ඔබ සැම සාදරයෙන් පිළිගනී !

මෙතැන් පටන් ඕගොල්ල ඔක්කෝට ම නොමිලේ කෙහෙල් කෑමට ලැබේ. හැබැයි දිරවා ගැනීම ඕගොල්ලන් සතුය.

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතා !

අතීතයේ එක්තරා වකවානුවක විසු යහපත්, ගුණ ගරුක, කාටත් කරදරයක් නැති දරුවෙක් ගැන කියවන්න.

විදෙස් සිත්තරාගේ කාටුන් නරඹන්න !

ඔබ සිංහල බ්ලොග් කරුවෙක්ද? විදෙස් සිත්තරාගේ මීලඟ ගොදුර ඔබ විය හැකියි.

යුරෝ දෙකේ වීරයා !

මහා ප්‍රඥා සම්පන්න යුරෝ දෙකේ වීරයාගේ නුවණ දැනගතිමි. (පාඨක ප්‍රතිචාරයකි.)

2011/04/29

ම-යන්න ගු-යන්න ල-යන්න මගුල | අන්තිම කොටස ප-යන්න අල්වයන්න පව්!!!

කෝයන්න, හොයන්න, මයන්න, දයන්න, කොහොමද? ඉයන්න, තියන්න, බිංදුව, ඉතිං, කොහොමද ඉතිං?

පොරොන්දු වෙච්ච විදිහටම පහුගිය දා කියන්න ගත්තු කතාවේ හොදම ටික දැං කියන්නයි යන්නෙ. ඕගොල්ලංට එදා කිව්වනෙ මගේ අලුත්ම සොයා ගැනීම ඔය උඩ තියෙන විදිහට කතා කරන එකයි කියලා.

මතකනේ!

කොහොමත් ඔය මගුල් ගෙදරට ගිය ගමන් මට කතාබහ කරන් කියලා වැදගත් කවුරුත් හිටියේ නැති තැන මම තනි පංගලමේ පුටුවක් උඩට වෙලා හිටියා. ඔන්න ඔය වෙලාවෙදි තමා මේ හැමදේටම වගකියන්න ඕනෙ මොල්ලිගොඩ මට හම්බුනේ.

හරියට ගහට ගහක් මොරටුවෙදී හම්බුනා වගේ.

ඔතනදි අපි පොඩි බහින්බස් වීමකට පැටලුනා. ඒ අපේ අයියා අර අක්ක බැලා දවස් දෙක තුනක් යනකං රෑට නිදා ගන්න දෙන්නැයි කිව්ව රහස මම මොල්ලිගොඩට එලිකරපු වෙලේ. ඕගොල්ලන්ට හිතා ගන්න බැරිනං මේ තියෙන්නෙ ඒ පින්තුරෙ. ඔක්කොටොම කලින් ඒක බලලම ඉන්නකො.

පස්සෙ අපි දෙන්නා‍ සමාදාන වෙලා බීම කාමරේට ගියානෙ. එතෙන දී තව රහසක් එලි උනා. ඒ මොල්ලිගොඩ පන්තියෙ “එක” නෙමෙයි “තුන”යි කියලා. ඔතනදි මම මගේ අලුත්ම සොයා ගැනීම මොල්ලිගොඩට කියලා දුන්නා. මොකද ඒ වෙනකොට මිනිහා මට හොද විදිහට පේන්න අරංනෙ තිබුනේ.

ඇරත් මිනිහත් මං වගේමයි. වැඩක් පටන්ගත්තොත් ඒකෙ කෙරෝලක් දකිනකං උත්සහය නං අත්අරින්නැ.

වැඩිපුරම ඒක තේරුනේ බීම, කෝප්ප වලට දාන වෙලාවෙදි.

මිනිහා මගේ බීම විදුරුවට බීම වක්කරේ අර මහ ‍ජෝග්ගුවලින්මයි.

බී කොච්චර නං බිමට හැලුන කියලද, මේසෙ උඩ කොච්චර ඉහිරුනා කියලද, ඒත් මිනිහා නෙමේ උත්සහය අත්ඇරියෙ. බීම වීදුරු දෙකම පුරොනකං මිනිහා කොහොමහරි එල්ලෙ අල්ලලා විදුරු පිරෙව්වා. හරියට මේ වගේ.

ඔන්න ඕකයි එදා මම කිව්වෙ!

ඒ උනාට කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි හොඳට ගිහිල්ලා ඒක කියෝලා ආවට මට කමක්නැ.

කොහොමහරි මොල්ලිගොඩට ක්‍රමේ කියලා දුන්නට පස්සෙ උනේ මම නොහිතපු වැඩක්.

ඒක උනේ මෙහෙමයි.

ම‍ගේ ක්‍රමේ පුරුදු වෙන්න මිනිහා අම්මා, තාත්තා, බල්ලා වගේ වචන ඒ විදිහට කඩලා කිව්වා. ටිකකින් වාක්‍යත් කැඩුවා. කො​හොමහරි මිනිහා ක්‍රමේ අල්ලාගත්තා. හැබැයි මම තරං හොඳට කිව්වෙ නෑ. මොකද එයා මේකට තාම අලුත්නෙ. ඇරත් මම කොහොමත් ඕන දේකට පළපුරුදු කාරයනේ.

"අයන්න, පියන්න, අපි, දැයන්න, බින්දුව, දැං යයන්න, බිංදුව, දයන්න, යං, අපි දැන් යං? හක් හක් හා......" මිනිහා මගේ පළවෙනි ගෝලයා උනේ එහෙමයි.

"හා...." බීම හින්දා සිමෙන්තියට ඇලිලා තිබුනු කකුල් ඇමමත් එතනින් යන්න පිටත් උනා.

අපිට ලියට යන්න තිබුනෙ මගුල් ගෙදර සාලේ හරහා. අපි මගුල් ජෝඩුවයි තව නැදැ පිරිසකුයි පහු කරලා බිම බලාගෙන හො ලමයි වගේ සාලේ තරය කරන්න පටන් ගත්තා.

මේ වෙද්දි අයියව ගෙදරට පිලිඅරගෙන කාරිය වරවෙලාගුල් ගේ සංසුන් වෙලා තිබුනෙ. කට්ටියත් සංසුන් විදිහට තම තමන්ගෙ මේසවල කකා බිබි හිටියෙ. ඒක හින්ද සාලෙ හරහා ගමනට අපි වැඩිය බය උනේනෑ.

ඒත් උනේ වෙන දෙයක්.

"ඒයි......එයි..... කොහෙද මේ කොල්ලෝ දෙන්නා මේ පැත්තෙ හොරගල් අහුලන්නෙ....."

