ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2010/03/31

ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා අන්තිම කොටස​ට පෙර | එදා සිද්දිය.


ඔන්න සිත්තරේ, ඕක තමයි එදා මෙදා තුර මට අමතක නොවෙන සිත්තරේ.

මේ සංසාර ගමනේ වැඩිම ප්‍රතිචාර ගණනක් ලැබුණු පෝස්ට් එක තමා ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා පෝස්ට් එක.

මගේ රිප්ලයි එහෙම අයින් කලාම ඒකට ගෙඩිපිටින් කමෙන්ට් 44ක්.

වැඩේ කියන්නෙ මේ කමෙන්ට් වලින් බාගෙට බාගයක් තිබුනේ එදා හිනාවෙන්න බ්ලොග් එක පැත්තෙ ඈවිත් හිස් අතින්ම ගිය කට්ටිය ලුණු ඈඹුල් පදමට දාලා රසට ලියලා තිබුනු කොමෙන්ට් වලින්නෙ. බොරුනං මෙතනිං ගිහිල්ලා කමෙන්ට් ටික කියෝල එන්ඩකෝ.

ඒක නිසා මං කතාවෙ අන්තිම කොටසට කලින් එදා කතාව ඉවරකරගන්න බැරිඋන හේතුව ටිකක් කියන්න හිතුවා!

මම උපතින්ම කතන්දර කුට්ටි කරන්නෙක් නොවුනත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා මීට පෙර එක් දිනක් කලාක් මෙන් මට එදා කතාව කුටිටි කිරීමට සිදුඋනා.

ඒකට හේතුව කෙහෙල් කොටුවේ චූටි මහත්තයා හෙවත් ෂර්වුඩයේ රොබින්හුඩ් කරකාර බදින්න ඉන්න මැරියන්ගේ අම්මා ලංකාවට වසර හතරකට පමණ පසු ගොඩබැසීමයි.

මම ද ඒ අවස්ථාවට සහභාගි උවහොත් අමතර ලකුණු දෙක තුනක් අහුලා ගත හැකි බව මැරියන් තරයේ කියා සිටි නිසා මමත් රෑම කටුනායක පැත්තට ගියා.

ඔන්න ඔය කාරණාව කරණ කොට ගෙන මට කතාව සම්පූර්ණ කර ගන්ට බැරිඋනා.

හැබැයි කටුනායකට ගිය එකෙක් මට මැරියන්ගේ අම්මගේන් බඩකට පුරා ලකුණු ලැබුනා.
ඒ අවස්ථව චිත්‍රයට නගලා තිබුනොත් පොඩි සමා කෑල්ලන් දෙන්න පුලුවනං කියලා ඒදා කමෙන්ට් කරලා ගිය බුධාජීවයි, ගීතිකයි කියලා තිබුණ හින්දම විදේශීය චිත්‍ර ශිල්පියෙකු ලවා ඒ අවස්ථාව මම සිතුවමක​ට නැගුවා. ඔය තියෙන්නෙ ඒ සිතුවම!

කහයි කලුයි ටී එක දාලා ඩෙනිම ගහල ගානට ලකුණු එකින් එක දාගන්නෙ කවුද කියලා මං අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.

මැරියන් තමා එයාගේ අම්මගේ අතේ එල්ලිලා ඉන්නෙ. මගේ ලකුනු රැස් කෙරිල්ල දිහා කොචෝක් බැල්මක් දාගෙන ඉන්නෙ මැරියන්ගෙ අක්කා.

එයාපෝට් එකේ වැඩ කටයුතු ටික ඉවර වෙලා ඒ පහන් සිතිවිල්ලෙන්ම ගෙදර ඈවිත් බ්ලොග් එකට නිකමට වගේ ඔලුව දැම්මා.

අම්මා.........................බ්ලොග් එක පිරෙන්ඩ කොමෙන්ට්නේ! කොමෙන්ට් පිරෙන්න ලුණු ඈඹුල්.

''හොද වෙලාවට නේ කොමෙන්ට් කරන කොටුවේ දාලා, වචන විතරක් එවන්න පුලුවං තාක්සනයක් තියෙන්නෙ.'' බ්ලොග් එක දැක්ක මට හිතුනා.

''කොහොමද අපේ පරිගණකය තාක්සනේ ගන වස්තුවක් උනත් එහෙම එහා මෙහා කරන්න පුලුවනං තරමට දියුණු වෙලා තිබුනනං.''
එහෙනං ශුවර් එකටම කට්ටිය ඔය කමෙන්ට් කොටුව අස්සෙන් අත දාලා මට කණ පැලෙන්න දෙනවා. කතාව මග නතර කරල ගියාට!

කොහොම හරි පහුවදා මම මැරියන්ලාගේ ගෙදර ගියා. දෙන දෙයියෝ පයින් ඈන ඈන දෙනවා කිව්වලු!
ගිය ගමන් මැරියන්ගේ අම්මා මට කිරිටොය්යා තෑග්ගක් දුන්නා. ඔය තියෙන්නෙ ඒක!

''අනේ ඉතිං අපේ මැරියන්ගේ අම්මා. බුදුන් දැක නිවන් දකින්ට ඕනි මේ කරගත්තු කුසල කර්මෙට'' ඉතිං තැගි බෝග අරං ඒක පාරටම ගෙදරින් එන්නත් බෑනේ. රට චොකෝ කෑල්ලක් කාලා, රට සුප් පාරක් දාලා, මේ කරගත්තා වූ කුසල කර්මෙට අනේක වාරයක් ඉස්තුති කරලා එහෙම එද්දි එදා දවසත් ඉවර උනා.

ඔන්න ඕකයි මට කතාවේ ඉතුරු ටික දාන්න පහුවදාත් බැරි උනේ!

දැන් ඉතිං ඒ කේස් ඔක්කොම ඉවරයි, ඉතුරු කතා කෑල්ලයි තවත් කතා ගොඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩකුයි ඉදිරියේදී ඉක්මනින්ම අනිවා දානවා.

කතාව කියෝල මං ගැන අමනාපයක් ඈති කර නොගත්තු ඔබ සැමට හා ඒදා කතාවෙන් පස්සේ මං කොහේ ගියාද කියලා වරින් වර හොයා බැලු ඔබ සියලු දෙනාට, කරන කියන රැකි රක්ෂා කටයුතු සාර්ථක වී සියලු බලාපොරොත්තු ඉටු වී මෙලවදීත් පරලොවදීත් යහපතක්ම වී, කෙලවර මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වරම් ලැ​​බේවාවාවාවාවාවාවාවාවාවා කියලා ප්‍රාර්ථනා කරනවා!















2010/03/25

ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා | සිත්තරෙත් එක්කම

ඔන්න දවස් ගානකට පස්සෙ ආයෙත් මං ආවා.

අද මුලින්ම සිත්තරේ.

හැමදාම සිත්තරේ, පෝස්ට් එකේ මන්ඩි බේ​රෙන අඩියටම දාන මම, අද ඔය උඩින්ම දැම්මෙ විශේෂ හේතුවක් හින්දා?



බලන්ඩ පොඩ්ඩක් ඔය පෝස්ටරේ ඉන්න කොලු ගැටයාව අදුරනවද කියලා. ඔය පෝස්ටරේ අදුරගන්ට පුලුවන්නං කතාවෙ ගොඩක් දේවල් ඔයාලට ඔතනින්ම තේරුං ගන්ඩ පුලුවං වෙයි!

ඔය ටොපි කොල හතලිහේ කතාව, කදිර පෝතකයගෙ කතාව එමෙහත් නැත්තං බොරලු රොකට්ටුවෙන් විල්බට් මාමගේ තට්ටෙ කැටයම් කපපු කොල්ලම තමයි ඔය!

කොල්ලා ඔය ඈදලා ඉන්නෙ ෂර්වුඩ් වනාන්තරෙ හිටපු රොබින් විදිහටනේ. ඉන්න හැටියෙන්ම පේනවනේ ඔය කොල්ලට ඒ කාලේ කොච්චර නං උනක් තියෙන්න ඈත්ද කියලා රොබින් හුඩ්ගෙ වරිතේ ඈට් කරන්න.

