ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/03/31

සපත්තුවෙන් ඇට බලමු ! | සයිබර් සැණකෙලියට යන කාටත්...

එක එක මිනිස්සු, එක එක දේවල්, එක එක විදිහට කරන්න, එක එක ක්‍රම වගේම, එක එක උපකරණත් පාවිච්චි කරති. එක දෙයක් කරන්න එක එක විධි ගොඩක් ඇති නිසාම සමහරු එක විදිහකට කරන දේවල් තවත් සමහරු තවත් විදිහකට කරති.

සමහරු වාහන එලවන්නෙ එක විදිහකටය. සමහරු වෙන විදිහකටය. සමහරු රෙදි අඳින්නෙ එක අරමුණක් හින්දාය. සමහරු අඳින විදිහ දැක්කම ඒගොල්ලංගේ අරමුණ ගැන එක විදිහක අදහසක් අපට ගන්න පුලුවන්ය.

එක එක කාලයට වැදගත් එක එක මාර්තුකා තිබුනත් මේ කාලයට මෙම මාර්තුකාව වැදගත් යැයි මම හිතමි. හේතුව වන්නේ මේ ඉරිදා අපේ අයියලාගේ යාලුවෝ පවත්වන්නට යෙදෙන සයිබර් අවුරුදු උත්සවේ ය. ඒකට එන කාටත් මම මේ කියලා දෙන උපදෙස් පිළිපැද්දොත් කිරිටොයියා සේ දිලිසෙන්න ආහැකිය. විශේෂයෙන්ම සිහින කුමරු කුමරියො වෙන්න ඉන්න අයටනං මේකෙ වැදගත්කම කියලා නිම කරනන් බැරිය.

ඇරත් අපි කව්රුත් පිළිවෙලට ඉන්න කැමති අය විදිහට මම අද කියලා දෙන දේ ගොඩක් වැදගත් වේවි යයි ද සිතමි.

ඊට කලින් මට හොඳවයින් දෙකක් කියන්න තිබේ. එක එක දේවල් කියලා කාලේ කනවායැයි නොහිතා මේ ටිකත් කියෝලම ඉන්නවනං මම සතුටුය.

මම එකටම ලිව්වෙ ඌරන්ට මොන සෞඛයද කියන ලියුමයි. ඒ අයියාගේ මේසෙ අදිද්දි අහුවෙච්ච තොරතුරු ඔස්සේය.

ඒකට එක එක විදිහේ ප්‍රතිචාර ගොඩක් ආවේය. මැගසීන් එකත් උණුකැවුම් මෙන් ගියේය. මුලින් මම එහි පිටපත්, එක එක ඇටෑච් කර යැව්ව අතර, මැගසීනය ඉල්ලන එක එක කට්ටිය වැඩි වූ තැන ඔක්කොම එකතු කර එකට යැව්වෙමි.

සමහරු ඒක “ලැබුනාය, ලැබුනාය” කියලා එක එක විදිහට ලියලා, ස්තුති මේල් එව්ව අතර සමහරු ඒවා අරං නිකං සිටියෝය.

එක එක අයගේ හැටි එහෙම තමාය.

කැත වැඩේ කියන්නෙ ඒක නෙමේය.

එක එක කට්ටිය හොරාට ඊමේල් එවා මැගසින් එක ගෙන්නා ගත්තට මොකද, අඩුම ගානේ ඒ ලියුමට කමෙන්ට් එකක් නොදා යෑමයි. ඒත් මම කොහොමහරි ඒකට ලැබුනු එක එක කමෙන්ට් එක්කහු කරලා යාන්තං 33 ක් හදා ගත්තේය.

මැගසින් එක ගත්තු එක්කෙනෙක් එක ගානේ කමෙන්ට් කලානං අද ඒක‍ට කමෙන්ට් එකසීයක් ලැබෙන්න තිබ්බාය. එහෙම උනානං මම අද සයිබර් යායේ, කොමෙන්ට් වැඩිම පෝස්ට් ලිව්ව කෙනා ගෙන් ඉදිරියෙන්ම ඉන්න තිබුනේය. අර “මගේ මීයා සිප් එකට අහුවෙච්ච දවස” ගැන කෙහෙල් කොටුවේ චූටි මහත්තය ලිව්ව ලියුම උනත් මගේ ලියුමට කැලේය. එහෙනං බුද්ධි අයියගෙ කුරුලු හමුදා කතා ගැන මොන කතාද?

හරි! දැං ඒවා පරණ කතාය. පම්පෝරියත් ඇතිය.

අද මම කියලා දෙන්න යන්නේ හරිහමං විදිහට සපත්තුවක් පොලිස් කරන විදිහයි. මේක කරන එක එක ක්‍රම ගොඩක් තිබ්බත් මම කියලා දෙන්නේ විශේෂ විදිහකි. මම කියන විදිහට හරියට වැඩේ කලොත්, තමන්ගෙ සපත්තුවෙන් ම, කණ්නාඩියකින් බලනවා වගේ ඇට දෙක වුවත් බලාගන්න පුලුවන් තරමට දිස්නෙ දෙන්න සපත්තුව පොලිස් කර ගත හැකි වේ.

ඔන්න එහෙනං දැං එක හිතකින් කාරණාවට බහින්නම්.

මේ රහස් වට්ටෝරුව මම ඉස්සුවේ අයියාගෙනි. අයියා කුරුලු හමුදාවේ ඉන්න කාලේ ඉගෙන ගත්තු එක එක දේවල් දැන්ද කරයි. ටෝ එකක් වෙනම හයි කර ඇති ඕනැම සපත්තුවක වටේ කිරිටොයියා වගේ දිස්නෙ දෙන්නත්, ටෝ එක කණ්නාඩිය වගේ දිස්නෙ එන්නත් සපත්තු පොලිෂ් කිරීම අයියාටනං කජු කනවා වගේ වැඩකි.

මෙම ලියුම ලිවීමේ මගේ අරමුණ එදා වගේම අයියාගෙන් උස්සන ඒ වගේ එක එක දේවල් ඕගොල්ලන්ට කියා දීමයි.

