2016/04/25

මනා! | බ්ලොග් වසන්තය වෙනුවෙන් සයිබර් යායෙන් !

In a war, there is no prize for runner-up!
Be Brave!
I wish you happy birthday!
- Mana.

මේ මනා මට එවූ උපන් දින පණිවිඩ වලින් එක් පණිවිඩය කි. මා නියෝජනය කළ ක්‍රීඩා සංචිතයේ මිතුරෙක් වූ මනා ගේ ඇත්ත නම මනෝජ් ය. මේ ආකාරයට මනාගේ මිතුරු මිතුරියන්ට, නෑදෑ හිතවතුන්ට සිය උපන් දිනය දා මනාගෙන් ලැබෙන සුභ පැතුම් පණිවිඩයෙන් නම් කිසි දා ගැලවීමක් නොලැබේ. මිනිහා තම යාලු මිත්‍රයන්ගේ, නෑදැයන්ගේ උපන් දින වලට සුභ පතන්නේ එය තමාගේ යුතුකමකටත් වඩා වගකීමක් සේ සලකාගෙනයි. එසේ සුභ පැතුම් ප්‍රහාරයට ලක් වූ සුවහසක් දෙනා අතර ට දිනක් අපගේ ඉහල නිළධාරියෙක් ද හසු විය. ඒ සිදුවීම මෙසේ ය. ඉහල නිළධාරියාගේ උපන් දිනය දා උදේම ක්‍රීඩා පිට්ටනිය ට පැමිණි අපේ මනා ඔහු අසල ට ගොස්, “සර්ගේ උපන් දිනේ නේද සර්?, හැපි බර්ත් ඩේ සර්!“ කියනවා වෙනුවට, නිළධාරියාට ඇති ගෞරවය ඉස්මුරුත්තාව ට ම ගොස්, “සර්ගේ උපන් දිනේ නේද සර්, ගුඩ් මෝනිං සර්!“ කියා සුභ පැතුවේ ය. අපි වසර භාගයක් පමණ එය මතක් කර කර මිනිහා ට හිනා වුනෙමු. මනා තමාට වෙන චා වැඩ කෙතරම් දුරට සාර්ථකව කළමනාකරණය කරගන්නේ ද කිවහොත්, මිනිහා ද අපිත් සමඟ ම එකතු වී මිනිහාට ම සිනාසෙයි.

මේ උපන්දින පණිවිඩය ලැබුනු  පසු මම වහාම මාගේ කොළඹ රාජකාරි කරන මිත්‍රයා ට කෙටි පණිවිඩයක් යැව්වෙමි.

Mana text me!

කාලය ඉදිරියට ගමන් කලේ ය. මම කොළඹ මිත්‍රයාගෙන් පිලිතුරු පණිවිඩය ලැබෙන තුරු බලා සිටියෙමි. ඇමතුමක් ලබා ගන්නවාට වඩා බොහොම පහසු, එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුර ම පණිවිඩ හුවමාරු කර ගත හැකි නිසා කෙටි පණිවිඩය අප අතර අතිශය ජයප්‍රිය පණිවිඩ හුවමාරු මාධ්‍යය විය.

මනා මට මුලින් ම හමුවුයේ මලල ක්‍රීඩා සංචිතයට තොරා ගැනීමේ තරග වලින් ජයග්‍රහණය කල පසු හමුදාවට බඳවා ගැනීම ට පවත්වන පලමු සම්මුඛ පරීක්ෂණය දින දීය. එදින අපි උස, බර, පපුව මැන බලා ආරම්භ කරන සාමාන්‍ය හමුදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නෙමු. උදෑසන සම්මුඛ පරීක්ෂණය ආරම්භයේ දී එක් නිළධාරියෙකු අපට පත්‍රිකාවක් ලබා දුන්නේ ය. එය අප විසින් කොටසින් කොටස පුරවා දිනය අවසාන වන විට සම්පුර්ණ කර නැවත ඔවුන්ට ලබා දිය යුතුව තිබිණි. පත්‍රිකාව ලබා දුන් නිළධාරියා අපට පැවසූවේ එය නිවැරදිව පුරවා ඇත්නම්, එහි අපගේ අත්සන් හයක් තිබිය යුතු බවයි. සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ හෑම දෙනාගේ ම පත්‍රිකා වල අත්සන් හය බැගින් තිබුනි. නමුත් එක් අයෙකුගේ පත්‍රිකාවේ පුදුම සහගත ලෙස අත්සන් හතක් වැටී ඇත. එම සිදුවීමට අමතරව එදින ඒ පුද්ගලයා ට මුහුණ දීමට සිදු වූ අනෙක් විශේෂ සිදුවීම වූයේ එක්තරා දීර්ඝ ප්‍රශ්ණයක පළමු කොටස ට ඔහු සපයා තිබූ පිළිතුරයි. එය මෙසේ ය. ඔබට නිතර වැළදෙන රෝගාබාධයක් හෝ රෝගාබාධ තිබේද? මෙයට පිළිතුරු ලබා දීමට ‘ඔව්‘ සහ ‘නෑ‘ යන වචන දෙක ලබා දී තිබුනු අතර එයින් එක වරණයක් කපා දැමීම සිදු කල යුතුය. ඔහු කර තිබුනේ ‘ඔව්‘ සහ ‘නෑ‘ යන වරණ දෙකෙන් ‘නෑ‘ යන්න කපා දැමීමයි. දැන් ඉතිරි වී තිබෙන්නේ ‘ඔව්‘ යන්නයි. මිනිහා එහෙම රෝගයක් නැති නිසා ‘නෑ‘ යන්න කපා ‘ඔව්‘ යන වචනය ඉතිරි කරගෙන ඇත. එදින ඒ හරඹය කර තිබුනේ මනා ය.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. අපි ක්‍රීඩා සංචිතයේ කටයුතු කරගෙන හොඳින් සිටියෙමු. දවසක් අපි එක්තරා කඩයිම් ක්‍රීඩා තරගයකට මුහුණ දීමට සුදානම් වුනෙමු. එදින උදෑසන අපගේ නිවස්නයට පැමිණි සංචිතය භාර හමුදාවේ ඉහල නිළධාරියෙක් අපේ මොරාල් එක අප් කරනු වස් නියම දේශණයක් කලේය. ඔහු අන්තිමට ඔහුගේ මුලු දේශණයම එක මිටක් කර මෙසේ අපට දමා ගැසීය.

"......because in a war, there is no prize for runner-up!"

මේ වාක්‍යයෙන් පහර කෑ අපේ මනා ගේ ලේ ප්‍රකම්පනය විය. නිළධාරියා පිටවුනු පසු මිනිහා අපේ අයන් බෝඩ් එකට මිට මොලවා පහරක් ගසා,

“මචං මේක යුද්ධයක්! මේක තරගයක් නෙමෙයි යුද්ධයක්.... අපි එහෙමයි හිතන්න ඕනේ.... අපි රට වෙනුවෙන් යමක් කරන්න ඕන යකෝ...... ඔන්න අද කිව්වා කියලා හිතාගනින්.... මම මේකෙන් යන්න කලින් ඒශියන් මීට් එකක් දිනනවා දිනනවාමයි.....!“ කීවේ ය.

