ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2014/03/10

මම යුධ වීරයෙකුට පන්දු දෙක තුනක් යැව්වෙමි...:D | සයිබර් යාය

මිනිස්සු තමන්ගේ හිතගත්තු අයට සලකන්නේ විවිධ ක්‍රම වලට. ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද? 

මේ කතන්දරේ යුධ වීරයෙකුට අපි සළකපු හැටි ගැනයි.

ඒ අපි කුරුලු හමුදාවේ හිටපු කාලේ. කුරුලු හමුදාවෙදී අපි දැක්ක එක වැදගත් දෙයක් තමයි, මිනිස්සු රට වෙනුවෙන් කරපු කැපවීම. සමහරු රට වෙනුවෙන් මුලු දවසම වැඩ කලා. සමහරු දවසෙන් බාගයයි. සමහරු නියමිත නිල කාලයේ පමණයි. ඒක ඉතින් තමන් කැමති හැටියට.

අපි කුරුලු හමුදාවට ආපු හැටියේ අපේ උපදේශකයා අපට නියමයක් කිව්වා. ඒක තමා උඹලට ඉහලින් පිදුරු ගහක් තිබුනත් උඹලා ඒකට නිසි ගෞරවය දෙන්න ඕනේ කියන එක. කුරුලු හමුදාවේ එක විනය. දෙක තමයි අනිත් හැමදේම. ඒගොල්ල අපට කිව්වා. ඒ කියමන අපි අකුරට පිලිපැද්දා. අපිට වඩා එක නිලයක් ඉහලින් ඉන්න සමහරු අපේ ගෞරවය බොහොම ඉහලින් පිළිගත්තා විතරක් නෙමෙයි ඒකේ උෂ්ණයත් සමහර වෙලාවට අපට පෙන්නුවා. හැබැයි අර කතාවක් තියෙනවා වී කරළ පැහෙන්න පැහෙන්න ඒක ඉදිරියට නැමෙනවා කියලා. ඒ කතාව ඇත්තක් කරලා නිලයන්ගෙන්, ගෞරව නාමයන්ගෙන් ඉහලට ම ගිය කුරුලු හමුදාවේ ගොඩදෙනෙක් හරිම නිහතමානි අය වුනා. විශේෂයෙන් කෆීර් යානා පදවන නියමුවෝ ඒ අතරින් අපේ හිත ගත්තා. අපේ වයසෙම තරුණයෝ වුනු ඒ අය වෙලාවක් ලැබුනම හවස ක්‍රීඩා පිටියෙදී, ජිම් එකේ දී අපිත් එක්ක එකතු වුනා. අපි හිතුවා එයාලා තමා කුරුලු හමුදාවේ නියම අයිතිකාරයෝ කියලා. සමහර වෙලාවට එයාලා නිල ඇඳුම ඇඳලා ආවාම අපට ඉරිසියා හිතෙන තරම් කඩවසම්. අපි අවංකව ම දුක් වුනා එයාලගේ පෙම්වතියෝ, තමන්ගේ පෙම්වතාගේ අභිමානය, ඡායාරූපවලින් ඇරුනම ඇත්තටම දකින්නෙ නැති එක කොච්චර අපරාදයක් ද කියලා. තමන්ගේ පෙම්වතා මේ වගේ කෙනෙක් කියලා තමන්ගේ යාලුවන්ට පෙන්වන්න වුනත් ඒගොල්ල අකමැති වෙන එකක් නෑ. හොඳම දේ තමා කිසිම හේතුවක් නිසා දිය නොවුනු ඒ ගොල්ලන්ගෙ නිහතමානීකම. ඒගොල්ල අපිට කතා කලේ නිල නාමයෙන් නෙමෙයි. ගොඩක් වෙලාවට මචං කියලා. අපි ඒකට ගොඩක් ගරු කලා. අපිට වඩා වැඩියෙන් “එක පටියක්“ ගහගත්තු අය අපට රැස් පෙන්වද්දි, තරුණ වයසෙ, ඒත් අපට වඩා හැම අතින්ම ඉදිරියෙන් ඉන්න මේ අය අපට කතා කලේ මචං කියලා. ඊටත් වඩා එයාලා අපිව අගය කලා. අපේ හැකියාව ගැන.

