ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2012/09/29

බෞද්ධයෝ වූ අප වාසනාවන්තයින් ද? අවාසනාවන්තයින් ද?

මිතුරනි, අද බිනර පුන් පොහොය දිනය.

බ්ලොග් අවකාශයේ දී නොදුටු ඔබත් මමත් දැන් මිතුරන් වී වසර තුනකට ආසන්න කාලයක්. ඇතැම් අය ෆේස්බුක් හරහාත්, ඇතැම් අය බ්ලොග් ලිපි හරහාත්, ඇතැම් අය දුරකතන හරහාත්, ඇතැම් අය දැක කතාබහ කිරීමෙනුත් දැන් කළණ මිතුරන් බවට පත් වෙලා.

කෙසේ වුවත් අපගේ ඒ හමුවීම් වලින් මා තේරුම් ගත් වටිනා ම කරුණ නම් අප තවමත් ඉම නොපෙනෙන සංසාර ගමන ගෙවා දමන එකම මිතුරු කැලක් බවයි. එයින් ව්‍යංගයෙන් කියවෙන්නෙ මෙතුවක් කාලයක් පුරා පහල වූ බුදුපියාණන් වහන්සේලා සියලු දෙනා අපට මඟ හැරී ගොස් ඇති බවයි. නැතිනම් උන්වහන්සේලා දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන කෙළවර කරගෙන නැති බවයි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

කෙසේ නමුත් මේ මහා බද්‍ර කල්පයේ පහල වෙන බුදුන් වහන්සේලාගෙන් තව එක් නමක් අපව සසරින් එතෙර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ. අපි නිවැරදිවම දන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විටත් තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍යලෝකයේ සංතුසිත දිව්‍යරාජයා ලෙස සුදුසු කාලය එළඹෙන තුරු එහි වැඩ හිඳිනවා කියලා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මීට අවුරුදු හය හතකට කලින් මම කුරුලු හමුදාවේ ඉන්න කාලේ හිතාගෙන හිටියේ ක්‍රීඩකයෙක් හැටියට ලංකාවේ දස්කම් දක්වලා ආසියානු මලළ ක්‍රීඩා තරගය නියෝජනය කරන්න. අවුරුදු හතරක සැලැස්මක් ඇතිව ඉතාම කැපවීමෙන් පුහුණු වුනත් මට ඒ අවස්ථාව මඟ හැරුනා. ගිය සතියේ මම බ්ලොග් මිතුරෙකුට කිව්වා, එළඹෙන සති අන්තයේ මම කොළඹ පොත් ප්‍රදර්ශණය බලන්න එනවා කියලා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් හින්දා ඒ අවස්ථාව මට මඟ ඇරුනා. ඒ වගේ අද්දැකීම් මට විතරක් නෙමේ ඔබටත් ඇති. අවුරුදු ගණනක සැලැස්මක් තබා, එළඹෙන තත්පරයේ දී අපේ බලාපොරොත්තු කීයක් නම් අපෙන් මඟ ඇරෙනව ද?

ඒ ආකාරයෙන් බලද්දි මේ බද්‍ර කල්පයේ කෙලවරේ බුද්ධත්වය ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න බලාගෙන ඉන්නවා කියන්නෙ කෙතරම් මෝඩ කමක්ද? ඒ වගේ අවස්ථාවක් මඟ හැරෙන්න තියෙන ප්‍රතිශතය ගැන උපමාවක් පවා හිතාගන්න බෑ. කාටද ස්ථිර වශයෙන් කියන්න පුලුවන් අපි මෛත්‍රී බුදු පියාණන් පහල වෙද්දි නොරටක නොසිටීවි කියලා, ධර්මය වටහා ගන්න නොහැකි තරම් බුද්ධි මට්ටමක නොසිටීවි කියලා, නැතිනම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නොසිටීවි, අපායේ, තිරිසන් ලෝකයක නොසිටීවි කියලා.

