පූජාවක් විදිහට හරි උදව්වක් විදිහට කාට හරි අපිට අයිති දෙයක් දීම දානය කියලා කියන්න පුලුවන්ය. අපි වගේ හරි, අපිට වඩා පහල අයට හරි දීම දානය වෙන අතර, අපිට වැඩිය උසස් පිරිසට දෙන දානය පුජාවක්ය.
දානයක් දෙන්න ලැස්ති වෙද්දිත්, දානය දෙද්දිත්, ඉන් පසුවත් අපිට කොච්චර නං සන්තෝසයක් දැනෙනවාදැයි කියා දානෙ දුන්නු අය දන්නවායැයි මම සිතමි.
දානෙ දෙද්දි දෙන කෙනාට ගරුසරු ඇතිව එයාලට අමාරුවක් නොදැනෙන්න දානේ දීමත්, දුන්නට පස්සෙ "හප්පා හිතුවට වඩා සල්ලියක් ගියානේ" කියලා හිතන්නැතුව දානේ දීමෙනුත්, දානේ දෙන්න ලෑස්තිවෙද්දි ඒ ගැන සංතෝස සිතින් ඒකට ලැස්ති වීමෙනුත් අපිට ලොකු පිනක් සිද්ධ වෙන බව ඕගොල්ලං දන්නවා යැයි සිතමි.
දානයක් දුන්නට පස්සෙ “සසරට පිහිටක් කර ගත්තෙමි”යි කියලා අපි කරපු දානය ගැන නැවත නැවත හිතලා සන්තෝෂ වෙන එකත් කොච්චර හොඳ දෙයක් ද කියලා පොතපත කියෝන ඕගොල්ල දන්නවා ඇති. ත්‍රිහේතුක කුසල කර්මයක් උනත් පෙර සහ පසු සිතිවිලි හොඳ නැති වීම හින්දා දුර්වල විපාක දෙන්න හේතුවක් වෙනවා කියලා අපි කව්රුත් දන්නවානේ!
එහෙම උනාම ඔක්කොම වතුරේය.
කොහොමහරි පහුගිය දවස් ටිකේ මහන්සි වෙලා අයියලා එක්ක එක්කහු වෙලා අපි කව්රුත් දානයක් දුන්නෝය. මේ කියන්න යන්නෙ ඒකෙ වගයි.
පහුගිය අවුරුදු නිවාඩුවට අපි ගියේ නලින් මාමලයි දිහාය. එහෙ හෙන ලස්සන ගමක්ය. අපි ගිහිල්ලා උදේට කිරිබත් කාලා තේ බීලා ගමේ ඇවිදින්න ගියෝය.
ඒ ගම පිහිටලා ඇත්තෙ අඩතැන්නේයයි සිතිය හැකිය. මම ඒ මතයට ඒමට හේතුව සමතලා බිමේ තැනින් තැන ගල් පරුවත පිහිටීම හින්දය. හැබැයි ඒ ගම මෙහෙමයි කියලා කියන්න බැරි තරමට ලස්සනය. ගෙදරින් එලියට බහිද්දිම අන්නාසි වත්තය. පස්සෙ කඳුය. කන්ද උඩ පන්සලය. පන්සලට යන පාර දෙපැත්තෙ කුඹුරුය. කුඹුරු කෙරෝලේ කදු පන්තිය.
ඉතිං අපි දවල් වෙනකං ඒ ලස්සන බල බල ඇවිදලා ගඟෙං නාලා ගෙදර ආවෙමු.
හවස් අතේ කෑම කාලා රඹුටං ගාලේ හෙවනේ, අයියලා අක්කලා ඉද්දි නලින් අයියා කොහෙදෝ යං කියලා කතා කරගත්තොය. හැමෝම ලැස්ති උනේ මාව හලා යාමටය. ඒ ගොල්ලං කිවේ මට ඒ ගමන යාමට සුදුසු තැනක් නොවේය කියලාය. ඒත් මම නං ඒවට සැලුනේ නැත.
