ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/09/29

අමතක වූ බයිසිකලය.....! | මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීමයි කියන්නෙ (ඉතින් බලමුකො ඒකෙත් හැටි)

මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීම කියලා ඒ ලෙවල් කරන කාලේ දුමීයට කියලා දුන්නේ පොර ගොඩක් ගෞරව කරන, පොරට ඒ ලෙවල් පියෝ- ඇප්ලයිඩ් උගන්නපු සුමේධ උඩවත්ත සර්ලු.

ඒක කියෝපුවාම මට හිතුනෙ උඩවත්ත සර් ඉන්ඩ තිබුනේ ඒ කාලේ කියලා. එහෙනම් අපේ මව් දෙමව්පියන්ට, නැන්දලා මාමලාට ඔය ටික කියලා දෙන්න තිබුනා. එහෙම උනානම් මට අද මේ වගේ කතාවක් කියන්ඩ වෙන්නෙත් නෑ.

අනික මේ කතාව මං කා‍ලයක් තිස්සෙ දාම්දෝ ‍නොදාම්දෝ කියලා හිටියෙ අමතක වෙන එක ලෙඩක් කියලා හිතාගෙන හිටපු හින්දා.

මන්දා මංනං හිතාගෙන හිටියෙ මේ ලෝකෙ ඉන්න පිරිමි ළමයින්ගෙන් වැඩියෙන්ම අමතක වෙන්නෙ මටයි කියලා. එහෙම හිතන්ඩ මට සාධාරණ හේතු ඕනැ තරම් තිබ්බා.

ඒ කාලේ හුගක් ළමයින්ට ව‍‍ගේ මටත් හොඳවයින් පිස්සු දෙක තුනක් තිබ්බා. එකක් සයිකල් පිස්සුව.

ඔය සයිකල් පිස්සුව ඇල්ලුවාමත් බල්ලන්ට පිස්සු ඇල්ලුවා වගේ තමා. රැලේ යනවා ගම්නියම් ගම් වල‍ට විකුණන්න තියෙන පරණ බයිසිකල් හොයාගෙන බල්ලො වගේ. මේ සිද්දිය වෙන්නෙ එහෙම සයිකල් හොයන්න යන්න කලින් කාලෙ. මේ කියන සයිකල් පිස්සුව තද සැරේට තිබ්බට මට සයිකල් තිබුනෙ නැති කාලේ.

මට සයිකල් නොතිබ්බට අපේ කතන්දර සීයටයි, අපේ තාත්තටයි, එහා වැටේ වාසනා කෙල්ලගෙ තාත්තට, ඒ කියන්නෙ අපේ මාමටයි සයිකල් තිබ්බා. ඉතිං ඒ මදැ!

මට තියෙන්නෙ කොහෙ හරි යන්න ඕනැ උනාම ඔයින් එකක් අරන් යන එක. හැබැයි අයිතිකාරයට කියන්නැ. කිව්වොත් මට සයිකලේ අල්ලන්න දෙන්නැ. මොකද ඒකාලේ මට පුංචි පහේ අපලයක් තිබුනා. ඒක තමා කාගෙ හරි සයිකලයක් ඇල්ලුවොත් පැය දෙක තුනක් යයි ඕන්නයි ඒකෙ හුලං බහිනවා.

මගේ සයිකල් වල හුලං බැහිල්ල ගැන අමුතුවෙන් කියන්ඩ ඕනැ නැනේ. මතකනෙ මගේ නවතම සොයාගැනීමට කුමාර දුන්නු සහයෝගෙ.

කොහොමහරි එක දවසක් මමයි මගේ යාලුවෙකුයි එහා ගමේ පරණ සයිකල් කබලක් විකුණන්න තියෙනවයි කියපු ඔත්තුවකට එහෙ යන්න පිටත් උනා. මං සයිකලයක් ඇල්ලුවාම හුලං බහින එකේ බරපතලම සිද්දිය උනේ එදා.

එහෙනම් යද්දි මං පදින්නම්....උඔ එද්දි පැදහං..........පොර යන්ඩ ලෑස්ති වෙලා කිව්වා.

කොහොමහරි අපි ගිහිං සයිකලේ බලලා එකොලහ මාරට විතර එන්ඩ පිටත් උනා. දන්නවනේ දැං සයිකලේ පැදගෙන එන්නෙ මම. මං පොරවත් ඉස්සරහිං දාගෙන ඕන්නං පැය කාලක් පදින්ඩ ඇති ඉස්සරහා රෝදෙ කෙටෙන්ඩ ගත්තා. වැඩේ හරි, හුලං බැහැලා.

අපි බැහැලා වැල් කරල ගලෝලා බැලුවා. ඒක බටර් වෙන්ඩ උනුවෙලා. දැං කරන්ඩ දෙයක් නෑ. අපි හිටියෙ ගම් දෙක වෙන් වෙන "වැව් බන්ට්" එක උඩ. දැං මක් කරන්නද? මං කලේ උණු වෙච්ච වැල්බටේ එහෙම්ම තියෙද්දි වැල්කර අස්සෙන් ඉරටු කැල්ලක් ගහපු එක. පස්සෙ අත්පොම්පෙ අරං හුලං ගහලා ඕරේ රන් පැද්දා වින්කලයක් හම්බවෙනකං. පස්සෙ වින්කලේ මාමා වෑල් කර සුද්ද කරලා බලන්ඩ ලෑස්ති වෙද්දි මම හීන් සීරුවේ පාර පැත්තට මාරුඋනා.

ඔන්න ඔය වගේ හේතු හින්දා කව්රුත් ඒකාලේ මට සයිකලේ දෙන්ඩ බයයි. එකක් මම ඇල්ලුවාම සයිකලේ හුලං බහින හින්දා.

සයිකල් දෙන්නැති අනිත් කාරණාව ඔයිට වෙනස්. ඒ කාලේ මට තද සැරේට අමතක වෙනවා. දැනුත් ඒකෙ ලොකු වෙනසක් නැද්ද මන්දා? මොකෝ ගිය සතියෙත් මට යුරෝ දෙකක් අමතක උනානෙ. ඒ හින්දා කව්රුත් මට බයිසිකල් දෙන්නෙ දෙපාරක් හිතලා.

එක දවසක් මම කතන්දර සීයා, ලඟ ගමන් වලට කියලා ගෙනාපු සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකලේ අරං උදේ පාන් ගේන්ඩ කඩේට ගියා. කඩේ ඉස්සරහා වැටේ සයිකලේ හේත්තු කරලා පාන් අරං එද්දි එතන තව සයිකල් හයක් නතර කරලා. මට මතක නෑ කතන්දර සීයගේ සයිකලේ මොකද්ද කියලා. මොකද සීයා එක අරං තිබුනෙ ලඟදිනෙ.

