ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කැලෑවක, එකෝමත් එක විලක ඉබ්බෙක් ජීවත් උනා.
අවාසනාවට වගේ කතාව පටන් ගද්දි ම ඉබ්බා විල අත ඇරලා යන්නයි සුදානම් වෙන්නෙ. මේ හේතුව හින්දා විල ගැන වර්ණනාවක් කරන්න නම් අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඇරත් මේ වෙද්දි විල පිහිටලා තිබුනු පැත්තට චණ්ඩ හිරු රැස් පායලා විලේ වතුර ඔක්කොම වගේ ඉහලට ඇඳගෙනයි තිබුනේ. හරි විදිහට නම් ඉහලට ඇඳනු ජලකඳ මේ වෙද්දි වැස්ස විදිහට නැවත ලැබෙන්න කාලේ හරි. ඒත් මොකක් හරි වැරැද්දක් වෙලා වැස්ස හොඳටම ප්‍රමාද උනා. විලත් සීග්‍රයෙන් හීදීගෙන ගියා. අතිජාත කොක්කු දෙන්නෙක් උදව්වට නොපැමිණෙන්න, මේ වෙද්දිත් ඉබ්බා තමන්ගේ අවාසනාවන්ත, කටුක අවසානය එන තෙක් මඟබලාගෙනයි හිටියෙ.
“දුක් වෙන්න එපා යාලුවේ..... අපි ඔයාව මලින් පිරි විලකට ගිහිල්ලා ඇරවන්නම්.....ඔයාට එහේ රජෙක් වගේ ඉන්ඩ ඇහැකි...... එහේ ඔයාට ඉබි යාලුවොත් එමට...!“
“ඒත් කොහොමද මම එච්චර දුරක් යන්නෙ....අහසින් යන්ඩ කියලද කියන්නෙ......?“
“ඔව් අපි එක්කගෙන යන්නම්.......“
“හපොයි..... ඒ ගැන මතක් කරන්න එපා........ මතකනේ අපේ මුතුන් මිත්තන්ට වෙච්ච දේවල්.... ආයිත් ඒ වගේ දෙයක් ගැන නම් මට හිතන්ඩ බෑ!“
“මේ අහන්න මිත්‍රයා...... දැන් කාලේ අලුත් නොවැ. අපිට අහසින් ගමන් කරන්න බොහොම ආරක්ෂාකාරි ක්‍රමයක් පිළියෙල කර ගන්න බැරි වෙන එකක් නෑ.....“
“අනේ මන්දා............“
ඉබ්බෙකුට අහසින් යන්න පුලුවන් ආරක්ෂාකාරීම ක්‍රමය මොකක්ද? වියත් කොකුන් එක්වෙලා සාකච්ඡා කලා. අන්තිමේ එයාලා අසාර්ථක වූනු පැරණි ක්‍රමයේ නිවැරදි කොටස් අරගෙන වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කලා.
මේ ක්‍රමයට ඉබ්බෙක් බිමට වැටීමට ඉඩ තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. ඇත්තටම ඒක 0.1% කටත් වඩා අඩු ප්‍රතිශතයක්.
දිනය උදාවුනා.
“අද දවස අපේ ඉතිහාසයට එකතුවෙන්නෙ මකන්න බැරි දවසක් හැටියට. මේ වෙද්දි ඉතාම ආරක්ෂාකාරීව ඉබ්බෙකුට ගුවන්ගත වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉබ්බන්ගෙත්, කොකුන්ගෙත් චිරාත්කාලීන මිතුදමට මේක හොඳ උදාහරණයක්.“ උත්සව සභාව අමතපු කොකුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා කිව්වා. හැමෝම ඒකට එකග උනා. ඉබි නයිදේ ගෞරවාන්විතව හිස සැලුවා.