කොල්ලා, කොල්ලා, කිව්වට එයාගේ ඈත්ත නම බුද්ධිනේ. ඒ කියන්නෙ මං කියලා දැං කවුරුත් දන්නව ඈතිනෙ!

එතකොට කෙහෙල් කොටුවෙ චූටිමහත්තයා කියන්නෙ කවුද?

ඒත් ඉතිං මංම තමයි! මට ගෙදරට කියන්නෙ චුටි මහත්තයා හින්දාත් අපි අපේ ෂර්වුඩ් වනාන්තරේ හැටියට පාවිච්චි කරන්නෙ චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව හින්දත් මට අපේ ගෙදර කට්ටිය විහිලුවට වගේ කතා කලේ ''කෙහෙල් කොටුවෙ චුටි මහත්තයා'' කියලා. ඔය සිත්තරේ දකුණු පැත්තෙ පොඩියට පේන්නෙ චාලි මුදලාලිගේ කෙහෙල් කොටුව නේ!

පොල්පිත්තෙන් හදපු ''ඈල්බියන්'' අසිපතේ බරට කලිසම පාත් වෙලා කියලාවත් නොදැන ඊතල මල්ලත් පිටේ එල්ලං ඔලුව වැහෙන්න ලෝගුව එහෙම දාලා, එක ඈහැක් වහලා, කිරිටොයියා දුන්නෙං ''ඔයාගෙ දකුණු උරහිස කොරවෙන්න'' විදින්න වගේ ඔය ටාගට් එක අරන් හිටියට එක දවසක් මට මාර කේස් එකක් උනානේ!

ඔන්න ඔය කේස් එක තමයි අද මං කියන්න යන්නේ!

මම රොබින් හුඩ් බලන්නෙ තාත්තගේ ඔඩොක්කුවෙ ඉදගෙන.

ඕක බලද්දි ටයි මාම දාන සිංහල තේරුමයි රොබින්ගේ වික්‍රමයි අතර මාව හිරවෙලා කතාව තේරු ගන්න බැරි වේගන එද්දි මං කරන්නෙ,

තාත්තෙ ඈයි තාත්තෙ අර රොබින් දුවන්නෙ.....''

අර මොනාද තාත්තෙ රොබින්ට හර්න් කියන්නෙ''

ඈයි තාත්තෙ අර රොබින්ට ජෝන් බනින්නෙ....''

ඊලගට මොකද තාත්තෙ වෙන්නෙ.... අනේ කියන්ඩනො අප්පා..''

කිය කියා තාත්තට ඈණයක් වෙනවා.

එතකොට තාත්තා,

'' හරි හරි ඔහොම දිගමට බලන්ඩකෝ එතකොට තේරෙයි'' කිය කියා ශේප් වෙනවා.

ඔන්න එක දවසක් හරි අපූරු කතාවක් ගියානේ. ඒක කතාව රග දක්වන්න ගිහිං තමයි මට දෙලෝ රත්වෙන වැඩක් උනේ.

ඒක හින්දම කතාවට කලිං මේ ඉප්සොයිඩ් එක මතක් කරල දෙන්න ඕනි කියලා මට හිතුනා! ඒ කතාවේ රූප රාමුවක් තමා ඔය පහල තියෙන්න. මතකද බලන්ඩ?


කතාව මතක නැති අය විතරක් මෙතන කොටලා කතාව මතක් වෙන්න පොඩි කොටසක් බලල එන්න. මතක කස්ටිය ඉතුරු ටිකත් කියවන්න.

දැං මතකනේ සිද්දිය.

කතාවේ ඔය කොටස බැලුවා විතරයි,
ඕකේ අර හොරු (රොබිනුයි එයාගේ සෙට් එකයි ඈර අනිත් ඔක්කොමලම මට නං හොරු) දාගෙන ඉන්නව වගේ හෙල්මට් එකක් දාගෙන,

''මමත් හොරෙක් වගේ රග පාන්න ඕනෙ'' කියන පාප සිතිවිල්ල ආවනේ මගේ හිතට!

වෙස් මූණට ආස වෙච්ච මං බොහොම අමාරුවෙන් තීරණයක් ගත්තා.

''එකම එක දවසක් මම රොබින්ට එරෙහි වෙලා හොරෙක් වෙනවා.'' කියලා.

පහු වෙනිදා, අපි ඉස්කෝලෙදි කතා කරගත්තු විදිහට චාලි මුදලාලිගේ වත්තට ​ආවා රොබින් හුඩ් ඈට් කරන්න හිතාගෙන.

මං මගේ වෙහිකල් එකෙන් චාලි මුදලාලිගේ වත්තට පිට උනේ අම්මාගෙ කුස්සියේ සේප්පුවෙන් උස්සපු, සිමෙන්ති කොලවලින් හදලා තිබුනු පොඩි බෑග් එකක් කපලා හදාගත්තු අර හොර මුලේ කස්ටිය දාගෙන ඉන්නවා වගේ කිරිටොය්යා හෙල්මට් එකත් අරං. ඔය පහල තියෙන්නෙ ඒ නව නිස්පාදනේ.


දැං කට්ටියට තේරෙනවනේ මං කරන්න යන කැරැට්ටර් එකට කොච්චර නං රෙඩි වෙලාද ඉන්නෙ කියලා.

දැං තමා දුක හිතෙන ම දේ ලියන්න වෙන්නෙ. ඔන්න ඒකත් ලිව්වා.

''අදත් මට කතාව කුට්ටි කරන්න වෙයි වගේ.''

ඒ උනත් කව්රුත් බලාපොරොත්තුවෙන් ඉන්න, මට දෙ​ලෝ රත්වෙච්ච සිද්දියෙ පැණි බේරෙන, රස වෑහෙන ඉප්සොයිඩ් එකත් අරං මං ඉක්මනින්ම එනවා!

ඒ ඉප්සොයිඩ් එකෙන් මට වෙච්ච අලකලංචිය කියෙව්වට පස්සෙ, ඔයාලා කවම කවදාවත්, එකම එක දවසක්වත් රොබින් හුඩ්ට නං එරෙහි වෙන්නෙ නැතිවෙයි!

කතාව කියෝලා ඊ ලග ඉප්සොයිඩ් එක කියවන්න කැමති කස්ටිය ඔය පහලිං තියෙන කොටුවෙ එක දාලා යන්න කියලා මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ නේද?




























2010/03/19

බොරලු රොකට්ටුව | හිහ්....හී... මගේ පළමු නව නිර්මාණය චිත්‍රත් එක්කම

බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරම් ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා කියලා ඔය මං ලියපු කතන්දර කියෝපු අය දැං හොදාකාරවම දන්නවනේ.

ඒ කතා කියෝපු අයටයි මේ අලුත්ම සිද්දිය කියන්නෙ.

එදා මං කිව්ව කදිර පෝතක කතා වස්තුව කියෝපු සිරිබිරිස් (සිරිබිරිස්ගෙ Link එක හොයාගන්න බැරි විය.) නං බලං ඉන්නෙ මං අර පුදුම පේර ගහේ කතාවයි, වාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුව ගැනයි කියන්නෙ කවදද කියලලු! ඒ කතාව ලගදීම කියනවා.

මකර රජදහනේ මකර අධිරාජ්‍යයා චානක දාලා තිබුණු කමෙන්ට් එකක් හින්දා මට අමතක වෙලා තිබුණු තවත් කතන්දරයක් මතක් උනා. ඔන්න ඒ කමෙන්ට් එක නිසා මතක් වෙච්ච කතාවත් මම මගේ මතක ගබඩාවේ තැන්පත් කරගත්තා පස්සෙ දවසක කියන්න.

හරි ඔන්න අද කතාව.

මේකත් ඉතිං ඔය දෙයියො නිකං දුන්නු අතපය තොසන්ඩාල වැඩකට පාවිච්චි කරන්න ගිහිං වෙච්ච ඈබැද්දියක්.

ඔයාලට මතක ඈතිනේ චාලි මුදලාලි අපිටම කියලා හදපු පියන් දෙකේ ගේට්ටුව. ඔය පියන් දෙකේ ගේට්ටුවට අමතරව අරුම පුදුම දේවල් ගොඩක් චාලි මුදලාලිගේ වත්තෙ තිබුනා. ඈත්තමට ඒක වත්තක් නෙමේ අපිටම හදපු පාරාදීසයක්.

