2015/04/13

ඇස්බැන්දුම! (බ්ලොග් වසන්තය වෙනුවෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාව.)

ඇස්බැන්දුම!

ඔය වචනෙට මහ අරුම පුදුම තේරුමක් තියෙන්නේ. ඒ වගේමයි ඇස්බැන්දුම් දන්න අයගේ වැඩත්. මමත් පොඩි පොඩි ඇස්බැන්දුම් වලට දක්ෂයා. ඒ කිව්වේ සල්ලියක් අතුරුදහන් කරන්න, කෙස් ගහක් වම් කනෙන් දාලා දකුණෙන් එලියට අරගන්න වගේ පොඩි පොඩි දේවල් වලට. හැබැයි සමහර ඇස්බැන්දුම් අතේ පත්තු වුනා. වැඩිහිටියෝ ඉදිරියේ ඕවා කරද්දි ඒ අය කලින් ම ඇස්බැන්දුම කොතනද කියලා දැනගත්තා. ඒත් කිසිම දෙයක් නොදන්න තොත්ත බබාලා වගේ සේරෝම කෙරුවාවල් ඉවර වෙනකල් බලාගෙන ඉදලා බොරුවට පුදුම වුනා. ඒ දේවල් තේරුම් යද්දි මට ඇතිවුනු ලැජ්ජාව විස්තර කරන්න වචන නෑ. දවසක් ඔය වගේ වෙලාවක තාත්තා මාව කිට්ටු කරගෙන මෙහෙම කතාවක් කිව්වා.

“මේ ලෝකේ හැමෝටම ඇස්බැන්දුම් බෑ. හැමෝටම ඇස්බැන්දුම් පුලුවන් නම් ඇස්බැන්දුම්කාරයෝ කියලා වෙනම කොටසක් මේ ලෝකෙ ට මොකටද? අපි උත්සහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුලුවන්. ඒක වඩා හොඳයි. මොකද එතන හංගන්න දෙයක් නෑ. කාටත් අහුවෙන්න හොරේකුත් නෑ. ඒත් ඇස්බැන්දුමක් නැතිව කෙනෙක් ව පුදුම කරන එක එහෙම ලේසි දෙයකුත් නෙමෙයි.......“

ඒ මම සර්කස් සන්දර්ශණයක් බලපු මුල ම දවස.

එදා මගේ කල්‍යාන මිත්‍රයා කුමාර කලින් ම එයාගේ හොඳම ඇදුම් ඇඳගෙන අපේ ගෙදර ආවා. මමත් අම්මට කියලා ඇඟපත හොඳගෙන හොඳවයින් ඇඳුමක් තෝරගත්තා. තාත්තා කොළඹින් ගෙනාපු ඉලක්කම් වැටෙන ඔරලෝසුව අතේ බැඳ ගත්තා. ඊලඟට අපි හන්දියේ. අපි වික්ටර් මාමගේ පුතා අසේලවත් එකතු කරගෙන අපේ ඇස් ගෙවෙනකල් පාර බලාගෙන හිටියා. ඒ ගමට සර්කස්කාරයෝ එනකල්.

ඒ හවස් අතේ අන්තිම අව් රැල්ලට හැදුනු මිරිගුවත් අතුරුදහන් වෙලා යන්න ඔන්න මෙන්න වෙලාව. පාර පේන තෙක් මානේ ඈතම කෙළවරේ මිරිගුවට මොකද්දෝ පැල්ලමක් එක්කහු උනා. ඒ පැල්ලම පාගන සයිකලයක නැගලා එන මනුස්සයෙකුයි තවත් බඩු මුට්ටු වගේකුයි කියලා අපි දැනගත්තා. තවත් සෑහෙන වෙලාවක් හීමීට හීමීට ගාටපු සයිකලෙන් අපි වගේ ළමයෙකුගෙයි, බල්ලෙකුගෙයි ඔලු මතුවුනා.  ඔය ආපු සයිකලේ නැවතුනේ වික්ටර් මාමගේ කඩේ ඉස්සරහා. එයාලා දාඩියෙන් නෑවිලා. සර්කස්කාරයාගේ ඔලුවෙන් බේරෙන දාඩිය කම්මුල දිගේ පහලට ඇදෙනවා. මේ වෙලාවේ වික්ටර් මාමා දෙන්නට ටොනික් එකක් එක්ක වීදුරු දෙකක් දුන්නා. සර්කස්කාරයගේ පුතා වයසින් අපිට වඩා ඩිංගක් වැඩිමල් ඇති. නමුත් හැමදේම දන්න පුරුදු කාරයෙක් වගේ. එයා ටොනික් එක බීලා උඩ බලාගෙන ලොකු හුස්මක් පිට කලා. එයාටත් හොඳහැටි මහන්සි පාටයි. එයාගේ ඔලුවෙන් බේරෙන දාඩිය කම්මුල ට පහලින් ලෝක සිතියමේ කොටසක් වාගේ තිබුනු උපන් ලපය පහුකරගෙන තෙහෙට්ටු කම්මුල් දිගේ පහලට ගලාගෙන ගියා. හරියට එයාගේ තාත්තගේ වගේම. නිතර දෙවේලේ අව්වේ ගමන් බිමන් යන හන්දා දෝ එයාගේ ඇස් වටේත් කලු වෙලා. එයාගේ අතපය අපේ ඉස්කෝලේ ඉහල පංතියේ ඉන්න ජයවීරලාගේ වාගේ හොඳ ශක්තිමත් පාටයි. ඊලඟ‍ට එයා ඒ අතපයෙන් හනි හනිකට අර පාට පාට පෙට්ටි වල තියෙන දේවල් එලියට අරගෙන හන්දිය මැද තිබුනු බෝගහ ළඟට උස්සාගෙන ගිහින් එයාගේ හිතේ සැලැස්මට අනුව නියමිත තැන් වල තිබ්බා.

‘‘සර්කස්කාරයාගේ පුතත් එක්කලා වචනයක් දෙකක් කතා කරන්ඩ, බලන්ඩ එයා ඔයගොල්ල වගේද? නියම දක්ෂයෙක් පාටයි......“ ඒ පාර අපේ හිත කිව්වා. ඒත් එයා එක්කලා කතාවට පොටක් පාදා ගන්න එක ලේසි නෑ. එයා දුර ගමනක් සයිකලන් ආ මහන්සියත් අමතක කරලා රාමෙට වැඩ. අනික එයා ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක සාමිච්චි කතා කරන්න යෑ. එහෙමයි කියලා අපි ට හිත හදා ගන්නත් බෑ. යන්න අරින්නත් බෑ. ඊලඟට මම හිතට දහිරිය අරගෙන මිනිහා බඩු පෙට්ටි ලඟට ආ වෙලාවේ මෙහෙම ඇහැව්වා.

‘‘ඔයාගේ නම මොකද්ද?‘‘

මිනිහා කරකර ඉන්න වැඩේ නැවැත්තුවේ නෑ. ඒත් මා දිහා බලලා මෙහෙම කිව්වා.

''රනිස්ටන්"

සේරෝම දේවල් ආරෝහන පටිපාටියට ලියවුනු ඉලක්කම් පේලියක් වගේ නියම විදිහට කෙරීගෙන ගියා. දන්නෙම නැතුව සර්කස් පෙන්වන වෙලාවත් ආවා. ඒ අතරතුර රනිස්ටන් එයාලා ගෙනා බැටරියට බල්ලෝ දෙන්නා අමුනලා ඒකට පොඩි පහේ ස්පීකරේයි අනිත් ලට්ට ලොට්ටයි සම්බන්ධ කලා. ඊලඟට මයික් එකට තට්ටු දැම්මා. සේරෝම හරි කියලා ස්ථිර කරගත්තු රනිස්ටන්, තාත්තට මයික් එක දුන්නා.

''සියලු දෙනාටම සුබ සැන්දෑවක් වේවා! වා! වා! වා!  මේ ඔබ අමතන්නේ නිව් ඔලිම්පියා සර්කස් කණ්ඩායමයි මයි මයි මයි, තවත් සුලු මොහොතකින් ඔබ පුල පුලා බලාසිටින සර්කස් සන්දර්ශණය ආරම්භ වනවා ඇති ති ති ති ති........'' රනිස්ටන්ගේ තාත්තා මහා සර්කස් සන්දර්ශනයක් ආරම්භ කරන කොට නිවේදනය කරන්නේ කොහොම ද ආන්න ඒ තාලෙට ආලවට්ටම් දාලා කිව්වා. රනිස්ටන් පුංචි ස්පීකරෙන් එන තමුන්ගේ තාත්තගේ කටහඬ එයාලගේ උපකරණ වල තිබුනු මුරිච්චියක් කරකවලා දෝංකාරේ දෙන්න සලස්වලා ආපහු තිබුනු තැනට කැරකෙව්වා.

ඉර හවස් වරුවේ මුල ම කොටස පහුකරගෙන හිමින් හිමින් ගෑටුවා. ගමේ ගස් කොළන් නැති තැන් වල තවමත් ඉතුරු වෙලා තිබුනු අව් රස්නේ, හවස් අතේ හමන හුළඟට දිය වෙලා ගියා. හැමදේම හොඳ අතට හැරීගෙන එන ඔය වෙලාවේ එයාලා සර්කස් සන්දර්ශනේ පටන් ගත්තා.

හැබැයි පටන් ගත්තා කිව්වට ඒක මෙහෙමයි.

මුලින් මුලින් එයා පෙන්නුවේ පොඩි පොඩි සර්කස්. හැබැයි ඒවා කරන අතරතුර එයා ජාති පුරසාරම් කතා කියන්නත් අමතක කලේ නෑ. සමහර ඒවට අපි බඩවල් අල්ලගෙන හිනාවුනා. ඊලඟට පොඩි පොඩි ඇස්බැන්දුම් ඒකට එක්කහු කලා. ඇස්බැන්දුම්! දන්නවනේ ඉතින්? මේ සේරෝම දේවල් එයා කරන්නේ හේතුවක් ඇතුවයි. එයා අද්දැකීමෙන් දන්නවා ඇති සර්කස් පොලේ අපි වගේ පොඩි අය කලින් ම ටැක්ගැහුනට, පනං හතරක් තියෙන මහ මිනිස්සු සර්කස් පොළ ගැන කල්පනා කරන්නේ ටිකක් හවස් වෙන්න ඇරලයි කියලා. සර්කස්කාරයා බෝල දෙක තුනක් උඩ දාලා අල්ල අල්ල, පුරසාරම් කතා කිය කිය, අපිව හොඳටෝ ම උද්‍ය‍යෝගිමත් කරලා අපිට පොඩ්ඩක් වත් තේරෙන්නෙ නැති වෙන්න අපේ කාලේ ගෙවලා දැම්මා. ඒ හැමදේම වෙනකල් එයාගේ පුතා පැත්තකට වෙලා බලාගෙන උන්නා. එයා කලේ නියම වෙලාවට අවශ්‍ය උපකරණ එයාගේ තාත්තට දුන්න එක විතරයි.

