Showing posts with label මගේ කතා. Show all posts
Showing posts with label මගේ කතා. Show all posts

2017/04/25

බ්ලොග් අවකාශයේ අලුතින් දිදුලන තරු වලට වල්ග තරුවකින් වැඩකට නැති කතාවක්!

මේ වෙද්දි බ්ලොග් අවකාශයට අලුත් තරු පායලා. පරණ තරු සමහරකට වල්ග ඇවිල්ලා.  ඉතින් වල්ග තරු පේන්නේ කාලෙකට විතරයි නේ. මේ තමා ඒ කාලේ!

වල්ග තරුව වසන්ත කක්ෂයෙන් ඉවත් වෙන්න කලින් මෙන්න තවත් කතාවක් ගෙනාවා.

ඇත්තටම මේ කතාව බ්ලොග් වසන්තය ඡන්දය අතරතුර ඉදිරිපත් කරන එන්ටර්ටේට්මන්ට් අයිටම් එකක් වශයෙන් බාර ගන්නවා නම් මම වැඩිය කැමතියි. මොකද මේ කතාවේ ගන්න ඒ හැටි දෙයක් නෑ.

බෝඩිමේ දුරකතනය සහ අපේ මල්ලී!

ඔන්න එකෝමත් එක රටක නියම මල්ලි කෙනෙක් හිටියා. ඒ අපේ මාමාගේ පුතා. මාමාගේ පුතා ගැන වැඩි විස්තර මේ දවස් වල පායලා තියෙන වල්ග තරු හොඳට දන්නවා. අලුත් තරු වලට දැනගන්න ඕනෙ නම් මොහොතක් ඉවසන්න.

ඔය මල්ලිගේ ගමත් අපි පොඩි කාලේ හිටපු ගමමයි. අපි ගමෙන් ආවට පස්සෙයි මිනිහා ශිෂ්‍යත්වය ලිව්වේ. ශිෂ්‍යත්වේ ගොඩ දාගෙන මිනිහත් ආවා අපේ ඉස්කෝලෙට. මල්ලි නව නිර්මාණ කරන්න දක්ෂයා. මේ සිදුවීම වුනේ මල්ලි ට සාමාන්‍ය පෙල විභාගය කිට්ටු වෙලා තියෙද්දි.

මල්ලිගේ දෙමාපියෝ සාමාන්‍ය පෙල පංතියට මල්ලි පාස්වුනු හැටියේ එයාව ඉස්කෝලේ ලඟ බෝඩිමක නතර කලා. මිනිහත් එක්කලා යාලුවෝ දෙන්නෙකුත් නතර වුනා. යාළුවො හිටියත් බෝඩිමේ නැන්දාගේ නීති ගොඩකට යටවෙලා ඉදලා කට්ටියට එපා වෙලා තිබුනේ. ඒවායින් කෙලින්ම එයාලගේ ජන ජීවිතයට හානිකරන නීති අතර පහත දැක්වෙන ඒවා ප්‍රධාන වුනා.

01. රාත්‍රී දහයෙන් පස්සේ ලයිට් දල්වාගෙන සිටීම තහනම්.
02. අනවශ්‍ය යාලුවන් බෝඩිම අසලට ගෙන්වාගෙන කතා කිරීම තහනම්. (යාළුවන් වර්ග කිරීමේ සියලු බලතල බෝඩිමේ නැන්දා සතුයි. අවශ්‍ය නම් නිශේධ බලය යොදලා අවශ්‍ය යාලුවෙක් වුනත් අනවශ්‍ය කාණ්ඩයට දැමීමේ පරම බලය නැන්දා සතුයි).
03. එක එක අවශ්‍යතා වෙනුවෙන් නිතර නිතර කඩේ යාමට අවසර ඉල්ලීම තහනම්.
04. නිවසේ දුරකතනය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම්.

ඔය නීති වලිනුත් තදින් ම ක්‍රියාත්මක වුනේ දුරකතනය සම්බන්ධ නීතිය. මොකද ඒ කාලේ සී.එල්.අයි, ඩීටේල්ස් බිල් එහෙම ගන්න අමාරු  කාලේ ඔය වගේ දේවල් වල හොර අල්ලන එක ලේසි නෑ. ඉතින් බිල කීය ආවත් නැන්දට ගෙවන්න වෙනවා.

මේ බොඩිමේ මාමයි, නැන්දයි එක එක රේඩියෝ චැනල් වලට කතා කරලා සිංදු ඉල්ලගෙන අහන්න හරිම කැමතියි. නැන්දා රේඩියෝ එකට කතා කරද්දි මාමා රේඩියෝ එක උස්සගෙන වත්ත පල්ලෙහාට ගිහිං අහගෙන ඉන්නවා. මොනවා වුනත් මායියගේ කටහඬ රේඩියෝ එකේ ස්පීකරෙන් අහන්න හම්බෙන්නේ ලෝකේ ඉන්න රාළලාගෙන් කීයෙන් කී දෙනාටද?

මාමා වැඩිපුර කතා කරන්නේ සිරස ට. නැන්දානම් ලක්හඬ ට. නැන්දා ඒකට කතා කරන්නේ ගොඩක් වෙලාවට ඒ ලයින් එක බිසිවෙන්නේ නැතුව දෙතුන් පාරක් උත්සහ කරලා සජීවී ව ගීතය ඉල්ලගන්න තියෙන අවස්ථාව වැඩි හන්දා.

දැන් තමා හරි විදිහට කතාව පටන් ගන්නේ.

දවසක් නැන්දා ලක්හඬට කතා කරලා සිංදුවක් ඉල්ල ගන්න නම්බර් එක ඩයල් කලා. එතකොට ම නැන්දට මතක් වුනා එයාගේ ගීතයට එකතු කර ගන්න අයගේ නාම ලේඛණය ලියපු කොල කෑල්ල එයා ගෙනල්ලා නෑ නේද කියලා. නැන්දා ආයෙමත් කෝල් එක කට් කරලා කොළ කෑල්ල ගේන්න ගියා.

