ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2010/04/30

සයිබර් යාය වසා දැමේ | සතුටින් සමුගන්නෙමි!

ඔන්න අදත් මම සුපුරුදු පරිදි ආවා. ඒත් අද කතන්දර නෑ. අර උඩින් තියෙන හෙඩිමට අනුව ''සයිබර් යාය වසා දැමේ!'' කියලා කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

ඒකට හේතු ගොඩයි.

මගේ සයිබර් යාලුවෝ කීප දෙනෙක් දන්න පරිදි මට දැන් කරන රස්සාවට අමතරව සංස්ථාවක් හිමිවූනා. ලැබුනු සංස්ථාව ගැන අපේ සයිබර් යාලුවෝ සමහරක් නං දැනමටත්දන්නවා. දැන් ඉතිං ඉදිරියේ දී ඒ සංස්ථාවේ වැඩ කටයුතුත් මට කරන්න වෙනවා.

ඔය සංස්ථාවේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න මැයි මාසේ 1වෙනිදා ඉදලා මාසයක විතර කාලයක් ''මැලේසියාවේ'' සංචාරය කරන්න අවස්ථාවක් මට ලැබුනා. ඒක හින්ද හෙට ''අර්ලි ඉන් ද මෝනිං'' මම කටුනායකින් මැලේසියාව බලා පිටත්වෙනවා.

අන්න ඒ හේතුව හින්දා මට ''සයිබර් යාය'' වහලා ​දාන්න වෙනවා.

ඔන්න එහෙනං නිල වශයෙන් මම ''සයිබර් යාය'' වහල දැම්මා!

පසුව ලියමි.

ඔය පහල තියෙන්නෙ මම ලියපු කතාවලින් තෝරලා ගත්තු, මමත් ආයේ කියවන්න කැමති කතා ටිකක්!

සයිබර් යාය වහල දැම්මත්, මම ලියපු, ඔබ කියෝපු, මේ පහල තියෙන කතන්දර වල මම හැමදාම ඔයාලත් එක්ක ඉදීවී.......,

01. ටොපි කොල හතලි​හේ කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුනු තව තැනක්
02.
කදිර පෝතක කතා වස්තුව | පොඩි කාලේ මගේ මොලේ හිරවුණු තවත් තැනක්
03.
බොරලු රොකට්ටුව | හිහ්....හී... මගේ පළමු නව නිර්මාණය චිත්‍රත් එක්කම
04.
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල්කොටුවේ චූටිමහත්තයා | සිත්තරෙත් එක්කම
05.
මගේ පළමු රාජකාරී ලියුම | මාලනී ටීචර් කියල දුන්නු විදිහටම
06. බබුරු ආච්චිට ආපු ටෙලිග්‍රැම් එකේ තිබූ පෑගුන අකුරු | වැඩිහිටියන්ට සැලකීමට ගියෙමි.

තවත් දෙයක්,

මම ''සයිබර් යාය'' වසා දැම්මත් ඔබට මමත් එක්ක මූණුපොතෙන් හමුවෙන්න පුලුවන්. කැමති කට්ටිය බ්​ලොග් එකේ මුදුනෙ දතුණු පැත්තෙ ඔය උඩින් තියෙන ''එන්න යන්න Facebook'' කියල තියෙන බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න. මේ තියෙන්නෙ මං එතන ඉන්න විදිහ,



මම හිතං ඉන්නෙ මගේ සයිබර් යාලුවන්ට බලන්ට මැලේසියාවේ දී මම යන එන තැංවල පින්තුර ටිකක් මූණුපොතේ දාන්න කියලා. ! එහෙනං මම ගියා.

ආ..... තව දෙයක්,

මම අර සයිබර් යාය වසා දැමේ කිව්වට ඒක වහන්නෙ මම මැලේසියාවේ ඉන්නකං විතරයි හොදේ.... ආපු හැටියේ ආයේත්
''චූටිමහත්තයා'' කතන්දර කියයි. වරද්දන්නැතුව එන්ට ඕන හොදේ. එහෙනං මම ගිහිං එඥ්ඤං!

හෆෝයි තව ටිකෙන් වැදගත්ම කොටහ අමතක වෙනවා නොවැ,

ඔය මැලේසියාව පැත්තෙ ගිහිල්ල තියෙන කට්ටිය කියන්කො එහේ බලල හදල එන්න තියෙන ලස්සන තැං මොනාද කියලා.

ආ...හා... පොරකන්නෙ කව්ද ඔය ඕක කියන්න! ඒක ඔය පහල තියෙන කොටුවේ හීන් සිරුවේ ලියලා යන්නකෝ!!

ආ..... කෝ මේ 27 පාරක් මැලේසියා ගිහිල්ලා තියෙන තරිදුවා.

2010/04/25

බබුරු ආච්චිට ආපු ටෙලිග්‍රැම් එකේ තිබූ පෑගුන අකුරු | වැඩිහිටියන්ට සැලකීමට ගියෙමි.

සුපුදුරුදු ආකාරයට අනං මනං නැතුව සුට්ටං කතන්දරයක් අදනං දානවමයි කියලා හිතාගෙන කොම්පියුටරේ ලග ඉදගත්තෙ.

අවුරුදු කාලා, සවාරි ගිය හින්දම නෙමෙයි මේ දවස් වල වැඩ එකසිය ගානට. ඒක හින්දා බ්ලොග් පෝස්ට් දානව තියා සිත්තරයක් ඈදගන්ටවත් හරිහමං වෙලාවක් හොයා ගන්ට අමාරුයි. මේ ''නිවී හැනහිල්ලෙ ඉන්ට කැමති කොලු ගැටය'' මෙච්චර බිසි වෙන්ට හේතුව සයිබර් යාලුවෝ කීපදෙනෙක් සහසුද්දෙන්ම දන්නවා. සමහරුන්ට නං හිතාගන්නත් පුලුවං වෙයි.

