කවදා නමුත් ඇත්ත හෙලිවෙනවා!
අපේ නිවස්නයත් බැලු බැල්මට හොස්ටල් එකක් වගේ. හෝල් එකේ ඩබල් ඇදං පොලිම් දෙකයි. ඩබල් ඇඳවල් දෙකේ දෙන්නට ලොකර් දෙක ගානේ, ඇඳවල් දෙකක් මැදින් ලොකර් ස්ථාන ගත කරලා තියෙන්නෙ. ඒකේ අපේ සියලු සබ්බ සකල මනාවම දලා, ඉබි යතුරු දාලා, නිතරම ලොක් කරලා, යතුර සාක්කුවෙ දාගෙනයි ඉන්නෙ.
හැබැයි අපි ලඟ තිබුනු හැම ලොකර් එකකම පොඩි ටෙක්නිකල් එරර් එකක් තිබුනා. ඒක තමා ලොකර් එක කොහොම ලොක් කලත්, ඕනැ උනොත් ලොක් එක අරින්නෙ නැතුව, බඩු එලියට ගන්න පුලුවන්කම. ඒ, ලොකර් එකේ ලී පියන උඩින් හරි යටින් හරි ඇදලා. මේ ගැන හොඳටම අද්දැකීම් ඇත්තෙ අපේ මාරයට. ආවොත් කියයි වැඩි විස්තර.
ඔය හේතුව හින්දමයි " කවදා නමුත් ඇත්ත හෙළිවෙනවා!" කියන කතාව ඇත්තම ඇත්ත කියලා ප්‍රත්‍යක්ෂ කර ගන්නත් අපිට පුලුවන් උනේ.
මතකද අපේ යාලුවෙක් හිටියා ෆර්ඩි කියලා, ගෙදර පොඩියට සත්තු වත්තක් කරන. පොර හෙන පච පප්පා වගේම ඇරමන්ට් වලට නම් දරාපු මනුස්සයා කියලා මම ඒ කාලේ කිව්වනෙ. පොර ඊට අමතරව පුරුද්දක් හැටියට කලේ පඩි ගත්තම තමන්ට ඕනැ කරන සබන්, ටූත් පේස්ට් වගේ අත්‍යවශ්‍ය ද්‍රවය මිල දී ගැනීම අතපසු කරලා ඒ සල්ලි වලින් වෙන වෙන දේවල් කරපු එක.
අන්තිමේ ඉස්සෙල්ලා මාසෙ ගත්තු ඔය කියන බඩු ඉවර වේගෙන එද්දි, මිනිහා කරන්නෙ උදේ පාන්දර පහමාරට විතර නැගිටලා කාගෙ හරි ලොකර් එකකට අර ක්‍රමේට අත දාලා ටූත් පේස්ට් ටිකක් අරගෙන, බාත් රෑම් එකට රිංගන එක. හිතුනොත් සබන් පෙට්ටියත් ඒකෙන්ම ගන්නවා. අපිනං ඔය කිරිං ටිකක්, සුවඳ විලවුන් ටිකක්, අලුත් පහේ ටී ෂර්ට් එකක්, කිරි පිටි හරි සීනි හරි ඩිංගක්, කොටුවට යන්න මාරු කාසි ටිකක් ඇරුනම අනුන්ගෙ ලොකර් වලට අත දාලා කිසිම දෙයක් ගන්නැ ඔය විදිහට ෆර්ඩියා වගේ.
මේ කියන කතාව වෙන දවස් වල ඔය වැඩේට කෙලින්ම අහු උනේ පොරගේම ගමේ කොල්ලෙක් වෙන රෙජියා. ඔය වගේ කේස් එකක් හින්දා රෙජියයි, ෆර්ඩියි දවසක් කොක්කක් දා ගත්තා. ඒ උනාට ෆර්ඩියා දුර දිග කල්පනා කරලා, පොරගෙ සත්තු වත්තෙන් පොහොර වැටිච්ච ඌරු පැටියෙක් රෙජියගේ අම්මට තෑගී දීලා වැඩේ ගොඩ දාගෙන තිබුනා සතියක් යන්ඩ කලින්.