චාලි මුදලාලිගෙ වත්තෙ තිබුනු දේවල් වලින් විල්බට් මාමගේ ගෙදරත් විශේෂ තැනක් ගත්තා. විල්බට් මාමා තමා චාලි මුදලාලිගේ වත්ත බලාගන්නෙ. එයාලගේ ගේ ලගම තියෙනවා ජයසිරි අයියගේ පරෙවි කූඩු ටික. මතකනෙ ජයසිරි අය්යව. ජයසිරි අයියා විල්බට් මාමගේ පුතා. විල්බට් නැන්ද ජයසිරි අයියගෙ අම්මා. අර මං එදා කිව්ව නැග්ගහම ඉබේම හෙලවෙන පේර ගහ පිහිටලා තිබ්බෙ ඔය ඔක්කොටම ඉස්සරහින්.

ගුගල් කා​රයෝ ගුගල් අර්ත් හදන්න හිතන්නත් කලිං මං චාලි මුදලාලිගේ අක්කර දහයේ පොල් වත්ත මගේ හිතේ සිතියම් ගත කරගෙන හිටියා. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.



හරියටම කියනවනං ඔන්න දැනුයි කතාව පටන් ගන්න යන්නෙ.

මම පුරුදු විදිහටම වාලි මුදලාලිගේ පාරාදිසෙ පැත්තෙ ගියේ, ඉස්කෝලෙදි කතා කරගත්තු විදිහට, වාලි මුදලාලි ආදරයෙන් හදා වඩා ගන්න කෙසෙල් කොරටුව අපේ සේවුඩ් වනාන්තරේ හැටියට පරිස්සමින් පාවිච්චි කරල, අන්තිමට බලපු රොබින් හුඩ් කතාව අයෙත් ඈට් කරන්න හිතාගෙන.

කෝ ඉතිං තාමත් සේවුඩ් වනාන්තරෙට යන්න මගේ අනිත් සගයො නැහැ නොවැ.

මම කොහේ ගියත් යන්නෙ මගේ ගුඩු පොල් වෙහිකල් එකෙන්. ඒ කියන්නෙ ගුඩු පොල් කරත්තෙන්. ඒක තාත්තා හදලා දුන්නෙ ගුඩු පොල් ගෙඩි දෙකකින්. ඒකේ මැද පොල්ලට විට්ටර් මාමගේ කඩෙන් ඉල්ල ගත්තු හිස් සුරුට්ටු පෙට්ටියකිං මම ඩිකියක් එහෙම දාලා වෙහිකල් එක පුල් ඔප්ශන් කරල තිබුනෙ. පස්සෙ ප්‍රයෝජනේට ගන්න ඕන වෙයි කියලා හිතෙන ඕනම දෙයක් මං ඔය ඩිකියේ දා ගන්නවා.

මගේ සගයෝ තාමත් නැති නිසා මම ඉතිං වැල කැඩිච්ච ටාසන් වගේ ඔහේ පා වෙවී හිටියා.

ඔන්න ඔහොම ඉන්නකොට විල්බට් මාම එනවා හරක්ට බොන්න වතුර ඈදලා ටැංකිය පුරවන්න.

ඔය විල්බට් මාම ඉදලා හිටලා චාලි මුදලාලිගෙන් ලකුණු දාගන්න,

'' අන්න මුදලාලි අර රිලව් ටික අදත් ඈවිල්ල ගේට්ටුව ගලවන්න හදනවා''

නැත්තං,

'' අන්න මුදලාලි අරුං ටික අදත් කෙසෙල් කොටුව දෙක කරනවා'' වගේ පොඩි පොඩි කේලං කිව්වට මිනිහා හරි හොද එකා.

ඔය විල්බට් මාම දැක්කහම කවදත් මට මතුවෙන ප්‍රශ්නෙ තමා එයාගේ නලලයි ඔලුවයි වෙන්වෙන්නෙ කොතනින්ද කියන එක. මොකද විල්බට් මාමට නලල වෙන් කරගන්නවා තියා බේතකට වත් ගන්න ඔලුවේ කෙස් ගහක් නැහැ.

'' ආ............... පුංචි මහත්තයට අපුරු වාහනයක් හම්බ වෙලා තියෙන්නෙ, කවුද හදලා දුන්නෙ?'' විල්බට් මාම සැදෑ හිරු කිරණට දිලිසෙන තට්ටෙ වන වනා ඈහැව්ව.

''තාත්තා විල්බට් මාමෙ'' මං දකුණු උරහිස පාත් කරලා බොරු ලැජ්ජාවක් අරගත්තා.

''මල් හතයි. ජිල් පහයි නොවැ. හ්ම් හ්ම් '' කියාගෙන විල්බට් මාම ලිද දිහාට ගියා.

ඔන්න ඔය වෙලාවේ තමයි ​දෛවෝපගත සිතිවිල්ල ම​ගේ මෝලේ කැළඹුවෙ!

''කුරුම්බැට්ටි රොකට් එකක් වත් හදලා උඩ යවපං මෝඩයෝ නිකං කාලේ කන්නෑතුව?'' මගේ හිත කිව්ව.

මං හොද කුරුම්බැට්ටියක් හොයා ගත්තත් හොද අමු ඉරටුවක් නැතුව කොහොම රොකට් එකක් හදන්නද?
හොද අමු ඉරටුවකට ලොකු කුරුම්බැට්ටියක් ගහලා කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල උඩ යැව්වම ඒක යනවා තිතක් වෙනකං.

ඉරටුවක් නැති තැන, මං වෙහිකල් එකේ ඩිකිය ඈරලා ගත්ත ''සොපිං'' බෑග් එකක්. ඒකට කුරුම්බැට්ටිය දාලා එක පාරක් කරකෝල අතඈරලා බැලුවා.

''ශා..... නියමෙට වැඩ. ඉරටු මොකටද, ඔය බැග් එකේ දාපු කුරුම්බැට්ටියත් යස අගේට පියාඹන්නෙ, ඒත් උඩටම යවන්න නං තව බර වැඩි කරන්න වෙයි වගේ................''

මං වටපිට බැලුවා මොනව හරි හොයාගන්න.

ආ..........''උත්සහවන්තයා ණය ගනී කිව්වලු''.

''ඔය තියෙන්නෙ මේකට කියාපු දෙයක්.''
අපේ චාලි මුදලාලි කොප්පරා මැස්ස ඉස්සරහට දාන්න ගෙනාව බොරලු! බොරලු ගොඩේ ''බොරලු කැට'' ඕන තරං තියනවා රොකට්ටුවෙ බරට පුරවගන්න.

මං ගිහිං සොපිං බැග් එකට ගානට කිරල මැනල බොරලු කැට පුරෝගත්තා.

''බොලේ මේ බොරලු කැට නිකං පැන්සල් උල් කරන කටර් එකෙන් උල් කරලා වගෙනේ! මුදලාලිටම හරියන බොරලු'' මං හිතුවා.

දැං වැඩේ කොම්පීලීට්. ​​අයිතිහාසික බොරලු රොකට්ටුව උඩ යවන්න ඔක්කොම ලෑස්තියි.

මං කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල මගේ මුලු හයියම දාලා බොරලු රොකට්ටුව ගුවං ගත කලා.

ශා......... ඔය යන්නෙ පිඔගෙන. ඉරටු රොකට් එක වගේ නෙමෙ මේක මාර ලස්සනයිනේ. බොරලුත් අරං උඩ යන රොකට් එක ''සිලිසිලි'' ගගා සද්දෙද් දාගෙන පිඔගෙන පොල් රුප්පාව තරණය කලා.

''තව මොහොතකිං ආයෙත් ඒක කොහෙන් හරි මතු වෙයි පොලොවට ගොඩ බහින්න'' කියලා හිතද්දිම මම දැක්කා රොකට්ටුව ආපහු එනවා.

අම්මා....... බොරලු රොකට්ටුව යකා වගේ පිගෙන කෙලගෙන එනවා පොලව​ට.......

මං නිකමට වගේ රොකට් එකේ ඉදං පොලොවට හිතෙං ඉරක් ගහලා බැලුවා. මේක කොහාටද ගොඩ බහින්න හදන්නෙ කියලා.

