2014/03/10

මම යුධ වීරයෙකුට පන්දු දෙක තුනක් යැව්වෙමි...:D | සයිබර් යාය

මිනිස්සු තමන්ගේ හිතගත්තු අයට සලකන්නේ විවිධ ක්‍රම වලට. ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද? 

මේ කතන්දරේ යුධ වීරයෙකුට අපි සළකපු හැටි ගැනයි.

ඒ අපි කුරුලු හමුදාවේ හිටපු කාලේ. කුරුලු හමුදාවෙදී අපි දැක්ක එක වැදගත් දෙයක් තමයි, මිනිස්සු රට වෙනුවෙන් කරපු කැපවීම. සමහරු රට වෙනුවෙන් මුලු දවසම වැඩ කලා. සමහරු දවසෙන් බාගයයි. සමහරු නියමිත නිල කාලයේ පමණයි. ඒක ඉතින් තමන් කැමති හැටියට.

අපි කුරුලු හමුදාවට ආපු හැටියේ අපේ උපදේශකයා අපට නියමයක් කිව්වා. ඒක තමා උඹලට ඉහලින් පිදුරු ගහක් තිබුනත් උඹලා ඒකට නිසි ගෞරවය දෙන්න ඕනේ කියන එක. කුරුලු හමුදාවේ එක විනය. දෙක තමයි අනිත් හැමදේම. ඒගොල්ල අපට කිව්වා. ඒ කියමන අපි අකුරට පිලිපැද්දා. අපිට වඩා එක නිලයක් ඉහලින් ඉන්න සමහරු අපේ ගෞරවය බොහොම ඉහලින් පිළිගත්තා විතරක් නෙමෙයි ඒකේ උෂ්ණයත් සමහර වෙලාවට අපට පෙන්නුවා. හැබැයි අර කතාවක් තියෙනවා වී කරළ පැහෙන්න පැහෙන්න ඒක ඉදිරියට නැමෙනවා කියලා. ඒ කතාව ඇත්තක් කරලා නිලයන්ගෙන්, ගෞරව නාමයන්ගෙන් ඉහලට ම ගිය කුරුලු හමුදාවේ ගොඩදෙනෙක් හරිම නිහතමානි අය වුනා. විශේෂයෙන් කෆීර් යානා පදවන නියමුවෝ ඒ අතරින් අපේ හිත ගත්තා. අපේ වයසෙම තරුණයෝ වුනු ඒ අය වෙලාවක් ලැබුනම හවස ක්‍රීඩා පිටියෙදී, ජිම් එකේ දී අපිත් එක්ක එකතු වුනා. අපි හිතුවා එයාලා තමා කුරුලු හමුදාවේ නියම අයිතිකාරයෝ කියලා. සමහර වෙලාවට එයාලා නිල ඇඳුම ඇඳලා ආවාම අපට ඉරිසියා හිතෙන තරම් කඩවසම්. අපි අවංකව ම දුක් වුනා එයාලගේ පෙම්වතියෝ, තමන්ගේ පෙම්වතාගේ අභිමානය, ඡායාරූපවලින් ඇරුනම ඇත්තටම දකින්නෙ නැති එක කොච්චර අපරාදයක් ද කියලා. තමන්ගේ පෙම්වතා මේ වගේ කෙනෙක් කියලා තමන්ගේ යාලුවන්ට පෙන්වන්න වුනත් ඒගොල්ල අකමැති වෙන එකක් නෑ. හොඳම දේ තමා කිසිම හේතුවක් නිසා දිය නොවුනු ඒ ගොල්ලන්ගෙ නිහතමානීකම. ඒගොල්ල අපිට කතා කලේ නිල නාමයෙන් නෙමෙයි. ගොඩක් වෙලාවට මචං කියලා. අපි ඒකට ගොඩක් ගරු කලා. අපිට වඩා වැඩියෙන් “එක පටියක්“ ගහගත්තු අය අපට රැස් පෙන්වද්දි, තරුණ වයසෙ, ඒත් අපට වඩා හැම අතින්ම ඉදිරියෙන් ඉන්න මේ අය අපට කතා කලේ මචං කියලා. ඊටත් වඩා එයාලා අපිව අගය කලා. අපේ හැකියාව ගැන.

දවසක් අපියි ඔය කියන ප්‍රහාරක යානා නියමුවෙකුයි කතාවට වැටිලා හිටියා. අපි හිටියේ ජිම් එකේ ඉදිරි පැත්තේ තියෙන ටේබල් ටෙනිස් මේසය ලඟ. අපි යුද්ධය ගැන කතා කලා. සාමාන්‍යයෙන් එහෙම කතා බහක් ඇති වෙන්නේ කලාතුරකින්. මොකද කඳවුරක කාලයක් හිර වෙලා ඉන්න අයට කතා කරන්න තව කොච්චර දේවල් තියෙනවද? කොහොමහරි මිනිහා කතාව පටන් ගත්තා. “මචං මට හිතාගන්න බැරි එක දෙයක් තියෙනවා.....“ අපි ඇහැව්වා මොකද්ද කියලා. එයා ටේබල් ටෙනිස් මේසය මුලතිව් කැලේට සමාන කරලා, අතේ තිබුනු අල්පෙනෙත්තකින් මේසෙට ඇන්නා. “එක පාරක දී අපි ගිහිල්ලා මුලතිව් කැලේට දාන බෝම්බ මේ අල්පෙනෙති තුඩ වගේ......“ අපි හැමෝම කල්පනා කලා. අන්තිමේ මිනිහා ම මෙහෙම කිව්වා. “ඒ වුනාට මේක කරන්න බැරි දේකුත් නෙමෙයි.....“. මිනිහා හිතේ සැලැස්මක් තියාගෙන කතා කලා. කොහොමහරි අද එයා ඇත්තටම සතුටු වෙනවා ඇති, හිතාගන්න බැරිව හිටපු දේ, හිතාගන්න බැරි විදිහට ඉවර කරගන්න ලැබුනු එක ගැන.

ඔය වගේ නියම අභිමානවත් වීරයෝ හැමෝටම අණ දෙන්න ඊටත් වඩා ඉහල නිලධාරින් ඉන්නවා. නියමුවෝ ගැන කතාව එහෙමනම් එයාලට අණ දෙන අයගේ විස්තර කියලා වචන නාස්ති කරන්න දෙයක් නෑ. හැබැයි අද කතාව මේ දෙගොල්ල ගැනම නෙමෙයි. ඒ උසස්ම නිලයන්ටත් අණ නිකුත් කරපු ජාති වීරයෙක් ගැනයි.

ඒ කාලේ සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ නැති වුනත්, කුරුලු හමුදාවේ අපි අතර නියම යුධ වීරයෙක් හිටියා. එයා යුද්ධයට බය මිනිහෙක් නෙමෙයි. නීතිය අකුරට පිළිපදින, විනය ගරුක, තමන්ගේ සෙබලුන් ගැන තාත්තා කෙනෙක් වගේ හොයා බලන නියම යුධ නායකයෙක්. එයා හරිම කඩවසම්. හරියට රොෂාන් මහානාම වගේ. එයා ගැන කතන්දරත් එමටයි. නිල වශයෙන් ඔප්පු කරන්න බැරි වුනත් අපි කව්රුත් ඒ කතන්දර ඇහැව්වේ හරිම උද්යෝගයෙන්. එයාගේ තිබුනු එක හොඳ පුරුද්දක් තමයි යුද්ධය රාමෙට නැගලා යද්දි ආරක්ෂිත ස්ථානයක ඉදලා අණ දෙන එක පැත්තක දාලා එයා එනවලු ඩිෆෙන්ඩරෙත් අරගෙන ලයින් එකට. කොල්ලන්ගේ මොරාල් එක අප් කරන්න.  කොල්ලෝ නේද එතකොට යක්කු වගේලු. ඔය වගේ කතා සීයක් අතරේ හොඳම කතාව මේකයි. යුද්දේ කරට කර ඇවිලිලා යනකොට වීරයා කොළඹට කතා කරලා එයාසපෝට් ඉල්ලනවාලු. ඒ කියන්නේ සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කරලා භූමියේ ඉන්න සෙබලුන්ට උදව් දෙන්න කියලා. පළවෙනි පාර උදව් ඉල්ලලා පරක්කු වුනොත් දෙවෙනි පාර පණිවිඩ හුවමාරු යන්තරෙන් කියන්නේ මෙන්න මෙහෙමලු. “කොළඹ ඉන්න එවුන් හොඳට අහගනිල්ලා, තව විනාඩි හතරක් ඇතුලත එයාසපෝට් දුන්නෙ නැත්තම් මුන්ට ගැහිල්ල පැත්තක දාලා කොල්ලෝ ටික අරගෙන ගිහිල්ලා ගහනවා එහා පැත්තේ ආමි කෑම්ප් එකට.....“ ඔන්න ටික වෙලාවයිලු ගත වෙන්නේ. කෙළගෙන එනවලු කෆීර් යානා අහස දෙදරවාගෙන.  