අපේ මල්ලි දන්නවනේ? මිනිහගේ විනෝදාංශය නව නිර්මාණ කිරීම. ඊට අමතරව කාලීන වැදගත් කමකින් යුතු මාතෘකා ගැන අත් පොත් හැදුවා. ඒ වෙද්දි මිනිහා මායා බන්ධන එකේ ඉන්න ආශ්කාගේ බල ඇඳුම ඇත්තටම හදන්නේ කොහොමද කියන කාරණයට පොතකින් උත්තර හොයලා තිබුනා. ඊට පස්සේ බටනලාව ගැන පොතක් කළා. ඒ බටනලාවේ උපතේ ඉඳලා ඉලෙක්ට්‍රොනික බටනලාවක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියන කාරණාව දක්වා. මේ කියන දවස් වල මිනිහා අධ්‍යනය කලේ චෙස් ක්‍රීඩාව ගැන. කොහොමහරි ඔය අල්ල පනල්ලේ අපේ මල්ලිට මතක් වුනා එයා චෙස් ක්‍රීඩාව ගැන ලියාගෙන ඇවිල්ලා බාගෙට ඉවර කරලා තිබුනු පොත සති අන්තයේ ගෙදර ගිහිල්ලා එද්දි දාලා ආවා නේද කියලා. මිනිහට තරු පෙනුනා. මොකද අද වාගේ අන්තර්ජාල අරවා මේවා ජනප්‍රිය නැති ඒ කාලේ මිනිහා කරුණු එක්කාසු කර ගත්තේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහලා, පුස්තකාලයේ පොත් පත්, පත්තර කියවලා. අතින් ලියපු නිසා ඒක නැතිවුනොත් නැතිවුනා. ඇයි සොෆ්ට්කොපිය ලැප් එකේ තියෙනවා කියන්නද?

ඉතින් මිනිහා දෙපාරක් හිතුවේ නෑ. කෙලින්ම බෝඩිමේ නීතිය කඩලා ගෙදරට කෝල් එකක් ගන්න තීරණය කලා. මිනිහගේ යාලුවෝ ඔත්තු බලන අතරේ කොල්ලා පැන්න ගමන් ගෙදරට ඩයල් කරලා අම්මට විස්තරේ කියලා, පොත නංගිට අහුවෙන්නෙ නැති තැනකින් තියන්න කියලා එතනින් දිරාමාර් වුනා.

ඔන්න ඔය අතරේ බෝඩිමේ නැන්දා කොලේ හොයාගෙන ආවා. ඇවිල්ලා රීඩයල් බොත්තම ඔබලා කෝල් එක ගත්තා. ඇයි ඔය මොහොතට වෙන කවුරු කෝල් කරන්නද? නැන්දගේ වෙලාවට ලයින් එක කනෙක්ට් වුනා. නැන්දටත් පුදුමයි. එකපාරින් කනෙක්ට් වුනු නිසා. ටිකකින් අනිත් පැත්තෙන් ආන්සර් කලා.

"හෙලෝ...."

"ආයුබෝවන්.... මම කතා කලේ ඕගොල්ලන්ගෙන් සිංදුවක් ඉල්ලගන්න...."

"ආයුබෝවන්, ආයුබෝවන්..... මේ බෝඩිමේ අක්කා නේද?" එහා පැත්තෙන් ඇහැව්වා.

බෝඩිමේ නැන්දට ඊට වඩා දෙයක් තියෙන්න පුලුවන්ද? නැන්දට සතුට ඉහවහා ගිහිල්ලා. මොකද රේඩියෝ වැඩසටහන් කරන අයට අසන්නන්ව, අසන්නියන්ව වෙන් කරලා මතක හිටින්නේ එහෙමත් වෙලාවට.

"ඔව්, ඔව්... මම ඔයාලාට හැමදාම කතා කරනවා. මට දෙන්න වික්ටර් රත්නායක මහත්තයගේ ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ සිංදුව......."

ඔන්න ඊට පස්සේ වෙන්න ඕනේ සජීවීව මැදිරියට සම්බන්ධ වෙනතුරු ලයින් එකේ ඉන්න එක. ඒත් සිද්ද වුනේ ඒක නෙමෙයි!

“බෝඩිමේ අක්කට වැරදිලාද කොහෙද මම අහවල් පුතාගේ අම්මා....."

ඒ එක්කම නැන්දා දුරකතනයේ රිසිවරේ තමන්ගේ මූණ ඉස්සරහට අරගෙන ඒ දිහා හොඳට බලාගෙන හිටියලු! නැන්දගේ මූණ ලැජ්ජාවෙනුයි, කෝපයෙනුයි රතු වුනාලු. මට එහෙම කිව්වේ ඔය සිද්දිය දොර රෙද්ද අස්සෙන් හොරෙන් බලාගෙන හිටපු මලයයි, එයාගේ යාලුවොයි.

තාක්ෂණික පරිණාමය නිසා බොඩිමක වුනත් දැන් කාලේ නම් මේ වගේ ප්‍රශ්ණයක් ඇතිවෙන්න බොඩිමේ අයිතිකාරයොයි, බෝඩිම්කාරයොයි වාසනා කරලා තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට රේඩියෝ නාලිකා වලත් දැන් කෝල් කරනවට වඩා කරන්නේ වයිබර්, වට්ස්ඇප්, එස්.එම්.එස් වලින් පණිවිඩය එවන්න කියන එක.

කතාව ඉවරයි! මං කිව්වේ නැද්ද මේ කතාවෙන් ගන්න ඒ හැටි දෙයක් නෑ කියලා. මම එහෙම කිව්වට මී කුණෙන් ගොඩ ගිය අයත් ඉන්න ලෝකයක් මේක.

කොහොම වුනත් මේ ලිපිය කියවපු ඔයගොල්ල බ්ලොග් අවකාශයේ පායපු අලුත් තරු නම් කරුණාකරලා ඔබේ බ්ලොග් ලිපිනය මට ලබා දෙන්න. මට පුලුවන් එතකොට වසර පුරා ඔයගොල්ලන් බ්ලොග් අවකාශයේ දිලිසෙන හැටි බලන්න.

මල්ලි ගැන වැඩි විස්තර ඕන අය, "සිංහල බ්ලොග් කරුවෙක්ද? මෙන්න කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය උණු උණුවේ.....!" ලිපිය කියවලා බලන්න.

ඊලඟ දවසේ ඔබට පුලුවනි තමන්ගේ වයස මොහොතකට අමතක කරලා මල්ලි කළ නවතම සොයා ගැනීමක් ගෙදරදීම අත්හදා බලන්න.

එතෙක් (වෙන වැඩ නැත්තම්) බ්ලොග් වසන්තයට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ඉදිරිපත් කළ "හිනා මූණ!" බ්ලොග් ලිපිය කියවන්න. චූටි මහත්තයා කියන්නේ මීට දශක දෙකකට දෙක හමාරකට කලියෙන් පෘථිවිය නිස්කලංකව ඉර වටේ භ්‍රමණය වෙන කාලේ ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්. 

