2011/11/14

නාඳුනන සෙබලා ! | සයිබර් යාය.

අපි උඩ ගොස් බිම වැටුනෙමු.

කළ යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ අපි ඇඳන් මතින් බිමට පැන්නෙමු. උදේ තේ වෙලාවද? නැත. තවමත් මැදියම ගෙවී හොරා කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව මට හැඟිණි. මම ඔරලෝසුව බැලුවෙමි. දෙකයි තිස් අටයි.

පසුදින අප මාසික වේතනය ගෙන, දින හයක නිවාඩුවට නිවෙස් බලා යාමට සිටි නිසා පුහුණුකරු අපට අධික ලෙස ව්‍යායාම කරවා අප වෙහෙසට පත් කලේ, “දවස් හයක් තිස්සෙ උඔලා පුස් ඌරෝ වගේ කාලා එන්නෙ කියලා මම දන්නවනේ...“ යැයි පවසමිනි. නිවාඩුව නිසා සිත ප්‍රීතියෙන් ඉපිලෙමින් තිබුනද, ව්‍යායාම නිසා පෙර දින අප නින්දට ගියේ ඉතා තෙහෙට්ටුවෙනි.

මම ඇය‍ගෙත්, නංගීගෙත් ජංගම දුරකතන වල එල්ලිය හැකි හුරුබුහුටි කුඩා ටෙඩියන් දෙදෙනෙකු මිලට ගෙන සිටියෙමි. මෙය කදිම තෑග්ගකි. නිතර දෙවේලේ ජංගම දුරකතනය පේන මානයේ තබාගෙන සිටින ඔවුන්ට, මේවා දකින දකින වාරයක් පාසා මා මතක් වනු ඇත.

නමුත් සිදු නොවිය යුතු දෙයක් සිදු වෙමින් පවතින බව මට ඒත්තු යමින් තිබිනි. එක්ස්.ආර්. මෝටර් බයික් කිහිපයක් අපගේ නිවස්නය ඉදිරිපිට මොර දෙමින් තිබේ. එයින් බැසගත් අය යැයි කිව හැකි විශේෂ පුහුණුව ලත් සෙබලු කිහිප දෙනෙක් “උzයි ගන්” (Uzi gun) සහ “ටී‍ ෆිෆයිව් සික්ස්” අතැතිව අපගේ නිවස්නය වෙත පැමිණ කෑමොර දෙමින් සිටියහ.

“ඒයි තොපි බුදිද යකො.....අරහෙ අරුං ගහනවා..... තොපි නිදි... නැගිටපියව්........”

ඒ අතර තුර වරින් වර ඔවුන් අහසට වෙඩි තැබූහ. උzයි ගන් වලින් නැගෙන තියුණු “ටිකි ටිකි” හඬ අතරින්, ටී ෆයිව් සික්ස් වල ගොරොසු “ටිකි” හඬින් නික්මුනු උණ්ඩ අහස කරා ගියේ, අතර මැද දී හමුවු, අතුරන ලද ශිට් වහලය සිදුරු කරගෙනය. ආරක්ෂිත පියවරක් ලෙස විදුලිය විසන්ධි කර තිබූ නිසා හාත්පස කලුවරය. සයිරන් නලා අඬ අපගේ අවුල් වූ මනස ඒකාග්‍ර කර ගැනීමට ඉඩ නොදෙයි.

කෙමෙන් සියල්ල පැහැදිලි වෙමින් තිබිනි. අප කිසිදිනෙක බලාපොරොත්තු නොවු යම් කිසිදෙයක් සිදු වී ඇත. අපේ මහගෙදර හොරු පැන තිබේ. අධි ආරක්ෂිත කලාපයක ආරක්ෂිතව සිටි අපි අනාරක්ෂිත වී ඇත. දැන් කළ යුතුව ඇත්තෙ එක් දෙයකි. ඒ මීට පෙර පුහුණු කර තිබූ පරිදි අපි සියල්ලෝම නිළ ඇඳුම් ඇතිව හෝ නොමැතිව ආයුධ ගබඩාව වෙත දිවීමයි. මම “කොල්ලන්“ හොරකම් කරාවි යැයි බියෙන් කොට්ටය යට සඟවා තිබූ ටෙඩියන් දෙදෙනා සාක්කුවේ රුවාගෙන ආයුධ ගබඩාව දෙසට දිව්වෙමි.