ඔන්න හරි විදිහට කතාව පටන් ගන්නෙ දැනුයි.

දවසක් අපේ කට්ටිය අතර කසු කුසුවක් ගියා. ඔය කියන වීරයා රාජකාරි වැඩකට උඩහා ඉදලා අපේ කඳවුරට ඇවිල්ලා කියලා දින කිහිපයකට. ඉතින් අපි කාගෙත් යටි හිත්වල තිබුනා වීරයා දැකලා කරලා වචනයක් දෙකක් කතා කරන්න. ඔය අතරතුර දවසක හවස් අතේ රාජකාරි වැඩ ඉවර කරලා අපි ක්‍රිකට් සෙල්ලම් කර කර හිටියා පිට්ටනියේ. මෙන්න අපි දෙවියන්ට වගේ සලකන මනුස්සයා පීටී කිට් එකත් ගහගෙන ග්‍රවුන්ඩ් එකට ආවා. අපි හැමෝම වීරයා හැබැහින් දැක්කා. ඉතින් අපි සෙල්ලම් කෙරිල්ල පැත්තක දාලා එයා වටකර ගත්තා. මුලින්ම සුබ සැන්දෑවක් කියලා සුබ පතලා අපිව හඳුන්වලා දුන්නා. නිසි ගෞරවය දුන්නට පස්සේ අපි ආය සෙල්ලම පටන් ගත්තා. එයා ග්‍රවුන්ඩ් එක වටේ ශරීර යෝග්‍යතාවය සඳහා දුවන්න ගත්තා. එයාගේ මිත්‍රයොත් වට කරගෙන. ටික වෙලාවකින් එයාගේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් කරන්න ඕන දේවල් ඔක්කොම කරලා අපි ඉන්න පැත්තට ආවා. “කොල්ලනේ කාලෙකින් ක්‍රිකට් පාරක් ගැහුවෙත් නෑ.... “ කියාගෙන. අපිට නේද ඊට වඩා දෙයක් නෑ. අපි සෙල්ලම් කරකර හිටපු මැච් එක මොහොතකට නතර කලා. අපි බොහොම ගෞරවයෙන් “වෙල්කම් සර්, සර් එන්න බැට් කරන්න.....“ කිව්වා. අපේ යාලුවෙක් බොහොම ගෞරවෙයන් සර්ට බැට් එක පිරිනැමුවා. සර් බැට් කරන්න ගියා. බොල් කරන්න හිටියේ කව්ද දන්නවද? මම. ඇඬෙනවා නේද ඔයගොල්ලන්ට‍. ඒකනේ මේ කතා සේරම! මාව සීතල වුනා. මම කල්පනා කලා සර්ට බෝල් කරන්න ඕන විදිහ. වේග පන්දුවක් දානවද? ඒකට සර්ට බැට් කරගන්න බැරි වෙයිද! ඉතින් මම ස්ලෝ බෝලයක් දාන්න හිතා ගත්තා. හැබැයි ඒක වැඩිය ස්ලෝ කලොත් සර්ට හිතා මතා අගෞරවයක් කලා වෙනවා.

මම මේ දේවල් හිත හිතා බෝල් කරන සීමාව ගාවට ඇවිදගෙන ගියා. ආපහු හැරෙද්දි සර් යුද්ධයට යන්න වගේ ලෑස්ති වෙනවා. ඊට පස්සෙ මම දිහා තියුණු බැල්මක් දැම්මා. ඒ කියන්නේ සර් ලෑස්තියි. අපේ යාලුවෝ හැමෝම හෙන උද්යෝගයෙන්. පිට්ටනියේ වෙනත් ක්‍රිඩාවල නිතර වෙලා හිටපු අයයි, පිට්ටනිය නඩත්තු කරන සිවිල් සේවකයෝ හැමෝමයි තමන්ගේ වැඩ නවත්තලා වීරයගේ ක්‍රිකට් ගැහිල්ල බලන්න තියාගත්තා. අපි හෙන උඩ ගිහින් හිටියේ ඒ වෙලාවේ. ඇයි මෙච්චර මිනිස්සු ඉද්දි සර් ආවේ අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඊටත් වඩා මම! ඒ මොකද සර්ට බෝල් කරන වාසනාවන්ත පන්දු යවන්නා මම හන්දා. හැමෝම මට ෆිට් තමා කියලා සංඥා කලා. ඒ වුනාට මම දන්නවා, මුං මගේ යාලුවෝ වුනාට හැමෝම බලාගෙන හිටියේ මම යවන බෝලයට සර් හොඳ හයේ පාරක් ගහනකල්. එතකොට හැමෝම “ගුඩ් බැටින් සර්...“, “වෙල් ඩන් සර්...“ කියලා අත්පුඩි ගහයි. ඇත්තටම උන්ට වරදක් කියන්නත් බෑ. මමත් බලාගෙන හිටියේ මම යවන බෝලෙට සර් හයේ පාරක් ගහනකල්. ඔයගොල්ල කොහොම හිතුවත් ඒක මට ගෞරවයක්. මොකද මේ මං ඉදිරියේ බැට් එක තියාගෙන ඉන්නේ සතුරො පවා නම කියපු හැටියේ සලිත වෙලා යන යුධ වීරයෙක්. නවින අවි ආයුධ නිකම් කුරුම්බැට්ටි මැසිමක් වගේ හසුරුවන්න පුලුවන් නියම දක්ෂයෙක්. ඒ මදිවට තමන්ගේ සඟයින්ට තාත්තා කෙනෙක් වගේ සලකන නියම නායකයෙක්. ඉතින්!

අන්තිමේ මම හිතාගත්තා සර්ට ලේසියෙන් ගහන්න පුලුවන් විදිහට පන්දුව යවන්න. ඒ කියන්නේ බෝලය පිච් එකේ තරමක් ඉස්සරහා වැදිලා බැට් එකේ නියම තැනට එල්ලවෙලා ලේසියෙන් ගහන්න පුලුවන් විදිහට. මම හිමින් හිමින් දුවන්න අරගෙන වේගය වැඩි කරලා හිතපු විදිහට බෝලය යැව්වා. බෝලේ නියම තැන පතිත වුනා. ඊලගට ඒක සර්ගේ බැට් එකට ලේසියෙන් ගහන්න පුලුවන් තරම් උඩට ඇවිල්ලා බැට් එක පැත්තට ඇදුනා. මම හිතපු හැටියටම! හයේ පාරක් ගහන්න කියාපු බෝලේ. ඒත් මෙන්න ඊලග මොහොතේ මාර වැඩක් වුනා. බෝලේ සර්ගේ බැට් එකේ වදිනවා වෙනුවට ඒකට වෙට්ටුවක් දාලා ගිහිං විකට් එකේ වැදුනා. පොලු දෙකක් ම දේයි ගාලා බිම. කොල්ලෝ මා දිහා බැලුවේ හරියට මම සර්ට වෙඩි තිබ්බා වගේ.

ඇත්තට ම මෙතන අපි කාගෙවත් වරදක් නෑ. තුවක්කුව හුරු වෙලා තිබුනු අත් දෙකකට එකපාරට ම කොහොම බැට් එකක් හුරු වෙන්නද? අනික මම දුවගෙන ආපු වේගය ගණනය කරලා සර් ගහන්න යන්නැති. මම වේගයෙන් දුවගෙන ආවාට මොකද යැව්වේ ස්ලෝ බෝලයක්. ඒ ඉතින් සර්ගෙ ම හොඳට. ඒත් වැඩේ කොට උඩ ගියා. එහෙමයි කියලා අවුරුදු ගාණකින් පිට්ටනියට බැස්ස මනුස්සයෙක්ට ආපයින් යන්න දෙන්න පුලුවන්ද? අනික මේ අපේ වීරයනේ. ඉතින් මම තැනට සුදුසු නුවණ පාවිච්චි කලා. මම වහාම මගේ දකුණු අත උස්සලා, “සොරි සර්... ඉට්ස් අ නෝ බෝල් අයි තින්ක්.....“ කිව්වා. මේ හෙන ගහන්ඩ වගේ හැම දේ ගැනම තීරණය දෙන්න විනිශ්චයකාරයෙක් මගේ පිටිපස්සෙන් ඉන්න කොටම. සර්, “ආහා..... ගුඩ් නිව්ස්....“ කියලා බැරෑරූම් විදිහට මූණ හදලා, ඊලග බෝලේ ගැන හිතන්න ගත්තා. එතකොට විනිශ්චයකාරයා, එයත් අපේ යාලුවෙක් ම තමා. මිනිහා වැදගත් මෝඩයෙක් වගේ මගේ කියමන ඔලුව වනලා අනුමත කරලා, නෝ බෝල් කියන සංඥාව දුන්නා. හැමදේම වෙලා ඉවර වුනාට පස්සේ.

