අද වගේ නෙමේ, අපි ලෝක ළමා දිනය සැමරුමේ අමුතු ම ක්‍රමයකට. ඒ විදිහට සමරපු ලෝක ළමා දින තුනක් මට අද වගේ මතකයි.
මෙන්න ඒ ගැන කතාව.
දැන් වගේ ළමා දිනය දවසට ලෙෂර් වර්ඩ් එකට, වොටර් වර්ල්ඩ් එකට , සත්තු වත්තට, විහාර මහා දේවී පාක් එකට ළමයි එක්කහු කරන වැඩපිළිවෙල් තිබුනේ නෑ ඒ කාලේ. තිබුනත් අපි දැනගෙන උන්නෙ නෑ. දැනගෙන උන්නත් එන්න වෙන්නෙ නෑ. අපි හද්දා පිටිසරනෙ හිටියේ.
අපි අපේ පළමු ළමා දිනේ සැමරුවේ මෙන්න මෙහෙමයි.
ළමා දිනයට කලින්දා අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්, ඒ කාලේ අපි කිව්වෙ "ලොකු මහත්තයා" කියලා. එයා කිව්වා "හෙට ලෝක ළමා දිනේ කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නෙ ළමයි වෙනුවෙන්. ඕගොල්ල ළමයි නිසා හෙට දිනේ ඕගොල්ලන්ටයි, ඒක නිසා හෙට ඕගොල්ල කැමති දෙයක් කරන්න දෙනවා, කැමති අයට කැමති ඇඳුමකුත් ඇඳගෙන එන්න පුලුවන්, පොත් ගේන්න ඕනැත් නෑ" කියලා.
කැමති ඇඳුමක් ඇඳගෙන කැමති දෙයක් කරන්න දෙනවා කිව්වම අපිට හිතාගන්න බැරුව ගියා. සාමාන්‍යයෙන් එහෙමනේ. ඇමරිකාවේ වහල්ලුන්ට නිදහස දුන්නම ඒ ගොල්ලන්ටත් හිතාගන්න බැරි උනාලු "බොලව් දැන් අපි මොකද කරන්නෙ?" කියලා. අපිත් හැමදාම කීකරු ළමයි විදිහට කියන දේ කරගෙන හිටිය නිසා ද මන්දා පහුවදා එනවැයි කියන ළමා දිනේ වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් එකක්වත් හිතට නම් ආවේ නෑ. කොච්චර කල්පනා කලත්.
ඊට පස්සෙ ඉස්කෝලේ ඇරෙන්න කිට්ටු කරලා අපි කල්ලි ගැහිලා කතා වුනා ළමා දිනේ වෙනුවෙන් අපි මොකද්ද කරන්නෙ කියලා. මේ පහලින් තියෙන්නෙ ළමා දිනේ වෙනුවෙන් කරන්න යෝජනා වුනු විවිධ ක්‍රියාකාරකම් හා ඒවා ප්‍රතික්ෂේප වීමට බලපාපු හේතුව.
- ගස් කමු. (හැමදාම ගස් කනවනේ! අනික හෙට ළමා දිනේලු!!)
- සියඔලා ඇට වලින් කිරිච්චං ගහමු. (පිස්සුද? ඉස්කෝලෙ ඇතුලේ)
- වල කජු ගහමු. ( -එම-)
- ටෙනිස් බෝලෙන් පාපන්දු ගහමු. (අපෝ බෑ අපට සපත්තු නෑ.)
- ක්‍රිකට් ගහමු. (අපෝ බෑ. ඉස්කෝලේ ඇරෙනකං වත් අපිට බැට් කරන්න ලැබෙන්නෙ නෑ.)
- පංතියට වෙලා කොටු පුරෝමුද? (පිස්සුද හලෝ... කෙල්ලෝ කරන වැඩනෙ ඕවා.)
ගෙදර දී මම දන්න කියන වැඩිහිටියන්ගෙන් ඇහැව්වා ළමා දිනේ කියන්නෙ මොකද්ද සහ ඒ වෙනුවෙන් අපි කරන්න ඕන දේවල් මොනවද කියලා. මේ තියෙන්නේ මගේ ප්‍රශ්ණ කිරීම් වලට ලක් වුනු විවිධ අයගේ ප්‍රකාශ කිහිපයක්.
- "ළමා දිනේ! ඒ මොකද්ද මයේ පුතේ...." - කතන්දර සීයා.
- "ළමා දිනේ....ම්...... ඇත්තට දැං හැදෙන ළමයි අහන ප්‍රස්නෝඔලට අපිට දෙන්න උත්තරත් නෑ - කතන්දර ආච්චි.
- "ළමා දිනේ..... ළමා දිනේ එනකල් තමා අපේ චාලි මුදලාලිත් බලාගෙන ඉන්නෙ.... හිටහල්ලකෝ..." - හරකුන්ට වතුර දෙන විල්බොට් මාමා.
- ළමා දිනේ! ඒ මොකද්ද? අයිස් පැකට් ගෙනියන්න ද ආවේ..... කෝ..රුපියල් කීයක් ගෙනාවද?" - කඩේ වික්ටර් මාමා.
- "ළමා දිනේද? මේ අපේ ළමයත් ආපු වෙලාවේ ඉදලා මට වදදෙනවා ළමා දිනේ ගැන අහලා..... අනේ මන්දා දැන් හැදෙන එවුන්... අපේ කාලේ ඔව්වා තිබ්බයෑ......." - වික්ටර් මාමගේ නෝනා අනුලාවතී නැන්දා.
- "මන්දා හලෝ... යංකෝ අපි කෝම්පිට්ටු හදමුද?" - වාසනා කෙල්ල.
- "ඕක හෙට ඉස්කෝලෙ ගිහාම ටීචර් කෙනෙක්ගෙන් ම අහගන්ඩකෝ මට වද දෙන්නෙ" - වාසනා කෙල්ලගේ අක්කා.
- "අනේ මන්දා ඒකනං.... ඇත්තට මොකද්ද තැපැල් මහත්තයා එදාට වෙන්නෙ.....?" - පියුම් හෙවත් රණවීර මාමා.
- "රටරටවල කට්ටිය එක්කහු වෙලා ළමයි වෙනුවෙන් දිනයක් වෙන් කරලානේ...... එදාට තමා ළමයින්ට කරන දේවල් කතා වෙන දවස.....!" තැපැල් මහත්තයා හෙවත් තාත්තා.
- "ළමයින්ට කරන දේවල්! ඒ මොනාද, ළමයි වෙනුවෙන්, ළමයි වෙනුවෙන්!!! - විභාග ශාලාධිපතිනිය හෙවත් අපේ අම්මා.
අනිත් ළමයිනුත් තමන්ට පුලුපුලුවන් හැටියට තියෙන හොඳම ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබුනා. සමහර ගැණු ළමයි දැක්කම බයත් හිතෙනවා. ඒ ගොල්ල මගුල් ගෙවල් වලට ඇඳපු ඇදුම් එදා ඇඳගෙන ඇවිල්ලා තිබුනා. ඒ ඉතින් ඒ ගොල්ලන්ට තිබුනු හොඳම ඇඳුම වෙන්ඩැති. ඒ හින්දා එයාලව පෙනුනෙ මහ ගැණු වගේ. කොහොම හරි මේ වැඩේට පාට ඇඳුමක් හොයා ගන්න බැරි වුනු ළමයි ටික දෙනෙක් විතරක් එදත් නිළ ඇදුම ඇඳගෙන ඇවිල්ලා හිටියේ !
අපි තීරණය කලා පිට්ටනියට ගිහිල්ලා යුද්ධ පනින්න. අපි විතරක් නෙමේ අනිත් පන්තිවලත් සෑහෙන දෙනෙකුත් පිට්ටනියට එන්න අවසර අරගෙන තිබුනා. අපේ පංතිභාර ටීචර්ලා කල්ලි ගැහිලා මැයි ගස් යට කතාවට වැටුනා.
ඔය විදිහට මුලු ළමා දිනේ ම ගෙවෙන කල් සෙල්ලම් කරලා අපි එදා ටිකක් වේලාසනින් ගෙදර ආවා. එදා අපේ ඇඳුම් ගන්න දෙයක් නෑ. පාට ඇඳුම් නිසා බය නැතුව සෙල්ලම් කලා. ගෙදර එද්දි අපි හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ඔලුවෙන් නාලා වගේ දාඩිය ගැලුවා. ෂර්ට් ඇඟට ඇලිලා. කකුල් වල දාඩියට වැලි කකුල් වල ඇලිලා. තනිකර මී හරක් වගේ.
ගෙදර ආපු හැටියේ කතන්දර සීයා ඇහැව්වා, "මොකෝ මයේ පුතේ මේ" කියලා.
මං කිව්වා ළමා දිනේ සැමරුවා කියලා. සීයා "යකාගේ සැමරිල්ලක්නෙව ඒක....." කියාගෙන යන්න ගියා.
ඒ මගේ පලමු ළමා දින සැමරුම. අදත් එක්ක බලද්දි පට්ට වෙනස්. ඊලගට මට හොඳටම මතක හිටිය ළමා දිනය උදා වුනේ ඊට අවුරුදු ගාණනකට පස්සේ !
