2013/09/02

ගැසට් බෝට්ටුව - කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතාවක් !

දවසක් බොහොම උද්යෝගිමත් තාලෙට - ඉර තමන්ගේ එලියෙන් හවස් වරුව උණුසුම් කරන්න ඔන්න මෙන්න කියලා තිබුනා. මෙන්න එක පාරටම හැම දෙයක් ම වෙනස් වුනා. මායාකාරයෙක්ගේ විජ්ජාවකින් වගේ අහස අඳුරු වෙලා ගියා. ටිකකින් කොහේදෝ තිබ්බ කැටි වළාකුලු වගයක් උණුසුම් හුළගක පාවෙලා ඇවිල්ලා අපේ ගම කෙලින් හිටියා. තවත් ටික වෙලාවකින් අපේ ඇස් වලට නොපෙනෙන ඒවයේ ධණ රිණ අංශූ එකට ගැටුනා. ප්‍රතිඵලය වුනේ බලපු හැටියේ ඇස් නිලංකාර වෙලා යන විදිහට අහස ඉරිතලපු එකයි. එක්කම අහස පැලිලා යන්න තරම් ලොකු හෙන පිපිරුවා. ඊටත් පස්සේ ගම හිටි හැටියේ වැහි බිංදුවලින් වැහිලා ගියා. ඒවා කැටපොල් වලින් විදපු ගල් කැට වගේ තැපැල් කන්තෝරුවේ වහලේ වැදුනා.

හිටි අඩියේ වුනු මේ වෙනස නිසා හවස් වරුව ගෙවන්න මම හදලා තිබනු සැලසුම් සේරම වෙනස් කරන්න වුනා. මම වහාම වැස්සට ලැස්ති වුනා. මම හිතාගත්තා එංජින් බෝට්ටුවක් හදන්න. වැස්ස තව පැයක් දෙකක් අල්ලලා හිටියොත් පාර දෙපැත්තේ කානුව පිරිලා වතුර ගලාගෙන යන්න පටන් ගන්නවා. වතුර පාර තැපැල් කන්තෝරුවේ වැට මායිමේ තියෙන කොස් ගහ හන්දා දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන වතුර පාරෙන් එකක් පාරට සමාන්තරව ගලාගෙන යනවා. අනික අපේ වත්තට හැරෙනවා. ඒක ප්‍රධාන වතුර පාරට එකතු වෙන්නේ අපේ කන්තෝරුව වටේ ගිහිල්ලා චාලි මුදලාලිගේ වත්ත හරහා පැති බෝක්කුව තරණය කලාටත් පස්සෙයි. මම කරන්න යන්නේ ජාති එංජින් බෝට්ටුවක් හදලා වැඩි මහන්සියක් නැතුවම තැපැල් කන්තෝරුවේ ඉස්තෝප්පු කෑල්ලේ ඉඳලම බෝට්ටුව දියත් කරන්නයි.

තාත්තගේ තැපැල් කන්තෝරුව කියන්නේ කඩදාසි ගුහාවක්. මං වගේ නව නිර්මාණ කරන්න කැමති ළමයෙක් තැපැල් මහත්තයෙක්ගේ පුතෙක් වෙන්න ජාති ජාතිත් පෙරුම් පුරන්න ඕනේ. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු හඳේ ඇනෙන්න තරම් ඉහල යන්න පුලුවන් රොකට් එකක් හදන්න ඕන වුනා කියලා. ඒකට මම පාවිච්චි කරන්නේ කහපාට හරි හතරැස් කොලේ. ඒක තාත්තලා, රණවීර මාමාලා පාවිච්චි කරන්නේ තැපැල් මල්ල ගැටගහලා ඒක උඩ විස්තරේ ලියලා යවන්න.  ඒක නියම විදිහට නමලා, ලාකඩ වක්කරලා, සීල් එක තියලා කොහේවත් තියෙන තැපැල් කන්තෝරුවකට පිටත් කරනවට වඩා හොඳ නැද්ද දෙතුන් පාරක් නමලා රොකට් එකක් හදලා තුන්පාරක් පිඔලා උඩ යවලා ඒ කඩදාසියට නියම වටිනාකමක් දෙන එක?

තැපැල් කන්තෝරුවේ ප්‍රධාන රාක්ක හතරක් තියෙනවා. පළවෙනි එක බෙදන ලියුම් වෙන් කරන තැන. අනිත් රාක්කේ තියෙන්නේ කන්තෝරුවේ වැඩ වලට අදාල පොත් පත්. ඉතුරු රාක්ක දෙක පොඩියි. එකක් තැපැල් කන්තෝරුවේ ප්‍රයෝජනයට අරගෙන ඉවරවෙලා අයින් කරන්න නියමිත පොත්. අවශ්‍ය වුනොත් ගන්න කියලා ඒවා කාලයක් යනකල් රාක්කේ වේලෙනවා. එතකොට අනිත් රාක්කේ? ඒක තාත්තගේ වැඩකරන මේසෙට අතේ දුරින් තියලා තියෙනවා. මගේ නව සැලසුම් වලට අදාල ලිපි ද්‍රව්‍ය වලින් වැඩිහරිය තියෙන්නේ එතන! ටෙලිග්‍රෑම් කොල, තැපැල් මල්ලේ නම ලියන කොල, දිග ලියුම් කවර, කොට ලියුම් කවර, මුද්දර කවර, රට ලියුම් කවර, විවිධ වර්ගයේ මුද්දර සිය ගණන් පිරුණු මුද්දර පොත් එවායින් ටිකක්. ඊට අමතරව රාක්කේ උඩම ලෑල්ල වෙන් කරලා තියෙන්නේ ගැසට් පොත් වලට. හැම මාසෙකම තැපැල් කන්තෝරුවට එන ගැසට් පොත් පිලිවෙලට රාක්කේ උඩම වැජඹුනා. කාලයක් තිස්සේ එකක් පිටිපස්සේ එකක් තියලා දැන් ගැසට් පේලියත් සෑහෙන දිගට වැවිලා. ගැසට් එක ආපු හැටියේ තාත්තා කරන්නේ ඒක කෙලවරක ඉදලා කියවන්න ගන්න එක. ඊට පස්සේ ගමේ ඉගෙන ගත්තු අයියලා අක්කලාට පාරේ යන අය අතේ පණිවිඩ යවනවා සුදුසු රැකියාවක් තියෙනවා ඉල්ලුම් පත්තරයක් දාන්න වෙලාවක එන්න කියලා. මට නං ඔය ගැසට් පත්තරේ වැදගත් වෙන්නේ ඒ කාරණාව හන්දා නෙමෙයි. ගැසට් පොතේ කොල නැමුවොත් නැමුව තැන විතරක් නැමිලා තියෙන හොඳ හයිය කොලේ! අන්න ඒකයි.

ගැසට් පොත බෑලු බැල්මට අනිත් පොත් වලට වඩා වෙනස්.
________________________________________________________________________________

ගැසට් පත්‍රය 
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ගැසට් නිවේදනයයි.
______________________________________________________ 

මුල් පිටුවේ ඔන්න ඔය විදිහට බොහොම ගාම්භිර තාලෙට ලියලා තියෙනවා.  අදාල මාසයට අයිති අලුත් ම අලුත් ගැසට් පොත් අපේ කන්තෝරුවට එන්නේ ටවුමේ ඉදලා එන තැපැල් මල්ලේ. තැපැල් මල්ල ඇරපු හැටියේ මුලු කන්තෝරුවම අලුත් කඩදාසි සුවඳින් වැහිලා යනවා. එයින් එකක් අතට ගත්තම ඉස්කෝලේ ලොකු සර්ගේ කාර්යාලයට ගියා වගේ හරි අමුත්තක් දැනෙනවා.

කොහොමහරි එදා වැස්ස දවසේ මගේ නිර්මාණය -  මගේ ඇන්ජින් බෝට්ටුව හදන්න මේ ගාම්භීර පොත් වලින් හොඳටම පරණ පොතකින් එකම එක කොලයක් ගන්න තීරණය කලා. මොකද පරණ පොතකින් එකක් ගත්තා කියලා මේ ලෝකේ විරැකියාවෙන් පෙලෙන කාටවත් අසාධාරණයක් වෙන්නෙ නෑ. මේ පොත් දැන් අතීතයට අයිති දේවල් නේ.