ඒ ගැන දැනගන්න ඒ පැත්තේ යන ගෑණු ළමයි තිබුනොත් අම්මා හෝඳලා මැදලා දුන්නු ලේන්සුවක් අරගෙන යන්න. ඒත් අතීතයේ සුවඳ හොයන අද කාලයේ ෆිට් කොල්ලෙක් නම් අත්දෙක වන වනා ගියත් කමක් නෑ. කතාව කියවලා හොඳනම් මනාපයක් ලබා දෙන්න. ඔබට සිංහල බ්ලොග් කරුවන්ගේ කැමති ලිපි තුනකට මනාප ඉදිරිපත් කරන්න හැකියි. 

කක්ෂයෙන් මිදෙන්න පෙර සයිබර් යායෙ දී නැවත හමුවෙමු!

2016/05/05

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“ | පිරිමි සංහතිය වෙනුවෙන් සිතුවම් සහිත හෙළිදරව්ව....!

මේක කෙටි කතාවක්!

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

ඔය ගොල්ලන්ටත් ඔයාලාගේ හාමිනේ හරි, පෙම්වතිය හරි ඔය විදිහට ආමන්ත්‍රණය කරලා තියෙනව ද?

අපේ හාමිනේ නම් එහෙම කියන්නේ මම තුවා එල්ලන කෑල්ලේ කලිසම් එල්ලපුවාම, සපත්තු දෙක තියෙන තැන ම මේස් දෙකත් දැම්මා ම වගේ තැනට නුසුදුසු දෙයක් කලාම. කලාම කිව්වට අපි ඒ දෙවල් හිතලා කරන්නෙ නෑ.  ඒවා හිතා මතා කරන වැරදි නෙමෙයි, හදිසියේ වෙන අත්වැරදි. නමුත් හාමිනේ අර වගේ දෙයක් ඇහැව්වා ම පුදුමෙන් වගේ සිද්දිය වුනු තැනට යන එක අපේ වගකීම. ඊට පස්සේ මේ වගේ සංසිද්ධියක් වෙන්න හේතු වුනු පරිසර සාධක ඉදිරිපත් කරන්න ඕන. ඒත් ඒවා ගඟට කපාපු ඉණි වාගේ. මොකද අපි වැරැද්දකුත් කරලා තියෙද්දි එයැයිලා කවදාවත් නිහඬ ව ඉඳියි ද?

එයාලා කියන එකම කතාව මේක අත්වැරැද්දක් නෙමේය කියලා. මොකද අත්වැරදි වෙන්නේ කලාතුරකින්. අනික “කොමන් සෙන්ස් නැද්ද ඔයාලට!“ කියලා අපිව මානසිකව වැටෙන ප්‍රකාශ වුනත් එයාලා කරන්න පුලුවන්.

ඒ වුනාට පිරිමි අපි සැලෙන්න ඕනේ ද? නෑ. ඒකයි පිරිමිකම කියන්නේ. ඒ වෙලාවට තමා  අපි ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන. එහෙම කළා ම හාමිනේ ලා වුනත් දැනගන්නවා රාළගේ තරම.

ඔන්න බලන්න මට වුනු වැඩේ!

මේ පහුගිය දවසක මම අන්තර්ජාලයේ කෑම වෙබ් අඩවියක තිබුනු විශේෂ කෑමක් පුතාට හදලා දෙන්න ලෑස්ති වුනා. ඒකට මම කූනිස්සෝ ටිකක් හෝදලා අරගෙන ඔරෙන්ජ් පාට පෙරණයට දාලා වතුර බේරලා කෑම හැදුවා. ඊට ටික වෙලාවක ට පස්සේ කුස්සියට ගිය හාමිනේ මට මෙහෙම කිව්වා.

“බලන්ඩ ඔයා මොකද්ද කරලා තියෙන්නේ කියලා?“

අන්න සුපුරුදු සබ්දය! මාව උඩ ගියා. ඇයි මම දැනුවත් ව මුකුත් වරදක් කරලත් නෑනේ....! ඊලඟට මම කුස්සියේ පෙනී හිටියා.

“බලන්ඩ ඔයා පළතුරු පෙරණ එකෙන්නේ  කූනිස්සෝ පෙරලා තියෙන්නේ...... අර එල්ලලා තියෙන කොළ පාට එකනේ ඔය වගේ වැඩ වලට ගන්නේ.....?

ඉතින් පින්වතුනි තමුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව හොඳම එකෙන් මෙහෙය වන්න ඕන මේ වගේ වෙලාවල් වලට නේද? එදා දඹදිව වාසය කළ කුණ්ඩලකේසී බැමිණියත් කිව්වේ මොලේ තියෙන්නේ අඟුරුගොඩේ පුච්චලා ලොඳ කන්න නෙමෙයි පාවිච්චි කරන්න කියල යි. අපිත් අන්න එහෙමයි හිතන්න ඕනේ. එහෙම කල්පනා කරලා මමත් මෙහෙම උත්තරයක් දුන්නා.

“මොකටද කොළ පාට එක ගන්නේ, අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙන්නේ කූනිස්සෝ කියන්නේ පළතුරක් කියලා......“

ඒ උත්තරේට ගැලපෙන්න හාමිනේට ඕන හැටියේ උත්තර තියෙන්න ඇති. ඒත් එයා මට මුකුත් ම නොකියා අර ඔරෙන්ජ් පාට පෙරණය හෝදන්න ගත්තා.

කෙටි කතාව ඉවරයි!

ඕගොල්ලත් මේ විදිහට ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරලා හාමිනේලගේ, පෙම්වතීලගේ හිත දිනා ගත්තු අවස්ථා තියෙනවා නම් අපටත් කියලා යන්න අමතක කරන්න එපා.

ජය!

මේ තියෙන්නේ අපේ විදෙස් සිත්තරා ඒ අනභිභවනීය මොහොත සිතුවමට නගපු ආකාරය.
 ....................................
- යූරෝ දෙකේ වීරයා.

ප.ලි - කාලයක් ලියන්න බැරිව හිටපු මම ලියන්න ගත්තෙත් හාමිනේ ගේ උපදෙස් පිට. පහුගිය දවසක මම හාමිනේ ට මෙහෙම කිව්වා.

“අර බ්ලොග් වසන්තය කියන කෙහෙල්මල ආයෙත් ඇවිල්ලනේ, අනේ මන්දා මොනවා කරන්න ද කියලා?“

හාමිනේ මගේ හිත දැකලා, එදිනෙදා වැඩ වලට කිසිම බලපෑමක් වෙන්නේ නැතිවෙන්න මට කොම්පියුටරේ ලඟ වාඩි වෙලා ඉන්න වෙලාවක්, මෙහෙම කරනකොට හදලා දුන්නා. ඒ රෑ දොලහේ ඉඳලා පාන්දර දෙක වෙනකල්. කොහොමද වැඩ!