අප්පට සිරි........මල හත්ඉලව්වයි........ මලම මල හත්ඉලව්වයි!

ඉර හරියටම ඉවර වෙන්නෙ හරකුන්ට බොන්න වතුර පුරෝ පුරෝ ඉන්න විල්බට් මමගේ තට්ටෙ හරහා. ඒ කියන්නෙ අර උල්ම උල් කැතම කැත බොරලු කැට පුරෝපු රොකට් එක විල්බට් මාමගේ තට්ටෙට ගොඩබස්සන්නයි මේ හදන්නෙ!

මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මගේ මොලේ හොදටෝම හිරවුනා.

මම ''බුදු විල්බට් මාමේමේමේමේ'' කියලා කෑ ගහන්න හදන කොටම රොක​ට් එක ''ව්රස්'' ගාලා ලෑන්ඩ් කලේ නැතෑ විල්බට් මාමගේ තට්ටටෙම.

හීනෙකිං වත් හිතපු නැති මේ ගුවන් ප්‍රහාරය වැදිච්ච විල්බට් මාමා ''ඈහ්ක්'' ගාගෙන ඔලුව අල්ලං එතනම ඉදගත්තා. මං හිතන්නෙ ඉද ගත්තා නෙමේ, ඉන්ද උනාද කොහෙද! මිනිහා විතරක් නෙමේ මිනිහගේ වතුර බාල්දියත් බයවෙච්ච පාර පැත්තකට පැන්නා.

ඕක දැකපු මගේ සරීර කුඩුවත් පොල් ගහක් පල්ලෙ ඈදගෙන වැටුනා විල්බට් මාම වගේම. විල්බට් මමගේ ඔලුවෙන් පිටවෙන්න ඕන තරුයි, කොම්බුයි, පැණි කුරුල්ලොයි ඔක්කොම මගේ ඔලුවෙන් පිට උනාද මන්ද? මට කැරකිල්ල වගේ ඈල්ලුව.

මේක ඉතිං එසේ මෙසේ ගුවන් ප්‍රහාරයක් යැයි, '' බර අවිත් එක්කම මුලු යානාවමනේ විල්බට් මාමගේ ඔලුවට කඩා වැටුනේ'' විල්බට් මාම ඔලුවේ අත තියාගෙනම උඩ බිම බලනවා මේ ප්‍රහාරෙ ගැන ඔත්තුවක් හොයාගන්න.

දැං ඉතිං මං ඉවරෙටම ඉවරයි. මේ හරියෙ විල්බට් මාමයි මමයි ඈරෙන්න බල්ලෙක්වත් නෑ. මම නිකම්ම මාට්ටු වෙයි වගේ.

''නැගිටලා දුවපං යකෝ'' මගේ හිත කිව්වා.

මොන දුවනවද, කකුල් දෙකත් මේ වෙලාවෙම මට වලංගු වෙන්නෙ නැහැ නොවැ. දණිස් දෙකත් අරියාදුවට වගේ දගලනවා.

මම පුලුවං දහිරිය දාලා නැගිට්ටා. නැගිටලා පුලුවං තරං හයියෙන් දිව්වා! මගේ වෙහිකල් එකත් දාල දිව්වා!! දුවන වේගෙ වැඩි කරන්න හිතාගෙන ඔලුව දෙපැත්තට වන වනා තව තවත් වේගෙන් දිව්වා!!!

වාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුවත් පහුකලාට පස්සෙ මම ආයෙත් හැරිලා බැලුවා විල්බට් මාම දිහා.

විල්බට් මාම මම දාලා ආපු මගේ වෙහිකල් එක දිහා, බයවෙලා වගේ බලං ඉන්නවා මං පොල් ගස් අතරින් චූටියට දැක්කා!



ඔන්න ඔහොමයි මගේ පළමු නව නිර්මාණය වෙච්ච බොරලු රොකට්ටුවේ අත්හදා බැලීමේ ව්‍යාපෟතිය අවසන් උනේ. මං හිතන්නෙ ඔයාලටත් මේ වගේ අද්දැකිම් ඈති නේද?








2010/03/14

කදි​ර පෝතක කතා වස්තුව | අන්තිම කොටස

මතකනේ මම ශිෂ්‍යත්ව විභාගයට පෙනී හිටින්න ලෑස්ති වෙච්ච හැටි. ඒක සම්පූඒණයෙන්ම එදා කියලා ඉවර කරන්න බැරි උනානෙ. මෙන්න ඉතුරු ටික. එදා කෑල්ල කියෝපු නැති අය මෙතන කොටල ඒ කෑල්ල කියෝලම එන්ඩ.

කතාවට කලිං කියන්න තව දෙයක් තියෙනවා. අර සහන් සටහන් ලියන සහනුයි, අපේ වැප් සහෝදරයයි නං වැඩියෙන්ම කැමති මම දාලා තියෙන සිත්තරෙ බලන්ඩ කියලා කමෙන්ට් දාද්දි කියලා තිබ්බා. ඒක හින්දම එයාලටයි අනිත් කට්ටියටයි බලන්න අද සිත්තර තුන හතරක්ම දාන්න හිතාගෙනයි ඉන්නෙ.

හරි මෙන්න කතාව.......

දෙන ප්‍රශ්ණ පත්තර වලට උත්තර ලියලා අංඥකොරොස්වෙලා පිචං වෙලා පනින්ට අත්තක් නැතිව ඉන්න රිලව වගේ මම ඉස්තොප්පුවෙ දිගා වෙලා හිටියා කියලා මම එදා කිව්වනේ.

ඔන්න ඔය වෙලාවෙ මගේ ප්‍රශ්ණ පත්තරෙ ගන්න විභාග ශාලාධිපතිනී ආවා. එයාගෙ නම කාන්ති. එයා ටිකක් විතර වසයි මේ දවස් වල. ඔය විභාග ශාලාධිපතිනිව තමයි අපේ තාත්තා කසාද බැදල හිටියේ.

මම දනිපනි ගාලා නැගිටලා ප්‍රශ්ණ පත්තරෙ බලන්න දුන්නා.

විභාග ශාලාධිපතිනීය මමත් ලග තියං උත්තර පත්තරේ බලන්න ගත්තා.

වැඩේ කියන්නෙ මට වෙලාවට උත්තර ලියන්නත් පුලුවං, රූල් පනින්නෙ නැතිව අකුරු ලස්සනට ලියන්නත් පුලුවං, ගණං ටිකත් දන්න හැටියට අටවගත්තා කියමුකො, අමාරුම වැඩේ තමා ප්‍රශ්ණ පත්තරේ බලනකොට ඈන්ටනාව කැඩිච්ච ටී.වී එක වගේ වෙනස් වෙන අපේ විභාග ශාලාධිපතිනීගෙ මූණ දිහා බලං ඉන්න එක. මූණ වෙනස් වෙන වෙනස් වෙන ගානේ මගේ පපුව හරි මැදිං මොකෙද්දෝ සතෙක් එලියට පනින්න ගිහිං ආයේ නවතිනවා වගේ දැනෙනවා.

ඔය හින්දම පැන්සල අනිත් පැත්ත හරෝපු මං ඒකෙ තියෙන මකනේ ටිකක් කාලා රහ බැලුවා විතරයි,



''මේ මේකෙ ව්‍යාකරණ ගොඩක් වැරදියි නේ. ඔයා පාඩං කෙරුවෙ නැද්ද? මේ වැඩේ හරියන්නෑ. කෝ ඔයාට ගෙනල්ල දීපු රචනා පොත. ඒක ඔක්කොමෙ කියොල ඉවරද?

ඔය රචනා පොත කියන්නෙ මගේ විවේකය නැති කරන්න ආපු පිල්ලියක්! මම ටිකක් ඉදගෙන හිටියත්, වත්ත පහලට ලිස්සනව දැක්කත්, පාර පැත්තට යනවා දැක්කත්,

'' ඔයා කොහෙද ඔය යන්නේ.........ඔයාගෙ වැඩ ඉවරනං ඔය රචනා පොත කියවන්න. දැං කියක් කියොල ඉවරද?'' පොලිස් කිට් එක දාගෙන ඉන්න විභාග ශාලාධිපතිනී මාව අල්ල ගන්නවා. සමහර දවස්වලට නං මං හරි කැපවීමකිං ඔය රචනා පොත කියොනවා. ඔබ පහල තියෙන්නෙ ඒවගේ අවස්ථාවක්.