දවසක් අපියි ඔය කියන ප්‍රහාරක යානා නියමුවෙකුයි කතාවට වැටිලා හිටියා. අපි හිටියේ ජිම් එකේ ඉදිරි පැත්තේ තියෙන ටේබල් ටෙනිස් මේසය ලඟ. අපි යුද්ධය ගැන කතා කලා. සාමාන්‍යයෙන් එහෙම කතා බහක් ඇති වෙන්නේ කලාතුරකින්. මොකද කඳවුරක කාලයක් හිර වෙලා ඉන්න අයට කතා කරන්න තව කොච්චර දේවල් තියෙනවද? කොහොමහරි මිනිහා කතාව පටන් ගත්තා. “මචං මට හිතාගන්න බැරි එක දෙයක් තියෙනවා.....“ අපි ඇහැව්වා මොකද්ද කියලා. එයා ටේබල් ටෙනිස් මේසය මුලතිව් කැලේට සමාන කරලා, අතේ තිබුනු අල්පෙනෙත්තකින් මේසෙට ඇන්නා. “එක පාරක දී අපි ගිහිල්ලා මුලතිව් කැලේට දාන බෝම්බ මේ අල්පෙනෙති තුඩ වගේ......“ අපි හැමෝම කල්පනා කලා. අන්තිමේ මිනිහා ම මෙහෙම කිව්වා. “ඒ වුනාට මේක කරන්න බැරි දේකුත් නෙමෙයි.....“. මිනිහා හිතේ සැලැස්මක් තියාගෙන කතා කලා. කොහොමහරි අද එයා ඇත්තටම සතුටු වෙනවා ඇති, හිතාගන්න බැරිව හිටපු දේ, හිතාගන්න බැරි විදිහට ඉවර කරගන්න ලැබුනු එක ගැන.

ඔය වගේ නියම අභිමානවත් වීරයෝ හැමෝටම අණ දෙන්න ඊටත් වඩා ඉහල නිලධාරින් ඉන්නවා. නියමුවෝ ගැන කතාව එහෙමනම් එයාලට අණ දෙන අයගේ විස්තර කියලා වචන නාස්ති කරන්න දෙයක් නෑ. හැබැයි අද කතාව මේ දෙගොල්ල ගැනම නෙමෙයි. ඒ උසස්ම නිලයන්ටත් අණ නිකුත් කරපු ජාති වීරයෙක් ගැනයි.