ප.ප.ලි - ආන්න ඒ වෙලාව ප්‍රයෝජනයට අරගෙන cyberyaya.blogspot.com බ්ලොග් අඩවියට ලියපු ලිපි වගයක් බ්ලොග් වසන්තය ඡන්ද පොලේ තියෙනවා. මනාපයක් දෙන්න කැමති අය ඉන්නවා නම් පොරකන්නේ නැතිව පහල ලින්ක් එකෙන් යන එකයි.

2014/12/01

ගමරාළගේ පිට්ටු කෑම...! | සිතුවම් බර ගාණකින් සමන්විත ඔන්ලයින් විරිඳුව...

ගමරාළ කෙනෙකුගේ පිට්ටු කෑමක් ගැන කියවෙන මේ විරිඳුව කතන්දර සීයා විසින් කෙහෙල්කොටුවේ චුටි මහත්තයා ට ඒ කාලේ කියා දුන් එකකි. සිතුවම් බර ගාණකින් සමන්විත මෙය රසවිඳ, ලබා ගත හැකි පාඩමක් වෙතොත් එය ලබා ගන්නා මෙන් කෙහෙල්කොටුවේ චූටි මහත්තයා ඔබට ආරාධනය කරයි.

මෙන්න එහෙනම් සයිබර් යාය ඔබවෙත ගෙන එන “ගමරාළ ගේ පිට්ටු කෑම“ විරිඳුව.....




ගමරාළ ගේ පිට්ටු කෑම අහවරයි. 

සයිබර් යායේ බුද්ධිමත් රසිකයෙක් හෝ රසිකාවියක් වන ඔබත් මෙවැනි සිදුවීමකට මූණ දී ඇති නම් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඒ පිළිබඳ සඳහන් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

.................................
- කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

2013/03/30

පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් හදන විස්මිත ගෑණු සහ තවත් අරුම පුදුම චාරිත්‍ර ක්‍රමයක් ගැන දැනගන්න......! (යුරෝ දෙකේ වීරයාගේ හෙලිදරව්වකි)

අපි බ්‍රහස්පතින්දා ඉදලා ලබන සදුදා උදේ වෙනකල් නිවාඩුවක් ගත්තා. බ්‍රහස්පතින්දා නැන්දලාව විසිට් කලා. පස්සේ එහෙම්ම ම අක්කලාගෙ ගෙදරට ගොඩබැස්සා. ඒ අක්කලාගේ අල්ලපු ගෙදර අය දෙනවයි කියපු කිරි දානෙට උදව් කරන්න හිතාගෙන. බ්‍රහස්පතින්දා රෑ කලින් නිදා ගන්න කියලා හිටියත් මාරයගේ බලු පෝස්ට් එක කියෙව්වට පස්සෙ ඒකේ අගක් මුලක් හොයන්න ගිහින් දන්නෙම නැතුව පාන්දර එක වුනා. 

කොහොමහරි පහුවදා මම එහා ගෙදර කිරි දානෙට උදව්වට ගියා. 

එහෙට ගියාට පස්සෙයි දැනගත්තෙ අක්කලයි ගෙවල් පැත්තෙ ඉන්නෙ අමුතු මිනිස්සු කියලා. ඒ ගොල්ලන්ගේ චාරිත්‍රත් හෙන වෙනස්.

ඒ ගෙදරට ගිහිල්ලා කරන්න මුකුත් වැඩක් හොය හොය යනකොට මට ඇහුනා උයන පැත්තෙ ගැණු කට්ටිය මෙහෙම කතාවක් කරනවා.

“අක්කෙ කිරි බතට කිරි මදිවෙයි වගේ.......“

“එහෙම වුනොත් අපි මේ පොල් කුඩු බ්ලෙන්ඩර් කරමු......“

මාව උඩ ගියා. මගේ ජීවිතේටම මම ඔය වගේ කතාවක් ඇහැව්වමයි. මමත් බ්ලෙන්ඩර් ගැන ටිකක් දන්නවා. මම මුලින් ම බ්ලෙන්ඩර් එකක් ගත්තෙ 2008 දී. ජපෑන් (Japan) කියලා දැක්ක පලියට ගත්තට මොකද ඒක ඉන්දියාවේ හදන ජායිපෑන් (Jaipan) කියලා අයි අකුරක් මැදට දාලා විකුණන එකක් කියලා දැක්කෙ ගෙදර ගෙනල්ලා ඒකේ පොත කියවන කොට. මොනවා වුනත් ඒක හදලා තිබුනේ ප්ලාස්ටික් වලිනුයි, සුදු යකඩ වලිනුයි. ඉතින් ගමේ ගැනු පොල්කුඩු වලින් බ්ලෙන්ඩර් එකක් හදන හැටි බලන්ඩ වටින්නෙ නැද්ද? සමහර විට ඒක මේ පැත්තෙ දානෙට පොල් අඩුවුනාම කරන කෙමක් ද කව්ද දන්නෙ......!

කොහොමත් කිරි දාන දෙන ක්‍රම පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා කියලා මම දන්නවා. ඒත් මගේ මුලු සංසාර ගමනේ දී ම මේ දැන් කියන්න යනවා වගේ චාරිත්‍රයක් නම් දැක්කෙ ම නෑ. 

කොහොම හරි ඊයේ උදේ දත කට මැදගෙන ගියාට මොකද දවල් දවසට ම වැඩකට කියලා ලැබුනේ කිරි දානේ හදන තැන ගහන ටෙන්ට් එකේ ලනුව අල්ලගෙන ඉන්න විතරයි. ඒකටත් එක්කලා රෑ වෙන්ඩ ඇරලා හෙන අමාරු වැඩක් ලැබුනා.