වැල් වටාරං වලින් පස්සෙ කතාව පටන් ගන්නයි යන්නෙ.

ඔන්න එකෝමත් එක කාලෙක, ඒ කියන්නෙ 80 ගනන් වල මෙහා කෙරෝලෙ ම විතර තැපැල් කන්තෝරුවක තැපැල් මහත්තයෙක් හිටියා. ඒයාට ඒ ගමේ කව්රුත් සැලකුවා. ඒ ඒයා රාජකාරි වෙලාවෙන් පස්සෙ උනත් ගමේ කාටත් උදව් පදව් කරගෙන හිටපු නිසා.

ඒක නිසාම අඔ ගස්වල පේර ගස්වල ඵලදාව උනත් එයාට ගමේ කට්ටිය ගෙනත් දෙනවා පුලුපුලුවං හැටියට. එයාගේ ගෙදරට උදේට ගෙනත් දෙන එලකිරි වලට උනත් වතුර කලවං වෙලා තිබුනෙ අඩුවෙන්!

ලියුමක් කියවගන්ට, ඉල්ලුම්පත්තරයක් පුරවන්න එහෙමත් ගමේ කට්ටිය හොයාගෙන එන්නෙ ඔය තැපැල් මහත්තයවමයි. ඒයා ඈරුනම මුලු ගමටම ඔය වගේ වැඩ කරගන්න හිටියේ තව දෙන්නයි. එක්කෙනෙක් ඈම්. ඒ. රණවීර!!! ඒයා ග්‍රාම සේවක කියලා මගේ පළමු රාජකාරි ලියුම කියෝපු ඔයාලා දැනටමත් දන්නවනේ. අනික් කෙනා පන්සලේ හාමුදුරුවෝ. උන්නාන්සෙ ගැන නං මට තාම ලියන්න බැරි උනා.

ඔය තැපැල් මහත්තයට හිටියා හුරුබුහුටි කීකරු පුංචි පුත් රුවණක්. එයාගේ නම බුද්ධි උනාට, එයාට අර තැපැල් මහත්තයයි, තැපැල් මහත්තගේ නෝනයි දෙන්නම වගේම ගමේ අයත් කිව්වෙ චූටි මහත්තයා කියලා.

ඔය චූටි මහත්තයි, එයාගේ තාත්ත තැපැල් මහත්තයයි එකතු වෙලා ටොපී තර​ගෙට ටොපි කොල යවල උනු
ඈබැද්දිය ටොපි කොල හතලිහේ කතා වස්තුව කියොපු අය දන්නවා, කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා ලාස්ට් එපිසෝඩ් එකේ තිබ්බෙ චූටිමහත්තයගේ පොඩි අත්වැරද්දක් හින්දා තැපැල් මහත්තයට වෙච්ච වැඩක්.

මම අද කියන්න යන කතාවේ අර පුංචි පහේ ඈබැද්දියට මූණ දුන්නෙ මමවත්, තැපැල් මහත්තයා වෙච්ච තාත්තවත් නෙමේ.

ඔන්න එක දවසක් අපේ ගෙවල් ගාව ඉන්න බබුරු ආච්චිට හැන්දැ කොරේ ටෙලිග්‍රැම් එකක් ආවා. ඒ කාලේ ටෙලිග්‍රැම් එකක් කාගේ හරි ගෙදරකට ආවා කියන්නෙ ඉතිං සොරිම තමා. ගමේ මිනිස්සු හිතං හිටියේ ටෙලිග්‍රැම් එකක් කියන්නෙ කාගේ හරි මරණ වාර්තාවක් කියලා!

ඒ වෙලාව වෙනකොට පියුම් මාමත් වැඩඈරිල ගෙදර ගිහිං. වෙනදට පියුං මාමා නැති වෙලාවට තැපැල් ස්ථානාධිපතිකම පැත්තක දාලා තාත්තාම ටෙලිග්‍රැම් අරං ගියත් තාත්තට මොකක් හරි වැඩක් තියෙන නිසා,

''මෙන්න මේ ටෙලිග්‍රැම් එක බබුරු නැන්දා ආවම අතටම දෙන්න, මං පණිවිඩයක් යැව්ව එන්න කියලා'' අම්මට කියාගෙන තාත්තා යන්න ගියා.

''ඔයා මෙ හරියෙ ඉන්නවනේ චූටි මහත්තයා. බබුරු ආච්චි ආවොත් මට කතා කරන්න............'' කියලා අම්මා කන්තොරුව පිටිපස්සෙ අපේ ගෙදර කුස්සියට ගියා උයන්න.

මං මගේ වෙහිකල් එකේ ඩිකියට දාගන්න කන්තෝරු කාමරයේ මට අවශ්‍ය කරන ලිපිදුව්‍ය ටිකක් හොය හොය ඉන්න කොට බබුරු ආච්චි ආවා, හැරමිවටියත් ඈනඈනා.

''අම්ම්.......... බබුරු ආචිචි ආවෝ................... මම අරක දෙන්නද?''

''හා...හා.... අතටම දෙන්න''

මම ටෙලිග්‍රැම් එක අත්දෙකෙන්ම අරං බුලත් හුරුල්ලක් දෙන්නැහේ,

''ආ... ආච්චියේ මෙන්න ටෙලිග්‍රැම් එකක් ඈවිල්ලා'' කියලා ආච්චිට දික් කලා.