අපි මිනිහට ඒ කතාවේ බරපතල කම පැහැදිලි කර දුන්නෙමු. ඔය වගේ කතාවක් අසා හැඟීම් වලින් බුද්ධිය යටපත් වී ඇති මොහොතක කිසිවෙකුට පොරොන්දු ලබා දීමත්, යම්කිසි තීරණයක් ගැනීමත් බුද්ධිමත් ක්‍රියාවක් නොවන බව පෙන්වා දීම ට අප අතීතයෙන් සාක්ෂි ගෙනහැර පෑවෙමු. ඒ නිසා ඉදිරියේ දී ඒ ගැන තව තවත් සිතා බලන ලෙස අපි මනාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෙමු. ඒ මක් නිසා ද යත් මිනිහා ඒශියන් මීට් එකක් ජයග්‍රහණය කර අවසාන වී හමුදාවෙන් ඉවත් වීමට සිටියහොත් කෙදිනකවත් මිනිහාට හමුදාවෙන් ඉවත් වීමට නොහැකි වන බව අප කාරුණිකව පහදා දුන්නෙමු. සියල්ල සාවධානව අසාගෙන සිටි මනා අපට මෙසේ ප්‍රකාශයක් නිකුත් කලේ ය.

“උඹලා අද මට හිනාවෙයි..... කමන්නෑ..... හැබැයි දවසක් එයි, උඹලා මාව දකිද්දි ඇස් වලින් සතුටු කඳුලු වැටෙන..... සතුටු කඳුලු...! මම අද කිව්වා කියලා මතක තියාගනිල්ලා...“

මනා සංචිතයේ කරන්නේ හන්ඩ්‍රඩ් මීටස් ය. ඒක හන්දා ම මිනිහට ඕන තැනක අපට වඩා ඇට්‍රැක්ෂන් එක වැඩිය. ඒ මිනිහා හන්ඩ්‍රඩ් මීටස් කරන නිසා ම නොවෙයි. හන්ඩ්‍රඩ් මීටස් කරන්නට දිනක ට කළ යුතු අතිශයින් වෙහෙසකර වතාවත් නිසා ගොඩනැගී ඇති මිනිහාගේ පට්ට බොඩි එක නිසාය. අපට මිනිහාගේ සික්ස් පැක් එක දකින විට ඉරිසියාව ඉහවහා ගොස් යාලුකම් ද නවතා දමන්න ට හිතෙයි. කොච්චර කට්ට කා පුහුණුවිම් කලත් මිනිහා ගන්න නරිෂ්මන්ට් නිසා මූණ බැහැලත් නැත. ඔය ඇට්‍රැක්ෂන් එක වැඩිවීමට හේතු භූත වූ තවත් කාරණා ද කිහිපයකි. මිනිහට ඕන තැනක ඇඳගෙන පැළදගෙන යන්නට ඉතාලියෙන් ගෙන්නපු සුපිරි පහරවල් තිබේ. පැය ගණනක් එක දිගට සුවඳ හමන බෝතල් කළ දියර වර්ග, ඉර එළියෙන් මූණට වන හානිය වලකන ක්‍රීම් වර්ග ආදීයත් ඔක්කොම වාගේ ෆොරින් බඩුය. මනා ටොරින්ටන් ග්‍රවුන්ඩ් එකට ප්‍රැක්ටිස් යන්නේද කිට මරා ය. අපි ලෝකයේ තියෙන සුපිරිම ජංගම දුරකතනය නොකියා 3310 යි සිතා සිටින කාලයේ මනා කෙලින්ම ඉතාලියෙන් සෝනි එකක් බැස්සුවේ ය. ඒකේ සඳ ඔප්ෂන් ටිකක් තිබුනි. කොටින් කිව්වොත් නිකං සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වාගේය. මනා දුරකතනයේ සයිඩ් එකෙන් ඇති රෝදය කරකන තාලෙට තිරේ ඇති මෙනුව වටේ දුවයි. මේ වගේ හේතු නිසා සති අන්තයේ අප සහභාගී වන ඉංග්‍රීසි පංතියේ ද ප්‍රායෝගික පුහුණුව වෙලාව ට පොරත් සමඟ ඉංග්‍රීයෙන් කතා කිරීමට කමකට නැති කෙල්ලන් හෝ ගා වටවෙති.

මනා ක්‍රීඩා සංචිතයට බැඳෙන්නේ ගෙවල් වල ඇති අඩුපාඩු ක්‍රීඩා කර ලැබෙන මුදලින් පිරිමහගන්නට නොවේ. ඒ මොකද මිනිහාගේ අම්මලා ඉතාලියේ රැකියාව කරති. ඒ නිසා මුදල් අඩුපාඩු මිනිහාට නැත. මිනිහාගේ තාත්තා ට නවීන ම පන්නය ට සෑදූ නිවාස තුනක් ඇත. පොල් වතු ඇත. මනාටත් ඔහුගේ නමට දමා ඇති ස්ථිර තැන්පතු වල සහතික පත්තර ඇති වෙනම ෆයිල් කවරයක් තිබේ. සමහර වෙලාවට මනා, “අම්මලා තවත් මොනද බං ඉතාලියේ ඉදං කරන්නේ..... ඇයි අම්මලාට මෙහෙට වෙලා තියෙන දෙයක් බලාගෙන ඉන්ඩ බැරි....?“ යි අපෙන් අසයි. මිනිහා ඒ පැනය සතියට දෙතුන් වතාවක් අහන නිසා අපිත් ඒ වෙලාවට තැනට සුදුසු පිලිතුරක් ලබා දෙන්නෙමු. ඉතින් කෙටියෙන් කිවහොත් මිනිහා ක්‍රීඩා කලේ ක්‍රීඩා කිරීමට ඇති උණ නිසා මිසක වැටුපක් උදෙසා නොවේ. එහෙත් මනා ගේ අම්මලා නිතරම කිව්වේ, “ඔය උදේ හවස හොඳ පණ යනකල් පිට්ටනි තල තල ඉදලා හරියන්නෑ......, ඇඟ පත හයිය කාලේ ගෙදර ගිහින් බිස්නස් එකක්වත් කරන්න පටන් ගන්න....“ කියලා ය. එහෙත් මනා දන්න ශිල්ප සියල්ල දමා ලඟදී ම හමුදාවෙන් ඉවත් වී ව්‍යාපාරයක් ආරම්භ කරන බවට දෙමාපියන්ට දිවුරා පොරොන්දු වී තවත් වසර පහක් පමණක් පිට්ටනි තැලීමට ඔවුන්ගෙන් අවසර ගෙන තිබිණි. මිනිහාගේ රහස් සැළසුම වූයේ ලෝකයේ කොහේ සිටියත්, මොන රැකියාව කලත් හැමදාමත් ක්‍රීඩකයෙකු සේ ජීවිතය ගෙවා දැමීම යි.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. කාලයේ වේගයට හසුවන ඇතැම් සිදුවීම් අපේ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්ප්‍රේරකයක් වේ. ඒත් සමහර ඒවා එසේ නොවේ. දවසක් මනා ට අම්මා හදිසියේ ඉතාලියේ සිට ඇමතුමක් ලබා ගත්තා ය. අම්මා මනාට කිව්වේ අත්වැරදීමකින් තාත්තා අතින් රිය අනතුරක් සිදු වී ඇති බවයි. තාත්තා අතින් සිදු වූ රිය අනතුර නිසා මනාලා ගමන් ගත් වේගය හොඳටම බාල විය. විදේශ රටක දී නඩු කීමට සල්ලි අල්ලට ගෙන පිඹින්නට වුවමනා විය. මනාලාගේ ගෙවල් එකින් එක විකිණී ගියේ ය. ස්ථාවර තැන්පතු සහතික පත්‍ර නැවත මුදල් වලට හැරිණි. මනාලාගේ වත්කම් එකින් එක අහිමි වී ගිය ද නඩුව නම් අවසාන නොවීය.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. එක දිනක් අප ක්‍රීඩා පුහුණුවීම් අවසාන වී කඳවුර ට පැමිණි විට අපට හමුදා මූලස්ථානයට පැමිණෙන්න ට නියෝග ලැබිණි. අප එහි ගිය විට ඉහල පෙලේ නිළධාරියෙකු අපට පැවසුවේ අපේ සේවා කාලයේ එක්තරා කඩ ඉමක් ඉදිරි මාස වලදී පැමිණෙන බවයි. එහිදී අපට අවශ්‍ය නම් සේවයෙන් ඉල්ලා අස්විය හැකිය. නැතිනම් වසර විසි දෙකක සම්පූර්ණ කාලය සඳහා ගිවිසුම අත්සන් කළ යුතුය.

