එදා පොඩි ඕනැකමකට මම කුස්සියට ගිය වෙලාවෙයි මේ සිද්ධියට මට මුණ දෙන්න උනේ.
අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන දුවගෙන එද්දි මම හිටියේ කුස්සියෙයි.
අපේ තාත්තා “ සතුටු කදුලු” කියලා ටෙලි නාට්‍ටියක වැඩ කරන්න කියලා එදා කොළඹ ගියාට පස්සේ තමා මේ ඔක්කොම කරදර පටන් ගත්තෙ.
තාත්තා දවස් ගානක් ගෙදරින් පිට ඉන්න එකටනං මම කොහොමත් කැමති උනේ නෑ.
ඒක හින්දම තාත්තා, එයා එන දවස වෙනකං තියෙන දවස් කපන්න කියලා මට ගෙයි පිලිකන්න පැත්තෙ බිත්තියෙ ඉරි වාගයක් ගහලා දුන්නා. මට තියෙන්නෙ ඒවා එක දවසට එක ගානේ එකින් එක කපන්නයි. අන්තිම ඉර කපපු දා රෑට තාත්තා එනවා. ඒ මට මොකක් ම හරි අලුත් සෙල්ලං බඩුවකුත් අරං කියලා පොරොන්දු වෙලයි තාත්තා යන්න පිටත් උනේ. බාගදා මෙදා පාර තාත්තා එද්දි දොරවල් අරින්න පුලුවන් කාර් එකක් ගේන්න ඉඩ තියෙනවා කියලා මට නිකමට වගේ හිතිලයි තිබුනෙ.
කොහොම හරි මමත් කැමැත්තෙන් ඉරි කපන වැඩේ බාර ගත්තා. මොකද ඉරි කපලා ඉවර වෙන දාට තාත්ත සෙල්ලං බඩුත් අරං ගෙදර එන හින්දා.
ඒ උනාට මොකද, තාත්තා ගිය දා ඉදලා ඔරලෝසුවේ කටු ඔක්කොම කැරකුනේ හරිම හෙමීට!
දවස ගෙවෙන්නේ ඊටත් හෙමීට!
මට වෙලාව බලලම ඇති වෙලයි තිබුනේ. අනික මට කල්පාන්තරයක් විතර බලං ඉන්න උනා පලවෙනි ඉර කපලා දාන්න!
තාත්තා වැඩ කරන කන්තෝරුව දිහා බලන්නවත් මට හිතක් නෑ. ඒක හරියට කාලෙකට ඉස්සරින් අතඇරලා දමාපු ගොඩනැගිල්ලක් වගෙයි මට පෙනුනේ. රණවීර මාමලා, සුදත් අයියලා වැඩකරද්දි කරන විහිලු මට ඇහුනේ හරි ඈතකින් ඇහෙන “එක එක සද්ද” ගොඩක් වගේ.
මම එදා හවස කෙහෙල්කොටුවට පැනලා යාලුවොත් එක්ක සෙල්ලං කලාට මොකද ගෙදර එන්න යද්දියි මට ආයෙත් පාලු දැනුනෙ. ඇරත් ගෙදර ආපු හැටියේයි දැන ගත්තෙ අම්මත් සමිතියට ගිහිල්ලා කියලා. ඒ මදිවට කතන්දර සීයත් හරකා ගේන්න ගිහිං. ආච්චි විතරක් හවස් වරුවෙ පින්නට අහුවෙන්න නොදී මිරිස් වාගෙකුයි, කොප්පරා වාගෙකුයි ගෙට දානවා මම බලාගෙන.
මම වැලිගොඩ උඩට වෙලා කකුල් වලට වැලි වක්කරන ගමන් ඔහේ පාර දිහායි, තැපැල් කන්තෝරුව දිහායි සැරින් සැරෙ බලා හිටියා.
මට ලොකු බඩිගින්නකුත් ඇවිල්ලයි තිබුනේ. ඒ මදිවට මට බඩගිනිද කියලා අහන්නවත් කවුරුත් ඉන්න එකක් යැ!
ඔන්න එක පාරටම මට දුක හිතුනා. මගේ පපුවේ මොකද්දෝ හිර වෙනවා වගේ දැනුනා. මගේ ඇස් වලට කදුලු එනවා වගේ තේරුනා. ඒ හින්දා මම හිමිට එතනින් නැගිටලා ගැටුවේ ආච්චි දැක්කොත් මට උත්තර දීලා කෙරෝලක් දකින්න බැරි හින්දයි.