සරළව කිව්වොත් ක්‍රමවේදය මෙහෙමයි. මුලින්ම කොකුන් දෙදෙනෙකුගේ අතේ දුරට, ඇත්ත වශයෙන්ම තටුවෙ දුරට සමාන වානේ දණ්ඩක් තියෙනවා. ඒ දන්ඩෙ මැද තමා අපේ ඉබි නයිදෙ එල්ලිලා යන්නෙ. දෙපැත්තෙන් කොකුන් දෙන්නා දණ්ඩ ඩැහැගෙන ඉන්නවා. අතීතයෙ දි වගේ ඉබ්බගේ කට යන්තමින් හෝ විවර වෙලා දණ්ඩෙන් ගිලිහිලා ගියාට දැන් බය වෙන්න දෙයක් නෑ. මොකද චීන සර්කස් කණ්ඩායම් වල සගයෝ, උඩ කරනම් වලට සුදානම් වෙද්දි පළදිනවා වගේ ඉබ්බගේ ඉනෙත් බඳ පටියක් බැඳලා තියෙන්නෙ. ඒක රැහැනකින් සම්බන්ධ කරලා තිබුනෙ වානේ දණ්ඩට. ඊට අමතරව මේ තුන් දෙනාට යටින් ලේසියෙන් කැඩෙන්නෙ නැති ශක්තිමත් රැහැන් වලින් වියපු දැලක් අරගත්තු තවත් කොකුන් හතර දෙනෙක් ගමන් කලා. යම් විදිහකින් ඉබ්බාට දණ්ඩ අතඇරුනොත් මේ දැලට නොවැ එතකොට වැටෙන්නෙ.
අන්තිමේ ගුවන් ගත වෙන මොහොත උදා උනා. ඉබ්බා අවසාන වතාවට දිය සිඳුනු විල දිහා හැරිලා බැලුවා. සියල්ලන්ගෙ ඔල්වරසන් මැද්දෙ කාණ්ඩෙ ගුවන් ගත උනා.
ගුවන් ගත වෙලා සුලු මොහොතක් යද්දි ම ඉබ්බට වැටහුනා මේ ගමන ඉතාම ආරක්ෂාකාරී එකක් ය කියලා. ඒ එක්කම තම අතිජාත මිතුරු කොකුන් කෙරෙහි ලොකු ගෞරවයක්. ඇයි කව්රු හරි මේ වගේ උදව්වක් කරාවියැ යටි අරමුණක් නැතිව.
තවත් ටිකක් ඉදිරියට යද්දි පාසල් ළමුන් කාණ්ඩයක් විවේක කාලෙක සෙල්ලම් කරනවා හරි අපූරුවට පේන්න ගත්තා. හරියට අතීතයේ ඒ අවිනිශ්චිත දවසේ තමන්ගේ මී මුත්ත දැක්කා වගේ. එතැන හිටපු එක් කටකාර දරුවෙක්,
“ආන්න බලාපල්ලා........ ආදිකාලේ වගේ ඉබ්බෙක් අහසින් යනවා......“ කොල්ලා කෑ ගැහුවා.
“හැබැයි ටිකක් වෙනස් නේද......?“ තවකෙක් අගුල්පත් තිබ්බා.
මේ අවස්ථාවේ දී ඉබ්බා නොසැලි හිටියා. ඇයි තමන් හොඳටම දන්නවා පුරාවෘතවල තමන්ගේ මීමුත්තන්ට වෙච්ච අකරතැබ්බ වල මහත!
ඉබ්බා ගැන හැමෝටම සතුටුයි.
“ඇත්තටම අර යල් පැන ගිය පැරණි ක්‍රමයට උණත් මේ වගේ බුද්ධියක් තියෙන ඉබ්බෙකුට ලේසියෙන් අහසින් ගමන් කරන්න පුලුවන් - නැද්ද හොඳයි?‘ මේ අවස්ථාව සහසුද්දෙන් බලාගෙන හිටපු අර ශක්තිමත් දැල අරගෙන යන කොකුන්ගෙන් ඉදිරි පේලියෙ කොකෙක් කිව්වා.
“හැබෑ නේන්නම්.....“ තවත් කොකෙක් ඒකට එකඟ වුනා.
“ඉබ්බො අහසින් ගිය පැරණිම ක්‍රමය හරිම විහිලු සහගතයි......!“ පිටුපස පේලියේ එක කොනක් අරගෙන යන පරිනත කොකෙක් කියන්න උනා. “ඉතින් අපිටත් දැගනත්න එක්කලා කියන්නකෝ....... තව සෑහෙන දුරක් යන්නත් එපැයි......“ ආධුනික කොකෙක් වන අන්තිමයා ඉල්ලීමක් කලා. අනිත් දෙදෙනත් ඒක අනුමත කලා.
