2011/09/29

අමතක වූ බයිසිකලය.....! | මතකයේ ප්‍රධාන ලක්ෂණය අමතක වීමයි කියන්නෙ (ඉතින් බලමුකො ඒකෙත් හැටි)

මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීම කියලා ඒ ලෙවල් කරන කාලේ දුමීයට කියලා දුන්නේ පොර ගොඩක් ගෞරව කරන, පොරට ඒ ලෙවල් පියෝ- ඇප්ලයිඩ් උගන්නපු සුමේධ උඩවත්ත සර්ලු.

ඒක කියෝපුවාම මට හිතුනෙ උඩවත්ත සර් ඉන්ඩ තිබුනේ ඒ කාලේ කියලා. එහෙනම් අපේ මව් දෙමව්පියන්ට, නැන්දලා මාමලාට ඔය ටික කියලා දෙන්න තිබුනා. එහෙම උනානම් මට අද මේ වගේ කතාවක් කියන්ඩ වෙන්නෙත් නෑ.

අනික මේ කතාව මං කා‍ලයක් තිස්සෙ දාම්දෝ ‍නොදාම්දෝ කියලා හිටියෙ අමතක වෙන එක ලෙඩක් කියලා හිතාගෙන හිටපු හින්දා.

මන්දා මංනං හිතාගෙන හිටියෙ මේ ලෝකෙ ඉන්න පිරිමි ළමයින්ගෙන් වැඩියෙන්ම අමතක වෙන්නෙ මටයි කියලා. එහෙම හිතන්ඩ මට සාධාරණ හේතු ඕනැ තරම් තිබ්බා.

ඒ කාලේ හුගක් ළමයින්ට ව‍‍ගේ මටත් හොඳවයින් පිස්සු දෙක තුනක් තිබ්බා. එකක් සයිකල් පිස්සුව.

ඔය සයිකල් පිස්සුව ඇල්ලුවාමත් බල්ලන්ට පිස්සු ඇල්ලුවා වගේ තමා. රැලේ යනවා ගම්නියම් ගම් වල‍ට විකුණන්න තියෙන පරණ බයිසිකල් හොයාගෙන බල්ලො වගේ. මේ සිද්දිය වෙන්නෙ එහෙම සයිකල් හොයන්න යන්න කලින් කාලෙ. මේ කියන සයිකල් පිස්සුව තද සැරේට තිබ්බට මට සයිකල් තිබුනෙ නැති කාලේ.

මට සයිකල් නොතිබ්බට අපේ කතන්දර සීයටයි, අපේ තාත්තටයි, එහා වැටේ වාසනා කෙල්ලගෙ තාත්තට, ඒ කියන්නෙ අපේ මාමටයි සයිකල් තිබ්බා. ඉතිං ඒ මදැ!

මට තියෙන්නෙ කොහෙ හරි යන්න ඕනැ උනාම ඔයින් එකක් අරන් යන එක. හැබැයි අයිතිකාරයට කියන්නැ. කිව්වොත් මට සයිකලේ අල්ලන්න දෙන්නැ. මොකද ඒකාලේ මට පුංචි පහේ අපලයක් තිබුනා. ඒක තමා කාගෙ හරි සයිකලයක් ඇල්ලුවොත් පැය දෙක තුනක් යයි ඕන්නයි ඒකෙ හුලං බහිනවා.

මගේ සයිකල් වල හුලං බැහිල්ල ගැන අමුතුවෙන් කියන්ඩ ඕනැ නැනේ. මතකනෙ මගේ නවතම සොයාගැනීමට කුමාර දුන්නු සහයෝගෙ.

කොහොමහරි එක දවසක් මමයි මගේ යාලුවෙකුයි එහා ගමේ පරණ සයිකල් කබලක් විකුණන්න තියෙනවයි කියපු ඔත්තුවකට එහෙ යන්න පිටත් උනා. මං සයිකලයක් ඇල්ලුවාම හුලං බහින එකේ බරපතලම සිද්දිය උනේ එදා.

එහෙනම් යද්දි මං පදින්නම්....උඔ එද්දි පැදහං..........පොර යන්ඩ ලෑස්ති වෙලා කිව්වා.

