2013/10/14

ඥාණතිස්සගේ කෑම පෙට්ටිය | කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතාවක්.

කාලෙක ඉදලා ටීවී වල රේඩියෝ වල අමුතු හා හූවක් ගියා. ඉස්කෝලේ ළමයිගේ දවල් කෑම වේල ගැන. ඒවයේ කියවුනේ ළඟදිම ඉස්කෝලෙ ළමයින්ට ඉස්කෝලේදී ම දවල් කෑම ගන්න සිද්ධ වේවි කියලා.

ඉස්කෝලේට කෑම ගෙනියන්න වෙනවා කිව්ව හැටියේ අපි කව්රු කව්රුත් හොඳටම සතුටු වුනා. අපි කතා වුනා දැන් තමා ළමයින්ට ම වෙන්වුනු ලෝකයක් හැදීගෙන එන්නේ කියලා. ඒ මොකද යාන්තමට සීනි ඩිංගක් ඉහපු හරි, ඇතුලට රතු පාට ජෑම් බිඳක් මැදි කරපු හරි බනිස් ගෙඩියක් දවල් කෑම හැටියට ලැබෙයි කියලා අපි කව්රුත් විශ්වාස කළ හන්දා. ඒත් හැම බලාපොරොත්තුවක් ම සුන්වුනේ අපි කව්රුත් නොහිතපු තාලෙට. ගුරු දෙගුරු රැස්වීමෙදි කියවුනාලු, හරිහමන් කෑම වේලක් ගෙනාවේ නැත්තම් නමට කෙලින් කතිරේ වැටෙනවා කියලා. එහෙම වුනොත් මාසේ අන්තිමට සමූපකාරෙන් බඩු ගන්න ලැබෙන මුද්දරයට ඒ කතිර ටික එකතු වෙනවා. ඉතින් අකමැත්තෙන් හරි අපේ බලාපොරොත්තු පැත්තකට දාලා විවේක කාලෙදී හොඳිත් එක්ක බත් ගිලින්ඩ අපි හිත හදා ගත්තා. එක සඳුදා දවසක උදේම අපිත් මහ මිනිස්සු වැඩට යද්දි වගේ බත් මුලකුත් අරගෙන ඉස්කෝලෙ යන්න පිටත් වුනා.

විවේක කාලේ දි බත් ගිලින එක ලේසි වැඩක් නෙමයි. ඇති වුනාම බත් එක පැත්තකට කරලා නැඟිටින්න බෑ. බඩගිනි නෑ කියලා කෑම වේල මඟ අරින්නත් බෑ. මොකද කෑම එපා කියලා ඒක කුණුවළ ට හැලුවොත් ඒ මොහොතෙම ඔත්තුකාරයෝ සිද්ධිය අදාල ළමයින්ගේ පංතිභාර ගුරුවරුන්ගේ කණේ තිබ්බා. ඉතින් අපි හැමෝම බොහොම අමාරු කාලෙට මුණ දෙන්න පටන් ගත්තා. කව්රුත් උත්සහ කලේ තමන්ගේ මුද්දරේ කතිර වලින් ඉඳුල් කර ගන්නෙ නැතුව මාසේ අහවර කර ගන්නයි. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි.




මොකද නම් ලකුණු කරද්දි අපි කියන්න ඕනේ එදා වේල මොකද්ද කියලා. උදාහරණයක් හැටියට අපේ නිරූපා චීටර් “නම් පොත“ බලාගෙන අපේ නම කියද්දි, “ඉන්නවා -  බත්“ කියලා කියන්න ඕනේ. කව්රුහරි හරිහමන් කෑම වේලක් ගෙනල්ලා නෑ කියලා හිතමු. එතකොට ඒගොල්ල “ඉන්නවා - පාං“, “ඉන්නවා - රොටි“, “ඉන්නවා -  බනිස්“ වගේ තමන්ගේ කෑම වේලට අදාල වචනේ අවංකව කියන්න ඕනේ. එහෙම නැතිව මුලින් “ඉන්නවා -  බත්“ කියලා ඊලගට කෑම පරික්ෂා කරන්න එද්දි වැඩේ එලිවුනොත් ගුටිත් එක්ක නමට කෙලින් කතිරේ වැටෙනවා. මේ සිදුවීමෙන් වැඩිපුරම බැට කෑවේ එක දිගටම හරිහමන් කෑම වේලක් ගේන්න බැරි ඥාණතිස්සලා, කුමාරලා වගේ අය. ඒත් අපි විවේක කාලෙදී කෑම ගත්තේ හොඳි මාලුපිනි හුවමාරු කරගෙන. ඉතින් තමන් ගෙදරින් ගේන කෑම පෙට්ටිය මොන තත්වයේ තිබුනත් විවේක කාලෙදි අපි කාගෙත් කෑම පෙට්ටි බත් ඇට පේන්නෙ නැති වෙන තරමටම හොඳි ජාති වලින් වැහිලා ගියා. කජු මාලුවක්, ඉස්සෝ ඩිංගක් ගෙනාපු දවසට කොහොම වුනත්, කරවිල, වට්ටක්කා, මැකරල් වගේ වෑංජන තියෙන දවසට හිතේ තියෙන ලෝබකම යන්නත් එක්කලා මමත් වැඩි වැඩියෙන් යාලුවන්ට කෑම බෙදනවා. අපි කෑම කෑවේ ලොකු කරපිංචා ගහයට තියෙන නයා අතඇරපු හුඹහා උඩ. අපේ පංතියේ අනිත් ළමයිගෙන් සමහරක් අලුත් කුණුවලේ කන්ද වටේ. කොටසක් පොල් කඳන් උඩ. දං ගහයට මුල් දිගේ තවත් අය. පලු ගහයට කලුගල් ගොඩේ තවත් කාණ්ඩයක්. මඤ්ඤොක්කා ගාලේ මායිමේ ටික දෙනෙක්. ගබඩා කාමරේට පිටින් තියෙන සිමෙන්ති බෑම්මේ තව කට්ටියක්. ගෑල්ලමයි නං මැහුම් පංති යන ලොකු අක්කලා වගේ ගාට ගාට මැයි ගස් පේලියට පාවෙලා ගිහිල්ලා වට්ටි අම්මලා වගේ කෑම පෙට්ටි දිග ඇර ගන්නවා.

ඔය අතරතුරේ මෙහෙම ආරංචියක් පැතිරුනා. ඉදලාමත් දවස් වලට පැමිණීම ලකුණු කරන වෙලාව අල්ලලා ලොකු සර් කඩා පාත්වෙනවා ලු පංති කාමර වලට. කෑම වල ගුණ දොස් බලා කියාගෙන යන්ඩ. හරි හමන් කෑම වෙලක් ගෙනල්ලා නැති ළමයින්ට හොඳවයින් වේවැල් පාර දීලා, ඊලග දවසේ දෙමව්පියන්ව ඉස්කෝලෙට ගෙන්නනවලු. ඒ ගොල්ලන්ටත් හොඳටම දෙහි කපනවලු, තමන්ගේ ළමයි ගැන ඔහොමද කල්පනා කරන්නේ කියලා.

