2013/02/06

ආවා... ආවා... ආවා... කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා ඕන්න ආවා | ආරම්භයේ අවසානය - වීරයා කව්ද?

පළවෙනි කොටසයි, දෙවෙනි කොටසයි කියෝපු අයට මෙන්න අන්තිම කොටස...

සෝනි ටීවී එක සැම්සුන් ටීවී එකට වඩා හුරුබුහුටි සැහැල්ලු ගතියකින් ගෙදර එලිය කලා. එයා පඬුපැහැයට හුරු රත්තරන් පාටින් කියාපෑ‍වේ තමන් නියෝජනය කරන්නෙ වර්තමාන නවීන ලෝකය කියලයි. එයත් එක්ක ආපු ටිකිරි රිමෝට් කොන්ට්‍රෝල් එක හන්දා මට නැගිට නැගිට ගිහිල්ලා වැනල් මාරු කරන රස්සාවට නිවාඩු ලැබුනා. මුලින් ටීවී වගේම මේ ටීවී එකත් ටියුන් කරලා පින්තූරු මතු කරන වැඩේ තාත්තා බාර ගත්තා. ඒත් තාත්තාට රිමෝට් එක එක්ක ගනුදෙනුව ටිකක් අමාරු වුනා. ඒත් විකල්පයක් තිබුනා. නිෂ්පාදකයෝ රිමෝට් එකත් එක්ක ගණුදෙනු අමාරු අයට පාවිච්චි කරන්න, පාලක පුවරුවටත් ඒ බොත්තම් එක් කරලා තිබුනා. ඒ පාවිච්චි කරන අයගේ ලේසිය ගැන හිතලා වෙන්ඩැති. ඉතින් තාත්තා රිමෝට් එක පැත්තකට දාලා UHF, VHF, Auto tuning, Manual tuning කියන ‍බොත්තම් උපයෝගි කරගෙන හරි ඉක්මනට ටීවී එකේ පින්තූරු මතුකර ගත්තා. ඒ පාරත් තාත්තා මගේ වීරයා වුනා!

කාලය ගෙවිලා ගියා. තාත්තා එයාගේ තැපැල් මහත්තයා රස්සාවෙන් විශ්‍රාම ගත්තා. තාත්තා විශ්‍රාම යද්දි තාත්තට තවත් සෑහෙන කාලයක් හොඳට වැඩකරන්න ශක්තිය තිබුනා. ඒත් කාලයට ඉඩ දිලා එයා අකමැති තීරණයක් ගන්න වුනා බොහොම අමාරුවෙන්, හරියට අපේ සෝනි ටීවී එකට වුනා වගේ.

සෝනි ටීවී එක! වීටී කතන්දරේ වැඩිම කාලයක් ජීවත් වුනු, එයාගේ මව් රටට ආඩම්බරයක් වෙමින් කිසිම ලෙඩක් නැතුව අවුරුදු ගණනාවක් අපිට සේවය කරපු එයා ගිය සෙනසුරාදා විශ්‍රාම ගත්තා. කොහොම වුනත් එයාටත් වුනේ කාලයට ඉඩ දීලා අයින් වෙන්න වුනු එක.

ඇත්තටම තාත්තයි මමයි ටීවී එකයි කියන්නෙ එක ම කතාවක චරිත තුනක්! ඒ කතාව පටන් ගන්නෙ සීයා එයාගේ මහ ගෙදරට පිලිප්ස් ටීවී එකක් ගෙනාපු දවසේ. කොහොම වුනත් තාත්තා මගේ වීරයෙක් වෙන්නෙ ටීවී ටියුන් කරලා විතරක් කියලා හිතනවනම් ඔයගොල්ලන් ඉන්නෙ වැරදි නිගමනයක. මතකද අපේ ටීවි කතාවේ දෙවෙනි පිටුවේ හිටපු, මම නම නොකියපු දහිර වාට්ටුවා. එයාට මම අකමැති එයා ලෙඩ දුන්නු හින්දා විතරක් නෙමේ.

දවසක් අපේ ගෙදර දොරට මහ රෑ කව්දෝ කට්ටියක් තඩිබෑවා. ඒ කාලේ අඳුරු යුගයක් හින්දා අම්මා තාත්තට දොර අරින්න එපා කිව්වා. ඒත් තාත්තා දොර ඇරියා. ඒ අවසරයෙන් ගෙදරට කඩා පැන්නෙ මුණු බැදගත්ත මිනිස්සු හතර දෙනෙක්.

"පෝස්ට් ඔපිස් එක වහන්ඩ කිව්වා නේද? ඇයි දවල් ඇරගෙන හිටියේ....." එක්කෙනෙක් කෑ ගැහුවා. ඒ සද්දෙන් මට තේරුනා මොකක් හරි අවුලක් විත්තිය. මේ විදිහට ගමේ කව්රුත් තාත්තට කතා කරන්නෙ නෑ. මොකද අපේ තාත්තට ගමේ හැමෝම කැමතියි. තාත්තා එයාට පුලුවන් හැටියට හැමෝටම උදව් කලා. ග‍මේ පිං පඩිය ගන්න එන සීයලා ආච්චිලා හැමදාම රු.100/- අරගෙන තාත්තට පින්දිලා යනවා එයාලට පින් පඩිය හදලා දුන්නට. කාගෙහරි වත්තක පළතුරක් හැදුනත්, ගෙදරක විශේෂ අවස්ථාවක කැවිලි වර්ග හැදුනත් ගොඩක් වෙලාවට තාත්තාට පාර්සලයක් එවනවා. අනික අපේ ගෙදරට ගේන එළකිරි වලත් වතුර අඩුයි! ඔක්කොටම වැඩිය තැපැල් කන්තෝරුවට ගැසට් එක ගෙනා හැටියේ තාත්තා ඒක කියවලා ගමේ අයියලා අක්කලාට පාරේ යන අයගේ අතේ පණිවිඩ යවනවා ගැලපෙන රස්සාවක් තියෙනවා ඉල්ලුම් කරන්න එන්න කියන්න කියලා.

"එතකොට මගේ රස්සාවට මොකද වෙන්නෙ....." තාත්තා ඇහැව්වා. තාත්තා වෙන දවස් වලට නෝටිස් දුන්නම තැපැල් කන්තෝරුව එක පයින් වහලා දැම්මා. ඒ තාත්තා ගොඩක් දේවල් ගැන දන්න හින්දයි කියලා අම්මා කිව්වා. ඒත් මීට කලින් දවසේ රජයේ ආයතන වහලා දැම්මොත් ඒවයේ ප්‍රධානින් රස්සාවෙන් අස් කරනවා කියලා අර දහිරවාට්ටුවා රෑ අටේ ප්‍රවෘත්ති වලට කිව්ව හන්දයි තාත්තා කන්තෝරුව වැහැව්වෙ නැත්තෙ.