මම ඊලග බෝලය දාන්න සීමාවට ගියා. කොල්ලෝ මා දිහා බැලුවේ “මොනාද යකෝ උඹ කරන්නේ“ කියන බැල්මෙන්. ඉතින් මම මගේ ඉෂ්ඨ දේවතාවට කෙටි කන්නලව්වක් කරලා, දුවගෙන ගිහිල්ලා ඊලග බෝලෙත් දැම්මා. මෙන්න යකෝ ඒකත් පොලු කියහංකෝ! දැන් මොන දෙයියට ද කියන්නේ. මට කරකියා ගන්න දෙයක් නැතුව ගියා. මම අපේ බුද්ධිමත් විනිශ්චයකාරයා දිහා බැලුවා. මගේ ඉටු දෙවියා මා දිහා නොබැලුවට මොකද ගණ දෙයියෝ මිනිහා දිහා බලලා තියෙනවා. මොකද මම හැරෙන්නත් කලින්ම මිනිහා ඒ බෝලෙත් “නෝ බෝල්“ කියලා සංඥා කරලා, තටුවක් කැඩිච්ච ප්ලේන් එකක් වගේ එක අතක් දික් කරගෙන ඉන්නවා. ඉතින් මම එකතු කරලා හැම දෙයියෙක්ටම පින් දුන්නා.

ඔයගොල්ල විශ්වාස නොකලට මම ඊලග බෝලෙත් දාන්න හිත හදාගත්තා. අපි කවදාවත් සැලෙන මිනිස්සු යැයි. අඩුම ගානේ ඒකටවත් සර් හොඳ පාරක් දෙයි කියලා හිතලා. ඔන්න මම දුවන්න පටන් ගත්තා. වේගය වැඩි කරගෙන ඇවිල්ලා පළපුරුදු පන්දු යවන්නෙක් වගේ බෝලේ දැම්මා. ඒකට නං සර් ගැහුවා ගැහිල්ලක් නප්පි නදර් වෙන්ඩ. හැබැයි කරුමෙක මහත කියන්නේ බෝලේ බැට් එකේ වැදුනේ නෑ. ගිහිං වැදුනේ විකට්ටුව ආවරණ වෙලා තිබුනු සර්ගේ පිටිපස්සේ කකුලේ. මම පුරුද්දට වගේ විනිශ්චයකාරයාගෙන් ඉල්ලීමක් කලා. ඒක එල්බීඩබ්ලිව් එකක් විදිහට අවුට් ය කියලා. අපේ කොල්ලොත් ඒකට උදව් වුනා. එහෙමනේ ක්‍රීඩාවේ නියම ජිවගුණය තියාගන්නේ. අපේ බුද්ධිමත් විනිශ්චයකාරයාට දෙලෝ රත්වෙලා. ඇයි මේක පැහැදිලිව ම දැවී යාමක්. ඒත් මේ වගේ මනුස්සයෙක් ව අවුට් කරන්න තරම් මිනිහා පිං කරලා නෑ. ඒත් මිනිහා සෑහෙන්න කල්පනා කරලා සර්ගේ ඉරණම තීරණය කරන්න අත උඩට උස්සන්න ගියා. මම නේද, පොර පැත්තට හැරිලා “ඒ ඒ..... පිස්සුද උඹට....“ කියලා රැව්වා. මිනිහට කර ගන්න දෙයක් නෑ. මිනිහා උඩට උස්සපු අත කෙලින්ම නළලට ගෙනිහින් නළල කසන්න ගත්තා. මෙච්චර වැඩ තියෙද්දි අපේ විනිශ්චයකාරයා නළල කසනවා. බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේක මහ විකාරයක් වගේ පේන්න ඇති.

ඉතින් මම වට පිට බැලුවා. හැමෝම ගල් ගැහිලා. හිතාගන්න බෑ. හැබැයි සර්, බැට් එකට බර දීලා දණබිම ඔබාගෙන තනියෙම හිනාවෙනවා. සර්ට හිනාව නතරකර ගන්න බෑ. සර් මුල ඉදලා වෙච්ච දේවල් සේරම මතක් කරකර හිනාවෙනවා. මුල් පන්දුවේ ඉදලා වෙච්ච දේවල් සේරම. නියම වීරයෝ හිනා වෙනවා ඔයගොල්ල දැකලා තියෙනවා ද? ඒක බලන්න වටින දර්ශණයක්. හැබැයි හැමෝටම ඒකට වාසනාවක් නෑ. ඉතින් අපිත් හිනාවුනා. හැබැයි බොහොම ගෞරවයෙන්. සර් හොඳටම හිනා වෙලා අන්තිමේ සංඥවක් කරලා අපිට ලඟට ගෙන්නුවා. අපි බොහොම කැමැත්තෙන් සර් වටේ වටවෙලා පහසුවෙන් හිටගත්තා. සර් හිනාවෙලා ඉවර වෙලා හැමෝම දිහා බලලා බොහොම සුහදශීලි හිනාවකින් කතා කරන්න ගත්තා. “උඹලා ගැන මට ආඩම්බරයි. තමන්ගේ එකෙක් වෙනුවෙන් උඹලා නොකරන දෙයක් නෑ..... “ සර් කිව්වෙ එච්චරයි. තව ගොඩක් දේවල් කියන්න තිබුනත්, සර් කිව්වෙ නෑ. ඉතින් ඒ සේරම අපි හිතාගත්තා. ඊලගට සර් ආය ඔලුව දෙපැත්තට වනා වනා හිනාවුනා. “උඹලා ඔය පූල් එකේ නොහිටින්න ඔක්කොම මම පටවගෙන යනවා උඩහට.....“ සර් එහෙම කියනකොට අපිව පුපුරන්න වගේ ආවා ඇතිවුනු සතුටට. “තැන්ක්යූ සර්...“ අපි නිහතමානීව ආඩම්බර වුනා.

ඊලග මොහොතේ සර් වෙලාව බලලා තමන්ට පිට්ටනියෙන් පිටවෙන්න වෙලාව ඇවිල්ලා කියලා කිව්වා. අපි සර්ට සුබ රාත්‍රියක් කියලා සමු දුන්නා. සර් ඩිෆෙන්ඩර් රථයට නැග්ග හැටියේ එයාගේ රියදුරා රථය පණගැන්වූවා. සර් ආයිම පාරක් පිට්ටනිය දිහා බැලුවා. ඊලග මොහොතේ සර් අපි කව්රුත් නොහිතපු දෙයක් කලා. සර් එයාගේ කැප් එක ඔලුවෙන් ගලවලා ඒක උඩට උස්සලා අපිට ආචාර කලා. ඔව්! වීරයෙක් අපිට එහෙම කලා. අපි හැමෝම සීරුවෙන් හිටගෙන ඒ ආචාරය පිළිගත්තා. ඒක තමා ආචාරයක් පිළිගන්න ඒ මොහොතේ හොඳම විදිහ.

ඔන්න ඔය විදිහට අපි අපේ වීරයාට, නැත්තම් අපේ හිතගත්තු පුද්ගලයට පුලුවන් උපරිම විදිහට සැලකුවා.

ඉතින් ඒ සිදුවීම අපේ හිත් වල මකන්න බැරි මතකයක් වුනා. ඒ ගැන අපි කතා කරන හැම වෙලාවකම මම කිව්වේ කවදාහරි දවසක සර්ට පන්දු ඕවරයක්ම දාලයි පස්ස බලන්නේ කියලයි. එදා මට යවන්න ලැබුනේ බෝල් තුනයි නේ! හැබැයි තවත් ටික කාලයක් යද්දි ඒ බලාපොරොත්තුව මට හිතෙන් අයින් කර ගන්න වුනා. මොකද ඒ සිදුවීමෙන් අවුරුදු දෙක තුනකට පස්සේ අන්තිම සටන මාවිල් ආරු වලින් පටන් ගත්තා. අපේ වීරයෝ කාටත් ඊට පස්සේ උදා වුනේ බොහොම කාර්යබහුල කාලයක්. අන්තිම සටන ගැන විස්තර මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑ. ඒ ගැන විස්තර ඕන හැටියේ ඔයගොල්ල දැකලත් තියෙනවා, අහලත් තියෙනවා.