එහිදී අපට ආයුධ ද, අණ දෙන්නෙක්ද ලැබිනි. යුධ කටයුතු මනාව මෙහෙයවා ඇති අණදෙන්නා අප සමඟ ගොස් අඩි හතරක් පමණ ගැඹුරු, කඳවුර පුරා දිව යන දිය අගල් ඔස්සේ අපව ඉදිරියට මෙහෙයවීය. ඔහු අතේ වූ පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ හඬ ඉතා අඩුකර තිබිණි. නමුත් එයින් දිගින් දිගමට විධාන ලැබෙමින් පැවතිනි.

“පුලුවන් තරම් ඉක්මනින් පාර ක්‍රොස් කරන තැනට යන්න. ඕවර්....”

සතුරන් අප කඳවුරු භූමිය ආක්‍රමණය කර ඇත.

නමුත් ඔවුන්ගේ ලේසර් හිසක් සහිත සැහැල්ලු තුවක්කු තවමත් වැඩි හරියක් නිහඬය. ඔවුන් තිදෙනෙක් තුන් පැත්තක සිට ලේසර් කිරණ ආධාරයෙන් එක එල්ලයක් ලබා ගනී. පසුව එක් තුවක්කුවකින් “ටක ටකස්” හඬින් වෙඩි කිහිපයක් තබා, නැවත නිහඬ වෙයි. මේ හේතුවෙන් කඳවුරට කෙතරම් සතුරන් ප්‍රමාණයක් පැමිණ ඇත්ද, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කුමක්දැයි අපට නිවැරදි තීරණයකට පැමිණිය නොහැකිව තිබිනි.

තවත් සුලු මොහොතකින් සියල්ල වෙනස් විය.

කඳවුරේ ආපන ශාලාව පෙදෙසින් අත් බෝම්බයක් පුපුරා ගිය අතර එදෙසට වෙඩි කිහිපයක් එල්ල කල බව කලුවර විනිවිදගෙන ගිය ගිණි පුලිඟු සාක්ෂි සැපයීය. ක්ෂණිකව ඊට ප්‍රතිවිරුද්ධ ගිනි පුලිඟු කිහිපයක්ද නික්මිණි. මේ අනුව උන් අපෙන් ප්‍රසිද්ධියේ “ගේම ඉල්ලීමට” පටන් ගෙන ඇති බව තහවුරු විය. නමුත් අප තවමත් ඊට මීටර් සීයයකට පමණ මෙපිටින් දිය අගලක් දිගේ ඉදිරියට ඇදෙමින් සිටියෙමු.

ක්ෂණිකව අප පසුකර ගිය ට්‍රක් රථයක් අත් බෝම්බය පුපුරාගිය පෙදෙස පසුකර ගොස් නැවැත්වීය. සැනින් එයින් පැනගත් අප සහෝදර සෙබලු “දිගට හරහට” වෙඩි තබන්නට විය. “එකවර අතිවිශාල වෙඩිබලයක් පෙන්වීම සතුරාගේ මානසික ඒකාග්‍රතාවය බිඳ හෙලීමේ එක් උපක්‍රමයකි“. මට පෙර දිනක ඉගැන්වූ පාඩමක් සිහිපත් විය. ඔවුන්ද ඊට ප්‍රතිචාර දැක්වීය.

සටන ඇරඹිනි.

අප කඳවුරු භූමියට පැමිණ, අපට වෙඩි තබන්න හැක්කෙ කාටද? අප ඔවුන් සොයා ඉදිරියට ඇදුනෙමු. කෑලී කැපිය හැකි කලුවරේ සහෝදර සෙබලු සමග ඔවුන් වෙඩි හුවමාරුක යෙදී සිටිති.