"කොහෙවත් නැ! මේ මොකවත් නැ පියසිරි මාමේ....." මොල්ලිගොඩට පැටලුනා.

"මෙහෙට එමු, මෙහෙට එමු......" ඒ පියසිරි මාම කියලා මොල්ලිගොඩගේ මාම කෙනෙක්, එයා අපිට කතා කලා. ඒ ගොල්ලං හිටියෙ අපේ මගුල් ජොඩුව ඉන්න හරියෙම සාලේ දමාපු මේසෙක.

එතන තව මාමාලා වගේකුයි, ඒ ගොල්ලංගේ නෝනලයි කියන්න පුලුවන් විදිහේ හෙනට මහත නැන්දලා වගේකුයි හිටියා. ඒ ඔක්කොමලා අපි දිහායි බලං හිටියෙ. මාමලා ඕනැවට වැඩිය ඇස් පිල්ලං ගහන හැටියෙනුයි, හිනාවෙන හැටියෙනුයි මං දැනගත්තා මේ ගොල්ලංට ටිකක් වෙරි විත්තිය.

"මොකවත් නැත්තං ඔය මොකද නිකං....ඇ........ මුන් දෙන්නා මොකක් හරි මගෝඩි වැඩක් කරලයි මේ එන්නෙ...... නැද්ද වයලා........" මොල්ලිගේ මාමා අර මහත නැන්දා කෙනෙක්ගෙන් ඇහැව්වා.

"කො බලමු........" මහත නැන්දා මොල්ලිව එයා ගාවට ඇදලා ගත්තා.

"කොහෙද පුතේ මෙ ළමයත් එක්කලා ගියෙ"

" නැ......... මෙයා මට අච්චු පොත පාඩං දෙන අලුත් විදිහක් කියලා දුන්නා."

"කොහොමද?"

මෙහෙමයි..... ලේසියි, දැං මටත් පුලුවං! ඒක කරන්නෙ වචන වල අකුරු කඩලයි!

"අකුරු කඩලාය කිව්වා” පියසිරි මාමගේ යාලුවෙක් ඒකට බය උනා.

"කෝ කියමු බලන්ඩ...... ඔය අකුරු කඩන ක්‍රමේ අපිටත් අල්ලගන්ඩ......."

“දැං මෙහෙමයි.... අපි හිතමු පියසිරි මාමා කියලා කියන්න ඕනැ කියලා, එතකොට අපේ ක්‍රමේ හැටියට කියන්නෙ පියන්න,යයන්න, සියන්න රියන්න පියසිරි මායන්න මායන්න මාමා, පියසිරි මාමා! අන්න එහෙමයි.” මොල්ලි අපේ "දොඩං බීම" රහස හංගන්න වෙන කතාවක් ඇදලා ගත්තා.

“හොහ් හොහ්..... මරු වචන කැඩිල්ලනේ... මගේ පුතත් දන්න දේවල් ඈ....”

ඒ කියමනෙන් මෙච්චර වෙලා හොඳට හිටපු මොල්ලිගොඩ ඉදිමුනා. පස්සෙ මිනිහා එතන හිටපු අනිත් අයගෙ නම් ගම් කඩලා කියන්න ගත්තා. නිකනුත් නෙමේ මහ හයියෙන්. ඇත්තම කියනවනං කිව්වට වැඩිය වැරැද්දුවා. ඔය සද්දෙට ඒ අහල පහල මෙසේ වල අයත් මොල්ලිගොඩ දිහා බලන්න ගත්තා. ඒ ඔක්කොමලා මොල්ලි කියන කං බය වෙලා වගේ මිනිහගේ මූන දිහා බලං ඉඳලා පස්සෙ හයියෙන් හිනා උනා.

ඒකෙන් මේකෙන් උනේ මොල්ලිගොඩට මුල අමතක වෙච්ච එකයි.

මිනිහා මගේ හොයා ගැනීම පාවිච්චි කරලා එතන "මුදුනා" උනා. මම නිකමෙක් උනා. මට හිතුනා මිනිහව පෝරුව පිටිපස්සට එක්කන් ගිහිං හොවයින් පාරවල් දෙක තුනක් දෙන්න. ආයෙත් ඔය වගේ දියාරු වැඩ නොකරන්න.

අනික මිනිහා වචන වරද්දන එකේ කෙරෝලකුත් පේන්න නැනේ.

"මේ ඔයා බැරි වැඩ නොකර ඉන්නවද, ඔයා මගේ ක්‍රමේ පාවිච්චි කරාට කමන්නැ. හැබැයි වරද්දලා නං අහුවෙන්න එපා... හොඳේ.!" මම කෝකටත් මිනිහට අනතුරු ඇගෙව්වා.

නෑ ඉතිං මගේ ක්‍රමේ පාවිව්වි කලාට කමන්නැ! මිනිහට තිබුනා නිකමට මගේ නම මතක් කරලා දෙන්න නේ.

ඔහොම හිත හිතා ඉන්න කොට මට කන්දෙක පැලෙන්න වගේ මහා හිනා සද්දයක් ඇහුනා. මම බලද්දි පියසිරි මාමලායි, එතන හිටපු ක්කොමලායි දෙකට නැමී නැමී හිනා වෙනවා. ඒ අස්සෙ එක්කෙනෙක් මගෙන් මෙහෙම ඈහැව්වා.

“ඇත්තද පුතේ මේ පුතා කින්නෙ....

“මොකද්ද?”

“අක්කට නිදා ගන්න දෙන්නැයි කිව්වද ඔයාලගෙ අයියා”

මම කෝකටත් සද්ද නැතුව හිටියා. මං දන්නැනේ මේක මොන අතකට පෙරලෙයිද කියලා.

එතකොට මේ කෝලං වලින් මුදුනා වෙලා හිටපු මොල්ලිගොඩ,

“කිව්වා තමා මෙයා. ඒක කියලා මම "නෑ" කිව්වම මට ගහන්නත් ආවා” කියලා තවත් ඉදිමුනා.

ඔය වගේ දේවල් වලට නං මං කොහොමත් කැමති නෑ කියලා ඕගොල්ල උනත් දන්නවනෙ. ඉතිං මමත් ඇරියේ නැ.

“ඔව් අපේ අයියා එහෙම කිව්වා තමා....... නෑ කියලද කියන්නෙ......” මමත් කියලා දැම්මා. මං කාට බයවෙන්නද? ඒ වෙලාවේ මට ගිහිල්ලා තිබුනු කේන්තියට මොල්ලිගොඩ නෙමේ, මිනිහගේ හත්මුතු පරම්පරාවම ආවත් ඔක්කොමලාව උස්සලා බිම දාන්න පුලුවන් හයියක් ඇවිල්ලායි තිබුනෙ. හැබැයි එක එක්කෙනා ආවොත්!

