අපි උඩ ගොස් බිම වැටුනෙමු.
කළ යුත්තෙ කුමක්දැයි සිතා ගත නොහැකි වූ අපි ඇඳන් මතින් බිමට පැන්නෙමු. උදේ තේ වෙලාවද? නැත. තවමත් මැදියම ගෙවී හොරා කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව මට හැඟිණි. මම ඔරලෝසුව බැලුවෙමි. දෙකයි තිස් අටයි.
පසුදින අප මාසික වේතනය ගෙන, දින හයක නිවාඩුවට නිවෙස් බලා යාමට සිටි නිසා පුහුණුකරු අපට අධික ලෙස ව්‍යායාම කරවා අප වෙහෙසට පත් කලේ, “දවස් හයක් තිස්සෙ උඔලා පුස් ඌරෝ වගේ කාලා එන්නෙ කියලා මම දන්නවනේ...“ යැයි පවසමිනි. නිවාඩුව නිසා සිත ප්‍රීතියෙන් ඉපිලෙමින් තිබුනද, ව්‍යායාම නිසා පෙර දින අප නින්දට ගියේ ඉතා තෙහෙට්ටුවෙනි.
මම ඇයගෙත්, නංගීගෙත් ජංගම දුරකතන වල එල්ලිය හැකි හුරුබුහුටි කුඩා ටෙඩියන් දෙදෙනෙකු මිලට ගෙන සිටියෙමි. මෙය කදිම තෑග්ගකි. නිතර දෙවේලේ ජංගම දුරකතනය පේන මානයේ තබාගෙන සිටින ඔවුන්ට, මේවා දකින දකින වාරයක් පාසා මා මතක් වනු ඇත.
නමුත් සිදු නොවිය යුතු දෙයක් සිදු වෙමින් පවතින බව මට ඒත්තු යමින් තිබිනි. එක්ස්.ආර්. මෝටර් බයික් කිහිපයක් අපගේ නිවස්නය ඉදිරිපිට මොර දෙමින් තිබේ. එයින් බැසගත් අය යැයි කිව හැකි විශේෂ පුහුණුව ලත් සෙබලු කිහිප දෙනෙක් “උzයි ගන්” (Uzi gun) සහ “ටී ෆිෆයිව් සික්ස්” අතැතිව අපගේ නිවස්නය වෙත පැමිණ කෑමොර දෙමින් සිටියහ.
“ඒයි තොපි බුදිද යකො.....අරහෙ අරුං ගහනවා..... තොපි නිදි... නැගිටපියව්........”
ඒ අතර තුර වරින් වර ඔවුන් අහසට වෙඩි තැබූහ. උzයි ගන් වලින් නැගෙන තියුණු “ටිකි ටිකි” හඬ අතරින්, ටී ෆයිව් සික්ස් වල ගොරොසු “ටිකි” හඬින් නික්මුනු උණ්ඩ අහස කරා ගියේ, අතර මැද දී හමුවු, අතුරන ලද ශිට් වහලය සිදුරු කරගෙනය. ආරක්ෂිත පියවරක් ලෙස විදුලිය විසන්ධි කර තිබූ නිසා හාත්පස කලුවරය. සයිරන් නලා අඬ අපගේ අවුල් වූ මනස ඒකාග්‍ර කර ගැනීමට ඉඩ නොදෙයි.
කෙමෙන් සියල්ල පැහැදිලි වෙමින් තිබිනි. අප කිසිදිනෙක බලාපොරොත්තු නොවු යම් කිසිදෙයක් සිදු වී ඇත. අපේ මහගෙදර හොරු පැන තිබේ. අධි ආරක්ෂිත කලාපයක ආරක්ෂිතව සිටි අපි අනාරක්ෂිත වී ඇත. දැන් කළ යුතුව ඇත්තෙ එක් දෙයකි. ඒ මීට පෙර පුහුණු කර තිබූ පරිදි අපි සියල්ලෝම නිළ ඇඳුම් ඇතිව හෝ නොමැතිව ආයුධ ගබඩාව වෙත දිවීමයි. මම “කොල්ලන්“ හොරකම් කරාවි යැයි බියෙන් කොට්ටය යට සඟවා තිබූ ටෙඩියන් දෙදෙනා සාක්කුවේ රුවාගෙන ආයුධ ගබඩාව දෙසට දිව්වෙමි.
එහිදී අපට ආයුධ ද, අණ දෙන්නෙක්ද ලැබිනි. යුධ කටයුතු මනාව මෙහෙයවා ඇති අණදෙන්නා අප සමඟ ගොස් අඩි හතරක් පමණ ගැඹුරු, කඳවුර පුරා දිව යන දිය අගල් ඔස්සේ අපව ඉදිරියට මෙහෙයවීය. ඔහු අතේ වූ පණිවිඩ හුවමාරු යන්ත්‍රයේ හඬ ඉතා අඩුකර තිබිණි. නමුත් එයින් දිගින් දිගමට විධාන ලැබෙමින් පැවතිනි.
“පුලුවන් තරම් ඉක්මනින් පාර ක්‍රොස් කරන තැනට යන්න. ඕවර්....”
