ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/10/27

චූටි මහත්තයගේ විප්ලවයේ නියම කොටස්කාරයෙක් වන්න! දැන්ම එන්න සයිබර් යායට...!

අද මට කතා කරන්න තියෙන්නෙ පුංචි කරුණු තුනයි. මේ කරුනු තුන කියවලා ඕගොල්ලත් තීරණේකට එන්න මේ විප්ලවයේ කොටස් කාරයෙක් වෙනවද නැද්ද කියලා.

මේ තියෙන්නෙ ඒවා,

ආදරය

ආදරය කියන්නෙ දෙන්න ඕන දෙයක්. ඒක දෙන්න ඕන කෙනා අනුවත් දෙන කෙනා අනුවත් වෙනස් වෙනවා. ආදරය කරන්නත්, ආදරය ලබන්නත් පින් කරලා තියෙන්න ඕනේලු. අපේ හිත කොහොම උනත්, ලබන කෙනාගේ හිත පි‍රිලා ඉතිරිලා යන්න ආදරේ කරන්න පුලුවන්නම් අන්න නියම ආදරේ!

ආදරේ සංකේතය මොකද්ද? ටාජ් මහලද? මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ ආදරේ සංකේතය හැටියට ටාජ් මහල සලකන්න. සාජහන් රජතුමා බිරිඳ නැති වුනු දුකට ඒක හැදුවා තමා. ඒත් ඒකෙන්ම තමා එයා ලෝකෙට පෙන්නුවෙ එයා කොච්චර ආත්මාර්ථකාමී කෲර ආදරවන්තයෙක්ද කියලා. ටජ් මහල හදපු ගමන් එයා කලේ ටාජ් මහලේ සැලසුම් ශිල්පින්ගෙයි, සිතුවම් ශිල්පීන්ගෙයි ඇස් උගුල්ලලා දාපු එක. මොකද ‍ඒ ගොල්ලන්ට මේ වගේ ලස්සන නිර්මාණ ආයෙත් කරන්න බැරි වෙන්න. අන්න ඒකයි මම ටජ් මහලට අකමැති. සාජහන් වගේ අපිත් ආදරේ කරන්න ඕනේ තමන්ගෙ අයට විතරද?

තෑගි

ඕනම කෙනෙකුට හීන තියෙනවා. සුබ සිහින සෑබෑ කරගන්න කව්ද අකමැති. හීන සැබෑ කරගන්න බැරිවෙන අය කරන්නෙ ඒක තමන්ගෙ හද පතුලේ ඇතුලු කොනේ තියෙන කාමරේකට දාලා වහලා දාන එක. අපිට පුලුවන්නම් ඒ දේ මොකද්ද කියලා දැනගෙන හැමදාටම හිරකරලා දාපු ඒ සිහිනය යථාර්ථයක් කරන්න අන්න නියම තෑග්ග! ඒක මොකක් උනත් කමක් නෑ. තෑග්ගක් හැටියට දෙයක් ලැබුනම කෙනෙක් කොච්චර සතුටු වෙනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මමත් ඒ අද්දැකීම බොහොම වාරයක් අත්වින්ද කෙනෙක්.

මං කැමති දේවල් මට තෑගි විදිහට ලැ‍බෙන්නෙ කාලෙක ඉදලා. කුමාරයයි මායි හුලං ගහපු බයිසිකලේ තාත්තා අරං දුන්නෙ රු. 500 ක ලොතරැයි දිනුමකින්. කටු නැති ඉලක්කම් ඔරලෝසුවක් මුලින්ම අරන් දුන්නෙ අර නෙක්ටො කතාවෙ ඉන්න පියරත්න මාමා. සුදුපාට ලොකු බුදු පිළිමයක් අරන් දුන්නෙ ආච්චි. කතන්දර සීයා පොල් සල්ලි වලින් මං කැමති කොකබුරා බැට් එකකුයි බෝල ටින් එකකුයි අරන් දුන්නා. ලැප්ටොප් කම්පියුටර් එකක් අරන් දුන්නෙ මැරියන්ගෙ අම්මා. මැලේසියාවෙදී, වෘත්තිය මට්ටමේ ඩිජිටල් කැමරාවක් මට අරන් දුන්නෙ මැරියන්. ඒවා ඔක්කොම ඒ ඒ කාලවල මගේ සිහින. නමුත් තම තමන්ගෙ පුද්ගලික හීන යටපත් වෙනවා අපේ පොදු අරමුණු වලට යද්දි. ඒත් නොහිතන වෙලාවල් වල ඒ හීන හැබෑ වෙද්දි දැනෙන සතුට මට වගේම ඕගොල්ලන්ටත් දැනිලා ඇති?

මේකෙ ආසන්නම සිද්ධිය මේ ලඟපාත දවසක වෙයි කියලා මම හිතුවෙ නෑ. ඒ මට ග්‍රැෆික් ටැබ්ලට් එකක් තෑගි ලැබුනු එක! මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින්, කාලයක් තිස්සෙ බ්ලොග් එකක් කරගෙන යන කෙනෙක් ඇහැව්වා ග්‍රැෆික් ටැබ්ලට් එකක් අරන් දෙන්නද කියලා. මං එපා කිව්වා. ඒ වගේ තෑග්ගක් මට බර වැඩි හින්දා. පස්සෙ එයා මං ඇඳපු සිත්තර වලට අසාධාරණ වටිනාකමක් දීලා ඒකෙ මිල ගෙව්වේ ග්‍රැෆික් ටැබ්ලට් එකෙන්. ඒක මගේ අතට ලැබුන දා මම කොච්චර සතුටු උනාද!


විප්ලවය

“චේ ගුවේරා” වීරයා‍ට විප්ලවය දරු ප්‍රසූතියක් වගේලු. මුලින්ම නොඉවසිල්ල, දෙවෙනියට විලාප හඬ, තෙවෙනියට ලේ වැගිරීමකට පස්සෙ මහා නිහැඩියාවක්. ඔන්න ඊට පස්සෙයි බලාපොරොත්තුව උපදින්නනෙ. ඒ පොඩි එකෙක් අඬන සද්දෙන්! චේ කියන්නෙ විප්ලවයත් ඒ වගේ කියලා.

චේ ට විප්ලවය දරු ප්‍රසූතියක් වගේ උනාට, අපේ අම්මට නං දරු ප්‍රසූතියම විප්ලවයක් උනා. ඒ මම හින්දා. ඒක කලින් මම කිව්වනෙ. අපි හින්දා හැම අම්ම කෙනෙක්ම කරන්නෙ විප්ලවයක්! ඒක හරි.

අපේ අම්මා එහෙම පණනල දුන්නු විප්ලවයේ එක්තරා තැනකට අද මම ඇවිල්ලා තියෙනවා.ඉතාම සරළව කියනවනම් මේ ලෝකෙ කිසිම සිද්දියක් අහම්බයක් නොවේය, සියල්ල මේ වෙන විටත් සැළසුම් වෙලා හමාරයි කියන සරළ සිද්ධාන්තෙ ඉදලා බැලුවොත්, විප්ලවයේ ඇරඹුමත් අවසානයත් දැනටම තීරණය වෙලා හමාරයි.

ඉතිං ඒ කාලය අතරතුර ගෙවෙන සංක්‍රාන්තියෙ තවත් එක පියවරක් අද ගෙවුනා. ඒක කව්රු මොන විදිහට නිර්වචනය කලත් සරළම එක උපන් දිනේ කියන එකයි.

එතකොට ආදරයයි, තෑගියි, විප්ලවයයි කොහොමද එකට ගලපන්නෙ?

විප්ලවයට අම්මලා පණනල දුන්නට, ඒක ඉදිරියට ගෙනියන්න ඕනෙ අපි.

ඒකට අපිට ආදරයයි, ත්‍යාගශීලි කමයි කියන අවි ආයුධ පාවිච්චි කරන්න පුලුවන්නෙ. හැබැයි සාජහන් වගේ නෙමේ හොඳද......

අපි අපේ වැඩේ හරියට කලොත් මීට අවුරුදු ගානකට කලින් අපේ අම්මලා පණනල දුන්නු විප්ලවයේ නියම ප්‍රථිපලය වෙන්න අපිට පුලුවන් වේවි...!

අපි, සියලු දෙනාට ආදරේ කරන, හැකි සෑම අවස්ථාවකම ත්‍යාගශිලිවන්ත අය උනොත් අම්මලාට පුලුවන් වෙයි අපි දිහා බලලා සතුටු වෙන්න.

මම විප්ලවය ඉදිරියට ගෙනියන්න කැමති එහෙමයි.

ඒ විප්ලවය ඉදිරියට ගෙනියන්න අද වගේ දවසක මමත් එක්ක ඕගොල්ලත් එකතු වෙනවද?

විප්ලවයට ජය වේවා!!

....................

- මීට යුරෝ දෙකේ වීරයා

2011/10/17

චූටි මහත්තයගෙ පෙම්පළහිලව්ව හෙලි වේ. | මලක් වෙලා ඔබ පිපෙන්න - ආදරේ සුවඳ දෙන්න...!

කැරම් බෝඩ් එකකටයි, ඉත්තො ටිකකටයි කරන්න පුලුවන් මොනවද?

අපි කව්රුත් දන්නෙ කැරම් බෝඩ් එකකට කරන්න පුලුවන් ඒක උඩ තියෙන ඉත්තො එක්ක අපිට සෙල්ලම් කරන්න අවස්ථාව දීලා බලාගෙන ඉන්න එක විතරයි කියලා.