“ අනේ යන්ඩ ඔයා.... ඔගොල්ලංගෙ අයියා අපේ අක්කගෙ හැටි දන්නැතුවයි ඔය.....

“මොනා දැන ගන්නද? අක්කගෙ මූණටම තමා එදා කිව්වෙ”

“කවද්ද?”

“අපි ඇඳුං ගන්ඩ ටේලර් සාප්පුවට ගිය වෙලාවෙනෙ....... ඔගොල්ලංගෙ අක්කත් ඇවිල්ලා හිටියෙ ඔයා නොදන්වට.....”

“ බුදු අම්මෝ...... මෙයා කියන පච...... අක්කා කොහෙ ගියත් මම එක්ක මිසක් තනියම යන්නැ....කවදාවත්”

“අනේ නිකං යනවා යන්ඩ පච නොගහා........එහෙනං එදා ඇවිල්ලා හිටියෙ............!”

"ආ..... එහෙනං අක්කා මොකද්ද ඇඳගෙන හිටියේ......."

"අක්කා ඇඳගෙන හිටියෙ අර ත්‍රිකෝන හැඩ තියෙන ලා පාට ගවුමක් ද කොහෙද, ඒක නං මට මතකත් නෑ.... කොහොමහරි අක්කා ඇවිල්ලා හිටියා, අක්කා මට පේර ගෙඩි බෑග් එකකතුත් දුන්නා හරිද, අපේ අයියා එහෙම කිව්වම ඕගොල්ලංගෙ මහ ලොකු අක්කා ඇඔරි ඇඔරි හිටියා ඇරෙන්න මොකවත් කලේ නෑ. අන්තිමට "ඒවා හඳේ තමා....." කියලා ද මොකද්​දෝ හිමීට කිව්වා මිසක්. මට පේන්නෙ අක්කත් ඔයා වගේ ම බය ගුල්ලෙක්ද කොහෙද?"

“ඒයි පචයා මං තමුසෙට......"

කියා‍ගෙන මිනිහා මට ගහන්න ඇට පැන්නා. එතකොටම මෙච්චර වෙලා අපේ ගෝරිය නවත්තන්න කිසි උනන්දුවක් නැතිව, ඒකට "බක බක" ගගා ගෙම්බෝ වගේ හිනාවෙවී හිටපු නැන්දලා මාමලාගෙන් කෙනක් මිනිහව අල්ලාගත්තා.

“ආ... හරි හරි... අපි එහෙනං ඒ ගොල්ලංගෙන්ම මේක අහමුකො” වෙරිවෙච්ච මාමලා, නැන්දලයි අපිවයි අරං අක්කයි, අයියයි ඉන්න තැනට ගියෙ කැකිරි පල පලා. සමහර නැන්දලා මේ සිද්දියට කෙලින්ම සම්බන්ධ නෑ කියලා පෙන්නන්න පිටිපස්සට වෙලා බෙලි දික්කරං සාරි පොටවල් වලින් කටවල් තද කරං හිටියා.

“ඇත්තද පුතේ මේ කියන්නෙ........." වෙරි මාමලාගෙන් එක්කෙනෙක් හිනා වෙවී ඇහැව්වා.

"මොකද්ද " ඒ අපේ සංජීව අයියා.

"මේ අපේ දුවට නිදා ගන්න දෙන්නැ කිව්වා කියන්නෙ"

“කව්ද කිව්වෙ?” මෙන්න අයියත් ඇඔරෙන්න තියා ගත්තා. අක්කා ඊට එහා. ඒ උනාට අර මාමලා ටිකයි, සමහර තරුණ නැන්දලා වගේකුයි හිකි හිකි ගගා කැකිරි පලන්න තියා ගත්තා.

"කියන්න, අල්වයන්න, වේයන්න, කිව්වේ, මයන්න, මයන්න, අල්යයන්න, මමයි, කිව්වෙ මමයි!" මගේ ක්‍රමේන්ම එක හුස්මට මම කියලා දැම්මා. අන්න එතකොට තේරෙන්න ඇති මොල්ලිගොඩගේ නෑයන්ට මමත් නිකමෙක් නෙමේ ය කියලා. ඇරත් මම අයියගේ නම්බුව ගැන හිතන්නත් එපැයි.

ඒ කියමනෙන් අයියත් ගැස්සිලා ගියා.

"ආ........ එදා මම නිකමට කිව්වා තමා..." මිනිහා පොඩි හිනාවක් දාලා අක්කා දිහා බලන ගමං කියලා දැම්මා.

“ඒයන්න, කයන්න, නේයන්න......., ඒකනෙ, මයන්න, මයන්න, මම, කියන්න, අල්වයන්න, වේයන්න, කිව්වෙ, ඒකනෙ මම කිව්වෙ.... යාන්තං මං සැනසිල්ලෙ හුස්මක් ගත්තා.

මම විශේෂයෙන් ඒක ඔය විදිහට කිව්වෙ මට ඕනැම අමාරු වෙලාවක උනත් ඔය මගේ ක්‍රමේට කතා කරන්න පුලුවන් ය කියලා කට්ටියට ඒත්තු ගන්නත් එක්කලාමයි.

ඒකෙන් මොල්ලිගොඩට කට උත්තර නැතිව ගියා. එයාගේ අක්කා එවෙලේ වගේම දැනුත් ඇඔරෙනවා ඇරෙන්න වෙන මුකුත් කලේ නැ.

ඇයන්න, අල්දයන්න, දයන්න, ඇද්ද, ඔයන්න, යායන්න, ටයන්න, ඔයාට, ඇද්ද ඔයාට? මම මිනිහට හිනිහට උරුක් කලා.

මේ මුලු වෙලාවෙම මාමාල නැන්දලා කලේ අපි දෙන්නට නඩුව විසඳගන්න දීලා ඒගොල්ල හිනා වෙච්ච එකයි. ඒ ගොල්ල අපි කවුරු මොනා කිව්වත් හිනා උනා ඇරෙන්න වෙන මුකුත් කලේ නෑ.

ඒ කොහොම උනත් ඇත්ත එලි උනා. ඒකෙන් මොල්ලි නිකං හුලං බැහැපු බැලුම වගේ වෙලා.

ඇයන්න, අල්තයන්න, තයන්න, දයන්න, ඇත්තද අයන්න, අල්යයන්න, යේයන්න, අය්යේ... මේයන්න, මේ, කියන්න, යයන්න, අල්නයන්න, නේයන්න, කියන්නෙ, මෙයන්න යායන්න මෙයා, ඇත්තද අයියෙ කියන්නෙ මෙයා? මොල්ලි ඇහැව්වා.

