2012/11/13

සයිබර් යාය මේ මොහොතේ සිට වසා දැමේ | අවසාන ලිපිය කියවන්න සියලු දෙනාට ආරාධනා.....!

වැදගත් යමක් කියන්න යනකොට වැදගත් විදිහට භාෂාව හසුරුවන්න ඕනේ කියලා “සිංහල සාහිත්‍ය දින දේශණය“කට ආපු කව්දෝ කිව්වා මීට කාලෙකට කලින්. ඉතින් මේ කාරණය ඕගොල්ලන්ට කියන්න මම භාවිතා කරන භාෂා ශෛලිය මොකක් වුනොත් හොඳයිද කියලයි මම මේ වෙන තුරු කල්පනා කලේ. ඒත් මේ දක්වා නිවැරදි නිගමනයකට එන්න බැරි වුනා. ඒක නිසා කාලෙකට කලින් මාරයා අනුගමනය කල සිය සිතුවිලි නිදහසේ පිටපත් කිරීමේ ශෛලිය මම පලවෙනි වරට උපයෝගි කරගන්නවා.

කොටින් කිව්වොත් කියන්න තියෙන්නෙ බොහොම කෙටි පණිවිඩයක්. ඒක තමා සයිබර් යාය වහලා දාන්න වෙනවා කියලා. කාලෙකට කලින් නම් මෙහෙම කිව්වම කස්ටිය බොහොමයක් කිව්වේ “හැබැයි අයියා සයිබර් යාය වැහැව්වොත් අපි ලෝකාන්තෙට ගිහිල්ලා පනින එකත් පනිනවාමයි“ කියලා. ඒ සයිබර් යාය පීක් එකේ තියෙන කාලේ. ලෝකේ කොච්චර කුරිරුද කියන්නෙ අද නම් එහෙම කියන්න කෙනෙක් හොයාගන්න එක ග්‍රෑම් 450 හේ පාන් ගෙඩියක් හොයාගන්නවා වගේ හෙන අමාරු දෙයක්. ඒක නිසා එදත් අදත් හැමදාම හිටිය සහෘදයෝ දාහක් හමාරක් ඇරුණම බොහෝ පිරිසකට ආමන්ත්‍රණය කරන්න මට සිද්ද වෙන්නෙ නෑ.

මේ වෙලාවේ බ්ලොග් එකේ ආරම්භය ගැනත් වචනයක් කියලා ම සටහන අවසාන කරන්නයි මම බලාපොරොත්තු වෙන්නෙ.

මම මුලින් ම “අන්තර්ජාලයෙන් මුදල් හොයන සරළ ක්‍රම තියෙනවා, ඒවා කරන්න බ්ලොග් හරහා පුලුවන්‘ ය කියලා ලැබුනු ඔත්තුවකට අන්තර්ජාලය පිවිසිලා ගූගල් වල ඉමේජ් විකල්පයෙන් ඒ ගැන හොයද්දියි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ලෝගෝ එක දකින්න ලැබුනේ. ඒ ඔස්සේ ගියාම ඉන්ද්‍රනාමගේ බ්ලොග් එකට පිවිසුනා. එතනින් එස්බියූ එකට ගියා. එතකොටයි මම දැනගත්තෙ සිංහල බ්ලොග් කරුවෝ කියලා සත්තු ජාතියක් මේ අතට අහුවෙන්නැති ලෝකේ ඉන්නවා කියලා. ඒ එක සතෙක් වෙන කකාගේ චිත්තාකර්ශණීය ලිපියකින් කුලුගැන්වුනු සිතයි මාව බ්ලොගර් කෙනෙක් කරන්න මූලික වුනේ. එතන ඉදලා අද වෙන කොට අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වෙලා.

01. ලිපියක් ලියද්දි කියවන්නාට පණිවිඩක් දෙන්න පුලුවන් නම් දෙන්න.
02. හැම ලිපියකින් ම පණිවිඩ දෙන්න ඕනේ නෑ.
03. පණිවිඩක් නොදුන්නත් කමක් නෑ. කියවන කිසි කෙනෙක්ට වැරදි ආදර්ශයක් ලැබෙන විදිහේ දේවල් ලියන්න එපා.

කියන මූලික කාරණා තුන හිතේ තියාගෙනයි මම නිතරම ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනේ. මම කාටුන් වලින් චූටිමහත්තයා හා ටිකිරි වගේම යූරො දෙකේ වීරයා හරහා ලියපු දේවල් සියල්ල ඔය රාමුව ඇතුලේ ඉදලා ලියන්නයි උත්සහ කලේ. ඒක සාර්ථක වුනා කියලා මම හිතනවා. මේ ටික කාලෙට මට සම්මාන දෙක තුනකුත් ලැබුනේ ඒක නිසා වෙන්නැති. [ඕනෑම දුක්මුසු අවස්ථාවක සිය චැනලය වනා ගනිමින් දුක් වීම ඕනෑම ජන මාධ්‍යයකට ඇති පරම අයිතිවාසිකමක් සේ මා සලකමි. :)]

ඒ කොහොම උනත් දෙයක් ඇති වුනානම් ඒක පැවතිලා නැතිවෙලා යනවා කියන පරම සත්‍යයට අයිතිනැති මේ ලෝකේ කිසි දෙයක් නෑ. ඒකට මේ කෙහෙල්කොටුවත් අයිතියි.