දැන් හොඳින් ම වැටහෙනවා ඇති අපි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව සංසාරේ අතරමං වෙලා කියලා. බ්ලොග් එකක් ලියාගෙන, කමෙන්ට් එකක් දමාගෙන "ආතල්" එකේ හිටියට අපි “පට්ට“ අසරණයි. ඔය කරුණ අපිට කලින් ගුණදාස කපුගේ  මහත්තයට වැටහුනු නිසා ද, "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......" කියලා තියෙන්නෙ?

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මනෝරථපුරණී අටුවා පාඨයේ කියවෙන ආකාරයට පිළිසිඹියාපත් රහතුන් වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමින්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද වශයෙන් පන්දහසක් අවුරුදු ප්‍රතිවේද ධර්මය පැවැත්වෙන බව කියවෙනවා.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන්ගේ වර්ෂ දහසක් ද, ෂඬභිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සම්පදානිය සුත්‍ර අටුවාවෙහි කියවෙනවා. ඉන් අනතුරුවත් පහණක් නිවෙන්නා සේ එකවර මෙලොවින් බුදුදහම අතුරුදහන් වෙන්නෙ නෑ. ඒ කෙසේ වුවත් දේව, බ්‍රහ්ම ලෝක වල තවත් කල්ප ගණනාවක් නිර්මල බුදු දහම නොනැසී පවතිනවා.

මේ ගෙවෙන්නෙ බුදු සසුනේ තුන් වන වර්ෂ දහසයි. මේ කාලය මනෝරථපුරණීයේ කියන අන්දමට අනාගාමින් සිටියහැකි කාලයක්. දීඝනීකායට්ඨ කතාවෙහි දැක්වෙන අන්දමට ත්‍රිවිධ්‍යා රහතුන් සිටිය හැකි කාලයක්.

ඒ හැරුනු කොට අප බුදුපියාණන් වහන්සේ ම සුභද්දයන් අරඹයා දේශණා කලේ, "සුභද්දය, මේ භික්ෂුන් මැනවින් වසයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය" යනුවෙන්.

ඉතින් මේ කාලයෙත් රහතුන් වහන්සේලා ලෝකය තුල ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් වැඩ හිඳිනවා විය හැකියි. අනිත් අතට නිර්වාණ මාර්ගයට පිවිසිලා මේ සසර ගමන කෙලවර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයන්ටත් මේ කාලයත් සුදුසු ම කාලයක්.

අප ගෞතම බුදු පියාණන් වහන්සේ පහල වූ කාලයත්, මීලගට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන්වහන්සේ බුදුවන කාලයත් අතරතුර ගෙවී යන කාලය හා සසදා බලන විට අප ගෞතම බුදුන් වහන්සේ මෙලොව පහල වෙලා තවම ගෙවී ඇත්තෙ ඇසිල්ලක තරම් කාලයක්. ඇත්ත වශයෙන් නම් ඒ සඳහා උපමාවක් පැවසිය නොහැකි තරම්. ඉතින් සද්ධර්මය ලඟා කර ගැනීමෙන් අපට අදත් අපගේ ජීවිතය අරුත්බර කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අප වසර 80 කාලයක් මෙලොව තුල ජීවත්වනවා ය කියන්නෙ දින 29 000 පමණ කාලයක්. එයිනුත් දැන් ඇතමුන්ගේ අඩකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති. නමුත් අපට තව දින 15 000 කට ආසන්න කාලයක් ඉතිරි වී තිබෙනවා. ඒ කාලයවත් අපි නිවැරදිව පාවිච්චි කලොත් අපි වාසනාවන්තයෝ ද, අවාසනාවන්තයෝ ද කියලා අපටම මොනවට පැහැදිලි කරගැනීමට හැකි වේවි.

ඉතින් ඒ වෙනුවෙන් අප කල යුත්තෙ බෞද්ධයන් වූ අපගේ අග්‍ර ඵලය වන නිර්වාණ මාර්ගයට පිවිසීමයි.