කොහොමහරි අපි ගිහිං සයිකලේ බලලා එකොලහ මාරට විතර එන්ඩ පිටත් උනා. දන්නවනේ දැං සයිකලේ පැදගෙන එන්නෙ මම. මං පොරවත් ඉස්සරහිං දාගෙන ඕන්නං පැය කාලක් පදින්ඩ ඇති ඉස්සරහා රෝදෙ කෙටෙන්ඩ ගත්තා. වැඩේ හරි, හුලං බැහැලා.

අපි බැහැලා වැල් කරල ගලෝලා බැලුවා. ඒක බටර් වෙන්ඩ උනුවෙලා. දැං කරන්ඩ දෙයක් නෑ. අපි හිටියෙ ගම් දෙක වෙන් වෙන "වැව් බන්ට්" එක උඩ. දැං මක් කරන්නද? මං කලේ උණු වෙච්ච වැල්බටේ එහෙම්ම තියෙද්දි වැල්කර අස්සෙන් ඉරටු කැල්ලක් ගහපු එක. පස්සෙ අත්පොම්පෙ අරං හුලං ගහලා ඕරේ රන් පැද්දා වින්කලයක් හම්බවෙනකං. පස්සෙ වින්කලේ මාමා වෑල් කර සුද්ද කරලා බලන්ඩ ලෑස්ති වෙද්දි මම හීන් සීරුවේ පාර පැත්තට මාරුඋනා.

ඔන්න ඔය වගේ හේතු හින්දා කව්රුත් ඒකාලේ මට සයිකලේ දෙන්ඩ බයයි. එකක් මම ඇල්ලුවාම සයිකලේ හුලං බහින හින්දා.

සයිකල් දෙන්නැති අනිත් කාරණාව ඔයිට වෙනස්. ඒ කාලේ මට තද සැරේට අමතක වෙනවා. දැනුත් ඒකෙ ලොකු වෙනසක් නැද්ද මන්දා? මොකෝ ගිය සතියෙත් මට යුරෝ දෙකක් අමතක උනානෙ. ඒ හින්දා කව්රුත් මට බයිසිකල් දෙන්නෙ දෙපාරක් හිතලා.

එක දවසක් මම කතන්දර සීයා, ලඟ ගමන් වලට කියලා ගෙනාපු සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකලේ අරං උදේ පාන් ගේන්ඩ කඩේට ගියා. කඩේ ඉස්සරහා වැටේ සයිකලේ හේත්තු කරලා පාන් අරං එද්දි එතන තව සයිකල් හයක් නතර කරලා. මට මතක නෑ කතන්දර සීයගේ සයිකලේ මොකද්ද කියලා. මොකද සීයා එක අරං තිබුනෙ ලඟදිනෙ.

ඉතිං මම අහන්ඩ යෑ එතන ඉන්න අයගෙන් මේ, කෝකද අනේ මගේ සයිකලේ?” කියලා. මම කලේ ලැජ්ජාව වහගන්ඩ එහා පැත්තෙ පුලුන් ගහ යටට වෙලා පුලුන් ඇට අහුලනවා වගේ අනිත් අයට පෙන්නලා, ඉතුරු වෙන සයිකලෙ අරං ගෙදර එන්ඩ හිටපු එක.

කාලයක් තිබුනා අපි සියඔලා ඇට වලින් කිරිච්චං ගහපු. කට්ටියට කිරිච්චං උණ කොච්චර සැරේට තිබුනද කියනවනම් අපි හවස් වරුවෙම සියඔලා ගස් යට සියඔලා හෙව්වා. මං දිනපු සියඔලා ඇට තිබුනෙ, මගේ ඇඳ යට ලොකු සොපින් බෑග් දෙකක.