ඔය වගේ වැඩක් දෙකක් දාලා ඉන්න අයව පුදුම කරන අතරේ අලුතෙන් එන අය ගැනත් එයාලා උනන්දු වුනා. තවත් වෙලාවක් ගතවෙද්දි සර්කස්පොලට සෑහෙන පිරිසක් එක්කහු වුනා. සර්කස් පොලක් කිව්වට මේ හතරමං හංදියක මිනිස්සු ටිකක් වටවෙලා ඉන්නවා වගේ කිව්වත් ඒකේ වැරැද්දක් නෑ. ඊලඟට එයා අලුතින් ආපු අයගෙයි, මෙච්චර වෙලා හිටපු අයගෙයි උද්‍යෙයෝගය වැඩි කරන්නත් එක්කලා සයිකලේ ගත්තා. ඔන්න එතකොට අපිව නියම විදිහට පණ ගහලා ආවා. ඒ මොකද එයා සෙනග වටවෙලා ඉන්න හරියෙන් ඉඩක් හදාගෙන වේගෙන් සයිකලේ පැදගෙන ඈතට ගියා. ගිහිං එකපාරටම එයාගේ සයිකලේ හැඬල් එක සම්පූර්ණ රවුමක් කරකවලා ආයෙත් කෙලින් අල්ලගත්තා. බොරලු පාරේ බඹර චක්කරයක් වගේ කැරකුන රෝදේන් එකපාර දුමක් වගේ දූවිල්ලක් මතුවුනා. ඊලගට එයා ආයෙමත් අපි ඉන්න පැත්තට හැරුනා. ඒ එන අතරතුර හැඬල් එක දෙතුන් පලක දීම රවුම ගානේ කරකවලා අපේ හුස්මත් හිර කලා.

ඊලඟට සර්කස්කාරයා තීරණය කරා නියම විදිහට සර්කස් පෙන්වන්න වෙලාව දැනටමත් උදා වෙලයි තියෙන්නේ කියලා. ඒක හන්දා එයා සයිකලේ ම ඉඳගෙන තවත් වැඩ සීයක් විතර දාලා ඒකෙන් බැහැලා ඇවිල්ලා එයාගේ පුතාගෙන් මයික් එක ඉල්ලා ගත්තා.

ඊලඟට එයා හැරුනේ බල්ලා දිහාට.

''ඔව් නෝනා‍වරුනි, මහත්වරුනි, අපි දැන් මේ සුදානම් වෙන්නේ අපේ හුරතල් බල්ලාගේ අංකයක් බලන්න, නෝනා මහත්තුරුනේ, මීට කලින් කවදාක හරි ඔබ තුමාලා, ඔබ තුමීලා ගණන් හදන්න පුලුවන් බල්ලෙක් ගැන අහලා තියෙනවද ?''

කව්රුත් උත්තර දෙනවා වෙනුවට බල්ලා දිහා බැලුවා. ඒ අතරතුර සර්කස්කාරයගේ පුතා කලින් ලෑස්ති කරගෙන හිටපු පොඩි පහේ තහඩු පුවරු ටිකක් අරගෙන සර්කස් පොළ වටේ පිළිවෙලකට ආධාරක වලින් රැදෙව්වා. ඒ තහඩු පුවරු වල සටහන් කරලා තිබුනේ එක එක ඉලක්කම්. මේ අතරතුරේ සර්කස්කාරයා තමුන්ගෙ පුතා දිහා බැලුවා. පුතා සේරෝම හරි කියන බැල්මක් දැම්මා‍.

සර්කස්කාරයා ආයෙත් මයික් එකට තට්ටුවක් දැම්මා. රනිස්ටන් තවත් තහඩු කෑල්ලක් අරගත්තා. ඒකේ තිබුනේ ගණිත ගැටලුවක්. ඒයා ඒක සර්කස්කාරයට දුන්නා. සර්කස්කාරයා කාටත් පේන්න ඒක උස්සලා පෙන්නුවා.

''ඔව් නෝනා‍වරුනි, මහත්වරුනි, අපි දැන් මේ බල්ල ට කියලා ගණන් කිහිපයක් හදවන්නයි යන්නේ..... මේ පුවරුවේ දැක්වෙන්නේ පහ එකතු කිරීම හත..... දැන් අපි මේක බල්ලාට පෙන්නමු......“

ඔය අල්ලපනල්ලේ මමත් ගාණ හදන්න ගත්තා. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒ මොකද අතේ තියෙන සේරෝම ඇඟිලි ගත්තත් මේ ගාන හදා ගන්න ඇඟිලි මදි. ඒක නිසා මම හිතෙන් කකුලේ ඇඟිලි දෙකකුත් අතට එක්කහු කර ගත්තා. ඊලගට ගාණ හදාගත්තා. උත්තරය දොළහයි! ඔය අතරේ තවත් මොන මොනවදෝ කිය කිය හිටපු සර්කස් කාරයා බල්ලට තහඩුව පෑවා. බල්ලා තහඩුවට ඉව කලා. ඊලඟට සර්කස් පොළ වටේ ට ආධාරක වලින් රඳවලා තිබුනු තහඩු පෙළ ගාවට ගියා. මෙන්න බොලව් බල්ලා දොලහේ ඉලක්කම කටින් ඩැහැගෙන ගිහිල්ලා සර්කස්කාරයට දුන්නා.

"මොන පුදුමයක් ද මේ......?" අසේල අසිහියෙන් වගේ කිව්වා.

කුමාර අවතාරයක් දැකලා වගේ දම්පාට වුනා. කටත් ඇරුනා. මට නං කැරකිල්ලක් ඇල්ලුවා විතරයි. ඒත් අපිට සිද්ද වුනු කිසිදෙයක් සර්කස් කාණ්ඩායමේ තුන් දෙනා දැක්කේ නෑ. ඊලඟට සර්කස්කාරයා දොලහ බෙදීම හතර පෙන්නුවා. බල්ලා ඇහිපිල්ලමක් ගහන්ඩ කලින් තුනේ ඉලක්කම ඩැහැගෙන සර්කස්කාරයට දුන්නා. මේ පිළිවෙල ට බල්ලා තවත් ගණිත ගැටලු දුසිමක් විතර විසඳුවා. මට හිතුනා මාව ජබර කලන්තේ දාලා කපාපු කෙහෙල් කඳක් වාගේ ටික ටික ඇලවෙලා බිම වැටෙයි කියලා. මෙතන වැරදිලා හරි නිරූපා ටීචරුයි ඉන්න තිබුනේ. එහෙම වුනානම් මොන නව නිංගිරාවක්ද? අපිට කලිසම ඔලුවේ නමාගෙන තමා ගෙදර යන්න වෙන්නේ. ඒ මොකද නිරූපා ටීචර් පිටුවක් පිරෙන්න ගණන් දුන්නම අපිට හැට පැයක් යනවා ඒවයේ හරි උත්තර මතු කරගන්න. ඒකට මේ බල්ලා. ඉව කලා උත්තරේ ගත්තා. අපිටත් බල්ලාට වගේ ගණන් හදන්න පුලුවන් කම තිබුන නම් කොච්චර දෙයක් ද?, එහෙනම් අපිට තියෙන්නේ ගණන් ටික ලියාගෙන පොත ඉව කරලා උත්තර දාන්නයි.

ඊලඟට බල්ලා ගණන් හැදිල්ලා පැත්තක තියලා වළලු උඩින් පැන පැන වෙන මොකද්දෝ නෙයියාඩගමක් පටන්ගත්තා. අපට ඒවයින් ඇති වැඩැක් ඇතැයි! අපි එකතු වෙලා මේ ගැන කතා කලා.

‘‘අපි අහමු රනිස්ටන්ගෙන් බල්ලා ගණන් හදන සාස්තරේ මොකද්ද කියලා.....“

“වැඩැක් නෑ..... සර්කස්කාරයෝ කවදාවත් එයාලගේ රහස් කියන්නේ නෑ......“

“හරි මේ සර්කස් කාරයෙක් නෙමෙයිනේ, මේ සර්කස්කාරයගෙ පුතා....“

“ඒත් මම හිතන්නේ නෑ..... එයාගේ තාත්තා කියලා ඇති මේ ගැන කාටවත් කියන්න එපා කියලා.....“

‘‘ඔයා හිතන්නේ එහෙමද?‘‘

“ඔව් පොඩ්ඩක් හිතලා බලන්ඩකෝ.... අඩුම ගානේ අපි සුරංගනා කතාවක දී වත් අහලා තියෙනවද ගාණක් ඉව කරලා උත්තරේ දාන්න පුලුවන් ළමයි ගැන.....“

‘‘ඇත්ත තමා.... ඒත් නිකමට රනිස්ටන්ට හිතුනොත් අපිට ඒ රහස කියන්න..... මොන වාසනාවක්ද?“

“මටනං හිතාගෙන්නත් බෑ...... ඒ කියන්නේ මට වාර විභාගේ ගණිතයට සීයෙන් සීයක් ගත්තැකි......“ කුමාර බොහොම බලාපොරොත්තු හිතේ තියාගෙන කිව්වා.

ඔය අතරේ සර්කස්කාරයගේ පුතා සර්කස් පොලේ එක පැත්තකින් එයාලගේ බඩු පෙට්ටි තියෙන වික්ටර් මාමලාගේ කඩේ ගාවට පල්ලම් බැස්සා. අපිත් හීන් සැරේ එතනින් ලිස්සුවා. සර්කස්කාරයා පුරුදු විදිහට එයාගේ අංක කරගෙන ගියා.

සර්කස්කාරයාගේ පුතා බඩු පෙට්ටියකින් මායාකාරයෙක්ගේ ඇඳුමක් ඇදලා ගත්තා. ඒක එයා තමුන් ඇඳගෙන ඉන්න ඇඳුමට උඩින් ඇඳගන්නයි ගියේ. ඒ එක්කම අපි මිනිහට කිට්ටු කලා. ඊට පස්සේ බොහොම වැදගත් තාලෙට අපේ ඉල්ලීම ගැන කියන්න පටන් ගත්තා.