ඒ කාලේ සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ නැති වුනත්, කුරුලු හමුදාවේ අපි අතර නියම යුධ වීරයෙක් හිටියා. එයා යුද්ධයට බය මිනිහෙක් නෙමෙයි. නීතිය අකුරට පිළිපදින, විනය ගරුක, තමන්ගේ සෙබලුන් ගැන තාත්තා කෙනෙක් වගේ හොයා බලන නියම යුධ නායකයෙක්. එයා හරිම කඩවසම්. හරියට රොෂාන් මහානාම වගේ. එයා ගැන කතන්දරත් එමටයි. නිල වශයෙන් ඔප්පු කරන්න බැරි වුනත් අපි කව්රුත් ඒ කතන්දර ඇහැව්වේ හරිම උද්යෝගයෙන්. එයාගේ තිබුනු එක හොඳ පුරුද්දක් තමයි යුද්ධය රාමෙට නැගලා යද්දි ආරක්ෂිත ස්ථානයක ඉදලා අණ දෙන එක පැත්තක දාලා එයා එනවලු ඩිෆෙන්ඩරෙත් අරගෙන ලයින් එකට. කොල්ලන්ගේ මොරාල් එක අප් කරන්න.  කොල්ලෝ නේද එතකොට යක්කු වගේලු. ඔය වගේ කතා සීයක් අතරේ හොඳම කතාව මේකයි. යුද්දේ කරට කර ඇවිලිලා යනකොට වීරයා කොළඹට කතා කරලා එයාසපෝට් ඉල්ලනවාලු. ඒ කියන්නේ සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කරලා භූමියේ ඉන්න සෙබලුන්ට උදව් දෙන්න කියලා. පළවෙනි පාර උදව් ඉල්ලලා පරක්කු වුනොත් දෙවෙනි පාර පණිවිඩ හුවමාරු යන්තරෙන් කියන්නේ මෙන්න මෙහෙමලු. “කොළඹ ඉන්න එවුන් හොඳට අහගනිල්ලා, තව විනාඩි හතරක් ඇතුලත එයාසපෝට් දුන්නෙ නැත්තම් මුන්ට ගැහිල්ල පැත්තක දාලා කොල්ලෝ ටික අරගෙන ගිහිල්ලා ගහනවා එහා පැත්තේ ආමි කෑම්ප් එකට.....“ ඔන්න ටික වෙලාවයිලු ගත වෙන්නේ. කෙළගෙන එනවලු කෆීර් යානා අහස දෙදරවාගෙන.  

ඔන්න හරි විදිහට කතාව පටන් ගන්නෙ දැනුයි.

දවසක් අපේ කට්ටිය අතර කසු කුසුවක් ගියා. ඔය කියන වීරයා රාජකාරි වැඩකට උඩහා ඉදලා අපේ කඳවුරට ඇවිල්ලා කියලා දින කිහිපයකට. ඉතින් අපි කාගෙත් යටි හිත්වල තිබුනා වීරයා දැකලා කරලා වචනයක් දෙකක් කතා කරන්න. ඔය අතරතුර දවසක හවස් අතේ රාජකාරි වැඩ ඉවර කරලා අපි ක්‍රිකට් සෙල්ලම් කර කර හිටියා පිට්ටනියේ. මෙන්න අපි දෙවියන්ට වගේ සලකන මනුස්සයා පීටී කිට් එකත් ගහගෙන ග්‍රවුන්ඩ් එකට ආවා. අපි හැමෝම වීරයා හැබැහින් දැක්කා. ඉතින් අපි සෙල්ලම් කෙරිල්ල පැත්තක දාලා එයා වටකර ගත්තා. මුලින්ම සුබ සැන්දෑවක් කියලා සුබ පතලා අපිව හඳුන්වලා දුන්නා. නිසි ගෞරවය දුන්නට පස්සේ අපි ආය සෙල්ලම පටන් ගත්තා. එයා ග්‍රවුන්ඩ් එක වටේ ශරීර යෝග්‍යතාවය සඳහා දුවන්න ගත්තා. එයාගේ මිත්‍රයොත් වට කරගෙන. ටික වෙලාවකින් එයාගේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් කරන්න ඕන දේවල් ඔක්කොම කරලා අපි ඉන්න පැත්තට ආවා. “කොල්ලනේ කාලෙකින් ක්‍රිකට් පාරක් ගැහුවෙත් නෑ.... “ කියාගෙන. අපිට නේද ඊට වඩා දෙයක් නෑ. අපි සෙල්ලම් කරකර හිටපු මැච් එක මොහොතකට නතර කලා. අපි බොහොම ගෞරවයෙන් “වෙල්කම් සර්, සර් එන්න බැට් කරන්න.....“ කිව්වා. අපේ යාලුවෙක් බොහොම ගෞරවෙයන් සර්ට බැට් එක පිරිනැමුවා. සර් බැට් කරන්න ගියා. බොල් කරන්න හිටියේ කව්ද දන්නවද? මම. ඇඬෙනවා නේද ඔයගොල්ලන්ට‍. ඒකනේ මේ කතා සේරම! මාව සීතල වුනා. මම කල්පනා කලා සර්ට බෝල් කරන්න ඕන විදිහ. වේග පන්දුවක් දානවද? ඒකට සර්ට බැට් කරගන්න බැරි වෙයිද! ඉතින් මම ස්ලෝ බෝලයක් දාන්න හිතා ගත්තා. හැබැයි ඒක වැඩිය ස්ලෝ කලොත් සර්ට හිතා මතා අගෞරවයක් කලා වෙනවා.