ඒත් කැරම් බෝඩ් එකකුයි, පුංචි ඉත්තො ටිකකුයි දවසක් මට හරි වැඩක් කලා.

ඒ මම කුරුලු හමුදාවේ හිටපු කාලේ. ඒ කාලේ අපි විවේක තියෙන හැම තිස්සෙම කලේ කැරම් ගහපු එක. නිතර දෙවෙලේ කැරම් ගහලා අපිට ඉත්තො කපන එක කජු කනවා වගේ ලේසි වෙලයි තිබුනෙ.

ඔය කාලෙදි අපි ගියා අපේ පරණ ගමට. දුරින් නෑයො වෙන ගෙදරකට උත්සවේකට. උත්සවයෙ වැඩ වලට උදව් වෙන්න හින්දා මම දවස් දෙක තුනකට කලින්ම නිවාඩු දාලා එහෙ ගියා. නෑදෑ කෙනෙක්ගෙ උත්සවයක් හින්දා අපේ නෑයොත් ‍‍ගොඩක් දෙනෙක් එහෙ ඇවිල්ලා තිබුනෙ.

කොහොම හරි ලොකු ලොකු වැඩ ටික ඉවර කරලා අපි හැන්දෑවේ සතුටු සාමිච්චියෙ යෙදිලා ඉද්දි මම යෝජනාවක් කරා, “අපි කැරම් අතක්වත් ගහමුද, නිකං ඉන්න එකේ.....?“ කියලා. කිව්වට මොකද කැරම් ගහන්ඩ කව්රුත් වැඩි කැමැත්තක් නෑ.

“අපෝ බං. කැරම් අතක් ගහන්ඩ එකෙක් නැ එතකොට නේ.........?” මම ආයෙත් ඇහැව්වා.

“මොන කැරම්ද බං, අපි තුන්සිය හතරක් වත් බලමුද?”

“අනේ මේ මට බෑ.....එතකොට කැරම් ගහන්ඩ එකෙක් නෑ මාත් එක්කලා නේ.....?”

“මම එන්නං.....” ඒ කව්දෝ ගැල්ලමයෙක්. මං ගැස්සිලා ගියා.

“හා..........” මම ඒ කටහඬ ආපු ඉසව්ව හෙව්වා. ඒ අපේ නැන්දලා එක්ක ආපු නංගි කෙනෙක්. එයා අපේ නෑදෑ කෙනෙක් වෙන්ඩ බෑ. අපේ නංගිලා මල්ලිලාව මම අඳුරන්නැති එකක් යැ. මමත් එදා ගිය වෙලාවේ ඉදලා විපරම් කර කර හිටියෙ ඒ සුදුපාට හුරුබුහුටි කව්ද කියලා.

“හ්ම්....අපි නොදන්න චෙස් කිව්වලු! බෝඩ් එකට පවුඩර් ටිකක් දාලා ගනිංකො එහෙනං...!!!” මගෙ හිත කිව්වා.

ඔන්න ඔහොම තනි මම, සගයෙක් හොයාගෙන, කැරම් බෝඩ් එක ගෙනල්ලා, අඔ ගහ යට තියලා, පුටු ටික තියලා ගත්තට පස්සෙ මෙන්න කැරම් ගහන්ඩ කට්ටිය ඕසෙට. මට නං තරහත් ගියා. මම හීන හතක් මැද හිටියෙ, අඔ ගහ යට හෙවනේ, හැන්දැ කොරේ අර නැන්දලා එක්ක ආපු හුරුබුහුටිත් එක්ක තනි පංගලමේ කැරම් අතක් ගහන්ඩ. සිකේයියා මේ ගොල්ලං හිටියෙ නැත්තං මට වැඩ ටිකක් පෙන්නන්ඩ තිබ්බා නිල් කැටේට.

කොහොමහරි අපි කැරම් ගහන්ඩ පටන් ගත්තා.

මුලින්ම මමත් එක්ක කැරම් ගහන්න කැමතිවුනු ඒ හුරුබුහුටියි මායි එක පැත්තක. අනිත් පැතිවල කව්රු හිටියද මට වැඩක් ඇතැයි.

මට කැරම් බෝඩ් එක හුරු තරමටම අර හුරුබුහුටිට ඒක හුරු නෑ. එයාට තියෙන්නෙ කැරම් ගහන්න ආසාව විතරයි. ගහන්ඩ බෑ.

“ආ...... හරි නංගි....ඔයා මේ ඉත්තගේ මේ පැත්තට යාන්තං වදින්ඩ ගහන්ඩ ඩිස්ක් එක මෙතන තියලා........” ඒ මම.

“අයියෝ........හිකිස්” ඒ අර හුරුබුහුටි. එයා ඉත්තට ඉලක්කෙ ඇල්ලුවට වදින්නෙ වැරදියට. ඒත් අර විදිහට හිනාවෙනවනං අනිත් ඉත්තො ඔක්කොම අපායට කැපුවත් මම නෙමේ මොකවත් කියන්නෙ.

“ආ.... කමන්නැ කමන්නැ....... ඊලග පාර අපි ඔය ඉත්තව ගොඩ දා ගමුකො..... නංගි ගනං ගන්ඩ එපා.......හො‍‍‍දේ...”

ඔහොම ටික වෙලාවක් සෙල්ලං කර කර ඉඳලා, කට්ටිය නරියට කුකුල් කූඩුව බාර දීලා එක එක වැඩ වලට නැගිටලා ගියා.

දැං මමයි අර හුරුබුහුටියි, ඒ කියන්නෙ නැන්දලා එක්ක ආපු නංගියයි විතරක් කැරම් බෝඩ් එක දෙපැත්තෙ. බලන්ඩකෝ ඒකෙත් හැටි නේද! මේවා ගිහිං අරුන්ට කියද්දි උන් ඉරිසියාවේ පැලෙයි.

“කො......ඔයා කැරම් ගහමු කිව්වට ඔයාට එච්චර මෙව්වා එකක් නෑ නේද.........?” මම වචන පාවිච්චි කලෙ අන්තිම පරිස්සමට. බැරි වෙලා හරි වැරදි මෙව්වා එකක් කියවුනොත් එහෙම.

“හ්ම්.......”

“ඇයි ඔයා කැරම් ගහන්ඩ කැමති උනේ මාත් එක්ක.............”

“මං පොඩි කාලේ කැරම් ගහලා තියෙනවා අපේ තාත්තත් එක්කලා.......”

“ඉතිං.........”

ඔහොම අහද්දි මට තේරුනා මගේ දකුණු ඇහෙන් බොඳ වෙලා පේන හරියෙ මොකක් හරි සිද්දියක් සිද්ද වෙනවා කියලා. මං අර ගැල්ලමයට හොරා ඒ පැත්තට යැව්වා මගේ ඇහේ බබාව. වැඩේ හරි. මට මතක හැටියට මුලින්ම අර ලොකුවට හදලා තිබුනු තාවකාලික මුලුතැන්ගේ පැත්තතෙන් එබුනෙ රාණි නැන්දා. පස්සෙ අපේ අම්මා. ඊලඟට තාත්තා. ඔන්න දැං එබිලා බැලුවේ මේ ගැල්ලමය එක්කගෙන ඇවිල්ලා තිබුනු නැන්දලා. අපේ නංගියි අනිත් කට්ටියි එබුනේ ඊටත් පස්සෙ. මට පේන්නෙ ඒ ගොල්ලං ටිකට් නැතුව ෂෝ එක බලලා වගේ.

“මේ....අයියෙ මං ටිකක් අර පැත්තට ගිහිල්ලා එන්නං.....ලේන්සුවක් ගේන්ඩ අමතක උනා. මෙන්න අර ළමයා නැගිටලා ගියා, අන්තිමට අහපු ප්‍රශ්ණෙට උත්තරයක්වත් නොදී. එයාටත් අරගොල්ලන්ගෙ වැඩේ තේරෙන්ඩ ඇති.

නරියට කුකුල් කොටුව බාර දුන්නට, කොටුව ඇතුලට නරියා පැන්න විතරයි, මෙන්න අයිතිකාරයො කලුවරේ ලීයකින් කූරු ගානවා නරියා තාම ඇතුලෙද බලන්ඩ.

“ඔය ලීය වැනුවට කමන්නැ පුතෝ.....මගේ ඇහේ වැදුනොත්නෙ...!!!!”

ඔන්න ඊලගට උදා උනේ “එයාර් සපෝට්” ගන්න වෙලාව. ඒ කියන්නෙ කුරුලු හමුදාවෙන් උදව් ඉල්ලන වෙලාව. ගත්තා ෆෝන් එක.

“කීක්.... කීක්.... කීක්.... කීක්.... කීක්....හෙලෝ......”

“අනේ උදාව් උදාව්..... මට උදව් කරපල්ලා යකුනේ........”

“මොකෝ බං.... මේ හැන්දැවේ..... ගමේ උන් උඔට නෙලනවද... පරණ කේස් එකකට.....” ඕං බලමුකො අපේ උන් මං ගැන හිතාගෙන ඉන්න හැටි.

“පිස්සුද බං...... කෝ දෙයියට දීපං ෆෝන් එක.......උඔලත් එක්ක මේ වගේ දේවල් කතා කරලා වැඩක් ඇතැ.......”

