2014/10/09

පැටියා | මේ ඔබේ ද මගේ ද කතාවයි...! (විදෙස් සිත්තරාගේ සිතුවම් සමගින්)

දවසක් චාලි මුදලාලිගේ ඌරු කොටුව පැත්තෙන් කෙහෙල් කොටුව ට යන අතරේ අපි දැක්කා ඌරු කොටුව ගාව තිබුනු සලකුණු වගයක්.

ඒවා ලොරියක රෝද වලින් ඇඳුනු ඒවා. සිමෙන්ති බැම්මෙන් ඌරු කොටුව බැඳලා තිබුනට මොකද ඒ අසබඩ නිතරම තෙත බරිතවයි තිබුනේ. ඒ නිසා ලොරියේ බරට රෝද වල සලකුණු පොලොවේ සටහන් වෙලා තිබුනා. රෝද, මඩත් එක්ක කළවමට තිබුනු පසට කිදා බැහැලා. ඒ නිසා මඩ, රෝද වල සීමාව දෙපැත්තේ නැවතුනු මුහුදු රැල්ලක් වගේ උඩට ඉස්සිලා තිබුනා. ඇතුලට තල්ලු වුනු පස් තට්ටුවේ, රෝද වල කට්ට රටා උඩට මතුවෙලා තිබුනා. ලොරිය හරවන්න උත්සහ කරද්දි රෝද පාරවල් එක පිට එක ගිය තැන් ඇරුණම, මේ මොස්තර කෙනෙක් හිතා මතා අඹපුවයි කියලා හිතෙන තරමට පිලිවෙලට තිබුනා. ඒ ලොරියේ රෝද පාරවල් ඌරු කොටුව පැත්තේ ඉදලා චාලි මුදලාලිගේ ගෙවල් පහුකරගෙන වත්ත හරහා ප්‍රධාන ගේට්ටුව පැත්තට ඇදිලා ගියා. ඌරු කොටුව අසබඩ වැවිලා තිබුනු දවල් කුමාරි මල් ගස් වලින් සමහරක් ඒ රෝද පාරවල් වලට අහුවෙලා තැලිලා. දවල් කුමාරි මල් වල පෙති නටුවෙන් ගැලවිලා අවට විසිරිලා. කාලෙකින් ලොරියක් ඒ පැත්තට ආවේ නැති නිසා නිදහසේ රැදුනු දිය සීරාවයි, පොහොර රසයි උරාගෙන සාරෙට හැදීගෙන ආපු තණකොල ගස් රෝද පාරවල් වලට අහුවෙලා. ඒවා රෝද සළකුණු වලින් හෑරුණු සමහර තැන් වලට කාන්දු වුනු මඩ වතුරේ, විසිරිලා ගිය දවල් කුමාරි මල්පෙති එක්ක පාවුනා.

ඒ රෝද පාරවල් දැක්ක හැටියේ අපිට කවදත් මතක් වෙන්නේ පැටියා ව.

පැටියා කියන්නේ තමුන්ගේ කෑම වේලට ඕනම වෙලාවක සබන් කෑල්ලක් දෙකක් එකතු කරගන්න කැමති ජාති ඌරු පැටියෙක්.

පිලිවෙලක් ඇතුව කතාව කියනවා නම් ඒක පටන් ගන්නේ මෙහෙමයි. එකෝමත් එක දවසක අපි මේ වගේම චාලි මුදලාලිගේ කෙහෙල්කොටුව පැත්තට යද්දි එයාලගේ ඌරු කොටුව පැත්තෙන් විලාප සද්දයක් ඇහුනා. මීට කලින් අපි ඌරන්ගෙන් එහෙම සද්දයක් අහලා තිබුනේ නෑ. අපි යන්න ආපු ගමන පැත්තක දාලා ඒ පැත්තට දිව්වා. සද්දේ ‍‍බොහොම තියුණු එකක්. ළඟට ගිහිල්ලා බලද්දි අපි දැක්කා චාලි මුදලාලිගේ පොහොර ඊරි ට පැටව් ලැබෙන්න යන විත්තිය. එයා ඒ වේදනාවෙන් හොඳටෝම හෙම්බත් වෙලා. හැබැයි තාම පැටව් කව්රුත් ලැබිලා නෑ. ඒත් වේදනාව හොඳටෝම දරුණු වෙලා. එයා දිහා බලන්නත් දුකයි. ඒ පාර අපේ කව්රු හරි කෙනෙක් මෙහෙම ඇහැව්වා.

''දැන් අපි මොකද කරන්නේ......?''

''අපි චාලි මුදලාලිට කියමු....."

''පිස්සු ද කාටවත් කියන්න එපා.... මෙතෙන්ට වෙලා වෙන දේ බලාගෙන ඉමු..." ඒ කුමාර.

''ඊරි පව්. අපි කාගෙන් හරි උදව් ඉල්ලමු......''

''පිස්සුද, කව්රු ආවත් කරන්න දෙයක් නෑ.... බලාගෙන ඉන්නවා මිසක්.... මොකද ඉස්පිරිතාලේ අරගෙන යන්නද? නිකං ඉන්ඩ..... කාටහරි කිව්ව හැටියේ ඒ මිනිස්සු මුලින්ම කරන්නේ අපිව මෙතනින් පන්නන එක.... පිරිමි අපිට ළමයි හම්බෙන හැටි බලන්න හොඳ නෑ කියලා.... මම දන්න හින්දනේ කියන්නේ.....!‘'

''ඔයා මීට කලින් ඌරටන්ට පැටව් හම්බෙනවා දැකලා තියෙනවද?''

''නැතුව..... බලා ඉන්ඩකෝ.... ආය මේ සම්මජ්ජාතියේ අපිට හිතලා බලන්ඩ බැරි දෙයක් ඔය......" මිනිහා එදා පාර ගණන් උස්සලා කතා කලා.

''එහෙම ද.....?'' අපි මිනිහට තැන දීලා මිනිහගේ කීම අනුගමනය කරන්න හිතුවා.

ඌරු අම්මට පැටව් ලැබෙන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ දිහා බලාගෙන ඉන්න කාටත් ඒක තේරුම් යන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ. ඌරු අම්මා කෑගහන සද්දෙට අපේ ඇඟවලුත් සීතල වෙලා හිරි වැටෙනවා. එයා දැන් තමුන්ගේ පළවෙනි දරුවා බිහි කරන්න හොඳටම කිට්ටු වෙලා කියලා අපිට දැනෙන්න ගත්තා. ඔන්න තවත් ටික වෙලාවකින් ඌරු අම්මා එයාගේ පළවෙනි දරුවා බිහි කලා. ඒක එයාට කොයිතරම් වේදනාකාරී දෙයක් ද කියලා අපි දැක්කා. ඒත් ඒවා වචන වලට පෙරලන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. දැන් මෙයා ඌරෙක් වුනත් අම්මා කෙනෙක්. ඒ කොහොම වුනත් තමන්ගේ උත්පත්තිය ඌරු පැටියට නම් අන්තිම ත්‍රාසජනක අද්දැකීමක් වෙන්නැති. ඒ මොකද මෙච්ච්චර කාලයක් තෙතමනයෙන් පිරුණු අඳුරු ගුහාවක් අස්සේ ඉඳලා හිටි අඩියේ ඉර එළිය වැටුනු, හුළං හමන පරිසරයකටයි එයා පාත්වුනේ. මුලින් මුලින් එයාට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුනා වගේ? අපි එහෙම හිතුවා. ඒත් ඒ සිතුවිල්ල එච්චර වෙලා අල්ලලා හිටියේ නෑ. මිනිහා මහපොළවට වැටුන හැටියේ බැලුමකින් හුළං යද්දි වගේ කීස් කීස් ගාලා සද්දයක් පිට කලා. ඊලඟට තමන්ගේ කකුල් වලින් හිටගන්න බැලුවා. ඔන්න ඇඳගෙන වැටුනා. ඊලඟට ආයිම. එදා පාර කකුල් වෙව්ලලා වෙව්ලලා කොහොමහරි එයා සමබර වුනා. ඊලඟට මිනිහා අඩියක් දෙකක් ඉස්සරහට තිබ්බා. හරියට වෙරි වුනු මිනිහෙක් වගේ. එයා චූටි දෙයක වැදුනත් ඇදගෙන වැටුනා. ඇවිදිනකොට හැමතැනම විසිවුනා. ඊලගට තව අඩිදෙකක් ඉස්සරහට ආවා. ඇඳගෙන වැටුනා. ඒත් උත්සාහය අත ඇරියේ නෑ. ආයෙත් දණිපනි ගාලා නැගිටලා එයාගේ ඉලක්කෙට ගියා. එයා ගියේ ඌරු අම්මා ලඟට කිරි බොන්න. එයා ජාති ඌරු පැටියෙක්. අපේ නංගිලාට‍ තමා ඉපදිලා අවුරුදු ගාණක් ගිහිල්ලත් හරියකට කකුල් දෙකෙන් අඩි දෙක තුනක්වත් ඇවිදගන්න බැරිවුනේ. ඒකට මෙයා. ඉපදිලා මොහොතයි ගතවුනේ එයාගෙම කකුල් දෙකෙන් ඇවිද්දා. ඒ විතරක් ද එයා තනියෙම හොයාගත්තා කිරි බොන්න යන්න ඕන ඉසව්ව. ඊලගට පුරුදු කාරයෙක් වගේ අම්මගේ උණුසුමට ගුලිවෙලා කිරි බොන්න ගත්තා. හරියට බූල් පිරුණු රෝස පාට බෝලයක් වගේ. එයාගේ ඇඟ තාමත් තෙතමනයෙන් පිරිලා. ඒ හින්දා සමහර බූල් පෙගුණු පාපිස්සක් වගේ එකට ඇලිලා. හැබැයි මිනිහට ඒකේ වගේ වගක් නෑ. මිනිහා තමුන්ට මේ ලෝකේ කරන්න තියෙන එක ම රාජකාරිය අම්මගෙන් කිරි බීමයි කියලා හිතල දෝ අනිත් සේරෝම දේවල් අමතක කරලා තමුන්ගේ වැඩේ කරගෙන ගියා. ඒත් එයාට ඒක ලේසි වුනේ නෑ. ඒ මොකද එයාගේ සහොදර සහෝදරියෝ තාම මඟ. ඉතින් ඌරු අම්මා තමුන්ගේ ඊලඟ පැටියා ලැබෙන්න යද්දි  මුල ම වතාවෙදි වගේ වේදනාවෙන් පිරුණු තියුණු සද්දයක් පිට කලා. ඒ එක්ක ම මුලම ඌරු පැටියගේ තවත් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි මේ ලෝකේ එළිය දැක්කා. ඊලගට එයාලත් අර වගේම දණිපනි ගාලා නැගිටලා විසිවෙවී ඇවිල්ලා අම්මගෙන් කිරි බොන්න ගත්තා.