ඒ වෙද්දිත් අපේ කෙහෙල්කොටුව ගමට රූපවාහිනී සහ රේඩියෝ වලින් ළමා දිනයක් "නිවැරදිව" කරන හැටි උගන්වලා තිබුනේ නෑ. මම හිතන්නෙ චක්‍රලේඛණ වලින් ඉස්කෝල දැනුවත් කරලත් තියෙන්න නැතුව ඇති. ඒ හින්දා එදත් තිබුනු එකම වෙනස පාට ඇඳුම් සහ හිස් අතින් ඉස්කෝලෙට පැමිණීම විතරයි.
එදා වුනේ මේකයි.
එතකොට අපි ටිකක් විතර ලොකු ළමයි. අපි පිට්ටනියට ආවා සෙල්ලම් කරන්න උදේම.
ඹන්න ඔය වෙලාවේ මොකක් හරි දෙයක් කරන්න යද්දි ම නලින් මට පෙන්නුවා ජයසිරිගේ ෂර්ට් සාක්කුවේ මොකද්දෝ අමුතු දෙයක් තියෙනවා. එයා ඇඳගෙන හිටියේ ඉස්කෝලෙ නිල් කලිසමට බතික් වගේ ෂර්ට් එකක්. රතු පාට පසුබිමේ ලොකුම ලොකු ඉරක් කහ පාටින් බැහැගෙන යන විදිහටයි ෂර්ට් එකේ මෝස්තරේ තිබුනේ. ඉර එලියට විරුද්ධ පැත්තෙ තිබුනු පොල් ගස් කලුපාට හෙවනැලි විදිහට ඇඳලා තිබුනා. ෂර්ට් එක හුළගට අහුවුනාම සරුංගලයක් වගේ උඩ යන්ඩ බැලුවා. ඒ ෂර්ට් එක එයාගේ ඇඟට ටිකක් ලොකු හන්දා. ඒක හින්දා මෑන් සෑහෙන්න ඉදිමිලා හිටියේ.
නලින් ඇහැව්වා සාක්කුවෙ මොනාද තියෙන්නෙ කියලා. ජයසිරි මුකුත් නෑ කියාගෙනම සාක්කුවට අත තිබ්බා. එයාටත් තේරුනා සාක්කුවේ මොනවා හරි තියෙනවා කියලා. මිනිහා ඒක අත දාලා ගත්තා.
සාක්කුවෙ තිබුනු දේ දැකලා මිනිහවත් උඩ ගියා. අපිවත් උඩ ගියා. ඒක බීඩි කොටයක්! ඒ මදිවට බාගයක් බීපු!!
ඒ එක්කම නලින් කෑ ගහලා කාටත් කිව්වා මෙන්න ජයසිරි බීඩි කොටයක් ඉස්කෝලෙට ගෙනල්ලා කියලා. ඒ වෙද්දි අපි ටිකක් ලොකු ළමයි උනාට මොකද, තාම ගෙවුනේ ඕන දේකට අනිකව පාවා දෙන යුගය. ඊට පස්සෙනේ ගැන්සි ගැහෙන යුගය එන්නෙ.
කොහොමහරි බයවෙච්ච ජයසිරි බීඩි කොටෙත් අතේ තියාගෙන දුවන්න ගත්තා. අපි පස්සෙන් පැන්නුවා. සමහරු සිද්ධිය හරියට දන්නෙ නැතුවත් අපි පන්නපු හින්දා පස්සෙන් පැන්නුවා. අන්තිමේ අපි වටකරලා ජයසිරිව අල්ලා ගත්තා. එක්කෙනෙක් ජයසිරිගෙන් බීඩිය උදුරාගත්තා. පස්සෙ ඒක අත්දෙකෙන් ම අල්ලලා අපේ පංති නායකයට භාර කලා ඉදිරි වැඩකටයුතු කරගෙන යන්න.
ඕගොල්ල අපි ගැන වැරදියට හිතන්න එපා. මේක බරපතල වැරැද්දක්. ජයසිරි අපේ යාලුවා තමා. ඒත් නීතිය අපි කාටත් ඉහලින් කියන එක ඒ කාලේ අපි දැනගෙන උන්නා. අනික මේ අසූව දශකයේ අන්තිම කාලෙනේ!
ඇරත් ළමා දිනේ දවසේ බීඩි ගේන්නෙ මොකට ද ඉස්කෝලෙට.
අපේ පංති නායක ප්‍රදීප් ඊලග මොහොතෙ දී ඒක දෝතින් ම අරගෙන, ඇතන්ස් වලින් ගෙනාපු ඔලිම්පික් පහනට දක්වන ගෞරවයට සමාන ගෞරවයකින් ඒක මාපොට ඇගිල්ලෙනුයි, දඔර ඇගිල්ලෙනුයි අල්ලගෙන, ඔලිම්පික් පහනක් ගෙනියන ක්‍රීඩකයෙක් වගේ ඈතට කරලා අල්ලගෙන ලොකු සර්ගේ ඔපිස් එක පැත්තට හැරුනා. අපිත් ඒ එක්ක ම හැරුනා.
ඒ අතරතුර අපි ජයසිරි දිහාට ඇහැගහගෙන හිටියේ. කව්ද දන්නෙ මිනිහා අපේ ඇස්වලට වැලි ගහලා වැටෙන් පැනලා ගෙදර දුවයිද කියලා. ඒ අතරතුර ගමේ පොර කුකුල්ලු කොටුවේ අයිතිකාර ඇක්මන් මාමාගේ පුතා රොෂාන් කියපි, "මචං උඔ බීඩි කොටයක් ගෙනාව වෙලේ, බීඩි මිටියක් ගේන්ඩ එපැයි"ලු. ඒ අස්සෙ අපේ පංතියේ අම්මන්ඩිලා කියාපි, "මේ කොල්ලා හින්දා අපේ පංතියේ නම්බුවත් බල්ලට යනව"ලු. මට නං ඒ වෙලාවේ මල පැන්නා. මොකෝ උන්ට ඒ කාලේ දී අපි ගැන වගේ වගක් නෑ. ඒ වුනාට නමය වසරේ අයියලා කිව්වොත් මැරෙයි. කොහොමහරි ගැණු ළමයිගෙන් ලකුණු ගන්න ඕන කොල්ලෝ වගයක් ජයසිරිට ගහන්නත් ගියා.
පංති නායකයා ඊලග මිනිත්තුවේ දී ඔපිස් එක පැත්තට දුවන්න ගත්තා. අපි ඒ පස්සෙ පැන්නුවා. ජයසිරිවත් ඇදගෙනම. ඔපිස් එකේ දොර ලග අපි ටැක්ගැහෙනවා දැකලා ලොකු සර් ආවා දොර ලඟට.
"මොකද ඔය ළමයි......"
"සර්.... අපේ පංතියේ ජයසිරි බීඩියක් ගෙනල්ලා ඉස්කෝලෙට......"
සර් අපි දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
"කෝ බලන්ඩ......" ලොකු සර් කිව්වා. අපේ ප්‍රදීප් එක දෝතින් ම ලොකු සර්ගේ අල්ලෙ තිබ්බා.
"ම්හ්...... කොහෙන්ද මේක......." ලොකු සර් බැරෑරැම් මූණක් හදාගෙන කිව්වා.
"සර් මේක මෙයාගේ සාක්කුවෙ තිබුනෙ....." තව කව්දෝ කිව්වා. ජයසිරි නේද, හොඳටම බය වෙලා. මිනිහට වෙන්ඩ යන දේ මිනිහටම තේරිලාද කොහෙද. සර් ආයෙත් ඇහැව්වා ජයසිරිට මේක ලැබුනේ කොහොමද කියලා. ඒත් මෑන් නෙමේ කට ඉස්සුවේ. සර් හරිම තැන්පත් ගමනකින් ඔපිස් එක ඇතුලට ගිහිල්ලා දඩාර වේවැලක් ගෙනල්ලා ආපහු පරණ ප්‍රස්ණෙම ඇහැව්වා. මේ වෙද්දි සිද්ධිය බලන්න ඒ අවට ළමයිනුත් ඇවිල්ලා හිටියේ. ඒ ගොල්ල වෙන වැඩ කරන බව අපිට අඟවලා මේ ගැන තොරතුරු රැස් කරනවා. ඒ අතරතුර අපේ ඉස්කෝලෙ සමහර ටීචර්ලා ඒ ගොල්ලන්ගේ දකුණු උරහිස උස්සලා ඒක උඩ නිකට තියාගෙන අනේ අපොයි මෙහෙමත් ළමයි කියන බැල්මෙන් බලාගෙන හිටියා. සර්ලා දෙතුන් දෙනෙකුත් ඕනැ වුනොත් ජයසිරිට දඩුවම් දෙන්න කියලා හිතාගෙන අත්දෙක පිටිපස්සට බැඳගෙන සීරුවෙන් උන්නා.
ඊලග මොහොතෙ දී ජයසිරි දැනගත්තා ඇත්ත නොකීවොත් එයාට විසුමක් නෑයි කියලා. ඉතින් එයා මෙහෙම කිව්වා.