ඔවුන් අප කඳවුර මනා සේ අධ්‍යනය කර ඇත. ඔවුන්ගෙ ලේසර් පහරවල්, වරින් වර අප ගමන් කරන දිය අගල හා සමාන්තරව දිවෙන කඳවුර තුල ඇති ප්‍රධාන පාරට එල්ල වෙමින් පවතී.

“පාර ක්‍රොස් කරපල්ලා............” අපට විධාන ලැබුනි.

පාර හරහා ගමන් කිරීම යනු දැන දැන මරණයට ගමන් කිරීමකි. මක් නිසාද ඔවුන් දැනටම පාර වෙත ඔවුන්ගෙ අවධානය යොමු කර ඇත. යම් හෙයකින් අප පාරෙන් එපිටට පැන ගත හොත් ඔවුන්ට පැති දෙකකින් පහර එල්ලවනු ඇතැයි යන්න පැහැදිලි බැවින්, ඔවුන් සටන අතරතුර පාර ගැන විශේෂ අවධානයක් යොමු කරමින් සිටිති.

කෙසේ හෝ එක් සගයෙක් පාර හරහා පනිනු ලැබීය. මේ වන විට අඳුරට දෑස් හුරුවීම නිසා ලඟ සිටින්නා හඳුනාගත හැකි වුවද, අඳුරේ ඔහු එහා පැත්තට ගියා දැයි අපි නොදැක්කෙමු.

ඒ සමඟම වෙඩි වරුසාවක් පාර දෙසට එල්ල විය. ඔවුන් ඉතා පහලින් වෙඩි තැබුහ. සමහර උණ්ඩ තාර පාරේ වැදී පොලා පනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ගිනියම් වූ උණ්ඩ අපගේ ඉලක්කය ප්‍රමාද කරමින් ඇත. නමුත් නියෝගය අපට පිලිපැදීමට සිදුවී ඇත. අණදෙන්නා දෙවරක් සිතා නැවතත් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ප්‍රධානියා ඇමතීය.

“සර් උන් පාරට ෆයර් කරනවා.........ඕවර්”

“එකා පිට එකා වැටිලා හරි පාර ක්‍රොස් කරපල්ලා................” අවසන් නියෝගය ලැබිණි.

මට පෙර මගේ යහලුවන් කිහිප දෙනෙක් පාර හරහා පැනීමට සිටි අතර ඔවුන් නැවත වරක් අප දෙස හැරී බැලීය. ඔවුන්ගේ නෙත් සමඟ අපගේ නෙත් එකට ගැටෙද්දී හැමදාටම වඩා වෙනස් හැගීමක් ඒ අතර දෝලනය විය. ඊලඟ මොහොතේ ඔවුන් නොපෙනී ගියේ එපිටට ගියාදැයි සලකුණක් ඉතිරි නොකරමිනි.

පිපුරුම් වේගයෙන් තුවක්කුවෙන් නික්මෙන ගිනියම් වූ ලෝහ උල් කැරකෙමින් ඉදිරියට ඇදෙන බවත්, ඒවා එක තුවක්කුවකින් තත්පරයකට පහලොවක් පමණ පැමිනෙන බවත් අප මුලදී ඉගෙන ගෙන තිබිනි. මේ වන වි‍ට එවැනි ගිනියම් වූ ලෝහ උල්, වරුසාවක් මෙන් අපට සමාන්තරව ගමන් කරයි. ඔවුන් අපට පාර හරහා මාරු විය නොහැකි සේ ඉතා පහලින් පාරට වෙඩි තබමින් සිටියහ. නමුත් කෙසේ හෝ අප ඒ හරහා යා යුතුව ඇත. කාලය ගණනය කළහොත් අපට ඒ සඳහා අවම වශයෙන් තත්පර තුනකට වඩා කාලයක් ගතවනු ඇත.

වෙඩි වරුසාවකට, තත්පර තුනකට අධික කාලයක් නිරාවරණය වීම ගැන මම හොඳින් දනිමි. මේ පැමිණ ඇත්තෙ මගේ අවසන් මොහොතද?