අපි මේ සේරෝම ටික ඌරු කොටුව වටේ හදපු ගල් පිළිම වගේ බලාගෙන හිටියා. ඊලඟට කුමාර කට ඇරියා.

''දැන් තමා පරිස්සං වෙන්ඩෝන...... ඊරි‍‍ට යටවෙලා පැටව් මැරෙන්න පුලුවන්. ඌ එහාට මෙහාට දඟලද්දි. කකුලට එහෙම පෑගුනොත් ආය එතනමයි.....''

''එහෙනං අපි දැන් චාලි මුදලාලිට කියමුද?''

''ඔහොම ඉන්ඩ, දැනට එහෙම දෙයක් වුනොත් අපිට පුලුවන් ඊරිගෙන් පැටියා බේර ගන්න..... සේරෝම පැටව් හම්බුනාට පස්සේ අපි කියමු..... එතකොට එයාලා ඇවිල්ලා ඊරිව වෙන් කරයි."

''ඒ කිව්වේ.....?"

"ඒ කිව්වෙ ද, ඊරිගෙන් පැටව් කිරි බීලා ඉවර වුනාම රෑට එහෙම ඊරිව වෙන් කරලා තියෙන්නේ..... එතකොට නින්දෙදි යට වෙයි කියලා බය වෙන්න දෙයක් නෑනේ.... මහ රෑ පැටව් කිරි ඉල්ලලා කෑ ගැහුවොත් ආයිමත් පැටව් ඉන්න කොටුවට දායි......" කුමාර ඌරෝ ගැන කියවෙන පාඩමක් උගන්වන ගුරුවරයෙක් වගේ හිතට අරගෙන කිව්වා.

තවත් ටික වෙලාවක් යද්දි හැම දේම ඉවරවුනා. අපි ජීවිතේ පළවෙනි වතාවට ඌරු පැටව් මේ ලෝකේට එන හැටි දැක ගත්තා. ඌරු අම්මා එතන ඇලවෙලා මහන්සි අරින්න ගත්තා. පැටව් සේරෝම එකා පිට එකා වැටිලා කිරි බිව්වා. එයාලා කෝච්චියට පරක්කු වෙලා ටිකට් කන්තෝරුව ළග පොර කන මිනිස්සු වගේ පොර කෑවා.

"සේරෝම දාහතයි!" හැමතැනින් ම මතුවුනු කකුල් තියෙන රෝස පාට බෝල ටික ගණන් කරපු කුමාර කිව්වා.

ඔය විදිහට දවස් දෙක තුනක් ගත වුනා. ඒ දවස් වල ඉස්කෝලෙන් පස්සේ අපේ ප්‍රධාන රාජකාරිය මොකද්ද කියලා ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දවසක් අපේ දැනමුත්තා කුමාර, කාලයක් තිස්සේ හොය හොය හි‍‍ටපු යමක් හමුවුනා වගේ ඔලුව වැනුවා. ඊලගට "හරි" කිව්වා. ඒ පාර අපි සේරෝමලා කලබල වුනා.

"හරි කිව්වේ.....?" අපි කුමාරගෙන් ඇහැව්වා. ඔන්න මිනිහා හිතට ගත්තා.

''අර පොහොර එකා ගාව ඉන්න අනිත් පැටියා පේනවා නේද?" අපි හැමෝම පොහොර වැටුනු ඌරු පැටියා ලඟ ඉන්න අනිත් කෙනාව හෙව්වා. අපි දැක්කා අම්මගෙන් කිරි බොන තරගෙන් පැරදිලා පැත්තක ඉදගෙන කිරි සුවඳට ඉව අල්ලන කෙසඟ ඌරු පැටියෙක්.

"ඔව්" අපි කිව්වා.

"ඒ තමයි දුරුවලයා !''

''ඒ කිව්වේ ?"

''ප‍ට්ටිය ලොකු නං ඔහොම එකෙක් දෙන්නෙක් හිටිනවා......"

''ඒ කිව්වේ....?" අපි ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහැව්වා. ඒ පාර කුමාර ලොකු කතාවක් තේරුම් කරන්න හරි බරි ගැහුනා.

''ඒ කිව්වෙද........, මිනිහා තමයි මේ පැටවුන්ගේ දුරුවලම පැටියා...... අර බලන්ඩ මිනිහට කිරි බොන්න තැනක් නෑ. සේරෝම ටික අනිත් පැටව් අයිති කරගෙන. සමහර විට මිනිහා වෙන්නැති දාහත්වැනියා. මිනිහා හම්බෙලා කිරි බොන්න එද්දි අයියලා අක්කලා සේරෝම ටික අයිති කරගෙන. ඉතින් මිනිහා මුල ම දවසේ ම දුරුවල වෙන්නැති..... ඔය විදිහට ගිහිල්ලා ‍අන්තිමේ මිනිහගේ ඇඟට හරි හමන් විදිහට කිරි වැටුනේ නෑ...... මිනිහා කිරෙං බාල වුනා. ඉතින් මිනිහට බෑ තමුන්ගේ ම සහෝදර සහෝදරියෝ එක්කලාවත් සටන් කරලා බඩ පිරෙන්න කිරි ඩිංගක් බී ගන්න.''

ඔන්න අපිට හැමදේම පැහැදිලි වෙන්න ගත්තා. මීට කලින් වතාවල් වලත් චාලි මුදලාලිගේ හරක් පට්ටිය බලා කියාගෙන ඉන්න විල්බට් මාමා මේ විදිහට ඌරු පැටව් ලැබිලා දවස් දෙක තුනක් ගත වෙද්දි කෙසඟ ගැහිලා තමුන්ගේ ජීවිතේ අත ඇරුණු ඌරු පැටව් අරගෙන යනවා වල දාන්න. බාග වෙලාවට මේ ඉන්නේ ඒ වගේ දුරුවල එක්කෙනෙක් වෙන්න ඇති.

ඊලඟට අපි කල්පනා කලේ මේ කෙසඟයට තමුන්ගේ දුක්බර ඉරණමෙන් ගැලවෙන්න මොනවා හරි උදව්වක් කරන්න පුලුවන් ද කියලා. ඒත් හිතලා බලද්දි මිනිහ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ. ඒ මොකද මිනිහගේ සරීරේ දුරුවල කම නැති කරගන්න නම් කොහොම හරි බඩකට පුරා කිරි බොන්න ඕනෑ. කිරි බොන්න නම් ලොකු තරගයක් දෙන්න ඕනේ. තරගයක් දෙන්න නම් ඇගපත හයිය තියෙන්න ඕනේ. ඇඟපත හයිය වෙන්න කිරි බොන්න ඕනේ. ඉතින්....! අපි උනත් ඔය වගේ වෙලාවක අසරණ වෙනවා. ඒ මොකද ප්‍රශ්ණය රවුමක් වුනාම කොණක් හොයාගන්නේ කොහොමද? ඉතින් මිනිහට සිද්ද වෙන්නේ තමුන්ගේ බඩගින්නෙන් පිරුණු දුක්බර අවසානය එනකල් බලාගෙන ඉන්න විතරයි. කල්පනා කරලා බලද්දි මේක අන්තිම අසාධාරණයි. කිසිම දෙයක් නොතේරෙන ‍තොත්ත බබෙක් කොහොමද තමුන් වෙනුවෙන් සටන් කරන්නේ. ඒකට හොඳ උදව් කාරයෙක් ඉන්නම ඕනේ. ඔහොම කල්පනා කරද්දි තමයි හැම දෙනාව ම පුදුමය ට පත් වෙන විදිහේ ජාති අදහසක් මගේ ඔලුවට පාත් වුනේ.

‘‘අපි මෙයාව චාලි මුදලාලිගෙන් ඉල්ලා ගමු..... ඊට පස්සේ අපි ඌට අපේ කිරි පංගුව දීලා හදා ගමු“ ඒ පාර කවුරුත් නිහඬ වුනා.

ඇත්තටම අපිට ඌරු පැටියෙක් හදා ගන්න පුලුවන්ද? එයා රෑට කොහෙද ඉන්නේ. පොඩිම කාලේ අම්මගේ උණුසුම නැතිව වෙන මොනවා ලැබුනත් වැඩක් තියෙයිද? ඊලගට ඔය වගේ ප්‍රශ්ණ ගොඩකට අපිට උත්තර හොයන්න වුනා. ලොකුම රාජකාරිය ඒක නෙමෙයි. මේ අරුම පුදුම අදහස අපි චාලි මුදලාලිට කියන්න ඕනෑ. ඊලඟට චාලි මුදලාලි ඒ අදහසට කැමති වෙන්න ඕනේ. හරියට අපි කැමති හීනයක කොටසක් වගේ. දවසක් උදේ වරුවක විල්බට් මාමා ඌරන්ට කෑම දාන්න යන වෙලාවක් බලලා අපිත් ගියා ඒ පැත්තට. චාලි මුදලාලිත් තමුන්ගේ අලුත් ම ඌරු නඩේ දැක බලාගන්න හිත සන්තෝසෙන් ඒ පැත්තට ගාටනවා. ඊලඟට බොහොම වැදගත් විදිහට චාලි මුදලාලි ට අපේ යෝජනාව ඉදිරිපත් කලා. ඒ පාර චාලි මුදලාලි හොඳට කල්පනා කලා. එයා විල්බට් මාමා දිහා බැලුවා. විල්බට් මාමා මෙහෙම කිව්වා,

“දීලා දාන්ඩ මුදලාලි මහත්තයා.... ඕකා කොහොමත් දුරුවලයා.....“ ඒ පාර චාලි මුදලාලි ආයිමත් කල්පනා කලා.

