ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/05/30

පුතා හෙවත් බලුහොම්බා | මගේ යාලුවෝ !

යාලුවෝ කිව්වම ඉතිං වයිවාරන්නයි!

ඒ ඒ යාලුවෝ ආශ්‍රය කලාම ඒ ඒ පල විපාක.

මේ ඉන්නෙ මට හිටපු යාලුවොන්ගෙන් ටික දෙනෙක්.

දෙයියා
අපිත් එක්ක එකටම වගේ කල්දේරම් බත කන්න එක්කහු වෙච්ච කෙනෙක්. ආපු දවස් වල කිව්වෙ බණ්ඩාරවෙල කියලා. පස්සෙ පස්සෙ හීල්ඔය උනා. කොළඔට පය තියන්න කලින් නිවිච්ච මිනිහා. ආපු දවස් වල රෑ නිදා ගන්න කලින් පන්සිල් ගත්තා. කුණුහරප එහෙම කිව්වෙ නෑ “පිරිහෙයි” කියලා. හැම පෝයමට ගංගාරාමේ පන්සල් යනවා. එන ගමන් ගැල්ලමයි දෙතුන් දෙනෙකුට ෆෝන් එකේ නම්බරේ දීලා, පෝය සතිය ගෙවෙනකං ෆෝන් එක ඔෆ් නොකර ඉන්නවා. මොනා කලත් මීටර්කාරයා, කඩ්ඩ හොදා.

සපා
සපා උනේ සප්රාස් කියන නම කොටකරලා. සප්රාස් කිව්වට තනි හෙළයා. මිනිහා මනංපිටියෙ පාලමෙං එහා. සපා හෙන ආඩම්බරෙන් කියන්නෙ “පාලමෙනුත් එහෙ හෙන කෑලේක බං අපේ ගෙවල් තියෙන්නෙ” කියලා. පොර නිවාඩුවට ගෙදර ගිහාම මිනිහගේ සෙට් එකයි, කොටි කොල්ලොයි ඔට්ටු දාලා ක්‍රිකට් මැච් ගහනවා කියලා “පොරටෝක්” දුන්නා ඒ කාලේ.

පුතා
අන්න ඊලගට “පුතා”. අප්පො.... පච පප්පා, මිනිහා නුවරඑලියෙ කිය කියා හිටියෙ. ඒ උනාට පොර අඹගමුවෙ. ගෙදර යද්දි අපිට හොරෙං ටෝච් එකක් බෑග් එකේ අඩියටම දාගෙන යන්නෙ ඇයි කියලා හොයලා බලද්දියි හොරේ අහුඋනේ. හැබැයි අපේ කාගෙත් බඩු මිනිහගේ වගේ කියලා හිතන හොද පුරුද්දක් එයා ගාව තිබුනා. අනේ පව්, තෙත තුවායක් උනත් කාගෙත් ඇස්වහලා නිවාඩු යද්දි බෑග් එකේ දාගෙන ගෙදර අරං යනවා ගේමක් නැතුවම.

චමියා
මතකද, අර එක පාරක් නිවාඩු යන්න ගිහිල්ලා විනය කාර්යාලේ කිඹා හිටියෙ පොරයි මායිනෙ. පොර “කුරුණැගල සිටි” එකේ වගේ ඉන්නෙ. ගිහිල්ලා බලද්දි පොල්පිතිගමත් පාස් කරලා යන්නෝන ගෙවල් වලට හැරෙන පාරට යන්ඩ විතරක්. ඒක අහුඋනේ අපි රටේ සංවර්ධනය ගැන කතා කරකර ඉද්දි. කතාව කොච්චර සීරියස් ගියාද කියනවනං චමියට නිකම්ම කියඋනා “වැඩිය ඕන්නැ මචං, පොල්පිතිගම හංදියේ වව්නියා බස් එක නතර කර ගන්ඩ මාර ගේමක්නෙ දෙන්ඩ ඕන, ඉතිං තවත් මොනාද කතා” කියලා.

සූරියා
ඔක්කොමට හපං ඌ. අර "හෙලෝ ප්ලයිට්, " කියලා ටැලිෆෝන් එකෙන් එක කෝලමක් කලේ මෙයානෙ. මිනිහා මහියංගණේ. අපි එයාට “වැද්දා වැද්දා” කියලා විහිලු කරන හින්දා මිනිහා අපිට කියලා තියෙන්නෙ මිනිහගෙ ගම හසලකය කියලා. පොර හිතං ඉන්නෙ හසලක ඉන්න ඔක්කොම වීරයො කියලා. කොච්චරවත් සීනියර් මෑන්ලා එක්ක කට ගහගෙන ගිහිං අපිට බඩකට පුරා ඉල්ලලා දෙනවා. එදා වගේ තමා.

ජෙට්ලි
අපේ ජෙන්ට්ලිමන්ලගෙනුත් ජෙන්ට්ලිමන් තමා “ජෙට්ලියා”. හෙන මාර්ෂල් ආට් කාරයා. අනික පිළිවෙල. කැන්ටිමට යන්න ගියත් ෂෝටයි, ස්කිනර් එකයි අයන් කරලා සෙන්ට් විදලා එහෙම තමා එලියට බහින්නෙ. ආපු දවස් වල නං කිව්වෙ “කොළඹ ක්ලයිමේට් එක මට දිරවන්නැ මචං” කියලා. මොකද පොර කැන්ඩිවලලු. මම හිතුවේ පොරගේ ගෙවල් නුවර දළදා මාලිගාව පිටිපස්සට වෙන්ඩ ඔහොම මෙහෙම වෙන්ඩැති තියෙන්නෙ කියලා.

හැබැයි මට වැරදිලා!

ගෙවල් ඊට ටිකක් මෙහා ගම්පොල කියලා තැනක. උන්ගෙ නංගිගෙ කොටහලු මගුලට අපි බලෙන්ම වගේ ගම්පොල ගිහිං ‍ජෙටාගේ ගෙවල් හොයද්දියි දැනගත්තෙ ගම්පොලම නෙමේ ටිකක් ඇතුලෙ “පුස්සැල්ලාව” කියලා ගමකය කියලා. පුස්සැල්ලාවට ගියාම එහෙ කොන්ඩෙ බැදපු මාමා කෙනෙක් කිව්වා‍ “ පුස්සැල්ලාගම කියලා තව ඇතුලට වෙන්න ගමක් තියෙනවා පුතාලා කියන්නෙ එහෙ එක්කෙනෙක් ගැන වෙන්ඩැති” කියලා. බලං ගියාම මාමා හරි.