“කෙක්කෙං බැරිනං කොක්කෙං" ය කියලා මමත් අයිතිවාසිකම් කතා කළෙමි.
බැරි තැන, මාව අරං නොගියොත් ඒ ගොල්ලංගෙ වැන් එක යන්ඩ ඇරලා වීදුරුවක් කුඩුවෙන්ඩ හොඳවයින් කලුගල් පාරක් දෙනවායැයි බය කල පසු මාවත් ගෙන යාමට එකඟ විය. ඒත් ඒගොල්ලං කීවේ “මට ගියාම තේරෙයි කියලාය”. "ගියාම තේරෙන්න නං මුලින්ම යන්න එපැයි" මම කීවෙමි.
පස්සෙ අපි වැන් එකේ පොඩි පොඩි කදු ගැට පාස්කරලා ගියෝය. කොහොමහරි එක තැනකට අපි ආවෝය. එතෙන හරි වෙනස් තැනකි. හරියට වළව්වක් වගේය. මට නං මුකුත් හිතා ගන්න බැරි විය. ඒ පාර මම ඒ මිදුලේ හිටවා තිබුනු මල් වර්ග කීයක් අඳුරනවාදැයි බැලුවෙමි.
පස්සෙ අයියලා අක්කලා එතන කාවදෝ හම්බෙලා, මොනාදෝ කතා බහ කරලා, කට්ටියටත් එක්ක ඇවිදින්න පිටත් විය. මමත් ඒ ගොල්ල පස්සෙ වැටුනෙමි.
එක තැනක පොඩි අක්කලා වගයක් ටීවී බල බලාත්, පොත් කියව කියවත් හිටියෝය. ඉතිං මං කෝකටත් මගේ කොණ්ඩේ පිලිවෙලක ඇද්දැයි බැලුවෙමි. පස්සෙ මම ඒ ගොල්ලං එක්ක හිනා උනෙමි. ඒ ගොල්ලත් මාත් එක්ක හිනා වුනෝය.
ඒ වෙද්දි අයියලා එහා පැත්තට ගිහිල්ලා සිටි අතර මමත් ඒ පැත්තට දිව්වෙමි.
අප්පා එතෙන්ට ගියාම මගේ ඔලුව විකාර විය. එතන අවුරුදු තුනට අඩුයි කියන්න පුලුවන් ගැනු පිරිමි ළමයි ගොඩකි. ඒ ගොල්ලං හිටියෙ වැටෙං එහා පැත්තෙය. මගේ ඔලුව විකාර කලේ ඒ ගොල්ලංගේ කෑකෝ සද්දේය. සමහරු දොරවල් වලට ගස ගසා හිටි අතර, සමහරු ගහමරා ගත්තොය. වැඩිහිටියොයි කියලා කියන්න පුලුවන් පිරිසක් ඒ ගොල්ලංගෙ රන්ඩු බේරමින් සිටියෝය.
පස්සෙ අයියලා මැද කොරිඩෝවෙන් ගිහිල්ලා තැනකට ආවෝය. එතන අර අක්කලායි, එහා පැත්තෙ පොඩි බබාලයි අතර වයසකයි කියන්න පුලුවන් කට්ටියක් සිටියෝය. ඒ ගොල්ලංගේ ඔලු නැන්දා කෙනෙක් පීරයි. පීරපු අයගේ මුණවල් වල වෙන නැන්දා කෙනෙක් පවුඩර් ගායි. අන්තිමේදී ඒ ළමයා ගිහිං ඉඳගනියි. තවමත් ඔලුව පීරා නැති අය පෝලිමේය. ඒක හරියට මැසිමක් වගේ, එකම විදිහට එකම තාලෙට පෝලිම ඉවර වෙනකං සිදුවිය.
