2013/02/04

ආවා....ආවා.... ආවා..... කෙහෙල් කොටුවේ අලුත් ම කතාව ඕන්න ආවා | වීරයා - 02

පළවෙනි කොටස කියවපු අයට මෙන්න දෙවෙනි කොටස....


කාලයක් ගත වුනා. හැමදේම වගේ පිලිප්ස් ටීවී එකත් එයාගේ අන්තිම කාලේ බොහොම නරක විදිහට ලෙඩ ගන්න වුනා. අන්තිමේ තාත්තා තීරණය කලා ටීවී එක තාත්තගේ ටීවී හදන යාලුවෙක්ට දීලා දාන්න. එයා ටීවී එකේ හොඳ කෑලි ටික උගුල්ලලා වෙනත් ටීවී වලට පාස්සලා තවත් සෑහෙන කාලයක් ගියාම පොත්ත කොහාට හරි විසිකරලා දායි. ටික කාලෙකින් තාත්තා තවත් ටීවී එකක් ගෙනාවා. ඒ ටිවී එකට නම් මම පොඩ්ඩක් වත් කැමති නෑ. ඒ ගැන මම පස්සෙ කියන්නම්. ඒකත් ගෙනල්ලා තිබ්බෙ අපේ පිලිප්ස් ටීවී
එක තිබ්බ තැනමයි. ඒත් ඒ ටීවී එකට පිලිප්ස් ටීවී එක එක්ක හැරෙන්නවත් බැරි වුනා. මට සමාවෙන්න. ඇත්තටම මට හරියටම පහදන්න බෑ ඒ ටීවී එක දහිර වාට්ටුවක් ද නැත්තම් කොඩි විනයක් ද කියලා! මට හිතාගන්න බැරුව ගියා එක ටීවී එකකට මෙච්චර ලෙඩ ගොඩක් එක පාර හැදෙන්නෙ කොහොමද කියලා. උදාහරණයක් කිව්වොත් ඔන්න හාහා හරි හාවා හරි, ගලිවර් හරි, දොස්තර හොඳ හිත හරි මම කැමතිම වැඩසටහනක් යද්දිම වගේ ඒකේ සද්දෙ ඇහෙන්නෙ නැතුව යනවා. සද්දෙ වැඩි කරන මුරිච්චිය වැරදිලාවත් ඇල්ලුවොත් ටීවී එක ම නිවිලම යනවා. ඒක නිසා මම කලින් ම සද්දෙ ඇහෙන තාලෙට මුරිච්චිය තියලා කොල ගුලියක් හිරකරනවා ඒක එහෙ මෙහෙ නොයන්න.

මේ වැඩේ කරන්න බෑ කියලා මම තාත්තට කන් කෙදිරි ගෑවා. පස්සෙ ඒ ලෙඩේ තාත්තා හදාගෙන ආවා. ඔන්න ටික දවසක් පංකාදු පහට හිටපු එයා තවත් ලෙඩක් පටන් ගත්තා. ඒ ටීවී එක දාලා මොහොතකින් පින්තූරු උඩ දුවන ලෙඩේ. බාගදා මගේ බෙල්ල කම්බිවලින් හැදිලා තිබුනනම් බෙල්ල උඩ පහල කරපු හැටියට කැඩිලා බිම වැටෙන්නත් තිබුනා. ටික දවසක් යද්දි මම ඔය ලෙඩේට හේතුව හොයා ගත්තා. ඒක වෙන්නෙ ටීවී එක පිටිපස්සෙ තියෙන මුරිච්චියක් බුරුල් වෙන හංදා. ඒක ටිකක් එහාට කරකවද්දි රූප වේගෙන් ඉහල යන්න ගත්තා. මෙහාට කරකවද්දි රූප ඉහල යන වේගය අඩුවෙලා අන්තිම මොහොතෙදී රූප උඩ යන එක නැවතුනා. හැබැයි මුරිච්චියෙන් අත ගත්තු හැටියේ ලෙඩේ එක දෙක වෙලා පිස්සු හැදිච්ච ස්පාඤ්ඤ ගවයෙක් වගේ ටීවී එකේ ඉන්න අයව උඩ විසි කෙරුවා. ඒකට බේත උනෙත් කොල ගුලිය. ඊට පස්සේ තාත්තා එයාවත් තාත්තතගේ ටීවී යාලුවට ම පංගාර්තු කලා.

