2013/05/13

දෙමළ කෙස් ගහක් සත පනස් පහයි! (කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ කතාවක් )

“ඔය කොයි දේ ගැන වුනත් ටික ටික හරි දැනගෙන ඉන්න හොඳයි ............!“ දවසක් අම්මා කිව්වා. ඇත්තටම ලෝකේ තියෙන ඕනෙම දෙයක් ගැන තොරතුරු දැනගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකද්ද? මම දහ අතේ කල්පනා කලා. ඒකට නියම උත්තරේ දවසක් මට ලැබුනා.

එදා උදේම පැමිණීම ලකුණු කරලා ඉවර වුනු නිරූපා ටීචර් පොත වහලා මුලු පන්තිය දිහාම බෑරෑරුම් මූණක් හදාගෙන බැලුවා.

“හරි දැන් අත උස්සන්න බලන්න ඊයේ දුන්නු ගෙදර වැඩ කරගෙන ආපු අය........................ “

මාව උඩ ගියා. මම හිතාගෙන හිටියේ පරිසරය පාඩමට ගෙදර වැඩ දුන්නේ නැහැයි කියලා. මම ඊයේ ගෙදර ගිය හැටියේ සේරම ගෙදර වැඩ ටික මතක් කලා. මුලින්ම කලේ චිත්‍රෙ ඇඳපු එක. මම චිත්‍රෙට ඇන්දේ බයිසිකල් තරගයක අවස්ථාවක්. තරගකාරයෙකුට වතුර පනිට්ටුවක් විසිකරන උදව් කාරයෙකුත් එක්කලා. චිත්‍රෙ මම හිතපු හැටියට ම ආවා. බයිසිකල් රේස්කාරයා වතුර පාරේ සැරට මූණ අහකට හරවාගෙන ඉන්නවා. උදව් කාරයා ගලක් විසිකරද්දි වගේ එක කකුලක් ඉස්සරහට තියලා වතුර පණිට්ටුව වේගෙන් වනද්දි ඒක ඇතුලේ තිබුනු වතුර, සයිකල් රේස් කාරයගේ මූණටයි උරහිසටයි වැදිලා විසිරිලා යනවා. ඒක ජාති චිත්‍රෙ! මොකද වේගෙන් එන බයිසිකල්කාරයට වේගෙන් වදින වතුර පාර අඳින්න මට ලේසි වුනේ නෑ. වතුර බින්දු විසිරිලා යන එක අඳින්න මට හවස් වරුවෙන් සෑහෙන කාලයක් ගතවුනා. ඊලගට එකතු කිරීම පාඩමට දුන්නු ගණන් ටික එකතු කලා. වැඩියෙන් ම අමාරු උත්තරේට යටින් අඳින ඉරි කෑලි දෙක සමානව අඳින එක. ඊටත් පස්සේ අත්වැඩ පාඩමට කියලා දුන්නු හැටියට කොහුකෙඳි වලින් ලණුවක් අඹරලා ඒක ලණු මූඩියක් හැටියට ඔතලා පොත් මල්ලට දා ගත්තා. ඔය සේරම වැඩ කලත් පරිසරයට ගෙදර වැඩ දුන්නයි කියලා මට අමතක වෙලා.

“කෝ........... ඇයි අත උස්සගෙන නැත්තෙ..... ලියාගෙන ආවේ නැද්ද?“ නිරූපා ටීචර් මම ලගට ආවා. මට කරගන්න දේකුත් නෑ. කියාගන්න දේකුත් නෑ. ඉතින් මම මොලේ අමාරුවක් නිසා හැමදේම අමතක වුනු අසරණ ළමයෙක් වගේ පුටුව පස්සට ඇදලා හිට ගත්තා. මගෙන් උත්තරයක් ගන්න බැරි බව දැනගත්තු නිරූපා ටීචර් බොහොම සද්දෙන් පන්තියේ අනිත් ළමයින්ගෙන් මෙහෙම ඇහැව්වා.

“හැමෝම කියන්න බලන්න මොකද්ද ඊයේ මම ගෙදර දි කරගෙන එන්න කිව්ව වැඩේ................“

ළමයි හැමෝම එකාවගේ එකපාර “ගෙවත්තේ දී සොයා ගත හැකි බෙහෙත් පැලෑටි දහයක නම් ලියන්න“ කියලා කිව්වා. දෙයියෝ සාක්කි! ඔන්න දැන් මට හැමදේම මතක් වුනා. ඒත් දැන් පරක්කු වැඩියි. හැමදේම නරක අතට සිද්ධ වෙලා ඉවරයි. මට කරන්න තියෙන්නෙ වෙන දෙයක් බලාගෙන ඉන්න එක විතරයි.

“දැන් මතක් වුනාද?“ නිරූපා චීටර් මට සද්දයක් දැම්මා.

හැමදේම මතක් වෙලා තිබුනත් මට කියන්න පුලුවන්ද “ඔව් ටීචර්“ කියලා. එහෙම වුනොත් මම නිකම්ම වැරදිකාරයා වෙනවා. ඒත් බොරු කියන එකත් නරක පුරුද්දක් නේ. ඉතින් මම ගෙදර වැඩ වලට අධිපති දේවතාවිය කටට සාපයක් දැම්ම ම කොහොමද, අන්න ඒ විදිහට කතා කරගන්න බැරි අසරණයෙක් වගේ පංති කාමරේ වහලේ දිහා බලාගෙන උළු ගණන් කරන්න ගත්තා.

නිරූපා ටීචර්ට හොඳටම කේන්ති ගියා. එයා මම ඉන්න ඩෙස් එකට වේගෙන් වේවැල් පාරවල් දෙකක් ගහලා මගේ අවධානය ආපහු චීටර්ගේ පැත්තට ගත්තා. “මොකද්ද ඔයාට මම දෙන දඬුවම ආ......“ නිරූපා ටීචර් මගෙන් ඇහැව්වා. මම නෙමේ වචනයක් වත් කතා කලේ. ටීචර්ට තවත් කේන්ති ගියා. ඇයි මක් කරලවත් ටීචර්ට මගෙන් වචනයක් ගන්න බැරි වුනානේ. ළමයි හැමෝමත් අපේ දිහා බලාගෙන. ඊලගට නිරූපා ටීචර් “හරි ඔයාට කතා කරන්න බෑනේ.... ඒකට මම ගාව තියෙනවා බේතක්......“ කියාගෙන පංතිය ඉස්සරහට ගියා. ඊලගට මුලු පන්තියෙම ‍ළමයි දිහා බලාගෙන මෙහෙම කිව්වා. 

