2016/05/02

කතන්දර මාලය! | මෙන්න කෙහෙල් කොටුවේ චූටි මහත්තයගේ කතාවක් ආවා....!

ඒ අවුරුද්දේ දෙසැම්බර් විභාගයට මම හොඳට මූණ දෙන්නයි හිතාගෙන හිටියේ. විශේෂයෙන් ම සිංහල ප්‍රශ්ණ පත්තරේ ට. ඒ මොකද මම ඒකට වෙඩි වගේ ලෑස්ති වෙලා හිටියේ. ඒත් මම නොහිතපු දෙයක් වුනා.

මම වැඩිපුරම අවධානය යොමු කරපු සිංහල ප්‍රශ්ණ පත්තරේ අන්තිම ප්‍රශ්ණය මොකක් හරි අපබ්‍රන්සයක් වෙලා එහෙන් පිටින් ම නොපිට ගහලයි තිබුනේ. මම ලියලා තිබුනු කතන්දරේ පුරාම නිරූපා ටීචර් රතු පෑනෙන් රවුම් ඇදලා තිබුනා. ඒ “ඌ“ කියන වචනේ වට කරලා. මගේ බලාපොරොත්තු සේරම වතුරේ ගියා. මම ප්‍රශ්ණ පත්තරෙත් අරගෙන ගියා නිරූපා ටීචර් හම්බවෙන්න. ටීචර් කිව්වා හැමෝගෙම අඩුපාඩු ඊලඟ සඳුදා පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඒ කියන්නේ මම තව දවස් දෙකක් ඉවසන්න ඕනෑ. ඒ මොකද අපි ආයිමත් ඉස්කෝලේ එන්නේ ඊලඟ සඳුදා නිසා. නිවැරදි කාරයෙක් වැරදි කාරයෙක් කලාම ඒක කාටද ඉවසන්න පුලුවන්. අනික දවස් දෙකක්. මම බොහොම හිතේ අමාරු ඇතිව ප්‍රශ්ණ පත්තරෙත් අරගෙන ගෙදර ආවා.

ඔන්න පහුවදා උදේ මම ගෙදර සේරෝමලා ඉස්සරහා ඒ ප්‍රශ්නේ ඇදලා ගත්තා. මොකද කලින් දවසේ මට නින්ද ගියෙත් හොරට. ඉතින් මේකේ අගක් මුලක් තෝරගන්න එපැයි දෙමව්පියෝ මාර්ගයෙන් හරි. අනික මෙච්චර දක්ෂ විදිහට කතන්දරේ ලියලා තියෙද්දි මේ වගේ ලකුණු ගාණක් දීපු එකේ අසාධාරණේ ගෙදර කවුරුත් දැගන්න ඕන. ඔය වෙලාවේ තාත්තා තැපැල් කන්තෝරුවට යන්න එලියට බහින්න කුස්සිය පැත්තට ආවා. අම්මා කුස්සියේ ඉතුරු වැඩ. තාත්තා ප්‍රශ්ණ පත්තරේ එල්ලගෙන ඉන්න මාව දැකලා එක පාර ගැස්සුනා දෝ මන්දා. ඒ මොකද තමන්ගේ පුතා එයාගේ අධ්‍යාපන කටයුතු වලට ඇති උනන්දුවට එක රැයකින් වෙනස් කරලා හන්දා! ඒ පාර තාත්තා තැපැල් කන්තෝරු යාම ටිකකට පස්සට දාලා වෙන්න යන්නේ මොකද්ද කියලා දැන ගන්න එතනම නැවතුනා. අම්මා මගේ ප්‍රශ්ණ පත්තරේ හොඳට අධ්‍යනය කරන්න ගත්තා.

මේ හැමදේම පටන් ගත්තේ “කතන්දර මාලය“ පොත හින්දා.

දවසක් තාත්තා කොළඹ ගියා. තාත්තා කොළඹ ගිහිල්ලා එද්දි මට කාලයක් පාවිච්චි කරන්න පුලුවන් මොකක් හරි දෙයක් අරගෙන එනවා. ගිය පාර තාත්තා ගෙනාවේ දොරවල් අරින්න පුලුවන් කාර් එකක්. මෙදා පාරත් මම බලාගෙන උන්නේ තාත්තා මට මොනවගේ දෙයක් ගෙනල්ලා දේවි ද කියලා.