ඔය ආරංචිය පැතිරිලා වැඩි දවසක් ගියේ නෑ. එක උදේක පැමිණීම ලකුණු කරන වෙලාව අල්ලලා ලොකු සර් අපේ පංතියෙ දොරකඩට පාත්වුනා. නිරූපා චීටර්ගෙන් පංතිය ඇතුලට එන්න අවසර ගත්තා. ඊලඟට කලින් දැනගෙන උන්නා වගේ තෝරගත්තු කට්ටියකගේ කෑම පෙට්ටි පරික්ෂා කරන්න පටන් ගත්තා. ඔය විදිහට ගිහිං අන්තිමේ ලොකු සර් ඥාණතිස්ස කෙලින් හිටගත්තා. ඥාණතිස්සගේ මූණ අවතාරයක් වගේ නිල් වුනා. ඉතින් අපි හිතාගත්තා එදා දවසෙත් ඥාණතිස්ස හොඳ කෑම වේලක් ගේන්න නැතුව ඇතියි කියලා.

ඥාණතිස්සලා අද ඔහොම හිටියට ඒ කාලේ හරි සරුවට හිටපු මිනිස්සු. ඥාණතිස්සගේ තාත්තා කොහෙවත් යන ගෝරියක් බේරන්න ගිහින් කඩුවකින් හොඳවයින් පාරක් කාලා තියෙනවා ටවුමෙදි. කකුල හරහා වැදිච්ච කඩුපාරෙන් තාත්තගේ නහරයක් කැපිලා ගිහිං. අන්තිමේ දොස්තරලා කැපිච්ච නහරේ කොන් දෙක අල්ලලා ගැටගහලයි කකුල ගොඩ දාලා තියෙන්නේ. ගැටගැහිල්ල නිසා තාත්තගේ කකුල කොට වෙලා. ඉතින් තාත්තව රස්සාවෙන් දොට්ට දැම්මා. කකුල හොඳ වෙනකල් ගෙදර හිටපු තාත්තා අන්තිමේ දී ඥාණතිස්සලා බඩගින්නෙ ඉන්නවා බලාගෙන ඉන්න බැරිම තැන “තමා හිසට තම අතමය හෙවනැල්ල“ කියලා නොන්ඩි කකුලත් අරගෙන එලියට බැස්සේ කොහොමහරි පනං හතරක් හොයාගෙන එනවාමයි කියලලු. කොහොම කොහොම හරි දැන් ඥාණතිස්සගේ තාත්තා පරණ චැලියක් තියාගෙන තැඹිලි විකුණනවා.

ඥාණතිස්ස කියන්නේ පොතේ පතේ වැඩ වලට වඩා ඇගේ පතේ හයියෙන් වැඩ කරන්න දන්න ළමයෙක්. දවසක් එයා බකමූණෙකුත් අල්ලගෙන ඉස්කෝලෙට ගෙනාවා. අනික අත්වැඩ වලදී, මල් පැල වලට වතුර දාද්දි, වීල්බැරෝවෙන් කුණු අදිද්දි, පාපන්දු තරග වලදී මිනිහත් එක්ක හැප්පෙන්න පුලුවන් එහෙමත් අයට විතරයි.  හැබැයි පංති කාමරේදී මිනිහා ඉන්නෙ පැත්ත ගහලා. එක්කෝ පොත ඉවරයි. නැත්තං පාට පෙට්ටියේ පාට කූරු ඉවරයි. එක්කෝ ගෙදර වැඩ කරලා නෑ. ඔය කරදර ඔක්කොම තියෙද්දි මිනිහට අලුතෙන් තව කෑම ප්‍රශ්නෙකුත් එක්කහු වුනා. මොන ප්‍රශ්ණ ආවත් මිනිහා නෙමෙයි සැලුනේ. තැනේ හැටියට මොනවා හරි කියලා ගැලවුනා. ඉදලාමත් දවස් වලට උදේ ඉඳලා එක දිගට මූණ දෙන්න වෙන ප්‍රශ්ණ හන්දා ඥාණතිස්සගේ ඇස් වලට කඳුලු ඉනුවා. ඒත් පිරිමි ළමයෙක්ගේ ඇහැකට කඳුලක් එනවා තරම් ලැජ්ජාවට කාරණයක් තවත් තියෙනවද? ඒ වෙලාවට ඥාණතිස්ස වහලේ දිහා බලාගෙන දෙතුන් පාරක් වේගෙන් ඇහිපිල්ලම් ගහලා කොහොමහරි තමන්ගේ ඇහැට උනපු කඳුලු බිංදු අතුරුදහන් කරගන්නවා. ඒ වෙලාවට එයා අපිත් එක්ක වුනත් කතා කරන්නේ නෑ. මොකද වචන වුනත් ඇදේට ඇහිලා තමන් ඉන්න තත්වේ අවට ඉන්න අයට දැනෙන්න පුලුවන් නිසා. ඒ නිසා අපට කවදාවත් ඥාණතිස්සගේ ඇහේ කඳුලු දකින්න බැරි වුනා. ඉතින් අපිත් අමාරු වෙලාවක් ආවම ඥාණතිස්සගේ ක්‍රමය අනුගමනය කලා.

“කෝ..... ඥාණතිස්ස අරින්ඩ බලන්ඩ කෑම පෙට්ටිය......‘ ලොකු සර් ඥාණතිස්ස දිහා බලාගෙන කෙලින් කිව්වා.

ඥාණතිස්ස ටිකක් වෙලා කල්පනා කරලා කෑම පෙට්ටිය ගන්න පොත් මල්ලට අත දැම්මා. මට නං ඥාණතිස්සගේ කෑම වේල මැවිලා පෙනුනා. එකත් එකට ම එයා සුදු බතුයි, කහ සම්බෝලයි, හාල්මැස්සෝ දෙතුන් දෙනෙකුයි බැඳගෙන ඇවිල්ලා ඇති.  ඔය වගේ කෑම වේලක් බැලු බැල්මට රසවත්ව පෙනුනට මොකද, ඒක තමන්ගේ මුද්දරේ, කතිරෙකින් බේරගන්න තරම් හොඳ තත්වෙක එකක් නෙමෙයි. ඉතින් වට පිට බලද්දි පංතියේ කව්රුත් ඥාණතිස්ස ගැන වද වෙනවා කියලා පෙනුනා. දැන් ඥාණතිස්සගේ බැරි අමාරුකම් මුලු පංතියම දැන ගන්නවා. විශේෂයෙන් ගෑල්ලමයි! ඉතින් එයාගේ උගුරකට ලැජ්ජාවයි, බයයි නිසා වේලිලා ගිහිල්ලා. හරිහමන් කෑම වේලක් ගේන්න බැරිකම ඥාණතිස්සගේ වරදකුත් නෙමෙයි. අනිත් අතට ලොකු සර් මේ ගැන හොයලා බලන්නෙත් අපේම හොඳටයි කියලා දවසකුත් කිව්වා. මොන දේ වුනත් ඥාණතිස්සගේ බත් පෙට්ටියේ පියන ඇරපු හැටියේ ලොකු සර් පරළ වෙයි. මුලු පංතියක් ඉස්සරහා ඥාණ තිස්සට හොඳට වේවැල් කසාය හම්බවෙයි. බාගදා දෙමව්පියෝ ගෙන්වන්නත් ඉඩ තියෙනවා. මේ දේවල් කල්පනා කරද්දි අපිවත් එක්ක සීතල වෙලා ගියා. වෙන එකක් තියා නිරූපා ටිචරුත් ඥාණතිස්ස ගැන දුක් වෙනවා කියලා අපිට හිතුනා. ඒත් අපි කාටවත් කරන්න කිසි දෙයක් නෑ. විවේක කාලෙදි අපි හැමොම එකා වගේ බෙදා හදාගෙන කෑම කනවා තමා. ඒත් මේ වෙලාවේ ඥාණතිස්ස වෙනුවෙන් අපට කරන්න පුලුවන් බලාගෙන ඉන්න එක විතරයි.