ඉතිං මේ මොකද්ද, මෙතෙන වෙන්නෙ මොනවාදැයි හරියට නිච්චියක් ගන්න බැරි තැන මම හිමීට එතන හිටපු නෝනා කෙනෙකුට ලං කලෙමි.
"එස්කියුස් මී මැඩම්... මෙතන මොකද්ද තියෙන්නෙ?" මම වැදගත් විදිහට ඒ නෝනාගෙන් ඇසුවෙමි.
“මේක ළමා නිවාසයක්! ළමා නිවාසක්.....!? මීට කලින් දැකලා නැ නේද, මෙතන ඉන්නෙ අම්මලා තාත්තලා නැති ළමයි.”
“මොනවා......ඒ කියන්නෙ. තණකොල පෙත්තො වගේ, අම්මලා තාත්තලා නැති ළමයිනුත් ඉන්නවද?”
“හිහ්...... නැ.. මේ ගොල්ලංගෙ අම්මලා තාත්තලා ඒ ගොල්ලංව දාලා ගිහිං.”
“ආ...... ඒක මිසක්, එතකොට කවද්ද ඒ ගොල්ල රට ඉදලා එන්නෙ.....”
“දාලා රට ගිහිල්ල නෙමෙයි, මේ ගොල්ලන්ට අම්මලා තාත්තලා නෑ. බලාගන්නෙ මේ නැන්දලා මාමලා. හරිනේ.........”
“ඒ කට්ටිය කවදාවත් එන්නැද්ද?”
“හුඟක් වෙලාවට නැ! සමහර විට කවදක හරි එන්නත් පුලුවං, මෙතෙන ඉන්නවා කියලා දන්නවා නං!”
ඉතිං අපි ඔහොම කතා කර කර ඉන් අතරේ, අයියාලා මොන මොනාද දෙන්න කතා කරගෙන එදා එහෙන් පිටවිය. අර අයියලා කිව්වා වගේ මට නං ඒක කොහොමත් අමතක කරන්න බැරි තරම් අමාරු දෙයක් විය.
අම්මලා තාත්තලා නැතුව ඒ ගොල්ල රෑට කාට තුරුල් වෙලා නිදා ගන්නද? දන්නැති දෙයක් ආවොත් දැන ගන්නෙ කාගෙන්ද? ඒ වගේ ගොඩක් ප්‍රශ්ණ මට ආවත්, එවා අහන්න තරං කව්රුත් ඒ වෙලාවේ හොයා ගන්න බැරි විය.
පසුව අයියලා හැමදාම කරන වැඩත් එක්කම එහෙට දෙන්නං කිව්ව බඩු මුට්ටුත් එක්කහු කලෝය.
අයියයි අක්කයි එක්කහු වෙලා දමාපු පොඩි අයගෙ ඉස්කෝලේ, පටන් ගත්දා අයියලා එක පොරොන්දුවක් ඒ ගොල්ලන්ටම වී තිබුනි. ඒ හැම ළමයෙකුගේම පන්ති ගාස්තුවෙන් සීයට අහවල් ගානක් මේ වගේ වැඩ වලට වෙන් කරනවා කියලාය. ඉතිං අයියලා එහෙම වෙන්කරගත්තු සල්ලි වලින් ඒ ගොල්ලං ඉල්ලලා තිබුනු බඩු මුට්ටු ලේසියෙන් ගන්න පුලුවන් විය.
ඒවා අතර බේත් හේත්, පොඩි අයට සෙල්ලං කරන්න බිල්ඩිං බ්ලොක්ස්, පොත්පත්, මං දාන ජාතියේම "සුපර් ස්පෝට්ස්" සපත්තු කුට්ටං හා ඒවාට මේස්, කොච්චර දුන්නත් ඇති නොවෙන කිරිපිටි, චුට්ටිම කට්ටියට පැම්පස්, හවසට කන්න බිස්කට් එහෙම තිබුනි. එදා ගිය අයියලාගෙ අනිත් යාලුවයි ඒ ගොල්ලංගේ පුතාලා වන කට්ටියත් චුටිම අයට සැනඩ්ල්සුයි, පැම්පසුයි අරං තිබුනි.