එදා පාර තාත්තා ගෙදරට ගොඩවුනු හැටියේ බෑග් එක දිග අරින ගමන් මෙහෙම කිව්වා.

“මෙදා පාර මම ඔයාට ගෙනාවේ හිතාගන්න බැරි දෙයක්.....!“

“ඈ...... ඒ මොකද්ද....?“

“මේ තියෙන්නේ.......“ තාත්තා කඩදාසි උරයක දමාපු මොකද්දෝ එකක්, එයාගේ අත දොඹකරයකට හරවලා බෑග් එක අස්සෙන් “බීප්, බීප්, බීප්“ සද්දේ දාගෙන උස්සලා ගත්තා.

“ආ බලන්ඩකෝ......“

ඒක පොතක්. අපේ වයසේ ළමයින්ට ගැලපෙන කතන්දර ගණනාවක් ඒකේ තිබුනා. පොතේ පිටකවරයේ “කතන්දර මාලය“ කියලා ලොකු අකුරෙන් ලියලා තිබුනා. ඊලඟට පොත පුරාම ආපු කඩදාසි සුවඳට මාව වශීවෙලා ගියා. මම තාත්තට වැදගත් දරුවෙක් විදිහට ස්තූති කරලා, පොත අරගෙන කියවන්න ගත්තා. ඒ පොතේ ජාති කතන්දර තියෙන්නේ. මම කවදාවත් කලින් අහලා නැති. ඉතින් පොත මම මුල ඉදලා අගට කියෙව්වා. එක වතාවක් නෙමෙයි. කී වතාවක් කියෙව්වද කියලා මට ම අමතක වෙන තරමට.

ඔය විදිහට දවස් ගත වෙද්දියි කන්දක් නගින කොටන් ලොරියක් වගේ හිමින් හිමින් දන්නෙම නැතුව විභාගය කට උඩට ම ආවේ. ඊලඟට විභාගය අවසාන වෙනකල් මට කෙහෙල්කොටුව පැත්ත පලාතේ පස් පාගන්න තහනම් වුනා. ඒ වෙනුවට අම්මා ඉස්කෝලේ පොත් බලලා මට පැවරුම් ඉදිරිපත් කලා. අම්මගේ අදහස වුනේ තමන්ගේ එකම පුතා ව තව අවුරුද්දක් වුනත් කෙහෙල්කොටුව පැත්ත පලාතේ පස් පාගන්න යැව්වේ නැතත් එතන කිසි වැරැද්දක් නෑ කියලා. ඒ මොකද මම දැනටමත් එන්න තියෙන අවුරුදු දෙකකට හරියන්න සෙල්ලම් කරලා ලු තියෙන්නේ. ඉතින් මට උදාවුනේ බොහොම නරක කාලයක්. මගේ රොබින් හුඩ් සගයෝ එහෙම පිටින් ම මට අමතක කරලා දාන්න වුනා. කුමාරලා, වසන්තලා, අනිත් යාලුවෝ එක්කලා මම නැතුව කෙහෙල්කොටුව දෙක කරනවා මට මැවිලා පෙනුනා. ඒ වෙලාවට මගේ පපුව හිර කරන ගතියක් ආවා. මට ඕන වුනේ මේ විභාගයට ඉක්මනට මූණ දිලා ඉවරයක් කරලා දාන්නයි. නැත්තම් මේ කෙරුවාව හන්දා කොයිවෙලාවේ හරි මගේ පපුව නවතිනවා.

කොහොමහරි එදා සිංහල ප්‍රශ්ණ පත්තරේ අන්තිම ප්‍රශ්ණය වුනේ අපේ හැකියාවන් බලන්න කතන්දර ලියන එකයි. ඒ ගැන නිරූපා ටීචර් කලින් කියලා තිබුනා. මේක අපේ නිර්මාණයක් වෙන්න ඕන නෑ. වැඩිහිටියෙකුගෙන් අහගත්තු එකක් වුනත් කමක් නෑ. වඩා වැදගත් අපි දන්න කියන ව්‍යාකරන දෝෂ හිටින්නේ නැතිවෙන්න කතාව ලියන එක. මොකද මෙතන දී පරික්ෂා කරන්නෙත් ඒක. මම නම් කතන්දරයක් කියලා දෙන්න කියලා කාටවත් කරදර කරන්න ගියේ නෑ. ඇයි තාත්තා ගෙනල්ලා දුන්නු කතන්දර මාලය තියෙනවා නේ! ඔය පොතේ තිබුනා ජාති කතාවක් මෙන්න මෙහෙම.