"සර් ඕක අපේ තාත්තගේ වෙන්ඩැති....." ඔන්න ඒ එක්කම ආයෙත් කසුකුසුව පටන් ගත්තා.
"තාත්තගේ.......!"
"ඔව් සර්! මට පාට ඇඳුමක් තිබුනෙ නැති හන්දා, අම්මා තාත්තගේ ෂර්ට් එකක් අරගෙන වටේට මැහුම් ගහලා කුඩා කරලා හදලා දුන්නා ඇඳගෙන යන්න කියලා......"
ඔන්න ඒ එක්කම හැමෝගෙම මුණු වෙනස් උනා. හැමෝගෙම වස මුණු බලාගෙන ඉද්දි අනුකම්පාවට හැරුනා. හැමෝගෙම හෘද සාක්ෂිය ඒ ගොල්ලන්ට වද දෙන්න ඇති නිර්දෝශී කෙනෙක් දිහා ඒගොල්ල වපර ඇහින් බලපු එක ගැන.
නඩුව ඔය විදිහට ඉවර වුනා. ඊට පස්සෙ සමහරු එතනින් මාරු වුනා. ජයසිරි බිම බලාගෙන පිට්ටනිය පැත්තට ගියා. අපි එයා පස්සෙන් ගියා. කෝකටත් අපි හැමෝම ජයසිරි දිහා බැලුවේ එයාට අනුකම්පාවෙන්. ඒ වගේම අපිට සමාවෙන්න කියලා කියවෙන විදිහෙ බැල්මකින්.
හරි විදිහට නම් මෙතනින් කතාව ඉවර වෙන්න ඕනේ. ටෙලි නාට්‍යක අන්තිම කොටස වගේ නම් ජයසිරි අපෙන් වෙන්වෙලා හුදකලාව පිට්ටනිය පැත්තට යන සීන් එක දාලා ටිකකින් නිමි කියලා දාන්න තිබුනා. නමුත් මේක ඇත්ත කතාවක්. ඒක නිසා එහෙම ඉවර කරන්න බෑ.
මොකද ඊලග විනාඩියෙ දි පිට්ටනිය ගිය ජයසිරි, "උඔ නේද මාව ලොකු මහත්තයට අල්ලලා දුන්නෙ" කියලා කියාගෙනම අපේ පංති නායකයට දේයි ගාලා දුන්නා. හීනෙකින් වත් හිතපු නැති ඒ පාරෙන් අපේ පංති නායකයා පුස් බඹර චක්කරයක් වගේ බාගෙට කැරකිලා ඇදගෙන වැටුනා. ඊලගට "කෝ අර බීඩියක් තියෙනවා කියලා කෑ ගහපු එකා...." කියාගෙන එයා නලින් ව හොයන්න අපි පැත්තට හැරුනා. අපි නේද සී සී කඩ දිව්වා. මොකද අලි රංචුවකට බය නැති වුනාට, තනි අලියා හෙන දරුණුයිලුනෙ.
ඔය විදිහට තවත් ළමා දිනයක් ගෙවුනා ජීවිතේ කවදාකවත් අමතක කරන්න බැරි විදිහේ.
වර්තමාන තත්වය නම් දැං ගොඩක් වෙනස්. සයිබර් යායේ පරණ කස්ටිය දන්නවා ඇති අපේ අම්මා තාමත් ඉස්කෝලෙ යනවා කියලා. අම්මා ළමයින්ට උගන්වන්නෙ චිත්‍ර උනත්, අම්මලා ළමා දිනේ වෙනුවෙන් නාට්‍යක් කරලා තිබුනා.
කාලෙකට කලින් මගේ උපන්දිනේට අම්මා ලියලා මට තෑග්ගත් එක්ක දුන්නු සින්දුවකුත් එදා නාට්‍යයට ඇතුල් කරලා තිබුනා. මට දුන්නු සිංදුවේ තියෙන්නෙ අම්මයි මමයි අතර දෙබසක්. නාට්‍යට ඒක වෙනස් කරලා තිබුනා ටීචර් සහ එයාගේ ගෝලයෝ අතර දෙබසකට. වෙනස වුනේ “අම්මේ“ කියන තැනට “ටීචර්“ කියලා දාලා තිබුනු එක විතරයි.
මේ තියෙන්නෙ ඒ සිංදුව.
ටීචර්,
ඔයා මෙහෙම කරලා මෙහෙම කරලා පාට තවරලා - අර අහසෙ ඇන්ද පුංචි තරුවෙ ඉන්නෙ කව්රුදෝ...
මම මෙහෙම කරලා මෙහෙම කරලා පාට තවරලා - අර අහසෙ ඇන්ද පුංචි තරුව ඔයයි මගේ පුතේ....
ටීචර්,
ඔයා එහෙට කරලා මෙහෙට කරලා පොලොව හාරලා - අර එදා හොයා ගත්ත මැණික කොහෙද හැංගුවේ...
මම එහෙට කරලා මෙහෙට කරලා පොලොව හාරලා - අර එදා හොයා ගත්ත මැණික ඔයයි මගේ පුතේ...
ටීචර්,
ඔයා පොහොර දාලා වතුර දාලා හැදුව මල් පැලේ - මල් ගොඩක් පිපිල පාට පිරිලා සුවද දස අතේ...
මම පොහොර දාලා වතුර දාලා හැදුව මල් පැලේ - මල් වගේ පිපිලා සුවද දෙන්නෙ ඔයාලයි පුතේ...
ටීචර්,
මල් වටේ රඟන බිගුන් විලස සුවඳෙ දැවටිලා - එමි ඔබේ ලගට සතුට පිරුණු ලොවක් සොය සොයා...
මල් වටේ රඟන බිගුන් විලස එන්න මා සොයා - සුදු පුතේ ඔබට සතුට පිරුණු ලොවක් දෙමි සොයා...
ඔය සිංදුව මම කියෙව්වෙ කොල කෑල්ලක තියෙද්දි.
එදා ඔය සිංදුවට තාලයක් දාලා, සංගීතය දාලා අපේ ඉස්කෝලේ සංගීත ටීචරුයි, ළමයි සෙට් එකයි ගායනා කලා මාර ගති! අර "මෙහෙම කරලා මෙහෙම කරලා...." වගේ කෑලි වගයක් තියෙන්නෙ සිංදුවේ. ඒ තැන් වලට පට්ට සරළ ඩාන්ස් එකක් දානවා පොඩි උන් ටික ඇඩෙන්ඩ ම.
ඒ කාලේ අපි ළමා දිනය ගෙව්වේ පිට්ටනියට වෙලා. තනියට හිටියේ ගස්කොලන් ටිකයි, දවල්ට පායන අව්වයි. අද තත්වය ඊට හාත්පසින් වෙනස් වුනත් මේගොල්ලත් ළමා දිනයෙන් මාර තෘප්තියක් ලබන බව පේන්න තිබුනා !
...................................
- මීට යුරෝ දෙකේ වීරයා.








ජයසිරියා ළමා දිනේ දවසේ වැඩිහිටියාටනේ ඇක්ට් කරලා තියෙන්නේ :D
ReplyDeleteහසිත,
Deleteජයසිරි ඇත්තටමත් ඇක්ට් කලේ ඔය චරිතයම තමා. මිනිහා අපිට හිතන්නත් බැරි තරම් කාලේ ඉස්කෝලෙ නිවාඩු දුන්නම "තැඹිලි වික්කා"
ළමා දිනයක් කියල එකක් තියලා ළමයින්ට ළමයි කියන්නේ කවුද කියල තේරුම් කරලා දීල ලොකු මිනිස්සුන්ටත් ඒක තේරුම් කරලා දෙන්න ඕන යුගයක් මේක ඒ හින්දා එහෙම එකක් අවශ්‍යයි.මොකද ළමයි මිනිස්සු කරන වැඩ කරන්න දඟලන අතරේ ලොකු මිනිස්සු ළමයි වගේ වැඩ. ඒ අතරේ ළමයින්ව දුරාචාරයට අදිනවා.
ReplyDeleteබටහිර සංස්කෘතිවල දෙමාපිය දරු සම්බන්ධය බොහොම දුරයි වයසට ගියාම දෙමාපියන්ට ඉන්නේ බල්ලා විතරයි. සමහරු මැරිලා දින ගණනක් ගිහින් අසල්වැසියෝ කුණු ගඳ නිසා මැරිලා කියලා දැන ගන්නවා. ඒ හින්දා ඔන්න පියාගේ දිනයක් මවගේ දිනයන් දාගෙන එයාල බලන්න යනවා. අපිට එහෙම ඕන නැහැ,. අපේ දෙමාපියෝ ඉන්නේ අපි අතරේ,, අපේ දරුවෝ ඉන්නේ අපේ හදවත්වල. එතකොට අපිට හැමදාම ළමා දිනයක් පියාගේ දිනයක් මවගේ දිනයක්..
සරත් අයිය දාන කමෙන්ට් කියවද්දි මම සයිබරේට ආපු මුල්ම කාලේ කකා කියපු කතාවක් මතක් වුනා.
Deleteමම ලියන්න ගත්තු මුල්ම කාලේ කකා පොඩි උපදෙස් ටිකක් දුන්නා. ඒකේ දල අදහස මේකයි. නැතිනම් මම තේරුම් ගත්තෙ මෙහෙමයි.