ටික දවසක් අපි ටීවී එකක් නැතුව හිටියා. හවස් වෙද්දි මගේ පපුව හිර කරන ගතියක් ආවා. කාටුන් ටිකයි රොබින් හුඩ් කතාවයි මතක් වෙනකොට. හිත හොඳ තාත්තා කෙනෙකුට පුලුවන්ද කවදාවත් තමන්ගේ පුතා දුකෙන් ඉන්නවා බලන්න. ඒක නිසා තාත්තා වහාම අම්මත් එක්ක කතා කරලා මොකද්දෝ තීරණයක් ගත්තා. ඒකේ ප්‍රතිපලය වුනේ අඟල් විසි හතරේ සැම්සුන් වර්ණ රූපවාහියක් අපේ ගෙදරට ආපු එක.

තාත්තා ටීවී එක ගෙනාවේ වෑන් එකක. ඒක යාලුවෙක් කතා කරලා දීලා තිබුනා. ටීවී එක ගෙනාපු ආරංචියට තාත්තගේ ‍හොඳම යාලු මාමලා ඇවිල්ලා ඒක ගෙදරට උස්සගෙන එන්න, තැනැක් හැදුවම ඒක පෙට්ටියෙන් සීරුවට ගන්න, අලුත්ම ඇන්ටෙනාව උණ බම්බුවේ ගැට ගහලා නියම විදිහට සවි කරන්න උදව් වුනා. හැබැයි ඒ එක්කෙනෙකුටවත් බැරුව ගියා ටීවී එකේ පින්තූර මතු කර ගන්න. ඔන්න ඊට පස්සෙ තාත්තා ටීවී එකත් එක්ක හම්බවුනු පොතත් දිග ඇරගෙන වැ‍ඩේ පටන් ගත්තා. මේ ටීවී එකේ පාලක පුවරුව තිබුනේ ටීවී එකේ යට කොටසේ. තාත්තා ඒ කොටසේ දොර ඇරලා හරි පේලියට තිබුනු බටන් ගොඩකින් හරි එක තෝරගෙන ඒවා එකින් එක ඔබන්න ගත්තා. මම දන්නවනේ, තාත්තට ඔය වගේ වැඩ කජු කනවා වගේ ලේසියි. ඒකනේ තාත්තා මගේ එකම වීරයා වෙලා ඉන්නෙ. ඉතින් මමයි, අර මාමලයි මැජික් කාරයෙක් දිහා බලාගෙන ඉන්න මිනිස්සු වගේ කටවල් ඇරගෙන බලාගෙන උන්නා. හැබැයි ටීවී එක, තාත්තා මොන බටන් එක එබුවත් තාත්තා එබුවේ මොකද්ද කියලා පුදුම සහගත විදිහට එයාගේ තිරේ අකුරෙන් සඳහන් කලා. ඔන්න තාත්තාගේ උත්සහය මල්පල ගන්වමින් මුල්ම වතාවට ටීවී එකේ පින්තූරයක් මතු වේගෙන ඇවිල්ලා, ඒක එක පාරට පැහැදිලි දර්ශණයක් මැව්වා. මට එක පාරට කලන්තෙට ආවා. මෙච්චර ලොකු පාට පාට පින්තූරු පේන ටීවී එකකින් අද ඉදලා මම කාටුන් බලනවා කියලා කොහොමද මම එක පාරට විශ්වාස කරන්නෙ?