ෆර්ඩි
අර සුද්දට කැපිටල් කුණුහරපෙන් බැන්නෙ මෙයා, මතකයිනෙ. ගෙවල් නං අත ලඟ. ගම්පහ. කොච්චියෙන් ඇද්දත් විනාඩි හතලිහක් යයි උපරිම. ඒත් පොර ඕන දේකට හැමදාම පරක්කුයි. 8-5 කියලා වේලාව දීලා තිබ්බොත් ගෙදරින් අටට ඇවිල්ලා ගෙදරට 5 යන ජාතියේ. මිනිහටත් ඉතිං වැරැද්දක් කියන්න බෑ. ගෙදර ඌරො, කුකුල්ලුයි, ගිරව්, රටහාවො පිරිලා. උන්ගෙ වැඩ කරල එපැයි මිනිහා ගෙදරින් දොට්ට බහින්න. කොච්චර පරක්කු උනත් අම්මා.........උගේ කටේ සව්දමේ නං අඩුවක් නෑ. අතේ පැලවෙන පච ගහලා ගහලා, කොහොම හරි පනිස්මන්ට් මග අරිනවා.

ෂැවොලින්

අන්න ඒකට මිනිස්සු. බෙන්තර ගගෙන් එහා හොඳ ඇංජිමක්. කරගන්ඩ බැරි ඕනැ දෙයක් පොරත් එක්ක ගිහිං කරගත්තැකි. කටින් වගේම තමා අතේ පයේ වැඩත්. ඒකනේ අපි ඔය නම දැම්මෙත්. හැබැයි ඉන්බොක්ස් එකට ගිහිල්ලා, ආපු මැසේජ් එක අරං කියවන්න වගේ පොතේ පතේ වැඩ බෑ.

මොනා නැතත් හොඳ මිනිහා. “ඒ බං උඔලා කෑවයි මචං” කියලා තමා තමන්ගේ කෑම පිඟාන උනත් අතට ගන්නේ. පොරට “මාතරය, කොළඔය, කොටුවෙය” කියලවත් “සාජන්ය, කොප්රල්ය, ප්ලයිට්ය” කියලාවත් “හොස්පිටල් එකය, ස්ටේසන් එකය, කෑම්ප් එකය කියලවත් කිසි වෙනසක් නෑ ඕං” ඇංජිම කරකවන්න ඕනැ කොතනද, ඒක කරකෝලා ඇති ගානට. මිනිහ නං ගාල්ල ටවුමේ ඉදං අතේ දුර. එදා අපි ත්‍රීවිලර් එකේ ගෙදරටම ගියෙ රු. 1950/-කට.

හොඳ ළමයා

මිනිහා නං නිවිච්ච කොල්ලා. බොරු නෑ. වංඥාව නෑ. සිරිමත් මගේ සකි වගේ. එයා යහපත් ළමයෙකි. උදයෙම පිබිදෙනවා. ගුරුදෙගුරු, තෙරුවන් සිහිකරලා වැඩ අල්ලනවා. වෙලාවකට මේ වගේ තැනකට හොඳ වැඩිද කියලත් හිතෙන තරං. කවදාවත් පනිස්මන්ට් කන්න වෙන විදිහෙ වැඩක් කරනවා තියා හිතලවත් නෑ. කොටින්ම බෝ පැලයක් වාගේ. හරි අහිංසකයි. වචන නෑ ගුණ කියන්න. මිනිහගේ නම ඉතිං අමුතුවෙන් කියන්න ඕන්නැනේ.

ඔය ටික දෙනා ගැන කතන්දරයි මම ඊලඟ දවස් වල කියන්න හිතාගෙන ඉන්නෙ.

මේ ගොල්ලන්ට මේ නම් වැටුනේ ඇයි? මේ ගොල්ලං ඒ කාලේ කරපු රාජකාරී මොනාද? හොබී එකට මොනාද කරන්නෙ? වගේ විස්තර ඒ ඒ කතාවත් එක්කයි කියන්නෙ.

ලෑස්ති පිට ඉන්ඩ.

ඔය විස්තරේ කියෙව්වම ඊ ලඟ කතාවෙන් කා ගැන කිව්වොත් හොඳයි කියල ද හිතන්නෙ?

වැඩි කැමැත්තට මමත් ලෑස්තියි......!

2011/05/09

රෙද්ද, මං නං යයි හෙඩ් ක්වාටස්! |හෙඩ් ක්වාටස් ගියොත් නං එවිලි බොරු මලේ...........

අද ඉදලා ඉස්සරහට ආයෙත් කුරුළු හමුදා වීර කාව්‍ය‍යේ තවත් පිටු දෙක තුනක් දිග අරින්න කියලයි හිතුවෙ.

2006 අප්‍රෙල් මාසේ 10 වෙනිදා විතර.

ඒ වෙද්දි අලුත් අවුරුදු උණුසුම කට උඩ තිබුනේ අපේ කට්ටියගේ. ගෙවල් වල ගිහිල්ලා කරන දේවල් ගැන කට්ටිය හාහු ගාලා කතාව.

මේ පාර නිවාඩුව උපරිම දවස් හතරක් වෙයි කියලා අපේ උන්ට සැකලු. සමහරු කියනවා මාස දෙකකට පස්සෙ යන හින්දා අඩුම හතක් වත් නමා ගන්න ඕන කියලා. ඒ අස්සෙ දොලහද‍, දහතුනද නිවාඩු පටන් ගන්න දවස හැටියට දාන්නෙ කියලා හරි ප්‍රශ්නෙ ඔක්කොමලාටම.

සමහරුන්ටනං මෙවගේ ඇඩ්මින් සයිඩ් එකේ ඒවා ගැන වගේ වගක් නෑ.

උන් වෙන්ඩ නොනලාට ගත්තු තෑගි පෙන්නා පෙන්නා හෙන පංපෝරිය. තවත් සමහරු ගමේ ගිහිල්ලා මොකද්ද කොටු වගයක් ද කොහෙද පනින්නලු යන්නෙ. ඒකනං මට හරියට ඈහුනෙත් නෑ. වැඩියෙම ප්‍රශ්න කදු උඩ ජීවත්වෙච්ච එව්වොන්ට. උන්ට අවුරුද්දත් හරිලු, බස් එකක සීට් එකක් අල්ල ගන්න දෙන "ගේමත්" හරිලු. උන් කියන්නෙ සර්විස් අයිඩී එක පෙන්නලා සීට් ගන්න එක උන්ගෙ තත්තවෙට හරි මදියි කියලා. ඒක හින්දා ඒ ගොල්ලන්ට කෑම්ප් එකෙන්, රෑ හරි, පහුවදා කුකුලා අරං හරි පිටවෙන විදිහට නිවාඩු ෆෝම් පුරවන්න කියලා පුරෝන උන්ගෙ බෙලි කන්න යනවා.

ඔය විදිහට අපි කාටත් අවුරුදු උස්නෙ තද සැරේට ඒ වෙද්දිම දැනිලා තිබුනෙ. කොටින්ම ඒ කාලෙ විනාඩියක් යන්න පැයක් ගියා.

