ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2012/05/26

අද කාටුන් - 16 - එන්ඩලා....බ්ලොග්කාරයෝ දිරිමත් කරන්ඩ එන්ඩලා.....!

බ්ලොග් ලියන්නෙ ඇයි කියලා ඇහැව්වොත් උත්තර ගොඩයි.

මට මතක් වෙනවා මීට අවුරුදු දෙකකට විතර කලින් මම බ්ලොග් ලියන්න පටන්ගත්තු කාලේ. ඒ කාලේ මාව හෙනට දිරිමත් කලේ ඊට කලින් බ්ලොග් ලියලා නමක් දිනා ගත්තු අය. ඒ අය ඒක කලේ තමන්ගේ බ්ලොග් වලින් මගේ බ්ලොග් එකට ලින්ක් දීමෙන්, නිතර පැමිණ කමෙන්ට් කිරීමෙන් හා facebook එකේ බෙදාහැරීමෙන්.

අවුරුදු දෙකක් ගෙවිලා තියෙන මගේ බ්ලොග් එකෙනුත් ඒ වගේ වැඩක් කරන්නයි මම අද ලෑස්තිවෙන්නෙ.

මේ වගේ වැඩක තියෙන ආනිසංස මතක් කරද්දි මගේ හිතේ බුර බුරා* නැගුණු සංතෝශය හන්දයි, මගේ අතින් මේ වගේ දෙයක් ඇඳුනේ. ඇරත් මේක යුගයේ අවශ්‍යතාවය කියලයි මට හිතෙන්නෙ.


ඇත්තටම ඔය තරූගේ කටින් පිටවුනු බ්ලොග් වල, ඇඩ්මින්ලා ඇඩ්මිනියන්ලා විසින් මේ පෝස්ට් එක පබ්ලිෂ් උනාට පස්සෙ මට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා හිතනකොටත් මගේ සියොලඟ මෙව්වා වෙලා යනවා. ඒත් ඒ ඔක්කොමලාම මගේ යාලුවෝ හන්දා මං නං තඹ සතේකට බය නෑ.

අවසාන වශයෙන් මම ඔබට එක දෙයක් කියන්නම්. මේ බ්ලොග් ලිපි හුඟ දෙනෙක් නොදැක්කත්, දැක්ක පිරිස අතර අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක නිසා එක හුස්මට හැම බ්ලොග් එකකම හැම ලිපියක් ම කියවන්න.

මෙන්න බ්ලොග් ටික


01. පොඩිකුමාරි හාමි - මොනරවිල බ්ලොග් අඩවිය.
වැඩිදෙයක් කියවන්න නෑ. ඒ වුනාට මාර රසවත් වගේම හෙන අර්ථාන්විතයි. මුලු පෝස්ට් එකටම අකුරු හතරයි. H-O-M-E !!!

02. තරු මහතා - තරුමල් යාය බ්ලොග් අඩවිය.
පට්ට බ්ලොග් අඩවියකි. 2011 දී බ්ලොග් එක පටන් අරගෙන තියෙන්නෙ. මේ වෙද්දි ලිපි 300 විතර පල කරලා තියෙනවා. අන්තිම පෝස්ට් එකේ එක අකුරක්වත් නැති උනත් මාර තේරුමක් තියෙන්නෙ.

03. තනිකඩයා -  තනිකඩ බ්ලොග් අඩවිය.
තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...තිත්...

04. Praසන්ன- Praසන්னගේ ලටපට බ්ලොග් අඩවිය.
තරුගේ බ්ලොග් එක‍ට පට්ට බ්ලොග් අඩවියකි කිව්ව හන්දා මේකට කියන්න වචන නෑ. හිතාගන්ඩකෝ එක පෝස්ට් එකයි, ඒකට කමෙන්ට් 191 යි. හිතාගත්තැකි නේද තරම. ඔත්තුවක් දෙන්නම්. පළවෙනි කමෙන්ට් එකේ ඉදලා පහලට කියවගෙන යද්දි කමෙන්ට් කරුවන්ගේ බලාපොරොත්තු මෙව්වා වේගෙන වේගන යන හැටි බලන්න. මාර ලස්සනයි.

05. සුමින්ද වික්‍රමසිංහ -  අපි නොදන්න බ්ලොග්.
මෙයා හොඳ චිත්‍ර කාරයෙක්. පහුගිය දා තිබුනු පතිවත විත්‍ර ප්‍රදර්ශණයටත් මෙයා සිත්තරයක් ඇඳලා එවලා තිබුනා. එයාගේ බ්ලොග් ලේඛණ කලාව ගත්තොත් අර්ථයෙන්, භාවයෙන් රස ගැන්වීලා පාඨකයාගේ සැගවුනු රසඥතාවය කුලු ගැන්විලා, භාව කම්පනය වෙලා, හැගීම් ඇවිස්සිලා දොරේ ගලා යන්ඩ ලියන්ඩ මෙයාට පුලුවන්.