"රස්සාවට..... මුගේ කට වැඩියි... දණගහපන් ඔහොම...." තාත්තට එක්නෙක් කෑ ගැහුවා. මට හොඳටම කේන්ති ගියා. අපේ තාත්තා කාරාටි කලුපටි කාරයෙක්. නිකමට හරි තාත්තා සට සට ගාලා වටේට කැරකුනා නම් මේ ගොල්ල තමන්ගේ හංදි අල්ලගෙන සිමෙන්ති පොලොවේ පස් කයි. මම කොකටත් බිත්තියේ එල්ලලා තිබුනු නංචක්කුව දිහා බලාගෙන දත්මිටි කෑවා. ඒ එක්කම අර මනුස්සයා ඉනෙන් පිස්තෝලයක් ඇදලා තාත්තගේ ඔලුවට තිබ්බා. ඒක දැක්ක හැටි‍යේ මම දත්මිටි කෑම බල්ලට දාලා තාත්තට කලිම්ම දණ ගැහුවා. චක්කරේ පාඩම් නැතුව දණ ගහන මට පිස්තෝලයක් ඉස්සරහා දණ ගහන එක ඒ හැටි දෙයක් නෙමෙයි. ඒත් තාත්තා දණ ගැහැව්වෙ නෑ.

පිස්තෝලේ අතේ තියාගෙන හිටපු එක්කෙනා පිස්තෝලෙන් තාත්තගේ ඔලුව පහලට තල්ලු කලා.
"දණගහපං යකෝ......" මිනිහා ආය කෑමොර දුන්නා. තව සුලු මොහොතකින් වෙන්න තියෙන දේ මට මැවි මැවී පෙනුනා. මගේ ලෝකේ වීරයා අන්ත අසරණ වෙලා කියලා මට තේරුනා. ඒත් ඒ සිතුවිල්ල මොහොතකින් වෙනස් වුනේ තාත්තා මෙන්න මෙහෙම කිව්ව හන්දා, "බාලයෝ ඉස්සරහා වැඩිහිටියෝ දණ ගහන්නෙ මොන රටේද පුතාලා.... අපි ඔක්කොටම ඉඳගෙන කතා කරන්න මෙතන පුටු තියෙනවනේ......!" ඒ එක්කම මම ඇස් දෙක වහගත්තා. මම හිතුවා ඒ වචන පේලියෙන් පස්සේ ඩෝං ගාලා සද්දයක් ඇහෙවී කියලා. නමුත් එහෙම වුනේ නෑ. මිනිහගේ අත වෙවුලන්න ගත්තා. තවත් ගොඩක් දේවල් වුනා. ඒත් තාත්තා මගේ වීරයෙක් වෙන්නෙ ටීවී ටියුන් කරලා විතරක් නෙමේ කියලා ඕගොල්ලන්ට දැනගන්න ඒ කොටස හොඳටම ඇති.

කොහොමහරි ගිය සෙනසුරාදා හවස අපේ ගෙදර ටීවී ඉතිහාසයේ තවත් පිටුවක් පෙරලුනා. ඒ පිටුවේ සඳහන් වෙලා තිබුනේ නවතම එල්ඊඩී ටිවී එකක් ගැන. මෙතුවක් කල් අපේ තාත්තගේ විශ්‍රාම ජීවිතේ හොඳම යාලුවා එල්ඊඩී ටිවී එකත් එක්කලා මොහොතකින් යල්පැන ගිය භාණ්ඩයක් වුනා. එල්ඊඩී ටීවී එක මොනවගේ එකක් ද කියලා මේක කියවන කාටවත් විස්තර කරන්න ඕන කියලා මම හිතන්නෙ නෑ. 

එයා හරිම ස්මාට්! යල්පැන්න සෝනි ටීවී පෙට්ටිය වගේ නෙමේ. ඔන් කරද්දි ලස්සන සිංදු කෑල්ලක් යනවා. බටන් මුකුත් නෑ. ඔක්කොම පාලනය කරන්නෙ රිමෝට් එකෙන්. ඔන් කරපු හැටියේ එයාම අහනවා "මම ඔටෝම ටියුන් කරගන්නද?" කියලා. අපිට තියෙන්නෙ Start හරි Cancel බටන් දෙකෙන් එයාට උත්තර දෙන්න. ඒත් අවුරුදු ගාණකට කලින් ටීවී එකේ පාලනය සම්පූර්ණයෙන් ම තමන්ගේ අතට අරගෙන UHF, VHF*, Auto tuning, Manual tuning වගේ බොහොම සරළ බොත්තම් එක්ක ටීවී එක එක්ක ගණුදෙනු කරපු තාත්තට මෙයත් එක්ක සම්බන්ධතාවය ගොඩනඟා ගන්න අමාරු වුනා. අනික රිමෝට් එකෙන් මේ වැඩේ කරගන්න අමාරු අයට ලේසියෙන් ඒ වැඩ ටික කරගන්න මේ ටීවී එකේ පාලක පුවරුවකුත් නෑ. ඒත් වීරයෙක් කවදද පසු බැස්සෙ. මගේ වීරයා දෙවෙනි වතාවට රිමෝට් එකෙන් ම රූප මතුකරන රාජකාරිය කරන්න හිතට අරගෙන ගිහින් කන්නාඩි කුට්ටමෙන් සන්නද්ධ වෙලා ආවා.

ඒත් එතනත් කොස්සක්. අර සෝනී ටීවී එකේ ටිකිරි රිමෝට් කන්ට්‍රෝල් එකේ වගේ සරළ බොත්තම් පේලි ටිකක් නෙමේ මේ රිමෝට් එකේ තිබුනේ. එයා සන්නද්ධ වෙලා හිටියේ  Menu, Return, Exit, Media, Enter, Back, HDMI, PC, HD වගේ තාත්තලාට අයිති නැති අපේ කාලේ වචන මාලාවකින්.

අතීතයේ ඉදලා කාලයේ තාලයට වෙනස්වුනු තාත්තට කොතනක හරි කොටසක් මඟ ඇරිලා තියෙනවා. මට අනිත් හැම ටීවි එකකටම වඩා බොහොම ලේසියෙන් මේක පාලනය කරන්න පුලුවන් වුනත් තාත්තට නම් ඒ රාජකාරිය හරිම සංකීර්ණ වෙලා. මම ටීවී එක එක්ක ලැබුනු පොත දිහා නිකමටවත් බලන්නෙ නැතුව මොහොතකින් ටීවී එකේ මූලික රාජකාරී ටික ඉවර කලා. පස්සෙ “තවත් කරන්න දෙයක් ඉතුරුද මහත්මයා.....!“ කියන බැල්මෙන් උරහිස් දෙක උස්සගෙන තාත්තා දිහා බැලුවා. තාත්තා මා දිහා බලාගෙන හිටියේ හරියට වීරයෙක් දිහා බලන විදිහට. හරියට එදා මම තාත්තා දිහා බලාගෙන උන්නා වගේ.

“හරි නේද? දැන් කොහොමද ඕකෙන් ඩීවිඩී එකක් බලන්නෙ.....“ මොහොතක් නිසොල්මනේ හිටපු තාත්තා ඇහැව්වා.