‘‘අපි ආවේ ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න?‘‘

‘‘මොකද්ද?“ මිනිහා මායාකාරයගේ ඇඳුම පැත්තක තියලා අපි දිහා සැකෙන් බැලුවා.

‘‘කරදරයක් නැත්තං........, අපිට කියලා දෙන්න පුලුවන්ද බල්ලා අර විදිහට ඉක්මනට ගණිත ගැටලු විසඳන හැටි......?‘‘

මිනිහා ඒ පාර කල්පනා කරන්න ගත්තා.

‘‘අපි කාටක්කත් කියන්නේ නෑ, මේ මේ...... මම ටිකක් ගණිතයට දුරුවලයි...... හැමදාම ගුටි පූජාවක් නං වරදින්නේ නෑ.....“ අසේල ඕනම වුනොත් කියන්න වටින වචන පේලියන් කලින්ම කියලා දැම්මා. මිනිහට ඒ තරමට උනන්දුව.

‘‘බල්ලො ගණන් හදන සාස්තරේට ළමයින්ට ගණන් හදන්න පුලුවන් ද?“ සර්කස්කාරයගේ පුතා කොයි පැත්තටත් නැති උත්තරයක් කියලා මායාකාරයගේ ඇඳුම දිහා බැලුවා.

අපි නේද බොහොම ඉවසිලිවන්තව ඊලඟට කියන්න දෙයක් කල්පනා කලා. අපි මේ වගේ අමාරු අවස්ථා ඕන තරම් පහු කරලා තියෙනවා. හැබැයි මෙතන වැඩේ තියෙන්නේ ප්‍රථිපලය වචනෙන් කියාගන්න බැරි තරම් වටින හන්දා අපේ හුස්ම වැටෙන ප්‍රමාණෙ වැඩිවෙලා තිබුනු එකයි.

‘‘එහෙම නෙමෙයි...... අපිට ඒක කියලා දෙන්න. අපි උත්සහ කරලා බලන්නම් ඒ සාස්තරේ ට අපිටත් ගණන් හදන්න පුලුවන් ද කියලා......“

‘‘තාත්තා කියලා තියෙන්නේ මේ කොයි දේ ගැනත් කිසිම දෙයක් කියන්න එපා කියලා..... මේවා ඉගෙන ගෙන ඕගොල්ලත් සර්කස් පෙන්නන්න ගත්තොත් අපට මොකද වෙන්නේ, ඕගොල්ල වගේ ද අපි, ඊලඟට අපට මහ පාරට වැටෙන්නයි වෙන්නේ.....“ සර්කස්කාරයගේ පුතා වැඩිහිටියෙක් වගේ කතා කරන්න ගත්තා.

‘‘ඔයාට පිස්සුද? අපි එහෙම කරන්නෑ කිව්වොත් නෑමයි, අපි දිවුරලා පොරොන්දු වෙන්නම්..... නේද?“ අසේල අපි දිහා බලාගෙන කිව්වා. මේ අතරතුර සර්කස්කාරයගේ පුතා මගේ දිහා බලාගෙන බොහොම කෙටි ගැඹුරු කල්පනාවක් දැම්මා. ඊලඟට බඩු පෙට්ටියෙන් බෝතලයක් අරගෙන එකෙන් සුදු පාට තීන්ත තලියක් අරගෙන මූණෙ උලා ගත්තා. ඒ එක්කම මිනිහගේ උපන් ළපෙයි, ඇස් යට කලුවයි සේරෝම මැකිලා ගිහිල්ලා මුලු මූණම සුදු ම සුදු පාට වුනා.

‘‘හරි මම ඒ රහස එළි කරනවා. හැබැයි ඒ රහසේ වටිනාකමට සමාන දෙයක් මට දෙන්න ඕනේ.... මොකද කියන්නේ.....?“ සර්කස්කාරයගේ පුතා ස්ථිර හඬින් කිව්වා.

හැමදේම ගැනම වාසිය මිනිහගේ පැත්තට හැරිලා තියෙද්දි මිනිහා එහෙම කතා කරන එක සාධාරණයි. මොකද මේ රහස මේ ලෝකේ කිසිම කෙනෙක් නොමිලේ හෙලි කරයි කියලා හිතන්න බෑ. ඒක අපිට කලින් කල්පනා කරන්න තිබුනා. ඒත් මේ වගේ රහසකට හිලව් කරන්න අපි සන්තකේ කිසිම දෙයක් නෑ. අපි දහ අතේ කල්පනා කලා. කාටත් වඩා මේ සාස්තරේ දැන ගන්න උනන්දු කුමාර එක පාරටම දෙයක් මතක් වෙලා ඉස්සරට පැන්නා.

‘‘හරි..... ඔයා ඔය සාස්තරේ කියන්න........ ඒ වෙනුවට අපි මෙයාගේ අතේ තියෙන ඔරලෝසුව ඔයාට දෙනවා..... මොකද කියන්නේ?“ කුමාරගේ කතාවට මාව උඩ විසි වුනා. සර්කස්කාරයගේ පුතා මගේ ඔරලෝසුව දිහා බැලුවා. මිනිහගේ ඇස් දිලිසෙන්න ගත්තා. තෙහෙට්ටු මූණට එළියක් වැටුනා.

“මේ ඔරලෝසුව දිලා කොහොමද?“ මම කිව්වා. හැබැයි කටින් නෙමෙයි හිතෙන්. හිතෙන් කියන දේවල් කාටවත් ඇහෙන්නේ නෑනේ. වැඩේ කියන්නේ කුමාර ට ඒකත් ඇහුනා. මිනිහා වහාම මට මෙහෙම කිව්වා.

‘‘ඔයා දෙපාරක් හිතන්න එපා මේක දෙන්න.... පොඩ්ඩක් හිතලා බලන්න.... ඔයා හැමදාම ගණිතයට ලකුණු සීයෙන් සීය ගත්තොත් ඔයාගේ තාත්තා ඔයාට මේ වගේ ඔරලෝසූ දුසිමක් වුනත් ගෙනල්ලා දෙයි.....“

ඊලඟට මම ඒ ගැන කල්පනා කරන්න ගත්තා. ඇත්තම කිව්වොත් මේ වගේ හැමදේම එකට පැටලිලා තියෙන වෙලාවක හරි තීරණයක් ගන්න එක එහෙම ලේසි දෙයක් නෙමෙයි. ඔය අල්ලපනල්ලේ කුමාර සර්කස්කාරයගේ පුතා ගේ හිත ඔරලෝසුව ඉස්සරහා ගැස්සෙනවා දැකලා හොඳටම උද්දාම වුනා. ඊලඟට මගේ අත මිනිහගේ පැත්තට කරලා අල්ලගෙන මෙහෙම කිව්වා.

‘‘මේක එහෙම නිකං ඔරලෝසුවක් නෙමෙයි. මේක මෙයාගේ තාත්තා ගිය සතියේ කොළඹ ගිහිල්ලා එද්දි ගෙනාවේ.... ඔව්! මෙහේ ටවුමෙන් ගත්තු එකක් නෙමෙයි කොළඹින්.... මේ බලන්ඩ මේකේ කටු නෑ.... අංකෝලින්මයි සේරෝම දේවල්.... මේ බොත්තම ඔබාගෙන ඉද්දි මාසෙයි දවසයි වැටෙනවා..... මොන ලේසියක් ද? මේ........ අතෑරියම ආයෙමත් වෙලාව.....! කව්රුහරි වෙලාව ඇහුවම ඇඟිලි වලින් විනාඩි ගාණ එක්කහු කර කර ඉන්න ඕනෙත් නෑ..... හරි ම වෙලාව අංකෙන්ම වැටෙනවා..... මේක ගත්තේ නැත්තං මේ වගේ එකක් ඔයාට කවදාවත් බඳින්න වෙන්නේ නෑ.... ඔයාට කවදාවත් සල්ලි එක්කහු කරලාවත් මෙහෙම එකක් ගන්න බෑ... මං කිව්වේ මේක ගෙනල්ලා තියෙන්නේ කොළඹින්. ඔයා තකහනිය කොළඹ යන්න යැයි ඔරලෝසුවක් ගන්න...... ආ..... මේක වතුරටත් ඔරොත්තු දෙනවා.... මෙයා නාද්දිත් මේක බැඳගෙනයි නාන්නේ.... ඔයා මොකද කියන්නේ?“ මිනිහා කතා කරන්ඩ පුලුවන් මැසිමක් වගේ එක දිගට කියාගෙන ගියා. මම පුදුම වුනා. කුමාරගේ ඔරලෝසු දැනුම ගැන.

කතාව අහගෙන හිටපු සර්කස්කාරයගේ පුතා මෙහෙම කිව්වා.

“මට එකපාරට හිතාගන්න බෑ, ඔයාලා කියන්නේ මට මේ ඔරලෝසුව තියා ම තියා ගන්ඩ දෙනවා කියල ද?“

‘‘ආය ඒකෙ දෙකක් නෑ..... ඒ සාස්තරේ හිළව්වට මීට වඩා හොඳ දෙයක් තියෙනව ද.......?“ කුමාර එයාගේ අදහස ස්ථිර කලා.

“ඒක තමා මාත් බැලුවේ....... “ සර්කස් කාරයගේ පුතා ආයෙමක් කල්පනාවට වැටුනා.

අන්න එතකොට මට දෙයක් මතක් වුනා. ඒ අපි මේ සාස්තරේ දැන ගන්න ඉල්ලා හිටි මුල ම වෙලාවේ මිනිහා පළවෙනි පාරට කල්පනාව දාපු විදිහ. ඒ වෙලාවේ මිනිහා මම දිහා බලාගෙනයි කල්පනා කලේ. හරි විදිහට හිතලා බලද්දි මිනිහා බලාගෙන ඉදලා තියෙන්නෙ මගේ ඔරලෝසුව දිහා වගේ. හැබැයි මේ වෙනකල් කිසිම කලබලයක් කලේ නෑ. හැමදේම කලේ බොහොම කල්පනාවෙන්. නියම සැලැස්මක් අනුව. මම එහෙම කියන්නේ මොකද, මිනිහා මෙතන අහස පොලොව නුහුලන විදිහේ ගනුදෙනුවක් ගැන කතාව යද්දි වුනත් සර්කස් පොල ගැන අවධානයෙන් උන්නේ. එයා යන්න ඕන නියම වෙලාව එනවද කියලා විඩෙන් විඩේ ඔලුව උස්සා උස්සා බැලුවා.