එක හවස් වරුවක මට හිතුනා බැරිවෙලාවත් මම මේ ටික පැරදුනොත් කියලා. ඒ හින්දා මම අපේ තාත්තගේ සයිකලේ අරං මැල්වත්තට පැද්දා, එහෙ සියඔලාගස්යට වැටිච්ච ඇට අහුලං එන්ඩ. ඇට අහුල අහුල ඉදිදි බඹුරු සීයගේ කරත්තෙ මැල් වත්ත මැද්දෙන් මතු උනා වතුර බැරල් වගේකුත් අරගෙන. අපේ පංතියෙ කොල්ලොත් වඳුරු රැලක් වගේ එකේ එල්ලීගෙන එක කාලගෝට්ටියයි. බඹුරු සීයත් ඒකටම ඇරිලා. කොල‍්ලො මාව දැක්කා විතරයි සද්දෙ දෙක උනා. මටත් උන්හිටි තැන් අමතක උනා. මං කෙරුවේ ඒයි උඔලා කොහෙද මෙහේ කියාගෙන සියඔලා මල්ලත් අරං කරත්තෙට ගොඩ වෙච්ච එකයි.

කොහොමහරි හවස් අතේ තේ බොන්ඩ යද්දි, තේ එකේ පොඟවගෙන කන්ඩ විස්කිරිඤ්ඤා තිබ්බනම් පංකාදුයි කියලා කතන්දර සීයා කිව්වා. ඔන්න විස්කිරිඤ්ඤා ගේන්ඩ කඩේට යන්ඩ සයිකලේ හොයද්දි තමා මගෙ කනෙන් දුන් ගියෙ.

තුන්වැනි සිද්දිය ඔයිට වෙනස්. එදා මට ගෙඩියපිටින් සයිකලෙ අමතක උනා. එදත් මම අරං ගියෙ තාත්තගෙ සයිකලේ. හවස ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් මැච් එකකට. එදා මැච් එකෙන් අපි දින්නා. අපිට වඩා වැඩිමල් උනත් හතවසරෙ කොල්ලන්ට අපි ගැහැව්වෙ විකට් බර ගාණක් තියෙද්දි. ඒකෙන් ඔද වැඩිලා මං තාත්තගෙ සයිකලේ දාලා වෙන කොල්ලෙක්ගෙ සයිකලේ හැඬල් එකේ ගෙදර ආවේ අරුන්‍ට හූ කිය කියා.

සතුට විලයි සැපත මලයි, නෙලුවොත් මල අතින් එකයි! ”. අපි ඒ සින්දුවේ තාලේ වෙනස් කරලා හතේ කොල්ලන්ට කෝචෝක් දාගෙන පාරෙ පුරා සයිකල් පැද‍ගෙන ආවේ.

ගේ ගාවට එද්දි තාත්තා හිටියා ගේ ඉස්සරහා, අර පරණ දෙමළ නලුවෙක් ඉන්නෙ ඇම්ජීආර්කියලා අන්න එයා වගේ අත්දෙක පස්සට කරලා බැඳගෙන. මම එයාගෙ පුතාගේ වැඩ පෙන්නන්ඩත් එක්කලා මැදින් වක තියෙන මගේ කොකබුරාබැට් එක වත්තට විසි කරලා පැන්නා සයිකලේ හැඬල් එකෙන් හරියට රැජිනි කාන්ත් වගේ. පැනලා කකුල කැඩිච්ච බල්ලෙක් දුවන්නෙ කොහොමද, අන්න එහෙම අනිත් කොල්ලන්ට පේන්න පොඩි කෝචෝක් පාරක් දැම්මා සතුට වැඩි කමට. පස්සෙ රැජිනි කාන්ත් හොරුන්ට වෙඩි තියනවා වගේ කොල්ලොන්ගෙ පැත්ත හැරිලා ඇඟිලි ටික පිස්තෝලෙ වගේ හදලා ඩිස්ක්ඤැව්..... ඩිස්ක්ඤැව්.....ගාලා නාසික්‍ය සද්දෙන් වෙඩි දෙකක් තිබ්බා. කොල්ලො ඒ සද්දෙන් උදම් වෙලා විසිල් ගගහා යන්ඩ ගියේ. ඒගොල්ල හංදියෙන් හැරිලා නොපෙනි යනකල් ඒ දිහා බලනං හිටපු තාත්තා මගෙන් ඇහැව්වා,

සයිකලේ ගෙනිච්චද?” කියලා.

අන්න ඒ වෙලාවේ මගේ කනෙන් ආයම දුන් ගියා. සතුටු විලත් එවෙලෙම හිඳිලා ගියා.