අන්තීමේදී චූටි දිය පාරට තවත් දියපාරවල් එක්කහු විය.
ඒකට මුල පිරුවේ මංය. මම මුරුක්කු හරි අයිස්කිරිං හරි දෙකෙන් එකක් කන්නයි කියලා හරි අමාරුවෙන් එක්කහු කරං හිටපු රුපියල් තිස් අටක් ඒ ගොල්ලන්ට බඩු ගන්නයි කියලා එක හිතිං දීලා දැම්මෙමි.
පස්සෙ අයියලාගෙ අම්මගේ ඉස්කෝලේ චීටර්ලයි, අක්කගෙ පංතියෙ ළමයිගෙ අම්මලායි කිසි බලකිරීමක් නැතුවම පොඩි කට්ටියට කිරිපිටි පොත්පත් ගෙනත් දුන්නෝය.
රෙදි කඩවල් තියෙන අම්මලා ඒ ගොල්ලන්‍ට අඳින්න අලුත්ම අලුත් බෙන්ටෙන්ලගේ, ස්පයිඩමැන්ලාගේ රූප තියෙන ඇදුම් ආයිත්තම් ගෙනත් දුන්නෝය. කඩවල් වලින් බඩු ගද්දි “මේ අහවල් වැඩකටයි" කියූවිට ගොඩක් කට්ටිය කොස්ට් එකටම වාගේ බඩුවලට ගණං දාලා දුන්නෝය. සමහරු දුන්නේ ඩිස්කවුන්ට්ය. අක්කලාගෙ පංතිය ගාව නැන්දා ඒ ගොල්ලංගෙ ජීප් එකෙන්ම බඩුත් අරං අපිත් එක්ක ඒ ගමන යන්න එකතු විය. ඒකෙන් අයියලාට සෑහෙන මුදලක් ඉතුරු වු අතර ඒ සල්ලි වලින්, ඒ ගොල්ලන්ට ගොඩක්ම ඕනැයි කිව්ව අමතර බිල්ඩිං බ්ලොක්ස් ටිකකුයි කිරිපිටියි ගත්තෝය.
ඉතිං ඒ ටිකත් අරං අපි කට්ටිය පහුගිය පළවෙනිදා එගොල්ලං බලන්න ගියෝය. මේ තියෙන්නෙ ඒවයේ පින්තුරයි.
මේ ඉන්නෙ පීටර් වීරසේකර මහත්තයයි. මේ ළමා නිවාසය තියෙන්නෙ ඒ මහත්තයාගෙ වලව්වවෙයි. දැං නං අලුත් ගොඩනැගිලිත් හදලාය.
මේ අපි ඒ ඒ කට්ටි වලට බිල්ඩිං බ්ලොක්ස් දීපු වෙලාව.
මේ අපිත් ඒ ගොල්ලං එක්ක එකට එක්කහු වෙලා සෙල්ලං කරපු වේලාව. නැන්දලාත් පොඩි අයවගේ නේද?
පොඩිම අයට සපත්තු අපිමයි දැම්මෙ.
මේ, මං දාන ජාතියෙ සුපර් ස්පෝට්ස් සපත්තු එයාලට දුන්නු වෙලාව. පරණ සපත්තු ඉරිලා තිබ්බත් ඒ ගොල්ලං අපි යද්දි ඒවා හෝදලා පෝලිමට වෙලෙන්න දාලා තිබුනේ පහුවදා ඉස්කෝලෙ යන්නයි.
ඉතිං අපි ඒ ගොල්ලංට ඒ තැගී බෝග දීලා ටික වෙලාවක් කතා කර කර හිටියෙමු.