“හ්ම්.....මුලින්ම ඉබ්බෙක් අහසින් ගියේ නිකම්ම නිකං දණ්ඩක..... ඒකනෙ කට ඇරියේ හැටියෙ බිම ඇද වැටුනේ.... ඊලග පරම්පරාවෙදීත් ඉබ්බා නැහුනෙ කට හින්දා. තුන්වැනි පරම්පරාවෙ දි, ඒ කියන්නෙ අපේ ආධුනික කාලේ දි, මේ වගේම ඉබ්බෙක් අහසින් ගියා නොවැ. ළමයිගෙ සද්දෙට ඉබ්බා කලබල වෙයි කියලා හිතපු අපේ කොකෙක් කියාපි, යාලුවේ, මොන දේ උනත් බිමට බහින තුරු කතා එපාය කියලා. අවාසනාවට එතකොට කොකාගෙ කටින් දණ්ඩ ගිලිහුනා. ඉබ්බා හොදටම බය වෙච්ච බව දැනගත් අනිත් කෝකා “කිසිදේකට බය වෙන්ඩ එපා ඉබි නයිදෙ මම ඉන්නවා නෙව ඕන දේකට කිව්වා. හපොයි........"
"හැබැයි අපේ හොඳ කාලේ එද්දි හැමෝම ඇති පදම් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබුනේ. ඒ කාලෙ මම සෑහෙන්ඩ පළපුරුදු ඇත්තෙක්. මුලින්ම ආරක්ෂක දැලක් අරගෙන ගියෙත් ඒ වතාවේ. වැඩේ කියන්නෙ එදා පාරත් මොකක් හරි වැරැද්දකින් ඉබ්බාට දණ්ඩ අතඇරුණා. ඇත්තටම නං කට ඇරුනා. ඒ වෙලාවේ දී තමා ඉබ්බා කෙලින්ම ඊට අඩි ගාණක් යටින් සමාන්තරව යන අපේ දැලට වැටුනේ. ඉබ්බා දැලට වැටුනු හැටියේ දැලේ රැහැනක් කටින් තදට අල්ලාගත්තා. එතනදි නම් හැමදේම හොඳ අතට වුනා තමා. ඒත් එක කොකෙක් කිව්වා නෙව “බලන්න පෙර සුදානමේ වැදගත්කම“ කියලා. අන්න එතනදී ඒ කොකාගෙ කටින් දැලේ එක කොනක් ගිලිහුනා. අනිත් පැත්තෙ කොක් හාමි ඕක දැකලා “අනේ.... කරුණාකරලා තව ටිකක් පලල් කරන්න“ අත ඇරුනු එකේ අඩුව මඟ ඇරගන්න අටියෙන් අනිත් කොකුන්ට බෙරිහන් දුන්නා. එතකොට වෙච්ච හරිය මම කියන්ඩ ඕනිද? හැබැයි ඔය සිද්ධිය බලාගෙහ හිටි අපේ දැල ගෙනියන කාණ්ඩෙ නායක කොකා “කතා කරන්න එපල්ලා!“ කියලා අණක් නිකුත් කලා. හැබැයි මම නං වචනයක් වත් කතා කලේ නෑ. මොකද දැල අතඇරුනොත් වෙන සංගෙඩිය සහසුද්දෙන් දන්න හන්දා. ඉතින් මම වගේ ඉතාම බුද්ධිමත් කොකෙක් දැක්කම කාටද අගය නොකර ඉන්න ඇහැකි. එදා වුනෙත් ඒකමයි. “හපොයි හොඳ වෙලාවට නොවැ උඔ වගේ බුද්ධිමතෙක් හිටියෙ......“ ඉබ්බා කිව්වා. ඔය විදිහට අහසින් යන්න ගිය එක ඉබ්බෙක්ටවත් ගමනාන්තෙට නං යන්න උනේ නෑ.
“අපුරු ඉතිහාස කතාවක්........“ ඒක අහගෙන හිටි අනිත් කොකුන් කියන්න උනා.
"ඇත්ත.........ඉතිහාස කතා කොහොමත් ලස්සනයි නොවැ....... ඒත් උඔලා රාජකාරිය හරියට නොකර ඉතිහාස කතා කියන එක නං බොහොම වැරදියි........දැන් බලාපල්ලා කෝ උඔලාගෙ දැල....." මේ කතාව අහගෙන හිටි ඉහලින් දණ්ඩ ඩැහැගෙන යන එක කොකෙක් කිව්වා. ආන්න ඒ මොහොතෙ දී කොකාගෙ අතින් දණ්ඩ ගිලිහුනා මේ වතාවෙත්.
