ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2012/02/27

අද කාටූන් - 07 - උපශාන්ත මයා නිවාඩු අනුමත කරගෙන හැරෙන තැපෑලෙන් ගෙදර එයි !

සරළ, ප්‍රබුද්ධ, පීචං වෙනසක් නැතිව “රස“ රස විඳන, හිතට වැදුන දේ අගයන, විරුද්ධ දේට සෘජුවම එරෙහි වෙන, මහ පොලොව උඩ නිරුවත් දෙපයින් ඉන්න, දශක හතරකට ආසන්න ජීවිතේ අහපු, දැකපු, විඳපු කතා ලියන්නෙක් තමා අද කාටුන් එකට නිමිත්ත සපයලා තියෙන්නෙ.

විවාහයේ දහවෙනි සංවත්සරය පසුගිය දා සමරපු උන්නැහේ තමයි, සැහැල්ලුව බ්ලොග් එක ලියන ඉන්දික උපශාන්ත. මුල් කාලයේ ඉඳලම සයිබර් යායට පැමිණිලා “කෙහෙල්කොටුවේ චූටි මහත්තයා“ දිරිමත් කරපු ඉන්දික උපශාන්තට සයිබර් යායෙන් උණුසුම් සුබ පැතුම්!

මේ මොන කතා කිව්වත් මිනිහා හෙන වසයි ද කොහෙද? ප්‍රොෆයිල් පින්තූරෙටත් දාගෙන ඉන්නෙත් සිංහයෙක්ව. එයාගෙ සංවත්සරෙයි කියලා දැනගෙන මම තෑග්ගක් දෙන්ඩ යනකොට මිනිහා කිව්ව දෙයින් මාවත් නිකං මෙව්වා වෙලා ගියා. මේ තියෙන්නෙ ඒ ටික.

  1. බුද්ධි Feb 25, 2012 01:58 AM
  2. ඇනිසවරි කතාව ඇත්ත එහෙනං....? ඔන්න එහෙනං මගේ ගානෙ සවුදා උදේම තෑග්ගක් හෙහ්....හේ.........

  3. ඉන්දික උපශාන්ත Feb 25, 2012 02:11 AM
  4. උඹ කොටියගෙන් බේරුනාට මෙදා පාර පුතේ සිංහයගෙන් කනව!
ඔන්න බලන්ඩ යාලුවනේ සුබ පතලා තෑග්ගක් දෙන්ඩ ගියාම, ඒ ගොල්ලං අපිට කතා කරන විදිහ. එහෙම කතා කෙරුවයි කියලා අපි යැයි සැලෙන්නෙ. මේ තියෙන්නෙ ඒක.

උපශාන්ත දෙන්නා දෙමහල්ලො තමන්ගෙ කොල්ලො දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ නිවි හැනහිල්ලෙ විවාහ සංවත්සරය සමරන්න කතා කරගත්තලු. පහුවදා උදේම නිවාඩුවක් දාලා පොර හැරෙන තැපෑලෙන් ගෙදර ආවේ වෙලාව ටිකක් වැඩිපුර ඉතිරි කර ගන්නලු. මේ ඊට පස්සෙ ටික...


ඔන්න ඔහොමලු උනේ.
එහෙනම් ලබන සෙනසුරාදා නැවත හමුවෙමු.
අතරතුර කතන්දරත් වැටෙනවා.

...............................
- මීට විදෙස් සිත්තරා.

2012/02/22

කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා ! යුරෝ දෙකේ ඔවදන ! හෙහ්....හෙහ්......

කවදා නමුත් ඇත්ත හෙලිවෙනවා!

මම කියමන ඇත්තම ඇත්තයි කියලා දැන ගත්තෙ කුරුලු හමුදාවේ සේවය කරන කාලේ. ඔය වෙද්දි කුරුලු හමුදාවට ඝෘෂිවරයෙක් ඇවිල්ලත් කාලයක් ගිහිල්ලා. ඒ කියන්නෙ අපි කිඹා ගැහිල්ලෙනුත් කෙල පැමිණිලා හිටිය කියන එකනෙ.

අපේ නිවස්නයත් බැලු බැල්මට හොස්ටල් එකක් වගේ. හෝල් එකේ ඩබල් ඇදං පොලිම් දෙකයි. ඩබල් ඇඳවල් දෙකේ දෙන්නට‍ ලොකර් දෙක ගානේ, ඇඳවල් දෙකක් මැදින් ලොකර් ස්ථාන ගත කරලා තියෙන්නෙ. ඒකේ අපේ සියලු සබ්බ සකල මනාවම දලා, ඉබි යතුරු දාලා, නිතරම ලොක් කරලා, යතුර සාක්කුවෙ දාගෙනයි ඉන්නෙ.

හැබැයි අපි ලඟ තිබුනු හැම ‍ලොකර් එකකම පොඩි ටෙක්නිකල් එරර් එකක් තිබුනා. ඒක තමා ලොකර් එක කොහොම ලොක් කලත්, ඕනැ උනොත් ලොක් එක අරින්නෙ නැතුව, බඩු එලියට ගන්න පුලුවන්කම. ඒ, ලොකර් එකේ ලී පියන උඩින් හරි යටින් හරි ඇදලා. මේ ගැන හොඳටම අද්දැකීම් ඇත්තෙ අපේ මාරයට. ආවොත් කියයි වැඩි විස්තර.

ඔය හේතුව හින්දමයි " කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා!" කියන කතාව ඇත්තම ඇත්ත කියලා ප්‍රත්‍යක්ෂ කර ගන්නත් අපිට පුලුවන් උනේ.

මතකද අපේ යාලුවෙක් හිටියා ෆර්ඩි කියලා, ගෙදර පොඩියට සත්තු වත්තක් කරන. පොර හෙන පච පප්පා වගේම ඇරමන්ට් වලට නම් දරාපු මනුස්සයා කියලා මම ඒ කාලේ කිව්වනෙ. පොර ඊට අමතරව පුරුද්දක් හැටියට කලේ පඩි ගත්තම තමන්ට ඕනැ කරන සබන්, ටූත් පේස්ට් වගේ අත්‍යවශ්‍ය ද්‍රවය මිල දී ගැනීම අතපසු කරලා ඒ සල්ලි වලින් වෙන වෙන දේවල් කරපු එක.