ඒ ගෙදර නැන්දා මට හෙන ඉහලින් සලකන්නේ. කොච්චර උනත් මම එදා වගේම අදත් හෙන නිහතමානි ව ඉන්නවා කියලා. ඉතින් නැන්දා මට විශේෂ වැඩක් පැවරුවා. නැන්දා කිව්වා අත්දෙක හොඳට හොදාගෙන, පොඩිවුන් ටිකක් එක්ක ගිහිල්ලා පලතුරු වට්ටි ටික කපලා හදලා තියන්න කියලා. ඉතින් මම වට්ටි හතම කැපුවා. ප්ලාස්ටික් හන්දා කියත් පටියකින් කැපුවේ. පොඩි උන් ඒවා පලු කරලා දෙපැත්තෙන් තිබ්බා. පලතුරු වට්ටි කපන එක ලේසියි වගේ පෙනුනට ලේසි නෑ. මේ වට්ටි චීනෙන් ගෙන්නුවට ක්ලාස් බී ලෙවල් එකේ එව්වද කොහෙද ටිකක් හයියයි. සෑහෙන වෙලාවක් ඔට්ටු වෙලා කොහොම හරි වට්ටි හතම කැපුවා. මොකද නැන්දට මං ගැන තියෙන මෙව්වා එක රැකෙන විදිහට මම වැඩ කරන්න එපැයි. ඒත් කපලා හදලා තියන්න කිව්වට මොකද මට හෙන නිදි මතක් ආවා. ඉතින් මම පොඩි උන් ටික විඩ්‍රෝ කරලා කපපු පලතුරු වට්ටි ටික අනිත් කැවිලි පෙවිලි තියෙන කාමරෙන් ම තියලා නැන්දට ඒ ගැන ඉන්ෆෝම් කරලා නිදා ගන්න ගෙදර ආවා. නැන්දා ස්තුතියි කියලා දානේ කිට්ටු කරලා පලතුරු වට්ටි ටික හදාගන්නම් කිව්වා.

ගෙදර ආපු හැටියේ මම නිදාගන්න කලින් වැඩි පරිස්සමට කියලා ෆේස් බුක් එකෙත් ස්ටේටස් එකක් දැම්මා වට්ටි කපන චාරිත්‍රෙ ගැන කියලා. 

අද සෙනසුරාදානේ. දැං නං කිරි දානේ පටන් අරගෙනත් ඇති. ඒ පැත්තේ තොරතුරු මොනවද කියලා බලාගෙන කියාගෙන එන්නයි මම දැන් ලෑස්ති වෙන්නෙ. ගිහින් ඇවිදින් දානේ වෙලාවෙදී කෙරෙන අමුතු චාරිත්‍ර මොනවහරි තිබුනොත් මම කියන්නම්.

...............................................
- මීට චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදින්න කැමති යුරෝ දෙකේ වීරයා.

ප:ලි - 
ඹ්ගොල්ලන්ගේ පැතිවලත් වට්ටි කපන චාරිත්‍රෙ හරි ඒ වගේ අමුතු චාරිත්‍රයක් හරි තිබුනොත්,  කියලා යන්ඩ අමතක කරන්න එපා හොදේ....!

ප:ප:ලි - 
අද දාන්න නියමිතව තිබුනේ සුදීක මහත්තයගේ කෙරුවාව ගැන කියවෙන සිත්තරයක්. ඒ වගේ යෑ මේ අරුම පුදුම චාරිත්‍රය. වගකීමකින් ලිපි ලියන බ්ලොග් කාරයෙක් හැටියට ඒ ගැන රටට කියන එක මගේ යුතුකමනේ.

2012/12/08

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ අන්තිම ඉල්ලීමට ඕගොල්ලන් ප්‍රතිචාර දක්වපු හැටි.......!

සයිබර් යාය වහලා දැන් මාසෙකට කිට්ටුයි.

වහන දවසේ කිව්ව විදිහට අපි මේ දෙසැම්බර් පළමුවැනිදා අඳ ගොළු, බිහිරි දරුවන්ගේ ළමා නිවාසයට ගියා. මේ වගේ දෙයක් කරලා ලෝකෙට අඬබෙර ගහලා කියන එක ලෝක චාරිත්‍රය නොවුනත් කාරණා කිහිපයක් හින්දා අඬබෙරය ගහන්නයි ලෑස්තිය.

අනිත් හැම වතාවකටම වඩා මේ වතාවේ ගොඩක් සාර්ථක විදිහට මේ වැඩේ කරන්න පුලුවන් වුනා! ඒ අපේ හිතමිතුරු බ්ලොග් කරුවන්ගෙත් සහයෝගය ලැබුනු නිසා. මේ නිසා ඒගොල්ලන්ට තියෙනවයි කිව්ව අඩුපාඩුත් ඊට අමතරව වියලි ආහාර ප්‍රමාණයකුත් සැපයීමට අපිට හැකි වුනා.

එදා දවස ගත වුනු හැටි කෙටියෙන් කිව්වොත් උදේ 8.45 ට පමණ අපි එහෙට යන්න පිටත් වුනා.

ඊට පස්සෙ ඒ ගොල්ලන් අපිව රැස්වීම් ශාලාවට එක්කගෙන ගියා. ඒ වෙද්දිත් එහේ දරුවෝ රැස්වීම් ශාලාවට පුටු බංකු අදිමින් ඒක සූදානම් කරනවා. සංඥා මගින් ඒ ගොල්ලෙ වේගයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඒක බලාගෙන ඉන්න වටින දර්ශණයක්. අන්තිමේ ඒ ගොල්ල අපි වෙනුවෙන් සිංදු සහ නර්ථන කිහිපයක් ඉදිරිපත් කලා තේ වෙලාව එනකල්. එයින් කන් නොඇසෙන ගැණු ළමයි නර්ථනයත්, කන් නොඇසෙන පිරිමි ළමුන්ගේ නාට්‍යත් අපිව පුදුමයට පත් කලේ කිසිවක් නොඇසෙන ඔවුන් සිංදුව වල තාලයට නිවැරදිව පා තබන ආකාරය දැකලා. මේ ලිපියත් එක්ක තියෙන වීඩීයෝ ක්ලිප් එක බලන්න. ඒකේ තියෙන්නෙ ඇස් නොපෙනෙන දරුවන්ගේ ගීතයක්. ඒක අහලා එයාලගේ බලාපොරොත්තුව දැනගන්න.

ඉන්පසු උදා වුනේ තේපැන් සංග්‍රහය. ඒක ජයට කෙරුනා. එතනදී අපි බලාපොරොත්තු නැති වුනු දෙයක් වුනා. ඒ ‍‍ඇස් නොපෙනෙන දරුවන්ට පෙනෙන අයත්, කුඩා දරුවන්ට වැඩිහිටි දරුවනුත් කිසිවෙකුගේ බලපෑමක් නැතිව උදව් කල ආකාරය. ඔවුන් අපි බෙදන ලද කෑම අරගෙන ඒවා ඇස් නොපෙනෙන, වෙනත් ආබාධ සහිත අයට හා කුඩා දරුවන්ට මුලින් බෙදා දුන්නා. කෝල ගති ඇති ගෑණු ළමයිගෙන් විමසලා පිරිමි ළමුන් ඉදිරිපත්වෙලා ඒ අයට තමන් කැමති කෑම අරගෙන දුන්නා.  ඒක හිත ඇදගන්නා දර්ශණයක්.