"ඔව් ඇයි ....". අයියා මොල්ලියට හිනා වෙවී කිව්වා.

ඒකෙන් මොල්ලිගෙ අන්තිම හුලං බින්දුවත් බැස්සා, ඒත් මොල්ලි තාම වැඩේ අත්ඇරලා නැති පාටයි.

"අයන්න, පේයන්න, අපේ, අයන්න, අල්කයන්න, කායන්න, අක්කා......අපේ අක්කා......"

මොල්ලි තවත් මොනාද දොඩවන්න ගත්තා. ඉතිං අපි ඔක්කොමලාම, මිනිහා දිහා බැලුවා.

යන්න, යන්න ,පව්!" කිව්වා. අර මංගල සභාව මැද්දෙම.

.............යන්න, යන්න, පව් යෑ මිනිහො!” මට එක පාරට කියවුනා.

ඒකනෙ මං කිව්වෙ පුලුවන් වැඩක් කරගෙන ඉන්න කියලා. යන්න යන්න පව් ද හලෝ......." මං මිනිහගෙ බඩට අනින්න පැන්නා.

ඒත් කව්රු හරි එක්කෙනෙන් ඒ පාරත් මාව අල්ලා ගත්තා.

........................................

-මීට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.

2011/04/26

ම-යන්න, ගු -යන්න, ල-යන්න, මගුල !

මේ පහුගිය දවසක අපේ සංජීව අයියත් බැන්දා!

මනමාලිලාගෙ ගෙදර යන්න ‍අයිලාගෙ පැත්තෙන් තෝරගෙන හිටියේ වැදගත් ම කට්ටිය විතරයි. ඒ හින්දම මටත් යන්න පුලුවන් උනා.

කෝයන්න, මයන්න, ගේයන්න, කෝ මගේ කෝයන්න, අල්යටන්න, කෝට් එයන්න, කයන්න, එක, කෝ මගේ කෝට් එක? වත්තෙ නැන්දා කට ඇරගෙන ටිකක් වෙලා බලං හිටියා, හරියට ඕගොල්ල මේ දැං කරනවා වගේම!

පස්සෙ,

"ආ... ඉන්ඩ චූටි මහත්තයා මං අරං එන්නං" කියලා ගේ ඇතුල​ට ගියා.

මේ වෙනකොට වත්තෙ නැන්දටත් මම කතා කරන අලුත් ක්‍රමේ හුරුවෙලයි තිබුනේ, ගෙදර අයට වගේම. වත්තෙ නැන්දා ඒ දවස් ටිකේ අපේ ගෙවල් පැත්තෙ ඇවිල්ලා අපිට ඔය එක එක දේවල් වලට උදව් කරා මගුල් ගෙදර යන දවස එනකං.

ඇත්තම කියනවනම් ඔය විදිහට ගෙදර දොරේදි කතා කරන එක තමා මගේ අලුත්ම සොයා ගැනීම උනේ.

මේ වෙද්දි බයිසිකල් වලට හුලං ගහලා, රොකට් යවලා, රාජකාරි ලියුම් ලියලා කාලයක් ගිහිල්ලා තිබුනු හින්දා කොහොමත් මට අලුත් නිර්මාණයක් කරන්න ඕනැ වෙලයි තිබුනේ.

අනික ටීචර් සිංහල පාඩම ගන්න වෙලාවට අකුරු පැටලිලා වචන හිරවෙද්දි "චිස්, චිස්" ගාලා බත්කෙන්ද හරහා ගිනිසීරියා කෝ​ටු පාර කාලා ඒකෙත් ගන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.

මං හිතන්නෙ ඕගොල්ලන්ටත් මේ ක්‍රමේ ප්‍රයෝජනවත් වෙයි. ඒ හින්දා ඒ ගැනත් ටිකක් කියලම ඉන්නංකො. මේක හරිම සරළයි! ඒ වගේම ලේසියි.

කරන්න තියෙන්නෙ මෙච්චරයි...

අපි ගෙදර දොරේ කතා කරත්දිත්, අච්චු පොත පාඩම් දෙන විදිහට කතා කරන එකයි. අර මම මුලන් කෝට් එක වත්තෙ නැන්දගෙන් ඉල්ලුවා වගේ.

ඕගොල්ලත් මේක කරලා බලන්න. මුලින්ම අමාරුයි තමා. ඒත් පස්සෙ හරි යනවා. ඉතිං හැම වචනයක්ම ඔහොම හිතලා කතා කරද්දි, පොතත් බලාගෙන ටිචර් ගාව පාඩං දෙන එක මහ කජ්ජක් නෙමේ.

අනික ටික දවසක් යද්දි කතා කරන වේගෙටම ඔය ක්‍රමේට කතා කරන්න පුලුවන් වෙන හින්දා ගෙවල් වලදිත් ලොකු ගැටලුවක් වෙන්නැ.

හරි! කොහොම හරි, එදා කෝට් බෑයකුයි, දික්කලිසමකුයි දාගෙන අයියගෙ පැත්තෙ කට්ටියටත් එක්ක මමත් මඟුල් ගෙදර ගියා.

මඟුල් ගෙදර ගියාට මොකද මගේ වයසෙ ආශ්‍රය කරන්න වැදගත් කියලා හරි හමං කව්රුත් ඒ පැත්තෙ හිටියෙ නැ!

අම්මලාත් ඉතිං කතාවට වැ‍ටුනහම මේ ලෝකෙ මතකයක් තියෙන එකක් යැ! ඉතිං මම තනියෙම පුටුවකට වෙලා ඉද්දි කව්දෝ පිටට තට්ටු කලා.

"ඇයි?" මගේ වයසේ පිරිමි ළමයෙක්. එයත් රීදිපාට ඉරි අස්සෙ තිත් වැටුනු කෝට් එකක් ඇදලා. ඒක මගේ එකට වඩා ලස්සනයි ද මන්දා!

"ඔයා අයියගේ පැත්තෙන්ද ආවේ?" ඝොසාව අස්සෙ මිනිහා ඇහැව්වා.

"ඔව්..... ඇයි..."

"නිකං.... මොකද තනියෙම කරන්නෙ, බය වෙලාද ඉන්නෙ"

"මොකටද මං බයවෙන්නෙ" මං මිනිහට තරහා මුණක් පෙන්නුවා.

"නැ නිකං ඇහැව්වෙ ඔයාගෙ නම මොකද්ද?‍

"ගෙදරට කියන්නෙ චූටි මහත්තයා"

"හිහ්...මහත්තයා කියලා ළමයිට නං දානවැ......පිස්සුද මන්දා"

"මොකද්ද කිව්වෙ..... ඔයා" මට හිතුනා මිනිහට හොදවයින් දෙකක් අනින්න. අර කෝට් එක ලස්සන හින්දම නෙමේ, කොහොමත් මට මිනිහව මුල ඉදලම ඇල්ලුවෙ නැ.