අන්තිමේ ඉස්සෙල්ලා මාසෙ ගත්තු ඔය කියන බඩු ඉවර වේගෙන එද්දි, මිනිහා කරන්නෙ උදේ පාන්දර පහමාරට විතර නැගිටලා කාගෙ හරි ලොකර් එකකට අර ක්‍රමේට අත දාලා ටූත් පේස්ට් ටිකක් අරගෙන, බාත් රෑම් එකට රිංගන එක. හිතුනොත් සබන් පෙට්ටියත් ඒකෙන්ම ගන්නවා. අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ ඔය විදිහට ෆර්ඩියා වගේ.

මේ කියන කතාව වෙන දවස් වල ඔය වැඩේට කෙලින්ම අහු උනේ පොරගේම ගමේ කොල්ලෙක් වෙන රෙජියා. ඔය වගේ කේස් එකක් හින්දා රෙජියයි, ෆර්ඩියි දවසක් කොක්කක් දා ගත්තා. ඒ උනාට ෆර්ඩියා දුර දිග කල්පනා කරලා, පොරගෙ සත්තු වත්තෙන් පොහොර වැටිච්ච ඌරු පැටියෙක් රෙජියගේ අම්මට තෑගී දීලා වැඩේ ගොඩ දාගෙන තිබුනා සතියක් යන්ඩ කලින්.

කොහොමහරි ටූත් පේස්ට් මංකොල්ලය ජයටම නැගලා යද්දි, රෙජියට මේ ගැන ඇක්ෂන් එකක් ගන්න බැරි උනේ, ෆර්ඩි‍යා ඌරු පැටියෙක් දීලා අම්මා ලව්වා පොරව හිර කරලා තිබුන හිංදා. මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා රෙජියට අහුවෙලා වැඩේ වර්චස් වේගෙන එද්දි, ෆර්ඩියා කරන්නෙ කඳවුරු ඇතුලේ මීයා වගේ ඉඳලා එලියට ගිය ගමන් ඌරු පැටියගෙ සුව දුක් අහන්න, රෙජියගේ අම්මව කන්ටැක් කරන එක.

කාලයක් තිස්සෙ මේක කිසි විසඳුමක් නැතිව ඇඳිලා යන එකේ රෙජියා මේකට ප්ලැන් එකක් ගහලා තිබුනා. දවසක් දා රෑක අපි නිදා ගන්න ලයිට් ඕෆ් කරපු වෙලාවේ පොර ගහලා තිබුනු එළකිරි ප්ලෑන් එක ක්‍රියාත්මක කලා මුලු ලෝකෙටම හොරෙන් මහ කලුවරේ.

හැබැයි රෙජියගේ වෙලාවේ පොඩි අවුලක් තිබුනා කියන්නෙ, වෙලාවටම ඊට මෙහා පැත්තෙ ඇදේ ඇලවෙලා හිටපු මම ඒක දැක්කා. මමත් බොරුවට නිදි වගේ ඇට් කොරලා සිද්දිය සහසුද්දෙන් බලාගන්ඩ හිතුවට, තනියම දිරවගන්ඩ බැරි වෙයිදෝ කියලා හිතුන හින්දා කාටත් ඇහෙන්නැති වෙන්න උඩ ඇඳට පයිං ඇන්නෙ ඒකෙ ඉන්න ෂැවොලියටත් මේ රහස එලි කරන්න හිතාගෙන.

ඒ එක්කම වගේ උඩ ඇදෙන් අතක් මට පෙනුනා හස්ත මුද්‍රාවෙන් "ෆිට් තමා" කියලා හදාගත්තු. ඒ කියන්නෙ දැනටම රහස දෙන්නෙක් දන්නවා. ඊට පස්සෙ වෙන්න ඕන දේවල් අපි කතා කරගත්තෙ නැතත් අද්දැකීමෙන් දන්නවා අපේ වගකීම මොකද්ද කියලා. ඒක හින්දා මම ෆෝන් එක අරගෙන හරියට පහට එලාම් තියලා නිදාගත්තෙ පහුවෙනිදා උදේ ක්‍රිඩා පුහුණුවීම් නැතත්, වැදගත් රාජකාරියක් තියෙන හින්දා උදේම නැගිටින්න හිතාගෙන.

ඒ දෛවෝපගත උදෑසන එලාම් සද්දෙන් මම අවදිවෙලා රෑ වගේම ඇන්න උඩ ඇදට. පස්සෙ අපි දෙන්නා හිමිදිරි උදේම ඇස් අඳුරට හුරු කර ගන්න ගමන් බලාගෙන හිටියෙ ඊලඟට මොකද වෙන්නෙ කියලා.

ඔන්න ටික වෙලාවකින් ෆර්ඩියා ආවා රෙජියගේ ලොකර් එක ගාවට. රෙජියා නිදියි කියලා සැක හැරගත්තු ෆර්ඩියා වටපිට බලලා ලොකර් එකේ පියන ඇදලා ගත්තා ටූත් පේස්ට් පෙට්ටිය. පෙට්ටියෙන් ටූත් පේස්ට් එක එලියට අරං තමන්ගෙ බුරුසුවට දා ගත්තු ෆර්ඩියා ටුත් පේස්ට් පෙට්ටියට ආයිම ටුත්පේස්ට් ටියුබ් එක දාලා, ඒක ලෝකර් එකට රිංගවලා අඳුරෙම බාත්රූම් එක පැත්තට ගැටුවා.

ඊට පස්සෙ, රෙජියා ඇරුනම මේ ලෝකෙන්ම ඒ රහස දන්න අපි දෙන්නත් ඇදෙන් පැනලා බොරුවට බුරුසු දෙකත් අරං ෆර්ඩියා පස්සෙ පැන්නුවෙ, මාපොට ඇඟිල්ල ප්‍රධාන අවශේෂ ඇඟිලි විතරක් ආධාර කොරගෙන, තියෙන නිෂ්ශබ්දතාවයට පොඩි හරි මෙව්වා එක්ක වෙන්නෙ නැති වෙන්ඩ.

