2011/10/07

ගලක් එල්ල ගන්නයි කිව්වේ? | පූසෙක් කතා කරයි.......!

එදා පොරොන්දු වෙච්ච විදිහට සිත්තර තරගෙන් දිනපු කෙනාගෙ තෑග්ගයි මේ තියෙන්නෙ.


ඕගොල්ල හැමෝම දන්න හැටියට, එදා අන්තිම තියුණු තරගෙකින් පස්සෙ තරග ප්‍රථිපල හැටියට කියවුනේ අපේ පූසා දින්නයි කියලා. ඒ අනුව පූසා විසින් අඳින ලද සිත්තරේකුත් එක්කලා, එයා ගෙවලා දැම්ම චූටි මහත්තයගෙ වයසෙ දී වෙච්ච රසබර සිද්දියක් තමා එයා අද අපිට කියන්න යන්නෙ.

එදා පොරොන්දු වෙච්ච විදිහට පූසාගෙ මේ කතාව සයිබර් යායේ හැමදාම තියෙයි, මේ කතාවට යන්න විශේෂ පාරකුත් එක්කලාම.

හරි දැං අපි කියෝමු පූසගෙ කතාව.

.................................

නිපුනයා අපේ කණ්ඩායමේම හිටියා උනත් මට ඕකාව පෙන්නන්න බෑ. ඇයි අනේ ටීච මේ කියන දේ ඕකාට මේ මතක නෑ. ඕකා හන්දමයි හැමදාම ප්‍රශ්න අහන තරඟෙදී අපේ කණ්ඩයමට ලකුණු අඩු වෙන්නේ.

නැණති දනන් හට මඳ ගුණයක් කළද
පවතී ගල කෙටූ අකුරක් මෙන් නිබඳ
විමති දනන් හට කළ නිසි ගුණ නොමඳ
එනැති වේ ය දිය පිට ඇඳි ඉරක් ලෙද

දහම් පාසලේදී ඔය කවිය කියන කොට මට මතක් වෙන්නේ අපේ ඉස්කෝලේ නිපුනයාවමයි. ඒකගේ මතකෙත් හරියට දිය පිට ඇඳි ඉරක් වගේමයි කියලා මට එවෙලෙට හිතෙනවා.

එදා අපේ ටීච අපිව එළියට එක්කගෙන ගියේ ඉස්කෝලේ ඩෙංගු මදුරුවෝ බෝ වෙන තැන් තියනවනම් ඒ තැන් විනාස කරන්න කියලා. මම නම් ආයේ ඔය අස්සවල් වල හිටි එක මඳුරුවෙක්වත් අතෑරියේ නෑ. මට විඳපු ඔක්කොම උන්ට දුන්නා වැඩේ. අපේ ටීච කියනවා ටිං තියනවන්ම් ඒවා පොඩි කරලා ටීච ගාව තියන පොහොර උරේට දාන්නලු. ඒවට වතුර පිරිලාලු ඩෙංගු මදුරුවෝ හැදෙන්නේ. ටීටච පිස්සු! ඇයි අනේ ඕවයේ මදුරුවෝ හැදෙන්නේ මේ දැන් ඉන්න උන් බිත්තර දැම්මමනේ. ඉතිං මම නම් කළේ අතට අහු වෙච්චි හැම මදුරුවෙක්වම විනාස කරපු එකයි.
ඔය වෙලේ නිපුනයා හිටියේ ටීච ගාවටම වෙලා ටිං එකක තල තලා. ඔන්න එතකොටමයි මුගටියෙක් අපි උන්නු තැනින් එක පඳුරක් අස්සෙ ඉඳන් තව පඳුරකට මාරු උනේ. කොහෙද අපේ නිපුනයාටත් කට පියං ඉන්න බෑනේ. ඒකා එක පාරටම කෑ ගැහුවේ නැතෑ,

"අම්මටහුඩු මුගටියෙක්!" කියලා. ඒක ඇහිච්චි ටීචට ටිකක් තරහා ගියා.