මොකද ඒ වෙද්දි ‍අපි කුරුලු හමුදාවේ සෙල්ලං කුරුල්ලො විදිහට ඇවිල්ලා හොදට හෙම්බත් වෙලා හිටියෙ. කොච්චර සැප තිබුනත් ඒකාකාරී ජීවිතෙනේ අප්පා. උදේට පහට නැගිට්ටා. ප්‍රැක්ටිස් ගියා. එකට විතර ආවා. නෑවා. කෑවා. ටිකක් නිදා ගත්තා. ආයෙ හතරට විතර ටොරින්​ටන් පිට්ටනියෙ පුහුණුවිම්. එහෙම නැත්තං හවස් වෙනකං කැරම්.

මතකද ඔය එක දවසකදිනේ අපේ පර්ඩි සුද්දෙක් එක්ක කතා බහකට පැටලිලා එක කෝලමක් උනේ.

අපි ඒ වෙද්දි නැවතිලා හිටියෙ මුලස්ථානෙ නෙමේ. ඊට පිටින් 120 බස් පාරේ තැපැල් මූලස්ථානෙට මෙහා තැනක. එතන ඉස්සරහා මායිම උනේ 120 බස් පාර. පිටිපස්සෙන් බේරෙ වැව. ඔය දෙපැත්තෙන්ම උස ආර්පීජී දැල් (අර කොලපාට දැල) ගහලා අපිට හොඳ ආරක්ෂාවක් දීලයි තිබුනෙ.

අපේ දුකට සැපට දෙකටම තිබුනෙ ඔය බේරෙ වැව. වැවට එහා පැත්තෙ, ඒ කියන්නෙ මූලස්ථානෙ පැත්ත, ඒ කියන්නෙ රීගල් එක ගාවින් යන පාර, ආං එක නියමෙට පේනවා බේරෙ වැව ගාව ඉදලා බලද්දි.

වැවේ ඉදං අඩි පහක් විතර උසිනුයි පොලොව මට්ටම තිබුනෙ. වැව්බැම්ම අඩියක විතර උස දැඩි කොන්ක්‍රීට් බැම්මක්. ඒක උඩයි දැල් ගහලා තිබුනෙ. හවසට අපි පොඩිපහේ සිංදුවක් කියන්නෙ, සමහරු මල් කඩන්න තනිවෙන්නෙත් ඔතන. කිව්වට විශ්වාස කරයිද දන්නැ මාර හුලං පාරක් එතෙන්ට එන්නෙ.

කොහොම හරි ඔය ඔක්කොම හැල හැප්පිලි වෙලා නිවාඩු යන දිනේ ආවා‍.

12 වෙනිදා සවස 4 ට.

එදා උදේම අපි නැගිටලා නැවුම් බලාපොරොත්තුත් එක්ක හොද ළමයි වගේ ප්‍රැක්ටිස් ගියා. හවස ගෙදර යන්න ඉන්න හින්දා.

මම ගෙදර යන්න හිටියෙ "දිගා" කියලා මීටර් 800 දුවන යාලුවෙක් එක්කලා. මිනිහට දිගා කිව්වෙ දිග හින්දා. වෙන මොකවත් නෙමේ සරීර කූඩුව. මිනිහා ගැන අදුන්නලා දෙන්න මම ඊට වඩා වචන නාස්ති කරන්න ඕන්නැ. මොකද මිනිහා තමා මේ සිද්දියේ මහ මොලකරු.

ඉතිං දිගයි මායි, කොටුවෙයි, ඔය තැං තැං වලයි, රෙදි කඩ ගානෙයි, රවුං ගහලා රවුං ගහලා කෑම්ප් එකට ආවා හතර කිට්ටු කරලා. ආය වෙන වැඩක් ඇතැ ගෙදර අදින්න මිසක්.

වැඩේ කියන්නෙ එද්දි කට්ටියටම වගේ ගිහිල්ලා. ‍‍ෆෝන් එකේ මිස් කෝල් දැක්කෙත් එතකොට, ඇයි වාහන සද්දෙට ඇහෙන එකක් යැ. සමහර විට උන් කෝල් ගන්නැත්තෙ අපිට "ටටා" කියලා යන් වෙන්නැති.

ඉතිං අපිට මොකො! උන් වගේයැ අපිට.

මෙතනින් කොටුවට බස් එකක් ගත්තා. එතනින් ඒසී එකේ පැයයි, නැත්තං හමාරයි.

අරුං එහෙමද?

රොෂා බණ්ඩාරවෙල, ඇත්තටම කිව්වොත් හීල්ඔය. එකෙක් ගාල්ලෙ, සපා මනංපිටියෙ පාලමෙං එහා. සමහරු ඊටත් එහා. පුතා, අප්පො.... පච පප්පා, මිනිහා නුවරඑලියෙ කිය කියා හිටියෙ. ඒ උනාට පොර අඹගමුවෙ. ගෙදර යද්දි අපිට හොරෙං ටෝච් එකක් බෑක් එකේ අඩියටම දාගෙන යන්නෙ රෑ උනොත් කියලා.

අනිත් උනුන්ගෙ පට්ටන්දරෙත් ඔයි​ට දෙවෙනි නෑ. ඒක මම ඊලග දවසෙ කියන්නංකො.

එහෙව් එකේ උං ටිකක් වේලාසන ගියාට අපිට මොකෝ. ඒත් නිකං තියන කටනේ කියලා අපි උන්ට ජෝඩු දාලා බැන බැණා යන්ඩ ලෑස්ති උනා.

මං අයන් කරපු ටී එක හැගර් එකට දාලා, ඩෙනිම හෙව්වා ඇද ගන්න. දිගා පෙයාරැන් ලව්ලි මලිටි විටමින් ලෝෂන් එක කණ්නාඩිය උඩිං තියලා, ප්‍රෝස්පෝට් කුප්පියෙං ජෙල් තලියක් අරං ඒක එක්ක ඔට්ටු වෙනවා කොන්ඩෙ කෙලිං කරන්න.

අන්න එතකොට අපේ තැනට එහා තැනිං කෝප්‍රල් “දිසා” මතු උනා. ඒ වෙලාවේ අපිට හීන් දාඩිය දැම්මා.

ඔය නිවාඩු යන්න ඉද්දි හයියෙං හුළගක් හැමුවත් අපි බයයි. අපි විහිලුවට කියන්නෙත් “ඔය වාහනේ වලවල් වල දාන්න එපා බං නිවාඩු කැන්සල් වෙයි” කියලා. අන්න එච්චර ප්‍රබලයි අපිට දුන්නු නිවාඩු කැන්සල් වෙන ප්‍රවනතාවේ.

