2011/04/26

ම-යන්න, ගු -යන්න, ල-යන්න, මගුල !

මේ පහුගිය දවසක අපේ සංජීව අයියත් බැන්දා!

මනමාලිලාගෙ ගෙදර යන්න ‍අයිලාගෙ පැත්තෙන් තෝරගෙන හිටියේ වැදගත් ම කට්ටිය විතරයි. ඒ හින්දම මටත් යන්න පුලුවන් උනා.

කෝයන්න, මයන්න, ගේයන්න, කෝ මගේ කෝයන්න, අල්යටන්න, කෝට් එයන්න, කයන්න, එක, කෝ මගේ කෝට් එක? වත්තෙ නැන්දා කට ඇරගෙන ටිකක් වෙලා බලං හිටියා, හරියට ඕගොල්ල මේ දැං කරනවා වගේම!

පස්සෙ,

"ආ... ඉන්ඩ චූටි මහත්තයා මං අරං එන්නං" කියලා ගේ ඇතුල​ට ගියා.

මේ වෙනකොට වත්තෙ නැන්දටත් මම කතා කරන අලුත් ක්‍රමේ හුරුවෙලයි තිබුනේ, ගෙදර අයට වගේම. වත්තෙ නැන්දා ඒ දවස් ටිකේ අපේ ගෙවල් පැත්තෙ ඇවිල්ලා අපිට ඔය එක එක දේවල් වලට උදව් කරා මගුල් ගෙදර යන දවස එනකං.

ඇත්තම කියනවනම් ඔය විදිහට ගෙදර දොරේදි කතා කරන එක තමා මගේ අලුත්ම සොයා ගැනීම උනේ.

මේ වෙද්දි බයිසිකල් වලට හුලං ගහලා, රොකට් යවලා, රාජකාරි ලියුම් ලියලා කාලයක් ගිහිල්ලා තිබුනු හින්දා කොහොමත් මට අලුත් නිර්මාණයක් කරන්න ඕනැ වෙලයි තිබුනේ.

අනික ටීචර් සිංහල පාඩම ගන්න වෙලාවට අකුරු පැටලිලා වචන හිරවෙද්දි "චිස්, චිස්" ගාලා බත්කෙන්ද හරහා ගිනිසීරියා කෝ​ටු පාර කාලා ඒකෙත් ගන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ.

මං හිතන්නෙ ඕගොල්ලන්ටත් මේ ක්‍රමේ ප්‍රයෝජනවත් වෙයි. ඒ හින්දා ඒ ගැනත් ටිකක් කියලම ඉන්නංකො. මේක හරිම සරළයි! ඒ වගේම ලේසියි.

කරන්න තියෙන්නෙ මෙච්චරයි...

අපි ගෙදර දොරේ කතා කරත්දිත්, අච්චු පොත පාඩම් දෙන විදිහට කතා කරන එකයි. අර මම මුලන් කෝට් එක වත්තෙ නැන්දගෙන් ඉල්ලුවා වගේ.

ඕගොල්ලත් මේක කරලා බලන්න. මුලින්ම අමාරුයි තමා. ඒත් පස්සෙ හරි යනවා. ඉතිං හැම වචනයක්ම ඔහොම හිතලා කතා කරද්දි, පොතත් බලාගෙන ටිචර් ගාව පාඩං දෙන එක මහ කජ්ජක් නෙමේ.

අනික ටික දවසක් යද්දි කතා කරන වේගෙටම ඔය ක්‍රමේට කතා කරන්න පුලුවන් වෙන හින්දා ගෙවල් වලදිත් ලොකු ගැටලුවක් වෙන්නැ.

හරි! කොහොම හරි, එදා කෝට් බෑයකුයි, දික්කලිසමකුයි දාගෙන අයියගෙ පැත්තෙ කට්ටියටත් එක්ක මමත් මඟුල් ගෙදර ගියා.

මඟුල් ගෙදර ගියාට මොකද මගේ වයසෙ ආශ්‍රය කරන්න වැදගත් කියලා හරි හමං කව්රුත් ඒ පැත්තෙ හිටියෙ නැ!