“හරි එහෙමනං මේ ළමයි පැටියට කන්න බොන්න දීලා හදා ගන්නකෝ...... හැබැයි එකක්. රෑට එහෙම ඔය තැන්තැන්ඔල පැටියා තියාගන්නෑ, ඒකට අම්මගේ උනුහුම ඕනෑ... තේරුනා ද?“ චාලි මුදලාලි බැරෑරුම් මූණක් හදාගෙන කිව්වා. චාලි මුදලාලි ඒක මොන විදිහට කිව්වත් අපිට වැඩක් නෑ. ඒ මොකද මේ කතාව ඉවර වුනේ කටවචනෙන් හරි ඌරු පැටියා අපිට අයිතිවෙලා. මේ කතාබහ මෙච්චර ලේසියෙන්, මෙච්චර සරළව අවසාන වුනු එක ගැන අපි කව්රුත් පුදුම වුනා. ඒත් අපිට පුදුම වෙන්න ඊට වඩා වටිනා කාරණයක් තිබුනු හන්දා චාලි මුදලාලිගේ අරුම පුදුම තීරණය අපිට කිසි වැදගැම්මකට නැති වචන ටිකක් වුනා.


කොහොම හරි ඒ උදේ වරුවේ දුරුවලයගේ අයිතිකාරයෝ වෙන්න අපිට පුලුවන් වුනා.

මුල ම දවස් වල මම නංගිගේ පරණ කිරි බෝතලෙන් එයාට කිරි පෙව්වා. මහ පාන්දර නැගිටලා දෙවැට පැනලා චාලි මුදලාලිගේ ඌරු කොටුවට යනවා. ඊලඟට දුරුවලයා හොයාගෙන හා පැටියෙක් ව වගේ අපේ කුස්සිය ගාවට ගේනවා. ඊලගට සූප්පුවෙන් කිරි පොවනවා. මුලම දවස් වල එයා කිරි බොද්දි එයාගේ හොස්ස දිගේ බෙල්ලට කිරි බේරුනා. ඉතින් එයා අපිට තනියෙම බැන බැන කිරි බිව්වා. බනින්න හේතුවක් නැතිනම් පොඩි ළමයෙක් වගේ තනියෙම කියව කියව කිරි බිව්වා. අපි මිනිහට නමක් යොජනා කරන්න ලෑස්ති වෙද්දි මිනිහා දන්නෙම නැතුව පැටියා කියන නමට හුරු වෙලා තිබුනා.

ටික දවසක් යද්දි මහ පාන්දර මම ඌරු කොටුවට යන එක නතර කලා. ඒ වෙනුවට කුස්සිය පිටිපස්සට ගිහිල්ලා, චාලි මුදලාලිගේ වත්ත පැත්ත බලාගෙන “පැටියා...............“ කියලා කෑ ගැහුවා.  මොහොතකින් මිනිහා අඳුර අතරින් මතුවෙලා අපේ කුස්සිය ගාව නැවතුනා. තවත් ටික කාලයක් යද්දි මම පැටියා කියලා කෑ ගහන එකත් නතර කලා. ඒ මොකද මම පාන්දර නැගිටලා බිත්ති වල වැදි වැදී කුස්සියට එද්දි මිනිහා ඊට කලින් දොර ළඟ හිටගෙන අම්මා එක්කලා බර කතාවක.

ඊලඟට අපිට සිද්ද වුනා මිනිහට බර ආහාර දෙන්න.  හැබැයි නංගිලාට කෑම කවන රාජකාරිය තරම් ඒක අමාරු වුනේ නෑ. ඒ මොකද මිනිහා කොයි වෙලාවේ බැලුවත් හිටියේ බඩගින්නේ. කුමාරලා වසන්තලා එයාලගේ ගෙවල් වල කෑම වල ඉතුරු බිතුරු මල්ලක දාගෙන අපේ ගෙදර ගෙනාවා. අපි ඒවා වී කුඩු එක්ක අනලා පැටියට දුන්නා. හැබැයි එහෙමත් දවස් වලට රසවත් කෑම මුකුත් හොයා ගන්න බැරි වුනාම අපි මිනිහට වී කුඩු විතරක් වතුරේ දිය කරලා දුන්නා. එදාට තමා සෙල්ලම. මිනිහා කෑම කොරහට ඉව කරලා බලලා හොම්බෙන් කෑම භාජනේට ඇනලා ඒවා හලලා දැම්මා. ඊලගට පිම්මේ දුවන්න ගන්නවා. ඒ මොකද මිනිහා දන්නවා කෑම හලපු හැටියේ අපෙන් හොඳවයින් අහගන්න වෙනවා කියලා. කොයික වුනත් එයා සූප්පුවෙන් කිරි බොන එක නවත්වන්න කැමති වුනේ නෑ. ඒත් අපිට පුලුවන්ද හැමදාම කිරි දෙන්න. ඊලඟට  අපි තේ වතුර දුන්නා. මිනිහා අපූරුවට බිව්වා. “අන්න බලන්ඩ වෙනස.......“ අපි තේ වතුර බොන පැටියව වැඩිහිටියන්ට පෙන්වලා ගිරව් දෙන්නගේ කතාව මතක් කරලා දුන්නා.

මිනිහට අපිව කොච්චර විශ්වාස ද කිව්වොත් ඌරු කොටුව ට කෑම දාන වෙලාවට ඒ පැත්තවත් නොබලා අපේ ගෙදර දුවගෙන ආවා.  අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න වෙලාවට කෑම දෙන රාජකාරිය කලේ අම්මා. “වැඩ නැතුවට වැඩ.....“ අම්මා පැටියා කන දිහා බලාගෙන ආදරෙන් කියනවලු. අම්මා ට පවරපු වැඩ කටයුතු හරියාකාරව කෙරෙනව ද කියලා බලා ඉදලා, හවස් අතේ වාර්තාව ඉදිරිපත් කලේ නංගි. ඔන්න ඔය විදිහටයි ඌරු පට්ටියේ හිටපු දුරුවලම ඌරු පැටියා තමුන්ගේ දුරුවලකම හන්දම වාසනාව පාදගත්තෙ.

ටික කාලයක් යද්දි එයා ජාති ඌරු පැටියෙක් වුනා. මිනිහගේ කැමති ම අතුරුපස වුනේ සබන්. එලියක පහලියක සබන් කෑල්ලක් දැක්කොත් එයා ඒක කොයිකටත් කියලා කටට දෙකට කාලා දැම්මා. සමහර දවස් වලට සබන් කෑලි වල අයිතිකාරයෝ අපිව හොයාගෙන තැපැල් කන්තෝරුවට ආවා. මම එයාලව කුමාරලාගේ ගෙදරට පිටත් කලා. කුමාර එතකොට කියනවලු, “ඌරු පැටියා අපේ නෙමෙයි චාලි මුදලාලිගේ“ කියලා. එතකොට සබන් අයිතිකාර කට්ටිය සබන් කෑල්ලක් වෙනුවෙන් මේ හැටි නැහෙන්න බෑ කියලා කරබාගෙන යන්න යනවලු.

ඒ වගේ අත්වැරදීම් වුනත් පැටියා පුංචි බලු පැටියෙක් වගේ හුරතල්. හැබැයි බලු පැටව් වගේ සෙල්ලම් දාන්න පුලුවන් ඇඟක් එයාට නෑ. ඉතින් එයා කකුල් තියෙන බෝලයක් වගේ අපේ පස්සෙන් පැන්නුවා. මිනිහට පොඩ්ඩ ඇත්නම් මහන්සියි. ඒක හන්දා ටිකක් දුවලා හතර ගාතේ දාලා බිම වැටුනා. ඒ වෙලාවට අපි මහන්සිය නැති වෙලා යන්නත් එක්කලා පරණ ඉදලක් අරගෙන මිනිහගේ ඇඟ පිරිමැද්දා. ඔහොම  ඉන්න දවසක කුමාර මිනිහා ගැන මහා පුදුම හිතෙන කතාවක් කිව්වා මෙන්න මෙහෙම,

“දෙයියෝ සාක්කි, මූ ඌරු පැටියෙක් නෙමෙයි, ඊරි පැටියෙක්......“ අපිත් වටවුනා. බලාගෙන යද්දි ඒ කතාව ඇත්ත කියලා අපිට වැටහුනා.

ඉතින් ඔය විදිහට පැටියා, ඇත්තටම නං පැටික්කි - ගැටිස්සියෙක් වෙලා, ලමිස්සියෙක් වෙලා එයාගේ කල වයස හරි යන්නත් ඒ හැටි කාලයක් ගියේ නෑ. ඒත් ඔය කාලේ වෙන කොට චාලි මුදලාලිගේ ඌරු වරිගේ හොඳ නාම්බෙක් හිටියේ නෑ. ඒක නිසා පැටික්කිට හොඳවයින් සහකාරයෙක් හොයා දෙන වැඩේ බාර වුනේ පට්ටි නැන්දට. පට්ටි නැන්දගේ ඇත්ත නම ඇග්නස්. නම මොකක් වුනත් නැන්දා රස්සාවට කරන්නේ එයා ගාව ඉන්න ඌරූ නාම්බන්ට, ගමේ ඉන්න නාම්බෝ නැති ඊරියන්ව ජෝඩු කරන එක. ඒ හිලව්වට එයා අලුත් ජෝඩුවට ලැබෙන මුල ම පැටව් මුරෙන් එක පැටියෙක් හිලව් කර ගත්තා.

එක දවසක් චාලි මුදලාලිගේ ගෙදරටත් පට්ටි නැන්දා ආවා. ඊලගට එයා අපේ පැටික්කිගේ බෙල්ලට කඹයක් දාලා ඌරු ගැටෙන් තද කලා. ඒ ගැටේ ට එයාගේ බෙල්ල හිර වෙන්නේ නෑ. අපි මේ හැමදේම බලාගෙන හිටියා. අපි පට්ටි නැන්දව අල්ලගෙන පැටික්කි ගැන සේරෝම විස්තර කිව්වා. පැටික්කිත් කට ඇරගෙන සේරෝම අහගෙන හිටියා. ඊලඟට නැන්දා, "හැබෑද!" කියලා පුදුම වුනා. ඊලගට “පුංචි මහත්තුරුන්ට බයවෙන්ඩ දෙයක් නෑ..... පැටික්කිව මම ඊටත් හොඳට බලාගෙනයි ආයිමත් එවන්නේ....“ කියලා අපිට පොරොන්දු වුනා. ඒ එක්කම අපේ ඔලුවේ තිබුනු බරක් අඩුවෙලා හිත ඩිංගක් සැහැල්ලු වුනා. ඊලඟට පැටික්කිව බැඳලා තිබුනු කඹය ගත්තු පට්ටි නැන්දා, “හා යමං කෙල්ලේ එහෙනං.......“ කියලා එයාලගේ ගෙදර යන්න පාරට බැස්සා. ඔය විදිහට ඉපදුනු දා ඉදලා අපිත් එක්ක හිටපු පැටික්කි පට්ටි නැන්දා එක්ක පිට වෙලා ගියා.