ඒ වුනාට මේ කතන්දරේ මම නොකියන්න කවදාවත් ඔයගොල්ලන්ට දැනගන්න වෙන්නේ නෑ. මේ කතාව මට කියන්න ලැබුනට හැමෝටම මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. වීරයෝ ගැන මීට වඩා කතා දන්න අයටවත්! ඒක නිසා හුඟක් වීර කතා අපි කව්රුත් දැනගන්න කලින් ම යුධ පිටි වල, වනාන්තර මැද, හිස් ආකාසේ, දියපාරවල් අසබඩ ඒ කතා දන්න අයත් එක්කම මැකිලා යනවා. කලාතුරකින් හමුවුනත් ඒ අය කව්රුත් නොදන්න නාඳුනන සෙබලු විතරක් වෙන්නත් ඉඩකඩ තියෙනවා.

ලොකුම අවාසනාව තමා අපි ඔයගොල්ල වගේ වීරයන්ට සලකන්න කැමති හුඟක් දෙනෙකුට ඒ අයට සලකනවා තියා ඒ අය ගැන දැනගන්නවත් වාසනාවක් නැති වෙලා යන එක! ඒ ගැන මීට කලින් ඔයගොල්ල හිතලා තිබුනද?

94 ක් කියන්නේ !:

  1. නියමයි බං. පරණ කෙහෙල්කොරටුවා ශෛලියට ඊටත් වැඩිය හිතන්න දේවලුත් එක්ක ලියල තියනව.
    උඹ යුධ වීරය හැට්‍රික් කරල!
    අර ක්‍රිකට් ක්‍රීඩකය මෙතෙන්ට ගාවන්න ඇත්තෙ නමේ සම්බන්ධය නිසාද?

    ReplyDelete
    Replies
    1. රාජ්, ස්තුතියි!

      නමේ නම් සම්බන්ධයක් නෑ. නමුත් ඔය හිතන කෙනෙක් වීරයෙක් තමා. එයාගේ මල්ලිත් වීරයෙක්... මල්ලි ගැන හොයලා කියවන්න වටිනවා....!

      Delete
  2. //ටැබූ සම්මාන........-Taboo (ටැබූ සබ්ජෙක්ට්ස් -2010-11-05)//
    මෙතන ලින්ක් එක විදියට මේං මේක දැම්ම නං හරි!
    http://web.archive.org/web/20101121070003/http://taboosubjects.wordpress.com/2010/11/05/199/

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක හැදුවා.... දැන් නියමෙට වැඩ... අනේක වාරයක් ස්තුතියි.

      Delete
  3. අපි නම් වීරයන්ට සලකනවා. ඒකනේ මෙහාට එන්නේ....:D

    වීරයා බැට් කරනකල් අපිත් ඉතින් හුස්ම අල්ලගෙන බලා හිටියා. එයා ඔයාගේ බෝලෙට හිතලම දැවිලා ගියාද දන්නෙත් නෑ කියලා හිතුනා.

    රොෂාන් මහානම ලස්සණද? :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      මම නං රටේ වීරයෙක් නෙමෙයි. හැබැයි රටේ වීරයෝ දැකලා කරලා වචනයක් දෙකක් කතා කරන්න වාසනාව තිබුනා හැබැයි.

      රොෂාන් මහානාම කඩවසම් නේද? ලස්සන ගෑල්ලමයි. පිරිමි අය කඩවසම් කියලලු පොතේ හැටියට කියන්න ඕනෑ.

      Delete
  4. නියම වීරයො එහෙම තමයි බං. කාඩ්බෝඩ් වීරයො තමයි තමංව පුම්බගන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඒකෙත් ඇත්තක් තියෙනවා තමයි.

      Delete
  5. ආයෙත් ආවාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අටම්,

      අපි ගැන විමසිල්ලෙන් ඉන්න එකට ස්තුතියි.

      Delete
  6. ඇත්තටම මේ සිද්ධියෙදි පන්දු යවන්නෙක් හැටියට බුද්ධි බියට පත් නොවිය යුතුව තිබුණි.
    ..."සැබෑ වීරයෝ පන්දුවට මිස පන්දුව එවන්නාට පහරදීමට නොපෙළඹෙන්නෝය" යන කියමන ඒ මොහොතේ සිතට ගත යුතුව තිබූ බව මගේ හැඟීමයි.

    බොහොම කාලෙකින් මේ පැත්තට ගෑ‍ටුවෙ බං. ගොඩක් දේවල් සිද්ධ වෙලා පාටයි හෙමීට ඔක්කොම බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. පිලේ,

      දෙමාපියෝ දැක්කා වගේ පිලේ මාමව දැක්කම. දැන් කොහොමද? පිලේ මාමගේ ප්‍රොෙජක්ටරේ හදාගන්න බැරි තැන අන්න අපි ශල්ලි වලටම එකක් අරගෙන වහලේ හයි කලා....

      Delete
  7. මම තාම කල්පනා කරනවා හිනා වෙන්නද අඬන්නද කියල. එහෙම තීරණය කරගන්න බැරි කතන්දරයක්. බුද්ධිට ගොඩාක් ස්තුතියි අපට මේ කතාව කිව්වට .ඊගාවට අපි තරහයි මෙහෙම කතා කියන්න පුළුවන් වෙලා නොලියා ඉන්න එකට .
    ඔහු සැබෑම වීරයෙක් . සැබෑම මිනිසෙක්. ඔහුව හිනස්සන්න පුළුවන් වුන බුද්ධිත් වීරයෙක්.

    ''ඒක නිසා හුඟක් වීර කතා අපි කව්රුත් දැනගන්න කලින් ම යුධ පිටි වල, වනාන්තර මැද, හිස් ආකාසේ, දියපාරවල් අසබඩ ඒ කතා දන්න අයත් එක්කම මැකිලා යනවා. කලාතුරකින් හමුවුනත් ඒ අය කව්රුත් නොදන්න නාඳුනන සෙබලු විතරක් වෙන්නත් ඉඩකඩ තියෙනවා.''
    ඒ ටික නම් පපුව හාරාගෙන ගියා ..

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන නොවක් තුති! ලියන්න අපිත් කැමතියි. ඒත් අපිට කලින් නැගිටලා, අපිට පස්සේ නිදාගන්න වීරයෙක් ඇවිල්ලානේ.... මිනිහට ආරක්ෂාව සපයලා බලද්දි හොඳ පණ ගිහින්.....

      වීරයෝ ගැන කතා කරනවානම් මට දැනුන ඇත්ත ම දේ තමා ඔය... හුඟක් වීරකතා චිත්‍රපටි වලට වඩා ත්‍රාසජනකයි... ඒත් ඒවා බලන්න දකින්න කව්රුත් නෑ.

      Delete
  8. නම ගැන දීලා තියන ඉඟියෙන් සහ කාල වකවානු ගලපලා මේ කවුද කියලා හිතාගන්න පුළුවන්. ඔහුගේ පියා, සහෝදරයා සහ පුතාත් කුරුළු හමුදාවට සම්බන්ධයි. කතාව නම් කෙහෙල්කොටු ශෛලියටම ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. තිසර, නෑ නේද ? මේ කියන්නේ කුරුලු හමුදාවේ වීරයෙක් ගැන නෙමේ නේද ? පාබල හමුදාවේ වීරයෙක් ගැන කියලයි මට හිතුනේ. මොකද එයාර් සපොර්ට් ඉල්ලන්නේ එයාලනෙ. හැබෑටම කවුද මේ ? අරයනම් වෙන්න බෑ.

      Delete
    2. නෑ... මෙයා කුරුලු හමුදාවේ විරයෙක්.... කුරුලු හමුදාවෙත් තියෙනවා වෙනම පාබල හමුදා ඒකකයක්... ඔයගොල්ල හිතාගෙන ඉන්න කෙනත් නියම විරයෙක් තමා. එයාගේ මල්ලිත් වීරයෙක්.

      Delete
    3. මම නම් හිතන්නෙ නෑ මේ අනුමානෙ හරි කියලා....