ඇන්ජින් බෝට්ටු හැදිල්ල මට කොච්චර ලේසිද කියනවා නම් මට පුලුවනි හමුදා සෙබළෙක් එයාගේ තුවක්කුව ගලවලා නැවත සවිකරණවටත් වඩා වේගයෙන් බෝට්ටුව හදන්න. බෝට්ටුව හැදුවට පස්සේ තාත්තගේ තීන්ත පෑන අරගෙන බෝට්ටු බඳේ මම මෙහෙම ලිව්වා. “කෙහෙල්කොටුවේ චූටි මහත්තයාට අයිතියි.“ ඊලගට අනිත් පැත්තේ Made in Sri Lanka කියලා ලිව්වා. කවුද දන්නේ මේ බෝට්ටුව කොහේ ගිහින් නතර වෙයිද කියලා. දැන් මම මේක තැපැල් කන්තෝරුවේ ඉස්තෝප්පුව ළගින් දියත් කරනවා. ඊලඟට චාලි මුදලාලිගේ වැට මායිමේ බොක්කුවෙන් පනිනවා. වසන්තලාගේ අම්මලා පොල් අතු පොඟවන ඇලට වැටෙනවා. ඊලගට මහවැලි ගගට. ඊටත් පස්සේ මුහුදට. එතනින් ඉන්දියාව පැත්තට ඇදිලා යයි. ඊලගට ඉන්දියාවේ වයසක ධිවරයෙක්ගේ දැලේ පැටලෙයි. එයා දැනගනිවී මේ බෝට්ටුව අසල්වැසි රටේ එකක්ය කියලා. එයා තමන්ගේ වෙව්ලන වම් අත තමන්ගේ කටේ වම්පැත්තේ සිරස්ව තියලා කෑගහලා අවට දියඹ තරණය කරන තමන්ගේ සඟයින්ට කෑ ගහයි. “මෙන්න බලාපල්ලා.... අල්ලපු රටේ පොඩි එකෙක් මෙහාට බෝට්ටුවක් එවලා“ කියලා. ඒ එක්කම එයා ඈත ඉන්න තමන්ගේ සගයින්ට පැහැදිලිව ඇන්ංජින් බෝට්ටුව බලාගන්න ඒක උඩට කරලා අල්ලගනියි. ඒ එක්කම අනිත් සඟයොත් කරන්න ගිය වැඩේ පැත්තකින් දාලා ආපිට තමන්ගේ බෝට්ටු හරවගෙන එයි. ඒ ගොල්ලන්ගේ ඇස් පුදුමයයි, කුතුහලයයි නිසා පුංචි වෙලා නළල රැලි වැටිලා තියෙයි. අන්තිමේ ඒ අය අර වයසක ධීවරයා වටේ රැස් වෙලා “දෙවියනේ ලංකාවේ ඉදලා මෙහාට කඩදාසි බෝට්ටුවක් ඇවිත්..... මේක නං හාස්කමක්....“ කියලා ඉහලට ගත්තු හුස්ම පහලට ඒවි කියලා බයෙන් තමන්ගේ කටවල් අතින් වහගෙන පුදුමෙනුත් පුදුම වෙලා මේ දිහා බලාගෙ ඉදියි. ඊටත් පස්සේ එතන ඉන්න බුද්ධිමත් තරුණ ධීවරයෙක් “කෝ බලන්ඩ මෙහාට දෙන්ඩ බෝට්ටුව.... බලමු මේක හදපු ළමයගේ නම සටහන් කරලා තියෙනවද මෙතන.....?“ කියලා බෝට්ටුව අතට අරගෙන හොඳට විපරම් කරයි. මේවා මතක් වෙද්දි මාව නිකං පුපුරන්න වගේ දැනුනා. මම වහාම ඉස්තෝප්පුවට ගිහිල්ලා බෝට්ටුව දියත් කලා.

හැමදේම හොඳ විදිහට වුනා. බෝට්ටුව වතුර පාරේ ඈතින් ඈතට ගිහිල්ලා ඒ වීර චාරිකාව පටන් ගත්තා.

දවස් දෙක තුනක් ගෙවුනා. එදා මම පාගන සයිකලේ පරිනාමය ගැන කියවෙන පින්තූර පොතක් බල බලා හිටියෙ. හිටි හැටියෙම තාත්තගේ වචන වගයක් ඇවිදින් මගේ කණ්බෙරේ වැදුනා. ඒක එච්චර හොඳ වැදිල්ලක් නෙමෙයි. මම හැමදේටම ලැස්ති පිට කන්තෝරුව පැත්තට ගියා. තාත්තා ගැසට් පොතක් තියාගෙන තරහා මූණක් හදාගෙන හිටියා. පොතේ පිටු වගයක් අඩුයිලු. ඒ බව එලිවෙලා තියෙන්නේ ගැසට් පොත බලන්න ආපු මීණු අක්කයි එයාගේ කාණ්ඩෙයි දුන්නු ඔත්තුවක් හන්දා. මේ දැන් ඔයගොල්ලන්ට හිතුනා වගේ තමයි. මටත් හැමදේම තේරුම් ගන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. මම පරණ ම පරණ ගැසට් පොත කියලා අරගෙන තියෙන්නේ අලුත් ම අලුත් ගැසට් පොත. මට තාත්තගේ මූණ බලනවා තියා ඒ ගැන හිතන්නවත් අමාරු වුනා. ඒත් මම අවස්ථාවට උපරිමයෙන් ලෑස්ති වුනා. හරියට පරාජය නියත යුද්ධයක් මෙහෙයවන්න නියෝග ලැබුනු ජෙනරාල් කෙනෙක් වගේ.

තාත්තා මාව දැක්ක හැටියේ,

“කෝ මේකේ ඉතුරු කොල ටික......“ කියලා ඇහැව්වා. ඇත්තටම ඒක අසාධාරණ ප්‍රශ්ණයක්. හරි නම් තාත්තා පළවෙනි ප්‍රශ්ණෙ හැටියට අහන්න ඕනේ “චුටි මහත්තයා ඔයා මේ පොතේ කොළ එහෙම ගත්තද?“ කියලා. ඒත් තාත්තා පළවෙනි ප්‍රශ්ණය වෙනුවට කෙලින්ම ඇහැව්වේ දෙවෙනි ප්‍රශ්ණය. ඒ නිසා මම අසරණ වුනා.

“එදා බෝට්ටුව හදලා තියෙන්නේ ඒකෙන්ද කොහෙද?“ මට ඉබේටම කියවුනා. තාත්තා නලලේ අත ගහගත්තා. චටස් ගාලා සද්දෙකුත් එක්ක.

“දැන් කෝ ඒක....“

 “හදලා යැව්වා“

 “හදලා යැව්වා.......... කොහාටද?“

ඇයි දෙවියනේ! නියමුවෙක් නැතුව, කිසිම පණිවිඩ හුවමාරු ක්‍රමයක් නැති ව බෝට්ටුවක් දියත් කලාම කාටද කියන්ඩ පුලුවන් ඒක මොන පැත්තට පාවෙලා ගියාද කියලා. ඒත් මම “අර පැත්තට......“ කියලා ජපානේ පැත්තට අත දික්කරලා ඔහොම්ම ම ඒක මධ්‍යම අප්‍රිකාව පැත්තට හැරෙව්වා. ලෝක බෝලයෙන් සෑහෙන කොටසක් අහුවෙන විදිහට.

ඒක දැකලා තාත්තා පරල වුනා. “චූටි මහත්තයා..........“ තාත්තා තරවටු ස්වරයෙන් මොනවද කියන්න ගිහින් ඒ ටික ගිලගෙන දත්මිටි කෑවා. ආපහු මා දිහා කෙලින් බලපු තාත්තා “මම කොල ටික හොයාගෙන එනකල් මෙතන දණ ගහගෙන ඉන්ඩ ඕනේ හරිද?“ කියලා කන්තෝරුව පිටිපස්සට ගිහිං වතුරට හැදුනු ගං ඉවුරු දිගේ බෝට්ටුව හොයන ඒ වීර චාරිකාව පටන්ගත්තා.