මුලු ලෝකෙටම හොරෙන් රෙජියාගෙ ටූත් පේස්ට් එක මංකොල්ලකාලා වීරයා වගේ බාත්රූම් එකට ඇදෙන ෆර්ඩියට ඊ ලගට වෙන්න යන‍දේ අපිට මැවිලා පෙනෙද්දි, අපේ බඩවල් ‍කොරවෙලා ඇස්වලින් කඳුලු පයින්න ආවා. ඒ හිනාව හිරකරගෙන ඉඳලා වැඩිකමට. මට වැඩියෙම හුස්ම හිරවෙන්ඩ ආවේ ෂැ‍වොලියා දිහා බලද්දි. මිනිහා එලියට පනින්න හදන හිනාව කට ඇරලා කට අස්සටම ඔබන්න හදනවා අතින් කටට ගගහ.

කොහොමහරි අපේ පර්ඩියා කන්නාඩිය ඉස්සරට ගිහිල්ලා, මුණ දෙපැත්ත හරෝ හරෝ බැලුවෙ හරියට සකිවිති රජකෙනෙක්, තමන්ගෙ කරණවෑමියාට රැවුල පෙන්නවා වගේ හරි උජාරුවට. පස්සෙ මිනිහා කණ්නාඩියට විරිත්තලා බුරුසුව තියාගත්තා ඉස්සරහා දත් වහල්ලෙ. තියලා ඇරියා දකුණු ඇන්දෙ දත් දිගේ අස්සට. ආයිමත් මිනිහා දත් බුරුසුව දිහා හොඳට බලලා ඇරියා අනිත් පැත්තටත්. ඔහොම දෙපාරක් විතර කරලා මිනිහා බුරුසුව විදුලි වේගෙන් කටින් එලියට අරං ආයිමත් සැරයක් ඒක දිහා පුදුමෙන් වගේ බැලුවා.

ඊට පස්සෙ තමා නියම ජවුසම පටන් ගත්තෙ.

ෆර්ඩියා එකපාරටම අතේ තිබ්බ බුරුසුව පැත්තකට විසික්කරලා, අත් දෙකෙන්ම කට වහගගෙන ඇඹරෙන්ඩ ගත්තා. පස්සෙ "හෝ....හෝ......" ගගා පිඔ පිඔ සින්ක් එකෙන් කට හේදුවා . මුලු ලෝකෙම සුව නින්දෙ ඉන්න වෙලාවේ, කොහේදෝ මන්දා කඳවුරක බාත්රූම් එකක් අස්සෙ අහස පොලොව නුහුලන අපරාධයක් වෙලා. අනේ අපේ දුප්පත් ෆර්ඩියා. මිනිහට උදව්වට කව්රුත් නෑ වගේ.

රෙජියා ලියපු තිර නාටකයට, ෆර්ඩියා රඟපානවා. ඒක ටිකට් නැතුව බලපු අපිට මේ වෙද්දි බ‍ඩේ කොරේ හොඳටම වැඩිවෙලා තිබුනෙ. ඒ හින්දා අපි දෙන්නා එතනින් එලියට පැනලා, බිලට් එකෙනුත් එලියට ගිහිල්ලා ඇති වෙනකල් හිනා උනා හද්දා කලුවරේ. හිනාව අඩු වේගෙන එද්දි, අපි දෙන්නා කලේ ෆර්ඩිය මූහුණ දුන්නු ජවනිකා තනියෙම මතක් කරගෙන ඔටෝ චූන් උන එකයි. අන්තිමේ පාං කියාගන්න බැරි ගානට හකු රිදෙන්න ගත්තට පස්සෙ අපි තීරණය කලා ආපහු බාත්රූම් එකේ අලුත් තත්වෙ බලන්න.

අපි එතෙන්ට යද්දි, අපේ ෆර්ඩියා නේද? අනේ පව්! මිනිහාගේ තොල් දෙක ඒ වෙද්දි අප්‍රිකාවේ මීනී කන කාපිරියෙක්ගෙ ව‍ගේ ඉදිමිලා බරියං වෙලා ගිහිල්ලා. ඇස්වලින් කඳුලු ගලනවා. මිනිහාට කරන්න දෙයක් නැති තැන, ඔලුවට අත් දෙක තියාගෙන, කණ්නාඩිය දිහා බලාගෙන මේ පැටලිච්ච නූල් බෝලෙ කොනක් හොයනවා.

ඒ හිංදම අපි ෆර්ඩියා ගාවට ගියේ පුදුම හිතිලා වගේ මුණු හදාගෙන. ඊට පස්සෙ කලින් තීරනේ කරගෙන හිටිය හැටියට, රෙජියගෙ කතාවෙ දෙවෙනි එපිසෝඩ් එක අපි දෙන්නා ලිව්වා. ඒ මෙන්න මෙහෙමයි.

"අම්මච්චියා.......ෆර්ඩියා, අපි දෙන්නා දුවගෙන ආවේ උඔට විස්තරේ කියන්ඩ. කොහෙද අපි එද්දි පරක්කු වැඩිනෙ... නැද්ද ශැවොලියා...."

"ඒකනෙ.... ඒකනෙ....."

"උඔ දන්නවද? රෙජියා ඊයේ මහ කැත වැඩක් කලා. අපි ඔක්කොමලා නිදා ගන්න ගියාට පස්සෙ පොර ටූත් පේස්ට් පෙට්ටියට වින්ටජිනෝ ටියුබ් එක දාලයි නිදා ගත්තෙ....."

"නෑ.......................!!!"

"නෑ...... නෙමේ...... උඔ බොරුනං ගිහිල්ලා අහපං උගෙන්ම.... හැබැයි අපි කිව්වා කියලා එහෙම කියන්ඩ එපා.... අන්න පොර උඔට පෝරියල් එක සෙට් කරලා තාම සැපට නිදි....."