“හරි වැඩේ නේද වෙන්න යන්නේ......“  කුමාර ඇහැව්වා. එයාගේ මූණ මකන කෑල්ලක් වගේ වේලිලා.

“ඥාණතිස්ස මොනවා කරගනීද දන්නෙ නෑ......?“ මම කිව්වා.

“ඔයා බයවෙන්ඩ එපා. මිනිහා ලෝකය.....!“ එහෙම කිව්වට මොකද කුමාරත් දන්නවා ඥාණතිස්සට මේ උගුලෙන් ගැලවෙන්න කිසිම මගක් ඉතුරු වෙලා නැති විත්තිය. ඒත් අපි හැමෝගෙම බලාපොරොත්තුව වුනේ මේ කරදරෙන් ඥාණතිස්ස ගැලවුනොත් කොච්චර එකක් ද කියලා.

කොහොමහරි මේ අතරතුර ඥාණතිස්ස එයාගේ පරණ වෙච්ච රතුපාට කෑම පෙට්ටිය එලියට ගනිමින් උන්නා. නිරූපා ටීචරුයි, ලොකු සරූයි, අපි හැමෝමයි මැජික් පෙට්ටියක ඇතුල බලන්න වගේ, ඥාණතිස්ස කෑම පෙට්ටිය අරිනතුරු නොයිවසිල්ලෙන් දත කෑවා.

මෙන්න මේ වෙලාවෙදී - ඒ කියන්නේ පොත් මල්ලෙන් කෑම පෙට්ටිය එළියට ගන්න ගෙවෙන පුංචි වෙලාවෙදී මිනිහා බලාගෙන ඉන්න හැමෝගෙම ඇස්වලට වැලි ගහලා මහ පුදුම වැඩක් කලා. ඒක ජාති ඇස්බැන්ඳුම! හැබැයි වෙලාවේ හැටියට ඒක අහසෙයි, පොලොවෙයි පැති මාරු කරනවා වගේ මහ අමාරු රාජකාරියක්. ඒත් අපේ ඥාණතිස්ස නේද, ඒක ටක්කෙටම කලා. මිනිහා පොත් මල්ලෙන් කෑම එක අරගෙන ඒක අත උඩ තියාගත්තා. හැබැයි තියාගත්තේ කාටත් නොපෙනෙන තරම් වේගයකින් කෑම පෙට්ටියේ උඩයට මාරු කරන ගමන්. දැන් කෑම පෙට්ටියේ පියන තියෙන්නේ යට පැත්තේ. කෑම දාන පෙට්ටියේ ප්‍රධාන කොටස පියන තියන පැත්තෙ - ඒ කියන්නේ පියන වගේ උඩින්. ඒ එක්කම කාටවත් කිසිදෙයක් හිතන්න වෙලාවක් ඉතුරු නොකරම යට තියෙන අතින් පියන අල්ලගෙන උඩට ඇවිල්ලා තියෙන යට කොටසින් අල්ලලා ඉහලට ඇදලා කෑම පෙට්ටිය බාගෙට ඇරියා. ඒ එක්කම උඩු යටිකුරු වෙලා ඇරුනු කෑම පෙට්ටියේ කෝම්පිට්ටුවක් වගේ තද වෙලා තිබුනු බත් කාටත් පෙනුනා. අයිනකින් ඩිංගක් කැඩිලත් වැටුනා.

“මොකද්ද මිනිහෝ ඔය කරගත්තේ.............“ ලොකු සර් පංතිය දෙදරන්න කෑ ගැහුවා. ඒ මොකද පෙට්ටිය උඩ යට මාරු වෙලානේ! දැන් ඉතින් හරි හමන් වෑංජනයක් තිබුනත් ඒක පේන්නෙ නෑ. මොකද පියන පැත්ත යට පැත්තට හැරිලා නිසා. සමහර විට පැති මාරුව හන්දා බත් එකේ හිටපු කෙසඟ හාල්මැස්සෝ දෙතුන් දෙනාට කිසි දෙයක් හිතාගන්න බැරුව බත් වලටයි, කෑම පෙට්ටියේ පියනටයි හිරවෙලා අසරණ වෙලා ඇති. කොහොමහරි ඥාණතිස්සගේ මේ ඇස්බැන්ඳුම හන්දා ලොකු සර්ට ඥාණතිස්සගේ කෑම පෙට්ටිය ගැන කිසිම සාධාරණ නිගමනයකට එන්න බැරි වුනා.

“සර්..... කලබලේට මම කෑම පෙට්ටිය අනිත් පැත්තටයි අරගෙන තියෙන්නේ....... පියන කියලා වැරදිලා අනිත් පැත්තෙන් ඇද්දේ.......“ ඥාණතිස්ස බය වෙච්ච මූණක් හදාගෙන කිව්වා.

“උඹගේ ඔලුවේ තියෙන්නෙ මැටිද ඥාණතිස්ස, කව්ද උඹට ඔය නම දැම්මේ..... පංතිය හැඩි නොකර ඕක වහගන්නවා දැන්....‘ ලොකු සර් උදේම අතුගාපු සිමෙන්ති පොලොවට වැටෙන බත් කැට දිහා බලන ගමන් කේන්තියෙන් කිව්වා. ඊට පස්සේ මුලු පංතිය ම දිහා බලපු ලොකු සර්,

“දැක්කද මේ කරපු මැටි වැඩේ..... මිනිහෙක් වුනාම හොඳ සිහිබුද්ධියෙන් වැඩ කරන්ඩ ඕනේ.... එහෙම නැති වුනොත් මේ ඥාණතිස්සට වගේ කන පතත් බිම හලාගන්ඩයි වෙන්නේ.... තේරුනාද?“ කිව්වා.

අපි හැමෝම වෙනදටත් වඩා වේගයෙන් ‘ඔව් ලොකු සර්...“ කියලා කිව්වා.