කොහොමහරි ටූත් පේස්ට් මංකොල්ලය ජයටම නැගලා යද්දි, රෙජියට මේ ගැන ඇක්ෂන් එකක් ගන්න බැරි උනේ, ෆර්ඩියා ඌරු පැටියෙක් දීලා අම්මා ලව්වා පොරව හිර කරලා තිබුන හිංදා. මොකක් හරි අලුගුත්තේරු වැඩක් කරලා රෙජියට අහුවෙලා වැඩේ වර්චස් වේගෙන එද්දි, ෆර්ඩියා කරන්නෙ කඳවුරු ඇතුලේ මීයා වගේ ඉඳලා එලියට ගිය ගමන් ඌරු පැටියගෙ සුව දුක් අහන්න, රෙජියගේ අම්මව කන්ටැක් කරන එක.
කාලයක් තිස්සෙ මේක කිසි විසඳුමක් නැතිව ඇඳිලා යන එකේ රෙජියා මේකට ප්ලැන් එකක් ගහලා තිබුනා. දවසක් දා රෑක අපි නිදා ගන්න ලයිට් ඕෆ් කරපු වෙලාවේ පොර ගහලා තිබුනු එළකිරි ප්ලෑන් එක ක්‍රියාත්මක කලා මුලු ලෝකෙටම හොරෙන් මහ කලුවරේ.
හැබැයි රෙජියගේ වෙලාවේ පොඩි අවුලක් තිබුනා කියන්නෙ, වෙලාවටම ඊට මෙහා පැත්තෙ ඇදේ ඇලවෙලා හිටපු මම ඒක දැක්කා. මමත් බොරුවට නිදි වගේ ඇට් කොරලා සිද්දිය සහසුද්දෙන් බලාගන්ඩ හිතුවට, තනියම දිරවගන්ඩ බැරි වෙයිදෝ කියලා හිතුන හින්දා කාටත් ඇහෙන්නැති වෙන්න උඩ ඇඳට පයිං ඇන්නෙ ඒකෙ ඉන්න ෂැවොලියටත් මේ රහස එලි කරන්න හිතාගෙන.
ඒ එක්කම වගේ උඩ ඇදෙන් අතක් මට පෙනුනා හස්ත මුද්‍රාවෙන් "ෆිට් තමා" කියලා හදාගත්තු. ඒ කියන්නෙ දැනටම රහස දෙන්නෙක් දන්නවා. ඊට පස්සෙ වෙන්න ඕන දේවල් අපි කතා කරගත්තෙ නැතත් අද්දැකීමෙන් දන්නවා අපේ වගකීම මොකද්ද කියලා. ඒක හින්දා මම ෆෝන් එක අරගෙන හරියට පහට එලාම් තියලා නිදාගත්තෙ පහුවෙනිදා උදේ ක්‍රිඩා පුහුණුවීම් නැතත්, වැදගත් රාජකාරියක් තියෙන හින්දා උදේම නැගිටින්න හිතාගෙන.
ඒ දෛවෝපගත උදෑසන එලාම් සද්දෙන් මම අවදිවෙලා රෑ වගේම ඇන්න උඩ ඇදට. පස්සෙ අපි දෙන්නා හිමිදිරි උදේම ඇස් අඳුරට හුරු කර ගන්න ගමන් බලාගෙන හිටියෙ ඊලඟට මොකද වෙන්නෙ කියලා.