එහෙම කියන්ඩත් පොර “මම ඕකට.........“ කියාගෙන බිලට් එක පැත්තට දිව්වා. ඒ නිකන් ම නෙමේ! ටොයිලට් එකකට රිංගලා ඒකෙන් බාල්දියක් පුරොලා වතුර අරං, බාත්රූම් එක මුල්ලෙ තිබුනු හාපික් එකෙනුයි, ඩෙටෝල් බෝතලෙනුයි ඩිංග ඩිංගත් වතුරට හලාගෙන.

දැක්කා නේද?

ආන්න ඒකයි කියන්නෙ "කවදා නමුත් ඇත්ත හෙලි වෙනවා" යි කියලා!!!

.....................
-මීට යුරො දෙකේ වීරයා.

ස්තුතිය!

මේ කතාව මතක්නේ ලකි සිරි හඳමාමා නිසාය.
ඒ නිසා ලකිසිරි හඳමාමාට මගේ බලවත් ස්තුතියි!

2012/02/18

අද කාටුන් - 06 - දැයට කිරුලේ දී, ප්‍රවීණ ප්ලේන් දේශක ඉෂාර මහතා ගුවන් යානයක තතු මොනවට පැහැදිලි කරයි...!

අවවාදයයි!
මෙම ලිපිය කිඩ්ස් ෆස්ට් නිවුස් කියන ඇක්සන්ට් එකෙන් කියවීමෙන් වැඩි ප්‍රථිපල ලබා ගත හැකිය.

ඉතිං යාලුවනේ, අද කාටුන් එක වෙන් වෙන්නෙ අපේ අහස ට.

ඕගොල්ල දන්නැත්තම් දැනගන්ඩලා, අපේ අහස ලියන්නෙ තනිකර උඩ වැඩ දන්න හෙන වැඩකාර මාම කෙනෙක්. එයා නමින් ප්ලේන් ඉෂාර.

පහුගිය දවසක එයා එක්ක කතා කරන්න මට බොහොම දුර්ලභ අවස්ථාවක් ලැබුනා.

ඒයා කියපු දේවල් අහලා මාවත් උඩ ගියා. ඒයා කිව්වා, අපි කව්රුත් දන්න ප්ලෙන් එකේ කලු පෙට්ටිය තැඹිලි පාටයිලු. ඒ මාමා කියන විදිහට, එයාගෙ වචනෙට පිටින් ගිහිල්ලා, ලංකාවට එක ප්ලෙන් එකක් බස්සනවා තියා, එයා "හ්ම්" කියන කල් ප්ලෙන් එකක් කටුනායක පැත්ත බලාගෙන බත්වත් කන්නැලු. මට වෙලාවකට හිතෙනවා යාලුවනේ, නිව්ස් වල මොන කතා කිව්වත්, ලෝකේ ලොකුම ප්ලෙන් එකත් කටුනායක පැත්තට හැරෙව්වෙ මේ මාමගේ දැන ඇඳුනුම් කමට දෝ කියලා.

යාලුවනේ ඉස්සර වගේ නෙමේ දැන්. අපිට ප්ලෙන් එකක් තියෙනව නම් ඒක රෙජිස්ටර් කරගන්න ඔය තැන් තැන් වල ගියපු කාලේ ඉවරයි. දැං කෙලින්ම මෙතෙන්ට ගියපු ගමන් සුටුස් ගාලා අපිට වැඩේ කර ගත්තැකි කියලයි අපේ ප්ලෙන් ඉෂාර මාමා නං කියන්නෙ.

මේ මාමා මෙහෙම හිටියට, ප්ලෙන් එකේ සයිලන්සරෙන් ගිහිල්ලා, ඉස්ටීරියන් වීල් එකෙන් මතුවෙන්න දන්න, එක්කෙනෙක්ලු. ඒ හින්දම මේ මාමාවයි, මෙයාගෙ ජාතියේම යාලු මාමාලා කට්ටියක්වයි දම්මලා තියෙනවලු රට වටේ තියෙන ඉස්කෝල, උත්සව වලට ගිහිල්ලා සරුංගල් ඇරලා, බැලුම් යවලා ප්ලෙන් කෙරුවාව ගැන කට්ටිය දැනුවත් කරන්ඩ.

ඉතිං ඔය විදිහට කට්ටිය දැනුවත් කරන්ඩ, මෙදා පාර මේ මාමලා ඇවිල්ලා හිටියෙ, දැයට කිරුළ මෙව්වා එකට. ඉතින් දැයට කිරුළ ප්‍රදර්ශණ භුමියෙ, අපේ ප්ලෙන් ඉෂාර මාමා, ඒ පැත්තෙ ඉස්කෝල වල ළමයි දැනුවත් කරනවා තමා, අද කාටුන් එකේ තියෙන්නෙ. විදෙස් සිත්තරා නං කිව්වෙ, මේ වගේ වැදගත් වැඩක් කරනවා සිත්තරයට නඟද්දි, ඒක හරි පරිස්සමට කරන්න ඕනැ කියල. ඒ හින්දම එයා තීරණය කලාලු, සිත්තරේට හිතලා මතලා වැඩිපුර කෑලි එකතු කරන්නෙ නැතුව, සිද්දිය වෙච්ච විදිහටම ඇඳලා දාන්ඩ. ඒ හින්දම, අද ඕගොල්ල දකින මේ සිත්තරේ තියෙන්නෙ, එදා ඒ සිද්දිය වෙච්ච හැටියටමයි.

ඉතිං මේ තියෙන්නෙ, ඒ සිද්දිය.


ඔන්න ඔහොමලු උනේ යාලුවනේ. ඉතිං, අපි ඒ මාමගෙන් සමුගන්න කලින් තව එක ප්‍රශ්ණයක් ඇහැව්වා.

"මාමේ, ඉතිං ඔයාගේ බ්ලොග් එක කියවන අයට, ඔයාට කියන්න තියෙන්නෙ මොනවද?"

"ඔව්..... පුතා....ඇත්තටම මට කියන්න තියෙන්නෙ, මම ඉදිරි දවසකදී දෙන්නෙක්ට ගමන් කරන්න පුලුවන් ගුවන් යානයක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙන්නයි හිතාගෙන ඉන්නෙ... ඒ හින්දා දිගටම මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න කියලා තමා....."