එයා ඒක කැමැත්තෙන් ගිය ගමනක් නෙමෙයි කියලා අපි හැමොම දැනගෙන උන්නා. ඒ මොකද පට්ටි නැන්දා එයාව පාරට කැන්දන් ගිය හැටියේ එයා කඹයේ අනිත් කෙලවරේ ඉන්න පට්ටි නැන්නදවත් ගැස්සිලා එන විදිහට පස්සට ඇද්දා. ඇයි එයා පොඩි කාලේ ඉදලා හොඳට කිරි බීලා හැදුනනේ. ඉතින් පට්ටි නැද්දා “අම්මද බොල.....“ කියලා කඹය ඇදලා අල්ලා ගත්තා. අන්තිමේ කොහොමහරි නැන්දා එයාව එක්කගෙන ගියා. ඔය ගිය ගමන පැටියා ආපහු එන්නේ තවත් මාස ගාණක් ගත වුනාට පස්සේ. එයා අම්මා කෙනෙක් වෙන්න මුල ම ලකුණු පහල වුනාම. ඒ ගැන හොඳ හැටි අද්දැකීම් නැන්දට තිබුනා.

ඔය විදිහට මාසයක් හමාරක් ගත වෙලා ගියා. මෙන්න දවසක් නැන්දයි පැටියයි පාර කෙළවරේ ඈතින් මතුවුනා.  පැටියා බඩ දරු අම්මා කෙනෙක් වගේ බොහොම නැත්පත් ලීලාවෙන් නැන්දා පස්සෙන් ආවා. මේ මීට ටික දවසකට කලින් අපිත් එක්කලා දුවලා පැනලා සෙල්ලම් කරපු පැටිය ද කියලාත් අපිට හිතුනා. එයා ඒ තරමට සන්සුන්. බොහොම පරිස්සම්.

ටික දවසක් යද්දි එයා හොඳටෝම වෙනස් වුනා. එයා හොඳටම විමසිලිමත් වුනා. කව්රු දිහා වුනත් සැකෙන් බැලුවේ. කාටවත් එයා ලඟට කිට්ටු වෙන්න දුන්නේ නෑ. කෑම දෙන විල්බට් මාමටවත්. අපිට නම් එහෙම නෑ. ඒත් ඉස්සර වගේ එයා සෙල්ලමට ආවෙත් නෑ. ඒ මොකද එයා දැන් බඩ දරු අම්මා කෙනෙක්නේ.

ඔය විදිහට තවත් කාලයක් ගත වුනා. දවසක් අපි ඉස්කෝලේ ඇරිලා එද්දි එයා පැටව් ගොඩක් වටකරගෙන හිටියා. අර මුලම වතාවේ අපි එයාව දැක්කා වගේ.

ඌරු පැටව් අපි වගේ නෙමෙයි. එයාලා ගොඩක් කෑම කාලා ඉක්මනට ලොකු වුනා. තව ටික දවසක් යද්දි පැටව් තනියෙම කෑම කෑවා. පැටවුන්ගේ අම්මා, ඒ කියන්නේ අපේ පැටියට, හරි විදිහට නම් පැටික්කිට පොඩි විවේකයක් ලැබුනා. ඉතින් එයා නිදහසේ කල්පනා කරන්න ඇති. එයාට පරණ දේවල් මතක් වෙන්නත් ඇති. ඒ මොකද දවසක් දා එයා ආයෙත් අපේ මිදුලට ආවා. ඇවිල්ලා හතර ගාතේ දාලා වැටුනා. හැමෝම කල්පනා කලා මේ මොකද කියලා. ඒත් මම මොකටද ඒ ගැන කල්පනා කරලා කාලේ නාස්ති කරන්නේ. මම දුවලා ගිහිල්ලා මගේ පරණ ඉදලා ගෙනල්ලා පැටික්කිව පිරිමැද්දා. ඊලඟට හැමෝටම තේරුනා එයා බලාපොරොත්තු වුනේ ඒ දේම තමයි කියලා.

එයා බිම පෙරලිලා ඉන්න කොට අපිට මුල ම දවස් වල එයා මහන්සියට මේ විදිහට වැටිලා හිටපු හැටි මතක් වුනා. එතකොට එයා හොඳටම තරුණයි. ඉදල් කොටේ එයාගේ ඇඟ මතුපිට දිව්වා. හැබැයි දැන් එයා ඉස්සර වගේ නෙමෙයි. එයාගේ තරුණ කමට, සවි ශක්තියට තිබුනු ඇඟ දැන් නෑ. හරියට වතුර පුරෝපු සිලි මල්ලක් වගේ එයාගේ ඇඟ බුරුල් වෙලා. ඒ මදිවට මුලු ඇඟේ ම මඩ. ඇඟ හැමතැනම එයාගේ ලේ උරා බොන පරපෝෂිතයෝ පිරිලා. ඒක දැකපු නංගි දුවලා ගිහිල්ලා එයාගේ සෙල්ලම් ගෙදර තිබුනු පරණ පනාවක් ගෙනල්ලා පැටියව පීරන්න ගත්තා. පැටියගේ ඇඟේ වහලා හිටිය පරපෝෂිතයෝ පනාවට බේරිලා ආවා. එයාට නින්ද යන තරම් සැහැල්ලුවක් දැනෙන්න ඇති.

“මේ වගේ ඌරෙකුයි, මේ වගේ ළමයි ටිකකුයි නම් මම කවදාවක් දැකලා නෑ......“ මේ දිහා බලාගෙන හිටපු තාත්තා එහෙම කියාගෙන ගෙට දුවලා ගිහිල්ලා එයාගේ යසිකා කැමරාව උස්සගෙන ආවා. තාත්තා කැමරාවේ ක්‍රෑන්ක් එක පස්සට ඇද්දා. පැටියා ඒ සද්දෙ මොකද්ද කියලා එක කනක් උස්සලා බලලා ආයිමත් නිදා ගත්තා. තාත්තා ක්ලික් ගාලා පොටෝ එකක් ගත්තා. ඔය විදිහට ඉඩ ලැබුනු හැම වෙලාවකම පැටියා අපිව හොයාගෙන ආවා. අපි සෙල්ලම් කලා. තාත්තා පොටෝ ගත්තා. ඇයි මොන දේ සිද්ද වුනත් එයයි අපියි හොඳම යාලුවෝ නේ. අනික එයාට හොඳ හැටි මුල මතක ඇති.


එක දවසක් අපි ඉස්කෝලේ ගිහිල්ලා එද්දි චාලි මුදලාලිගේ වත්ත පැත්තේ එකම ගාලගෝට්ටියයි. අපි ඒ පැත්තට දිව්වා. ටවුමේ ඉදලා ලොරියක් ඇවිල්ලා ඌරු කොටුව ගාවට. මුණවල් බිලිං ගෙඩි වගේ ඉදිමුනු මිනිස්සු ටිකක් ලොරියට ඌරෝ පටවනවා. කලබල වෙලා කොටුවෙන් පනින ඌරන් ගැන බලාගත්තේ එයාලා එක්ක ආපු වේලුනු මූණවල් තියෙන බල්ලෝ. උන් ඕන ම දෙයක් එක පාරින් අල්ලගන්න පුලුවන් තියුනු දත් විලිස්සගෙන කොටුව දිහා බලාගෙන උන්නා. අපි අපේ පැටියව හෙව්වා. එයත් මේ කලබගෑනියට මැදි වෙලා යටිගිරියෙන් කෑ ගහලා උදව් ඉල්ලමින් උන්නා. අපිට මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරි වුනා. අපි දුවගෙන ගියා ඈත ඉඳලා මේ දිහා බලාගෙන ඉන්න විල්බට් මාමා ලඟට. විල්බට් මාමා අපි දිහා බැලුවෙ නෑ.

“ඕවා ඔහොම තමා..... කවද්ද ළමයිනේ ඌරෝ වයසට ගිහිල්ලා මැරිලා ගියේ......?“ විල්බට් මාමා ඈත බලාගෙන කිව්වා.

ඒ වෙනකොට අර මිනිස්සු පැටව් ඉතුරු කරලා මහ සත්තු ටික ලොරියට පටවලා ඉවරයක් කලා. අපේ පැටියත් ඒ අස්සේ හිර වෙලා හිටියා. මේ වෙන සේරෝම දේවල් දිහා චාලි මුදලාලි පැත්තකට වෙලා බලාගෙන හිටියා. ලොරියේ ආපු මනුස්සයෙක් චාලි මුදලාලි ගාවට ගිහිල්ලා ගණන් කරලා සල්ලි මිටියක් එයාගේ අතේ තිබ්බා. චාලි මුදලාලි ඒක තමුන්ගේ උඩ සාක්කුවේ දා ගත්තා. ඊ ලඟට අර මනුස්සයා ලොරියට නැග්ගා. එක්ක ම ලොරිය ඇද්දුවා. අපේ පැටියා, හරි විදිහට නම් පැටික්කි අපි දිහා බලාගෙන හිටියා. එයාට හොඳටම මහන්සියි. ඒ වගේ ම බයයි, වේදනාවයි. එයා අන්තිම මොහොත වෙනකල් එයාගේ යාලුවෝ ගැන විශ්වාස කරගෙන ඉන්න ඇති. මේක හරිම අසාධාරණයක්‍. ඒත් පැටික්කිටවත් අපිටවත් ඒ ගැන කියන්න කව්රුත් හිටියේ නෑ. පැටික්කි එයාගේ ළමයින්ව යි අපිව යි දාලා ඈතට ගියා. එයා ඈතට යනකල් අපි දිහා බලාගෙන හිටියා.