මිතුරනි, ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පිහිටා සිට කුසල් රැස් කිරීමට අපට කාල නියමයක් නෑ. එය කිනම් කාලයකදී උනත් කළ හැකියි සහ කල යුතුයි. ඒ නිසාමයි බුදුන් වහන්සේලා නොමැති කාලවල දී පවා දිව්‍යලොක හිස් නොවෙන්නෙ. නමුත් ඒ කුසල බලයෙන් ලබන දේවත්වය හෝ බ්‍රහ්මත්වය නිසා කෙදිනකවත් ඔවුන්ට ඇරී ඇති අපාය දොරටු නම් වැසෙන්නේ නෑ. එසේ බලන කල බුද්ධාන්තර කාලයක් දේව, බ්‍රහ්ම, සක්විති රජුන් වෙමින්, සොහොන් බිම් පුරවමින් පැමිණෙන අප ගැන කුමන කතාද? ඒ නිසාමයි මහා විමාන තුල විරාජමාන වන දෙවියන්ටත්, කල්ප ගණනින් බ්‍රහ්ම ලෝක වල සුව විඳින බ්‍රහ්මයන්ටත්, මුලු දියතම පාලනය කරන සක්විති රජවරුනටත් වඩා දිළිදු පැලේ සිටින සෝවාන් පුද්ගලයා උතුම් වෙන්නෙ. සොවාන් වීමෙන් පමණයි අපෙන් පළමු වරට අපාය දොරටු වැසී යන්නෙ.

අනෙක් අතට අපේ අම්මා වෙමින්, තාත්තා වෙමින්, සහෝදර සහෝදරිය වෙමින් අපගේ මිතුරා වෙමින් ගණනින් කිව නොහැකි තරම් කාලයක් අප අතර ම හිදිමින් අවසානයේ අපට නිවන් මඟ කියා දුන් අපේ බුදු පියාණන්ට කළ හැකි හොඳම පුජාවත් මඟ පල ලබා නිවන් සාක්ෂාත් කරගැනීමම නොවේද?

ඉතින් බුද්ධිමත් වූ අපත් අදම අපාය දොරටු වසා ගැනීම සඳහා, ඇලිම්  - ගැටීම් අවම කර ගනිමින් උසස් වූ, ප්‍රීතිමත් වූ, සැපවත් වූ අරහත් මාර්ගයට පිවිසීමේ පලමු පියවර ලෙස, අපගේ සිත සමනය කර ගනිමු. එය කල හැකි පලමු හා සාර්ථකම පියවර වන්නෙ භාවනාවයි.

ආධුනිකයන් වූ අපට චතුර් ආරක්ෂක භාවනා ලෙස හඳුන්වන බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණානුස්සතිය ප්‍රගුණ කළ හැකිය.

දානය, සීලය යම් ප්‍රමාණයකින් ප්‍රගුණ කර සිටියත් වර්තමානයේ භාවනාව ප්‍රගුණ කිරීම බොහෝ විට අපගෙන් මඟ හැරී යන්නක්.

මිතුරනි, මේ පහලින් දැක්වෙන්නෙ මගේ කලණ මිතුරු චන්දන බණ්ඩාර විසින් සම්පාදනය කරන ලද බුද්ධානුස්සතී භාවනාව හෙවත් මහානුභාව සම්පන්න බුදුගුණ සිහිකිරීමේ භාවනාව ආධුනික අපට පහසු ලෙස කළ හැකි ආකාරය ගැන ලියැවුනු පොතක්.

ඉතින් මේ උතුම් පොහෝ දින මේ පොත ඔබත් ලබාගන්න. අද ම අපගේ බුදු පියාණන් දෙශණා කළ නිවන්මඟ සාක්ෂාත් කරගැනීමට පළමු පියවර තබන්න.

Download
භාවනාව හා සබැඳි සියලු විස්තර මේ පොතේ අන්තර්ගතයි.

මෙහි දැක්වෙන නව අරහාදී බුදු ගුණ සවිස්තරව දැන ගැනීමටත්, අප ශාස්තෘන් වහන්සේ පිළිබඳවත්, උන් වහන්සේ දෙසූ ධර්මය පිළිබදවත්, උන්වහන්සේගේ පැවදි ශ්‍රාවකයින්ගේ ආනුභාවය දැන ගැනීම පිණිසත් රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ රචනා කරන ලද පොත් අතරින් එකක් වන "සුවිසි මහා ගුණය" පරිශීලනය කරන්න.  භාවනාව ගැන තවත් තොරතුරු තනූජ ජයසුන්දර මිතුරාගේ මෙම ලිපි පෙලින් දැන ගන්න.