උදාහරණයක් කියනවනම් මේ තියෙන්නෙ එයාගේ බ්ලොග් එකේ පලවෙනි සංවත්සරේට දාපු ලිපිය. අර උඩ කියපු ඔක්කොම වෙනවා නේද මේක කියවද්දි.

උපුටා ගැනීම -


අවුරුද්දකට පසු, ආපසු හැරී බලමි.

මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුද්දකුත් වෙලා! හරියටම කිව්වොත්, අවුරුද්දකුත් මාසයක්! මේ අවුරුද්දක කාලය ඇතුලෙ, මම පළකරලා තියෙන ලිපි ගණන 0001 ක්!!!

මේ තමා මගේ බ්ලොග් කෙරුවාවෙ තරම!
Posts : 02
Comments : 00
Followers: 00
Page Views: 29 (මේ 29ත් මම ම තමා)

ඇත්තටම, මට හරි ම අහිංසක සතුටක් දැනෙනවා.  මේ ‍ව‍‍ගේ දීර්ග කාලයක් බ්ලොග් එකක් පවත්වගෙන යන එකත් ලේසි වැඩක් නෙවෙයි.

මගේ බ්ලොගයට ජයවේවා!

(අනේ කොමන්ට් එකක් දාලා යන්න ‍හො‍ඳේ!)

උපුටා ගැනීම අවසානයි.

කොහොමද වැඩේ. හැබැයි මේකෙ කමෙන්ට් කියවන්න ඕගොල්ල අදහස් කරගෙන ඉන්නවානම්, ඕගොල්ල ඉන්නෙ ඔෆිස් එකේ නම් ටිකක් පරිස්සමින්. ඒ තරමට සංවේදියි මෙකේ තියෙන කමෙන්ට්.

ඒ කාලේ මාව දිරිමත් කරපු හැටියටත් වඩා හොඳට ඔන්න අද මම මගේ යාලුවන් දිරිමත් කලා. ඕගොල්ලත් මේ බ්ලොග් වලට ගොඩවැදිලා ඒගොල්ලන්ව දිරිමත් කරන්ඩලා. 

එහෙනම් ඔහොමලු උනා කියන්නෙ.  නැවත හමුවෙමු!


............................
- මීට විදෙස් සිත්තරා.


ප/ලි - 


2012/05/23

මේ දවස් වල මම කැමති ම සින්දුව - 01

අද කතාවක් නෑ. අහගෙන ඉඳලා මේ ගැන අදහසක් ලියලා යන්නයි තියෙන්නෙ.

වැඩි විස්තර පසුවට.

දඟකාර ඔය දෑස දුටුවා එදා.... />
Powered by mp3skull.com

.............................
- මීට යුරෝ දෙකේ වීරයා.

2012/05/19

අද කාටුන් - 15 - රෝස් නගා දැක සෙන්නා සලිත වෙයි.

සෙන්නා කියන්නෙ සිංහල බ්ලොග් කලාවට ආපු වෙනස් ලිපි ලියන කෙනෙක්. 

එයා බ්ලොග් එක ආරම්භ කරලා ගොඩක් කාලයක් ගිහිල්ලා නෑ. දවසක් මට වැරදිලා ඒ පැත්තෙ ගියා. ගිය එකේ නිකම්ම එන්ඩ හොඳ නැති හන්දා ලියුමක් දෙකක් කියෙව්වා. ඒ ලිපි කොච්චර රසවත් ද කියනවා නම් එදා උදේ වරුවේ මම සෑහෙන ලියුම් ටිකක් එක හුස්මට කියෙව්වා. ඕගොල්ලත් හුස්මක් අල්ලලා පුලුවන්න නම් මම එදා කියෝපු රුහුනේ කොල්ලා මුලු ලෝකෙම හොල්ලා, බළල් පණක් තිබූ පුජකයා, හිම කතරක අතරමං ව, ලොව මවිත කල පුංචි කොලුවා සහ මහත මිනිසා කියන ලිපි ටික කියෝලා බලන්න. ඕන ඔට්ටුවක් ඕගොල්ලන්ට බෑ!

එදා මට සෙන්නා ගැන යම්කිසි මෙව්වා එකක් ආවේ මේ ලිපි ලියන්න එයාගෙ තියෙන කැපවීම ගැන හිතුන හන්දා.

ඒත් දෙවියනේ කව්ද හිතුවෙ ගැල්ලමයෙක් හන්දා මේ වගේ මනුස්සයෙකුට මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ ගැන හිතද්දි මගේ හිතේ බුර බුරා නැගුනු ආවේගය හන්දා තමා මේ කාටුන් එක ඇඳුනේ!


මම එහෙමෙ කිව්ව පලියට ඕගොල්ල නං මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක කියවන්න එපා. එහෙම උනොත් ඕගොල්ලන්ගෙ හදවතුත් ගිනි ගන්න ගනියි බුර බුරා...!

මේ වගේ වැරදිලා ගොඩවදින්න හොඳ බ්ලොග් ගැන ඔත්තුවක් ඕගොල්ලන්ට ලැබුනොත් මටත් කියන්න. 

එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු. අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි
මතකනෙ, දැනටමත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතා Coming Soon තත්වයේ ගැට්ටෙ තියෙන්නෙ කියලා.



2012/05/14

අද කාටුන් - 14 - සියලුම අනාගත බ්ලොග්කරුවන්ට "ඔබා මාමා" අහිමිව ගිය වග...!

අපට වඩාත් සතුට ගෙනෙන්නො - අවසානයේ දුක ද ඒ තරම්ම ගෙනෙති !

ඔබා මාමා අප අතරින් වෙන් ව ගිය පුවත මා ඊයේ උදේ දැනගත් මොහොතේ සිට මේ දක්වා ගත කාලය ඉතාමත් අඳුරු මතකයක් ඉතිරි කර ඇත. ඊයේ දිනයේ නිවාඩු දිනයක් වුවද මට ආදරණීය ඔබා මාමා වෙනුවෙන් බ්ලොග් අවකාශයේ දී කල යුත්තෙ කුමක් දැයි තීරණය කර ගැනීම තබා සහෝදර බ්ලොග් කරුවන් ඒ පිළිබඳ දැක්වූ අදහස් වලටද ප්‍රතිචාර දැක්වීම ද ඉතා වෙහෙසකාරී එකක් විය.

එහෙත් මා වෙනුවෙන් හා අප කළ පොදු වැඩ වල දී ඔහු මට ශක්තියක් වූ බවත් ඒවා සියල්ල හෙලි නොකරන මෙන් එකල ඔහු ඉල්ලා සිටි බවත් මතක් කල යුතුයි.

ඔබා මාමා ඇසුරු කිරීමට අප වාසනාවන්ත වූවද, මෙතැන් සිට සිංහල බ්ලොග් අවකාශයට පැමිණෙන සියල්ලන්ට ඒ වාසනාව අහිමි වී ඇති බව මට පසක් විය. මේ ඒ පිළිබද මට දැනුනු දෙයි.

මේ සිතුවම ආදරණීය ඔබා මාමට උපහාරයක් වේවා!


............................
- මීට ඔබා මාමා කියන පරිදි කෙහෙල් කොටුවේ චූටි එකා

2012/05/11

අවුරුදු 22 ක් නොකානොබී සිටි මිනිසෙක් හමුවේ | ඡායාරූප සහිතයි.

සාමාන්‍යයෙන් මම ලියුමක් දාලා කාලයක් අන්තරස්ධාන වෙලා හිටිය නම් ඊ ලග ලියමන වෙන් වෙන්නෙ ඒකට හේතු කියන්න. අච්චර ලස්සනට ‍අන්තිම පෝස්ට් එක හිට් වෙලා තියෙද්දි, මට ඒ එක්ක ලියුම් දෙකක් තුනක් දාගන්න බැරි උනේ තියෙන කම්මැලි කමට නෙමේ.

මම පහුගිය දවසක ගියා අප්‍රිකානු මහද්වීපයේ මාලි රටේ සංචාරෙකට. ඒ මගේ මිත්‍රයෙක් වන සංඛ එදිරිමාන්නයි තව කට්ටියකුයි එක්ක. කාලෙකට කලින් මම පොරට උදව්වක් කලා කවදාවත් අමතක වෙන්නෙ නැති ජාතියේ. එකෙන් ලැබෙන ආනිසංස ‍ගොනා පිටි පස්සෙ බැඳපු කරත්තෙ වගේ එන්නෙ කාලෙක ඉඳලා. මේ විදේශ සංචාරෙත් එයින් එකක්.

සංඛයලා එහේ ගියේ මාලි ‍රටේ සිද්ධ වෙන සීග්‍ර සංවර්ධනය ගැන වාර්තාමය චිත්‍රපටියක් කරන්න. මම ගියේ ඒගොල්ල වාර්තා චිත්‍රපටිය හදන හැටි පොටෝ අරගන්න ඡායාරූප ශිල්පියා හැටියට.

කවදා කාපු ටකරන්ද!

එතකොට මේ කව්ද?


මේ තියෙන්නෙ මාලි රටේදී අපිට හමුවුනු අරුම පුදුම පුද්ගලයෙක්ගෙ ඡායාරූපයක්.

මිනිහා අවුරුදු විසිදෙකක් නොකා නොබී ඉදලා තියෙනවා. අදටත් මිනිහා ජීවත් වෙන්නෙ නොකානොබී!!!

ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම කිව්වම කව්රුත් උඩ විසි වෙනවා තමා. 2500/- කින් නොමැරි ඉන්ඩ පුලුවන් පුලුවන් කියලා කියද්දි  බෑ බෑ කියන මේ වගේ කාලෙක මේ ප්‍රවෘත්තිය ඇහුවම අනිවාර්යෙන් සෑහෙන දෙනෙක් උඩ විසි වෙනවා. ඒක නිසා මේ කතාව පටන් ගන්න කලින්ම මම ඕගොල්ලන්ට අවවාද කරනවා පුටුව අල්ලගන්න උඩ විසිවෙන්න කලින් කියලා.