ඔන්න යාලුවනේ ඇහුනනෙ ඒ මාමා කියපු දේ.

එහෙනං ඊලග සෙනසුරාදා ආයිමත් සිත්තරෙකින් හමුවෙමු.
.....................

- මීට විදෙස් සිත්තරා වෙනුවෙන් දැයට කිරුළ තිර පරීක්ෂණයට මුහුණ දීමට මුතු ඇටේට ගොඩ බැස්ස ටිකිරි.







2012/02/11

අද කාටුන් - 05 - රත්ගමයා ලන්ච්ශීට් - බත් එතීමට පමණක් නොවේ...!

අද කාටුන් එක වෙන්වෙන්නෙ මාරයගේ සත දහයේ වික්‍රමයට. ඔක්කොටම කලින් ඒක කියෝලා ආවොත් නං මේ කාටුන් එකේ නියම රසය ඕගො‍ල්ලන්ට උරා ගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ.

නව සොයාගැනීම් නිසා සමහර නිෂ්පාදන වලට තැනක් නැතිව යනවා. ඒත් උනන්දු උනොත් හණමිටිය බිම තියලා තමන්ගේ නිෂ්පාදය පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙත් වෙළද පොල ජය ගන්න පුලුවන්. ඒ ගැනත් හිතේ තියාගෙන මේ කාටුන් එක බලන්ඩලා.

විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ නිර්මාණශීලිව හිතන්ඩ පුලුවන් අයට මේ ලෝකෙ දිනන්න එච්චර අමාරු නෑ කියලා. හරියට අ‍පේ මාරයගේ යාලුවා රතාට වගේ!




ඔන්න ඔහොමලු උනේ. එහෙනම් නැවත කාටුන් එකකින් හමුවෙමු.

ගිය සතියෙ නිදහස වෙනුවෙන් සරදියෙල්ගෙ කාටුන් එක දැම්ම හින්දා මේක දාන්න උනේ අද. එතකොට අදට නියමිත හිර උනු කාටුන් එකත් ලබන සතිය මැද දාලා ඉවරයක් කරනවා. ඒ අස්සෙ කතාවකුත් දාන්නයි කල්පනාව. ඒක හන්දා රැදී සිටින්නම අප සමඟම. තිත් දෙකයි ඩී.

...................
- මීට විදෙස් සිත්තරා.

ප/ලි -2011/02/11 සවස 12.40ට විතර එකතු කරන ලදී

කාටුන් එකේ නියම රසය උරාගත්තු අයගෙන් කීපදෙනෙක් කවියෙන් දක්වපු අදහස් මෙන්න මෙහෙම මම යටින් දානවා. මේකත් කියෝලා රසය උරාගන්ඩලා...!

ගිම්හානී-
කෙසෙල් කොළත් මගේ වත්තේ නැති හන්දා
බතක් ඔතන්නට වෙන විසඳුම් නැති හන්දා
ලන්ච්ශීට් හිඟයක් අත ලඟ එන හන්දා
කඩයට දුවමි දැනටත් ඉවරද මන්දා

ලන්ච් ශීට් එකටත් කෙලවුන හින්දා..
ෂොපින් බෑග් එකටත් මුන්ටික විද්දා..
අලුත් අලුත් විසඳුම් හොයනා හින්දා..
කෙසෙල් කොලත් ඔතාගනීදෝ මන්දා...:P

බුරතීනෝ හෙවත් බෝ ලීනික්කා -
පත්තර කෙසෙල් කොළ දැන් ඕනෑ නැතියෝ
ලන්ච් ෂීට් වෙනුවට විසඳුම් ඇතියෝ
සකසුරුවමට සවියට වැඩ කර ගනියෝ
කොන්ඩම් එකක බත් බැඳගෙන යා හැකියෝ

කොන්ඩමයේ බෙදනට මාළු පිණි
ලෙසටම කොලයෙ ඔතනා බත් වැනී
බැරි හින්දා දමා කිරිබත මැදට පැණී
හැදුමට ඉඹුල් කිරිබත ට්‍රයි කරනු මැනී

2012/02/09

මැජික් බලන්ඩ එන්ඩලා | යුරෝ දෙකේ මැජික් පන්තිය (වීඩියෝ සමඟ)

වැඩිය කතා ඕන නෑ. අද මම පොඩි මැජික් එකක් පෙන්නන්නයි යන්නෙ.....!

ඔය තියෙන්නෙ නිදහස් දා දාපු සරදියෙල්ගෙ සිත්තරෙ අඳිනකොට මම ගත්තු ස්ක්‍රීන් ෂොට් ටිකක්. ඒක වීඩියෝ එකක් කරපුවාම කොහොමද කියලා බලන්ඩකො. මුලින්ම මම සරදියෙල් අඳින්න හිතාගෙන හිටියෙ උතුවන්කන්දෙ ඉඳලා ඈත බලාගෙන ඉන්න විදිහට. ඒක තමා අර මුල්ම රූපේ. පස්සෙ ඒක වෙනස් කලා. ඒ වෙනස් කරපු එක බීටලේගෙ කවියත් දාලා එදා දැක්ක විදිහෙ රූපෙට එනකල් අතරින් පතර රූප රාමුයි මේකෙ තියෙන්නෙ.......!




කොහොමද මැජික් එක.

හොහ් හොහ්.... මේවත් මැජික් ද නේද? ඇත්ත නේන්නං! මේවත් මැජික් ද, එහෙනං එන්ඩකෝ ඇත්තම මැජික් පෙන්නන්ඩ....!

ඕං දැං තමා ඇත්තම මැජික් එක පෙන්නන්ඩ යන්නෙ!

දැං ඕගොල්ලන්‍ට තියෙන්නෙ මීට ඡේද දෙකකට පහලින් ඔය තියෙන ඊතලේ ගාවට ගිහිල්ලා මවුස් එක තියෙන එකයි. (ක්ලික් කොරන්ට ඕන්නැ දරුවා ළං කොරලා තියාගන්ඩ!).