බෝට්ටුව දැන් ඉන්දියාවට ගිහිල්ලා ඇති. තාත්තා පයින් ම ඉන්දියාවට යන්න යැයි. බෝට්ටුව තාත්තට හම්බවෙන්නේ නෑ කියන්නේ, ගැසට් පොතේ පිටු ව කවදාවත් තාත්තට හරිගස්සන බැරි වෙනවා කියන එකයි. ඔහොම හිතාගෙන යද්දි මගේ ඉරණම ගැන මට ම හිතා ගන්න බැරි වුනා. මට වයසට යනකල්ම මෙතන දණ ගහගෙන ඉන්න වෙයි. ඔහොම හිතලා ඉවර කරන්න වුනේ නෑ, ඔන්න තාත්තා මතු වුනා, එක අතක ජාති එංජින් බෝට්ටුවකුත් එක්ක. එංජින් බෝට්ටුව හොඳටම මුහුදු බත් වෙලා. වහලේ කොටස වතුර පාරට දියවෙලා ගිහිල්ලා. මුලු බෝට්ටුව ම පුලුන් අලවලා වගේ කෙඳි මතුවෙලා. ඒ මදිවට තණකොල ගස්වල මුල් වගයක් බෝට්ටු බඳේ ඇලිලා. ඒ අතරින් බඳේ තවමත් සම්පූර්ණයෙන් ම මැකිලා නොගිය තනතුර, ඉල්ලුම් කරු, සුදුසුකම් වගේ වචන මම අමාරුවෙන් කියවගත්තා. ඒත් මම බෝට්ටු බඳේ ලියපු එක වචනයක් තියා, වචන ලියපු සේයාවක් වත් හොයාගන්න බැරි වුනා. ඒ මොකද මම අකුරු ලිව්වේ තීන්ත පෑනෙන්! තාත්තා බෝට්ටුව සීරුමාරුවට දිග අරින්න ගියා. අවාසනාවක මහත කියන්නේ වැස්සට පෙඟිලා අව්වට වේලිච්ච මගේ ඇංජින් බෝට්ටුවේ බඳ පරණ පාං ගෙඩියක් වගේ වෙලා තිබුනා. ඒක තාත්තා අල්ලන අල්ලන තැනින් කෑලි කෑලි කැඩී කැඩී ගියා. තාත්තට කර කියා ගන්න දෙයක් නෑ. මීනූ අක්කලත් වෙලාවකට හිනා වෙවී, වෙලාවකට මට රව රවා මේ අවස්ථාව අන්තිම භයානක අඩියකට දැම්මා.

“දැක්කද වෙලා තියෙන දේ............“ තාත්තා කෑ ගැහැව්වා. ඒ එක්කම හොදවයින් ටොකු දෙකක් ඇන්නා කන් දෙකෙන් තරු විසිවෙන්න.

“දැක්කද වෙලා තියෙන දේ...........“ තාත්තා ආයිමත් ඇහැව්වා.

“ඔව්....“ මම අසරණ මූණක් හදා ගෙන කිව්වා.

“ඔව්....! ඔව් තමා.... හොඳ වෙලාවට මේක මේ මනුස්සයෝ දැක්කේ, අයි අයි මහත්තයා ආපු වෙලාවක මේක දැක්ක නං මගේ රස්සාවත් ගහලා යනවා...... බලන්ඩ දුවේ මේ කොල්ලා කරලා තියෙන දේ.....“ තාත්තා මීනු අක්කා ප්‍රමුඛ එයාගේ කාණ්ඩේ පැත්තට මුහුදු බත් වෙච්ච බෝට්ටුව පාලා කිව්වා.

“ඇයි මාමා මෙයාව කල්පිටිය පැත්තේ කරෝල වාඩියකට විකුණලා දැම්මෙ නැත්තේ............. උන් කැමති වෙයි මේ වගේ දකින දකින එව්වයෙන් බෝට්ටු හදන කොල්ලන්ට.....“ මීනු අක්කා මට රවන ගමන් කිව්වා.

“කරොල වාඩියකට විකුණලා මදි...... මේ ළමයා එක වතාවකට එක වැරැද්ද ගානේ හදාගත්තා නං දැන් හොඳ ළමයෙක් වෙන්න කල්....... ඕනෙම ළමයෙකුට වැඩිහිටියෙක් වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක තේරුම් ගන්න ශක්තියක් තියෙන්න ඕනේ.......“ කියලා තාත්තා මා දිහා බැලුවා. දැන් හැමදේම ඉවර කරන්න වෙලාව හරි කියලා මට දැනුනා. මම මේ දේවල් හිතා මතා කරපුවත් නෙමයි. අනික තාත්තලාගේ පුතාලගේ ප්‍රශ්ණ වලට කොහෙවත් ඉන්න අම්මණ්ඩිලා ටිකක් මැදිහත් වෙනවට මම කොහොමත් කැමති වුනේ නෑ. ඉතින් තැනේ හැටියට හිතලා මම අසරණ මූණක් හදාගෙන මෙහෙම කිව්වා.

“ඊ ලඟ පාර මම හොඳට හොයලා බලලා වැඩ කරන්නම්.....“

“ඔය ඇත්තමද? කිවෙනි පාරටද ඔයා ඔය කතාව කියන්නේ මට..........“

“මේ අන්තිම පාර......“ මම හැමදාම වගේ ස්ථිරසාර විදිහට කිව්වා.

“අන්තිම පාර....., මේ පාරවත් හැදුනේ නැත්තං ඉතින්.....දන්නවනේ වෙන දේ.....!“ තාත්තා දෙපැත්තට ඔලුව වනලා ඉදිරියෙ දී මට වෙන්න තියෙන භයානක සිදුවීමක් දිවැසින් දැක්කාම වගේ කණගාටුව පෙන්වන මූණක් මවා ගත්තා.

“ඔව්....“ මම ස්ථිර අධිෂ්ඨානයෙන් කිව්වා. හැමදාම වගේ!

එදා මම තේරුම් ගත්තා මම ලොකු වැරැද්දක් කරලා තියෙනවා කියලා. බාගදා මේ වැරැද්ද මගේ අනාගත ජිවිතේට උනත් නුහුරට බලපාන්න තිබුනා. ඉන්දියාවට නොගිහින් මඟදි මුහුදුබත් වුනු බෝට්ටුව මට උගන්වපු හොඳම පාඩමත් ඒකයි. අනිත් අතට තාත්තා කිව්ව විදිහට වැරදි තේරුම් ගැනීමේ ශක්තිය මට හොඳටම තියෙනවා කියලා මම දැනගත්තා. ඉතින් මම එක වැරැද්දක් නැවත කවදාවත් නොවෙන විදිහට හදාගත්තා. ඒ ඊලග වස්සාන කාලේ මම ගැසට් පොත්වලින් හදපු එකම බෝට්ටුවකවත් මගේ නමයි, රටේ නමයි ලියන්න තීන්ත පෑන පාවිච්චි නොකරපු එක. ඒ වෙනුවට මම කාබන් පෑන පාවිච්චි කලා! මොකද මම එදා දැනගත්තා වතුර වැටුනු හැටියේ තීන්ත පෑනෙන් ලිව්ව අකුරු හේදිලා සදහටම මැකිලා යනවා කියලා.

ඉතින් ඔය ගොල්ලත් හොඳට හිතලා බලන්න, වැඩිහිටියෙක් වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක තේරුම් ගන්න ශක්තියක් ඔයගොල්ලන්ගේ හිත්වලත් තියෙනවද කියලා, හරියට මේ මට වගේ.....! 


.................
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

88 ක් කියන්නේ !:

  1. මමත් හොඳින් ඉගෙන ගත්තා බෝට්ටුවක් හදනකොට කරන්ට ඕනි වැඩ. හී හී...

    මේ අපරාදේ කියන්ට බෑ ඔයාගේ ලිවිල්ල නම් හරිම ලස්සනයි චූටි මහත්තයෝ. විශේෂයෙන් අර වැස්ස වැහැපු හැටි. ඊලඟට බෝට්ටුව ඉන්දියාවට යයි කියලා හීන මවන කෑල්ල.

    ඔයා නම් හිතක රූප අඳින්ට හරිම දක්ෂයෙක්!!!