දෙයියා ඇවිල්ලා ඔය වගේ තනි ඉරේ යන වැඩ, අල වෙන්ඩ යන වැඩ, පියෝ වැඩ වලට, නං දරාපු අපේ එකම පොර. දෙයියා සාමි කිව් දෙයක් ආය වැරදිලා එහෙම නෑ. ඉතිං මං මිනිහගෙනුත් උප‍දෙස් අරං වැඩේට බැස්සා කාටත් නොදැනෙන්න.

ඉදිරි දවස් දෙක තුන මට වැඩ බහුල කාල පරිඡ්චේදයක් උනා.

“අපි දිඹුල් අහුලන්ඩ යන්නෙ......” ඒ අපේ නංගි.

“යං මාත් එන්නං... දැං කව්රු කව්රු ද යන්නෙ.....?” නෑ ඉතිං යන්නෙ කව්ද, කොහෙද යන්නෙ කියලා දැන ගන්න එක කෝකටත් හොඳයිනෙ.

“අපි වැවට නාන්න යන්ඩ යන්නෙ..... චුටි මහත්තයලගේ ක්‍රිකට් ගැහිල්ල දැම්ම ඉවරවෙන්නැනේ නේද?” ඒ අ‍පේ අම්මලා නැන්දලා.

“විකාරද......ක්‍රිකට් ගැහිල්ල යකාට ගියාවේ.....කොළඔට වඩා රස්නෙ මෙහෙනෙ.....යං යං මාත් එනවා.... දැං කව්රු කව්රු ද යන්නෙ.....?” මට ඉතිං කෙලින්ම අහතැහැකිය අර ගැල්ලමයත් එනවද කියලා.

“කොහෙද ඕගොල්ලං යන්ඩ යන්නෙ......?”

“අපි පංසල් යනවා... මේ ගොල්ලංට යන්ඩ කලින් අපේ පන්සල පෙන්නන්ඩලු.......” ඒ අර පොඩි කාලේ මාත් එක්ක කොච්චරවත් වලි අල්ලන එහා වැටේ වාසනා කෙල්ල. දැං එයා මාත් එක්කලා හෙන ෆිට්.

“දැං කව්රු කව්රු ද යන්නෙ.....?” මේ ටික දැං ඕගොල්ලන්ටත් හුරු ඇති.

“කව්රු කව්රුද.......අනේ මේ අපි දන්නවා හරිද......”

“මොනවද......” මාව ඩිග් ගාලා ගියා.

“නැනැ..... මුකුත් නෑ...... හැමෝම යනවා.... එන්ඩ ඉතිං....... මේ ඒක නෙමේ, එතකොට අර කොළඹ ගැල්ලමයිට මොකෝ වෙන්නෙ....ආ”

“පිස්සුද බං උඔට.....”

ඉතිං හවස් අතේ අපි පන්සලට ගියා.

“මේ හදලා තියෙන්නෙ පව් කරපු අයව කටු ඉඹුලෙ නග්ගන හැටි...... ඔයා දන්නවද... මේ කටු වැඩ කරන්නෙ මෝටරේකින්ලු” මං අර ගෑල්ලමයට කිට්ටු කරලා හෙමින් කිව්වා. පොඩි කාලේ ඒවා ම‍ට තාම මතකයි.

“හිකිස්...........අම්මෝ මෙයා කියන බොරු”.

“බොරු..... මං බොරු කියන එක අතඇරලා ගොඩක් කල්නෙ................“

කොහොම හරි මගේ නිවාඩුත් ඉවර වේගෙන ආවා. ඒත් මට අර ළමයට දැනෙන්ඩ මුකුත් කරකියා ගන්ඩ බැරි උනා.

යන්ඩ කලින් දා හවස, නොකියා කොම්පැනියට පින්සිද්ධ වෙන්ඩ යන්තං වැඩේ දික්ගස්ස ගන්ඩ පුලුවන් පොටක් පෑදුනා. ඒ ගැල්ලමට ඒ ගොල්ලංගෙ අම්මා රට ඉඳං ෆෝන් එකක් එවලා තිබ්බා. ඒත් ඒකෙන් එස්.එම්.එස්. යවන්ඩ බෑ කියලා මට හදලා දෙන්ඩ කිව්වා.

මමත් පැන්න ගමං ගත්තා ෆෝන් එක. මැසේජ් සෙටින්ග්ස් වලට ගිහිං සෙන්ටර් නම්බර් එක හරියට ගහලා වැඩේ ක්ලෝස් කරා. පස්සෙ හීන් සැරේ මගේ ෆෝන් එකට ගැහුවා මිස්ඩ් කෝල් එකක්.

“මොකද්ද ඒ කරේ......?”

“ඇයි! මුකුත් නෑ....”

“හොර තක්-කඩියා!”

අනේ ඒ විදිහට හොර තක්කඩියා කියනවනං මම හැමදාම උනත් හොරකං කරනවා.

ඊට පස්සෙ කොච්චර දේවල් උනාද?

මං රුපියල් හාරසීයේ කාඩ් කීයක් නං ඉවර වෙනකං කතා කරන්න ඇද්ද ටිකකට අපි හම්බවෙමු කියන්න. ඔය මං මගේම ව්‍යපෘතියකට කියලා වියදම් කරපු වැඩිම මුදල. ඒ ලෙවල් එකට හදපු ව්‍යපෘතියටත් මම උපරිම වියදම් කලේ රුපියල් හැටයි. ඒකත් පිටකොල දෙක ලැමිනේටින් කරන්ඩ.

කොහොමහරි අන්තිමේ එක දවසක් “හා” කිව්වා. එයා ඉරිදා එනවා කිව්වා මොකද්දෝ කෝස් එකක‍ට ලියාපදිංචි වෙන්ඩ අපේ රාජධානියට. ඒ කියන්නෙ ටොරින්ටන් ක්‍රීඩාංගනේ හරියෙ තැනකට. මම කතා කරාම හවස හතරට එන්නං කිව්වා බී.එම්.අයි.සී.එච්. එක ගාවට. මම කෝල් එක කට් කරපු ගමන් ඩබල් බෙඩ් එකේ උඩට නැගලා කෑ ගහලා කිව්වා,

“හා කිව්වා යකුනේ......” කියලා.

කොල්ලො කඩි ගුල වගේ ඇවිස්සුනා. එදා ඉදං කොල්ලො මට එක එක උපදෙස් දුන්නා. ගැල්ලමයා ඉස්සරහා මුලින්ම කතා කරන්න ඕන දේවල්. ඒවා කියද්දි හඬ පාලනය කරන්න ඕනේ කොහොමද වගේ කාරණා ගැන.

කොහොමහරි ඉරිදා උනා.

මම උදේ නැගිටලා අත පත ගාලා කොට්ටෙ යට තිබ්බ මගේ ෆෝන් එක හොයාගෙන එස්. එම්. එස්. එකක් යැව්වා සිංදු කෑල්ලකුත් එක්ක මෙහෙම කියලා.

ඒකනං ඔන්න කොල්ලො කියපු දෙයක් නෙමේ. මගේම අදහසක් !

“මලක් වෙලා ඔබ පිපෙන්න - ආදරේ සුවඳ දෙන්න...

ගඟක් වගේ ඔබ ගලන්න - සෙනෙහසින් පිරී යන්න...

අද හවස ඔයා හමුවෙන්න මම බලාගෙන ඉන්නවා.........!"

දැං වත් තේරෙන්නැතැ මං කියන්ඩ හදන්නෙ මොකද්ද කියලා. ඇරත් මම ලිඛිතව මේ වෙනකං ඉල්ලිමක් කරලා තිබුනෙත් නෑනේ. ඔක්කොම ගියේ කටවචනෙට.

ඔන්න දැං හවස් වරුව ආවා.

ඉතිං මං යන්ඩ ලෑස්ති වෙද්දි, අන්න යාලුවො. ජෙල්වලින් කට්ටියක්, පොලිෂ් වලින් කට්ටියක්, කිරිං වලින් කට්ටියක්, උපදෙස් වලින් කට්ටියක්, හරියට අලුත් අවුරුදු උදාවට ලෑස්ති වෙනවා වගේ.

ඒ ඔක්කොම ඉවර වෙලා කොල්ලො ටික මට හදවතින්ම සුබ පැතුවා, “වැඩේ ගොඩ දාගෙන වරෙන්...! නැත්තං තෝ මේ පැත්ත පලාතෙ පස් පාගන්ඩ එපා.....!” කියලා.

ඉතිං මම නිදහස් මාවතේ පාවෙලා ගිහිල්ලා, පාර පැනලා බී.එම්.අයි.සී.එච්. එකට මෙහා පැත්තෙ තියෙන බුද්ධ ප්‍රතිමාවේ හෙවනැල්ල යටට වෙලා හිටිය අර නැන්දලත් එක්ක ආපු, සුදුපාට හුරුබුහුටි ගැල්ලමයා මාව හොයාගෙන එනකං.

ටිකෙන් ටික වෙලාව ගත උනා. හතර වෙද්දි මගේ ඇඟට නිකං උණ ගතියක් ඇවිල්ලා තිබුනෙ. එයා ඇවිල්ලා මොනවා කියයිද කියලා.

ඕගොල්ලම පොඩ්ඩක් හිතලා බලන්ඩකො කොහොමද ඒ අවස්ථාව කියලා.

ඔන්න ඊලග විනාඩියෙදී මට මේ ටික දවසට වැඩිපුරම හිතට වැදුනු ඒ ගැණු ළමයා වංගුවෙන් මතු උනා. මේ එන්නෙ මාව හම්බවෙන්න නේද කියලා හිතෙද්දි මගේ බඩ පපුව සීතල වෙලා ගියා. එයා මං ගාවට ආවා.