ඒ සිද්දිය ඒ විදිහට ඉවර වෙද්දි, මම ස්ථිර අදිටනකට ආවා අයේ නං කවදාවත් සයිකලෙ නං අමතක කරන්නෙ නෑමයි කියලා.

එහෙම හිතලා වැඩිකාලයක් ගියෙ නෑ, තවත් අන්තිම භයානක සිද්දියක් සිද්ධ උනා මට.

එදා මම අරං ගියේ අර වාසනා කෙල්ලගෙ තාත්තගෙ සයිකලේ. ගෙදර කව්රුත් හිටියෙ නෑ. ඒත් අනුන්ගෙ එක්ක ගද්දි අහන එක මගේ යුතුකම,

මේ මං ඕගොල්ලන්ගෙ තාත්තගේ සයිකලේ පොඩ්ඩක් ගන්ඩද?” මම වැලි බත් උය උය හිටපු වාසනා කෙල්ලගෙන් ඇහැව්වා.

ඉතිං මට මොකො... අරගන්න එකනෙ තියෙන්නෙ............දැං හරිනෙ මම අයිතිකාරයො දැනුවත් කලා.

ඒ සෙනසුරාදා හවසක. එදත් ඉස්කෝලෙ පිට්ටනියෙ ක්‍රිකට් මැච් එකක්. ඔන්න එදානං මං සෙල්ලං කලේ නෑ! එදා තිබුනෙ අපේ ගමේ අයියලයි, එහා ගමේ අයියලයි අතර මැච් එකක්. මම ගියේ චියරිං පාටියට එකතු වෙන්ඩ. නැගීගෙන එන ක්‍රීඩකයො හැටියට අපේ අයියලාට හුරේ දාන එක අපේ යුතුකමක් නොවැ.

කොහොමහරි මැච් එක රාමෙට ගියා. ඔන්න එදත් අපේ අයියලා මැච් එක දිනුවා කියහංකො! ඉතිං මට සයිකලේ අමතක වෙන එක අහන්ඩත් දෙයක්යෑ.

එදා මම ගෙදර ආවේ ධර්මසේනයගෙ සයිකලේ හබ් එකේ. ඒ කියන්නෙ පිටිපස්සෙ එල්ලිලා. කෑකො ගගහා එහා ගමේ උන්ට හු තිය තියා. ඔහොම ඇවිල්ලා යන සයිකලෙන්ම ගේ ගාවින් බැස්සා. දැං මට ඔක්කොම අමතකයි. ඇයි අපේ අයියලා අරගොල්ලන්ට ගැහුවනේ.

කොහොමහරි සෙනසුරාදා හවස ඔහොම ගෙවිලා ගියා.

ඉරිදා උදේ උනා. අම්මා උදේම මට කතා කරලා, මාමලා වැට ලඟ ඉදං මට කතා කරනවා කිව්වා. මට මාර කෙන්තියක් ආවා. ඉරිදා විතරනෙ ටිකක් වෙලා ගත වෙනකම් නිදා ගන්ඩ තියෙන්නෙ.

මම එහෙම්ම බැන බැනා ගියා කුස්සිය පැත්තෙන් වැට ගාවට. මෙන්න මාම මං එනකං බලාගෙන ඉන්නවා වැ‍ට ගාව. වාසනා කෙල්ලත් ජංගිකොටේකුයි, හැට්ට කැල්ලකුයි ගහගෙන වැටේ එල්ලිලා මට රවාගෙන ඉන්නවා.

මං බැලුවා මේ පාන්දර මොන මරාලයක්ද මට පාත්වෙන්න යන්නෙ කියලා. දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහිංසක හා පැටියෙක් වගේ දරුවෙක් හම්බවෙන්ඩ වැට ගාව රැකගෙන ඉන්නවා කිව්වහම උදේ පාන්දර.

ඊයේ මගේ සයිකලේ ගෙනිච්ච ද පුතේ?” මාමා මාව දැක්ක ගමන් ඇහැව්වා. මාමා විකාර කතා කරනවා ද මන්දා මේ උදෑසන.

මොන සයිකලේද?” මම එක එල්ලෙ ඇහැව්වා.