මෙන්න බොලේ ආච්චි බය වෙච්චි,

'' අනේ මේ මොකෝ මයේ රත්තරං පුතේ මට ටැලිගැරං එකක් ඈවිල්ල තියෙන්නෙ''

''දන්නැ ආච්චියේ කියෝල බලන්ඩකෝ''

''අනේ මයේ පුතේ මං අකුරු දන්න එකක්යෑ.... අනික ඕක අරං මට තැංතැංඔලට යන්න වෙලාවකුත් නැනේ පුතේ මේ වෙලාවේ, මයේ පුතාම ඕක කියවන්ඩකෝ මට ඈහෙන්න''

අප්පට සිරි...... දැං මොකද කරන්නෙ, මට තාම කියවන්න පුලුවං අච්චුපොතේ තියෙන තඩි අච්චු අකුරු විතරනේ.

අනික තාත්තා ටැලිෆෝන් එක උරහිස්සෙන් කණට තදකරාගෙන ''චාලි, ආතර්'' කිය කියා ලියන අකුරු මෙලෝ බබෙකුට කියවන්න බැහැ කියලා මං බබුරු උන්දැට කොහොම පැහැදිලි කරන්නද? අකුරු නොදන්න උන්දැ​ට, මේ හරක් පට්ටියකට පැගිලා වගේ තියෙන ටෙලිග්‍රැම් එකේ අකුරු වලයි, අචිචු අකුරු වලයි වෙනස පෙන්නුවැකියැ!!

දැං ඉතිං මගෙ අභිමානයට කැලලක් නොවෙන්නයි, බබුරු උන්දැගේ උදව්වටයි, දෙකටම හරියන්න මම කොලේ අරං තාත්තගේ කන්තෝරු මේසෙට නැගලා කියවන්න ගත්තා. ඔය තියෙන්නෙ ඒ අවස්ථාව විදේසීය සිත්තරා ඈදපු විදිහ. (මිනිහත් ​මේ දවස් වල හොදටම බිසිලු. )



මම කොලේ අතට අරං, ''එ.....වි.....ජී.....නු....'' කියලා හරි අමාරුවෙන් ගැටගහගත්තා විතරයි .

''මොනවා එවිජීනු, අයියෝ මගෙ කොල්ල? මක් වෙලාද මයේ බුදු පුතේ?'' කියාගෙන උන්දැ පරල වෙච්චි.

මම ඉතුරු අකුරු ටිකක් අමුණන්න උනා.

මොනවා.....! ඉතුරු අකුරු අමුණපු මට තාත්තගේ කන්තෝරු මේසෙ උඩදීම දෙයියෝ සිහි උනා. මේකෙ ඉතුරු ටික මං කිවිවොත් බබුරු උන්දැ මෙතනම පර​ලෝ සැපත් වෙනවා සුවර්.

මම බබුරු ආචිචි දිහා නිකමට බැලුවා. උන්දැ මගේ කටින් පනින ඊලග වචනෙ කනේං අහුලගන්න නොයිවසිල්ලලෙන් බලං ඉන්නවා!

මං හිත දැඩි කරගෙන ටෙලිග්‍රැම් එකේ ඉතුරු ටික එක හුස්මට කියන්න හිත හදා ගත්තා. මොකක් හරි කේස් එකක් උනොත් අම්මා කුස්සියෙ ඉන්නවා නොවැ.

මම ''එවිජීනු මලා ගංවතුරට අහුවෙලා. ලොරියෙන් ගේන්නෙ අනිද්දා. මීට රංජි පුතා. '' කියලා එක හුස්මට කියාගෙන ගියා.

ඔන්න එතකොටම මලහත්ඉලව්ව පටන් ගත්තා.

බබුරු ආච්චි විලාප දීගෙන පාර දිගේ එයාගේ ගෙවල් පැත්තට දුවන්න ගත්තා.

''අනේ මගේ කොල්ලා. ලොරියක් ගන්ට කියලා ග​මේ ගිය එකා.......''කියාගෙන.

''සංසාරේ සංසාරේ'' පොඩි කමට මං හිතුවා.

ගිය සතියේ තාත්තා හම්බුවෙන්න ආපු වෙලාවේ මට ටොපීත් දිලා ගිය එවිජිනු මාම දැං කොහෙද? ගං වතුරට අහු වෙලා පරලෝ සැපත් වෙලා.

කොහොම හරි බබුරු ආච්චිගේ විලාප හඩට අම්මා දුවගෙන ඈවිත්,

'' ඈයි අර බබුරු ආචිචි අඩාගෙන දුවන්නෙ''

'' පව් අම්මෙ...... එවිජිං මාම මැරිලලු ගංවතුරට අහුවෙලා. මේ ටෙලිග්‍රැම් එකේ තියෙන්නෙ'' මං කොලේ අම්මට දුන්නා.

''එවිජිං මාම මැරිලා! කෝ බලන්ඩ ටෙලිග්‍රැම් එක . තාත්තා මට නිකං වත් කියලා යනවනේ මෙහෙම එකක් නං''

''මැරිලා තමා.. මමමයි ඕක කියෝල උන්දැට තේරුං කලේ''

''කෝ.... මෙකෙ කොහෙවත් මලා කියලා නැනෙ''.

නැත්තෙ මොකද ඔය තියෙන්නෙ මුලින්ම ''එවිජීනු මලා'' කියලා.