“ඇයි එන්න කිව්වෙ......” එයානං බොහොම සැහැල්ලු හිනාවකින් ඉන්නෙ. මගෙනං තුනටියට හෙණ ගහලා වගේ. හිරියක් අල්ලලා ඒක ඇඟ දිගේ දුවනවා.

“නිකං............”

මං එයා දිහා බැලුවා. මෙයා හින්දා පහුගිය සතියෙ මට හරියට නින්දකුත් නෑ. ඇස් ඇරියත්, ඇස් වැහුවත් පේන්නෙ මෙයාව. මං ගිය සතියෙම කැරම් බෝඩ් එකක් පැත්ත පලාතෙ ගියෙ නෑ. මෙයා නැති කැරම් බෝඩ් මොකදට අයියෝ! අනික සිං සිං ගාලා ඉත්තො කපපු මට, පහුගිය ටිකේ ඉත්තෙක් වලට කපනවා කියන එක කොච්චර අමාරු උනාද! පවර් ස්ටීරියන් නැති 1210 ලොරියක් හරෝනවට ඊට ලේසියි. කොහෙද ඉතිං මෙයාට තේරෙන එකක් යැ ඕවා. අනින්ඩ හිතෙනවා ටොක්කක්!

යාලුවෝ දවස් ගානක් මට පුරුදු කරපු දේවල් මේ වෙද්දි මට අමතක වෙලා තිබුනේ. මට මතක් කරලාවත් කොනක් අල්ලගන්ඩ බැරි උනා. අනික හඬ පාලනයත් බිංදුවට වැටිලා. මොකෝ ඒ වෙද්දි මගෙ උගුර කටත් එක්ක වෙලිලා තිබුනෙ.

“එහෙනං මං යන්නං..........පරක්කුත් වෙනවා.....“

“පොඩ්ඩක් ඉන්ඩකො...............”

“ඇයි.......” ඔන්න දැං නං එයත් පොඩි තිගැස්මකින් ඉන්නෙ කියලා මට තේරුනා.

“හාද.............?!” මම හරකෙක් වගේ එක පාරටම ඒ වචන ටික දමලා ගැහුවා. අරුං ටික කොහෙ හරි ඉඳලා බලාගෙන හිටිය නං මට ටොකු කාලා විසේ යනවා.

“මොනාද?”

මට තේරුණා මේ විදිහට මේ වැඩේ කරගෙන යන්න බෑ කියලා. ඉතිං මං එදා ප්‍රශ්නෙ ආය ඇහැව්වා.

“ඇයි එදා ඔයා කැරම් ගහන්ඩ කැමති උනේ මාත් එක්ක.............”

“මං පොඩි කාලේ කැරම් ගහලා තියෙනවා අපේ තාත්තත් එක්කලා.......” පරණ උත්තරේමයි.

“ඉතිං......... දැං තාත්තා කැරම් ගහන්ඩ එන්නැද්ද?”

“නෑ.....”

“ඇයි.....ඒ....?”

“තාත්තා දැං නෑ......” එයාගෙ ඇස් වලට කඳුලු ආවා.

“අනේ සොරි....... මං දන්නැනේ ඉතිං......”

“ඒකට කමන්නැ............අයියා කව්ද කියලා දන්නැතුවත් මට එකපාරට හා කියවුනේ ඒකයි......”

“ආ.......හරි ඒක අමතක කරලා දාන්ඩ. අපි මෙහෙම කරමු.......................!”

එයා කඳුලු පිහදානවා.

“ඔයා කැමති නැද්ද ජීවිතේ හැමදාම මාත් එක්ක කැරම් ගහන්ඩ........ඒ කාලේ තාත්තා එක්ක සෙල්ලං කලා වගේ......”

එයා මගේ මුණ දිහා බැලුවා. අපේ ඇස් පළවෙනි වතාවට එකට හමුඋනා. ඒ ඇස් මගේ යෝජනාවට කැමති උනා කියලා මට හිතුනා. මම අන්තිමට කිව්ව වචන ටික එයාගෙ හිතේ ඕනැවටත් වැඩිය ලොකු බලාපොරොත්තුවක් ඇතිකරලා. තත්පර ගානක් අපි ඒ විදිහට බලාගෙන හිටියා. ජීවිතේ කිසිදාක නොබිඳින්ඩ බැරි බැම්මක පදනම වැටුනෙ අන්න ඒ විදිහට.

“ඕන්නං මං ඔයාට කියලත් දෙන්නම්කෝ හරියට කැරම් ගහන්නෙ කොහොමද කියලා..........................” මම ඉත්තෙකුට ගහන විදිහට ඇඟිලි හදලා හිමීට එයාගෙ කම්මුලට තට්ටුවක් දැම්මා.

.............................

දැං ඕගොල්ලන්ට තේරෙනවනෙ.

අන්න එහෙමයි කැරම් බෝඩ් එකකුයි, පුංචි ඉත්තො ටිකකුයි, හැමදාම මගේ තනිනොතනියට මා ලඟ ඉන්න, මටම කියලා හුරුබුහුටි ගැල්ලමයෙක්ව හොයලා දුන්නෙ.

................................

- මීට යුරො දෙකේ වීරයා.

2011/10/07

ගලක් එල්ල ගන්නයි කිව්වේ? | පූසෙක් කතා කරයි.......!

එදා පොරොන්දු වෙච්ච විදිහට සිත්තර තරගෙන් දිනපු කෙනාගෙ තෑග්ගයි මේ තියෙන්නෙ.

ඕගොල්ල හැමෝම දන්න හැටියට, එදා අන්තිම තියුණු තරගෙකින් පස්සෙ තරග ප්‍රථිපල හැටියට කියවුනේ අපේ පූසා දින්නයි කියලා. ඒ අනුව පූසා විසින් අඳින ලද සිත්තරේකුත් එක්කලා, එයා ගෙවලා දැම්ම චූටි මහත්තයගෙ වයසෙ දී වෙච්ච රසබර සිද්දියක් තමා එයා අද අපිට කියන්න යන්නෙ.

එදා පොරොන්දු වෙච්ච විදිහට පූසාගෙ මේ කතාව සයිබර් යායේ හැමදාම තියෙයි, මේ කතාවට යන්න විශේෂ පාරකුත් එක්කලාම.

හරි දැං අපි කියෝමු පූසගෙ කතාව.

.................................

නිපුනයා අපේ කණ්ඩායමේම හිටියා උනත් මට ඕකාව පෙන්නන්න බෑ. ඇයි අනේ ටීච මේ කියන දේ ඕකාට මේ මතක නෑ. ඕකා හන්දමයි හැමදාම ප්‍රශ්න අහන තරඟෙදී අපේ කණ්ඩයමට ලකුණු අඩු වෙන්නේ.

නැණති දනන් හට මඳ ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබඳ
විමති දනන් හට කළ නිසි ගුණ නොමඳ
එනැති වේ ය දිය පිට ඇඳි ඉරක් ලෙද

දහම් පාසලේදී ඔය කවිය කියන කොට මට මතක් වෙන්නේ අපේ ඉස්කෝලේ නිපුනයාවමයි. ඒකගේ මතකෙත් හරියට දිය පිට ඇඳි ඉරක් වගේමයි කියලා මට එවෙලෙට හිතෙනවා.

එදා අපේ ටීච අපිව එළියට එක්කගෙන ගියේ ඉස්කෝලේ ඩෙංගු මදුරුවෝ බෝ වෙන තැන් තියනවනම් ඒ තැන් විනාස කරන්න කියලා. මම නම් ආයේ ඔය අස්සවල් වල හිටි එක මඳුරුවෙක්වත් අතෑරියේ නෑ. මට විඳපු ඔක්කොම උන්ට දුන්නා වැඩේ. අපේ ටීච කියනවා ටිං තියනවන්ම් ඒවා පොඩි කරලා ටීච ගාව තියන පොහොර උරේට දාන්නලු. ඒවට වතුර පිරිලාලු ඩෙංගු මදුරුවෝ හැදෙන්නේ. ටීටච පිස්සු! ඇයි අනේ ඕවයේ මදුරුවෝ හැදෙන්නේ මේ දැන් ඉන්න උන් බිත්තර දැම්මමනේ. ඉතිං මම නම් කළේ අතට අහු වෙච්චි හැම මදුරුවෙක්වම විනාස කරපු එකයි.
ඔය වෙලේ නිපුනයා හිටියේ ටීච ගාවටම වෙලා ටිං එකක තල තලා. ඔන්න එතකොටමයි මුගටියෙක් අපි උන්නු තැනින් එක පඳුරක් අස්සෙ ඉඳන් තව පඳුරකට මාරු උනේ. කොහෙද අපේ නිපුනයාටත් කට පියං ඉන්න බෑනේ. ඒකා එක පාරටම කෑ ගැහුවේ නැතෑ,

"අම්මටහුඩු මුගටියෙක්!" කියලා. ඒක ඇහිච්චි ටීචට ටිකක් තරහා ගියා.

"පුතා ඒක නරක කතාවක්. ආයේ එහෙම ඒ වගේ වචන පාවිච්චි කරනවා මට ඇහෙන්න බෑ තේරුණාද?" ටීච කිව්වා.