හරි දැං ආයෙත් කතාවට,

''ඔව්............. ඈයි?'' මං බය උනා.

''ඒකෙ රචනා වලින් මතක එකක් ආයෙ ලියන්ඩ ඕනි දැන්ම. කතාව හරියටම ඕන්නෑ. හැබැයි උක්ත ආඛ්‍යාත හරියට ලියන්ඩ ඕන. මේ දැං ලියපු එකේ ඔක්කොම වරද්දලානෙ.'' විභාග ශාලාධිපතිනී තව විභාගයක් නියම කරපි.

''එහෙනං කදිරා දුර්ලභ බෙහෙතක් සොයා වන ගත වීම ලියන්නං.'' නහයෙං උඩට ගිලිච්ච මං එල්ලෙන්න පිදුරු ගහක් හෙව්වා.

මොකක් හරි. මතක එකක්...'' විභාග ශාලාධිපතිනී යන්න ගියා.

'' කදිරා දුර්ලභ බෙහෙතක් හොයන්න වන ගත වීම'' කියන්නෙ ඔය රචනා පොතේ තියෙන හරිහමං විදිහකට ලියපු එකම කතාව. පොත අතට දෙන හැම වෙලාවකම මං ඔය කතාවමයි කියවන්නෙ කියලා කවුරුත් දන්නෑ මං හිතන්නෙ. ඒකෙ කතාව ආයෙ ආයෙ මතක් කරන්න උනත් ආසා හිතෙන එකක්.

මම කතාව ආයෙත් සැරයක් හිතෙන් කියෙව්වා.

''කදිරා'' දිනක් උදේම අවදි වී පෙර දින මුවහත් කල පිහිය, පං මල්ල, ලණු පොට අරං වන ගත වෙන්නෙ දුර්ලභ බෙහෙත් වර්ගයක් හොයාගන්න. කැලේට ගිය කදිරාට දවල් වෙන තුරුත් බෙහෙත් පැලෑටිය හොයා ගන්න බැරි වෙනවා. ඒ මදිවට කදිරා, පිපාසයෙන් ජලය හොයා යන අලි සහ ගෝන්නු රැලකට මැදි වෙනවා. උස ගසකට නැගෙන කදිරා දිවි බේරා ගත්තත් සවස් වන තුරුත් බෙහෙත් සොයා ගන්ඩ නං බැරි වෙනවා. බෙහෙත් සෙවිල්ල පැත්තකින් තියන ''කදිරා'' වනයේ අතරමං වීමෙන් වලකින්න වහ වහා කැලයෙන් පිටතට එනවා. බෙහෙත් සොයා ගැනීමට නොහැකි වූ හේතුවෙන් ඈති වූ කෝපය නිසා වැර යොදා අසල තිබූ ගසකට කොටන කදිරාට වාසනාවට මෙන් මුලු දවස පුරාම සෙවු බෙහෙත් ගස එය බව හෙලි වෙනවා. කදිරා ඈති තරම් බෙහෙත් පැලෑටි ගෙන නැවත ගමට එනවා.''

මකනේ කාපූ පැන්සල අතට ගත්තු මං '' කදිරා දුර්ලභ බෙහෙතක් හොයන්න වන ගත වීම'' කියලා මාතෘකාව ලිව්වා.

''කදිරා දිනක් උදේම අවදි වී, පෙර දින මුවහත් කල පිහිය, පං මල්ල, ලණු පොට අරං වන ගත විය. ඒ දුර්ලභ බෙහෙත් වර්ගයක් සොයා ගන්නා අරමුණින්. ඌ ටිකෙන් ටි වනය තුලට පියමැන්නා.'' මං කතාවට බැස්සා.

ඉතුරු ටික නං ඉතිං මං ලිව්වා වාලි මුදලාලිගෙ පොල් වත්තෙ ඈට්ටි සේරම හැලෙන්න. මේ වගේ වැඩක් පෙන්නලා විභාග ශාලාධිපතිනීගෙන් ලකුණත් දෙකක් ගන්න ලැබෙන්නෙත් කලාතුරකින්නෙ.

කතාවේ අන්තිම වංගුවත් මං ඈස් වහලම කැපුවා ගානට මෙන්න මෙහෙම,

'' බෙහෙත් පැලෑටිය සොයා ගත නොහැකි උනු කදිරා කැලයෙන් පිට විමට තීරණය කලේය. ඌ කැලයෙන් එලියට වේගයෙන් දිව ගියේය. එසේ දිව ගිය කදිරා කෝපය නිසා කැලයේ තිබුණු ගසකට වේගයෙන්කෙටීය. පුදුමයකට මෙන් ඌ දවස පුරා සොය සොයා ගිය බෙහෙත් ගස එය විය. ඌ සතුටින් පිනා ගොස් ඈති තරම් බෙහෙතේ පැලැටි ගෙන ගමට පිටත් විය.

''අම්මෙ.... ලියලා ඉවරයි.'' මං විභාග ශාලාධිපතිනීට කතා කලා.

ආයෙත් පුරුදු පරිදි ඈන්ටනාව කැඩ්ච්ච ටීවී එක. මගේ පපුවෙ ඉන්න සතා පනින්න යාම. පැන්සලේ ඈති මකනයට වග කීම.

'' මොකද්ද මේ ලියලා තියෙන්නෙ''

''ඈයි!''

''ඈයි මේ කදිරට ඌ කියලා තියෙන්නෙ''

''ඌ කියන්නැතුව. කොහොමද ලියන්නේ.......ඉතිං අම්මමනේ කිව්වෙ එක දිගටම ලියනවනං ඔහු, හේ, ඌ වගේ කෑලි දාන්ඩ කියලා'' ආයත් මං ගිලෙන්නද කොහෙද යන්නෙ.

'' හරි ළමයෝ .. ඈයි මේ කදිරට ඌ කියලා දාලා තියෙන්නෙ, ''ඔහු' 'කියලානේ දාන්න ඕනෙ'' විභාග ශාලාධිපතිනී පොලිස් කෝට් ඈදගත්තා.

''ඒ මොකටද.... බල්ලට ඌ කියලානේ දාන්ඩ ඕනෙ'' මම ඈත්ත කිව්වා.

'' බල්ලෙක්...... කොහෙද? මෙතන බල්ලෙක් කොහෙද.... කදිරා කියන්නෙ මිනිහෙක්.....''

'' බොරු කියන්ඩ එපා අම්මෙ! කදිරා කියන්නෙ බල්ලෙක්. ඈයි අපේ ලොකු තාත්තගේ බලු පැටියගේ නමත් කදිරනේ, ලොකු තාත්ත කිව්ව එයාගේ කලිං බල්ලගෙ නමත් කදිර කියලා'' මට සියට සීයක් ශුවර් නිසා කෙලිං බලං කිව්වා.

'' මේ ළමයා නං මගෙං ගුටි කන්ඩ හදන්නෙ, අර මුවං පැලැස්ස යනවා නේද රෑට, එකෙ ඉන්න කදිරව මතකද? අන්න ඒ වගේ නම තියෙන මිනිහෙක් ගැන මේ තියන්නෙ. අනික බල්ලොන්ට කතා කරන්න පුලුවන්ද ළමයො?''

'' ඈයි බල්ලොන්ට කතා කරන් බැරි... ඔය ටීවී වල යන කාටුන් වලත් ඉන්නේ කතා කරන බල්ලෝ ඕන තරං!, ඒවගේ බල්ලෙක් තමා මුවං පැලැස්සෙත් ඉන්නෙ කදිරා කියලා.! මේ කතාවෙත් ඉන්නෙ ඒ වගේ බල්ලෙක්නෙ.'' මං ඈත්ත කතාව තේරුං කරලා දුන්නා.

ඈයි බොලේ මං මේ කතාවට මෙච්චර ආසා උනෙත් මේ බල්ලා දාන වැඩ කෑලි හින්දනේ. එහෙව් එකේ මේ කතාවෙ ඉන්නෙ බල්ලෙක් නෙමේ මිනිහෙක් කියලා කොහොම විශ්වාස කරන්නද?