“හරි දැන් මේ කතා කරන්න බැරි ළමයව අපි කොහොම හරි කතා කරවන්න ඕනේ නේද?“

“ඔව් ටීචර්.......“ 

“කතා කරන්න බැරි වුනොත් මේ ළමයා පව් නේද?“

“ඔව් ටීචර්.......“ ළමයි හැමෝම එකාවගේ කිව්වා. හරියට මමත් එක්ක අරියාදුවට වගේ.

“අපි කොහොම ද ඒක කරන්නෙ.......අපි මෙයාට ඉස්සරහට ඇවිල්ලා කතාවක් කරන්න කියමු නේද?“ නිරූපා ටීචර් තාලෙට එහෙම කිව්වා.

“නියමායි........“ ඒ සද්දෙන් මුලු පන්තිය හෙල්ලුනා. මට තේරුනා මම දැන් බෙල්ල මුලටම හිරවෙලා ඉන්නෙ කියලා. මොකද නිරූපා ටීචර් කිව්වා මම ඉස්සරහට ඇවිල්ලා කතා කරනකල් පාඩමේ ඉතුරු වෙලා තියෙන කිසිම කොටසක් පංතියට උගන්වන්නෙ නැහැයි කියලා. ඒක නිසා ගෑල්ලමයි මට රැව්වා. මම නිසා ඒගොල්ලන්ට ඉගෙන ගන්නත් නැති වෙනවාලු. පිරිමි ළමයින්ගෙන් ටික දෙනෙකුත් ඒකට එකතු වුනා. හැබැයි සමහරු නම් මේ ප්‍රස්නේ දිගින් දිගට ඇදිලා ගිහිල්ලා කාලේ ගතවෙලා යන එකට හිත යටින් සතුටු වෙනවා කියලා මට තේරුනා.

කොහොමවත් ගැලවීමක් නැති බව දැනගත්තු තැන මම හිත හදාගෙන පංතිය ඉස්සරහට යන්න පිටත් වුනා. මගේ දනිස් දෙක හීතලේ අල්ලපු වෙලාවක වගේ වෙවුලන්න ගත්තා. කකුල් දෙකට බරවා බැහැලා වගේ බරට තේරුනා. ඒත් මම නෙමයි උත්සාහය අතඇරියෙ.

ඊලගට “ඇත්තටම ඔයාට කතා කරන්න බැරිද කියලා බලන්න අපි කාටත් ඇහෙන්න තමන් කැමති දෙයක් ගැන කතාවක් කරන්නකෝ බලන්න......“ ටීචර් කිව්වා. මම මැලේරියා කාරයෙක් වගේ වෙව්ලනවා දැක්ක පංතියේ ගෑල්ලමයි හොදටම හිනා වුනා. පිරිමි ළමයි මට සහයෝගය දැක්වීමක් හැටියට ඒගොල්ලන්ට රැව්වා. මට හොඳටම කේන්ති ගියා. මම හිතාගත්තා හොඳවයින් කතාවක් කරලා මේ හැමොටම පාඩමක් උගන්වන්න මේක නියම වෙලාව කියලා.

මම මීට කාලෙකට කලින් පත්තරේ තිබුනු ලිපියක් මතක් කරගත්තා. ඒ දුම්රිය ගැන. “මුල්ම කාලේ දුම්රියට ඇන්ජිමක් තිබ්බේ නෑ. මිනිස්සු ලී වලින් පෙට්ටි හදලා ඒවට ගල් අගුරු පුරවලා ලී පිලි දිගේ පහලට තල්ලුකරගෙන ආවා. මුල්ම කාලේ රෝදවලට කන්තුවක් තිබුනෙත් නෑ. ඒ වෙනුවට කන්තුව තිබ්බේ පීල්ලට. එංගලන්තකාරයෝ තමා මුලින්ම ලී පිලි වෙනුවට යකඩ පිලී හදලා ලී පෙට්ටි එකට මූට්ටු කරලා මේ කෙරුවාව ටිකක් විතර එක විදිහක් කලේ.................“ වගේ දුම්රිය ගැන වැදගත් තොරතුරු ටිකක් මට මතක් වුනා. ඒත් පංතිය ඉස්සරහා ඒවා නිකම්ම ඇද බාන්න මට වුවමනා වුනේ නෑ. ඒක නිසා කතාවට හොඳ පටන් ගැන්මක් දෙන්න මම මෙහෙම කියන්න වුනා.

“සියලු දෙනාගෙන් අවසරයි, මම අද කතා කරන්න යන්නේ දුම්රිය ගැනයි. මම මුලින්ම දුම්රියට ගමනක් ගියේ පියරත්න මාමලාගේ ගෙදරයි. ඒ කොළඹ ඉදලා ගාල්ලටයි. දුම්රිය ගමන හරිම විනෝද ජනකයි. කොළඹින් ගමන් ගත්තු දුම්රිය මුහුදු වෙරළ ළඟින් ම ගාලු යන්න පිටත් වුනා. කඳුකරේට යන දුම්රිය උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක කිය කිය බොහොම අමාරුවෙන් කඳු නැගගෙන යනවා කියලා මම අහලා තියෙනවා. ඒත් ගාලු ගිය දුම්රිය නම් පල්ලමේ යන නිසා ගියේ “දෙමළ කෙස් ගහක් සත පනස් පහයි, දෙමළ කෙස් ගහක් සත පනස් පහයි කියාගෙනයි“ 

ඇත්තටම මට කියන්න පුලුවන් වුනේ ඔච්චරයි.