ඉතිං මම අහන්ඩ යෑ එතන ඉන්න අයගෙන් මේ, කෝකද අනේ මගේ සයිකලේ?” කියලා. මම කලේ ලැජ්ජාව වහගන්ඩ එහා පැත්තෙ පුලුන් ගහ යටට වෙලා පුලුන් ඇට අහුලනවා වගේ අනිත් අයට පෙන්නලා, ඉතුරු වෙන සයිකලෙ අරං ගෙදර එන්ඩ හිටපු එක.

කාලයක් තිබුනා අපි සියඔලා ඇට වලින් කිරිච්චං ගහපු. කට්ටියට කිරිච්චං උණ කොච්චර සැරේට තිබුනද කියනවනම් අපි හවස් වරුවෙම සියඔලා ගස් යට සියඔලා හෙව්වා. මං දිනපු සියඔලා ඇට තිබුනෙ, මගේ ඇඳ යට ලොකු සොපින් බෑග් දෙකක.

එක හවස් වරුවක මට හිතුනා බැරිවෙලාවත් මම මේ ටික පැරදුනොත් කියලා. ඒ හින්දා මම අපේ තාත්තගේ සයිකලේ අරං මැල්වත්තට පැද්දා, එහෙ සියඔලාගස්යට වැටිච්ච ඇට අහුලං එන්ඩ. ඇට අහුල අහුල ඉදිදි බඹුරු සීයගේ කරත්තෙ මැල් වත්ත මැද්දෙන් මතු උනා වතුර බැරල් වගේකුත් අරගෙන. අපේ පංතියෙ කොල්ලොත් වඳුරු රැලක් වගේ එකේ එල්ලීගෙන එක කාලගෝට්ටියයි. බඹුරු සීයත් ඒකටම ඇරිලා. කොල‍්ලො මාව දැක්කා විතරයි සද්දෙ දෙක උනා. මටත් උන්හිටි තැන් අමතක උනා. මං කෙරුවේ ඒයි උඔලා කොහෙද මෙහේ කියාගෙන සියඔලා මල්ලත් අරං කරත්තෙට ගොඩ වෙච්ච එකයි.

කොහොමහරි හවස් අතේ තේ බොන්ඩ යද්දි, තේ එකේ පොඟවගෙන කන්ඩ විස්කිරිඤ්ඤා තිබ්බනම් පංකාදුයි කියලා කතන්දර සීයා කිව්වා. ඔන්න විස්කිරිඤ්ඤා ගේන්ඩ කඩේට යන්ඩ සයිකලේ හොයද්දි තමා මගෙ කනෙන් දුන් ගියෙ.

තුන්වැනි සිද්දිය ඔයිට වෙනස්. එදා මට ගෙඩියපිටින් සයිකලෙ අමතක උනා. එදත් මම අරං ගියෙ තාත්තගෙ සයිකලේ. හවස ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් මැච් එකකට. එදා මැච් එකෙන් අපි දින්නා. අපිට වඩා වැඩිමල් උනත් හතවසරෙ කොල්ලන්ට අපි ගැහැව්වෙ විකට් බර ගාණක් තියෙද්දි. ඒකෙන් ඔද වැඩිලා මං තාත්තගෙ සයිකලේ දාලා වෙන කොල්ලෙක්ගෙ සයිකලේ හැඬල් එකේ ගෙදර ආවේ අරුන්‍ට හූ කිය කියා.

සතුට විලයි සැපත මලයි, නෙලුවොත් මල අතින් එකයි! ”. අපි ඒ සින්දුවේ තාලේ වෙනස් කරලා හතේ කොල්ලන්ට කෝචෝක් දාගෙන පාරෙ පුරා සයිකල් පැද‍ගෙන ආවේ.

ගේ ගාවට එද්දි තාත්තා හිටියා ගේ ඉස්සරහා, අර පරණ දෙමළ නලුවෙක් ඉන්නෙ ඇම්ජීආර්කියලා අන්න එයා වගේ අත්දෙක පස්සට කරලා බැඳගෙන. මම එයාගෙ පුතාගේ වැඩ පෙන්නන්ඩත් එක්කලා මැදින් වක තියෙන මගේ කොකබුරාබැට් එක වත්තට විසි කරලා පැන්නා සයිකලේ හැඬල් එකෙන් හරියට රැජිනි කාන්ත් වගේ. පැනලා කකුල කැඩිච්ච බල්ලෙක් දුවන්නෙ කොහොමද, අන්න එහෙම අනිත් කොල්ලන්ට පේන්න පොඩි කෝචෝක් පාරක් දැම්මා සතුට වැඩි කමට. පස්සෙ රැජිනි කාන්ත් හොරුන්ට වෙඩි තියනවා වගේ කොල්ලොන්ගෙ පැත්ත හැරිලා ඇඟිලි ටික පිස්තෝලෙ වගේ හදලා ඩිස්ක්ඤැව්..... ඩිස්ක්ඤැව්.....ගාලා නාසික්‍ය සද්දෙන් වෙඩි දෙකක් තිබ්බා. කොල්ලො ඒ සද්දෙන් උදම් වෙලා විසිල් ගගහා යන්ඩ ගියේ. ඒගොල්ල හංදියෙන් හැරිලා නොපෙනි යනකල් ඒ දිහා බලනං හිටපු තාත්තා මගෙන් ඇහැව්වා,

සයිකලේ ගෙනිච්චද?” කියලා.

අන්න ඒ වෙලාවේ මගේ කනෙන් ආයම දුන් ගියා. සතුටු විලත් එවෙලෙම හිඳිලා ගියා.

ඒ සිද්දිය ඒ විදිහට ඉවර වෙද්දි, මම ස්ථිර අදිටනකට ආවා අයේ නං කවදාවත් සයිකලෙ නං අමතක කරන්නෙ නෑමයි කියලා.

එහෙම හිතලා වැඩිකාලයක් ගියෙ නෑ, තවත් අන්තිම භයානක සිද්දියක් සිද්ධ උනා මට.

එදා මම අරං ගියේ අර වාසනා කෙල්ලගෙ තාත්තගෙ සයිකලේ. ගෙදර කව්රුත් හිටියෙ නෑ. ඒත් අනුන්ගෙ එක්ක ගද්දි අහන එක මගේ යුතුකම,

මේ මං ඕගොල්ලන්ගෙ තාත්තගේ සයිකලේ පොඩ්ඩක් ගන්ඩද?” මම වැලි බත් උය උය හිටපු වාසනා කෙල්ලගෙන් ඇහැව්වා.