“ලේසියි. මේ ටිවී එකට වීඩීවී ප්ලේයර් එක ප්ලග් කරකර  ඉන්න ඕනේ නෑ. පෙන් එකට ෆිල්ම් එක දාලා මෙතෙන්ට ගහන්න. ඊට පස්සෙ රිමෝට් එකෙන්  මීඩියා වලට ගිහිල්ලා යූඑස්බී සිලෙක්ට් කරලා එන්ටර් කරන්න. එච්චරයි. ඕන්නං මේ බටන් එකට ෂෝට් කට් එකක් විදිහට යුඑස්බී එක සිලෙක්ට් කරලා තියාගන්නත් පුලුවන්.“

“ඒ කිව්වෙ....“ මේ සේරම සහසුද්දෙන් පැහැදිලි කලාට පස්සෙ තාත්තා ඇහැව්වා. ඒ එක්කම මගේ මුනේ ඇදිච්ච දේ හොඳට තේරුම් ගත්තු තාත්තා එතනින් එහා මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහිල්ලා කෝලේකුයි පෑනකුයි ගෙනවා.

“දැන් ආය කියන්ඩ බලන්ඩ..... මට එහෙම කිව්වට තේරෙන්නෙ නෑ... ලියාගෙන හිමීට බලන්නං....“ තාත්තා ගුරුවරයෙක් ඉස්සරහා හිටගත්තු ගෝලයෙක් වගේ පෑන පොතේ තියාගෙන මා දිහා බැලුවා. අභිමානය දියවෙලා ගිය වචන ඇහුනු මට ඉබේම තාත්තා දිහා බැලුනා. අතීතයේ ශක්තිමත් කරාටේ කලුපටි කාරයෙක් ව හිටපු තාත්තව කාලය විසින් බොහොම නරක විදිහට දුර්වල කරලා තිබුනා. හැබැයි දැනුත් ඉන්නෙ ඒ තාත්තමයි. මෙච්චර කාලයක් මේ ගැන මට දැනුනේ නැති වුනත් හදිස්සියේ මගේ හිතට ඒක දැනුනේ උගුරේ යමක් හිරකරගෙන. මොහොතකින් මගේ ඇස් දෙකට තාත්තගේ මුණ මුනගැහුනා. තාත්තගේ මූනේ ඇදිලා තිබුනු හැඟිම මොහොතකට මාව අතීතයට ගෙනිච්චා.

ඇත්තම කියනව නම් මම මෙච්චර දවසක් ඕගොල්ලන්ට කිව්වෙ ඒ අතීත කතාව.

පොඩ්ඩක් එහා මෙහා කරලා බැලුවොත් ඕගොල්ලන්ගේ හිත්වලත් මේ වගේ අතීත කතා ඕනතරම් හැංගිලා ඇති. මොකද පහුවෙනකොට අපි වෙනුවෙන් කොච්චර වීරයෝ පෙළගැහුනත් ඕනෙම දරුවෙකුගේ සදාතනික පළවෙනි ‍වීරයා වෙන්නෙ තාත්තා. එහෙම නේද?

මෙන්න ඉන්නවා මේ කතාවේ වීරයා -  අපේ තාත්තා.

කලුපටි කාර තාත්තා
අපි මෙහෙමයි ඔලුව බැලුවේ...
තාත්තා ඔහොම නං පුතා කොහොම ඇද්ද? හෙහ් හේ...
බුසයිලේ....
තාත්තයි මමයි.... මතකද? ඔය කොට බිත්තියේ එහා පැත්තෙ තමා කුමාරයි මමයි සයිකලේට හුලං ගැහුවේ.......
කලුපටි තාත්තට විතරක් නම් මදැයි....
තාත්තයි, රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහත්තයයි, සතුටු කඳුලු ටෙලි නාට්‍යය අතරතුර දී.... වස පාට ගන්න තාත්තට උඩ රැවුලක් දාලා තියෙන්නෙ!

89 ක් කියන්නේ !:

  1. තාත්තා වීරයෙක් කියලා මං ඇත්තටම හිතුවේ විස්තරේ ලියාගන්න පොතක් උස්සන් ආපු කතාව කියවපු ගමන්.... හිතේ ධෛර්‌යයක් නැති කෙනෙක් ඒ වගේ කරන්නේ නෑ... දැං ඉතිං අපි වයසයිනේ කියලා වැඩේ අතෑරලා දානවා....

    චූටි මහත්තයගේ වීර තාත්තට තව තවත් වීරකම් කරන්න ධෛර්‌ය ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. හිරු, අන්න ඒකයි කියන්නෙ..... පොතේ ලියාගෙන වැඩේ පටන් ගත්තට මොකද දැන් දැන් ටිකක් හුරුයි....!

      Delete
  2. මේකට නම් කියන්න වචන නැහැ . තාත්ත අර කොල්ලන්ව හසුරවපු විදිහ ..
    වගේ දේවල් ඇහුවම සැබෑ වීරයෙක් බව තේරුනා .
    ඒ එක්කම අලුත් ටෙක්නිකල් ලෝකයේ ඔහු ඔබට පැරදුන බව අහල ලොකු දෙයක් දැනුන . ලෝකයේ ස්වභාවය ...අලුත් පරම්පරාවට ලෝකය භාර වෙන හැටි ..

    ලිවේ නැති කාලෙටත් එක්ක සැහෙන ලිපියක් ලිවට ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බින්දි,

      මුලින්ම ලිපියට ස්තුතියි කලා ට ස්තුතියි.

      මට නිතරම කල්පනා වෙන දෙයක් තමා ලෝක ස්වභාවයට අපිත් දවසක අහුවෙනවා කියලා.... බලමු අපිට අලුත් පරම්පරාවට පරදින්නැතුව කොච්චර කාලයක් අල්ලගෙන ඉන්න පුලුවන් වෙයිද කියලා.

      Delete
  3. Replies
    1. ස්තුතියි උකුස්සා

      Delete
  4. තාත්තට සුව බර විශ්‍රාම ජීවිතයක් පතනවා...අළුත් ටීවී එක එයා ඉගෙන ගනී ඉක්මනටම...

    ReplyDelete
    Replies
    1. වෙනී අයියා (ක්කා),
      ඔව්. අලුත් තාක්ෂණය ඉගෙන ගත්තම හසුරුවන්න ලේසියි.... ඒකනේ මිනිස්සු මෙච්චර ඉක්මනට ලෙඩ්ඩු වෙන ප්‍රවණතාවයත් වැඩි වෙලා තියෙන්නෙ නේද?

      Delete
  5. අනේ බුද්ධි ඔයා ලියල තියෙන විදියට මේක කියවගෙන ආවෙ හිනාවක් එක්ක වුණත් ටිකකින් ඇස්වලට කඳුලු ඉණුව.. මේක මට දැනෙනව වැඩියි.. අපි ලබපු අත්දැකීම් බොහොම සමාන හන්ද වෙන්ඩ ඇති.
    අපි වැඩි දෙනෙක්ගෙ අතීත කතාව විතරක් නෙවෙයි වර්තමාන කතාවත් ඔයා මෙතන ලියල තියෙනව.
    හරිම අපූරුවට...
    සැටලයිට් ටීවී කනෙක්ෂන් එකක් අරන්දීල අපේ අම්මත් එක්කල පහුගිය කාලෙ අපි දෙන්න ලබපු අත්දැකීම් මතක් වුණා මේක හන්ද...