"නැ මුකුත් නැ. ඔයා පංතියෙ කී වැනියද?"

"දෙක" මම කෝකටත් එකක් වැඩිකරලා කිව්වා.

" අපෝ දෙකද මං එකනේ"

"ඉතිං මට මොකෝ...."

"මං එක වෙච්ච සංතෝසෙට තරංගා අක්කා මට පාට හතරේ සුවිච් පෑනකුත් දුන්නා. ඔයාට මොනාද හම්බුනේ...දෙක වෙලා"

"ගුඩු පොල් කරත්තයක්.....සීයා ගානේ" කියලා කියන්න ආවත් මම නිකං හිටියා.

"අපෝ ඕගොල්ලංගෙ අයියා ඔයාට මුකුත් අරන් දුන්නැද්ද..... බලන්ඩකො අපේ අක්කා කොච්චර හොඳඳ කියලා...."

"ඉතිං මට මොකද හලො...ඹ්ගොල්ලංගේ තරංගා අක්කා මොනා අරන් දුන්නම. ඕගොල්ලන්ට එයා ලොකු උනාට..."

"මොකද්ද ඹයා කියන්නෙ....අක්කට මුකුත් කියන්න එපා හරිද....., ඉරිසියා කාරයා. බලනවා අක්කගේ ලස්සන අද! ඒකටයි ඔය ඉරිසියාව. බලනවා ඕගොල්ලංගෙ අයියගෙ හැටි. හරියට ඉරට්ටක් වගේනෙ...."

"මේ අපේ අයියට මුකුත් කියාගෙන එන්ඩ එපා හරිද...."

"ඇයි ඕගොල්ලංගෙ අයියා මට මො‍නා කරන්නද?

මිනිහා වැඩිය කාටත් ඇහෙන්නැති වෙන්න මට අරියාදුවට කතා කරනවා. මටත් ඉතිං ඒ වෙලාවේ වැදගත් කම අමතක උනා. ඇරත් මම කෙහෙල් කොටුවේ චූටි මහත්තයා වෙච්චි. කාටවත් මොකටද මම බය‍ වෙන්නෙ. අනික මේවා ගමට ආරංචි උනොත් වස ලැජ්ජාවයි. මමත් තිරණේකට ආවා. මිනිහව කටින් බය කර ගන්න ඕනැ කියලා.

"මේ ඔයා වැඩිය පල් කතා කියන්ඩ එපා. දැං මං මේ කියන්ඩ යන දේ ඇහැව්වාම ඔයාට ඇඬෙයි......දන්නවද, එදා අපේ අයියා අක්කට කිව්වා, බැදලා දවස් දෙක තුනක් යනකං රැට නිදා ගන්න දෙන්නැ කියලා".

"ඈ...............ඒ මොකෝ....නිකං පච නොගහ යනවා මෙතනිත්."

පච! කව්ද දන්නැ පෑන් හම්බුනා කිය කිය පච කියන්නෙ. මං කියන්නෙ මං අහං හිටපු දේ! ඒ ගොල්ලං එදා කතා කරද්දි ලැගිජ් එකේ ඉදං මං අහගෙනයි හිටියෙ...බොරුනං ගිහිං අක්කගෙන්ම අහගන්නවා. අර බලනවා බොරුනං! අක්කා බය බයවෙලා වගේ ඉන්නෙ ඒකයි." මිනිහට කට උස්සන්න වෙලාවක් නොතියා මම හොඳවයින් දෙකක් කතා කරා මිනිහට. ලවුස්පීකරේ සද්දෙ හංදා මං කියන එව්වා වැඩිය ඈතට ඇහුනෙ නැ....!

ඊට පස්සෙ මිනිහා අක්කා දිහා බැලුවා. ඔන්න ඒ කතාවෙන් පස්සෙ මිනිහා එක විදිහක් උනා.

"හා....හා. අපි ඔය කතාව අමතක කරමු. මං ඔයාව එක්කං යන්න ආවේ වෙන වැඩකට....."

"මොකද්ද?" මං කෝකටත් ගනං ඉස්සුවා.

"නැ..... පොඩි ගමනක් යංද? ඔයා එනවනං අපි යං බීම හදන තැනට. බීම හදපු නැන්දලා ඇඳගන්න ගියා.

"කමන්නැද්ද!"

''යංකෝ... මේ අපේ නැද්දලයි ගේ.... බයවෙන්න දෙයක් නෑ!''

ඔන්න මිනිහා තැං තැං වලින් රිංගලා බීම හඳන තැනට ගියා.

එතෙන්ට ගිය ගමන් ඔක්කොම හරි ගියා ව​ගෙයි මගේ තේරුනේ. මුලු කාමරේම දොඩම් බීම සුවදයි. ඊටත් වඩා කාමරේ පුරා තිබ්බ බීම කල්දේරං ටික දැක්කම හුස්මත් හිරවෙන්න වගේ එනවා.

"අපි එකක් බොමුද?" කියනවා මගේ මිනිහා මා දිහා බැලුවා.

"කමන්නැද්ද?" කියන විදිහට මමත් බැලුවා.

ඔන්න මිනිහා මට බීම වීදුරුවක් අරන් දුන්නා, මිනිහත් එකක් දාගන්න ගමන්.

"රහයි නේ.......ඔයාගෙ නම මොකද්ද......ආ....චූටිමහත්තයා කිව්වනේ....හිහි..... මගේ නම චරිත මොල්ලිගොඩ..... ඒක නෙමේ අපි තව එකක් බොමුද?" එයා ඒක බීල ඉවර වෙලා ඇහැව්වා.

"එතකොට ඔයා..."

"මමත් බොනවා.....!"

ඔහොම ඕන්නං මම අටවෙනි බීම වීදුරුව හරි නමය හරි, මට හරියට ඒකනං මතකත් නැ, බීබී ඉද්දි මිනිහා මෙහෙම කිව්වා.

"මං පංතියෙ එක කිව්වෙ බොරුවට! මම තුන."

"තුන"

"ඔව්..... මට හැමදාම ලකුණු කැපෙන්නෙ කියවිමෙදී..... හැමදාම අකුරු පැටලෙනවනේ"

ඔන්න ඔය වෙලාවෙදි මට හිතුනා ඔය පාඩම් දෙන ලේසිපාසු ක්‍රමේ මිනිහට කියලා දෙන්න. මොකද ඒ වෙද්දි මිනිහව මට හොඳ විදිහට පේන්න අරං තිබුනේ. ඇරත් මගේ හිතත් ඔය වගේ දෙවල් වලට නිකම්ම උණු වෙනවෙනෙ. ඉතිං මමත් දෙපාරක් නොහිතා ඒක කියලා දුන්නා.