    ReplyDelete
    Replies
    1. "ඔයා නම් හිතක රූප අඳින්ට හරිම දක්ෂයෙක්!!!"
      ඉන්තේරුවෙන්ම!

      Delete
    2. පොඩ්ඩි, ස්තුතියි. වෙන වචන ලියන්න දෙයක් නෑ. මේ කමෙන්ටුව සෑබෑම දිරිමත් කිරීමක්. (දිරිමත් වුනාට ලියන්න තමයි වෙලාව නැත්තේ :D)

      Delete
  2. කියල වැඩක් නෑ බුද්ධි බොහොම අපූරුයි
    මේක පත්තරේකට යවන්න

    ළමයි දෙන්නට දඬුවම් දුන්නම එයාලා කරන ඔයවාගේ අභිනයන් ("...කියලා ජපානේ පැත්තට අත දික්කරලා ඔහොම්ම ම ඒක මධ්‍යම අප්‍රිකාව පැත්තට හැරෙව්වා...") මතක් වෙලා දුකත් හිතුන

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා,
      ස්තුතියි. මොකුත් නොලිව්වත් කමත් නෑ. තිස්ස අයියාගෙන් කමෙන්ට් එකක් ගන්න එක “පිහාටුවක්“ ගන්නවා වගේ අමාරු හන්දා, දාන කමෙන්ටුවත් හෙනට අගෙයි.

      ස්තුතියි අගය කිරීම ගැන.

      Delete
    2. වොලියුම් වහල ඉබ්බ කියල කියපු අපූරුව

      Delete
  3. යකෝ චූටි මහත්තය රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදියෙක්නෙ. පොඩි කාලෙ ඉඳලම රජයේ දේපළ විනාශ කරල තියෙන්නෙ. :D

    බොට හොඳටම විස්වාසද තාත්ත කිවු‍වෙ 'අයි අයි මහත්තය' කියලද 'අයියයි මහත්තය' කියලද කියල.

    මොනව උනත් අපරාදෙ කියන්න බෑ කරපු වැරැද්දනං යස අගේට තේරුං අරන් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,

      ඇත්තටම මම ඒකාලේ හිතාගෙන හිටියේ අයියයි මහත්තයායි කියලා තමා. මම හිතුවේ අයියා තාත්තගේ තැපැල් කන්තෝරුව පරීක්ෂා කරන්න ආවාම ජීප් එකට වෙලා ඉන්නේ මහත්තයා කියලා.... :D ඕකත් චූටි මහත්තයගේ කතාවක්. මම ඕක කියන්නම් කියලා පොරොන්දු වුනේ බ්ලොග් ලියන්න ගත්තු අලුත. දැනටත් ඕය කතාව ලියන්නේ නැද්ද කියලා මකර මතක් කරන වාර එමටයි.

      Delete
  4. අපේ අම්මා නම් ප්‍රශ්න අහන්න කාලය නාස්තිකරන්නේ නෑ.. ඒක්කෝ බැනිල්ල පටන්ගන්නවා නැත්නම් ගහලම බනින්න ගන්නවා... හැබැ‍යි එකම දවසක ඇරෙන්න ඒ වැඩ වලට වගකිවයුත්තා උනේ මම ම තමයි.

    බෝට්ටුව අඩුම ගානෙ මහවැලි ගඟටවත් නොගිහින් තිබ්බ එක ගැන දුකක් ඇති වුණේ නෑ?

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඇයි ඉව තිබ්බෙ නැද්ද? අම්මා කතා කරද්දි දැනෙන්න ඕනේ මේ බත් කන්න දෙන්න ද කෝටු පාර කන්න දෙන්න ද කියලා. එතකොට පැනලා දුවන්න ඕනේ. ඊට පස්සේ ඈත ඉදලා අම්මා එක්ක සාම සාකච්ඡා කරන්න ඕනේ. අම්මට පේන විදිහට කෝලං කරන්න ඕනේ.... කොහොමහරි අම්මව හිනස්සලා තරහා නැති කරන්න ඕනේ.... බැරිම උනොත් බොහොම අහිංක තාලෙට බිත්ති දිගේ ලිස්ස ලිස්ස ඇවිල්ලා දඬුවම අවම කර ගන්න ඕනේ.....

      එදා බොට්ටුව ගමනාන්තෙට ගියානම් කොහොමද මම පාඩම ඉගෙන ගන්නේ...... හෙහ් හේ....

      Delete
    2. බැරිම උනොත් බොහොම අහිංක තාලෙට බිත්ති දිගේ ලිස්ස ලිස්ස ඇවිල්ලා දඬුවම අවම කර ගන්න ඕනේ..... :D

      Delete
  5. ඕක ඉන්දියාවට ගහගෙන ගියොත් නං පුතෝ ධීවරයො ටික ඕක අල්ලල ගෙනිහින් දෙයි ජයලලිතට හරි කරුණනිධිට හරි. ඊට පස්සෙ හදපු කෙනාව හොයාගෙන එයි ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කලාට නඩු දාන්න!

    ReplyDelete
    Replies
    1. මුහුදු මාමා ඕක කිව්ව එක හොඳයි. ඊලග දවසේ මම ඉන්දියාව පැත්තට යවන බෝට්ටු වල තීන්ත පෑනෙන් ම නම ලියන්නම් එහෙනම්......

      Delete
  6. දැන් දැන් චූටි මහත්තයාගේ කතාවක් කියවන්ට අපටත් ඇන්ජින් බෝට්ටුවක් හදාගෙන ඉන්දියාවටම යන්ට වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. බූරා, ඉන්දියාවට යන්න එපා. තම්බපන්නියට එන්ඩ.... :D

      Delete
  7. චූටි මහත්තයාගෙ කතාව කියවනකොට මට මතක් උනේ සිබිල් වෙත්තසිංහ මහත්මිය කල්පෙකට ඉස්සර පත්තරේට ලියපු සූත්තර පුංචාගෙ කතාව.. ඒ වගේම රස වින්දා ...

    ReplyDelete
    Replies
    1. සරත් අයියා,

      සීබිල් වෙත්තසිංහ නැන්දා සීටීසී ඉගල් රක්ෂණ සමාගම එක්ක එක්කහු වෙලා අනතුරු වලකමු කියලා පොතක් කරලා තිබුනා. ඒ පොත ළගක් වෙනකල් මා ලග තිබුනා.

      ස්තුතියි අගය කිරීම ගැන.

      Delete
  8. අනේ මට නම් හරිම දුකයි බෝට්ටු වලට වෙච්ච දේට. පුංචි දරුවෙක්ගෙ සිතිවිලි කොයිතරම් ලස්සනද , හැබැයි චූටි මහත්තයෝ ඔය නම් පුංචි කාලෙ හරිම දඟයෙක් වෙන්න ඇති :)

    ReplyDelete
    Replies
    1. සෝන්යා,

      සාදරයෙන් පිළිගන්නවා කෙහෙල්කොටුවට!

      මම දඟ ළමයෙක් නෙමෙයි. මම සෙනසුරාදා උදේම දහම් පාසල් යන, පංතියේ හොඳටම ඉගෙන ගන්න පුලුවන් ළමයිගෙන් එක්කෙනෙක්.... නමුත් මගේම වෙලාවට මම කරන ගොඩක් වැඩ වල කොස්සක් හිටිනවා හැමවෙලාවෙම නුහුරට. ඒ ගැන තව කියවන්න යන්න චුටිමහත්තයගේ කතා ලේබලේ තියෙන කතාවලට.

      කොහොමහරි පුංචි දරුවෙක්ගෙ සිතුවිලි තේරුම් ගත්ත එකට බොහොම සතුටුයි නැන්දේ....:D

      Delete
  9. උඹ වගේ නසරානියෙකුගේ තාත්තා වුනාම සෑහන අමතර ප්‍රශ්ණ තමයි. කවුද බං අයි අයි මහත්තයා කියන්නේ. දෙවෙනි අයි නම් ඉන්ස්පෙක්ටර් වෙන්නැති. පළවෙනි යි මොකක්ද?

    උඹලගේ තාත්තට තව විකල්ප දෙකක් තිබ්බා. එකක් තමයි ඔය ගැසට් එකේ ඉංග්‍රීසි කොටස බලන එක. අනික දෙමළ කොටස. ඒකටනම් ආධාර ගන්න වෙනවා.