අපේ ටීච හරිම හොඳයි. නැත්තම් කොහෙද මෙතන ගාමිණී සර් වගේ උන්නනම් දැන් නිපුනයාගේ කට ඉරයි නිකං බාගෙට පැලිච්චි ටෙන්ස් බෝලයක් අල්ලලා දෙකට පලනවා වගේ. මට හිතුනා.

ඕං ඔය අස්සේ තමයි තවත් මුඟටියෙක් කලින් වගේම පඳුරෙන් පඳුරට මාරු උනේ. ඒක දැක්ක ගමන් නිපුනයාට ටීච කලින් කිව්ව කතාවත් අමතකයි.

"අම්මටහුඩු ආං ටීච තව එකෙක්!" මුගටියෙක් දැක්කාම මූට ඉන්න තැනත් අමතක වෙනවා.

මම නම් උන්නේ ටීච මුගේ කන මිරිකයි කියලමයි. ඒත් මේං බොලේ ටීච සාරි පොටෙන් කට වගහෙන හෝ ගාලා හිනා වෙනවා.
"ඔය මං දැන් කිව්ව එක මතක නෑ නේද?" පස්සේ ටීච ටිකක් සැරෙන් එච්චරමයි කිව්වේ.

ටීච මූව හදන්නැත්තම් මං හදන්නම්කෝ මම එවෙල් හිතා ගත්තා. ගෙදරදී මම තාත්තාට චක්කරේ පාඩම් දෙනකොට එකම තැන් දෙතුං පාරක් වැරැද්දුවාම තාත්තා මට අනිනවා ටොක්කක් තරු විසි වෙන්න. ඒක කොච්චර බල සම්පන්න ටොක්කක්ද කියනවනම් මම ආයේ ඒ තැන් වැරදිලාවත් වරද්දන්නේ නෑ. ඉතිං නිපුනයාගේ ලෙඩේටත් දෙන්න ඕන බෙහෙතත් ඒකමයි.
කොහොමහරි අස් පස් කරලා ඉවර වෙලා පංතියට යමිං ගමන් මම ටීචට නොපෙනෙන්න ඇන්නා නිපුනයාට හොඳ ටොක්කක්.

"ටීච දෙයක් එකපාරක් කිව්වාම මතක තියාගන්නවකෝ" මම කිව්වා.

නිපුනයා මං දිහා ඔරවලා බැලුවා මිසක් මට ගහන්න ආවේ නෑ. මොකද පංතියේ හිටි පිරිමි ළමයි 24 දෙනාගෙන් මට වඩා චණ්ඩි හිටියේ 18 දෙනෙක් විතරනේ. හොඳ වෙලාව
ට නිපුනයා ඉන් එකෙක් නෙමෙයි.

පස්සේ ටීච උගන්නන්න ගත්තා. මම පොඩි වෙලාවක්ට මගේ පිටි පස්සේ කණ්ඩායමේ මහේෂ් එක්ක කතාකරන කොට මගේ ඔළුව හිල් වෙන සයිස් එකට ගලක් වගේ එකක් වැදුනා. මම පැත්තට හැරිලා උන්නත් ඇහේ කොණෙන් මං දැක්කා මගේ ඉස්සරහා හිටි නිපුනයා තමයි මට ගැහුවේ කියලා. ඒකා මගේම මකනේ අරං මට ගහලා.
ඒත් එක්කමයි අනිත් කණ්ඩායමේ හිටි කෙල්ලෙක් අම්මෝ! කියලා ඇහැ අල්ල ගත්තේ.

"කවුද ඒ මකනෙන් ගැහුව කෙනා නැඟිටිනවා" ටීච කෑ ගැහුවා.

නිපුනයාව ඉබේටම නැඟිට්ටුනා. මටනම් හෙන සතුටුයි.

"මේ පූසා තමයි ටීච මට කලිං ගැහුවේ. මං පූසාට ගැහුවේ එක තමයි
වැරදිලා අචලාට වැදුනේ" නිපුනයා වෙවුල වෙවුලා කිව්වා.

"මං කොහෙද ඔයාට ගැහුවේ" ඕං ඔය බොරු කියන කොටනම් මට තරහා යනවා.

"හා හා ඇති දෙන්නම බහිනවා පන්තියෙන් එළියට ඉන්ටවල් එක වෙනකම් එළියේ හිටගෙන ඉන්නවා"
ෂික් මාර පල් එක. මායි නිපුනයයි එළියේ හිටං පාඩම අහං හිටියා. ඔය අසේ නිපුනයා මට රහසින් කියනවා,

"ඒයි පූසා දැන් කොහොමද ප්‍රින්සිපල් ආවොත්. අපි දෙන්නම ඉවරයි!"

නිපුනයාට කියලා කට ගන්න උනේ නෑ. කොරිඩෝවේ අනිත් කෙළවරේ වේවැලත් අතිං අරං ප්‍රින්සිපල් මතු උනා.

"තුක් නොදකින් කට විතරක්" මම අරූට රහසින් කිව්වා.

අදනම් කන්න වෙනවා අතේ ලෙලි යන්නම මට හිතුනා. අපි එළියේ ඉන්නවා දැකපු ප්‍රින්සිපල් කෙලින්ම අපි ගාවටම ආවා. මගේ නම් කකුල් ගැහෙනවද මන්දා. මම කවදාවත් ප්‍රින්සිපල්ගෙන් ගුටි කාලා නෑ.

"මොකද ටීච මේ දෙන්න එළියේ" ප්‍රින්සිපල් පංතියේ උන්නු ටීචගෙන් ඇහුවා. ටීච ඔක්කොම කතාව කිව්වා.

"හ්ම් අල්ලනවා දෙන්නම අත්"

"දෙන්නම අත් දෙකම, අත් දෙකම ඉස්සරහට කරනවා"

"වේ වැලෙන් ගහනකොට තෙල් ගෑවිච්චි ඉසකෙයා ගහක් අ
තේ තිබ්බොත් එතැනින් අත පැලෙනවා" දවසක් එකෙක් කිව්වා මට හොඳට මතකයි.

ඒ හන්දා මම අත් දෙක දිහා හොඳට බලලා කලිසමෙත් පිහිදාලම ඇස් දෙක පියාන අත් දෙක දික් කළා.

චටාස්! චටාස්! චටාස්! චටාස්! දෙන්නගෙම එක අතකට එක පාර ගානේ අත් දෙකටම ගැහුව ප්‍රින්සිපල් "හ්ම් ගිහින් වාඩි වෙනවා. ආයේ එහෙම මට අහුවෙනවා නෙමෙයි" කිව්වා.
ෂෙහ් ඒ වගේ පල් එකක් මම මගේ ජීවිතේටම වෙලා නෑ. මුළු පන්තියම බලාන උන්නා.

ප්‍රින්සිපල් නිපුනටයි මටයි ගැහුවේ මෙන්න මෙහෙමයි.



ඉන්ටවල් එක වෙලේ අචලා මරු එකට හිනා වෙවී ඉන්නවා.

මේ කෙල්ලෝ නම් බොරු කරලා කොල්ලන්ව අමාරුවේ දාන එකමයි හැමදාම කරන්නේ. ඉස්සෙල්ලා මහා ලොකුවට ඇහැ බදාගෙන කෑ ගැහුව කෙනා මේ ඉන්නේ මරු එකට.

"ඔය සමහර ලොකු අයියලාට පිස්සුද මන්දා ඔය වගේ කපටි ගෑණු ලමයිගෙ අතිං අල්ලං පාරේ එක්කං යන්න" හැම තිස්සෙම මට හිතුනු දෙයක් උනත් මේ වෙලේනම් මට ඒ වගේ අයියලා එක්කත් තරහයි.

"මහා ලොකුවට ඇහැ බදං කෑ ගැහුවේ. මං හිතුවේ ඇහැ ගැලවිලා බිම වැටුනා කියලා. අහිංසක කොල්ලන්ට ප්‍රින්සිපල්ගෙන් ගුටිකන්නත් උනා ඔයාලගේ බොරු නිසා" මම තරහෙන් කිව්වා.

"ආ බොරු තමයි.... මම හිතුවේ ආයේ මට ඒ ඇහැ පේන්නැතුව යයි කියලා"

කෙල්ලෝනම් මහාම මහා මෝඩියෝ. ඇයි දෙයියනේ පුංචි මකන කෑල්ලක් නිසා කොහොමද ඇහැක් පේන්නැතුව යන්නේ.

"එහෙම උන්නෑනේ" මට හොඳටම තරහා ගිහින් තිබ්බේ.

"නෑ.... ඉතිං" අචලා කිව්වා.

"නෑ නේද....?" මම තවත් තරහින් ඇහුවා.

"නෑ...තමයි..." ඒ පාර අචලාටත් තරහා ගිහින් වගේ.

"නැත්තම් නැති පැත්තට ගලක් එල්ලගන්නවා... මෝඩි!"

අචලාට කියාගෙන්න දෙයක් නැති උනා. ඒ කියන්නේ මම දින්නා. ඔන්න එවෙලෙනම් මට ටිකක් සතුටුයි.

නැත්තම් නැති පැත්තට ගලක් එල්ල ගන්නවා කියන කතාව පන්තියට ගෙනාවේ නාමල්. නාමල්ට අයියලා දෙන්නෙක් ඉන්නවා හය වසරෙයි හත වසරෙයි. එයාලගෙන් ඉගෙනගෙන තමයි අර වගේ අපූරු කතා නාමල් පන්තියට ගේන්නේ. ඒ දවස් වල පංතියේ මොහොතකටවත් "නෑ" කියලා කියන්න බෑ. කිව්වොත් පල් වෙනවා ටක්කෙටම.