''එවිජීනු මලා නෙමේ චූටි ම​හත්තයා, මෙකෙ තියෙන්නෙ එවිජීනු මාමා කියලා, 'එවිජීනු මාමා ගංවතුරට අහුවෙලා. ලොරිය ගේන්නෙ අනිද්දා. මීට රංජි පුතා' කියලා තියෙන්නෙ, ඒ කියන්නෙ අර ගේන්න ගිය ලොරිය ගං වතුර අඩු උනාම මොහට ගේනවා කියලනේ''

''අම්මච්චියා.............එහෙමද තියෙන්නෙ.........'' මට එදා රැ පායන්න නියමිතව තිබූනු තරු ඔක්කොම ඔන්ද ස්පොට් එවෙලේ පේන්න ගත්තා.

''දැං මොකද චූටි මහත්තයා කරන්නනෙ. බබරු උන්දැ දැං මොනවා................ කරගෙනද දන්නෑ.''

''ඒක තමා....... අම්මා බය වෙන්නැතුන ඉන්කෝ..... බබුරු ආචිචි මෙ පැත්තෙං යන වෙලාවට මම ඕක හීන්සිරුවේ කියලා දාන්නං''

''??''

2010/04/21

මම ආමි. |සයිබර් යාය

සයිබර් යායට මම අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ මීට සෑහෙන කාලෙකට ඉස්සර. ඒ කියන්නෙ 2010 අප්‍රියෙල් 07 වැනිදා! තව දවස් 344 ගියා නං පෝස්ට් එකක් නොලියා හරියට අවුරුද්දක් ගත වෙනවා.

මට මගේ ඊලට කතන්දරේ දාන්න පරක්කු උනේ අවුරුද්දකට සැරයක් එන ''සූර්ය මංගල්‍යය'' සමරන්න ලෑස්ති වෙන්න ගිය නිසයි.

මම ඈතුලු පිරිස මෙවර අලුත් අවුරුදු සමරන්න යොදා ගෙන තිබුනෙ මැරියන්ලගේ අම්මගේ අයියා කෙනෙක්ගේ ගෙදර.

සා..................... මරු පැත්ත. එහෙට කියන්නෙ ''උඩවලවේ'' කියලා. අනේ ඒ ගෙදර කස්ටියත් හරි හොදයි.
බුද්ධි ළමයම පළවෙනි පාරට දැක්ක උනාට කොල්ලව හොදට හිතට අල්ලා වගේ. දැක්ක දැක්ක තැන සැලකිලි!

අපි අවුරුදු සැමරුවට පස්සෙ ගියේ සංඛපාල රජ මහා විහාරයට.
මේ සංඛපාල රජමහා විහාරයේ අපේ බුදුරජානන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව.



මේ තියෙන්නේ ​​චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපේ.



මේ තියෙන්නෙ පහල ඉදං ඔය ​චෛත්‍ය ගාවට යන්න තියෙන සුන්දර මාර්ගෙ.


ආ.... මේ කව්ද මේ!


ඊට පස්සෙ මාමලගේ ගෙදර ඉදං පයින් යන දුර තියෙන උඩවලව ඈත් අතුරු සෙවණට.

සා... මහ අලි, පොඩි අලි ටිකිරි අලි ඔක්කොම පොර කකා ''පිටි කුක්කු'' බොනවා.

ඊට පස්සේ උඩවලවේ ඩෑම් එකට.

ඔය තියෙන්නෙ මම ඒ හරියේ සුන්දර සන්ධ්‍යව පටිගත කරගන්න ආකාරය.


පහුවදා උඩවලවේ රක්සිතේට වාහනේං ගිහිං අලි බැලුවා.

ඔන්න ඔහොම අවුරුදු දවසේ ඉදං සෙනසුරාදා වෙනකං මාර නිවාඩුවක් අරං, ඉරිදා උදේම එහෙං පිටත් වෙලා හවස් ජාමේ ගෙදර ආවා.

ගෙදර ආවත් නිකං උඩවලවේ ජාතින වන උයනෙ වගේ හිතෙන්නෙ.

මාර අමාරුයි සදුදා උදේ වැඩට යන්න හිත හදා ගන්න.

ඔහොම ඉද්දි මට මතක් උනා,
'' ඉරිදා සවස 7 රොබින් හුඩ් යනවනේ'' කියලා.

''රොබින්ගේ වීර ක්‍රියාවක්වත් බලල හිත හදාගෙන සදුදා වැඩට යනවා''
මතකනේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

හුටා.. මෙන්න බොලේ ''කොරේ පිටට මරේ'' කියලා ​​රොබින් කාරයත් ඉසබෙලාගේ විස කඩු පාර කාලා තනිපංගලමෙම ගහක් පල්ලෙ මැරිලා ගියා.

මට එපා උනා.

මං රොබින්ට රග පාපු ජොනා​ගේ ඉන්ටවිව් එකක් බලල හිත හදාගෙන, සදුදා වැඩට යන්න හිතුවා.

කොහොම හරි නිවාඩුව පුදුම ආස්වාදජනක විදිහට ඉවර උනා.

සා............ මතක් කරද්දිත් සනීපයි.

හැබැයි, ඔය මොනවා තිබුනත් එහෙ ඉන්ටර්නෙට් තිබුනේ නැති නිසා මගේ සයිබර්යාලුවන්ට නැකතට සුබ පතන්න නං බැරුව ගියා.