    ReplyDelete
    Replies
    1. අපේ නැන්දම්මට අලුත් ටච් ෆෝන් එකක් ගෙනිහින් දුන්න වගේ ඇති ..

      Delete
    2. ජනූ, බින්දි,

      ඇත්ත තමා. අපේ කතා ගොඩක් දුරට සමානයි පොඩි පොඩි ඇද ඇරලා ගත්තම.

      මුලින් ම මම හිතුවේ අවුරුදු 60/70 ක් පරණ මොලවල අලුත් තාක්ෂණය උකහා ගන්න පරිපත පිහිටලා ම නැතුව ඇති කියලා. ඒත් දිනපතා මේ ගැන උනන්දු වුනොත් නිද්‍රාගත පරිපත නැවත පණ ගැන්විලා එනවා කියලා මට හිතෙනවා. කම්පියුටර් ගැන මෙලෝ හරසක් දන්නෙ නැති මාමා කෙනෙකුට මේ දවස් වල මම ඉන්ටර් නෙට් යන්න උගන්වන්නෙ මුලික දැනුමත් දීලා. දැන් පොරට පේන්ට් වලින් චිත්‍රයක් ඇඳ ගන්න පුලුවන්. නිකමට වර්ඩ් ඕපන් කරලා දුන්නම ඉවෙන් වගේ ඒකේ ඔබ මොබ යන්නත් දැන් පුලුවන්.... මොලේට රටාව කාන්දු වෙලා තියෙන්නෙ දැන්.... ඒ වගේ හැමෝටම උනන්දු වුනොත් අලුත් දේවල් අල්ල ගන්න පුලුවන් වෙයි කියලා දැනට මට නිකමට හිතෙනවා...... ස්තුතියි

      Delete
  6. බොහොම සංවේදී සටහනක්.. නිර්මාණාත්මකයි...

    ReplyDelete
  7. හිරු කියල තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. චූටි මහත්තයගෙ තාත්ත ගේම අතඅරින කෙනෙක් නෙමෙයි.

    වීර තාත්තටත් වීර පුතාටත් දිගාසිරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසා.... ඕයාගේ හිතෙත් ඇති මේ වගේ කතා... ලියන්ඩකො අපිටත් කියවන්න....!

      Delete
  8. තාත්තලා පුතාලට දෙන කොට දෙන්නම හිනා වෙනවලු...ඒත් පුතාල තාත්තලට දෙන කොට දෙන්නම් අඩනවලු..මෙහෙම කියලා තියෙන්නේ ශේක්ස්පියර් මහත්තයා....ඒත් චූටි මහත්තය දෙන කොට තාත්තා විතරක් නෙමෙයි අපිත් අඩනවා....අතීතය මතක් වෙලා

    ReplyDelete
    Replies
    1. මයියා, ස්තුතියි බරසාර කමෙන්ට්ටුවට... ඔය කතාව අද්දැකලා තිබ්බට ඇහැව්වෙ අදයි. සොරි පෙරේදා!!!! :D

      Delete
  9. තාත්තලා පුතාලට දෙන කොට දෙන්නම හිනා වෙනවලු...ඒත් පුතාල තාත්තලට දෙන කොට දෙන්නම් අඩනවලු..මෙහෙම කියලා තියෙන්නේ ශේක්ස්පියර් මහත්තයා....ඒත් චූටි මහත්තය දෙන කොට තාත්තා විතරක් නෙමෙයි අපිත් අඩනවා....අතීතය මතක් වෙලා

    ReplyDelete
  10. අජෝව් නොලිය ඉදල ලියන කොට සුපිරි ඒවා එනවනේ.. මාත් නවත්තනවා ලියන එක.. නියමයි බං.. වීරයෙක් තමා අනිවා... මම කල්පනා කරේ තව දෙපාරක් විතර කියවන්න කියලා.. අවුලක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. දේශකයා, අවුලක් නෑ කියවන්ඩ..... ඒ වුනාට සුපිරි ඒවා ලියන්ඩ ලියන එක එහෙම නතර කරන්න එපා හොදද

      Delete
  11. තාත්තා කියන අකුරු තුනට නියම අරුතක් දුන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරිඳු....

      Delete
  12. මම ආසා මේ උඹේ ලියන රටාවට. උඹ ටීවී ගැන ලිව්වට ඇත්තෙන්ම මේ තියෙන්නෙ තාත්තගෙ තැන පුතා අතට ක්‍රමයෙන් ගිය හැටි යුගයක වෙනසත් එක්ක. මම මහා ගැඹුරු දේවල් වලට ආසා නැති වුනාට මේ ගැඹුරේ මාර ගතියක් තියෙනවා.

    උඹලෑ තාත්තා එල කොල්ලෙක්නෙ බං! :)

    ReplyDelete
    Replies
    1. //උඹලෑ තාත්තා එල කොල්ලෙක්නෙ බං! :)//

      +++++++++++++++++++++++++++++++++++++ :)

      Delete
    2. ඩූඩ්,

      ස්තුතියි හරබර කමෙන්ටුවට.... ඔව් ‍මේ ලිපිය යූරෝ දෙකේ ප්‍රාඥයා ලිව්ව ලිං පතුලක් වගේ ගැඹුරු ලිපි මාලාවට එක්කහු වෙයි නේද එහෙනම්...

      .................
      පොඩි,
      ඒ තාත්තා..... පුතා ගැන කතා කරන්න ඕන නැනේ නේද?

      Delete
    3. ලිං පතුල කිව්වෙ අර ගලක් දැම්මාම වැටෙන සද්දෙ ඇහෙන්නැති එබිලා බැලුවාම පේන්නැති එකටද? ;)

      Delete
  13. සෑහෙන සංවේදි විදියට ලියලා තියෙනවා මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ

    කෙහෙල් කොටුවේ පෙනුම වෙනස් වෙච්චි එක ගැන නම් සෑහෙන්න සන්තෝසයි

    ජය වේවා අයියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගැමියා,

      පෙනුම වෙනස් කරන්න ගැමියා යි මමයි ඒ කාලේ කොච්චර උනන්දු වුනාද කියලා දෙයි‍යෝ තමා දන්නෙ නේද?

      Delete
  14. /*පොඩ්ඩක් එහා මෙහා කරලා බැලුවොත් ඕගොල්ලන්ගේ හිත්වලත් මේ වගේ අතීත කතා ඕනතරම් හැංගිලා ඇති. මොකද පහුවෙනකොට අපි වෙනුවෙන් කොච්චර වීරයෝ පෙළගැහුනත් ඕනෙම දරුවෙකුගේ සදාතනික පළවෙනි ‍වීරයා වෙන්නෙ තාත්තා.*/

    +++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පරිකල්පන....