මං ඒ ගොල්ලංගෙන් "ටොම්ලා ජෙරීලා, ෂැගීලා ස්කුබීලා" ගැන ඇහැව්වෙමි.
සමහරු මට දිවුරලා කිව්වෙ කවම කවදාවත් ටොම්ටනං ජෙරීව අල්ලගන්න බැරි වෙන බවයි. සමහරුන්ට නං මැක්වුල්ෆ්ගේ මෝඩ වැඩයි, කතාබහ කරන විදිහයි හින්දා හිනාව නවත්තගෙන බලන්නෙ ලැබෙන්නෙ එහෙමත් දවසකලු. තවත් සමහරු කිව්වෙ ෂැගීල නැත්තං අනිත් කට්ටියට තවදාවත් හොරු අල්ලගන්නඩ නං බැරි වෙනවා කියලයි.
කොහොම හරි ඔහොම කතා කර කර ඉඳලා එන්ඩ යද්දි හරි වැඩක් විය. ඒ ගොල්ලංගෙ වැඩිහරියක් අපේ අත්වල එල්ලිලා තව ටිකක් වෙලා ඉඳලා යන්න කියන්න ගත්තේය. සමහරු ළඟට ඇවිල්ලා "අපි බලන්න ආය එන්න"යි කියා යන්න ගියේය.
ඒත් සමහරක් එක්කහු වෙලා අපි ආපු එකට ස්තුතියක් විදිහට සින්දුවක් කියා ඒගොල්ලංගේ සංතෝසය අපිට පෙන්නුවෝය. මේ තියෙන්නෙ ඒ පින්තුරෙයි.
ඉතිං අපි ආයෙත් එන පොරොන්දුව පිට එතනින් පිට විය.
ඔන්න ඔහොම එදා මැයි දිනේ ගෙවිලා ගියෙ, මගේ ජීවිතේ කාටවත් මකන්න බැරි විදිහේ අලුත් මතකයක් එකතු කරලාය.
ඉතිං ඕගොල්ලන්ට මම මේක කිවේ විශේෂ කරුණක් මතක් කරන්නය.
අපි අතර තවත් මේ වගේ දානෙ දෙන අය ඕනැ තරං ඉන්නවෝය. නමුත් ඒ ගොල්ලං අපිට ඒ ගැන කියන්නේ නැත. මම නං කියන්නෙ අපි කරන පිං අතේ වැඩ කාටත් කියන්න ඕනැ කියලාය.
මොකද එතකොට "අනේ මේ ගොල්ල කරපු වැඩෙං අර ළමයිට ලොකු පහසුවක් වෙන්න ඇති, ඒ ගොල්ල සංතෝස වෙන්න ඇති, මේ වගේ දෙයක් කළ හින්දා ඒ ගොල්ලන්ට පිනකුත් සිද්ද වෙනවානෙ" කියලා හිතෙන අයට අපි කරා වගේම පිනක් එහෙම හිතීම නිසා සිදු වෙන හින්දය. ඒ කියන්නෙ ඒ පින ඒගොල්ලංගෙ කුසල් ශක්තිය අනුව ඒ ගොල්ලන්ටත් අනුමොදන් වෙනවා කියන එකයි.
අනිත් කරුණ නං, අපිට වඩා ගොඩාක් සල්ලි හොයන නැන්දලා මාමලාටත් මේ වගේ දෙයක් කරන්න පොඩිපහේ පෙළඹවීමක් මේ වගේ ලියුමකින් කරන්න පුලුවන් වේ යැයි මං හිතපු නිසාය.
එහෙම උනොත් සතුටු හිතෙන්නෙ තෑගි ලැබෙන අර වගේ අයට විතරක් නෙමේය. දෙන ඒ ගොල්ලන්ටත්, ඒවා කියවන අපිටත් සතුටු හිතේ.
අන්තිමේදී පුංචි දරුවෙක් විදිහට මං ඕගොල්ලංගෙන් ඉල්ලන්නේ "පුලුවන් හැම වෙලේම මේ වගේ වැඩ කරමු" කියාය. මගේ මැයි දින පණිවිඩය වන්නේ ද ඒකය.