      Delete
    4. ඇහුවමයි මම ඔය ගුවන් හමුදාවේ පාබල ඒකකයක් ගැන ! උඹ විහිළු කරනවා නෙමේ නේද අපිට ?

      Delete
    5. සෙන්නා,

      මේක කියවන්න
      The Sri Lanka Air Force Regiment is a specialized ground combat corps within the Sri Lanka Air Force

      http://en.wikipedia.org/wiki/Sri_Lanka_Air_Force_Regiment

      Delete
    6. රොෂාන් මහානාමගේ පෙනුමට කිට්ටුවෙන් යන්නේ එහෙනම් හර්ෂ අබේවික්‍රම...

      Delete
    7. තිසර නම් සෑහෙන දෙයක් දන්න පාටයි. හැබැයි මේ ඔය කියන වීරයා නෙමෙයි. මතක නැද්ද මම මෙහෙම කියලා තියෙනවා “ඒ කාලේ සාමාන්‍ය ජනතාව දැනගෙන හිටියේ නැති වුනත්, කුරුලු හමුදාවේ අපි අතර නියම යුධ වීරයෙක් හිටියා.“ කියලා. බලමු දවසක මට නම කියන්නත් පුලුවන් වෙයි. හැමෝම ඉඟි කරන වීරයා ගැනත් දවසක හැකියාවක් ලැබුනොත් පමණක් කියන්නම්....! ස්තුතියි තිසර!

      Delete
  9. දැන් මේ යුද වීරයා කවුද කියලා කියයි කියලා මම අන්තිම වෙනකම් බලාගෙන හිටියේ. ඒත් කෝඅ කියලා නැහැනේ අයියේ ??

    ReplyDelete
    Replies
    1. හසිත,

      වීරයෝ හැමෝම මතක් කරගන්න.... ඒක තමයි කරන්න තියෙන හොදම දේ :D

      Delete
  10. මේක කියවලා මට උඹ ගැන ආවේ පුදුම කේන්තියක්. ඔව් යකෝ මරාගෙන කන කේන්තියක්. හිතපං බලන්න ඇයි ඒ කියලා.

    ReplyDelete
    Replies
    1. හෙන්රියා හිතාගන්න බෑ... කොහොමත් බෑ.... අගේ නොකර කියපාන් බලන්ඩ!

      Delete
    2. මෙච්චර කතා තියාගෙන නොලියා ඉන්න එකට නේද හෙන්රි..

      Delete
    3. මම මුලු දවසම බෑඩ් මූඩ් එකක හිටියේ ඉස්කෝලේ වැඩ කරලා. උඹේ බ්ලොග් පෝස්ට් එක කියවන්න ගත්තෙත් එච්චර යහපත් ආකල්පෙකින් නෙවෙයි. නමුත් මේක කියවද්දි මට ආපහු පරණ කෙහෙල් කොරොට්ටා මතක් වුනා. මතක ගලාගෙන ආවා උඹ ලියපු පරණ පෝස්ට් ගැන. උඹ වැඩිය ලියන්නේ නෑ තමයි අනිත් උන්ට සාපේක්ෂව. උඹට පෝස්ට් සීයක් ලියාගන්න අවුරුදු ගානක් ගියා තමයි. නමුත් ඒ හැම ලියමනක්ම හොඳම ඒවා. බුල්ෂිට් නෑ.

      එහෙම ලිය ලිය හිටපු උඹ, අපිට කියවන්න ආසාවක් ඇති කරපු උඹ පස්සේ අපිට පාට් එක දාලා පැන්සොං ගියා. බොරුවට කිව්වා උඹට වෙලාවක් ඇත්තෙම නෑ කියලා ලියන්න කියවන එවුන් වෙනුවෙන් වත්.

      නමුත් තොට ඕනෙ තරම් වෙලා තිබ්බා ෆේස්බුක් එකේ පැල් බැඳගෙන ඉන්න. එතකොට චීත්ත කෑලි ලියන බ්ලොග් වල එක දිගට කමෙන්ට් කරන්න.

      මට ඒකමයි ‍තෝත් එක්ක කේන්ති. උඹේ ලියවිල්ලේ රස වැඩි වෙන්න මට උඹව මරාගෙන කන්න තරම් කේන්තියි.

      මේ පෝස්ට් එක කියවලා මම මාර විදියට හිනාවුනා. බෑඩ් මූඩ් එක අතුරුදහන් වුනා ආයේ අපාය පන්තියකට යනකල්ම. මේකේ සියුම් උපහාස මතුකරලා තියෙන විදිය ගැන වෙනම කල්පනා කලා. ඒ එක්කම උඹ ගැන තියෙන කලකිරීම වැඩි වුනා. ඒ උඹ කියවන අපව අමතක කරලා දාපු නිසාමයි.

      කෙහෙල් කොරොට්ටා භංගවේවා.

      Delete
    4. හෙන්රිය සුදු වෑන් එවන්න පුළුවං බුද්ධියො. පරිස්සමෙන් හිටු. :D

      Delete
    5. අඩේ හෙන්රියා, උඔලා ඔහොම කියද්දි මට ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, ලියාගෙන, යන්න හිතෙනවා එක දිගට.... කෝ ඉතින් වෙලාවක් නෑනේ....:D

      අනිත් චෝදනාව - මම යන්නේ මේ වෙලාවේ මතක් වෙන හැටියට චීත්ත බ්ලොග් තුන හතරකට විතරයි.... ඒවුනුත් දැන් චීත්ත අඳින්නැ බං... ඩෙනිම් ගහන්නේ..... බිංදුමතී අක්කා විතරයි මම දන්න හැටියට ඔසරිය ගහලා ඉන්නවා දැකලා තියෙන්නේ....

      කොහොම වුනත් ගුරු වෙලාවෙන් සෑහෙන කොටසක් වැය කල දීර්ඝ කොමෙන්ටුව වෙනුවෙන් මගේ බලවත් මෙව්වා එක පිලිගන්න.

      Delete
  11. මුලින්ම කියන්න ඕනා සයිබර් යාය බ්ලොග් රෝලේ උඩට ඇවිත් තියනවා දැකලා මටත් ආවේ පුදුම සතුටක්.

    උඹ වැරදි වැඩේ කරලා තියෙන්නේ. මට එහෙම ඔහොම චෑන්ස් එකක් හම්බුනානම් පුළුවන් උපරිම හයීන් බෝල් කරලා වීරයව අවුට් කරගන්න තමා බලන්නේ. බැරි එක වෙනම කතාවක්.. හෙහ් හෙහ්..

    දැන් කවුද මේ යුද වීරයා. මම මුලින් හිතුවෙ කොබ්බෑකඩුව මහත්තයා කියලා. පස්සෙයි මතක් වුනේ එතුමා මිය යනකොටත් මේ යකා ඇබිටිලි කොල්ලානේ කියලා. හැබෑටම කවුද මේ වීරය ??

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ස්තුතියි, අපිව දැක්කත් සතුටු හිතෙන යාලුවෝ ඉන්නවා කියලා දැක ගත්තම නිකම් මෙව්වා වෙලා යනවා.

      කොබ්බැකඩුව වීරයට වුනු දේ මතක් වෙද්දි හැමදේම එපාවෙනවා. වීරයා නැතිවෙද්දි අපි පොඩි අය වුනත් පස්සේ කාලෙක ඒ ගැන කතාව අහද්දි ඇත්තට ඇතිවුනු හැගීම් විස්තර කරන්න අමාරුයි.... පණ පිටින් හිටපු මනුස්සයාව උදේ හෙල්කොප්ටරයට දාගෙන නියමුවා අහසට ගන්න කොටත් කොහෙටද ගොඩබාන්ගේ කියලා දැනගෙන හිටියේ නැහැලු නේද? අන්තිමේ උදේ බෝම්බෙට අහුවුනු කෙනාව කොළඹ රෝහලකට ඇතුල් කරද්දි හවස 2.30 පහුවෙලාලු.... ලංකාදීප පත්තරේ ඔය විස්තරේ තිබුනේ

      Delete
  12. යකෝ ඔන්න ඔය වෙලාවට තමයි මට තුවක්කුවක් හොයන් එන්න හිතෙන්නෙ.............
    ඔය වීරයා මොකාද කියලා නමවත් කිව්ව නම් හරිනෙ....

    ReplyDelete
    Replies
    1. ඉෂාර,

      නම කිව්වට වැඩැක් නෑ.... උඔලා දන්නේ මාව විතරනේ.... හෙහ් හේ....