මෙන්න මෙහෙම.

අපි හිතමු අපිට වතුර තිබහක් ආවා කියලා, ම්...... නැ, එක්කෝ බීම තිබහක් ම ආවා කියලා. එතකොට අපි කරන්නෙ,

"අම්මේ මට බොන්න මුකුත් නැද්ද? කියලා අම්මගෙන් අහන එකනෙ.

ඉතිං මගේ ක්‍රමේ ඉගෙන ගන්න කැමති අය ඒක කියන්න ඹ්නැ, ටීචර්ට පාඩම දෙන විදිහට,

මෙන්න මේ වගේ,

"අයන්න, අල්මයන්න, මෙයන්න, අම්මේ, මයන්න, ටයන්න, මට, බොයන්න, අල්නයන්න, නයන්න, බොන්න, මුයන්න, කුයන්න, අල්තයන්න, මුකුත්, නැයන්න, අල්දයන්න, දයන්න, නැද්ද, අම්මෙ මට බොන්න මුකුත් නැද්ද? කියල අහන එකයි, තේරුනාද?"

''ඔව්!, ඒත් ඒක අමාරු නැද්ද?''

"විකාරද ඔයාට, ඔයා ටිකක් කියලා බලන්නකො. උනන්දුව තියෙනවනං දැම්ම කටට හුරු කර ගත්තැකි.....මං ඕවා හැමෝටම කියලා දෙන්න්නැ මේ ඔයාට දැං කියලා දුන්නට...."

මිනිහත් මම කියලා දුන්නු ක්‍රමේ හරි ඉක්මනට අල්ලා ගත්තා.

හැබැයි ඊට පස්සෙ උනේ මං නොහිතපු වැඩක්.

ඒක මං කියන්න හිතාගෙන ඉන්නෙ ලබන සිකුරාදා. ඒ කියන්නෙ විසිනමවෙනිදා. මතක් කරලා එදා ඇවිල්ලා ඉතුරු ටික කියෝලා යන්න. ඒ කොටසේ තමා මම සිත්තරයි, කතාවෙ හොඳම ටිකයි දාන්න හිතාගෙන ඉන්නෙ.

අමතක වෙනවනම් කරන්න තියෙන්නෙ සුලු දෙයක්. ඒකත් මං කියලම නවතින්නකෝ.

මම නං හෙට උදේ හතරට නැගිටින්න ඕන්නං අද නිදා ගද්දි හොඳවයින් ටොකු හතරක් මගේ ඔලුවට ඇණගන්නවා. එතකොට පහුවදා උදේ හතරට නිකංම් ඇහැරෙනවා.ඒ ක්‍රමේ මම විතරක් නෙමේ ඕගොල්ලන්ගෙනුත් ගොඩ දෙනෙක් කරනවා කියලා මම දන්නවා. ඉතිං මේතනදිත් ඒකම කරන්න.

ඒ කියන්නෙ මේ ලියමන කියෝලා ඊලග කොටස කියවන්න ඔයාට හිතුන කියමුකො. ඒක මම දාන්නෙ විසි නමයනෙ. ඉතිං ඔයා ටොකු විසිනමයක් ඇනගන්න දැම්ම. එතකොට විසිනමවෙනිදාට ඔයාට නිකම්ම මතක් වෙයි.

එච්චරයි! බලන්නකෝ කොච්චර ලේසිද කියලා.

තව එකක් !

මගේ මේ අලුත් සොයා ගැනීම ගැන හරි, කතාව ගැන හරි මොකක් හරි තේරෙන්නැති තැනක් තියෙනවානම් අර කොටුව තියෙනවා හොඳේ....!

2011/04/05

සයිබර් සැණකෙලියෙන් අපිට උගත හැකි පාඩම්! සංවිධාන කටයුතු සාර්ථකද?

"සයිබරයේ සිහින බක්මහ උළෙල" ගිය ඉරිදා අවසන් වුයේ අපට කවදාවත් අමතක නොවන, කාටත් මැකිය නොහැකි මතක ගොඩක් ඉතිරි කරමින්ය කියලා ආයෙ පුනපුනා කිම අවශ්‍යයි කියලා මම නං හිතන්නැත.

එදා ආපු අය අවුරුද්දක් දෙකක් තිස්සෙ අදුනගෙන හිටියට ගොඩදෙනෙක් මූණට මුණ හම්බවෙලා කතා කරලා තිබුනෙ නැති බව සහතිකය. තමන්ගේ කොම්පියුටරේ පුංචි කොටුවක් ඇතුලේ ටයිප් කර කර හරි එ​හෙමත් නැතිනම් ලියන බ්ලොග් ලියුම් වලට පිලිතුරු ලියමින් හරි හිටපු අයට ඊයේ දවස "ඉබ්බා දියට දැම්මාම, දැං නෑවේ" වගේ විය.

අයියාගෙ ඊමේල් පෙට්ටිය ද කොච්චර මැකුවත් පිරෙන තරමට මතක්කරලා දෙන මැසේජ් වලින් පිරුණි. ෆෝන් එකට එන මතක්කරලා දෙන මැසේජ් වලද කෙරෝලක් දකින්න බැරි විය. ඒක හරියට ගෙදර බැල් එක වාගේ ඊයේ දවසම වැදී වැදී තිබුනි. ඒකේ මැසේජ් පිරිලා වැඩිවෙච්ච තැන ලියුම් කවරය නිවිනිවි පත්තුවෙන්න ගත්තෙය. මං නං හිතුවේ එහෙම වෙලා වෙලා ටිකකින් ඔක්කොම ඉවරයක් වෙන්න පුපුරලා යයි කියලාය.

කොහොමහරි මේ උත්සවේ, අපි වගේ පුංචි අයට විතරක් නෙමේ ලොකු මාමලා නැන්දලාටත් තමන්ගේ ජීවිතවලට සෑහෙන පාඩම් සංඛ්‍යාවක් ඉගෙන ගැනීමට හම්බුවුනු හොඳ අවස්ථාවක් කියලා මම හිතමි.

මා අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ ගැනයි.

කියවීමේ හා තේරුම්ගැනීමේ පහසුවට ඒවා කුට්ටි කර අංක දමා ඉදිරිපත් කිරීම වටිනවායැයි සිතමි.

01. ආරාධිත අමුත්තන් පිළිගැනීම.

ආරධිත අමුත්තන් පිළිගැනීම හරිම අලුත් විදිහට සිද්ධවිය.

