ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/12/22

චුටි මහත්තයා හේන් ගොවියෙක් වෙයිද? | සිත්තර ඇතුලේ......!

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?"

"කළගෙඩියක්....." ඒක ඇහිච්ච තාත්තා ඇහැව්වා.

"ඕ......මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ....!"

"හේනක් කරන්ඩ....ඒ මොකෝ....එතකොට හමුදාවට යන්නැද්ද.....?" තාත්තා මං දිහාට කඩපු කජු පුහුලමකින් ගහන ගමන් අම්මගෙන් ඇහැව්වා. එයා හිටියෙ අපිට ටිකකට එහායින් කජු ගහ පල්ලෙ "යසිකා" කැමරාවත් කරේ එල්ලගෙන.

"ඔය ලොකු අක්කලා වතුර දානවා බලං ඉඳලා වෙන්ඩැති....මෙයාටත් වතුර කිව්වොතිං ඉතිං......"

"චුටි මහත්තයට පුලුවනෑ.....උදේ ඉදං දවල් වෙනකං අර විදිහට වතුර අදින්ඩ...." තාත්තා පොටෝ එකක් අල්ලන්ඩ දෙයක් හොයන ගමන් කියලා දැම්මා.

"අන්න බලන්ඩකො අම්මේ තාත්තා මං ගැන හිතාගෙන ඉන්න හැටි.....!" මම අත් දෙක ඉනට තියාගෙන තරහ ගිහිං වගේ මූණ හදා ගත්තා.

"ආ......හරි හරි පුලුවන්නං කමන්නැ...."

"ආං....ඒකනෙ. බලන්ඩකො ඒ ගොල්ලං කොච්චරවත් වතුරෙමනෙ. ඕං මටනං බෑ ලොකු වෙලා තාත්තා වගේ කන්තෝරුවට වෙලා රස්සාවක් කරන්ඩ......" මම තාත්තා මට ගහපු කජු පුහුලම අරං තැඹිලි ගහට ඉලක්කෙ ඇල්ලුවා.

"හා...හා....බලමුකො එහෙනං..."

ඇත්තටම දෙක වසරට හරි, තුනට හරි එනකල්ම ලොකු වෙලා කව්රු වෙනවද කියලා හරි අදහසක් මට තිබුනේ නෑ. මුලින්ම මම හිතාගෙන හිටියේ එඩ්වඩ් ජයකොඩි මාම වගේ කොන්ඩේ ගොඩාක් වවාගෙන සින්දු කියන්න. පස්සෙ පස්සර නැන්දලාගෙ ගෙදර යන්න කෝච්චියෙන් බදුලු යද්දි, තාත්තා එන්ජින් මාස්ටර්ව පෙන්නුවට පස්සෙ මං හිතාගත්තා ඒ රස්සාව තමා මට හරියන්නෙ කියලා. අර සුදු පාට කොස් ඇට මීයෙක් තැගි දුන්න අපේ බාප්පා වගේ නැවක රස්සාවක් හොයාගන්ඩත් හිතෙ තිබුනා කාලයක්. ඒත් ඒ ඔක්කොටම වඩා හොඳයි හමුදාවට යන එක කියලා තේරුනේ එක දවසක් අපිව බස් එකෙන් බස්සලා ඒ ගොල්ල බෑග් සෝදිසි කරන්ඩ ගත්තමයි. ඉතිං මමත් ලොකුවෙලා හමුදාවට යන්න හිතාගත්තා. හමුදාවේ ලොකු මහත්තයට කියලා කොහොමහරි බෑග් චෙක් කරන අංසෙට ගියොත් වැඩේ හරි. එතකොට මට හිතෙන හිතෙන අයගේ බෑග් වල මොනාද තියෙන්නෙ බලන්න පුලුවන් වෙයි. බාග වෙලාවට පාට පාට පෑන්, තුල් මාරු කරන පැන්සල්, මැකුවාම සුවද හමන මක්ක කෑලී, එක එක ස්ටීකර් ජාති උනත් ඒවයේ තියෙන්ඩ පුලුවනි.