    අපි අම්පාරේ උගන්නන කොට ගෙදර එන්නේ පදියතලාව හරහා මහියංගනය හසලක නුවර හරහානේ. ඔය පදියතලාව කිට්‍ටුව තිබ්බ එක පෝස්ට් ඔෆීස් එකක් ගාවා බස් එක නැවැත්තුවාම පෝස්ට් මාස්ටර් ගැසට් එකේ ඔතලා වල් ඌරු මස් විකුනනවා. තුවක්කුවත් එයාගෙමයි. මේ නිකම්ම නිකං ගෘහ කර්මාන්තයක්.

    ReplyDelete
    Replies
    1. 'මේ නිකම්ම නිකං ගෘහ කර්මාන්තයක්' ඒ කියන්නෙ වල් ඌරොත් එයැයිගෙමද?

      Delete
    2. අම්පාරෙ කොහෙද අප්පා ඉගැන්නුවේ? කොයි කාලෙද?

      Delete
    3. හෙන්රියා,

      මුලින්ම අහන්න තියෙන්නේ මීට සති දෙකකට විතර කලින් උඔට ලොකු වාසියක් උනාද කියලා? මේක දැක්කොත් මට උත්තරයක් දෙන්න.:D :D

      දැන් උත්තර දෙන වෙලාව-
      // කවුද බං අයි අයි මහත්තයා කියන්නේ. දෙවෙනි අයි නම් ඉන්ස්පෙක්ටර් වෙන්නැති. පළවෙනි යි මොකක්ද?// මේක ලියන්න කලින් මම තාත්තගෙන් ඇහැව්වා අයි අයි මහත්තයා කියන එකේ තේරුම. උඔ කියනවා හරි. දෙවෙනි පදේ ඉනිස්පැක්ටර් තමා. පළවෙනි එක මතක නෑ. තාත්තට දැන් කතා කලා (දැන් වේලාව රෑ.11.30) තාත්තා නිදිලු. හෙට අහලා කියන්නම්.

      //උඹලගේ තාත්තට තව විකල්ප දෙකක් තිබ්බා. // තාත්තට ඔය භාෂා දෙකම පුලුවන්. හැබැයි ඉල්ලුම් පත්තරේ දාන්නත්, එන අයට කියවන්නත් සිංහල තියෙන්න ඕනෙමයි, අනික මේවා සෙල්ලං වැඩ නෙමෙයි. (මට සෙල්ලං වුනාට)


      මේ නිකම්ම නිකං ගෘහ කර්මාන්තයක්.// ඇත්තට එහෙම බලද්දි මම හොඳයි.... මම මේක පාවිච්චි කලේම නව නිර්මාණ වලටනේ.... පානාති පාතා ඔතන්න නෙමෙයිනේ....!


      අනිත් එක උඔ අම්පාරේ හිටියේ දුෂ්කර අවුරුදු ගානෙද? ඔය ඉෂාරත් 97 විතර අම්පාරේ ඔරලෝසු කනුව හරියේ ප්ලෙන් කඩයක් දාගෙන හිටියලු.


      Delete
    4. II කියන්නෙ Inventory Inspector නෙවෙයිද.??

      Delete
    5. බූරා, ආං හරි.... උඔ අපේ තාත්තට කෝල් කලාද?

      Delete
    6. බුරා උඹලෑ තාත්තට ඇහැරවලා අහගෙන වගේ මටත් පේන්නේ. ස්තුතියි බුරා.

      බුද්ධි, මොකක්ද බං වාසිය? මට එහෙම එකක් නම් හිතාගන්න බෑ.

      Delete
    7. හෙන්රියා,

      අයියෝ වාසියක් වුනේ නැද්ද? මම උඔව හීනෙන් දැක්කනේ. උඔ අපේ හොස්ටල් එකේ ලොක්කෙක් වෙලා අපිට ඔවදන් දෙනවා.... හෙහ් හේ.... මම එදාම ඇෆ්බී එකේ පණිවිඩක් තිබ්බා උඔට. අපරාදේ උඔ ලොතරැයියක්වත් ගත්තේ නැද්ද? මං නං ගත්තා. 100/- ක් දින්නා.! :D

      Delete
    8. ඉෂාරගෙ ප්‍රශ්ණේ මග ඇරුනනේ. මම හිටියේ අසූ ගනංවල ඉෂාර. අනූ හතේ මම හිටියේ කොළඹ. මෙන්න මේක බලන්නකො හිටපු හැටි දැනගන්න.

      http://bluejeansntshirts.blogspot.com/2013/08/89.html?showComment=1376533842283#c2394367079689992127

      Delete
  10. අපේ අප්පච්චගේ කන්තොරුවේ කොල වලිනුත් මෙහෙම වැඩ කරන්න ආසාවක් තිබුනක් එහෙම නොකලේ මගේ හොඳ වෙලාවට කියලා හිතුනෙ මේක කියෙව්වට පස්සේ...!!

    ReplyDelete
    Replies
    1. රූ, අයියෝ අපරාදේ අපට කතා දෙක තුනත් අහන්න තිබුනු අවස්ථාව. ඒත් ඉතින් ගැල්ලමයි කොළ වලින් මක් කරන්නද? බෝනික්කෙක් හිටියනං හොඳටෝම ඇති. වරුවක් නලවා නලවා ඉන්න.

      තව හොඳ හොඳ වැඩ තියෙනවා. දවසක් අයි අයි මහත්තයා එද්දි මම හිටියේ තාත්තගේ තැපැල් මේසේ යට. තාත්තගෙන් එයා ඇහැව්වා පුතා කෝ කියලා. තාත්තා නැමිලා මෙසේ යට ඉන්න මා පෙන්නුවා. අයි අයි මහත්තයත් ටයි එකේ වැදගත් කම පැත්තකට දාලා පුටුව පස්සට ඇදලා දෙකට නැමිලා මමත් එක්ක හිනා වුනා.... හොහ් හෝ....

      Delete
    2. අපේ අප්පච්චි වැඩකලේ බැංකුවේ..ඒකේ තියන කොළවලින් නව නිර්මාණ කරන්න ගියානම් හැමෝම අමාරුවේ..!!

      ඇයි ගෑල්ලමයින්ට බැරිද බෝට්ටු හදන්න හහ්..ඕකනේ කියන්නේ චුටි මහත්තයා කට වරද්දගන්නවා කියලා..

      බුද්දිට මතකද මන්දා ඒ දවස්වල කොලයක් හම්බවුනාම ඒකෙන් නෙළුම් මලක් වගේ එකක් හදලා ඒකේ පෙති හතරේ පාට ගාලා යාළුවන්ට දෙනවා තෝරන්න..තෝරලා තෝරලා අන්තිමට තෝරන එක බලලා එක කිය කිය දවසම විහිළු කරනවා..
      ඒ වගේ හදපු එකක් ඉන්ටනෙට් එකේ හෙව්වත් හම්බ වුනේ නෑ..ඒක ටිකක් මේ වගේ
      http://i1.ytimg.com/vi/eGPK1vvdyLE/hqdefault.jpg?feature=og
      ඔන්න ඕවගේ දේවල් තමයි ගෑල්ලමයි හදන්නේ..!!

      Delete
    3. බීටල්ට පින්සිද්ද වෙන්න හරි වචනේ හොයාගත්තා..
      ඒවට කියන්නේ Cootie Catcher/Chatterbox, Whirlybird/Salt Cellar කියලාලු..
      cootie catcher

      Delete
    4. රූ, ඇත්තට ඔය වගේ මල් හදන එක ඒ කාලේ ජනප්‍රියයි තමා. ඒත් මම නං දන්නෙ ම නෑ. ඔය සෙල්ලම කරන හැටිත් දන්නේ නැ. කියලා තියෙන හැටි තේරෙන්නෙත් නෑ, වඩාත් කෙටියෙන්, වඩ වඩාත් කෙටියෙන් කියලා දිලා තියෙන නිසා.

      ඒ කොහොම වෙතත් හැබැයි යූ ටියුබ් එකේ ඔරිගාමි ලෝටස් ෆලවර් කියලා නිකමට සර්ච් කොලොත් හදන හැටි දැනගන්න එකත් ඒ හැටි දෙයක් නෙමෙයි. මට නං සර්ච් කරන්න වෙන්නේ නෑ.... දැං ඉන්නේ බිල මෙව්වා කරන වැට කිට්ටුවමයි.