අප කුමන අරමුණක් මුදුන් පත් කරගැනීමට මෙහි පැමිනියද, දැන් අප සටනකට මැදිව ඇත. මේ මොහොතේ තීරණ ගැනීම අපට අයිති දෙයක් නොවන අතර සියල්ල තීරණය වෙමින් පැවතිනි. සියල්ලෙහි ම අවසානය මෙය විය යුතුය.

මට මගේ අම්මා, තාත්තා සහ නංගී සිහි විය. නංගී කර දඬු උස්වූ කෙල්ලෙක් වුවද මා ගෙදර ගිය දිනවලට උදේ පාන්දර කොට්ටෙත් රැගෙන පොඩි කාලේ මෙන් මගේ කාමරයට පැමිණ මා සමඟ උදෑසන වෙන තුරු නිදාගන්නීය.

මා කුඩා කල සෙල්ලම් කල යහලුවන්, ගස් කොළන්, සතුන් සහ කඩමණ්ඩිය යන සියල්ල මා ඉදිරියේ මැවී අතුරුදන් වෙයි. මගේ පාසල පන්තිය හා හවස ක්‍රීඩා කල ආකාරය මට සිහි විය. “ඇය” මා වෙනුවෙන් බලා සිටිනු මට පෙනේ. තවත් වසරකින් අප විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියෙමු.

එහෙත් සියල්ල නොසිතු ලෙස සහ ඉතා කෲර ලෙස මගෙන් උදුරා ගැනීමට පසුබිම සැකසෙමින් තිබිනි. මීට පැය කිහිපයකට පෙර සතුටින් ඉපිලෙමින් සිටි මගේ ඉරණම විසදීමට ඇත්තෙ තවත් මිනිත්තු කිහිපයකි. සිතන්නට නොහැකි, අත දරන්නාට නිරන්තරයෙන් කීකරු වන, හිතක් නොමැති තුවක්කුවක් තුල උණ්ඩ පොදියක් මගේ ඉරණම විසඳීමට දැනටමත් සැදී පැහැදී සිටින බව මට ඒත්තු යමින් තිබිනි. මේ වෙනුවෙන් මට කළ හැකි කිසිවක් නොවීය.

අඟල් දෙකකටත් අඩු ගිනියම් වූ යකඩ උලකට මගේ පවුලේ අයගෙත්, ඇයගෙත් සියලු බලාපොරොත්තු විසුනු කිරීමට ඉඩ දීම කෙතරම් අසාධාරණද?

මට පොඩි කාලෙයේ දී මෙන්, “අනේ අම්මේ...... බේරගන්ඩකෝ.....” යැයි අම්මාට ඇසෙන සේ මොර දීමට උවමනා විය.

නමුත් එයට කාලයක් ඉතිරි නොවීය. මගේ වාරය පැමිණ ඇත. මම මේ වන තුරුත් මගේ සාක්කුවේ රුවාගෙන සිටි හුරුබුහුටි ටෙඩියන් දෙදෙනා හැකි තරම් වෙර ගෙන ඈතට විසි කර, පාර ගිලගෙන ඇති අඳුර, විනිවිදිමින් යන උණඩ වරුසාවට පැන්නෙමි.

නිමි !.

36 ක් කියන්නේ !:

  1. අද කොහෙවත් නැති චන්ඩි රජ කරන්නේ මේ වගේ ජීවිත දහස් ගනනක් පූජා කරලා ලබාගත්ත නිදහසේ නිසයි.....

    ReplyDelete
  2. ඇඟ හිරිවැටෙන කතාවක්. කොහොම උනත් සෙබලාගේ සිහින සැබෑවීම ගැන අපේ අවංක ප්‍රීතිය....:)

    ReplyDelete
  3. උඹ Call of Duty ගේම් එකවත් ගැහුවද, මේ හදිස්සියෙ මෙහෙම එකක් ලිවුවෙ.. මොනාවුනත් එළටම ලියලා තියෙනවා..