දවසක් මට සංඛයා කෝල් කලා මෙහෙම කිව්වා.

"මේ සුබ ආරංචියක් තියෙනවා......මම තෝව ටුවර් එකක් එක්කන් යන්නයි යන්නෙ"

"අනේ...පලයං...."

"පලයං නෙමේ.....අපේ සර් කිව්වෙ.....උඔ දන්නවද? කොහෙද මන්දා රටක සංවර්ධනේ ගැන ඩොකියුමෙන්ට්‍රියක් කරන්න අපිව ඔපිස් එකෙන් යවන්න ඉන්නෙ... සර්ට වෙන වැඩක් හන්දා මාව ඒකට තොරගත්තා. ස්නැප්ස් ටිකක් ගන්න ඕනනං තෝවත් පටවං ගියැකි, එනවද?"

"කොහෙද දැං යන්නෙ......."

"උඔ‍ට ඒකෙන් වැඩක් නැ‍නේ........ කොහෙද අප්‍රිකන් ර‍ටකට.... උඹ මට කරලා තියෙන උදව්වලට රිටන් එකකුයි මේ දෙන්ඩ යන්නෙ.... උඔ කැමතිනං කියහන්...... නැතුව පොටෝ ගන්ඩ මිනිස්සු නැතුව නෙමේ අපේ කොම්පැනියේ........."

"අපෝ බං අප්‍රිකාවේද......මම හිතුවේ උඔල‍ත් එක්කලා ගිහිල්ලා එහෙදි පනින්ඩ....අපරාදේ..... ?"

ඔය වගේ වියත් සංවාද කිහිපයකට පස්සෙ ඒ ගොල්ලන්ට කරන උදව්වක් හැටියට ගමනට සහභාගී වෙන්න මම කැමැත්ත දුන්නා. මේ ගමනට අපිත් එක්ක වීඩියෝකරණ ශිල්පී සමීර අතපත්තු කියලා බුවෙකුයි, ප්‍රොඩියුසර් මහත්තැන් හැටියට කොම්පැනියෙම තව පොරකුයි එකතු උනා. සංඛයා තමා අපේ නල්ලමලේ ඉන්ටර්ප්‍රිටර්.

කටුනායකට ඇවිදින් අපි පොල් රුප්පාවෙන් අහසට නැගලා කාන්තාර වැල්ලෙනුයි, ලඳු කැලැ වලිනුයි වටවෙච්ච ගොඩනැගිලි තියෙන බිමකට පාත් උනා පැය ගාණකට පස්සෙ. මේ අවස්ථාවෙ දී අපේ බාසා පරිවර්තක තැන! අපේ සංඛ ඒ ගැන විස්තරයක් කියන්න ගත්තා.

"මේ තමා මචං....... මාලි.... දැං අපි ඉන්නෙ අප්‍රිකාවේ උඩහ පැත්තෙ ටිකක් වෙස්ට්කෝස්ට් එකට බරව..."

"අනේ මේ.... කට වහගෙන ඉඳින් සංඛ. මම හොඳටම පෙඩප් වෙලා ඉන්නෙ.... ඉස්සෙල්ලා කන්ඩ තියෙන තැනකට එක්කන් පලයං, කෝ දැං උඔ කිව්ව හෝටල් බුවාලා........."

තවත් ටික වේලාවකින් අපි ඉන්න තැනට හැඩි දැඩි ඒත් මිත්‍රශීලි හිනාවක් තියෙන කලු ජාතික මහත්තුරු වගයක් ඇවිල්ලා අපිට නොසෑහෙන්ඩ ගරු බුහුමන් දැක්වූවා. ෂික්.... ගෙවල් වල මිනිස්සුයි මේවා දකින්ඩ තිබ්බෙ.

"අල්ලූකූයි බොල්ලුකූහැන්!" අර කල්ලොන්ගෙන් එක්කෙනෙන් දත් බේත් හිනාවක් දාගෙන මගේ අත්දෙකෙන් අල්ලලා ඇහැව්වා.

"මොනාලු.....?!" මම ඒ මහත්තයට හිනාවෙලා සංඛයා පැත්තට හැරුනා.

"උන් මචං අපිට ආචාර කරනවා. සාදරයෙන් පිළිගන්නවලු...."

පස්සෙ අපි හතර දෙනාම ඒ ගොල්ලන් අතින් "අල්ලුකූයි බොල්ලූකූහැන්" උනාට පස්සෙ, අපිව එලියට කැන්දන් ගිහින් ඩිෆෙන්ඩර් එකක පටෝගෙන එයාපෝට් බිමෙන් එලියට ඇවිදින් පාරේ දූවිලි අවුස්සගෙන ඈතට ඈත‍ට ඈතට ම ගිහිල්ලා එහෙ තිබුනු හෝටලේකට වැදුනා.