      ස්තුතියි. අපගේ බෝට්ටු ව්‍යාපෘතිය වෙත දක්වන අනුග්‍රහය සම්බන්ධව.

      Delete
    5. හරි හරි දැන් තේරුනා.....

      Delete
  11. ඕං බලපන් ඉතිං උඹ ලියන්න කම්මැලි එකෙන් වෙලා තියෙන වැඩක්. මමත් එක දිගට කියවගෙන ගියා, උඹ තාමත් පොඩි එකා වගේ ඇඟේ-පතේ නොගෑවි ලියන අපූරුව.

    මමත් පොඩි කාලෙ හරි කැමතියි තාත්තලගෙ ඔෆිස් එකට යන්න (ඒකෙ ප්‍රතිලෝමය තාත්තා, හරිම අකමැතියි අපි එක්ක යන්න :) ගියාම ඇහැගහගෙන ඉන්න එපෑයැ.) එක්ක ගියත් සෙනසුරාදා වගේ දවසක තමයි, ආණ්ඩුවෙ ඔෆිස්වල ඉතිං එදාට කීප දෙනයිනේ ඉන්නෙ. ඒ කාලෙ ඒ වගේ තැන් ඉතිං අපිට මහා විශාල නිධන් ගබඩා වගේ. කොච්චරනම් තිබුනද ගවේෂණය කරන්න. ඇවිදල මහන්සි උනාම නිකන් තියෙන ටයිප් රයිටරයකට කොළයක් දාන් ටකස් ටුකස් කොටන්නත් පුළුවන්, ඒකත් ජොලි වැඩේ.


    අර උඩ ඇරල නියම වටිනාකම දෙන තියරිය එහෙම උඹ මීට කලින් කාටවත් ම කිව්වෙ නෑනේ. අපේ වෙළඳ ඇමතිවරු හැම එකාම ඕක දන්නව බං.

    ReplyDelete
    Replies
    1. ආය මොනවද ඒක තමයි කට්ටිය රොකට් එකක්ම යැවුවෙ.

      Delete
    2. උඹ තාමත් පොඩි එකා වගේ ඇඟේ-පතේ නොගෑවි ලියන අපූරුව. // ස්තුතියි වැනිම ගැන.

      ඇවිදල මහන්සි උනාම නිකන් තියෙන ටයිප් රයිටරයකට කොළයක් දාන් ටකස් ටුකස් කොටන්නත් පුළුවන්, ඒකත් ජොලි වැඩේ. // ඒ කියන්නේ උඔටත් අද්දැකීම් තියෙනවා ඔෆිස් ගැන... තාත්තා සමහර දවස් වලට ටවුමේ මහ කන්තෝරුවට අපිව එක්කගෙන යනවා, උඔ කියනවා වගේ සෙනසුරාදා දවස් වලට. මහ කන්තොරුවේ තියෙනවා ටෙලෙක්ස් කියලා ඔය ටයිප් රයිටර් මැෂින් වගේ පණිවිඩ හුවමාරු කරන මැෂින් ජාතියක්. තැපැල් කන්තෝරු වල ටයිප් රයිටර් මැෂින් තිබුනේ නෑ මට මතක හැටියට. ඉතින් අපි ගහන්නේ ටෙලෙක්ස් මැෂිම. නැත්තං ඉන්ටකොම් වලින් කොල් ගෑනීම.


      ප්‍රසා, ඒ ගොල්ල දැන ගන්ඩ ඕන රොකට් එකක් උනත් කොච්චර උඩ යැව්වත් දවසක වැටෙනවා කියලා.

      Delete
  12. "මේ ළමයා එක වතාවකට එක වැරැද්ද ගානේ හදාගත්තා නං දැන් හොඳ ළමයෙක් වෙන්න කල්......"
    මමත් මේක මන්තරය වගෙ පුතාට කියනවා. කොල්ල ඒ වෙලාවට කට ඇරගෙන ඉන්නෙ ඇයි කියල මේක කියව්වහම මට තේරුම් ගියා.:D

    ReplyDelete
    Replies
    1. සුභා නැන්දවත්,

      සාදරයෙන් පිළිගන්නවා කෙහෙල්කොටුවට! සුභා නැන්දත් අපේ අම්මා වගේ පුතෙක්ගේ අම්මා කෙනෙක් ද? එහෙනං අවුරුද්දක් දෙකක් එක පිට ලියන්න කරුණු ඇති. පෙනෙන හැටියට නං බ්ලොග් එකක් ලියන්නෙ නැති පාටයි.

      බ්ලොග් එකක් ලියන්න. පුතාට ගැසට් ටිකක් එහෙමත් ගෙනල්ලා දෙන්න. දැම්ම තියා ගැසට් එක බලන්න හුරු කරවන එක හොඳයිනේ.... හරියට අපේ තාත්තලා වගේ.. හෙහ් හේ...

      Delete
  13. මරු කතාව ඕයි..
    කොහොම අදහස් හිතට එනවද මන් දා...
    www.safeyoutubelikes.com

    ReplyDelete
  14. සුපිරිම ලියැවිල්ලක් නේ.. මාත් මේ කතාව එක්ක බෝට්ටු යැවූ ඒ අතීතයේ සැරිසැරුවා

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා, දැං ළමයි බෝට්ටු හදන්න දන්නේ නෑ මම හිතන්නේ. මම හිතාගෙන ඉන්නේ රූවල් බෝට්ටුව, ඇංජිං බෝට්ටුව, කුරුම්බැට්ටි මැෂිම, පොල්කොල ඔරලෝසුව, පොල්කොල කණ්නාඩි කුට්ටම වගේ දේශිය නිර්මාන ඉගෙන ගන්න අයට පාඨමාලාවක් පටන්ගන්න කියලා....!

      Delete
    2. එක්දාස් අටසිය හතලිස් ගනන් කාලෙ ගැන නේද ඔය කියන්නෙ ?

      Delete
  15. //ඇයි මාමා මෙයාව කල්පිටිය පැත්තේ කරෝල වාඩියකට විකුණලා දැම්මෙ නැත්තේ............. උන් කැමති වෙයි මේ වගේ දකින දකින එව්වයෙන් බෝට්ටු හදන කොල්ලන්ට.....“ //
    මූව කල්පිටි නෙමෙයි යවන්න තිබුනේ කොටි හිටපු කාලේ සූසෙයි ගාවට.

    ReplyDelete
    Replies
    1. මූව කල්පිටි නෙමෙයි යවන්න තිබුනේ කොටි හිටපු කාලේ සූසෙයි ගාවට.//

      අරූට, මූට කාටවත් නොව, Aruට හිතෙන දේවල්..

      Delete
  16. කම්මැලි නැතුව ලියහන්කෝ බං. ආපහු ඉතින් ළමයෙක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් කියවලා විතරයි.

    ReplyDelete
    Replies
    1. itnishantha,

      කම්මැලි නෑ itnishantha. ඒත් වෙලාවත් නෑ. :D මමත් කැමතියි දිගටම ලියන්න. ඒත් වෙලාව නෑ. දිරිමත් කිරීම ගැන නං අනේක වාරයක් තුති.!

      Delete
  17. pivisenna http://videotutorialslk.blogspot.com/

    ReplyDelete
    Replies
    1. වෙලාවක බලන්නම්.... පොටෝෂොප් ටොප් සීක්‍රට් ගැන.

      Delete
  18. තැපැල් දෙපාර්තමෙන්තුව මේ තරම් පරිහානියට ලක් වෙන්න එහෙනම්ත් වග කියන්න ඕනේ එහෙනම්.

    ඒ වගේම චුටි මහත්තයගේ බෝට්ටු හදන වැඩේ දිගටම කරන ගියනම් විදේශ විනිමය උපයලා අර තැපෑලට කරපු වරද හදාගන්නත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. Manoj Fernando, මේ මොනවා කියනවද? කෝ ඉතින් අපිට අත දෙන්න කව්රුත් හිටියේ නැනේ :D

      Delete
  19. ඔය ඔක්කොමවන්ටම වග කියන්න ඕනා අර කබල් බෝට්ටුව. එයාට කියපු විදිහට ජරා රටටම ගියානම් ඔහොම වෙන්නෑනෙ..