ඊලගට ලොකු සර් නිරූපා ටිචර් දිහා බලලා “ඉතුරු වැඩ ටික කරගෙන යන්ඩ.....“ කියන බැල්මක් දාලා වේවැලෙන් තමන්ගේ ම කකුලට තට්ටු දදා නොයිවසිල්ලෙන් පිටවෙලා ගියා. ඔන්න ඊලඟටයි අපිට තේරුනේ අපේ හුස්ම නැවතිලයි තිබිලා තියෙන්නෙ කියලා. ඉතින් අපි ලොකු හුස්මක් ගත්තා. හැබැයි අපි හැමෝම බලාගෙන හිටියේ විවේක කාලේ එනකල්. විවේක කාලේ ආපු හැටියේ අපි ඥාණතිස්ස වටකරගෙන මිනිහට මේ වගේ නුවණක් පහල වුනේ කොහොමද ඇහැව්වා. 

මිනිහා අපි හැමෝම දිහා බලලා පණ්ඩිතයෙක් වගේ මෙහෙම කිව්වා, “තමා අතට තම හිසමය සෙවනැල්ල......“

ඒ එක්කම අපි හැමෝම බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්තා. මොකද මිනිහා බත් පෙට්ටිය වගේ ම මේ කියමනත් අනිත් පැත්ත හරෝලා කිව්ව නිසා. ටික වෙලාවකින් මිනිහා කරපු වරද මිනිහටම තේරුනා. ඒ එක්කම ඥාණතිස්සත් හොඳටම හිනා වුනා. අපි පළවෙනි පාරට ඥාණතිස්සගේ ඇස්වල කඳුලු දැක්කා! හැබැයි හිනා වෙවී ඉද්දි!!

-----------------
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.


ශිෂ්‍ය දිවා ආහාර මුද්දරය දැක්වෙන පින්තූරය උපුටා ගත්තේ Old Ceylon Facebook පිටුවෙනි.

84 ක් කියන්නේ !:

  1. ඇත්තටම බොහොම සංවේදී සිදුවීමක්. අපේ රටේ වයස් භේදයකින් තොරව පොඩි මිනිහාට නීති රෙගුලාසි පනවලා දඬුවම් දෙන්න තීරණය කරන්න කලින් අදාල වරදට වස්තුබීජය වන කාරණාවලට ප්‍රතිකර්ම නිසියාකාරව හොයන්න එදත් හැකිවුණේ නෑ අදත් එහෙමයි.

    මේ සිදුවීම වෙන්නේ ප්‍රේමදාස මහත්තයගේ පාලන සමයේ වෙන්න ඕන. එතුමා එහෙමවත් කටයුතු කලා, නමුත් ඊට පස්සේ පත්වුණු රජයන් ඒ ගැන හෙව්වේ බොහොම අඩුවෙන්. අදවෙන කොට ප්‍රාථමික අංශයේ ලමයින්ට අනිවාර්ය කෑම වේලක් දෙන්න තීරණය වෙලා ක්‍රියාත්මක වෙනවා. එය කොතරම් සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. මම දන්න දුශ්කර පලාතක ඉස්කෝලෙක නම් ප්‍රාථමික අංශයේ ළමයින්ට කොලකැඳයි, කෑමයි දෙනවා.....! මම දන්න හැටියට ඒ ඉස්කෝලෙනං වැඩේ හොඳට කෙරෙනවා.

      අනිත් එව්වයේ කොහොමද දන්නෙ නැ. මොකද ඒ ඉස්කෝලේ ළමයි ටික දෙනයි ඉන්නේ, ඒක නිසා වැඩේ කරන්න ලොකු ආමාරුවක් නෑ. ගුරු දෙගුරු සමිතියෙන් තමා වැඩේ කරන්නේ.

      Delete
  2. //“මතුපිටින් පෙනෙන අතිශය සරල බව යට සැඟවුණු ගැඹුර, නිර්ව්‍යාජත්වය හා නවමු බව, විදග්ධයන්ට හසු නොවන, එහෙත් අපේ මනසෙහි ගැඹුරුම තැන් ස්පර්ශ කරන යම් අපූර්වත්වයක් සමග අකුරින් පමණක් නොව සිතුවමින්ද කෙහෙල් කොටුවේ චූටි මහත්තයා චිත්‍රණය කරන්නේ ඔබේද මගේද කතාවය.”//

    ටැබූගේ මේ කතාව ආයෙත් ආයෙත් මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනේ ඔය කතාවමයි පෝස්ට් එකේ අවසානයට එද්දි

      Delete
    2. රූ, මුහුදු,

      ස්තුතියි! හැබැයි ඔයගොල්ලන්ට එහෙම හිතුනට මට නං එහෙම හිතෙන්නේ නෑ. අනික මට මේ වගේ කතා ලියන එක හරිම සිම්පල් වැඩැක්.

      ඔය ගොල්ලන් තාම මේ කෙහෙල්කොටුවේ ලියන්නා ගැන දන්නැතුවයි! මම ඇවිල්ලා මහා ගත්කතුවරයෙක් :D :D

      Delete
  3. ඔය විදියට හරි ‍ඒ කාලෙ ළමයි ගැන මොකුත් කළා. දැං නං ළමයි උන්නද මළාද කියල බලන්න කෙනෙක් නෑ.
    දැං කියහල්ලකො බලන්න ඔය මුද්දරේ අරං ගිහිල්ල උඹල සමුපෙන් ගත්තෙ මොනවද කියල.

    ReplyDelete
    Replies
    1. Buratheno has left a new comment

      කාඩ් එක අරන් ගිහිල්ලා සමුපෙන් සීනි පැකට් ගත්තා.. ඒ සීනි පැකට් අරන් ගිහිල්ලා කැන්ටින් එකට දීලා සල්ලි ගත්තා.. ඒ සල්ලි වියදං වුනේ කඩෙන් තෝසෙ කාලා ප්ලේන්ටියක් ගහන්ට, එහෙමත් නැත්තං සොඳුර පත්තරේ ගන්ට, ඒත් නැත්තං 18+ ෆිල්ම් එකක් බලාන්ට තමා.. :D

      Delete
    2. මේ මොකක්ද බොලේ වෙලා තියෙන්නෙ!? මගෙ කමෙන්ට් එක නොමග ගිහිල්ලාද?? ඕකෙ තව ටිකක් තිබුනා, ඒ ටික මග හැලිලද?? :O

      Delete
    3. ප්‍රසා,

      ඔය බූරා කියලා තියෙන්නේ ඒ ගොල්ලන් ගත්තුවා අගේට.

      අපිනං මුද්දරේට බඩු අරගෙන ඉතුරු ශත පනහට ගිනිපෙට්ටියක් වත් ගත්තේ නෑ. මොකද ඒක කන්ඩ බැරි හන්දා. තව කීයක් හරි දාලා කන්ඩ පුලුවන් දෙයක්ම ගත්තා මිසක්! :D

      Delete
    4. බූරාගේ කමෙන්ට් එක වැටිලා තිබිලා මම අහුලලා හෝඳලා එහෙමයි ඔය දාලා තියෙන්නේ...

      Delete
  4. අපේ නම් ඔව්වා කැපුවෙ නෑ කිසිම දවසක...
    කන්න ගෙනිච්ච දෙවල් පරික්ෂා කලෙත් නෑ.