    ReplyDelete
  4. යුරෝ

    වෙනදා වගේම කතාව නම් මැවිලා පේන සයිස්...

    ඒත් නොකී කතාව ??

    ReplyDelete
  5. අද වෙනස්ම කතාවක්......සාර්තකයි බුද්ධියෝ....
    නාඳුනන සෙබලා වෙනුවෙන් අම්මලා, සහෝදර සාහෝදරියෝ, බිරින්දැවරු, දූ පුතුන් කී දාහක් තවමත් කඳුලු සළනව ඇතිද ?...

    ReplyDelete
  6. අම්මෝ මගේ ඇඟ හීතලා වෙලා ගියා අපේ එකා ඉවරයි කියලා. ඒත් ඉතිං ඔය කියන ඒවාට පස්සෙත් අපේ එකා හිටියානෙ කියලා මතක් වුණ නිසා හිත නිදහස්. ඇති යන්තං ඔයින් ගියා. ඔන්න පුතේ ආයෙ එහෙම ඔය වගේ සෙල්ලං වලට යනවා නෙමේ.

    ReplyDelete
  7. ෆිල්ම් එකක් බැලුවා වගේ...

    ReplyDelete
  8. කොහොමද බං මේක නිමි වෙන්නෙ. ඉතුරු ටිකත් දාහං.
    කොහොම උනත් නියමෙට ලියල තියෙනව.

    ReplyDelete
  9. අඩෝ.. මයිල් ස්මයිල් වුනා මචං... නියමයි... සෝ මෙන්න මගේ පංගුව උඹ වෙනුවෙන්...!!!

    ReplyDelete
  10. මේ කතාවම තියෙන කීදෙනෙක් නම් එදා දිවි පුදන්නට ඇත්ද.

    ReplyDelete
  11. ඇත්තටම මම හිතුවා අත්දැකීමක් කියලා.....

    @ ඔබ නොදු‍ටු ලොවක්
    ඒකනම් අත්ත....
    උන්ට ඒවා මතක නැහැ.....

    ReplyDelete
  12. උඹගෙ ප්‍රභන්දය මොකක්ද, ප්‍රභන්දය නොවෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව මේ හොල්මං වෙලා හිටියෙ. ඒ කියන්නෙ ඉතාම සාර්ථකයි කියන එකනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  13. සුනන්ද කියන්නෙ මගෙ ජංගි කාලෙ යාලුවෙක් . . . ඔපරේශන් ඒරියා ඉද්දි සුනන්ද ෆ්‍රන්ට් ලයින් එකේ යද්දි ඊට මීටර් 100කට විතර පිටිපස්සෙන් තමයි සුනන්දගෙත් මගෙත් තවත් ජංගි මිත්‍රයෙක් වෙච්චි වීරෙ එන්නෙ . . . . ශෙල් එකක් වැටිල සුනන්දගෙ කකුල් මුලටම . . . වීරෙ බලං ඉද්දිම . . . අදටත් සුනන්ද ඉන්නෙ අතුරුදහන් ලිස්ට් එකේ . . .

    මගෙ ජංගි යාලුවන්ගෙං 50%කට වඩා මට ඔහොම නැති උනා . . . කෙල්ලංගෙන් ඉතුරු උනේ SF ගිය චන්ද්‍රා විතරයි . . . .