මං ඉන්නම බැරි තැන හදිසියේ කැෆේ එකකින් සයිබර් අඩවියට ගොඩ වැදුනු වෙලාවෙ මගේ සයිබර් යාලුවෙක් '' උඩවලවේ පැත්තෙ වටිනා කියන බෙහෙත් පැලෑටි වගයක් තියෙනවා පුලුවං නං ටිකක් ගේන්න කිව්වා, මිනිහට රහස් බෙහෙත් වට්ටෝරුවක් හදාගන්ට. ඒක නං මට ගේන්න බැරි උනා. (ඔව්! ඔව්! ඔයා කිව්ව එක තමයි!) දැං මිනිහා මාත් එක්ක තරහ වෙයිද මන්දා?

කොහොම හරි අන්තිම පෝස්ට් එකේ කමෙන්ට් කරලා මට අවුරුද්දට සුබ පතපු අයටයි, ෆේස්බුක් එකෙන් සහ ඊමෙල් මගින් සුබ පතපු අයටයි ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

දන්නවද මේ නිවාඩු කාලේ මං තව දෙයක් කලා. ඒ මගේ අතීත මතක වස්තුවෙ හැංගිලා තිබුනු ම​ගේ පුංචිකාලේ සිදුවීම් ටිකක් මතක් කර ගත්තු එක.

එහෙනං අනිත් දවසේ ඒවයින් එක කතාවක් අරං එන්නං!

එහෙනං ඔන්න ආයෙත් ''මම ආමි.''

ආ.. තව එකක් අපේ සසික නානායක්කාරත් මේදා පාර නිවාඩුවට ඩවුන් සවුත් ගියාලු.

ඔයාල මොකද කලේ අවුරුදු නිවාඩුවට?

2010/04/07

මගේ පළමු රාජකාරී ලියුම | මාලනී ටීචර් කියල දුන්නු විදිහටම

රාජකාරි ලියුම් ලිවිල්ල ලේසි වැඩක් කියලද ඕගොල්ල හිතන්නෙ! එහෙනං මේ කතාව කියෝල බලන්නකො.

මේකත් උනේ අර කදිර පෝතක කතා වස්තුව ට මං මූණ දුන්නු දවස් වලමයි. ඒ කියන්නෙ ශිෂත්වයට සූදානම් වීමේ කාලයේ.

අපි 4 වසරේ දී, ඒ කියන්නෙ, ඊලග අවුරුද්දෙ ශිෂ්‍යත්වයට මූණ දෙන්න ඉන්න කාලේ අපේ පංති භාර ටීචර් උනේ මාලනී මිස්.

ඔය ​දෛවෝපගත සිද්දියට මට මූණ දෙන්න උනේ ශිෂ්‍යත්වයට පෙරහුරුවක් වශයෙන් අපි ලව්වා රජකාරී ලියුමක් ලියවන්න අපේ මාලනී මිස්ට හිතුන දවසකයි.

''හරි කාටද දැං මතක එදා මං කියලා දුන්නු විදිහට රාජකාරි ලියුමක් ලියන්න..........'' මාලනී මිස් වැඩේට මුල්ගල් තිබ්බා.

ඔහොම අහද්දි එක්කෙනෙක් දෙන්නෙක් අත ඉස්සුවත් මට මතක නැති තැන මං මගේ මතක මල්ල අවුස්සන්න ගත්තා.

ආරෝහන, අවරෝහන, ප්‍රෙහෙලිකා, ආරාධනා පත්‍ර, උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය, ගණිත රටාව හදුනාගැනීම්, සාමාන්‍ය දැනීම, එක්ක ඔන්න රාජකාරි ලියුමක් ලියන හැටිත් හැංගිලා තිබුනා. මං ඔය මතක කෑල්ල, මතක මල්ලෙන් තෝරල බේරලා එලියට ගද්දි අපේ මාලනී මිස් රාජකාරි ලියුම ලියන්න ඕන මාතෘකාව ලියලා තිබුනා කලු ලෑල්ලෙ මෙන්න් මෙහෙම,

''විල්ලු අටේ ග්‍රාමයට පිවිසෙන ප්‍රධාන පාර අබලන් වී ඈති බව දන්වා වගකිය යුතු නිළධාරින්ට ගමේ ග්‍රාම සේවක මහතා විසින් ලියන රාජකාරී ලිපියක් ලියන්න.''

මං මගේ මතක මල්ලේ හිරවෙලා, යට වෙලා තිබිලා ඈදල ගත්තු රාජකාරි ලියුම මතක් කරලා ලියන්න ඕන පිළිවෙල හිතුවා.

''රාජකාරි ලියුම නිකං මේ නෑදෑයන්ට ලියන ලියුමක් වගේ නෙමේ. වැඩි විස්තර ලියන්නෙ නෑ. කියන්න ඕනි කාරණාව කෙලින්ම අදාල පුද්ලයට වැදගත් විදිහට කෙටියෙන් කියන්න ඕනි.''
ඒදා ටීවර් කියලා දෙද්දි මං ඒක මතක හිටින විදිහට මගේ මතක මල්ලෙ තැන්පත් කරගෙන තිබුනෙ ඔන්න ඔය විදිහටයි.

මම විල්ලු අටේ ග්‍රාම සේවක වෙලා බලධාරියාට ලියුම ලියලා ඔලුව උස්සලා බලද්දි, එකා දෙන්නා පොත් පෙන්න්න පොලීමට යනවා.