      Delete
  15. ඕනෙම දරුවෙක්ගෙ ලෝකයේ මුල්ම වීරයා තාත්තා. මගේ තාත්තා ඉස්සර ලංකාවෙ හැමතැනම වගේ යනවා. එයාගෙ රස්සාව නිසා. ඉස්සර කවුරු හරි කොහෙ හරි යන්න පාර දන්නෙ නැත්තන් තාත්තගෙන් අහනවා. තාත්තා ටක්කෙටම කියලා දෙනවා. අහවල් බස් එකෙන් ගිහින් අහවල් තැනින් බැහැලා යන්න. ඒ වගේ. ළඟදි තාත්තට ආදායම් බදු දෙපාර්තමේන්තුවට යන්න ඕනෙ වෙලා මා එක්ක ගියා. ඉස්සර වගේ නෙමෙයි දැන් පාරවල් සංකීර්ණයි. තාත්තා අසරණ වෙලා වටපිට බලනකොට මට ඉස්සර මතක් වෙලා ඇස් වලට කඳුළු ආවා. මේ පෝස්ට් එක කියවලා මම ඇඬුවා බුද්ධි.

    කසාද බැඳලා මහත්තයගෙ ගෙදරට ඇරලවන්න ඇවිත් තාත්තා මාව දාලා යන්න බැරුව ආයෙත් වාහනෙන් බැහැලා ඇවිත් මාව බදාගෙන ඇඬුවා. එයාලගෙ ජීවිත වලට අපි තාම පොඩි දරුවො. කොච්චර වයසට ගියත් අපි එයාලට පොඩියි. මම ජීවිතේ කවදාවත් අඬලා නෑ එදා තරම්. අදටත් මගේ ලෝකයේ වීරයා මගෙ තාත්තම තමයි.

    ReplyDelete
    Replies
    1. //පොඩ්ඩක් එහා මෙහා කරලා බැලුවොත් ඕගොල්ලන්ගේ හිත්වලත් මේ වගේ අතීත කතා ඕනතරම් හැංගිලා ඇති. මොකද පහුවෙනකොට අපි වෙනුවෙන් කොච්චර වීරයෝ පෙළගැහුනත් ඕනෙම දරුවෙකුගේ සදාතනික පළවෙනි ‍වීරයා වෙන්නෙ තාත්තා. එහෙම නේද?//

      මේ ප්‍රස්නේට නියම විදිහට පිණිබිදු උත්තරේ දිලා තියෙනවා කියලා හිතෙනවා.

      Delete
  16. අපේ අම්මට සමහර දේවල් දහපාරක් කියල දෙන්න්න ඕන. කොම්පියුටර් එක ගැන විශේශයෙන්. තුන් හතර වෙනි පාර කියල දුන්නම ආයි අහනකොට ඇත්තටම මල පනිනවා. ආයි එහෙම නොකරන්න වග බලා ගන්නවා කියන එක තමයි කතාව කියවලා ඉවර වෙනකොටම හිතට ආව සිතුවිල්ල.

    ReplyDelete
    Replies
    1. සාබිත්,

      ගොඩක් සතුටුයි සාබිත්ගේ කමෙන්ටුවට. එහෙම නොකරන්න අපි වගබලා ගන්න ඕනේ. හැබැයි ටික දවසකින් ඔය සිතුවිල්ල අමතක වෙන්න දෙන්න එපා. මොකද හිටපු ගමන් සමහර දේවල් මටත් අමතක වෙනවා කියලා මම අද්දැකීමෙන් දන්නවා. නිවි හැනහිල්ලෙ කල්පනා කරද්දියි අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර ඉවසලා තියෙනවද කියලා දැනෙන්නේ....

      Delete
  17. දැන් අර අහනවා කීව ප්‍රශ්නේ කෝ? උත්තරේ නම් මොන වීරයාද කියලා අපි දන්නවා ඕං.

    මම මේ කල්පනා කලේ, මෙච්චර හැන්ඩ්සම් ඩැඩ් කෙනෙක්ගේ පුතෙක් මෙහෙම උනේ කොහොමද කියලා.:D:D:D

    ReplyDelete
    Replies
    1. පොකු,
      01. //දැන් අර අහනවා කීව ප්‍රශ්නේ කෝ? // දැක්කෙ නැද්ද අන්තිම ඡේදයේ අන්තිම වචන දෙක. ආයිමත් බලන්න "එහෙම නේද?" කියලා ප්‍රස්‍නේ අහලා ඇති නිල් කෑටේට....

      02. //මම මේ කල්පනා කලේ, මෙච්චර හැන්ඩ්සම් ඩැඩ් කෙනෙක්ගේ පුතෙක් මෙහෙම උනේ කොහොමද කියලා.:D:D:D// ආ ඒවා එහෙම තමා... හැම හැන්ඩ්සම් තාත්තා කෙනෙක්ගේ ම පුතාලා ලස්සන නැති වුනාට මට ඒක බලපෑවේ නෑනේ..... ඒකයි මම තාත්තට වඩා ඉදිරියෙන් ඉන්නෙ....

      Delete
    2. මේ තියෙන්නේ ප්‍රශ්නේ...

      “තාත්තා ඔහොම නං පුතා කොහොම ඇද්ද?“

      දැං දීපල්ලකෝ උත්තර

      Delete
    3. ආන්න දැක්කද පොඩ්ඩි ගයාන් ට වැඩේ තේරිලා තියෙන හැටි.... එයත් නියම පුත්තරයෙක් වගේ මට පේන්නෙ

      Delete
  18. තාත්තා නම් සදාකාලික වීරයෙක් තමයි ඔක්කොටම වඩා බුද්ධිය මෙහෙයවලා දනත් නොගහා අරුන් ටික නම්මා ගත්ත හැටි නම් අපූරුයි ඔය වගෙ තැනට සුදුසු නුවනක් තිබීම තමයි වීරත්වය සම්පූර්ණ කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. සරත් අයියටත්, මේ කාලය ගැන ගොඩක් අද්දැකීම් ඇති නේද? මේ ගැන කියන්න සෑහෙන කතා මටත් තියෙනවා.... ඒක් සයිබර් යාය ඒකට සුදුසුදෝ නැද්දෝ කියලා තාම තීරණය කරගන්න බැ.... හැබැයි පුලුවන් වෙලාවට මේ වගේ ටිකක් තවරලා දාන්න නම් පුලුවන් වෙයි ! ස්තුතියි කතාව කියවන්න පැමිණීම ගැන.

      Delete
  19. අලුතෙන් ගෙදරට ඉලෙක්ට්‍රොනික් ගැජට්ටුවක් ගෙනාවම මම ඒක අපේ කොල්ලට බාර දෙනවා...
    ඒක ටෙලිෆෝන් එකක්, ඔරලෝසුවක් වගේ එකක්නං එයා ම අයිති කර ගන්නවා..
    අනිත් ඒවයෙ තියෙන හුටප්පර අහගන්නනං කොල්ලගෙ ආඩම්බර බලන්න ම වෙනව...
    දැන් ඉතින් උන්දෑ මගේ වීරයෙක්නෙ...!!