“කදිරා සහ දුර්ලභ බෙහෙත් පැලෑටිය!“

මම ඒ කතාව ලියන්නයි මුල ඉඳල ම ලෑස්ති පිට හිටියේ.  හිතාගෙන උන්නු විදිහට එදා මම බොහොම උද්‍යෙයෝගය ඇතුව කතාව ලියන්න පටන් ගත්තා.

ඒ කතාවේ කියවෙන්නේ දුර්ලභ බෙහෙත් පැලෑටියක් හොයන්න කියලා අපේ කතානායකයා වනගත වුනාට පස්සේ එයාට මූණ දෙන්න වෙන සංගෙඩි ගැන. කදිරා මහ පාන්දර අඩුම කුඩුම ටිකත් අරගෙන වනගත වෙන්නේ මහා දුර්ලභ බෙහෙත් පැලෑටියක් හොයාගෙන එන්න. ඒ සුව කරන්න අමාරු ලෙඩකට බේතක් හදන්න. කදිරා වනන්තරය පීරලා හෙව්වත් බේත් පැලෑටිය නම් හම්බවෙන්නේ ම නෑ. දවල් වෙද්දි මෙන්න වතුර හොයාගෙන එන අලි රැලකට කදිරා කොටු වෙනවා. කදිරා කරන්නේ රූස්ස ගහකට නැගලා අලි ටික නැවත යන තුරු ගහට වෙලා ඉන්න එක. එතකොට එයාට හොඳටම පරක්කු වෙනවා. ඉරත් බහිනවා. මේ හේතු හන්දා කදිරාට එයා ආපු කාරණාව ඉටු කරගන්න බැරි වෙනවා. රෑ වෙන්න කලින් කැලයෙන් පිටවෙන්නත් එපැයි. නැත්තම් වන සත්තුන්ගෙන් කරදර. ඉතින් කදිරා ඉක්මන් ගමනින් ගමට එන්න පිටත් වෙනවා. කදිරට හොඳටම අමාරුයි. හොඳටම තරහයි. මොකද තමන් ආපු කාරණාව මඟ ඇරුනු එකට. හැබැයි වනාන්තරයෙන් පිටවෙන්න ඔහොම මෙහෙම තියලා අහල තිබුනු ගහකට කදිරා තමන්ගේ තරහයි, මහන්සියයි දෙකම එකතු කරලා දෑත බදලා දෙනවා හොඳ මන්නා පාරක්. අන්න එතකොට කදිරා දැනගන්නවා තමුන් මුලු දවසෙම හොයලත් හම්බ නොවුනු ගහකට නේද මේ තමුන් කොටලා තියෙන්නේ කියලා. ඉතින් කදිරා හනිකට ගහ වටේ තියෙන පැලෑටි ටිකකුත් අරගෙන සතුටින් ගමට එනවා.

කතන්දර මාලය පොතේ මම කැමතිම කතාව ඒකයි. මම වැඩිය ම කැමති කදිරා වැර දාලා ගහට කොටන කොටසට. ඒ මොකද ඒ කොටස මට කාටුන් එකක රූප පෙළක් වගේ මැවිලා පේන හන්දා. කදිරා පුදුම වෙන හැටි. එයාගේ තරහෙන් හෙම්බත් වෙලා තිබුනු මූණ පුදුමයට හැරෙන හැටි. බාගදා පැලෑටියෙන් කිරි වැක්කෙරෙන්නත් ඇති. කදිරා ඒක ඇඟිල්ලට අරගෙන පරික්ෂා කරලා බලන හැටි. ඊලඟට කදිරාගේ තෙහෙට්ටු මූණට එළියක් වැටෙන හැටි වගේ දේවල්.

ඉතින් මේ කතන්දරේ මම උත්තර පත්තරේ රස කරලා ලිව්වට මොකද මට ඒකට ලැබිලා තිබුනේ ලකුණු වලින් බාගෙකටත් අඩුවෙන්. ඒ මොකද මම කතාව පුරා බොහොම සරළ ව්‍යාකරණ නීති කඩලායි කියන පුදුමාකාර චෝදනාව.