ඒ වන විට මා ද, තවත් පිරිසක් ද සේවයෙන් නිළ වශයෙන් ඉවත් වීමට තිරණය කර තිබිණි. සේරෝට ම කලියෙන් හමුදාවෙන් ඉවත් වී ගෙදර යාමට සිටි මනාට හමුදා සේවයේ  නිත්‍ය සෙබලෙකු වීමට සිදු විය. ඒ ක්‍රීඩා කිරීමේ ආසාවටත් වඩා එයින් උපයන මුදලට කවදාවත් නොතිබූ තරම් වටිනාකමක් ලැබී ඇති නිසා ය. තිස්සේ ම විනෝදයෙන් සිටි මනා මෙවැනි තීරණයක් ගනිවියැයි අප ට කෙසේවත් විශ්වාස කළ නොහැකි විය. නමුත් මනා ඒ තීරණය වීරයෙක් සේ ගත්තේය. එකා මෙන් දුක සැප බෙදා ගනිමින් වසර ගණනක් එකට ම සිටි අප වෙන්වන දිනය එළැබිනි. ඉවත් වීමේ වතාවත් කිරීමට තවත් දින තුනක් පමණ ගෙවා දැමූ අපි අපට හිමි සියල්ල ගෙන කඳවුරෙන් පිටවීමු.

“අපි කොහේ හිටියත් යාලුකම් එහෙම්ම ම යි!“ අපි එකිනෙකාට පොරොන්දු ‍වුනෙමු.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. රටේ  සාමකාමී වාතාවරණය, හමුදා කඳවුරු වලට ඉහලින් ඇදෙන සතුරු උණ්ඩ වලින් සහ නගර තුල දී හිටි හැටියේ පිටවන පිස්තෝල වල උණ්ඩ වලින් කෙමෙන් කෙමෙන් සිදුරු වන්නට විය. මේ අතරතුර අපි සිවිල් ජීවිතයට හුරුවෙමින් සිටියෙමු. රූපවාහිනි නාලිකා රටේ යුධමය තත්වය ගැන නිරන්තරයෙන් පුවත් ඉදිරිපත් කලේ ය. අප ඒවා නිවසේ සුව පහසු අසුන් වල සිට නැරඹූවෙමු.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. දවසක් මා ව්‍යාපාරික කටයුත්තකට අග නගරයේ බැංකුවට ගොස් සිටිය දී මනා ද ඒ බැංකුව තුල දී ම හදිස්සියේ හමුවිය. මනා මනාගේ මාසික වැටුප ගන්නට බැංකුව ට පැමිණ ඇත. සාමාන්‍යයෙන් වැටුප බැංකු වලට එන්නේ යුධමය රාජකාරී කරන සෙබළුන්ගේ ය. කොළඹ ක්‍රීඩා සංචිත වල සිටි අපි කෙලින්ම වැටුප අතට ම ලබා ගත්තෙමු. මම මනාගෙන් ඒ ගැන විමසුවෙමි.

“මොකක්, දැන් පේ එක අතට නෙමෙයි ද දෙන්නේ....?“

මිනිහා මා සමඟ සිනාසුනේය. ඒ සිනහව මනාගේ වෙනදා සිනහව නොවේ.

“නෑ මචං..... ඒක නෙමෙයි, පූල් එකේ සමහරක් විඩ්‍රෝ කලා.... මගෙත් හැම්ස්ට්‍රිං එකේ ඉන්ජරියක් ආවා..... මමත් ගියා. දැන් උඩහා ඉන්නේ......“

මගේ මූණ වෙනස් වන්නට ඇත. අපේ පැරණි මිතුරු කම සිහි ගන්වමින් මිනිහා වහාම ඉතිරි ටිකත් කියා දැම්මේය.

“බය වෙන්න දෙයක් නෑ මචං.....අපි ට අවුලක් නෑ.... අපි ඉන්නේ ෆ්‍රන්ට් ලයින් එකට වඩා කිලෝ මීටර් හත අටක් පිටිපස්සේ.....“

“එහෙමද?.... එතකොට ඒශියන් මෙඩ්ල් එක...“ මම ඇසුවෙමි.

මනා නැවතත් ලොකු හුස්මක් පිටකර සැහැල්ලු විය.

“මේ කරන්නෙත් රට වෙනුවෙන් තමයි මචං.... හැබැයි ඉතින් දැන් උඹලට මම දිහා බලලා සතුටු කඳුලු හලන්න වෙන්නෙ නෑ.....“ මිනිහා අතීතය මෙනෙහි කරමින් යාන්තමට සිනා විය.