ඉන් පසු උදා වුනේ ඒගොල්ලන්ට තෑගි බෙදා දුන් අවස්ථාව. අන්සියලු දේට වඩා ඔවුන් එයින් සතුටට පත්වූ බවක් පෙනෙන්න තිබුනා. ඇස් නොපෙනෙන අය ඒවා සිඹිමින් හා අතගාමින් ඒවා හඳුනාගැනීමට උත්සහ කලා.  මුලින්ම පැමිණි කුඩා දරුවන්, අප ආයතනයේ අවුරුදු හතක පමණ කුඩා දරුවන් අතින් තෑගි අරගෙන ඔවුන්ට වැඳ වැටුනු ආකාරය සිත සසල කලා. පසුව ඒක නිවැරදි කලා.

ඉන්පසු පැය විසිහතරේම ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන කාර්ය මණ්ඩලයට පුංචි තෑග්ගක් දෙන්නත් අපි අමතක කලේ නෑ. ඒවගේ දෙයක් ඒ ගොල්ල කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ කිව්වා. සභාපති තුමා නම් තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

ඊටත් පස්සෙ සභාපති තුමාගේ ස්තුති කතාවෙන් පස්සෙ දරුවෝ ආපු අයට වැඳලා ස්තුති කලා.

පහලින් තියෙන්නෙ එදා ගත්තු පින්තූර වගයක්. මේ පින්තූර ගද්දි ඇපචර් බැපචර් ගැන හිතන්න වෙලාවක් තිබුනේ නැති නිසා උසස් තත්වයේ පින්තුර සටහන් කරගන්න බැරි වුනා. ඒත් අදහසක් ගන්න මේවා හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. වීඩීයෝ ක්ලිප් ටික මගේ අතේ තිබුනු අති නවීන ජංගම දුරකතනයෙන් ගත්තුවා. ඒ හින්දා ඒවයේ “කොලිටිය” ගැන හොයලා මගෙන් මුකුත් අහගන්න එපා.

මෙන්න පින්තූරු ටික.

ඒගොල්ලන්ගේ තෑගි පාර්සලේ මේ තියෙන්නෙ. ඔය පේන ආයතන වල අනුග්‍රහයත් අපිට ලැබුනා.

ඕන කරලා තිබුනු අල්මාරි 3 ත් ගන්න පුලුවන් වුනා.



තාම බස් එකේ ඉන්නෙ වෙලාව එනකල්

වියලි ආහාර.....


හස්ත මුද්‍රාවෙන් සංවිධාන කටයුතු.
පින්වත් පිරිස... හෙහ් හේ.....
රී - චාජර්බල් ලෑම්ප්.

ඒගොල්ලන්ගේ තෑගි ටික....
පොත්, රිචාජබල් ලාම්පු, විදුලි ස්ත්‍රික්ක, බ්ලෙන්ඩර්, බෙහෙත් වර්ග සහ තෑගි....
සංගීත සර් ගෙනල්ලා තියපු  පුටු 6 ම කව්දෝ උස්සලා.... මේ ඉන්වෙස්ටිගේෂන් එක!
යන්තං දැන් එක විදිහක් කස්ටිය....
පෙර පුහුණුවක
මේ කාර්යමණ්ඩලයේ තෑගී......
ඉල්ලපු පොත්
ඕන කරනවයි කියපු බඩු.....
අපේ සංගීත සර්....
සභාපති තුමාගේ කතාව
ඒගොල්ලන්ගෙන් සිංදුවක්.....
මේ විඩියෝ කරපු සිංදුව කියන වෙලාව.
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව

මෙයාට හරි අකරතැබ්බයක් වෙලා. එයා අපි එනවයි කියලා දැනගත්තු දවසේ ඉදලා සිංදු පුරුදු වුනාලු අපි ආවම කියලා පෙන්වන්න. ඒත් අපි එන දවසේ උදේ හරි නරක විදිහට එයාට උණ ගත්තලු. ඒ නිසා එයාට ඇඳට වෙලා තනියෙම ඉන්න වෙලා. අපි ගිහිං එයාගේ තෑග්ග දීලා ආවා.
සභාපති තුමාගේ ස්තුති කතාව
ඒගොල්ලන්ගේ ස්තුතිය...

‍මේ තියෙන්නෙ වීඩීයෝව


ඹන්න ඔහොමයි කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ අන්තිම ඉල්ලීමට ඕගොල්ලන් ප්‍රතිචාර දක්වලා තිබුනේ....!

ප/ලි-
මේ වැඩේ කරලා ලෝකට අඬබෙර ගහලා කිව්වෙ මෙන්න මේ හේතු නිසා.

01. මේ වැඩේට සම්බන්ධ වෙනවමයි කියලා විවිධ හේතු නිසා සම්බන්ධ වෙන්න බැරි වුන අයටයි, මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න කෙහෙල්කොටුවට එන යන හිත මිතුරන්ට මේ ගැන දැගන්නයි, ඒ දෙගොල්ලන්ටම අයිති නොවෙන කස්ටියටයි දැක බලාගෙන සතුටුවෙලා පහන් සංවේගය උපදවා ගන්න.

02. මේකට සම්බන්ධ වුනු ඇනෝලට පුද්ගලිකව පණිවිඩයක් යවන්න ක්‍රමයක් නොදන්න නිසා.

03. ගියපාර මේ වගේ වැඩ කරද්දි අපිත් එක්ක එකතු වුනු ඔබා මාමා මෙදා පාර නෑ. මේ කරපු දානයෙන් යම්කිසි කුසලයක් තියෙනවා නම් ඔබා මාමටත්, මේකට සම්බන්ධ වූ, සම්බන්ධ නොවූ පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් කරන්න.

ප/ප/ලි - 
සයිබර් යාය වැහැව්වට බිසි තත්වයේ නම් අඩුවක් නෑ. ඊලගට එන්නෙ නත්තල් දන්සැල. ඊටත් කලින් හෙට අනිද්දා එන ලෝක විනාසෙට ලෑස්ති වෙන්නත් තියෙනවා. ඇත්තටම මාරයට ස්තුති කරන්න ඕන කලින්ම "ලෝක විනාස බඩු ලිස්ට් එක" ප්‍රසිද්ද කලාට. ඒකට මම කැමරාවකුත් ඇඩ් කරගත්තා.

බෙර සද්දෙ අහගෙන සිටි සියලු දෙනාටම ස්තුතියි.