ඒත් මේ නිවාඩුවට අපි ලොකු නැන්දලාගෙ දිහා ගියානෙ. එහෙදි තමා මට හිතුනේ මම කවදම හරි හේන් ගොවියෙක් වෙනවා කියලා. හේන් ගොවියෙක් වෙන එක අනිත් හැම රස්සාවකටම වැඩිය නියම රස්සාවක්. කවදහරි ලොකුවෙලා හේනක් කරන්න තියෙනවා නං එයා හරි ලක් කාරයෙක් තමා.

හේනෙ වවලා තියෙන දේවල් දැක්කාම මට එක පාර කැරකිල්ලට ආවා. එච්චර එලවලු පළතුරු ගොඩාරියක් මම කවදාවත් එක තැනකදි දැකලා තිබුනේ නෑ.

වැටෙන් ඇතුල් වෙන තැනම තියෙන්නෙ මාලු මිරිස් යායක්. මාලුමිරිස් කරල් යායට දිලිසි දිලිසි තියෙනවා. ඊට පස්සෙ වම්බටු. තක්කාලියි, ළුණු ගසුයි තිබ්බෙ මැදට වෙන්ඩ. කෙරෝලෙම බඩ ඉරිඟු යාය. අනිත් පැත්තෙ මිදි. මිදි පොකුරු හිටියෙ ඒවාට එල්ලිලා ඉන්ඩ හදලා තිබුනු මැස්සවල් යටින් රිංගලා හුලඟට හරි බරට පැද්දි පැද්දියි. පේන තෙක් මානෙක තිබුනේ මේ වගේ බෝග වර්ග. ඈත වැට මායිමේ කෙහෙල් යායක්. කෙහෙල් ගස් ගැනනං ඉතිං දන්නවනේ........ ඒ ඇරුණම ගොවිතැන් කරලා නැති හරියවල් වල තිබුනා ලොකු කජු ගස්. ඒ ගස් යට කජු අහුලලා ගස් යටම පුච්චලා කෑවයි කියන්ඩ පුලුවන් සලකුණු හැම තැනම තිබුනා. කජු ගස් වල මායිමෙන් මාමලාගෙ ඉඩම ඉවර වෙද්දිම අනිත් අයගේ හේන් පටන් ගන්නවා.

"අපි දැං මේවට වතුර දාන්නයි යන්නෙ....." ලොකු මාමා මගේ කල්පනාව බින්දා.

"මොනවා මේ ඔක්කොටම......."

"නැතුව....." බට්ටි අක්කා කට දැම්මා.

"මගේ අම්මො...." පැලේකට දෙකකට වතුර දාලා තිබුනට මේ පේන තෙක් මානේ තියෙන හැම ගහකටමට වතුර දානවා කියන එක මම කො‍හොම විස්වාස කරන්නද?

ඉස්සරින්දා නැන්දලාගෙ ගෙදරට ආවට, හවස් උන නිසා අපි හේනට ආවේ පහුවෙනිදා උදේ.

අපි එද්දි උමබලකඩ දාලා හදපු ලුණුමිරිස් එක්ක කන්න රොටියි, තේ වතුරයි අරං ඇවිල්ලා තිබුනෙ.