කොච්චර කිව්වත් මේ කතාව විභාග ශාලාධිපතිනී නං තේරුං ගන්නෙ නැති පාටයි.

එක්කො විභාග ශාලාධිපතිනී, එක්කෝ මං කියලා හිතං මං අන්තිම තුරුම්පුවත් ගැහැව්වා.

''ඈයි අම්මෙ අම්ම​ට ඕක තේරුං ගන්න බැරිද? කොයි අම්ම තාත්තද තමන්ගෙ ළමයට බල්ලෙක්ට දාන නමක් දාන්නෙ.''

''?''
...................................................................


ප.ලි-
මේ තියෙන්නෙ විභාග ශාලාධිපතිනී වැරදියට තේරුං ගත්තු කදිරා කැලෙන් එලියට දුවගෙන එන අවස්ථාව.




මේ තියෙන්නෙ විභාග ශාලාධිපතිනී කවදාවත් තේරුං ගත්තෙ නැති අර කතාවේ හිටපු ඈත්තම කදිරයි මමයි ඉන්න පින්තූරයක්.




ඔන්න ඕක තමයි කදිර පෝතක කතා වස්තුව. මගේ ශිෂ්‍යත්ව සමයේ මට මතක තියෙන එකම වැදගත් සිද්දිය. ඔයාලටත් මේ වගේ වයර් මාරු වීම් වෙලා තියෙනවනං මටත් කියන්න.























2010/03/12

කදිර පෝතක කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුණු තවත් තැනක්

පුංචිම පුංචි කාලේ මගේ ජීවිතේ වැඩිහරියක්ම තිබුනේ තනියෙන් විසදගන්න බැරි ප්‍රශ්ණ ගොඩක් කියලා මං ඔයාලට කියලා ඈති! ඒ ප්‍රශ්ණ වලින් කොල්ලෙකුට බබෙක් හම්බඋණු කතාව වගේම ටොපි කොල හතලිහේ කතාවත් දැන් ඔයාල දන්නවානෙ.

මම ඉස්කොලේ හතර වසරට ආපු ගමන් වගේ ඔය ඔක්කොම ප්‍රශ්ණ පැත්තක තියන්න උනා. ඒ වෙනුවට මට කොල වල අච්චු ගහලා දෙන ප්‍රශ්ණ වලට උත්තර ලියන්න සිද්ධ උනා. ඒ පහ වසර ශිෂ්‍යත්වයට සුදානමක් හැටියට.

ඔය කෙහෙල්මල් ශිෂ්‍යත්වය නිසා මගේ ජීවිතේ එහෙම්පිටින්ම වෙනස් උනා.

විට්ටර් මාමගේ එලු කොටුවෙ එලු යාලුවො ටික, ජයසිරි අය්යගේ පරෙය්යො ටික, නැග්ගම ඉබේම හෙලවෙන අරුම පුදුම පේර ගහ, චාලි මුදලාලිගේ ​පොල් වත්තේ අපිටම පදින්න හදලා තිබුණු පියන් දෙකේ ගේට්ටුව, ඉදලෙන් මට කියලා පිට කසාගන්න එක ඌරු පැටියා ඈක්මන්, කුරුම්බැට්ටි රොකට්, පොඩිකරල ලේ අරන් අම්මලාව බය කරන්න පුලුවං අරුම පුදුම තේක්ත දලු, රොබින් හුඩ් දීලා ගිය දුණු ඊ තල වගේම මගේ රොබින් හුඩ් සගයො ටිකත් සම්පුර්ණයෙන්ම වගේ අයින් කරන්න උනා.

ඒ වෙනුවට අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර පොත් මිටියයි, පහේ ශිෂ්‍යත්වයට ඉලක්ක කරපු රචනා සීයේ පොතයි, ප්‍රසාද් ලියනගේ මහත්තයා එවපු ශිෂ්‍යත්වය අනුමාන ප්‍රශ්ණ සහ පිළිතුරු ඈතුලත් ප්‍රශ්ණ පත්තර පොට්ටනියකුයි මට තෑගි ලැබුණා.

ඔයදවස් වල ගණං හදලා, ප්‍රෙහෙලිකා පුරෝලා, උක්ත ආඛායාත පද ගලපල රචනා ලියලා දිනපතාම මගේ ඔලුව අවුල් වෙමින් තිබුනේ.

මේ තත්වය නිවාඩු දවස් වලට තවත් බරපතල වෙනවා!

නිවාඩු දවසක උනත් උදේම නැගිටලා මූණ හොදගෙන දෙන දෙයක් කාලා අම්මා ඈවිත් එදාට නියමිත වැඩ දෙනකං බලං ඉන්නවා

ඉතිං ඊට පස්සෙ එකතු කිරීම්, අඩු කිරීම් නං මදැයි,

අනුලගේ අතේ පේර ගෙඩි දොලහක් තිබුනා ඒක මගේ අතේ තිබුණු පේර වලින් 15%ක් නං ඔක්කොම පේර කීයද?,

නැත්තං එක පාදයක් අයින් කරපුවාම රූපයේ චතුරස්ර කියක් හැදෙනවද
?,

එහෙමත් නැත්තං මිනිස්සු පස් දෙනෙක් කපන ගහක් එක මිනිහෙක්ට කපන්න කොච්චර කල් යනවද?
වගේ කිසිම තේරුමක් නැති ප්‍රශ්ණ වලට උත්තර ලියන මට,


'මම හේතු හාමි' නැත්තං 'අපි අපේ ගමේ ගම්මු ' වගේ සිංහලේ එන සරළ ව්‍යාකරණ නීති වලට අමතරව තෝ, තොපි , නුඔ, නුඹලා, වලිං පටන් අරං හූ,හි, වලිං ඉවර කරන වාක්‍ය වලට උත්තර ලියන්න වෙනවා.

ඒ විතරක් නං මදැයි, ලෝකේ උසම කන්ද
මොකක්ද?, ගිණිපෙට්ටියෙ තියෙන කුරු ගාන කීයද? වගේ මෙලෝ රහක් නැති ප්‍රශ්ණ වලට ඊලගට උත්තර හොයන්න ඕනි. ඔය වගේ බරපතල ප්‍රශ්ණ වලට උත්තර හොය හොයා ඉද්දි මගේ මොලේ කොච්චර නං අප්සෙට් යනවද කියනවනං පහෙන් දෙකක් අඩුකලාම කියද කියලා ඈහැව්වොත් උත්තරේ ''සිකුරාදා'' කියන තත්වෙට මං පීචං වෙනවා.

උත්තර ලියලා අංඥකොරොස් වෙලා මොලේ හිර උනාම මං කරන්නෙ පනින්න අත්තක් නැතිව ඉන්න රිලවා වගේ ඉස්තෝප්පුවෙ බිම දිගාවෙලා මොලේ බුරුල් වෙන්කං ඉන්න එකයි.

ඔය පහලිං තියෙන්නෙ ඊට අදාල රූප රාමුව.



ඔහොම ඉන්න එක දවසක මට අරුම පුදුම සිද්දියකට මූණ දෙන්න උනානේ.

ඒ කතාව මට ඊලග දවසෙයි කියන්න වෙන්නෙ.

මං මීට කලිං මගේ කතා කුට්ටි කරලා කෑලි කෑලි දාලා නැති උනත් නොවැලැක්විය හැකි හේතුවක් හින්දා මට අද ඉතුරු ටික ලියන්න බැරි වෙන හැඩයි.

අද ඔයාලා මේ ටික කියොලා ඔය පහල තියෙන කොටුවෙ ආපු බවට එක දාලා යන්න. හැකි ඉක්මනිං ආයෙ ලියනවා මේකේ හොදම හරිය!




2010/03/07

ටොපි කොල හතලි​හේ කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුනු තව තැනක්

හමුදාවේ ඉන්න කාලේ මට වෙච්ච කතා ලියන අතරතුරෙදී මට හිතුනා මං පොඩ් එකා කාලේ වෙචිච සිද්ධි ටිකකතුත් කියලා දාන්න ඕනි කියලා.

බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරම් ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා! එහෙම විසදගන්න බැරිඋනු ප්‍රශ්ණයක් ගැන මම පහුගිය දවසක කිව්වා. ඒක කියොල නැත්තං මෙතනිං ඒක කියවන්න පුලුවං.

මේ සිද්දිය උනේ මං ඉස්කෝලෙ තුන වසරෙ ඉන්න කාලේ.

කතාව කියන්ඩ කලිං අත උස්සන්ඩ බලන්ඩ පොඩි කාලේ ටෝපි කන්ඩ අකමැති වෙලා හිටපු අය ?

මම නං පොඩි කාලේ ටොපි කන්න මාර ආසයි. ඔය ටොපී නිසා මට පොඩි කාලේ සෑහෙන අකරතැබ්බ ගොඩකට මූණ දෙන්න වෙලා තියෙනවා. මේ තියෙන්නනෙ ඒවලින් එකක්.

මම තුන වසරෙ ඉන්න කාලේ මගේ ටෝපි ලොකේ රජ කරගෙන හිටියෙ ''යමී'' කියලා ටොපී ජාතියක්.

ඔය ටොපී කම්පැණියෙන් ඒ දවස් වල තරගයක් තිබ්බා. යමී ටොපි කොල හතලිහක් එවලා තෑගී දිනා ගන්න කියලා.
ඔන්න බොලේ මම කාපු ටොපී කොල වලටත් වටිකනමක් ඈවිත්. මම තාත්තට මම කාපු ටොපි වල කොල දීලා තරගෙට දැම්මා.

කාලේ ගෙවිලා ගියා. මට තරගෙ අමතක උනා.

හැබැයි, එක දවසක් උදේ ඉස්කෝලෙ ගිය වෙලාවෙ මගේ පන්තියේ යාලුවො දෙන්නෙක් ඈවිත් '' අන්න ඔයාට ලොකු මහත්තයා එන්න කිව්වා. (ඒ කාලේ අපි ප්‍රින්සිපල් සර්ට කිව්වෙ ලොකු මහත්තයා කියලා). උන් දෙන්නා හොදටම බය වෙලා. ​ලොකු මහත්තයා එන්ඩ කියන්නේ ඉතිං මොකක් හරි නඩුවක් විසදන්නනේ. මමත් හොදටෝම බය උනා. ඈයි බොලේ මටවත් මතක නැති මං කරපු වැරැද්ද මොකද්ද කිලා හිත හිතා මම ඔපිස් එකට ගියා.

මොනවා............ වෙනදට යකා වගේ ඉන්න අපේ ලොකු මහත්තයා කටේ ඉතුරුවෙලා තියෙන දත් ඔක්කොම මට පෙන්න හිනා වෙලා ඉන්නවා.

මම ගිහිං සර්ගෙ මේසෙ ගාව හිටගත්තා,

''පුතා..... මොකක් හරි ටොපි තරගෙකට ටොපි කොල යැව්වද?''

අනාතයි. අපේ ලොකු මහත්තයා කියාලා තියෙන්නේ ටොපී කනවා දැක්කොත් පස්ස පැත්තෙ හම වේ වැලට එනකං වේ වැල් පාර දෙනවා කියලා. එහෙම තියෙද්දි මං ''ඔව්'' කියන්න යෑ. මම ලොකු මහත්තයා දිහා බලන්නැතුව එයාගෙ මෙසෙ උඩ තියෙන ලෝක බෝලේ තියෙන රටවල් හෙව්වා.

''පුතාට ඒකෙන් සැනසිලි තෑග්ගක් ඈදිලා තියෙනවා. මේ මහත්තයා ඈවිල්ල ඉන්නෙ ඒක පුතාට දිලා යන්න.''

මහත්තයත් එයාගේ තියෙන දත් ඔක්කොම එලියට දාං මං දිහා බලං ඉන්නවා. මට එයාගේ දත් වලින් වැඩන් නැති හින්දා මගේ තෑගී දිහා බැලුවා. ශා........... සීල් කරපු ඉටි බෑග් එකක දාපූ කහම කහ පාට ටී ෂර්ට් එකයි නිල්ම නිල් පාට කැප් එකයි. මාරයි මේ ඔක්කොම මටද කොහෙද?

''අනේ පව් මේ මහත්තයා කොළඹ ඉදං ඈවිල්ල ඉන්නෙ මට තෑග්ග දීල යන්නමද කොහෙද?''
මම ඉක්මනට මහත්තයා ගාවට ගියා.

''පුතා දැං යන්න. අපි තෑග්ග, ඉස්කෝලේ පටන්ගද්දි තියෙන රැස්වීම වෙලාවට දෙන්නං'' ලොකු මහත්තයා කියපි.

එතන ඉදං රැස්වීම පටන් ගන්නකං මට හිතන්න ගොඩක් දේවල් තිබුනා.

එක ටොපියක්වත් කන්ඩ එපා කියලා තියෙද්දි ටොපි හතලිහක් කෑවා කියලා ලොකු මහත්තයා දැන ගත්තොත් මගේ හම රැස්වීම වෙලාවෙදීම වෙවැලට ගන්නවා ශුවර්. ඒත් ඉතිං ටොපී කෑවෙ නෑ කිව්වොත් අර මහත්තයා මගේ තෑගි ටිකත් අරං යන්ඩ යයි. මගේ මොලේ ආයෙත් හිරඋනා.

රැස්විම පටන් ගත්තා.

ලොකු මහත්තයායි අර ටොපී මහත්තයයි දෙන්නා අපේ ඉස්කොලේ අනිත් සර්ල මිස්ල අතරිං ඈවිත් අපිට ඉස්සරහිං තියෙන රතු තීන්ත ගාපූ සිමෙන්ති ස්ටේජ් එකට නැග්ගා.

අදනං මුලු ඉස්කොලේම ඉස්සරහා මගේ සායම විතරක් නෙමේ හමත් ගැලවෙන වැඩක් වෙන්නයි යන්නේ. මේ ටොපී මහත්තයත් මෙ මගුල උස්සං ඉස්​කෝලෙට ආවෙ මොකද මන්දා. මම තරගෙට දැම්මෙ ගෙදර ඉදලනේ!

'' අද අපේ ඉස්කොලෙට විසේස දවසක්........ කියලා අපේලොකු මහත්තයා කතාව පටං ගත්තා. ඊට පස්සේ එයා මොන මොනවද ගොඩාක් කියනවා මම දැක්කත් මම හිටියේ,
''ටොපී කෑවා කියලා තෑගි අරං හම නැතුව ගෙදර යනවද? නැත්තං ටොපී කෑවෙ නෑ'' කියනවද කියන දෙගිඩියාවෙන්.

''අන්න ඔයාට කතා කරනවා'' කොල්ලෙක් මාව තල්ලු කරපි.

මම ඉස්සරහට ගියා. කකුල් හරිම බරවෙලා නොවැ. එක කකුලක් උස්සලා අනික තියන්න හරිම අමාරුයි. ඒත් කොහොම හරි නැග්ග ස්ටේජ් එකට. නැගල ළමයි ඉන්න පැත්තට හැරුනා. බුදු අම්මෝ අපේ ඉස්කෝලෙ ඉන්න ළමයි ගොඩ. අපේ පන්තියේ ළමයි විතරක් නෙමෙ මුලු ඉස්කෝලෙම ළමයිනුයි, සර්ල මිස්ලයි, ඔක්කොම මා දිහා බලං ඉන්නවා. මගේ මොලේ ආයෙත් හිරවෙන ගතියක් ආවා.

ටොපී මහත්තයා, ලොකු මහත්තයා දිහා බලල '' අරක අහන්ඩ'' කියන බැල්මක් දැම්මා.

ලොකු මහත්තයා,
''පුතා කියන්ඩ බලන්ඩ මේ ටොපි කොල හොයා ගත්තෙ කොහෙන්ද කියලා?''

මට තෑග්ගත් ඕනෙ මගේ හමත් ඕනෙ,
'' අපේ තාත්තා විට්ටර් අංකල්ගෙන් ටොපි කොල වගයක් ඉල්ලං ඈවිල්ල තරගෙට දැම්ම'' මම ටිකිරි බොරුවක් කිව්ව.

මගේ කතාවෙන්, උදේ ඉදං ටොපී මහත්තයාගෙ කට පුරා තිබිබ හිනාව එක පාරටම අඩු උනාද කොහෙද?