එක් ජීවිත කාලයක් තුල මනුෂ්‍යයෙකුට කෙතරම් දේ සිදුවිය හැකිද? එසේ බලන විට අපට ඊලඟ මොහොතේ කුමක් සිදු වේවිද? මනාගේ කෙලිලොල් විනෝදකාමී බව වෙහෙස විසින් යටපත් කර ඇත. මනාලාගේ ඉසුරුමත් අතීතයේ මතක සටහනක් වන සෝනි දුරකතනය මතුපිට සුලු සීරිම් සලකුණු සමඟ මනාගේ අතේ රැදී තිබේ.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. දිනක් අපත් සමඟ ක්‍රීඩා සංචිතයේ සිට දැන් කොළඔ රාජකාරී කරන මාගේ මිත්‍රයෙක් මට කෙටි පණිවිඩයක් එවා තිබුණි.

Mana is Missing!

මේ පණිඩිවය ලැබෙනවාත් සමඟ මා ගිනි ගන්නවා මෙන් දැනුනි. මිසිං හෙවත් අතුරුදහන් විම යනු අප කිසිවෙකුත් බලාපොරොත්තු වන පණිවිඩයක් නොවේ.

මනුෂ්‍යයෙකු මිය යාම මේ ලෝකයේ ඇති ඛේදජනකම පුවත යැයි ඔබ විශ්වාස කරනු ඇත. නමුත් මිය යාමට වඩා අතුරුදන්වීම අතිශය ඛෙදනීය ය. කෙනෙකු මිය යාමේ දී අප සියලු දෙනාට ම පෙනෙන සේ ඔහුගේ ජීවන පරිඡේදය අවසන් වේ. අතුරුදහන්වීම කෙනෙකුගේ ජීවන පරිඡේදය සියල්ලන්ගෙන් සඟවා දමයි. අඩුම තරමේ අතුරුදහන් වූවෙකු මිය ගියා ද නැද්ද කියා හෝ අප නොදනිමු.

කාලය තවත් ඉදිරියට ගමන් කලේ ය. ඊට දින දෙකක ට පමණ පසු මාගේ උපන් දිනය උදාවිය. එදින මා දුරකතනය ක්‍රියාත්මක කළ සැණින්, මා මුලින්ම පැවසූ පරිදි එයට කෙටි පණිඩයක් පැමිණියේ ය.

In a war, there is no prize for runner-up.
Be Brave!
I wish you happy birthday.
- Mana.

මනා! මට අදහාගත නොහැකි විය. මීට දින කිහිපයක ට පෙර නිල වශයෙන් සහමුලින්ම අතුරුදහන් වූ මනා මේ උදෑසන මට සුභ පතා කෙටි පණිවිඩයක් එවා ඇත. මනා අතුරුදහන් වූවත් මනාගේ උපන් දින සුභ පැතුමෙන් නම් අපට කිසි ගැලවීමක් නැත. මේ පණිවිඩය දුටු හැටියේ පසුගිය දින දෙක තුල තිබූ නොසන්සුන්කාරී ව්‍යාකූල මානසික තෙරපුමෙන් සිත වහා නිදහස් වූවා සේ විය.

මම එසැණින් මනාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගත්තෙමි. දුරතකතනය නාද වෙන්නට පටන් ගත්තේ ය. නමුත් මනා එයට ප්‍රතිචාර දැක්වූයේ නැත. මම වහාම මාගේ කොළඹ සිටින මිත්‍රයාට මුලින් ම පැවසූ පරිදි පහත ඇති පණිවිඩය යැව්වෙමි.

Mana text me!

කාලය ඉදිරියට ගමන් කලේ ය. මම කොළඹ මිත්‍රයාගෙන් පිලිතුරු පණිවිඩය ලැබෙන තුරු බලා සිටියෙමි.

Mana is still in missing list!

මට පිලිතුරු පණිවිඩය ලැබුනි. මේ සිදුවීම් මාලාවේ කොතනක හෝ වරදක් ඇති බව මට දැනෙන්නට විය. මම වහාම මාගේ සිම්පත හිමි සමාගමට ඇමතුමක් ගෙන විස්තර සියල්ල පැවසුවෙමි.

“ඔව් මහත්මයා, මට මේ ගැන සොයා බලන්න මොහොතක් කාලය ලබා දෙන්න පුලුවන් ද....?“ ඔහු එසේ පවසා මට ඇසෙන සේ සංගීත ඛණ්ඩයක් වාදනය වීමට සැලැස්වීය.

ව්‍යාකූල සිතෙහි සිතුවිලි කිසි පිළිවෙලක් නැති සිනමා පටයක් මෙන් මා සිත තුල එකක් මත්තේ එකක් පැන නැගී බිඳි බිඳී යන්නට විය.  මම මනා ගැන මතකය නැවත මෙනෙහි කරන්නට වුනෙමි. මනා මුලින් ම එදා සම්මුඛ පරික්ෂණයේ දී හමු වූ මොහොත. අවසාන වරට ඔහු බැංකු ගොඩනැගිල්ල තුල දී සමුගත් මොහොත. ඒ අතරතුර කාලයේ අප මිතුරු මිතුරියන් සමඟ ගෙවා දැමූ කාලය! හොඳින් සිතා බැලුවහොත් මනා ගැන අපටත් වඩා මෙනෙහි කරන්නට මතකයන් ඇත්තේ මනාගේ දෙමාපියන්ට ය. මනා ඉපදුනු හැටි, වැටී වැටී මුලින්ම ඇවිදපු හැටි, මුලින්ම පාසල් ගිය හැටි, ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් හැටි, මනා ඔවුන්ගේ ඇකයේ, උරහිසේ උණුසුමට ගුලි වී නිදා සිටි හැටි, වැඩිහිටියන්ට වඩා කොයිවෙලාවෙත් වේගෙන් ගැහෙන හදවතේ රිද්මයට ඔවුන්ගේ බලාපොරොත්තු ගොඩනැගුනු හැටි, තරුණ වයසට පැමිණ ක්‍රීඩාවෙන් ජයගත් හැටි වාගේ සුවහසක් මතක සටහන් අතරේ හදිසියේ මනා ජීවන පරිඡේදයෙන් අතුරුදන් වී ඇති බව කියැවෙන පණිවිඩය මුලින් ම ලැබුනු හැටිත් ඔවුන්ගේ මතකයේ තිබෙනු ඇත.

“ස්තුතියි මහත්මයා රැදී සිටියට.... මේ පණිවිඩය මහත්මයාට ලැබෙන්නේ ෂෙඩුල් කරපු පණිවිඩයක් නිසා....., මෙතන අපේ සර්වර් එකේ සම්බන්ධයක් නෑ. ෂෙඩුල් මැසේජ් තියෙන්නේ ෆෝන් ඔප්ෂන් එකක් විදිහට.....“

“ඒත් දැන් මේ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑනේ.....“

“වෙන්න පුලුවන් මහත්මයා. ෂෙඩුල් මැසේජ් එකක් සෙන්ඩ් වෙන්න කරුණු දෙකයි ඕන. එකක් මැසේජ් එක සෙන්ඩ් වෙන්න ඕන කරන මුදල් ප්‍රමාණය තියෙන්න ඕනේ. අනිත් එක සිම් එක ඇක්ටිව් තියෙන්න ඕනේ..... එතකොට ෂෙඩුල් කරපු දිනේ ට ඔටෝමැටිකලි සෙන්ඩ් වෙනවා....“

“එහෙම ද?“

ඉන්පසු මම කොළඹ මිතුරාට ඇමතුවෙමි.