දැං මේ විදිහට තුන් පාරක් ජප කොරන්ඩලා. "ඕම්........මාගෙ මේ මූශිකයට ෆන එන්ඩ.... දැං මට මැජික් එක පෙන්නුම් කොරන්ඩ.... පුහ්!"

ඔය ඔපිස් වල වගේ පබ්ලික් ප්ලෙස් ඔල ඉන්න අය හිතෙන් ජප කොලාට කාරි නෑ. හැබැයි තනියෙන් ඉන්නවනං සද්දෙට කියන්ඩෝන. ලැජ්ජා වෙලා බෑ මෙව්වා කරන්ඩ.

> කියන්ඩ බැරි උනානෙ. ඊයෙට සයිබර් යාය කෙහෙල්කොටුවෙ වැඩ අල්ලලා අවුරුදු දෙකක් උනානෙ.... හොහ්....හොහ්.... කොහොමද මැජික් එක....!

දැක්කා නේද? කොහොමද වැඩේ. දැක්ක අය දැක්ක දේ මට කියලා යන්ඩ. නොදැක්ක අය ගැන කියන්ඩ තියෙන්නෙ ඒ ගොල්ල මොකක් හරි කිල්ලකට අහු වෙලා කියලා තමා.

ඒත් කෙහෙල් කොටුවට ආ කෙනෙක්ව කොහොමද හිතෙ මෙව්වා එකෙන් යවන්නෙ. ඒ හින්දා ඒ අයට මේ මැජික් එක මැනුවල් කරන හැටි කියලා දෙන්ඩයි දැං මං යන්නෙ. හරි දැං වැඩේ වර්චස් වෙච්ච කට්ටිය ආයිමත් අර විදිහට තුන් පාරක් ජප කොරලා කාරිය ආයිම පාරක් අර ඊතලේ ගාවට මවුස් එක ගෙනියන්ඩලා. දැං ඕගොල්ලන්ගෙ දඹර ඇගිල්ලෙන් මවුස් එකේ ලෙෆ්ට් එක ප්‍රෙස් කරලා ඇදගෙන යන එකයි තියෙන්නෙ පල්ලෙහාට. හා දැං කරලා බලන්ඩ අයෙම පාරක්.

දැං දැක්කා නේද? දැක්ක අය ඒ ගැන මට මතක ඇතුව කියලා යන්ඩ. මැජික් එක දැක්කෙ ඔටෝ ද නැත්තං මැනුවල් ද කියලා කියන්ඩත් අමතක කරන්ඩ එපා. හැබැයි වැඩේ වර්චස් කරාගෙන මැනුවල් ක්‍රමේට මැජික් එක කරපු අය, ඔටෝ කියන්ඩ එපා! මට අහුවෙනවා.

එහෙනං සෙනසුරාදා කාටුන් එකෙන් නැවත හමුවෙමු.

..................
- මීට මහා මැජික් මන්ත්‍රාචාරිය යුරෝ දෙකේ වීරයා.

2012/02/04

අද කාටූන් - 04 - ජාතික වීරයා?

අද නිදහස් දවස නිසා කාටුන් එකත් වෙනස් එකක්. අද මේ පිටුව වෙන්වෙන්නෙ වීරයෙකුට.

ඒ දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල්!

සූර සරදියෙල් ජාතික වීරයෙක්ද නැත්ද?

එහෙම උනත් නූනත් සරදියෙල් මගේ වීරයෙක් උනේ කාලෙකට කලින්. ඒකට මූලික හේතුව වුනේ සරදියෙල් සමහර වීරයෝ මහ ඉහලින් ගරු කරපු දේවල් පයිසෙකෙට මායිම් නොකරපු සාමාන්‍ය මිනිහෙක් හින්දා. හැබැයි වීරයන් බිහිවෙද්දි පාවාදෙන්නොත් ඒ එක්කම බිහිවෙනවා. ඒක තව දුරටත් තහවුරු
කරලා සූර සරදියෙල් සුද්දන්ගෙ අත්අඩංගුවට පත් උනේ තමන්ගෙම සගයෙකුගෙ පාවා දීමක් නිසා.

පාවාදීම අපේ ලේවල තියෙන දෙයක් ද, පොදුවේ හැම මනුස්සයෙක් ගාවම තියෙන ගුණාංගයක්ද මන්දා?

සමහර රටවල වීරයෝ හිඟකම නිසා ඒ ගොල්ලන්ගෙ චිත්‍රාගාර වීරයෝ මවන කම්හල් වෙලා. ඒත් මෙච්චර වීරයෝ ඉන්න රටේ ඒ අය ගැන අපේ හිතට වදින නිර්මාණයක් බිහි නොවෙන තරම්!

ඒවට හේතුත් ඕනැ තරම් තියෙන එකේ පුලුවන් විදිහට මටත් හිතුනා මගේ හිතේ මැවුනු වීරයා ප්‍රතිනිර්මාණය කරන්න. මේ තියෙන්නෙ ඒක. ඇත්ත සූර සරදියෙල් දැකලා තියෙන අයට මේකෙ පොඩි වෙනසක් දකින්න පුලුවන් වෙයි. ඒත් මම හිතන්නෙ පුද්ගලයෙක් වීරයෙක් බවට පත්වෙද්දි ඒ වෙනස තිබුනොත් හොඳයි කියලා.

නිදහස් රටක ජය සක් බෙර හඬ මැද්දේ...
විරුවෝ එමට සැමරෙයි රට සිව් පැත්තෙ...
කීවත් නැතත් නුඹේ නාමය ඒ අස්සේ...
විරුවෙකි නුඹත් මිතුරේ උතුවන්කන්දේ...

ඔය තියෙන්නෙ මගේ හිතේ සූර සරදියෙල් වෙනුවෙන් තිබුනු හැඟීම. ඒත් ඒක හතර පදේකට පෙරලගන්න දත කාපු හැටි දන්නෙ මම විතරයි. මගේ කවි හැකියාව ගැන ඕගොල්ල දැනටම දන්නවානෙ. අන්තිමේ මම ඊයේ දවාලේ තීරණය කලා කාටහරි කියලා මේකට හතර පදයක් ලියවා ගන්න. ඒකට මම දෙන්නෙක් තේරුවා. එක්කෙනෙක් මගේ ඔලුවෙ තිබුනු දේ දැක්කා වගේ ලියලා තිබුනෙ ඔය විදිහට. ඒ තමා අකුරු බ්ලොග් එක කරන බීටල් මාමා.