මේතනින් පස්සෙ වෙන ටික ඕගොල්ල දැනගත්තොත් ඕගොල්ල හිතයි මේ ලොකේ මේ වගේ දෙයක් වෙන්ඩ පුලුවන්ද කියලා? අනික පුංචි කඩවසම් කොලුගැටයෙක් කොච්චර නං අලකංලංචි ගොඩකට මුණදෙනවද මේ සයිකලයක් හින්ද කියලත් හිතෙයි. අනික ඒ වගේ වීර ක්‍රියාවක් මේ ලෝක ඉතිහාසෙම නැතුව ඇති. ඒ ගැන කියන්නෙ මම ලබන සඳුදට!

ඕගොල්ලන්ට කතාව ලේසියෙන් තේරුම් ගන්ඩ විදෙස් චිත්‍ර ශිල්පියාගෙ සිත්තර රැසකුත් එක්ක ඒ ත්‍රාසය, භීතිය, කුතුහලය පිරිච්ච කතාවත් අරං මම එදාට ඕගොල්ලන් හම්බවෙන්ඩයි හිතාගෙන ඉන්නෙ.

__________

මේ තියෙන්නෙ ලබන සඳුදාට එන අන්තිම කොටසේ කමින් කෑලි ටිකක්. මේ ටික කියෝලා හිතාගන්ඩකො එදාට කතාව කොහොම වෙයිද කියලා.

01. ඇ‍ඟේ එක මස් කෑල්ලක් වත් හරියට වැඩකරන්නැ තාම. ඒවා නිකං වැඩ කරන්නෙ මට අරියාදුවට වගේ. ටිකක් දුර දුවද්දි මට තේරුනා දනිස් ඇටේ හයිකරලා තියෙන බෝල් ජොයින්ට් එලියට පැන්න කියලා. දැං දනිස් වැඩකරන්නෙ හරස් අතට. කඩ ඇනේ බුරුල් වෙච්ච කරත්ත රෝදයක් වගේ ඒවයින් කිරි කිරි සද්දයක් එනවත් එක්ක.

02. ඉතිං මම අපේ ටීචර්ලාට යෝජනාවක් ගේනවා
, “ඒ මාමලා ගල් කපන හැටි පෙන්නන්න අපිව එක්කන් යන්න කියලා. ටීචලා කිව්වා ඒවා පොඩි ළමයි ඉගෙන ගන්න ඕන දේවල් නෙමේ. ඒවා ලොකු අයගේ වැඩයි කියලා. අනික ගල් මැසිමෙන් ගල් කපද්දි විසිවෙන කෑලි අපේ ඇස් වල වැදුනොත් කම්මුතුයි කියලා ඒ ගොල්ල අපිව බයත් කලා. ඒත් අපි රිළව් රැලක් වගේ පන්තියෙ දැලේ එල්ලිලා මාමලා ගල් කපන හැටි බලාගෙන හිටියා.

__________

එහෙනම් ලබන සඳුදා උදේ 8.00ට හමුවෙමු. එතකං මේ කතාව ලියන්න මඟ පෑදුනු දුමී ලියපු අමතක වීමේ පලවිපාක කියවන්නත් පුලුවන්.

31 ක් කියන්නේ !:

  1. දැං ඔය අමතක වුන සයිකල් හම්බවුනාද?

    ReplyDelete
  2. මෙන්න විදෙස් කැමරා ශිල්පියෙක් මෑතකදි බුද්ධි අයියට බයිසිකලේ අමතක වීමේ අවස්ථාවක් රැ‍කෝඩ් කරපු හැටි...

    සඳුදට මේකෙ ඊලඟ කොටස බලන්න පොඩි ළමයි ආවට කමක් නැද්ද?

    ReplyDelete
  3. මේක නම් පුදුම අමතක වීමක් නේ. වාසනා කෙල්ල තමයි ඔත්තුව දෙන්න ඇත්තේ.

    ReplyDelete
  4. අපෝයි ඔය අමතක වීමේ ලෙඩේ වැම්ම්ම තියෙන්නෙ පිරිමින්ටද මන්දා....

    ReplyDelete
  5. මූණු පොතෙන් දැනුවත් කරල තිබ්බට මම නම් හිතුවෙම චූටි මහත්තයට අමතක වෙයි කියල මේක දාන්න.