    ReplyDelete
    Replies
    1. ඉන්දරේ සර්,

      හෙහ් හේ.....මේ ඉන්නේ අද කාලේ තාත්තෙක්.....

      Delete
  20. මන් පැල දොරින් වහන් වෙන්නත් හදල ආයේ
    බැලුව..නියම විදිහට ගලපලා ලියල මචන්..
    කොළ බොක්කටම වදිනවා....

    ReplyDelete
    Replies
    1. silentsahan,

      ස්තුතියි පැලදොරින් වහන් නොවි වදනක් දෙකක් කියලාම ගියා‍ට

      Delete
  21. දෙන්නටම සුබ පැතුම්.. පුතාගේ විරකං ටිකකුත් දාමු නේද.

    ReplyDelete
    Replies
    1. නලීන් මහත්තයෝ, මේ තියෙන්නෙ පුතාගේ වීරකං

      http://cyberyaya.blogspot.com/search/label/%E0%B6%A0%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F

      Delete
  22. hama puthekgeme veeraya thamange thaththa thamayi. oya athdakeema oya widiyatama mamath labuwa. aththatama e welawata kadulu enawa.

    ReplyDelete
    Replies
    1. Nasaraniya,

      ස්තුතියි මතකය බෙදා ගත්තට..... වැදගත් ම දේ අපිට හැමතිස්සෙම මේ දේවල් අමතක වෙන එකයි. මතක හිටියා නම් අපි දෙමාපියන්ට මීට වඩා සලකයි.

      Delete
  23. ඇත්තටම සහෝ ඔයාගේ තාත්තා නියම වීරයෙක්.අලුත් තාක්ශනේ එක්ක හැප්පෙන්න ටිකක් අමාරු වුනාට අපේ දෙමව්පියෝ තරම් සංවේදී නැහැ තාක්ශනේ.

    ReplyDelete
    Replies
    1. නිශාන්,

      ඒක ඇත්ත. තක්ෂනේ ඕන කෙනෙකුට හසුරුවන්න පුලුවන් පුරුදු වුනාම. දෙමාපියෝ එහෙමද? අපි හැරෙද්දි දන්නවා අපි ඉන්න තත්වය ගැන...

      Delete
  24. ඇස් දෙකට කඳුළු ආවා.

    ReplyDelete
    Replies
    1. අරුන්දතී,

      ස්තුතියි.

      Delete
  25. මුල කොටස් දෙක කියෙව්වෙ හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවියේ යන සැහැල්ලු කතාවක් කියලා හිතාගන. ඒත් අන්තිම කොටසින් කතාව වෙනම මානයකට ගියා. සුළු සිද්ධියක් පාදක කරගෙන පරම්පරා දෙකක වෙනස හරි අපූරුවට විස්තර කරලා නොවැ.. මම හිතන්නෙ මාටින් වික්‍රමසිංහට ගම් පෙරලියෙන්වත් මේ හපන් කම කොරන්ඩ බරුව ගියා.

    ඔතන තාත්තගෙ නොදැනුවත්කමට වග කියන්න ඕනා සෝනි ටීවී එක. උන්දැ ලෙඩ නොදී කාලයක් වැඩ කරපු හින්දා අළුත් අළුත් ටීවී ගෙනල්ලා තාත්තට දැනුම අප්ඩේට් කර ගන්න තිබුන චෑන්ස් එක උන්දැ නැති කොරලා දැම්මා..

    මට දැන් දැනගන්න ඕනා අර කට්ටියට ඉඳ ගන්න කිව්වට පස්සෙ මොකද වුනේ කියලා.. කට්ටිය වාඩි වෙලා හිනාවෙවී කෝපි බිව්වද ? නැත්නම් තාත්තා උන්දැලට කළු පටියෙ රස පෙන්නුවද ?

    එතකොට මේ තාත්තා නළු කමත් කොරලානෙ.. ඒ කියන්නෙ කොහොමත් වීරයෙක් තමා..

    මම කැමතිම අර තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩි වෙලා ඉන්න ෆොටෝ එකට.. ඒකෙ අමුතු ගතියක් තියනවා..

    අපේ හිත්වලත ඔහොම අතීත කතා ඕනා තරම් පෙල ගැහිලා තියනවා.. කරුමෙ කියන්නෙ ඒවා මතක් වෙන්නෙවත් මතක් වුනත් මේ තරම් ලස්සනට ලියන්නත් බෑ.. පොඩ්ඩක් හිටහන්කො පොඩි ට්‍රයක් දාලා බලන්න..

    අන්තිමට කියන්න තියෙන්නෙ සුපිරි කතාවක් කියලා තමයි.. මේ තරම් පොඩි සිද්ධියකින් ඒ තරම් ගැඹුරු කතාවක් කියන්න උඹට තියන හැකියාව ගැන පුදුම නොවී ඉන්න බෑ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ගේ දීර්ඝ කමෙන්ටුව අතිශයින් ආකර්ශනීයයි. ලිපි දිගින් දිගට ලියන්න මේවා මහෝපකාරි වෙනවා. කොහොම වුනත් මේකේ වැදගත් ම කොටස තමා //පොඩ්ඩක් හිටහන්කො පොඩි ට්‍රයක් දාලා බලන්න..//කියන බලාපොරොත්තුවේ වැකිය.

      Delete
  26. අර ඩූඩියා කිවුවා වගේ ටීවී එකක් අස්සෙන් දාලා උඹ මහා ලොකු කතාවක් කියලා තියෙන්නෙ මචං.. මේක මට මාරෙට හිතට වැදුනා, ඒ නිසා වෙනදා වගේ මොකක් හරි පිස්සු කමෙන්ට් එකක් දාන්ට මගේ හිත නැවෙන්නෑ..

    අපි ගියා!

    ReplyDelete
    Replies
    1. බූරා, ස්තුතියි. පිස්සු කමෙන්ට් එකක් නැතුව හතරපදයක් දාලා යන්ඩ එපැයි....... ඒ හොඳටම ඇති....

      Delete
  27. කතා සෙට් එකම බැලුවා කතාවේ දෙකහමාරාම හාස්‍ය ඉතුරු භාගේ සංවේගයක්. හැම තාත්ත කෙනෙක්ම වයසට යනවා.

    ReplyDelete
    Replies
    1. අසරණයා,

      ස්තුතියි. අපිත් වයසට යනවා නේද? එහෙම බලද්දි කාලයක් ගිහිල්ලා බලද්දි අපිටමයි මේක ලියලා තියෙන්නෙ කියලා හිතාගෙන කියවන්නත් පුලුවන් වෙයි නේද? :(

      Delete
  28. වීර පුතාලගේ විර තාත්තලා... වෙනදා වගේමයි... උපරිමයි...

    ReplyDelete
    Replies
    1. බීටල්, ස්තුතියි බීටල්. වචනයක් ලියලා ගියත් ඇති..... අංග සම්පූර්ණයි

      Delete
  29. තාත්තා නළුවා වුණාට පුතානම් එළුවා....අපි දන්නවනෙ විස්තරේ....

    මොනවා වුණත් සෑම පියෙක් වෙනුවෙන්ම පුදන්න පුළුවන් කථාවක් මේක.