      Delete
  13. හෙන්‍රිගෙ කතාව සහතික ඇත්ත. උඹ එක්ක එන කේන්තියක්. ඒත් ඉතින් අපිට දෙන ආතල් වලට වඩා බඩ රස්සාව ලොකු ඇතිනෙ කියල නිකා ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      ඇත්තට හිතේ මහන්සියටයි ලියන්න බැරි.... ෆේස්බුක් එන්නේ හිතේ මහන්සිය නැති කරන්න. බ්ලොග් ලියන්න නම් හිතේ නිදහස තියෙන්න ඕනේ.... වෙලාවක් ලැබෙන එක විතරක් මදි නේ..... (අන්න එහෙමයි ප්‍රබුද්ධ රචකයෝ ලියන්නේ....)

      Delete
  14. මම අවංකවම කියනවනම් දන්නෙ ආමි එකේ වීරයො විතරයි.
    ගුවන් හමුදා, නාවික හමුදා වීරයො දැක්කට නම මතක හිටින්නෙ නෑ.

    ඉතින් මට නම් මේ කථාව වැදගත් වීරයගෙ නමත් කීවා නම් තමා. :-D

    ReplyDelete
  15. මම අවංකවම කියනවනම් දන්නෙ ආමි එකේ වීරයො විතරයි.
    ගුවන් හමුදා, නාවික හමුදා වීරයො දැක්කට නම මතක හිටින්නෙ නෑ.

    ඉතින් මට නම් මේ කථාව වැදගත් වීරයගෙ නමත් කීවා නම් තමා. :-)

    ReplyDelete
    Replies
    1. තරු,

      //ගුවන් හමුදා, නාවික හමුදා වීරයො දැක්කට නම මතක හිටින්නෙ නෑ.//

      කියන ලස්සන විතරක්.... ඒකාලේ උඔ ඔය කතාව කිව්වනං හෙලිකොප්පරේ තව ටිකක් ඉස්සරහට ගෙනල්ලා උඔගේ කැබින් එකට බෝම්බයක් හලලා යනවා... තෙල් වියදම යකාට ගියාවේ කියලා...! :D

      Delete
  16. මුලින් ආවෙ අදද මන්ද.මාර ලස්සනට ලියල.හරියට මැච් එකක අන්තිම හරිය බලන් ඉන්නව වගෙ දැනුන.කවුද ඇත්තටම මෙ විරය.

    ReplyDelete
    Replies
    1. දමිත්, සාදරයෙන් පිලිගන්නවා කෙහෙල්කොටුවට.

      වීරයා කව්ද කියලා අපි ඉදිරියෙදි හොයා බලමු! :D

      Delete
  17. සෑහෙන කාලෙකට පස්සෙ බුකියෙ ලින්ක් එක දැක්කාම හිතුනා කියවලා බලන්න... මුලින් දාලා තිබ්බ ඉන්ට්‍රො එකයි ආසියානු කුසලානේ උණුසුමයිද මන්දා පෙළෙඹෙව්වෙ මාව...

    හැමදාමත් ආසා කරන විදියට කුතුහලේ ඇතිවෙන්න ලස්සනට ලියලා තියෙනවා හැබැයි වෙනසකට තිබ්බෙ මට මැවිලා පෙනුනෙ කෙහෙල් කොරටුවෙ පොඩි එකා බෝල දාපු විදිය... ලියලා තියෙන විදියට මැවෙන්නෙම පොඩි කාලෙ සිද්ධිනෙ... ඇයිද චිත්‍ර නැත්තෙ කියලත් ප්‍රශ්නයක් නැතිව නෙමෙයි ඈ

    වීරයා කවුද කියලා කියන්න හිතක් නැති පාටයි... ඒත් ඉතින් කිව්වොත් ගෞරවයක් මිස අගෞරවයක් වෙන එකක් නෑ... මම හිතන කෙනා නම් නෙමෙයි වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගැමියා,

      කෝ වීරයා කව්ද කියලා කියලා නැනේ... අපිට හරිද කියලා කියන්නවත්!

      Delete
  18. අදත් ඉතින් කුතුහලයක් ඇති කරල කතාව ඉවර කරල . කොහොම උනත් ඔහු වීරයෙක් වගේම බොහොම සංවේදී කෙනෙක් විය යුතුයි කියල හිතෙනවා .මේ වගේ වීර කතා ආයෙමත් ලියමු නේද සැඟවිලා යන්න කලින් .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි,

      ලියමු ලියමු..... පොඩ්ඩක් ඔහොම ඉවසලා ඉන්ඩකෝ...!

      Delete
  19. කාඩ්බෝඩ් වීරයන් බහුතරයක් තුල සැබැ වීරයන් සුළු තරයක් හෝ සිටි.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,
      කතාව ඇත්ත. ඇත්ත ලෝකේ හැබෑ වීරයන්ට මතුවෙන්න ඉඩ කඩ නැද්දෝ කියලත් වෙලාවකට හිතෙනවා.

      Delete
    2. //කාඩ්බෝඩ් වීරයන් බහුතරයක් තුල සැබැ වීරයන් සුළු තරයක් හෝ සිටි.//

      නැත. වීරයන් සියදහසකගේ අයිතිය කාඩ්බෝඩ් වීරයින් දෙතුන් දෙනාකු විසින් අයිතිකර ගෙන අැත.

      "රටක යුද්ධයකින් පසුව ඊලගට අැතිවන්නේ සාහිත්‍යමය පුනර්ජීවනයක්. නමුත් අපේ රටේ ඒහෙම වුනේ නැහැ. යුධ ජයග්‍රහණය වෙළද භාන්ඩයක් වෙලා සීමිත පිරිසක් ඒහි හිමිකාරයින් වුනා."

      අද අපේ බාලපරපුරට අහන්න ලැපබන්නේ මානවහිමිකම් කඩ කරපු සුදුකොඩි රැගෙන පැමිනි අයට වෙඩි තියපු හමුදාවක් ගැන විතරයි. අඩුම වශයෙන් කර්නල් බලගල්ල , හසලක කුලරත්න වැනි නාමයක් වත් මෙපමණ වටිනා ජයග්‍රහණයකින් පසුව අපට ඉතිරි වෙලා නැහැ.

      බුද්ධි, සමාවෙන්න නොගැලපෙන යමක් මගෙන් ලියවුනානම්. හෙන්රි කියලා තිබුනා වගේ ඔබ වැනි අය නිහඩව සිටීම, ජාතියට ඉටුකලයුතු යුතුකමක් මගහැරීමක් වෙනවා. යුද්ධයේදී සිදුවූ සියළුම සිදුවීම් පාඨකයින් අතට පත්කල හැකි ක්‍රමයක් අැතිකල හැකිනම් ඉන් ලැබෙන අාදායම, අතපය දෙඅැස් අහිමිව අද අසරන වෙලා සිටින අැතැම් රණවිරුවන් ගේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්නත් පුළුවන්. රු. 600/= වගේ මිලකට "ගෝඨාස් වෝ" අරගෙන කියවන පාඨකයින්ට ඒ මගින් සත්‍යය වීරයින් හදුනාගත හැකිවෙයි.

      පෝස්ටුවට මගේ ගෞරවය!

      Delete
    3. kosvitha,

      දිර්ඝ අදහස් දැක්වීමට සහ ලිපිය අගය කිරීම ගැන ස්තුතියි. යුද්ධය වගේ දෙයක් විස්තර කරන්න හැමෝටම හැකියාවක් නැති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. කෙනෙක් දන්න සියලු දේ කිව්වත් ඒත් එක්ක ඇතිවෙන වගකීමට සීමා නෑ.

      මෙච්චර මේ සරළ ලිපිය වුනත් මම මාස ගාණක් සංස්කරණය කරලා ඉදිරිපත් කලේ. කාටවත් කිසිම ආකාරයක බලපෑමක් නොවෙන්න.

      නමුත් ඔබේ අදහසට ගරු කරනවා. හැබැයි මම මෙහෙම කතාවකුත් අහලා තියෙනවා. රටක සාහිත්‍යමය පුනර්ජිවනයක් ඇතිවෙන්න රට සෑම අතින්ම සමෘධිමත් වෙන්න ඕනේ කියලා. එතකොටයි මිනිස්සුන්ට සාහිත්‍ය වගේ දෙයක් ගැන හිතන්න වෙලාවක් හැදෙන්නෙ කියලා.

      Delete
  20. මුලු කතාවම කියෙව්වා...
    හැමදාමත් වගේ ජීවය පිරුණු සයිබර් අකුරු..!ෙ!
    ඒක නෙමෙයි ඇත්තටම කවුද රොෂාන් මහානාම කියන්නෙ..??