    ReplyDelete
  6. ඇම්ජීආර් සයිකලේ ගෙනිච්චද කියල අහපුවහම රැජිනි කාන්ත් ඊගාවට මොකා වගේ උනාද දන්නෑ.

    ලබන සඳුද එනවයි කියන එක අමතක වෙන එකක් නෑ නේද?

    ReplyDelete
  7. වාසනා කෙලී නියමෙට මාමට ගම්මිරිස්,මිරිස් ඇතුව කියලා වගේ චූටි මහත්තයා ගැන.........

    ReplyDelete
  8. යකෝ බයිසිකලේ අමතක වුනාට සිද්ධි ටික මතකයිනෙ කොනක ඉඳල... ඒ ඒ දවස් වල ගෙදර ආවෙ කාගෙ සයිකලේද කියලත් මතක තියෙන්නෙ හොඳට...

    මට පේන්නෙ මේක සයිකල් ඇල්සයිමර්ද මොකක්ද කියන ලෙඩේ...

    ReplyDelete
  9. මම ගමේ ඉස්කෝලෙට යනකාලෙ දවසක් උදේ පාන්දර හත හමාරට විතර නැගිටල මූන කටහෙම හෝදගෙන ඉස්කෝලෙට දිවුව . . . . ඉස්කෝලෙ තියෙන්නෙ ගෙදර ඉඳං විනාඩි දහයෙං දුවන දුරේ . . . . ඔහොම දුවගෙන යන අතරෙදි නිකං අමුතු සීතලක් වගේ දැනිල බලද්දි "එකා ජොලියෙ" . . . . පිට කවරෙ දාල නෑ

    ReplyDelete
  10. අම්මට සිරි.මටත් ඔය අමතකවීම ඔය විදියටම තියනවා. මගේ අතිනුත් තාත්තගෙ බයිසිකලේ අමතකවුනා එකසැරයක්.
    කමිං කෑලිටික බැලුවම මට හිතුනා උඹේ සයිට්එක හැක් කරලා ඒකෙ තියන ඩ්‍රාෆ්එක දැන්ම කියවන්න..:)

    ReplyDelete
  11. අය්යට කියන්න මටත් ඔයවගේ වැඩක් වෙලා තියෙනවා. බයිසිකලේ කඩේට ගිහින් කඩේදි යාළුවෙක් හම්බ වෙලා ඌත් එක්ක පයින්ම ගෙදර ආවා බයිසිකලේ කඩේ ගාව දාලා. බයිසිකලේ මට මතක් උනේ පහුවදා උදේ. උදේම කඩේට ගිහින් බලද්දි කඩේ ඉස්සරහා මම තිබ්බා වගේම බයසිකලේ තියනවා. කවුරුත් අතවත් තියලා නෑ.දන්නවනේ ඉතින් අත තියලා තිබ්බොත් වෙන දේ :D අමතක වීම ගෙන මැක්සා කතා සෙට් එක.

    ReplyDelete
  12. මගෙත් යාලුවෙක් ඉන්නවා මිනිහාට අමතක වෙන්නෙ පොත් බෑග් එක, ෆෝන් එක, පෙන් ඩ්‍රයිව් වගේ සුළු සුළු දේවල් නිසා අපි හරි අවධානයෙන් ඉන්නෙ. අමතක වුනොත් ඒක හොයන්න අපිත් හැම තැනම දුවන්න ඕනා!

    ReplyDelete
  13. මේක පොඩි කාලෙත් මල් අදිනවද කොහෙද

    ReplyDelete
  14. මටත් මේ ලෙඩේ තියනව බන්, හැම ඉරිදාම , සඳුදාට කරන්න ඕන වැඩ ටික කොලේක ලියාගන්නවා (ෆෝන් එකේ දාන රිමයින්ඩර්ස් වලට අමතරව ).
    ඒක දාගන්නවා ෂර්ට් එකේ උඩ සාක්කුවෙ.මොකද ඔෆිස් ගිහින් ටයි එක ඇදලා එලියට ගන්න කොට ඒක එලියට එනවනෙ .
    හැබැය් වැඩි පරෙස්සමට,ෆෝන් එකෙත් රිමයින්ඩර් එකක් දාගන්නවා "අද වැඩ " කියලා... හෙහ් හෙහ් හෙහ්....