ඉතිං එහෙමනං මම අදට නවතින්නෙමි.
කාටහරි ඒ ගැන තව පොටෝ බලන්න ඕන්නං, ගිහිල්ලා ඇල්බම් එකම බලලා එන්නත් පුලුවන්ය.
පොටෝ බලන්න කලින් තව එකක් කියන්න තියෙනවාය.
එදා ගත්තු ගත්තු පොටෝ බල බලා අපි ගොඩක් සතුටු උනා තමාය. හැබැයි මේ පොටෝ එක දකිද්දි නං මගේ බඩ පපුව මොනාදෝ වී, පස්සෙ උගුර හිරකරන්න ගනියි.
ඒ වෙන මොකවත් හින්දා නෙමේ,
"කවදාවත් එන්නැති අම්මලා තාත්තලා එනකං, දවස පුරා ම බලං ඉදලා, රෑ උනාම මේ ඇදං වලට වැටිලා තනියෙම ඒ ගොල්ල නිදාගන්නවා ඇති" කියලා හිතෙන හින්දායි කියලා මට හිතෙන්නෙ.
............................
- මීට ඔබේ හිතවත් යාලුවා ටිකිරි.
සැළකිය යුතුයි.
ඔබ්සවර් සීයට පිං පිණිස මේ ටික නැවත ඇතුලත් කරන ලදී.
වැඩි විස්තර ඕනෙනං ඒ ගොල්ලංගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. තවත් විස්තර මේකෙත් තියෙනවා.
මටත් මගේ චූටි දූලා දෙන්න මතක් වුනා.......... එයාලට මමයි, අම්මයි නැති වුනා හා සමානයිනෙ මෙතන ඉන්න දරු පැටවුන්ටත්........ පව් දෙයියනේ....... ඉතාමත් හොඳ වැඩක් කරලා තියෙන්නෙ.........
ReplyDeleteඔක්කොමත් හරි අන්තිම පින්තූරෙ දැක්කම නම් ඇස් වලට කඳුලු ආවා.
ReplyDeleteඅම්මලා මොන හිතකින් මෙහෙම දරුවන්ව දාලා යනවාද මන්දා... දුක හිතුනා ගොඩාක්.... :(
ReplyDeleteහොද පින්කමක් නොවැ කරලා තියෙන්නේ
ReplyDelete"කවදාවත් එන්නැති අම්මලා තාත්තලා එනකං, දවස පුරා ම බලං ඉදලා, රෑ උනාම මේ ඇදං වලට වැටිලා තනියෙම ඒ ගොල්ල නිදාගන්නවා ඇති" කියලා හිතෙන හින්දායි කියලා මට හිතෙන්නෙ.
ReplyDeleteeththatama hithata denenawa ban
නියම වැඩක් කරල තියෙන්නෙ...
ReplyDeleteඇත්තටම ටිකිරො බොට විතරක් නෙමෙයි අන්තිම ටික කියවනකොට මගේ ඇස් වලටත් කඳුලු ආව.
ReplyDeleteහොඳ වැටක් කරල තියෙන්නෙ.
මේ පුංචි මල් කැකුළු වගේ පොඩි එවුන්ගේ මූනුවලට සිනහවක් ගේන්න උඹලා මේ ගත්තු උත්සාහයට මගේ ආචාරය !!
ReplyDeleteනියමයි අයියේ... ගොඩක් හොඳ වැඩක්... කියන්න බැරි හේතුවක් නිසා මමත් ඔය ළමයින්ගේ දුක චුට්ටක් විතර අත්විඳලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම අම්මලා තාත්තලා එනකං බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා...