    ReplyDelete
    Replies
    1. මට දැන්ගන්ට ඕනි උණේ එයා ඔය කියන තරම් ලස්සණද කියන එක...:D

      Delete
    2. ඉන්දරේ සර්,

      කොහොමවුනත් තනි අකුරෙන් කමෙන්ට් කලත් ඒක ඔන්න සැබෑම දිරිමත් කිරීමක්. ස්තුතියි

      ඔන්න ඉන්නවා රොෂාන් මහානාම.

      Delete
  21. රොෂාන් මහානාම

    http://www.keellsfoods.com/sites/default/files/field/image/Roshan-Mahanama-1.jpg

    ReplyDelete
  22. Is he from famous gunathilaka family?

    ReplyDelete
  23. Is he from famous gunathilaka family?

    ReplyDelete
    Replies
    1. නෑනෑ... ගුණතිකලක පවුලේ ගොඩක් අය වීරයෝ තමා. මේ ඒ අය ගැන නෙමෙයි. ගුණතිලක මල්ලි උඩුගුවනේ දියි අපෙන් වෙන්වුනේ... මතකද?

      Delete
  24. අනේ මන්ද...ඔබේ ලිපියක් මා කියවූ මුල් අවස්ථාව මෙය වන්නට ඇත.
    මෙහි එන චරිතවත්,ඔබ ගැනවත් මා හට අවබෝධයක් නොමැත.
    ලිපිය කියවූවේ පුදුම සතුටකිනි....සතුට වැඩිකමට අතරමග කියවද්දී දෙඇස් බොදවුනි.
    ඔබට ජය.... සොයුර...... !!!

    ReplyDelete
    Replies
    1. කෙන්ජි සයිබර් යායට දමාපු පළමු කමෙන්ට් එක මේක.

      මං නම දැක්ක හැටියේ බැලුවේ මොන අටමඟලයක් දාලද දන්නෑ කියලා. ඇත්තටම සතුටුයි. කෙන්ජියාව මේ වගේ හැඟීම් බර මොහොතකට ඇද දමන්ඩ හැකි වීම ගැන. රට ගැන, වීරයෝ ගැන කැක්කුමක් තියෙනවා එහෙනං නේද?

      Delete
  25. ඔහු උස් පහත්කම් සලකන්නේ නැති සරළ සුහදශීලී කෙනෙක් වෙන්න ඇති කියලා කතාව කියවගෙන යනකොට මට හිතුනා..

    ඒ වගේම රට ජාතිය බේරගන්න දිවි පිදු තම ජීවිතය කැපකල අපේ අය සැබවින්ම වීර වරු..

    ReplyDelete
    Replies
    1. තුෂානි,

      ඇත්ත! උස් පහත් කම් කිසිවක් සලකන්නෙ නැති එහෙත් නීතිය අකුරට පිළිපදින අය ට වීරයෝ වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.

      Delete
  26. //මේ කතන්දරේ මම නොකියන්න කවදාවත් ඔයගොල්ලන්ට දැනගන්න වෙන්නේ නෑ. මේ කතාව මට කියන්න ලැබුනට හැමෝටම මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නෑ. වීරයෝ ගැන මීට වඩා කතා දන්න අයටවත්! ඒක නිසා හුඟක් වීර කතා අපි කව්රුත් දැනගන්න කලින් ම යුධ පිටි වල, වනාන්තර මැද, හිස් ආකාසේ, දියපාරවල් අසබඩ ඒ කතා දන්න අයත් එක්කම මැකිලා යනවා. කලාතුරකින් හමුවුනත් ඒ අය කව්රුත් නොදන්න නාඳුනන සෙබලු විතරක් වෙන්නත් ඉඩකඩ තියෙනවා.//

    ඒ කතා මැකිල යනව විතරක් නෙමේ. .. . මකන තැනට වැඩ සලස්වනව එක්කත් නේද ???
    දැං බලන්න හිටපු ජෙනරාල් සරත් ෆොන්සේක මහත්තය (මම එයාගෙ දේශපාලනේටනං බින්දුවක්වත් කැමති නෑ). මේ වෙද්දි එයා ගැන මතකසටහන් සියල්ල ඉතිහාසයෙන් අයිංකරල ඉවරයි. මිනිස්සුන්ගෙ මතකයේ එයාගැන තියන මතක සටහනුත් එයාගෙ දේශපාලනේ හින්ද නැතිකරගෙන යනව එයාම.

    ප.ලි.
    මේ කතාව කියවද්දි මට මතක් උනේ ආමි එකේ ඉන්න අපේ මාමා කෙනෙක් (අර නලු මාමගෙ මල්ලි). ඒ මාමා මුලු අවසන් සටන කාලෙම හිටියෙ පනාගොඩ කෑම්ප් එකේ. ඒත් එයා අපිට කියන විදියට කොටි නායකයින්ගෙන් වැඩිම හරියක් මැරුම්කෑවෙ එයාගෙ අතින්ලු . . . හොදම වැඩේ තමයි ඒ මාම ආමි ඩ්‍රයිවර් කියල අපි දන්නව කියල මාම දන්නෙ නැති එක :D :D

    ReplyDelete
    Replies
    1. //ඒත් එයා අපිට කියන විදියට කොටි නායකයින්ගෙන් වැඩිම හරියක් මැරුම්කෑවෙ එයාගෙ අතින්ලු . . .//

      ආ.... ඒවා එහෙම තමයි. අපිත් ගෙවල් පැත්තේ පොඩි එවුන්ට කියලා තියෙන්නේ අපේ බිත්තියටයි වැඩියෙන්ම වෙඩි වැදිලා තියෙන්නේ කියලා.... හොඳම වැඩේ ඒක නෙමෙයි අපේ ගෙවල් පැත්තෙන් හෙලිකොප්ටරයක් යද්දි උන් අග්න්‍යාසේ පාත් වෙනකල් කෑ ගහනවා මගේ නම කියලා.... උන්ට මම කියලා තිබුනේ අපේ ගෙවල් පැත්තේ ආරක්ෂාව බලන්නයි මම හෙලිකොප්ටරේ එන්නේ කියලා. දවසක් මම නිවාඩුවට ගෙදර ඇවිල්ලා ඉන්න කොටත් උන් ඒ බව නොදැන හුස්ම හිරවෙනකල් කෑ ගහනවා මගේ නම කියලා.... උන් බලාපොරොත්තු වුනාලු කවදා හරි මට ඒක ඇහිලා ලේන්සුව ජනේලෙන් දාලා අත වනයි කියලා..... හෙහ් හේ... උඹලගේ මාමා ඒ අතින් කොච්චර හොඳද කියලා හිත හදාගනින්.....! :D

      Delete
    2. මේ කමෙන්ට් කෑලි දෙක කියෝලා මැරෙන්න හිනා ...

      Delete
  27. අදයි ගොඩ වැදුනේ
    හැමදාම එන්න වටින තැනක්
    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාර,

      සාදරයෙන් පිලිගන්නවා සයිබර් යායට!!

      Delete
  28. යුධ විරුවාෙග් නමත් කිව්වනම් තමා අෙග්. ඹබටත් බොහොම ස්තුතියි අප නොදන්නා ඹවුන් පිළිබද මතකය අවධි කිරිම ගැන.

    ReplyDelete
    Replies
    1. නන්දන,
      ස්තුතියි අපගේ මතකය බෙදා හදා ගන්නට පැමිණියාට....!

      Delete
  29. මට නම් හිතුනේ මේ අපි අතරම ඉන්න වීරයට සලකනවා හොදටෝම මදි කියලයි,,වීරයෝ එක්ක සෙල්ලම් කරපු වීරයෙක් උනත් මොකෝ සැලකුම් ලබන්න

    ReplyDelete
    Replies
    1. ඩිලන්,

      යමක් කිව්වම නියම විදිහට තේරුම් ගන්න එකෙක් හරි කෙහෙල්කොටුවට යන එන එක ගැන මම සතුටු වෙනවා.... තමුසේ ඉන්ඩ තිබුනේ මෙහෙ හලෝ..... පරදේසෙක නෙමෙයි!

      Delete
  30. Replies
    1. කතාවේ හොඳම ටික ඒක තමයි.... ඒත් මම හිතන්නනෑ ඒක හැට්-ට්‍රික් එකක්ය කියලා....!

      Delete
  31. BTW, හැබැයි මෙහෙමයි.