ඉතිං මට මොකො... අරගන්න එකනෙ තියෙන්නෙ............දැං හරිනෙ මම අයිතිකාරයො දැනුවත් කලා.

ඒ සෙනසුරාදා හවසක. එදත් ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් මැච් එකක්. ඔන්න එදානං මං සෙල්ලං කලේ නෑ! එදා තිබුනෙ අපේ ගමේ අයියලයි, එහා ගමේ අයියලයි අතර මැච් එකක්. මම ගියේ චියරිං පාටියට එකතු වෙන්ඩ. නැගීගෙන එන ක්‍රීඩකයො හැටියට අපේ අයියලාට හුරේ දාන එක අපේ යුතුකමක් නොවැ.

කොහොමහරි මැච් එක රාමෙට ගියා. ඔන්න එදත් අපේ අයියලා මැච් එක දිනුවා කියහංකො! ඉතිං මට සයිකලේ අමතක වෙන එක අහන්ඩත් දෙයක්යෑ.

එදා මම ගෙදර ආවේ ධර්මසේනයගෙ සයිකලේ හබ් එකේ. ඒ කියන්නෙ පිටිපස්සෙ එල්ලිලා. කෑකො ගගහා එහා ගමේ උන්ට හු තිය තියා. ඔහොම ඇවිල්ලා යන සයිකලෙන්ම ගේ ගාවින් බැස්සා. දැං මට ඔක්කොම අමතකයි. ඇයි අපේ අයියලා අරගොල්ලන්ට ගැහුවනේ.

කොහොමහරි සෙනසුරාදා හවස ඔහොම ගෙවිලා ගියා.

ඉරිදා උදේ උනා. අම්මා උදේම මට කතා කරලා, මාමලා වැට ලඟ ඉදං මට කතා කරනවා කිව්වා. මට මාර කෙන්තියක් ආවා. ඉරිදා විතරනෙ ටිකක් වෙලා ගත වෙනකම් නිදා ගන්ඩ තියෙන්නෙ.

මම එහෙම්ම බැන බැනා ගියා කුස්සිය පැත්තෙන් වැට ගාවට. මෙන්න මාම මං එනකං බලාගෙන ඉන්නවා වැ‍ට ගාව. වාසනා කෙල්ලත් ජංගිකොටේකුයි, හැට්ට කැල්ලකුයි ගහගෙන වැටේ එල්ලිලා මට රවාගෙන ඉන්නවා.

මං බැලුවා මේ පාන්දර මොන මරාලයක්ද මට පාත්වෙන්න යන්නෙ කියලා. දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහිංසක හා පැටියෙක් වගේ දරුවෙක් හම්බවෙන්ඩ වැට ගාව රැකගෙන ඉන්නවා කිව්වහම උදේ පාන්දර.

ඊයේ මගේ සයිකලේ ගෙනිච්ච ද පුතේ?” මාමා මාව දැක්ක ගමන් ඇහැව්වා. මාමා විකාර කතා කරනවා ද මන්දා මේ උදෑසන.

මොන සයිකලේද?” මම එක එල්ලෙ ඇහැව්වා.

මේතනින් පස්සෙ වෙන ටික ඕගොල්ල දැනගත්තොත් ඕගොල්ල හිතයි මේ ලොකේ මේ වගේ දෙයක් වෙන්ඩ පුලුවන්ද කියලා? අනික පුංචි කඩවසම් කොලුගැටයෙක් කොච්චර නං අලකංලංචි ගොඩකට මුණදෙනවද මේ සයිකලයක් හින්ද කියලත් හිතෙයි. අනික ඒ වගේ වීර ක්‍රියාවක් මේ ලෝක ඉතිහාසෙම නැතුව ඇති. ඒ ගැන කියන්නෙ මම ලබන සඳුදට!

ඕගොල්ලන්ට කතාව ලේසියෙන් තේරුම් ගන්ඩ විදෙස් චිත්‍ර ශිල්පියාගෙ සිත්තර රැසකුත් එක්ක ඒ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච කතාවත් අරං මම එදාට ඕගොල්ලන් හම්බවෙන්ඩයි හිතාගෙන ඉන්නෙ.

__________

මේ තියෙන්නෙ ලබන සඳුදාට එන අන්තිම කොටසේ කමින් කෑලි ටිකක්. මේ ටික කියෝලා හිතාගන්ඩකො එදාට කතාව කොහොම වෙයිද කියලා.

01. ඇ‍ඟේ එක මස් කෑල්ලක් වත් හරියට වැඩකරන්නැ තාම. ඒවා නිකං වැඩ කරන්නෙ මට අරියාදුවට වගේ. ටිකක් දුර දුවද්දි මට තේරුනා දනිස් ඇටේ හයිකරලා තියෙන බෝල් ජොයින්ට් එලියට පැන්න කියලා. දැං දනිස් වැඩකරන්නෙ හරස් අතට. කඩ ඇනේ බුරුල් වෙච්ච කරත්ත රෝදයක් වගේ ඒවයින් කිරි කිරි සද්දයක් එනවත් එක්ක.

02. ඉතිං මම අපේ ටීචර්ලාට යෝජනාවක් ගේනවා
, “ඒ මාමලා ගල් කපන හැටි පෙන්නන්න අපිව එක්කන් යන්න කියලා. ටීචලා කිව්වා ඒවා පොඩි ළමයි ඉගෙන ගන්න ඕන දේවල් නෙමේ. ඒවා ලොකු අයගේ වැඩයි කියලා. අනික ගල් මැසිමෙන් ගල් කපද්දි විසිවෙන කෑලි අපේ ඇස් වල වැදුනොත් කම්මුතුයි කියලා ඒ ගොල්ල අපිව බයත් කලා. ඒත් අපි රිළව් රැලක් වගේ පන්තියෙ දැලේ එල්ලිලා මාමලා ගල් කපන හැටි බලාගෙන හිටියා.

__________

එහෙනම් ලබන සඳුදා උදේ 8.00ට හමුවෙමු. එතකං මේ කතාව ලියන්න මඟ පෑදුනු දුමී ලියපු අමතක වීමේ පලවිපාක කියවන්නත් පුලුවන්.