    ලිවිල්ලනම් පන්කාදු පහයි, මල් හතයි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ඇත්ත. ඒත් මුහුදු බත් වුනු එකේ ලාභය තමයි, තීන්තේ පෑනේ තියෙන අවාසි ගැන දැනගන්න ලැබුනු එක. ටොකු දෙකකට ඔලුව මිඩංගු කලත් ඒක හොඳම හොයා ගැනීමක් - නැද්ද හොඳයි?

      ලියවිල්ල අගය කලාට තුති! මාගල් වගේ දිගම දිග ලිපි අපි කියවන්නෙත් ඔය ලියවිල්ලෙ හැකියාව හන්දා තමයි.

      Delete
  20. ඉතිං බං උඹට ඔය බෝට්ටුවකටම නැගලා යන්න තිබුණනෙ අහවල් රටකට. ෂික්
    ඇයි බං අර කරවල වාඩි සීන් එක සෙට් නොවුනෙ.
    උඹට චිත්‍ර හැකියාවනම් මව් උරුමයෙන්වත් ආවා කියමුකො. ඒත් මේ ලස්සනට ලියන එක ආවෙ කොහෙන්ද බං.
    උඹට අඳින්න වතරක් නෙමේ චිත්ත රූප මවන්නත් පුළුවන්
    අපි වගේ කම්මැලි නැතිව ලියපන් දිගටම.

    ReplyDelete
    Replies
    1. ඒත් මේ ලස්සනට ලියන එක ආවෙ කොහෙන්ද බං.// ඇත්තටම ලියන දේවල් කියවන්න පුලුවං වගේ හිතෙනවා නම් ඒකට හේතුව බ්ලොග් ලියන්න හිතාගෙනම මේ වගේ පොත් කියවන්න ගැනීම තමයි.


      උඹට අඳින්න වතරක් නෙමේ චිත්ත රූප මවන්නත් පුළුවන්
      අපි වගේ කම්මැලි නැතිව ලියපන් දිගටම.// ඔව්! මමත් උඔව තමා අනුගමනය කරන්නේ. ඒකයි මමත් උඔ වගේම එක දිගට ලිපි ලියලා දාන්නේ:D

      Delete
  21. ඉතිං චූටි මහත්තයා ටොක්ක කන්න කලින් ගල් පැලෙන බොරුවක් දණගහගෙනම අතාරින්න එපැයි... මම එහෙමනං පුළුවන් දුකම මූණ දාලා කියනවා...

    "ඉතිං මේ වැස්සේ මිණු අක්කලාට එන්ඩ බැරි හින්දා තමයි මම ගැසට් කොලේ බෝට්ටුවක් හදලා පාකරලා ඇරියේ ඒගොල්ලන්ගේ ගේ ගාවින් අහුලගන්න... ංහ..."

    මේවානං නිකං විශ්ව ළමා කතා වගේ... සිංහලෙන් විතරක් කියවන්න තියෙන එක අනිත් ළමයිට කරන අසාධාරණයක්ද මන්දා... :)

    ReplyDelete
    Replies
    1. බීටල් මාමා, ඇයි මතක නැද්ද මම බොරු කියන එක අත ඇරලා දාලා හුගක් කල්නේ..... හෙහ් හේ.....

      මේවානං නිකං විශ්ව ළමා කතා වගේ...//කොහෙද ඉතින් උඔලට අපට මේවා වැටහුනාට - වගකිවයුත්තෝ නිදිනේ.... ෂා... උඔ ඔය විදිහට කියද්දි මට හිතෙනවා මම ඉන්න තිබ්බේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලෙයි කියලා...:D :D

      Delete
  22. ඔය බෝට්ටු කේස් එක දිගටම ගෙනල්ලා,වැඩි දියුනු කලා නම් අර ඉශාර මාමා කිවුවා වගේ නියම යූරෝ දෙකේ වීරයෙක් වෙලා නේ මේ වෙනකොට

    ReplyDelete
    Replies
    1. ItalyDilan,

      ඩිලන් කියන්නේ මටත් ඉෂාර මාමා කඩදාසි ප්ලේන් හදලා ඉස්කෝල වල යවලා පෙන්වනවා වගේ කඩදාසි බෝට්ටු හදලා යවන රස්සාවක් කරන්න තිබුනා කියලද? ඇත්තට මෙච්චර වරායවල් තියෙන එකේ ඒ රස්සාවත් වැරැද්දක් නොවෙන්ත් තිබුනා තමා....:D

      Delete
  23. අදමයි දැනගත්තේ මහවැලි ගංගාව Wayamba ට හරෝලා බව.

    සයිකලේට හුලං ගහපු කතාව වගේම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. කකා,

      සයිකලේට හුලං ගහපු කතාව වගේම අපූරුයි.// ස්තුතියි කතන්දර. ලියපු කතන්දරේකට කතන්දරගේ කමෙන්ටුවක් වැටුනම නිකං හැමදේම හරියි වගේ සිතුවිල්ලක් පහල වෙනවා.

      Delete
    2. හරියට නිසි බලධාරියාගෙන් අනුමැතිය ලැබුනා වගේ..... හෙහ් හේ....

      Delete
  24. මේ තමයි මම කැමති චූටි මහත්තයා, මෙයා තමයි චිත්ත රූප මවලා මගේ ළමා කාලයට මාව ගෙනියන්නේ, අතීතකාමයෙන් මාව මංමුලා කරවන්නේ...
    නියමයි බුද්ධි, ගොඩ කාලෙකින් උඹව දැක්කා!!! අප්‍රමාණ සංතෝසයි... හැමදාම මේ මගේ ලියපාපාපාන් වල් පල් ලියන්නේ නැතිව!!!!

    ReplyDelete
    Replies
    1. කුෂාන්,

      ස්තුතියි. ස්තුතයි. මේ වගේ කමෙන්ට් මම නැවත නැවත කියවනවා... වෙලාවක් ලැබුනම. කොහොම වුනත් කෙහෙල්කොටුව පටන් අරගෙන කාලෙකින් වත්තට පැන්න කෙනෙක් වුනත් තවමත් ඒ ගැම්මෙන්ම ඉන්න එක ගැන හෙන සතුටුයි....

      Delete
  25. ඊයෙ රෑ කතාව කියෙව්වට කමෙන්ට් එකක් දාන්න ආයි පාරක් කියෝලම එනව කියල හිතුන.

    සත්තකිම්ම මේ කතාව මල් හතයි. මට ඔහොම බෝට්ටු හදන්න උදව් උනේ අපී අක්කගෙ අර ක්ෂෙත්‍ර සටහන් කියන එක පැත්තක සුදු තව පැත්තක ඉරි තියෙන පොත. ඒක විතරයි ඒ කාලෙ ටිකක් ඝනකම් කොල ඇතුව තිබ්බ එකම ඉස්කෝලෙ පොත. අනික්ව මේ පැත්තෙ ලිව්වම ඒ පැත්තෙ පේන එව්වනෙ ( ඒ කාලෙ මොන 80 ගී එස් එම් ද ).

    ඔය ඇන්ජින් බෝට්ටු කියන්නෙ මොනාද ඒත් අර වහල බෝට්ටුමද?

    ReplyDelete
    Replies
    1. ඉන්දික මාමා,

      ඒ අතින් මම වාසනාවන්තයි. තැපැල් කන්තෝරුවට වැඩිහරියක් එන්කේ ඝණකම් කොල. මොකද තැපැල් මල්ලේ ගැටගහලා කොච්චර හැළ හැප්පිලි වෙන්න ඕනෙද, ඊලඟ තැපැල් කන්තෝරුවට යන්න. අනික අපිට එන්නේ ආණ්ඩුවෙන් හදන කොළනේ. ඕවා වැඩිය හීන් කර කර ඉන්නෙත් නැතුව ඇති. හැදුවා එව්වනේ.

