බොහොම ඉස්සර කාලේ මගේ පූංචිම කාලේ මගේ ලොකෙ පිරිලා තිබුනෙ තනිකර ප්‍රශ්ණ වලින්. මොන දේ කෙරුවත් මොන දේ බැලුවත් හැමදාම මට ගනන් කර ගන්න බැරි තරම් ප්‍රශ්ණ ගොඩාක් විසදගන්න බැරුව ඉතිරි වෙනවා කියලා ඔය මං ලියපු කතන්දර කියෝපු අය දැං හොදාකාරවම දන්නවනේ.
ඒ කතා කියෝපු අයටයි මේ අලුත්ම සිද්දිය කියන්නෙ.
එදා මං කිව්ව
කදිර පෝතක කතා වස්තුව කියෝපු සිරිබිරිස් (සිරිබිරිස්ගෙ Link එක හොයාගන්න බැරි විය.) නං බලං ඉන්නෙ මං අර පුදුම පේර ගහේ කතාවයි, වාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුව ගැනයි කියන්නෙ කවදද කියලලු! ඒ කතාව ලගදීම කියනවා.
මකර රජදහනේ මකර අධිරාජ්‍යයා චානක දාලා තිබුණු කමෙන්ට් එකක් හින්දා මට අමතක වෙලා තිබුණු තවත් කතන්දරයක් මතක් උනා. ඔන්න ඒ
කමෙන්ට් එක නිසා මතක් වෙච්ච කතාවත් මම මගේ මතක ගබඩාවේ තැන්පත් කරගත්තා පස්සෙ දවසක කියන්න.
හරි ඔන්න අද කතාව.
මේකත් ඉතිං ඔය දෙයියො නිකං දුන්නු අතපය තොසන්ඩාල වැඩකට පාවිච්චි කරන්න ගිහිං වෙච්ච ඈබැද්දියක්.
ඔයාලට මතක ඈතිනේ චාලි මුදලාලි අපිටම කියලා හදපු පියන් දෙකේ ගේට්ටුව. ඔය පියන් දෙකේ ගේට්ටුවට අමතරව අරුම පුදුම දේවල් ගොඩක් චාලි මුදලාලිගේ වත්තෙ තිබුනා. ඈත්තමට ඒක වත්තක් නෙමේ අපිටම හදපු පාරාදීසයක්.
චාලි මුදලාලිගෙ වත්තෙ තිබුනු දේවල් වලින් විල්බට් මාමගේ ගෙදරත් විශේෂ තැනක් ගත්තා. විල්බට් මාමා තමා චාලි මුදලාලිගේ වත්ත බලාගන්නෙ. එයාලගේ ගේ ලගම තියෙනවා ජයසිරි අයියගේ පරෙවි කූඩු ටික. මතකනෙ ජයසිරි අය්යව. ජයසිරි අයියා විල්බට් මාමගේ පුතා. විල්බට් නැන්ද ජයසිරි අයියගෙ අම්මා. අර මං එදා කිව්ව නැග්ගහම ඉබේම හෙලවෙන පේර ගහ පිහිටලා තිබ්බෙ ඔය ඔක්කොටම ඉස්සරහින්.
ගුගල් කාරයෝ ගුගල් අර්ත් හදන්න හිතන්නත් කලිං මං චාලි මුදලාලිගේ අක්කර දහයේ පොල් වත්ත මගේ හිතේ සිතියම් ගත කරගෙන හිටියා. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.

හරියටම කියනවනං ඔන්න දැනුයි කතාව පටන් ගන්න යන්නෙ.
මම පුරුදු විදිහටම වාලි මුදලාලිගේ පාරාදිසෙ පැත්තෙ ගියේ, ඉස්කෝලෙදි කතා කරගත්තු විදිහට, වාලි මුදලාලි ආදරයෙන් හදා වඩා ගන්න කෙසෙල් කොරටුව අපේ සේවුඩ් වනාන්තරේ හැටියට පරිස්සමින් පාවිච්චි කරල, අන්තිමට බලපු රොබින් හුඩ් කතාව අයෙත් ඈට් කරන්න හිතාගෙන.
කෝ ඉතිං තාමත් සේවුඩ් වනාන්තරෙට යන්න මගේ අනිත් සගයො නැහැ නොවැ.
මම කොහේ ගියත් යන්නෙ මගේ ගුඩු පොල් වෙහිකල් එකෙන්. ඒ කියන්නෙ ගුඩු පොල් කරත්තෙන්. ඒක තාත්තා හදලා දුන්නෙ ගුඩු පොල් ගෙඩි දෙකකින්. ඒකේ මැද පොල්ලට විට්ටර් මාමගේ කඩෙන් ඉල්ල ගත්තු හිස් සුරුට්ටු පෙට්ටියකිං මම ඩිකියක් එහෙම දාලා වෙහිකල් එක පුල් ඔප්ශන් කරල තිබුනෙ. පස්සෙ ප්‍රයෝජනේට ගන්න ඕන වෙයි කියලා හිතෙන ඕනම දෙයක් මං ඔය ඩිකියේ දා ගන්නවා.