සැම්සුන් ටිවී එක බොහොම බරසාර උදාර ලීලාවෙන් තමන්ට වෙන් කරපු තැන විරාජමානව හිටියා. තනි කලු ගාම්භීර පෙනුමට වැටුනු ඉර එලියෙන් එයාගේ දිස්නෙ තවත් වැඩි වුනා. කලින් ටීවී වලින් වගේ කිසිම කරදරයක් නෑ. ඒ මදිවට එයා නිතරම මාව පුදුම කලා. උදාහරණයක් හැටියට තිමොති ෂැම්පු ගාලා මල්වත්තෙ කැරකෙන අක්කගේ කොන්ඩේ මෙච්චර කල් පෙනුනෙ සුදුවට. දැන් ඒක රත්තරන් පාටයි. ඇයි රොබින් හුඩ්ගේ කතාවේ ශෙරිෆ්ගේ හමුදාව ඇඳගෙන ඉන්නෙ අලුපාට ඇඳුම් නෙ‍මේ නිල්පාට ඇදුම් කියලා මම දැනගත්තා. ගලිවර්ගේ ඇඳුම කලුපාට එකක් කියලා හිතාගෙන හිටියට එයාගේ කබාය එක පාටක්, කලිසම වෙන පාටක්. මයිකල් නයිට්ගේ කාර් එකේ බොනට් එක පල්ලේ කොච්චරවත් එහාට මෙහාට දුවන එලිය ජාති රතුපාටක් කියලා මම යාලුවන්ට කිව්වා. මේ වගේ අරුම පුදුම දේවල් පෙන්නලා ටීවී එක මාව පුදුමෙනුත් පුදුමෙට පත්කරලා මගේ හොඳය යාලුවා වෙන්න උත්සහ කලා.

කොහොම උනත් හැමදෙනාට ම රාජකාරි කරන්න නියමිත කාලයක් තියෙනවා. ඒ වගේම අපේ සැම්සුන් ටීවී එකත් එයාගේ වැඩ කොටස හමාර කලා. ඒ වෙද්දි ටීවී නැවත විකුණන්න බැරි තරම් ඉල්ලුම අඩුවෙලා තිබුනා. ඉතින් මෙච්චර කාලයක් අපේ සාලේ විරාජමානව හිටපු මගේ හිතවතා ඊ ලග දවසේ ගෙදරට ආපු අලුත්ම තාලේ පැතලි තිරයක් තියෙන හැඩකාර සෝනි ටීවී එකට තමන්ගේ තැන දීලා ‍එතනින් ඉවත් වුනා. මම මෙච්චර කාලයක් මගේ පිහිටට හිටපු යාලුවව තාත්ත එක්ක හවුලේ උස්සගෙන හිහිල්ලා පිටිපස්සෙ බයික් මඩුවේ මුල්ලක තැන්පත් කලා.

සෝනි ටීවී එක සැම්සුන් ටීවී එකට වඩා හුරුබුහුටි සැහැල්ලු ගතියකින් ගෙදර එලිය කලා. එයා පඬුපැහැයට හුරු රත්තරන් පාටින් කියාපෑ‍වේ තමන් නියෝජනය කරන්නෙ වර්තමාන නවීන ලෝකය කියලයි. එයත් එක්ක ආපු ටිකිරි රිමෝට් කොන්ට්‍රෝල් එක හන්දා මට නැගිට නැගිට ගිහිල්ලා වැනල් මාරු කරන රස්සාවට නිවාඩු ලැබුනා. ඒ වුනාට මොකද, ඊට පස්සෙ තමා මේ හැමදේම පටන් ගත්තෙ. හැබැයි ඒ ගැන මම කියන්නෙ 6 වෙනිදා උදේ! එදා ට මම අහනවයි කිව්ව ප්‍රස්නෙයි, මේ කතන්දරේට අදාල පින්තූර ගොඩකුත් ගේනවා.

අනිත් අතට වීරයෝ ගැන කියවෙන කතා නිදහස් දවසට විතරක් සීමා කරන්න ඕනෙ කියලා ඕගොල්ල හිතනවද?

අවසාන කොටසට...

25 ක් කියන්නේ !:

  1. වීරයෝ වෙන්ට දවසක් ඕනි නෑ. වීරයන්ට දුනු, ඊතල පාවිච්චි කරන්ට දවසක් ඕනිත් නෑ.:)