    ReplyDelete
    Replies
    1. ඉෂාර, උඔ ඔය දන්න තරම තමයි. මෙදා පාර දැයට කිරුලට අපේ පාරෙන් යන්ඩ වරෙන්කෝ....... එදාට බලාගමු.

      ඒ ව‍ගේම විචාරයටත් ස්තුතියි

      Delete
  30. අපුරු ලිවිල්ලක්.. ඔය එක්කම මට මගේ අප්පච්චිව මතක්වුනා. ඔය වගේම සිද්ධි කීපයක් එක්ක. හිතට වදෙන්නම ලියල තියනවා කියාගෙන මම ගියා.

    ReplyDelete
    Replies
    1. ඇලා, ස්තුතියි. සමාවෙන්ඩ පවර් ඇඩැප්ටරේ නැතුව පිලිතුරු ටිකක් පරක්කු වුනා.

      Delete
  31. හ්ම් ඇත්තමයි දැන් අපේ අප්පච්චිත් එයාගේ ලැප්ටොප් එකේ නොදන්න දේවල් අහනවා ඉස්සර අපි එයාගෙන් ඇහුවා වගේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහන් කියන්නේ..... ඔක්කොම නැවත නැවත සිද්දාවෙනවා... හැබැයි ටිකක් වෙනස් විදිහට!

      Delete
  32. තාත්තා එහෙම වුණාට පුතා හරි අහිංසකයි
    ගතිගුණ එන්නේ එක පරම්පරාවක් පැන පැනලු
    මුණුපුරා බලමුකෝ

    [රැවුල් තිබ්බම වස පාට එන්නේ කොහෙදෑ බොල?]

    ReplyDelete
    Replies
    1. ඔව් තිස්ස අයියා, අපි අහිංසක බොදු දරුවෝ වෙමු! :D

      රැවුලෙන් වස පාට හැමෝටම එන්නෙ නෑ තමා. දැන් අපේ තාත්තගේ රැවුලෙන් වස පාට ආවට මොකෝ තිස්ස අයියගේ රැවුලෙන් විද්‍යමාන වෙන්නෙ පෙම් පාට නේන්නම්‍‍‍‍.... ඔය ගැල්ලමයි වැඩිහරියක් කියන්නෙ එහෙමනේ‍‍‍..... අපේ ජනප්‍රිය කමෙන්ට්කරු ප්‍රසන්නව වුනත් උදාහරනෙට ගත්තැකි‍‍‍.....

      Delete
  33. බුද්ධි,,
    සාමාන්‍යයෙන් කතාවක් කියවනකොට මගේ ඇස්වලට කඳුළු උණනවා අඩුයි... මොකද මම එහෙමට හැඟීම්බර මිනිහෙක් නොවන නිසා.. නමුත් මේ කතාවෙ අර වීරයොන්ට තාත්තා කළ කතාව කියවපු වෙලේ කඳුළු ආවා.. මගේ තාත්තටත් මේ වගේම සිදුවීමකට මුහුණ දෙන්න වුනත්, ඒ මිනිස්සු මගේ තාත්තව සොයාගෙන ආවෙ නෑ... මාමා කෙනෙක් අතේ පණිවුඩේ එවලා තිබුණා.. නමුත් මේ කාලෙ එහෙම දෙයක් වෙයි කියලා හිතන්න බෑ රට යන විදියට...
    තාත්තලා කාළයත් එක්ක වයසට යනවා කියන දේ අපි පිළිගන්න ඕන.. මගේ තාත්තට දැන් 75 ක් විතර.. මම ලංකාවට යන්න දින ගැණ ගැන ඉන්නෙ ඒ අයත් එක්ක සතුටින් ඉන්න....
    ඒක තමයි මගේ ජීවිතේ... ලෝකෙ කොයි කොණේ හිටියත් ඒ අයත් එක්ක ඉන්න තියෙන කාලෙ මිල කරන්න කිසිම දේකට බැහැ...
    නියම ලිපියක්.. බොක්කෙ පතුලටම වදින්න ලියලා තියෙනවා...
    තාත්තට දීර්ඝායුෂ... අදහන්න වටින පොරක්... !

    ReplyDelete
    Replies
    1. ඇල්කේමියා,

      හෑම වචනයකටම වටිනාකමක් දීලා ලියපු කමෙන්ටුවට අතිශයින් ම ස්තුතියි.

      දෙමාපියන් එක්ක ඉන්න කාලය මට දැනෙන හැටියට හැමවිටම ආරක්ෂාකාරී සැහැල්ලු ගතියකින් පිරිලා තියෙන එකක්. ගොඩක් වෙලාවට අපි නිවාඩුවක් ලැබුනු හැටියේ රට වටේ කරක්ගහන්න ගියත්, ගෙදර ඉන්න නිවාඩු දවස් වල ඉන්නෙ අම්මලා, තාත්තලා එක්ක.

      ඇල්කේමියාත් බලාගෙන ඉන්නෙ ඒ හැගීමභුක්ති විදින්න නම් ඒක සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා‍.

      ඒ වගේම ඇලාගේ දෙමාපියන්ටත් දිගාසිරි!!! මේ වගේ පුතෙක් හදා ගත්තු එකම විරකමක් නොවැ!

      Delete
  34. ජිවිත පැතිකඩක් වෙනස්ම විදියට ලියලා.නිර්මාණශිලිත්වය කලාවකට හැඩ වෙලා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  35. බුද්ධි නැවත පැමිණීම ගැන සතුටුයි...මම අද තමා කාලෙකට පස්සෙ විවේකයක් ලැබිලා අතපසු වෙච්ච බ්ලොග් කියවන්න ගත්තෙ...කොටස් තුනම කියෙව්වා...ඔබේ තාත්තට දීර්ඝායුෂ පතනවා...මගේ තාත්තා තමා මගෙත් වීරයා...ඔහුත් කරාටේ ශූරයෙක්...වාර දෙකක් සිරාගෙ ජීවිතේ බේරලා දුන්නා...තාත්තා ගැන වාර දෙක තුනක් බ්ලොගේ ලිව්වා...මම වගේ තාත්තට සමීප තවත් අයෙක් හදුනාගන්න ලැබීම ගැන බොහොම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා‍, තාත්තලා හැමදාම අපේ වීරයෝ තමා නේද?

      Delete
  36. පරක්කු වෙලා හරි ඇවිදින් කොටස් තුනම එක දිගට කියවන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්..අළුත් ඇඳුම ගැන නම් කියන්න තියෙන්නෙ ඒක නියමයි වුනාට දැන් මේ බ්ලොගේ සයිබර් යාය නෙවි වගේ..ටිකක් විතර නීට් ප්‍රොපෙෂනල් ලුක් එකක් තියනවා..:D

    අපි හැමෝගෙම පළවෙනි වීරයා තාත්තා වෙන එක අහන්නත් දෙයක්ද?
    දැනුම් තේරෙන පළවෙනි කාලෙ ඉඳන්ම අපේ අප්පච්චී අපිට තීරණ ගන්න ඉඩ හදලා දුන්න එක තමා මට මතක් වෙන පළවෙනි එක..ඒ එක්කම ඒ ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්නත් උදව් කලා මතකයි..