එයා කිව්වා එළ මැක්සා වගේ කමෙන්ට් වලින් නං එච්චර ප්‍රයෝජනයක් නෑ. අදහස් වලින් යුක්ත කමෙන්ට් වැටෙනවා නම් ඒකයි වැදගත් වෙන්නෙ කියලා.
මම හිතන්නෙ ඒකට ලියන ලිපියත් බලපානවා උනත්, සරත් අයියගේ මේ කමෙන්ටුව එවැනි එකක්!
සරත්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
Deleteලමාදිනේට ටී.වී වැඩසටහන් වල යන දේවල් දැක්කම හිතෙන්නෙ...මොන මගුලක්ද මේ...කියලයි..!
ඉස්සර අපේ ගම් වල තිබුනා මහගෙදර කියන සම්ප්‍රදාය.පවුලේ බාල පිරිමියාට ගෙදර හා ඉඩකඩම් ලියල දීල අම්ම තාත්ත එක්ක ගමේ ගෙදර පවුල් ජීවිතය ගෙවන්නෙ. ඒ අය තමයි මව් පියන්ගෙ ප්‍රධාන වගකීම ගන්නෙ.පවුලේ සහෝදර සහොදරියන් අතර බැඳීමට මේ මහ ගෙදර සම්ප්‍රධාය තිබුන. ලමයින්ට ආච්චිල, සීයල කතන්දර කියල දෙන සම්ප්‍රදාය තිබුනෙ මෙතන....
මේව දැන් නැහැ...අඩුයි....අපේ සංස්කෘතික ලක්ෂණ පිරිහෙන්නෙ..ඔය නිසයි.ලමයින්ට උරුමලෝකය ඒතැනයි
දැන් කතන්දර කියල දෙන්නෙ...ටී.වී එකේ..
ආයේ කියන්න දෙයක් නැත. ලෙසටම කියා ඇත.
Deleteළමා දිනේ..? කාටද බං.. කෝ දැන් ළමයි..?
ReplyDeleteමාරයා ළමයි නැත්තං අපි වත් වැඩිහිටි දිනේ සමරමු ඔය ප්‍රසන්නලාව, වෙනී අයියලාව ගෙන්නලා.........
Deleteළමා දිනේ අර අන්තිමට කීව ලීව සින්දුව නම් ටොපේ ටොප්..
ReplyDeleteඅපි ඉස්කෝලෙ යන කාලෙ නම් ඔය කෝලං තිබ්බෙ නැති නිසා අවුලක් නෑ..වෙසක් එකට සිල් ගත්තා..නොමිලේ පොත් දෙන දවස රේඩියෝ එකේ කතාව ඇහුවා..අනිත් දවස් වල කලේම ඔය ලිස්ට් එකේ තියෙන එව්වම තමයි..
ඉතින් බුද්ධි මලේ කොහොමෙයි මේ සැරේ වැඩිහිටි දිනේ සැමරුවේ ?
වෙනී අයියා,
Deleteසිංදුව ඇගයීමට ලක්කලා කියලා අම්මට කියන්නම් අර සම්මානේ ගෙනැල්ලා දුන්නු මාමා!
වෙනී අයියලාගේ කාලේ මෙයිට වඩා ලස්සනට තියෙන්න ඇති කියලයි මම කල්පනා කරන්නෙ. ඒ ගැන වෙලාවක ලියන්න.
නියමයි බන්, අපිත් ඔය ළමා දින 12 -13 පහුකරන්න ඇතිනේ ඉස්කෝලේ ඉන්නකොට, ඒ හැටි ලොකු මතකයක් නම් නෑ කරපු දෙයක
ReplyDeleteමුදියන්සේ මාමා,
Deleteමටත් මතක ඔච්චරයි. ඒ ඒ ළමා දිනවල විශේෂයක් තිබුනු හින්දා :)
මට නම් ඒ දවස්වල ළමා දිනේට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන මුද්දරේ ගන්ට බලන් ඉන්නව ඇරෙන්න වෙන විශේෂයෙන් කරපු දෙයක් මතක නෑ.
ReplyDeleteඅපේ තාත්තා තැපැල් මහත්තයා. තාත්තට ඒවා කෝමත් ලගටම එනවා. ඒ කාලේ පොතකුත් තිබ්බා සීල් ගහන්න කලින් වෙන්කරගත්තු මුද්දර අලෝලා හදාපු.
Deleteළමා දිනේ...? එහෙම එකක් මතක නෑ නේ අප්පා... ඉස්කෝලෙදි වත් එහෙම එකක් සැමරුවාය කියලා මතකයක් නෑ... අපේ ඉස්කෝලෙට ඒක අමතක උනාද....?
ReplyDeleteගුරු දිනේ නම් මතකයි.... එදාට ඉතිං ඔය මොකක් හරි අටෝගෙන යනවානේ ටීචර්ලට දෙන්න.. වෙසක් එකට කූඩු හැදුවත් මතකයි... ළමා දිනේට කියලා අමුතු දෙයක් කලාය කියලා......... ම්ම්හු... මතක නෑ....
මෙයාලට නම් අඩුගානේ දවසම සෙල්ලම් කරන්න හරි හම්බුවෙලා....
හිරු,
Deleteවෙසක් එකට අපි කූඩු හැදුවෙ පංසලේ....
ගුරු දිනෙත් මතකයි. උදේ රැස්වීම ඉවරවෙලා අව්වෙ කර වෙවී ඉන්නවා අපේ පංතිභාර චීටර්ට බුලත් දීලා වඳින්න. තෑගි අරගෙන ගියේ කැමති ටීචර්ට දෙන්න.
'ටෙලි නාට්‍යක අන්තිම කොටස වගේ නම් ජයසිරි අපෙන් වෙන්වෙලා හුදකලාව පිට්ටනිය පැත්තට යන සීන් එක දාලා ටිකකින් නිමි කියලා දාන්න තිබුනා.'
ReplyDeleteඒකනං නියම කෑල්ලක් තමයි.
ඉතිං දැං උඹ වැඩිහිටි දිනේ සැමරුවැයි.
ප්‍රසා, වැඩිහිටිහිටි දිනේ සමරන්න ඉතින් උඔලා බලන්න එන්න එපැයි. දුර වැඩියි බං!
Deleteසේරමත් හරි අර සිංදුව නම් මාරයි... හරිම ලස්සනයි...
ReplyDeleteසුභ ලමාදිනයක් වේවා චූටි මහත්තයා..!!!!! ( ඇත්තටම එහෙම කියන්න බැරිද? ) :)
ලකීසිරි,
Deleteසුභ ලමාදිනයක් වේවා චූටි මහත්තයා..!!!!! ( ඇත්තටම එහෙම කියන්න බැරිද? ) :)//
ඇත්තටම එහෙම කියන්න බෑනේ. මොකද ළයන්න ලියලා තියෙනවා වැරදියි. ඒ මදිවට වචන දෙක එක්කහු කරලා තියෙන්නෙ..... :)
කොහොම උනත් ලකී මාමාට සුබ වැඩිහිටි දිනයක්!
ලකී සිරි, සිංදුව ඇගයීම ගැන අම්මාට කියන්නම්. ඇත්තටම ඔය සිංදුව එදා සංගීතය හා නර්ථනය එක්ක ලස්සනට තිබුනා. පුලුවන් උනොත් රෙකෝඩ් කරලා කෙහෙල්වත්තට ඇහෙන්න දාන්නයි හිතාගෙන ඉන්නෙ... හැබැයි කවදාද කියලා නම් අහන්ඩ එපා.....:)
Deleteල යන්නෙ වැරැද්දක් නැහැ බුද්ධි...වැරැද්ද තියෙන්නෙ දැන් කාලෙ ළමයි ලියන විදිහෙ :)
Deleteඉස්සර හිටියෙ මුර්තද ළමයි දැන් ඉන්නෙ දන්තජ ලමයි... බොරුනං ගිම්හානිගෙන් අහන්න.. එයා ලියන්නෙත් එහෙමයි :)
ලකී, ඒක ඇත්ත වෙන්ඩැති! මගේ නමේ මුල් කෑලලත් ලියන්නෙ දන්තජ ලයන්නෙන්!!!
Deleteසින්දුව රෙකෝඩ් කරලා දාන්න පුළුවන්ද කියලා අහන්නයි ලෑස්තිවෙලා හිටියේ..දැන් බුද්ධිම ඒ ගැන කියලා තියන නිසා අපි අර ඔයාගේ පොරොන්දු ලිස්ට් එකට දාගෙන බලං ඉන්නවා
Deleteඅර කාලෙකට කලින් බොරුවට ටෙන්ඩර් කැඳවලා කරපු මගඩිය තාම මතකයි..ඒක නිසා මේ වැඩේට එහෙම වෙන්න දෙන්න එපා..!!
රූ,
Deleteසිංදුව රේකෝඩ් කරන්න එච්චර අමාරු නෑ. දැනටම හඬ තැන්පත් කරන්න ලැපයි, රෙකෝඒ කරන්න මයික් එව්වා මෙව්වයි, සොෆ්ට්වෙයා එකක් ලෑස්ති කරලා තියෙන්නෙ. තව අඩු ටීචරුයි එයාගේ ගෝලයෝ සෙට් එකයි තමා....හෙහ් හේ.....