"පුතා ඒක නරක කතාවක්. ආයේ එහෙම ඒ වගේ වචන පාවිච්චි කරනවා මට ඇහෙන්න බෑ තේරුණාද?" ටීච කිව්වා.

අපේ ටීච හරිම හොඳයි. නැත්තම් කොහෙද මෙතන ගාමිණී සර් වගේ උන්නනම් දැන් නිපුනයාගේ කට ඉරයි නිකං බාගෙට පැලිච්චි ටෙන්ස් බෝලයක් අල්ලලා දෙකට පලනවා වගේ. මට හිතුනා.

ඕං ඔය අස්සේ තමයි තවත් මුඟටියෙක් කලින් වගේම පඳුරෙන් පඳුරට මාරු උනේ. ඒක දැක්ක ගමන් නිපුනයාට ටීච කලින් කිව්ව කතාවත් අමතකයි.

"අම්මටහුඩු ආං ටීච තව එකෙක්!" මුගටියෙක් දැක්කාම මූට ඉන්න තැනත් අමතක වෙනවා.

මම නම් උන්නේ ටීච මුගේ කන මිරිකයි කියලමයි. ඒත් මේං බොලේ ටීච සාරි පොටෙන් කට වගහෙන හෝ ගාලා හිනා වෙනවා.
"ඔය මං දැන් කිව්ව එක මතක නෑ නේද?" පස්සේ ටීච ටිකක් සැරෙන් එච්චරමයි කිව්වේ.

ටීච මූව හදන්නැත්තම් මං හදන්නම්කෝ මම එවෙල් හිතා ගත්තා. ගෙදරදී මම තාත්තාට චක්කරේ පාඩම් දෙනකොට එකම තැන් දෙතුං පාරක් වැරැද්දුවාම තාත්තා මට අනිනවා ටොක්කක් තරු විසි වෙන්න. ඒක කොච්චර බල සම්පන්න ටොක්කක්ද කියනවනම් මම ආයේ ඒ තැන් වැරදිලාවත් වරද්දන්නේ නෑ. ඉතිං නිපුනයාගේ ලෙඩේටත් දෙන්න ඕන බෙහෙතත් ඒකමයි.
කොහොමහරි අස් පස් කරලා ඉවර වෙලා පංතියට යමිං ගමන් මම ටීචට නොපෙනෙන්න ඇන්නා නිපුනයාට හොඳ ටොක්කක්.

"ටීච දෙයක් එකපාරක් කිව්වාම මතක තියාගන්නවකෝ" මම කිව්වා.

නිපුනයා මං දිහා ඔරවලා බැලුවා මිසක් මට ගහන්න ආවේ නෑ. මොකද පංතියේ හිටි පිරිමි ළමයි 24 දෙනාගෙන් මට වඩා චණ්ඩි හිටියේ 18 දෙනෙක් විතරනේ. හොඳ වෙලාව
ට නිපුනයා ඉන් එකෙක් නෙමෙයි.

පස්සේ ටීච උගන්නන්න ගත්තා. මම පොඩි වෙලාවක්ට මගේ පිටි පස්සේ කණ්ඩායමේ මහේෂ් එක්ක කතාකරන කොට මගේ ඔළුව හිල් වෙන සයිස් එකට ගලක් වගේ එකක් වැදුනා. මම පැත්තට හැරිලා උන්නත් ඇහේ කොණෙන් මං දැක්කා මගේ ඉස්සරහා හිටි නිපුනයා තමයි මට ගැහුවේ කියලා. ඒකා මගේම මකනේ අරං මට ගහලා.
ඒත් එක්කමයි අනිත් කණ්ඩායමේ හිටි කෙල්ලෙක් අම්මෝ! කියලා ඇහැ අල්ල ගත්තේ.

"කවුද ඒ මකනෙන් ගැහුව කෙනා නැඟිටිනවා" ටීච කෑ ගැහුවා.

නිපුනයාව ඉබේටම නැඟිට්ටුනා. මටනම් හෙන සතුටුයි.

"මේ පූසා තමයි ටීච මට කලිං ගැහුවේ. මං පූසාට ගැහුවේ එක තමයි
වැරදිලා අචලාට වැදුනේ" නිපුනයා වෙවුල වෙවුලා කිව්වා.

