සීයා ඒක කියන හැම වෙලාවකම මම, මගේ කතාව අහගෙන ඉන්නේ ඒ කතාව එදා පළමුවැනි පාරට අහන පොඩි එකෙක් වගේ. මට මතක හැටියට, ඒ කතන්දරේ සීයගෙන් අහපු හොදම කතා වලින් එකක්. හැම අලුත් අවුරුද්දකටම අපියි, අපේ නැදැයොයි සීයලාගෙ ගෙදරට එක්කහු උනාම උන්දැ කොහෙං හරි පොටක් පාදගෙන ඔය කතාව කියවනමයි අපි ඔක්කොටම ඇහෙන්න හැමදාමත්!
සීයා කියන හැටියට මම ඉපදිලා තියෙන්නේ සැහෙන කට්ටියටකට නඩු ගොඩක් දමාගෙන ලු! මටනං මතක නෑ ඉතිං ඕවා!
කෙටියෙන්ම කියනවනං කතාව මෙහෙමයි!
මාව හම්බවෙන්න අමාරුවෙලා අපේ අම්මව ඉස්පිරිතාලේ අරං යන කං අපේ කාටවත් කිසිම නඩුවක් වැටිලා තිබිලා නෑ!
ඒත් දොස්තර මහත්තුරු චැක් කරලා, මම මේ ලෝක ධාතුවට පය තියන්න ඕන වෙලාව කාරිය ගණනය කරලා, මම එකනං බලං ඉන්නවලු, ඉන්නවලු, ඉන්නවලු, මම නෑලූ!
ඉතිං ඔහොම දවස් දෙකක් දොස්තරලා බලං හිටියත් මම නෑලු! දැං අපේ අම්මට හොඳමට අමාරුයිලු.
ඒක හින්දා වහාම අපිව ඇම්බියුලන්ස් එකක දාගෙන මහ ඉස්පිරිතාලෙට අරං ගියාලු. ඔන්න එදා තමයි මම හා හා පුරා කියලා වාහනේක ගිහිං තියෙන්නේ. අම්මටත් මම හින්දා එදා ඇම්බියුලන්ස් එහෙක යන්න චාන්ස් එකක් වැදිලි තියෙනවා.
මහ ඉස්පිරිතාලේ වි.ඕ.ජී. මහත්තයා මම ගැන හොයලා බලල කිව්වලු, "මේ යකා ඕනෑවටත් වැඩිය හැදිලා හින්දා එන්ඩ කල්පනාවක් නැතුව ඇති’’ කියලා.
දැං අපේ අම්මට හොදමට අමාරුලු. සිහියත් නෑලු!
අම්මා කියන හැටියට නං, අම්මා වින්ද ලොකුම වේදනාව ඒ දවස් දෙකේ වින්දලු. ඒක “මෙහෙමයි” කියලා වචනෙං විස්තර කරන්න බැරි එකක්ලු. “අම්මට හිතුනලු අම්මා මැරෙයිම කියලා, මැරෙන එක මීට වඩා ලේසියි කියලා හිතුනලු! ඒත් මාව දාලා අම්මා ගියොත් මම මේ ලෝකේ තනිවෙනවා නේද කියලා හිතලා අම්මා කොහොම හරි හිතට දහිරිය අරං හුස්ම අල්ලං හිටියලු මං වෙනුවෙන්!”.
මේ කතාව දොස්තර මහත්තයා තාත්තටත් කිව්වලු,
''අපි උපරිම උත්සහ කරන්නං දෙන්නවම බේරගන්න. මේ අම්මා මේච්චර කල් ඉවසන් ඉන්න පුදුම හයියක් ඇඟේ තියෙන්න ඕනැ'' කිව්වලු, ''බය වෙන්න එපා''ත් කිව්වලු.
ඒක නම් ඇත්ත බව තාත්තත් පිලිගත්ලු. මොකද අම්මා ඉස්කොලේ යන කාලේ නෙට්බෝල්, මළල ක්‍රීඩා එහෙම කරලා තිබුනා විතරක් නෙමේ, අපේ තාත්තත් එක්කලා යාලු උනාට පස්සේ, තාත්තගෙම කරාටේ පන්තියට අම්මවත් අරං, අම්මට කරාටේත් උගන්නලා තිබුනාලු. කොහොම හරි දෙන්නා කසාද බදිද්දි, කොල්ලත් බ්ලැක් බෙල්ට්ලු! කෙල්ලත් බ්ලැක් බෙල්ට්ලු!!
ඔය මොනවා උනත් තාම මම එන පාටක් නෑලු!
මම එන්නේ නැති හින්දා එදා අපිව බාරව හිටිය මිසි නෝනලාගේයි, නර්ස් නෝනලාගෙයි, නිවාඩු කැන්සල් උනාලු, මාව බාරගන්න හිටපු දොස්තර මහත්තයටත් ගෙදර යන්න නෑලු! ඉස්පිරිතාලේ මම හින්දා අඥඤ්කොරොස් වෙලාලු!
ඒත් මම තාම නැලු!