ඇත්තට ම ටෙන්ඩර් මඟඩියක් වෙලානං ඒකම මම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා ඇත්ත හොයන්න..... ඔයා බය වෙන්ඩ එපා මැඩම්....P
ළමා දිනේ ....... යාන්තම් මතකයක් තියනවා එහෙම දෙයක් ගැන......
ReplyDeleteවෙල් කම් ටු කෙහෙල්කොටුව Frozen Heart!!!
Delete....................
යාන්තම් මතකයි කිව්වෙ Frozen Heart දැන් වැඩිහිටි දිනේ සමරන කාලේ වෙන්ඩැ....!
අපූරු මතකයක්.
ReplyDeleteමටත් මතක් වුනා. හැබැයි අපේ කාලේ ළමා දිනයක් නම් තිබ්බේ නැහැ. ඒත් එක අවුරුද්දක ලෝක ළමා වසර සැමරුව වගේ නම් මතකයි. මම එදා රචනා තරඟයකට ළමා ලෝකයේ අයිතිවාසිකම් හා යුතුකම් කියලා රචනයක් ලියලා තෑග්ගක් ගත්තත් මතකයි.
ඒ වගේම මාරයාගේ ප්‍රතිචාරයත් හිතට ගත්තොත් හොදයි වගේ......
වෙද මහත්තයාට ලෝක ළමා වසර කියලා දෙයක් මතකයි වගේ තමා මට මතකයි 2000 දී සැමට සෙවන කියලා එකක් තිබුනා. ඒ කාලේ සිමෙන්ති කොට්ටා වල පවා ගහලා තිබුනා.
Deleteපොඩිකාලේ එන ප්‍රස්ණ අහලා විසඳගන්න බැරි වුනාම අපි කරන්නෙ තර්කයක් ගොඩ නඟලා ඒක විසඳගන්න එකනේ. ඉතින් ඒ කාලේ මම හිතුවෙ සැමට සෙවන කියන්නෙ, 2000 අවුරුද්දෙදී හැමෝටම සෙවන කියන ලොතරැයිය නොමිලේ දෙනවා ඇති කියලා....
මාරයාගේ ප්‍රතිචාරය හිතට ගන්නවා කියන්නෙ ඉතින් ගොක්‍කොල ටිකක් කපලා තියාගන්න එකනේ නේද?:)
ප්‍රේමදාස මහත්තය ලංකාවට වසරවල් තුනක් ගෙනාව. 85 තරුණ වසර. 87 නිවාස වසර. 89 ඝාතන වසර.
Delete89 වෙච්චා මට හොඳට මතකයි. ඊට කලින් වෙච්චා මතක එකේ ඒක මතක නැති වෙන්නැනේ.
Deleteවැඩේ කියන්නෙ ගමේ ම මිනිස්සු වැඩිපුරම එක්කහු වෙන්නෙ අපේ හංදියේ තැපැල් කන්තෝරුව ගාවට හන්දා ටයර් සෑයවල්, ටයර් නැති සෑයවල්, පෝස්ටර් මගඩි ඔක්කොම කරන්නෙ අපේ කන්තෝරුව ඉස්සරහා. උදේට සෑහෙන දවස් වලට නැගිටිද්දි පුලුටු ගද දසත පැතිරිලා.
ළමයි ඉන්න එපැයි ළමා දින තියන්න .. දැන් ඉන්නේ ඔක්කොම මහා උන්.. පොඩි කාලෙදිම උන්ගේ මනස විකුර්ති වෙලා...ඒ කාලේ සමාජෙට වඩා දැන් කාලේ සමාජේ ගොඩක් වෙනස් වෙලා..
ReplyDeleteචමී,
Deleteඇත්ත. උදාහරන ඹ්න තරම් දෙන්න පුලුවන්. දැන් අපේ ගෙවල් ලග ඉන්න කොලුවා සෙල්ලම් කරනවා කියලා කරන්නෙ ගෙදර හදාපු බාස්‍කට් බොල් රින් එකට බෝලෙ දදා ඉන්න එකට. නැත්තම් ගේම්ස්!
එලියට බැහැලා සෙල්ලමක් කරන්න ඒ ගොල්ලන්ට තේරෙන්නෙ නෑ. අනික ඒක උන්ට මදි කමක් වගේ හිතෙනව ද මන්දා!
80_90 කාලේ ළමා කාලයක් තිබුණු අය තමයි උපරිම ෆන් ගත්තේ..
Deleteචමී,
Deleteඒ කාලේ දින නියමයක් නැතුව පාසලුත් නිවාඩු දෙනවනේ මහ ආණ්ඩුවේ නියෝග හන්දා.... කාට කියන්ඩද අප්පා.... වෙළඳ සේවයේ ඒ නිවේදනය දෙද්දි ඇහෙන්නෙ අපිට දිවියලෝකෙන් එන පණිවිඩක් වගේ....:)
හරිම සොදුරු මතකයන් . සින්දුවනම් හරිම ලස්සනයි . ලමා දිනයක් ගැනනම් මතකයක් නෑ . ගුරු දිනේනම් මතකයි .
ReplyDeleteඊයේ දිනේනම් ලමා දිනේ කියල ලොකු ප්‍රචාර දූන්නත් , ලමයින් වෙනුවෙන් යමක් කරන්නෙ කීයෙන් කීදෙනාද , අඩු ගානෙ ඉගෙනගන්න ලමයෙක්ට පොතක්වත් අරන් දෙන්නෙ කීයෙන් කීදෙනාද ?
ගිම්හානී, දුක්වෙන්න එපා. කෙහෙල්කොටුවත් එක්ක එක්කහු වෙන්න ළමයි වෙනුවෙන් යමක් කරන්න.....:)
Deleteෂා මාරයිනේ ඒ කාලේ... මට මතක ඇති කාලෙක ඔහොම ලමා දිනයක් සමරලා නෑ අප්පා ඉස්කෝලෙන් කන්නයි බොන්නයි දුන්නා කියලනම් මතකයි...
ReplyDeleteඅම්මා ලියලා දීපු කවිය මාර ලස්සනයි.ඕක කියද්දි කොච්චර ලස්සනට තියෙන්න ඇතිද කියලා හිතෙනවා... එහෙට කරලා මෙහෙට කරලා කියලා තියෙන කෑල්ල කියවද්දි මට මැවිලා පෙනුනේ චූටි මහත්තයව අල්ලලා හොල්ලන සීන් එකක් :D
ගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ ලස්සන කතා ගොඩක් මගඇරෙන්න ඇති අප්පා.පහුගිය මාසෙම බ්ලොග් කියවන්න වුනේ නෑනේ....
ගැමියා,
Deleteගැමියලාට ආයි කවදාවත් අපි වගේ ඕවා සමරන්න වෙන්නෙ නෑ..... ඩීජේ එක්ක දමාගෙන නටනවා ඇරෙන්න.... දුක් වෙන්ඩ එපා උඔලා මිලේනියම් දරුවොනේ......:)
කවිය ගැන කිව්ව එක අම්මට කියන්නම්!
බ්ලොග් කියවන එක නතර කලේ ඇයි.... කණ්නාඩි කුට්ටම නැති උනාද?:)
කැමති ඇඳුමක් ඇඳගෙන කැමති දෙයක් කරන්න දෙනවා කිව්වම අපිට හිතාගන්න බැරුව ගියා. සාමාන්‍යයෙන් එහෙමනේ. ඇමරිකාවේ වහල්ලුන්ට නිදහස දුන්නම ඒ ගොල්ලන්ටත් හිතාගන්න බැරි උනාලු "බොලව් දැන් අපි මොකද කරන්නෙ?" කියලා.
ReplyDeleteආසම කෑල්ල... :)
කතාව යටින් දිවෙන ශෝකාන්තයත් මාරයි... අපේ පන්තියෙත් හිටියා ඉස්කෝලෙට දාන්න සෙරෙප්පු දෙකක් නැති ළමයි... ට්‍රිප් එකක් එහෙම යන්න ලෑස්තිවෙද්දී මාර අසරණවීමක් වෙන්නේ...
බීටලේ,
Deleteඅපේ පන්ති වලත් ඕන තරම් හිටියා ට්‍රිප් යද්දි අසරණ වෙන කට්ටිය. ඇයි පාපන්දු ගහද්දිත් අසරණ වෙන අය හිටියා..... ඒක් අපි නෙමේ ඒ අයට එහෙම වෙන්න දුන්නෙ.... මතකද?
http://cyberyaya.blogspot.com/2012/06/blog-post_27.html
අපිට නම් වගේ වගක් නෑ.පස්සෙ පස්සෙ අපි ඒ ලෙවල් කරන කාලෙ නෙ ඕවා ඉස්කෝලෙ සමරන්න ගත්තේ!ෆිල්ම් පෙන්නලා අයිස්ක්‍රීම් දුන්නා මං හිතේ ලොකු උන්ට!වැඩේ කියන්නේ අපිට තමයි පොඩි උන්ගේ වැඩසටහන් සංවිධානය කරන්න දුන්නේ! ඉතින් අපිට නෝ එන්ජෝයි :)
ReplyDeleteමට මතකයි අපි කීප දෙනෙක් ගිටාර් එකක් අරං දෙකේ පන්තියේ උන් ව ගහක් යටට එකතු කරං අමාරුවෙන් පාඩම් කර්ං ගිය ලමා ගීත උන් එක්ක කියන්න ගත්තා.එතන හිටපු පොඩි එකෙක් 'ඊයා අයියිඒ අපි ඔව්වා දන්නේ නෑ'
'එහෙනම් මල්ලිලට මොන සිංදුද කියන්න ඕන?'