නිරූපා ටීචර් බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. එයාට හුස්ම හිරවෙයි කියලා මට බයත් හිතුනා. ගෑල්ලමයිනුත් පරණ කෝන්තර සේරම අමතර කරලා, “දෙමල කෙස් ගහක් සත පනස් පහයි..... හාහ් හාහ් හා.......“ කියලා පංතිය දෙක වෙන්න කෑ ගැහුවා. ඒකට පිරිමි ළමයිනුත් එකතු වුනා. ඇත්තටම මම විහිලුවක් කරන්න ගියා නෙමෙයි. කොච්චියේ සද්දේ මට ඇහුන හැටියට කිව්වා විතරයි. බොරුනම් ඕගොල්ලත් කෝච්චියකට කන්දීලා බලන එකයි. ඒත් ළමයින්ගෙ සද්දෙ හරියට ගාලුපාරේ කෝච්චි සීයක් ගියා වගේ. මුලු පංතිය ම දෙදරලා ගියා. නිරූපා ටීචර් වහාම වේවැල අරගෙන ගුරු මේසෙට තඩිබාලා පංතිය නිහඬ කලා. ඊලගට මට ගිහින් වාඩි වෙන්න කිව්වා. හිනා වෙන ගමන්ම!

අන්න එදයි මම දැන ගත්තේ ඔය කොයි දේ ගැන වුනත් ටික ටික දැනගෙන ඉන්න හොඳයි කියලා අම්මා කිව්වෙ මොකටද කියලා.


.........................................................
-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

2013/03/30

පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් හදන විස්මිත ගෑණු සහ තවත් අරුම පුදුම චාරිත්‍ර ක්‍රමයක් ගැන දැනගන්න......! (යුරෝ දෙකේ වීරයාගේ හෙලිදරව්වකි)

අපි බ්‍රහස්පතින්දා ඉදලා ලබන සදුදා උදේ වෙනකල් නිවාඩුවක් ගත්තා. බ්‍රහස්පතින්දා නැන්දලාව විසිට් කලා. පස්සේ එහෙම්ම ම අක්කලාගෙ ගෙදරට ගොඩබැස්සා. ඒ අක්කලාගේ අල්ලපු ගෙදර අය දෙනවයි කියපු කිරි දානෙට උදව් කරන්න හිතාගෙන. බ්‍රහස්පතින්දා රෑ කලින් නිදා ගන්න කියලා හිටියත් මාරයගේ බලු පෝස්ට් එක කියෙව්වට පස්සෙ ඒකේ අගක් මුලක් හොයන්න ගිහින් දන්නෙම නැතුව පාන්දර එක වුනා. 

කොහොමහරි පහුවදා මම එහා ගෙදර කිරි දානෙට උදව්වට ගියා. 

එහෙට ගියාට පස්සෙයි දැනගත්තෙ අක්කලයි ගෙවල් පැත්තෙ ඉන්නෙ අමුතු මිනිස්සු කියලා. ඒ ගොල්ලන්ගේ චාරිත්‍රත් හෙන වෙනස්.

ඒ ගෙදරට ගිහිල්ලා කරන්න මුකුත් වැඩක් හොය හොය යනකොට මට ඇහුනා උයන පැත්තෙ ගැණු කට්ටිය මෙහෙම කතාවක් කරනවා.

“අක්කෙ කිරි බතට කිරි මදිවෙයි වගේ.......“

“එහෙම වුනොත් අපි මේ පොල් කුඩු බ්ලෙන්ඩර් කරමු......“

මාව උඩ ගියා. මගේ ජීවිතේටම මම ඔය වගේ කතාවක් ඇහැව්වමයි. මමත් බ්ලෙන්ඩර් ගැන ටිකක් දන්නවා. මම මුලින් ම බ්ලෙන්ඩර් එකක් ගත්තෙ 2008 දී. ජපෑන් (Japan) කියලා දැක්ක පලියට ගත්තට මොකද ඒක ඉන්දියාවේ හදන ජායිපෑන් (Jaipan) කියලා අයි අකුරක් මැදට දාලා විකුණන එකක් කියලා දැක්කෙ ගෙදර ගෙනල්ලා ඒකේ පොත කියවන කොට. මොනවා වුනත් ඒක හදලා තිබුනේ ප්ලාස්ටික් වලිනුයි, සුදු යකඩ වලිනුයි. ඉතින් ගමේ ගැනු පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් එකක් හදන හැටි බලන්ඩ වටින්නෙ නැද්ද? සමහර විට ඒක මේ පැත්තෙ දානෙට පොල් අඩුවුනාම කරන කෙමක් ද කව්ද දන්නෙ......!

කොහොමත් කිරි දාන දෙන ක්‍රම පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා කියලා මම දන්නවා. ඒත් මගේ මුලු සංසාර ගමනේ දී ම මේ දැන් කියන්න යනවා වගේ චාරිත්‍රයක් නම් දැක්කෙ ම නෑ. 

කොහොම හරි ඊයේ උදේ දත කට මැදගෙන ගියාට මොකද දවල් දවසට ම වැඩකට කියලා ලැබුනේ කිරි දානේ හදන තැන ගහන ටෙන්ට් එකේ ලනුව අල්ලගෙන ඉන්න විතරයි. ඒකටත් එක්කලා රෑ වෙන්ඩ ඇරලා හෙන අමාරු වැඩක් ලැබුනා.

ඒ ගෙදර නැන්දා මට හෙන ඉහලින් සලකන්නේ. කොච්චර උනත් මම එදා වගේම අදත් හෙන නිහතමානි ව ඉන්නවා කියලා. ඉතින් නැන්දා මට විශේෂ වැඩක් පැවරුවා. නැන්දා කිව්වා අත්දෙක හොඳට හොදාගෙන, පොඩිවුන් ටිකක් එක්ක ගිහිල්ලා පලතුරු වට්ටි ටික කපලා හදලා තියන්න කියලා. ඉතින් මම වට්ටි හතම කැපුවා. ප්ලාස්ටික් හන්දා කියත් පටියකින් කැපුවේ. පොඩි උන් ඒවා පලු කරලා දෙපැත්තෙන් තිබ්බා. පලතුරු වට්ටි කපන එක ලේසියි වගේ පෙනුනට ලේසි නෑ. මේ වට්ටි චීනෙන් ගෙන්නුවට ක්ලාස් බී ලෙවල් එකේ එව්වද කොහෙද ටිකක් හයියයි. සෑහෙන වෙලාවක් ඔට්ටු වෙලා කොහොම හරි වට්ටි හතම කැපුවා. මොකද නැන්දට මං ගැන තියෙන මෙව්වා එක රැකෙන විදිහට මම වැඩ කරන්න එපැයි. ඒත් කපලා හදලා තියන්න කිව්වට මොකද මට හෙන නිදි මතක් ආවා. ඉතින් මම පොඩි උන් ටික විඩ්‍රෝ කරලා කපපු පලතුරු වට්ටි ටික අනිත් කැවිලි පෙවිලි තියෙන කාමරෙන් ම තියලා නැන්දට ඒ ගැන ඉන්ෆෝම් කරලා නිදා ගන්න ගෙදර ආවා. නැන්දා ස්තුතියි කියලා දානේ කිට්ටු කරලා පලතුරු වට්ටි ටික හදාගන්නම් කිව්වා.