අනික මම දැන් බබෙක්යැ අඬන්න!
“කොහෙද මගේ පුතේ ඔය යන්නෙ..... දැං නේද ගෙදර ආවේ.......?” ආචිචි මාව දැක්කා.
මෙච්චර වෙලා ඉදලා ආච්චි අහපු දේට මට හොඳටම කේන්ති ගියා. අනික මට හොඳටම දුක හිතිලත්නෙ තිබුනේ.
“කොහෙවක්කත් නැ...’’ මම අඔ ගහ පැත්තට ගියා.
අඔ ගහේ නිතර දෙවෙලේ ඉන්න දෙබලක් බලාල, මේ තියෙන දුකයි, කේන්තියයි ඔක්කොම යන්නත් එක්කලා කාටත් ඇහෙන්න මම මහ හයියෙන් සින්දුවක් කියන්න ගත්තා.
මෙන්න මෙහෙම,
පුංචි මමයි කේතලේ - මහාතයි මිටියි
මේක මගේ අත - මේක මගේ කට
වතුර නටන කොටඅඅඅඅඅඅ - හඩක් ඇසෙයි මටටටටටටටටට
මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝ
මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝ
මාව ගන්නකෝකෝකෝ - වක්කරන්නකෝකෝකෝකෝකෝකෝකෝකෝකෝකෝ
හැබැයි ඔය අන්තිම පේලිය සින්දුවෙ නැ!
ඒත් මම වැඩිපුරත් එක්ක ඒ පෙලිය දාලා, වේගෙත් වැඩිකරලා, සද්දෙත් වැඩිකරලා, යටිගිරියෙන් බෙරිහන් දීලා ඒ කොටස කිව්වෙ මගේ තරහ වටේ පිටේ අයට පෙන්නන්නත් එක්කලා.
සින්දු කිවිල්ල කොහොමද කියන්නෙ මගේ උගුර දැවිල්ල අරගෙනයි ඒක නතර උනේ.
සින්දුව කිව්වට පස්සෙ මට පොඩි සැහැල්ලුවක් දැනුනට මොකද උගුර නං වස විදිහට දැවිල්ල ගත්තා. මට පුදුම තිබහක් දැනුනා. මම ගහෙං බැහැලා තනියම කුස්සිය පැත්තට ගියේ තේ එකක් වත් හදාගෙන බොන්න කියලා.
මමත් ඉතින් කුමාර වගේ තමා! ඕනැ වැඩක් බලාගෙන ඉදලා කරන්න පුලුවන්.
කවදාවත් තේ හදාගෙන බීලා නැති උනාට, මම තේ හදනවා බලං ඉදලා තියෙනවා ඇති වෙනකං!
මුලින්ම මම කලේ තේ මේසෙ ලගට මගේ බංකු පොඩිය ගෙනාපු එක.
ඊලගට බංකුවට නැගලා තේ මේසෙට දණිස්ස තියලා උඩ රාක්කෙන් සීනි බෝතලේ ගත්තා. ඒ වැඩේ නං මට එච්චර අමාරු නැ.
කව්රුවත් නැති වෙලාවට ඉදලා හිටලා මම සීනි “ඇබින්දක්” කන්න ඕනැ උනාම ඔය විදිහටයි මම සීනි බෝතලේ ගන්නෙ. අනික කැස්ස හැදුනම දෙන රතු පාට පැණිය මුඩියට දාලා බොන්නයි, සීනි ඇබින්දක් කන එකයි දෙකම කරන්න ඔය විදිහට රාක්ක දිගේ බඩගාලා මට පුරුදුයිනේ!
ඊට පස්සෙ උණුවතුර බෝතලෙන් මගේ බෙලෙක් කෝප්පෙට තේ වක්කරගත්තා.
ඊලගට සීනී!
සීනි බෝතලේ අඩියට වෙන්න සීනි පිරිලා තියෙනවා දැකලා මට එක පාරට “බකස්” ගාලා හිනාවක් ගියා. මොකද අපේ අම්මා කවදාවත් මේ සීනි බෝතලේ පිරෙන්න සීනී දාන්නැ. ඒ මට හැන්ද දලා සීනි ගන්න එක අමාරු කරන්න හින්දා.