දැන් අපි එය කරන නිවැරදි ක්‍රමය ඉගෙන ගනිමු.

.......................

අවශ්‍ය ද්‍රව්‍ය

01. ඕනෑම වර්ගයක ටෝ එක ඇති සපත්තු කුට්ටං එකක්.

02. පිරිසිදු රෙදි කැබලි එකක්

03. පොලිස් බුරුසු එකක්

04. පොලිස් ටින් එකක්

05. ඉරක්

06. ඉටිපන්දම් එකක්

07. දඹර ඇගිලි එකක්

08. H2O කෝප්ප එකක්

09. අවශ්‍ය ප්‍රමාණයට පුලුන්

10. තමන් කැමති ගායකයෙකුගේ සින්දු සීඩී එකක්

11. කඩේ යැවිය හැකි තරමේ කොලු ගැටයෙක්

12. බුල්ටෝ එකක්

සාදන පිලිවෙල

එක එක එක්කෙනා මෙය කරන එක එක ක්‍රම තිබුනත් මම අද කියන්නෙ අපේ අයියා ඉගෙනගත් කුරුලු හමුදාවේ සම්මත ක්‍රමය වේ. ඒක නිසා එක එක එක්කෙනා කියන එක එක බොරු කතා වලට‍ නොරැවටී නියමිත ක්‍රමය අනුගමනය කිරීම වටී.

මුලින්ම සපත්තුවේ ටෝ එක හොයා ගන්න. එය සපත්තුවේ ඉදිරිකොටසයි. එය සපත්තුව මසා ඇති සමට වෙනස් විදිහේ දිස්නෙ දෙන දෙයකින් කර ඉස්සරහින් ඇත. (පහත රූපය බලන්න මමමයි ඇන්දෙ)

මේ ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැත. සමහරුන්ගේ ටෝ එකත් අනිත් කොටසුත් ඔක්කොම එක පාටය. හරියට ටෝ එක නැති සපත්තුවක් වගේය. එහෙත් ටෝ එකක් ඇති සපත්තුවක් හරි හමන් විදිහට පොලිස් කලාම පෙනුම සෑහෙන්න වැඩි වෙයි.

දැං ඔබටද මෙම ක්‍රමය අනුගමනය කර සපත්තුවේ පෙනුම සෑහෙන්න වැඩි කර ගන්න පුලුවන් වේවි.

හරි දැන් මුලින්ම රෙදි කැබැල්ල ගෙන සපත්තුවේ දූවිලි කුණු මඩ පැල්ලං, චුයිංගම් ගුලි ඉවත් කරන්න.

ක්ෂණික දිස්නය ලබා ගැනීමට එක එක ලික්විඩ් බෝතල් අතුල්ලා, මේස් එක අතේ දමා ටෝ එකෙ උලා,පොල් තෙල් දමා හෝ කෙල දමා ඇගිල්ලෙන් ඇතිල්ලීම් වැනි ගොඩ වෙදකම් කර තිබේනම් මේවන විට ඔබේ සපත්තුවෙ ටෝ එකත් කුණු වී තිබීමට පුලුවන. ඒ නිසා පළමුව එවා හොදින් පිරිසිදු කරගන්න.

දැන් පොලිස් බුරුසුව ගෙන එක එක සපත්තුව හොදින් අතුල්ලන්න.

මේ අතරතුර කොලු ගැටයා අමතා මුලින් ඔබ තොරා ඇති ගීත තැටිය ඔහු ලවා තැටි වාදන යන්ත්‍රයට දමා වාදනය වීමට සලස්වන්න. එයට සවන් දෙමින් සපත්තුව ඇතිල්ලීමෙන් මැණික්කටුවේ හා බාහුවේ පැන නගින වේදනාව යටපත් වේවී.

දැන් බුල්ටෝ එක ගෙන කොලුවාට දෙන්න. එය කනවිට කොලුවාගේ උඩුතල්ලෙ ඇලුනු පසු ඔහු එය ගලවන්නට උත්සහ කිරීමේ දී ඔහු ලවා ඉදිරි වැඩ කටයුතු පහසුවෙන් කරගැනීමට හැකිවේවී. ඔහුට කඩේ යන බවද අමතක වී යාවි.

ඉන්පසුව පොලිස් බුරුසුව ගෙන පොලිස් ටින් එකට දමා උඩ සිට පහලට අතුල්ලන්න. දැං එහි වැදුනු පොලිස් සපත්තුවේ අතුල්ලන්න. ඒ ආකාරයට ටෝ එක හැර මුලු සපත්තුවේම පොලිස් ගාන්න.

දැන් මුලින් කී දඹර ඇගිල්ල ගෙන පොලිස් ටින් එකෙන් සෑහෙන ප්රමාණයක් එයට ගන්න. දැං ටෝ එකේ පිළිවෙලකට එම පොලිස් ටික තවරන්න. එය පාං පෙත්තකට ගෑ මාගරිං තට්ටුවක ප්‍රමාණයට ගෑම හොදටම සෑහේ.

ටෝ එකේ සම්පුර්ණයෙන්ම වාගේ පොලිස් තට්ටුවෙන් වැසී ඇතිබවට ප්‍රත්‍යක්ෂ වූ පසු එය පැත්කින් තබා මුලින් කී දඔර ඇගිල්ලේ ඇති පොලිස්, එක එක තැන්වල නොගා රෙදි කැබැල්ලෙන් පිස දා ගන්න.

දැං මුලින් කී "ඉර" යට මද වේලාවක් තබන්න. "ර එළිය" වැදී පොලිස් ටික රත් වී ඇතිබව පෙනේනම් නැවත අර කොලුවාට කියා එය ගෙන්වා ගන්න.

දැන් ටෝ එක ඇර අනිත් ටික කිරි ටොයියා සේ දිලිසෙන තෙක් හොදින් පොලිස් බුරුසුවෙන් ‍පොලිස් කරන්න. පොලිස් හොඳින් රත්වී ඇති නිසා බුරුසුවෙන් ඇතිල්ලීම මගින් හොඳ දිස්නයක් ලැබේවි. එපමණක් නොව සපත්තුවේ ඇති නූල්වලට පොලිස් උරාගන්නා නිසා සපත්තුවට අමතර සවිසක්තියක් ද ලැබේ.