අම්මලාත් ඉතිං කතාවට වැ‍ටුනහම මේ ලෝකෙ මතකයක් තියෙන එකක් යැ! ඉතිං මම තනියෙම පුටුවකට වෙලා ඉද්දි කව්දෝ පිටට තට්ටු කලා.

"ඇයි?" මගේ වයසේ පිරිමි ළමයෙක්. එයත් රීදිපාට ඉරි අස්සෙ තිත් වැටුනු කෝට් එකක් ඇදලා. ඒක මගේ එකට වඩා ලස්සනයි ද මන්දා!

"ඔයා අයියගේ පැත්තෙන්ද ආවේ?" ඝොසාව අස්සෙ මිනිහා ඇහැව්වා.

"ඔව්..... ඇයි..."

"නිකං.... මොකද තනියෙම කරන්නෙ, බය වෙලාද ඉන්නෙ"

"මොකටද මං බයවෙන්නෙ" මං මිනිහට තරහා මුණක් පෙන්නුවා.

"නැ නිකං ඇහැව්වෙ ඔයාගෙ නම මොකද්ද?‍

"ගෙදරට කියන්නෙ චූටි මහත්තයා"

"හිහ්...මහත්තයා කියලා ළමයිට නං දානවැ......පිස්සුද මන්දා"

"මොකද්ද කිව්වෙ..... ඔයා" මට හිතුනා මිනිහට හොදවයින් දෙකක් අනින්න. අර කෝට් එක ලස්සන හින්දම නෙමේ, කොහොමත් මට මිනිහව මුල ඉදලම ඇල්ලුවෙ නැ.

"නැ මුකුත් නැ. ඔයා පංතියෙ කී වැනියද?"

"දෙක" මම කෝකටත් එකක් වැඩිකරලා කිව්වා.

" අපෝ දෙකද මං එකනේ"

"ඉතිං මට මොකෝ...."

"මං එක වෙච්ච සංතෝසෙට තරංගා අක්කා මට පාට හතරේ සුවිච් පෑනකුත් දුන්නා. ඔයාට මොනාද හම්බුනේ...දෙක වෙලා"

"ගුඩු පොල් කරත්තයක්.....සීයා ගානේ" කියලා කියන්න ආවත් මම නිකං හිටියා.

"අපෝ ඕගොල්ලංගෙ අයියා ඔයාට මුකුත් අරන් දුන්නැද්ද..... බලන්ඩකො අපේ අක්කා කොච්චර හොඳඳ කියලා...."

"ඉතිං මට මොකද හලො...ඹ්ගොල්ලංගේ තරංගා අක්කා මොනා අරන් දුන්නම. ඕගොල්ලන්ට එයා ලොකු උනාට..."

"මොකද්ද ඹයා කියන්නෙ....අක්කට මුකුත් කියන්න එපා හරිද....., ඉරිසියා කාරයා. බලනවා අක්කගේ ලස්සන අද! ඒකටයි ඔය ඉරිසියාව. බලනවා ඕගොල්ලංගෙ අයියගෙ හැටි. හරියට ඉරට්ටක් වගේනෙ...."

"මේ අපේ අයියට මුකුත් කියාගෙන එන්ඩ එපා හරිද...."

"ඇයි ඕගොල්ලංගෙ අයියා මට මො‍නා කරන්නද?

මිනිහා වැඩිය කාටත් ඇහෙන්නැති වෙන්න මට අරියාදුවට කතා කරනවා. මටත් ඉතිං ඒ වෙලාවේ වැදගත් කම අමතක උනා. ඇරත් මම කෙහෙල් කොටුවේ චූටි මහත්තයා වෙච්චි. කාටවත් මොකටද මම බය‍ වෙන්නෙ. අනික මේවා ගමට ආරංචි උනොත් වස ලැජ්ජාවයි. මමත් තිරණේකට ආවා. මිනිහව කටින් බය කර ගන්න ඕනැ කියලා.

"මේ ඔයා වැඩිය පල් කතා කියන්ඩ එපා. දැං මං මේ කියන්ඩ යන දේ ඇහැව්වාම ඔයාට ඇඬෙයි......දන්නවද, එදා අපේ අයියා අක්කට කිව්වා, බැදලා දවස් දෙක තුනක් යනකං රැට නිදා ගන්න දෙන්නැ කියලා".