ඉතිං මම කොහොම හරි අත දාලා සීනි ටිකක් අරං, කෝකටත් කියලා තේ එකට දාන්න කලින් ඇබින්දක් කටේ හලාගෙන බැලුවා! කව්ද දන්නේ මේවා සීනි වගේ පෙනුනට සීනිමද කියලා.
ඒ සීනි තමා!!!
සිනි ටික කටේම දිය වෙලා උගුර තෙමාගෙන යද්දි, ඔන්න මෙච්චර වෙලා කෑගැහිල්ලෙන් දැවිල්ල අල්ලලා තිබුනු මගේ උගුරට සීතලක් දැනුනා. ඉතිං මං වැඩි පරිස්සමටත් එක්කලා හැන්ද පුරෝලා අරං තව සීනි “හින්නිකිත්තරයක්” කටේ හලාගත්තා. ඒක දිවෙන් උඩුතල්ලට තදකරලා දියවෙන්න අරින ගමන් මම තේ එකට සිනි හැදි දෙකක් දැම්මා.
මම බලා ඉදලා තියෙන හැටියට අම්මත් දානේනේ සිනි හැදි දෙකයි. පස්සෙ ඒක හොදට දිය කරලා හැන්දට තේ චුට්ටක් අරං රහද බැලුවා.
මොන රහක්ද? මෙලෝ රහක් නැ! පල්ම පල් රහයි!
ඉතිං මම තව සීනි හැදි දෙකක් දැම්මා. ඒක දිය කරනකං මට වැඩකුත් එපැයි. ඒක හින්දා මම සීනි ඩිංගක් කටේ හලාගෙන කන ගමන් තේ එක කාල් ගැවා.
ඊට පස්සෙ මම ආයෙත් රහ බැලුවා. පුදුමෙ කියන්නෙ ඒත් මෙලෝ රහක් නෑ!
පස්සෙ, මම සීනි බෝතලෙන් සැහෙන්න පංගුවක් තේ එකට දැම්මා.
ඒත් කිසිම වෙනසක් උනේ නැ!
මේ තේ එක මම රහට හදන එකත් හදනවාමයි කියලා, මටම පොරොන්දු වෙලා අන්තිම සීනි බින්දුවත් සුරලා මම තේ එකට හැලුවා.
පස්සෙ මම හැන්ද තේ එකට දාලා දියකරන්න ගියාට මොකද හැන්ද මඩේ ඇනපු ඉන්නක් වගේ සීනි පිරිච්ච තේ එකේ එරුනා. ඒත් මම උත්සාහය නං ඇත් ඇරියේ නැ! කොහොම හරි එක අතකින් කෝප්පෙ අල්ලං අනිත් අතින් අමාරුවෙන් හැන්ද තේ එකේ හෙලෙව්වා.
පුදුමෙ කියන්නෙ ඒත් කිසිම වෙනසක් නොවෙච්ච එකයි! අර පල් රහ වැඩිවෙනවා ඇරුනම.
ඊට පස්සෙ නං මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා මම දැන ගත්තා. සීනි බෝතලේ සීනිත් ඔක්කොම ඉවරයි.
ඒත් මම සිනි බෝතලේ දිහාවෙ බලද්දි මම දකින්නැතුව අඩියෙම ඉතුරු වෙලා තිබුනු තව සීනි ඇට දෙකක් සීනි බෝතලේ ඇතුලෙ ඉදගෙන, “අනේ අපිවත් එලියට ගන්නකෝ. අපිවත් එලියට ගන්නකෝ” කිය කියා කැ ගහනවා මම දැක්කා.
ඉතිං මම ඒ සීනි ඇට දෙකවත් දාලා තේ එක රහ වෙයිද කියලා බලන්න සීනි බෝතලේට හැන්ද දැම්මා.
එතකොටම හරි පුදුම වැඩක් උනා.
එකපාරටම තේ මෙසේ, මගේ තේ එකයි, සීනි බෝතලෙයි, අනිත් ලට්ට ලොට්ටයි ඔක්කොම අරං අහසට පැන්න. මම සීනි බෝතලේ අන්තිම බින්දුව ගන්න යද්දිමයි මෙසේ මගේ ඇස් දෙක ගාවින් උඩට ගියේ. ඒ යනවත් එක්කම වගේ මහා ගාන්ඨාර සද්දයක් මගේ කන්දෙක ගාවින් ඇහුනේ මගේ එක වැලමිටක් හිරිවට්ටගෙනමයි.