ReplyDeleteනියමයි ටිකිරි ඔයාල නියම වැඩක් කරල තියෙන්නෙ . . . මටත් ලොකු උවමනාවක් තියනව ඔය වගේ වැඩක් කරන්න . . . ඒත් ඇත්තම කිවුවොත් ළමා නිවාසෙකට නෙමෙයි . . . . අංගොඩ මානසික රෝහලට . . . .
ReplyDeleteමොනවා කියන්නද කියලා නම් මට තේරෙන්නෙ නෑ... ඒ තරමට සසල කෙරෙව්වා... සංසාරෙ පුරාවට මතක් කර කර සතුටු වෙන්න පුළුවන් පිනක්....
ReplyDeleteහොඳ වැඩක්. ආධාරයක් දෙන්න කැමති අයට,ඒක කරන විධියකුත් කිව්වොත් මේ බ්ලොග් කියවන සමහර පාඨකයො උදව්වක් නොකර ඉන්න එකක් නැහැ.
ReplyDeleteඕනය දන්නව, පොරට යන්න තියෙන තැන.
අන්තිම ෆොටෝ එකට නම් මටත් දුක හිතුනා ටිකිරෝ... මමත් පොඩි කාලේ ගැහැණු ළමයින්ගේ අනාථ නිවාසෙකට ගියා දානෙකට....අපි ගෙදරදි හැමදාම කන්නෙ කෑම...ඒත් මේ ගොල්ලෝ කන්නේ දානේ නේද කියලා මට හිතුනා. මට ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීම විස්තර කරන්න අමරුයි
ReplyDeleteටිකිරි මලයෝ, ඕං අටටම එන්න බැරි අපි පමා වෙලා ආවේ. පුංචි මල් ලොකුවෙලා බොඳවෙලා පෙනුනේ. ලියමනේ අන්තිම හරියට එද්දී ලොකු කැට කීපයක් මතුවුනේ නුඹලා ගැන අතිවූ ආඩම්බරයට මලේ.
ReplyDeleteචූයින්ගම්, සිගරට් හා ලිප්ස්ටික් වලින් කොටසක් කාසිකර ගොඩාක් දේවල් අහිමි අසරණ දරුවන්ට ලොකු දෙයක් කරන්න පුලුවන්. විශේෂයෙන්ම රිජ්වේ ආර්යා ලමා රෝහලේ ලමා හෘද රෝග වාට්ටුව අගේ තැනකට.
දෙන්න, දෙන තරමටලු ලැබෙන්නෙ කියනවා නේද.
ReplyDeleteඑදා ඉඳන් මෑතක් වෙන තුරුම මම හිටියෙත් තනියම. අම්මත් නෑ තාත්තත් නෑ. තුරුල් වෙන්නත් නෑ. ප්‍රශ්න අහන්නත් කවුරුත් නෑ.
දැන් නම් එක්කෙකෙත් ඉන්නවා, ඒත් දැන් ඉස්සර වාගේ අහල විසඳගන්න ප්‍රශ්න අඩුයි..
මං ළමයා ඉගෙන ගන්න තැන තිබුණා අවුරුදු උත්සවයක්.. ඒකට ආරාධනා කලා ළමා නිවාසෙක ළමයි පිරිසකට ඇවිල්ලා සතුටු වෙන්න. ඉතින් එක ළමයෙක්ට සිංදුවක් කියන්න ඕනේ කිව්වා. ඒ ළමයා කිවුව සිංදුව තමයි "දෙවෙනි බුදුන් ලෙස" සිංදුව. ඒක ගායනා කරලා ඉවර වෙද්දී ඒ ළමයාගේ වගේම අහගෙන හිටපු ගොඩක් අයගේ ඇස් වල කඳුලු පිරිලා.. මට ඉතින් ඒකත් මතක් වුනා මේක කියවද්දී..
ReplyDeleteගොඩක් හොඳ වැඩක් නෙව මේ ළමයි කරලා තියෙන්නේ..!