“මචං මේක ෂෙඩුල් කරපු මැසේජ් එකක්...“

“එහෙම වෙන්ඩැති.... අපි දන්න හැටියට එදා උදේ පහයි තිහට විතර මනාලව ෆ්‍රන්ට් ලයින් එකට කෝල් කරලා.... හත වෙද්දි මිසිං.... මනා යන්න කලින් මැසේජ් එක ෂෙඩුල් කරන්න ඇති.....“

ඉන්පසු මම නැවත නැවත මනාගේ අංකයට ඇමතුවෙමි. අපි සියල්ලෝ ම එසේ කලෙමු. දින දෙකකට පමණ පෙර අතුරුදහන් වූ මනාගේ ජංගම දුරකතනය නාද වන විට අපට දැනුනේ මනා අපේ අතේ දුරින් අපට නොපෙනෙන තැනක සිටිනවා වැනි හැඟීමකි. මේ නිසා අප නැවත නැවත මනාට ඇමතුවෙමු. එදින දවාලේ මම නැවත වතාවක් ඇමතුමක් ගන්නා විට එක්වරම මගේ දූරකතන තිරයේ මෙසේ දිස් විය.

Number busy!

මේ වචන දෙක තුල අප සියලු දෙනා ට ම සතුටු විය හැකි සියලුම හේතු එකතු වී තිබුනි. දුරකතනය කාර්ය බහුල වන්නේ අප අමතන විට දුරකතනයට වෙනත් ඇමතුමක් සම්බන්ධ වී ඇති නිසා බව අප කවුරුත් හොඳින් ම දනිමු. මේ අප පුල පුලා බලා සිටි අවස්ථාව වුවද, අපගේ සිතට මේ අවස්ථාව දරාගැනීමට සාධාරණ කාලයක් නොවීය. ඒ නිසා අපගේ සිරුරු වල හිරිගඩු පිපුණි.

මම කාලයට තවත් ඉදිරියට ගමන් කිරීමට ඉඩ හැරියෙමි. ඒ මනා සමඟ කතා කිරීමට නියමිත මගේ කාලය එළඹෙන තුරුයි. මට වුවමනා වූයේ මනා සිටිනා ඉසව්ව ගැන දැනගෙන වහාම මාගේ කොළඹ මිත්‍රයා අමතා සියලු විස්තර පැවසීමට යි. ඊලඟ මොහොතේ දහසක් බලාපොරොත්තු ඇතිව මම මනාට ඇමතූවෙමි. නමුත් නොසිතූ දෙයක් සිදුවිය. එවර දුරකතනය නාද නොවීය. ඒ වෙනුවට ස්වයංක්‍රීය පණිවිඩයක් මගින් කියැවුනේ මනා දුරකතනයට ප්‍රතිචාර නොදක්වන බවයි.

“මචං..... රිං වෙන අතරතුරේ ෆෝන් එක ඕෆ් වෙද්දිත් වැටෙන්නේ නම්බර් බිසි කියලා.....“ මිතුරෙක් අප සියලු දෙනාට අමතක වූ යමක් මතක් කලේ ය.

කාලය තවත් ඉදිරියට ගමන් කලේය. ඒ අතරතුර මම, මනාගේ දෙමාපියෝ, කොළඹ සිටින මාගේ මිතුරා සහ තවත් බොහෝ අය මනාගේ ජංගම දුරකතනය ට සිය ගණනක් වූ ඇමතුම් ප්‍රමාණයක් ගෙන තිබිනි. නමුත් මිතුරා පැවසූ, “මචං..... රිං වෙන අතරතුරේ ෆෝන් එක ඕෆ් වෙද්දිත් වැටෙන්නේ නම්බර් බිසි කියලා.....“ යන කියමන අපට අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුවිය. ඒ නැවත කිසි දිනෙක මනා දුරකතනයට ප්‍රතිචාර දැක්වීමට නොපැමිණි නිසා ය.

කාලය තවත් ඉදිරියට ගමන් කරනු ඇත. නමුත් මනාගේ කතාව මම මෙතනින් අවසාන කරමි. එහෙත් උපන් දා සිට මනාගේ සුවහසක් මතක සමඟ ඔහුගේ දෙමාපියනුත්, මනාගේ වසර ගණනක මතක සමඟ අපත් හදිසියේ නැවතුන මනාගේ කතාව නැවත ලියන්න ට බලාපොරොත්තුවෙන් සිටිමු. අපි මනා එනතුරු බලා සිටින්නෙමු!

.........................................................

සයිබර් අවකාශයට බ්ලොග් වසන්තය ගෙනැවිත් මනාගේ කතාව තවත් බොහෝ දෙනෙකුට කියන්නට ඉඩ සලසා දූන් ඉන්දික, දූමී ඇතුලු සියල්ලන් ට ස්තුතියි.

52 ක් කියන්නේ !:

  1. මනාගේ කතා රසයෙන් මත්ව තබන පළමු සටහන

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි MPP

      Delete
  2. මනා පිලිබදව කනගාටුව.මිතුරු බැදීම් අමතක කරන්න අමාරුයි.
    මනාට යලිත් ඔබලා අතරව එන්න ලැබේවා කියලා පතනවා
    බ්ලොග් වසන්තයට ජයවේවා අවුරුද්දකට පස්සේ සයිබර්යාය ආයේ ලිව්වට

    ReplyDelete
    Replies
    1. එහි මිතුරන් බොහෝමයක් සැබෑ මිතුරන්. මිතුරන් අමතක කරන්න අමාරුයි. ඒ ගැන අද්දැකීම් ඇතිව කතා කරන බව හැඟෙනවා.

      බොහෝම ස්තූතියි මනා ගැන දැන කියා ගන්න එකතු උනාට.

      Delete
  3. දුකයි බං...

    ///“අම්මලා තවත් මොනද බං ඉතාලියේ ඉදං කරන්නේ..... ඇයි අම්මලාට මෙහෙට වෙලා තියෙන දෙයක් බලාගෙන ඉන්ඩ බැරි....?“///
    නිවැරදි වෙලාවට නිවැරදි තීරණ නොගැනීම...?

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්. නමුත් පුද්ගලික හේතු ඇති. මම දන්නා තරමින් ඉතාලියේ ඉන්න මම දන්න අය කියන්නෙ අපි මෙහෙ නැවතිලා මොනවද කරන්නේ මචං/මහත්තය/මල්ලී කියලා....

      Delete
  4. හුඟක් සංවේදීව දැනුනා...

    මනාට නැවත් කොහේ හෝ සිට ඔබ අතරට එන්න පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. අපි සියල්ලන්ගේ ප්‍රාර්ථනයත් මනා ගැන තහවුරු වූ තොරතුරක් ලැබේවා යන්නයි.