ඊලඟට අපේ පැත්තේ කාගෙත් හිත් නොයිවසිල්ලෙන් කලබල වෙලා තියෙන අතරේ මිනිහා බොහොම තැන්පත් තාලෙට, පලපුරුදු ගණුදෙනු කාරයෙක් වගේ මෙහෙම කිව්වා.

‘‘හරි මම ලෑස්තියි මේ ඔරලෝසුවේ හිලව්වට, ගණං හදන සාස්තරේ කියලා දෙන්න?“

ඇත්තම කිව්වොත් ඔරලෝසුව ගැන තීරණයේ දී මම හිටියේ වැට උඩ. ඒත් රහස එළිකරන්නම් කිව්ව හැටියේ මම වහාම ඔරලොසුව ගලවන්න ගත්තා. කුමාරත් ඒකට උදව් කලා. ඊලඟට කුමාර ඒක අතට අරගෙන එයාගේ ටී ෂර්ට් එකේ බොහොම ගරු සරු ඇතුව දෙතුන් පාරක් පිහදාලා අත් දෙකෙන්ම සර්කස්කාරයගේ පුතා ට පෑවා. මිනිහා ඔරලෝසුව අතේ බැඳගත්ත. මිනිහගේ ඇස් ආයෙමත් දිලිසුනා. එයා ඔරලෝසුව දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ‘‘දැන් ඉතින් මේක මගේ! අන්තිමේ මම දිනුවා!!“ කියන්නා වගේ ලොකු හුස්මක් පිටකලා. දැන් තියෙන්නේ ගණුදෙනුවේ අන්තිම හරිය. අපි හැමොම බලාගෙන හිටියේ සර්කස්කාරයගේ පුතා  කියන්නේ මොනවද කියලා. අපිට එයා ව පෙනුනේ ගණිතයට අධිපති දෙවියන් වහන්සේ අපිට අනුකම්පා කරලා එවපු දේවදූතයෙක් හැටියට. ඒ හන්දා අපි දේවදූතයෙක් කියන වචන අහන්නේ කොහොමද, අන්න ඒ විදිහේ තැන්පත් කමක් ඇතුව එයාට කන් දුන්නා. ඒ වචන කියවුනේ මෙහෙමයි.

‘‘ආ.... මට එක දෙයක් කියන්න බැරි වුනා..... මට මේ සාස්තරේ කියලා දෙන්න වෙන්නේ සර්කස් සන්දර්ශනේ ඉවර වුනාම තමයි හැබැයි.......“

“මොකක්!“ මම කිව්වා. ඒකත් කිව්වේ කටින් නෙමෙයි හිතෙන්. ඒක අහලා කුමාරවයි, අසේලවයි හේබාලා ගියා. එයාලගේ මූණු දැක්ක දේවදූතයා මෙහෙම කිව්වා.

‘‘ඔයගොල්ල ඒ කොන්දේසියට අකමැතිනම් මම ඔරලෝසුව දෙන්නං......“ මිනිහා ඕනෑවට එපාවට ඒ වචන ටික දමලා ගහලා, ජපන් පන්සලක වහලයක් වගේ උඩුකුරුංඤ්ඤං කරපු රැවුලක් පැළඳගත්තා. දැන් මිනිහා නියම මායාකාරයා.

ඒ පාර තවත් විසඳගන්න බැරි ප්‍රශ්ණයක්. ඒ එක්කම මිනිහා අපිට උත්තරයක් දෙන්න තියෙන ඉඩ අහුරලා, “මට අතෙන්ට යන්න වෙලාව හරි......." කියාගෙන සර්කස් පොළ පැත්තට දිවුවා.

අපි තනිවුනා. ඊටත් වඩා අපිට හැමදේම නැතිවුනා. ඇත්තටම බැලුවොත් මටයි හැමදේම නැතිවුනේ. මම වහාම කුමාර පැත්තට හැරුනා.

“මට මගේ ඔරලෝසුව ඕනේ.......“ මගේ වචන අහපු කුමාරයි, අසේලයි අහස පොලොව ගැටගහන්න කල්පනා කලා. ඊලඟට,

“එයා බොරුවක් කරන එකක් නෑ......“ කියලා තෙපරබෑවා. ඒගොල්ලන්ගේ වචනත් ඇදවෙලා. ඊලඟට අපි සර්කස් පොලට රිංගලා සෙනඟ අතරින් ඉස්සරහටම ගියා.

ඔය අල්ල පනල්ලේ සර්කස්කාරයා එයාගේ සර්කස් කෙරුවාව අවසාන කරලා එයාගේ පුතාව හඳුන්වා දෙන්න ගත්තා. එයා කිව්වා ඈත රටක මායාකාරයෙක් දැන් සර්කස් පොළට එන්නයි යන්නේ කියලා.

ඊලඟට මායාකාරයෙක් වගේ ඇඳගෙන හිටපු සර්කස්කාරයගේ පුතා සෙනඟ මැදට ආවා. එයා කාටත් ආචාර කලා. හැමෝම අත්පුඩි ගැහුවා. ඔව් අපි තුන්දෙනා ඇර අනිත් හැමොම! ඔය අස්සේ මම බැලුවේ මායාකාරගේ අත. එයාගේ අත හිස්. මේ ඩිංගට මායාකාරයා ඔරලෝසුව අතුරුදහන් කරලා. මට හැමදේම තේරුම් ගන්න ඒ හැටි වෙලාවක් ගත වුනේ නෑ. අපි අහුවුනේ නියම ගැටේකට. ලෝකේ කිසිම සර්කස් කාරයෙක්, කිසිම ඇස්බැන්දුම් කාරයෙක් එයාලගේ සන්දර්ශනේ බලන්න එන අයට රහස් එළිකර කර ඉන්නවද? අපට ඒක කලින් කල්පනා කරන්න තිබුනා. මම කුමාරයි අසේලයි දිහා බැලුවා. ඒ දෙන්නත් මගේ දිහා බලලා බිම බලාගත්තා.

මායාකාරයා මොන මොනවදෝ දේවල් මවලා එයාගේ තාත්තට පෑවා. සමහර දේවල් අතුරුදහන් කලා. හරියට මගේ ඔරලෝසුවට කලා වගේ. ඊලඟට මායාකාරයා සර්කස්කාරයා ගාවට ගිහිල්ලා මොනවදෝ කිව්වා.

‘‘ඔව් නෝනාවරුණි, මහත්වරුණි, මේ අපේ මායාකාරයා මහ පුදුම සහගත මායාවක් කරලා මේ සර්කස් සන්දර්ශණය අවහර කරන්න කියලයි ලෑස්තිය......''

ඒ එක්කම මායාකාරයා වටවෙලා ඉන්න සෙනඟට කිට්ටු කරලා වටයක් දෙකක් පාවුනා. පා වුනා කිව්වට මේක රඟපෑමක්! හරියට වලාකුලු උඩ යනවා වගේ. අපිට හිතුනා ඇත්තටම එයා වලාකුලක් උඩ පාවෙනවදෝ කියලා. මිනිහා එච්චරට දක්ෂයි! ඊලඟට එයා පා වෙවී සෙනඟ අතර කාවදෝ හෙව්වා. හොයලා හොයලා හිටි අඩියෙම එතන හිටි ළමයි සේරෝම මඟ ඇරලා මම කෙලින් හිටගත්තා.

මිනිහා මගේ අතින් අල්ලාගෙන රවුම මැදට එක්කගෙන ගියා. එතකොට හැමෝම අත්පුඩි තලන්න ගත්තා. මම මායාකාරයා දිහා කෙලින් බැලුවා. ඇත්තටම මායා කාරයා කිව්වට මේක ඇතුලේ ඉන්නේ සර්කස්කාරයගේ පුතා රනිස්ටන්. මිනිහත් ඒ වෙලාවෙම මම දිහා බැලුවා. මම මිනිහගේ මූණ දිහා බැලුවා. හැබැයි මිනිහගේ මූනෙන් කියවෙන දේවල් මට තේරුම් ගන්න බෑ. ඇයි මුලු මූණ ම සුදු පාටයි නේ. ඒත් එක්ක මිනිහා වහාම අඩි දෙක තුනක් පැනලා මගෙන් ඈතට ගියා. ගිහිං සද්දෙට මොනවදෝ කිව්වා. මායා බාසාවකින්.

''මායාකාරයා කියනවා එයාට වරයක් තියෙනවලු. කැමති දෙයක් ඉල්ලන්නලු!'' සර්කස්කාරයා මයික් එකෙන් කාටත් ඇහෙන්න කිව්වා. ඊලඟට මම ගාවට ආපු සර්කස්කාරයා මට මායාකාරයා ලවා මොනවද ඕනේ කරන්නේ කියලා අහලා මයික් එක පෑවා.

“මට ඕන මගේ ඔරලෝසුව......“ මම කිව්වා. පුංචි ස්පීකරෙන් ඒ හඬ කාටත් ඇහුනා.

මායාකාරයා මගේ ගාවට ආවා. මිනිහා මා දිහා කෙලින් බලලා හිනා වෙලා ඔලුව වැනුවා. එයා හිනාවුනේ මෙන්න මෙහෙමයි. කිසි ම දෙයක් නොදැන මහා භයානක සැලසුමකට අහුවුනු අහිංසකයෙක් දිහා බලන මහ මොලකාරයෙක් වගේ සමච්චලේ ට. ඇත්තටම දැන් වෙලා තියෙන්නෙත් ඒකයි. අපි මෝඩයෝ රෑණක් වගේ ගිහිල්ලා කවදාවක් කතා කරලා නැති අපි වගේ ම ළමයෙකුට අහුවුනා. එයා දැන් අපිට හිනාවෙනවත් එක්ක. ඊලඟට මොහොතකින් මිනිහා සර්කස් පොලේ ‍කෙළවරට පැන්නා. එයා අංගචනලයෙන් මොනවදෝ දේවල් ගොඩක් කලා. අන්තිමේ මිනිහා අහස පුරා අත් දෙක විහිදුවා. එයා තමුන්ගේ චිත්ත ශක්තියෙන් මොකක් හරි දෙයක් තමන්ගේ වසඟයට ගන්න හැබෑ මායාකාරයෙක් වගේ රඟපෑවා. ඊලඟට අසුරු සැනෙකින් මා ගාව. ඒ එක්කම මිට මොලවගෙන ඉන්න මිනිහගේ වම් අත මගේ මූණ කෙලින් නතර කලා.