2011/09/26

මෙයා එදා සිත්තර ඇන්දෙ මෙහෙමලු අයියෝ....| සයිබර් සිත්තරන් - 01

අපේ අයියා වැඩක් කරන්න ගියාම අනාගන්න තියෙන ගතිය වැඩිය. යුරෝ දෙකේ කතාවෙන් ඕගොල්ලන්ටත් ඒක තේරෙන්න ඇතැයි මම සිතමි.
හැබැයි වැඩේ කියන්නෙ එදා තියපු සිත්තර තරගෙ ඉවර උනේ අපිට කවදාවත් අමතක නොවන කාටවත් මකන්න බැරි මතක ගණනාවක් වගේම පාඩම් ගණනාවකුත් ඉතුරු කරගෙන වෙච්ච එකයි.
ඒ සිත්තර තරග ලියමන කියවන කියවන වාරයක් පාසා ඒ මතකය අපිට ගේන්නෙ හරිම විනෝදජනක හැඟීමක්ය.
ඒ මොනා උනත් ඡන්ද කියන්නෙ දිගින් දිගටම තියන්න ඕනේ දෙයක් නෙමේය කියල මම හිතමි. නමුත් අයියාට ඒක තේරුම් ගැනීමට තරම් මෙව්වා එකක් නැද්ද මන්දය. ඉතින් අයියා කලේ සිත්තර තරගෙ, ඡන්ද වැඩේ නැගලා ගිය හින්දා විදෙස් සිත්තරා ලව්වා තව ඡන්දක් තැබීමය.
ඒ තරග කරුවන් හා තරගකාරියන් ඒ ඒ සිත්තර අඳින අවස්ථාවෙදී අපි විසින් ගන්න ලද පින්තුර එකින් එක ඕගොල්ලන්ට දානවාය, ඒගොල්ලන්ගෙන් “මුලින්ම ඕනැ කාගේ එකද?“ කියා කියන්න කියලාය.
මම කිව්ව ලෙසම ටික වේලාවකින් අයියාට හොඳවයින් දෙක තුනක් අහගන්න පුලුවන් විය. ගොඩ දෙනෙක් කිව්වෙ ආය ඡන්ද තියෙන එකේ තේරුමක් නෑ කියලාය.
ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු මමත් අයියට කිව්වෙ පුලුවන් වැඩක් කරගෙන ඉන්නා ලෙසත් බැරි වැඩක් ආවොත් මට බාර දෙන ලෙසත්ය.
ඒ අනුව අයියා සිත්තර තරගය ආශ්‍රිත ඉදිරි වැඩ සියල්ල මට බාර කලේය.
ඉතින් කාටවත් විශේෂයක් නොකර මම අද දවසට දැමීමට සිත්තරයක් තෝරා ගත්තෙමි. ඒක තෝරාගත්තෙ විශේෂ ක්‍රමයකටය.
ඒක කරන්නෙ මෙහෙමය.
මුලින්ම සිත්තර නමයම එක ගොඩක් ගසා සියල්ල උඩ විසිකරයි, පසුව ඒවා බිමට එන විට එයින් එකක් මක් කරලා හෝ අල්ලා ගනියි. ඒක එදා දවසේ දමයි. බලන්ඩ කොච්චර ලේසිද නේද? ඕක ඡන්ද තියා තියා ඔට්ටු වෙන්ඩ දෙයක්දැයි මම ඕගොල්ලන්ගෙන් ම අසන්න කැමතිය.
ඉතිං මේ තියෙන්නෙ ඒ විදිහට උඩ දාලා අල්ලාගත්තු පළවෙනි සිත්තරේය
මේ කව්ද ඉන්නෙ කියා ඕගොල්ලන්ට හිතන්න පුලුවන් කියා මම සිතමි. ඕව් ඕගොල්ල හිතුවා හරිය. මේ ඉන්නෙ නීතා නැන්දාය!
නීනා නැන්දා සිත්තරයක් එව්වට මොකද, ඒක අපට එවලා තිබුනෙ පොඩ්ඩි නැන්දගෙ අතේය. හේතුව අහපුවාම පොඩ්ඩි නැන්දා නම් කිව්වෙ “එයා හෝම හිටියට හරි ලැජ්ජාකාරී අනේ.....!“ කියලාය. මොනා උනත් දෛවයේ සරදමකට වගේ මුලින්ම මට අහුඋනේ නීතා නැන්දගෙම සිත්තරේමය.
නීතා නැන්දා සිත්තර ඇඳ ඇද හිටියේ පොඩ්ඩි නැන්දලාගෙ වලව්වෙ ඉස්තොප්පුවේය. එයා අපි පින්තුර ගන්න යද්දි “අනේ එපා, අනේ එපා“ කිව්ව හින්දා අපි ‘හා“ කියාගෙන වලව්ව ඇතුලට ගිහිල්ලා, හොරෙන් බලන් හිටියෙමු. පස්සෙ නීතා නැද්ද සිත්තර ඇඳලා මහන්සි වෙලා ඉද්දි අපි හොරොන්ම දොර රෙදි එහාට කරලා පින්තුරෙ ගත්තෙමු.
මේ තියෙන්නෙ ඒකය. ඕගොල්ලන්ටත් පැහැදිව නීතා නැන්දව බලාගන්න ඕනෙද? එහෙනම් පරක්කු වෙන්නැතුව පින්තූරෙ උඩ රයිට් ක්ලික් කරලා, පස්සෙ Open Link in New Tab එක ක්ලික් කරලා වෙනම ටැබ් එකකට මේ පින්තුරෙ ලොකුවට ඕපන් කර ගන්න එක හොඳය.
දැන් තියෙන්නෙ ඕගොල්ලන්ගෙ අවස්ථාවය.
ඒ අනුව ඕගොල්ලන්ට මේ සිත්තරේ ගැන හිතෙන දේවල් ලියලා යන්න පුලුවන්ය.
එහෙම නැතිනම් තව දෙයක් ඇත. අද අපේ විශේෂ අමුත්ති ඉතින් නිතා නැන්දා නොවැ. ඉතින් නීතා නැන්දගෙන් එයා අඳින සිත්තර ශෛලිය ගැන, එයාට වෙච්ච අමතක නොවෙන සිදුවීම් ගැන වගේ ඔය ප්‍රසිද්ධ අයගෙන් අහන ඒවත් ඕන්නං ඇහුවට මට කමක් නැත.
වැගදත්-
ඕන උනොත් සිත්තර තරග ලියමනට මෙතනින් යන්න පුලුවන්ය.
ප්‍රථිපල ලියමනටත් මෙතනින් ගියෑකිය.
කෙලින්ම අදාල නැත-
මම මීට පෙර ලියපු හෙනට ප්‍රසිද්ධ උන ඕගොල්ලන්ට හෙනට වැදගත් යයි කියන්න පුලුවන් ලිපි කියවන්න මෙතෙන්ට යන්න.
අයියා ලගදී අනාගත්තු තැනක් දැනගන්න මෙතෙන්ට යන්න.
ආයෙත් දවසක සිත්තර කාරයෙක් ඉන්න සිත්තරයක් අරන් එන බලාපොරොත්තුවෙන් එහෙනම් අදට මම නවතිමි.
....................
මීට ටිකිරි.