      ස්තූතියි මනා ගැන දැන ගන්න පැමිනියාට!

      Delete
  5. //සයිබර් අවකාශයට බ්ලොග් වසන්තය ගෙනැවිත් මනාගේ කතාව තවත් බොහෝ දෙනෙකුට කියන්නට ඉඩ සලසා දූන් ඉන්දික, දූමී ඇතුලු සියල්ලන් ට ස්තුතියි.//
    ඇඩෙනවා.. මගේ බැචා ලා තුන් දෙනෙක් යුද්දෙන් මැරුණා.. දෙන්නෙක් මිසිං.. උන් දෙන්නගේ ගැනු දරුවෝ දෙමව්පියෝ තවම විඳින දුක දෑසින් දකින නිසා මේක දැනෙනවා බොක්කටම..

    ReplyDelete
    Replies
    1. කල්‍යාන මිත්‍ර,

      මේ දේ දැනෙන අය අපි දන්න තරමට වඩා වැඩියි. ඇත්තටම මේ දේට මූණ දුන්නු අයගේ අද්දැකීම් තව කොච්චර තියෙනවද? ඒවා බොහෝ දෙනා දැනගන්න කලින් ම දන්නා අයත් එක්කම අතුරුදහන් වෙලා යනවා.....!

      Delete
  6. මනාට නැවතත් ඔබ අතරට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. :(

    මම ඉස්සර ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. ආයෙ ලියන්න ගත්ත එක ගැන සතුටුයි..

    ReplyDelete
  7. මනා පිළිබඳව මනා සටහනක්. ඒ වගේම මනා ගැන හිතේ කනගාටුවක් ඇති වුණා. බුද්ධීගෙ යාළුකම් ගැන සතුටු වුණා. සේරටම වැඩය මේක ලියපු එක හොඳා

    ReplyDelete
    Replies
    1. සිතූ,
      බොහොම ස්තූතියි අගය කිරීම ගැන. නැවත ලියන්න මමත් උත්සහ කරමින් ඉන්නේ

      .................

      ප්ලේන් ඉෂාර,
      බොහෝම ස්තූතියි මනා ගැන දැන ගන්න පැමිණියාට

      Delete
  8. මනුස්සයෙක්ගේ ජීවිතේ මෙච්චර වෙනස්කම් වෙන්න පුලුවන්ද ? අපිව කරකවල ඔලුවෙන් හිටවල තිබ්බ ජීවිතය සම්පුර්ණයෙන්ම කනපිට ගහන්න තත්පර ගානකදී පුළුවන්.
    මිසිං නොවී ඉන්න තිබ්බ නම් මනා හිනා වෙලා හැම කරදරයක්ම පහු කරන්න තිබුන එයාගේ චරිත ස්වභාවය අනුව.
    හරිම දුක හිතෙන කතාවක්. මනාලගේ කතා මෙහෙම ලියවෙන එක හොඳයි.කවදාහරි කාට හරි මතක තියෙයි .
    වියට්නාමේ අතුරුදන් වුන ඇමරිකන් සෙබළුන්ව තාම සොයනවා. අස්ථි කොටස් DNA වලින් අඳුරගන්න පවා පහසුකම් තියෙනවා.
    අපේ වගේ පුංචි රටක එච්චර අමාරු ද මේ මිනිස්සුන්ගේ සලකුණක් වත් සොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒක තමා. අපේ යාලුවෝ ගැන මීට කලින් ලියපු ලිපි දෙක තුනෙ දීත් බින්දි මෙවැනි සටහන් ලියලා තිබුනා. යුද්ධයෙදී දෙවෙනි තැන ගන්න අයට තෑගී නෑ කිව්වට, දිනන අයටත් තෑගි නෑ බලාගෙන යනකොට......!

      Delete
  9. බර්ත් ඩේ විශ් එකක් ෂෙඩුල් කරලා එවන්න තරම් යාලුවෙක් !!! කියන්න බැරි හුඟක් දේවල් හිතට දැනුනා

    ReplyDelete
    Replies
    1. ඔය යාලුකම්, වගකීම්, ඉවසීම සේරම දේවල් පුහුණුකාලෙදි පුරුදු කරනවා. නැත්තම් කොහොමද එක අණකට ලොකු පිරිසක් එකතු වෙන්නේ.... ඒකයි වෙනස. බොහොම ස්තුතියි බබෝ මනා ගැන කියවන්න පැමිණියාට.

      Delete
  10. සංවේදී සටහනක් බං.
    ඇත්තටම උඹලගෙ යාලුකම, සහෝදරකම අගය කරන්න ඕන.
    ඔය වගේ බැඳීමක් ඇතිඋනාම කවදාවත් ඒක අමතක කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ප්‍රසන්න මම කල්පනා කරන්නේ මගේ හොඳම යාලුවෝ ඉන්නේ පාසලේ ද හමුදාවෙද කියලා.

      Delete
  11. මනා … ගිහිං වරෙන් !!


    ReplyDelete
  12. ජීවිතේ එහෙමයි නේද එහෙනම්...!! මේ කතාවෙන් කෙහෙල් කො‍ටුවෙ නැවත මල් පීදීමේ සතුටත් වියැකිලා ගියා...

    නම්බර් බිසි කියලා එන තව අවස්තාවක් තියනවා.. ඒ කියන්නේ ඔයා ගන්න වෙලාවටම තව කෙනෙක් ඒ ෆෝන් එකට ට්‍රයි කරමින් සිටීම. මෙතන ඕගොල්ලො හැමෝම ට්‍රයි කර කර හිටපු නිසා වෙන්න ඇත්තේ මේක....මොක වුනත් දැන් ඇති පලේ මොකක්ද ?

    ඈත්තටම මිසිං කියන එක බොහොම බරපතයි කියලා මේ දැන් මට වැටහුනේ මනාට නිවන් සුව පතනවද, නැත්නම් වෙන මොකක් හරි පතනවද කියලා හිතන්ඩ වුනාමයි.

    ප්‍රශ්ණයක් : කුරුලු හමුදාවේ අයවත් ෆ්‍රන්ට් එකට දානවද ?

    ReplyDelete
    Replies
    1. මොක වුනත් දැන් ඇති පලේ මොකක්ද ?// ඇත්තටම අපි ඔහොම කිව්වට එහෙම හිතන්න අකමැති අය තවමත් ඉන්නවා. මනාගේ දෙමාපියෝ එයාලාගේ අන්තිම මොහොතේ හරි තමන්ගේ පුතා එයි කියන බලාපොරොතුවෙන් ඉන්නවා ඇති. පොඩ්ඩක් හිතලා බැලුවොත් ජීවිතේ ඉදිරි දවස් වලදි එන විනෝද ජනක අවස්ථා එයාලා කොහොමද ගෙවා දාන්නේ.... සතුට අසතුට නිතර ගැටෙන හිතක් ඒක්කයි එයාලාට හැමදාම පොර බදන්න වෙලා තියෙන්නේ

      Delete
  13. පළමුව සතුට දෙවනුව දුක. සතුට බුද්ධි ආපහු ලියපු එකට. දෙවෙනි එක මිතුරාගේ වියෝව. මම සයිබර් අවකාශේ දැක්ක ලස්සනටම ලියන්න පුළුවන් අයගෙන් කෙනෙක් බුද්ධි. මිසින් වෙන්නේ නැතිව මේ වගේ ලියන එක අපිට මනා හම්බ වුණා වගෙයි.