............................................
- මීට ඔබේ හිතවත් සයිබර් යාය ඇඩ්මින් මහතා

2012/10/18

අද කාටුන් - 22 - කතන්දරගේ 1000 සහ ඇනෝලා !

දින කිහිපයකට පසුව ඔන්න නැවතත් කාටුන් එකක් පල කරන්න හිතුවා.

අද පලවෙන කාටුන් එක විදෙස් සිත්තරා ඇන්දේ කෙහෙල්කොටුවෙ ඉදලා නෙමේ. විදෙස් සිත්තරා මේ දවස් වල පැන්සල ඇල්ලීමේ නිවැරදි ක්‍රමය ගැන හදාරන්න විශේෂ පුහුණුවකට ගිහිල්ලා තියෙන්නෙ. මේ එහෙදි ඇඳලා, කෙහෙල්කොටුවට එවන ලද කාටුන් එකක්.

අද කාටුන් එකේ ඉන්න "පොර"ව අපි කව්රුත් දැන් හොඳට දන්නවා. ඒක නිසා වැඩි විස්තර කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

මෙන්න කාටුන් එක.

නිමිත්ත - kathandara.blogspot.com
ඔන්න ඔහොමලු උනේ. නැවත හමුවෙමු.

............................
-  මීට විදෙස් සිත්තරාගේ සිතුවම සමඟින් යුරෝ දෙකේ වීරයා.

2012/09/29

බෞද්ධයෝ වූ අප වාසනාවන්තයින් ද? අවාසනාවන්තයින් ද?

මිතුරනි, අද බිනර පුන් පොහොය දිනය.

බ්ලොග් අවකාශයේ දී නොදුටු ඔබත් මමත් දැන් මිතුරන් වී වසර තුනකට ආසන්න කාලයක්. ඇතැම් අය ෆේස්බුක් හරහාත්, ඇතැම් අය බ්ලොග් ලිපි හරහාත්, ඇතැම් අය දුරකතන හරහාත්, ඇතැම් අය දැක කතාබහ කිරීමෙනුත් දැන් කළණ මිතුරන් බවට පත් වෙලා.

කෙසේ වුවත් අපගේ ඒ හමුවීම් වලින් මා තේරුම් ගත් වටිනා ම කරුණ නම් අප තවමත් ඉම නොපෙනෙන සංසාර ගමන ගෙවා දමන එකම මිතුරු කැලක් බවයි. එයින් ව්‍යංගයෙන් කියවෙන්නෙ මෙතුවක් කාලයක් පුරා පහල වූ බුදුපියාණන් වහන්සේලා සියලු දෙනා අපට මඟ හැරී ගොස් ඇති බවයි. නැතිනම් උන්වහන්සේලා දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන කෙළවර කරගෙන නැති බවයි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

කෙසේ නමුත් මේ මහා බද්‍ර කල්පයේ පහල වෙන බුදුන් වහන්සේලාගෙන් තව එක් නමක් අපව සසරින් එතෙර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ. අපි නිවැරදිවම දන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විටත් තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍යලෝකයේ සංතුසිත දිව්‍යරාජයා ලෙස සුදුසු කාලය එළඹෙන තුරු එහි වැඩ හිඳිනවා කියලා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මීට අවුරුදු හය හතකට කලින් මම කුරුලු හමුදාවේ ඉන්න කාලේ හිතාගෙන හිටියේ ක්‍රීඩකයෙක් හැටියට ලංකාවේ දස්කම් දක්වලා ආසියානු මලළ ක්‍රීඩා තරගය නියෝජනය කරන්න. අවුරුදු හතරක සැලැස්මක් ඇතිව ඉතාම කැපවීමෙන් පුහුණු වුනත් මට ඒ අවස්ථාව මඟ හැරුනා. ගිය සතියේ මම බ්ලොග් මිතුරෙකුට කිව්වා, එළඹෙන සති අන්තයේ මම කොළඹ පොත් ප්‍රදර්ශණය බලන්න එනවා කියලා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් හින්දා ඒ අවස්ථාව මට මඟ ඇරුනා. ඒ වගේ අද්දැකීම් මට විතරක් නෙමේ ඔබටත් ඇති. අවුරුදු ගණනක සැලැස්මක් තබා, එළඹෙන තත්පරයේ දී අපේ බලාපොරොත්තු කීයක් නම් අපෙන් මඟ ඇරෙනව ද?

ඒ ආකාරයෙන් බලද්දි මේ බද්‍ර කල්පයේ කෙලවරේ බුද්ධත්වය ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න බලාගෙන ඉන්නවා කියන්නෙ කෙතරම් මෝඩ කමක්ද? ඒ වගේ අවස්ථාවක් මඟ හැරෙන්න තියෙන ප්‍රතිශතය ගැන උපමාවක් පවා හිතාගන්න බෑ. කාටද ස්ථිර වශයෙන් කියන්න පුලුවන් අපි මෛත්‍රී බුදු පියාණන් පහල වෙද්දි නොරටක නොසිටීවි කියලා, ධර්මය වටහා ගන්න නොහැකි තරම් බුද්ධි මට්ටමක නොසිටීවි කියලා, නැතිනම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නොසිටීවි, අපායේ, තිරිසන් ලෝකයක නොසිටීවි කියලා.

දැන් හොඳින් ම වැටහෙනවා ඇති අපි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව සංසාරේ අතරමං වෙලා කියලා. බ්ලොග් එකක් ලියාගෙන, කමෙන්ට් එකක් දමාගෙන "ආතල්" එකේ හිටියට අපි “පට්ට“ අසරණයි. ඔය කරුණ අපිට කලින් ගුණදාස කපුගේ  මහත්තයට වැටහුනු නිසා ද, "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......" කියලා තියෙන්නෙ?

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මනෝරථපුරණී අටුවා පාඨයේ කියවෙන ආකාරයට පිළිසිඹියාපත් රහතුන් වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමින්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද වශයෙන් පන්දහසක් අවුරුදු ප්‍රතිවේද ධර්මය පැවැත්වෙන බව කියවෙනවා.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන්ගේ වර්ෂ දහසක් ද, ෂඬභිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සම්පදානිය සුත්‍ර අටුවාවෙහි කියවෙනවා. ඉන් අනතුරුවත් පහණක් නිවෙන්නා සේ එකවර මෙලොවින් බුදුදහම අතුරුදහන් වෙන්නෙ නෑ. ඒ කෙසේ වුවත් දේව, බ්‍රහ්ම ලෝක වල තවත් කල්ප ගණනාවක් නිර්මල බුදු දහම නොනැසී පවතිනවා.