හෝ‍ටලේ කාමර වෙන් කරගෙන, නිවී හැනහිල්ලෙ ඉන්ඩ එලියට ආපුවාම ඔන්න ආයි අර අපිව බාරව ඉන්න කලු මහත්තුරු දත්‍ බේත් හිනාව දාගෙන ආවා හෝටලේ වේටර් ගැල්ලමයත් එක්කලා. ඒ ළමයා අපිට දුන්නා හරිම රස බීමක් මහන්සි නිවෙන්ඩ බොන්ඩ කියලා.

අපිට දුන්නූ බීම ජාතිය මීට කලින් කවදාවත් මම බීලා නෑ. ඒක පැණි රහයි. නෙක්ටෝ රහද මන්දා? ඒක හරියට තද දුඹුරු පාට එකක්. ඒක සීත කරලා තියන්නෙ......! මේ කාස්ටක අව්වෙ තැම්බී තැම්බී ඉඳලා ඒකෙන් උගුරක් බිව්ව හැටියෙ එකපාරම කන් දෙකෙන් මීදුමක් පිටවෙනවා.

"මේ සංඛයා...අහපං මුගෙන් මේ බීම ජාතිය මොකද්ද කියලා......" මම සංඛයට කිව්වා. පොරට බෑ කියන්ඩ බෑ. ඇයි එයා ඇවිල්ලා අපේ ඉන්ටප්‍රිටර් නොවැ.

"මචං මේක ඔටුවන්ටත් දෙන ජාතියෙ බීමක්ලු....!"

"මොකක්.......චීයා බං! අහපං ඌට අපිව පේන්නෙ ඔටුවො වගේද කියලා...."

"හෙහ්...... නෑ... උන්ට ඉන්න වටිනාම සතා ඔටුවලු... ඉතිං උන් හිතන්නෙ රටට එන අමුත්තෝ ඔටුවො කියලලු...."

"නෑ......ඒ කියන්නෙ අපි ඔටුවෝ......!"

පස්සෙ අපේ සංඛයා ඇහැව්වා ඒ මහත්තුරුන්ගෙන් වාර්තා චිත්‍රපටිය හදන්න පටන්ගන්න අපිට සහයෝගය දෙන්නෙ කවදද කියලා. ඒගොල්ල කුටු කුටු ගාලා මොනවද කතා කරලා අපිට කිව්වා "මෙහෙට එන සංචාරකයින්ට රට තොට බලලා මහන්සි වෙන්න දෙයක් නෑ, අපි මුලු රටේ ම සංවර්ධන ගැන වීඩියෝ එකක් හදලා තියෙන්නෙ ඒක බලන්න" කියලා. ඕන්නම් මෙහෙ ඉන්න දවස් ගානෙම මේ හෝටලේම ඉඳලා කැමතිනම් එලියට පහලියට බැහැලා "පොඩි ෆන්" එකකුත් ගන්ඩ කියලා. ඒ මදිවට ඒ ගොල්ල කියනවා යද්දි අපිට බලන්න දෙන වීඩියෝ එකේ කොපියක් දෙන්නම්ලු, අපි බොරුවට කැමරා උස්සන් කට්ට කන්න ඕනි නැහැලු.

ඉතිං අපි මූනෙන් මූණ බලාගත්තා.

පහුවදා උදේ ඒගොල්ල අපිව පොඩි පහේ චිත්‍රපටි ශාලාවකට අරගෙන ගිහිල්ලා අර විඩියෝ එක දිගඇරියා. ඒ අතරතුර කලු පොර මැදින් පැනලා විස්තර කරනවා. මහ වදේ. හරියට ගෙදර සාලේ ටීවී බලනවා වගේ.

හරියටම කිව්වොත් ඒක වෙන්නෙ මෙහෙමයි.

මුලින්ම තිරේ ඒ ගොල්ලන්ගෙ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් ගැන විස්තරයක් යනවා. එතකොට පොර එලෝ මෙලෝ නැතුව ඒ ගොල්ලගේ බාසාවෙන් ඒක විස්තර කරනවා අපේ සංඛයට. පස්සෙ සංඛයා නේද අතිනුත් එක්ක දාලා ඒක අපිට විස්තර කරනවා. මොකෝ අපිට තේරෙන එකක් යෑ.