මම මේ දේවල් හිත හිතා බෝල් කරන සීමාව ගාවට ඇවිදගෙන ගියා. ආපහු හැරෙද්දි සර් යුද්ධයට යන්න වගේ ලෑස්ති වෙනවා. ඊට පස්සෙ මම දිහා තියුණු බැල්මක් දැම්මා. ඒ කියන්නේ සර් ලෑස්තියි. අපේ යාලුවෝ හැමෝම හෙන උද්යෝගයෙන්. පිට්ටනියේ වෙනත් ක්‍රිඩාවල නිතර වෙලා හිටපු අයයි, පිට්ටනිය නඩත්තු කරන සිවිල් සේවකයෝ හැමෝමයි තමන්ගේ වැඩ නවත්තලා වීරයගේ ක්‍රිකට් ගැහිල්ල බලන්න තියාගත්තා. අපි හෙන උඩ ගිහින් හිටියේ ඒ වෙලාවේ. ඇයි මෙච්චර මිනිස්සු ඉද්දි සර් ආවේ අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඊටත් වඩා මම! ඒ මොකද සර්ට බෝල් කරන වාසනාවන්ත පන්දු යවන්නා මම හන්දා. හැමෝම මට ෆිට් තමා කියලා සංඥා කලා. ඒ වුනාට මම දන්නවා, මුං මගේ යාලුවෝ වුනාට හැමෝම බලාගෙන හිටියේ මම යවන බෝලයට සර් හොඳ හයේ පාරක් ගහනකල්. එතකොට හැමෝම “ගුඩ් බැටින් සර්...“, “වෙල් ඩන් සර්...“ කියලා අත්පුඩි ගහයි. ඇත්තටම උන්ට වරදක් කියන්නත් බෑ. මමත් බලාගෙන හිටියේ මම යවන බෝලෙට සර් හයේ පාරක් ගහනකල්. ඔයගොල්ල කොහොම හිතුවත් ඒක මට ගෞරවයක්. මොකද මේ මං ඉදිරියේ බැට් එක තියාගෙන ඉන්නේ සතුරො පවා නම කියපු හැටියේ සලිත වෙලා යන යුධ වීරයෙක්. නවින අවි ආයුධ නිකම් කුරුම්බැට්ටි මැසිමක් වගේ හසුරුවන්න පුලුවන් නියම දක්ෂයෙක්. ඒ මදිවට තමන්ගේ සඟයින්ට තාත්තා කෙනෙක් වගේ සලකන නියම නායකයෙක්. ඉතින්!

අන්තිමේ මම හිතාගත්තා සර්ට ලේසියෙන් ගහන්න පුලුවන් විදිහට පන්දුව යවන්න. ඒ කියන්නේ බෝලය පිච් එකේ තරමක් ඉස්සරහා වැදිලා බැට් එකේ නියම තැනට එල්ලවෙලා ලේසියෙන් ගහන්න පුලුවන් විදිහට. මම හිමින් හිමින් දුවන්න අරගෙන වේගය වැඩි කරලා හිතපු විදිහට බෝලය යැව්වා. බෝලේ නියම තැන පතිත වුනා. ඊලගට ඒක සර්ගේ බැට් එකට ලේසියෙන් ගහන්න පුලුවන් තරම් උඩට ඇවිල්ලා බැට් එක පැත්තට ඇදුනා. මම හිතපු හැටියටම! හයේ පාරක් ගහන්න කියාපු බෝලේ. ඒත් මෙන්න ඊලග මොහොතේ මාර වැඩක් වුනා. බෝලේ සර්ගේ බැට් එකේ වදිනවා වෙනුවට ඒකට වෙට්ටුවක් දාලා ගිහිං විකට් එකේ වැදුනා. පොලු දෙකක් ම දේයි ගාලා බිම. කොල්ලෝ මා දිහා බැලුවේ හරියට මම සර්ට වෙඩි තිබ්බා වගේ.