ඔන්න දැං එක එක වැඩ නොකර හොඳට අහගැනීම වැදගත්ය. දැං කියලා දෙන්නෙ හොඳම හරියයි.

දැන් ඉටිපන්දම පත්තුකර ගන්න. රූපයේ පෙනෙන පරිදි නුහුරු අතට සපත්තුව දමා ඉටිපන්දම අනිත් අතට ගෙන දැල්ල ටෝ එකට අල්ලන්න. එවිට පොලිස් තට්ටුව උණුවේවි. දැල්ලට ඉක්මනින් එහා මෙහා කරමින් අල්ලන විට එක එක තැන් එක එක විදිහට නැතුව මුලු ටෝ එකේම පොලිස් ටික සමානව උණු වේවි. (පහත රූපය බලන්න ඒකත් මමයි ඇන්දෙ)

දැන් පොලිස් ටින් එකේ පියනට මුලින් කී H2O කෝප්පයෙන් ටිකක් දමන්න. පුලුන් කැබැල්ලක් ගෙන එය පොවා ටෝ එක උඩ මද වේලාවක් මෘදුව හා ඒකාකාරී වේගයෙන් දක්ෂිණාවර්තව කරකවන්න. (පහත රූපය බලන්න ඒක ඇන්දෙ කව්ද කියලා දැං අමුතුවෙන් කියන්න ඹ්න්නැනේ)

සුලු වේලාවක් කරකවන විට උණුවූ පොලිස් අතරින් දිස්නයක් මතුවෙනු ඔබට දැකගත හැකියි. දැන් එය මුලික ලක්ෂය කරගෙන පුලුන් කැබැල්ල ඒ වටා ක්‍රමයෙන් විශාල වන සේ විනාඩියක් දෙකක් පමණ වේලාවක් කරකවන්න.

එවිට ඔබවත් පුදුම කරවමින් ක්‍රමක්‍රමයෙන් මුලු ටෝ පුරාම දිස්නය පැතිරේවි.

ඉතිං ලික්විඩ් බෝතල්, මේස් අතුල්ලා හෝ පොල් තෙල් හා කෙල වලින් ලබාගන්නා තාවකාලික දීප්තියට වඩා බොහෝ කාලයක් මෙ​ම දීප්තිය අල්ලා හිටිනවා සිකුරුයි!

ඔන්න හොඳම හරිය කරන්න තියෙන්නෙ මේ වේලාවෙයි!

දැන් ඔබේ ඇට දෙක දිස්නය දෙන ටෝ එකට අල්ලා බලන්න. ඔබ නිවැරදි පියවර අනුගමනය කර ඇතිනම් ඇට දෙකේ ප්‍රතිබිම්බය කණ්නාඩියකින් බලන්නා සේ ඔබට පෙනෙනවා ඒකාන්තය. ඉතිං ඒ පුංචි ඇට දෙක පේනවානම් ආයෙ දිස්නය ගැන වෙන මොන කතාවක්වත් ඕනෑ කියා මම හිතන්නෙ නැත.

මම කියන්නෙ බොරුයි කියලා හිතෙනවානම් පමණක් මීට පෙර කුරුලු හමුදාවේ හිටි කෙනෙක්ගෙන් මුලින් අසා සැකය දුරු කරගත්තාට මට කමක් නැත.

මොකද ඒ වගේ මිනිස්සු ඕනැ තරං ඇට දෙක පේන තරමට සපත්තුවේ දිස්නය මතුකර ගෙන ඇති බව සහතිකයි. අපේ අයියාද මේ ක්‍රමය ඉගෙන ගෙන ඇත්තෙ හොඳවයින් පනිස්මන්ට් කෑමෙන් බව ඔහුගේ කතාවලින් මට තේරී ගොස් ඇත. අයියලාට පුහුණු කරන අය කියන්නෙ "උඔලාගෙ බූට්ස් වලින් ඇට දෙක පේන්න පොලිස් වෙලා තියෙන්න ඕනැ" කියලලුය.

කොහොම හරි මේ ගැන අසා දැනගන්නවානම් මම නිර්දේශ කරන්නේ කපීර් නානා, කේන්දර ගුරුන්නාන්සේ, කෑමබන්දු කුමාරස්සාමී යන එක එක නම් වලින් හදුන්වන අපේ මාර මහතාවයි. සැක ඇත්නම් වැඩිදුර තොරතුරු අසාගෙන මේ පිළිබද සත්‍ය තාවය තහවුරු කරගන්න.

නැත්තං මා අමතන්න.

එහෙමත් නැත්තං ලබන ඉරිදා සපත්තුත් අරං සයිබර් අවුරුදු උස්සවේට එන්න. එහෙදි කියලා දීමට මට හැකිවේවි. හැබැයි ඇට දෙක ගෙදර තියලා එන්න එපා. එහෙම උනොත් ඔබේ සපත්තුවේ දිස්නය චෙක් කරගැනීමට ඔබට අපහසු වේවි.

මේ ක්‍රමය අත්දුටුය. ප්‍රත්‍යක්ෂය. අය වැඩි වී වැය අඩුවේ. රැකියා ස්ථානයේ ආකර්ෂය වැඩිවේ. උසස් වීම් ලැබේ. හැර ගිය පෙම්වතිය නැවත පැමිණේ. එක්වරක් කිරීමෙන් බොහෝ කාලයක් ගුණ ලැබේ.

මා කියූ දෙයක් වැරදිලා නැත. හරිගිය පසු මුදල් ගෙවන්න!

නැවත දවසක හමුවෙමු.

ඔබේ අදහස් යෝජනා, චෝදනා, ගැටලු, ගල්මුල්, සිමෙන්ති ඹ්නැ දෙයක් එක එක තැන නොතබා පහත කොටුවේ තබා යන්න.

මීට,

ටිකිරි

....................

ආනේ....එක දෙයක් කියන්න බැරි වූ බව පෙනේ.