'අපිට ශිහාන් අයියගේ ඇස්දෙක පියාන කියන්න ඕන'
විශ්වාස කරන්න උන් සිංදුවේ සෑහෙන්න තරමක් වචනයක්වත් වරද්දන්නේ නැතුව කිව්වා..ඔන්න දැන් කාලෙ හැදෙන උන් :D
සබිත්,
Deleteඉතින් ඔය ශිහාන්ගේ සිංදු යන වෙලාවට ළමා ගීත දැම්මනං ළමයි ඒවා පුරුදු වෙයි. නැත්තං ශිහාන් ළමා සිංදු කිව්වත් වැඩේ හරි! නැතුව ඔය ප්‍රස්නෙ විසදන්න වෙන්නෙ නෑ මම හිතන්නෙ......
ඉතින් ඊට පස්සෙ උඔලා එතන සුපර්ස්ටාර් වැඩසටහනක් කලාද?
athi yanthan chuti mahaththayage kathawak dala kalekin.
ReplyDeleteබෝපැලේ,
Deleteහැබැයි මේ කතාව කියලා තියෙන්නෙ යුරෝ දෙකේ වීරයා. චුටි මහත්තයා කිව්වනං තව තොරතුරු ටිකක් වැඩියෙන් දැනගන්න තිබුනා.
ළමාදින ???
ReplyDeleteඅපට තිබ්බේ නෑ නේ එහෙම දිනයක් !
මධුරංග,
Deleteළමා දිනය තියෙන්නෙ ළමයින්ට - වැඩිහිටියන්ට නෙමෙයි!:)
ඇත්ටටම ළාමා දිනේදී වෙන්න ඔනේ අඩු ගානේ එදාටවත් ළමයින්ට ඕන විදියට ඉන්න දෙන එක තමා... අද මොන උත්සවෙ කොහොම සංවිදානය කලත්... පෝලිමේ යන්න ඔනේ.. කෑ ගහන්න බෑ.. දඟලන්න බෑ... ශිෂ්‍යය නායක අය්යලයි.. ටීචර්ලයි එදාටත් බලා ඉන්නෙ වැරදි හොයන්නමයි...
ReplyDeleteඅන්තිමට ළමා දිනේ ගෙවිල තියෙන්නෙත් ලොකු අයට ඕන විදියට
පෝලිමේ යන්න ඔනේ.. කෑ ගහන්න බෑ.. දඟලන්න බෑ... ශිෂ්‍යය නායක අය්යලයි.. ටීචර්ලයි එදාටත් බලා ඉන්නෙ වැරදි හොයන්නමයි... අන්තිමට ළමා දිනේ ගෙවිල තියෙන්නෙත් ලොකු අයට ඕන විදියට...//
Deleteකතාව ඇත්ත. මී ගොඩයා ලගදීද ඉශ්කොලෙන් අවුට් වුනේ.... දැන් කාලේ ළමයි ගෙදර ඇවිල්ලා නහයෙන් අඩලා ඉල්ලීම් දිනා ගන්න යන්නෙත් ඔය ක්‍රමේටමයි....... හික් හික්!
ම්..ස්තුතියි බුද්ධි ළමා දිනේ සැමරුම් වලට කෙසේවෙතත් ආපහු ඉස්කෝලෙ කාලෙ මතකයට අරන් ගියා..
ReplyDeleteඒත් මට නම් හිතෙන්නෙ අපි කොහොම ඒක සැමරුවත් දැන් ඉන්න පොඩ්ඩොත් ඒක සතුටින් සමරනවා ඇති කියලා..
මොකද අපි අතර මේ පරම්පරා වෙනස තියන නිසා දැන් ඉන්න පොඩ්ඩො සතුටින් නැහැයි කියලා හිතන එක අසාධාරණයි..
කොහොම වුනත් ළමා දිනේ වෙනුවෙන් මොනවා හරි කරන්න හිතාන ඉන්නවා නම් පුළුවන් උපරිම සහයෝගය දෙන්න පොරොන්දු වෙනවා..
රූ,
Deleteස්තුතියි.
දැන් පොඩ්ඩෝ සතුටින් නැහැ කියන එක අසාධාරණයි තමා. නමුත් අපි වින්ද විචිත්‍රවත් යුගය ඒ ගොල්ලන්ට නෑ. ලොකු උනාම කියන්න දේවලුත් නෑ. මම හවස් වරුවෙම බාස්කට් බොල් රිං එකට බෝලේ දදා හිටියා, මම අයිජීඅයි ප්ලේ කලා වගේ වියලි දේවල් ඇරෙන්න.
ළමා දිනේ වෙනුවෙන් ම නෙමේ. හැබැයි ළමයි වෙනුවෙන්. මේ අවුරුද්දෙ අන්තිමට... මම කියන්නම් ඒ වෙද්දි. ස්තුතියි රූ
කාවේ අධ්‍යාපනේටත් කතන්දර අස්සේම හිමීට පාර ගහනවා නේද? බලාගෙන. ඇස්.බී හරි බන්දුල හරි දැක්කොත් සොරි තමා . ආයේ දේශද්‍රොහියෙක් කරලා තමා නවතින්නේ.
ReplyDeleteකලාමැදිරියා,
Deleteකොහොමත් අපි එක්කෝ දේශද්‍රොහියෝ එක්කො ප්‍රෙමියෝ.... බලන එකානෙව ඒක තීරණය කරන්නෙ..... අපිට තියෙන්නෙ පාඩුවේ ඉන්ඩයි....හෙහ් හේ.....
ඔයාගෙ කතාව සේරමත් හරි අර සිංදුවත්හරි...
ReplyDelete//අර "මෙහෙම කරලා මෙහෙම කරලා...." වගේ කෑලි වගයක් තියෙන්නෙ සිංදුවේ. ඒ තැන් වලට පට්ට සරළ ඩාන්ස් එකක් දානවා පොඩි උන් ටික ඇඩෙන්ඩ ම.//
හිතින් මවාගන්න උත්සාහ කලා ඒ නැටුම...
නියමෙටම තියෙන්න ඇති...
නිමල්,
Deleteඔව් නියමෙට තිබුනා..... ඒ වෙලාවේ හැටියට පොඩි උන් ටික ලස්සනට ම කලා ඒ ටික.... ඒ වෙලාවේ බුර බුරා නැගුණු ආවේගයෙන් තමා මේ ලිපිය ලියවුනේ....:)
මම ළමාවිය පසු කරලා එච්චර කාලයක් පහු වෙලා නෑ නොවැ. මට ඒ කාලේ සෑහෙන ගැටලුවක් වෙලා තිබුනේ ලෝක ළමා දිනේට ඉස්කෝලෙවත් ටියුශන් පන්ති වලවත් නිවාඩුවක් දෙන්නෙ නැති එක.
ReplyDeleteවිසිතුරු,
Deleteඒක ඇත්තනේ... මැයි දිනේට කම්කරුවන්ට නිවාඩු දෙනවා නම් ළමා දිනේ ළමයින්ට නිවාඩු දෙන්න එපැයි....!
ඇයි බන් උඹලට "රොබින් හූඩ්" කරන්ඩ තිබුනනෙ ළමා දිනේට.. අපේ ඉස්කෝලෙනම් ඒකටම කියාපු පොඩි කැලයක් තිබුනා. ( දැන් නෑ හොඳේ.. ) මට මතකයි අපි ඉස්සර, ඔය වගේ ටීචර්ලට අපිව අමතක වෙච්ච දවස් වලට අපි ඕකෙ "රොබින් හූඩ්" කළා..
ReplyDeleteඇත්තටම ළමා දිනය සමරන්න ඕනා මෙහෙම තමයි.. මේක අදාල බලධාරින්ට නිර්දේශ කරන්න්න පුළුවන්නම් දැන් කාලෙ ළමයි කියන වැඩිහිටියන්ට අඩු ගානෙ අවුරුද්දට එක දවසක්වත් ළමයෙක් හැටියට ඉන්න ලැබෙයි කියලා හිතෙනවා..
සෙන්නා,
Deleteඅපි හැමෝම ඒ දවසට අදාල දේ ගැන ඒ දවස් වලට කතා කරලා අත් අරිනවා. ළමා දිනේට ලමයි ගැන, කාන්තා දිනෙට ඒයාලා ගැන, ටුවින් ටවර් එකට ගහපු දාට ත්‍රස්තවාදේ ගැන,ගඩාෆි මැරුවම ඒකාධිපති කම ගැන..... දැං මේ මමත් කරන්නෙ ඒකනේ.... ඒක තමා හැටි. ඒවා ප්‍රායෝගික තත්වයට එන්නෙ කලාතුරකින්...... අදාල බළධාරීනුත් එහෙම තමා හෙහ් හේ.....