මගේ සගයෝ තාමත් නැති නිසා මම ඉතිං වැල කැඩිච්ච ටාසන් වගේ ඔහේ පා වෙවී හිටියා.
ඔන්න ඔහොම ඉන්නකොට විල්බට් මාම එනවා හරක්ට බොන්න වතුර ඈදලා ටැංකිය පුරවන්න.
ඔය විල්බට් මාම ඉදලා හිටලා චාලි මුදලාලිගෙන් ලකුණු දාගන්න,
'' අන්න මුදලාලි අර රිලව් ටික අදත් ඈවිල්ල ගේට්ටුව ගලවන්න හදනවා''
නැත්තං,
'' අන්න මුදලාලි අරුං ටික අදත් කෙසෙල් කොටුව දෙක කරනවා'' වගේ පොඩි පොඩි කේලං කිව්වට මිනිහා හරි හොද එකා.
ඔය විල්බට් මාම දැක්කහම කවදත් මට මතුවෙන ප්‍රශ්නෙ තමා එයාගේ නලලයි ඔලුවයි වෙන්වෙන්නෙ කොතනින්ද කියන එක. මොකද විල්බට් මාමට නලල වෙන් කරගන්නවා තියා බේතකට වත් ගන්න ඔලුවේ කෙස් ගහක් නැහැ.
'' ආ............... පුංචි මහත්තයට අපුරු වාහනයක් හම්බ වෙලා තියෙන්නෙ, කවුද හදලා දුන්නෙ?'' විල්බට් මාම සැදෑ හිරු කිරණට දිලිසෙන තට්ටෙ වන වනා ඈහැව්ව.
''තාත්තා විල්බට් මාමෙ'' මං දකුණු උරහිස පාත් කරලා බොරු ලැජ්ජාවක් අරගත්තා.
''මල් හතයි. ජිල් පහයි නොවැ. හ්ම් හ්ම් '' කියාගෙන විල්බට් මාම ලිද දිහාට ගියා.
ඔන්න ඔය වෙලාවේ තමයි දෛවෝපගත සිතිවිල්ල මගේ මෝලේ කැළඹුවෙ!
''කුරුම්බැට්ටි රොකට් එකක් වත් හදලා උඩ යවපං මෝඩයෝ නිකං කාලේ කන්නෑතුව?'' මගේ හිත කිව්ව.
මං හොද කුරුම්බැට්ටියක් හොයා ගත්තත් හොද අමු ඉරටුවක් නැතුව කොහොම රොකට් එකක් හදන්නද?
හොද අමු ඉරටුවකට ලොකු කුරුම්බැට්ටියක් ගහලා කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල උඩ යැව්වම ඒක යනවා තිතක් වෙනකං.
ඉරටුවක් නැති තැන, මං වෙහිකල් එකේ ඩිකිය ඈරලා ගත්ත ''සොපිං'' බෑග් එකක්. ඒකට කුරුම්බැට්ටිය දාලා එක පාරක් කරකෝල අතඈරලා බැලුවා.
''ශා..... නියමෙට වැඩ. ඉරටු මොකටද, ඔය බැග් එකේ දාපු කුරුම්බැට්ටියත් යස අගේට පියාඹන්නෙ, ඒත් උඩටම යවන්න නං තව බර වැඩි කරන්න වෙයි වගේ................''
මං වටපිට බැලුවා මොනව හරි හොයාගන්න.
ආ..........
''උත්සහවන්තයා ණය ගනී කිව්වලු''.''ඔය තියෙන්නෙ මේකට කියාපු දෙයක්.''
අපේ චාලි මුදලාලි කොප්පරා මැස්ස ඉස්සරහට දාන්න ගෙනාව බොරලු! බොරලු ගොඩේ ''බොරලු කැට'' ඕන තරං තියනවා රොකට්ටුවෙ බරට පුරවගන්න.
මං ගිහිං සොපිං බැග් එකට ගානට කිරල මැනල බොරලු කැට පුරෝගත්තා.
''බොලේ මේ බොරලු කැට නිකං පැන්සල් උල් කරන කටර් එකෙන් උල් කරලා වගෙනේ! මුදලාලිටම හරියන බොරලු'' මං හිතුවා.
දැං වැඩේ කොම්පීලීට්. අයිතිහාසික බොරලු රොකට්ටුව උඩ යවන්න ඔක්කොම ලෑස්තියි.
මං කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල, කරකෝල මගේ මුලු හයියම දාලා බොරලු රොකට්ටුව ගුවං ගත කලා.
ශා......... ඔය යන්නෙ පිඔගෙන. ඉරටු රොකට් එක වගේ නෙමෙ මේක මාර ලස්සනයිනේ. බොරලුත් අරං උඩ යන රොකට් එක ''සිලිසිලි'' ගගා සද්දෙද් දාගෙන පිඔගෙන පොල් රුප්පාව තරණය කලා.