කොහොමහරි මෑන් කිව්ව විදිහට මේ රට වෙන්ඩ ඕන අප්‍රිකාවේ සංවර්ධිතම රට. ඇයි පොර කිව්වනේ මෙහෙ දළ දේශීය නිශ්පාදනෙ මෙච්චරයිලු, දළ දේශිය ආදායම මෙච්චරයිලු, ඒක පුද්ගල ආදායම මේන්න මෙච්චරයිලු, ඒ විතරක් නෙමෙයිලු, ගම්මාන වලට කාන්තාර වලින් එන වැලි කුණාටු වලක්කන්න චීනෙන් බඩු අරන් වේල්ලක් හැදුවලු, දැන් වැලි වේල්ල නිසා වැලි කුණාටු ගම්මාන වලට එන්නැලු. කෙලින්ම එක තැනකට එක්කහු උනාම මෙහෙම කරලා අරගෙන යනවලු, පස්සේ ඒ වැලි මිරිකලා වතුර ගන්නවලු. හැබැයි ඒ කර්මාන්ත ශාලාව නම් මේ දවස් වල ටිකක් අප්සට්ලු. මොකද ශක්‍යතා මෙව්වා එකේ අවුලක් ගිහිල්ලා ඒක හදලා තියෙන්නෙ ගලක් උඩලු. හැබැයි රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ අන්තිම හොඳලු. ගෙවල් මෙහෙමලු, ඉස්පිරිතාල මහෙමලු, රජයේ ආයතන වලට යන මිනිස්සුන්ට සලකන්නෙ මෙහෙමලු. වැරදි පැත්තෙ ඔටුවා පාක් කලොත් කාටත් දඩ කොල ලියනවලු සිවිල් බලේ බලන්නෙ නැතුව. හොඳම දේ ඒක නෙමේලු. රටේ නායකයින් කිසිම කෙනෙක් රටින් ගෙන්නන පොරින් ඔටුවෝ යූස් කරන්නෑලු, ගමන් බිමන් ඔක්කොම වගේ යන්නෙ සාමාන්‍ය ජනයාගේ කරපිටින්ලු, මේවා නිකං ආවට ගියාට කියන්නෑලු, මහ බැංකු වාර්තාවෙනුත් ඒක කියවෙනවලු, අරවලු මෙව්වලු.

වීඩියෝ එක ඉවර උනාම පොර අපේ දිහා බැලුවේ ලෝඩ් පකිර් වගේ හෙනට හිත‍ට අරගෙන. මට නේද හොඳටම කේන්ති ගියා.

"මේවා මොනාද? අපේ රටේ පාරවල් වල බත් දාගෙන කෑවැකි...... අනිත් දේවල් ගැන කියන්ඩ ඕනි නෑනේ....අනික මෙච්චර දියුණුවක් කොහොමද එකපාරට! අපි දන්න හැටියට මේ රට ‍ගෝත්‍ර මෙව්වා‍ එක ඔලුව උඩ තියාගෙන ඉන්න රටක්නෙ....."  මමත් ඇරියේ නෑ. සංඛයත් ඒක අරගොල්ලන්ගෙ බාසාවට මෙහෙම කරද්දි හරෝලා කිව්වා.

ඒකට තියුණු බැල්මක් දාපු කලු බුවා මගේ පිටට තට්ටුවක් දාලා නෝන්ඩි හිනාවකුත් එක්ක මෙහෙම කිව්වා,

"ලෝකෙන්ම අපේ ජාතිය ඉන්නෙ මෙහෙ විතරයි. අපි ගැන අපි බලාගන්න ඕනේ. අනිත් අයට වගේ අපි ගැන බලන්න වෙන කව්රුත් අපිට නෑ. මෙහෙන් අපිට යන්න උනොත් අපිට ඉන්න වෙන බිමක් නෑ. ඒක ගෝත්‍ර මෙව්වා එකද?" මිනිහා මගෙන් ඇහැව්වෙ එහෙමලු.

"අපි නෙමේ ඕවා කියන්නෙ.... ඕගොල්ලන්ගෙම අයනෙ.....?" මම වහාම නිවැරදිකාරයා උනා.

"මේ ගිලෙන නැවෙන් සශ්‍රීක නැවකට අතරමග දී ගොඩ වෙච්ච සමහරු ඔය වගේ කතා කියලා මේ නැවට පයින් අනිනවා තමා, ඒක අද විලාසිතවනේ...... " කලු බුවා කිව්ව දේ සංඛයා මට පැහැදිලි කලා.

ටිකකින් ආයිත් අර මුලින් බීපු බීම වඩියක් ආවා. ඒක බිබී ටිකක් වෙලා කතා කරකර හිටපු එයාලා හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් නික්ම ගියා.

පහුවදා වේවේකී දවස.

ඒත් අපි කල්පනා කලා මේක අස්සට වැදිලා ඉන්නෙ නැතුව රටතොට ඩිංගක් බලා කියාගෙන එන්න. කොහොමහරි හෝටලේ ඩිෆෙන්ඩර් එකක් කතා කරගෙන අපි ගියා මාලි රටේ, අපි හිටපු මොප්ටි නුවර සංචාරෙට. අපි යද්දි අර ඔටු බීම කේස් දෙක තුනක් ජීප්පුවට දාගෙන ගියා. මගදී අව්වට හෙම්බත් උනාම බොන්න.

ඔන්න දැනුයි හරි විදිහට කතාව පටන් ගන්න යන්නෙ. මෙච්චර වෙලා ඕගොල්ල කියෙව්වෙ පූර්විකාව.