ඒ සද්දෙට තමා අපේ ආච්චි “මයේ පුතේ……..මොකද්ද ඒ සද්දේ?” කියාගෙන කුස්සියට දුවගෙන ආවා.
මම මුලින් හිතුවේ පියාඹන පීරිසියක් ඇවිල්ලා අපේ ගෙදර තේ මේසෙයි, බෝතල් රාක්කෙයි ඒ ගොල්ලන්ගේ අගුටුමිටි ලෝකෙට අරං යන්න ඇති කියලයි.
ඒත් සිද්ද වෙලා තිබුනේ වෙන දෙයක්.
මම දන්නෙ ම නැතුව මගේ බංකු පොඩිය අයිනට ඇවිල්ලා මාව බිමට වැටිලා. මගේ වැලමිටේ හාල් හෝදන කොරහ වැදිලා තියෙනවා. අන්න ඒකයි මගේ වැලමිට හිරිවැටිලා තියෙන්නෙ.
කොරහ ගිහිං ඇලුමිනියම් කලගෙඩියෙ වැදිච්ච පාරටයි ගාන්ඨාර සද්දක් ඇහුනේ කියලා මම තේරුං ගද්දියි, ආච්චි කම්බුලට අත තියාගෙන ඉන්නවා මම දැක්කෙ.
“දෙවියනේ.................................................... අතක් පයක් කඩාගන්න ද ළමයෝ යන්නෙ.....? ඔය මක් කරන්න ගියාද?” ආච්චි කම්මුලට අත තියාගෙන හුල්ලන්න පටන් ගත්තා.
“මට තේ තිබහයි..... මම තේ එකක් හදාගන්නයි ගියේ......ඇයි අප්පා බඩගිනියි ඉන්ඩ බෑ මෙතන......තේ එකක් හදලා දෙන්ඩවත් කවුරුවක්කත් නැනේ...” මම බිම ඉදගෙනම ආච්චිට මගේ තරහා පෙන්නුව.
“තේ එකක්..... දෙඑ...වියනේ.......”කියාගෙන ආච්චි මාව නැගිට්ටෝලා, අර මම යස අගේට හද හදා හිටපු තේ එක අරගත්තා.
“හතරවරං දෙ.......වියනේ........ මේකට සීනි හැදි කියක් දැම්මද...... ළමයෝ........?” ආච්චිගේ ඇස් දෙක බිත්තර දෙකක් වගේ ලොකු වෙලා, සුදු වෙලා.
“කීයද්දෝ මන්දා දැම්මා ඉතිං....... මට ඒක මතකත් නෑ දැං.........” මම වැලමිට වැටිලද කියලා බලන ගමන් කට උල් කරලා කිව්වා.
“කීයද්දෝ මන්දා දැම්මා.........?! මෙකේ තේ වලට වඩා සීනී නේද තියෙන්නෙ..... දෙවිය.......නේ? මෙහෙමත් කොල්ලෙක් අම්මපල්....................ලා........! ඉතිං වැටුනේ මක් කරන්නද ගිහිල්ලද ළමයෝ.........?” ආච්චි දෙවියන්ට මං ගැන කේලං කියන්න ගත්තා.
“වැටුනේ අන්න අර අන්තිම ඇට දෙකත් දාන්න ගිය හින්දනේ......... කොච්චර සීනි දැම්මත් තේ එතේ රහ ආවෙ නෑනෙ ඒකනේ.........?
“රහ..... රහ තමයි කටේ සීනි පුරොවං කොච්චර රහ බැලුවත් රහ තේරෙනවද චුටි මහත්තයා......?!”
“නැත්තෙ මොකෝ.......” කියන්නත් මට ඔන්න ගෙජ්ජි සද්දක් ඇහෙන්න ගත්තා.
අලි මදිවට හරක් කියන්නැහේ සීයත් හරකා අරං ඇවිල්ල ද කොහෙද?
දැං ඉතිං සියට ආච්චි මේ කතාව කියයි. මගේ තේ එකත් පෙන්නයි. තව වැල් වටාරං ගොඩාක් කියයි. ඒ ඔක්කොම කියන කං මට මෙතන බලං ඉන්න වෙයි.