"මං කොහෙද ඔයාට ගැහුවේ" ඕං ඔය බොරු කියන කොටනම් මට තරහා යනවා.

"හා හා ඇති දෙන්නම බහිනවා පන්තියෙන් එළියට ඉන්ටවල් එක වෙනකම් එළියේ හිටගෙන ඉන්නවා"
ෂික් මාර පල් එක. මායි නිපුනයයි එළියේ හිටං පාඩම අහං හිටියා. ඔය අසේ නිපුනයා මට රහසින් කියනවා,

"ඒයි පූසා දැන් කොහොමද ප්‍රින්සිපල් ආවොත්. අපි දෙන්නම ඉවරයි!"

නිපුනයාට කියලා කට ගන්න උනේ නෑ. කොරිඩෝවේ අනිත් කෙළවරේ වේවැලත් අතිං අරං ප්‍රින්සිපල් මතු උනා.

"තුක් නොදකින් කට විතරක්" මම අරූට රහසින් කිව්වා.

අදනම් කන්න වෙනවා අතේ ලෙලි යන්නම මට හිතුනා. අපි එළියේ ඉන්නවා දැකපු ප්‍රින්සිපල් කෙලින්ම අපි ගාවටම ආවා. මගේ නම් කකුල් ගැහෙනවද මන්දා. මම කවදාවත් ප්‍රින්සිපල්ගෙන් ගුටි කාලා නෑ.

"මොකද ටීච මේ දෙන්න එළියේ" ප්‍රින්සිපල් පංතියේ උන්නු ටීචගෙන් ඇහුවා. ටීච ඔක්කොම කතාව කිව්වා.

"හ්ම් අල්ලනවා දෙන්නම අත්"

"දෙන්නම අත් දෙකම, අත් දෙකම ඉස්සරහට කරනවා"

"වේ වැලෙන් ගහනකොට තෙල් ගෑවිච්චි ඉසකෙයා ගහක් අ
තේ තිබ්බොත් එතැනින් අත පැලෙනවා" දවසක් එකෙක් කිව්වා මට හොඳට මතකයි.

ඒ හන්දා මම අත් දෙක දිහා හොඳට බලලා කලිසමෙත් පිහිදාලම ඇස් දෙක පියාන අත් දෙක දික් කළා.

චටාස්! චටාස්! චටාස්! චටාස්! දෙන්නගෙම එක අතකට එක පාර ගානේ අත් දෙකටම ගැහුව ප්‍රින්සිපල් "හ්ම් ගිහින් වාඩි වෙනවා. ආයේ එහෙම මට අහුවෙනවා නෙමෙයි" කිව්වා.
ෂෙහ් ඒ වගේ පල් එකක් මම මගේ ජීවිතේටම වෙලා නෑ. මුළු පන්තියම බලාන උන්නා.

ප්‍රින්සිපල් නිපුනටයි මටයි ගැහුවේ මෙන්න මෙහෙමයි.



ඉන්ටවල් එක වෙලේ අචලා මරු එකට හිනා වෙවී ඉන්නවා.

මේ කෙල්ලෝ නම් බොරු කරලා කොල්ලන්ව අමාරුවේ දාන එකමයි හැමදාම කරන්නේ. ඉස්සෙල්ලා මහා ලොකුවට ඇහැ බදාගෙන කෑ ගැහුව කෙනා මේ ඉන්නේ මරු එකට.

"ඔය සමහර ලොකු අයියලාට පිස්සුද මන්දා ඔය වගේ කපටි ගෑණු ලමයිගෙ අතිං අල්ලං පාරේ එක්කං යන්න" හැම තිස්සෙම මට හිතුනු දෙයක් උනත් මේ වෙලේනම් මට ඒ වගේ අයියලා එක්කත් තරහයි.

"මහා ලොකුවට ඇහැ බදං කෑ ගැහුවේ. මං හිතුවේ ඇහැ ගැලවිලා බිම වැටුනා කියලා. අහිංසක කොල්ලන්ට ප්‍රින්සිපල්ගෙන් ගුටිකන්නත් උනා ඔයාලගේ බොරු නිසා" මම තරහෙන් කිව්වා.