අර අවශ්‍ය ද්‍රව්‍ය වලට ඇට දෙකක් කියලත් දා ගත යුතුය. කුරුලු හමුදාවේ දිස්නය චෙක් කරන ඇට වර්ගය කුමක්දැයි මටත් තාම හරි අවබෝධක් නැති නිසා මම ද ඒකට භාවිතා කරන්නෙ කුස්සියේ ඇති කඩල, මුං ඇට, කව්පි, වැනි පුංචි පුංචි ඇට වර්ගයි. ඔබටද එවැනි ඇට දෙක තුනක් ගෙන දිස්නය චෙක් කරගත හැකි බව සහතිකය.

2011/03/15

ශ්‍රියාලතාගෙ මැහුම් පෙට්ටිය සහ ඥාණතිස්සගේ පොත්මල්ලෙ රහස | සිත්තරෙත් එක්කම

මම එකපාර නැගිටින්න හැදුවා. මොන නැගිටිල්ලක්ද! මගේ හිරිවැටිල්ල තද සැරේටම දැනෙන්න ගත්තා. ඒ අස්සේ මගේ ඉස්සරහ තිබුනු හැමදෙයක්ම නමය ගානෙ පෙනෙන්න ගත්තා.

කොහොමහරි මම ඔලුව ගසලා, ගසලා නමය ගානෙ පේන එක එක ගානෙ පේන්න හදාගෙන වටපිට බැලුවා. ඒ වෙලාව වෙනකොට මුලු පන්තියම නිශ්ශබ්ද වෙලයි තිබුනෙ.

ඉතිං මම හොඳ හුස්මක් ගත්තා.

පස්සෙ මම හීන්සීරුවෙ නැගිට්ටා, "දැං ඉතිං ඔක්කෝම හරිනේ.................." කියලා හිතාගෙනම.

එතකොටයි මට තේරුනේ මේ සිද්දිය මෙතැනින් ඉවර වෙලා නෑ කියලා. මොකද මම දැක්කා හිස් අතින්ම ඥාණතිස්ස කලු ලෑල්ලට මුවා වෙලා ඉන්නවා.

මිනිහා මොනවට හරි බයවෙලයි හිටියේ.

මම වටපිට බැලුවේ ඥාණතිස්ස මොකටද බය උනේ කියලා හොයාගන්න.

එතකොට මම දැක්කා ඒ ළඟම රෙදිකෑලී අතේ තියාගත්තු ගැණු ළමයි දෙන්නෙකක් ජයග්‍රාහී ලීලාවෙන් බලා ඉන්නවා.

කොහොමහරි මේ ඔක්කොම පටන් ගත්තෙ අපි කව්රුත් හිතපුනැති විදිහටයි.

ඔය සිද්ධිය වෙන්න කලින් පීරීයඩ් එකේ තිබුනේ සිංහල.

ඉතිං අපේ බද්‍රා ටීචර් "ලබන සදුදා එනකොට ඔක්කොමලා, “ඉරිදා පොළ” කියන මාතෘකාවට චිත්‍රයක් ඇදගෙන එන්න ඕනේ... ඇහුනද හැමොටම........” කියලා අහපු එකෙන් තමයි ඔය හැම සිද්ධියක්ම පටන්ගත්තෙ.

ඥාණතිස්ස ඇරෙන්න අපි ඔක්කොමලා එකා වගේ “ඕ.........”කිව්වා ඒ වෙලාවෙ.

ඥාණතිස්ස හිටියේ මං ඉන්න පේලියට වම් පැත්තෙ පිටිපස්සේ පේලියේ. එයා ඒ වෙලාවේ බැග් එක ඇරලා එයාට එහාපැත්තෙන් හිටපු ප්‍රදීප්ට ඒක ඇතුල පෙන්න පෙන්නයි හිටියෙ. ප්‍රදීප් බෑක් එක ඇතුලෙ දැක්කා විතරයි එයාගෙ ඇස් දෙක බොත්තං දෙකක් වගේ ලොකු වෙනවා මම බලාගෙන. ඒ එක්කම ඥාණතිස්ස කට පැත්තට දාලා හිනාවෙලා ඔලුව දෙපාරක් වනලා බෑග් එක ඹරුවා.

ඔන්න ඔය වෙලාවෙයි මගේ වම් ඇහැ ගැලවිලා වැටෙන්න වාගේ ආවේ.

ඒ ඹලුව චීටර් දිහා හරෝගෙන වම් ඇහැ විතරක් ඥාණතිස්සගෙ බෑග් එක දිහා හරොගෙන සෑහෙන වෙලාවක් හිටපු හින්දා වෙන්නැති!

ඇත්තට ප්‍රදීප්ට අච්චර පුදුම වෙන්න තරං බෑග් එකේ මොනා තියෙන්න ඇද්ද කියලා මම කල්පනා කලා.

මටනං කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.

මිනිහගේ පොත් බෑග් එක මහ අරුම පුදුම එකක් බව මම පිළිගන්නවා.

ඒකේ ශිප් එකක් තිබුනේ නැ. ඒක කැඩිලා. ඒ හින්දා මිනිහා කරන්නේ තියෙන ලට්ට ලොට්ට ඔක්කොම බැග් එකට දාලා කරපටියෙන් අල්ලලා අඔරවන එක. එතකොට සොරොව්වක් වැහෙනවා වගේ හීන් සිරුවෙ පටිය ඈඔරිලා බෑග් එක වැහෙනවා. ඒක ඈතුලෙ පොත් දෙක තුනක් තිබුනට මොකද වැඩිපුරම තිබුනේ වෙන වෙන ලට්ට ලොට්ටනෙ.

ඔන්න හිස් පීරියඩ් එකක් ආවා.

ඉතිං මේ වෙලාවේ මොන වැඩේටත් වඩා වටින්නේ අපේ ඥාණතිස්සගෙ බෑග් එකේ රහස හොයාගන්න එක හින්දා මම ඒකට ක්‍රමයක් හිතුවා.

“ප්‍රදීප්.........” මම ඥාණතිස්සගේ බෑග් එකේ රහස ඇස්දෙකට දැක්ක එකම මනුස්සයට කතා කලා.