හැබෑටම "නැත්තම් නැති පැත්තට ගලක් එල්ලගන්න" කියන එකේ තේරුම මොකක්ද? මම ඒ කාලේ ඔය කතාව පන්තියෙ දී මතුවුන දවසට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකම්ම කල්පනා කලේ ඔය ගැනමයි.

ඔයාලට කියන්න එදා මම ඕක කියලා “කටින් ගහලා“ දින්නට මොකද, මම තවටත් දන්නැ ඒකෙ තේරුම මොකද්ද කියලා......!

.....................

-මීට පූසා

ප.ලි :
ආයෙමත් මගේ සිත්තරේට ඡන්දේ දීපු, නොදීපු ඔයාලා ඔක්කෝටම ස්තූතියි. මට බුද්ධි අයියාට තරම් ලස්සන කතා ලියන්නවත් විදෙස් චිත්තර ශිල්පියාට වගේ හැඩට චිත්තර ඇඳින්නවත් බෑ. ඕං ඒකටනම් සමාවෙන්න ඈ!

ආ තව එකක් මේ පාර කොම්පීතරෙන් සිත්තරේ අඳින්න ගිහින් එපා උනා. විදෙස් චිත්‍ර සිල්පියා මෙව්වා කොහොම අඳීනවද මන්දා.

2011/10/03

නැතිවූ සයිකලේ හමුවෙයිද? | චූටි මහත්තයට සයිකලේ හොයා ගන්න පාර සොයා දෙන්න....!

මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීමය, මටත් නොසෑහෙන්ඩ අමතක උනාය කියලා අමතක වෙච්ච සිද්ධි ටිකක් මම ගිය සතියෙ කිව්වනෙ.

මුලින්ම මට අමතක උනේ කතන්දර සීයගේ සයිකලේ කඩේ ගාවදි, අනික මැල්වත්තෙ දී. ඒ තාත්තගෙ සයිකලේ. පස්සෙ මැච් එක දිනපු සන්තෝසෙට රැජිනි කාන්ත්ට එයා ගෙනිච්ච ඇම්ජීආර් ගෙ සයිකලේ හේම්පිටින් අමතක උනා.

ඒ සිද්දි ඒ විදිහට ඉවර වෙද්දි, මම ස්ථිර අදිටනකට ආවා අයේ නං කවදාවත් සයිකලෙ නං අමතක කරන්නෙ නෑමයි කියලා.

එහෙම හිතලා වැඩිකාලයක් ගියෙ නෑ, තවත් අන්තිම භයානක සිද්දියක් සිද්ධ උනා මට. ඒකෙ මුල් ටික මම ගිය සතියෙ ඕගොල්ලන්ට කිව්වා. ඒ ටික දන්නැති අය ඒ කොටස කියෝලා ආවොත් තමා මේ කතාවේ නියම මෙව්ව එක ඕගොල්ලන්ට දැනෙන්නෙ. අනික ඒ කොටස කියෝලා එන එකේ අමතර වාසියකුත් තියෙනවා. මොකද කියලා ඕගොල්ලන්ටම දැනගන්න පුලුවන් වෙයි මේ කතාව අන්තිම වෙද්දි!

හරි!

ඔන්න මං දැං ඒ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච කතාවේ අන්තිම ටික කියන්ඩයි යන්නෙ.

එදා ඒ කියන්නෙ සෙනසුරාදා සවස මම මාමගෙ සයිකලෙ අරං ඉස්කෝලෙ මැච් එක බලන්ඩ ගියානෙ. ඔන්න එදා දවස ගෙවිලා ගියා.

ඉරිදා උදේ උනා. අම්මා උදේම මට කතා කරලා, මාමලා වැට ලඟ ඉදං මට කතා කරනවා කිව්වා. මට මාර කෙන්තියක් ආවා. ඉරිදා විතරනෙ ටිකක් වෙලා ගත වෙනකම් නිදා ගන්ඩ තියෙන්නෙ.

මම එහෙම්ම බැන බැනා ගියා කුස්සිය පැත්තෙන් වැට ගාවට. මෙන්න මාම මං එනකං බලාගෙන ඉන්නවා වැ‍ට ගාව. වාසනා කෙල්ලත් ජංගිකොටේකුයි, හැට්ට කැල්ලකුයි ගහගෙන වැටේ එල්ලිලා මට රවාගෙන ඉන්නවා.

මං බැලුවා මේ පාන්දර මොන මරාලයක්ද මට පාත්වෙන්න යන්නෙ කියලා. දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහිංසක හා පැටියෙක් වගේ දරුවෙක් හම්බවෙන්ඩ වැට ගාව රැකගෙන ඉන්නවා කිව්වහම උදේ පාන්දර.

ඊයේ මගේ සයිකලේ ගෙනිච්ච ද පුතේ?” මාමා මාව දැක්ක ගමන් ඇහැව්වා. මාමා විකාර කතා කරනවා ද මන්දා මේ උදෑසන.

මොන සයිකලේද?” මම එක එල්ලෙ ඇහැව්වා.

“මගේ සයිකලෙ...... මේ වාසනා කියන්නෙ පුතා ඊයේ හවස එයාගෙන් ඉල්ලන් ගියයි කියලා.....“

“මම..... නෑ.....“

“නැත්තෙ මොකෝ...... උයා ඊයේ හවස මගෙන් ඉල්ලං ගියෙ....” වාසනා කෙල්ල මට රැව්වා.

“දෙවියන්ට ඔප්පු වෙච්චාවේ...... ගෙනිච්චා නේන්නම්......” මට උදේ තරු පෙනුනා. වාසනා කෙල්ල මගේ ඔලුව වටේ පියාඔන පැණි කුරුල්ලොයි, කොම්බුයි දිහා බලාගෙන මෙහෙම කිව්වා.

“ ආ..............ඒකනෙ තාත්තෙ මං කිව්වෙ...... චුටි මහත්තයා අයියා ගෙනිච්චා කියලා........”

ඔන්න ඔය වෙලාවේ මගේ මොලේ වැල් කරක් වගේ දියවෙලා යන්ඩැති. මට කිසිම දෙයක් හිතාගන්ඩ බැරිඋනා.

“ආ...............ඔව්මනේ...... ඊයේ මං ඔයාගෙන්මනේ ඉල්ලංගියේ නේද? පොඩ්ඩක් ඉන්ඩ මං අරං එන්නං” ඔය ටික කිව්වෙ මගේ ඉටු දෙවියා වෙන්ටෝන. මොකද ඒ වෙද්දි මගේ කටේ කෙල හිදිලා මොලෙත් එක්ක මඥ්ඤං වෙලා තිබුනෙ.

දැං මං දහ අතේ කල්පනා කලා සයිකලේ ‍කෝ කියලා. මං ඊයේ නිදා ගත්තු වෙලාවේ ඉදං ආ පස්සට කල්පනා කලා. හරිනේ....! සයිකලේ ඉස්කෝලෙ පිටිපස්සෙ වැට මායිමේ පලු ගහ යට නැවැත්තුවා කියලා මට මතක් උනා. දැං මං සයිකලේ ගේන්ඩ ඉස්කොලෙ ගාවට යන්ඩොන. එතන සයිකලේ තිබ්බොත් හොදයි. එහෙම උනොත් වටෙන් අරන් ඇවිල්ලා ගෙදර ඉස්සරහා තිබිලා ගෙනාවා වගේ “ආ.... මාමේ” කියලා දුන්නැකි.

හැබැයි මට එච්චර වෙලාවක් නෑ. මට තියෙන වෙලාව ගනං කලොත්, මට තියෙන්නෙ ගේ ඉස්සරහ‍ට ගිහිල්ලා සයිකලේ අරගෙන එන වෙලාව විතරයි. හැබැයි මේ මොනා කරන්නත් පුලුවන් වෙන්නෙ සයිකලේ පලුගහයට තිබුනොත් විතරයි. නොතිබ්‍බොත් මං ඉවරයි!

ඉතිං මම දෙපාරක් හිතුවේ නෑ. පිටිපස්සෙ බවුමට පැනලා මාමලාට පේන්නැති වෙන්න දිව්වා ඉස්කෝලෙ වත්තට.

අප්පා මොන දිවිල්ලක්ද? මං නැගිට්ටා විතරනෙ. මං නැගිට්ටට මගේ ඇඟ තාම නිදි! ඇ‍ගේ එක මස් කෑල්ලක් වත් හරියට වැඩකරන්නැ තාම. ඒවා නිකං වැඩ කරන්නෙ මට අරියාදුවට වගේ. ටිකක් දුර දුවද්දි මට තේරුනා දනිස් ඇටේ හයිකරලා තියෙන බෝල් ජොයින්ට් එලියට පැන්න කියලා. දැං දනිස් වැඩකරන්නෙ හරස් අතට. ඒවයින් කඩ ඇනේ බුරුල් වෙච්ච කරත්ත රෝදයක් වගේ කිරි කිරි සද්දයක් එනවත් එක්ක. මාංසපේසී ගැන නං කතාකරලම වැඩක් නෑ. ඒවා එකින් එක හිරවෙන්ඩ ගත්තා. ටිකකින් හැම දේම එකට මූට්ටු වේගෙන එනවා වගේ දැනුනා. මුට්ටු උනාම එහෙට මෙහෙට ඇදෙන්නැනේ. ඉතිං මගේ කකුල් අතපය සේරම හිර උනා. වැඩියම විලුඔවල් දෙක. ඒවා නිකං වැඩ කලේ බල නහරෙට ඇණ ගහලා තියෙද්දි වගේ. කකුල බිම වදිද්දි රිදෙනවා කියන්නෙ........