මුලු ලෝකෙම නිශ්ශබ්ද වුනා. හැමෝම දැනගත්තා දැන්නම් මොකක් හරි දෙයක් වෙන්නයි යන්නේ කියලා. ඒක හන්දා කව්රුත් හුස්ම අල්ලගෙනයි බලාගෙන හිටියේ. අසේලගෙයි, කුමාරගෙයි ඇස් බිත්තර ගෙඩි වගේ වෙලා. මායාකාරයා මොහොතක් ගල් ගැහිලා ඉඳලා, අත දිග අරින්න සුදුසු ම වෙලාවේ දකුණු අත අහසට උස්සලා වේගයෙන් වම් අත ගාවට ගෙනල්ලා අසුරක් ගැහුවා. ඒ එක්කලා මිට මොලවගෙන හිටපු වම් අත දිග ඇරියා. මෙන්න අත උඩ මගේ ඔරලෝසුව. ''මගේ ඔරලෝසුව!'' එහෙම කියලා මම පැන්න ගමන් ඒක ගත්තා. ඒ එක්කම සර්කස් පොළ දෙදරුම් කන්න අත්පුඩි වැදුනා. ඒ මොකද කව්රුත් නොහිතන වෙලාවක මගේ ඉල්ලීම මායාකාරයා ඉටුකලා‍. මායාකාරයා කාටත් ආචාර කරලා පාවෙලා ගියා. සර්කස් සන්දර්ශනේ එතනින් ඉවර වුනා. කව්රුත් සර්කස් කාරයාටයි එයාගේ පුතාටයි හොඳටම ප්‍රශංසා කලා.

ඩිංගක් මහන්සි ඇරපු සර්කස් කාරයයි, එයාගේ පුතා රනිස්ටනුයි ඊලඟට සේරෝම බඩු පෙට්ටි වල ඇහුරුවා. අර කමකට නැති බල්ලා පැත්තකට වෙලා සීනි බනිස් ගෙඩියක් හපන්න ගත්තා. අපි තුන් දෙනා වෙච්ච දේවල් ආපහු මුල ඉදලා කල්පනා කලා. කුමාරටයි අසේලටයි හොඳටම සතුටුයි. මොකද ඒ දෙන්නා බෙල්ල මුලින් අහුවෙන්න ගිය වැරැද්දකින් නූලෙන් බේරුනා නේ.

ඔය අතර සර්කස්කාරයාගේ පුතා, ඒ කිව්වේ රනිස්ටන් අපි ළඟට ආවා. මිනිහා තුවා පොඩියකින් මූණෙ තියෙන සුදු පාට තීන්න පිහ පිහා මෙහෙම කිව්වා.

‘‘දන්නවද? ඔය බල්ලො ගණන් හදන සාස්තරෙත් මේ ඔරලෝසුව මැව්ව සාස්තරේ වගේ තමයි......“

“ඒ කිව්වේ.... “ මම ඇහැව්වා.

‘‘හැමදේම කලින් සැලසුම් කරනවා..... එච්චරයි.......!''

''ඒ කිව්වේ....." අපි ආයෙමත් ඇහැව්වා.

''බල්ලා අංක ලියලා තියෙන තහඩු අරගෙන එන්නේ පුරුදු කරලා තියෙන පිළිවෙලට....... දෙයක් පුරුදු කලාම බල්ල ඒක ඕන වෙලාවක කරනවා. ඔතන වැඩේ තියෙන්නේ අපි දැන ගන්ඩ ඕන බල්ලා ඊලඟට අරගෙන එන අංකෙට හරියන ගණිත ගැටලුව මිනිස්සුන්ට පෙන්නන්න......''

අපිට කැරකිල්ල ආවා. අපිට ඒ වගේ දෙයක් කලින් කල්පනා වුනේ නැති හැටි. ඒත් අසේල මෙහෙම කිව්වා.

''නෑහ්....."

"නැහැ නෙමෙයි ඔව්. අපේ තාත්තා කියන්නේ, කව්රුත් නොහිතන පිලිවෙලට වැඩක් කලාම එයාලා ව පුදුම කරන එක මහ දෙයක් නෙමෙයි කියලා..... ඒක තමයි නියම ඇස්බැන්දුම.... “

‘‘මට නං තාම හිතාගන්න බෑ ඔය කිව්වට......“ අසේල කිව්වා.

“ඔයා පොඩ්ඩක් හිතන්ඩකෝ......, එහෙම සාස්තරයක් අපේ තාත්තා දන්නවා නම් ඒක බල්ලෙක්ට උගන්නලා, එයා එයාගේ පුතා ව මෙහෙම පාරවල් ගානේ සර්කස් පෙන්නා පෙන්නා රස්තියාදු කරවයි ද? එහෙම වුනා නම් මට නිවාඩු දවස් වල ගෙදරට වෙලා ඉන්න තිබුනා. ඉස්කොලේ ගිහිල්ලා ඇවිදින් හොඳ පණ යනකල් මේවා පුහුණු වෙන්න ඔනෙත් නෑ....... දැන් තේරෙනවද? ඔතන ඇති සාස්තරයක් නෑ, එකම සාස්තරේ හැමදේම හොඳට පුහුණු වෙන එක....."

‘‘එතකොට ඔයා මගේ ඔරලෝසුව ගත්තේ........? ඒකට කොයි වෙලාවේ ද කලින් පුහුණු වුනේ......‘‘ මම ඇහැව්වා.

ඒ කතාවට නම් මිනිහා මොකවත් කියන්න ගියේ නෑ. ආයෙමත් මගේ අතේ තියෙන ඔරලෝසුව දිහා බලාගෙන හිටියා මිසක්. ඔරලෝසුවේ තත්පර ගණන කියන ඉලක්කම් එකින් එක වෙනස් වෙනවා. දෙපැත්තට වෙලා ඔරලෝසුවේ මූණ අල්ලගෙන හිටියේ මීකියි, එයාගේ යාලුවා මිනියි. ඒ දෙන්නා ඔරලෝසු පටියේ සමබරව තාලෙට අඩි තියලා හිටගෙන ඉන්නවා. අහස් නිල් පාට ඔරලෝසුවට එයාලගේ පාටයි, එයාලගේ කොන්ඩා පටිවලයි, සපත්තු වලයි තිබුනු රතු පාට නියමෙට කැපුනා. ඔරලෝසුව මේ දැන් තීන්ත ගෑවා වගේ හැන්දෑවේ ඉර එළියට දිලිසුනා.

“මේක නියම ඔරලෝසුව නේද? මම අදමයි දැක්කේ ඉලක්කං වලින් වෙලාව දුවන ඔරලෝසුවක්......“

‘‘ඔව්..... මීට කලින් මම දැකලත් නෑ...... මම මේක පණ වගේ පරිස්සං කරන්නේ.....‘‘ මම කිව්වා.

‘‘ඔයා හොඳටම බය වුනා නේද?“

‘‘නැතුව.... මගේ පපුව හිර වුනා..... ඔයා ඔය තාලෙට මිනිස්සු කොච්චර පුදුම කරලා තියෙනද මේ වෙද්දි?“

“කව්ද ඔවයේ ගණන් හිලව් තියාගෙන ඉන්නේ...... මම කරන දේවල් වලට මිනිස්සු කොච්චර පුදුම වෙලා බැලුවත් මට පුදුම හිතෙන්නේ නෑ දැන්.......! හැබැයි අපේ තාත්තා කියන කතාව ඇත්ත. හොඳ පුහුණුවක් තියෙනවනම් මේ වගේ ඉස්තරම් ඔරලෝසුවක් වුනත් මවලා....... බලාගෙන ඉන්න අය පුදුම කරන එක ඒ හැටි දෙයක් නෙමෙයි..... “ එහෙම කියලා මිනිහා හිස් අහස දිහා බලාගෙන තනියෙම හිනාවුනා.

ඒ හිනාව දිහා බලාගෙන හිටපු මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් මුල් අදින්න ගත්තා. ඒ මම කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු සිතුවිල්ල. ඔව්! ඒ තමයි මම දවසක කව්රුත් නොහිතන තාලේ වැඩක් දාලා හැමෝවම පුදුම කරනවා කියන එක. ඒ දේ ක්‍රියාත්මක කරන්න මීට වඩා හොඳ වෙලාවක් ආය මට කවදාවත් ලැබෙන එකක් නෑ. මගේ හිත කිව්වා. ටක්කෙටම වැඩේ සිද්ද වුනොත් මට පුලුවන් කාලෙකින් කිසිම දෙයක් නිසා පුදුම නොවුනු සර්කස් කාරයගේ පුතා රනිස්ටන්ව පුදුම කරන්න. හැබැයි මේ ගත්තු තීරණය හරි ද වැරදි ද කියලා හිතන්න වෙලාවක් නම් ඉතුරු වෙලා නෑ මට. ඒත් මම ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න හිත හදා ගත්තා. මම මෙහෙම කිව්වා.

‘‘ඔයාගේ තාත්තට එක දෙයක් වැරදිලා......., හොඳ පුහුණුවක් නැතුව උනත් මිනිස්සුන්ව පුදුම කරන්න අපට පුලුවන්.....“

‘‘ඒ කොහොමද?“ රනිස්ටන් ඇහැව්වා.

‘‘මෙන්න මෙහෙම....‘‘ මම තාත්තා කොලඹින් ගෙනල්ලා දුන්නු, මම පණ වගේ පරිස්සම් කරපු, ඉලක්කමෙන් වෙලාව දුවන ඔරලෝසුව ගලවලා රනිස්ටන්ගේ අතේ තිබ්බා.

‘‘මොකද් ද ඔයා කරන්න යන්නේ.... ඔයා මේක මෙයාට දෙන්න ද යන්නේ......“ කුමාර පුදුම වෙලා ඇහැව්වා. ඔව්! කුමාර ට විතරක් නෙමෙයි, මේ ලෝකේ කිසිම කෙනෙකුට එක පාර විශ්වාස කරන්න පුලුවන් දෙයක් යැයි මේක. මම වුනත් මේ තීරණය ගත්තේ දෙපාරක් හිතලා නෙමෙයි.