2011/09/22

යූරෝ දෙකේ වීරයා !

ගිය සතියෙම කිසිම ලියමනක් දාන්න බැරිව ගියා. ඒකට හේතුව තමා මේ ලියමනේ තියෙන්නෙ.

ඒකට හේතුව විතරක් නෙමේ. වැඩක් කරන්න ගියාම එන බාධක, ඒවා පයිසෙකවටත් මායිම් කොරන්නැතුව උත්සහය, උනන්දුව, කැපවීම එක්ක වැඩේ කරලා අන්තිමේ තමන්ගෙ අරමුණට යන වීරයෙක් ගැනත් මේ කතාවේ කියවෙනවා. කැමතිනම් ඕගොල්ලත් කියෝලා බලන්ඩ.

මේ පුංචි කතාව කියෝපුවාම වීරයෙක් ගොඩනැගෙන්නෙ හරි පුදුම විදිහට නේද කියලා ඕගොල්ලන්ටත් හිතෙන්න පුලුවන්?

ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක අපේ අයියලා රට ගියා. හරියටම කියනවනම් ගිය සතියෙ අඟහරුවාදා රෑ. පොඩි උන් දෙන්නවත් ඉස්කෝලා වලින් අස්කරගෙන ඒ ගොල්ල ගියෙ පදිංචියටමයි. ලොකුම හේතුව අයියයි අක්කයි දෙපැත්තෙ ඉන්න එක.

“කොච්චර හම්බු කළත් මොකටද හලෝ අපි දෙන්නා දෙපැත්තෙ නම්......” ඇයි යන්නෙ අහපුවා ම අයියා කිව්වා.

“එහෙ සංස්කෘතිය පොඩි උන්ට හරි යයිද?” මං හෙන ගොං ප්‍රශ්ණයක් ඇහැව්වා.

පස්සෙ අයියා දේසනාවක් දුන්නා. එහෙ දේසපාලෙනේ, එහෙ අපේ කලු හමට සලකන හැටි, වැඩිහිටියන්ට සළකන හැටි, බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට සලකන හැටි, පාරවල් වල පිරිසිදු කොම, තව මොන මොනවද හෙන ගොඩක්. කොහොම හරි කිව්ව කාරණා සලකලා බලද්දි එහෙ හොඳයි වගේ.

“එත‍කොට ඕගොල්ල ෆxන් ඉන්ඩියන් ගණයට වැටෙන්නැද්ද!”

“පිස්සුද අපේ උන් එහෙ නම හදාගෙන තියෙන්නෙ දැං.....”

“එහෙනං මාවත් ගන්ඩකො මොනා හරි කරලා” මම තවත් ගොං ප්‍රශ්ණයක් ඇහැව්වා.

“බලමු! බලමු!!” මතක හැටියට මිනිහා ඉස්සෙල්ලාම බලමු කිව්වෙ මට වයස අවුරුදු 21 දී.

අයියලා යන්න ගත්තු තීරණෙ හදිස්සි එකක්.

ඒ හින්දා අයියලාට නෑදැ කට්ටියගෙ උදව් ඕනා උනා මෙහෙ වැඩ ටික සෙට්ල් කරන්න. සමහරු ඇවිල්ලා ගෙවල් වල බඩු අස්කරලා පැක් කලා. කොළඔ රාජකාරී වලට වෙනම මාමා කෙනෙක්. පොඩි උන්ව ඉස්කෝල වලින් අස් කෙරිලි, උන්ට එහෙ ගිහිං කියවන්න පොත් පත් රෙකමන්ඩ් කෙරිලියි බාර වෙලා තිබුනෙ අපේ අම්මට.

ඔය ඔක්කොම අස්සෙ මට බාර වෙලා තිබුනෙ පොඩි බිසිනස් වැඩක්!

ඒ ‍තේක්ක අඩි දෙසිය ගානක් විකුණලා දෙන්ඩ. ඒ ගොල්ල ගෙදර උඩ තට්ටුවෙ දොර ජනේල් දාන්න පුත්තලමෙන් වයිරන් තේක්ක ගෙනල්ලා තිබුනා. දැං ඒ වැඩ නතර වෙලා හින්දා අඩුගානට හරි විකුණලා දෙන්න කියලයි වැඩේ මට බාර දුන්නෙ.

වැඩේ බාර දීලා දවස් දෙකකට විතර පස්සෙ අයියා කතා කරලා ඇහැව්වා “වැඩේ කොහොමද?” කියලා.

මං ඇහැව්වා “මොන වැඩේද?” කියලා. කො‍හොමහරි වැ‍ඩේ මගෙ අතින් අල වෙයි කියලා අයියම ඒ වැඩේට බැහැලා තිබ්බා.

හරි! ඔන්න දැන් තමා නියම කතාව පටන් ගන්න යන්නෙ. මෙච්චර වෙලා මම කිව්වෙ පෙරවදන.

මේ කතාවෙන් තමා අර මම කිව්ව කොලු ගැටයෙක් තුල තියෙන උත්සහය, උනන්දුව, කැපවීම අප්‍රතිහෘත ධෛර්යය (හරිනං තව වචන මෙතෙන්ට එකතු වෙන්ඩ ඕනැ. කතාව දිග්ගැස්සෙන හින්දා ඒවා කපලා දැම්මා.) වගේ දෙවල් මොනවට විදහා දැක්වෙන්නෙ. හරියට ඒ කාලේ ඔෂින් බැලුවා වගේ තමා මේක කියෝලා ඉවර වෙද්දි.

මේ තියෙන්නෙ ඒ කතාව.

දැං අයියලා යන දවසත් ආවානේ. ඔන්න උදේ එකොලහට විතර මට අක්කා කෝල් කලා.

“මල්ලි පුලුවන්නම් මට යූරෝ දෙකෙ කාසියක් හොයලා දෙනවද?” තේක්ක වැඩේ අල උනත් අක්කට තාම මාව ෂුවර්.

“අපෝ හොයලා දෙන්නං..... කීය වෙද්දිද ඕනැ.......” දන්නවනෙ ඒ හඬ කාගෙද කියලා.