ඔන්න ඔය විදිහට පැටියගේ කතාව ඉවර වුනා. දවසේ ඉතුරු ටික කලින් ම අඳුරු ට එකතු වුනා.
 ______________________ 

ඊලගට පහුවෙනිදා ට ඉර පැව්වා.

අපි දන්නෙම නැතුව තවත් දවස් ගෙවිලා ගියා. පැටික්කිගේ පැටව් ලොකු වුනා. ඒ අයත් පැටව් බිහි කලා. පැටික්කි මේ ලෝකෙට ආපු දවසේ වගේම, ඒ අය අතරෙත් සුද්දෝ, රත්තෝ, කල්ලෝ, පොහොර පැටව් වගේ ම දුරුවලයොත් හිටියා! ඒත් ඒ හැමෝම අපි නොහිතන විදිහට එළඔ‍ෙන අඳුරු දවසක ටවුමෙ ඉදලා එන ලෝරියෙ ඉන්න මිනිස්සු අරගෙන ගියා. ඒ ලොරියේ රෝද පාරවල් ඌරු කොටුව පැත්තේ ඉදලා චාලි මුදලාලිගේ ගෙවල් පහුකරගෙන වත්ත හරහා ප්‍රධාන ගේට්ටුව පැත්තට ඇදිලා ගියා. ඌරු කොටුව අසබඩ වැවිලා තිබුනු දවල් කුමාරි මල් ගස් වලින් සමහරක් ඒ රෝද පාරවල් වලට අහුවෙලා තැලුනා. දවල් කුමාරි මල් වල පෙති නටුවෙන් ගැලවිලා අවට විසිරුනා. කාලෙකින් ලොරියක් ඒ පැත්තට ආවේ නැති නිසා නිදහසේ රැදුනු දිය සීරාවයි, පොහොර රසයි උරාගෙන සාරෙට හැදීගෙන ආපු තණකොල ගස්, රෝද පාරවල් වලට අහුවුනා. ඒවා රෝද සළකුණු වලින් හෑරුණු සමහර තැන් වලට කාන්දු වුනු මඩ වතුරේ, විසිරිලා ගිය දවල් කුමාරි මල්පෙති එක්ක පාවුනා.

................................
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.


පසුවදන -
මීට අවුරුදු ගණනාවකට කලින් පැටියා නැමැති ඌරු පැටියෙක් කෙහෙල්කොටුවේ චූටි මහත්තයලා සමඟ මිතුරු වී සිටි බව කියන්නට දැනට ඇති එකම සාක්ෂිය මේ පින්තූරය යි. මේ පින්තූරය වසර ගණනාවක් තිස්සේ හොයන අතරතුර තාත්තාට ම හමුවුනා. පින්තූරය ලබා දුන්නේ තාත්තා. තාත්තාට ස්තුතියි! 




72 ක් කියන්නේ !:

  1. වෙනදා වගේම රසවත් සටහනක්. :)

    //ලොරියේ බරට රෝද වල සලකුණු පොලොවේ සටහන් වෙලා තිබුනා. රෝද, මඩත් එක්ක කළවමට තිබුනු පසට කිදා බැහැලා. ඒ නිසා මඩ, රෝද වල සීමාව දෙපැත්තේ නැවතුනු මුහුදු රැල්ලක් වගේ උඩට ඉස්සිලා තිබුනා. ඇතුලට තල්ලු වුනු පස් තට්ටුවේ, රෝද වල කට්ට රටා උඩට මතුවෙලා තිබුනා.//

    මම කැමතිම චූටි මහත්තයාගේ මෙන්න මේ විස්තරේට. එක ක්‍රියාවක් වාක්‍ය ගොඩකින් විස්තර වෙනවා ...

    //දවල් කුමාරි//

    'රෑ කුමාරි' කියලා නම් අහලා තියෙනවා. 'දවල් කුමාරි' කියලා මලක් ගැන අහලා තිබ්බේ නෑ.

    අන්තිමට කියන්ට තියෙන්නේ ලියන්නේ නැති එක ගැන පුදුම තරහක් එනවා මේවා කියෙව්වාම. :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වලව්වේ හාමිනේ... ඔය කියන කාරණාව ගැන මීට කලින් පලවුණු ගැසට් බෝට්ටුව කතාවෙදිත් අගය කරලා තිබුනා මතකයි.

      ඒ වගේම දවල් කුමාරි කියන්නේ මා ද්න්න හැටියට ඉර එලියට ගොඩක් සංවේදී මල් ජාතියක්. ඉරත් එක්ක ඇහැරිලා ඉරත් එක්ක නින්දට යන(පරවෙලා යන නෙමේ...)

      වැදගත්ම දේ ඒක නෙමේ, මේ මල් වල පින්තූරයක් හොයන්න "දවල් කුමාරි මල්" කියල ඉමේජ් සර්ච් කරද්දි මුල්ම පින්තූර වල එන්නේ අපේ කට්ටියගේ බ්ලොග් වල පින්තූර.

      ඒ එක්කම ඒ මල් එක්ක බැදුනු කතාවක් සිළුමිණ පත්තරේ තියෙනවා මෙන්න ලින්ක් එක.

      http://www.silumina.lk/2014/06/08/_art.asp?fn=as1406086&p=1

      Delete
  2. හිනාව අමාරුවෙන් කපාගෙන කපාගෙන කියෝගෙන කියෝගෙන ඇවිත් අන්තිමේදි ආව කඳුළු වලින් කැපිලම ගියා!!

    මේ කතාව ඇතුලෙ කොයිතරං ලොකු කතාවක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මේ කතාව මලලසේකර ශබ්දකෝෂය වගේ දිගට තිබුනේ. ඔය කොටකරලා කරලා ඔය ගානට ගත්තේ....!

      ඇහැට කඳුලක් ආවේ "ඒ ඔබේද මගේද කතාව" නිසා වෙන්නැති.

      Delete
  3. මොනවා උනත් අන්තිමට තිබ්බ පින්තුරේ මරු බං.. මට මතක් උනේ අර ටීවී එකේ ගිය පුංචි ඉත්තෑ පැටියා කතාව

    ReplyDelete
    Replies
    1. නාඩියා,
      ඒක මමත් බලලා තියෙනවා. ඇයි පුන්චි ඇත් පැටවා.

      ලෑස්තිවෙලා ඉන්ඩ. ඊලගට බලන්න පැටියා.
      මට තියෙනවා නම් ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ඊමේල් ලිපිනය එවන්නකෝ....

      Delete
  4. කාගෙන් හෝ වියෝවක් නිසා දුකකින්දෝ මේ ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. හදිසියේ අප අතරට පැමිණ හදිසියේ අපෙන් වියෝ වී, අනාගතයේ දිනවල නියතව පැමිණෙන වියෝ දුක දරාගැනීමට ශක්තියක් ලබාදුන් සියලුම පැටවුන් වෙනුවෙන් කියමු.

      Delete
    2. ෂහ්, පෝස්ට් එකත් හරි මේ කථාවත් හරි!

      Delete
  5. // ඒකට මෙයා. ඉපදිලා මොහොතයි ගතවුනේ එයාගෙම කකුල් දෙකෙන් ඇවිද්දා. //

    මම ඔය ඇහැවුවමයි ඉපදිලා මොහොතකින් කකුල් දෙකෙන් ඇවිදපු ඌරු පැටියෙක් ගැන... :-P

    අඩුගානෙ ඒ ගැන හිතලාවත් පැටියාව තියාගන්ට තිබ්බා නේද.?

    ReplyDelete
    Replies
    1. පට්ට!!

      චූටියො මොකෝ මේකෙ මොඩරේෂන් දාල තීන්නෙ? ඇනෝ ඩිසේබල් කරල හරි මොඩරේෂන් අයින් කරානං, මේව දිගට අදින්න පුලුහන් කාරනා වෙනවනෙ :P

      Delete
    2. බූරා,
      ඔතන එන්න ඕනේ දෙකෙන් නෙමෙයි, වලින් කියලා. අම්මාපා මම ඔය කියන්නා වගේ පොතක් ගැහැව්වොත්, "කරෙක්ශන් බලන්න" දෙන්නෙ උඹට.

      සිංහයා,
      ඕගොල්ලන් කතාව ඇදගෙන යන්නකො, මම මෙහෙ ඉදලා පබ්ලිෂ් කරන්නම් සිටි සිටි ගාලා

      Delete
  6. පැටියව ගෙනියන්ඩ දෙන්නේ නැතුව තියාගන්න ක්‍රමයක් තිබුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. Sanjeewa,
      සමහර විට අපේ යටි හිත් වලත් තිබුනද දන්නේ නෑ මේ ගොල්ලන් බේරගන්න බෑ කිටන සිතුවිල්ල

      Delete
  7. කතාව සහ චිත්‍ර නියමයි.
    අර පට්ටි නැන්ද ඉන්න චිත්‍රෙ ඌරු කොටුව රූල තියල වගේ ඇඳපු නිසා ලිඳ ඇඳපු විදිය හොඳ මදි!

    ReplyDelete
    Replies
    1. Raj,
      Sthuthyi.

      ඇත්තටම රාජ් ලා වගේ චිත්‍ර ගැන විමර්ශණශීලී ඇහැකින් බලන රසිකයො ඉන්නවා හිතෙනකොටත් මාර මෙව්වැකක් එනවා. ඊලග පාර පසුබිමේ තියන දේවල් ගැන මීටවඩා සැලකිලිමත් වෙන්න හිතට ගන්නම්.

      Delete
  8. මේක ඔයා ලියලා තියෙන විදිය පුදුමාකාර විදියට රසවත්. ඒ රස අස්සේ පුදුම ශෝකාන්තයකුත් තියෙනවා. මේ කතාව නම් මම තව දහ දෙනෙකුටවත් පෙන්වයි. අර චිත්‍රයේ ගඩොල් ගොඩ පිළිවෙලට ඇඳලා නේද :). මේක නම් සම්මාන දෙන්න වටිනා ලිවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. සුදීක,
      අර වලව්වේ උන්දෑ වගේම සුදීකත් ඔය කියන කාරණාව ගැන කලින් මතක් කලේ කරාටි කාරයෝ ලිපියට.