“ඔව් ඇයි.....?“

“නැ.... මේ.....“ කුමාර ඔය අකුරු දෙක විතරක් කිව්වට, එතනින් කියවුනේ මෙන්න මෙහෙම අදහසක්. “ඇයි ඒක එයාට දෙන්නේ, මම නේද ඔයාගේ හොඳම යාලුවා... ඔයාට එපා නම් ඒක මට දෙන්න තිබුනානේ....“ කියලා.

‘‘ඔයාම නේද ගණන් හදන සාස්තරේ කිව්වොත් මේ ඔරලෝසුව දෙනවා කිව්වේ..... ඉතින් මෙයා සාස්තරේ කිව්වනේ.......“ ඒ අකුරු දෙකේ තේරුම හොඳටෝම දන්න මම කුමාර ට කිව්වා.

සේරෝම දිහා බලාගෙන හිටපු රනිස්ටන් ඊලඟට කතා කළා.

‘‘මේක නං නියමයි තමයි.... ඒත් මේක මට එපා....., දෙයියනේ....., මේ වගේ ඔරලෝසුවක් අතේ බඳින එක මගේ හීනෙක වත් නෑ......“

‘‘කව්රුත් නොහිතන පිලිවෙලට වැඩක් කලාම කව්රුත් පුදුම වෙනවා තමයි..... හරියට බල්ලා ගණන් හදද්දි වගේ...... ඇයි ඔයාමනේ දැං කිව්වේ, මේකත් ආං එහෙම දෙයක්.....‘‘

ඊලඟට මිනිහා ඒක අතට ගත්තා. මිනිහ ගේ අත්දෙක වෙව්ලනවත් එක්ක. මිනිහට හිතාගන්න බෑ මේක හීනයක් ද නැත්තම් හැබෑ ලෝකේ ඇත්තටම වෙන දෙයක් ද කියලා. මිනිහා ඔරලෝසුව ඉහලට අල්ලලා ඒකේ හැඩ බැලුවා. මිකියි, මිනියි හිනා වෙන අතරේ ඔරලෝසුවේ මූණ රනිස්ටන් පැත්තට අල්ලගෙන ඉන්නවා. එයාලා තාමත් අලුත්. එයාලාගේ කුඩු හමක්වත් සීරෙන්නෙ නැතුව ඔරලෝසුව පරිස්සමින් පාවිච්චි කල හැටි දන්නේ මම විතරයි. මිනිහා ඔරලෝසුව දිහා බලාගෙන ලොකු කල්පනාවකට වැටිලා. මිනිහගේ ඇස් දෙක දිලිසෙනවා. අර මුලම වතාවේ වගේ. ඊලඟ ට රනිස්ටන් ඔරලෝසුව දිහා බලාගෙන ම අපට මෙහෙම කිව්වා.

“වැඩේ තියෙන්නේ කව්රුත් නොහිතන පිලිවෙලට මේ හැම දේම වුනත් මෙතන කිසිම ඇස්බැන්දුමක් නැති එකයි.......“

රනිස්ටන් එහෙම කියද්දි මට මතක් වුනේ එදා තාත්තා මට කියපු කතාව. මම ඒක මහා පණ්ඩිතයෙක් වගේ කෙටියෙන් කියලා දැම්මා. මෙන්න මෙහෙම.

“ලෝකේ හැමෝටම ඇස්බැන්දුම් බෑ. අපි උත්සහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුලුවන්......“

---------------------
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.


ස්තුතිය-
බ්ලොග් අවකාසය ට වසන්ත සෘතුව උදා කල දුමී සහ අපේ සයිබර් මිතුරු මිතුරියන් ට......!

94 ක් කියන්නේ !:

  1. ස්තුතියි බුද්ධි.

    නියම කතාවක්. හරියට රුසියානු ළමා කතාවක් වගේමයි. මේක හොඳයි පොතක් අච්චු ගහන්න.

    බ්ලොග් වසන්තයට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික,
      මේ කොමෙන්ටුව ට දවසක නියම ටිනාකමක් දෙන්න උත්සහා කරන්නම්!

      Delete
  2. එකම අඩු පාඩුව උඹේ කතන්දරවලටත් වඩා අගනා චිත්‍රය නොමැති වීම පමණයි.. චිත්‍ර 10-15 ක් දාලා රසිකලොජි කිව්වා වගේ ළමා කතනදර පොතකට ගන්නත් පුළුවන්...

    වල්ලා පට්ට..

    ReplyDelete
    Replies
    1. මාතලන් මාමේ....... හූ හූ....!

      බ්ලොග් වසන්තේ සාර්ථකයි.......!

      හිකිස්......!

      Delete
    2. අන්න අර දොස්තර නෝනාත් 2015 වසන්තයට බ්ලොග් පෝස්ට් එකක් දාල.

      http://sith-aara.blogspot.com/2015/04/blog-post.html

      Delete
    3. දැන් තුනායි...

      දොස්තර නෝනත් එක්ක හතරා.......යි..

      Delete
    4. ඇයි බොලා දැක්කේ නැද්ද ඩුබායි වට්ටක්කා ?

      Delete
    5. නෑ නේ අනේ ඇහුවෙත් අදයි.. ලින්ක් එකක් දෙන්න බලන්න විසිට් එකක් දාන්න..

      Delete
    6. "පුතා" ලියපු ඩුබායි වට්ටක්ක උඹ දැනගෙන හිටියේ නෑ කිව්වම පුදුමයි. ඌ පෝස්ට් දෙක තුනක් දැම්මා බ්ලොග් වසන්තය පටන් ගත්ත ගමන්ම...

      http://dubaiwattakka.blogspot.com

      Delete
    7. මාතලන් ගේ,
      ප්‍රතිචාරයක් ලැබුනේ අවුරුදු ගානකට පස්සේ.... ඒ කියන්නේ මේ කතාව වැදිලා තියෙනවා වගේ.... අගය කිරීම ගැන නොවක් තුති!

      Delete
  3. රසික කිව්ව වගේ සිරාම කතාවක්. ආදර්ශමත් කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ් තුමනි

      Delete
  4. සුන්දර ලමා ලෝකයට අපිවත් අරගෙනම ගියා වගේ.හරි ලස්සනයි .පොඩ්ඩන්ට කියවන්න දෙන්න හොද කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්හානි... මේ අවුරුදු කටේ මෙ පැත්තේ ආවට....

      Delete
  5. ඇත්තටම. මාරම ලස්සනට ලියනව. කාලයක් නොලිය හිටියට, පරණ විදිහ වගේමයි.
    ලිව්ව ඔක්කොම ලිපි එකතු කරල පොතක් ගැහුව නම් ඇත්තටම උණු කැවුම් වලට වඩා හොඳට විකිණෙයි.

    මම ඔබගේ රසිකයෙක්. :)

    සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මාධව ව මට අමතක වෙන්නෙ නෑ... මුලම දවස් වල ඉඳලා සයිබර් යායට එන සාමාජිකයෙන් නේ....

      Delete
  6. තපස්සු භල්ලුක කතාවට පස්සෙ උබ ලියපුවයින් මම කැමතිම කතාව

    ReplyDelete
  7. ඔව් ඇත්තෙන්ම ලස්සනයි ..... ඇත්තටම ඕක ඔහොම උනාද

    ReplyDelete
    Replies
    1. මැලේ,
      කතාවක් නිර්මාණය කරණවට වඩා වෙච්ච දෙයක් ලියන එකයි එක අතකට ලේසියි.

      Delete
  8. ඇත්තටම චූටි මහත්තයෝ සිංහල භාෂාවට මෑතකදී එකතු වෙච්චි වචනේ දාලාම කිව්වොත් "පට්ටයි....". ෆිල්ම් එක බලනවා වගේ හැම දෙයක්ම ඇස් ඉස්සරහා මැවි මැවී පෙණුනා.... ඈත ඉඳන් සර්කස් කාරයා පුතා සහ බල්ලා බයිසිකලේ එන හැටි...දාඩිය මුගුරු දාගෙන ඉන්න හැටි, ඕස්ට්‍රේලියාව වගේ තියෙන රනිස්ටන්ගේ උපන් ලපේ.....

    බල්ලා තහඩු කෑලි උස්සගෙන එන හැටි, වටවෙච්චි මිනිස්සු අත්පුඩි ගහපු හැටි, චූටි මහත්තාලා රහස ගන්න ඩීල් දාපු හැටි......

    ඇත්තටම මේක පට්ට ලස්සන ටෙලි ස්ක්‍රිප්ට් එකක් වගේ......!

    බ්ලොග් වසන්තයේදි ගෙනාපු හොඳම පෝස්ට් එක මේක තමයි මට නම්....!

    ReplyDelete
    Replies
    1. මේ නිම නොකරපු කතාව ප්බ්ලිශ් උනේ උඹගෙ සිතුවිල්ල හන්දා. Group chat එකෙන් අයින් වෙන්න යද්දි අහම්බෙන් දැක්කේ උඹයි මෙතන මහ මොල් කරු, එතන ඉන්න අනිත් සෙට් එක අපේ පරණ කට්ටිය කියලා.... ඒක නිසා සෑහෙන මෙව්වා එකක් උඹටත් හිමියි....

      Delete
  9. තාත්තා කියාපු කතාව ඇත්ත තමා.. අපි හැමෝටම බෑ ඇස්බැන්දුම් කරන්ට.. එහෙම පුළුවන් නම් අපි හැමෝම පාර්ලිමේන්තුවට ගිහින් ඉන්ට එපායැ..

    බුද්ධියා ලියාපු කතා අතරින් ලස්සනම එකක්.. කාලයක් නොලියා හිටපු නිසා ඒ ගැම්මත් එක්කමද මන්දා, ලෙසටම ලියැවිලා තියෙනවා.. දුමියා කියන්නා වගේ රූප මැවෙනවා..

    ReplyDelete
    Replies
    1. බූරා,
      ස්තුතියි. අර ඔරලෝසුව මවන වෙලේ අසෙලගෙයි, කුමාරගෙයි ඇස් බිත්තර ගෙඩි දෙක්ක් වගේ උනේ..... බුරාගෙ චිත්තෙ, රූපේ හැදුනේ අමු බිත්තරද, තම්බලා පොතු ගලෝපුවාද?