බෞද්ධයන් වන අප තෙරුවන් හොඳින් හැඳිනගෙන සිටිය යුතුයි. තෙරුවන් හැඳින ගැනීමට මෙම සුවිසි ගුණය හැර වෙන ක්‍රමයක් නැහැ. මේ ගුණ සූවිස්ස දැනගෙන මැනවින් තෙරුවන් හැඳිනගත් පුද්ගලයාට කිසි කලෙක වෙනස් නොවෙන, කිසිවෙකුට උපායකිනුත් වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් තුණුරුවන් කෙරෙහි ඇතිවෙනවා. මේවා හරිහැටි නොදැන තුණුරුවන් විවේචනයෙන් පුද්ගලයන් කර ගන්නා අකුසලයේ තරම මෙතෙකැයි කියන්න බෑ. මේ ගුණ සූවිස්ස නොදන්නෙ නම් අපි නාමික බෞද්ධයන් පමණයි!

ගෞතම බුද්ධ සාසනයේ දීම සසර ගමන අවසන් කිරීමට පළමු පියවර අපි අද ම තබමු. පෙර කුසල් හා පාරමී පුරා තිබුනහොත් ඔබත් මේ භවයේ දී අරමුණ කරා ලඟා වේවි. නැතිනම් මෙම පියවර ඉදිරියේ දී පාරමිතා සම්පූර්ණ කරගැනීමට ඔබට ඉවහල් වේවි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අදට ලිපිය අවසානයි.

ප්‍රිය මිතුරනි, ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!

..........................................
- බුද්ධි.

2012/09/17

ළෝඛයේ ශ්‍රේෂ්ඨ භළ්ළෝ සහ තවත් කතා | මතු යහපත පතන බ්ලොග් ලියන කියවන පුරුෂ පක්ෂය උදෙසා !

" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........." කියාගෙන ස්වාමියා අතට ගත්තු හැලපෙ ඔතලා තිබුනු කැන්ද කොලේ ගලවන්න ගත්තා.

එදා අපි කතා වෙමින් උන්නෙ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම බල්ලො ගැන.  හැලප කමින් ඉන්න ස්වාමියා උපතින් ම සතුන් ගැන ඇල්ම තියෙන කෙනෙක්. එයා කුරුල්ලන්ටත් හෙන ආදරෙයි. ලස්සන කුරුල්ලෙක් ඉන්නවා කිව්වොත් ‍ලෝකෙ ගැට්ටට ම හරි යනවා ඌව හොයාගෙන. මේ ස්වාමියාගේ බිරිඳත්, අපිත් එක්කම කතාවට අගුල්පත් තියමින් ලඟ ලඟම හිටියා. අපි කියන මේ ස්වාමියාගේ බිරිඳ බ්ලොග් ලියන්නියක්. එයා හරිම ස්වාධීන අදහස් තියෙන කෙනෙක්. යමක් කියන්ඩ තියෙනව නං ඒක කියනවා ආය මහ ඒජන්තට හරි. ඒ වගේමයි පතිභක්තියත්.

අපේ මිතුදම ආරම්භ වුනේ මගේ බ්ලොග් එකේ එතුමියගේ කමෙන්ට් වැටුනට පස්සෙ. මීට අවුරුදු තුනකට කලින් අගෝස්තු පොත් ‍ප්‍රදර්ශනේ දවසේ, ඒ කාලේ නැවුම් බ්ලොග්කරුවෝ ටික දෙනෙක් BMICH එකේ දී මුණ ගැහුනා. එතනට මෙතුමියයි, එතුමියගේ ස්වාමියයි, ඒ කියන්නෙ මේ හැලප කමින් කතාකරන එක්කෙනයි, ඒ ගොල්ලන්ගේ බිනරමලියි ඇවිල්ලා හිටියා. එතනදී වෙච්ච කතාවෙනුයි අපි දැනගත්තෙ මේ ඇවිල්ලා මැරියන්ලගේ අල්ලපු වැටේ අයයි කියලා.