"මේ මචං උඔලගෙ ඔක්කෝමලා ලීව් ගිහිල්ලා නේද? වෙලාවට උඔලා දෙන්නා අහුඋනේ. මේ උඔලගේ සාජන් මේක දෙන්න කිව්වා. මිනිහා හතර වෙද්දි මෙතෙන්ට එනවා කිව්වා. ආවේ නැත්තං මතක් කරලා උඹලා යන්න කලින් මේක හෙඩ් ක්වාටස් ගාඩ් රෑම් එකට දීගෙන යන්න කිව්වා. "

"
මොකක් හෙඩ් ක්වාටස් ගාඩ් රූම් එකට දෙන්න කිව්වා. මොන කෙහෙල්මලක්ද මේ. අපිත් මේ යන්න ලෑස්ති වෙන්නෙ!" කියාගෙන දිගා අතකරකෝලා වෙලාව බැලුවා. එතකොටම දිගාගේ ප්‍රෝස්පෝට් ගුලිය චොස් ගාලා බිම වැටුනා. අපරාදෙ!

“ගාඩ්රූම් එකෙන් උඹලගේ නිවාඩු යන උන්ගේ ලිස්ට් එකක් ඉල්ලලද කොහෙද? ‍මේ ඒක වෙන්ඩැති”

"අප්පා.... දැං හතරට පහයිනෙ. ඔය යකා දැං නං එන එකක් නෑ කීයටවත්..."

බොරු කියන්නෙ මොකටද. මමත් හොඳට ම බය උනා ඒක අහලා. මිනිහා ආවේ නැත්තං අපි ගෙදර ගිහිල්ලා ඉවරයි. ඕක අතට ගන්නවට වැඩිය හොඳයි පොලිඩෝල් කුප්පියක් අරං නහය වහං එක උගුරට ගහලා දාන එක. එතකොට එක පාරයි.

මේක එහෙමයෑ!

දැං ආය මේ මඟුල් ඩෙනිම ගලෝල යුනිෆෝම් එක දාගන්න ඕනැ. ඒ මදිවට සපත්තු දෙක පොලිස් කරලා දාගන්න ඕනැ. ඒක ඇට දෙක පේන ගානට පොලිස් වෙලා නැත්තං එක තව මගුලක්. මේ අවුරුදු නිවාඩු යන අස්සෙ ඕවා කොහෙ දාලද කව්ද දන්නෙ අප්පා. අනික යුනිෆෝම් ගහං පාරෙ බස් එකේ යන්න කියලැයි. එහෙං වාහනයක් එනකං අපි ලකා ගහං බලං ඉන්න ඕන.

අනික ගාඩ් රූම් එක කියන්නෙ හැමදේම හරිද කියලා ඇතුලට දාන තැන වෙච්චි. එතෙන්ට කාගෙවත් ඇයි හොදයි කං වැදගත් කියලා යෑ. කොටින්ම එතන විනයේ මහගෙදර වගේ.

ඉතිං යුනිෆෝම් දාගත්තා වගේ යෑ ඒකට නිසි ගවුරවේ දෙන්න ගියාම. ඇවිදිද්දි කකුල් පිලිවෙලට තියලා යන්නද, ආපහු හැරෙද්දි දකුණු පැත්තෙං හැරෙන්නද, (මේ මාච් එකේ දි නෙමේ නිකං නිකං). ඇයි සර්ලා ඉස්සරහට හම්බෙද්දි කට කපලා සැලියුට් ගහන්නත් එපැයි. තොප්පිය අංසක ගානට ඇලේට දාං ඉන්නයි, කීයක් කියලද අප්පා? ඕවා එකක් හරි එහෙ මෙහෙ උනොත් ඉතිං ඉවරයිනේ ඔක්කොම සෙල්ලං. දෙයියනේ නේම්ටැග් එක! ඒක දාපු දිහාවක් මතකෙටවත් එන්නැ මේ වෙලාවේ.

අනික කොන්ඩ හදං හිටපු විදිහට මෙහෙම ගියොත්,

"
ආ...... උඔලා ඈට් කරන්ඩ හිතාගෙන ඇවිල්ලා වගේ." කියයි.

"
සාජන් මේක දෙන්න කිව්වා"

"
පොඩ්ඩක් හිටපල්ලාකො... මොකද හදිස්සි."

"
නිවාඩු යන්න කියලා සාජන්"

"
අනේ ඇත්තද එහෙනං උඔලා යමල්ලා පරක්කුත් ඇතිනෙ. මං ලොකු සර් එක්ක උඔලගෙ ගෙදරට එන්නං ඕක අරං යන්න. තරහා නැතුව ඇඩ්රස් එක දීලා පලයං."

ඔය මං කිව්වෙ ටිකයි.

අපේ සාජනුත් හතරට එනවා කිව්වට ජීවිතේට එන්නැ සුවර්. වෙලහකටත් අපේ අනිත් කොල්ලො ගානේ ටිකට් එකකුත් අරං පොර සීට් එකේ බුදියං සේප් එකේ ගෙදර යන්නැති. බබා අපිට දීලා.

"
මේ මේක ගනිල්ලා බං. මට ඩියුටි යන්න තියෙනවා"

“ආ කොප්‍රල් දිසා තාම මෙතන ද?”

"
දැං මොකද බං කරන්නෙ දිගා. වෙලාව බලපං?" කියාගෙන මං මිනිහගේ අතේ තියෙන ලියමනට ඔලුව දැම්මා.

ඒකෙ අපේ සාජන් ලස්සනට අපේ විස්තර ලියලා. සුවර් එකට කොල්ලෙක් දම්මලා ලියවන්න ඇති. මං දන්නැතුවයි පොරගෙ අත්තකුරු. ආ....ඔය මැද හරියෙ මගේ නමත් තියෙන්නෙ. මුලින් ම එක දෙක තුන, ඊට පස්සෙ අපේ නොම්බර තහඩුව, ඊලගට රෑන්ක් එක! (ස්ටේටස්, ස්ටේටස්), පස්සෙ නම. යටින්ම මිනිහා මේක මිනිහගේ අනුදැනුමෙන් ලිව්වා කියලා අත්සන් කරලා.

අත්සනයි අකුරුයි දැක්කම ඇති. සාජන් දැක්කා හා සමානයි. නිකං ගැස්සිලා යන්නෙ.

"
සිරාවට මොකද්ද බං දැං කරන්නෙ. හෙඩ් ක්වාටස් ගාඩ්රෑම් එකට ගියොත් නං එවිලි බොරු මලේ..........."

"
බලහං දැං හතර පහුවෙලා. රෙද්ද, අර යකා නෑනේ ඉතිං. මං නං යයි හෙඩ් ක්වාටස්”

දන්නවනේ අපේ දිගා. නැව ගිලුනත් ගැට්ටෙ බජව්. හැබැයි ඔය වගේ දේවල් වලදි හෙන වසයි.