ඒ අනුව සයිබර් යාය වහලා දාන්නයි සුදානම. මේ දක්වා සයිබර් යාය සමඟ නොපෙනෙන ලෙස රැදී සිටි, කමෙන්ට් මගින් මිතුරන් සේ රැදී සිටි, කමෙන්ට් වලට ඔබ්බෙන් ඊ මේල් හරහා රැදී සිටි සහ එතනිනුත් ඔබ්බට ගිහිල්ලා සෑබෑ ලෝකයේ දී හඳුනන පිරිසක් හා මිතුරන් පිරිසක් ලෙස සමීප වූ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරන්නත් කැමතියි. බ්ලොග් අවකාශය නිසා මා වැනි පුද්ගලයෙකුට මුදල් ගෙවා හෝ ලබා ගත නොහැකි සේවාවන් බොහෝමයක් එක ඊමේල් පණිවිඩයකින් එක දුරකතන ඇමතුමකින් සම්පූර්ණ කරගැනීමට ලැබීම ගැන මම තවමත් සිටින්නේ විශ්මයකින්.

බ්ලොග් අවකාශයට පැමිණිලා ටික කාලයක් ගත වෙද්දි මට දැනුනා මේ අවකාශයෙත් විශේෂ වූ පුද්ගලයන් ඉන්නවා කියලා. ඒ වගේ අයගෙන් මම ලියන ලිපියකට ප්‍රතිචාරයක් වැටෙනකල් මම සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒ අතරින් කතන්දර මුලින්ම ආවා. ටෑබූ ලොක්කා එන්න අවුරුද්දක් විතර කාලයක් ගත වූනා. ඉන්ද්‍රනාත නේනුවර සර් එන්න ඊටත් වඩා කල් ගත වුනා. බ්ලොග්කාරියන්ගෙන් කිහිපදෙනෙකුත් හිටියා. එයින් එක්කෙනෙක් සයිබර් යායේ විශේෂ දවසක දී ගොඩවැදුනා. බ්ලොග් එක වහලා දාන්න යන මොහොතෙත් ලිපි කියවනවා කියන ඉඟි ලැබුනත්, තවමත් ප්‍රතිචාරයක් නොදක්වපු එක්කෙනෙක් ඉන්නවා. කරන්න දෙයක් නෑ. ඒවා එහෙම තමා.

ලිපිය ටිකෙන් ටික දික් ගැස්සුනත් තවත් කියන්න දෙකක් තියෙනවා.

කෙහෙල්කොටුව චූටි මහත්තයා කතා වල පල නොවුනු කතා වගයක් තවම ඩ්‍රෆ්ට් විදිහට තියෙනවා. සීසන් 3 එකට අලුත් තාලෙට ලියවුනු කතා වගේකුත් තියෙනවා. ඒ අතරින් මම වැඩිපුරම කැමති 1989 යේ අඳුරු යුගයේ එක්තරා දවසක අපේ ඇස්පනා පිට බිමට ඇඳගෙන වැටුනු ගුවන් යානයක කතාවට. ඒ අවස්ථාව ඇස් දෙකට දැක්ක පිරිස තුන් දෙනෙක් හෝ හතර දෙනෙක්. අනික චූටි මහත්තයා වගේ පුංචි කොලු ගැටයෙක්ගේ ඇස්පනා පිට අහස් යානයක් කඩා වැටුනම ඒ ගැන කොච්චර තොරතුරු දැන ගන්න පුලුවන් ද ඕගොල්ලන්ට. ඕගොල්ල දන්නවද පුංචි කාලේ මතකය නිවැරදිද කියලා බලන්න මම අපේ සහෝදර බ්ලොග් කාරයෙක් වෙන ප්ලේන් ඉෂාර මහත්තයගෙන් දවසක් මේ ගැන විමසුවා. එයා හරියටම වැටිච්ච දවසක් එක්කලා ඒ කතාව ඇත්ත කියලා සනාත කලා. වෙන මොකවත් ඕනේ නෑ, එයා මේ සිද්ධිය ගැන කොච්චර උනන්දු වුනාද කියනවා නම් ඒ ප්ලේන් එකට ගාපු තීන්න ටින් එකේ ගාණත් හොයලා කිව්වා. අන්න මිනිස්සු! වැඩේ කියන්නෙ මේ තීරණය නිසා ඕගොල්ලන්ට ඒ ලස්සන කතන්දරය දැන ගැනීමේ අවස්ථාව නැති වෙලා යනවා. මොනවා කරන්නද අච්චර ජනප්‍රිය ව තිබුනු ෂර්වුඩයේ රොබින් රූපවාහිනී කතා මාලාවත් අනුග්‍රාහකයෙක් නැතුව නවත්තලා දැම්මනං මේ කෙහෙල්කොටුව මොකද්ද?