“මේ පීරියඩ් එකේ ඹයා මොනාද කරන්න යන්නෙ......?”

“ඇයි... මුකුත් නැ.....මේක හිස් නේද?”

“මා ගාව පොඩි බඩුවක් තියෙනවා මේ.......”

“ශා..... තුල් මාරු කරන පැන්සලක්, කොහෙන්ද මේ.......”

“ආ...... ඕන්නං මෙතන ඉදං මේකෙන් ලියන්න.!” මිනිහගේ ඇස් දිලිසුනා. මං දැනගත්තා වැඩේ හරි විත්තිය. මිනිහා පැන්සල අල්ලගත්තෙ අත්දෙකෙන්මයි. පස්සෙ දුවලා ගිහිං පොතක් අරගෙන ඇවිල්ලා මගේ ඩෙස් එකෙ ඉදං කුරුටු ගාන්න ගත්තා.

මම ගිහිං ඥාණතිස්ස ගාව වාඩි උනා.

“ඇයි...........”

“ඹයා දන්නවද "පොක්" අදින්න....”

“අඳින්න දන්නැ...... ඒත් තාත්තාත් එක්ක බතල විකුණන්න පොලේ යනවා හුක් ඉරිදවල් වලට” මිනිහා කට උල්කරලා මහ උජාරුවෙන් කිව්වා.

මිනිහා කියන්නෙ ඇත්ත. මිනිහා ඉස්කෝලෙ වැඩ වලට නං පොඩ්ඩක්වත් දක්ෂ නෑ අත්වැඩවලට ඇරෙන්න. ඇරත් මිනිහට ගෙදර කව්රුත් ඉන්න එකකයැ එවා අහගන්න.

“මම පොලේ ගිහිං නැති හින්දා මට චිත්‍රෙඳින්න තේරෙන්නැනෙ... ඒක හින්දා මට කියලා දෙනවද පොලේ විස්තර.........”

අපෝ මං කියන්නං,

මිනිහා වටපිට බලලා හිමිට, ඒත් දත්මිටි කාගෙන මෙහෙම කියන්න තියාගත්තා,

“අනේ මහත්තයෝ....පොඩිඑකා පාං එපා කියනවා, තාත්තෙ......... මට බතල ඕනැ කියනවා, පොඩි එකා බතල ඕනැ කියනවා, ගන්න මහත්තයෝ කිලෝ එකම රුපියා පහලොවයි, රුපියා පහලොවයි, අන්න එහෙමයි තාත්තා මාව පෙන්නා‍ පෙන්නා පොලෙදී කෑ ගගහ බතල විකුණන්නේ.....”

“එතකොට පොලේ අනිත් මිනිස්සුත් ඔයාලගෙ තාත්තා වගේ කෑ ගහනවද?”

“නැත්තං! කටවහං හිටියොත් හිටියම තමා”

“අනිත් අය මොනා කියලද කෑ ගහන්නේ?”

“රත්නෙ මාම කෑ ගහන්නෙ මෙහෙමයි, ‘තව පොඩ්ඩයි සුලු මොහොතයි, බෝංචි ගන්න රුපියල් දහයයි”

“නෑ...............එතකොට හැමෝම කවි සින්දු කියකියද බඩු විකුණන්නෙ...?”

“ගොඩක් අය එහෙම තමා, නැත්තං බෑනේ....... රටකජු විකුණන සිරිල් මාමයි නැන්දයි කෑ ගහන්නේ, "උදෙයි බැද්දේ...... ඒකයි මේ පරක්කු උනේ” කියලා,

“ආ...... ඉතිං හැමදාම ඒගොල්ල පරක්කු වෙනවා ද?

“නැහ්.... ඒ කියන්නෙ බොරු, ඒ ගොල්ල ඒවා අලුත් කියන්නනේ එහෙම කියන්නෙ....ඉතිං රංජි අයියා ල කොච්චර අල ගෝනි තිබ්බත් එයා කෑ ගහන්නේ “තව වාසනාවත්තයෝ දෙන්නටයි, මහත්තයෝ ජෝඩුවම විස්සයි අනේ විස්සයි.........කියලනෙ ”

“නෑ........ ඒ කියන්නෙ එයා අල ගෙඩි ජෝඩුවක් විස්සට ද විකුණන්නේ......”

“හිහ්....ඔයාට පිස්සුද! එයා ජෝඩුවක් කියන්නේ කිලෝ දෙකකටනේ!!”

මිනිහා දෙතුන්පාර ඔහොම කියද්දි මම හිතුවා දැන් තමා රහස ගැන දැන ගන්න නියම වෙලාව කියලා.

මම එකපාරටම මෙහෙම ඇහැව්වා,

“හරි හරි .... මේ බෑග් එකේ මොනාද තියෙන්නේ එතකොට

එක අහපු ගමන් මිනිහා රියන් ටොක්කක් කාපු වස්සෙක් වගේ ගල් ගැහුනා.

“මුකුත් නෑ.....”

“එහෙනං ප්‍රදීප්ට පෙන්නුවේ.... මං බලාගෙනනෙ හිටියෙ.....”

“මුකුත් නැ!” මිනිහා ආයෙත් අහක බලාගෙන කිව්වා.

ඒත් ටිකක් වෙලා කල්පනා කරපු ඥාණතිස්ස ඊලගට මම දිහා බැරෑරුම් විදිහට බැලුවා. පස්සෙ මගේ පැත්තට බර වෙලා ලොකු රහසක් කියන්න වගේ වටපිට බැලුවා.

“හරි ඔයා මටත් “ඉරිදා පොළක්” ඇදලා දෙනවනං මම පෙන්නන්නං. හැබැයි කාටවත් කියන්න බෑ!” මිනිහා ඒ ටික කිව්වෙ රහසින් වගේ.

“අපෝ මං ඇදලා දෙන්නං...” ඒ වෙද්දි අපේ පංතියෙ ඝෝෂාව හොටම වැඩි වෙලා කියලා දැනුනෙ නැති හින්දා මමත් රහසින් ම කිව්වා.