ඉතිං මුලින්ම පොර කෙරුවේ “පයන්න, හුයන්න, කැයන්න” වගේ අකුරු මුලට එන වචන දාලා සාජන්ගෙ ගුණ ගායනා කරපු එක. පස්සෙ සාජන්ගෙ දෙමව්පියන්ගෙ. අන්තිමේදී ටිකක් වෙලා කල්පනා කරා.

ඊටත් පස්සේ මිනිහා, "වරෙන්කො පොඩි ගමනක් යන්ඩ" කියලා මාවත් කැන්දං බේරේ වැව ගාවට ගියා. ගිහිං ඒ කාලේ බෝට්ටු ගැට ගැහුව යකඩ රොදයක් උඩ ඉඳගෙන ආයෙත් අර අකුරු දාලා සාජන්ගෙ ගුණ ගායනාව පටන් ගත්තා. ඒ පාර නං මන්තරයක් වගේ.

මං බලාගෙන හිටිය මිනිහා ලියුමට මක්කරන්නද යන්නෙ කියලා.

මුලින් ම මිනිහා ඒක එක කකුලක් උඩ තියාගෙන දිග අතට දෙකට නැව්වා. අයෙ කෙලින් කරලා නැවුම් ඉර ගාවට කොන් දෙක එන්න නැව්වා. පස්සෙ ඒක දෙකට නැව්වා. අර පටි දෙක වගේ තැනිං ආයෙ හීනි තිරු දෙකක් නැව්වා.

ආනේ..... ඔන්න එතකොට ලස්ස රොකට් එකක් මතුවූනා. දැං රබර් පටියක් විතරයි අඩු!

ඔය අස්සෙ මිනිහා, "සාජනයා අපිව කඩේ යවන්න. ඒවා සුම්මා පුතා මාත් එක්ක." කියාගෙන නැගිට්ටා.

පස්සෙ මොකද දන්නවද මිනිහා කලේ,

වැව පැත්ත බලාගෙන හිටගත්තා. ඔන්න ඒ පාර මිනිහා හොඳ හුස්මක් අරං රොකට් එක තියෙන අත පුලුවං තරං පිටිපස්සට ගත්තා.

"ඕයි දිගා තෝ මොකද්ද ඔය කරන්ඩ යන්නෙ...."

" ඇයි උඔට පේන්නැද්ද. මං සාජනයගෙ ලියමන මෙතන ඉදං හෙඩ්ක්වාටස් යවන්නයි යන්නෙ, රොකට් එකේම. හැබැයි එක වැවට වැටිලා මුදුබත් උනොත් මං දන්නැ....... නෑ, නෑ, වැව්බත්, වැව්බත්. වැව්බත් උනොත් මං දන්නෑ. දැං මේක මගේ අතින් ගියාට පස්සෙ අපි ඔය මගුල දැක්කෙත් නැ දන්නෙත් නෑ....."

"යකෝ අර ලියුම දුන්න එකා කේස් එක කියයිනෙ"

"ඒ තව දවස් හතකට පස්සෙ........ අපි ෆන් එකක් අරං ආවට පස්සෙ. දැං මේක එහෙ උස්සං ගිහිං මාස දෙකකට පස්සෙ හම්බුනු දවස් හත නැති කරගන්නද කියන්නෙ හරකො...." කියාගෙන මිනිහා අරං යැව්වා නේද රොකට් එක අර ආර්පීජී දැල උඩිං.

අම්මා....... ඇස්වහක් කටවහක් නෑ දිගාගෙ නියම අත්ගුනේ.

බලං ඉද්දිම රොකට් එක හෙඩ්ක්වාටස් ගාඩ් රූම් එක පැත්තට විද්දා. ඒත් අපේම වෙලාවට එකේ දහන වායුව ඉවරවෙලාද කොහෙද අපේ ඇස් පනාපිටම මූදුබත් උනා. නෑ!නෑ! වැව්බත් උනා.

“බලහං වේලාව කීයද කියලා”

“හතරයි දහයයි

අන්න බලපං විනාඩි පහයි චැප්ටර් ක්ලෝස්. සාජන් ඕන මගුලක් කරගත්තාවේ. ලියමන ගැන කව්රුත් දන්නෙත් නෑ. දැක්කෙත් නෑ. හා යමං ගෙදර...”

අන්න ආස්සරේ කරනවනං ආදර්ශමත් යාලුවො. තමන්ගේ අරමුණට යන්න ඕනැ කැපකිරීමක් කරයි.

ඉතිං මමත් හොද හුස්මක් අරං ගෙදර යන්න හිතුවා.

හ්ම්.... වැවෙං ආපු හුලං මගේ ගමේ මතක අවදි කලා. දැං දවස් හතක් ගමේනේ දෙයියනේ.........වැව් තාවුල්ලෙ දුවන්නද, වෙල් ඉපනැල්ලෙ එල්ලෙ ගහන්නද, පංසලේ සාදු හම්බෙන්නද.... කොච්චර දේවල් තියෙනවද අයියෝ කරනවා නං”

ඒත් මගේ සිතිවිලි දැහැන බිදෙන්න එච්චර වෙලා ගියේ නෑ. ඒ හුරුපුරුදු කඩහඩකින් මෙන්න මේ විදිහට කියනවා ඇහුන හින්දා!

වෙලාවට උඔලා දෙන්නා තාම මෙතන. පුදුමයි! මේ කොප්‍රල් දිසා උඔලට ලියුමක් දුන්නද? හෙඩ් ක්වාටස් යන එකෙක් හම්බුනා ඒක උගෙ අතේම යැව්වකි...........?"

ඒත් ඒක මට ඇහුනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා.

ඒ හින්දා මම දිගා දිහා බැලුවා. දිගා වැව දිහා බලං ඉන්නවා. මම මගේ 3310 න් වෙලාව බැලුවා.

වෙලාව හරියට 4.12යි.

2011/05/04

ටිකිරිගේ මැයි දින පණිවිඩය !

පූජාවක් විදිහට හරි උදව්වක් විදිහට කාට හරි අපිට අයිති දෙයක් දීම දානය කියලා කියන්න පුලුවන්ය. අපි වගේ හරි, අපිට වඩා පහල අයට හරි දීම දානය වෙන අතර, අපිට වැඩිය උසස් පිරිසට දෙන දානය පුජාවක්ය.

දානයක් දෙන්න ලැස්ති වෙද්දිත්, දානය දෙද්දිත්, ඉන් පසුවත් අපිට කොච්චර නං සන්තෝසයක් දැනෙනවාදැයි කියා දානෙ දුන්නු අය දන්නවායැයි මම සිතමි.