      Delete
    2. නෑ බං, බුල්ස් අයි දාපු බිත්තර දෙකක් වගේ.. :-P

      Delete
    3. නෑ බං, බුල්ස් අයි දාපු බිත්තර දෙකක් වගේ.. :-P hikis

      Delete
  10. චූටි "මහත්තයෙක්ගෙ" කතාවක්. කියවල පැන්ට්‍රි එකට ගිහින් ඇස්දෙක පිහදාන ඇවිත් තමයි මේ කමෙන්ට් එක කොටන්නෙ.

    අළුත් උන්ට පරණ උන් එක්කල හැරෙන්නවත් බෑ චූටි මහත්තයො. මොකද උන්ට කොහෙද මෙහෙම අත්දැකීම්, උන්ට තියෙන්නෙ ගේම් බෝයි, ප්ලේසිටෙෂන් වල මනසින් අඳින සිතුවම් මිසක්ක මෙහෙම ඇස් තෙත් කරන සැබෑ ජීවන අත්දැකීම් නෙමෙයිනෙ.

    දවල්වෙල එන්නං තව විස්තර ටිකක් කියන්න.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවක් ලියවෙන හැම පාරම සිංහයා වගේ කොටසක් ඉන්නවා මේවා කියවන. කැඩි කැඩි හරි ලියන වෙලාවට තකහනිය ඇවිල්ලා කියවන. මම කල්පනා කලේ ආ අයට දැනෙනන ස්තුති කරන්න හොදම විදිහ මොකද්ද කියලා...... :)

      Delete
    2. // මම කල්පනා කලේ ආ අයට දැනෙනන ස්තුති කරන්න හොදම විදිහ මොකද්ද කියලා.//

      ආයි මොනාද, තව කතාවක් දාහන් මලේ, ඒච්චරයි...!

      ( අර වැඩේ මොකොද වෙන්නෙ? )

      Delete
    3. ඒ වැඩේ රාමෙට කෙරීගෙන යනවා.... මූලික කටයුතු වලින් 95% අහවරයි. දැං තියෙන්නේ විවේකීව කරන වැඩ.
      ඊට පස්සේ ලාබෙට සල්ලි අච්චු ගහන මැසිමක් හොයාගන්න පුලුවන් වුනොත් වැඩේ ගොඩ... :D

      Delete
  11. රුසියන් ලමා කතාවක් කියවල තියනවද ගණිතය ඉගනීම හා බල්ලෙකුට ගණන් කිරීමට ඉගැන්වීම ගැන?

    ReplyDelete
    Replies
    1. Pra jay,
      අම්මා ඒ කාලෙ කියනවා බිම වැටිලා තියෙන පත්තර කොලේ හරි කියවන්න කියලා. හැබැයි ඒ කාලේ මම කියවන්නවත් කියන්නවත් කැමති නෑ. ඉස්කෝලේන් රචකනාවක් දෙනවා කීවොත් හේබාලා යනවා. මට කියවන්න සහ ලියන්න යන කාරණා දෙකම ගැන කැමැත්තක් ඇති උනේ බ්ලොග් අවකාශය ගැන අහම්බෙන් දැන ගත්තට පස්සේ.... ඊට පස්සෙ මම කැමැත්තෙන් පොත් කියෙව්වා. ඒ කතාවක් කියන්න ඕන ක්‍රමයක් හොයාගන්න, ශෛලියක් හදාගන්න වගේ දේවල් වලට..... වැඩියෙන් කියෙව්වේ පරිවර්තනය කරපු පොත්. මම අපේ දේට හොදටම ගරු කරන කැමත් කෙනෙක් උනත් අදටත් වැඩිය කැමති පරිවර්තන කියවන්න. හැබැයි ගොඩක් කියවලා නෑ. ඒක නිසා ඔය පොත මට තාම හමුවෙලා නෑ

      Delete
  12. //ලෝකේ හැමෝටම ඇස්බැන්දුම් බෑ. අපි උත්සහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුලුවන්......//
    ඒ කතාව ඇත්තක් කියන එක මේ පෝස්ට් එක දැමීමෙන් උඹ ඔප්පු කරල තියෙනව. කතාව උපරිමයි. අර ඔරලෝසුව හම්බෙච්ච සර්කස් කාරයගෙ පුතාගෙ හැඟීම තමයි මේක බලපු මටත් ඇතිඋනේ.

    වසන්තයට ජය වේවා !!!
    //මිනිහා මෙතන අහස පොලොව නුහුලන විදිහේ ගනුදෙනුවක් ගැන කතාව යද්දි වුනත් සර්කස් පොල ගැන අවධානයෙන් උන්නේ.‍//
    චූටිමහත්තයලත් ඉස්කෝලෙදි ඔය වගේ අවධානෙං උන්නනං ගණං හදන්න බල්ලංගෙන් ඉගෙන ගන්න වෙන්නෙ නෑනෙ. :D

    ReplyDelete
    Replies
    1. //චූටිමහත්තයලත් ඉස්කෝලෙදි ඔය වගේ අවධානෙං උන්නනං ගණං හදන්න බල්ලංගෙන් ඉගෙන ගන්න වෙන්නෙ නෑනෙ. :D//

      ඒත් ඉව කරලා උත්තරේ ගන්න තරම් ලේසි ක්‍රම ඉස්කෝලේ කියලා දෙන්නේ නෑනේ.....

      ස්තූතියි ප්‍රසා...

      Delete
  13. බුද්ධි අවාරෙට එන ගෙඩි වගේ ලිව්වත් දෙන්නෙ මල්ටි බැරල් රොකට්..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා,
      වාරේ දූරියන් නොහැදුනු මනුස්සයෙකුගෙ වත්තේ අවරේ දූරියන් හැදිලා මිනිහා ඒවා විකුනල් සුපර්ලෝන් වෑන් එකක් අරගෙන ස්කූල් සර්විස් එකක් පටන් ගත්තා. ඒ අතින් අපි මදි....

      Delete
  14. අර කලින් කිව්වා වගේ මේකට බර සාර රුසියන් නම් ටිකක් දැම්මනං රුසියන් ළමා කතාවක් වගේම තමා

    ReplyDelete
    Replies
    1. නාඩියා, ඉවසලා ඉන්ඩකෝ.... අපි රුසියන් කාරයෙක් දම්මලා පරිවර්තනය කරමු

      Delete
  15. සුන්දරයි බුද්ධි............ වැදගත් දේ මේ විදිහට ලිවීමයි..... ඒක ලොකු හයියක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු!

      Delete
  16. "හිතෙන් කියන දේවල් කාටවත් ඇහෙන්නේ නෑනේ." ඒක නිසා ඔන්න මේ සටහන රසවින්දා කියල අකුරු වලින් දැම්මා!!!!

    ReplyDelete
    Replies
    1. Aruni akka, කොමෙන්ට් කලේ පලවෙනි වතාවට. ස්තූතියි. අවුරුදු ගානක් බලාපොරොත්තුවෙන් හිටපු කොමෙන්ටුවක්....

      Delete
  17. ඔය ඇස්බැන්දුම් මහ බයානකයි. චූටි මහත්තයා අදුනන කෙනෙක් මකනයක් වම් කනෙන් දාලා දකුනු කනෙන් ගන්න ගිහින් රිජ්වේ එකේ නේවාසික ප්‍රතිකාරත් අරන් තමා වැඩේ ගොඩ දාගත්තේ.

    මිකී මවුස්ගේ සපත්තු දෙක කහ පාටයි. ඕක නොදැන හිටපු නිසා එකකෙනෙකට සිරස ලක්ෂපති එකෙන් ගෙදර යන්න වුනා.

    කතාව අගය කරන්ඩ ඕනා කරන වචන මාලාව මම තාම ඉගන ගන්නවා.

    බ්ලොග් වසන්තය කියන්නේ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/groups/693226280782347/

      Delete
    2. හරි යන්නෑ Log IN වෙන්ඩ කියනවා...

      Delete
    3. ඉතින් බං, FB එකේ මොනාහරි බලන්ට උඹ FB එකට Login වෙන්ට ඕන නේන්නං.. :-O :-D :-P

      Delete
    4. සෙන්නා,
      බ්ලොග් වසන්තය කියන්නෙ දැනට බ්ලොග් ලියාගන්න බැරුව ඉන්න පරණ බ්ලොග් කාරයෝ එකතු වෙලා නැවත ලියන්න කාලයක් හදා ගැනීමයි. (කිව්වා හරි නේද?)

      • කොලුවත් මැජික් පෙන්වනවද? හම්මෝ බලාගෙන. අපේ කොලුවානම් මැජික් පෙන්වන්නේ නෑ. මොනවා හරි නැති කරගෙන හොයා ගන්න බැරි වුනාම "තාත්තේ කාර් එක නැති වෙලා කනෙන් අරන් දෙන්න කියනවා"

      Delete
    5. බුරා, ඒ වුනාට බ්ලොග් වල තියන ඒවා බලන්න ලොගින් වෙන්න ඕනා නෑනේ. :D

      Delete
    6. ඒ කනින් දමා අනික් කනින් ගැනීම ගැන කතාවක් මේ ලඟදි අපේ ළමයෙක් මට කිව්වා.
      පොඩි කොල්ලෙක් කාසියක් ගිලල හේනට බය වෙලා ඉද්දි මේකව සන්සුන් කරන්න හිතාගෙන තාත්ත තව කාසියක් කොල්ලගේ කනෙන් ගන්නවා වගේ පෙන්නලා කිව්වලු දැන් හරි පුතා කාසෝය ගත්ත කියලා.
      මේකා පැනපු ගමන් අර කාසියත් ගිල්ලලු.
      " හරි තාත්තේ ආයි ඒ මැජික් එක කරන්න "

      Delete
  18. උබලා මේ බ්ලොග අවකාශෙට කරන්නෙ ලොකු අසාධාරනයක් බන් ලියන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි. කලින් කලට පලින් පල...

      Delete
  19. හැම පොස්ට් එකක් වගේම මේකත් ඉස්තරම්. බුද්ධි නොලියා ඉන්නවට කැරලි ගහපු කෙනෙක් වශයෙන් මම බ්ලොග් වසන්තය අවුස්සපු දුමීට ස්තුති කරනවා මේ වෙලාවේ. බුද්ධිගේ මම දැක්ක විශේෂත්වයක් තමයි තමන්ට අවේනික උපමා, විශේෂණ යොදා ගැනීම. මම උදාහරණ දෙන්නේ නෑ. ඒක හැමෝටම දැනිලා ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුධීක. මේ ඩිංග ඩිංග ලිය ලියා හිටපු එකකුයි දුමීගෙ මේ කමක්ට නැති වැඩේ හන්දා ඉක්මන් උනේ....