ඉතිං ඒ ගොල්ලංට මම ගැන දුක හිතෙන විදිහට හරි, අනුකම්පා හිතෙන හැටියට හරි, මගේ මුණ සැරින් සැරේ වෙනස් කර කර ඒ මුලු වෙලාවෙම මට මෙතන කල් මරන්න වෙයි.
අන්තිමට කතන්දර සීයා, “ඇට දෙකක් දාන්න ගිහිල්ලා අපේ චුටි මහත්තයට වෙච්ච වැඩක්” කියලා විහිලු කරන්න තියා ගනියි.
ඉතිං මට මෙතනින් ගැලවිලා යන්න ඕනැ උනා. මම දහ අතේ කල්පනා කලේ, සියා මේ පැත්තට එන්න කලින් මෙතනින් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවද කියලා.
අන්තිමේ මට හොඳම විසඳුම මතක් උනා!
ඒ මෙතනින් පැනලා දුවන එක.
ඉතිං මම ආච්චි ගාවට හිමින් හිමින් ඇවිල්ලා එතනින් පඩියට පැනලා ඔහොම්ම මිදුලට පැනලා දිව්වා.
මේ ඔක්කොම කරදර උනේ තාත්තා ගෙදර හිටපු නැති හින්දා නේද කියලා මට කල්පනා උනා. තාත්තා එනකං මට තව කොච්චර අකරතැබ්බ වලට මුණ දෙන්න වෙයිද කියලා හිතෙන කොටත් මට කේන්ති එනවා. තාත්තා ඉක්මනට ගෙදර ආවානං මේ ඔක්කොම කරදර ඉවර වෙනවා නේද කියලා මම කල්පනා කලා.
ඒක හින්දා මම අර තාත්තා ඇදලා දුන්නු ඉරි කෑලි ගාවට ගිහිල්ලා එකම එක ඉරක් කපලා දැම්මා!
පස්සෙ ඕනැ දෙයක් වෙද්දෙන් කියලා තව එකක් කැපුවා!!
ඊට පස්සෙ තවත් එකක්!!!
ඔන්න ඊලග එකත් කැපුවට පස්සේ තාත්තා ගෙදර එන්න තිබ්බෙ තව එක දවසයි!!!!
............................................
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා
කෝක වෙතත් ඔය විදිහට හදන රසම රස තේ ,මැරියන් නඟාට නම් දෙන්න එපා මලයෝ,
ReplyDeleteඅර විදිහේ සිංදු තාමත් කියනවැයි,,, මම හිතන්නේ ඔය සිංදුව අහපු කට්ටිය තාත්තාට පණිවුඩයක් යවන්න ඇති ඉක්මනට එන්න කියලා,,,,,,,,,,,
ඉරි කපල ඉවරද දැන්???
ReplyDeleteඅනේ අපි වගේමයි.... හොරෙන් තේ හදල නම් නෑ. ඒත් අර කකුලට වැලි වක්‌කරගන්න එක....අවධානය ගන්න සින්දු කියන එක....අම්ම එනකන් බලන් හිටපු හැටි......චූටි මහත්තයා ට පින් හරියට ටයිම් මැශින් එකක් වගේ ඒ කාලෙට අපිව ගෙනියන වට
ReplyDeleteචූටිමහත්තයට දියවැඩියාව නොහැදි බේරිච්ච එක ලොකු දෙයක්.
ReplyDeleteකවුරු කොහොම කිව්වත් බුද්ධියෝ මම නං හිතන්නේ උඹ හරි..
ReplyDeleteඔකට ඇට දෙක දැම්මානං තේ එකේ රසේ හරියන්නත් තිබුනා..කොහෙද..? කවුරුවත්ම උඹට උදව් කරලා නැහැනේ ඇට දෙක ඔකට දාන්න...
ඇට දෙක දැම්ම නම් ඉතිං තේ නෙමෙයි බොන්න වෙන්නෙ රා.
Deleteතාමත් කපන්නෙ ඉරි ද චූටි මහත්තයෝ......
ReplyDeleteහින්නි ගෙදර මහත්තය හින්නික් විතර බීවම හින්නික් විතර සුද්ද සිංහලෙන් කතා කරනව...