දානෙ දෙද්දි දෙන කෙනාට ගරුසරු ඇතිව එයාලට අමාරුවක් නොදැනෙන්න දානේ දීමත්, දුන්නට පස්සෙ "හප්පා හිතුවට වඩා සල්ලියක් ගියානේ" කියලා හිතන්නැතුව දානේ දීමෙනුත්, දානේ දෙන්න ලෑස්තිවෙද්දි ඒ ගැන සංතෝස සිතින් ඒකට ලැස්ති වීමෙනුත් අපිට ලොකු පිනක් සිද්ධ වෙන බව ඕගොල්ලං දන්නවා යැයි සිතමි.

දානයක් දුන්නට පස්සෙ “සසරට පිහිටක් කර ගත්තෙමි”යි කියලා අපි කරපු දානය ගැන නැවත නැවත හිතලා සන්තෝෂ වෙන එකත් කොච්චර හොඳ දෙයක් ද කියලා පොතපත කියෝන ඕගොල්ල දන්නවා ඇති. ත්‍රිහේතුක කුසල කර්මයක් උනත් පෙර සහ පසු සිතිවිලි හොඳ නැති වීම හින්දා දුර්වල විපාක දෙන්න හේතුවක් වෙනවා කියලා අපි කව්රුත් දන්නවානේ!

එහෙම උනාම ඔක්කොම වතුරේය.

කොහොමහරි පහුගිය දවස් ටිකේ මහන්සි වෙලා අයියලා එක්ක එක්කහු වෙලා අපි කව්රුත් දානයක් දුන්නෝය. මේ කියන්න යන්නෙ ඒකෙ වගයි.

පහුගිය අවුරුදු නිවාඩුවට අපි ගියේ නලින් මාමලයි දිහාය. එහෙ හෙන ලස්සන ගමක්ය. අපි ගිහිල්ලා උදේට කිරිබත් කාලා තේ බීලා ගමේ ඇවිදින්න ගියෝය.

ඒ ගම පිහිටලා ඇත්තෙ අඩතැන්නේයයි සිතිය හැකිය. මම ඒ මතයට ඒමට හේතුව සමතලා බිමේ තැනින් තැන ගල් පරුවත පිහිටීම හින්දය. හැබැයි ඒ ගම මෙහෙමයි කියලා කියන්න බැරි තරමට ලස්සනය. ගෙදරින් එලියට බහිද්දිම අන්නාසි වත්තය. පස්සෙ කඳුය. කන්ද උඩ පන්සලය. පන්සල‍ට යන පාර දෙපැත්තෙ කුඹුරුය. කුඹුරු කෙරෝලේ කදු පන්තිය.

ඉතිං අපි දවල් වෙනකං ඒ ලස්සන බල බල ඇවිදලා ගඟෙං නාලා ගෙදර ආවෙමු.

හවස් අතේ කෑම කාලා රඹුටං ගාලේ හෙවනේ, අයියලා අක්කලා ඉද්දි නලින් අයියා කොහෙදෝ යං කියලා කතා කරගත්තොය. හැමෝම ලැස්ති උනේ මාව හලා යාමටය. ඒ ගොල්ලං කිවේ මට ඒ ගමන යාමට සුදුසු තැනක් නොවේය කියලාය. ඒත් මම නං ඒවට සැලුනේ නැත.

“කෙක්කෙං බැරිනං කොක්කෙං" ය කියලා මමත් අයිතිවාසිකම් කතා කළෙමි.

බැරි තැන, මාව අරං නොගියොත් ඒ ගොල්ලංගෙ වැන් එක යන්ඩ ඇරලා වීදුරුවක් කුඩුවෙන්ඩ හොඳවයින් කලුගල් පාරක් දෙනවායැයි බය කල පසු මාවත් ගෙන යාමට එකඟ විය. ඒත් ඒගොල්ලං කීවේ “මට ගියාම තේරෙයි කියලාය”. "ගියාම තේරෙන්න නං මුලින්ම යන්න එපැයි" මම කීවෙමි.

පස්සෙ අපි වැන් එකේ පොඩි පොඩි කදු ගැට පාස්කරලා ගියෝය. කොහොමහරි එක තැනකට අපි ආවෝය. එතෙන හරි වෙනස් තැනකි. හරියට වළව්වක් වගේය. මට නං මුකුත් හිතා ගන්න බැරි විය. ඒ පාර මම ඒ මිදුලේ හිටවා තිබුනු මල් වර්ග කීයක් අඳුරනවාදැයි බැලුවෙමි.

පස්සෙ අයියලා අක්කලා එතන කාවදෝ හම්බෙලා, මොනාදෝ කතා බහ කරලා, කට්ටියටත් එක්ක ඇවිදින්න පිටත් විය. මමත් ඒ ගොල්ල පස්සෙ වැටුනෙමි.

එක තැනක පොඩි අක්කලා වගයක් ටීවී බල බලාත්, පොත් කියව කියවත් හිටියෝය. ඉතිං මං කෝකටත් මගේ කොණ්ඩේ පිලිවෙලක ඇද්දැයි බැලුවෙමි. පස්සෙ මම ඒ ගොල්ලං එක්ක හිනා උනෙමි. ඒ ගොල්ලත් මාත් එක්ක හිනා වුනෝය.

ඒ වෙද්දි අයියලා එහා පැත්තට ගිහිල්ලා සිටි අතර මමත් ඒ පැත්තට දිව්වෙමි.

අප්පා එතෙන්ට ගියාම මගේ ඔලුව විකාර විය. එතන අවුරුදු තුනට අඩුයි කියන්න පුලුවන් ගැනු පිරිමි ළමයි ගොඩකි. ඒ ගොල්ලං හිටියෙ වැටෙං එහා පැත්තෙය. මගේ ඔලුව විකාර කලේ ඒ ගොල්ලංගේ කෑකෝ සද්දේය. සමහරු දොරවල් වලට ගස ගසා හිටි අතර, සමහරු ගහමරා ගත්තොය. වැඩිහිටියොයි කියලා කියන්න පුලුවන් පිරිසක් ඒ ගොල්ලංගෙ රන්ඩු බේරමින් සිටියෝය.

පස්සෙ අයියලා මැද කොරිඩෝවෙන් ගිහිල්ලා තැනකට ආවෝය. එතන අර අක්කලායි, එහා පැත්තෙ පොඩි බබාලයි අතර වයසකයි කියන්න පුලුවන් කට්ටියක් සිටියෝය. ඒ ගොල්ලංගේ ඔලු නැන්දා කෙනෙක් පීරයි. පීරපු අයගේ මුණවල් වල වෙන නැන්දා කෙනෙක් පවුඩර් ගායි. අන්තිමේදී ඒ ළමයා ගිහිං ඉඳගනියි. තවමත් ඔලුව පීරා නැති අය පෝලිමේය. ඒක හරියට මැසිමක් වගේ, එකම විදිහට එකම තාලෙට පෝලිම ඉවර වෙනකං සිදුවිය.