“ඇස්වහගන්නකො......” ඉතිං මම මිනිහා පොත් බෑග් එකට අත දානවා හිතෙන් මවා ගත්තා. ඔන්න දැං අර අරුම පුදුම දේ එලියට ගන්න ඇති. ඔන්න දැං මේසෙන් තියන්න ඇති.

“කෝ හරිද ඥානේ.........”

“පොඩ්ඩක් ඉන්නකො....” කියාගෙන මිනිහා මොකද්දෝ එකක් මිනිහගේ පුටුව උඩින් තිබ්බා.

"හරි අල්ලා බලාලා කියන්ඩකො මොකද්ද මේ කියලා"

“‍මොනවා... මේ කුකුලෙක් නේද.....!”

“පිස්සුද.....”

“එහෙනං.... කුරුලු පැටියෙක්.....!!”

“ටිකක් හරි.... දැං බලන්නකො මොකද්ද කියලා”

මම ඇස් ඇරියා. පුටුව උඩ තිබිලා දැක්ක දෙයින් මම ගැස්සුනා. උගුර කටත් වේලිලා ගියා.

“අම්මො... මේ මොකෙද්ද?”

“බකමූණෙක්!”

“බකමූණෙක්!! බුදු අම්මො මට නං එපා!” මට කෑ ගැහුනා.

“බයවෙන්න එපා..... මූ හරිම අහිංසකයි.... ඔන්න බලන්න” කියලා මෙන්න මිනිහා උගෙ ඔලුව අත ගාන්න ගත්තා.

මම එදාමයි බකමුණෙක් මෙච්චර ලට දැක්කෙ. උගේ මුණ බලන්න බයයි. හිටියෙ නිදිමත වෙච්ච යකෙක් වගේ.

ඇරත් බකමුණංව අරං එනවා යැ ඉස්කෝල වලට. අපිත් සත්තු අරං එනවා තමා ඉස්කෝල වලට. හැබැයි උං සෙල්ලං සත්තු! මෙහෙම පණපිටින් සත්තු ගේන්න පුලුවන් නම් මමත් අපේ "ටුටු" වව ගෙනල්ලා පුටුකකුලේ බැඳලා තියාගන්නවනේ.

“බයවෙන්න එපා මූ හරි හොයි..... ඔයා මූව ටිකක් වෙලා තියාගන්න. හැබැයි ඒ හිලව්වට මට "පොළ"ලා ඕනැ.....” ටිකකින් මිනිහා ආයෙත් දොඩවන්න ගත්තා.

“අපෝ මටනං එපා” කියලා මම ඌව මිනිහගෙ ඇටම තල්ලු කරා.

ඒත් ඥාණතිස්ස කලේ බකමුණව කොහොමහරි මගේ ඇගේ ගහන්න හදපු එකයි! ඒ මිනිහට කො‍හොමහරි මං ලව්වා “ඉරිදා පොළ” ඇගන්න. මිනිහා තවත් මොනාද මොනාද කිය කියා උගේ වරුනේ පෙන්නවා.

පස්සෙ එක පාරටම මිනිහා ඌව මගේ ඇගට අතඇරියෙ නැද්ද!

මම උගෙන් බේරෙන්න මොකද්දෝ කෝලමක් කලා. මොකද්ද කියලා මටත් හරියට නිච්චියක් නැ. මොකද මමත් බයවෙච්ච පාර ඇස් දෙක වහගෙනයි එහෙම කලේ. ඔන්න ඔය අල්ලපනල්ලේ බකමුණා හීන්සිරුවේ අපේ අත්වලින් බේරිලා එහා පැත්තෙ කෑමයි, වතුර බෝතලුයි තියෙන ඩේස් එක උඩට පැන්නා.

“මොකද්ද ඔයා කලේ.... මම කිව්වනේ ඌ වස නෑ කියලා.... දැං කොහොම හරි අල්ල ගන්න” මිනිහා මට රැව්වා.

“මටනං බෑ...”

“බෑ.. නෙමේ උදව් කරනවා... නැත්තං මං තමුසෙට හො පාඩමක් උගන්නවා. මං කොච්චර අමාරුවෙන්ද ඌව අල්ලාගත්තෙ” මිනිහා මගේ කොලර් එකෙන් අල්ලං බෙල්ල තද කලා.

“ඉතිං අර ඉන්නේ අල්ලගන්න එකයි” මම කෑම පෙට්ටි දිහා පෙන්නලා කිව්වා.

ඥාණතිස්ස එක පාරටම කලේ එතෙන්ට පැනපු එකයි. කොච්චර වේගෙන් පැන්නද කියනවනං මිනිහාගේ කකුල් වල වැදිච්චි පුටු එහෙම හැමතැනම විසි වෙලා හරි සද්දයක් ආවා. ඔන්න ඔය වෙලාවෙදී අපේ "බකමුණු රහස" පන්තියටම එලි උනා.

හැබැයි බකමුණා නෙමේ ඥාණතිස්සව තඔ සතේකට මායිං කලේ. ඌ උගේ පාඩුවේ ටිකක් ඉස්සරට ගිහිං පංතිය අස්සෙම පියාඹන්න තියා ගත්තා.

ඒ උනාට මොකද එයා හැම තැනම වැදුනා. එලියට යන්න යද්දිම වගේ දැලේ වැදිලා අයෙත් වැටුනා.

ඒක දැක්ක ගමන් ඥාණතිස්සට මමත් එක්ක යකා යන්න ඇති. මිනිහා අපේ පංතියට ඇහෙන්න මහ හයියෙන් මෙහෙම කෑ ගැහැව්වා.

“පේන්නැද්ද මනුස්සයෝ.... ඌට දවල්ට ඇස් පෙන්නැ.... බලනවා ඌ වැටිච්ච හැටි..”

ඔන්න ඒ වෙලාවෙනං මටත් දුක හිතුනා.

ඊටත් වඩා මේ බකමුණා මෙතැනිං පැනලා ගියොත් ඥාණතිස්සත් එක්ක ගුටිඇණගෙන කෙරෝලක් දකින්න වෙන්නැ! මේවා ඉතිං කතාකරලා විසඳගන්න පුලුවන් ප්‍රශ්ණයැයි!