ඉතින් ඔහොම යන අතරතුරදි නේ අර අරුම පුදුම මෑන්ස් අපිට හම්බ උනේ. අපි ඩිෆෙන්ඩර් එකේ ගම්මානෙට වැදිලා මෙහේ ඇත්ත තොරතුරු ටිකක් හොයාගන්න අපිට කැපෙන පුද්ගලයෙක් හොයමින් හිටියෙ. අන්න ඒ වෙලාවේ තමා ටිකක් වයසින් වැඩි ප්‍රියමනාප පුද්ගලයෙක් ඒගොල්ලන්ගේ ජාතියට හුරු දත්බේත් හිනාව දාගෙන අපි ඉන්න පැත්තට ආවේ. මේ ඉන්නෙ එයා.


ඉතින් මෑන්ස් එක්ක එකතු වෙලා අපි මුලු නගරෙම සංචාරය කරන්න  පටන් ගත්තා. දවල් වෙද්දි ඉරව්ව හන්දා අපේ ඇගේ ජලවාෂ්ප ප්‍රමාණය පහලට වැටිලා තිබහ ගතිය වැඩි වුනා. අපි අර ඔටු බීම එක අරගෙන බොන්න ගත්තා.


ඒ විතරක් යෑ. අපි අර මෑන්ස්ටත් එකක් දික් කලා. එතන දී තමා වැඩේ පත්තු උනේ.

බීම එක දික් කරද්දි මිනිහා සංඛයට මොනවදෝ කිව්වා.

"ඇයි පොර මොකෝ කියන්නෙ........"

"පොරට මේක එපාලු. පොර නොකානොබී ඉන්න පටන් අරගෙන දැනට අවුරුදු විසිදෙකක්ලු....."

"මොනවා...... නොකානොබී අවුරුදු විසිදෙකක්........." අපේ ප්‍රඩියුසර් උන්දෑ එහෙම්ම ජීප් එකට හේතතු උනා. එයා විතරක් නෙමේ මටත් එකපාරට මෙව්වා වෙලා ගියා.

බෑලු බැල්මට මිනිහගේ ලොකු දරිද්‍රතා ලුක් එකකුත් නෑ. මම ආය කන්ෆෝම් කරගන්න අදහසින් වැඩි විස්තර අහන්න කියලා සංඛයට අණකලා.

"මල්ලුකුං විල්ලුකුතරක් නෙල්ලුකුමෙයි. තල්ලුකුව ඉල්ලුකුන්නවා නොල්ලුකුකා නොල්ලුකුබී....."

"මොනාලු.....!"

"මූ විතරක් නෙමෙයිලු.... තව ඉන්නවලු නොකානොබී ඉන්න පටන් ගත්තු අය සෙට් එකක් ම... සමහරු අවුරුදු තිහක් විතර නොකානොබී ඉන්නවලු......."

"නෑ...................." ඒක ඇහැව්වා විතරයි මගේ ගලනාලේ හිරවෙලා, පිත්තාසේ ගල්වෙලා, අන්නසෝත්‍රය කූඩා වෙලා, අක්මාව හීං වෙලා, ප්ලීහාව අවනත වෙලා, මහබඩවැල සලිත වෙලා, උන්ඩුකපුඡ්චය පරළවෙලා හෝස් ගාලා හුස්මක් උඩට ඇදිලා කලන්තෙට වගේ ආවා. ඒත් මං ඒක කාටවත් පෙන්නුවෙ නෑ. රටේ ගෞරවේ වටිනවනේ ඔක්කොටම වඩා.

"ඈ...... බං... එතකොට අපේ එවුන්ට තමා දෙදාස් පන්සීයකිනුත් කාලා ඉන්ඩ බැරී.... "

"ඒක තමා..... පොඩ්ඩක් හිටපංකො මම තව විස්තර අහගන්ඩ............"

ඒ පාර අර මෑන්ස් අපේ සංඛයට හෙන දේසනාවක් පටන් ගත්තා. අර අපී බිබී හිටපු බෝතලේටත් ඇගිල්ල දික් කර කර. මට කිසි දෙයක් තේරුම් ගන්ඩ බැරි උනා. හැබැයි මම එවෙලෙම අපේ ප්‍රඩියුසර් බුවා ව කැමති කරගත්තා මේ විස්තර අපේ රටේ පතල කරලා අහුවෙන්ඩ එපා කියලා. මේක එහෙ ගිහිං කිව්වම දෙදාස් පන්සීයත් වැඩියි කියලා එක මඟුලක් කරයි.

පස්සෙ වැඩි විස්තර කතා කරගෙන අර මෑන්ස් ඒගොල්ලන්ගේ බාසාවෙන් හොඳටම හිනා උනා. අපේ සංඛයත් සිංහලෙන් විරිත්තුවා.

"මොකද බං.... අපිටත් කියකො........."