කොහොමහරි මට ඕන කතන්දරේ තියෙන ව්‍යාකරන දෝෂය මොකද්ද කියලා සහසුද්දෙන් දැනගන්න. අන්න ඒකයි මම නිවාඩු දවසයි කියලා බලන්නේ නැතුව උදේ පාන්දර ප්‍රශ්ණ පත්තරේ උස්සගෙන ආවේ ගෙදර කොයි කවුරුත් ඉස්සරහට.

ඔන්න අම්මා මෙච්චර වෙලාවක් ප්‍රශ්ණ පත්තරේ විමසිල්ලෙන් අධ්‍යනය කරලා මා දිහා බැලුවා.

“හරි..... ටීචර් වැරදි නෑ. ඇයි මේ වාක්‍ය පටන් ගන්න තැන් වලට “ඌ“ කියලා ලියලා තියෙන්නේ...... මේ කදිරා කියලා ලියන්න ඕන තැන් වලට......“ අම්මා කිව්වා.

“ඔන්න ඉතින් අම්මත් කතාවක් කිව්වා...... ඇයි අම්මේ කතාවක් එක දිගට ලියාගෙන යද්දි එකම විදිහට ලියන්න එපා කියලානේ අපට කියලා දීලා තියෙන්නේ....., ඇයි අම්මත් කියලා දුන්නේ.....  කදිරා, කදිරා කියලා ලියන්නේ නැතුව ඒකයි මම ඌ කියලා ලිව්වේ.....“ මම පැහැදිලි කළා. ඇයි මෙතන ප්‍රධාන ප්‍රශ්ණත් ඒකමනේ.

“ඌ කියලා ලියන්නේ ඇයි? කදිරා කියන තැන් වලට ඔහු කියලානේ ලියන්න ඕනේ....“

“ඒ මොකට ද? බල්ලෝ ගැන කියද්දි ඌ කියලනේ දාන්න ඕනේ...., මිනිස්සුන්ටනේ ඔහු කියලා ලියන්නේ.....“

“බල්ලෙක් කොහෙද?“ අම්මා ආයෙත් ප්‍රශ්ණ පත්තරේ දිහා බොහොම අවධානයෙන් බැලුවා. තමුන්ට මඟහැරුනු මොකක් හරි දෙයක් මෙතන තියෙනවද කියලා බලන්න.

“මෙතන කොහෙද බල්ලෙක් ගැන තියෙන්නේ... කදිරා විතරනේ මෙතන ඉන්නේ...!“

“කදිරා තමා බල්ලා.....!“ මම ස්ථිර හඬින් කිව්වා.

“කදිරා කියන්නේ බල්ලෙක්! කදිරා කියන්නේ බල්ලෙක් නෙමෙයි, කදිරා කියන්නේ මිනිහෙක්..... ඔතනනේ ඔයා පටලාගෙන තියෙන්නේ.....“

තාත්තා මේ සේරෝම දේවල් දිහා බලාගෙන ඉදලා අම්මා කියන දේ ඇත්තයි කියන්න ඔලුව වැනුවා.

ඒ කියන්නේ තාත්තයි අම්මයි දෙන්නම හිතාගෙන ඉන්නේ මම වැරදියි කියලා. ඉතින් නිරූපා ටීචර් ගැන මොන කතාද? හැබැයි තාත්තා සේරෝම දේවල් අහගෙන හිටියට මේ ප්‍රශ්ණෙට වචනෙකින්වත් මැදිහත් වුනේ නම් නෑ. ඒ වුනාට මොකද ප්‍රශ්නෙ විසඳාගෙන යන හැටියට බොහොම මනාපෙන් ඉන්න බව පෙන්නුවා. ඇයි අම්මා අහන හෑම ප්‍රශ්ණයකට ම තමුන්ගේ එකම පුතා කෙලින් උත්තර දෙනවනේ. කිසි ඇදයක් කුදයක් නැතිව. ඉතින් අම්මා ප්‍රශ්ණයක් අහපු හැටියේ තාත්තා බොහොම උද්‍යෙයෝගයෙන් බැලුවේ මගේ දිහා. ඒ මොකද තාත්තටත් කලින් හිතාගෙන්න බැරි, මම දෙන සාර්ථක උත්තරය මොකක් වෙයිද කියලා දැනගන්න.