බකමුණා දිහා බලබල එහෙම හිතද්දි මගේ ඉනෙං පහල පණ නැති වේගෙන වගේ ආවා.

කොරේ පිටට මරේ කියන්නා වගේ අපේ පංතියේ රොෂාන් ජනක කුමාර, "මොකෙද්ද අනේ ඒ අමුතු සතෙක්... !” කිය කියා මගේ පිටට අනින්න ගත්තා.

“පේන්නැද්ද හලෝ..... ඒ බකමුණෙක්නෙ... මෝඩ පස් අහන්නැතුව ඌව අල්ලන්න උදව් කරනවා.....”

ඔන්න ඔහොම අපි දෙන්නාත් බකමුණාව අල්ලන මෙහෙයුමට එකතු උනා. මේ වගේ වගක් දන්නැකි බකමූණා ගිහිං පංතිය මැද තියෙන බාල්කෙ හිටගත්තා.

හරියටම “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” කියලා බාල්කෙ ලියලා තියෙන වාක්‍යයෙ “පි” යන්න කෙලින්. පස්සෙ හෙමීට ඌ “කොතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්” කියන පේලිය ගාවට ඇවිදං ගිහිං “ති” යන්න ගාව හිටගත්තා.

මේ හැම තිස්සෙම අපේ අසරණ ඥාණතිස්ස කලේ ආවේස වෙච්ච කපුරාල කෙනෙක් වගේ බකමූණා යන යන තැනට ඔලුව හරෝ හරෝ උඩ බලාගෙන ඒමේ අතේ ඉබාගාතෙ ගිය එකයි.

දැං මුලු පංතියම පිස්සු හැදිච්ච කඩිගුලක් වගේ ඇවිස්සිලා.

වැඩියෙම ගෑනුළමයි!

ඒගොල්ල කලේ හැමදාම වගේ බොරුවට යටි උගුරෙන් බෙරිහං දීපු එකයි. සමහරු බකමූණගෙන් බේරෙන්න ඒමේ අතේ දිව්වා. ඒත් ඌ රවුමක් ගහලා බිත්තිවල වැදි වැදි ආයෙත් එද්දි ඒ පැත්තට දුවපු ගැණු ළමයි ආපහු හැරිලා දුවන්න ගිහිං පස්සෙන් ආපු අයගේ ඇඟේ එකට වැදිලා වැටුනා. පස්සෙ ඒ දෙගොල්ල බැණගත්තා.

හැබැයි අපිනං එහෙම නෙමෙයි. පොඩ්ඩක්වත් බැණගත්තෙ නෑ. ඔක්කොමලා එකාවගේ එකමුතුවෙලා ආගිය අතේ දුව දුව ඥාණතිස්සට බකමූණා අල්ලන්න උදව් කලා.

දැං නං මෙකේ කෙරෝලක් දකින්න වෙලාව හරි කියලා මම හිතුවා. ඇයි ඉතිං මෙහෙම සද්දෙන් තව ටික වෙලාවක් කෑ ගැහැව්වොත් වෙන දේ අපි කව්රුත් දන්නවනෙ.

දැං කොයිවෙලෙ හරි මූ පහලට ආවොත් අල්ලන එක අල්ලවාමයි කියලා මම මටම පොරොන්දු උනා.

දැං බස්සා කොතනද එතන පිරිමි ළමයි රෑණම! ඒ ව‍ගේම ගැනු ළමයිගෙ හු සද්දෙ... ඒ උනාට අපේ බකුසු හාමිට නං ඒකේ වගේ වගක් තිබුනේ නැ!

ඔන්න ඔය වෙලාවෙයි බකමූණා ගිහිං ඩෙස් එකක් උඩ හිටගත්තෙ. ඉතිං මම වෙලෙම තීරණය කලා එඩිතර පිරිමි ළමයෙක් වගේ බය පැත්තක දාලා ඌව අල්ලනවා කියලා.

ඒත් මට තරු විසි උනේ ඌ හිට‍ගෙන ඉන්න තැන දැක්කමයි. අපේ බකමූණා ඒ වෙලාවේ හිටගෙන හිටියෙ, ඉරට්ටක් වගේ හීනි කොයිවෙලෙත් අපි ගැන කේලං කියන ශ්‍රියාලතාගෙ මැහුම් පෙට්ටිය උඩ.

ශ්‍රියාලතයි, අරුණියි මැහුම් පොත් දිගඇරගෙන මමහ ඉදලයි මේ කලබලෙ දැකලා ඇත්තෙ. මොකද උන්දැලාගෙ අත්වල තාම රෙදි කැලී එල්ලි එල්ලි තියෙනවා මම හොටම දැක්කා.

ඒ උනාට මමත් ඇරියෙ නැ.

මම කලේ හො හුස්මක් අල්ලලා දක්ෂ ක්‍රීඩකයෙක් උඩපන්දුව රැක ගන්න පනිනවා වගේ ඩෙස් එකේ එහා කෙරෝලෙ මැහුම් පෙට්ටිය උඩ ඉන්න බකමුණව අල්ල ගන්න, මෙහා පැත්තෙ ඉදං ඉලක්කෙ අල්ලලා පැනපු එකයි. ආයෙ දෙපාරක් නොහිතම!

මේං මේ වගේ...

පැනපු පැනිල්ල කොච්චර ලොකු එකද්ද කියනවා නම්, මගේ බඩයි, පපුවයි උගුරට ආවා වගෙයි දැනුනෙ.

අරුණිගෙ මල් මහන මැහුම් වලල්ලෙ තියෙන, බුරුල් කරන තද කරන යකඩ මුරිච්චිය මගේ දණිස් පොල්කට්ටෙ ඇනිලා ඒ පැත්තම හිරිවැටුනා. ඇයි එයා හිටියෙ මෙහා පැත්තෙනෙ.

ඒ කෝක වෙතත් මම අතටම අහුවෙච්ච බකමූණාව තද කරලා අල්ලං වේදනාව යටපත් කරගෙන ඌ දිහා බැලුවා.

අවාසනාවක මහත!