    ඔයාලගේ net connection හරියට අර ඔයා ලියලා තියන, ඉස්සර කාලේ ටීවී වගේනේ අනේ.:D

    ReplyDelete
  2. මේ කතාව් අකියවනකොට මට මතක් උනේ මං බොහොම පොඩි කාලෙ(ඒ කාලෙ කොහෙද ටීවී) තිබුන මහ පත එච් එම් වී රේඩියො එක. .. ඕක පස්සෙ කාලෙ ලෙඩ වෙනකොට අපි කරන්නෙ පාරක් ගහන එක අන්න එතකොට ආයිත් වැඩ.. ඊට පස්සෙ බෝඩිමෙ හිටි සීයගෙ රේඩියො එක. ඒක හරියටම උදේ පිරිත් අහන්න දානවා.. අපි ඉන්නෙ තද නින්දෙ. ඔන්න ඉස්සෙල්ලා සූ ගාල සද්දෙ. ඊට පස්සෙ හිමීට පටන් අරන් හිටි ගමන් බෝම්බයක් වගෙ මහ හයියෙන් දෙදරන ගානට යන්නෙ සීයගෙ කන් ඇහෙන්නෙ නැති හින්දා. හෆොයි උන්දා අපෙන් අහපු බැනුම් කන්දරාව..

    ReplyDelete
  3. කොල ගුලිය හදන්න ඕනෑ මෙහෙමයි.

    1. මුලින් කොල කෑල්ල කටේ දාලා හොඳට කෙල එක්ක හපන්න.
    2. ඊට පස්සේ එලියට අරගෙන හොඳට ගුලි කරන්න.
    3. තෙත පිටින්ම අවශ්‍ය තැන හිර කරන්න.

    ආයේ නෝ හෙල්ලුම්, පොල් මැල්ලුම්!

    ReplyDelete
  4. ටීවී ජාතකය සමග නැවත පැමිනියාට ස්තූතියි

    ReplyDelete
  5. අපේ ගෙදර සංසුං රූප පෙට්ටිය අවුරුදු 22ක් පරනයි. තාම බඩු වැඩ ගීන්දර වගේ. එකම එක පාරයි රෙපෙයාර් කරන්න උනෙත්.

    ReplyDelete
  6. හිහි... කාලෙ ආවම හැම වීරයම යන්න ඕන.. ඒත් ඒ මතකයන් නම් දිගටම තියෙනවා.. අපෙත් ටීවී එක කැඩිල දැං. තාත්ත හදන්නෙම නෑ. අලි බබාල කාටුන් බලනව කියල :P

    ReplyDelete
  7. කියලා වැඩක් නෑ.. උපරිම රසය....

    ඔවා අපිත් ඔහොම්මම වින්දත් මෙහෙම ලියන්න මතක නෑන්.

    ආයෙ හය වෙනිදා වෙනකම් ඉන්ඩ ඕනා කියලා හිතෙද්දි තමා මට උඹව මරලා වීරයෙක් වෙන්ඩ හිතෙන්නෙ...

    කෝ කලින් එකට උත්තර දුන්නද.. ?

    ReplyDelete
  8. මේක කියවනකොට ඉස්සෙල්ලම අපේ ගෙ‍දරට කලර් ටීවී එක ගෙනාපු වෙලාව මතක් උනා බං.
    ඔය එක එක මොඩල්නං මල ජරාවල් තමයි. එල්.ජී තමයි ටිකක් හරි හොඳ එකකට තියෙන්නෙ. ඉස්සෙල්ල ආව සිංගර් ටීවී වල නම සිංගර් මදේ ඔක්කොම එල්.ජී හිංද ඒව කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවං උනා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කිවුවෙ LG කියලා නෙවෙයි, Gold Star කියලා නේද.?? LG නම ආවෙ පස්සෙං පහු කාලෙක..

      Delete
    2. @ Buratheno
      ඔවු ඒකාලෙ තිබුණෙ Gold Star තමයි. ඔය LG කියන්නෙ Lucky Gold Star කියන එක කෙටි කරලද කොහෙද.

      Delete
  9. හික් හික් හික්. අර කලු සුදු චිත්‍ර වල තිබ්බ නියම පාට අඳුනාගන්න කෑල්ලට තමයි බං මම ආසම. අන්න ඒ හරියේ, මම ආසම, නියම කෙහෙල්කොරොට්ටා සිග්නේචර් එක තියෙනවා.

    මට පේන්න බැරි වැඩේ උඹේ ඔය කල් දැමිල්ල තමයි. දෙයියම්පා ලඟක හිටියනම් උඹේ බො‍ටුව මිරිකනවා. Grrrr

    ReplyDelete
  10. කලින් කොටස වගේම මේ කොටසත් රසවත්.