    මගේ අම්බානක පරණ ෆෝන් එකක් තියනවා,කැඩිලා සෙලෝ ටේප් හිටන් ඔතාගෙන ඉන්නෙ.ඒත් ඒක අයින් කරන්න බැහැ මොකද ඒකේ රිමය්න්ඩර්ස් වලට එල හෝන් එකක් ගහනව, අර නැවක් වරා‍යට එනකොට ගහන්නෙ අන්න ඒ වගේ එකක්.
    ඔක්කොම ඉවසන්න පුලුවන් , අපේ වය්පරේ අහනවා ඔච්චර අමතක වෙන ලෙඩේ තියාගෙන කොහොම ඔය එක එක විභාග පාස් වුනාද කියලා...හෙහ් හෙහ්...

    ReplyDelete
  15. මම නැති ටිකට කස්සා සද්දයක් දාල ගිහින්... ඇත්තටම උනේ මේකයි.. මම කඩේට ගියාම කස්ස දාල ගිය බයිසිකලේ දැක්කා.. මම ඒක අරන් යන්න ඕනි හැම තැනම ගිහින් කඩේ ලගටම ගිහින් දැම්මා. මිනිහ තාම මේ ගැන දන්නෙ නෑ...

    ReplyDelete
  16. ඔහ් මටත් බයිසියක් තිබ්බා. ඒක කැම්පුස් එකේ තවම තියෙනවද දන්නෙ නෑ

    ReplyDelete
  17. දාර තාත්තා කෙනෙකුයි, යස්සනියක් වගේ වස දුවෙකුයි, අහිංසක හා පැටියෙක් වගේ දරුවෙක් හම්බවෙන්ඩ වැට ගාව රැකගෙන ඉන්නවා කිව්වහම උදේ පාන්දර.

    සිදුවීමෙ පරිදි මෙහි කියවෙන සියලුම චරිත සත්ය වන අතර....ඒ මාගේ පියා සහ අක්කන්ඩිය.
    ඔව්ද මෙ පෝස්ට් එක කියව්වෙ.....මෙම කතාව හරියට මතක නැති ගානටය.....බුද්දිගෙ ගෙදරබිත්තියේ ඉන්නා රොබෝ කෝප් ටද මෙ කතව හරි හැටි මතකයක් නැත.............සමීක්ශන වලට අනුව ඉතිරිය මා දමා පලක් නැත රසයක් නැත
    අපි උපෙක්ශාවෙන් බලා සිටිමි

    -රඩ පජිත විත් මාමා ඇන්ඩ් වාසනා කෙලී

    ReplyDelete
  18. ‍දැන් ඔය බයිසිකල් විතර ද අමතක වෙන්නෙ. තාමත් ඔය ලෙඩේ තියෙනවාද?

    ReplyDelete
  19. ඊළඟ කොටස වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක්ද?
    ඕක තමා මං පුංචිත්තට සයිබර් යය add නොකළේ. (විහිලුවට හොඳේ)

    එකෙන් කමක් නැහැ, බුද්ධිත් පුංචිත්තට ලියන්ඩ අනිවාර්යයෙන් එක්කහු වෙන්ඩ ඕනෙ.
    මට විද්‍යුත් ලිපිනය එවන්ඩකො ආරාධනාවක් එවන්ඩ.

    ReplyDelete
  20. මටත් පොඩි කාලේ අමතක වීමේ රෝගේ තිබුනා දත් මදින එක

    ReplyDelete
  21. යකෝ මෙහෙමත් මතක වීමක් !

    තව මොන මොනා අමතක කරගන්නවාද දන්නෑ . නරකද අමතක වෙන දේවල් ගැන ඇඟේ පච්ච කොටලා තියාගත්තොත් . නිකං ගජිනි වගේ !

    ReplyDelete
  22. මටත් පොඩිකාලෙ බාගෙ බයිසිකලයක් තිබුනා "ලුමාලා" එකක්.ගම් නියම්ගම් සිසාරා මාත් පැදලතියෙනවා.