ඉතිං මේ මොකද්ද, මෙතෙන වෙන්නෙ මොනවාදැයි හරියට නිච්චියක් ගන්න බැරි තැන මම හිමීට එතන හිටපු නෝනා කෙනෙකුට ලං කලෙමි.

"එස්කියුස් මී මැඩම්... මෙතන මොකද්ද තියෙන්නෙ?" මම වැදගත් විදිහට ඒ නෝනාගෙන් ඇසුවෙමි.

“මේක ළමා නිවාසයක්! ළමා නිවාසක්.....!? මීට කලින් දැකලා නැ නේද, මෙතන ඉන්නෙ අම්මලා තාත්තලා නැති ළමයි.”

“මොනවා......ඒ කියන්නෙ. තණකොල පෙත්තො වගේ, අම්මලා තාත්තලා නැති ළමයිනුත් ඉන්නවද?”

“හිහ්...... නැ.. මේ ගොල්ලංගෙ අම්මලා තාත්තලා ඒ ගොල්ලංව දාලා ගිහිං.”

“ආ...... ඒක මිසක්, එතකොට කවද්ද ඒ ගොල්ල රට ඉදලා එන්නෙ.....”

“දාලා රට ගිහිල්ල නෙමෙයි, මේ ගොල්ලන්ට‍ අම්මලා තාත්තලා නෑ. බලා‍ගන්නෙ මේ නැන්දලා මාමලා. හරිනේ.........”

“ඒ කට්ටිය කවදාවත් එන්නැද්ද?”‍

“හුඟක් වෙලාවට නැ! සමහර විට කවදක හරි එන්නත් පුලුවං, මෙතෙන ඉන්නවා කියලා දන්නවා නං!”

ඉතිං අපි ඔහොම කතා කර කර ඉන් අතරේ, අයියාලා මොන මොනාද දෙන්න කතා කරගෙන එදා එහෙන් පිටවිය. අර අයියලා කිව්වා වගේ මට නං ඒක කොහොමත් අමතක කරන්න බැරි තරම් අමාරු දෙයක් විය.

අම්මලා තාත්තලා නැතුව ඒ ගොල්ල රෑට කාට තුරුල් වෙලා නිදා ගන්නද? දන්නැති දෙයක් ආවොත් දැන ගන්නෙ කාගෙන්ද? ඒ වගේ ගොඩක් ප්‍රශ්ණ මට ආවත්, එවා අහන්න තරං කව්රුත් ඒ වෙලාවේ හොයා ගන්න බැරි විය.

පසුව අයියලා හැමදාම කරන වැඩත් එක්කම එහෙට දෙන්නං කිව්ව බඩු මුට්ටුත් එක්කහු කලෝය.

අයියයි අක්කයි එක්කහු වෙලා දමාපු පොඩි අයගෙ ඉස්කෝලේ, පටන් ගත්දා අයියලා එක පොරොන්දුවක් ඒ ගොල්ලන්ටම වී තිබුනි. ඒ හැම ළමයෙකුගේම පන්ති ගාස්තුවෙන් සීයට අහවල් ගානක් මේ වගේ වැඩ වලට වෙන් කරනවා කියලාය. ඉතිං අයියලා එහෙම වෙන්කරගත්තු සල්ලි වලින් ඒ ගොල්ලං ඉල්ලලා තිබුනු බඩු මුට්ටු ලේසියෙන් ගන්න පුලුවන් විය.

ඒවා අතර බේත් හේත්, පොඩි අයට සෙල්ලං කරන්න බිල්ඩිං බ්ලොක්ස්, පොත්පත්, මං දාන ජාතියේම "සුපර් ස්පෝට්ස්" සපත්තු කුට්ටං හා ඒවාට මේස්, කොච්චර දුන්නත් ඇති නොවෙන කිරිපිටි, චුට්ටිම කට්ටියට පැම්පස්, හවසට කන්න බිස්කට් එහෙම තිබුනි. එදා ගිය අයියලාගෙ අනිත් යාලුවයි ඒ ගොල්ලංගේ පුතාලා වන කට්ටියත් චුටිම අයට සැනඩ්ල්සුයි, පැම්පසුයි අරං තිබුනි.

අන්තීමේදී චූටි දිය පාරට තවත් දියපාරවල් එක්කහු විය.

ඒකට මුල පිරුවේ මංය. මම මුරුක්කු හරි අයිස්කිරිං හරි දෙකෙන් එකක් කන්නයි කියලා හරි අමාරුවෙන් එක්කහු කරං හිටපු රුපියල් තිස් අටක් ඒ ගොල්ලන්ට බඩු ගන්නයි කියලා එක හිතිං දීලා දැම්මෙමි.

පස්සෙ අයියලාගෙ අම්මගේ ඉස්කෝලේ චීටර්ලයි, අක්කගෙ පංතියෙ ළමයිගෙ අම්මලායි කිසි බලකිරීමක් නැතුවම පොඩි කට්ටියට කිරිපිටි පොත්පත් ගෙනත් දුන්නෝය. ‍

රෙදි කඩවල් තියෙන අම්මලා ඒ ගොල්ලන්‍ට අඳින්න අලුත්ම අලුත් බෙන්ටෙන්ලගේ, ස්පයිඩමැන්ලාගේ රූප තියෙන ඇදුම් ආයිත්තම් ගෙනත් දුන්නෝය. කඩවල් වලින් බඩු ගද්දි “මේ අහවල් වැඩකටයි" කියූවිට ගොඩක් කට්ටිය කොස්ට් එකටම වාගේ බඩුවලට ගණං දාලා දුන්නෝය. සමහරු දුන්නේ ඩිස්කවුන්ට්ය. අක්කලාගෙ පංතිය ගාව නැන්දා ඒ ගොල්ලංගෙ ජීප් එකෙන්ම බඩුත් අරං අපිත් එක්ක ඒ ගමන යන්න එකතු විය. ඒකෙන් අයියලාට සෑහෙන මුදලක් ඉතුරු වු අතර ඒ සල්ලි වලින්, ඒ ගොල්ලන්ට ගොඩක්ම ඕනැයි කිව්ව අමතර බිල්ඩිං බ්ලොක්ස් ටිකකුයි කිරිපිටියි ගත්තෝය.

ඉතිං ඒ ටිකත් අරං අපි කට්ටිය පහුගිය පළවෙනිදා එගොල්ලං බලන්න ගියෝය. මේ තියෙන්නෙ ඒවයේ පින්තුරයි.