    මිනිස්සුන්ගෙ පුද්ගලික න්‍යායපත්‍ර.
    ඒ නිසා අසරන වෙන අහිංසක පැටවු ඇත්තටම පව්.

    කොහොම උනත් පිංතූරේ
    මාව සෑහෙන අතීතයකට ගෙනිච්චා...
    පුංචි රූප පෙලකුත් මැවිලා පෙනුනා

    ReplyDelete
    Replies
    1. නිශ්, ස්තුතියි

      අපි හිටලු කැලෑ ගම්වල නං ඕවා නුලටම කලා. උඔලා ඉන්ඩැත්තේ සිටි එකේ. ඔව් ඉතින් ලොකුසර්ට තිබුනා තමා මුද්දරේ සම්පුර්ණ මුදලම ලැබෙන්න සලස්සන්න. ඒත් එහෙම කලේ නෑ. අපි ගොඩක් වෙලාවට ඉස්කෝලේ ආවත්, කෑම එක අවුල් නං කතිරේ වැටුනා.

      මේ හේතුව හන්දා තව එක දෙයක් වුනා. ළමයින්ගේ පැමිණීම හොඳ වුනා. මොකද ඉස්කෝලේ නාවොත් කොහොමත් කතිරෙනේ....

      Delete
  5. ආදායම අනුව ලබා දෙන සහන ගැන පාසලක් වගේ හැමෝම සමාන තැනක ප්‍රසිද්ධියේ විපරම් කිරීම වැරදියි. පාසල් පොත් සහ නිල ඇඳුම් රෙදි හැමෝටම දීම වැදගත් වෙන්නේ ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ පළවෙනි ඡෙදයේ අදහස මට අපැහැදිලි. දෙවෙනි එක පැහැදිලියි. ස්තුතියි .

      Delete
  6. " අපි පළවෙනි පාරට ඥාණතිස්සගේ ඇස්වල කඳුලු දැක්කා! හැබැයි හිනා වෙවී ඉද්දි!! "

    මේක කියෙව්වම අපිටත් උනේ ඔය ටිකම තමා මං හිතන්නෙ..


    අන්තිමට මතක් උනේ 10 වසරේ ඉදලා ඉස්කොලෙන් එලියට එනකම් හැමදාම ගෙදරින් ඔතාගෙන ගියපු බත් එක ගැන. කිසිම දවසක ඒකේ තිබුනේ මොනවද කියලා මට බලාගන්න බැරි උනා. බත් එක දිග ඇරපු ගමන් ඈතක ඉදන් බලන එකෙක්ට පෙන්නෙ අර ඉත්යෝපියාවෙ සරනාගත කදවුරකට ඇමරිකාව කෑම පාර්සල් ප්ලේන් වලින් දානකොට වෙන සන්තෑසියම තමා..

    ReplyDelete
    Replies
    1. හර්ෂණ,

      ස්තුතියි.

      ලොකු පන්ති වලට එද්දි ඔය කෑම පොරය සාමාන්‍ය දෙයක් නේත කෑම පොරය වඩාත් උත්සන්න වෙනවා කියලා අනාවැකි තියෙන දවස් වලට අපි කරන්නේ කට්ටිය පොර කන අතරේ අත් දෙකම දාලා අහුරක් එකපාර අරගෙන පැත්තකට දුවන එකයි.

      Delete
  7. අනේ පව්...මම එහෙමනම් ස්ට්‍රයික් එකක් පටන් ගන්නවා ළමයි එක්ක. මොන බූත ගුරුවරයොද? දෙමව්පියොද? හහ්...

    එහෙම නැත්නම් ඉතින් ලොකු සර් එන්ට කලින් අර මාලු මාරු කරන සෙල්ලම උදෙන්ම කරලා තියෙනවා.

    පේනවා නේ ගෑනු ළමයින්ට වට්ටි අම්මලා කියලා . ආයෙම පාරක් හහ්..:D:D

    හරිම ලස්සනයි චූටි මහත්තයෝ. සරලයි, ඒ වගේම හිතට කා වදිනවා තදින්ම.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      පේනවා නේ ගෑනු ළමයින්ට වට්ටි අම්මලා කියලා . ආයෙම පාරක් හහ්..:D:D// ඇත්තටම ගෑල්ලමයි විවේක කාලේ ඉවර වෙන්න කලින් කොහොම කාලා ඉවර වෙනවද මන්දා. ඒ ගොල්ලන්ට මැයි ගහ යටට යන්නයි, කෑම පෙට්ටි දිග ඇරගන්නයි හිතන්න බැරි තරම් වෙලාවක් ගත වෙනවා.

      අපි නං ඒ සීමිත කාලේ කෑමත් කාලා ඕවර් 2 මැච් එකකුත් ගහනවා.

      Delete
  8. සතුටින් කියෙව්වට හිත ඇතුලෙන් මහා දුකක් මතුවුනා,ඇත්තටම අහිංසක දරුවෝ ගැනයි නීති වලට හිරවෙලා ඉන්න විදුහල්පතිවරු ගැනයි සංවේගජනක කතාවක්.

    ReplyDelete
    Replies
    1. හැලප කඩේ,

      නියම විදිහට කතාව තේරුම් අරගෙන තියෙන හැඩයි. අපි හැමෝම මොනවට හරි හිරවෙලා ඉන්නේ..... නිතියෙන් හරි එහෙම නැතුව හරි!

      Delete
  9. හරිම සංවේදී කතාවක්,, කතාව කියවලා හිනා උනත් ඒ හිනාව ඇතුලෙ බොහොම ගැඹුරු දෙයක් හිතන්නට ඉතිරි කරනවා.

    ReplyDelete
    Replies
    1. තුශානි,

      ස්තුතියි අගය කිරිම ගැන. සයිබර් යායට සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  10. ඥාණතිස්ස දස්සයා !

    ReplyDelete
    Replies
    1. මධුරංග,

      චූටි මහත්තයගේ යාලුවෙක් නෙව

      Delete
  11. මේක හරිම කනගාටු දායක සිද්දියක්, ළමයෙක් ගේන කෑම එක බලල දඩුවම් කරන ප්‍රින්සිපල් කෙනෙක් ? අනේ මන්ද බන් .
    කොහොම උනත් නමටම ගැලපෙන හාදය.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      ඒ කාලේ නං ලොකුසර් ගැන වැරැදි කාර හැඟීමක් ආවේ නෑ. බයක් මිසක්. දැනුත් එහෙම හිතෙන්නේ නෑ. කතාවේ කිව්වා වගේ මේ සිද්ධියට වැරදි කාරයෝ හොයන එක ලේසි නෑ කියලයි, මගේ මේ පුංචි මොලේට වැටහෙන්නේ.....

      කොහොම වුනත් ඔලුව තියෙනව නං මොනවා හරි කරලා ගැලවෙන්න අපි කාටත් පුලුවන් වෙන්නත් ඉඩ තියෙනවා නේද?