බකමූණා නෙමේනෙ මට අහුවෙලා තියෙන්නෙ. ශ්‍රියාලතාගෙ මැහුම් පෙට්ටිය!!!

ඒකෙත් එක පලුවයි. ඉතිං පැත්තක් අහුවෙච්ච මැහුම් පෙට්ටිය කෙලින් වෙලා එකෙ තිබුනු එක එක සයිස් ඉදි කටුයි, තව මොනාද වළලු වගේ ජාතියි, වෙන ලට්ටලොට්ට වගේකුයි ඔක්කොම විසි උනා.

ඒක දැකපු ශ්‍රියාලතාට මොනවා වෙන්නැද්ද කියලා මම දන්නැ!

එයා මාව, “පිස්සුද මන්දා‍ මේ කොල්ලට” කියාගෙන කුණු මාලු කෑල්ලක් වගේ ඩෙස් එකෙන් ඉස්සරහට තල්ලු කලා.

පැත්තට හැරිලා හිටපු මාව හිස් මැහුම් පෙට්ටිය අතේ තියෙද්දිම "දේයි" ගාලා ලේසියෙන්ම බිම පත බෑ උනෙ, ඉස්සරහා පුටු ඇඳි දෙකෙන් එකක් හරි අල්ල ගන්න කලින්.

වැටෙද්දිම මම හිතාගත්තා රිදිල්ල පැත්තක දාලා ඉක්මනට නැගිටින්න.

නැත්තං ශ්‍රියාලතාට, “මේ කොල්ලව මං එක අතිං තල්ලු කරලායි බිම දැම්මෙ” කියලා කතාවක් හදන්න ඒ හැටි වෙලාවක් යන්නැ. ඇරත් පන්තියෙ ළමයි දන්නවා යෑ පිම්ම නිසා මට වෙලා තියෙන සංගෙඩිය.

ඉතිං මම එකපාර නැගිටින්න හැදුවා.

ආන්න එතකොට තමා මට හැමදේම නමය ගානේ පෙනෙන්න අරං තිබුනෙ, අර මුලින්ම කිව්වා වගේ.

ඉතිං ඔය විදිහට බකමූණාව අල්ලගන්න ගත්තු උත්සාහය සම්පූර්ණයෙක්ම වතුරෙ ගියා.

ඒත් පොඩි සහනෙකට තිබුනෙ පංතිය ඔක්කොමලා නිශ්ශබ්ද වෙලා ඔක්කොම හොඳ අතට හැරිලා තිබුනු එක.

ඉතිං මම හීන්සීරුවෙ නැගිට්ටා, "දැං ඉතිං ඔක්කෝම හරිනේ.................." කියලා හිතාගෙනම. ඒත් ඒ සිතිවිල්ලත් වැඩි වෙලාවක් අල්ලලා හිටියෙ නැනේ.

මොකද පංතිය නිශ්ශබ්ද වෙලා තියෙන්නෙ අපේ බුද්ධධර්මෙ උගන්නන ලින්ටන් සර් දොර ගාව හිටිය හින්දා. සර් ලඟම අතේ රෙදි කෑලී තියාගෙන ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා.

නරකම දේ කියන්නෙ අර මම මුලින් කියපු රොෂා‍න් ජනක කුමාරගෙ කණ, අපේ ලින්ටන් සර්ගෙ අතෙයි තිබුනෙ. අසරණ රෝෂා‍න් ජනක කුමාර එයාගෙම කණේ එල්ලිලා ඇගිලි වලින් ඉස්සීගෙන හිටියා.

"ඒ කියන්නෙ මම වැටිච්ච අල්ලපනල්ලෙ ශ්‍රියාලතාල ලින්ටන් සර්ට කේලම කියලා එහෙනං!" මගේ හිත කිව්වා.

ඒක දැකපු මට "රොෂාන් පව්.........." කියලා හිතුනා.

ඉතිං වෙච්ච දේ මට සහසුද්දෙන්ම තේරෙද්දි මම හොඳටම පරක්කු වෙලා වැඩියි. මොකද ඔය අස්සෙයි මමත් දනිපනි ගාලා පුටු අස්සෙන් මතුවෙලා තියෙන්නෙ.

එතකොටම ලින්ටන් සර් මාව දැකලත් ඉවරයි.

ඊට පස්සෙ වෙච්ච දේවල් ගැන අහන්න ඔය ගොල්ල ගොඩාක් ආසයි කියලා මම දන්නවා.

ඒත් ඒ වෙච්ච දේවල් මටනං කියන්න තියා මතක් කරන්නත් අප්පිරියයි!

ඔයගොල්ල කොහොම කිව්වත් ඊ​ට පස්සෙ වෙච්ච දේවල්නං මම කියන්නැ කිව්වොත් නෑ මයි! මොකද ඒ ටික කියෝලා ඔයගොල්ලත් මට කියයි, "අනේ චූටිමහත්තයා පව්.........................කියලා". මම කැමති නෑ එව්වට.

කොහොමහරි මේ සිද්ධියෙන් එදා මම පාඩම් කීයක් නං ඉගෙන ගත්ත කියලද හිතන්නෙ?

ඔයගොල්ලත් ඕන්නං මේකෙන් පාඩමක් ඉ​ගෙන ගත්තට මට කමක් නෑ. හැබැයි "චූටිමහත්තයා බකමූණෝ ඇල්ලුවා වගේ" කියලා, එක එක කතා හදන්න තියාගත්තොත් නං ආයෙ කිසිම දෙයක් කියන්නැ හොඳේ!

-කෙහෙල්කොටුවේ චුටිමහත්තයා

.......................

ඥාණතිස්සවයි, රෝෂාන් ජනක කුමාරවයි හොයාගන්න බැරි උනාට මොකද, මගේ තුල් මාරු කරන පැන්සලට රැවටිච්ච ප්‍රදීප් තමා ඕගොල්ලන්ගෙ කොම්පියුටරේ මවුස් එක තියෙන පැත්තෙ අයිනෙම ඉන්න ජබ්බා. ඒ ගැන වැඩි විස්තරත් තියෙනවා කියෝනවනම්.

Related Posts with Thumbnails