මේ ඉන්නෙ පීටර් වීරසේකර මහත්තයයි. මේ ළමා නිවාසය තියෙන්නෙ ඒ මහත්තයාගෙ වලව්වවෙයි. දැං නං අලුත් ගොඩනැගිලිත් හදලාය.

මේ අපි ඒ ඒ කට්ටි වලට බිල්ඩිං බ්ලොක්ස් දීපු වෙලාව.

මේ අපිත් ඒ ගොල්ලං එක්ක එකට එක්කහු වෙලා සෙල්ලං කරපු වේලාව. නැන්දලාත් පොඩි අයවගේ නේද?

පොඩිම අයට සපත්තු අපිමයි දැම්මෙ.

මේ, මං දාන ජාතියෙ සුපර් ස්පෝට්ස් සපත්තු එයාලට දුන්නු වෙලාව. පරණ සපත්තු ඉරිලා තිබ්බත් ඒ ගොල්ලං අපි යද්දි ඒවා හෝදලා පෝලිමට වෙලෙන්න දාලා තිබුනේ පහුවදා ඉස්කෝලෙ යන්නයි.

ඉතිං අපි ඒ ගොල්ලංට ඒ තැගී බෝග දීලා ටික වෙලාවක් කතා කර කර හිටියෙමු.

මං ඒ ගොල්ලංගෙන් "ටොම්ලා ජෙරීලා, ෂැගීලා ස්කුබීලා" ගැන ඇහැව්වෙමි.

සමහරු මට දිවුරලා කිව්වෙ කවම කවදාවත් ටොම්ටනං ජෙරීව අල්ලගන්න බැරි වෙන බවයි. සමහරුන්ට නං මැක්වුල්ෆ්ගේ මෝඩ වැඩයි, කතාබහ කරන විදිහයි හින්දා හිනාව නවත්තගෙන බලන්නෙ ලැබෙන්නෙ එහෙමත් දවසකලු. තවත් සමහරු කිව්වෙ ෂැගීල නැත්තං අනිත් කට්ටියට තවදාවත් හොරු අල්ලගන්නඩ නං බැරි වෙනවා කියලයි.

කොහොම හරි ඔහොම කතා කර කර ඉඳලා එන්ඩ යද්දි හරි වැඩක් විය. ඒ ගොල්ලංගෙ වැඩිහරියක් අපේ අත්වල එල්ලිලා තව ටිකක් වෙලා ඉඳලා යන්න කියන්න ගත්තේය. සමහරු ළඟට ඇවිල්ලා "අපි බලන්න ආය එන්න"යි කියා යන්න ගියේය.

ඒත් සමහරක් එක්කහු වෙලා අපි ආපු එකට ස්තුතියක් විදිහට සින්දුවක් කියා ඒගොල්ලංගේ සංතෝසය අපිට පෙන්නුවෝය. මේ තියෙන්නෙ ඒ පින්තුරෙයි.

ඉතිං අපි ආයෙත් එන පොරොන්දුව පිට එතනින් පිට විය.

ඔන්න ඔහොම එදා මැයි දිනේ ගෙවිලා ගියෙ, මගේ ජීවිතේ කාටවත් මකන්න බැරි විදිහේ අලුත් මතකයක් එකතු කරලාය.

ඉතිං ඕ​​ගොල්ලන්ට මම මේක කිවේ විශේෂ කරුණක් මතක් කරන්නය.

අපි අතර තවත් මේ වගේ දානෙ දෙන අය ඕනැ තරං ඉන්නවෝය. නමුත් ඒ ගොල්ලං අපිට ඒ ගැන කියන්නේ නැත. මම නං කියන්නෙ අපි කරන පිං අතේ වැඩ කාටත් කියන්න ඕනැ කියලාය.

මොකද එතකොට "අනේ මේ ගොල්ල කරපු වැඩෙං අර ළමයිට ලොකු පහසුවක් වෙන්න ඇති, ඒ ගොල්ල සංතෝස වෙන්න ඇති, මේ වගේ දෙයක් කළ හින්දා ඒ ගොල්ලන්ට පිනකුත් සිද්ද වෙනවානෙ" කියලා හිතෙන අයට අපි කරා වගේම පිනක් එහෙම හිතීම නිසා සිදු වෙන හින්දය. ඒ කියන්නෙ ඒ පින ඒගොල්ලංගෙ කුසල් ශක්තිය අනුව ඒ ගොල්ලන්ටත් අනුමොදන් වෙනවා කියන එකයි.

අනිත් කරුණ නං, අපිට වඩා ගොඩාක් සල්ලි හොයන නැන්දලා මාමලාටත් මේ වගේ දෙයක් කරන්න පොඩිපහේ පෙළඹවීමක් මේ වගේ ලියුමකින් කරන්න පුලුවන් වේ යැයි මං හිතපු නිසාය.

එහෙම උනොත් සතුටු හිතෙන්නෙ තෑගි ලැබෙන අර වගේ අයට විතරක් නෙමේය. දෙන ඒ ගොල්ලන්ටත්, ඒවා කියවන අපිටත් සතුටු හිතේ.

අන්තිමේදී පුංචි දරුවෙක් විදිහට මං ඕගොල්ලංගෙන් ඉල්ලන්නේ "පුලුවන් හැම වෙලේම මේ වගේ වැඩ කරමු" කියාය. මගේ මැයි දින පණිවිඩය වන්නේ ද ඒකය.

ඉතිං එහෙමනං මම අදට නවතින්නෙමි.

කාටහරි ඒ ගැන තව පොටෝ බලන්න ඕන්නං, ගිහිල්ලා ඇල්බම් එකම බලලා එන්නත් පුලුවන්ය.

පොටෝ බලන්න කලින් තව එකක් කියන්න තියෙනවාය.

එදා ගත්තු ගත්තු පොටෝ බල බලා අපි ගොඩක් සතුටු උනා තමාය. හැබැයි මේ පොටෝ එක දකිද්දි නං මගේ බඩ පපුව මොනාදෝ වී, පස්සෙ උගුර හිරකරන්න ගනියි.

ඒ වෙන මොකවත් හින්දා නෙමේ,

"කවදාවත් එන්නැති අම්මලා තාත්තලා එනකං, දවස පුරා ම බලං ඉදලා, රෑ උනාම මේ ඇදං වලට වැටිලා තනියෙම ඒ ගොල්ල නිදාගන්නවා ඇති" කියලා හිතෙන හින්දායි කියලා මට හිතෙන්නෙ.

............................

- මීට ඔබේ හිතවත් යාලුවා ටිකිරි.

සැළකිය යුතුයි.

ඔබ්සවර් සීයට පිං පිණිස මේ ටික නැවත ඇතුලත් කරන ලදී.

වැඩි විස්තර ඕනෙනං ඒ ගොල්ලංගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. තවත් විස්තර මේකෙත් තියෙනවා.



Related Posts Plugin for WordPress, Blogger...