    පහ වසරේ ශිෂ්‍යත්වෙට පන්ති යන්න ඕන කියලා මම ඉස්සෙල්ලාම අප්පච්චීට කිව්වෙ යන්න ඕන පන්තියත් තීරණය කරලා ඉවර වෙලා..ඒ ගුරුතුමී හොඳයිද කියලා හොයලා බලලා ඊට පස්සෙ සති අන්තෙ පන්තියට ගිහින් දාලා ආපහු එක්කං එන්නත් අප්පච්චි කටයුතු කරපු එක තමයි මට තියන ලොකුම මතකය. පොඩිත්තං හෙල්මට් එකක් ගෙනත් දීලා මොටෝ සයිකලේ පිටිපස්සෙ තියාගෙන මාව උදේ හවස පන්ති එක්කං ගියේ කවදාවත් විභාගෙ පාස්වෙන්න කියලා වචනයකින්වත් බලපෑම් නොකර.

    ඉඳලා හිටලා විභාගෙ පාස්වුනොත් හොඳයි කියලා නොකියා කීවට කවදාවත් ඉගෙන ගන්න වැඩ වලට වත් අනිත් වැඩ වලටවත් ඇඟිලි නොගහපු නිසා අදත් තමන්ගේ තීරණය වෙනුවෙන් වැඩකරන්න ඒ වෙනුවෙන් ගන්න වෙන උත්සාහය වගේම ප්‍රථිපලවල වගකීමත් තමන්ට දරන්න ඕන කියන හැඟීම ඉස්සෙල්ලාම දුන්නෙ අපේ අප්පච්චි..

    ඒ වගේ ලස්සන මතක ගොඩක් ආයෙ ඇවිස්සුවට යු.දෙ. වීරයාට ගොඩක් පින්.

    ReplyDelete
    Replies
    1. දෝනිගේ හිත තේරුම් ගත්තු තාත්තා කෙනෙක්! වීරයෙක් වෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
  37. විභාගේ ඉවර වුණත් හරි නිස්කලන්කේ ඇවිත් කොටස් තුනම කියෙව්වා. කියන්න දෙයක් එක පාරට මතකෙට එන්නේ නැහැ. විභාගේ නිසා තාම අදහස් හිරවෙලා තියෙන්නේ.

    මට ආපු ප්‍රශ්නේ තමා මේ

    //...සීයා ඒ දවස් වල සුද්දන්ට කැලෑ සත්තු පෙන්වන ඩ්‍රයිවර් රාළහාමි කෙනෙක් නිසා....//

    ඒ සියගේ මුණුබුරා කාටද කැලෑ සත්තු පෙන්නන්නේ කියලා :D

    ReplyDelete
    Replies
    1. ඒ සියගේ මුණුබුරා කාටද කැලෑ සත්තු පෙන්නන්නේ කියලා :D// ලියලා මැකුවයි කියලා හිතාගන්ඩ!

      Delete
  38. //UHS, VHS// මේ දෙක UHF සහ VHF විය යුතුයි. මගේ තාත්තා මේ වගේ දේවල් වලට දක්ෂ කම් දැක්වුවේ නෑ. අපේ ගෙදරට ටී.වී. එක ආපු දවසේ ඉඳලා මම තමයි ඒක ඔපරේට් කලේ. ඒ කාලේ අපේ ගෙදරට ආව පාලිත කියලා අයියා කෙනෙක් එක්ක එකතු වෙලා අපි වෙනම ඇන්ටනාවකුත් හැදුවා. අපේ තාත්තට වීරයා වෙන්න බැරි වුනේ මම වීරයා වෙච්ච නිසා. අපේ තාත්තා වීරයා වෙලා හිටියේ රේඩියෝවට. වැඩ කරන්නැති වෙලාවට එකට කණේ පහරක් ගහන එක තමයි තාත්තගේ ක්‍රමේ.

    ReplyDelete
    Replies
    1. සුදීක,
      අකුර හදලා මේ කමෙන්ට් එකට ලින්ක් එකකුත් දැම්මා.... කාටත් වැඩිපුර තේරුම් යන්න.

      ඇත්තට ම ඒකාලේ රේඩියෝ ටීවි වලට ගැහුවම එක පාරට ගහපු කෙනා වීරයා කරගෙන ඒවා හොඳට වැඩකරන්නෙ කොහොමද කියන එක තමා ගැටලුව නේද? අපේ අර දහිර වාට්ටුවක් තාත්තගෙන් කොච්චර ගුටි කන්න ඇද්ද හැබෑට‍

      Delete
    2. ටීවී රේඩියෝ එක්පර්ට්ලා නම් කියන්නෙ රත්වුනාම ඔය එක එක ඉලෙක්ට්‍රොනික් කෑලි ලූස් වෙලා පින්තූර හඬ අපැහැදිලි වෙනවය හරියට ගහපුවාම ඒවා ටිකක් එහා මෙහා වෙලා ආපහු සෙට් වෙන නිසා හරියට පින්තූර පේනවය කියලා..

      Delete
  39. තාත්තලාගේ වීරකම් ගැන බ්ලොග් පොස්ට් තුනකින් කියල ඉවර කරන්නේ කොහොමද? කාලෙකින් කියවපු ලස්සනම ලිපියක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්පනා....!

      Delete
  40. මේ සියලුම දේවල් කියද්දියි ආයෙ ආයෙත් හිතලා බලද්දියි ඔය කියන හැම දේකටම මගේ ජීවිතේ සමාන කරන්න ඉන්නෙ එකම එක කෙනයි ඒ මගේ අම්මා මගේ ජීවිතේ මට උඩුගම්බලා පීනන්න හයිය දීපු පළවෙනි වීරයා(වීරවරිය) මගේ අම්මා

    ReplyDelete
  41. මුල ටිකනම් හරිම කම්මැලියි බුද්ධි. තව ටිකාක් සුංදර කළානම් මරු. මොකද අපිට හුගාක් හුරු කථාවක් තමා මුල හරියෙ යන්නේ.

    ඒත් අවසානය සුන්දරයි. ඉහ මොළ රත්වෙලා පපුවේ මොනවාදෝ හිරවෙලා කෙලගිලගන්ඩ අමාරුයි වගේ දැනුනා. මොකද අපිට අපේ තාත්තා දැන් වීරයෙක් වගේ දැනෙන නිසා.
    මගේ තාත්තා ඒ වගේ අලුත් දේවල් අල්ලගන්න කෙනෙක් නෙවෙයි. ඒත් එයාගේ දැනුමට ගහන්න කෙනෙක් හිටියෙ නෑ. මට පොත්වල අගය කියල දුන්නෙ තාත්තා. ඒත් මම හත්ගවුවක් තාමත් පිටිපස්සෙන් තාත්ත හෙමින් ගියත් මට එයාව පහුකරන්න තියා ළං වෙන්නවත් බෑ.
    බුද්ධිට තුති

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...