“අන්න ඉතින් අම්මත් බොරු කියනවා...... කදිරා කියන්නේ බල්ලෙක්..... ඇයි අපේ ලොකු නැන්දලාගේ බල්ලගේ නම මොකද්ද? කදිරා...... එයාලගේ කලින් බල්ලගේ නම මොකද්ද? ඒත් කදිරා.....!“ මම පැහැදිලි උත්තරයක් දුන්නා.

ඒ පාර අම්මා බොහොම කෙටි බර කල්පනාවකට වැටුනා. ඊලඟට යමක් මතක් වෙලා මෙහෙම කිව්වා.

“අර මුවන්පැලැස්ස යනවා නේද රෑට..... ඒකේ ඉන්න කදිරව මතක ද? ආන්න ඒ වගේ කදිරා කියලා නමක් තියෙන මනුස්සයෙක් ගැනයි මේ කතාව තියෙන්නේ...... අනික බල්ලොන් ට කතා කරන්න පුලුවන් ද චූටි මහත්තයෝ......“ අම්මා බොහොම ඉවසිල්ල ඇතුව පැහැදිලි කලා.

“ඇයි බල්ලොන්ට කතා කරන්න බැරි! ඔය කාටුන් වල ඉන්න හැම බල්ලෙක් ම කතා කරන්නේ...... ඒ බල්ලෝ කතා කරන ඕන දෙයක් මිනිස්සුන්ට තේරෙනවානේ.... ඒ වගේ බල්ලෙක් තමා මුවන්පැලැස්සෙත් ඉන්නේ කදිරා කියලා..... මේ කතාවෙත් ඉන්නේ ඒ වගේ මිනිස්සු එක්ක කතා කරන්න පුලුවන් බල්ලෙක්.....“ මම මගේ ස්ථාවරය පැහැදිලි කලා.

ඒ කතාවෙන් තාත්තා හොඳටෝ ම උද්දාම වුනා. එයා තමන්ගේ පුතා ගැන හොඳටෝ ම ආඩම්බර වුනා. හිනා යන්නත් ගියා. හැබැයි වචනෙකින්වත් මට සහයෝගය දැක්වූයේ නෑ. ඒ පාර අම්මගේ මූණ මොකද්දෝ වුනා. අම්මා තමන් දරණ මතය තහවුරු කරන්නේ කොහොමද කියන ප්‍රශ්ණයට මැදිවෙලා කියලා කාටත් පෙනුනා. මමත් හොඳ කල්පනාවෙන් උන්නා. ඊලඟට අම්මා තවත් දෙයක් කියන්න යන්නේ කියලා මට හිතුනා. ඊට කලින් අම්මට හොඳටෝ ම අමතක වෙලා තිබුනු කාරණාවක් මම මතක් කලා. ඒක කිව්ව හැටියේ අම්මා තේරුම් ගනිවි තමන්ගේ පුතා මේ තර්ක කරන්නේ බොරුවක් ඇත්ත කරන්න නෙමෙයි කියලා.  ඒ වගේම තමන්ගේ පුතා කොච්චර බුද්ධිමත් දරුවෙක් ද කියලා. ඉතින් මම බොහොම ස්ථාවර හඬින් මෙහෙම කිව්වා.

“ඇයි අම්මේ අම්මට මම කියන දේ තේරුම් ගන්න බැරි..... අනිත් සේරෝම දේවල් පැත්තක තියමු. අම්මේ, මේ ලෝකේ කොයි දෙමව්පියෝ ද තමුන්ගේ දරුවට බල්ලෙක්ට දාන නමක් දාන්නේ.......?“

ඒ පාර මෙච්චර වෙලා නිහඬ ව මේ සිදුවීම බලාගෙන හිටපු තාත්තා,

“හා.... දැන් ඒකට දෙමුකෝ බලන්න උත්තරයක්......“ කියලා අම්මට කිව්වා. ඊලඟට තැපැල් කන්තෝරුව පැත්තට යන්න හැරුනා.

අම්මා, තාත්තා යන දිහා බලාගෙන ඊලඟට මට කියන්න ඕන මොන වගේ දෙයක් ද කියලා කල්පනා කරන්න ගත්තා.