"ඈ...............ඒ මොකෝ....නිකං පච නොගහ යනවා මෙතනිත්."

පච! කව්ද දන්නැ පෑන් හම්බුනා කිය කිය පච කියන්නෙ. මං කියන්නෙ මං අහං හිටපු දේ! ඒ ගොල්ලං එදා කතා කරද්දි ලැගිජ් එකේ ඉදං මං අහගෙනයි හිටියෙ...බොරුනං ගිහිං අක්කගෙන්ම අහගන්නවා. අර බලනවා බොරුනං! අක්කා බය බයවෙලා වගේ ඉන්නෙ ඒකයි." මිනිහට කට උස්සන්න වෙලාවක් නොතියා මම හොඳවයින් දෙකක් කතා කරා මිනිහට. ලවුස්පීකරේ සද්දෙ හංදා මං කියන එව්වා වැඩිය ඈතට ඇහුනෙ නැ....!

ඊට පස්සෙ මිනිහා අක්කා දිහා බැලුවා. ඔන්න ඒ කතාවෙන් පස්සෙ මිනිහා එක විදිහක් උනා.

"හා....හා. අපි ඔය කතාව අමතක කරමු. මං ඔයාව එක්කං යන්න ආවේ වෙන වැඩකට....."

"මොකද්ද?" මං කෝකටත් ගනං ඉස්සුවා.

"නැ..... පොඩි ගමනක් යංද? ඔයා එනවනං අපි යං බීම හදන තැනට. බීම හදපු නැන්දලා ඇඳගන්න ගියා.

"කමන්නැද්ද!"

''යංකෝ... මේ අපේ නැද්දලයි ගේ.... බයවෙන්න දෙයක් නෑ!''

ඔන්න මිනිහා තැං තැං වලින් රිංගලා බීම හඳන තැනට ගියා.

එතෙන්ට ගිය ගමන් ඔක්කොම හරි ගියා ව​ගෙයි මගේ තේරුනේ. මුලු කාමරේම දොඩම් බීම සුවදයි. ඊටත් වඩා කාමරේ පුරා තිබ්බ බීම කල්දේරං ටික දැක්කම හුස්මත් හිරවෙන්න වගේ එනවා.

"අපි එකක් බොමුද?" කියනවා මගේ මිනිහා මා දිහා බැලුවා.

"කමන්නැද්ද?" කියන විදිහට මමත් බැලුවා.

ඔන්න මිනිහා මට බීම වීදුරුවක් අරන් දුන්නා, මිනිහත් එකක් දාගන්න ගමන්.

"රහයි නේ.......ඔයාගෙ නම මොකද්ද......ආ....චූටිමහත්තයා කිව්වනේ....හිහි..... මගේ නම චරිත මොල්ලිගොඩ..... ඒක නෙමේ අපි තව එකක් බොමුද?" එයා ඒක බීල ඉවර වෙලා ඇහැව්වා.

"එතකොට ඔයා..."

"මමත් බොනවා.....!"

ඔහොම ඕන්නං මම අටවෙනි බීම වීදුරුව හරි නමය හරි, මට හරියට ඒකනං මතකත් නැ, බීබී ඉද්දි මිනිහා මෙහෙම කිව්වා.

"මං පංතියෙ එක කිව්වෙ බොරුවට! මම තුන."

"තුන"

"ඔව්..... මට හැමදාම ලකුණු කැපෙන්නෙ කියවිමෙදී..... හැමදාම අකුරු පැටලෙනවනේ"

ඔන්න ඔය වෙලාවෙදි මට හිතුනා ඔය පාඩම් දෙන ලේසිපාසු ක්‍රමේ මිනිහට කියලා දෙන්න. මොකද ඒ වෙද්දි මිනිහව මට හොඳ විදිහට පේන්න අරං තිබුනේ. ඇරත් මගේ හිතත් ඔය වගේ දෙවල් වලට නිකම්ම උණු වෙනවෙනෙ. ඉතිං මමත් දෙපාරක් නොහිතා ඒක කියලා දුන්නා.

මෙන්න මෙහෙම.