ගෙදර ආපු හැටියේ මම නිදාගන්න කලින් වැඩි පරිස්සමට කියලා ෆේස් බුක් එකෙත් ස්ටේටස් එකක් දැම්මා වට්ටි කපන චාරිත්‍රෙ ගැන කියලා. 

අද සෙනසුරාදානේ. දැං නං කිරි දානේ පටන් අරගෙනත් ඇති. ඒ පැත්තේ තොරතුරු මොනවද කියලා බලාගෙන කියාගෙන එන්නයි මම දැන් ලෑස්ති වෙන්නෙ. ගිහින් ඇවිදින් දානේ වෙලාවෙදී කෙරෙන අමුතු චාරිත්‍ර මොනවහරි තිබුනොත් මම කියන්නම්.

...............................................
- මීට චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදින්න කැමති යුරෝ දෙකේ වීරයා.

ප:ලි - 
ඹ්ගොල්ලන්ගේ පැතිවලත් වට්ටි කපන චාරිත්‍රෙ හරි ඒ වගේ අමුතු චාරිත්‍රයක් හරි තිබුනොත්,  කියලා යන්ඩ අමතක කරන්න එපා හොදේ....!

ප:ප:ලි - 
අද දාන්න නියමිතව තිබුනේ සුදීක මහත්තයගේ කෙරුවාව ගැන කියවෙන සිත්තරයක්. ඒ වගේ යෑ මේ අරුම පුදුම චාරිත්‍රය. වගකීමකින් ලිපි ලියන බ්ලොග් කාරයෙක් හැටියට ඒ ගැන රටට කියන එක මගේ යුතුකමනේ.

2013/03/24

අද කාටුන් 23 - චතුෂ තුෂාර කුමාර හෙවත් මාරයාගේ විවාහ මංගල්‍යයය - ඔබ නොදුටු පින්තූරයක්

 මාරයාගේ විවාහය ගැන බ්ලොග් ලෝකයේ ගොඩක් දෙනෙක් කතා කරනවා. මාරයම කියන හැටියට “ආ..ඌට බැන්දට පස්සේ වැඩ වැඩි වෙලානේ...:D ඔහොම තමා බැන්දම... කලින් කුරුල්ලෝ වගේ නිදහසේ හිටිය උන්ගේ තටු කැපෙනවා.. දැන් ඇති පවුල් බරට කර ගහලා...“ කියලා ලු කසුකුසුව යන්නෙ.

මේ ගැන කෙහෙල්කොටුව කාටුන් අංශය කරපු විශේෂ විමර්ෂණයකින් පස්සෙ හෙලි වුනා මේ කතාවේ ඇත්ත යුත්ත.

මේ පහලින් විදෙස් සිත්තරා කෙටියෙන් දක්වලා තියෙන්නෙ ඒ සම්පූර්ණ විමර්ශණ වාර්තාවේ සිප් මෙව්වා එක.

ඒ අනුව මාරයාගේ මගුල කියන්නෙ තනිකර.........




ඔන්න ඕකලු ඇත්ත තත්වය. ඕගොල්ලන්ටත් තේරුනා ද?

නැවත දවසක හමුවෙමු.

..................................
-මීට විදෙස් සිත්තරා

ප/ලි-

මෙන්න කෙහෙල්කොටුව කාටුන් අංශයේ පරණ විමර්ශණ වාර්තා




2013/02/28

සුවර පෙට්ටි වාදකයා ! - අවසාන කොටස - චූටි මහත්තයාට එරෙහිව රදනක මංජුසාව...!

පළවෙනි කොටස කියෝපු අයට මෙන්න දෙවෙනි කොටස...

අක්කා ස්වර අල්ලා එය නියමිත තැනට ගන්නා ආකාරය බලන්ඩ ලස්සන යැයි කීම මුසාවක් නොවේ. වරෙක එක ස්වරයක් අල්ලා ගන්නා ඇය එය උච්ච සහ මන්ද්‍ර යන ස්ථාන අතරේ වේගයෙන් දෝලනය කරන්නේ නිවැරදිව ක්ලච් බැලන්ස් එක තබා ගත නොහැකිවූ ආධුනික ලොරි රථ රියදුරෙකුගේ ඇංජිමක විලාපයක් මට සිහි ගන්වමිනි. මේ මොහොතේ දී අක්කා දකුණත මදක් උඩට ඔසවා මනඃකල්පිත යමක් අල්ලා එය ඇඟිලි තුඩු වලින් ඩැහැගෙන අර දෝලනයේ වේගයට සමානුපාතික වන සේ වෙව්ලවයි. මගේ සිතුවිලි නිවැරදි නම් ඒ ඇය අල්ලා ගන්නෙ කටින් පිට වන ශබ්දය නියෝජනය කරන අකුර විය යුතුය. ඒ කෙසේ වුවද අක්කාගේ නිවැසියන්ගේ වාසනාව හොඳ දවසක් නම් ඇය උදෑසනම එම කාර්ය පටන් ගනියි. එවිට නිදා සිටින සියල්ලන් ම අවදි වී අවසිහියෙන් යුධ වදින ලස්කිරිඤ්ඤා භටයින් මෙන් අපව සාලයට කොටුකර ගනිති‍. එහෙත් ඔවුන්ට අප වෙනුවෙන් කිසිදු ඉදිරි පියවරක් ගත නොහැකි බව ඒත්තු ගැන්වුනු පසු මදක් අප දෙස බලා සිට මුලු තැන් ගෙය දෙසට පසු බසිති.