"ආ බොරු තමයි.... මම හිතුවේ ආයේ මට ඒ ඇහැ පේන්නැතුව යයි කියලා"

කෙල්ලෝනම් මහාම මහා මෝඩියෝ. ඇයි දෙයියනේ පුංචි මකන කෑල්ලක් නිසා කොහොමද ඇහැක් පේන්නැතුව යන්නේ.

"එහෙම උන්නෑනේ" මට හොඳටම තරහා ගිහින් තිබ්බේ.

"නෑ.... ඉතිං" අචලා කිව්වා.

"නෑ නේද....?" මම තවත් තරහින් ඇහුවා.

"නෑ...තමයි..." ඒ පාර අචලාටත් තරහා ගිහින් වගේ.

"නැත්තම් නැති පැත්තට ගලක් එල්ලගන්නවා... මෝඩි!"

අචලාට කියාගෙන්න දෙයක් නැති උනා. ඒ කියන්නේ මම දින්නා. ඔන්න එවෙලෙනම් මට ටිකක් සතුටුයි.

නැත්තම් නැති පැත්තට ගලක් එල්ල ගන්නවා කියන කතාව පන්තියට ගෙනාවේ නාමල්. නාමල්ට අයියලා දෙන්නෙක් ඉන්නවා හය වසරෙයි හත වසරෙයි. එයාලගෙන් ඉගෙනගෙන තමයි අර වගේ අපූරු කතා නාමල් පන්තියට ගේන්නේ. ඒ දවස් වල පංතියේ මොහොතකටවත් "නෑ" කියලා කියන්න බෑ. කිව්වොත් පල් වෙනවා ටක්කෙටම.

හැබෑටම "නැත්තම් නැති පැත්තට ගලක් එල්ලගන්න" කියන එකේ තේරුම මොකක්ද? මම ඒ කාලේ ඔය කතාව පන්තියෙ දී මතුවුන දවසට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකම්ම කල්පනා කලේ ඔය ගැනමයි.

ඔයාලට කියන්න එදා මම ඕක කියලා “කටින් ගහලා“ දින්නට මොකද, මම තවටත් දන්නැ ඒකෙ තේරුම මොකද්ද කියලා......!

.....................

-මීට පූසා

ප.ලි :
ආයෙමත් මගේ සිත්තරේට ඡන්දේ දීපු, නොදීපු ඔයාලා ඔක්කෝටම ස්තූතියි. මට බුද්ධි අයියාට තරම් ලස්සන කතා ලියන්නවත් විදෙස් චිත්තර ශිල්පියාට වගේ හැඩට චිත්තර ඇඳින්නවත් බෑ. ඕං ඒකටනම් සමාවෙන්න ඈ!

ආ තව එකක් මේ පාර කොම්පීතරෙන් සිත්තරේ අඳින්න ගිහින් එපා උනා. විදෙස් චිත්‍ර සිල්පියා මෙව්වා කොහොම අඳීනවද මන්දා.

26 ක් කියන්නේ !:

  1. පූසා ලස්සන කතාවක්! ඒ කාලේ ඉඳන් කරලා තියෙන්නේ කටින් ගහලා දිනන එකනේ. පව් අහිංසක අචලා.

    දැන් ඉතින් අර නැති එකේ තේරුම ඔය චූටි මහත්තයාගෙන්වත් අහලා දැනගන්ට....:D

    ReplyDelete
  2. අනේ පල පුවෝ නැති පැත්තට ගලක් එල්ල ගනින් :D
    අම්මට හුඩු පුවෙක්.. :P

    ReplyDelete
  3. කාලෙකින් මේ පැත්තෙ ආවෙ... ඇත්තට මොකද්ද අප්ප මේ නැති පැත්තෙන් ගලක් එල්ලගන්න කතාව???

    ReplyDelete
  4. ඇත්තටම මොකක්ද ඒකෙ තේරුම...O_o

    ReplyDelete
  5. නියමයි පූස්... මරු ඈ...