කියන්න ඕනෙ දේවල් ඔක්කොම කියලනෙ මම එනකොට :/
ReplyDelete[මම හිතාන් උන්නෙ උබ මහ නහයට අහනැති නසරාණි පැටියෙක් කියලනෙ, බලං යනකොට උබ බුද්ධි ප්‍රසාද් අයිය තරම්ම හොඳ එකෙක් නෙ :)]
හොඳ වැඩක්.... පොටෝ දැක්කම දුක හිතෙනවා
ReplyDeleteඅනේ දෙයියනේ අර අන්තිම පින්තූරේ දැක්කම නම් ඇත්තටම කදුලු එනවා අයියේ... ඒ වගේ පුංචි වයසකදී අම්මා තාත්තාගේ හෙවන නැතිව ඉන්න එක කොයිතරම් දුක්බරද? අයියලා කරලා තියෙන වැඩේනම් සුපිරි!!!
ReplyDeleteගිය වතාවෙ අපේ කෙල්ලගෙ උපන්දිනෙට මෙහෙම තැනකට දානයක් දුන්නා. දවල්ට බඩ කට පිරෙන්න බත් කාපු පුංචි එවුන් " දැං ඉතින් නිදා ගන්න " කියලා කිව්වම ඔහේ තනියම ඇඳට වැටුනා. පරිවාස කාර්යාලය හරහා එන ළමයි එතන හිටියෙ. වයස අවුරුදු හතර වෙනකම් අය විතරයි. ඔක්කොම නිරෝගී හුරතල් පොඩි එව්වො. හැබැයි පින්තූර ගන්න නම් අවසර ලැබුණෙ නැහැ. තියෙන්නෙ මොරටුවෙ.
ReplyDeleteබොහෝම හොඳ වැඩක් නෙව ටිකිරා කරල තියෙන්නෙ අයියලත් එක්ක එකතුවෙලා. එක දවසකට හරි ඒ ඒකාකාරී ජීවිතවලට වෙනසක් එක් කරපු එක ලොකු දෙයක්. අම්මල තාත්තල ලඟ නෑ කියන එක මොහොතකටහරි අමතක වෙන්න ඇති. මාත් ඉස්සර ගාල්ලෙ ඉන්න කොට අම්මල එක්ක මගෙ උපන් දිනේට ඔය වහේ තැනකට රෑ කෑම වේලක් දුන්න. කොළඹ ආවට පස්සෙ ඒ අවස්ථාව මඟෑරුනා.
ReplyDeleteපරක්කු වෙලා හරි ඔන්න මමත් ගොඩ වැදුනා,,අපේ පවුලෙනුත් මේ වගේ දේයක් කරනවා
ReplyDeleteසියලු දෙනා වෙත,
ReplyDeleteඒකනෙ මම කිව්වෙ! මේ වගේ වැඩ කරන අය ඕනැ තරං ඉන්නවා. කියන්නැති එකයි වැඩේ. ඔය දැං කිව්ව වගේ ඕගොල්ල කිව්වම තව සමහරු ඒවා කරන්න පෙළඹෙයි.
අන්තිමේදී කියන්න තියෙන්නෙ සම්මාදම් වූ සියල්ලන්ට පින්!
- මීට ඔබේ හිතවත් යාලුවා ටිකිරි
කවදාවත් එන්නැති අම්මලා තාත්තලා එනකං, දවස පුරා ම බලං ඉදලා, රෑ උනාම මේ ඇදං වලට වැටිලා තනියෙම ඒ ගොල්ල නිදාගන්නවා ඇති...............hmmmmm
ReplyDeleteනිසල සිත සසල විය..........ග්‍රේට් ජොබ්
ReplyDeleteහොඳ වැඩක්. පව් ඒ ළමයි.. ඇත්තටම දෙමාපියන්ගෙ උණුසුම ඒ ගොල්ලන්ට නෑනේ.. අපි මොනවා දුන්නත් ඒක දෙන්න බෑනේ..
ReplyDelete