      බ්ලොග් ලියන්න ආපු මුල් කාලේ කකා මට කියලා දුන්නේ, එල පට්ට වගේ කමෙන්ට් සීයකට වඩා මේ වගේ එක ප්‍රතිචාරයක් වටිනවා කියලා. ස්තුතියි.

      Delete
  9. //දවසක අපි මේ වගේම චාලි මුදලාලිගේ කෙහෙල්කොටුව පැත්තට යද්දි//
    දැං කෙහෙල්කොටුව චාලියට විකුන්නද?

    ReplyDelete
  10. මේකනං නියම ලියවිල්ලක් බොල බුද්දියො
    අර සිදුවීම වෙච්ච වෙලේ පොඩිඋංගෙ හිතට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,
      යකඩො කෙහෙල්කොටුවේ යාවජීව සාමාජිකයෙක් කියන කතවක්ද මේ. කෙහෙල් කොටුව අයිති චාලි මුදලාලිටම තමා.

      ............
      පොඩි උන්ගේ ඒ වෙලාවෙ තිබුනු හැඟීම් පුලුවන් හොදම විදිහට ලියන්න උත්සහා කලා මම.

      Delete
    2. උඩ කොමෙන්ට් එක පබ්ලිෂ් කලාට පස්සෙයි වැඩේ තේරුනේ. එතකොට පමා වැඩී. :D

      Delete
  11. මට නම් මහත්තයෝ කියන්න වචන නැහැ. ළමා පොත් ලියන්න පටන් ගන්න ඕන උඹලා වගේ අය. චිත්‍රත් ඊට නොදෙවෙනියි. මේක කියවනකොට හරි සාංකාවක් හිතට දැණුනා. ඇයි කියන්න දන්නේ නැහැ.

    මොනවා වුනත් කුමාර නම් මරු වැඩකාරයෙක්. ඌරු මාස්ටර් කෙනෙක්. ඒ චරිතයට මම හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. අරූ,

      ස්තුතියි අගය කිරීම ගැන. පළවෙනි පාරට කෙහෙල්කොටුවට ආවයි වගෙයි මට හිතෙන්නේ. සාදරයෙන් පිළිගන්නවා.

      කුමාර ඇවිල්ලා සෑහෙන දේවල් වලට මාස්ටර් කෙනෙක් තමයි ඔහොම හිටියට. මීට කලින් ලිපි වලත් කුමාර අපට ලබාදුන් සහයෝගය ගැන කියවිලා තියෙනවා. කුමාර කරලියට එන්නේ මගේ බයිසිකලේට හුළං ගහපු කතාවෙන් මට මතක හැටියට.

      ස්තුතියි!

      Delete
    2. මම උඹව කියවන කෙනෙක්. කමෙන්ට්ස් දාලත් ඇති මගේ හිතේ. උඹ දක්ෂයෙක්!!!!

      Delete
    3. මම ඒත් හිතුවා මහත්තයා කියලා තියෙද්දි...:D

      Delete
  12. කතන්දරේ නම් හිතට දැනෙන්නම ලියා ඇත.

    අර පොඩ්ඩිට වගේ මටත් ඇති වුනු ප්‍රශ්ණෙ තමයි, මොනව ද "දවල් කුමාරි මල්" කියන එක. පුළුවන් නම් පින්තූරයක් වත් දාන්නකො කොහෙට හරි.

    ReplyDelete
    Replies
    1. චන්දන,

      ස්තුතියි කතන්දරේ ගැන කිව්ව අදහස් වලට... අන්න වලව්වේ හාමිනේට දවල් කුමාරි ගැන විස්තරයක් දැම්මා.

      Delete
  13. කතාව ලියලා තියෙන විදිහයි චිත්‍ර ටිකයි හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි!

      Delete
  14. පොඩි කාලේ ඉඳන් කිරි දීලා, කෑම දිලා හදපු අයටයි ඒ ඊරිව අයිති නේද? මැරිලා යන්න ඉන්න පැටියාව තෑගි ඔප්පුවකින් නේ දුන්නේ!

    ReplyDelete
    Replies
    1. කතන්දර, ඔප්පු ලිව්වේ නීති මහත්තයෙක් නැතුව හන්දා ඒකේ හිල් අපිට හොයාගන්න බැරි වුනානේ! වෙලාව තමා.

      මේ තියෙන්නේ ඒ ටික,

      //ඒ මොකද මේ කතාව ඉවර වුනේ කටවචනෙන් හරි ඌරු පැටියා අපිට අයිතිවෙලා. මේ කතාබහ මෙච්චර ලේසියෙන්, මෙච්චර සරළව අවසාන වුනු එක ගැන අපි කව්රුත් පුදුම වුනා. ඒත් අපිට පුදුම වෙන්න ඊට වඩා වටිනා කාරණයක් තිබුනු හන්දා චාලි මුදලාලිගේ අරුම පුදුම තීරණය අපිට කිසි වැදගැම්මකට නැති වචන ටිකක් වුනා.//

      Delete
  15. හැමදාම වගේ තමයි බුද්ධි, හරිම රසවත් සංවේදී සටහනක්. පොඩි කාලේ බල්ලන්ව පූසන්ව වඩාගෙන හුරතල් කරන්න උන්ට කන්න බොන්න දෙන්න අපි කොච්චර දැඟලුවද? ඒවා අපි දන්නෙම නැතුව අපෙන් ඈත්වෙලා ගිහින්, දැන් නම් මට බල්ලන්ව පූසන්ව පෙන්නන්න බෑ.

    බුද්ධි කතාවේ මුලයි අගයි එකම ඡේදයක් පාවිච්චි කරලා. මාත් එහෙම කෙටිකතාවක් ලිව්වා කාලෙකට කලින්... සේව් කරන්න ගිහින් කෙළවුනා ඒකට.

    මේ චිත්‍රයි කතාවයි ඔක්කොම එක්ක අරු කියනව වගේ උඹට ලේසියෙන් ළමා පොත් ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තිසර,

      අගය කිරීම ගැන නොවක් තුති.

      //මාත් එහෙම කෙටිකතාවක් ලිව්වා කාලෙකට කලින්... සේව් කරන්න ගිහින් කෙළවුනා ඒකට.//

      ඕකට බොහොම සරළ විසඳුමක් තියෙනවා. මුලින් ම කතාව ලියන්න නෝට් පෑඩ් එකේ. ඒක යන යන තැන පෙන් එකේ දාලා අරගෙනත් ගියෑකි. හැම තිස්සේම කතාව ලියලා සේව් කරලා විතරක් මදි. කොම්පියුටරේ ට අන්තිමට සේව් කරපු හැටියේ ඒක පෙන් එකටත් දා ගන්න. ඕං ඔච්චරයි කරන්න තියෙන්නේ. සේරෝම සංස්කරණ ටික කලාට පස්සේ අන්තිම රාජකාරිය හැටියටයි ඒක නිව් පෝස්ට් එකට ගිහිල්ලා කොපි කරන්නේ.... නැත්තම් ඔය සිග්නල් අවුල් වගේ කේස් වලදි වුනත් අපි ලියපු දේවල් සේරෝම වතුරෙ යන්න පුලුවන්.

      Delete
    2. ඕක නොවක් තුති නෙමේ නැවක් තුති කියලා නිවැරැදි වෙන්න ඕනා.. හෙහ් හෙහ්

      Delete
    3. සෙන්නාට,

      නැව් පේන එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න ඕන නෑ මම හිතන්නේ..... තාම නැව් කොම්පැණියෙ ද වැඩ.

      Delete
    4. වෙන මොන උලව්වක් කරන්නය, දන්නෙ එච්චරයිනෙ බන්ස්.. ඒකනෙ ඔය පොපයිල් එකෙත් දාගෙන ඉන්නෙ නැවක්ම :D

      Delete
  16. මම මේ ඊයෙ ඉඳන් කල්පනා කරණවා මේකට දාන කමෙන්ට් එක මොකක්ද කියලා. මුලින්ම කියලා ඉන්නම් ලිවිල්ලනම් උපරිම රසයි කියලා. චිත්‍ර ටිකත් පංකාදු හතයි දශම තුනයි දෙකයි පහයි බින්දුවයි.. අර පොඩි උන්ව අඳින කියුට් විදිහට තමා මම කැමතිම... උන්ව දැක්කත් බඩ පිරෙනවා. අම්මපා... බුද්ධි මේ ලිවිල්ලයි චිත්‍ර ඇඳිල්ලයි පත්තරේකට එහෙම කරානම් අනිවා අර සිබිල් වෙත්ත සිංහ, එස්.ඒ දිසානායක, පියල් උදය සමර වීරවගේ පොඩි උන්ගේ ලෝක වල සාදා කල් ජීවත් වෙන චරිතයක් වෙනවා "බුද්ධි ප්‍රසාද්" කියන නාමය..

    හරි දැන් කතාවට එමු... මේක කියෙව්වම මට ඉස්සෙල්ලම මතක් වුනේ මම ලියපු සැව්ලගෙ කතාව.. ඒකෙදි උඹ කමෙන්ට් එකක් දාලා කියලා තියනවා ඩ්‍රාෆ්ට්මය තත්වයේ තියන දළ කඩි ප්‍රහාරයකට ලක් වෙච්ච කුකුල් පැටියෙකුගේ කතාවක් ගැන.. කෝ දැන් ඒක ? තාම ඩ්‍රාෆ්ට්මය තත්වයේමද තියෙන්නෙ ? ඒකත් බොහොම ඉක්මනට කියවන්න ලැබෙයි කියලා හිතනවා.

    ඇයි දැන් මේ ඌරු පැටියව ( ඊරි තඩියව ) අර මිනිස්සුන්ට ගෙනියන්න දීලා බලන් හිටියේ.. !! ?? අඬලා බිම පෙරලිලා උද්ගෝෂණයක් කරළා අසඩක් ගාවට යන්න තිබුනේ අයිතිය ලබා ගන්න.. එහෙමයි හරි හමන් දෙමව්පියොනම්.

    මේ ඔබේත් මගේත් කතාවයි.. -- හහ් උඹ හිතුවද අපිත් උඹ වගේ ඌරො එක්ක මඩේ ලැග්ගා කියලා... :D

    මේ ඔබේත් මගේත් කතාවයි.. -- ඔව් අපි කාටත් අන්තිමට වෙන්නෙ ඔය ටික තමා..