අපි හිතමු අපිට වතුර තිබහක් ආවා කියලා, ම්...... නැ, එක්කෝ බීම තිබහක් ම ආවා කියලා. එතකොට අපි කරන්නෙ,

"අම්මේ මට බොන්න මුකුත් නැද්ද? කියලා අම්මගෙන් අහන එකනෙ.

ඉතිං මගේ ක්‍රමේ ඉගෙන ගන්න කැමති අය ඒක කියන්න ඹ්නැ, ටීචර්ට පාඩම දෙන විදිහට,

මෙන්න මේ වගේ,

"අයන්න, අල්මයන්න, මෙයන්න, අම්මේ, මයන්න, ටයන්න, මට, බොයන්න, අල්නයන්න, නයන්න, බොන්න, මුයන්න, කුයන්න, අල්තයන්න, මුකුත්, නැයන්න, අල්දයන්න, දයන්න, නැද්ද, අම්මෙ මට බොන්න මුකුත් නැද්ද? කියල අහන එකයි, තේරුනාද?"

''ඔව්!, ඒත් ඒක අමාරු නැද්ද?''

"විකාරද ඔයාට, ඔයා ටිකක් කියලා බලන්නකො. උනන්දුව තියෙනවනං දැම්ම කටට හුරු කර ගත්තැකි.....මං ඕවා හැමෝටම කියලා දෙන්න්නැ මේ ඔයාට දැං කියලා දුන්නට...."

මිනිහත් මම කියලා දුන්නු ක්‍රමේ හරි ඉක්මනට අල්ලා ගත්තා.

හැබැයි ඊට පස්සෙ උනේ මං නොහිතපු වැඩක්.

ඒක මං කියන්න හිතාගෙන ඉන්නෙ ලබන සිකුරාදා. ඒ කියන්නෙ විසිනමවෙනිදා. මතක් කරලා එදා ඇවිල්ලා ඉතුරු ටික කියෝලා යන්න. ඒ කොටසේ තමා මම සිත්තරයි, කතාවෙ හොඳම ටිකයි දාන්න හිතාගෙන ඉන්නෙ.

අමතක වෙනවනම් කරන්න තියෙන්නෙ සුලු දෙයක්. ඒකත් මං කියලම නවතින්නකෝ.

මම නං හෙට උදේ හතරට නැගිටින්න ඕන්නං අද නිදා ගද්දි හොඳවයින් ටොකු හතරක් මගේ ඔලුවට ඇණගන්නවා. එතකොට පහුවදා උදේ හතරට නිකංම් ඇහැරෙනවා.ඒ ක්‍රමේ මම විතරක් නෙමේ ඕගොල්ලන්ගෙනුත් ගොඩ දෙනෙක් කරනවා කියලා මම දන්නවා. ඉතිං මේතනදිත් ඒකම කරන්න.

ඒ කියන්නෙ මේ ලියමන කියෝලා ඊලග කොටස කියවන්න ඔයාට හිතුන කියමුකො. ඒක මම දාන්නෙ විසි නමයනෙ. ඉතිං ඔයා ටොකු විසිනමයක් ඇනගන්න දැම්ම. එතකොට විසිනමවෙනිදාට ඔයාට නිකම්ම මතක් වෙයි.

එච්චරයි! බලන්නකෝ කොච්චර ලේසිද කියලා.

තව එකක් !

මගේ මේ අලුත් සොයා ගැනීම ගැන හරි, කතාව ගැන හරි මොකක් හරි තේරෙන්නැති තැනක් තියෙනවානම් අර කොටුව තියෙනවා හොඳේ....!

27 ක් කියන්නේ !:

  1. හිකිස්.. මරු වලිය දෙන්නගේ.. මට මතක් වුනේ අර ටොම් සෝයර් එකෙත් තියෙනවා ඔය වගේ වලියක්.. :)

    පලි: හැබෑටම අර අයියා ඇත්තටමද දන්නෙ නෑ නේද කිවුවෙ දවස් 2-3ක් යනකං අක්කට නිදාගන්න දෙන්නෙ නෑ කියලා.. :)

    ReplyDelete
  2. ඔල්ලිගුයාගේ අලිලිගුකුරු බාල්ලිගඵෂාවට වල්ලිගුඩා හොල්ලිගධයි මල්ලිගුං දල්ලිගුන්න මේල්ලිගු ගූලිලිගු බාල්ලිගඵෂාව!