      ආ... සිවිල් බලය තියේ නං ලේසියෙන් පුලුවන්. හෙහ් හේ

      Delete
  12. ඉස්සෙල්ලාම කොළබට විතරක් කිරියි බනිසුයි දුන්නා.

    එතකොට අපි පෙළපාලි ගියා කොළබට කිරි අපිට කැකිරි කියලා

    ඊට පස්සෙ අපිටත් කිරි බනිසුයි දුන්නා..

    පස්සෙ කිරි හැලිලා නිකන්ම නිකන් බනිස් විතරක් දුන්නා..

    ඊට පස්සෙ බනිසුත් හැරිලා කඩල, කවුපි, මුන් අට දෙන්න ගත්තා..

    ඊට පස්සෙ ඔය තියන සමූප සළාක කාඩ් එක දුන්නා..

    පස්සෙ පස්සෙ අපි ඔය කාඩ් එක කලු කඩ මුදලට විකුනන්න ගත්තා..

    ඊටත් පස්සෙ අන්තිමට සල්ලි දුන්නා....

    ඉස්කෝලෙන් අස් වෙන්නත් කලින් අපි පෝලිමේ ඉඳලා පඩි ගත්තෙ අන්න එහෙමයි..

    ඔය ඔක්කොම මතක් වුනේ මේ රසවත් කතාව කියෙව්වට පස්සෙ..

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක සෙන්නා..........

      Delete
    2. අපෝ ඔය පෙළපාලි ගිය ළමයි දන්නවා නම් ඒ බනිස් හොඳ ගල් වගේ පාවිච්චියට නැත්නම් මැටි බඩු හදන්න වගේ කියල ඒ ගොල්ල පෙළපාලි යන්නේ අනේ අපිට නම් එව්වා එපා කියල ..හොඳම දේ ළමයින්ට කියන එක අහලවත් නැති බේකරි වලින් තමා ඒ බනිස් එව්වේ

      Delete
    3. අනේ අපිටනං සෝක් බනිස් වගේම කිරිත් හම්බ උනා.. කෝ ටික දවසකින් කෙලියනේ තාප්පෙට...

      Delete
    4. සෙන්නා කියනවට වඩා පොඩි වෙනසක් අපේ බඩගෝස්තර කතා වස්තුවේ තියෙන්නේ..

      අපිට මුලින්ම ලැබුනේ පෙන්ටගනේ හැඩේට තියෙන විස්කොතු. විවේක කාලේ ආපු හැටියේ ලොකු අයියලා බිස්කට් ගෝනිය ගෙනල්ලා කෝප්ප දෙක ගානේ මේසෙට හලාගෙය යනවා. කාලා ඉවර කර ගන්න බැරි වුනොත් අපි එහෙම්ම බෑග් එකට දාගන්නවා. ගෙදර එනකල් අපි බෑග් එකට අත දදා බිස්කට් හොය හෙයා කකා එනවා.

      ඊට පස්සේ අපිට සල්ලි දෙන්න ගත්තා. ඊටත් පස්සේ කෑම දෙන්න ගත්තා. අර කිව්වා වගේ බේකරි වලින් මාලු පාං තමා අපිට මුලින්ම දුන්නේ. ඊටත් පස්සෙයි අපි බත් ගෙනියන්න පටන් ගත්තේ...

      ස්තුතියි, නැව් පිහිදාන අස්සේ දිග තමෙන්ට් එකක් දාන්න කාලය මිඩංගු කලාට.

      Delete
    5. බින්දි, අපිට නං මාලු පාං ගෙනාවේ විජේ මාමගේ බෙකරියෙන්. එයා තැපැල් නයින්ටියේ පෙට්ටිය බැඳගෙන බනිස් දාගෙන එනවා. විජේ මාමා රතු හමුදාවේ හිටපු හන්දද මන්දන්නැ බනිස් ගෙඩිය නං එක විදිහකට තිබුනා. එක්කෝ බනිස් වලට කෑදර කමට අපිට ඒවයේ අඩුපාඩු නොදැනුනාද දන්නෙත් නෑ.

      ......................

      මාරයා එහෙනං අපිට කලිනුයි ඉස්කෝලෙ ගිහිං තියෙන්නේ... අපි නං තව සුප් එහෙමත් හමුබුනු කාලයක් තිබ්බා. රටින් ආපු.

      Delete
  13. මේ වගෙ මොළවල් තියෙන ගුරුවරු ළමයින්ට උගන්නනව නං, උගන්නන දේවල් ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. මුහුදු, එහෙනං මේ අපි ඉන්නේ රට හොල්ලගෙන.... හෙහ් හේ..

      Delete
  14. අනේ පවු ඥාණතිස්සයා..

    ReplyDelete
    Replies
    1. අමිල, එහෙනං අපිත් පව්. ::D:D:D

      Delete
  15. ඔය කාට මොනවා හම්බවුනත් අපිටනම් පාසල් වලින් ඔය කෑම,බිම ලැබුනේ නැහැ.
    ඥාණතිස්සගේ,චුටිමහත්තයාගේ ලොකු සෑර්ලා එහෙම වුනාට දැන් ඉන්න බහුතරයක් ලොකු සෑර්ලා දරුවන්ගේ අධ්‍යාපනය ගැනවත් හොයා බලන එකක්යැ.

    ReplyDelete
    Replies
    1. මනෝජ් සහශ්‍රෙය් දරුවෙක් වෙන්ඩ ඇති. 80/90 අතරතුර කාලෙනේ ඔය සිදුවීම් වැඩිපුර ම වුනේ...

      Delete
  16. අසම්මතය බ්ලොග් එකෙත් මේ පින්තූරය දාලා පෝස්ට් එකක් තියෙනවා කෑම කාඩ් ගැන.

    හරිම දුකක් ඇතිඋනා බන්.

    ReplyDelete
    Replies
    1. arugeadaviya, ස්තුතියි. කෝ අසම්මතයේ ලින්ක් එක!

      Delete
    2. masamathaya.wordpress.com/2013/10/12/එන්න-එන්න-ආහාර-මුද්දරේ-ගන/

      Delete
  17. කාලෙකින් බ්ලොග් කමෙන්ටුවක් දාන්ට හිතුනත් මොකක්ද මන්දා වැරදිකාර හැඟීමක් ඇවිල්ලා වචන ගොළු වුනා වගේ දැනුනා.. අනවසරයෙන්ම බුකියේ ශෙයාර් කරපු බව කියන්න මේ කමෙන්ටුව කෙටුවා..