ඒ කිව්වෙ මේ ස්වාමියයි, අපේ මැරියන්ලගේ අක්කලයි ඒකාලේ දන්න අයලු. පොඩි කාලේ සෙල්ලම් කරද්දි මේ ස්වාමියලා කරක් නොගහපු තැනක් නැලූ. බලාගෙන යද්දි මැරියන්ලයි, මේගොල්ලයි එක ගමේ දෙපැත්තෙ.

ඔහොම අපේ මිතුදම මෙව්වා වුනාට පස්සෙ අපි ඒ ගොල්ලන්ගෙ ගෙදර යනවා, ඒ ගොල්ල අපේ ගෙදර එනවා. ඇයි ඉතින් දන්න කියන අයනෙ දැන්. ඔන්න එකෝමත් එක දවසක ඒ ගොල්ලන් අපේ ගෙදර ඇවිල්ලා හැලප කකා ඉද්දි තමා අර බලු කතාව ඇදිලා ආවේ.

මැරියන්ලගේ මහගෙදර ලග තියෙන අසල්වැසි ගෙදරක ඉන්නවා හුරුබුහුටි බැල්ලි පැටියෙක්. ඌ කවදාවත් මාව දැකලා නැති වුනත් මම එහෙ ගිය මුල්ම දවසෙම මෙයා ඇවිල්ලා ඇඟේ දැවටෙන්න ගත්තා. මම මාස ගාණකින් එහෙ ගියත් එයා කොහොම හරි ඒ බව දැනගෙන මාව හොයාගෙන මැරියන්ලගේ දිහා එනවා. ඉතින් ලොකේ හිටපු ශ්‍රෙෂ්ඨ බල්ලො ගැන කතාවෙද්දි මේ බැල්ලි පැටියාගේ කතාව ඇදිලා එන එක අහන්න දෙයක් නෑනේ.

ඒ ගොල්ල තීරණය කලේ සංසාර ගමනේ පරණ මතකයක් හන්දා බැල්ලි පැටියා මාව හොයාගෙන එනවා ඇති කියලා. ඒකට මම එකඟ වුනත්, ඇමරිකන් ජනාධිපති තුමා වගේ මම පපුවට අත තියලා ඉතාම වගකීමෙන් කිව්වා "එහෙමමත් නෙමේ අනේ, හදවතේ කරුණාව තියෙනව නං ඕනෙම කෙනෙක්ට, ඕනෙම සතෙක්ට ඒ බව දැනෙනවා කියලා".

ඕක කිව්ව හැටියේ තමා අර ස්වාමියා කේක් කෑල්ලත් එක්ක කාපු කෙසෙල් ගෙඩියේ පොත්ත පැත්තකින් තියලා, හැලපේ අතට අරං පුටුවෙ හරි බරි ගැහිලා මෙහෙම කිව්වෙ.

"ඔයා දන්න තරම තමා. එහෙනං අපේ ගෙදර හිටපු බල්ලා කාටක්කත් කීකරු නෑනේ මට විතර. ඔය හදවතේ කරුණාව තියෙන කාටවත් ඌව නමා ගන්න බැරි වුනා, නේද අනේ......."

"ඒක තමා....." අපේ ජනප්‍රිය බ්ලොග්කාරිය අගුල්පත් තිබ්බා. ඒකෙන් උද්දාමයට පත් වෙච්ච පාර තමා ස්වාමියා,

" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........" කියාගෙන කතාව පටන් ගත්තෙ.

ඒ කතාව පුරාම කියවුනේ ඒ බල්ලගේ තිබුනු පුදුම හිතෙන ගතිගුණ ගැන. මේ කතාව අතරතුර අපි අහපු හරස් ප්‍රශ්ණ, හූමිටි තැබිලි වගේ මුඛ්‍ය තේමාවට අදාල නැති ඔක්කොම කෑලි කපලා දැම්මොත් මෙහෙමයි කතාව එන්නෙ.