ටොපී මහත්තයා ආයෙත් ලොකු මහත්තයා දිහා බැලුවා.

ලොකු මහත්තයා ''එතකොට ඉතුරු කොල ටික හොයාගන්න ටොපී කෑවා නේද පුතා'' කියලා ආදරෙන් මගේ පැත්තට බර වෙලා ඈහැව්වා.

වැඩිහිටියන්ට බොරු කියන එක නරක පුරුද්දක් නිසා මම ''ඔව්'' කියන්න ගියත්, ඒ වෙන කොටත්, '' නෑ ලොකු මහත්තයා. මං ඒවා විට්ටර් අංකල්ගේ කඩේ මිදුලෙන් අහුලගත්තා'' කියලා මටත් වඩා තෑගි වලට ආසාවෙන් හිටපු මගේ කට කියලා තිබුණා.

එක පාරට මුලු ඉස්කෝලෙම දෙදරන්න, ළමයිනුයි, මීස්ල සර්ලයි, ලොකු මහත්තයයයි හිනා වෙන්න ගත්ත. මමත් ​හරිහමං හේතුවක් නොදැන ඔහේ හිනා උනා. ඒ හිනාවට මගේ මොලේ හිරවෙච්ච ගතියත් අඩුවෙලා ගියාද කොහෙද?

ඒ එක්කම මම ටොපී මහත්තා දිහා බැලුවා. එයා ජයසිරි අයියා ලග ඉන්න කොමොන් පරෙයියෙක් වගේ, තෑගිත් අතේ තියාගෙන, දත් ටිකත් එලියෙ දාගෙන ලොකු මහත්තයා දිහායි සර්ලා මිස්ලා දිහායි ඔලුව හරෝ හරෝ බල බලා ඉන්නවා මං දැක්ක.

මම හිතන්නෙ ඔයාලටත් මේ වගේ මොලේ හිරවෙන කේස් ඕන තරං වෙලා ඈති. එහෙම එකක් මතක් උනොත් ඔය පහලිං ලියන්ඩ මටත් කියවන්න. :)
















2010/03/04

සින්ඩියේ කට්ටියක් සයිබර් යායට ගිය කතාව !

ඔන්න සයිබර් යායෙන් මං ආපහු ආවා. අදට සයිබර් යාය සින්ඩිටය​ට ඈවිත් හරියටම මාසයක්. ඔය තියෙන්නෙ සයිබර් යායෙ රස කතා කියෝලා කොමෙන්ට් දාපු කට්ටියක් සෙට් වෙච්ච වෙලාවක්, ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයට නගපු ආකාරය!

දැං ඉතිං මවුස් එකේ රෝදෙ කරකෝ කරකෝ චිත්‍රෙ හොයන්නෙ නැතුව මේ ටිකත් කියෝගන හිමිං සීරුවෙ යන්ඩ. එතකොට චිත්‍රෙ හම්බවෙයි.

මම සින්ඩියට ආවේ 2010 -02-04 වෙනිදා. හැබැයි ''පුදපු ගමක් කාපි යකා'' කියන්නා වගේ එදා මගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්න බැරි කේස් එකක් ඈවිල්ල තිබුණා. ඒක නිසා හැමොටම සින්ඩියේ හිටපු අයගෙන් ලැබෙන සුබ පැතුම් කොමෙන්ට් එකක්වත් මට ලැබුනේ නෑ.

ඒත් ඉතිං ඊට පස්සේ දාපු ​පොස්ට් වලට නං බඩ කට පුරා කොමෙන්ට් තිබ්බා. මට ලැබුණු පළමු කොමෙන්ට් එක දාලා තිබුනෙ Gavels. එදා ඉදං අද වෙනකං දවස් 30ට කොමෙන්ට් 120 කට වැඩිය ලබා දුන්නු අයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා!

මේ සංසාර ගමනේ මගේ පෝස්ට් එකක් පළමු වතාව​ට share කරලා මාධව හබරකඩ ලොකු පුන්‍ය කර්මයක් කරගෙන තිබුණා. අදට ෂෙයාස් 30 පැනලා තියෙනවා.

මගේ චිත්‍ර දැකලා ඒවා අගය කරපු දුකා, උඔටයි මේ ​මගේ ප්‍රණාමය! ඔන්න පිළිගනිං.

රටවල් 12 කිං විසිටස්ලා 1286 යි. බ්ලොග් එකේ පිරිවරට 31ක් එකතු වෙලා ඉන්නවා. ඉතිං මේ ඔක්කොම එක්ක බලද්දි මට මාර කික්.

ඈත්තම කියනවනං සයිබර් අඩවියේ අතරමං වෙලා මගේ බ්ලොග් එකේ එකම රසිකයා මං වෙලා ඉද්දි මටම එපා වෙලා තිබුනේ. මේ ඔක්කොම වෙනස් උනේ මම සින්ඩ්යට ආපු නිසා. ඒකට මම සින්ඩ්යේ මහත්වරුන්ට ගොඩාක් ස්තුතිවන්ත ​වෙනවා!

ඊට අමතරව සින්ඩ්යෙන් මට හොද සයිබර් යාලුවො සෙට් එකකුත් හම්බ වෙලා තියෙනවා. සමහරු මමත් එක්ක කතාබහ කරන්න පුද්ගලික ඊ-ලිපිනයන් පවා ලබා දිලා තිබුණා. මං අදින විත්‍ර අගය කරලා තිබුණා. නිවැරදිව ටයිප් කරන හැටි කියලා දීලා තිබුණා. ඉතිං ඒ වගේ දේවල් නිසා මං මේ දවස් වල මාර තෘප්තියකින් කාලය ගත කරතවා.

මගේ පෝස්ට් වලට කොමෙන්ට් කරපු, දිගමට ලියන්ඩ කියලා මාව අගයපු සියලු දේනාටත් සින්ඩියට ඈවිත් මාසයක් සම්පූර්ණ වෙන මේ වෙලාවෙ මං ආයෙත් ස්තුතිවන්ත වෙනවා!

''මොන මගුලකට ද බං උඹ ඹච්චර රෑ වෙනකං කොම්පියුටරේ ලග නිදිමරන්නේ?'' මගේ හිත මගෙන්ම අහනවා.

''එහෙම තමයි බං! ඔය ඉන්දරෙත් කියලා තියෙන්නෙ, කොච්චර කරත් මේ බ්ලොග් කෙරුවාව එපා වෙන්නෙ නැති හැටි ! කියලා'' මම හිතට කිව්වා.

අන්තිම ටික.....

ඔය චිත්‍රෙ දිහා බලල සමහරු තරහවෙයිද දන්නෑ. මම මුලිං හිතං හිටියේ මාසයක් සමිපූර්ණ වෙන දවසේ මගේ බ්ලොග් එකට ආපු ඔක්කොමල්ලවම කාටුන් කරලා දාන්න. ගැනල බලපුවාම 100ත් පැනලා. ඉතිං මට තියෙන වැඩත් එක්ක 100ක් අදින්ට ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නැහැ. අනික මගේ මැෂිමෙ තීන්තත් ඉවරවෙයි. (බබා) ඒක නිසා අහඹු ලෙස තෝරගත්තු 9 දෙනෙක්ව මට පුලුවං හැටියට කාටුං කලා. ඒ කවුද කියලා අදුරගත්තොත් ඔය අංක පිළිවෙලෙට ලියලා දාන්න.

හරිය​ට 9 දෙනාවම අදුරගත්තොත් වටිනා තෑගි. (සභාවේ සිනා!) මේ කස්ටිය තොරන්න සින්ඩියේ ඔක්කොමට සහභාගි වෙන්ඩත් පුලුවං හොදේ! පේනවා පොඩි වැඩිනං චිත්‍රෙ උඩ ඩබල් ක්ලික් කරලා ඒක ලොකු කරගන්ඩ පුලුවං කියලා අමුතුවෙං කියන්ඩ ඕනෙ නැහැනෙ නේ?

එහෙනං ඉදිරියේ දී තවත් රසකතාවකින් සෙට් වෙමු. එතෙක් ඔබ​ට සාමය සතුට පිරි සුබ කික් එකක් වේවා!









Related Posts with Thumbnails