    ReplyDelete
    Replies
    1. පුතාලා, දැන් කෙහෙල්කොටුව පැත්තේ එනවද කියලවත් දැනගත්ත විදිහක් නෑනේ..... රට ඉදලා ආවට පස්සෙ හරියට වෙනස් වෙලා :D

      ඒක වැරදි කාර හැඟීමක් නොවෙයි.... එක්කෝ අපි ඥානතිස්සලා වෙනවා. එක්කෝ ඥාණතිස්සගෙ පැත්තේ කෙනෙක් වෙනවා ... ඒකයි

      Delete
  18. හරිම ලස්සනට උඹ මේ කතාව ඉදිරිපත් කරලා තියෙනවා චූටි මහත්තයා. ගැඹුර වගේම මතුපිට කතාවත් සංවේදී එකක්. සමාජ අසාධාරණය පේන්න ඕනෙ මිනිස්සුත් නොසලකා හරින එක හරිම පුදුමයි. උඹේ භාෂා භාවිතයත් මම බොහෝම පරීක්ෂාවෙන් බලන දෙයක් තමයි. මකන කෑල්ලක් වගේ වියලි මූණක් මම ඇහුවමයි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හෙන්රියා,

      භාෂා භාවිතය ගැන කියද්දියි මට මතක් වුනේ.... සමහර වෙලාවට මට මක් කරලවත් උපමා උපමේය, විශේෂන මතක් වෙන්නේ ම නෑ.... ඉදලාමත් සමහර වෙලාවට ආය නියමෙට කැපෙන වැකි මතක් වෙනවා... උඔලටත් එහෙමද ...

      Delete
  19. අපිටත් වහලේ දිහා බලාගෙන දෙතුන් පාරක් වේගෙන් ඇහිපිල්ලම් ගහන්න වුන කේස් එකක් තමයි වුනෙ...

    ලිවිල්ල නම් වෙනදා වගේමයි... චූටි මහත්තයාගේම වෙන කතාවකට විතරයි දෙවනි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. බීට්ල්,

      ලිවිල්ල නම් වෙනදා වගේමයි... චූටි මහත්තයාගේම වෙන කතාවකට විතරයි දෙවනි වෙන්නේ.../// දවසක් ලියපු කතාවකට අපේ සහන් මෙහෙම කමෙන්ටුවක් දාලා තිබුනා.

      කියලා වැඩැන් නෑ බුද්ධි අයියා. ඒක හන්දා කියලා වැඩැන්නැ... මේකත් ඒ වගේ! :D

      Delete
  20. උඹ, සඳරූ සහ මේ උඩින් ඉන්න හෙන් රියායි තරම් තමන්ගේ කතා (මොන තරම් විස්වාස කරන්න බැරි දේවල් උණත්) කියවන්නාට වෙන ඔප්ෂන් එකක් නොදී විස්වාස කරන්නම පොළඹවනවා. ඒක හරි අමුතු අත්දැකීමක්, කියවන්නාට වෙන ඔප්ෂන් එකක් නැහැ...

    ඥාණතිස්සගේ කඳුළු අන්තිමට දැක්ක කතාවත් උඹේ සියුම් ලියවිල්ලට හොඳ උදාහරණයක්... ඒ වගේ දෙවල් කියවන්න ලැබෙනකොට පොඩි කික් එකක් එනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර. මම එහෙම බවක් දැනගෙන හිටියේ නෑ. නමුත් මම ඇත්තයි කියලා ලිව්ව කතා ඇත්තම තමයි බං. :)

      Delete
    2. තිසර,

      තිසරගේ කමෙන්ටුව හැබෑම දිරිමත් කිරීමක්. හැබැයි කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ කතා කැටගරියේ එන කතා ඔක්කොම වගේ සත්‍ය එව්වා.

      අනිත් ඒවත් ඇත්ත තමයි ඉතින්. “අවුරුදු 22 ක් නොකා නොබී හිටි මිනිහෙක්“ හමුවුනු කතාව උනත් පස්ට ම ඇත්තක්නේ. ඒක කියොලා බැලුවද? (http://cyberyaya.blogspot.com/2012/05/22.html)

      අනිත් අතට තිසර ලොකු වැරැද්කුත් කරලා තියෙනවා. මොකද්ද දන්නවද, කෙහෙල්කොටුවේ මහා ප්‍රාඥයාව කොහොමද අර කොහෙවත් ඉන්න හෙන්රියටයි, සඳරුවටයි සමකරන්නේ....

      Delete
    3. එස් ඒ,

      ස්තුතියි :D

      Delete
    4. ඒ කතා ඇත්ත වෙන්න පුළුවන්... ඒ වුනාට තව කෙනෙකුට ඒක ඇත්ත කියලා තේරුම් කරලා දෙන එක සමහර විට ලේසි නැහැනේ... විශේෂයෙන්ම හරස් ප්‍රශ්න අහලා තහවුරු කරගන්න එක පහසු නැති තැනකදි....

      Delete
  21. ඇදක් කුඩක් නැති, වචනයක් වත් අතාරින්න ලෝබ හිතෙන අනගි ලිපියක්...

    ඒ ළමයා තැනට සුදුසු නුවණ ඇති කොලුවෙක්නේ. උදේට දෙකතුනක් එක්ක බත් එකක් බැඳලා දෙන්න හැම ගෙදරකටම අමාරුයි...ටෝට්ටෝ චාං ගේ හරි පුදුම ඉස්කෝලේ මුල් ගුරුතුමා වගේ අය අපට හිටියා නම් ..

    එයා කිවේ කෑම එකට කන්දෙන් එකයි මුහුදෙන් එකයි ගේන්න කියල . කන්දෙන් කිවේ ගොඩබිමින් . එහෙම වුනානම් බතුයි හාල්මැස්සොයි තිබ්බ ඥාණතිස්සගේ බත් එක ගැන කිසිම අවුලක් වෙන්නේ නැහැ . ලීලානන්ද ගමාච්චි මහතා පරිවර්තනය කල ''හරි පුදුම ඉස්කෝලේ '' පොත ඔය මෙලෝ යකෙක් කියෝන චක්‍ර ලේඛ පොත් වෙනුවට හැම ගුරුතුමාටම කියවන්න නියම කළා නම් ඉස්කෝලේ මිට වඩා ලස්සන තැනක් වෙයි ඥානතිස්ස ලාට ..

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආසාවෙන් කියවපු පොතක්. ඒ වගේම වියත් ගුරුවරියකට කියවන්න සලස්වපු එකක්.

      Delete
    2. බිංදුමතී නැන්දා, සූදීක මාමා,

      අපිත් කැමතියි කෝච්චි පෙට්ටියක් අපේ පංතිකාමරේ වෙනවානං.... ඇති තරම් චිත්‍ර ඇඳලා ගෙදර යද්දි මකලා යන්න අවසර දෙනවා නං....ඒත් ඒවට කොහිද අපට වාසනාවක්.....!
      - කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

      Delete
  22. maru wedee....matath ona kaad ekak.

    ReplyDelete
  23. එක නෙවි දැන් අර අහිංසක බකමුන්ට වෙච්චි ටික කිව්වේ නෑ නේ ...!! මටත් මතකයි පොඩි කාලේ ගුරුවරු ඇවිත් කෑම එක චෙක් කරනවා .. අදටත් අපේ අම්මලාගේ ඉස්කෝලේ ඔය කෑම චෙක් කරනවා බාලාංශ ළමයිගේ ...