“අද රෑ එයාපෝට් යන ගමන් ඔයාලගෙ ගෙදර එනවනෙ. එතකොට දුන්නම ඇති.”

“ආ හරි හරි...... එතකොට දැං යුරෝ දෙකක් ගන්න රුපියල් කීයක් යයිද?”

“එච්චර යන්නැ ඕන්නං රුපියල් තුන්සිය පනහක් විතර යයි”

“ආ...... එහෙමද! වැඩේ කෙරුනයි කියලා හිතාගන්ඩ........” ඒ මම.

ඔහොම කිව්වට මොකද මගේ තියෙන වැඩ රාජකාරී අස්සෙ මට ඕක ගැන මතකයත් අර මතකය වගේම මෙව්වා උනා. ඒත් මට තේරුනා මගේ ඔලුවෙ මොකද්දො බරක් තියෙනවා කියලා. ඔන්න හවස පහ විතර වෙද්දි තමා මට බර මොකද්ද කියලා තේරුනේ. ඒත් මං කල්පනා කලා සල්ලි එළකිරි ටිකට එයාපෝට් එකෙන් මාරුකරගන්ට පුලුවන් කම තියෙද්දි මේ යුරෝ දෙකක් හදිස්සියෙ ඉල්ලන්නෙ මොකද කියලා. මම හිතුවා බාරෙකට වෙන්ඩැති කියලා. සාමාන්‍යයෙන් ඒ ගොල්ල රට යද්දි බාර හාර වෙලානෙ යන්නෙ.

කොහොමහරි මම වැඩේ‍ට බහිද්දි හොඳටෝම පරක්කු වෙලා. සල්ලි මාරුකරන තැනුත් වහලා ඒ වෙලාව වෙද්දි. කරගන්න දෙයක් නැතිම තැන මම ගත්තා මැරියන්ට කෝල් එකක්. මැරියන් දුන්නැද්ද හැමදාම වගේ ඉටිකිරිස් අයිඩියා එකක්.

අපේ පුංචි ඉස්කොලේ ගාව (Star Kids English Academy - ගෙදර වගේ ලේසි විදිහට, කැමති විදිහට ඉංග්‍රිසි ඉගෙන ගන්න ඔබත් එන්න ස්ටාර් කිඩ්ස් ඉංග්ලිෂ් ඇකඩමියට :D) ඉන්න අක්කලාගෙ කට්ටියක් ඉන්නෙ රට. මැරියන් කිව්වා එයාගෙන් අහලා බලන්න කියලා. දෙපාරක් කල්පනා කලේ නෑ මම ගත්තා එහෙට.

“ඇයි මල්ලි.....”

“හෙලෝ අක්කෙ මට යුරෝ දෙකේ කාසියක් ඕනැ.....”

“මොකක්....!”

“යුරෝ දෙකක්?”

“යුරෝ දෙකක්!”

“යුරො දෙකක්..... ඕව් ඔව් ......කොල බෑ කාසියක් ඕනැ ඉක්මනට........”

“ඒ මොකටද.......?”

“මේ කෝලං කතා කර කර ඉන්ඩ වෙලාවක් නෑ......... පොඩි බාරයක් ගැට ගහන්ඩ.........තියෙයිද?”

“බාරෙකට........”

“ඔව් ඔව්...... තියෙනවද....?”

“ගෙදර ඇදලා බැලුවොත් හොයා ගන්ඩ පුලුවං වෙයි.... බාරෙකට යුරෝ......... මං ඇහැව්වමයි....”

“ඉතිං ‍පොඩ්ඩක් බලන්ඩකො.......”

“මං පුතා ගේන්ඩ යන්නෙ දැං! ඇවිල්ලා බලන්ඩද මල්ලි.........”

“මල හත්ඉලව්වයි...... කීයටද කොල්ලා අරං එන්නෙ....”

“ හත විතර වෙයි.............”

“ෂුවර් එකට වැඩේ ගොඩ දා ගන්ඩ පුලුවන් වෙයි නේද............?”

“හරි හරි මට මතකයි දෙකේ කාසි තිබුනා වගේ...........”

දැං හතට කොල්ලා අරං ඇවිල්ලා අක්කා කිව්වොත්, “මල්ලි මාර වැඩේනෙ සල්ලියක් හොයා ගන්න බැරි උනානනෙ” කියලා. ඉවරයිනෙ! ඉතිං මං කෝකටත් හත වෙනකං වෙන ක්‍රමයක් කල්පනා කලා. ඔන්න මට තව අදහසක් ආවා.

මම ටක් ගාලා ගත්තා ගත්තා මගේ යාලුවෙක්ට කෝල් එකක්, පොර වැඩ කරන්නෙ මෙහෙ බැංකුවක. ඔන්න ඕගොල්ලත් ඉගෙන ගන්ඩලා. සුදානං සරීරෙ කියන්නෙ ඕකටයි! අරක නැත්තං මේක.

“මේ මචං මට පොඩි උදව්වක් කරහං, යුරෝ ටිකක් හොයා ගන්න පොරක් සෙට් කරපන්කො......”

“ මොකද බං මේ හදිස්‍සියෙ යුරෝ......”

“අපේ අක්කලා අද යනවා මචං”

“ආ...... පොඩ්ඩක් හිටපන්......කස්ටෙක් හිටියා ඔය එක්ස්චේන්ජ් එකක් කරන..... හිටපං මං ඌව සෙට් කරන්නං....”

“එළකිරි මචං තැංකු ආ.........”

ඔන්න මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ එතකොට තමා. ටිකකින් බැංකු පොර කතා කලා.

“අන්න මම අරුට කිව්වා දැං පොර උඔට කතා කරයි.........”

කියලා විනාඩියක් ගියෙ නෑ ඔන්න මං නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා.

“හලෝ මේ අහවල් එක්කෙනාද?”

“ආ...... ඔව් අයියා.....” මට නිකංම් පොරට අයියා කියවුනෙ ෆෝන් එකෙන් ආපු කටහඩේ ගොරෝසු කම හින්දමයි.

“දැං මල්ලි මෙහෙමයි.... ඔයාට යුරෝ කීයක්ද ඕනෙ........යුරෝ දාහක් ගන්නවනම් මම අහවල් ගාන දාලා දෙන්නම්. එතකොට වෙන්නෙ එකයි හැටක් විතර..........”

“ඒ කිව්වෙ...”

“ඒ කියන්නෙ එක්ලක්ෂ හැටදාහක් වගේ...... යුරෝ දාහටම හොදේ......”