මමත් දඩිබිඩියේ,

පාවාදීම්, කොනිති ගැහිලි, අබිරහස් තල්ලු, හිටිවන කොපි කෙරිලි, හිටිවන එඩිටිං, වලින් ගහන පොලිමට එකතු ​වෙලා මගේ වාරෙ එනකං ඉදලා මිස්ට පොත දීලා ඒක බලනකං එකොලහ ගහගෙන හිටියා,

ටික වෙලාවක් පොත දිහා බලං හිටපු මාලනී මිස්,

''හිකිස්'' ගැවා.

නොහිතපු වෙලාවෙ ලැබුනු මිස්ගෙ හිනාවට මාව ටිකක් ගැස්සුනා.

මගේ රාජකාරී ලියුමේ හිනාවෙන්න කිසිම දෙයක් ලියලා තිබුනේ නැනේ!

මිස් තව ටික වෙලාවක් පොත දිහා බලං ඉදලා, ආයෙත් ''හිකිස්'' ගාලා හිනා කෑල්ලක් එලියට පනින්න කලිං පොත දිහා බලාගෙනම අතපත ගාලා ලේන්සුව හොයාගන්න ට්‍රයි කලා. බැරි උන තැන හිනාව එලියට පනින නොදී අතින්ම කට වහගත්තා. ඔය තියෙන්නෙ ඒ කැල්ල අර මගේ හිතවත් විදේශීය චිත්‍ර ශීල්පියා දැක්ක විදිහයි.




මිස් හිනාව තද කරගෙන පොත බලල ඉවර වෙලා,
''මං ආයේ කට්ටියටම ලියුම ලියන හැටි කියලා දෙනවා. හරි දැං ගිහිල්ල වාඩිවෙන්ඩකෝ.......'' කිව්ව.

මං මගේ තැනේ ඉදගන්න ගමන් හිං සිරුවේ මිස්ගේ දිහා බැලුවා.

බොලේ හැබෑට මගේ පොත බලපු මිස්ට මක් උනාද? මිස් තාමත් කාටත් හොරා බිත්තිය පැත්ත බලං ''හිකිස්, හිකිස්''.

මං බොහොම කල්පනාවෙන් ආයෙත් ලියුම කියෝල බැලුවා. ''මිස්ට හිකිස් හිකිස් ''වෙන්න මේකෙ මොනාද තිබුනෙ බලන්න.

මට තේරෙන හැටියට නං කිසි වැරද්දක් නෑ,

''
වැඩි විස්තර ලියලත් නෑ!. කියන්න ඕනි කාරණාව කෙලින්ම අදාල පුද්ලයට වැදගත් විදිහට කෙටියනේ කියලත් තියෙනවා!!ඈඩ්රස් එක, අවසානේ, එහෙම තිතටම තියෙනවා!!! ''.

ඒත් අපේ මාලනී ටීචර් මේක කියොලා හිකිස් හිකිස් උනේ ඈයි කියලා, එදා මට මාර ගැටලුවක් උනා.

හිනාවට හේතුව මගේ හොදම යාලුවා ''මේස් වලිං හොදම මේස් - රමේස්'' ටවත් කියාගන්න බැරි උනා.

පොඩ්ඩක් බලන්ඩ කියෝල මේක කොතනක හරි හිනා වෙන්න දෙයක් තියෙනවද කියලා? මේ තියෙන්නෙ එදා මං ලියපු ලියුම,


මාර්ග සංවර්ධන අධිකාරීතුමා,
1995-05-18

ඈම්. ඒ රණවීර,
ග්‍රාම සේවක.

හිතවත් මාර්ග සංවර්ධන අධිකාරිතුමණි,

ගමේ පාර සාදා ගැනිම සම්බන්ධව

මා මේ ලියුම ලියන්නෙ අපේ ගමට එන විල්ලු අටේ පාර හදලා දෙන්න කියන්නයි. අපේ ගමට එන්න තියෙන විල්ලු අටේ පාර හොදටම කැඩිලාය. වතුර බහින කාණුවේ ඉලුක් ගසුයි, පොඩිසිඥ්ඥමරං ගසුයි වැවිලාය. පාර හැමතැනම වාගේ බොරලු ගැලවී වල්ය.

මේ හේතුවෙන් අප මහත් අමාරුවකට පත්ව ඈත්තෙමු.

එම නිසා ඔබ තුමාට පහසු වෙලාවක පැමිණ, කාණුවේ ඉලුක් ගස් විසිගසා දාමා, පොඩිසිඥ්ඥමරං ගස් උගුල්ලා, පාරේ වල් ඈති තැන්වලට බොරලු පුරවා යන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි!

මෙයට,
විල්ලුඅටේ ග්‍රාම සේවක,
(අත්සන)
ඈම්. ඒ. රණවීර.









2010/04/02

ෂර්වුඩයේ රොබින් අවසාන කොටස | හර්න්'ස් ඈටෑක්

ඔන්න කවුරුත් බලාගෙන හිටපු ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා අන්තිම කොටස.



පළමු කොටස අවසානයේ, දෙවන කොටසත් ඉක්මනින්ම පල කරනවා කියපු පොරොන්දුව ඉටු කරන්න බැරි උන හේතුව කවුරුත් දන්නව උනත් කෝකටත් මෙතනත් දැම්මා.

හරි ඕං කතාව,

එදා අන්තිමට කිව්වෙ මම රොබින්ට එරෙහි වෙලා අර හොර මුල වගේ රගපාන්න අම්මගේ කුස්සියෙන් උස්සපු බැග් එකකින් හදාගත්තු හෙල්මට් එකකුත් අරං ගියා කියලානේ. මතක නැති අය මෙතන කොටන්න.

කට්ටිය ආවට පස්සෙ අපි සෙල්ලම පටන් ගත්තා.