"ඒයි අතඇරියා නේද දණ්ඩ........" ඉබ්බා කලබලෙන් කිව්වා. ඒ එක්කම ඉබ්බගෙ කටිනුත් දණ්ඩ ගිලිහුනා. ඒත් ආරක්ෂිත බදපටිය හන්දා කුරුමානම වැරදුන චීන සර්කස් කාරයෙක් වගේ ඉබ්බා දණ්ඩෙ පැද්දෙන්න උනා. ඒක දැකපු අනික් කොක් නයිදෙ "හොඳ වෙලාවට බදපටිය තිබුනේ" කියද්දිම මුල්ම ඉතිහාස කතාවට තවත් පරිච්ඡේදයක් එකතු කරමින් ඉබ්බා වැටෙන්න උනා.
"මේ කොටසෙදි නම් වැරැද්දෙන් සෑහෙන පංගුවකට වග කියන්න වෙන්නෙ කොකුන්ට. මොකද ඒ ගොල්ලයි මුලින්ම දැලත් අත ඇරියේ.......... ඒත් ඒගොල්ල සහසුද්දෙන්ම දන්නව ඉබ්බ ඇරුනම වෙන කව්රුත් මේ සිද්ධිය දැක්කෙ නෑ කියලා. ඒ හින්දා ඒ ගොල්ල ආපහු යන ගමනේ දී ඉතිහාසෙට එකතු වෙන්න නියමිත මේ පරිච්ඡේදය ඒ ගොල්ලන්ට වාසි වෙන විදිහට වෙනස් කරලා කියන්න කතා උනා." කියලා
කතන්දර සීයා දැහැනකට සමවැදිලා වගේ, හරිම අපුරු විලාසෙකින් කියපු කතාව ඉවර කලා.
"ඒත් කොක්කු ඇයි එහෙම කලේ.................!"
"එහෙම තමා චුටිමහත්තයා.......ඒකට උත්තරයක් නං මමත් හරියට දන්නේ නෑ........ හැමෝම ගියේ උදව් කරන්න...... ඒත් ඕන්නැති කතාවක් හන්දා වැඩේ නොපිට පෙරලුනා නෙව.....හක් හක් හා......" කතන්දර සීයා හිනා උනා.
"එහෙම බලනකොට මුලින් ම අහසින් ගිය ඉබ්බත් එයාගෙ වරදින් වැටුනයි කියලා හිතන්න අමාරු නැද්ද......?" මම තර්කයක් ගෙනාවා.
"මොකද නැත්තෙ..... ඒ වෙච්ච හරිය දන්නෙත් ගිය අයම තමයි. රට්ටු මොන කතා කිව්වත් ඇත්ත කතාව දන්නෙ කීයෙන් කී දෙනාද?"
"හ්ම්...... ඊලග පාර යද්දිවත් ඉබ්බගේ පිටේ පැරිෂුට් මල්ලක් එල්ලන්නයි තියෙන්නෙ.......... එහෙම උනොත් වැටුනත් කරදරයක් නැතුව ගොඩබැස්සැකිනේ........"
"අතර මඟදී ඉබ්බා වැටුනේ නැතිනං කොහොමද මයෙ පුතේ අලුත් කතාවක් ගොතන්නෙ.........හෙහ් හෙහ් හේ........."
කතන්දර සීයා මහ හයියෙන් හිනාවෙලා විටක් කොටන්න හිතාගෙන වංගෙඩිය පැත්තට හැරුනා.
................................................
- කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.
ප/ලි-
මේකට ලස්සන සිත්තර දෙක තුනක් තිබුන නම් පංකාදුයි කියලා මමත් පිළිගන්නවා. ඒත් චුටි මහත්තයගේ කතා කියවපු මහත්තැන් කෙනෙක්ගෙ හිත උනුවෙලා මට අරගෙන දීපු ඒ "ඉලෙක්ට්‍රොනික් උපකරණය" අද ගේන්න අමතක උනා නොවැ. සමාවෙන්ඩලා හොදේ!
...............
- විදෙස් සිත්තරා.
ප/ප/ලි -
සොත්ති සපත්තුව අනුග්‍රාහකත්වය තවමත් ඔබ ලබා ගත්තෙ නැත්ද? එහෙනම්
දැන්ම පිවිසෙන්න>>>
.....................
- යුරෝ දෙකේ වීරයා.