    ReplyDelete
  6. මදුරුවො හැදෙන්න දැං ඉන්න එවුවො බිත්තර දාන්න එපැයි ඒකනං ඇත්ත තමයි.

    ReplyDelete
  7. ඈ බොල නැති පැත්ත කිව්වෙ මොන පැත්තද හැබෑටම?

    ReplyDelete
  8. චික් පූසා කෙත කතා කීනවා...

    ReplyDelete
  9. බුද්ධි අයියා තමයි ඕකට හරි උත්තරේ දන්නේ..

    ReplyDelete
  10. ඔය නැති පැත්තට ගලක් එල්ලගන්න එක මමත් වතාවක් කෑව . . . හය වසරෙදි විතර . . . කෙල්ලෙක්ගෙං . . . ඒකිට මහ අමන කටක් තිබුනෙ . . . . අපි වගේ අහිංසක නෑ ඔය කෙලිච්චියො

    ReplyDelete
  11. මාර කෙල්ලොනේ...වෙලාවට මම ගියේ පිරිමි ඉස්කෝලෙකට..ඔය අත්දැකීම් ටිකක් අඩුයි... කොහොම නමුත් ගලක් එල්ල ගත්තද? .....හික් හික් හික් (Joke)

    ReplyDelete
  12. /*---මොකද පංතියේ හිටි පිරිමි ළමයි 24 දෙනාගෙන් මට වඩා චණ්ඩි හිටියේ 18 දෙනෙක් විතරනේ---*/

    ලස්සනම කෑල්ල මේක තමය්.
    අපරදෙ කියන්න බෑ ගනන් මිමි ඇතුවම සත්‍ය ප්‍රකාශ කරලා.

    ReplyDelete
  13. පූසන්ට නැට්ටක් නැත්තෙ ඔලුව පැත්තෙනෙ. එල්ල ගන්න එකයි ඇත්තෙ බෙල්ලෙ ගලක්

    ReplyDelete
  14. සික් පුචා මොනාද මේ කියන කතා,,,ගල් භාගයක් එල්ල ගත්තොත් හරි වගේ

    ReplyDelete
  15. පුසත් කෙහෙල් කොටුවේ පොඩි එකාට දෙවෙනි නැහැ.

    අනේ පව් අහිංසක ඕනය

    ReplyDelete
  16. පොඩ්ඩි අක්කා : අක්කා දාන්නවද මට අපේ ඉස්කෝලේ චණ්ඩියෙක් දවසක් කිව්ව කතාවක්

    "මචං අතිං පයිං ගහගන්න කලින් කටින් ගහලා ෆයිට් එක දිනන්න බලන්න ඕනේ. එහෙම ෆයිට් එක ඉවර උනොත් දෙගොල්ලන්ටම ලේසෙයිනේ බං"

    ------------------------------

    Bunny : අනේ මොකක්ද බං හාවෝ ඒකේ තේරුම?

    ------------------------------

    hansakinkini : ඒක නෙවැ අක්කාවත් දන්නේ නැතෙයි තේරුම?

    ------------------------------

    නිසුපා : මං දන්නෙත් නෑ අක්කේ... දැන් බලාන යනකොට කවුරුත් දන්නේ නෑනේ...

    ------------------------------

    prasanna86k : තැන්කූ ඈ. මේ ඒක නෙමෙයි යාළු මාළුවෙක්ගෙන්වත් අහලා ඕකේ තේරුම කියන්ටකෝ

    ------------------------------

    Praසන්ன : ඒකනෙවැ. ඕක අපේ ටීචට තේරෙන්නේ නෑනේ.

    ------------------------------

    විසිතුරු | visituru : හැබෑට ඒ මොන පැත්තද?

    ------------------------------

    මාරයාගේ හෝරාව : කෝ කෝ මාරයියේ කොහෙද කොහෙද?