ඒකාලේ අපිට හැම දිනයක්ම ළමා දිනයක්...
ReplyDeleteඑහෙනං එහෙනං කැන්ඩියන්...!
Delete""කොහොමහරි ගැණු ළමයිගෙන් ලකුණු ගන්න ඕන කොල්ලෝ වගයක් ජයසිරිට ගහන්නත් ගියා.""
ReplyDeleteමේ සෙට් එකේ නායකයා චුටි මහත්තය ලු නේද? :ඩි
කැලණිතිස්ස,
Deleteපිෂ්ෂුද? මම ඇවිල්ලා සියල්ල වාර්තාකරපු කෙනා පැත්තක ඉඳගෙන....
හැබැයි වැරදිලාවත් ජයසිරි වරදකාරයා වුනානම් වාර්තාකාර තනතුර වෙනස් වෙන්නත් ඉඩතිබුනා....ද?
Deleteදිනේස් - කට කට!
Deleteඅපේ පංතිවල කෙල්ලෝ අපිට පෙන්නන්ට බෑ.අයියලාටමයි මුටිටය අල්ලන්නේ.අපිව පඩේකට ගනන් ගන්නේ නෑ.අපේ පංතිවල කෙල්ලෝ හිතං ඉන්නේ අයියලා කියන්නේ සුපර්මෑන්ලා වගේ කට්ටියක් කියලා.(ඒ වුනාට මාව නම් ගනං ගන්න කෙනෙක් හිටියා මොකද මම හැමපාරම මොනිටර් නිසා මගේ first Love එක 4 වසරෙදි පටන් ගෙන 8 වසරෙදි නිමා විය).
ReplyDeleteදියගොඩ සැමතැන වගේ මලගෙදරට මගුලට කඩයට පිට්ටනියට හැමතැනටම ස්කූල් යුනිෆෝම් එක ඇන්ද අයගෙන් මාත් කෙනෙක්.
මේ දියගොඩ සැමතැන කලිසම හින්දා වෙච්ච වැඩක්.දවසක් පිහිනුම් වැඩමුළුවක් තියනවා කියලා පීනන්ට කැමති ලමයි හෙට අහවල් හෝටලයට සුදුසු ඇදුමක් ඇදගෙනඋදේ 7ට එන්ට කියලා පිනා කීවා.අපේ ගැන්සියත් එදා උදේම හොටලයේ ෆූල් එක ගාවට ගියා. වෙන වෙන ස්කොලවත් කෙල්ලෝ කොල්ලෝ පිරිලා..කොහොම හරි ට්‍රේන් එකේ මට දැන් තියෙන්නේ පලවෙනි ප්‍රැක්ටිකල් එක ඩොල්පින් ජම්ප්. ඔන්න ටීච අක්කි කියා දුන්න විදිහට පෝලිමේ ඉදලා පැන්නා වතුරට ඩොල්පිනා වගේ..හයියෝ මගේ දුප්පත් ඉලාස්ටික් කලිසන් කෝටේ ෆූල් එකේ පා වෙනවා. ලැජ්ජා 7යි හිනා ගොඩා....යි..පස්සේ හිත හොද අයියා කෙනෙක් පැනලා කලිසමයි මායි දෙන්නම ගොඩ අරගෙන කලිසමට රෙදිපටියකුත් ගැටගහලා වැඩේ ගොඩදාල දුන්නා...
බීඩි කියනකොට මතක් උනේ අපේ මල්ලියි මායි ඉස්සරෝම බීඩියක් ගහපු දවස.හැබැයි ඒක අපේම නව නිරිමානයක්.කරවුණූ පැපොල් කොලයක් හොදට කුඩු වෙන්ට අබරලා පත්තර කඩදාසියක ඔතලා අඹ ගහ උඩ අට්ටාලෙට වෙලා ඇද්දා දෙන්නම. ඒ කියන්නේ 5 වසර විතර කාලේ... :D
ගීතික,
ReplyDeleteකාලෙකින් රසවත් කතා කමෙන්ටුවක් දැමීම ගැන ස්තුතිය. මගේ නං වැඩිහරියක් කලිසං ගැලවුනේ මුහුදේ නාද්දිය. පූල් එකේ වගේ නෙමේය. රැල්ලට අහුවුනු කලිසම සොයා ගැනීම මාර අමාරුය.
අට්ටාලය කිව්වෙ අර ඔයාගේ මීයා අහුවෙච්ච දා ගිහිල්ලා අඬපු අට්ටාලෙ මද කියා දැනගන්න කැමතිය?
කාලෙකින් පැමිණ පරණ මතකය ඇවිස්සීම ගැන අප්‍රමාණ ප්‍රීතිය!
නමය වසර එව්වොත් අයියල වෙච්ච කාලයක් තිබ්බනේ අපිට. හනේ....
ReplyDeleteඒ කාලේ අපි වැඩිපුරම තරහා 9 අයියලා එක්ක. මහ ඕන්නැති කොල්ලෝ ටිකක්. අපි මැච් එකක් ගහලත් පැරදුනානේ.....
Deleteමදැයි වෙච්චි දේ
ReplyDeleteකෝ චූටි මහත්තයා ජයසිරිගෙන් ගුටි කාපු එක ලියලා නැහැනේ :)
නිශාන්,
Deleteඅපිට ගැහුවෙ නෑ හරිද..... එතෙන හිටියට බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා විතරයි!
මම නම් අදමයි ආවේ මේ පැත්තට...අෆ්ෆා..මාර දිග පෝස්ටුවක්නෙ....
ReplyDelete//ඇරත් ළමා දිනේ දවසේ බීඩි ගේන්නෙ මොකට ද ඉස්කෝලෙට//
අද කාලේ වෙද්දී බීඩි නෙමේ...ඊටත් එහා දේවල් ගේනවා ඇති...
//ඒ කාලේ අපි ළමා දිනය ගෙව්වේ පිට්ටනියට වෙලා. තනියට හිටියේ ගස්කොලන් ටිකයි//
කාලය වෙනස් වෙලා අයියේ. ඉස්සර අපි කීකරු ශිෂ්‍යයෝ විදියට උන්නට දැන් ලමයි ඊට හුඟාක් වෙනස්. අපේ සිතුවිලි දැන් ඉන්න ළමයින්ගෙ අහලකවත් නෑ. කොටින්ම කියනවා නම් අපිට තිබ්බ ළමා මනස දැන් අයට නෑ..
අපූරු පෝස්ටුවක්
ලිහිණි ව සාදරයෙන් පිළිගන්නවා!
Deleteචුටි මහත්තයගේ කතා යටතේ ඇති අනිත් කතා කියවන්න - ඒකාලේ අපේ සිතුවිලි දැනගන්න:)
අපේ පොඩි එකාගෙ ඉස්කෝලෙ සාම දින අර දින මේ දින සැමරුවට මේ ළමා දිනේ සැමරුවෙ නෑනෙ බං! මටනං ඔහොම එකක් සැමරුව මතකයක් ඇත්තෙම නෑ!
ReplyDeleteඉන්දික භයියා,
Deleteමටත් ඕක මතක බීඩී කොටයක් හන්දා..... ඔයා ඉන්ඩ තිබ්බෙ අපේ ඉස්කෝලෙ...
වහල්ලුන්ට නිදහස දුන්නම උංට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ගිය එක නම් පට්ට කතාව බං. ඒක ඇත්තද?
ReplyDeleteඋඹේ කතාව හොඳම ළමා දින කතාව හැටියට මං තුමා විනිශ්චය මණ්ඩලයට නිර්දේශ කරනවා. අර උඹ කතාව නවත්තලා ආපහු ජයසිරියා පිට්ටනියට ගිහින් ගේම ඉල්ලපු කෑල්ල නම් මරු.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඩූඩ්,
Deleteජයසිරි මැරෑටි ඩයල් එකක්. ජයරත්ත එයාගේ අයියා... අදටත් අපි කෙහෙල්කොටුව ගමට ගියාම එයාලා බලන්න අනිවා යනවා.
අද ජයසිරි පොලිසියේ... ජයරත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී....!
................
වහල්ලුන්ගේ කතාව ඇත්ත. ඒ ගැන ෆිල්ම් දෙක තුනකුත් මම බලලා තියෙනවා. සමහර වැඩිහිටි වහල්ලු තරුණ වහල් ගැටයෝ එක්ක තර්ක කරනවා එයාලා නිදහස් වුනාම මොනවද කරන්නෙ කියලා. දෙන දේ කාලා වෙන දේ බලාගෙන කියන දේ කරගෙන හිටිය අය කොහොමද රස්සාවක් කරලා කීයක් හරි උපයාගෙන තමන්ගේ ජිවිතේ ප්ලැන් කරගන්නේ.... වැඩිහිටියන්ගේ තර්කය ඒකයි....
උඔලා ඉංග්‍රිසි චිත්‍රපටි බලන්නැද්ද ඩූඩ්... උඔට ඉංග්‍රීසි බැයිද? මට නං හොඳට තේරෙනවා... යටින් සිංහලෙන් දාන හින්දා නෙමේ හරිද....! :)
හැබෑටම බන් ඔය කෙහෙල් කොටුව ගම කොහෙද තියෙන්නෙ ? මම හිතුවෙ මේ උඹ දැන් ඉන්න අහ කියලා...