      //ඔය ඇන්ජින් බෝට්ටු කියන්නෙ මොනාද ඒත් අර වහල බෝට්ටුමද? //

      මෙන්න භාණ්ඩේ. බෝට්ටුව හදද්දිම අපිට තිරණය කරන්න පුලුවන් වහලේ දෙපැත්තටම දානවද නැද්ද කියලා. ඇන්ජින් බෝට්ටුව කියන්නේ දැන් කාලේ තනි දින ධීවර යාත්‍රා කියන එව්වට. එව්වයෙත් මේ වගේ වහලයක් එක පැත්තක තියෙනවානේ. මේ පින්තූරෙ නං තියෙන්නේ වහලවල් දෙකේ එකක්. අපි හැදුවේ එක පැත්තට වහලෙ එන්න.ආං ඒකයි ඇංජින් බෝට්ටුව.

      http://artblart.files.wordpress.com/2010/06/gill-paper-boats-britannica-2008-detail.jpg

      Delete
    2. එහෙනම් හරි. ඕකට අපි කිව්වෙ ඩබල් වහල, නැත්තම් වහල දෙකේ බෝට්ටු. ඔය චූටිය යවල තියෙන්නෙ තනි වහල බෝට්ටු. අර මැද ත්‍රිකෝනෙ එන බෝට්ටු වලට වඩා මේ ජාතිය හරි බැලන්ස්, පෙරලනෙව හොරයි ඒත් ඉක්මනට පෙඟෙනව. හෙතුව පතුලට තනි කඩදාසියක් තිබීම.

      Delete
  26. පහුගිය ටිකේම මං හිටියෙ සදරුවගෙ බ්ල්ගෙයි චූටිමහත්තයගෙ බ්ලොගෙයි සදරුවගෙ නම් ඔක්කොම කියෙව්වා.. මේකෙ තව 25ක් විතර තියනවා.. එකසිය ගානක් කියෙව්ව සෑහෙන දවසක් අරගෙන. :)
    ඒවලින් ආසම ම් කෙහෙල්කොටුවෙ චූටි මහත්තයගෙ කතා සීරීස් එකට තමයි..

    මේ විදෙස් සිත්තරාට කියල ආයෙ පොඩි චිත්‍ර තරඟයක් මෙව්ව කරන්නකො :D හුඟ කාලෙකින් නේ

    ReplyDelete
    Replies
    1. බිල් කියන්නේ කව්ද බීට්ල් ද? මිනිහා නං කෝමත් කැමති ඇති බිල් වෙන්න.........

      හිමින් සෑරේ ඔක්කොම කතා කියවලා ම බලන්නකෝ... කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා වලට තමා මමත් කැමතිම, කව්රු හරි හොඳ දක්ෂයෙක් ලියලා වගේ නේද?

      විදෙස් සිත්තරා තරඟයක් තියන්න කලින් කෙහෙල්කොටුව ආය ජනප්‍රිය කරන්න ඕනේ... මාසෙකට හමාරකය සැරයක් ලිපියක් දාලා කොහොමද ඒක කරන්නේ.....


      ස්තුතියි. පැමිණීම ගැන

      Delete
  27. ඕනමැන්ටල්ගේ කමෙන්ටුව
    _________________

    ඕනමැන්ටල්

    at 5:11 PM on ගැසට් බෝට්ටුව - කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතාවක් !

    වයඹ කොල්ලෙක්නෙ . . . කඩදාසිවලිං හරි බෝට්ටුවක් හදාගෙන මූද තරනය කරන්න තමයි හදන්නෙ

    ReplyDelete
    Replies
    1. ඕනයා,

      ඩිංගෙන් වැඩේ මිස් වුනේ...

      Delete
  28. අපේ තාත්තා ට්‍රේනිං කොලීජියේ ඉන්න කාලෙ හිතවතුන් හැමෝගෙම පින්තූර ගොන්නක් ලාච්චුවෙ දාගෙන හිටියා. මං ඉතිං ඒ කාලෙත් පින්තූරවලට ආසයි නෙව..ඊටත් අඳින්නත් රැසියා නෙව. ඉතිං මාත් එක දවසක් අපේ පාලිත මල්ලිත් අල්ලගෙන, තාත්තාගෙ ලාච්චුවක තිබුණු පින්තූර හැම එකකම, තාත්තාගේම පාකර් පෑනෙන් රැවුල් ඇන්දා...
    එදා තාත්තා දත්මිටි කාපු තරම කොච්චරද කියනවනං, ඒ කැවිල්ලට දත් ගෙවුණානනං, 89 අවුරුද්දක් වන අදත් තාත්තා ඉන්නෙ දත් එකක්වත් නැති ව.....!!!

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.... අන්න නියම පුත්තු... කලාවෙන් ම මත්වෙලා....!

      අර පොටෝ එකේ කොල්ලෝ ටික තාත්තව පුටුවක ඉන්දවලා වටේ ඉන්නේ හරියට තාපස උත්තමයෝ ටිකක් වගේ.... ඒ කාලේ ගැන හැමදේම අමතක වුනු :D

      Delete
  29. කාලෙකින් ආවෙ බුද්ධියෝ මේ පැත්තෙ.
    දැන් ඉස්සරියෙන්ටත් වඩා රසයි නෙ බොලං
    මග ඇරිච්ච ඔක්කොම කියවන්නයි හිතාගෙන ඉන්නෙ.

    -උන්නැහේ

    ReplyDelete
  30. උන්නැහේලව අපට හිටපු ගමන් මතක් වෙනවා.... ඒ කාලේ වැඩ පාඩු කරගෙන බ්ලොග් ලිව්ව හැටි අපිත් බලාගෙන හිටියා. අර ගෙදරම හදන ප්‍රොජක්ටරේ ගැන විස්තර හොයන්න කාලෙකට කලින් මම උන්නැහේව හොයලා හොයලා අන්තිමේ වැඩේ අල්ලා දාලා සල්ලි වලට එකක් ගත්තා..... මොකෙක් හරි කිව්වා හරි කොහෙදි හරි දැක්කා හරි වගේ මතකයි දැන් උන්නැහේ ඉන්නෙ ජපානෙයි කියලා.... අනේ මන්දා මගේ මනෝ විකාරද කියලා?!

    ReplyDelete
  31. හොඳයි!!! බොහොම ස්තූතියි හොයල බැලුවට!!
    දැන් ඉතින් ලියන අය ගොඩක් ඉන්නවනේ... අපි ඉතින් පාඩුවෙ කියවනව...

    ReplyDelete
  32. ඉන්දියාවට ගිය බෝට්‍ටුව තරුණයෙකුට අහු වෙනව. එයා එක දිග අරිනකොට ඉල්ලුම් පත්තරේ දකිනව. මේ වගෙ සුදුසුකම් වලට ගැලපෙන ‍රැකියා දෙන ලංකාවෙ ආන්ඩුව ගැන පැහැදෙනවා. අන්තිමට දෙරටේ මැති ඇමති වරු එකතු වෙලා ගිවිසුමක් ගහලා ලංකාවේ ‍රැකියා වලට ඉන්දියානු තරුණ තරුණියන්ට අවස්ථා...... ඊටත් කාලෙකට පස්සෙ ලංකාවෙ කොරියන් EXAM වගේ ඉන්දියාවෙ ලංකන් EXAM... කොහොමද චූටි මහත්තයගෙ වැඩ?

    ReplyDelete
    Replies
    1. මාව සබාපති කමකටවත් ගන්න කියන්න ඕනෑ....

      Delete
  33. "ඔයා නම් හිතක රූප අඳින්ට හරිම දක්ෂයෙක්!!!"

    ReplyDelete
  34. "ඔයා නම් හිතක රූප අඳින්ට හරිම දක්ෂයෙක්!!!"

    ReplyDelete
  35. ලිවිල්ලනම් මරු බුද්ධි. මගේ පුතාට දැන් අවුරුදු හයයි. මගේ නෝට්ස් පොත් ඉරලා ජෙට් හදලා මගෙන් බැනුම් අහපුහැටි මතක් උණා.

    ReplyDelete
    Replies
    1. අපේ අඩිපාරේ යන කොල්ලෙක්!

      Delete
  36. යාං හෑල්ලේ තිබ්බ කොමෙන්ට් එකක් දැකලා ආවේ. නියම බ්ලොගයක් . නිවාඩු පාඩුවේ කියවනං ලකුණු කර ගත්ත. ජයවේවා.

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...