ReplyDelete“හින්නිකිත්තරයක්” හ්ම් අපේ පැත්තේ වචනයක්...හැබැයි පොඩ්ඩක් වෙනස් "හින්නික්විතර"....
"හින්නික් විතර " කියන්නේ පුංචිම පුංචි ප්‍රමාණයක් ( ඇයි අර පුංචි කුඹින්ට කියන්නෙත් "හින්නා" කියල) අර මම කලින් කීව හින්නි ගෙදර මහත්තයගේ හින්නික් විතර වැඩ නිසා මම හිතුවෙ හින්නික් විතර කියන්නේ විශාල ප්‍රමාණයක් කියල.
හරිම ලස්සනට ලියල තියෙනවා.... ලස්සනම ලස්සනයි... කියවන්නන් ඇඳ ගන්න යොදා ගන්න ක්‍රමය නම් නියමයි ..
ඒත් මම මේ කල්පනා කරන්නේ " මොකද තේ එක පල් රහ වුනේ " කියල...
මම නම් තැමත් සීනි හොරෙන් කනවා. ඒක නියම ආතල් වැඩක්. කොහොමත් හොරෙන් කනකොට රසයි නෙ.
ReplyDeleteඑල...
ReplyDeleteබැලින්නං බොලේ ලන්කාවෙ සීනි පරිභෝජනයෙන් තුනෙක් එකක් විතර අදින්නෙ කෙසෙල් කොටුව දිහාවටනෙ.....
ReplyDeleteමගෙ චුච්චං සීනි බෝලෙ.....!!
උඹේ ඔය අඹ දෙබල වගේම අපේ ගෙදර තිබුනු සියඹල ගහේ කරටියේ දෙබලක තමා මමත් මගේ නැන්දලගෙ කොළුවො දෙන්නත් දවසේ කාලයෙන් වැඩි හරියක් ගෙව්වේ.
හැබැයි ඉතින් ගොඩක් වෙලාවට මම ඒකට නගින්නෙ මොකක් හරි නසරාණි වැඩක් කරලා අම්ම ගහන්න එළවං එනකොට තමා. උදේ නැග්ගහම ආපහු බහින්නෙ හවස් වෙලා. එතකං පැගිච්ච සියඹලා (සීනි සියඹලා) කකා ඉන්නවා.
ගොඩක් වෙලාවට වගේ ගුටි කන්න වෙන සීන් තමා සීනි බෝතලේ කටේ හලා ගත්තහම. ගොඩක් වෙලාවට සීනි සහ පිටි කලවං කරං කෑවහම, එහෙම නැතිනම් ජෑම් බෝතලේට වැඩක් දුන්නහම....
ඕකනෙ කියන්නෙ උඹ ලියන්නෙ මගේ කතාව කියලා....
ඇත්තටම බලපුවාම අපි හැමොගෙම ලමා කාල ගෙවිල තියෙන්නෙ හරිම අපුරුවට එක වගෙම නේද?
ReplyDeleteඅනේ බුද්ධියො උඹ ලියනව එළම එළ බං...ලඟ පාතක හිටිය නං අර අපේ අත්තම්මා දෙනව වගේ ඔලුව අල්ලගෙන උම්ම එකක් දෙනව උබට තුනුරුවනේ සරණයි කියල
හික් හික්. සීයා අර කියමන දිගටම කියං ආවනං හොඳා! :D
ReplyDeleteමමත් කල්පනා කලේ ඔච්චර සීනි දාලත් තේ එක පල් රහ වුණේ ඇයි කියලා... චූටි මහත්තයා උණු වතුර වෙනුවට ඇල් වතුරද දැම්මේ..?
ReplyDeleteහ්ම්ම් මදැයි තේකක් රස බලන්න ගියා... මමනම් තාමත් පිටියි සීනීයි කලවම් කරලා කනවා අම්මා කුස්සියේ නැති වෙලාවට.. :D
ReplyDelete"සයිබර් යායෙ" කතාවලට කොමෙන්ටු දාන්න මම දන්න සිංහල මදි චූටි මහත්තයෝ...
ReplyDeleteමේවා නම් මැවිලා පේනවා... මගේ මතකයනුත් එක්කම...
මොනා වුනත් නමටම ගැලපෙන බුද්ධිය... හික්
ReplyDeleteඉතින් බන් එක දවසකට පස්සෙ තාත්තා ආවයි ?