උදෑසන සිට අප මේ ආකාරයෙන් ඉතා සාහසික ලෙස ස්වර වලට දස වද දෙන්නෙමු. යම්කිසි නිශ්චිත කාලයක් ගත වී අක්කාගේ හඬ පදම් වූ බව ඇයට හැඟී ගිය පසු මේ අතිශය භාවාත්මක රුදුරු සංධ්වනිය ඉතා සොම්‍ය තැනකට සේන්දු කරයි. එවිට ඇය ඉතාමත් සොම්‍ය ලෙස - උදාහරණකින් පැවසුවහොත් අනෝතප්ත විලට ජලය සපයන සැපයුම් මාර්ගයක් සේ සෞම්‍ය ලෙසද, පැහැදිලි ලෙසද ස්වර හසුරවයි. එය ඉතාමත් කන්කළු වූ විට ඇය රාගතාල අල්ලයි.

“බයගති දනවන බයිරවී රාගේ -  උදයෙහි ශිව දෙවි පුදනට සෑහේ......“ මේ ඇයගේ ප්‍රියතම ගායනා අතරින් එකකි. ඇත්තටම මේ ගායනය ඇය කෙතරම් තාත්වික හා ස්වාභාවික ලෙස කරන්නේ දැයි පැවසුවොත් මෙහි අර්ථ රසය දැනෙන හැටියට වටහාගෙන සිටි මා, මේ දැන් අවදි වූ බහිරවයෙක් මේ ගායනය ඔහුට කරන ආරාධනාවක් දෝයි සිතා මා සිටින තැනට පිටුපසින් පැමිණ මගේ ගෙල මිරිකනු ඇතැයි බිය වීමි. නමුත් ඒ කිසිවකින් මාගේ මේ ව්‍යායාමය නැවැත්විය නොහැකිය. ඒ මක්නිසාද යත් කිසියම් හෝ අත්වැරැද්දක් සිදුවන තෙක් බලා සිටි වාසනා කෙල්ල, මගේ යම් ප්‍රමාදයක් බලා මේ තැන ගන්නට දිවා රෑ දත කයි. විටෙක මා සිටින තැන වාසනා කෙල්ලට ලැබී ඇති මනෝ විකාර දකින මගේ සිරුර ශීතල වී යයි. ඉතින් මම පෙට්ටියෙන් එලියට පැමිණි ඔලුවෙහි පයන්න මුද්‍රිත සුවච කීකරු නාගයෙක් මෙන් වමතින් ස්වර පෙට්ටියේ හුළං පියන ගැසීමෙන් ද දකුණු අත ස්වර පෙට්ටිය මත සැහැල්ලුවෙන් තබා ගනිමින්ද අක්කාගේ ස්වර තාලයට මගේ හිස දෙපසට වනමි.

මමත් අක්කාත් හිමිදිරි පාන්දර ආරම්භ කරන මේ යාගය උදෑසන ගෙවී යන්ඩ ඔන්න මෙන්න කියා තිබිය දී අවසාන වෙයි. මේ සද්කාර්ය අවසාන කර මම හිස් අතින් ගෙදර යාමට සැරසෙන විට සංතෝසමක් ලෙස අක්කා මට සූකිරි කැබැල්ලක් දෙයි. මට පමණක් සූකිරි දීම සදාචාර සම්පන්න නොවේයැයි තීරණයකට පැමිණ සිටි අක්කා සිය නැගණිය වෙත ද ඒ අවස්ථාවේදී ම සුකිරි කැබැල්ලක් දික් කරයි. වාසනා කෙල්ල ප්‍රසිද්ධියේ මේ සූකිරි කැබැල්ල ප්‍රතික්ෂේප කලාය. නමුත් මෙහි යම්කිසි රහසක් තිබිය යුතුයැයි නිගමනය කළ මා තලගොයි දිවක් තම්බා පානය කරවනු ලැබූ නියම දඩබල්ලෙක් මෙන් අක්කාගේ කාමරය අසල හොරගල් අහුලමින් සිට එක් දිනක දී මගේ සැකය තහවුරු කර ගත්තෙමි.

තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් චීනයට පයින් ගොස් ගිණි මකර හමක් වුවද ගෙන ඒමට සැදී පැහැදී සිටි මාමා, අක්කාට තම හඬ වඩාත් සීඝ්‍ර ලෙස මුවහත් කරගැනීමට උත්ප්‍රේරකයක් ලෙස පසුගිය දවසක වැල් මී වනාන්තරයකුත්, සුකිරි හොන්ඩරයකුත් ගෙනැවිත් දී තිබුනි. ඒවා අක්කාගේ කාමරයේ ගොඩ ගසා තිබුනු අතර අක්කා මේවා විටින් විට කටේ දමාගෙන කෑවේ එයින් උගුරු දණ්ඩ හරහා ස්වර ගලායාම වඩාත් සුමට වේය යන පුදුමාකාර ඔත්තුව නිසාය. අවස්ථාව එනතුරු බලා සිටි මා වාසනා කෙල්ලෙගේ හොරය අතටම අල්ලා ගත්තේ බාගෙට සූප්පු කරන ලද සූකිරි කැබැල්ලක් ද සහිතවය. පසුව දින වකවානු සහ වේලාව නිවැරදිව දක්වා ඇයව අක්කා ඇතුලු නිවැසියන්ට පාවා දුන්නෙමි. මෙයින් වඩාත් කුපිත වූ වාසනා කෙල්ල මේ පලිය කෙසේ හෝ මගෙන් ගන්නා බවට පොරොන්දු වූයේ ජීවන් කුමාරණතුංග මාමා මෙනි. එනම් තමන්ගේ දෙමාපියන්ගේ සොහොනේ වැලි මිටක් ගෙන එය සුළගට පාවෙන්නට හැර ඉතා රොද්‍ර ලෙස සතුරාට ඇසේ යැයි අනුමාන කරන ශබ්දයකින් “මම පලිය ගන්නවා යකෝ....“ යැයි ඉතා උස් ශබ්දයක් වාතලයට මුදා හැර එය ඈත පිහිටි කදු වළල්ලේ දෝංකාර දීමට සැලැස්වීමෙනි. වාසනා කෙල්ලද නැමී මිදුලෙන් පස් මිටක් ගෙන එය වඩාත් නිවැරදි ලෙස අනුකරණය කල හෙයින් මම වඩාත් බියට පත් වුනෙමි.