ඒ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගි වුනු ප්‍රවීණ ඡායාරූප ශිල්පි ඉන්ද්‍රනාත තේනුවර මහතාව පිළිගත්තු ආකාරයයි. ඉස්සර නං වැඩසටහනකට එන ආරාධිත අමුත්තන්ව පිළිගන්නේ බුලත් අතක් දීලය, නැත්තං මල් මාලයක් දීලය. හැබැයි මේ උස්සවයේ දී එයට අලුත් මුණුවරක් දීමට ගේට්ටුවේ හිටපු වැප්නි සාන්ත මාමා කටයුතු කර තිබුනේය. ඒ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තාටත් හා හා පුරා කියලා අපේ වැප්නි සාන්ත මහතා රු.100/- ටිකට් එකක් කැඩීමෙනි. මේ තියෙන්නෙ ඒ ​​අයිතිහාසික අවස්ථාවයි.


ඇත්තටම ප්‍රධාන ආරාධිත අමුත්තට ටිකට් එකක් කඩලා ඇතුලට ගත්තු ලෝකෙ පළමු සැණකෙලිය වෙන්නැති අපේ සිහිණ බක්මහ උළෙල.

ඒක දැකපු මට එක පාරටම කරන්ට් ගියා වගේ උනත් අලුත් පිලිගැනීමේ ක්‍රමයක් ලොවට දායාද කිරීමට වැප්නි මාමාට පුලුවන් විය.

02. තරග සංවිධානය

තරග සංවිධානයත් අන්තිම ඉහල මට්ටමක පැවතුණි.

ඒ ඒ තරග ඒ ඒ වෙලාවට පැවැත්වුනු අතර, ඒ ඒ තරග වලට අවශ්‍ය ඒ ඒ උපකරණ වේලාසනම ලෑස්තිකරගෙන තිබිම අපි වැනි පුංචි අයට ලොකු ආදර්ශයක් ගෙන දෙන දෙයක් විය. උදාහරණයක් විදිහට යෝගට් කැවීමේ තරගෙට ඹ්නැ කරන ඇස් බඳින ලණු, අත්බඳින කලු රෙදිපටි ඒ අයියලා, අක්කලා වේලාසනම කපා සකස් කරගෙන තිබුනි. කොටින්ම කියවානවාම් තරගෙන් පස්සෙ විසිවෙච්ච යෝගට් පිහදාන්න වාසල මාමා "සර්වියට්, සර්වියට්" කිය කිය සර්වියට් ගෙන ඒමේදී නං මගේ ඇස්වලට කඳුලු පවා ආවේ සංවිධායක මාමලා නැන්දලාගේ කැපවීම ගැන හිතලාය.

පස්සට කල් නොදමා තරගෙ ඉවර වෙද්දිම දිනන අයට අරුණි නැන්දා ලියපු පොතුයි, තව පොත් ගන්න තැගි වවුචරේකුයි තෑගී දුන්න එකටත් මම හරි ආසය.



කොච්චර හොඳ සංවිධායක මාමලාද නැන්දලා ද කියනවානම් තරග නීති රීති කඩන ඕනෑම එක්කෙනෙකුට යාලුවොයි කියලා නොබලා ඒවෙලාවෙම දඩුවම් දෙන්න උනත් ඒ ගොල්ල හරිම එඩිතර විය.

බනිස් කන තරගෙදී කුමාර මාමා බනිස් දෙකක් කාලා අහුවෙච්ච වෙලාවේ ඒක දැකපු හසී නැන්දා මූලික සංවිධායක මාමාලා එයාව එවෙලෙම දණ ගැස්සුවේය. මං කියන්නෙ බොරුනං මේ තියෙන්නෙ සාක්කිය.


පොටෝ දකිද්දි දුකයි තමාය. ඒත් නීතිය කාටත් පොදුයි කියන පාඩම මම එතැනිං ඉගෙන ගත්තෙමි.

පස්සෙ ඒ ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙදී ගත්තුවයි මේ තියෙන්නෙ.


තරග සංවිධානයේ දී නං ආයෙ ඉගෙන ගන්න කොච්චර පාඩම් තිබ්බද කියන්න මට මතක නැත.

තරග සංවිධානය ඇරුණම උත්සව සංවිධානයද අන්තිම ඉහලය.

උදේම මහත හසී නැන්දයි, කෙට්ටු රන්දිල් නැන්දයි ප්‍රධාන නැන්දලා කට්ටිය බැලුම් හරි හරියට පිම්බුවෝය. හරි හරියට පිපිරුවෝය. පහන් හැදුවෝය. බනිස් එල්ලුවෝය. වාසල මාමලා ඇතුලු කට්ටියත් එහෙම්මයිය.


බොන්ට, අතවල් මුණවල් හෝදගන්න. වෙනම වතුර ටැංකියක් හයිකරලා තිබ්බේය. දවල් කෑමට බත්ටික එකොලහ මාර වෙද්දි ගෙනල්ලා තිබුනි. ඒ එක්ක වතුර බෝතල් නිකං දුන්නේය.

සවස කේක් දුන්නේය.

පස්සෙ ඒවා ඇති තරං කන්න කියලා අබේපාල මාමා මයික් එකෙන් කියද්දි "මේක අයියටයි" කියලා පසන් මාමට බොරු කියලා කේක් කැලි දෙදක් ගත්තෙ අපරාදේ කියලා මට හිතුනේය. (පසන් මාමයි දිලුම් මාමයි)


කොහොමහරි එකාවගේ නියම තාලෙට වැඩ කරන්නෙ මෙහෙමයි කියන පාඩම මට එතැනින් ඉගෙනගන්න පුලුවන් විය.


03. පිරිසිදු කම

විශේෂයෙන්ම අවට පිරිසිදුව තබා ගැනීමට කව්රුත් උනන්දු වීම හිතටත් සැහැල්ලුවකි. එක එක ජාතියෙ කුණු බැග් තබා පිරිසිදුකම රැකගන්න කට්ටියම උනන්දු උනු අතර බැලුමක් පිපිරුවාම ඒ කැලි පවා ඇහිලීම නං අන්තිම හොඳ වැඩකක් විය.


කොහොම හරි අපි වගේ පුංචි අයට මේ වගේ සංවිධායක මාමලා නැන්දලාගෙන් තරග සංවිධානය ගැන හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුලුවන් වීම ගැන මට සතුටුය.

04. කඹ ඇදීමේ පාඩම

අයියා කියන ආකාරයට අනාදිමක් කාලයක ඉදලා හෙනට ජනප්‍රිය වුනු ක්‍රීඩාවක්ලු කඹ ඇදිල්ල. කඔ ඇදිල්ලෙන් දිනන්නෙ වෙන කොහෙවත් ඉන්න කට්ටියක්ය කිව්වට මටනං ඒක පැහැදිලි වුනේ මේ සයිබර් කඔ ඇදිල්ලේ දීයි.