    ReplyDelete
  14. කියවද්දි හිරිවැටෙන්නම ලියලා තියනවා

    ReplyDelete
  15. අසුරු සැනින් ආ වෙඩි උණ්ඩ ගණනාවක් මගේ සිරුර පසාරු කරගෙන යන ගමනේ, හදවත පසාරු කරගෙන ගිය තියුණු උණ්ඩය, එහි ඇති ඇගේ රූපය අසලින් තවත් ඉදිරියට යා නොහී ඉද්ද ගැසුවාක් සේ එතැනම නතර විය. පපුව හිරවී, හදවත උගුරෙන් මෑතට පොලා පනින්නට හදන මොහොතේ කොට්ටය යට තිබූ ටෙඩියන් දෙදෙනා වැරෙන් එක් අතකට මිටි කරගත් මා ඇඳ මතින් ඉවතට පීනූ අතර මගක් දුර යන විට එය බන්ක් බෙඩ් එකක් බව සිහි වුනද එයින් පලක් වූයේ නැත.දැනුත් මා ඇවිදින විට නිකං දුනු බැහැපු බක්කි කරත්තයක් සේ දිස් වන්නේ එදා වැටුනු පාරට කොන්ද ඇනුනු ප්‍රමාණේ විශාලත්වය නිසාය.

    ReplyDelete
  16. විනාඩි කිහිපයකට හතර වටේ උණ්ඩ විසීවෙන ඇක්ෂන් ලෝකේක හිටියේ... හෙල්මට් එකක් නැතුව කියවන හින්දා ඔළුවත් පොඩ්ඩක් නවාගෙන කියෙව්වේ කෝකටත් කියලා.. :D :D

    නියමයි මචන්, දෙයක් කියන්නම්...උඹ ඇත්තටම ඔතන හිටියානම් ටෙඩියෝ දෙන්නා සාමාන්යයෙන් විසිකරන්නේ නෑ...නේම් ටැග් ගහලා තියෙන චේන් එක කඩලා අරන් ටෙඩිබෙයාර්ලා දෙන්නව ඒකෙන් ඔතලා ඉන්ජර්ඩ් වෙලා ගෙනියන එකෙකුගේ සාක්කුවට දානවා... නැත්තම් හෙල්මට් එක ගලවලා පරිස්සමෙන් එකෙන් වහලා තියනවා... :)

    ප.ලි. - මේ ෆිල්ම් එක උබ බලලත් ඇති, බලලා නැත්තම් බලපන්... සොල්දාදුවා ගැන ලස්සන අවබෝධයක් ගන්න පුළුවන්...
    http://www.youtube.com/watch?v=gPA6kRuhKks&feature=related

    ReplyDelete
  17. නිකං මේ පොඩි උං බය කොරෝනව.
    ඉටලි ඩිලාන් තමයි හරිම තැනින් අල්ලගත්තෙ. ඒත් ඇත්තම කතාව ඕක නෙමෙයි. මේක මේ එකපාරක් අර උන්දැටයි නඟාටයි මොනවත් නොගෙන ගෙදර ආපු දවසක ගහපු කෙබරයක්නෙ රිපීට් ටෙලිකාස්ට් කොරල තීන්නෙ.

    ReplyDelete
  18. මේක මම කියනවා කියලා හිතන්නැතුව කියවන්න. නාඳුනන සෙබලෙක් කියන්නෙ මේ.....

    කතාව ගැන මීට වඩා කියන්ඩ බෑ. මේක ඇත්ත කතාවක කතාවක්... සිංහලෙන් කියනවනං “බේස්ඩ් ඔන් ට්රෑ ස්ටෝරි“

    වෙන වෙනම කමෙන්ට් පස්සෙ...

    ReplyDelete
  19. පනහේ මැගසින් එකක් ගහගත්තනම් ඌසි එකට, ඒක ඉවරවෙන්න තත්පර 3.33... හරියටම ඇති පාර මාරුවෙන්න....!!!

    ReplyDelete
  20. හිතුමතේ ගල් ගැසි බිරාන්තව බලා සිටින වග ලිය තබන වගයි... මගේ හොදම යාලුවත් උනේ ඔය වගේ ඉරනමක්මයි... දවසක ඒකත් මගේ බ්ලොග් එකේ ලියවේවි... හිතුමතේ

    ReplyDelete
  21. මැරියන්ටයි නංගිටයි දෙන්නටම ටෙඩීලා අරගෙන !!!