......................................................................
- කෙහෙල් කොටුවේ චූටි මහත්තයා
 
ප.ලි - වසර හයක ට පමණ පෙර පල වූ ලිපි අතර, අතරින් පතර ඉදිරිපත් වූ මේ ලිපිය බ්ලොග් වසන්තය නිසා චූටි මහත්තයගේ කතාවක් ලෙස නියමාකාරයෙන් ඔබට ඉදිරිපත් කරන්න හැකි වුනා! බ්ලොග් වසන්තය ඔබට ස්තුතියි.

තවත් පොඩි කාලයක් ඉතිරි නම් බ්ලොග් වසන්තය ඡන්ද පොලට පහල සබැඳියෙන් ගොස් කරුණාකර ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. ඔබ කැමති බ්ලොග් අඩවි 05 ක් සහ කැමතිම කමෙන්ට් කරුවන් 03 දෙනෙක් ඔබට එහිදී තොරාගත හැකියි. 



37 ක් කියන්නේ !:

  1. ඔක්කොම කියෙවුව ඒත් ටීචර් ගෙ උත්තරේ ලියල නෑ නෙවැ.

    ReplyDelete
    Replies
    1. ටීචර් ගාවට ගියත් ඔච්චර ම තමයි පුතේ....!

      (මේ ඒ කාලේ ඔසි වල ඉගෙන ගන්න කස්සා ද? )

      Delete
    2. ඔව් එයා තමයි.. ඔසිකතා ලියපු කෙනා..ආපහු ලියන්න ගත්ත

      Delete
  2. කදිරා වනාහී තාල වර්ගයට අයිති ගසකි.

    බොරුය කියලා හිතෙනවා නම් සර්ච් කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. සර්ච් කරලා බැලුවා. මට මතක කදිරා, පිනා සහ ආරච්චි නිවසේ අය විතරයි.

      Delete
  3. ඈ බන් චූටි මහත්තයෝ, බල්ලෙක් කොහොමද දෑත බදලා මන්නෙන් ගහකට කෙ‍ටුවේ ?

    සුපිරියි ! සුපුරුදු රසය නො අඩුවම තියනවා !

    ඡන්දයක් දෙන්න වෙන ලකුණු පෙන්නුම් කරනවා...

    ReplyDelete
  4. හරිම ආසාවෙන් කියෙව්වා . වසන්තටත් තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පිණි පලස නෝනා

      Delete
  5. ඇයි යකෝ! බල්ලෙක් කොහොමද මන්නෙං කොටන්නෙ දෑත බදල? අම්ම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ නැතැයි?

    කොහොම හරි උඹෙං අලුත් කතාවක් කියවන්න ලැබීම සතුටක්. මාත් ඡන්දෙයක් දාන්නං උඹට. වෙන කාට දාන්ඩද?

    ReplyDelete
    Replies
    1. උඹලා ටොම් ඇන් ජෙරී බලලම නැද්ද බං?

      Delete
  6. වසන්තය නම් මරු! හරිම රසවත් කතාවක්.. :)

    ReplyDelete
  7. බල්ලෙක් අලින්ට බයේ ගහකට නැග්ගයි කියල ඇහුවමද කොහෙද?
    ඒක සහ මන්න කතාව ඇදල අරගෙන උඹේ තරකෙ ලේසියෙන්ම බිඳ හෙලන්න පුලුවන් කමක් තියෙද්දි ඒ ගැන හාංකවිසියක්වත් නොසලකා ඇටිකිචි කොල්ලෙකුගේ මතය ඉදිරියේ අපහසුතාවයකට පත්වෙන්න සිද්ධවෙච්ච දෙමාපිය යුවළක් උඹේ රචනා ප්‍රශ්නෙට සාර්ථක පිළිතුරක් දුන්නයි කියල මම හිතන්නෙ නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. කා‍ටුන් බලලා කොල්ලගේ පරිකල්පනය එක්කෝ දියුණු වෙලා නැත්නම් මොට වෙලා...

      බල්ලෙක් බේත් පැලෑටියක් හොයන්න ගියා කියලා හිතුව එකේ ඔය අනිත් එකක්වත් ඌට ප්‍රශ්න නෙමේ.. ඔය හැම එකකටම උත්තර ඇති ඇහුවොත්...