Deleteකියවල තියනවද " ටොම් මාමාගෙ කුටිය " ? ඒකත් ඔය ඇමෙරිකානු වහල්ලු ගැන ලිය වෙච්ච පොතක්..
අපි ඉස්කෝලෙ යන කාලෙ, ලමා දින, වැලන්ටයින් දින, Teacher's day, Mother's day , Father's day ඔය මොන මකබාවක්වත් නැහැනෙ බන්...
ReplyDeleteඑහෙම කියල අපි ලමයි නෙමේද? මේ ඔක්කොම් ගෝලීයකරණය එක්ක අපේ ඔලුවලට ඔබ්බපුවා තමයි..
ඒක නම් ඇත්ත මම පාසල් යන කාලෙත් ඔය කියපු දින නම් සැමරුනේ නැහැ...
DeleteTaru, Dinesh,
Deleteහැබැයි අපේ ඉස්කෝලෙ කෙහෙල්කොටුව හද්දා පිටිසර තිබුනත් ළමා දිනේට ඔය වගේ දේකුයි ගුරු දිනේට බුලත් දීලා වැදිලියි තිබුනා. වෙසක් එකට ඉතිං පන්සලේ කූඩු හැදුවා.... කුඩු හදන්න ගිහිං පන්සල් වත්තෙ ක්‍රිකටුත් ගැහුවා....:)
//ඕගොල්ල අපි ගැන වැරදියට හිතන්න එපා. මේක බරපතල වැරැද්දක්. ජයසිරි අපේ යාලුවා තමා. ඒත් නීතිය අපි කාටත් ඉහලින් කියන එක ඒ කාලේ අපි දැනගෙන උන්නා. අනික මේ අසූව දශකයේ අන්තිම කාලෙනේ!// සහතික ඇත්තනේ යාළුවා වුනත් වරදක් කළොත් මේ ලංකාවේදී නම් ගැලවුමක් නැහැ...
ReplyDeleteදිනේශ්ටත් මතක නියෙනවා එහෙනම්!
Deleteමේ පොස්ටුව මාව ආපහු අතීතයට අරගෙන ගියා.මම ගියෙ විසාකාවට, ඒත් අවාසනාවකට වගෙ අපේ කාලෙදි ලමා දිනේට පන්තියේ හෑමොටම ටොපියක් දෙනවට වඩා දෙයක් කර වගේ මට මතක නෑ.වෑඩි ඈතක නෙමෙයි, මම 2007 දි out වුනෙ. අපිට ගොඩක්ම හිටියෙ ගුරු හොරු.ලමයින්ට ආදරෙ කරපු දෙන්නෙක්ව විතරයි මට මතක:((((((((((( හෑබෑයි ගුරු දිනෙ නම් සෑමරුවා ඉහලින්ම ලමයින්ගෙ සල්ලිත් එකතු කරගෙන
ReplyDeleteචූටි,
Deleteකාලෙත් එක්ක හැමෝම වෙනස් වෙද්දි ගුරුවරුත් වෙනස් වෙනවනේ. ඒත් වෙනසට එකපාර නතු වෙන්නැති සමහරු හැමතැනම ඉන්නවා නේද?
කවුරුවත්ම ලෝක ගෑනු ලමයින්ගේ දිනයක් තියෙන්නේ නැති හැටි. එදාටවත් තමන්ට ඕනි විදියට ඇඳලා, හිතුනු දේවල් කරන්ට අවසර දෙන දවසක් ගෑනු ලමයින්ටත් තියනවා නම් කොච්චර එකක්ද? :(
ReplyDeleteඅම්මා ලියපු කවි ලස්සනයි...එයාට ලොකූ උම්මා එකක් දෙන්ට වටිනවා...:)
පොකු,
Deleteරවුම් ගහලා රවුම් ගහලා මෙන්න අන්තිමයට ඇවිල්ලා.......
ලෝක ගැණු ළමයින්ගේ දිනයක් කියලා අමුතුවෙන් දෙයක් ඕනේ නෑ... ගැණු අයට හැමදාම ඉතින් ගැණු අයගේ දින තමා..... පොඩ්ඩක් කල්පනා කරලා බලන්ඩකෝ!
මේ අවුරුද්දේ ඉදන් ගෑනු ළමයින්ටත් වෙනම දිනයක් තියනවා. (ප්රවුර්ති බලලා නෑ වගේ)
Deleteඔක් 11. හෙට අනිද්දා සමරන්න පුළුවන්
http://www.trust.org/trustlaw/news/un-declares-oct-11-as-international-day-of-the-girl-child
කල්පනා,
Deleteඑයා බලන ප්රවුර්ති!
එයා ප්රවුර්ති තියා ප්‍රවෘත්ති වත් බලන්නෙ නැ මගේ හිතේ!!!:)
සියල්ලන්ට ම පිළිතුරු දී ඇති බව පෙනී යයි! නමුත් Zඅම්මෝ මේ පෝස්ට් එකේ දීග" කියලා කිව්ව කමෙන්ට් එකක් තිබුනා... ඒක නෑ වගෙත් පේනවා. එහෙම දෙයක් දැක්කොත් පෙන්වනු මැනවි. පෝස්ටුව දිගට පෙන්නෙ මෙය හිනි තීරුවක පහලට ගලා යන දිය පාරක් වගේ තියෙන නිසා බව සලකනු මැනවි.:):):P
ReplyDeleteටිකක් පරක්කු උනා එන්න ඔක්කොටම වඩා ලස්සන අර සිංදුව අනේ ඒක අහන්න විදියක් නැද්ද ?
ReplyDeleteලොකු ජෝන් දිනයක කාටත් ඇහෙන්න කෙහෙල්කොටුවේ ප්‍රචාරය කරන්න යි ඉන්නෙ.... බලමුකෝ!
Deleteමාරම ගති පෝස්ට් එක බුද්ධි . ටෙලිනාට්‍යක් හදන්න කියාපු කතාව . සින්දුවත් ලස්සනයි . බුද්ධිට ලියන්න පුළුවන් වුනේ අම්මගේ හැකියාවන් උරුම වෙච්ච නිසා වෙන්ට ඇති .
ReplyDeleteළමා දිනේ නේද . මටත් මතක නැහැ සමරපු වගක් . හැබැයි අපි ඉතින් සාමාන්‍ය දැනීමට අර දිනය මේ දිනය සේරම දැනන් උන්න නිසා ඔක් 1 කියන්නේ ළමා දිනේ බව දැනන් හිටිය . අර පාර පුරා ගස් හිටෝගෙන ගිය රුක් රෝපණ දිනය නම් හොඳට මතකයි.
හැම එකම සමරන අපේ මුන් මහත්තයේගේ ඉස්කෝලෙත් මේ දිනේ සමරුවේ නැහැනේ . අනික වියට්නාමේ ළමා දිනේ වෙන එකක් . කොහොමත් 29 වෙනිදා සඳ උළෙල තිබ්බනේ අපට . ඒකත් ළමයින්ටමනේ.
මට නම් දුක මේ ළමා දිනෙත් ලෝකේ කොච්චර ළමයි මරණ බයෙන් බඩගින්නෙන් ඉන්න ඇතිද .
ස්තුතියි බිංදුමතී අක්කා.
Deleteඅර කියද්දියි මතක් උනේ රුක් රෝපණ දිනත් තිබ්බා නේද? ඒගැනත් කතාවක් කිව්වැකි ඕනේනං.... රාජ රාජ මහාමාත්‍යයෝ ඇවිල්ලා අපිව අව්වේ කර කරලා කර කරලා පැලයක් හිටෝලා යනවා. ඊට පස්සෙ අපි එපැයි ඒක නඩත්තු කරන්න...
සඳ උලෙල ගැන කතාව කියවන්නත් බැරි උනා. වෙලාවක එන්නං ඒ මොකද්ද බලන්න....
මරණ බයත්, හැමදාම දැනෙන කුසගින්නත් නිවන්න බැරි උනත් ඔයාටත් පුලුවනි ළමයි වෙනුවෙන් කැමති නම් මේ දෙසැම්බරේ වැඩක් කරන්න....!!!!!
ළමයි කෝ දැං ළමා දින සමරන්න????
ReplyDeleteකොලු තාත්තලයි අම්මන්ඩිලයිනේ ඉන්නේ..
තරියා අබේ,
Deleteඒකනේ බං මේ පරණ දේවල් කිය කියා ලතැවෙන්නෙ....:)
අද තමයි කියවලා ඉවර වුනේ අනේ.
ReplyDeleteසිංදුව අතිශයින් ලස්සනයි. මේ ඒක නෙමෙයි ඒකේ ටීචර් විතරයිනේ කියනවා වගේ තියෙන්නේ. ළමයා කියන තැනට ඒක දාලා නැහ්නේ.
ඔන්න මං හොරකමක් කරන්නයි යන්නේ...... :D
ReplyDeleteසමහරක් වේලාවට අපිට ළමා කාලයක් තිබ්බද කියලා හිතෙනවා බං
ReplyDelete