එක දවසක් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩින විට මඩෙහි සිටින ඊරියක් දැක සිනා පහල කලා. බුදු රජාණන් වහන්සේලා විශේෂ කරුණකට හැර සිනා පහල කරන්නෙ නෑ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අසා සිටිනවා සිනා පහල කිරීමට හේතුව. එතකොට උන්වහන්සේ කියා සිටිනවා මේ ඊරියක්ව සිටින්නෙ කාලයකට පෙර බ්‍රහ්ම ලෝකයේ සිටි ආයුශ ගෙවී ගිය බ්‍රහ්මයෙක් බව.
ඔය කතාව අපි ඕන තරම් අහලා ඇති බණ ගෙවල් වල දී, ධර්ම සාකච්ඡා වල දී.
මේ ලෝකයේ සත්වයින් නිර්වාණය දක්වා යන නොනිමි ගමනේදී දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙලා හිටියත් ඊලග මොහොතෙ දී තමන්ට විය හැකි අතිශය සාධාරණ වූත් සාමාන්‍ය වූත් සංසිද්ධියක් විස්තර කරද්දි ඒකට උදාහරණයක් විදිහටයි ඔය කතාව බොහෝ වෙලාවට දේශකයන් හෝ දේශකයාණන් වහන්සේලා ගෙනහැර පාන්නෙ. නමුත් බොහෝ විට වෙන්නෙ "බ්‍රහ්මයෙක්ව සිට ඊරියක් වුනා" කියන කාරණාව ප්‍රකට කරලා කතාව අවසාන කරන එක.
අද මම කියන්නේ ඒ ඊරියට අන්තිමට මොකද වුනේ කියලා. ඒ කතාව හරිම දිග එකක්. මේ තියෙන්නෙ ඒ කතාව කෙටියෙන්.
මම මුලින් කියපු විදිහට ආනන්ද හාමුදුරුවෝ විචාරා සිටිනවා බුදු පියාණන් වහන්සේගෙන් සිනා පහල කිරීමට හේතුව. එතකොට බුදු පියාණන් වහන්සේ, "ආනන්දය, අර ඊරිය දක්නෙහිද? ඕ තොමෝ කකුසද බුදුන් වහන්සේ සමයෙහි එක් ආසන ශාලාවක් සමීපයෙහි කිකිළියක්ව විසුවාය. එකල්හී ඕ විදර්ශනා කර්මස්ථානය සඡ්ඡායනා කරන්නා වූ එක් යෝගාවචර භික්ෂුවකගේ ඒ ධර්ම සඡ්ඡායනාව අසා සිත පහදා ඉන් චුතව රාජ කුලයෙහි ඉපිද උබ්බරී නම් කුමාරිකාවක් වූවාය. ඕතොමො දිනක් වැසිකිලි වලක පණු සමූහයක් දැක පුලවක සඤ්ඤාව වඩා ප්‍රථම ධ්‍යානය උපදවා එයින් චුතව බ්‍රහ්මලෝකයේ උපන්න්නාය. එයින් චුතව භවයෙන් භවයට යන්නෙ ඌරු ජාතියේ උපන්නාය" යනුවෙන් විස්තර සහිතව වදාරා සිටිනවා.
ඒ විස්තර කිරීම අහලා ආනන්ද හාමුදුරුවෝ ඇතුලු එදා පිඬුසිඟා වැඩි බොහෝ භික්ෂුන් පිරිසක් සංවේගයට පැමිණෙනවා. බුදු පියාණන් වහන්සේත් ඒ කාරණාව ම නිමිත්ත කරගෙන එතැනම සිටිමින් ධර්මදේශනාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනාවෙන් එතන සිටි බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණෙනවා. අර ඊරියත් මේ ධර්ම දේශණයට සවන් දෙනවා.
ඒ සිදුවීම එහෙම අවසාන උනත් ඊරියක්ව සිට නැවත ධර්මය ශ්‍රවණය කරපු හින්දා ඊරිය රජ පවුලක උපත ලබනවා. ඊටත් පස්සෙ බරණැස් නුවර උපත ලබනවා. ඊටත් පස්සෙ සුප්පාරක පටුනේ අශ්ව වෙළෙන්දෙක්ගෙ ගෙදරක උපදිනවා. ඊටත් පස්සෙ කාවරිපටුනේ වෙළදාමෙන් ජීවත්වෙන දෙමව්පියන්ට දාව උපදිනවා. ඊටත් පස්සේ ලංකාවේ අනුරාධපුරයේ පෝසත් දෙමපියන්ට දරුවෙක් වෙනවා. ඊටත් පස්සෙ අනුරාධපුරයට දකුණින් තිබුනු හෝකන්ත කියලා ගමක සුමනා කියලා ගැණු ළමයෙක් වෙලා ඉපදෙනවා. කාලයාගේ අවෑමෙන් මිනිස්සු ඒ ගම අතඇරලා යද්දි මේ සුමනා ඇතුලු පවුලත් දීඝවාපියේ මහාමුනි කියන ගමට පදිංචියට යනවා.