දැන්නම් කතාව හොඳටම දිග්ගැස්සුනා වැඩියි. කමක් නෑ. මේක අවසාන ලිපිය නිසා මම නිදහසේ ලියනවා.

මම දැන් කියන්න යන්නෙ සයිබර් යාය වහලා දාන්න වුනු ප්‍රධානම හේතුව.

ගොඩක් හේතු තිබුනත් ප්‍රධානම හේතුව වෙන්නෙ මේ සදහා වියදම් කරන්න තරම් කාලයක් හොයා ගන්න නොහැකි වීම. ලබන වසරේ අපේ ස්ටාර් කිඩ්ස් ඇකඩමියේ කරන්න යන වෙනස්කම් සාර්ථකව කරගන්න බ්ලොග් වෙනුවෙන් ගතකල කාලයෙන් සෑහෙන පංගුවක් වැය කරන්න වෙලා. අලුත් තැනක අලුත් අංග එකතු කරලා කරන්න යන වෙනස් කම් කොහොම වෙයිද කියලා නිතර දෙවේලේ අවධානයෙන් ඉන්න වෙන නිසා, නිදහස් මනසට තිබුනු ඉඩ ගොඩක් අඩුවෙයි. මම හැම තිස්සෙම උත්සහ කලේ වැඩිපුර ලිපි ලියනවටත් වඩා ලියන ලිපියට වැඩි සැලකිල්ලක් දීලා නැවත නැවත කියවන්න පුලුවන් ලිපියක් ඔබට ඉදිරිපත් කරන්න.  එහෙම කරන්න සැලකිය යුතු කාලයක් මට නම් වැය වෙනවා.

ඉතින් මේ මොහොතේ මම අලුත් බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලන්නෙ...... එක්කෝ මම මුකුත් ඉල්ලන්නේ නෑ. ඉල්ලලා ගෙවා ගන්න බැරි වුනොත් එහෙම තව එකක්. මෙච්චර කල් පිරිසිදුවට තිබ්බ මගේ අත්දෙක!

ඒත් මම වෙනුවෙන් නැතත්, අන්තිම මොහොතේ අපෙන් උදව් ඕන පිරිසක් ගැන මම සඳහන් කරලම නවතින්නම්.

ස්ටාර් කිඩ්ස් ඇකඩමියේ වර්ෂ අවසාන සුහද හමුව ගිය වතාවේ සංවිධානය කලේ හොලිඩේ රිසෝට් එකක. එදා ළමයි හොදහැටි විනෝද වුනා. මෙදා පාර  අපි ඒක පවත්වන්නෙ අඳ ගොලු බිහිරි නිවාසෙක. මේ දෙසැම්බර් 1 වැනිදා. මුලින් ඒක දෙසැම්බර් 15 පවත්වන්න හිටියත් ඒ ගොල්ලන්ගේ පහසුව පිනිස දිනය ලං කලා. එදාට අපි ඒගොල්ලන්ට අඩුපාඩු දේවල් ගැන හොයලා බලලා සම්පුර්ණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.  ඒ ගොල්ල කිව්ව හැටියට එයාලට අඩුපාඩු විදිහට දැනට තියෙන්නෙ,

01. ළමයින් සඳහා නිල ඇඳුමක්. (ළමුන් 90 ක් පමණ සඳහා)
02. පුස්තකාලයට පොත් (ලැයිස්තුවට අනුව 50/60 පමණ.)
03. රී චාජබල් විදුලි පන්දම් 6
04. බ්ලෙන්ඩර් 1
05. විදුලි ස්ත්‍රික්ක 3
06. වානේ කබඩ් 3
07. වැසිකිලි පද්දතියේ නඩත්තු කටයුතු.
08. තාප්පයේ නඩත්තු කටයුතු.
 
මේ වෙද්දි අපේ වාර්ෂික අරමුදලයි, මගේ හිතවත් බ්ලොග් කාර කාරියොයි එක්කහු වෙලා මෙයින් කොටසක් සම්පුර්ණ කරලා ඉවරයි. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ, තාප්පයේ නඩත්තු කටයුතු, වානේ කබඩ් දෙකක් සහ නිළ ඇඳුම් පමණයි. වැසිකිලි පද්ධතියේ නඩත්තු කටයුතු මේ වෙද්දි පුද්ගලික බැංකුවක් බාර අරගෙන තියෙනවා.
 
උදව් කරන්න පුලුවන් අය ඉන්නවා නම් cyberlipi@gmail.com එකට ලිපියක් එවලා වැඩි විස්තර ලබා ගන්න.
 
දැනට කියන්න මතක් වෙන්නෙ එච්චරයි. තව කියන්න දෙයක් තිබුනොත් කමෙන්ට් තීරුවේ ලියලා දාන්නම්.
 
මෙතෙක් කල් ඔබ සයිබර් යාය කියවූ රසිකයෙක් නම් ඔබට මේ බ්ලොග් අඩවිය ගැන හිතුනු දෙයක් කෙටියෙන් හෝ කියලා යන්න කියලා මම අද ඉල්ලා සිටිනවා.
 
ඔබ සැමගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා!
 
....................................
මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...