ඒ හින්දා බීටල් මාමට මගේ බලවත් ප්‍රණාමය!

තව කෙනෙක් ඉන්නවා. ඒ තමා මේවා අඳින්න ග්‍රැෆික් අහවල් එක අරං දුන්නු බ්ලොග් ලියන ලොකු අයියා. එයා හින්දා තමා මේක ඇඳුනේ. නැත්තං මං කවදාවත් කොලේකුයි, පාට ටිකකුයි අරං කරයි ද මේ වගේ වැඩක්. අනික මේ අහවල් එක හින්දා කොච්චර වැරදුනත්, කොළ ඉවරවෙන්නෙත් නෑ, පාට ඉවර වෙන්නෙත් නෑ, මක්කෙ ගෙවෙන්නෙත් නෑ.

ඒ හින්දා ඒ අයියටත් මගේ බලවත් ප්‍රණාමය!!

මෙන්න එහෙනම් සිතුවම.



ඔන්න ඔහොමලු උනේ.

සරදියෙල් ගැන ඔබේ අදහස කියලා යනවනං කවි පද පුලුවන් අය එහෙම කියන්න කියලත්, අනිත් අය මනරම් වාක්‍යකින් ඒක කියලා යන්න කියලත් ඉල්ලන්නෙ, මේ වැඩේ තව පියවරක් ඉස්සරහ දවසකදී කරන්න හිතාගෙන ඉන්න හින්දා.

ආපු සියලු දෙනාට ස්තුතියි!

තවත් සිතුවමකින් නැවත හමුවෙමු !

..............
- මීට විදෙස් සිත්තරා.



2012/02/02

මදුරුවොයි පුංචි අපියි ! | නිර්වස්තරයක් ඇඳගත් කළ.....

"බ්ලොග් ලියනවත් එකේ සමාජයට මොකක් හරි වැඩදායක දෙයක් ලිව්වොත් මොකද!" කියලා එක දවසක් මගෙන් යාලුවෙක් ඇහැව්වා. පොරට මං දවසක් වදෙන් පොරෙන් මගේ බ්ලොග් එකේ යූආර්එල් එක දුන්නේ එක හිට් එකක් හරි වැඩිවෙනවනෙ කියලා. අන්තිමට උනෙ පොර මට උපදෙස් දෙන්ඩ ගත්තු එක.

හැබැයි මමත් ඇරියේ නෑ. මං කිව්වා, "මගේ හැම කතාවෙම ගන්ඩ දෙයක් තියෙනවා. හැබැයි උඔලා වගේ මැටි ගොඩවල් වලට නං ඒවා තේරෙන්නැතුව ඇති තමා, ඒක තියෙන්නෙ කතාවෙ උඩින් නෙමේ යටින්"ය කියලා. පස්සෙ පොර කට වහගත්තා.

ඕක කියනකොට මට මතක් උනේ මෙන්න මේ පුංචි කතාව.

හැමදාම වගේ, ඒ අපි කුරුලු හමුදාවෙ ඉන්න කාලේ. අපි හිටියේ බෙරේ වැව ආසන්නයෙ තියෙන නිවස්නයක හෙවත් බිලට් එකක.

කාලයක් එනවා ඒ පැත්තෙ ඉන්ඩ හිටින්ඩ බැරි තරම් මදුරුවෝ බෝවෙන. සමහර දාට මඳුරුවො අපිව උස්සං යයි කියලා හිතෙනවා. ඒ හින්දා අපි මෙට්ටෙ බදාගෙන නිදාගන්නෙ. අනික ඒ කාලේ රෑටත් මාර රස්නෙයි. බිලට් නිකං පෝරනු වගේ.

ඒ කාලෙට අපි කරන්නෙ ඇඳන් වල තියෙන මෙට්ටා අරං යන එක බේරේ වැව ගාවට. ඒක කොන්ක්‍රීට් ගහලා දැල් ගහලා ලස්සනට හදලා තියෙන තැන. වැලි ඇටයක් බේතකටවත් හොයා ගන්ඩ බෑ. ආර්පීජී දැල් කියන අර කොල පාට ‍ලොකු දැල තමා පේන තෙක් මානෙක තියෙන්නෙ. අපි දැලට මෙහෙන් වැව වෙන්වෙන කොන්ක්‍රීට් බැම්මෙ මේටටා එලාගෙන නිදා ගන්නවා. වැවේ හුළඟට මදුරුවොයි, රස්නෙයි කොහෙන් ගියාද නෑ.

හැබැයි ඕක අපි කරන්නෙ හොරෙන්. ඕගොල්ලත් දන්නවා ඇතිනෙ. ලෝකෙ කොයි හමුදාවකද මෙට්ටා අරං එලියට ගිහිල්ලා තැන් තැන් වල නිදා ගන්න දෙන්නෙ. ඒත් අපි ඕක සෑහෙන කාලයක් කරගෙන ගියා කිසි විපාකයක් නැතුව.

ඒත් දවසක් නේද, දාර සයිස් සාජන් කෙනෙක් මහ රෑ චෙක් රන් එකක් ආපු වෙලාවේ අපි ඔක්කොමලම මාට්ටු උනා නිදි ඇඳුම් පිටින්. පොර කිව්වා "යකෝ, හතුරෙක් එහෙම වැරදිලාවත් ආවොත් ඌ ආපු වැඩේ පැත්තක තියලා තොපිත් එක්ක නිදි වදියි, මේ උඔලා ගන්න සැපට" කියලා. පොරගෙ සද්දෙ කොච්චරද කියනවනං සමහර කොල්ලො නැගිටලා සීරුවෙන් හිටගත්තෙ නිර්වස්තරයක් විතරක් ඇඳගෙන.