ඒ විතරක් නෙමේයිලු, තාත්තා මේක කාගේදෝ අතේ මහ ගෙදරට කියලා යැව්වලු! ඒක අහපු වෙලේ ඉදං ගෙවල් වල අයට පිස්සු වගේ ඇල්ලුවලු. කතන්දර ආච්චිලා, පුංචි ආච්චිලා පන්සල්, දේවාල, හොය හොයා දෙය්යන්ට මේ අවනඩුව භාර කරනවලු, “ළමයවයි, අම්මවයි ගොඩ දාලා දෙන්න” කියලා. කතන්දර සීයා මේක අහලා අටුවේ ඉදං “හුටස්” ගාලා බිම පත බෑ උනාලු!
හොද වෙලාවට ඒ කාලේ කතන්දර සීයලාට, ආච්චිලාට “හාට් ඇටැක්” තිබ්බෙ නැලු. තිබ්බනං හොඳ, හොඳ සෙල්ලං බලාගන්නත් තිබ්බලු. දැං ගමේ සෙට් එකම කතන්දර සීයලාගේ ගෙදරට බැහැලලු. මේ ''කේස් එක ගොඩදාන කල්ලා සීයගේ ෆිට් එකට ඉන්ඩ ඕනැ'' කියලා.
ඒත් මම නැලු!
අන්තිමටම දොස්තර මහත්තයට මල පැනලා ''බඩ කපලා, මේකව එලියට ගමු” කියලා ඒකමතික තීරණේකට ආවලු!
සීයා කියන හැටියට, ඒත් මම එන්න ලැස්ති නැති කොට අර දොස්තර මහත්තයා අඬුවක් දාල මාව ඇදලා එලියට ගත්තලු! ඒත් මටනං මතක නෑ අඬුවක කේස් එකක්. හැබැයි මට මැවිලා පේනවා අඬුවක් දාලා මගේ කණෙං ඇදලා එලියට අරං මං දිහා නොන්ඩ් බැල්මක් දාන දොස්සර මහත්තයෙක්ව නං!
අන්න එහෙමලු මම මේ ලෝකේට ජනිත උනේ. මම මේ ලෝකෙට එන්න කොච්චර අම්මට වද දුන්නත් අම්මානං මා එක්ක පොඩ්ඩක්වත් තරහා උන්නැ!
මේ තියේනෙ ඒකට සාක්කි.
මේ මම උදේම නැගිටලා අම්මා ''තේ කුක්කු'' එක හදනකං, මගේ බංකුවට වෙලා මට පහුගිය ටිකේ පැනනැගිච්ච ප්‍රශ්ණයි, ඒවට මම හොයාගත්තු උත්තරයි අම්මත් එක්ක සමාලෝචනය කරන වෙලාව.
මේ තියෙන්නේ අම්මා මාව ලිඳ ලඟට ගෙනිහිල්ලා උදේම නාවන්න ටැංකියට වතුර පුරෝන අවස්ථාව. අම්මා වතුර පුරොනකං මම ඉතිං ගමටම ඈහෙන්න මගේ ගීත ගායනා කරනවා! අම්මා වතුර පුරොනකං මටත් කියලා වැඩක් තියෙන්න එපැයි!
මේ තියෙන්නෙ මගේ උදේ කෑම ගන්න වෙලාව. ප්‍රශ්ණ, ප්‍රශ්ණ, ප්‍රශ්ණ, මේ තවත් ප්‍රශ්ණ වගයක් ගැන අම්මයි මායි සමාලෝචනේක.
මේක ගැනනං අමුතුවෙන් කියන්න ඕන්නැනේ. කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා පෝස්ට් එක කියෝපු කාටත් මේක මතක ඈතිනේ.
මම අම්මට කොච්චර කරදර කලත් අම්මනං කවදාවත් මා එක්ක තරහ වුනේ නැ! ඔය පින්තුර වල තියෙනවා වගේ මට ආදරේ කලා මිසක්!
කොහොම හරි පස්සෙ දවසක කතන්දර ආච්චිලා බයට වෙච්ච බාරත් ඔප්පු කරලා, අම්මයි, තාත්තයි, මායි අර මාව අඬුවෙන් එලියට ගත්තු දොස්තර මහත්තයා හම්බ වෙන්න ගියා. එයාට ස්තුති කරන්න කියලා.
පොරට අපේ තාත්තා, මාව හඳුන්නලා දුන්නා විතරයි, ඒදා කේස් එකට අම්බානක දෙහි කැපුවා නේද මට!
පොර විතරක් නම් මදැයි, පොරගේ නෝනයි, දරුවොයි ඔක්කොමලා පොරගේ, පොර ටෝක් වලට මම දිහා බල බල හිනා උනා ඇති වෙන්න!
වැරැද්දත් මගේ වෙච්චි කොට මම කියලා මොනවා කරන්නද ඉතිං! මම කකුලේ මාපට ඇගිල්ලෙන් සිමෙන්තියේ එක එක චිත්‍ර ඇඳ ඇඳා දොස්තර මහත්තයා කියන එක අහගෙන හිටියා හිමිජ්ජා වගේ. සමහර වෙලාවට කට්ටියම මට හිනා වෙද්දි මමත් මෝඩයෙක් වගේ කඳුලු පයිනකං හිනා උනා කට්ටියත් එක්කම.