"මේකයි සීන්ස් එක. පොරට සීනි අමාරුවලු. කාලෙකට කලින් මෙහෙට වෙන රටකින් ආවලු බහුජාතික බීම ජාතියක්. ඒකේ හෙනට සීනි හන්දා සීනි අමාරු කාරයෝ ඒ බීම බොන එක නතර කලාලු. ඒ විදිහට මෙයත් ඒක බොන එක නතර කලාලු, තවත් කට්ටිය නතර කලාලු......."

"ඉතිං......"

"ඉතිං ඒ බීම ජාතිය තමයි ලු මේ. මේකෙ නම "නොකා"ලු. අපෙත් තියෙන්නෙ අරවයි මෙව්වයි කිය කිය වයිවාරන්න බීම ජාති........."

"ඉතිං....."

"ඉතිං පොර නොබී ඉඳලා තියෙන්නෙ මේ "නොකා" බං. එච්චරයි..... කෑම බීම වෙලාවට ගන්නවලු...... නැත්තං ගෑස් අමාරුව වැඩි වෙන හින්දා..... අනික පොරගෙ සීනි අමාරුව හන්දා පොරගෙ ඇග බලාගෙන ඉද්දි වැටුනලු. ඒකාලේ පොරට හෙන ඇගක් තිබුනලු. මේ තියෙන්නෙ පොරගෙ තරුණ කාලේ පින්තූරයක්ලු." ඔහොම කියලා සංඛයා අපිට පොටෝ එකක් පෙන්නුවා. ඔය මම උඩින් දැම්මේ ඒක.

ඔන්න ඔය හින්දයි මට දවස් ගානක් යනකල් බ්ලොග් ලියුමක් දාන්න බැරි උනේ. දැන් ඉතින් ආයිමත් සුපුරුදු වැඩසටහන් යයි. රැදී සිටින්න අප සමගම.....!

......................................
- මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
අර අපිව බාරව හිටපු මෑන්ස් කිව්ව ආකාරයට සංවර්ධනයේ ගැට්ටෙ තියෙන මොප්ටි නුවර පින්තූරයි මේ තියෙන්නෙ. මේ ටික දැම්මෙ නැත්තම් සංඛයා මා එක්කලා තරහ වෙයි.


මොප්ටි තියෙන තැන.

සංවර්ධන නිසා රැකියා සුලභ වී ඇත.
වැලි මිරිකා වතුර ගන්න කර්මාන්තශාලාව ගලක් මත ඉදිකර ඇති නිසා තාවකාලිකව මෙසේ වතුර සොයා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.

සුන්දර තාරුණ්‍යය
දිරිය වනිතාවන්
පැරණි තාක්ෂණයට ඉදිකල නවීන නිවසක අනාගත හිමිකරුවන්-  ඇතුලත ඒසී කර ඇත.
නිවසක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. බලන්න ඔවුන්ගේ බලාපොරොත්තුවේ දෑස් (සොරි!! දෑස් පේන්නෙ නෑ නේද?)
සැබෑ නිරුවත
‍කොල්ලගේ තරමට නෙමේ වැඩ -  ටොපියේ තරම දැක්කද?
කුක්කු බොන දිරිය දරුවෙක්
විනෝද සවාරියක් ඇවිදින් වගේ!
මොකද හිතෙන්නෙ ?

පසුව එක් කරන ලද මෙම පින්තූරු තරු මහතාගේ "ඔබගේ මනරම් පින්තූර අතර තිබූ සරුවට වැඩුනු ගස් ලබුගෙඩි ගැන තව පැහැදිලි කිරීම් අවශ්‍යයි'' යන කමෙන්ටුව හා යාවේ.

පිටත් වෙන්ඩ සැරසෙමින්...
පැරණි ක්‍රමයට වැලි මිරිකා වතුර ගන්නා ගැමි ලඳුන්.
ඈ.... කා එක්කද මේ අම්මා හිනාවෙන්නෙ! (තරු මහතාගේ අවධානය පිණිසයි)
නොපිට (තරු මහතාගේ අවධානය පිණිසයි)

ප.ප.ලි -
අප්‍රියෙල් 20 ට පස්සෙ දාන පළමු ලිපිය මේක. ඒක හන්දා කියන්ඩ දේවල් ගොඩයි. මේ ඒවා,
01. Facebook ගෘප් එකක් හැදුවා සයිබර් යායට. කැමති අය එකතු වෙන්ඩ. හැබැයි කොන්දේසි තියෙනවා. මේ වෙද්දි ඒකට ඇවිල්ලා තියෙන නසරානි කට්ටිය වගේ ඕගොල්ල නං දග වැඩ කරන්න එපා.
02.මේ යන්නෙ යූරෝ දෙකේ වීරයාගේ කතාවල අන්තිම ටික. දැන් Coming Soon තත්වයේ තියෙන්නෙ නව ආරකට ලියැවුනු "කෙහෙල්කොටුවේ චූටි මහත්තය"ගේ කතා.
03. එච්චරයි. ගිය සෙනසුරාදා පෝය නිසා දාන්න බැරි වුනු කාටුන් එක ඊලගට බලාපොරොත්තු වෙන්න.

Related Posts Plugin for WordPress, Blogger...