අපේ කතා නායකයා සත්තුන්ට ආදරේ හින්දම බල්ලෙක් හදන්න අරගෙන තියෙනවා. ඒ බල්ල වැඩියෙන්ම කීකරුත් එයාටමලු. ඉතින් පොර වැඩට ගිය අතරතුර දී මොකක් හරි දඩයමක් කලොත් එයා වැඩට ගිහිල්ලා එනකල් ම දඩයම කකුල් දෙක ගාව තියාගෙන ඉන්නවලු. මෙයා ඇවිදින් බල්ලව පැසසුවට පස්සෙලු දඩයම පැත්තකට දාන්නෙ. ඕනෙම ජාතියෙ අමුත්තෙකුට කිසිම හේතුවක් හන්දා සාලේ පැත්ත පලාතෙ සිමෙන්ති පාගන්න දෙන්නෑලු, එයාගේ අවසරයකින් තොරව. එහෙම ආවත් බල්ලා හොඳට ඇහැ ගහගෙනලු ඉන්නෙ මෙයාට අමුත්තා අනතුරක් කරයි‍දෝ කියලා. දවසක් යාලුවෙක් ඇවිල්ලා විහිලුවට කෑගහලා ගහන්ඩ ගිය හැටියේ බල්ලා පැනලා යාලුවගේ කකුලෙන් කෑල්ලක් කඩා ගත්තලු බඩගිනි වුනාම පස්සෙ කන්ඩ කියලා. ඔය වගේ වීර ක්‍රියා ගොඩකින් එයාගේ ජීවිත කතාව පිරීගෙන එද්දි තමා දවසක් හරි වැඩක් වෙලා තියෙන්නෙ.

ඒ වෙන මුකුත් නෙමේලු. මෙයා වැඩට ගිය අතරතුර දවාලක එයාගේ තාත්තා මොකද්දෝ අපබ්‍රන්ස වැඩක් කරන්න ගිහින්, බල්ලා තාත්තගේ අතෙනුත් කෑල්ලක් කඩා ගෙනලු බඩගිනි වුනාම කන්නයි කියලා. හැබැයි ඒක බල්ලට වුනු අත්වැරැද්දක්ලු. මොකද මෙයාට වගේ ම බල්ලා ලෙංගතු සීමිත පිරිසෙන් තවත් එක්කෙනෙක්ලු තාත්තත්. ඒකට තාත්තට වගේ ම බල්ලටත් හරිම අප්සෙට් ලු. ඒත් අකමැත්තෙන් හරි බල්ලව කූඩුවට දාන්න කට්ටිය එකඟ වුනාලු. තාත්තාත් බේත් දාගෙන ඇවිල්ලා "මේ බලන්ඩ ඔයා මට කරපු දේ" කියලා බල්ලට අත පෙන්නුවලු. බල්ලට ඒකට තවත් අප්සෙට් වුනාලු. බල්ලා කන්නෙ නැතුව අතඇරියලු. එයා කරපු වැඩේ ගැන එයා හොඳටම පසුතැවිලි වෙන බව දිගටම පෙන්නන්න ගත්තලු. පස්සෙ මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑලු. අන්තිමේ මෙයා හොඳටම ලෙඩ වුනාලු. කෑම කෑමත් අත්ඇරලම දැම්මලු. ටික දවසක් ඔහොම ගතවුනාලු. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලාලු!

ඔන්න ඔය විදිහට එක හුස්මට කතාව කියලා දමාපු අපේ කතානායක තැන බොහොම උදාර ලීලාවෙන් අපි දිහා බැලුවා. ඇයි ඉතින් එයාට ඉදලා තියෙන්නෙ කොච්චර උදාර ගතිගුණ තියෙන බල්ලෙක් ද?

පස්සෙ එයා අර හැලප කෑල්ලෙ අන්තිම කෑල්ලත් කටේ දමා ගත්තා. අපි ඔක්කෝමලා තත්පර ගණනාවක් නිහඬව මේ ගැන කල්පනා කලා. ඇත්තටම තමන් කරපු දෙයක් ගැන මෙච්චර පසුතැවුනු බල්ලෙක් ගැන අපි ඇහැව්වමයි.