ReplyDeleteඅප්පෙ මමත් අතීතයට ගියා තරහවෙලා ගස් උඩ හිටපු කාලයක් මටත් තිව්නා නොවැ.
අර මාරයා කියල තියෙනවා වගෙ බෝතලෙ ඉතිරි වෙච්ච ඇට දෙකත් දැම්මනම් තේ එකෙ පල් රහ නැති වෙන්ටත් තිබුනා...
ReplyDeleteමරු තේ හැදිල්ල.....අම්මා නැති වෙලාවක උත්සහා කරලා බලන්න ඕන මටත් ඒ වගේ තේකක් හදාගන්න........
ReplyDeleteඕකට කහට දැම්මෙම නැද්ද?
ReplyDeleteපහුවෙනිදම තාත්ත ගෙදර එන්ඩ ඇති නේද?
ReplyDeleteහි හි......
ReplyDeleteහිහ් :) අදත් කතාව හරිම රසවත්..
ReplyDeleteඔයා නියමම කතන්දර කාරයෙක් ..
මේ, මේ කතා එකින් එක ළමා කතා විදිහට පළ කලොත් මොකද? පොඩ්ඩක් හොයල බලන්න ඔය සිරිසුමන ගොඩගේ, හරි සරසවි මහත්තුරුන්ගෙන් ...
මොකද අන්තර් ජාලය නැති පොඩි ළමයින්ට මේ කතා මඟ හැරෙන එක හරි පාඩුවක්.
සිබිල් නැන්දා උනත් ලියන්නෙ ඔය වගේ සරල සිද්ධි තමා. ඒත් අපි ඒවා කොච්චර ආදරයෙන් වැලඳ ගන්නවද.. ඔයාගෙ කතාත් එහෙමයි.
ෂාහ් නරකද ඔය තේ එකටත් පේටන්ට් බලපත්‍රයක් එහෙම ගත්තානං
ReplyDeleteනියම කතාව බුද්ධි
ReplyDeleteමෝඩයා, ඉරි ටිකඔක්කොම එක පාර කැපුවනම් තාත්තා එදාම ගෙදර
ReplyDeleteඅපරාදෙ හැබැයි අච්චර සීනි ගොඩක් නාස්ති කරන්න කලින් අර ඇට දෙක මුලින් දාලා බලල ඉන්න තිබ්බා.
ReplyDeleteඅනේ සුදු අයියේ මේ හිනාව නවත්තගන්න විදයක් කියපංකෝ. අර ඈට දෙක දාගත්තනම් හරි යයිද මන්දා. බලමු ට්‍රයි කරලා.
ReplyDeleteමම අලුතෙන් සෙට් උනේ..... වැඩේ එල. මෙහෙම හැමෝටම ලියන්න බෑ. මොකද භාෂාව ගැඹුරින් හදාරපු කෙනෙක්ට විතරයි ඒක කරන්න පුළුවන්. සමහර විට බුද්ධි ඔයාට ඒගැන කොලකෑලි නැතිවෙන්න පුලුවන්. ඒත් ඒ දැනුම එන්නේ ඔයාලගේ ජීවිත වල සිටිය පරණ චරිත හරහා. වචන වල සියුම් උපහාසය උළුප්පලා ගන්න පුලුවන් වෙන්නේ අන්න ඒ සහසම්බන්ධය උඩ කියලයි මට හිතෙන්නේ. ඒ කොහොම උනත් සිංහල සාහිත්‍යයේ ඔයාට හැඩයක් හැදෙමින් පවතිනවා කියලා මට හිතෙනවා. ඒකට මගේ ආචාරය. හැබැයි අර උඩින් කෙනෙක් කියලා තියෙන පොත් කාරයෝ ගාවට යන්න එපා. මේවාගේ ඒවට ඒ සිස්ටම් එක ඇතුලේ කැටගරියක් නෑ. තමන්ගෙම ප්‍රින්ට් එකට යන්න විවස්ලත් එක්ක. චිත්‍ර අදින්න වෙක්ටා බේස් සොෆ්ට් වෙයා එකකට යන්න මෙයිට වැඩිය ප්‍රතිඵල දායක වේවි. ඒ වගේම ඕපන් සෝස් වල තියෙන my paint (http://mypaint.intilinux.com/?page_id=6)ගොඩාක් වැඩ කරන්න පුළුවන් බලන්න.