මට හේන් ගොවියෙක් වෙන අදහස මුලින්ම ආවේ ඒගොල්ල පැල වලට වතුර දාන්ඩ පටන් ගත්තම. මාමලා, නැන්දලා උදේම නැගිටලා කෑම හදාගෙන ඒවත් අරගෙන ඒ ගොල්ලන්ගෙ ළමයි එක්ක හේනට එනවා. ඇවිල්ලා හේනේ පැලේ තියෙන කළගෙඩි අරගෙන පල්ලෙහා "පතහ"ට යනවා. ගිහිං කලගෙඩි වලින් වතුර ගෙනල්ලා පැල වලට දානවා. එක කළගෙඩියක වතුර ඇතිවෙන්නෙ පැල දෙක තුනකට විතරයි. ඉතිං ඒගොල්ලං උදේම වැඩ පටං අරං දවල් වෙනකම්ම වතුර දානවා. ළමයිවත්, මාමාලවත් මහන්සියි කියලා අපි වගේ තැන තැන ඉදගෙන ටැක්ගැහෙන්නැ. හරියට එක මැසිමක දැති රෝද වගේ එක දිගට, එකම වෙලාවට ඒගොල්ල රවුමට රවුමට පතහෙ ඉදලා එනවා, දානවා, යනවා.උදේ සීතල පින්න, ඒ එක්කම පින්නයි, මීදුමයි අරගෙන යන්න එන සීතල හුලඟ, පස්සෙ වැටෙන අව්රැල්ල තියා මද්දහන වෙද්දි ඉන්න හිටින්න බැරි ගානට වැටෙන ගින්දර රස්සෙ අව්ව වත්, ඒ හින්දා අඩිය තියන්න බැරි තරම් රස්නෙ වෙන වැලි පොලොවට වත් බෑ ඒගොල්ලන්ගේ මේ රාජකාරියට බාදා කරන්න. ඒ වටපිටාව කොච්චර වෙනස් උනත් ඒ ගොල්ල දිගමට ඒ වැඩේ කරගෙන ගියා.

වතුර පැලවලට දාලා ආපහු පතහට යන ගමනෙදි මමත් එක්ක හිනාවෙලා අතේ ඉතුරු වෙලා තියෙන වතුර ටික මගේ ඇගට ඉහලා යන්නත් ඒ ගොල්ල අමතක කරේ නෑ. ඒ වැඩේටනං මම හරි කැමතියි. ඒත් ඒ වෙලාවට මම අම්මගේන් හොඳ නම ගන්ඩ,

"සික්....අන්න බලන්ඩකො ඉතිං...කරපු වැඩේ..." කියලා ටීෂර්ට් එකේ යට කෙරෝලවල් දෙක ඉස්සරහට ඇඳගෙන අම්මා දිහා බැලුවට අම්මා නෙමේ මාව පයිසෙකටවත් මායිම් කලේ.

ඒ පැත්තෙ තැනිතලා බිම හින්දා හුලං සැරට හමනවා. ඉතිං කළගෙඩියෙන් වතුර පැළ වලට වැටෙද්දි ඒවා හුලං පාරට අහුවෙලා ඇඟවල් වලත් විසිරෙනවා. බලා ඉන්ඩ ලස්සනයි. අනික විඩෙං විඩේ කාටද පතහට බහින්ට වාසනාවක් ලැබෙන්නෙ.

මේ හැමදේම කරන්ඩනං, වැදගත්ම දේ, සැරින් සැරේ ගිහිං පතහට බැහැලා කළගෙඩි පුරවන්ඩ වගේ හරි සෝක් රස්සසාවක් කරන්ඩ නං, කරන්ඩ තියෙන එකම දේ ඉතිං මේ පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරං හේනක් කරන එක තමා.

මේ සේරම ගැන දුර දිග කල්පනා කරලා මගේ යෝජනාව අම්මට ඉදිරිපත් කලා. මමයි, අම්මයි, නංගියි හිටියේ හේනේ කෙරෝලක තියෙන මාදං ගහ යට මැස්සක. එතන තමා මාමලා, නැන්දල, කෑම කන්නෙ, තේ වතුර බොන්නෙ. කතාවට පටන්ගැන්මක් විදිහට මම මෙහෙම ඇහැව්වා.

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?" ඔන්න මම මුලින්ම වැඩිහිටියො දැනුවත් කලේ ඒ විදිහට.

“මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ.....හාද අම්මේ......?