මං නං මුලින් අයියලා වට වෙලා, කෑ කෝ ගහලා සද්දයක් දාද්දි හිතුවේ අයියලා දිනයිම කියලාය. වෙන්න තිබ්බෙත් ඒකමය. ඒත් උනේ වෙන දෙයකි.

කඹ අදින කාටත් මේක නං හොඳ පාඩමකිය.

ඒක උනේ මෙහෙමය.

අයියලයි, අයියලයි පැත්තෙ අක්කලයි ඔක්කොම මෙන්න මේවගේ කෑ කෝ ගහල තරගෙට ගියෝය.


ඒගොල්ල කඹ අදින්නම කියලා මැහුවා වගේ කට්ටියකි. බලන්න ලස්සනය. හැකියාවෙන් අඩුවක් කියලද! බරෙන් අඩුවක් කියලද!!

හැබැයි වෙලාව කියන්නේ ඒ පැත්තෙ නායකයා උනේ අබේපාල මාමාය.


අයියලා කියන හැටියට අබේපාල මමව පරද්දන්න ඕනෑ කරල තිබුනු කට්ටියගේ ගාන හොඳටම වැඩිවෙලා තිබුනේය. ඒක නිසා අනිත් පැත්තට සෑහෙන සෙනගක් එකතුවිය. මම ඒවා ඔක්කොම හොඳට බලාගෙන හිටියෙමි.

ඉතිං කොන්ඩෙ බොකුටු වැප්නි මාමා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. තරගෙ පටන් ගත්තට පස්සෙ අබේපාල මාමා පරදිනවට කැමති නැන්දලා මාමලාව එකතු කරලා, මේ පැත්තට පේන්නැති විදිහට හරහට තියලා අනිත් ඔක්කොමලා පනහක් විතර සෙනගක් එකතු වෙලා කඹේ ඇද්දෝය. ඉතිං අපේ අයියටයි එයාගේ යාලු අයියලා අක්කලා හය දෙනාටයි කරන්න දෙයක් නැති විය. ඉතිං අයියලයි, අක්කලයි අලියගේ නැට්ටෙ එල්ලිච්ච ගමයො වගේ එක පාරින් එහා පැත්තේය.

අයියලා කෑ කෝ ගහලා ආයෙත් ඇද්දේය. ඒ පාරත් ඒකමය.

ඔන්න ඒ වෙලාවේ කඔ ඇදිල්ලේ අනිත් ගුණය මතුවිය.

අබේපාල මාමට වැඩේ වරදින බව දැනුනේය. එයා පැත්ත අත ඇරලා සේප් වී ගියේය. ඉතිං එයා කලේ මයික් එක අතට අරං,
"අය්යෝ මොකද ඕගොල්ලංගෙ ඇඟ විතරයිනේ කෝ වැඩ" කියලා කාටත් ඇහෙන පරිදි මයික් එකෙන් අයියලාටම කෝචෝක් කිරීමයි. "වැටත් නියරත් ගොයං කා නං කාට පවසං ඒ අමාරුව" කියලා අයියලාත් වැඩේ අතඇරියට මොකද කව්රුත් එකතු වෙලා පිල් මාරු කරපු අඹේපාල මාමට "හූ'' කිවෝය.

කඔ ඇදිල්ල අන්න එහෙම අපිට පාඩම් ගොඩක් ඉතිරි කරමින් අවසන් විය.

මේකෙන් ගන්න පුලුවං පාඩම් ලයිස්තුවක් මා සැකසුවෙමි. ඒවා නම්,

1. හරි හමන් නායකයෙක් නැති උනොත් කොයි වෙලෙ පරදිද දන්නැති වීම.
2. පිල් මාරු කලාට "හු" සද්දෙ කොයි වෙලේ හරි ඇහෙන්න පුලුවන් බව.
3. එකමුතු උනොත් ඕනැම අභියෝගයක් දිනන්න පුලුවං බව.
4. කඹේ ඇද ඇද මහන්සි වෙලා ඉද්දි වැප්නි මාමලා වගේ අයගේ යටිකුට්ටු අදහස් දිනන බව වගේ තව ගොඩක් දේවල්ය.

ඔක්කොම මම කියන්න දෙයක් නැත. ඕගොල්ලත් එතෙන හිටපු හින්දා ඕගොල්ල ඉගෙන ගත්තු පාඩමත් කීයනවනං මං සතුටුය.

05. අවසානය

අවසානයත් තිතට විය.

වෙන ගෙට්ටුගෙවල් වල මෙන් අන්තිමේදී කට්ටිය බීලා ගහමරා ගත්තේ නැත.

ඒ වෙනුවට කට්ටිය ඩීජේ එකක් දාගෙන ඔක්කොම දේවල් අමතක වෙන්න නැටුවෝය. දිව්​වෝය. විහිලු කරගත්තෝය.

සංවිධාකයෝත් අපේම යාලුවෝය. ආපු අයත් යාලුවොය. ඉතිං වෙනසක් කොහිද!

ඔක්කොමලා හොඳටම නටලා, හොඳටම හිනාවෙලා, හොඳටම මඩ ගහලා, හොඳටම මඩ නාලා, කෙරෝලෙ, තමන් කව්ද මොනවද කරන්නෙ කියලා හදුන්වාදී ගත්තෝය.


අන්තීමේදී කැමරා තියෙන මාමලා ඔක්කෝමලා එක්කහු වෙලා වැඩි පරිස්සමට ගෘප් පොටෝ සීයක් විතර ගහලා කට්ටියම සතුටින් විසිර ගියෝය.


පටන් ගත්තු සංතෝසෙන්ම ඒක ඉවරයක් දැකීමත් හොඳ පාඩමක් කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕනැ කියලා මං හිතන්නැත.

ඉතිං මෙහෙම බලාගෙන යනකොට 2011 සිහින සයිබර් සැණකෙලිය තනිකර පාඩම් මාලාවක් නොවේදැයි අන්තිමේට මම අහන්න කැමතිය.

මීට ටිකිරි
..........................


සැළකිය යුතුයි

මෙහි එන සියලු ඡායාරූප වමිල මාමා, අනුෂ්ක මාමා, ඉන්දරේ මාමා, හසිත් මාමා, බුද්ධි අයියා යන අයගේ පොටෝ ඇල්බම් වලින් ගත්තුවා බව සලකන්න. මේ ඇල්බම් වල එදා ගත්තු තවත් ලස්සන පොටෝ ගොඩාක් ඇති බවද සලකන්න.

Related Posts Plugin for WordPress, Blogger...