ඒත් මම හිතේ දහිරියෙන් දුවන්න යද්දි මස් පෙරලෙන්ඩ වගේ ආවා. මේ වෙද්දි මගේ හදවත පපුවෙන් ගැලවිලා බඩට වැටිලා තිබුනේ. ඒක ගුඩුපොල් ගෙඩියක මදේ වගේ “චල් චල්” ගගා මං දුවන වේගෙටම ඇතුලෙ කැලැත්තුනා. ඔය අව් අස්සෙ කව්රු හරි මගේ බෙල්ල මිරිකගත්තා. “අත ඇරපං යකො!” මං කෑ ගහලා පස්ස බැලුවා. ඒත් මොකෙක්වත් නෑ. මං දුවන දිවිල්ලට ගැලපෙන ගානට ඔක්සිජන් දෙන්ඩ නහයෙ හිල් දෙක මදි වෙලා, ඒ හින්දා හුස්ම හිර වෙච්ච හින්දයි, බෙල්ල හිර වෙලා කියලා වැරදි නිගමනේකට මම ඇවිල්ලා තියෙන්නෙ. “කටින් හුස්ම ගනින් යකෝ” මගේ හිත කිව්වා. ඒත් කට කියන්නෙ මොකද්ද, අමාරු අවස්ථාවකදී ඒකෙන් හුස්ම ගන්නෙ කොහොමද කියලා ඒ වෙද්දි මට අමතක වෙලා තිබුනේ.

ඔය දේවල් ඔහොම වෙද්දි මට ඉස්කොල මායිමේ පලු ගහ යටට ඇවිල්ලා තිබුනා.

අවාසනාවක මහත!

සයිකලේ එතන තිබුන්නැ. මේ වෙද්දි මගේ මොලෙන් වැඩක් නැති වෙලයි තිබුනෙ. එක දියවෙලා වගේ. අනික දුවගෙන ආපු දිවිල්ලට ඒක කකුල් වලට බහින්න ඇති. දැං මාව පාලනය කලේ මගේ කකුල්. මං කකුල් දෙක හැරුනු අතේ ගියා. කකුල් දෙක ගියේ වැටෙන් රිංගලා ඉස්කෝලෙ අස්සට.

මං පිට්ටනිය මැදින් ඉස්කෝලෙ ඉස්සරහට දුවන්න ගත්තා හරියට වතුර දැකපු පිස්සු බල්ලෙක් වගේ. ඒ වෙද්දි මගේ කකුල් දෙක බෙර කොටන් දෙකක් වගේ බර වෙලයි තිබුනෙ. කොහොමහරි ඉස්සරහට යද්දි මම දැක්ක දෙයින් පුදුම උනා. ඉස්කෝලෙ වැටට මෙහායින් තිබුනු ඇහැල ගස් පෝලිමෙන් එකක මගේ සයිකලේ හේත්තු කරලා තිබුනා.

මට ඒක දැක්කා විතරයි යකා නැග්ගා.

“කොහෙද යකො උඔ මෙතෙන්ට වෙලා ඉන්නෙ ගෙදර යන්නැතුව” ම බයිසිකලේට බැනලා හැඬල් එකෙන් අල්ලලා ඒක ඇද්දා. මොන ඇඳිල්ලක්ද? බයිසිකලේ ඇහැල කඳට අල්ලලා කව්රු හරි තඩි දංවැලක් දාලා ඉබ්බෙකුගෙන් ලොක් කරලා. ෂුවර් එකට මුරකරන “සුදා මාමා” වෙන්ඩොන.

මට ඒවයින් වැඩක් නෑ. මේක මගේ සයිකලේ වෙච්චි. කව්රුත් මොකටද මේකට දංවැල් දාන්නෙ. මං කොහොමහරි සයිකලේ ගෙදර ගෙනියන්න ඕනැ. මාමා තාම වැට ලඟද කව්ද දන්නෙ. අනික වාසනා කෙල්ල කට ඇරියොත් මං සුම්මා.

අර කව්දත් කියලා තියෙනවලු හදවතයි බුද්ධියයි එකලඟ තියන්න එපා කියලා. මොකද ඒ දෙක හැප්පුනොත් හදවත දිනනවලු. එතකොට බුද්ධිමත් තීරණෙකට එන්න බැරි වෙනවලු. හැබැයි මොන තීරණෙ ගන්නත් ඔය දෙකම ඒ වෙද්දි මට නැති වෙලා තිබුනෙ. මොකද මම දිව්ව දිවිල්ලට හදවත තිබ්බෙ බඩේ. මොලේ කකුල් වලට බැහැලා. එතකොට බුද්ධිය මොන ලෝකෙ තිබ්බද මං වත් දන්නැ. ඒ හින්දා දැං මම මොකක් කරන්ඩ ද කියලා හරි තීරනේකට එන්ඩ බැරුව මොහොතක් හිටියා.

දැං වැඩක් ගන්ඩ පුලුවන් කෑල්ලකට කියලා මගේ ඇ‍ගේ ඉතිරි වෙලා තිබුනේ ඇස් දෙක විතරයි. ඉතිං මං ඒකෙන් වැඩක් ගත්තා. වටපිට බලලා ‍ඉස්කෝලෙ ගේට්ටුව හදන්ඩ ගෙනාපු කොන්ක්‍රීට් ගල් ටිකක් අරං ඉලක්කෙ අල්ලලා ඉබ්බට ගැහුවා පුල් ඩම් එක දාලා. ඉබ්බගෙ ඉරිගියා ඇරෙන්ඩ වැඩක් ඇති දෙයක් උන්නැ. පස්සෙ පොල්ලක් ගෙනල්ලා ඉබ්බගෙ මැදින් දාලා ඇල්ලුවා. ඉබ්බා නිකං යකඩෙන් හදලා වගේ හෙල්ලෙන්නෙවත් නෑ. ආ..... ඉබ්බා කොහොමත් යකඩනේ!

කො‍‍‍හොම හරි ඔය එකකින් වත් වැඩක් ඇති දෙයක් උනේ නෑ!

හැබැයි වෙලාවනං යනවා ඕසෙට. මේ උදේ පාන්දර මේ ලොකේ කව්රුත් මං වගේ අසරණ වෙලා නැතුව ඇති මේ විදිහට. හිතන්ඩකො උදේ පාන්දර කඩවසම් කොලු ගැටයෙක් පුංචි ඉබ්බෙක්ට ගල්වලින් ගගහා ඒක කඩන්ඩ හදනවා. ඔය වෙලාවෙ මට හිතුන දේවල් ඕගොල්ලන්ට කිව්වොත් ඕගොල්ලන්ට ඇ‍‍ඬෙයි. ඒත් මං එකක් විතරක් කියන්නම්. මේකත් මං මෙච්චර කල් රහසක් හැටියට තියාගත්තා. අර ඕගොල්ල හින්දා මම මේකත් කියන්නෙ.

මං හිතුවා මෙහෙම්ම ගමෙන් පැනලා ගිහිං කොහෙට හරි වෙලා රස්සාවක් කරන්න. ඔය සමහර කතන්දරවලත් ඕනැ හැටියෙ තියෙන්නෙ ගමෙන් පැනලා ගිහිං හරි ගිය මිනිස්සු ගැන. කොහොමහරි කාලයක් යද්දි මං හොඳ සල්ලිකාරයෙක් වෙලා ගමට එනවා මුණ පුරා රැවුල වවාගෙන. එතකොට කාටවත් අඳුරගන්ඩ බෑනේ.

ඒත් මට ඒකවත් ඒ වෙලාවේ කරගන්ඩ බැරුව ගියා. මොකද මං මෙ ඉන්නෙ නැගිට්ට ගමන්. තාම දත් මැදලත් නෑ. මුණු හෝදලත් නෑ. අනික රෑට අදින කලිසම පිටින් කොහොමද නගරෙට යන බස් එකකට උනත් ගොඩවෙන්නෙ.

ඒ හින්දා ඒ අදහස අත්ඇරලා කොහොමහරි මෙතනින් මේ සයිකලේ ගලෝගන්න විදිහක් මම කල්පනා කරා.

ආන්න එතකොට තමා ගේට්ටුව බදින්න ගෙනාපු දාර කලුගල් ගොඩ මගේ ඇස් දෙකට පේන්න ගත්තෙ. ඒක දැක්ක ගමන් මගේ මතකෙ දිව්වෙ සිකුරාදා හවසට.

සිකුරාදා හවස් වරුවේ ඉස්කෝලෙ ඇරෙන්න කිට්ටු වෙලා තියෙද්දි එක පාරට “ක්‍රී........” ගාලා දත් හිරිවැටෙන සද්දයක් පාර පැත්තෙන් ආවා. මම ඇස් දෙක අකුලලා ඥාණතිස්ස දිහා බලපුවාම මිනිහා කිව්ව “ඉස්කොලෙ ගේට්ටුව හදන්න මාමලා ඇවිල්ලා” කියලා.