    1. වීරයෝ දැන ගන්න ඕනෑ වීරයෝ වගේ ඉන්න. ආවේගශීලීව, පක්‍ෂපාතිව, අසාධාරණව ක්‍රියාකරන්න ගියොත් ඒ වීරකම් නැති වෙනවා.

    2. වීරයෝ හැමදාම වීරයෝ නොවෙයි. එක තැනක කළ වීර වැඩකින් තව තැනක කරන බලු වැඩක් මකන්න බෑ.

    3. අපි වීරයින්ට සැලකුවාට ඒ එක වීර වැඩක් නිසා හැමදාම ණය ගෙවන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. 01. ඇත්ත! සම්පූර්ණයෙන් එකඟයි.

      02. වීරයෝ හැමදාම වීරයෝ ම තමයි. හැබැයි එක තැනක කළ වීර වැඩකින් තව තැනක කරන බලු වැඩක් මකන්න බෑ කියන කතාව ඇත්ත.

      03. නියම වීරයෝ සල්ලි වලට වැඩ නොකරන හින්දා ණය ගෙවන්න වෙන්නේ නෑ... අපි ණය ගෙවන්නේ වීරයන්ට නෙමෙයි. //හුඟක් වීර කතා අපි කව්රුත් දැනගන්න කලින් ම යුධ පිටි වල, වනාන්තර මැද, හිස් ආකාසේ, දියපාරවල් අසබඩ ඒ කතා දන්න අයත් එක්කම මැකිලා යනවා. //

      Delete
  32. අප්පේ ඇති යාන්තං උඹට මොනවා හරි ලියන්න හිතුනා.
    හෙන්රියා එක්ක එකෙන්ම එකඟයි.

    ReplyDelete
    Replies
    1. itnishantha,
      මටත් ඔය එක එක දේවල් හිතෙනවා ටිකක් විකාර විදිහට පිස්සුද, හැටිද, පිස්සුවෙ හැටිද මන්ද. :D

      Delete
  33. වීරයෙක් එක්ක මොහොතක් කාලය ගත කලත් එයාගේ වීර කම නිසා අපිට ඇතිවෙන හැඟීම සුවිශේෂයි..වීරකම් කරන හැමෝම ජනප්‍රිය වෙන්නෙවත් ජනප්‍රිය හැමෝම වීරකම් කරන්නේවත් නැති නිසා බුද්ධිගේ කතාව ලොකු තේරුමක් එකතු කරනවා..

    දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ... හිතගත්තු, නැත්තම් තමන් ගරු කරන පුද්ගලයෝ දෙතුන් දෙනෙක් හමුවෙලා කතා බහ කරලා අද්දැකිම් තියෙන හැඩැයි.!

      Delete
  34. ෆ්ලයිට් සාජන්ට් ප්‍රනාන්දුද..? මං දන්න තරමින් ඔෆිසර්ලටත් අම්මා මතක් කරලා බනින්න පුළුවන් පොරකට රෙජිමන්ට් එකේ හිටියේ බුවා විතරයි...

    ReplyDelete
    Replies
    1. මාරයා,

      නෑ... Commissioned Ranks එක්කෙනෙක්.... මම හිතුවේ උඹ කියෙව්වොත් අනිවාර්යෙන් හඳුනාගනියි කියලා... ඒ කාලෙ එයා Squadron leader කෙනෙක්.

      Delete
    2. මේකයි සීන් එක ඔය මාරයගෙ කතාත් අර ඕනයගෙ මාමා වගේ තමයි. ඒක නිසා තමා බොසා දන්නෙ ට්‍රේනින්වලදි අදර් රෑන්ක් පොරවල් කරලා පෙන්නන පොරවල් විතරයි
      අපේ පැත්තෙ හිටියා කෝපල් විජේසිරි කියලා පොරක්.
      ඌ ට්‍රේනින් ඉවරවෙලා ගෙදර ආවෙ කෝපල් වෙලා.
      හිටියේ පුරෝගාමි බලකායෙ ඒ වුනාට මුලතිව්වලට ආටි ගහන්නෙ ඌ.
      මූව වැඩිපුරම අරගෙන තියෙන්නෙ කුස්සියෙ වැඩටලු. මොකද මූ වදුරඹ කෑම්ප් එකේ ඩියුටි හිටියත් රෑ හෙලවෙන හැම ගහටම වෙඩි තියනවලු මැගසින් ඉවරවෙනකම්

      Delete
  35. කවුරුත් දන්නා වීරයෝ මුළු ඉතිහාසය පුරාම රජවරුනෙ..සැබෑ වීරයෝ ඉන්නෙ සොල්දාදුවන්ගෙත් දන්නා අයගෙත් හදවත්වල විතරයි..

    ReplyDelete
    Replies
    1. සරත්,

      ඇත්ත කතාවක්. ඒ ගොල්ලන්ගේ - චිත්‍රපටිවලට වඩා ත්‍රාසජනක වීර කම් කවදාවත් සාමාන්‍ය මිනිස්සුන්ට බලන්න වෙන්නේ නැති එක නම් වස වැරැද්දක්.

      Delete
  36. අනේ දිගටම ලියන්න බුද්ධි.. වැඩ අතරේ හිනා වෙන්න තියෙන්නෙ මෙච්චරයි..

    ReplyDelete
    Replies
    1. සප්‍රි,

      මේ කමෙන්ට් එක සැබෑම දිරිමත් කිරීමක්... ඔබගේ ඉල්ලිම ඉටු කරන්න සෑම මොහොතේම කැපවන බව ඉතා ඕනෑ කමින් ප්‍රකාශ කරසිටිමි :D

      Delete
  37. හෆ්ෆේ මේ ලියලා තියෙන්නේ.. මෙච්චර කතා තියාගෙනනේ ඉතින් නොලියා ඉන්නේ..

    දැන් හුඟක් ඉන්නේ බොරු වීරයෝනේ අයියේ.. ඒ අයවනම් ඉතින් අඳුන ගන්න පුළුවන් ඉක්මනටම..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ස්තුතියි.... බොස්ගේ අලුත් බඩු භාණ්ඩ දිහා බල බල ඉන්නැතුව මේ පැත්තෙත් ආවට...

      Delete
  38. අඩේ බුද්ධි.
    මේක නම් මරු. ටිකක් තදට වැදුන බොරු කියන්නෙ මක්කටැයි. කොහොමත් මනුස්සකම් තියන මිනිස්සු ගැන බරසාරෙට ලිවුවම මෙලෝ රහක් නෑ. අමුවෙන් කන්ඩත් බෑ, ගසන්නත් බෑනෙ. (මට වඩා ඒ ගැන අත්දැකීම් ඔයාට ඇති ඉසේ කෙස් ගාන්ට). තව ලියමු. අපි ඉතින් පස්සෙන් ඉදගෙන හූ තියාගෙන චියර් එක දෙන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොෂ්,

      එහෙනං චියරින් පාටියේ ලිස්ට් එකට නම දාගන්නවා ඈ...

      Delete
  39. දැන්නං හෙන පරක්කුයි... කතාවේ රසය නං කියලා වැඩක් නෑ... ඒ හින්දා කියන්නෑ,,,

    ReplyDelete
    Replies
    1. බිට්ල්,
      //දැන්නං හෙන පරක්කුයි...//

      පරක්කුයි බං.... ශුවර් එකට උඔලා ප්ලේන් එකටත් පරක්කුයි

      - මචං චිත්‍රපටියෙන්



      Delete
  40. මෙච්චරටම හොඳ වීරයෙක් කවුද කියල දැනගන්න අපිත් කැමතියි, ඇයි ඉතින් කව්ද කියල නොකියන්නේ.කතාව කියවනකොට ඒ වීරයව අඳුන ගන්න ලැබුන ඔයාල ගැන පොඩිපහේ ඊර්ශ්‍යාවකුත් දැනුන .

    ReplyDelete
    Replies
    1. සෝන්යා,

      වීරයෝ කව්ද කියලා හඳුනාගන්න කව්ද අකමැති..... වැඩේ තියෙන්නේ ඒගොල්ල අපි වීරයොයි කියලා කෑගහමින් නොයන එකයි.... ස්තුතියි අපි වෙනුවෙන් ඉරිසියා හිතුවට!! :D

      Delete
  41. නියම වීරයෙක් නේ. එත් මම මේ වෙනකම්ම ඔහු ගැන මේ වගේ හිතුවේ නෑ. නමුත් ඔබ මට අද හිතන්න දෙයක් එකතු කළා.

    ReplyDelete
  42. Alexander Cage,
    හරිම සතුටුයි!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...