    ReplyDelete
  3. අනේ චූටි මහත්තයා.... ටොකු ටික ඇනගෙන යද්දි වැරදිලා එකක් වැඩියෙන් ඇනුනානේ.. දැන් මොකද කරන්නේ.. 29වෙනිදට මට ඊලඟ කොටස බලන්න බැරිවෙයිද...? :D

    ReplyDelete
  4. ඒකනම් පට්ට සොයා ගෑනීමක්...අහන් ඉන්න එකාට කරකවලා අතැරියා වගෙයි,කාට හරි ආතල් එකක් දෑන්න නම් මරු ක්‍රමය

    ReplyDelete
  5. ""මොකටද මං බයවෙන්නෙ" මං මිනිහට තරහා මුණක් පෙන්නුවා."

    චූටී මහත්තයා බය වෙන්නේ මක්කටද අයියානේ කසාද බදින්නේ අයියා නේ බයවෙන්න ඕනේ :))

    හරියට අරක්කු බොන ඩයල් දෙක තුන දාගද්දී හරි යාළුවෝ වෙනවා වගේ චූටි මහත්තයාටත් දෙක තුනක් දාගද්දී තරහ ඔක්කොම අමතක වෙලා වගේ. ඔහොම තමා පොඩි කාලේ ඉදන් බොන්න පටන් ගත්තාම

    ReplyDelete
  6. චූටි මහත්තයගෙ අයිය හරි නරක මනුස්සයෙක්නෙ...

    ටොකු ඕන නෑ... මම රිමයින්ඩර් එකක් තියාගන්නම්..:)

    ReplyDelete
  7. "මම නං හෙට උදේ හතරට නැගිටින්න ඕන්නං අද නිදා ගද්දි හොඳවයින් ටොකු හතරක් මගේ ඔලුවට ඇණගන්නවා. එතකොට පහුවදා උදේ හතරට නිකංම් ඇහැරෙනවා."

    අපිට නං ආරංචි නැගිට්ටෙ නැතුවම අම්මා ටොකු අනිනවා කියලා. ආයෙ අහන්න දෙයක් නෑ සංජීව අයියාට ඒ පලාතෙ යන්න බැරිවෙන විදිහෙ වැඩක් කරන්න ඇති චූටි මහත්තයා..

    ReplyDelete
  8. දැන් ඉතින් විසිනවය වෙනකල් ටොකු ඇන ඇන හිටපන්කො කතාවෙ ඉතුරු ටික කියවන්න. හපොයි.

    ReplyDelete
  9. හයන්න රියන්න මයන්න හරිම, අයන්න පූයන්න රුයන්න අපූරු, කයන්න තායන්න වයන්න කතාව
    හරිම අපූරු කතාව!!!!
    කාලෙකින් ලියල තියෙන්නෙ බුද්ධි!!!

    ReplyDelete
  10. අපි නම් rss ටොක්ක ඇනගෙන තියෙන්නෙ

    ආනිසිපි ඕනිසීවා දානිසීන්නෙ නෑනීසී

    ReplyDelete
  11. ඇයන්න, අල් ඉයන්න ඇයි... අයන්න, අල්කයන්න, කයන්න, ටයන්න අක්කට අයන්න, අල්ඉයන්න, යායන්න අයියා නියන්න, දායන්න, ගයන්න, අල්නයන්න, නායන්න නිදාගන්න දෙයන්න, අල්නයන්න, නේයන්න, දෙන්නේ නැයන්න, අල්තයන්න, තේයන්න නැත්තේ $(+$ අල්කයන්න, වෙස්යන්න, චයන්න, අලනයන්න, මායන්න, අල්කයන්න..?

    ඒ බුද්ධි අයියේ මටත් දැන් ඒ විදියට කතාකරන්න පුළුවන්... හැබැයි ගෙදරදි එහෙම කතා කරන්න ගිහින් මාව පැන්නුවෝත් එහෙම... ූ^(*%(%&(%

    මේ ඇත්තට ඇයි ඔයාලගේ අයියා ඒ අක්කට නිදාගන්න දෙන්නේ නෑ කිව්වේ..?