ReplyDeleteජය වේවා
indrajith90
hmmm අද නම් මම හොඳටම පරක්කුයි.. සීනි ඇට දෙකක්ම තිබ්බා කියල හොඳටම ෂුවර් නේද?
ReplyDeleteඒක නෙවි සම්මානයට සුබ පතන්න බැරි වුනා.. එකක් නෙවි දෙකක්මනේ..
හද පත්ලෙන්ම උණුසුම් සුබපැතුම්..
ජයවේවා..
-කාංචන දිනූක
දුමියා කිව්ව වගේ මමත් පොඩි කාලේ සීනි විතරක් කෑවේ නෑ.
ReplyDeleteකෑවේ පිටියි සීනියි දෙකම කලවන් කරගෙන.
දැනටත් ඉඳලා හිටලා එහෙම කාලා බලනවා පොඩි කාලේ කාපුවගේ රස මතක් කර ගන්න.
නියමයි බුද්ධියෝ.
සුපර්බ්. මැක්සා ලියවිල්ල.
ඔය ඉරි කපනවා කිව්වම මට තව කතාවක් මතක් වුනා. හික් හික්... සමහරවිට උඹත් ඒක දන්නවා ඇති. ;-)
ReplyDeleteපස්සේ තාත්තා දොරවල් අරින කාර් එකක් ගෙනාවැයි?
ඔයාගේ ළමා කාලය ඔයා හරි අපූරුවට අකුරු කරනවා අයියේ...සමහර ඒවා කියවලා හිනාවෙන සද්දෙට ගෙදර කට්ටිය ඇවිත් අහනවා පිස්සු හෑදීගෙන එනවද කියලා......
ReplyDeleteහරිම හැඩට ලියනව නෙව. මටත් ඔය වගේ ජොලි පුංචි කාලයක් අම්මයි තාත්තයි රස්සාවට යන හන්ද ගමේ ආච්චිලගෙ ගෙදර නවතපු කාලෙ තිබුන කියල මතක් උනා.
ReplyDeleteකෙහෙල් කොටුව පැනලා කෙහෙල් ගෙඩියක් කැවානම් ඉවරනේ.. අහවල් එකකටයැ තේ එකක් හදලා ඒකට ඇට දෙකක් දාන්න ගියේ.. මම කීවේ මේ සීනී :P
ReplyDeleteහරිම ෂෝක් තේ හදපු හැටි.... !!
ReplyDeleteකලෙකට පස්සේ මේ පැත්තේ ආවේ....
ඉරි 20ක්ම කපල ඉවරයි. ඒත් මේ චූටි මහත්තය අයිය ඊලඟ පෝස්ට් එක දාල නෑනෙ තාම...
ReplyDeleteඇට දෙක ගැන ලිව්ව ලිව්වමයි. මොකෝ ඊටපස්සෙ සද්දයක් නැත්තෙ?
ReplyDeleteපට්ටයි...
ReplyDeleteචූටි මහත්තය ෙකාෙහ ගිහින්ෙදා්...?
ReplyDeleteඑදා ඔබේ තාත්තා වගේම ඔබටත් ඉතා නුදුරු දිනක සතුටු කඳුළු නම් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට ලැබේවා යැයි ඉත සිතින් පතමි.
ReplyDeleteඅර එදා කිව්වා වගේ වෙන වෙනම කමෙන්ට් කරන්න යි මම වැඩිය කැමති. ඒත් අදත් ඒක කරන්න වෙන්නැ!
ReplyDeleteපැමිනි සියලු දෙනාට ස්තුතියි!
ළඟදීම ආයෙත් කතාවක් බලාපොරොත්තු වන්න.
චූටි මහත්තයා නිසා මමත් පොඩි කාලයට නැවත ගියා..
ReplyDeleteචූටි මහත්තයා ලස්සනට ලියනවා, ඒ වගේමයි මාතෘකා මල් හතයි, බැලූ බැල්මට හිතෙන්නෙ වෙන දෙයක්..:D
තව එකම එක ඉරක් විතරක් ඉතුරුයි නෙහ්!!!
ReplyDeleteඑලස්.. කියලා වැඩක් නෑ.. උපරිමයි..
ReplyDeleteහුරේ 2010 ඉවරායි.... !!!
ස්තුති වේවා
ReplyDelete