ඇත්තට ම මෙතන අපි කාගෙවත් වරදක් නෑ. තුවක්කුව හුරු වෙලා තිබුනු අත් දෙකකට එකපාරට ම කොහොම බැට් එකක් හුරු වෙන්නද? අනික මම දුවගෙන ආපු වේගය ගණනය කරලා සර් ගහන්න යන්නැති. මම වේගයෙන් දුවගෙන ආවාට මොකද යැව්වේ ස්ලෝ බෝලයක්. ඒ ඉතින් සර්ගෙ ම හොඳට. ඒත් වැඩේ කොට උඩ ගියා. එහෙමයි කියලා අවුරුදු ගාණකින් පිට්ටනියට බැස්ස මනුස්සයෙක්ට ආපයින් යන්න දෙන්න පුලුවන්ද? අනික මේ අපේ වීරයනේ. ඉතින් මම තැනට සුදුසු නුවණ පාවිච්චි කලා. මම වහාම මගේ දකුණු අත උස්සලා, “සොරි සර්... ඉට්ස් අ නෝ බෝල් අයි තින්ක්.....“ කිව්වා. මේ හෙන ගහන්ඩ වගේ හැම දේ ගැනම තීරණය දෙන්න විනිශ්චයකාරයෙක් මගේ පිටිපස්සෙන් ඉන්න කොටම. සර්, “ආහා..... ගුඩ් නිව්ස්....“ කියලා බැරෑරූම් විදිහට මූණ හදලා, ඊලග බෝලේ ගැන හිතන්න ගත්තා. එතකොට විනිශ්චයකාරයා, එයත් අපේ යාලුවෙක් ම තමා. මිනිහා වැදගත් මෝඩයෙක් වගේ මගේ කියමන ඔලුව වනලා අනුමත කරලා, නෝ බෝල් කියන සංඥාව දුන්නා. හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ.

මම ඊලග බෝලය දාන්න සීමාවට ගියා. කොල්ලෝ මා දිහා බැලුවේ “මොනාද යකෝ උඹ කරන්නේ“ කියන බැල්මෙන්. ඉතින් මම මගේ ඉෂ්ඨ දේවතාවට කෙටි කන්නලව්වක් කරලා, දුවගෙන ගිහිල්ලා ඊලග බෝලෙත් දැම්මා. මෙන්න යකෝ ඒකත් පොලු කියහංකෝ! දැන් මොන දෙයියට ද කියන්නේ. මට කරකියා ගන්න දෙයක් නැතුව ගියා. මම අපේ බුද්ධිමත් විනිශ්චයකාරයා දිහා බැලුවා. මගේ ඉටු දෙවියා මා දිහා නොබැලුවට මොකද ගණ දෙයියෝ මිනිහා දිහා බලලා තියෙනවා. මොකද මම හැරෙන්නත් කලින්ම මිනිහා ඒ බෝලෙත් “නෝ බෝල්“ කියලා සංඥා කරලා, තටුවක් කැඩිච්ච ප්ලේන් එකක් වගේ එක අතක් දික් කරගෙන ඉන්නවා. ඉතින් මම එකතු කරලා හැම දෙයියෙක්ටම පින් දුන්නා.