කොහොමහරි තවත් සෑහෙන වෙලාවකින් කට්ටිය කළගෙඩිත් අරං මාදං ගහ පැත්තට ආවා. කජු අහුලන්ඩ කියලා ගිය තාත්තලාගෙ නඩෙයි, තැන තැන ටැක් ගැහි ගැහි හිටපු අනිත් අයයි ආවා ඔක්කොම මාදං ගහ යටට. වතුර දාපු නැන්දයි මාමයි, ඒ ගොල්ලන්ගේ ළමයි වෙන බට්ටි අක්කයි, චන්ඩි අයියයි, බබා අයියයිත් කලගෙඩි ටික පැත්තකින් තියලා තැන් තැන් වල ඉඳගෙන හොඳ හුස්මක් ගත්තා. හරියට මෙච්චර වෙලා හුස්මක් කටක් ගන්ඩ අමතක වෙලා තිබුනා වගේ.

දැං කට්ටිය ලෑස්ති වෙන්නෙ අර ගෙනාපු රොටි උදේ කෑම විදිහට කාලා, ‍තේ වතුර බොන්ඩ. අපේ තාත්තා නං කොහෙ ගියත් "යසිකා" කැමරාව කරෙ එල්ලා ගත්තු ගමන්නෙ. ඉතිං තාත්තා කලේ අපි රොටි කන්ඩ යන හැටි පොටෝ අල්ලපු එක.

"පුතා රොටි කන්ඩ කැමති ද පුතේ......" ඒ නැන්දා.

"ඕ.....මං කැමතිම කෑම වලින් එකක්නෙ රොටී...."

"තව මොනාටද පුතා කැමති....."

"ම්........ හැබැයි ගොඩක් කෑමවලට මම කැමති නෑ...."

"ඒ මොකෝ අනේ....පොඩි අය උනාම හොඳට කන්ඩෙපැයි...හරි, එතකොට චුටි මහත්තයා කැමති ඒවා මොනාද......?" ඒ පාර බට්ටි අක්කා මැදට පැන්නා.

"මං කැමතියි විස්කිරිඤ්ඤා කන්ඩ, සීනි දාපුවනං නිකං.... නැත්තං තේ එක්කලා පොඟවං, තව වැලි තලප, ලැවරියා, ආස්මි, හැබැයි රතුපාට පැණි දාපුවා, සීනිබොර, තල ගුලි, හුලං විස්කෝතු පැතලි එවා, පැණි වලලුත් මරු.... පරිප්පු තිබ්බොත් රෝස්පාන් කන්නත් ආසයි.... එතකොට......"

කෝ ඉතිං මම හරියකට ඒ ටික කියලා ඉවර වෙන්ඩ කලින් ඒ කට්ටිය කැකිරි පලන්ඩ තියාගත්තා.

"එතකොට අකමැතියි කිව්වෙ මොනාටද? චන්ඩි අයියා හිනාව තද කරාගෙන ඇහැව්වා.

"අල කන්ඩ...."

"එච්චරද?"

"ඕ.......ඇයි?" මම ඕනෑවට එපාවට උත්තර දුන්නෙ ඊලඟට මේ ගොල්ල මොනා කරයිද හිතාගන්න බැරි උන හින්ද.

"නෑ, නෑ. මොකවත් නෑ" ඔන්න ආයෙ කට්ටියගෙ කැකිරි පැලිල්ල. හරියට ඒ ගොල්ල මං දිහා බලන්නෙ, ඒ ගොල්ලන්ට කෝලං පෙන්නන්න දුර පලාතකින් ආපු කෝලං කාරයෙක් දිහා බලන ගානට.