“............................!!!!” මේ මම මම. චචනත් නෑ කියන්ඩ. මට දෙකයි ඕනැ මිනිහා දාස්ගණන් වලින් කතාව.

“පන්සීයෙ කොල ගන්නවනම් වැඩියි....... පොඩි කොල කමන්නැද්ද මල්ලිට.......” මිනිහා එහෙනං විස්තරේ දෙනවා ඕසෙට.

“මෙහෙමයි අයියා........... මට එච්චර ඕන්නැ..... පොඩි ගානයි ඕන කරන්නෙ.........”

“යුරෝ පන්සීයට අඩුනම් මලේ අහවල් ගාන තමා.... මං කිව්වෙ අඩු වෙද්දි ගාන නගිනවා..... හරි මල්ලිට දැං කීයක් විතරද ඕන කරන්නෙ.......?”

“මේකයි අයියා.... මට යුරෝ දෙකේ කාසියක් තිබ්බනං හොඳමට ඇති..............” මං ෆෝන් කෝකටත් කනෙන් ටිකක් ඇත් කරලා කිව්වා.

“ආ..... එහෙමද මල්ලි! එහෙනං ඔය රට ගිය කෙනෙක් ඉන්න ගෙදරකින් අහලා බලන්ඩ හොයාගන්ඩ බැරි වෙන එකක් නෑ. හරි එහෙනං මං තියන්නං මල්ලි ගුඩ් නයිට් හොඳේ....!”

කොහොමහරි ඒ වැඩේ ඒ විදිහට අල උනා. පස්සෙ මම ආය අර අක්කට කෝල් එකක් ගත්තා. බලන්ඩකො කොල්ලගෙ කැපවිම නේද!

“අක්කෙ වැඩේ මොකද?”

“මල්ලි යුරෝ නං නෑ..... ලීරා හරියන්නැද්ද? ලීරා වලින් හදමු යුරො දෙකක්........”

“ඕකනෙ කියන්නෙ අක්කෙ.... දැං පණ්ඩිතතකමට කිව්වෙ තියෙනවා කියලා.......සල්ලි අහුරු අහුරු තියලා කොහෙද අනේ බාර බඳින්නෙ....... ඒ කියන්නෙ දැං නැද්ද!”

“තිබුනා තිබුනා........හදිස්සියෙ හොයාගන්ඩ බෑ... එක්කො කලින් කියන්ඩපැයි.....!

“............?” මම මම.

“පොඩ්ඩක් ඉන්ඩ මං තව ටිකක් බලන්නං......”

ඔන්න බලන්න පින්වතුනි මෙච්චර විදේශ විනිමය තියන රටේ ඕනැ වෙලාවට යුරෝ දෙකක් නෑ හොයාගන්ඩ.

ඉතිං මං සියලු දෙවි දෙවතාවුන් සිහිකරලා උන්නාන්සෙලාට කිව්වෙ මේ අක්කගෙ ඇස් දෙකට ‍යුරෝ දෙකක් පෙන්නුම් කොරන්ඩ කියලා. ඔන්න ටිකකින් කෝල් එකක් ආවා.

“මල්ලි වැඩේ මොකද කරගත්තෙ.......?”

“මොනා වෙන්ඩද ගෙදර යන්ඩ බැරිකමට හංදියෙ ඉදං “දෙකේවඩේ” කනවා. ඇයි අහන්නෙ.........?”

“ එහෙනං කනවා..... කාලා පුලුවන් උනොත් ගෙවල් පැත්තෙ ඇවිල්ලා මේක අරං යනවා..........”

“ඒ කිව්වෙ හම්බුනාද අක්කෙ..........”

“හම්බුනාද? ......................මීක් මීක්.”

අන්න බලන්ඩ පින්වතුනි උත්සහවන්තයා ජයගත්තු හැටි. “ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි” කියලා රාවණා රජ්ජුරුවො ගැන දන්නැති සුද්දොත් කියලා තියෙනවා කියලා ඕගොල්ල අහලා තියෙනවනේ නේ!

කොහොමහරි අක්කලා අපෙන් සමුගන්න ජාමේ එකට විතර ගෙදර ආවා. මම යුරෝ දෙක දීලා ඒ ගොල්ලන්ට “හෑව් අ සේෆ් ෆලයිට්!” කිව්වා.

අන්තිමේ දී හැමදේම හොඳ අතට හැරුනා. උත්සහය, උනන්දුව, කැපවීම අප්‍රතිහෘත ධෛර්යයෙන් වැඩකරලා යුරෝ දෙකක් හොයාගත්තු හින්දා මමත් වීරයෙක් උනා!

නිමි.

ප/ලි

මේ තියෙන්නෙ එදා සිදුවෙච්ච, ඔය කතාවට කෙලින්ම අදාල නැති දේවල්. ඒවා වැදගත් නැති හින්දා මම කපලා දැම්මා.

01. අපේ අක්කා ඇවිල්ලා යුරෝ දෙක ගද්දි “මල්ලි කීයක් ගියාද?” කියලා ඇහැව්වා. මම අක්කට හොඳවයින් දෙකක් කතා කරලා “අපිව නිකං දෙකේ කොලේට නොදා මේක ගන්ඩ......” කියලා ලොකු ටෝක් එකක් දුන්නා. ඒත් අක්කා රුපියල් තුන්සිය පනහක් ඇදලා ඒ සල්ලි ටික මේසෙ උඩ තිබ්බ, මගේ පර්ස් එක යටින් තිබ්බා. මම ඒක දැක්කෙ නෑ වගේ හිටියා. ඒ ටික මම කපලා දැම්මා. මොකද ඒ කොටසින් මගේ චරිතෙට මෙව්ව එකක් වෙන්ඩ ඉඩකඩ වැඩි නිසා.