ඔයගොල්ල විශ්වාස නොකලට මම ඊලග බෝලෙත් දාන්න හිත හදාගත්තා. අපි කවදාවත් සැලෙන මිනිස්සු යැයි. අඩුම ගානේ ඒකටවත් සර් හොඳ පාරක් දෙයි කියලා හිතලා. ඔන්න මම දුවන්න පටන් ගත්තා. වේගය වැඩි කරගෙන ඇවිල්ලා පළපුරුදු පන්දු යවන්නෙක් වගේ බෝලේ දැම්මා. ඒකට නං සර් ගැහුවා ගැහිල්ලක් නප්පි නදර් වෙන්ඩ. හැබැයි කරුමෙක මහත කියන්නේ බෝලේ බැට් එකේ වැදුනේ නෑ. ගිහිං වැදුනේ විකට්ටුව ආවරණ වෙලා තිබුනු සර්ගේ පිටිපස්සේ කකුලේ. මම පුරුද්දට වගේ විනිශ්චයකාරයාගෙන් ඉල්ලීමක් කලා. ඒක එල්බීඩබ්ලිව් එකක් විදිහට අවුට් ය කියලා. අපේ කොල්ලොත් ඒකට උදව් වුනා. එහෙමනේ ක්‍රීඩාවේ නියම ජිවගුණය තියාගන්නේ. අපේ බුද්ධිමත් විනිශ්චයකාරයාට දෙලෝ රත්වෙලා. ඇයි මේක පැහැදිලිව ම දැවී යාමක්. ඒත් මේ වගේ මනුස්සයෙක් ව අවුට් කරන්න තරම් මිනිහා පිං කරලා නෑ. ඒත් මිනිහා සෑහෙන්න කල්පනා කරලා සර්ගේ ඉරණම තීරණය කරන්න අත උඩට උස්සන්න ගියා. මම නේද, පොර පැත්තට හැරිලා “ඒ ඒ..... පිස්සුද උඹට....“ කියලා රැව්වා. මිනිහට කර ගන්න දෙයක් නෑ. මිනිහා උඩට උස්සපු අත කෙලින්ම නළලට ගෙනිහින් නළල කසන්න ගත්තා. මෙච්චර වැඩ තියෙද්දි අපේ විනිශ්චයකාරයා නළල කසනවා. බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේක මහ විකාරයක් වගේ පේන්න ඇති.

ඉතින් මම වට පිට බැලුවා. හැමෝම ගල් ගැහිලා. හිතාගන්න බෑ. හැබැයි සර්, බැට් එකට බර දීලා දණබිම ඔබාගෙන තනියෙම හිනාවෙනවා. සර්ට හිනාව නතරකර ගන්න බෑ. සර් මුල ඉදලා වෙච්ච දේවල් සේරම මතක් කරකර හිනාවෙනවා. මුල් පන්දුවේ ඉදලා වෙච්ච දේවල් සේරම. නියම වීරයෝ හිනා වෙනවා ඔයගොල්ල දැකලා තියෙනවා ද? ඒක බලන්න වටින දර්ශණයක්. හැබැයි හැමෝටම ඒකට වාසනාවක් නෑ. ඉතින් අපිත් හිනාවුනා. හැබැයි බොහොම ගෞරවයෙන්. සර් හොඳටම හිනා වෙලා අන්තිමේ සංඥවක් කරලා අපිට ලඟට ගෙන්නුවා. අපි බොහොම කැමැත්තෙන් සර් වටේ වටවෙලා පහසුවෙන් හිටගත්තා. සර් හිනාවෙලා ඉවර වෙලා හැමෝම දිහා බලලා බොහොම සුහදශීලි හිනාවකින් කතා කරන්න ගත්තා. “උඹලා ගැන මට ආඩම්බරයි. තමන්ගේ එකෙක් වෙනුවෙන් උඹලා නොකරන දෙයක් නෑ..... “ සර් කිව්වෙ එච්චරයි. තව ගොඩක් දේවල් කියන්න තිබුනත්, සර් කිව්වෙ නෑ. ඉතින් ඒ සේරම අපි හිතාගත්තා. ඊලගට සර් ආය ඔලුව දෙපැත්තට වනා වනා හිනාවුනා. “උඹලා ඔය පූල් එකේ නොහිටින්න ඔක්කොම මම පටවගෙන යනවා උඩහට.....“ සර් එහෙම කියනකොට අපිව පුපුරන්න වගේ ආවා ඇතිවුනු සතුටට. “තැන්ක්යූ සර්...“ අපි නිහතමානීව ආඩම්බර වුනා.