    ReplyDelete
  11. බුද්ධියො,

    මේ කියන්න යන්නෙ පෝස්ට් එක ගැන නම් නෙවෙයි, බ්ලොග් එකේ අලුත් ටෙම්ප්ලේට් එක ගැනයි‍‍.. මේකෙ වචන ඔක්කොම එක ගොඩේ පැටලිලා වගෙයි පේන්නෙ.. අර ඉස්සර තිබුනා වගේ පෝස්ට් එක මැද column එකට අරන් ඇවිත් දෙපැත්තෙන් අනිත් විකාර කෑලි ටික දැම්ම නම් හොඳයි කියලයි මට නං හිතෙන්නෙ..

    ReplyDelete
  12. මට මතක් වුනා ... අපෙ ගෙදරටත් ඉස්සෙල්ලම කලුසුදු රූපවාහිනියක් ගෙනාව දවස.

    ReplyDelete
  13. මට මතක් වුනා ... අපෙ ගෙදරටත් ඉස්සෙල්ලම කලුසුදු රූපවාහිනියක් ගෙනාව දවස.

    ReplyDelete
  14. මටත් ඒ දවස්වල රොබින් හුඩ් බැලුවේ නැත්තනම් ඉතිං කෑවේ නෑ වගේ තමා

    ReplyDelete
  15. රසවත් ලියැවිල්ලක් යාලු......මිට වඩා වේල පහින් අනික දාන්ඩෝ..

    ReplyDelete
  16. කලු සුදු අඟල් 12 ටීවී බලලා අපිත් කලර් ටීවී බලපු කාලෙ මතක් උනා..

    ReplyDelete
  17. ටෙලිවිෂන් ගැන මාර කතා ටිකක්නේ බුද්ධිට තියෙන්නේ?.වැඩේ කියන්නේ මටත් ඔය සමානම අත්දැකීම් තමයි තියෙන්නේ.

    ReplyDelete
  18. ටී.වී රස කතා.. සිරාවට කලුසුදු දැකල දැකල එක පාරටම කලර් බලනකොට නම් පිස්සු කොර නේ..

    ReplyDelete
  19. මන් මේ කල්පනා කොරන්නේ මගේ ටීවී ඉතිහාසය මෙතන කොටන්නද ..බ්ලොගේම ලියන්නද කියල . හ්ම් ..

    ඔන්නොහෙ මාත් කල් දානවා .
    මොකද කොලුවෝ එක තුනට කඩන්නේ . දවස් කියක් බලා ඉන්ටද .

    කතාව ලස්සනයි ආ ..

    ඊ ගාවට වෙන දේ මන් දන්නවා ..මේ ලෝකේ වැඩියම නැති වෙන බිම වැටෙන ඉලෙක්ට්‍රොනික් උපකරණය ...හික්

    ReplyDelete
  20. ඒ දවස්වල තිබුන දිමුතු මුතූ බලනකොට අපේ කිරි අම්ම කිවුව දේ මට අද වගේ මතකයි." අප්පොච්චියේ මේ පොඩි කොල්ලෝ දෙන්න හදාගන්න වෙන්නෙ නෑ මේ හුනියම් පෙට්ටියක් ගෙනල්ල , මෙන්න මේක ගෙනියපල්ල අරන් ආව දිහාකට "
    කිරිඅම්මගෙයි, සීයගෙයි ඔඩොක්කුවට වෙලා ලස්සන කතා අහපු අපි දෙන්න, කිසිම අතුරු ප්‍රශ්නෙකට උත්තර නොදෙන රූප පෙට්ටියක් දිහා බස්සො ජෝඩුව වගේ බලන් ඉද්දි දෙන්නටම දුක හිතෙන්න ඇති.

    ReplyDelete
  21. ටීවී ඉතිහාසේ අපේ මහත්තයට කියවලා මගේ කටත් රිදෙනවා දැන් නම්... ඒත් අවුලක් නෑ.. අපේ මහත්තය කියනවා නියමෙට ලියලා, හරිම ලස්සනයි කියලා... හි හි

    ReplyDelete
  22. චූටි මහත්තයට මට වඩා වයසද මංද..
    මං චූටි කාලේ පාට තිබුණනේ ටීවී එකේ.

    ReplyDelete
  23. ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තුතියි!

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...