කොහොම හරි මගේ හොඳ වෙලාවට ඔය අල්ල පනල්ලෙ නැන්දලා, අම්මලා අපි ඔක්කොටම රොටී බෙදලා, කපං ආපු කෙහෙල් කොල කෑලි වලට ලුණු මිරිසුත් බෙදලා ඉවර වෙලයි තිබුනේ. මං නං ලුණු මිරිස් දාගත්තෙ රොටිය උඩටමයි.
පස්සෙ අපේ බබා අයියා, මටයි එයාටයි ඉඳගන්ඩ පොල් බිඩංග දෙකක් කඩාගෙන ආවා.

"කොහොමද චුටි මහත්තයා ඉතිං.....සෙල්ලං කරන්ඩ නැතුව කම්මැලිද?" එයා කතාව වෙන පැත්තකට හැරෙව්වා. අනිත් කට්ටියටත් වෙන වෙන කතා පටන් ගත්තා.

"අපෝ.....නෑ චුට්ටක්වත් කම්මැලි නෑ..... ඕගොල්ලං වතුර දානවා කොච්චර වෙලා හරි බලං හිටියෑකි....." මං රොටි කෑල්ලක් කඩාගෙන ලුණුමිරිස් වල ගාලා කටේ දා ගත්තා.

"ආ.... එහෙනං කමන්නැ... අපි මේවට වතුර දාලා ඉවර වෙලා හවස් අතේ සෙල්ලං කරමු එහෙංන......." බබා අයියා තෙමිච්ච කමිසේ ඉස්සරහින් අල්ලලා ගසන ගමන් කිව්වා.

"හවස් අතේ කිව්වෙ මේවා කාලා ආයෙ වතුර දාන්ඩ යන්ඩද යන්නෙ...."

"ඔව්...තාම බාගෙකට විතරනේ දැම්මෙ..... දවල් වෙද්දි තමා ඔක්කොටම දාලා ඉවර වෙන්නෙ...." බබා අයියා වතුර ඉහිරිලා හින්දයි, දාඩිය හින්දයි තමන්ගෙ ඇඟට ඇලිලා තියෙන අත්දිග කමිසෙ අත් නමන්න ගත්තා.

"ශා.............මරුනේ....."

"ඒ මොකො...."

"මරුනේ ඕගොල්ලං දවස් බාගයක්ම වතුරෙනේ......මමත් ලොකු වෙලා හේනක් කරන්නඩ හිතාගත්තා....."

"හේනක්......." කියලා බබා අයියා හිනාවෙලා මා දිහා බලලා මෙහෙම කිව්වා.

"ඒකට නං කමන්නැ....හැබැයි ඉතිං මහන්සි වෙන්ඩ වෙයි......"

"ඉතිං....මට පුලුවං....අනික මං වතුරෙ ඉන්ඩ කොච්චර ආසද?"

බබා අයියා ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා ඈත බලාගෙන මෙහෙම කියන්න ගත්තා,

"වතුර විතරක් දාලා හේන් කරන්ඩ බෑ අයියෝ. මේවා බලාගන්ඩ ඕනේ. පෝර දාන්ඩ ඕනේ.... ගෙඩි හැදුනම සත්තුන්ගෙන් බලාගන්ඩ ඕනේ. පස්සෙ ඒවා කඩන්ඩ ඕනේ. ගෝනි වලට දාලා කරත්තෙ පටෝගෙන ටවුමට ගෙනියන්ඩ ඕනේ. පස්සෙ කොළඔ ගෙනියන ලොරිවලටයි, මෙහෙ වෙලෙන්දොන්ටයි විකුණන්නඩ ඕනේ....වැඩ කොච්චරද?"


"ඉතිං මරුනේ...... ඇයි ඉතිං ඒවා ලේසි වැඩනෙ......මම සීයා එක්කලත් පොල් පටොගෙන කරත්තෙ යනවා. ඒක නං ශෝක් වැඩක්නෙ...."

"හාහා.....එහෙනං ලොකු වෙලා කරලා බලන්ඩකො.... චුටි මහත්තයත් නිකං අපි වගේ වෙයි... පේන්නැද්ද අපේ ලස්සන...."