“මේ ඇහුනද ඉලන්දා
රියා. අම්මා නොසෑහෙන්න දුක් වින්දා මේ ළමයා හින්දා, ඒක හොදට මතක තියාගෙන වැඩ කරන්ඩ ඕනැ, ලොකු වෙලා අම්මව හොඳට බලාගන්ඩ ඕනැ හොඳද!” කියලා පොරගෙ දෙහි කැපිල්ල ඉවරයක් කරලා මාත් එක්ක ශේප් වෙන්න හිතං මට කන්න කියලා යෝගට් එකක් දුන්නා.
ඔන්න ඔය විදිහට අපේ අම්මා මාර දුකක් වින්දාලු පොඩිකාලේ මං හින්දා. නිල වශයෙන් මට තේරෙන වයස එනකොට, ඔය පොඩි පොඩි ඉල්ලීම් දිනාගන්න ඇඬුවට, වැටවල් දිගේ ගිහිං ඇඳුං ඉරා ගත්තට, ගස් බඩගෑවට, මම හිතාමතා අම්මට කරදරයක් කලේ නෑ. පොඩි පොඩි ප්‍රශ්ණ උනත් උනේ ඉතිං මගේ එක්ස්පෙරිමන්ට් වැරදිච්ච වෙලාවට තමා. අනිත් අතට මොන කරදර කෙරිල්ලක්ද තවත්, ජීවිත කාලෙම දෙන්න ඕනැ කරදරේ මම මුලින්ම දිලා තියෙන කොට.
ඒ හින්දද මන්දන්නෑ අම්ගෙයි මගෙයි මාර බැදිමක් තිබුනෙ ඒදා ඉදං.
ඒ තියා මම ඉස්කොලේ යන්න අරං අවුරුදු තුනකින් අම්මත් ඉස්කෝලෙ යන්න ගත්තා. මම දැං ඉස්කෝලේ ගිහිං ඉවර උනත් අම්මනං තාම ඉස්කොලෙ යනවා!
දැනට උනත් මම හැරෙද්දි දන්නවා ''මෙයා මොනාටද එන්නෙ හදන්නේ'' කියලා. කොටින්ම කියනවනං මම මැරියන්ගෙන් අහන්නත් කලින් අම්මා දැන ගත්තලු ''වැඩේ හරි තමා'' කියලා. තවත් මොනාද කතා!
ඉතිං එහෙව් අම්මගේ උපන් දිනේ යෙදිලා තියෙන්න හෙට දවසට!
ඒක හින්දා මම මුලින්ම අපේ අම්මට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා!!
වෙන කවරදාකටත් වැඩියෙන් අපේ අම්මට මේ උපන් දිනේ මතක හිටින්නත් එක්කලා මම විශේෂ තෑග්ගක් අම්මට පිළයෙල කලා. ඒක තමා මේ පෝස්ට් එක. මේක මම හෙට උදේම අම්මට පෙන්නන්න ඕනැ! මේක කියෝපුවාම අම්මා ගොඩක් සතුටු වෙයි මම හිතන්නේ...!
අන්තිමට කියන්න තව එක දෙයක් තියෙනවා.
ඒ මෙන්න මේකයි.
අපේ අම්මා දුක හිතිලා ඉන්න වෙලාවක් මට පුදුම විදිහට දුක හිතෙනවා. ඒ වෙලාවට නං ඔක්කොම එපා වෙනවා.
ඒත්,
සමහර වෙලාවට, මම කරන විහිලු වලට අම්මා හිනා වෙද්දිත්, මගේ හිතේ අම්මා ගැන ආදරයක්, භක්තියක් වගේ දෙයක් එක්ක මොකද්දෝ දුකක් වගේ දෙයක් ඇති වෙනවා, ඒ හැඟීම හරියටම විස්තර කරන්න අමාරුයි!
මට හිතාගන්න බැරි එහෙම වෙන්නෙ ඇයි කියලයි!
මං හිතන්නේ,
මම ඉපදෙන්න ඉදිදි, අම්මා ඉස්පිරිතාලෙ ඇඳට වෙලා මාව බලාපොරොත්තුවෙන් වේදනාවෙන් හිතපු මෙන්න මේ සිතිවිල්ල මගේ හිතේ කොහේ හරි තැන්පත් වෙලා ඇති කියලා,
“අම්මට හිතුනලු අම්මා මැරෙයිම කියලා, මැරෙන එක මීට වඩා ලේසියි කියලා හිතුනලු. ඒත් මාව දාලා අම්මා ගියොත් මම මේ ලෝකේ තනිවෙනවා නේද කියලා, අම්මා කොහොම හරි හිතට දහිරිය අරං හුස්ම අල්ලං හිටියලු, මං වෙනුවෙන්!”.