    ReplyDelete
  22. සාර්ථක ලියවිල්ලක්
    [සිංහයා ගම කෑවනෙ]

    ReplyDelete
  23. හපොයි... අර උඩින් කිව්වා වගේ මගේත් පපුව ගැහෙන්න ගත්තා උණ්ඩයක් වත් වැදේද කියලා... කථාව කෙසේ වෙතත් නිර්මාණය නම් සුපිරි බුද්ධි සහෝ...!

    ReplyDelete
  24. එළකිරි වගේ ලස්සනට ලියල තියෙනවා
    ඉතුරු ටිකක් ඉක්මනට දාපන් මචං....

    ReplyDelete
  25. අපිටත් වෙඩි වැදුන වගේ . ඇත්තටම කටුනායකට ගැහුවා නේද . බුද්ධි එතන උන්නද

    ReplyDelete
  26. සියලු දෙනා වෙත,

    කුරුලු හමුදාවේ අප ගත කලේ වෙනස් විදිහෙ කාලයක් කියලා, කාලයක් මේ පැත්තෙ ආවනම් දන්නවා ඇති ඕගොල්ල.

    හිනා කතා, වගේම කඳුලු කතාත් ඕනෙ හැටියෙ තියෙනවා ඒකාලේ වෙච්ච. කඳුලු කතානම් දාන්න වැඩි බලාපොරොත්තුවක් නෑ ම‍ගේ. ඒත් මේ කතාව ගැන නොකියා බෑ. තව එක කතාවක් තියෙනවා මගේ හිතට වද දෙන. ඒකත් දවසක දාන්න ඕනේ. කට්ටිය කියෙව්වත් නැතත්. එතකොට මම නිදහස්.

    ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ට ස්තුතියි.
    ..........

    ඇත්තම කිව්වොත්, චිත්‍රපටි වල පෙන්නන හමුදා වීරයන්ට වැඩිය, වීරක්‍රියා කරන සෙබලු සෑබෑ යුධ පිටිවල ඉන්නවා. ඒත් ඒවා දකින්න අපිට කවදාවත් ලැ‍බෙන්නෙ නෑ. මොකද ඒවා බලන්න අපිට කවදාවත් යුධ පිටිවලට‍ යන්න බෑ. ටීවී වල බලන්න ඒවා පටිගත කරන්න කව්රුවකුත් නෑ.

    ReplyDelete
  27. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  28. //හැමෝම මගෙන් අහලා එවලා තියනවා//

    හැමෝම කිව්වෙ මොකේ හැමෝමද? හැමෝම කිව්වෙ කීයක් විතරද? සීයක් විතර!

    ඒක නෙමේ ප්‍රවීණා පලිපාන කියන්නෙ කව්ද? අපි දන්නැනෙ එහෙම කෙනෙක් වලව්වෙ ඉන්නවා කියලා.

    :D

    ReplyDelete
  29. බුද්ධි දැන් මේකෙ ඇඩ් දාන්නත් පුළුවන්ද මචං?

    එහෙනම් ඔය උඩින් පොඩ්ඩි දාලා තියෙන්නෙ.මේක එයාගෙ එකෙත් දාලා. ඒක නම් නොමිලේනෙ. (හික් හික්)

    ReplyDelete
  30. ඉෂාර,

    මේ මොනවා කියවනද? වලව්වෙ ඈයින්ට කොරන්ට බැරි දෙයක් තියෙනවා යෑ මේ ගං තුලානේ....

    ReplyDelete
  31. යුද්ධ දිනන්නේ රජවරු මිස සොල්දාදුවෝ හෝ සෙන්පතියෝ නොවෙන රටක.. නිර්නාමික සෙබලා ගැන කවර කතාද ?

    ReplyDelete
  32. හත්ඉලව්වයි.. කොහේටද මේ ඇටෑක් එක.

    සයිබර්යායට තස්තවාදීන් පැනලද

    ReplyDelete
  33. ඊට පස්සෙ ?

    මේ කටුනායකට ගහපු වෙලේද ? වෙන එකක්ද ? කොහොම හරි බුද්ධි පාර පැනගෙන තියනවා කියලා හිතා ගත්තෑකි.. මේ කතාව ලියලා තියන නිසා..

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...