මම පොඩිම කාලේ මෙහෙ එද්දි බබා අයියලා ඉස්කෝලෙ යනවා. හැබැයි ඒ කාලෙට වඩා නං බබා අයියලා දැං ගොඩක් වෙනස් තමා. ඒ අය දැං ලොකු මිනිස්සු වගෙයි වැඩ. කතා කරන්නෙත් අඩුවෙන්. අත පය වල සමහර තැන් වල ඕනැවට වඩා ලොකු මස්ගොබ දාලා, සමහර තැන් ඕනැවට වඩා කෙට්ටුයි. අල්ලෙ කරගැට ඇවිල්ලා. වැල්ලත් එක්ක බරට අඩිය තියන හින්දා එයාගේ ඇගිලි හරියට මහත් වෙලා ඇත් වෙලායි තියෙන්නෙ. අනික අව්වට එයාගෙ හම හොඳටම පිච්චිලා ගිහිල්ලා. එයා හුස්ම ගද්දි අපේ කුමාරගේ වගේ තෙත කමිසේ අස්සෙන් ඉල ඇට කූඩුව පිම්බිලා ආයෙ නැතිවෙලා යනවා. හැබැයි මුණත් ඇදිලා ගිහිල්ලා ඇස් ඇතුලට ගිහිල්ලා තිබුනට අර ඉස්සර වගේම ඇස්වල දිලිසෙන ගතිය නං තාම තියෙනවා.

“බලාගෙන ඉන්නෙ මොකද, ඔය රොටිය කන්ඩ......දැං ලුණු මිරිස් ටිකත් හලා ගන්නවා....ආ...?“ කියාගෙන බබා අයියා, එයාගේ ලුණුමිරිස් වල තිබුනු උම්බලකඩ කෑල්ලක් මට පෙන්නලා ගන්ඩයි කිව්වා.

"මට කන්ඩ බෑ වගේ.."

"ඒ මොකෝ...."

"ඔයා කියන්නෙ හේන් කරන හින්දා ඔයාව කේට්ටුවෙලා කියලද?, අනික ඔයා දිගමට මම වගේ සපත්තු දැම්මනං ඔය වගේ කකුල් ලොකු වෙලා ඇගිලි ඇත්වෙන්නැ.....ඔයා බොරු කියනවා නේද.... මට....."

"කෝ දැං ඔය දෙන්නා ඉන්ඩ බලන්ඩ පොටෝ එකට...." බබා අයියා ඒකට උත්තරයක් දෙන්න කලින් තාත්තා කෑ ගැහුවා.

බබා අයියා ඔක්කොම පැත්තක දාලා එතනම සීරුවෙන් හිටගත්තා. මම නං එහෙම නෑ. මම දන්වනෙ පොටෝ වලට ඉන්න හැටි. ඉතිං මම ටිකක් පැත්තට හැරිලා කෙලිම්ම කැමරාවේ කාචේ දිහා බලලා පොඩි හිනාවකුන් දාගත්තා. පස්සෙ බබා අයියා එක අතක් මගේ කරට දා ගත්තා. එතකොටයි මට තේරුනේ එයා කොච්චර කෙට්ටුවෙලා හිටියත් එයාගෙ අත කොච්චර බරද, කොච්චර ශක්තිමත්ද කියලා.

"ආ..... ඔය මොකද "බබා" සීරුවෙන් හිටගෙන..... නිකං ඉන්න විදිහට ඉන්ඩ...." කව්දෝ කිව්වා.

ඉතිං බබා අයියා ආයෙත් කොන්ද පාත් කරලා, පැත්තකට ඇල වෙලා හිටගත්තා. හැබැයි අතේ බර ගතිය නං මුලින් වගේම මට දැනුනා.

.................

-කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.

2011/12/16

ගෙට්ටුගෙදර් | ඕං මමත් කැපවීමෙන් වැඩක් කොලා....!