    ReplyDelete
  12. මේයන්න කයන්න, මේක පයන්න අල්ටයන්න ටයන්න, පට්ට කියන්න යයන්න වීයන්න මේයන්න, කියවීමේ ක්‍රයන්න මයන්න යයන්න කියන්න, ක්‍රමයකි :D

    ReplyDelete
  13. මටත් මතක් වුනා සිද්ධියක්
    තාත්තාගේ අක්කාගේ දුවගේ නම ගීතිකා
    ඔයා බහ තෝරන අවධියේ කථා කරලා තියෙන්නේ ඔය වගේ ක්‍රමේකට
    දවසක් එයා වැටෙන්න ගිහිල්ලා
    එක පාරම බයවෙලා කිව්වලු
    ත පො ගී වැ මැ
    කියලා
    හැමදේම එහෙමලු කිව්වේ එයා
    තව පොඩ්ඩෙන් ගීතිකා වැටිලා මැරෙණවා කියලා තමයි ඒ කියලා තියෙන්නේ.

    බීම බීලා වැඩිවෙලා චරිත මොල්ලිගොඩ, අයියා කිව්ව කථාව සභා මද්දියේ කියයිද මන්දා......... හි හි

    ReplyDelete
  14. අර මම මගේ පෝස්ට් වල කියල තියෙන තිලේඅම්මගෙ මඟුල් දවසෙ කවුරුහරි අලුගුත්තේරුවෙක් මගෙ නංගිට කියල "කසාද බැන්දම මැරෙනව" කියල එතකොට ඒයා මොන්ටිසෝරි යන්නෙත් නැද්ද කොහේද, ඉතිං මේකි බයවෙච්ච පාර ලොකු පුංචිගෙ පුතා ගෙන් මේක අහල [ම්නිහ අවුරුද්දයි වැඩිමල්] ඌත් බයවෙලා. මෙන්න ඊට පස්සෙ දෙන්නම බෑඟිරි දීල අඬනව "අනේ ප්‍රසන්න බාප්පේ අපේ තිලේඅම්ම මරන්න එපා.." කියල මංගල සභාව මැද්දෑවටම ගිහිල්ල.

    ReplyDelete
  15. මුළු කතාවම තේරුනේ නැද්ද මන්දා.
    අලුත් සොයාගැනීම කීවේ ටොකු 29ක් ඇන ගන්න එකද?

    ReplyDelete
  16. @කතන්දර: බල්ලිගූෂාවට වල්ලිගුඩා හොල්ලිගුදයි "බාගූසාව" කාගුතන්දර මාගුං කීගුයනවට නීගුකමට ආගුත්හාගුදා බාගුලන්නකො බෝගුරුද කීගුයල. බාගූසාව ආගුපි හීගුච්චි කාගූලෙ පාගූවිච්චි කගුරේ . . . . .

    @බුද්ධි: මම හීං එකා කාලෙ ඔය විදියට ටොකු ඇනගෙන නිදාගෙන තියනව . . . ඒත් අවදි උනේ ආචිචි අම්මගෙං උදේට ලැබෙන ටොකු වලිං . . .

    ReplyDelete
  17. අයියෝ.....
    වැදගත්කම පැත්තකට දාල 2ක් අනින්නයි තිබුනෙ. වැදගත්කම වගේද නම්බුව.

    [මම අල්ලපුගෙදර එකාගෙ ඔලුවට ටොකු 29ක් ඇනල මට මතක් කරන්න කියනව :D]

    ReplyDelete
  18. "දන්නවද, එදා අපේ අයියා අක්කට කිව්වා, බැදලා දවස් දෙක තුනක් යනකං රැට නිදා ගන්න දෙන්නැ කියලා".

    මේ වගේම මීට වඩා ටිකක් වෙනස් කතාවක් තියනව නේද පොඩි එකෙක් ගෙදර ඇතිකරන "පූස"ව ඉස්කෝලෙට අරං යන . . . . කොලුවගෙ අක්කට අක්ක යාලුවෙලා ඉන්න කොල්ල කියන කතාවක් ඇහිල . . . .

    ReplyDelete
  19. තව දෙකක් වැඩි කරලා "එක" කියන්ටයි තිබ්බේ... ආයේ ඉතින් ඇඟින් පතින් යනවයෑ!!! එහෙනම් ඔය මොල්ලිගොඩට කියාගන්ටම දෙයක් නැතිව යනවනේ!