    ReplyDelete
    Replies
    1. සමීර,
      බකමූණන්ට වෙච්චි වැඩේ මෙන්න තියෙනවා http://cyberyaya.blogspot.com/2011/03/blog-post.html

      කෑම චෙක් කිරිල්ල තාම තියෙනවා කියන එක අහන්නත් සතුටුයි... ආ..... නෑ නෑ!!

      අපේ අම්මලාගේ ඉස්කෝලෙනං දැන් ලන්ච් ශිට් පත්තර කොල වල කෑම ගෙන ඒම සම්පූර්ණයෙන් තහනම්!

      Delete
  24. අපිනම් ඔය කාර්ඩ් එක හම්බවෙච්ච ගමන් කරේ රුපියල් 50කට ඕක විකුණන එක ........... ඒ කාලේ අපේ අතේ රුපියල් 50ක් තියෙනවා කියන්නේ පුහ් ...............

    ReplyDelete
    Replies
    1. මැලේ රාල, ඒක කාටද විකුණන්නේ.... මට නං හිතාගන්නත් බෑ. අපේ ගමේ නං ඔය කෙලි නෑ. විකුණනනවා තියා වියන්න කිව්වත් ලොකුසර්ගේ වේවැල අපේ පිටේ!

      Delete
  25. අපිටත් මුද්දරේ දුන්නට කෑම චෙක් කොරපු බවක්නම් මතකේ නෑ

    ReplyDelete
    Replies
    1. හසරැල්,

      බොලාට ඉතින් මොනවද මතක තියෙන්නේ හොහ් හොහ්...

      Delete
  26. මෙක ඇතුලෙ කතා ගොඩාක් තියෙනව බන්.මාර ලියවිල්ල ඉඩක් ඇතිවෙලාවක මෙ පැත්තට එන්න http://damgune.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ස්තුතියි දමිත්. මම වෙලාවක ඒ පැත්තෙ ඇවිල්ලා යන්න එඤ්ඤං.

      Delete
  27. ඉස්සර අපේ නංගියි, මල්ලියි හරි උජාරුවෙන් යන්නේ පඩි ගන්න තියෙන දවසට. මගේ ජීවිතේ හැම කාලෙකදීම ඥාණතිස්සලා ඉඳලා තියෙනවා. මම හැමදාම ඒ අයත් එක්ක සුහදව හිටියා. මට දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය ඒක.

    ReplyDelete
    Replies
    1. සුදීක,

      ඇත්තටම අපිටත් පොඩි මෙව්වා එකක් තිබුනා පඩි දවසට. ඒ ගෙදර ගිය හැටියේ ඒක අම්මලාට දෙන්න තියෙන ආසාව හන්දා. අනේ මන්දා අපිට ඒකාලේ සල්ලි වල අගයක් නං දැනුනෙම නෑ... සල්ලි තිබ්බා කියලා ගමේ කඩෙන් අහවල් දෙයක් ගන්නද? සීනිබෝලයක් ගත්තත්, දියවෙන්න කලින් ගෙදෙට්ට ආරංචි වෙලා.

      ඥාණතිස්සලා ගැන කියනවානම්, වරෙකට අපි ඥාණතිස්සලා, වරෙකට අපි චූටි මහත්තයලා.

      Delete
  28. පහත සඳහන් වාක්‍යය සම්පූර්ණ කරන්න:

    මම කතාවක් ලියනකොට චිත්‍රයක් නොදැම්මොත් මාව කන්න හදන උන්, කෙහෙල් කොරොට්ටා විත්‍රයක්.....?

    ReplyDelete
    Replies
    1. නො ඇන්දාට කියවන අපේ සිතේ
      නිරායාසයෙන්ම චිත්‍ර ඇදෙන නිසාය.

      Delete
    2. ආ.... දැන් තේරුනා. දැන් උන් දන්නවා මට කියලා හිතවද්දන්න අමාරු විත්තිය. හෙහ් හේ

      Delete
  29. අපි ඉස්කෝලෙ යන කාලෙ අපිට කන්න දුන්නෙ ඉස්කෝලෙන්.. එතකොට ඔයෙ විදිහෙ අසමානකම් පෙනුනෙ නෑ. බුද්ධිලා හුස්ම ඉහලට අල්ලං හිටියා වගේ අපිත් අල්ලං හිටියා ඥාන තිස්ස බත් පෙට්ටිය හරවනකල්ම..

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.... අපේ ඉස්කෝල වලට ලෝක මොකද්ද සංවිධානෙකින් මස් සුප් සහ එලවලු සුප් දුන්නා. සිමෙන්ති කොට්ටා වගේ කොට්ටාවල ඒවා එන්නේ.... කාලයක් හදලා දුන්නා. ඊට පස්සේ ගෙදර ගෙනියන්න බෙදලා දුන්නා. අපේ අය ඒවා ගෙදර අරගෙන ගිහිල්ලා පිටි ටික විසිතරලා කෑලි උයාගෙන ආවා......

      Delete
  30. කාලෙකින් හොද මතක පෙට්ටියක් අවුස්සල පරණ පුසුඹක් නහයට ආවේ. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා.

      Delete
  31. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. බුද්ධික මහත්මයා,

      දැනුවත් කලාට ස්තුතියි. බ්ලොග් එක ඇතුලත් කලා......!

      Delete
  32. //එකත් එකට ම එයා සුදු බතුයි, කහ සම්බෝලයි, හාල්මැස්සෝ දෙතුන් දෙනෙකුයි බැඳගෙන ඇවිල්ලා ඇති. ඔය වගේ කෑම වේලක් බැලු බැල්මට රසවත්ව පෙනුනට මොකද, ඒක තමන්ගේ මුද්දරේ, කතිරෙකින් බේරගන්න තරම් හොඳ තත්වෙක එකක් නෙමෙයි//

    විශ්වාස කරන්න අමාරුයි මේ කතාව. ඒ වගේ කෑම වේලක් නිසා මුද්දරය කැපෙන්නෙ කොහොමද? අපි යන කාලෙත් ඔය කෑම බැලිල්ල තිබුන. එතනදි (රජයේ අපේෂාව අනුව) පරීක්ෂා කලේ “අපේ කෑම“ තියනවද කියල විතරයි. පාන් බිස්කට් වගේ දේවල් නං ගේන්න එපා කියල තිබුන. මොකද පිටි කෑම නිසා. එමෙ නැත්තං අපි හැමෝම කෑවෙ ඥානතිස්සලගෙ ජාතියෙ කෑම තමයි. අපේ නං මුද්දරේ කැපුනෙ පාසල් නොපැමිණි දවසට විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙම ඉස්කෝල අපි දැනුවත්ව ඒකාලෙත් තිබුනා රාජ්....

      Delete
  33. චූටි මහත්තයා ඇතුලු පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  34. දන්නවද? මන් ගාව රු.6.00ක් වටින කාඩ් එකක් දැනටත් තියේ කියලා.. ඒ මාසෙ මම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ දවස් 2යි... ;)

    ReplyDelete
    Replies
    1. යකඩෝ කොළඹ රටේ වැදගත් රස්සායක් කරන ඇත්තියෙක් කියන කතාවක් ද මේ හෙහ් හේ

      Delete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...