මම අර හෙල්මට් එකත් හෙන උජාරුවෙන් දාගෙන රොබින් ලා පස්සෙන් පැන්නුව. හෙල්මට් එකේ කපලා තියෙන කොටුවෙන් අර ටීවී එකේ පේනවා වගේ හරි ශෝක් එකට කෙහෙල් කොටුව පේනවා.

මෙන්න මේ වගේ.



කොහොම හරි ටිකක් වෙලා රගපාගෙන යද්දි මට මගේ හුස්ම හිරවෙන ගතියක් ආවා. කන් දෙකෙන් දුන් දාන බවක් දැනුනා. කොන්ඩෙන් ගින්දර පිටවෙන ගතියන් ආවා. මට ඉවසගන්න බැරුව ගිය තැන හෙල්මට් එක ගලෝන ගමන්ම සෙල්ලම පැත්තක දාලා කෙහෙල් ගහක් පල්ලෙ වැටුනා.

අම්මෝ මෙහෙම දැවිල්ලක්.

මගේ මුලු මූණ ම දනවා. මගේ ''චූච්චං'' තොල් දෙක නාකි කාපිරියෙකුගේ බරියං වෙච්ච තොල් දෙකක් තරං ලොකු වෙලා කියලා මට හිතුනා. මං නිකමට තොල අල්ලලා බැලුවා. අල්ලනවා තියා අත ගෑවෙද්දි දනවනේ. කං දෙක ඊටත් එහා. කන් දෙකෙන් දුන් දානවාද කොහොද එකසිය ගානට.

''දැං ඉතිං කරන්න දෙයක් නෑ ගෙදර වත් දුවනවෝ....... '' කියලා මං හිතුවා.

මොන දිවිල්ලක්ද,

'' ඈස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ කිව්වලු''
දැවිල්ල වැඩි කමට මුලින්ම වැහුනෙ මගේ ඈස් දෙක නොවැ.

ඒත් මං එක ඈහැක් බලෙන්ම ඈරලා යාන්තං, ක්සනිකව චාලි මුදලාලිගෙ වත්තෙ පොඩි කෑල්ලක් සිතියම් ගත කරගෙන වත්තෙ ඉතුරු ටික හිතෙං ඈදගෙන ටිකක් ඉස්සරහට දිව්වා. ආයෙ නැවතිලා සිතියම ඈදගෙන දිව්වා . ඔහොම චාලි මුදලාලිගෙ පියන් දෙකේ ගේට්ටුවෙන් එලියට පැනලා ගෙදරටම දිව්වා.

ගේ ලං වෙන කොටම මං,

''අම්මේ................................................'' කියලා බෙරිහං දුන්නා.

ඒතකොමට දෙයියො දැක්ක වගේ වැලේ දාලා තියෙන තුවා ටික දැක්ක මං, දුවං ආපු පිම්මෙන්ම වැල ගාවට වංගුව කපලා,

ලා....... කහ පාට රෙද්දෙ, තදම තද දුඹුරු පාට ඉරි දෙකක් ගිය තුවායෙන් මුලු ඔලුවමයි දැවිල්ල අල්ලපු හැම තැනක්මයි පිහදං පිහදං ගියා.

''ඈයි මොකද.............''අම්මා ආවා.

''අයියෝ අම්මේ................... මාව දනවෝ...... මොනවා හරි කරන්ඩො...........'' මං දැගලුවා.

''මොන​වා කරන්ඩ ගියාද...... ඈයි සතෙක්වත් වැදුනද? මොනා කරන්න ගිහින්ද දන්න ගත්තේ?''

'' දන්නැතෝ........ මේක දාගත්ත විතරයි දන්න ගත්තෝ..................'' මං මෙච්චර වෙලා ම​ගේ අතේ එල්ලි එල්ලි ආපු හෙල්මට් එක පෙන්නුවා.

''මේ මොක්දද.....'' අම්මා බෑග් එක පරික්සා කලා.

''මේ ළමයා මොනා කරගෙන ද මේ. මේ ඊයේ මිරිස් කොටලා ගෙනාපු බෑග් එක නේද? මං
කියල තියෙනවා නේද කුස්සියෙන් මොනා හරි ගන්නවනං මගෙන් අහන්න කියලා! අනේ අනේ....දැං ඔය වෙලා තියෙන්නෙ වැඩේ. බ්බ්ප්.. ''

කියලා තව මොන මොනවදෝ කිය කියා අම්මා ඈස් වහගෙන ඉන්න මාව කුස්සිය පිටිපස්සට ඈදගෙන ගිහිල්ල බාල්දියට වතුර පුරෝල නාවන්න ගත්තා.

ඔය තියෙන්නෙ ඊට අදාල සිත්තරේ,


නාවන කොටත් අම්මා මොන මොනවදෝ ගොඩාක් දෙවල් කිය කියා වතුර නෑව්වා. මං මට හිතෙන තැං වලදී
''හ්ම්'' කිය කියා උත්තර බැන්දා.

නාවලා ඉවර වෙලා ගෙට ඈදගනෙ ගිහිල්ල පවුඩර් මල අරං මාව සුදුම සුදු වෙලා, ''කැස්පර්'' වගේ වෙනකං පව්ඩර් නාවලා ගේ ඉස්සරහ ඉස්තොප්පුවේ හාන්සි පුටුවට දාලා,

''මෙනතිං හෙල්ලුනොත් මං බලාගන්නං '' කියලා අම්මා යන්න ගියා.

''අම්මෝ දැනෙන සනීපේ............ෆා..................... '' මං පොඩි හුස්මක් අරං හාන්සි පුටුවෙ ඈල උනා.

