ්ඩලෙන් තහනම් කරලා

    ReplyDelete
  19. මකරා මාමේ,
    රැගුම් පාලක මණ්ඩලෙන් තහනම් කරන්ඩ ඔයා නටන එකක් ද ඇන්දේ? හයියෝ කියන දෙයක් තේරෙන්නැති හැටි මේ ගොල්ලන්ට.

    අර එක නැන්දා කෙනෙකුත් ආපු ගමන් තරහ වෙලා කියන දේ ‍තේරිලා නැතුව. දැං මෙයා!!

    මට නං තේරුම් කරලා පණ ගිහිං තියෙන්නෙ. දැං ඉතිං තව එකක් ඇඳලා කෙලින්ම එවන්ඩ. මං පාලක මණ්ඩල වලට දාන වැඩ කරගන්නම්.

    ReplyDelete
  20. මෙන්න ඇන්දා

    https://plus.google.com/104988412869466852443/posts/UbVrKRhF2iz

    කලින් එකේ කොට කලිසම නැති හින්දලු තහනම් වුණේ

    ReplyDelete
  21. උදේ කතාව බැලුව, දැන් ආයෙම ඇවිත් සිත්තරත් බැළුව, විදෙස් චිත්‍ර ශිල්පියට හිතෙනව ඇති නිවාඩු කැන්සල් කරගෙන එන්න, මේ සිත්තර දකිද්දි,

    හැම කෙනාගෙම හිතගත් කොටස බුද්ඪ්Hඉ කටුඉඹුලෙ නගින හැටි නෙ.

    ReplyDelete
  22. හික් හික්.. මමත් බොරු කියන එක අතෑරලා ගොඩක් කල්.. :D

    ReplyDelete
  23. අනේ පව් නැන්දලගේ මුණු නිකන් කජු ලෙලි වගේ වෙන්න ඇති නේද

    ReplyDelete
  24. අපිට නම් චිත්‍රයක් බලල රස විඳින්න විතරයි පුලුවන්...

    ReplyDelete
  25. මමත් මේ ච්ත්තරේ අදින ගමන් ඇදලා එවන්නම්

    ReplyDelete
  26. ඔන්න මේ අවස්ථාවෙදී පූස මාමත් ලස්සන චිත්‍රයක් අප වෙත යොමු කරලා තියෙනවා. ඇත්තටම දැන් නං තියුණු තරගයක් තමා මේ චිත්‍ර අතර තියෙන්නෙ. ඔව් අපි බලමු තව ඉදිරියට තවත් චිත්‍ර කියක් අපවෙත ලැබෙයිද කියලා...

    (දැං කව්ද ඕගොල්ලන්ට කිව්වෙ තම තමන් කැමති තැංවලට චිත්‍ර දාන්ඩ කියලා. මං කිව්වෙ එක පාර පෙන්නන්ඩ මට එවන්ඩ කියලයි. පුසා මාමා චිත්‍රෙ ටික වෙලාවකට හංගලා තියන්ඩකෝ තරහ නැතුව.)

    ReplyDelete
  27. ඉතාලිඩිලාන් මාමත් චිත්‍රෙ ඇඳලා එව්වම දැනට ඔක්කොම චිත්‍ර එකසිය තිස් පහයි.

    ReplyDelete
  28. ඔබා මාමේ,
    නැන්දලා මාමලගේ දෙබස් ටික වගේ ලස්සන සිත්තරයක් ඇඳලා එවන්ඩකො එහෙනං
    ........................

    ඉන්දි,
    ආ.... එහෙනං කමන්නැ
    ...........

    ඕනෙ මාමා,
    මියා අහුඋන හින්ද නෙමේ. කකුල ලිස්සලා හිරිවැටුන හින්දා.
    ................

    මාලු මාමේ,
    මං මොකද්ද කිව්ව බොරුව. නෙක්ටොනේ රසම.
    .............

    ප්‍රසා මාමා,
    අන්න මං වගේ කෑම බීම වල නියම රහ දන්න මාමා කෙනෙක්. කෝ සිත්තරේ තාම ආවේ නෑනෙ.
    ...............