    ReplyDelete
    Replies
    1. සයිබර් අවකාසේ නෙමෙයි බං.. මේ ලංකාවේව බුද්ධි වගේ ලියන අඳින අය නැහැ..

      Delete
    2. මනා ගැන කියවන්න පැමිණීමත් අගය කිරීම ගැනත් බොහෝම ස්තූතියි. ඔබ දෙදෙනා දිගින් දිගටම මා අගය කරනවා මට මතකයි. පුලුවන් හෑම උත්සහයක් ම ගන්නවා ඒ වචන ටික ඔබට වෙනස් කරන්නට අවස්ථාවක් නොදී තියාගන්න.

      Delete
  14. පිය විප්පයෝග තරම් වේදනා දෙන දෙයක් තවත් නෑ....අපේ රටේ එහෙම කාලයක් තිබුනද කියලා ගොඩක් දෙනෙකුට අමතක වෙමින් යනවා, සමහරු බලෙන් අමතක කරවන්න හදනවා. මේ වගේ සමරුවක් හරි ලියවිලා ඒ මතකයන් අමතක නොවී තබා ගැනීම තමයි අපිට කරන්න පුළුවන්. හිතේ ඉතුරු වෙච්ච පුංචි බලාපොරොත්තුවක් හරි මිය යා නොදී තියාගන්න පුළුවන් එතකොට.....

    ප.ලි: සයිබර් යායේ චූටි මහත්තයගේ ලිපියක් වැටිලා ඒ පින්නෙන් බ්ලොග් මල් පිපෙනකොට කොච්චර අපූරුද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. මෙයත් එහෙම දෙයක්. මනාට මනාගේ ප්‍රියයන්ගෙන් වෙන් වීම කොහොමට ඇතිද?

      Delete
  15. ඔෆිස් එකක ලොකු පිරිසක් ඉස්සරහ කතා නැතුව, කදුළු හිර වුණාම වෙන දේ දන්නව ද? මනා.... මට නං නැතිව ගිය යාළුවො, නෑයෝ සේරම එකපාරම මතකෙට ආව.

    කොහොම වුණත් ලියන එක නවත්තන්න එපා. මාර්ක් ට්වේන් කෙනෙක් මේ ඉන්නෙ කියලයි මට හිතෙන්නෙ බුද්ධි ලියද්දි නං!!

    ReplyDelete
    Replies
    1. අගය කිරිම ගැන බොහොම ස්තූතියි. ප්‍රියන්ත පත්වූ ඉරණමට දවසක් මමත් අසුවුනා. ඒ තාත්තා කෙනෙක් තමන්ගේ පුතා ගැන ලියලා තිබුනු සංවේදී සටහනක් කියවලා. ඒ කාලේ මට දරුවෙක් තියා විවාහ වෙලත් නෑ.....!

      Delete
  16. මෙන්න මෙහෙම කතාවක් තියෙනවානේ
    I always knew looking back on the tears would make me laugh, but I never knew looking back on the laughs would make me cry."
    - Unknown

    පැත්තක් පාත්වුනා වගේ හැඟීමක් ආවේ. ඒත් ඊට පස්සේ මෙහෙම හිතාගත්තා.
    When life gives you a hundred reasons to cry, show life that you have a thousand reasons to smile.
    - Unknown

    ReplyDelete
    Replies
    1. Aruna Perera,

      ඒ කාලේ වැඩිහිටියෝ කියනවා ඔයහැටි හිනාවෙන්න එපා පස්සේ අඬන්න වෙයි කියලා. ඒ කාලේ මම එයාලට කිව්වා අපිට අඩන්න අවස්ථා කොහොමත් එනවා ඒ නිසා පුලුවන් වෙලාවේ ඇති තරම් හිනාවෙමු කියලා.

      දැන් මම ඉගෙන ගෙන තියෙනවා ලාභ-අලාභ, දුක-සැප, නින්දා-ප්‍රශංසා, යස-අයස කියන හැමදේයක් ම මැදහත් සිතින් පිළිගන්න එකයි හරි කියලා. දැන් ඒ දේ කරන්න මම උත්සහ ගන්නවා.

      බොහෝම සිතුතියි ඔබගේ වටිනා අදහස් වලට!

      Delete
  17. මේ ආකාරයටම මා 1999 දී පමණ මිය ගියා යැයි අනුමාන කළ අයෙකු කාලයක් තිස්සේ අදෘශ්‍රමානව ඉඳලා තියෙනවා. ඔහු ඉන්නා බව මට ආරංචි වුනේ 2014 දී පමණ පසු කාලකයි. ඔහු නම් මේ දිනවල ඉන්නේ අනුරාධපුරයේයි.

    ඒ වගේම මා 1985 දී දෙවරක් පමණ දුටු අයෙකුත් උතුරේ දී මිය යන්නට ඇතැයි කියා 1990 දී පමණ දැන ගන්නට ලැබුණත්, මේ වසරේ දී ආරංචි වුනේ ඔහු කොහේදෝ දැයි නොදන්නාමුත් ජීවත් වෙන බවයි. ඔහු ජීවත්ව සිටන බව දැන ගන්නට ලැබී ඇත්තේ 2010 දි පමණ ලු!

    ReplyDelete
    Replies
    1. “ඔයා දන්නවද? සමහර චිත්‍රපටි වල සිද්ද වෙන දේවල් වලටත් වඩා පුදුම හිතෙන දේවල් ඇත්ත ලෝකෙදී වෙන්න පුලුවන්“
      - කෙහෙල්කොටුවේ චූටි මහත්තයගේ තාත්තා.

      Delete
  18. බුද්ධි, ජීවිතේ ජයගන්නව කියන්නෙ නියම තීරණ නිසි කලට ගන්න එකයි කියන්නෙ මේකයි. ඒ දෙමාපියො කොල්ල මරා ගත්ත කියන්න ඉක්මන් නොවුනත්, ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි කියල කියන්න මීට වඩා හොඳ කතාවක් තියේද?

    වසන්තය කියන්නෙ මෙන්න මේවට තමයි. ඒත් මට මේ මදි, අර 2015 ලිව්ව වගේම, සිංහල බ්ලොග් වල වෙන කිසි කෙනෙකුට සම කල නොහැකි චිත්‍ර, ෆයිට් හිනා සමග ඇඬෙන කතාවක් ලියන්නම වෙනව උඹට මේ පාරත්.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා,
      ඔය රටට ගිය අය වැඩිපුරම ඉන්නේ අපෙ පැත්තෙ වෙන්න ඇති. ඒ අය ගොඩ දෙනෙක් කියන්නෙ මල්ලි/ මහත්තයෝ/මචන්, අපි මෙහෙ නැවතිලා මොනවා කරන්නද කියලා. මේ වෙද්දි නම් එහෙ ඉන්න සුලු පිරිසක් නැවත් නොයන්න තීරණය කරලා නැවතුනා.