    ReplyDelete
  20. බුරුත මාමේ,
    ඇත්තට ටොම් සෝයර් එකෙත් එහෙම එකක් තිබ්බද? එහෙනං ඒ ගොල්ලත් සිංහල දන්නවා ඇ!
    කව්ද මාමෙ ඕවා දන්නේ. අයියා ඒක අක්කට කියද්දි අක්කත් ඇඔරි ඇඔරි ඒවා හඳේ කියනවා මං බලාගෙන.
    .....................

    කකා මාමේ,
    මල්ලිකුමත් ඔල්ලුකුය වල්ලුකුගෙ බල්ලුකුසායල් දල්ලුකුනවා දෙල්ලුකුක තුල්ලුකුනත්. එල්ලුකුකක් සිල්ලුකූනි බල්ලුකූසාව. ඔල්ලුකුයා දල්ලුකුනවද එල්ලුකූක.
    ..................

    චමී මාමා,
    වැඩේ අනාගෙනනෙ. දැං ඉතිං ඒක අල්ලලා දාන්න. තව විසිනමයක් ඇන ගන්ඩ. නැත්තං ඔන්න කතාව මග ඇරැණාය ඇරැණාය කියලා මට දොස් කියන්න නං එපා.
    ........................

    අසංක අයියා,
    එහෙනං ආතල් එකක් අරං බලන්න. හැබැයි අපි නෑ ඕවට....
    ........................

    හසිත මාමේ,
    ඒකත් ඇත්ත. මං මොකටද බය වෙන්නෙ.
    අපි ඉතිං පොඩි කාලෙ ඉඳලා නෙමේ, උපන් දා ඉදං බොන අයනේ...... පොඩිම කාලේ මං බිව්වෙ කුක්කුනෙව
    ..............................

    සාතන් මාමේ,
    අපේ අයියට මුකුත් කියාගෙන එන්ඩ එපා හොඳේ.....
    මටනං ඔක්කොටම වඩා සුවර් ටොකුරිමයින්ඩර් එක තමා.
    ..............

    හරසනී නැන්දේ,
    අපි නං කවදාවත් එහෙම කරලා නෑ. අපි හරිම අහිංසක තරුණ ළමයිනේද? අර ටොකු කතාව නැන්දට කීවේ කව්ද? දැනගත්තම ඒ විදිහට ඉන්නැතුව, ඹ්වා තැංතැං ඔල ලියන පුරුද්ද තාම ගිහිල්ලා නැ නේද?
    .................

    පිණිබිඳු,
    ඔයාට ටොකු ඈනගන්න බැරි නං මල්ලිට ඇනලි එයාට මතක් කරන්න කියලා කියන්න. අර සසින්ද්‍ර මලයා වගේ.
    ..................

    හංස නැන්දේ,
    ඉයන්න අල්සයන්න තූයන්න ඉයන්න. මේ පැත්තෙ ආවට..... කාලෙකින් නෙමේ මේ ළගදිත් ආවානේ මං.

    ReplyDelete
  21. පෙසන්න මාම,
    ගේ එක කියවද්දි මගේත් මොලේ හිර කරනවා. මම ඹච්චර පාඩං දෙනවා අල් ඉයන්න කියලා එකක් දැකලා නෑ. අල් යයන්න කියලා මිසක්කා.

    හපොයි මාමේ ගෙදරදී නම් කතා කරන්න එපා එහෙමනං. වැඩකරන තැන ලොකු සර් එක්ක කතා කලාම හොඳටම ඇති.

    හරි හමං හේතුවක් නං දන්නැ. හැබැයි අක්කට නිදා ගන්න දෙන්නැත්නෙ මං හිතන්නෙ ඒ ගොල්ලන්ට කරන්න වැඩ වැඩි වෙලා ඇති.
    ........................

    හසී නැන්දා,
    ඉයන්න අල්සයන්න තූයන්න අල්යයන්න. ගොඩාක්.
    .............

    රන්දිල් නැන්දෙ,
    අපරාදේ ගීතිකා අක්කත් අපේ ගෙවල් පැත්තෙයි ඉන්න තිබ්බේ.