හැබැයි ඔය සිතුවිල්ල එච්චර කාලයක් අල්ලලා හිටියේ නෑ. ඒ වෙන මුකුත් හින්දා නෙමේ. එයාගේ බිරිඳ, ඒ කියන්නෙ ස්වාධීන අදහස් තියෙන, නියම පතිභක්තියක් තියෙන අපේ බ්ලොග්කාරිය, එයාගේ ස්වාමියාට අමතක වෙලා තිබුනු මේ බලු කතාවේ වැදගත් කොටසක් මතක් කරලා දීපු හින්දා. ඒක වුනේ ‍මෙන්න මෙහෙම.

ඕගොල්ලන්ට වඩා හොඳට කතාව පැහැදිලි වෙන්න මම ඒ ටික ආයිමත් කියන්නම්.

‘කො‍හොමහරි අන්තිමේදී මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑ. එයා හොඳටම ලෙඩ වුනා. කෑම කෑමත් අත්ඇරලම දැම්මා. ටික දවසක් ඔහොම ගතවුනා. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලා." ස්වාමියා කිව්වා.

එතකොටම අපේ බ්ලොග්කාරී නේද, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“ කිව්වා.

කතාව ඉවරයි. මේ කතාව පුංචි උනත් ගන්න තියෙන ආදර්ශ එමටයි. බොහෝ දෙනාගේ පහන් සංවේගය උදෙසා මම මේ කතාව ලියන්න හිතුවෙත් ඒකයි. හැබැයි ඒ ආදර්ශ ඔක්කොම එකට හිරවෙලා පැටලිලා තියෙන්නෙ.

ඕගොල්ලන්ට පුලුවන් නම් ඕක ලිහලා කරලා ගන්ඩ තියෙන ආදර්ශක් ගන්ඩලා.

................................................
කලකට පස්සේ - වෙලකට බැස්සේ
- මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
ඇත්තම කියනවා නම් මමත් ඔය කතාවෙන් කෑල්ලක් කපලා දැම්මා. අච්චර ලස්සනට කතාව කියලා අවසාන වුනාම අපේ බ්ලොග්කාරී කිව්වනේ, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“කියලා. ඒ වෙලාවේ අපේ කතානායක තැන මොනවද දන්නව ද කිව්වෙ, “ඹව් තුවාලෙකුත් නං තිබුනා තමා“ කියලා. ඒක කියපු ස්වරෙවත්, ඒ  අවස්ථාවේ මිනිහා පත් වෙච්ච ඉරණම ගැනවත් නියම තතු මට වචනෙට පෙරලගන්න තේරෙන්නෙ නෑ. අනිත් අතට කාටද කියන්න පුලුවන් පිරිමි අපට ජිවිතේ කවදාක හරි ඔයවගේ අවස්ථාවකට මුණ දෙන්න ලැබෙන්නෙ නෑ මයි කියලා. ඒක නිසා ඒ කෑල්ලත් කතාවට ඇතුලත් කරනවට වඩා හොඳ නැද්ද මේ විදිහට කතාව ඉවර කරලා මගේ බ්ලොග් රසිකයින්ට හිතන්ඩ යමක් ඉතුරු කරන එක තමන්ගේ අනාගතේ ගැන.

ප/ප/ලි -
ගිය සතියෙ දවසක සාදයකට නැවත අපි ඒ ගොල්ලන්ගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමා කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබුනු මේ කතාව මට මතක් වුනේ. හැබැයි ඊට කලින් දවසක අපි හම්බුනු වෙලාවෙයි සමස්ත බ්ලොග් පාඨකයන්ගේ මතු යහපත තකා උක්ත කතාව දාන්න මම නිසි අවසර අරගත්තෙ.

2012/09/14

සොයා දෙන්න... | සයිබර් යාය සමාජ සත්කාර


 මීට තරු ඇතුලු මිතුරු කැල.
තොරතුරු සොයා ගත්තෙ facebook මගිනි.


Related Posts Plugin for WordPress, Blogger...