අපි ගල් කඩනවා දැකලා තිබුනට ගල් කපනවා දැකලා තිබුනෙ නෑ. ගේට්ටුව හදන මාමලා ඒක හදන්නෙ අලුත් ක්‍රමේකටලු. ඉතිං ඒකට මුලින් ම කරන්න ඕන එක එක හැඩේට තියලා ගෙනාපු ගල් කපන එකලු. ඉතිං මම අපේ ටීචර්ලාට යෝජනාවක් ගේනවා, “ඒ මාමලා ගල් කපන හැටි පෙන්නන්න අපිව එක්කන් යන්න” කියලා. ටීචලා කිව්වා “ඒවා පොඩි ළමයි ඉගෙන ගන්න ඕන දේවල් නෙමේ. ඒවා ලොකු අයගේ වැඩ“යි කියලා. අනික ගල් මැසිමෙන් ගල් කපද්දි විසිවෙන කෑලි අපේ ඇස් වල වැදුනොත් කම්මුතුයි කියලා ඒ ගොල්ල අපිව බයත් කලා. ඒත් අපි රිළව් රැලක් වගේ පන්තියෙ දැලේ එල්ලිලා මාමලා ගල් කපන හැටි බලාගෙන හිටියා.

ඉතිං මං දෙපාරක් හිතුවෙ නැ. කෙලින්ම ගියා ගල් ගොඩ ගාවට.

පස්සෙ එතනින් හොඳට කැපිච්ච හොඳට බර තියෙන දාර ගලක් ගෙනල්ලා ඉබ්බට අත ඇරියා දේයි ගාලා. ඉබ්බගෙ වෙනසක් උන්නැ. හැබැයි දම්වැල ඇද උනා. මම ආය කලුගල අරං දෙතුන් පාරක් අර ඇදවෙච්ච දම් වැලට ගහද්දි ඒක පාස්සපු තැනින් කැඩුනා.

මං සුටුස් ගාලා දම්වැල පන්නලා සයිකලේ ගත්තා. පස්සෙ ඒක අරං ඉස්කෝලෙ පිටිපස්සෙන් ගෙදර අරං ගියා.

දැං ඕගොල්ල අහන්ඩෙපා මම සයිකලේ පැදගෙනද ගියේ, තල්ලුකරගෙනද? වහලා තියෙන ගේට්ටුවෙන් පාරට සයිකලේ ගත්තෙ කොහොමද වගේ ප්‍රශ්ණ. මොකද මට ඒවා මුකුත් මතක නැ. මතකනෙ, ඒ වෙලාවෙ මගේ මොලේ කකුල් දෙකට බැහැලා තිබුනෙ. මං දන්නෙ මං ගෙදර ගියා කියලා විතරයි.

පස්සේ මං මාමටවත් වාසනා කෙල්ල‍ටවත්, අඩුම ගානේ අපේ ගෙදර කට්ටියටවත් තේරෙන්නැති වෙන්ඩ හේතු ගොඩක් කිව්වා මේ පරක්කුව ගැන. වැඩේ කියන්නෙ මට ඇත්ත කියන්ඩත් බෑ. බොරු කියන්ඩත් බෑ. මොකද මම බොරු කියන එක අතඇරලා දාලා ගොඩක් කල්නෙ. ඉතිං මං කලේ අග මුලවල් පටලලා ඒගොල්ලන්ට සිද්දිය කිව්ව එකයි. එහෙම කරද්දි මටත් අන්තිමට මඤ්ඤං තත්වයක් වගේ ආවා.

කොහොම හරි අපේ මාමට කුඹුරෙ වතුර බදින්ඩ තිබ්බ හින්දා වැඩිය කතාව දිග්ගස්සන්නැතුව සයිකලේ අරං ගියා. ඒත් වාසනා කෙල්ල නං මට රව රවායි ගියෙ, මොකද උන්දැට බැරුව ගියානෙ මට පාඩමක් උගන්නන්න.

ඔන්න ඊට පස්සෙ තමා මට සැහැල්ලුවක් දැනුනෙ.

මට නිකං පාවෙනවා වගේ ගතියක් දැනුනා.

මං කියනවට ඕගොල්ලම පොඩ්ඩක් හිතලා බලන්ඩ. මීට ටික වෙලාවටක කලින් මම හොඳට නිදි. පස්සෙ බල්ලෙක් වගේ දිව එලියට දාගෙන ඉස්කෝලෙට දිව්වා. පස්සෙ පොඩි කලුගල් කෑලි, දාර කලුගල් එක්ක ඔට්ටු උනා. මගේ හදවත බඩට වැටුනා. මොලේ කකුල් වලට බැස්සා. අන්තිමේ හැමදාම වගේ මම දින්නා. බලන්ඩකෝ නේද, කර්මය කියන එක ගොනා පිටිපස්සෙ එන ගැල වගේ පන්න පන්න එන හැටි විතරක්!

මේ ඔක්කොම හිත හිත මම උදේම ගිහිං මේ සේරම හේදිලා යන්ඩක් එක්ක නාගත්තා.

පස්සෙ කතන්දර සීයා ගෙනල්ලා, අම්මා උනුකරලා, ආච්චි නිවලා දුන්නු එළකිරී කොප්පෙ මං අතට ගත්තෙ කවදාවත් නැති සැහැල්ලුවකිනුයි, සතුටකිනුයි.

ඒත් අනේ ඕගොල්ලන්ට කියන්ඩ, මට බැරි උනානේ වීදුරුවෙන් උගුරු දෙක්ක නිවී හැනහිල්ලෙ බීලා දාන්ඩ. එක බිව්වා කියමුකො. දෙවෙනි එක ගද්දිම “බොහ්ක්ස්.....” ගාලා ඉස්පොල්ලෙ ගියා!

මං දැක්කා අපේ ගේට්ටුව ගාවට කව්දෝ ඇවිල්ලා කතන්දර සීයට කතා කරනවා. මමත් ඔලුව දාලා නිකමට බැලුවා ඒ පාර කව්ද සයිකල් ඉල්ලගෙන අපේ ගෙවල් වලට එන්නෙ කියලා. මොකද මට මතක නැතුව මම තව කාගෙ කාගෙ සයිකල් අරං ගිහිල්ලද කව්ද දන්නෙ...!

ඒ ආවේ කව්ද කියලා ඒගොල්ලන්ට හිතාගන්න පුලුවන්ද?

ඕගොල්ල හිතුවා හරි! ඒ තමා අපේ ඉස්කෝලෙ මුර කරන සුදා මාමා. එයා ඇවිල්ලා උදේම මගේ දුක සැප බලලා යන්ඩ. අර මගේ හිත පොඩ්ඩක් ගැස්සුනේ එයාගෙ දකුනු අතේ එල්ලි එල්ලි තියෙන දේ දැක්කම.

එයාගෙ අතේ එල්ලි එල්ලි තිබුනේ කව්රු හරි මොකක් හරි හදිස්සියකට කඩලා දාපු දම්වැලකුයි, ඒකෙ කොන් දෙක‍ එක්කහු කරලා දාලා තිබුනු ඉබ්බෙකුයි.

නිමි.

..........................

මීට යුරෝ දෙකේ වීරයා

ප/ලි-

මට ඕන්නං මේ කතාවේ ඊලඟ කොටස හැටියට සුදාමාමාත් එක්කලා නඩුවටක පැටලුනු කතාව දාන්න පුලුවන්. ඒත් ඒ කතාව අයිති වෙන්නෙ අමතක වීම ගැන කියවෙන කතාවකට නෙමේ. ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තැනට සුදුසු මෙව්වා එක කියන කතාවකට.

ඒ හින්දා හොඳ වෙලාවට මට ඒක දාන්න ඕනැ වෙන්නැ.

මේ තියෙන්නෙ එදා මම දිව්ව ගමන් මාර්ගයි ඒ අවට තිබ්බ දේවලුයි දැක්වෙන සිතියම. ඔය රතුපාට කඩ ඉරි වලින් තියෙන්නෙ මං දිව්ව ගමන් මාර්ගය. ඒක මං දුවනව පේන්නැත්තෙ මේක එකට පනස්දාහ පරිමාණෙට කුඩා කරලා හින්දයි.

ප/ප/ලි-

හරි මේ කතාව කියෝලා ඉවර වෙද්දි ඕගොල්ලන්ට මොකද හිතෙන්නෙ. සමහරුන්ට චූටි මහත්තයා ගැන ගොඩක් දුක හිතෙන්ඩ ඇති නේද? සමහරු නං දැං මේක කියෝලා භාව කම්පනයකට ලක් වෙලා ඇති. ඇයි එච්චර විශිෂ්ටයිනෙ මගේ කතා කීමේ හැකියාව.

මොනා උනත් කමක් නෑ. අපි ඒ ඔක්කොම අමතක වෙලා යන්ඩ පොඩි සෙල්ලමක් කරමු.

මේ තියෙන්නෙ ඒක.

ඕගොල්ලන්ට තියෙන්නෙ චුටි මහත්තයට වාසනා කෙල්ලගෙනුයි, එයාගෙ තාත්තාගෙනුයි, සුදා මාමගෙනුයි බේරිලා සයිකලේ ගාවට යන්න හරි පාර පෙන්නලා දෙන්නයි.

(විශේෂයකට කියන්න තියෙන්නෙ මේක විදෙස් සිත්තරා ඇන්දෙ මවුස් එක උපකාරයෙන් නෙමේ. මේක සිත්තර අඳින අලුත් ක්‍රමයක පළමු අත්හදා බැලීම.)


Related Posts Plugin for WordPress, Blogger...