පහුගිය ටිකේ මට හරියකට ලියමනක් දාන්නත්, ලියමනක් කියවගන්නත් වෙලාවක් නැති වෙලා තිබුනේ. මේ තියෙන්නෙ ඒකට හේතුව. අපේ Star Kids පොඩි අයගේ පුංචි ඉස්කෝලේ වාර්ෂික හමුව මේ පාරත් අපි සංවිධානය කලා. ගිය පාර අපි මේක කලේ අපේ පුංචි ඉස්කෝලෙමයි. හැබැයි මෙදා පාර පොඩි වෙනසකටත් එක්කලා අපි උත්සවේ තිබ්බේ අපේ පැත්තෙම තියෙන ග්රෑන්ඩ් හොලිඩේ රිසෝට් එකේ.

වෙනම තැනක තියන්න ලෑස්ති කරගත්ත හින්දා වැඩ වැඩි උනා. හැම දෙයක්ම එතෙන්ට උස්සං යන්න එපැයි.

කොහොමහරි බ්ලොග් ලියමනක් නොලියා ඔන්න මමත් කැපවීමෙන් වැඩක් කලා.

කැමති අයට බලන්න පින්තූරු ටිකකුත් දැම්මා.

බලලා යන්න.


මේ තියෙන්නෙ දොරටුව ගාව ලියලා අද අහවල් අයගේ අහවල් උත්සවේ තියෙනවා කියලා.


පටන් ගන්නකං ඉන්ඩ බැරිව ලත වෙන අය.


ආපු ගමන් වෙල් කම් ඩ්‍රින්ක්.


ආං නත්තල් සීයාත් එනවා.


ඔව් ඔව්.... මම තමා.


ඇත්තට කව්ද මේ නත්තල් සීයා.


සෙල්ලම් පටන් ගත්තා.


මහන්සියට කෑම.


අල බහින කල් හිටියට මොකද තැම්බෙන කල්නෙ ඉන්ට බැරි.


අපි වැඩිය කැමති කෝන් එකේ අයිස් කිරිං කන්න. මේක අපේ අදහසක්.


නත්තල් සීයා තෑගිත් දුන්නා.


ගවලෙනක් ව‍ගේම, තෑගී බෝග වටවෙච්ච නත්තල් ගහකුත්.


සෙට් එකෙන් කට්ටියක්.



මෙන්න අපේ මතක සටහන පොඩි අයට.


හොඳම කට්ටියට.


ආපු එකේ නාලම යන්ද?

ඔන්න ඔහොමලු උනේ....!

..........................

ඊලඟ දවසේ ඉදලා අයිමත් කතා දානවා. මුලින්ම දාන්නෙ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ලොකු වෙලා හේන් ගොවියෙක් වෙන්න ගිය කතාව. එදාට සිත්තර දෙක තුනකුත් වැටෙයි.

ප/ලි-

නොකිව්වට මොකද බෞද්ධ අය හැටියට වෙසක් එකට දුන්නා වගේ, මෙදා නත්තලට අපි නත්තල් දන්සැලක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ. හැබැයි ඉදිච්ච ආහාර නෙමේ මෙදා පාර දෙන්නෙ, වියලි ආහාර පැක් එකක්. ඕගොල්ලන්ටත් ඕන්නං සම්බන්ධ උනැකී. හැබැයි සල්ලි බාර ගන්නැ. බඩු ගෙනැල්ලා දෙන්ඩ ඕනේ :D

ඔන්න මම ඒක වෙලාසනම කිව්වෙ ආය ලියමනක් එහෙම දාන්ට පරක්කු උනොත් අපිව අමතක වෙලා යාවී දෝහොයි කියලා ආපු බය හින්දා කියලා නං කව්රුත් හිතන්ඩ එපා!

අසා සිටි ඔබ සැමට ස්තුතියි.

.............
-මීට යුරෝ දෙකේ වීරයා.

Related Posts Plugin for WordPress, Blogger...