    ත කියන්න ගොඩක් දේවල් තියනවා.. එතකොට මේ කමෙන්ට් එක උඹේ ලිපියටත් වැඩිය දිග... වෙයි... ඒක හිඳ අදට ඇති.. ආයෙත් කියන්නම්..

    ලිවිල්ලයි, චිත්‍ර ටිකයි විශිෂ්ටයි, උපරිමයි, උත්කෘෂ්ටයි, අනර්ඝයි. බහුතර ශ්‍රී ලාංකීය ළමා ලපටින්ගේ පහන් සංවේගය උදෙසා මෙතනින් එහාට යන විදිහක් බැලුවොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. // චිත්‍ර ටිකත් පංකාදු හතයි දශම තුනයි දෙකයි පහයි බින්දුවයි.. //

      අපි ගණන් පාඩමේදී ඉගෙනගත්තු හැටියට නම් දශමස්ථාන කියද්දි අගට බිංදුවක් දාන්ට ඕන නෑ. මොකද ඒ බිංදුවට වටිනාකමක් නැති නිසා. 7.3250 කිවුවත් එකයි 7.325 කිවුවත් එකයි.. සෙන්නලාට කොහොමද දන්නෙ නෑ නේද ගණන් පාඩමේදී කියලා දුන්නෙ? ;-)

      Delete
    2. අපිටත් එහෙම එකක් කියලා දුන්න බව මේ දැන් උඹේ කමෙන්ට් එක දැක්ක ගමන් මතක් වුනා..

      ( හිතමින්.. ශිහ් මුන්ගෙන් දශම බින්දුවකටවත් බේරෙන්න බැරි එකේ, ඉපදිච්ච ගමන් ඌරු පැටියෙක් කකුල් දෙකෙන් කොහෙ ඇවිදින්නද ! :D )

      Delete
    3. සෙන්නා,

      පත්තර වල නං බුද්ධි ප්‍රසාද් කියලා තියෙනවා. හැබැයි ඒ මගේ නම නෙමෙයි තාත්තගේ නම. කාලයක් මම විරෝදය දැක්වූවා මගේ නමින් ලිපි පත්තරේ දාන එක ගැන. වැඩියෙන් ම ක්‍රීඩා සඟරාවේ. අන්තිමේ තාත්තා එයාගේ පරණ ගැහිච්ච අයිඩී එක පෙන්නුවා. මම ඉපදෙන්නත් කලින් තාත්තා වෙනත් නම් වලට බුද්ධි ප්‍රසාද් කියලා දාලා තියෙනවා මම දැක්කේ එතකොටයි. ඉස්සර සුගතදාස එක ඇතුලට යන්න දෙන්නෙ නැති අවස්ථා වල මම ඒක අරගෙන ගිහිල්ලයි ඇතුලට රිංගන්නේ.

      ඒ කතාවෙන් පස්සේ ඇත්ත කතාවට ආවොත් මම දන්නේ නෑ පත්තරේට මේවා දාන විදිහ ගැන. අනිත් කාල සටහනකට මේවා පල කරන්න බැරි නිසා ඒ වැඩේ හරියන්නැති වෙයි කියලත් හිතනෙවා.

      ඒ වගේම අර දළ කඩි කතාව තාම එතනම තියෙනවා. මේ කතාවත් එහෙම තිබුනා. අර පොටෝ එක තාත්තගේ අල්මාරිය පෙරලලා හොයාගන්න කල්.

      ඒ වගේම අපි ලොකු බලයක් පැටියව බේරා ගන්න යෙදුවේ නැත්තේ ඇයි කියන එක මටත් ප්‍රශ්ණයක්. සමහර විට අපේ හිතේ ගැඹුරුම තැන මේ අවසානය ගැන චිත්‍රයක් තිබුනද දන්නේ නෑ.

      ඒ වගේම මේ ඔබේද මගේද කතාව තමයි

      අන්තිම මේ හැටි අගය කිරීම ගැන ස්තුතියි. ඉදිරියෙ දිත් මේ උපරිම පරිස්සමින් කතා ලියන්න බලාපොරොත්තු වෙනවා.

      එතෙක් සයිබර් යාය සමග රැදී සිටින්න. :D

      Delete
    4. සෙන්නා, ඕන්න ඕකයි මම බුරාව සොදුපත් බලන්න තෝරාගත්තේ.....

      Delete
    5. ඒ කතාවෙන් පස්සේ ඇත්ත කතාවට ආවොත් මම දන්නේ නෑ පත්තරේට මේවා දාන විදිහ ගැන. //

      ඉතින් බන් තාත්තගෙන් අහපන්කෝ කොහොමද පත්තරේට දාන්නෙ කියලා... :D

      Delete
    6. බුද්ධි, උඹෙ ඇඟෙ තරමට මොළේ තිබ්බනං ( අපෙ අම්ම මට කිව්ව කතාවක්, අම්මල බනින්නෙ කෝමද, මාත් උඹට මේ ඒමයි බනින්නෙ ).

      යකෝ, අර ජානකී සූරියාආරච්චි එකම මූණ කරකෝල රැවුළ දාල ගලෝල විතරක් චිත්‍ර ඇඳල පොත් විකුණල ලස්ස ගනන් හොයනව. උඹ මෙහෙ මෙච්ච ස්කිල් එකක් අඩේට තියාන ඉන්ගිරිස් පන්ති කොරනව. බොල තඩි ඌරු පැටියො, කතාව සමග චිත්‍ර දාල පොත් ටිකක් පොඩි උන් වෙනුවෙන් ලියහන්. බලහං අර දීගොඩ කුමාරය, අරක මේක ලියන කුණුහබ්බ පොත්. එහෙව් එකේ පියල් මාම වගේ පොඩි උන්ට හොඳ දෙයක් දීල හොඳ ගාණක් ලැබෙන වැඩක් කරල ගොඩ පළ. ඒකෙ ආර්ම්භය විදියට පත්තරේකට ලියල නමක් හදා ගනිය.

      එක අතකට මේකට කියනවට වඩා හොඳයඉ කට ගලක උළා ගන්නව ( බැරිම තැන ඕම කියල අපෙ අම්ම පරාජෙ භාර අරන් පැත්තක වෙනව )

      Delete
    7. මම මේ හොයා ඒ වැඩේ තමා කරකර ඉන්නේ...... (අම්මා එහෙම කියද්දි අපි කියන්නේ ඔහොමයි.) ඉන්ඩකෝ පොඩ්ඩක්. උදේ පාන්දර මේක බැලුවේ. හිස් ඔලුවට මේදා පාර නං කිදා ම බැස්සා. :D

      Delete
    8. බුරා & සෙන්නා.
      7.3250 කිවුවත් එකයි 7.325 කිවුවත් එකයි. මේ දෙකේ පොඩි වෙනසක් තියනව. 7.3250 කිව්වම කියවෙන්නෙ දහදාහකින් කොටස් තුන්දහස් දෙසීය පනහක් කියල. 7.325 න් කියවෙන්නෙ දාහෙන් තුන්සිය විසිපහක් කියල. ඒ දෙකේ වෙනසක් තියනව.

      Delete
  17. දැං වෙලා නැනෝ. පින්තුර ටික බලල ගියෝ.. ඒවා නං ආයි ඇස්වහක් කටවහක් නෑ උඹේ වගේමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඒන්ඩ පාර මතක තියාගන්ඩ

      Delete
  18. මේ පාර කතාවෙ අනුභූතිය මරු උනාට ලියැවිල්ලන්ම මට අගය කරන්න බැහැ...
    ඒ කියන්නෙ අන්තිම සවුත්තුයි කියල නෙමෙයි.
    මීට කළින් ලියැවුනු ඒවට සාපේක්ෂ ව බොහොම පහළයි.
    චිත්‍ර ටිකනම් පරිසාධන මට්ටමත් පහු කරං ඉහළට ගිහින්..!

    ReplyDelete
    Replies
    1. සර්,

      මේකට හේතු කිහිපයක් ම තියෙනවා. මේ කතාව අර විදිහට ලියන්න හිතුවත් මුල් ඡේදයෙන් පස්සේ දෙබස් එහෙම අඩු කරලා ලියාගෙන ලියාගෙන වගේ ගිහිල්ලා තියෙන්නේ බ්ලොග් එකට මේක ගලපන්න ඕන හන්දා කියලයි මට හිතෙන්නේ. එ කියන්නේ දිග වැඩි වෙයි කියලා. කොහොම වුනත් මේ වගේ දේවල් පෙන්නා දෙන එක ගැන මම නං අන්තිම සතුටුයි.

      ඒ වගේම පරිසාධන මට්ටම පහුකල එකටත් සතුටුයි. ක්‍රිඩාවෙදී පරිසාධන මට්ටම කියන්නේ බොහොම වැදගත් අවස්ථාවක්. ඒ කියන්නේ සමහරු තරගයේ පළමුවැනියා වුනත් පරිසාධන මට්ටම ඉක්මවන්න බැරි වුනාම විදෙස් සංචාර, පුහුණු සංචිත වලට තේරීම, මුදල් දීමනා වගේ දේවල් නැති වෙන්න හේතුවක් නේ. එහෙම බලද්දි මම ගොඩ :D

      Delete
  19. චාලි මුදලාලිව දැකගන්නත් එහෙනම් අපේ ඇස් පිං කරලා තිවුණා... :)

    අද කතාව එකපාරයි කියෙව්වේ... දෙවනිපාර පොතෙන් කියවන්න ඉතුරුකරගත්ත...

    ReplyDelete
    Replies
    1. බීටල්,

      චාලි මුදලාලි විතරක්යැ. අර බොරලු රොකට්ටුව ඔලුවට පත බෑ වුනු විල්බම් මාමාත් ඉන්නේ HD කොලිටියෙන්ම.

      දෙවෙන් පාර පොතෙන් කියවන්න නම් සෑහෙන කල් ඉන්න වෙයි. මේ කතාව ඇතුලත් වෙන්නේ චුටි මහත්තයා කතාවේ දෙවෙනි කොටසට :D

      Delete
  20. මිනිස්සු කියන සත්තු ජාතිය ගැන ලොකු තරහක් ඒ දවස් වල හිතට ආවෙ නැද්ද? මට නං පොඩි කාලෙ එපාම වෙලා හිටිය සත්තු ජාතියක් තමයි ඔය මිනිස්සු කියන්නෙ. යන යන තැන නැති නාස්ති කරනව. හරකෙක්ට, ඌරෙක්ට, කුකුලෙක්ට නිදහසේ ජීවත් වෙන්න නෑ....