    අනිකට උත්තරේ 29 තමා හැබැයි.
    .............

    නවම් මාමේ,
    අන්න ළමයි. අපි වගේ අහිංසක, නිර්භීත අය මංගල සබාවය අරකය මේකය කියලා බලන්නැ. කියන්න ඕනැ දේ කියලා ඇති ගානට.
    ..............

    ප්‍රියන්ත මාමේ,
    වැඩි විස්තර 29 වැනිදා තමා මාමේ. ඒක නෙමේ ඕගොලලංගෙ අම්මට සුබ උපන්දිනක් කිව්වා කියලා කියන්න චූටි මහත්තයා.
    ....................

    ඹ්නෙ මාමේ,
    හින් එකා කාලේ ඇණගෙන හරිගියෙ නැත්තං දැනුත් හරියන්නැ. ඒක හින්දා දැං නිදාගන්න යද්දි හාමිනේ අක්කට හොඳවයින් ටොකු ටිකක් ඇනලා නිදා ගන්න. එතකොට අක්කා උදේම නැගිට්ටවයි.
    ......................

    සසින්ද්‍ර අයියේ,
    වැදගත් කම බල්ලට ගියාම නම්බුව කොහෙං හොයාන්නද?
    ඒක නෙමේ අර යාලුවට ටොකු ඇනපු ක්‍රමේ හොද අදහසක් වගේ. ඔන්න මම දෙතුන් දෙනෙකුටම කිව්වා ඒගැන.
    ....................

    ඕනේ මාමේ,
    අනේ ඒ කතාව මම දන්නෙත් නෑ. අපිටත් දැනගන්න මාමා ලියුමක් ලියලා දාන්නකො. ඹ්නේ මාම ඒක ඹ්නෙ.
    ...................

    මේනකා ආන්ටි,
    මිනිහා මට වඩා කපටියෙක්. මිනිහා මගේ තැන අහලා මිනිහගේ ගානට දෙකක්ම එකතුකරලානෙ කියලා තියෙන්නෙ...... ඉතිං කොහෙද!

    ReplyDelete
  22. මටනම් බෑ ඕක 29 වෙනිදටම බලන්න. මන් ඕක බලනවා මැයි පලවෙනිදට. ඒක නිසා ඕන් මන් එක ටොක්කක් ඇනගත්තා. හැබැයි චූටි මහත්තයෝ උඹනම් ටොකු 29ක්ම ඇනගන්. නැත්නම් එදාට ඕක ලියන්න අමතක උනොත්. :D

    ReplyDelete
  23. කතන්දර, මාරයා, දැන් කෙහෙල් කොටුවෙනුත් පටන් අරන් මතු සම්භන්දය් කතා. හා, හා, කමක් නැහැ, විසි නම වෙනිදට තව දවස් දෙකනේ.

    ReplyDelete
  24. අද 27 අද ටොකු 29 ක් ඇන ගත්තොත් ඔය කතාව බලන්න වෙන්නෙ ලබන මාසෙ 26 වෙනිදට තමයි.

    ReplyDelete
  25. 30 වෙනිදට දවසක් කලින් බලන්න කියල එකක් ඇනගත්තොත් බැරිවෙයිද?

    ReplyDelete
  26. අනුරාධ,
    හරි හරි මම නං ඇනගත්තා. එහෙමං 29 එන්න.

    ...............
    ඔබාමා මාමා,
    ​ලොකු මාමලා යන පාරෙයි අපි යන්නෙත්.
    ...............
    පෙසන්න මාමේ,
    අන්න මෙලේ ඇති කියමනක්.
    ................
    තාරක අයියෙ,
    එකක් කලින් ඈනගන්නවා නම් ඔලුවට ඇනගෙන හරියන්නැති වෙයි නේද? අඩු කරන්නනෙ තියෙන්නෙ.

    ReplyDelete
  27. මේයන්න කයන්න මයන්න මයන්න කයන්න ලියන්න අල්නයන්න කියන්න යෙයන්න අල්වයන්න වායන්නන.

    මේයන්න ක්‍රයන්න මයන්න යයන්න ශෝයන්න අල්කයන්න කයන්න තායන්න කයන්න රයන්න අල්නයන්න ඩයන්න.

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...