    බුද්ධි අමතක වෙන කතාවක් කිවුවට මට බයිසිකල් පදින්න පුරුදු වුන හැටි මතක් වෙනවා.
    මතකද ඉස්සෙල්ලම බයිසිකලේ පුරුදු වෙන්නෙ

    1. දකුණු කකුලෙන් පැඩල් එක 'ටකං ටකං' ගාල පාග පාග වම් කකුලට පොළොවෙන් සපෝර්ට් එක අරගෙන පදින එක. ඒ කාලෙ කවුරුවත් බයිසිකල් දෙන්නෙ නෑ චේන් එක සවුත්තු වෙනව කියලා

    2. පොල්ල යටින් පදින එක, චේන් කේස් එක නැත්තම් දකුණු කකුලෙ මජං එකයි

    3. පොල්ල උඩින් පදින කාලෙ පොළොවට කකුල් දෙක දිග නෑ අමාරුවෙන් පදින්නෙ, එහෙම පදිනකොට චේන් එක පැන්නොත් එහෙමම හිටගෙන දිව්‍යලෝකෙ යන්න පුලුවන්. (බුදු අම්මෝ මතක් වෙනකොටත් කුට්ටම සීතල වෙනවා)

    4. සීට් එකේ අමාරුවෙන් ඉඳගෙන දෙපැත්තට පැද්දි පැද්දි පදින කාලෙ. ඒ කාලෙ අපි පැදගෙන යනකොට අයියල මාමල මහප්පල අත්පුඩියක් ගහල හයියෙන් අහනව 'මිරිස් කිලෝ එකක් අරගෙන දෙන්නම් කොටල දෙනවද' කියලා
    5. ඊටත් ටික කාලෙකටපස්සෙ තමයි කතා අහන්නෙ දුක් විඳින්නෙ නැතුව සීට් එකෙ හරියට ඉඳගෙන පදින කාලෙ එන්නෙ

    ReplyDelete
  23. @රඩ පජිත

    ඇත්තටම එහා ගෙදරද ඉන්නේ... එහෙනම් චූටි මහත්තයගේ රාජ්ය රහස් සෙරම දන්නවා ඇතිනේ...

    දෙන්න බලන්න එහෙනම් එල බ්ලොග් එකක් බුද්ධියගේ තටු ගැලවෙන්න... :D

    ReplyDelete
  24. යකෝ මාර අමතක වීමක්නේ...

    ReplyDelete
  25. පිරිමින්ට ඔය ලෙඩේ වැඩිද මන්ද ..

    ReplyDelete
  26. අන්න අර බීට්ල් කියලා තියෙන වැඩේ ටිකක් මරු වගේ.

    ReplyDelete
  27. @ගීතික
    පල පල යන්න . මම කාටවත් කියන්නේ නෑ උඹට බයිසිකල් පදින්න බෑ කියලා.:D

    ReplyDelete
  28. හොඳයි, හොඳයි.
    උදේ පාන්දර හොඳ හිනා කතාවක් කියෙව්වා.
    Finding Nemo එකේ ඉන්න Dory ව මතක් වෙනවා. එයාගෙත් මතකේ හරියට චූටි මහත්තයාගේ වගේ. ඒකට කියන්නේ Short Term Memory Loss.

    ReplyDelete
  29. අමතක වීම මහා භයානක ලෙඩකි, මට අමතක වන්නේම ලයිට් බිල ගෙවන්නය. හොඳ වෙලාවට රතු බිලක් එවන්නෙ. ඒකත් අමතක වෙයි කියල බයට තාත්ත මටත් බැන බැන යනව ගෙවන්න.

    ReplyDelete
  30. කොහොමද ඔය අමතක වුන බයිසිකල් සීන් ටික මතක තියා ගත්තේ...

    ReplyDelete
  31. // මට තියෙන්නෙ කොහෙ හරි යන්න ඕනැ උනාම ඔයින් එකක් අරන් යන එක. //

    ටොම් සෝයර්නම් ඕකට කිව්වෙ ණයට ගන්නවා කියලා. අහන්නෙම නැතුව තමා පොරනම් ගන්නෙ.

    ReplyDelete

ඔබේ පංගුව...

Related Posts Plugin for WordPress, Blogger...