      Delete
    2. වසන්තය අවුස්සපු එකට දුමීට ස්තූති කරන එක අසාධාරණයි. දුමිත් ලියන්නෙ නැතිව කම්මැලි කමෙන් ඉන්නකොට ඉන්දික නැතිනම් "සිංහයා" තමයි ඕක පටන් ගන්න විදිහට වැඩේ සෙට් කලේ. ඊට පස්සෙ මූණු පොතේ ඕකට හූ මිටි තිබ්බේ දුකා, සොසී, මකරා වගේ සෙට් එකක්.....!

      Delete
    3. සිංහයා ද මහ මොල්කරු! මිනිහා නම් email මාර්ගයෙනුත් අපිට බ්ලොග් ලියන්න උත්ප්‍රේරක සපයනවා.... දුකා මුල් කාලේ අපට බැක්ප් එකක් දුන්නානේ.... අන්ත් දෙන්නා නම් fb එකේ තාම ඉන්නවනේ

      Delete
  20. බොහොම ලස්සනයි බුද්ධි. ඇත්තටම හොඳ පොතක් ගහන්න මරු කතාව. ආදර්ශමත් කතාවක්..මට මතක් වුනේ ආර්.කේ නාරායන්ගේ මල්ගුඩිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජනරංග,
      මල්ගුඩි දවසැ ගැන නේද කියන්නේ....

      Delete
  21. කෙටියෙන් කිව්වොත් පට්ටෙනුත් පට්ට. කතා කරන්න දෙයක් නෑ.

    ReplyDelete
  22. අනේ මේක ඇත්ත කතාවක්ද? මට කියවගෙන යද්දි මුලින් මතක් වුණේ ටොම් සෝයර් ව. ඒත් අන්තිම වෙද්දි මට මතක් වුණේ , අහිංසක හොඳ ළමයි ඉන්න කතන්දරයක්. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සිඳු,
      කෙහෙල්කොටුවෙ චූටි මහත්තයගේ මේ කතා1988/89/90 වගේ පොඩි කාලයක සිද්ද වුනු සිදුවිම් කිහිපයක් පමණයි.

      ස්තූතියි අගය කිරීම වෙනුවෙන්. චුටි මහත්තයා කොහොමත් අහින්සකයි රටක් වටියි. දැං වගේම තමයි :D

      Delete
    2. උඹ ඔය කියන්නේ හෙලේනා ගැනනේ......!

      Delete
    3. දුමී, නිකං හෙලේනා නෙමෙයි රත්තරං හෙලේනා....

      Delete
  23. ළමයින්වත් උත්තර අනුපිළිවෙලට පුරුදු කරලා, ඒ උත්තර වලට අදාළ ප්‍රශ්න ඒ අනුපිළිවෙලින් ඇහුවනම් ළමයිනුත් බල්ලන්ට සෙකන්ඩ් වෙන්නෙ නෑලු

    ReplyDelete
    Replies
    1. හරියට අකුරු දන්නැති අය ලයිසොන් ගන්න යද්දි වගේ.......

      Delete
  24. සිරා බන් සිරාම සිරා . . . අදයි මේක කියෙව්වේ . . විස්වාස කරපන් පෝස්ට් එක කියෝලා විනාඩි 3ක් විතර ඇති ඒත් තාම ඇස් දෙකේ කඳුලු . . පට්ට

    ReplyDelete
    Replies
    1. දුකා අයියා,
      ස්තුතියි කෙහෙල්කොටුව පැත්තේ ආවාට.... මේ කමෙන්ටුව මග ඇරිලා අදයි දැක්කේ.... කදුලු කියන ඒවා සතුටටත් එන නිසා මම හිතාගන්නම් මේක දුකා අයියා කැමති විදිහට අවසාන වුනු නිසා ඇතිවුනු සතුටු කදුලුයි කියලා.....

      Delete
  25. කියන්න වදන් නැත. සුපිරිම සුපිරිය. මෙහෙම ලියනවා නම් හැමදාම වසන්තය තමා. හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දුමතී නැන්දා....!

      Delete
  26. ශෝක් කතාවක්. චිත්‍රෙකුත් තිබුන නම් තමයි තවත් හොඳ.

    පොතක් ගැහුවොත් හොඳයි කියලයි මටත් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තුශානි,
      ස්තූතියි. පොතක් ගැහැව්වොත් ඕගොල්ලන්ට මිලදී ගන්න ලේසි කොහොමද?

      Delete
    2. Three Idiots ෆිල්ම් එකේ අන්තිමට කියනව " Pursue excellence, and success will follow.!!" කියල. එඅ හින්ද උඹේ පොත කොලිටියට සහ දරන්න හැකි මිළකට එලියට දාහන්, විකිණෙන එක හෝ විකුණන විදිහ ගැන වද නොවී. බඩු හොඳ නම් මිනිස්සු කොහොම හරි ගනියි.

      Delete
    3. උඹ අපි වගේ බ්ලොගේ කොමෙන්ට් කරන එවුවන්ට ඔය පොත නොමිලේ දීපං අපි උඹ වෙනුවෙන් කරන සේවයට උපහාරයක් වශයෙන්. :P

      Delete
  27. හදවතයි අක්මාවයි ගැහිලා ගැහිලා ඇස් දෙකෙන් කඳුලු පැන්නා.. මල්ගුඩිය,රුසියන් කථා එහෙම පරද්දන්න පුලුවන් අපේ ලේඛකයො ඉන්නවානෙ කියලා ලොකු සතුටක් දැනුනා.පොතෙන් මටත් පිටපත් කීපයක්ම ඕනෙ.දන්න පොඩි එවුන් ඔක්කොටොම කියවන්න දෙන්න වටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බා, ස්තූතියි අගය කිරීම ගැන. පොතක් ගැහුවොත් මම දැනුවත් කරන්නම්....:D

      Delete
  28. මෙච්චර ලියන්න දේවල් ලියන්න තියාගෙනත් නේ ඉතින් නොලියා ඉන්නේ.. අද චිත්‍රයක් නැතුව නිකන් අඩුයි වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්,
      චිත්‍රෙ අඳින්න යද්දියි දැක්කේ පැන්සල් පෙට්ටිය දාලා ඇවිල්ලා කියලා....

      Delete
  29. බොරු කියන්නේ මක්කටෙයි කතාව ඉස්තරම්.. ආදර්ශවත්.. ඒත් මං උඹෙන් මේ වගේ කතාවක් නං බලාපොරොත්තු උනේ නැහැ. ටිකක් ගාම්බීර වැඩියි වගේ.. හැක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. දේශකයා,
      ස්තූතියි. ඉඳලා හිටලා ලමයි ඔය වගේ වැඩත් කරනවා හෙහ් හේ......

      Delete
  30. පහුගිය නිවාඩු දවස් වල ෆෝන් එකෙන් බ්ලොග් බලපු නිසා සමහර ඒවා මිස් උනා.
    ඒ වගේම කමෙන්ට් කොටන්න උනේ සිංග්‍රීසි වලින්.
    කන්න කැමතිම දේවල් අන්තිමට තියා ගන්න පුරුද්දක් සමහරුන්ට තියෙනවනේ. අන්න ඒ වගේ ගතියක් නිසාද කොහෙද උඹේ පෝස්ට් එක එන්න එන්නම පස්සට ගිහින් මේ දැන් තමයි අහු උනේ...
    මචන් ඇස්දෙකට කඳුළු ආව බං උඹේ ලියවිල්ලට
    උඹ මේවා පොතක් විදිහට ගහන දවසට අපිටත් කියපන්,
    අර "ගස සහ ළමයා" පොත වගේ හරි සරළ ලස්සන කතා මෙව්වා.
    අපි පුංචි කාලේ මේ වගේ කොච්චර ලස්සන මතක අපි එක්කාසු කර ගත්තද...
    මේ කතාව ඔක්කොටම වඩා ලස්සනයි...
    ඒ උනත් පොත ගහද්දි උඹ ලියපු කතා ඔක්කොම දාල ලොකු පොතක් ගහපන් පින්තුර එක්කම...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,
      ස්තූතියි. බිත්තර කහ මද, කජු, ඉස්සෝ වගේ දෙවල් තියාගෙන අන්තිමට කෑවට, කතා කියවන්නත් ඒ ක්‍රමය භාවිතා කරනවා කියලා දැනගත්තේ අදයි. කවදාහරි පොතක් ගැහුවොත් ලොකු පුතාලත් අනිවාර්‍යෙන් ඒකේ වග උත්තර කාරයෝ කරනවා..... ඔන්න මම දන්නේ නෑ...

      Delete
  31. මේ පැත්තටත් ඇවිත් යන්න එන්න.
    sudupoosa91.blogspot.com

    ReplyDelete
  32. ලස්සන කතාන්දරයක්.

    කෙසෙල් කො‍ටුවෙ අනෙ මේ පොඩි මහත්ම යා
    පොඩි පොඩි එවුන්ගේ පොඩි සිත වෑස්සු වා
    කවුළු දොරේ තිර රෙදි සෙද ඈත් ක ළා
    හදේ තියෙන ලොකු සිහිනත් පසක් වු ණා

    ReplyDelete
    Replies
    1. රුසිරු අන්ජන,
      සමාවන්න මේ වටිනා ප්‍රතිචාරයට අදහස් දක්වන්න ප්‍රමාද වුනාට. බොහෝම වටිනා ප්‍රතිචාරයක්. බොහෝම ස්තූතියි.

      Delete
  33. රසවත් අපුරු කතාවක්. ළමයින් එක්ක ආයේ පාරක් කියවන්න ඕනි

    ReplyDelete
  34. බොහොම ස්තූතියි තිලක සිත.

    ReplyDelete
  35. //කව්රුත් නොහිතන පිලිවෙලට වැඩක් කලාම කව්රුත් පුදුම වෙනවා තමයි..... හරියට බල්ලා ගණන් හදද්දි වගේ...... ඇයි ඔයාමනේ දැං කිව්වේ, මේකත් ආං එහෙම දෙයක්.// මේ අදහසට මම හරි කැමතියි... අපිට එහෙම වැඩ කරන්න පුළුවන් නම් හරි ශෝක්.... ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. Kavindu, Bohoma sthuthi

      - Buddhi (kehel kotuwe chuti mahaththya)

      Delete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...