''මදැයි රොබින්ට විරුද්ද වෙන්න ගියා'' මට හිතුනා.

ඕන්නං ඔය සමාධි ගත වීමෙන් මං තත්පර තුන හතරක් ඉන්න ඈති. මං නිකමට වගේ ඉස්තෝප්පුවට එක එල්ලෙ පේන ළිද දිහා බැලුවා.

'' කරදර එද්දි එන්නෙ එක පිට එක කිව්වලු!!!!''

මෙන්න බොලේ හර්න් දෙයියන්නාන්සේ ළිද ලග ''ජෝ'' නානව!!!

අර මොකද්ද අර ලිං ගැට්ටෙ දාලා තියෙන්නෙ!,

ලා....... කහ පාට රෙද්දෙ, තදම තද දුඹුරු පාට ඉරි දෙකක් ගිය තුවාය නේද?!! අර මං දුවගෙන ඈවිල්ල මූණ පිහපු.

ඒක දැකපු, මගේ බෝ කොලේ හැ​ඩේට පපුව අස්සේ තිබ්බ හාර්​ට් එක ''චොකොස් '' ගාලා හාන්සිපුටුව පල්ලෙ බිම වැටුනා වගේ දැනුනා!

''අම්මේ.......... තාත්තා අද කන්තෝරු ගියේ නැද්ද?''

'' අද ඈයි කන්තෝරු යන්නෙ අද නිවාඩුනේ'' අම්මා කියපි.

''ඈත්ත නේන්නං. ''

ඔය තුවායෙන් මූණ පිහපු ගමන් ඉතිං ''හර්න් දෙයියන්නාන්සෙටත්'' වෙන්නෙ මට වෙච්ච සිද්දියේ දෙවෙනි කොටස.

ඔන්න මගේ ඔලුව ගල් ටික් වේගෙන එනවා!

මං හීන් සිරුවෙ හාන්සිපුටුවෙන් ගැලවිලා ළිද පැත්තට පාඋනා.

''මොකද මේ පවුඩර් නාලා. මොකක් හරි මගොඩි වැඩක් කෙරුව නේද අදත්! මට ඈහුනා අම්මා කෑ ගහන සද්දෙ.''
හර්න්, මං හොරාට ඈදලා රොබින්ට විරුද්ද උනා කියලා නොදැන ආදරේ පෑවා.

ඊට පස්සෙ බාල්දිය කනුවේ එල්ලලා,

'' යං මමත් නාලා ඉවරයි'' කියාගෙන තුවාය අතට ගත්තා.

එයා,
'' හිංදි තනුවකට සිංහල වචන ඔබලා, ජෝතිපාල අංකල් කියපු සින්දුවක් කිය කියා ආ..................තල් එකේ ඔලුව පිහදනවා.''

''ප්‍රස්නයක් නෑ ව​ගේ'' කන්න වගේ හර්න් දිහා බලං හිටපු මට තේරුනා.

ඔන්න බොලේ ඊට පස්සෙ මෙයා තුවාය අරං ටිකක් උඩට දාලා, අත් දෙකම ඊට යටින් දාලා මූණ පිහන්න ගත්තා. ඊටත් පස්සෙ ඈස්දෙක මුල තියෙන වතුර පිහන්න දඹර ඈගිල්ල අරං හොදට තද කරලා ඈස් පිහදැම්මා මං බලාගෙන ඉද්දිම.

ඕන්නං තත්පරයක් දෙකක් විතර පිහන්න ඈති.

හර්න් කිය කිය හිටපු, ජෝතිපාල අංකල්ගේ සින්දුව එකපාරටම නැවතුනා. තුවාය අහකට ගත්තු හර්න් වේගෙන් ඈස් ගගහ ඈස් පොඩිකරන්න ගත්තා. තුවායෙන් මූණ අහකටගත්තු එයා බයවෙලා වගේ තුවාය දිහා බලාගෙනම,

''කාන්තී...........................................'' කියලා බෙරිහං දුන්නා.

''ඈයි.......................!'' ඈතින් අපේ අම්මගෙ කටහඩ ඈහුනා.

ඒ එක්කම මගේ කකුල් පන නැතිව ගියා. මං ​පොල් ගහකට හේත්තු උනා.
..................................................................

හරි, ඔන්න කතාව ඉවරයි.

ඊට පස්සේ වෙච්ච සිද්දිය කිව්වොත් ඔයාලා ''බක බක'' ගාගා ගෙම්බෝ වගේ හිනාවෙයි! මම දන්නවා ඔයාලත් බලං ඉන්නෙ, මට නඩුවක් වැටෙනකංනෙ හිනා වෙන්න.

ඒත් මං නං කවදාවත් ඔයාලට ඒ ටික කියන්නෙ නෑ. ඒ මට ලැජ්ජා හිතෙන හින්දාම නෙමේ!

හැබැයි මං එකක් එකක් කියන්නං. කවදාවත්ම අපේ වීරයා රොබින් හුඩ්ට නං එරෙහි වෙන්න එපා. එහෙම උනොත් හර්න් දෙයියන්නාන්සෙ මොන වෙස් මාරුවකිං හරි ඈවිල්ල ඔයාලට දඩුවම් දෙයි.

හරියට අපේ තාත්තගෙ වෙස් අරං මේ මට දඩුවම් දුන්නා වගේ!

ඔයාලටත් ඒ කාලේ හර්න් දඩුවම් දීලා එහෙම තියෙනවද? ඇ.....?











Related Posts with Thumbnails