    පිණිබිදු නැන්දේ,
    කුමන්ත්‍රණයක් නෙමේ අනේ. සිත්තරයක් ඇදලා එවන්ඩ අර ඕගොල්ලන්ගේ යාලුවො වගේ මේකප් දාගෙන ඉන්න විදිහට ඇන්දත් කමක් නෑ.
    ...............

    පුසා මාමානං සොයි සිත්තරයක් ඇදලා එවලා තියෙනවා හොද ළමයා.
    ...........

    ගඩොල් මාමේ,
    ඇත්තට එහෙමද දන්නැ නේද?
    ............

    කුෂ් මාමා,
    නෑ! මාමට පැටලිලා. චුටිමහත්තයගේ කතාවලට සිත්තර අඳින්නෙ මමමයි. අර කුරුලු හමුදා කතායි, ටිකිරි කතායි ලියන්නෙ මම නෙමයිනේ .ඒගොල්ලංගෙ සිත්තර අඳින්නෙ විදෙස් සිත්තරා

    ReplyDelete
  29. කතන්දර මාමේ,
    පොඩ්ඩක් ඉන්ඩ ඒක බලන්න මම ටෝච් එකක් අරං එනකං
    ............................

    හසී නැන්දෙ,
    කෝලං නොකර සිත්තරයක් ඇඳලා එවන්ඩ. ඉස්සෙල්ලා හිතන්ඩ. පස්සෙ ඒක සුටුස් ගාලා කොලේකට ගන්ඩ. එවන්ඩ.
    ..................

    ගීතික මාමේ,
    බොරු නොකියා ඉන්ඩ. ඉතිං ඔයත් කතන්දරගේ වගේ සිත්තරයක් ඇදල එවන්ඩකො.
    ...........

    චේජනා නැන්දා දැක්ක කල්. අනේ පොඩ්ඩක් වත් වෙනස් වෙලානෑ. ප්‍රොෆයිල් පින්තුරේ නං එදා වගේමයි අප්පා. නැන්දත් සකුරා ගහක් යටට වෙලා සිත්තරයක් ඇදලා එවන්ඩකො.
    ......................

    ළමයා,
    ඒ බව පේනවා.
    ...........

    බින්දි නැන්දේ,
    අන්න වචනේ. කජු ලෙලි. ඇදලා එවන්ඩකෝ කජු ලෙලි මුණවල් ටිකක්.
    .................

    ReplyDelete
  30. කතාව නං ගොඩක් රසවින්දා. කලිනුත් ඇවිල්ල කියෙව්වට අද තමා කමෙන්ට් කලේ. අනේ මට නං චිත්‍ර බැහැ. පුළුවන් දෙන්නෙක් ගැන කියන්නන්. ඒගොල්ලන්ට කියල අන්දවගන්න. එක්කෙනෙක් බින්දි. අනෙක් එක්කෙනා අසංක ආසිරි මල්ලි.

    ReplyDelete
  31. චිත්‍රය ඇන්දෙ කැන්වස් එකක එවන්න ක්‍රමයක් දන්නෙ නෑ. අනෙක අර ඔබා කිව්ව වගේ ප්‍රදර්ශනයකටද කවුද දන්නෙ එක්කහු කරන්නෙ.

    ReplyDelete
  32. පොත්ගුල්ලා මාමා,
    පළවෙනි පාරට දාපු කමෙන්‍ට් එකටයි, ඔත්තුවටයි දෙකමට ස්තුතියි. සිත්තරේකුත් එවන්ඩ. සින්දු කියන හැමෝටම සින්දු ගායනා කරන්ඩ බෑනේ. ඒ උනාට සිත්තර අදින්ඩ පුලුවන් හැමෝටම
    ..............

    එලියෙ මාමේ, සිත්තරේ පොටෝ එකක් ගහලා ඒක එවන්ඩකෝ..... මේ සතියෙ ‍හොඳම සිත්තර තෝරලා තරගයක් තියලා තෑගි දිලා එක කෝලමක් කරන්නයි හිතාගෙන ඉන්නෙ

    ReplyDelete
  33. මට සිත්තට අඳින්න බෑනේ චූටී මහත්තයෝ. ඔන්න අඳින කෙනෙක් ඇදපුවාදෙන්.

    කවුද දන්නේ නෑනේ නෙක්ටෝ හැදුවේ !!!!