ඔන්න ටික වෙලාවකින් ෆර්ඩියා ආවා රෙජියගේ ලොකර් එක ගාවට. රෙජියා නිදියි කියලා සැක හැරගත්තු ෆර්ඩියා වටපිට බලලා ලොකර් එකේ පියන ඇදලා ගත්තා ටූත් පේස්ට් පෙට්ටිය. පෙට්ටියෙන් ටූත් පේස්ට් එක එලියට අරං තමන්ගෙ බුරුසුවට දා ගත්තු ෆර්ඩියා ටුත් පේස්ට් පෙට්ටියට ආයිම ටුත්පේස්ට් ටියුබ් එක දාලා, ඒක ලෝකර් එකට රිංගවලා අඳුරෙම බාත්රූම් එක පැත්තට ගැටුවා.
ඊට පස්සෙ, රෙජියා ඇරුනම මේ ලෝකෙන්ම ඒ රහස දන්න අපි දෙන්නත් ඇදෙන් පැනලා බොරුවට බුරුසු දෙකත් අරං ෆර්ඩියා පස්සෙ පැන්නුවෙ, මාපොට ඇඟිල්ල ප්‍රධාන අවශේෂ ඇඟිලි විතරක් ආධාර කොරගෙන, තියෙන නිෂ්ශබ්දතාවයට පොඩි හරි මෙව්වා එක්ක වෙන්නෙ නැති වෙන්ඩ.
මුලු ලෝකෙටම හොරෙන් රෙජියාගෙ ටූත් පේස්ට් එක මංකොල්ලකාලා වීරයා වගේ බාත්රූම් එකට ඇදෙන ෆර්ඩියට ඊ ලගට වෙන්න යනදේ අපිට මැවිලා පෙනෙද්දි, අපේ බඩවල් කොරවෙලා ඇස්වලින් කඳුලු පයින්න ආවා. ඒ හිනාව හිරකරගෙන ඉඳලා වැඩිකමට. මට වැඩියෙම හුස්ම හිරවෙන්ඩ ආවේ ෂැවොලියා දිහා බලද්දි. මිනිහා එලියට පනින්න හදන හිනාව කට ඇරලා කට අස්සටම ඔබන්න හදනවා අතින් කටට ගගහ.
කොහොමහරි අපේ පර්ඩියා කන්නාඩිය ඉස්සරට ගිහිල්ලා, මුණ දෙපැත්ත හරෝ හරෝ බැලුවෙ හරියට සකිවිති රජකෙනෙක්, තමන්ගෙ කරණවෑමියාට රැවුල පෙන්නවා වගේ හරි උජාරුවට. පස්සෙ මිනිහා කණ්නාඩියට විරිත්තලා බුරුසුව තියාගත්තා ඉස්සරහා දත් වහල්ලෙ. තියලා ඇරියා දකුණු ඇන්දෙ දත් දිගේ අස්සට. ආයිමත් මිනිහා දත් බුරුසුව දිහා හොඳට බලලා ඇරියා අනිත් පැත්තටත්. ඔහොම දෙපාරක් විතර කරලා මිනිහා බුරුසුව විදුලි වේගෙන් කටින් එලියට අරං ආයිමත් සැරයක් ඒක දිහා පුදුමෙන් වගේ බැලුවා.
ඊට පස්සෙ තමා නියම ජවුසම පටන් ගත්තෙ.
ෆර්ඩියා එකපාරටම අතේ තිබ්බ බුරුසුව පැත්තකට විසික්කරලා, අත් දෙකෙන්ම කට වහගගෙන ඇඹරෙන්ඩ ගත්තා. පස්සෙ "හෝ....හෝ......" ගගා පිඔ පිඔ සින්ක් එකෙන් කට හේදුවා . මුලු ලෝකෙම සුව නින්දෙ ඉන්න වෙලාවේ, කොහේදෝ මන්දා කඳවුරක බාත්රූම් එකක් අස්සෙ අහස පොලොව නුහුලන අපරාධයක් වෙලා. අනේ අපේ දුප්පත් ෆර්ඩියා. මිනිහට උදව්වට කව්රුත් නෑ වගේ.