කොහොමහරි ඒ වැඩේ ඔය විදිහට අල උනා. කරන්න දෙයක් නැති තැන අපි ඇඳං වල නිදා ගන්න ගත්තා. මදුරුවන්ගෙන් බේරෙන්න අපිට නෙට් තිබුනා. හැබැයි අපි වැව ගාව සැපට නිදා ගත්තු හින්දා නෙට් මාරු කරගන්න කිසි උනන්දුවක් තිබුනෙ නෑ. ඒ හින්දා හුඟක් ඒවා වැඩි හරිය හිල් වෙලා. හිල්වෙච්ච නෙට් අයිති කට්ටිය රෑට මහ යුද්දෙ? ඇයි උන්ට කලින් මදුරුවෝ රිංගලා නෙට් එක අයිති කරගෙන. අන්තිමේ කාටවත් එලියට යා ගන්න විදිහක් නෑ. දැං අපිට නෙට් මාරු කරගන්න විදිහක් නෑ. ඇයි ඉල්ලගන්ඩ නියම කරලා තිබුනු දවස් පැනලත් දැං සෑහෙන කාලයක්නෙ.

ඔන්න දැනුයි කතාව හරි විදිහට පටන් ගන්න යන්නෙ.

අපේ නැවතිලා ඉන්න තැන අපිට අමතරව තව සෙක්ෂන් එකක පොරවල්ලා සෙට් එකක් නැවතිලා හිටියා. උන්ගෙ සෙක්ෂන් එක ආර්. එම්. ටී. හෙවත් ගුවන් ධාවන පථ නඩත්තු කරු. උන් කතා කලේ හරියට උන් නැතුව කෆීර් එක්ක ලැන්ඩ් කරන්ඩ බැරි ගානට. හැබැයි උන්ගෙ පුරාජේරුව පුරා පල්ලෙන් ගියා දවසක් දා. ඒක මම පස්සෙ කියන්නකො.

කොහොමහරි දවසක් උන්ට උන්ගෙ සෙක්ෂන් එකෙන් මදුරු කරදරේට පිළියමක් හැටියට කිරි ටොයියා නෙට් වගයක් ඉෂු කරලා තිබුනා. උඩ ඇඳවල් වලටයි යට ඇඳවල් වලටයි, දෙකටම! අපිට කාලා ඉන්ඩ බෑ ඒක දැක්කම. අපේ සමහරු කතා උනේ උන්ට නින්ද ගියාම රෑට ගිහිල්ලා අපේ නෙට් වලට ඒවා මාරු කරමු කියලා. එහෙම කියපු උන්ට අපි හොඳවයින් ටොක්කක් ඇන්නම ඒ වැඩේ බරපතලකම උන්ට තේරුනා.

කොහොමහරි අපිට මදුරුවන්ගෙන් හරි කරදර.

දවසක් අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා දවාලක කාලා බෙඩ් රෙස්ට් එකක් ගන්න වෙලේ, කෝල් එකක් ආවා.

කෝලුත් වර්ග දෙකයි.

"ට්‍රීං....ට්‍රීං....ට්‍රීං....ට්‍රීං" ගාලා ඩබල් රිං වෙනවා නං ඒක අවුට් කෝල් එකක්. ඒ කියන්නෙ කඳවුර ඇතුලෙ කෝල් එකක් නෙමේ, ඇතුලෙ කෙනෙකුට පිට කෙනෙක් කතා කරන කෝල්. ඔය කෝල් වලට මාර ඉල්ලුම. ඇයි අපිත් බලාගෙන ඉන්නෙ අපේ ගැල්ලමයි හරි, දෙමව්පියෝ හරි කතා කරන කල්නෙ. ඒ උනාට "ට්‍රීඉඉඉඉඉඉඉඉඉං"ගාලා සිංගල් රිං යන කෝල් එනවා නේද? බල්ලෙක් නෑ ඒවා උස්සන්ඩ. ඒ ඒවා ඇතුලෙ කෝල් හින්දා.

කොහොමහරි කෝල් එක ආවේ ඩබල් රිං එකෙන් හින්දා මම දූවලා ගිහිං ගත්තා කෝල් එක. ගත්තු ගමන් එහෙං කොල්ලෙක් කතා කරලා කිව්වා, “ආර්එම්ටී සෙක්ෂන් එකේ නිවාඩු ගිය සිල්වා කියලා පොරක් ගමේදී වෙල් පැන්ටා ගහලා යන ගමන් කෝච්චියකට අහුවෙලා නැතිවෙලා. ඒගොල්ලන්ගෙ අනිත් අයට පණිවිඩේ දෙන්ඩ“ කියලා. මමත් ගිහින් උන්ට පණිවිඩෙ කියලා අපේ බිලට් එක පැත්තට ගියා.

මේ තියෙන්නෙ ඊට පස්සෙ ඇති උන සංවාදේ.

"කාගෙන්ද බං කෝල් එක?"

"මාර කේස් එක බං.........උඔලට මතකද අරුන්ගෙ සෙක්ෂන් එකෙ හිටපු සිල්වව....?"

"අර කෙරෝලෙ ඇ‍‍ඳේ නිදාගන්න පොර නේද....?"

"අන්න බූවා...තමා.... පොර ට්‍රේන් එකකට අහුවෙලාලු......!"

"න්නෑ.............." ඒ අපේ සෙට් එකම.

"නෑ නෙම් බං...... "

"මොකද වෙලා තියෙන්නෙ ඉතිං.......ඩැමේජ්ලුද?"

"ඩැමේජ් නෙමේ බං නැතිවෙලාලු...."

"නැතිවෙලාලුද......? එහෙනං උගේ ඇ‍ඳෙ තියෙන නෙට් එක මං ගන්නවා."

කොහොමද මදුරුන්ගෙ පවර් එක!


...........................
-මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
අමතක උනා. මොනා නැතත් සෙනසුරාදා එන්ඩලා. එදාට අලුතින් පටන්ගත්තු කාටුන් වැඩේ තවත් ‍කොටසක් යනවනෙ.






Related Posts Plugin for WordPress, Blogger...