      ඒ වගේ කතාවක් මම ගිය අවුරුදු වල ලියලා තියෙනවා. උත්සහ කරනවා මේ අවුරුද්දෙත් ලියන්න.

      Delete
  19. සමහර යාලුවෝ ඉන්නවා අපිට අමතක උනත් අපිව අමතක නොකරපු... මනා ආයෙත් එයි..

    අවුරුදු ගානකින් බ්ලොග් එකකට කමෙන්ට් කරන්නෙ.. :)

    ReplyDelete
  20. කාලෙකින් පරන මතකයන් ගොඩක් අලුත් උනා, ඒ එක්කම ඇහැට කදුලකුත් ආව කීවොත් ඒක බොරුවක් නෙමෙයි. මගෙ පොඩිකාලෙ යාලුවො සෙට් එකේ සෑහෙන ප්‍රමාණයක් දැන් ජීවතුන් අතර නැහැ ඔය යුද්දෙ නිසා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඕනේ. දැන් බලද්දි බොහෝ දෙනෙකුට මේ ගැන අද්දැකීම් තියෙනවා වාගේ..... අර උඹලාගේ මාමා මේ වගේ කතාවක් එහෙම කියලා නැද්ද?

      Delete
    2. යුද්දෙ ගැන මාමාගෙ කතානං එමටයි

      Delete
  21. "මනා"කවදාහරි ඒවියි කියන බලාපොරොත්තුවම කොච්චර ලොකු එකක්ද?

    මේ යුද්ධය කොයි තරම් දේවල් අපෙන් උදුරාගෙන ඇතිද ?මේ කතාව යටින් තියෙන තවත් කතාවක් තමයි යුද්දේට ගිය ගොඩක් අයගේ කතාව.මම එහෙම කියන්නේ මනා දිගටම හමුදාවේ ඉන්න තීරණය කරන්නේ තමන්ට ඇති වී තියෙන ආර්ථික අමාරුකම් එක්ක.මනාගේ තාත්තාගේ අතින් ඉතාලියේදී සිදුවූ අර අනතුර නොවෙන්න මනාත් හමුදා වෙන් ඉවත් වෙන්න තිබුනානේ.

    මානත් තවත් සොල්දාදුවනුත් රට වෙනුවෙන් කල කැපකිරීම් අවතක්සේරු කිරීමට නොවේ මා එසේ පැවසුවේ.රටට ඔවුන් කල කැපකිරීම් වලට මිලක් දෙන්න බැහැ අපිට.

    යුද්ධ ඇති වෙන්න,සාමයට වෙඩි තියන්න කටයුතු කරන්නේ ලොකු ලොක්කෝ.ඒ යුද්ධ නිසා ජිවිත දෙන්නේ අහිංසක මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඔව්. විවිධ අරමුණු, විවිධ සංස්කෘති, විවිධ ආගම්, විවිධ චර්යා ධර්ම වලට පුරුදු වෙලා ඉන්න ඈයන්ව එකම බත කාලා එකම අරමුණ කට යන්න පුහුණු කරන එක කොහොමට ඇද්ද නේද?

      Delete
  22. වසන්තයාගේ පිහිටෙන් හෝ මනාගේ කාලය ගතවීම කියවීමට ලැබීම සතුටක්. ඒත් මනා ගැන දුකයි.. දුරකතනයේ කටයුත ගැන කියද්දි මනා ගැන තොරතුරු නිවි නිවි පත්තු උනා. ඒත් අවසානයේ ඒක නිවිලම ගියා.. ස්තුතියි බුද්ධි

    ReplyDelete
    Replies
    1. ඔහොම නිවී නිවී පත්තුවෙලා, නිවිලාම ගිය තව කී දෙනෙක් ඇතිද නේද දේශකයා?

      Delete
  23. හොඳට හිතන වදින කතාවක්. නමුත් මේකත් කියන්න ඕනෙ මුල ඉඳන්ම උඹේ බ්ලොග කියවන රසිකයෙක් හැටියට. මේකෙ උඹේ සුපිරි ශෛලිය රිදම් එක ගැම්ම නෑ. මේක ලියන්න උඹ වෙනද වගේ හුඟක් වෙලා මහන්සි වෙලත් නෑ. මේ කියන්නෙ අංක එකේ රසිකයෙක් හැටියට. තවත් බ්ලොග් යාලුවෙක් හැටියට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,
      මේ මම ගැන මම ම කියා ගැනීමක් එක අතකට.
      උඹගේ කතාව සහතික ඇත්ත කියලා මම කියන්නේ හරිම කණගාටුවෙන් නෙමෙයි, හරිම සතුටකින්. ඒ මොකද ප්‍රබුද්ධ භාෂාවෙන් කිව්වොත් ඔබ මා නිවැරදිව කියවා තිබේ. ඩූඩ් කියන කාරණාව තහවුරු කරන්න මම එක උදාහරණයක් දෙන්නම්. ඒ ගිය පාර මම බ්ලොග් වසන්තයට ලියපු ලියමන "ඇස්බැන්දුම". ගමේ සිදුවුනු එක්තරා සිදුවීමක් ඔය මට්ටමේ (මට දැනෙන හැටියට ඒක යම් මට්ටමකි :D) කතාවක් දක්වා ගේන්න මම ගොඩක් මහන්සි උනා. උඹ එදා කිව්වා මම කතා ගොඩක් ලියන්නේ නෑ. ලිව්වොත් රියල් කතාවක් කියලා. එදත් මම අද වගේම සතුටු උනා. ඒ මොකද උඹ එදත් අද වගේම මාව නිවැරදිව කියවා තිබුනා. මා බලාපොරොත්තු වූ කීප දෙනෙකු ගේ අවධානයට ලක් නොවුනත් ඒ කතාව මා ලියපු ලිපි වලින් වැඩියෙන්ම කියවපු ලිපියක් වෙලා තියෙනවා.

      බොහෝම ස්තූතියි ප්‍රතිචාරය ට.

      Delete
  24. සමහරු කියනවා ආයිත් එන්න පුලුවන් කියන බලාපොරොත්තුව තියන එක හොඳයි කියලා.
    තවත් සමහරුන්ට (ලඟම අයට ) හිතෙනවා දෙකෙන් එකක් හරියට නොදැන අවිනිශ්තව ඉන්න එක මිය ගියා කියල දැනගන්න එකටත් වඩා අමාරුයි කියල

    ReplyDelete
  25. මනාව නැවත හමු වේවායි ප්‍රාර්ථනා කරමි.!

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...