රෙජියා ලියපු තිර නාටකයට, ෆර්ඩියා රඟපානවා. ඒක ටිකට් නැතුව බලපු අපිට මේ වෙද්දි බඩේ කොරේ හොඳටම වැඩිවෙලා තිබුනෙ. ඒ හින්දා අපි දෙන්නා එතනින් එලියට පැනලා, බිලට් එකෙනුත් එලියට ගිහිල්ලා ඇති වෙනකල් හිනා උනා හද්දා කලුවරේ. හිනාව අඩු වේගෙන එද්දි, අපි දෙන්නා කලේ ෆර්ඩිය මූහුණ දුන්නු ජවනිකා තනියෙම මතක් කරගෙන ඔටෝ චූන් උන එකයි. අන්තිමේ පාං කියාගන්න බැරි ගානට හකු රිදෙන්න ගත්තට පස්සෙ අපි තීරණය කලා ආපහු බාත්රූම් එකේ අලුත් තත්වෙ බලන්න.
අපි එතෙන්ට යද්දි, අපේ ෆර්ඩියා නේද? අනේ පව්! මිනිහාගේ තොල් දෙක ඒ වෙද්දි අප්‍රිකාවේ මීනී කන කාපිරියෙක්ගෙ වගේ ඉදිමිලා බරියං වෙලා ගිහිල්ලා. ඇස්වලින් කඳුලු ගලනවා. මිනිහාට කරන්න දෙයක් නැති තැන, ඔලුවට අත් දෙක තියාගෙන, කණ්නාඩිය දිහා බලාගෙන මේ පැටලිච්ච නූල් බෝලෙ කොනක් හොයනවා.
ඒ හිංදම අපි ෆර්ඩියා ගාවට ගියේ පුදුම හිතිලා වගේ මුණු හදාගෙන. ඊට පස්සෙ කලින් තීරනේ කරගෙන හිටිය හැටියට, රෙජියගෙ කතාවෙ දෙවෙනි එපිසෝඩ් එක අපි දෙන්නා ලිව්වා. ඒ මෙන්න මෙහෙමයි.
"අම්මච්චියා.......ෆර්ඩියා, අපි දෙන්නා දුවගෙන ආවේ උඔට විස්තරේ කියන්ඩ. කොහෙද අපි එද්දි පරක්කු වැඩිනෙ... නැද්ද ශැවොලියා...."
"ඒකනෙ.... ඒකනෙ....."
"උඔ දන්නවද? රෙජියා ඊයේ මහ කැත වැඩක් කලා. අපි ඔක්කොමලා නිදා ගන්න ගියාට පස්සෙ පොර ටූත් පේස්ට් පෙට්ටියට වින්ටජිනෝ ටියුබ් එක දාලයි නිදා ගත්තෙ....."
"නෑ.......................!!!"
"නෑ...... නෙමේ...... උඔ බොරුනං ගිහිල්ලා අහපං උගෙන්ම.... හැබැයි අපි කිව්වා කියලා එහෙම කියන්ඩ එපා.... අන්න පොර උඔට පෝරියල් එක සෙට් කරලා තාම සැපට නිදි....."
එහෙම කියන්ඩත් පොර “මම ඕකට.........“ කියාගෙන බිලට් එක පැත්තට දිව්වා. ඒ නිකන් ම නෙමේ! ටොයිලට් එකකට රිංගලා ඒකෙන් බාල්දියක් පුරොලා වතුර අරං, බාත්රූම් එක මුල්ලෙ තිබුනු හාපික් එකෙනුයි, ඩෙටෝල් බෝතලෙනුයි ඩිංග ඩිංගත් වතුරට හලාගෙන.
දැක්කා නේද?
ආන්න ඒකයි කියන්නෙ "කවදා නමුත් ඇත්ත හෙලි වෙනවා" යි කියලා!!!
.....................
-මීට යුරො දෙකේ වීරයා.
ස්තුතිය!
මේ කතාව මතක් උනේ ලකි සිරි හඳමාමා නිසාය.
ඒ නිසා ලකිසිරි හඳමාමාට මගේ බලවත් ස්තුතියි!