      Delete
  8. මාත් මේ කල්පනා කලේ බල්ලෙක් කොහොමද මන්න පාරක් ගැහුවේ කියාලා..

    කොහොම වුනත් ශෝක් කතාව හි.. හි...

    ReplyDelete
  9. ඉතිං මිස් නොකද කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. අම්මා ඉස්සරහා නොසැලුනු කොල්ලා, ටිචර් ඉස්සරහා සැලෙයි ද මහත්තයෝ....

      Delete
    2. ඉතිං මිස් නොකද කිව්වෙ?//
      සොරි!
      මොකද කිව්වෙ කියලයි ඇහුවෙ? උඹේ කාරණාව පිලිගත්තද?

      Delete
  10. කතාවෙ ඉතුරු ටිකත් දාන්න තිබ්බෙ
    නැත්තං මිස් එක්ක වෙච්ච හුටස්පර කියල පාට් ටූ එකක් ලියාන්

    ReplyDelete
    Replies
    1. හොඳ විදිහක් කරමු මහේෂ් මහත්තයෝ.

      Delete
  11. යකෝ බල්ලට දාන නමක් අර ඇඳුං ජාතියකට දාලා ලෝකප්‍රසිද්ද වෙලා තියෙනවා දන්නැද්ද?
    ටොමී හිල්‍ෆිගර් අහලා නෑ?

    ReplyDelete
    Replies
    1. අබුද්ධස්ස කාලේ වෙන කෝලම් නේ ඔය :D

      Delete
  12. ප්‍රසන්න, තුෂානි, සෙන්නා, ඩ්‍රෑකී,

    යන නෝනා මහත්වරුන්ගේ ප්‍රශ්ණ වලට ඩූඩ් මහතාගේ පිලිතුර ප්‍රමාණවත් වේයැයි හඟිමි.

    තවත් කියතොත් කාර් එකේ ටවුමට ගොස්, දඩ කොළ වලින් බේරී, ටවුමේ කඩේකින් කාපට් එකක් මිල දීගෙක නැවත ගෙදර එන වළස් මාමා ව මතකයට නඟා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    මෑත කාලින උදාහරණ ලෙස ස්කූබී සහ ස්ක්‍රෑපී සඳහන් කරමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... පස්සේ මට තේරුනා මේක මේ කා‍ටුන් බලලා කරගත්තු වින්නැහියක් කියලා.. ඒකයි මම අපේ දෙමළ "ණ" යන්නටත් පැහැදිලි කරලා දුන්නේ... :D

      Delete
  13. කදිරා බල්ලාගේ නම නම් බල්ලාගේ ගැණු සතාගේ නම මොකක්ද චූටි මහත්තයෝ.?

    "ටොමි"කියලා අපි දන්න අංකල් කෙනෙකුත් හිටියා මතකයි.
    "කොල්ලා -බල්ලා"හරියට නිකම් යුගල පද වගේ සමාන එකේ බල්ලෙක්ට දාපු නමක් කොල්ලෙක්ට දාන්න බැරිත් නැහැනේ චූටි මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. තර්කය හරි! කදිරි වගේ කියන්න පුලුවන් නේද? :D

      Delete
  14. චූටි මහත්තයට තිබ්බෙ කතාවට පහලින් ප:ලි යක් දාන්න
    " මෙය කාටූන් කතන්දරයකි" කියල

    ReplyDelete
  15. Replies
    1. කම්මල,
      අර ප්‍රසාලා වාගේ උන්දලාට ලේසියි එතකොට.....

      .......................

      ලොකු පුතා,

      බොහොම ස්තූතියි!

      Delete
  16. මේකෙන් මට පරණ බලු කතාවක් මතක් වුණා.

    ඔන්න මම ආස ශෛලිය. අපි චන්දෙ දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සූදීක,

      බොහෝම ස්තූතියි. සියලු ම දේට. තාමත් බ්ලොග් ලියන්න වෙලාවක් හොයාගත්තට කියවන්න වෙලාවක් හොයා ගන්න බැරි වුනා.

      Delete
  17. මට නම් හිතෙන්නේ මිනිස්සුන්ට දාන නම් බල්ලන්ට දාන එක වැරදියි කියලා...!!
    ඒකෙන් උන්ට වෙන අපහසුතාවය ගොඩක් වැඩියි..

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...