ඇත්ත වශයෙන්ම අප අතර අරෝව මකර කටක් මෙන් විශාල වීමට බලපෑ හේතුව එය නොවෙයි. සංගීත පරික්ෂණය හෙටයි කියා තිබියදී උදෑසන යුහුසුලුව අප ගෙදරට දුව ආ අක්කා අම්මාට කතා කොට වතුර බොන වීදුරුවක් පරිස්සමට අරන් තබන ලෙස ඉල්ලා සිටියාය. එහි වූයේ සූකිරි කැබැල්ලක් හා වැල්මී දඬු කැබැල්ලක් සහිත පිරුනු වතුර වීදුරුවකි. එය සංගීත පරික්ෂණය දා උදෑසන හිස්බඩ පානය කර යැමෙන් ස්වර ගායනය වඩාත් පහසු වන බව ඇය සොයාගෙන තිබුනි. වැඩි ආරක්ෂාවට එය අපේ ගෙදර තැන්පත් කළ අතර, මම ද වහා වාසනා කෙල්ල ඉන්නා ඉසව්වට ගොස් ඇය කුපිත කලෙමි. අක්කා අපේ ගෙදර පැමිණි පුවත නැමැති ලොසිංජරයට මම පාට තැවරූ සීනි නැමැති බොරුව වඩාත් තාත්වික ලෙස ඉස්සෙමි. ඒ ඇය ගැන තඹ දොයිතුවකට විශ්වාස නොකල හැකි නිසා අර පානය අපේ ගෙදර තබනා බව අක්කා අම්මාට පවසනු මම හොදින් අසා සිටිය බව පැවසීමෙනි. 

පසුවදා උදෑසන අප කාටත් විශේෂ දිනයක් විය. නැන්දලා කිරිබත් උයා තිබුනු අතර අම්මා තාත්තා සහ මම හිමිදිරි සීතලේ පැල ඉනි වැට පැන තවමත් අදූරේ ගිලි ඇති අඩිපාරේ නැන්දලාගෙ ගෙදරට ගියෙමු. මේ මොහොතේ නැන්දලාගේ ගෙදර වඩාත් කාර්යබහුල වී තිබුනු අතර අඳුර පලවා හැරීමට තබා තිබු චිමිනි ලාම්පුව වඩාත් උද්යෝගිමත් ලෙස හාත්පස එ‍ලිය කලේය. සියල්ලන් අක්කාට සුබ පැතූ පසු මම ම ගෙදර සිට ඉතා පරිස්සමින් රැගෙන ආ අර අමෘත පානය අක්කාට පි‍ළිගැන් වූ අතර අක්කා ද එය වහ වහා පානය කර අන්තිම ටික ඉතිරි කලේ අඩියෙහි තවමත් දිය නොවි නොහික්මුනු ලෙස ඉතිරිව තිබූ සූකිරි කැබැල්ල දුටු නිසා ය. අවසානයේ ගෙයින් පිට වීමේ වෙලාව ලං වූ බැවින් මම රැයක් පුරා වෙහෙසෙමින් සංස්කර‍ණය කර සාදාගෙන තිබූ ඉතා කෙටි එහෙත් ආකර්ශණීය වදන් පෙලින් අක්කාට සුබ පතා ඒ මොහොත වඩාත් සිහිකටයුතු එකක් බවට පත් කලෙමි.

සියල්ල ඉතා හොඳින් සිදුවිය. මිදුලට බට අක්කාත් මාමාත් කාලය විසින් තටු කපන ලද සුපර් කබ් නම් කුරුල්ලා මත නැගී ය. මාමා එය පණගන්වා අවට වාතලය සවුදි තෙල් ආකරයක් අසල සුවඳට මඳක් අඩු සුවඳක් වන තුරු රේස් කලේය. නියමිත උෂ්ණත්වයට ඇන්ජිම රත් වූ බව ශබ්දයට කන් යොමා සිටි මාමා ප්‍රත්‍යක්ෂ කරගත් පසු කිසිම පෙර දැනුම් දීමකින් තොරව ගියරය පෑගිමේ ආදීනවයක් ලෙස එකවර ගැස්සුනු ඔවුන් දෙදෙනා වෙරි වූ ඹබරෙකු මත යන්නාක් මෙන් වැනි වැනි ගේට්ටුව පසු කර ටවුම පැත්තට ගියෝය.

අපි සියල්ලෝ ම ඉතා සැහැල්ලුවෙන් ඔවුනොවුන් දෙස බැලුවෙමු. වාසනා කෙල්ල දහසක් බුදුන් බුදුවෙන මේ හිමිදිරියේ දී පවා මා සමඟ වෛරයෙන් සිටින ආකාරයක් පෙන්වීය. නමුත් දැන් මගේ සිත පුලුන් රොදක් මෙන් සැහැල්ලුය. ඇයට පළිගැනීමට කිසිම අවස්ථාවක් ඉතිරි නොකොට සියල්ල මගේ වාසියට හේතු වෙමින් අවසාන වී ඇත. ඉතින් මා ඇයට අන්තිම පහර වශයෙන් ළඟට ගොස් “ඇද්ද!“ යැයි විරිත්තා ගෙදර ගියෙමි.