    ------------------------------

    තාරක Dilsh@n : එහෙමැයි? එහෙනම් එයාගෙන් අහගන්ට ඕනේ

    ------------------------------

    ඕනයා : චිකේ අයියා පොඩි කාලේ ඉඳන්ම කෙලිච්චියන්ටත් පල් වෙනවැයි?
    කෙලිච්චියෝනම් අපි වගේ අහිංසක නෑ තමයි. උන් මහා දරුණුයි කුරිරුයි.

    ------------------------------

    Chanaka Aruna Munasinghe : ආ.... එහෙනම් ඔන්න ඕකයි තේරුම!

    ------------------------------

    ItalyDilan : ඇයි අයියේ මං මොකක්වත් වැරදි දෙයක් කීවැයි?
    අප්පේ ඔය බාග කතා කියන්ට එපා අර ළමා සමාජේ උන්දැලා එයි!

    ReplyDelete
  17. පූසගෙ නැට්ටෙ -- ඒ කිව්වෙ වලිගෙ අර සිලි සිලි බෑග් එකක් ගැට ගහන්න ඕනි.. දුවන හැටි බලන්න ලොවෙත් නැතුව !

    ReplyDelete
  18. අනේ පව් අසරණ පුවා.... :)

    ReplyDelete
  19. හොඳයි දැන් පුසා කපටි ගෑනු ළමයෙක්ගේ අතින් අල්ලන් එක්ක යන්නැද්ද ?? හයේ හතේ කාලේ නම් කොල්ලෝ කෙල්ලෝ හරියට රණ්ඩු. ඩිංගක් ලොකු වෙද්දී බලන්න එපාය .

    ReplyDelete
  20. ඔබා මාමා : අප්පේ මං එච්චර නරක නෑ!

    ------------------------------

    weni : අප්පේ කියන කතා.....

    ------------------------------

    හසී : ඕං අක්කාට තේරුණා මගේ දුක.

    ------------------------------

    Bindi : තාම හොඳ කපටි ගෑණු ළමයෙක් මුණ ගැහුනේ නෑ අතින් අල්ලන් යන්න :D

    ReplyDelete
  21. පූසා හොඳ කථාවක්. අර ගල් එල්ලන කථාව බුද්ධිය නම් ටක්කෙටම දන්නවා ඇති. හැබැයි පුතෝ එක් අවවාදයක් දෙන්නම්. කපුටත් කියලා තියෙනවා ගල් සෙල්ලම හොඳ දෙයක් නෙමේ කියලා. දැන් අහන්න එපා ඒ මොකක්ද කියලා. ඒකත් අහපන් බුද්ධියගෙන් ම. ඌ දන්නවා ඒකත්.

    ReplyDelete
  22. පූසා, ඇති ප්‍රින්සිපල් ගැහුවෙ නැතුවා ‍රැවුල කපන්නැතුව ඉස්කෝලෙ ආවට. අර චිත්‍රෙන් දැක්කෙ. දැන් මම වැඩකරන ඉස්කෝලෙ කොල්ලන්ට ලෙඩ අදින ෆෝම් එකේ නියපොතු, කොන්ඩෙට අමතරව facial hair කියලාත් කොලම් එකක් තියෙනවා.
    ඔය පින්තූරෙ මරු ඈ?
    henryblogwalker the Dude

    ReplyDelete
  23. පූසා, ඇති ප්‍රින්සිපල් ගැහුවෙ නැතුවා ‍රැවුල කපන්නැතුව ඉස්කෝලෙ ආවට. අර චිත්‍රෙන් දැක්කෙ. දැන් මම වැඩකරන ඉස්කෝලෙ කොල්ලන්ට ලෙඩ අදින ෆෝම් එකේ නියපොතු, කොන්ඩෙට අමතරව facial hair කියලාත් කොලම් එකක් තියෙනවා.
    ඔය පින්තූරෙ මරු ඈ?
    henryblogwalker the Dude

    ReplyDelete
  24. හප්පට උඩු මේං ගලක් එල්ලගත්ත පූසෙක් !

    ReplyDelete
  25. තේරුම හොයා ගන්ඩ වටින කතාවක් පූසා.

    සුභ පැතුම් ඈ.... ජය වේවා..!!!

    ReplyDelete
  26. හ්ම්ම් පූසත් නරකම නෑ...

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...