සතුරන් අප කඳවුරු භූමිය ආක්‍රමණය කර ඇත.
නමුත් ඔවුන්ගේ ලේසර් හිසක් සහිත සැහැල්ලු තුවක්කු තවමත් වැඩි හරියක් නිහඬය. ඔවුන් තිදෙනෙක් තුන් පැත්තක සිට ලේසර් කිරණ ආධාරයෙන් එක එල්ලයක් ලබා ගනී. පසුව එක් තුවක්කුවකින් “ටක ටකස්” හඬින් වෙඩි කිහිපයක් තබා, නැවත නිහඬ වෙයි. මේ හේතුවෙන් කඳවුරට කෙතරම් සතුරන් ප්‍රමාණයක් පැමිණ ඇත්ද, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කුමක්දැයි අපට නිවැරදි තීරණයකට පැමිණිය නොහැකිව තිබිනි.
තවත් සුලු මොහොතකින් සියල්ල වෙනස් විය.
කඳවුරේ ආපන ශාලාව පෙදෙසින් අත් බෝම්බයක් පුපුරා ගිය අතර එදෙසට වෙඩි කිහිපයක් එල්ල කල බව කලුවර විනිවිදගෙන ගිය ගිණි පුලිඟු සාක්ෂි සැපයීය. ක්ෂණිකව ඊට ප්‍රතිවිරුද්ධ ගිනි පුලිඟු කිහිපයක්ද නික්මිණි. මේ අනුව උන් අපෙන් ප්‍රසිද්ධියේ “ගේම ඉල්ලීමට” පටන් ගෙන ඇති බව තහවුරු විය. නමුත් අප තවමත් ඊට මීටර් සීයයකට පමණ මෙපිටින් දිය අගලක් දිගේ ඉදිරියට ඇදෙමින් සිටියෙමු.
ක්ෂණිකව අප පසුකර ගිය ට්‍රක් රථයක් අත් බෝම්බය පුපුරාගිය පෙදෙස පසුකර ගොස් නැවැත්වීය. සැනින් එයින් පැනගත් අප සහෝදර සෙබලු “දිගට හරහට” වෙඩි තබන්නට විය. “එකවර අතිවිශාල වෙඩිබලයක් පෙන්වීම සතුරාගේ මානසික ඒකාග්‍රතාවය බිඳ හෙලීමේ එක් උපක්‍රමයකි“. මට පෙර දිනක ඉගැන්වූ පාඩමක් සිහිපත් විය. ඔවුන්ද ඊට ප්‍රතිචාර දැක්වීය.
සටන ඇරඹිනි.
අප කඳවුරු භූමියට පැමිණ, අපට වෙඩි තබන්න හැක්කෙ කාටද? අප ඔවුන් සොයා ඉදිරියට ඇදුනෙමු. කෑලී කැපිය හැකි කලුවරේ සහෝදර සෙබලු සමග ඔවුන් වෙඩි හුවමාරුක යෙදී සිටිති.
ඔවුන් අප කඳවුර මනා සේ අධ්‍යනය කර ඇත. ඔවුන්ගෙ ලේසර් පහරවල්, වරින් වර අප ගමන් කරන දිය අගල හා සමාන්තරව දිවෙන කඳවුර තුල ඇති ප්‍රධාන පාරට එල්ල වෙමින් පවතී.
“පාර ක්‍රොස් කරපල්ලා............” අපට විධාන ලැබුනි.
පාර හරහා ගමන් කිරීම යනු දැන දැන මරණයට ගමන් කිරීමකි. මක් නිසාද ඔවුන් දැනටම පාර වෙත ඔවුන්ගෙ අවධානය යොමු කර ඇත. යම් හෙයකින් අප පාරෙන් එපිටට පැන ගත හොත් ඔවුන්ට පැති දෙකකින් පහර එල්ලවනු ඇතැයි යන්න පැහැදිලි බැවින්, ඔවුන් සටන අතරතුර පාර ගැන විශේෂ අවධානයක් යොමු කරමින් සිටිති.
කෙසේ හෝ එක් සගයෙක් පාර හරහා පනිනු ලැබීය. මේ වන විට අඳුරට දෑස් හුරුවීම නිසා ලඟ සිටින්නා හඳුනාගත හැකි වුවද, අඳුරේ ඔහු එහා පැත්තට ගියා දැයි අපි නොදැක්කෙමු.
ඒ සමඟම වෙඩි වරුසාවක් පාර දෙසට එල්ල විය. ඔවුන් ඉතා පහලින් වෙඩි තැබුහ. සමහර උණ්ඩ තාර පාරේ වැදී පොලා පනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ. ගිනියම් වූ උණ්ඩ අපගේ ඉලක්කය ප්‍රමාද කරමින් ඇත. නමුත් නියෝගය අපට පිලිපැදීමට සිදුවී ඇත. අණදෙන්නා දෙවරක් සිතා නැවතත් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ප්‍රධානියා ඇමතීය.
“සර් උන් පාරට ෆයර් කරනවා.........ඕවර්”
“එකා පිට එකා වැටිලා හරි පාර ක්‍රොස් කරපල්ලා................” අවසන් නියෝගය ලැබිණි.