ඊලග මොහොතේ සර් වෙලාව බලලා තමන්ට පිට්ටනියෙන් පිටවෙන්න වෙලාව ඇවිල්ලා කියලා කිව්වා. අපි සර්ට සුබ රාත්‍රියක් කියලා සමු දුන්නා. සර් ඩිෆෙන්ඩර් රථයට නැග්ග හැටියේ එයාගේ රියදුරා රථය පණගැන්වූවා. සර් ආයිම පාරක් පිට්ටනිය දිහා බැලුවා. ඊලග මොහොතේ සර් අපි කව්රුත් නොහිතපු දෙයක් කලා. සර් එයාගේ කැප් එක ඔලුවෙන් ගලවලා ඒක උඩට උස්සලා අපිට ආචාර කලා. ඔව්! වීරයෙක් අපිට එහෙම කලා. අපි හැමෝම සීරුවෙන් හිටගෙන ඒ ආචාරය පිළිගත්තා. ඒක තමා ආචාරයක් පිළිගන්න ඒ මොහොතේ හොඳම විදිහ.

ඔන්න ඔය විදිහට අපි අපේ වීරයාට, නැත්තම් අපේ හිතගත්තු පුද්ගලයට පුලුවන් උපරිම විදිහට සැලකුවා.

ඉතින් ඒ සිදුවීම අපේ හිත් වල මකන්න බැරි මතකයක් වුනා. ඒ ගැන අපි කතා කරන හැම වෙලාවකම මම කිව්වේ කවදාහරි දවසක සර්ට පන්දු ඕවරයක්ම දාලයි පස්ස බලන්නේ කියලයි. එදා මට යවන්න ලැබුනේ බෝල් තුනයි නේ! හැබැයි තවත් ටික කාලයක් යද්දි ඒ බලාපොරොත්තුව මට හිතෙන් අයින් කර ගන්න වුනා. මොකද ඒ සිදුවීමෙන් අවුරුදු දෙක තුනකට පස්සේ අන්තිම සටන මාවිල් ආරු වලින් පටන් ගත්තා. අපේ වීරයෝ කාටත් ඊට පස්සේ උදා වුනේ බොහොම කාර්යබහුල කාලයක්. අන්තිම සටන ගැන විස්තර මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑ. ඒ ගැන විස්තර ඕන හැටියේ ඔයගොල්ල දැකලත් තියෙනවා, අහලත් තියෙනවා.

ඒ වුනාට මේ කතන්දරේ මම නොකියන්න කවදාවත් ඔයගොල්ලන්ට දැනගන්න වෙන්නේ නෑ. මේ කතාව මට කියන්න ලැබුනට හැමෝටම මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. වීරයෝ ගැන මීට වඩා කතා දන්න අයටවත්! ඒක නිසා හුඟක් වීර කතා අපි කව්රුත් දැනගන්න කලින් ම යුධ පිටි වල, වනාන්තර මැද, හිස් ආකාසේ, දියපාරවල් අසබඩ ඒ කතා දන්න අයත් එක්කම මැකිලා යනවා. කලාතුරකින් හමුවුනත් ඒ අය කව්රුත් නොදන්න නාඳුනන සෙබලු විතරක් වෙන්නත් ඉඩකඩ තියෙනවා.

ලොකුම අවාසනාව තමා අපි ඔයගොල්ල වගේ වීරයන්ට සලකන්න කැමති හුඟක් දෙනෙකුට ඒ අයට සලකනවා තියා ඒ අය ගැන දැනගන්නවත් වාසනාවක් නැති වෙලා යන එක! ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද?

Related Posts Plugin for WordPress, Blogger...