''තව මොහොතකිං ආයෙත් ඒක කොහෙන් හරි මතු වෙයි පොලොවට ගොඩ බහින්න'' කියලා හිතද්දිම මම දැක්කා රොකට්ටුව ආපහු එනවා.
අම්මා....... බොරලු රොකට්ටුව යකා වගේ පිඹගෙන කෙලගෙන එනවා පොලවට.......මං නිකමට වගේ රොකට් එකේ ඉදං පොලොවට හිතෙං ඉරක් ගහලා බැලුවා. මේක කොහාටද ගොඩ බහින්න හදන්නෙ කියලා.
අප්පට සිරි........මල හත්ඉලව්වයි........ මලම මල හත්ඉලව්වයි!ඉර හරියටම ඉවර වෙන්නෙ හරකුන්ට බොන්න වතුර පුරෝ පුරෝ ඉන්න විල්බට් මමගේ තට්ටෙ හරහා. ඒ කියන්නෙ අර උල්ම උල් කැතම කැත බොරලු කැට පුරෝපු රොකට් එක විල්බට් මාමගේ තට්ටෙට ගොඩබස්සන්නයි මේ හදන්නෙ!
මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මගේ මොලේ හොදටෝම හිරවුනා.
මම ''බුදු විල්බට් මාමේමේමේමේ'' කියලා කෑ ගහන්න හදන කොටම රොකට් එක ''ව්රස්'' ගාලා ලෑන්ඩ් කලේ නැතෑ විල්බට් මාමගේ තට්ටටෙම.
හීනෙකිං වත් හිතපු නැති මේ ගුවන් ප්‍රහාරය වැදිච්ච විල්බට් මාමා ''ඈහ්ක්'' ගාගෙන ඔලුව අල්ලං එතනම ඉදගත්තා. මං හිතන්නෙ ඉද ගත්තා නෙමේ, ඉන්ද උනාද කොහෙද! මිනිහා විතරක් නෙමේ මිනිහගේ වතුර බාල්දියත් බයවෙච්ච පාර පැත්තකට පැන්නා.
ඕක දැකපු මගේ සරීර කුඩුවත් පොල් ගහක් පල්ලෙ ඈදගෙන වැටුනා විල්බට් මාම වගේම. විල්බට් මමගේ ඔලුවෙන් පිටවෙන්න ඕන තරුයි, කොම්බුයි, පැණි කුරුල්ලොයි ඔක්කොම මගේ ඔලුවෙන් පිට උනාද මන්ද? මට කැරකිල්ල වගේ ඈල්ලුව.
මේක ඉතිං එසේ මෙසේ ගුවන් ප්‍රහාරයක් යැයි, '' බර අවිත් එක්කම මුලු යානාවමනේ විල්බට් මාමගේ ඔලුවට කඩා වැටුනේ'' විල්බට් මාම ඔලුවේ අත තියාගෙනම උඩ බිම බලනවා මේ ප්‍රහාරෙ ගැන ඔත්තුවක් හොයාගන්න.
දැං ඉතිං මං ඉවරෙටම ඉවරයි. මේ හරියෙ විල්බට් මාමයි මමයි ඈරෙන්න බල්ලෙක්වත් නෑ. මම නිකම්ම මාට්ටු වෙයි වගේ.
''නැගිටලා දුවපං යකෝ'' මගේ හිත කිව්වා.
මොන දුවනවද, කකුල් දෙකත් මේ වෙලාවෙම මට වලංගු වෙන්නෙ නැහැ නොවැ. දණිස් දෙකත් අරියාදුවට වගේ දගලනවා.
මම පුලුවං දහිරිය දාලා නැගිට්ටා. නැගිටලා පුලුවං තරං හයියෙන් දිව්වා! මගේ වෙහිකල් එකත් දාල දිව්වා!! දුවන වේගෙ වැඩි කරන්න හිතාගෙන ඔලුව දෙපැත්තට වන වනා තව තවත් වේගෙන් දිව්වා!!!
වාලි මුදලාලිගේ පියන් දෙකේ ගේට්ටුවත් පහුකලාට පස්සෙ මම ආයෙත් හැරිලා බැලුවා විල්බට් මාම දිහා.
විල්බට් මාම මම දාලා ආපු මගේ වෙහිකල් එක දිහා, බයවෙලා වගේ බලං ඉන්නවා මං පොල් ගස් අතරින් චූටියට දැක්කා!

ඔන්න ඔහොමයි මගේ පළමු නව නිර්මාණය වෙච්ච බොරලු රොකට්ටුවේ අත්හදා බැලීමේ ව්‍යාපෟතිය අවසන් උනේ. මං හිතන්නෙ ඔයාලටත් මේ වගේ අද්දැකිම් ඈති නේද?