ඉතාමත් සැහැල්ලු සිතින් ගෙදර ගිය මම මුලුතැන්ගෙයි තිබුනු දෙයක් දැකීමෙන් අතිශය බියට පත්වීමි. මා කෙතරම් බියට පත් වී ද යත් මගේ හදවත එලියට එතැයි මම අතින් කට වසා ගත්තෙමි. මෙය සිදු විය හැකි දෙයක්ද? මා දෘෂ්ඨි මායාවකට හසු වී ඇද්දැයි සැක හැර දැන ගැනීමට මම දෑස හොඳින් පිසදමාගෙන නැවතත් එය අසලට වඩාත් ලං වී බැලුවෙමි. පුදුමයකි. අක්කාගේ සුකිරි හා වැල් මී කැබැල්ල සමඟ වතුර වීදුරුව ඉතා පුදුම සහගත ලෙස එදා තැබූ තැනම තිබේ. ඒ වෙනුවට ඒ අසලම තිබූ වෙනත් වතුර වීදුවක් අස්ථාන ගත වී තිබුනි. මා සක්සුදක් සේ දන්නා පරිදි ඒ අස්ථානගතවී තිබුනේ තාත්තාට කරාටේ පුහුණුවේ දී යාලුවෙක්ගේ පහරක් වැදීම නිසා ගිලිහි වැටුනු වම් රදනක දත වෙනුවට පාවිච්චි කරන බොරු දත දමන වතුර වීදුරුවයි. මා කෙතරම් බියට පත් වී ද යත් මගේ තුනටිය පණ නැති වී දනිස් දෙක වෙව්ලන්ට ගත්තේය.

එහෙත් තුනටියකට හා දනිස් යුවලකට මෙතෙක් කල් රැකගත් අභිමානය කෙලෙසන්නට දී බලා සිටිය යුතු නැතැයි මගේ හිත මොරගෑවේය. මම වහාම සිත එක්තැන් කරගත්තෙමි. මේ වෙනුවෙන් කල හැකි යමක් ඇද්දැයි සිතුවෙමි. ඇත්ත වශයෙන්ම මේ වන විටත් දන්ත මංජුසාව කිසිවෙකුගේ ඇස ගැටී නොමති නම් සියල්ලන්ගේ ඇස් වලට වැලි ගසා එය නැවත ගෙන ඒමෙන් ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය කර ගත හැකිය.

එහෙත් මේ වන විටත් සියල්ල මගේ අවාසියට සිදු වී ඇත්නම්, සියලු දෙනා තාත්තාගේ දත යැයි රැවටි ඇත්තේ ඇත්ත වශයෙන්ම දතකට නොව අවසාදිත සූකිරි කැබැල්ලකට යන අහස පොලොව නුහුලන බොරුව සත්‍යක් ලෙස සියලු දෙනා ඉදිරියේ ඒත්තු ගැන්විය යුතුව තිබුණි. ඉතින් මම උදෑසන ශීතල කපාගෙන නැන්දලාගේ ගෙවල් දෙසට විද්දෙමි.

එහෙත් මා නැන්දලාගේ ගෙදරට යන විට අපේ අම්මලා සහ නැන්දලා වට වී යමක් ගැන කතා කරමින් සිටි අතර, තාත්තාගේ රදනක දත සහිත වීදුරු මංජුසාව වාසනා කෙල්ලගේ භාරයට ගෙන තිබුනි. 


.......................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

2013/02/27

සුවර පෙට්ටි වාදකයා !

එක්තරා හිමිදිරි උදෑසනක මම ඉතාමත් ඉවසිලිවන්තව, ඉතා සැලසුම් සහගත ලෙස කාමරයේ ඔබ මොබ සක්මන් කරමින් මගේ නිවාඩු දවස සැලසුම් කරමින් සිටියෙමි. හිමිදිරියේ හිරු කිර‍‍ණ කාමරයේ ජනේල පොලු අතරින් පැමිණ හරි හැටි ආලෝකය උරාගැනීමට පොර අල්ලමින් සිටි ඇසේ බබා මතට පතිත වී ඊට උඩින් වූ ඇහිබැම හකුලුවමින් තිබිනි. උදෑසන කූරුලු නාද හා අම්මා තේ සාදන හඬ යටපත් කරමින්, බණ්ඩක්කා නොකෑම නිසා අවම කාටිලේජ ප්‍රමා‍ණයකින් දුවන මගේ අස්ථි පංඤරය, තබන තබන අඩියක් පාසා චිටිස් යනුවෙන් නින්නාද දෙමින් උදෑසන වඩාත් ජීවමාන සහ නැවුම් දෙයක් බවට හරවන්නට වෙර දැරීය.

එක් වරම නැන්දලාගේ ගෙවල් දෙසින් පැමිණි විලාපයක් බඳු සංගීත රාවයක් මගේ කාමරයේ ජනේල් පොලු අතරින් රිංගා විත්, මම ඉතා ඕනෑකමින් ඔප මට්ටම් කරමින් සිටි නිවාඩු දිනය නම් වීදුරු පලගානට පොලු පාරක් දී එය කාමරයේ සීසී කඩ විසුරුවා හැරියේය. කෝපයෙන් සිත බිරුසන් දෙන අතරතුර ඒ කුමක් විය හැකිදැයි බැලීමට අවුල් වූ හිසකෙස් අතරට, මගේ ඇගිලි පහ පනාවක් මෙන් යවා මෙච්චල් කරගෙන, අතරවාරයේ ගෙයින් එලියට පැන්නෙ, අම්මාට තේ එක සාදා අවසාන වීමට පෙර නැවත මුලුතැන්ගෙට වාර්තා කරන බව ස්ථිර කිරීමෙන්  අනතුරුවයි.

නැන්දලාගේ ගෙදරට යාර කිහිපයක් තියෙද්දී ම වාගේ මට සියල්ල අවබෝධ විය. තවත් දින කිහිපයකින් නැන්දලාගේ ලොකු දුව වන වාසනා කෙල්ලගේ අක්කා හෙවත් මට නිතර දෙවේලේ වුවමනා වෙන පාට මාරු කරන පෑනෙහි හිමිකාරිය සංගීත විභාගයක ප්‍රායෝගික පරීක්ෂණයට මුහුන දීමට සැරසෙයි. උදෑසන සිට මගේ සෞන්දර්යාත්මක මනස කුපිත කොට මගේ පලගාන බිද දමා ඇත්තෙ ඇගේ මේ පුහුණු වීමේ හඬයි. උදෑසන ම අවදි වී ස්වර මෙච්චල් කිරීම මගින් ඇය ඇයගේ අඬ වඩාත් තියුණු ලෙස මුවහත් කරමින් සිටි අතර ඇගේ මුවහතට හසු වූ සියලු ස්වර ඉතා වේගවත් ලෙස කෑපි කෑපී අවට විසිරි ගියෝය.  ඇයගේ නංගී ඒ අසල මේසය මත හිදගෙන පෙට්ටියක් බඳු උපකරණයකට යමක් කරමින් දත කෑ අතර එයින් නිරන්තරයෙන් සංගිතය උගත් කුපිත වූ නාගයෙක් පිඹින්නා මෙන් හඬක් නියමිත තාලයට කලින් නික්මවීය.