මට පෙර මගේ යහලුවන් කිහිප දෙනෙක් පාර හරහා පැනීමට සිටි අතර ඔවුන් නැවත වරක් අප දෙස හැරී බැලීය. ඔවුන්ගේ නෙත් සමඟ අපගේ නෙත් එකට ගැටෙද්දී හැමදාටම වඩා වෙනස් හැගීමක් ඒ අතර දෝලනය විය. ඊලඟ මොහොතේ ඔවුන් නොපෙනී ගියේ එපිටට ගියාදැයි සලකුණක් ඉතිරි නොකරමිනි.
පිපුරුම් වේගයෙන් තුවක්කුවෙන් නික්මෙන ගිනියම් වූ ලෝහ උල් කැරකෙමින් ඉදිරියට ඇදෙන බවත්, ඒවා එක තුවක්කුවකින් තත්පරයකට පහලොවක් පමණ පැමිනෙන බවත් අප මුලදී ඉගෙන ගෙන තිබිනි. මේ වන විට එවැනි ගිනියම් වූ ලෝහ උල්, වරුසාවක් මෙන් අපට සමාන්තරව ගමන් කරයි. ඔවුන් අපට පාර හරහා මාරු විය නොහැකි සේ ඉතා පහලින් පාරට වෙඩි තබමින් සිටියහ. නමුත් කෙසේ හෝ අප ඒ හරහා යා යුතුව ඇත. කාලය ගණනය කළහොත් අපට ඒ සඳහා අවම වශයෙන් තත්පර තුනකට වඩා කාලයක් ගතවනු ඇත.
වෙඩි වරුසාවකට, තත්පර තුනකට අධික කාලයක් නිරාවරණය වීම ගැන මම හොඳින් දනිමි. මේ පැමිණ ඇත්තෙ මගේ අවසන් මොහොතද?
අප කුමන අරමුණක් මුදුන් පත් කරගැනීමට මෙහි පැමිනියද, දැන් අප සටනකට මැදිව ඇත. මේ මොහොතේ තීරණ ගැනීම අපට අයිති දෙයක් නොවන අතර සියල්ල තීරණය වෙමින් පැවතිනි. සියල්ලෙහි ම අවසානය මෙය විය යුතුය.
මට මගේ අම්මා, තාත්තා සහ නංගී සිහි විය. නංගී කර දඬු උස්වූ කෙල්ලෙක් වුවද මා ගෙදර ගිය දිනවලට උදේ පාන්දර කොට්ටෙත් රැගෙන පොඩි කාලේ මෙන් මගේ කාමරයට පැමිණ මා සමඟ උදෑසන වෙන තුරු නිදාගන්නීය.
මා කුඩා කල සෙල්ලම් කල යහලුවන්, ගස් කොළන්, සතුන් සහ කඩමණ්ඩිය යන සියල්ල මා ඉදිරියේ මැවී අතුරුදන් වෙයි. මගේ පාසල පන්තිය හා හවස ක්‍රීඩා කල ආකාරය මට සිහි විය. “ඇය” මා වෙනුවෙන් බලා සිටිනු මට පෙනේ. තවත් වසරකින් අප විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියෙමු.
එහෙත් සියල්ල නොසිතු ලෙස සහ ඉතා කෲර ලෙස මගෙන් උදුරා ගැනීමට පසුබිම සැකසෙමින් තිබිනි. මීට පැය කිහිපයකට පෙර සතුටින් ඉපිලෙමින් සිටි මගේ ඉරණම විසදීමට ඇත්තෙ තවත් මිනිත්තු කිහිපයකි. සිතන්නට නොහැකි, අත දරන්නාට නිරන්තරයෙන් කීකරු වන, හිතක් නොමැති තුවක්කුවක් තුල උණ්ඩ පොදියක් මගේ ඉරණම විසඳීමට දැනටමත් සැදී පැහැදී සිටින බව මට ඒත්තු යමින් තිබිනි. මේ වෙනුවෙන් මට කළ හැකි කිසිවක් නොවීය.
අඟල් දෙකකටත් අඩු ගිනියම් වූ යකඩ උලකට මගේ පවුලේ අයගෙත්, ඇයගෙත් සියලු බලාපොරොත්තු විසුනු කිරීමට ඉඩ දීම කෙතරම් අසාධාරණද?
මට පොඩි කාලෙයේ දී මෙන්, “අනේ අම්මේ...... බේරගන්ඩකෝ.....” යැයි අම්මාට ඇසෙන සේ මොර දීමට උවමනා විය.
නමුත් එයට කාලයක් ඉතිරි නොවීය. මගේ වාරය පැමිණ ඇත. මම මේ වන තුරුත් මගේ සාක්කුවේ රුවාගෙන සිටි හුරුබුහුටි ටෙඩියන් දෙදෙනා හැකි තරම් වෙර ගෙන ඈතට විසි කර, පාර ගිලගෙන ඇති අඳුර, විනිවිදිමින් යන උණඩ වරුසාවට පැන්නෙමි.
නිමි !.