මේ වෙද්දි බුදුපියාණන් වහන්සේගේ පිරිණිවන් පෑම සිදුවෙලා, මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරලත් කාලයක් ගත වෙලා. මේ වෙන කොට ලංකා රාජ්‍ය පාලනය කරන්නෙ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාට හිටියා ලකුන්ටක අතිම්බර කියලා ඇමති කෙනෙක්. ඒ ඇමති රාජකාරී වැඩකට එනවා මහාමුණි ගමට. ගමට පැමිණි වෙලාවේ ඇමති මේ සුමනාව දැකලා ඇය ගැන පැහැදිලා ඇයව එක්කගෙන ගිහින් විවාහ කරගන්නවා.
දවසක් කෝටිපබ්බත මහා විහාරයේ මහා අනුල කියන රහතන්වහන්සේ පිඬුසිගා වඩිමින් යද්දි මේ සුමනා දැකලා අනිත් තෙරුන් වහන්සේලා අමතලා "සූකර පොතිකාව ලකුන්ටක අතිම්බර මහ ඇමතිගේ භාර්යාව බවට පත්වුනා" කියලා ප්‍රකාශ කර සිටිනවා. ඇමති බිරිඳක් වෙලත් තමන්ට "සුකර පෝතිකාව" කියලා ආමන්ත්‍රණය කරපු එක ගැන ඇය කල්පනා කරද්දි පෙර ජාති සිහිකරන්න පුලුවන් ජාතිස්මරණ ඥාණයෙන් සසර ගමන දැකලා ඒ ගැන කලකිරිලා ඇමතිගෙන් අවසර අරගෙන පැවදි වෙලා තිස්සමහාරාමයේ දී සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවාන් වෙනවා.
තවත් කාලයක් ගත වෙනවා. ඒ වෙද්දි දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සමඟ යුද්ධ කරලා ජයග්‍රහනය කරලා නැවත අනුරාධපුරයට ආපු කාලේ. ඒකාලේ දී මේ සෝවාන් වුනු තෙරණිය නැවත දෙමව්පියන්ගේ ගම වෙන මුලින් කියපු හෝකන්ත ගමට වැඩම කරලා, ඒ ගමේ කල්ලක මහා විහාරයේ දී ආසිවිසෝපම සුත්‍ර ධර්මය අහලා රහත් භාවයට පත්වෙනවා.
තවත් කාලයක් ගත වුනාම මේ තෙරණිය පිරිණිවන් පෑමට තීරණය කරලා මේ මුලින් පවසපු තමන්ගේ අතීත චරිතය විස්තර වශයෙන් දක්වලා අවවාද කරලා පිරිණිවන් පානවා.
මෙයින් කියවෙන්නෙ භවයට ලොභ වෙන අපි නොයෙක් ජාතින්ට පැමිණෙමින් සසරෙහි ගමන් කරන හැටි. මේ කතාවෙන් අපට ගන්න තියෙන්නෙ භවය කෙරෙහි ඇති ලෝභය, මාර්ග ඥාණය වඩලා සහමුලින් නැති කරන්න ඕන කියන පණිවිඩය.
ලෝභය විසින් සත්වයන්ගේ භවය දිර්ඝ කරන ආකාරය ගැන සොයා බලත්වා! අපද දැනුවත් කරත්වා!!
ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය
දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන
ම වේවා!!!
.......................................
- බුද්ධි.
ප/ලි-
මම ධර්ම දේශකයෙක් නෙමෙයි. සප්ත මහා සාගරය වගේ ධර්මස්කන්ධය හමුවේ එහි පාවෙන කිරල ඇබයක් තරම් වත් නැති මම කවදාවත් ධර්මදේශකයෙක් වෙන්න හිතන්නෙවත් නෑ. නමුත් මේ වගේ ලිපි ලියන්න කාලයක ඉදලා බලාපොරොත්තුවක් තිබුනා. ඒ කාටවත් උපදේස සපයන්න නෙමේ. සාකච්ඡාවක් ගොඩනඟලා නොදන්න දේ දැනගන්න.
මේ තියෙන්නෙ මම ලියපු