02. අන්තිමට මම ඇහැව්වා “ කොහෙටද මේ යුරෝ දෙක ගැටගහලා බාර වෙන්ඩ යන්නෙ” කියලා. අක්කා කිව්වා “මොන බාරද මල්ලි, මේක අරං යන්නෙ එහෙං බැස්සම ට්‍රොලියක් ගන්න. එහෙං ට්‍රොලි ගන්න යුරෝ දෙකක් හොයාගන්න තියෙන අමාරුව දන්නෙ ගිය කෙනෙක් විතරයි” කියලා. අන්න ඒ වෙලාවෙ මට අක්කලාගෙ වීසා එම තැන කැන්සල් කරලා දාන්ඩ හිතුනා. ‍ට්‍රොලි හුචක්කුවක් හින්දා මට දුන්නු වදේට. ඉතිං මං සම්පුර්ණ විස්තරේ කිය කියා හොඳට දෙහි කැපුවා. ඇයි ඕන්නං ඒ ගොල්ලන්ට තිබ්බනෙ මාව රස්තියාදු නොකර යුරො දෙක මෙහෙ එයාපෝට් එකෙන් හොයාගන්ඩ. ඒත් ඒ ඔක්කොම අහගෙන ඉදලා “හරි හරි ඔයා ඉතිං වීරයානෙ. එකනෙ අපි ඔය වගේ අමාරු වැඩක් ඔයාටම දුන්නෙ.....” කියලා කට්ටියම මහ හයියෙන් හිනා උනා. ඉතිං ඒ ටිකත් මම කපලා දාලා ඒ වෙනුවට මම “හෑව් අ සේෆ් ෆලයිට්!” කියලා සුබ පැතුවයි කියලා දැම්මා. පස්සෙ “උත්සහය, උනන්දුව, කැපවීම අප්‍රතිහෘත ධෛර්යයෙන් වැඩකරලා යුරෝ දෙකක් හොයාගත්තු හින්දා මමත් වීරයෙක් උනා!” කියන කෑල්ල මම අතින් දාලා කතාව ලස්සනට ඉවර කලා. ඇරත් මගේම කතාවෙ මොකටද මට ලැජ්ජා හිතෙන දේවල් දාන්නෙ.

03. අර මම කෝකටත් කියලා බැංකු යාලුවට කතා කරලා හෙන මෝරෙක් එක්ක කතා කලා මතකද? පොර කොල් එකෙන් ලොකු ටෝක් දෙද්දි මම කිව්වනේ “මට ඕනැ යුරෝ දෙකයි” කියලා. එතකොට ‍පොර කිව්වා කියලා මම කිව්වෙ, “ආ..... එහෙමද මල්ලි! එහෙනං ඔය රට ගිය කෙනෙක් ඉන්න ගෙදරකින් අහලා බලන්ඩ හොයාගන්ඩ බැරි වෙන එකක් නෑ. හරි එහෙනං මං තියන්නං මල්ලි ගුඩ් නයිට් හොදේ....!” කියලා. ඇත්තට එතන උනේ ඕක නෙමෙයි.

මේකයි,

මම කිව්වා, “මේකයි අයියා.... මට යුරෝ දෙකේ කාසියක් තිබ්බනං හොඳමට ඇති..............” කියලා.

ඒක කිව්ව ගමන් ඒ පැත්තෙ කිසිම සද්දයක් නැතුව තත්පර ඕන්නං තුනක් තියෙන්න ඇති.

“එහෙම ද මල්ලි.... අපෝ කලින් කියන්ඩ එපැ... මල්ලි මගේ කාලෙත් කාලා ඔයාගේ කාලෙත් කා ගත්තා. දෙකේ කාසියක් ඕන්නං ඔය රට ගිය ගෙදරකින් අහලා බලන්ඩකෝ... ඒ ගෙවල් වල පොඩි උන් බට්ට පනින්නෙත් දෙකේ කාසි වලින්....... මීක්.....මීක්........”

ඔන්න විනාඩියක් යන්න කලින් ආය කෝල් කලා බැංකු යාලුවා.

“මොකද්ද බං කර කලේ..........”

“ඇයි......”

“තෝ මාවත් එක්ක කෑවා”

“ඉතිං උඔ මොකටද බං ‍ඔච්චර තඩි මෝරෙක් සෙට් කලේ................ මට යුරෝ දෙකයි ඕනැ... හික් හික්.......”

“දෙකක් නං මට කතා කලේ කාලකණ්නියො.....”

“උඔට කතා කලේ මාරු කරගන්ඩ යන්ඩ වෙන හින්දා...... මං හිතාගෙන හිටියෙ උඔ ගෙදර යද්දි උඔ ලව්වා දෙකේ කාසියක් ගෙන්නගෙන උඔට සල්ලි දෙන්ඩ.......”

“උඔ හිතුවද අපේ බැංකුවෙ හවසට තෝස විකුණනවා කියලා.... මම රෑ වෙනකං වැඩකරන්ඩ........”

“හරි හරි බං... මට ඕක හිතුනෙ හවසනෙ.......කොහෙද තෝ යුරෝ කිව්ව ගමන් එලෝ මෙලෝ නැති වෙලානෙ ෆෝන් එක කට් කලේ..............උඹත් හොඳ කොමිස් කුට්ටියක් කපා ගන්ඩ ඉන්ඩැති නේද.......... හික් හික්......”

“කොමිස්....... තෝ ආය මොකක් හරි උදව්වක් ඉල්ලපන්කො බලන්ඩ මූසලයා....”

ඔය ඔක්කොම මම කපලා දැම්මා. ඒ ටිකෙන්ම මට මෙව්වා එකක් වෙනවා ඇරෙන්ඩ කතාවෙ හරයට කිසිම මෙව්වා එකක් වෙන්නැති හින්දා. අනික තෝ, කාලකණ්නියා, මූසලයා, කොමිස් වගේ වචන වීරයෙක් ගැන කියවෙන කතාවට කොහොමත් ගැලපෙන්නැනේ.

04. ඕගොල්ලන්ට මතකනෙ අර යුරෝ දෙක හොයලා දුන්නු අක්කා. එයාගෙන් මම ඒක ඉල්ල ගන්න ගිය වෙලාවේ මමත් ඇහැව්වා, “අක්කෙ ගාන කීයද කියලා?” අක්කා මට හොඳවයින් දෙකක් කතා කරලා “දැං එහෙමයි වැඩේ යන්නෙ නේ.... ගාන කීයද නේ...මෙතන මහන්සියෙන් හොයලා දුන්නා මදිවට ගානත් අහනවා.....දෙනවා මෙහෙට ඔය කාසිය... ගිහිං හොයාගන්නවා සල්ලි දීලා ගන්ඩ පුලුවන් තැනකිං” කිව්වා. ඒ ටිකත් මං කැපුවා. මොකෝ නැත්තං මුලු කතාව පුරාම තියෙන්නෙ මං බැනුම් අහපුවා විතරනෙ. වීරයො කවදද බැනුම් ඇහැව්වෙ.

ප/ප/ලි-

සමහර කෑලි කපල, සමහර කෑලි අතින් දැම්මම කතාව ලස්සනට ආවා. ඉතිං මම තමයි නියම වීරයා. නැද්ද මං අහන්නෙ?

Related Posts Plugin for WordPress, Blogger...