    ReplyDelete
  34. ඇහ් චූටි මහත්තයෝ මාත් ඇදලා එවන්නෙයි ඇහැක් විදිහට කනක්........ :)

    ඉන්ට බලන්න ටයි එකක් දාලා..... හික්ස්....

    ReplyDelete
  35. මේ චූටි මහත්තයෝ, පටන් ගත්තද ඇඩ් දාන්න?

    මේ නෙක්ටෝ ඇඩ් එක ප්‍රචාරය කලේ මුදල් ගෙවාද නොගෙවාද? :D

    බොරු එහෙම කියන්න එපා හරිද? ඇඳුන් නැතුං අර ගහේ නග්ගයි ඕන්.......... අපි නං නැ ඕන්.............

    ReplyDelete
  36. අපෝ මෙන්න මෙයා බ්ලොග් එකක් ලියල! මමනම් ආයෙ මේකෙන් පස්සෙ මේ බ්ලොග් එක කියවන්නැතුව ඉන්ඩයි තීරණේ කරල තිබුණෙ. මොකද මෙයා දැං දැං ලියන්නෙ කොට......ම කොට......චිත්‍ර නැතී......ම නැති, පොඩි ළමයින්ට හොඳ......ම නැති එව්වනෙ :D

    ReplyDelete
  37. ආයිත් නම් ඔයා ඉන්න තැනක නෙක්ටො බෝතලයක් තියන්න නැතිව ඇති මා හිතේ..

    ReplyDelete
  38. සාමාන්නයෙන් නෙට්ටෝ බීපුවම ඇත්තටම කනෙං දුං යනවද කොලුවෝ...
    හැබැයි මේකා බොරු නොකියන හින්දා ඇත්ත වෙන්නත් ඇති..

    ඕං බලි කුරුට්ටක් එවා ඇත.

    ReplyDelete
  39. @ Buratheno

    හිතාගන්නත් බැහැ මේ වාගේ මනාපයක් මගේ චිත්‍රෙට ලැබුණ එක . බොහොම, බොහොම, බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
  40. බුද්ධි දන්නවනේ මම කොච්චර අමාරුවෙන්ද චිත්‍රෙ එව්වේ කියල, මම ඔන්න කාටවත් බලපෑම් කලේ නැහැ හොඳේ.

    ReplyDelete
  41. නීතා නැන්දා,
    කලබොලවෙච්ච පාර එහා පෝස්ට් එකට දාන්ඩ ඕනැ කොමෙන්ට් මේකට දාලාද මන්දා, ඔහොම ගියොත් නං වැඩේ අලවෙයි නීතා නැන්දේ......

    ReplyDelete
  42. ආයෙත් නීතා නැන්දට,
    අනේ එකේ වගක් මම නොදන්වැයි නැන්දේ

    ReplyDelete
  43. @ බුද්ධි,

    මේ වගේ මනාපයක් කිව්වේ බූරතීනො මහත්තයා මට මනාප තුනක්ම දුන්න නිසානේ.

    ReplyDelete
  44. @ බුද්ධි,

    කමෙන්ට්ස් ටික දාන්න එපෝ මොකක්ද අවුලක් වෙලා.

    ReplyDelete
  45. අරක තමා අවුල.......

    ReplyDelete
  46. ඕං අද තමයි කියවන්ඩ ගත්තෙ පරණ කතා. මේක පළවෙනි එකද චූටි මහත්තයගෙ කතා වල? මට හිතෙන්නෙ එහෙම නෙමේද කොහෙද.

    ලිවිල්ලනම් උපරිමයි.. මම හරි ආසයි මේ ලිවිල්ලට.. මම මුලින්ම මේ ජාතියෙ ලිවිල්ලක් දැක්කෙ චන්ද්‍රා අනගිරත්න මහත්තයා පරිවර්තනය කරපු ටොම් සෝයර් පොතේ.. ඒකත් ටිකක් මේ වගේ..

    අනිත් එක මේ කතා හරිම ශෝක් ස්ට්‍රෙස් රිලීස් කරගන්ඩ.. හැමදේම අමතක වෙනවා කියවනකොට.

    හිමීට කියවන් එන්නම්..

    ReplyDelete
  47. සෙන්නා,
    මේ පාර මුලට ගිහිල්ලා එන්න

    http://cyberyaya.blogspot.com/search/label/%E0%B6%A0%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...