    එක්කො ඒව ගැන කතා නොකර ඉමු. හැමදාම වගේ කතාවයි, චිත්‍රයි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. පරිකල්පන,
      බුදු දහමේ ඉගැන්වෙන අපාය හතරෙන් එකක්නේ තිරිසන් අපාය. අපි තිරිසන් ආත්මේ ඉපදුනත් ඕකම තමයි. ඒ කාරණාවයි අපි සත්තු දිහා බලලා හිතන්න ඕනේ. එයාලට කරුණාව දක්වන්න ඕනේ අනිවාර්යෙන්ම. නමුත් ඒ නිසා උන්ට හිංසා කරණ අය ගැන තරහා හිතුවොත් අපි දන්නෙම නැතුව කරුණාවට වැහිලා අපිට පව් සිද්ධ වෙනවා. මේ වගේ අපේ ලග තියෙන හොඳ කාරණයකට වැහිලා පව් සිද්ධ වෙන අවස්ථා වැඩියි. ඒවා අපිටම හොයා ගන්නත් අමාරුයි සමහර වෙලාවට. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ. ලෝකේ හැටි ඉගෙන ගන්න හොඳ පාඩමක් තමයි මේක.

      ඒකයි මේක ඔබේද මගේද කතාව වෙන්නේ.

      අගය කිරීම ගැන අනේක වාරයක් ස්තුතියි. කාලෙකට පස්සේ පරිකල්පනගේ පැමිණීම අගේ කොට සලකමි :D

      Delete
  21. කියල වැඩක් නෑ බං. නූතන හාන්ස් උඹද කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      ස්තුතියි මේ වගේ අගය කිරීමක් කිරීම ගැන. හැබැයි මේවා කිව්වා වගේ නෙමෙයි පොතක් එහෙම ගැහුවොත් මුහුණත වටිනාකම ගෙවලා ගන්ඩෝන හොඳද? :D

      Delete
  22. මේක සුපුරුදු තේමාවක් වුනත් උඹේ වර්ෂන් එක බොක්කටම වදිනවා. චිත්‍රත් ඒ වගේමයි. රාජ්, සෙන්නා වගේ සියුම් දේ පවා දකින විචාරකයෝ ඉන්න එක ලොකු දෙයක් කියලා මමත් හිතනවා.

    මේ වගේ අත්දැකීමක් කොච්චර කාලයක් ගියත් අමතක වෙන්නේ නෑ වරින් වර අලුත් වෙනවා මිසක. ඌරෙක් ඉදලෙන් අතුගාන එක හෙම නැවුම්ම අත්දැකීම්. ඌරන්ට මොන සෞක්කියද කිව්වට ඌව පනාවෙන් පීරනවත් එක්ක නේද?

    කීපිටප්යැ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,
      //මේක සුපුරුදු තේමාවක් වුනත් උඹේ වර්ෂන් එක බොක්කටම වදිනවා.//
      මටත් ඕන වුනේ එහෙම ලියන්න. මේ වගේ දේවල් කොහොමත් වෙන්න පුලුවන්නේ. අන්තිමේ ට මම නම් ආයෙක් මස් කන්නේ නෑ වගේ වාක්‍යකින් මේක ඉවර කරන්න නෙමෙයි. ඒක උඹට තේරුම් ගිය එක ගැන අන්තිම සතුටුයි.

      //ඌරෙක් ඉදලෙන් අතුගාන එක හෙම නැවුම්ම අත්දැකීම්. //
      පැටියා කියන්නේ අපිත් එක්ක ඉන්න කල් සැපට හිටිය ඌරෙක්. උඔ පොටෝ එක දිහා හොඳින් බැලුවොත් පෙනෙයි අපේ නංගි මැක්කෝ පීරලා උන්ගේ ගහනය චෙක් කරලා බලන හැටි.

      Delete
  23. වැඩ ගොඩක් අස්සෙ ආවෙ. අද වෙන එක බ්ලොග් එකක්වත් කියෙව්වුවෙ නෑ. ඒ තරම් හිත ඇද ගත්තා මේක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිඳූ. මේ ප්‍රතිචාරය සැබෑ දිරිමත් කිරීමක්.

      Delete
  24. කාලෙකින් ලස්සන චිත්‍ර ටිකක් නම් දැක්කා
    ඒ ඔක්කොටම වඩා වටින්නෙ අර පින්තූරේ.
    ඔය පින්තූරේ හම්බවුනාට පස්සෙ නේද ඔය කථාව ලියන්න හිතුනෙ?

    ඕක ඉතින් මසට හදන හැම සතාගෙම කථාව තමා.
    මිනිස් අපෙත් තියෙන්නෙ 85% ක් ඔය හා සමාන කථාවක්, එකම වෙනස මස් කඩේට දක්කන්නෙ නැති එක විතරයි. හැමදාම හිනා වෙලා ඉවර කරන කථාව අද නම් කඳුලකින් ඉවර වුනා.

    ReplyDelete
    Replies
    1. තරූ,
      මේ කතාව ලියලා ටිකක් කල්. මේ පින්තුරේ හොයා ගන්නයි අමාරු උනේ. වෙලාවට 5s ක්‍රමයට අහුනොවුනු තාත්තාගේ පරණ පොටෝ අල්මාරියකින් මේ පොටෝ එක හොයා ගන්න පුලුවන් උනා. :D

      //මිනිස් අපෙත් තියෙන්නෙ 85% ක් ඔය හා සමාන කථාවක්// ආන්න ඒකයි මේක ඔබේද මගේද කතාව වෙන්නේ.....

      Delete
  25. කතාවෙ මුල ඉඳන් අග දක්වාම මගෙ හිතේ ඇඳුනෙ මරණයටම කැප උන මේ සතා කොයි වෙලාවෙ හරි පටවාගෙන යයි කියන අදහස,. අන්තිමට ඒකත් උනා. සංසාරයේ කල පිනක් නිසා කරුණාව ආදරය ලබන්න ඒ ඊරියට වාසනාවක් තිබ්බත් හැමෝඉටම පොදු මරණය වධ වේදනා එක්ක ඇය සොයා ආවා.

    මස් කකා දෙසන අවිහිංසා බණ සීයකට වඩා මේ කතාව වටිනවා,.. ඒ තරම් හිතට වදිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් අයියා ප්‍රතිචාරයට, මමත් උත්සහ කලේ වෙනසක් ඇතුව ලියන්නයි.

      Delete
  26. කාලෙකින් ලස්සන චිත්‍ර ටිකක් බලල ලස්සන කතාවක් කියෙව්වා .... අර අන්තිමට දාල තියෙන ෆොටෝ එක තමයි මට වැඩියම අල්ලලා ගියේ .. චුටි මහත්තයගේ පොඩි කාලේ නම් සිරාවටම අපුරුයි ..

    The creative adult is the child who has survived.. කියන්නේ බුද්ධිල වගේ අයට .. හෙහ් හෙහ්

    ReplyDelete
  27. පැතුම්,
    මුලින්ම ස්තුතියි. ප්‍රතිචාරයට සහ කියමනට.

    ඊලඟට ඔය පොටෝ එක ගැන. ඒක හොයන්න මම පරණ පොටෝ එකක් හොයන්න දෙන්න ඕන කාලයට වඩා වැඩි කාලයක් දුන්නා. මේ පොටෝ ගන්න කාලේ අපිට මේවයෙ ලොකු වටිනා කමක් නෑ. ඒත් වෙලාවට තාත්තා අවුරුදු විසි ගානක් මේවා පරිස්සම් කරලා තිබුනා. මේ පොටෝ එකත් එක්ක තාත්තා ඒ සේරම මට දුන්නා. ඕන ඒවා CD එකකට දාගෙන අනිත් ඒවා විසිකරලා දාන්න කියලා.

    ReplyDelete
  28. අඩේ.... මට මේ පෝස්ට් එක මිස් වෙලානේ චුටි මහත්තයෝ.

    මට මතකයි කලින් වතාවක් කොහේදී හරි උඹ මේ ඌරු පැටියෙක් ඇතිකරපු කතාව කියල තිබ්බ වගේ.

    චාලි මුදලාලි ඌරෝ හදන්නේ හුරතලේට නෙමෙයි කියන එකත්, පැටික්කිට ඒ ඉරණම කවදා හෝ අත්වෙන බවත් සහසුද්දෙන් දන්න නිසා වෙන්න ඇති උඹල නිකං බලාන ඉන්න ඇත්තේ....

    උඹේ ශෛලය අනුව කතාව හොඳින් ලියවිලා කියල මම හිතනවා.
    ජය...!!

    ReplyDelete
  29. ලොකු පුතා,
    ස්තූතියි.
    ලොකු පුතා කෙහොල්කොටුව පැත්තෙ ආවාම, හරියට පන්තියේ හිටපු යාලුවෙක් හමුවුනා වගේ දැනෙන්නේ....

    ReplyDelete
  30. ලස්සනයි,එත් දුක හිතෙන කතාවක් චූටි මහත්තයෝ,
    මේක කියවලා මස් නොකා ඉන්නවා කියලා මට නම් කියන්න බැහැ.එකෙන් කියන්නේ කතාව ගැන අපි සංවේදී නැහැ කියන එක නෙමේ.සමහරවිට එක මගේ පව්කාරකම වෙන්න ඇති.එත් තිත්ත යතර්ථය එක තමයි චුටි මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. මස් කෑම නොකෑම ගැන ප්‍රශ්ණයක් නෑ. මේක තමා ලෝකයේ යථාර්තය. මේකෙන් ගැලවෙන්නයි හිතන්නඕනේ.

      ස්තූතියි මනෝජ්.

      Delete
    2. මස් කෑම නොකෑම ගැන ප්‍රශ්ණයක් නෑ. මේක තමා ලෝකයේ යථාර්තය. මේකෙන් ගැලවෙන්නයි හිතන්නඕනේ.

      ස්තූතියි මනෝජ්.

      Delete
  31. අන්‍ෙ දුක හිත‍ෙන කතාවක්..........

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...