අක්කා තම හඬ මුවහත් කරනා අතරතුර නංගිගේ මෙම ක්‍රියාව නිරන්තරයෙන් නිවැරදි කරමින් ඈ දෙස වරින් වර රවා බලයි. මේ අරුම පුදුම භා‍ණ්ඩය සංගීතය ඉගෙන ගන්නා අයට උපකාර වෙන යමක් බවත් මුග්ධ බවේ ප්‍රතිමූර්තියක් වන් වාසනා කෙල්ල මෙය හරි හැටි හසුරුවන්නේ නැති බවත් මේ වන විට මට හොඳින් වැටහෙමින් තිබිනි. මේ මොහොතේ මිනිස් පහසක් නොලැබු වැසි වනාන්තරයක නිකැලැල් දිය කඩිත්තක පතුල මෙන් පිවිතුරු කරනු ලැබූ, සියවරක් පෙලු කපු පුලුන් කැටියක් මෙන් සැහැල්ලු කරනු ලැබූ මගේ උදෑසන මනස නැමැති හිතෛෂිවන්තයා වහාම යම්කිසි සැලැස්මක් සකස් කිරීමට පටන් ගත්තේය. බොහෝ විට මෙහි අවසාන ප්‍රතිඵලය වන්නෙ වාසනා කෙල්ල සතුව ඇති අර අරුම පුදුම භාණ්ඩයේ අයිතිය කිසිම ලේ වැගිරීමකින් තොරව මා හට හිමි කර ගැනීමයයි මට ඉවෙන් මෙන් වැටහිනි. ඒ සඳහා කල යුත්තෙ නිසි බළධාරීන්ට පවතින තත්වය අවබොධ කර දීම පමණක් බව ස්ථානෝචිත ප්‍රඥාව විසින් මා දැනුවත් කර තිබිනි.

ඉතින් එහි ප්‍රථිපලය වූයේ ඒ රමණීය උදෑසන, දෙමලිච්චන්, කපුටන් ආදී කුරුල්ලන්ගේ කූංඡනය පරයා නැගි සිටි පුපුරා යන ගල්කොරියක කැට කැබිලිති මෙන් වූ වාසනා කෙල්ලගේ වාග් ප්‍රහාර හමුවේ ශාන්තිනායක තවුසා මෙන් මුනිවත රැකගෙන අවශ්‍ය දේ වෙනුවෙන් ඉතා පරිස්සමින් වචන හැසිර වූ මට අර භාණ්ඩය - එය වාදනය කිරිමේ අයිතිය ද සමඟ හිමිවීමයි.

මේ භාණ්ඩය ගැන වචනයක් පවසනවා නම්, මෙය වනාහි නමින් ස්වර පෙට්ටිය යැයිද, මෙහි ඇති සිදුරු වැසීම හා ඇරීම මගින් නියමිත ස්වරයට හිමි ශබ්ද ධ්වනිය පිටතට ගලා ඒමට සැලැස්විය හැකි බවද, මෙය අපේ ඉස්කෝලේ සංගීත ගුරුතුමී වන නිර්මලා ගුරු මෑණියන් විසින් තාවකාලිකව අක්කාට ස්වර මුවහත් කිරීමේ කාර්ය උදෙසා “ගෙදර ගෙනයාමට“ ලබා දුන් එකක් බවද ඇය පැහැදිලි කලාය.

ඉතින් මා ඉන් පසු ඇගේ නිත්‍ය ස්වර පෙට්ටි වාදකයා වීමි. එය ඉතා පහසු කාර්යක් යැයි ඔබ සිතන්නෙ නම් එය සහමුලින් ම වැරදි අදහසකි.

උදෑසනම අවදි වන අක්කා පුහුණුවට පෙර වතාවත් රාශියක් කරයි. උදෑසනම ළිඳට ගොස් නා කියා ගනියි. ඉන් පසු දුම් අල්ලා බුදු පහණ තබන ඈ දෙවනුව සරස්වතී මැණියන් උදෙසා පහන් දල්වා ආශිර්වාද ලබා ගනී. ඉන් පසු සාලයේ සුදුසු තැනක පැදුරක් එලා සංගීත පොත් හා ස්වර පෙට්ටිය රැගෙන හඬ මුවහත් කිරීමට සැරසෙයි. ඒ වන විට යටත් පිරිසෙයින් මූණවත් හොඳාගෙන පිරිසිදු ඇදුමෙන් සැරසි අක්කා ඉදිරියේ මා පෙනී සිටිය යුතුය. ඉන්පසු අක්කා “පටන් ගමුද චූටි මහත්තයා...“ යැයි පවසත්ම මම ද ඔලුව වනා අයියනායක දෙවියන් වහන්සේ උදෙසා කෙටි කන්නලව්වක් කරමි. කන්නලව්වේ දී මා අයියනායක උන්නාන්සේගෙන් ඉල්ලා සිටින්නේ අක්කාගේ මුවහත් කිරීමේ වැඩ කටයුතු අවසන් වන තෙක් ස්වර නිවැරදි තාලයට වාදනය කල හැකි වන සේ මගේ මැණික් කටුවේ, උර බාහුවේ හෝ කොන්දේ වේදනාවක් මතු වී හෝ වෙනත් යම්කිසි ආපදාවක් සිදු නොවන සේ මා ආරක්ෂා කරන ලෙස යි. සියල්ල ඉතා ශාන්ත, ප්‍රනීත හා සැහැල්ලු ලෙස ආරම්භ වෙයි. මම ද නියමිත ස්වරය එලියට පැමිනෙන සිදුර විවෘත කොට නොකඩවා ස්වර පෙට්ටියට තුලට හුළං ගැසීමේ ඒ භාරදූර කාර්යය ආරම්භ කරමි.

දෙවෙනි කොටස ට...


............................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...