මේ ගෙවෙන්නෙ බුදු සසුනේ තුන් වන වර්ෂ දහසයි. මේ කාලය මනෝරථපුරණීයේ කියන අන්දමට අනාගාමින් සිටියහැකි කාලයක්. දීඝනීකායට්ඨ කතාවෙහි දැක්වෙන අන්දමට ත්‍රිවිධ්‍යා රහතුන් සිටිය හැකි කාලයක්.

ඒ හැරුනු කොට අප බුදුපියාණන් වහන්සේ ම සුභද්දයන් අරඹයා දේශණා කලේ, "සුභද්දය, මේ භික්ෂුන් මැනවින් වසයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය" යනුවෙන්.

ඉතින් මේ කාලයෙත් රහතුන් වහන්සේලා ලෝකය තුල ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් වැඩ හිඳිනවා විය හැකියි. අනිත් අතට නිර්වාණ මාර්ගයට පිවිසිලා මේ සසර ගමන කෙලවර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයන්ටත් මේ කාලයත් සුදුසු ම කාලයක්.

අප ගෞතම බුදු පියාණන් වහන්සේ පහල වූ කාලයත්, මීලගට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන්වහන්සේ බුදුවන කාලයත් අතරතුර ගෙවී යන කාලය හා සසදා බලන විට අප ගෞතම බුදුන් වහන්සේ මෙලොව පහල වෙලා තවම ගෙවී ඇත්තෙ ඇසිල්ලක තරම් කාලයක්. ඇත්ත වශයෙන් නම් ඒ සඳහා උපමාවක් පැවසිය නොහැකි තරම්. ඉතින් සද්ධර්මය ලඟා කර ගැනීමෙන් අපට අදත් අපගේ ජීවිතය අරුත්බර කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අප වසර 80 කාලයක් මෙලොව තුල ජීවත්වනවා ය කියන්නෙ දින 29 000 පමණ කාලයක්. එයිනුත් දැන් ඇතමුන්ගේ අඩකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති. නමුත් අපට තව දින 15 000 කට ආසන්න කාලයක් ඉතිරි වී තිබෙනවා. ඒ කාලයවත් අපි නිවැරදිව පාවිච්චි කලොත් අපි වාසනාවන්තයෝ ද, අවාසනාවන්තයෝ ද කියලා අපටම මොනවට පැහැදිලි කරගැනීමට හැකි වේවි.

ඉතින් ඒ වෙනුවෙන් අප කල යුත්තෙ බෞද්ධයන් වූ අපගේ අග්‍ර ඵලය වන නිර්වාණ මාර්ගයට පිවිසීමයි.

මිතුරනි, ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පිහිටා සිට කුසල් රැස් කිරීමට අපට කාල නියමයක් නෑ. එය කිනම් කාලයකදී උනත් කළ හැකියි සහ කල යුතුයි. ඒ නිසාමයි බුදුන් වහන්සේලා නොමැති කාලවල දී පවා දිව්‍යලොක හිස් නොවෙන්නෙ. නමුත් ඒ කුසල බලයෙන් ලබන දේවත්වය හෝ බ්‍රහ්මත්වය නිසා කෙදිනකවත් ඔවුන්ට ඇරී ඇති අපාය දොරටු නම් වැසෙන්නේ නෑ. එසේ බලන කල බුද්ධාන්තර කාලයක් දේව, බ්‍රහ්ම, සක්විති රජුන් වෙමින්, සොහොන් බිම් පුරවමින් පැමිණෙන අප ගැන කුමන කතාද? ඒ නිසාමයි මහා විමාන තුල විරාජමාන වන දෙවියන්ටත්, කල්ප ගණනින් බ්‍රහ්ම ලෝක වල සුව විඳින බ්‍රහ්මයන්ටත්, මුලු දියතම පාලනය කරන සක්විති රජවරුනටත් වඩා දිළිදු පැලේ සිටින සෝවාන් පුද්ගලයා උතුම් වෙන්නෙ. සොවාන් වීමෙන් පමණයි අපෙන් පළමු වරට අපාය දොරටු වැසී යන්නෙ.

අනෙක් අතට අපේ අම්මා වෙමින්, තාත්තා වෙමින්, සහෝදර සහෝදරිය වෙමින් අපගේ මිතුරා වෙමින් ගණනින් කිව නොහැකි තරම් කාලයක් අප අතර ම හිදිමින් අවසානයේ අපට නිවන් මඟ කියා දුන් අපේ බුදු පියාණන්ට කළ හැකි හොඳම පුජාවත් මඟ පල ලබා නිවන් සාක්ෂාත් කරගැනීමම නොවේද?

ඉතින් බුද්ධිමත් වූ අපත් අදම අපාය දොරටු වසා ගැනීම සඳහා, ඇලිම්  - ගැටීම් අවම කර ගනිමින් උසස් වූ, ප්‍රීතිමත් වූ, සැපවත් වූ අරහත් මාර්ගයට පිවිසීමේ පලමු පියවර ලෙස, අපගේ සිත සමනය කර ගනිමු. එය කල හැකි පලමු හා සාර්ථකම පියවර වන්නෙ භාවනාවයි.

ආධුනිකයන් වූ අපට චතුර් ආරක්ෂක භාවනා ලෙස හඳුන්වන බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණානුස්සතිය ප්‍රගුණ කළ හැකිය.

දානය, සීලය යම් ප්‍රමාණයකින් ප්‍රගුණ කර සිටියත් වර්තමානයේ භාවනාව ප්‍රගුණ කිරීම බොහෝ විට අපගෙන් මඟ හැරී යන්නක්.

මිතුරනි, මේ පහලින් දැක්වෙන්නෙ මගේ කලණ මිතුරු චන්දන බණ්ඩාර විසින් සම්පාදනය කරන ලද බුද්ධානුස්සතී භාවනාව හෙවත් මහානුභාව සම්පන්න බුදුගුණ සිහිකිරීමේ භාවනාව ආධුනික අපට පහසු ලෙස කළ හැකි ආකාරය ගැන ලියැවුනු පොතක්.

ඉතින් මේ උතුම් පොහෝ දින මේ පොත ඔබත් ලබාගන්න. අද ම අපගේ බුදු පියාණන් දෙශණා කළ නිවන්මඟ සාක්ෂාත් කරගැනීමට පළමු පියවර තබන්න.

Download
භාවනාව හා සබැඳි සියලු විස්තර මේ පොතේ අන්තර්ගතයි.

මෙහි දැක්වෙන නව අරහාදී බුදු ගුණ සවිස්තරව දැන ගැනීමටත්, අප ශාස්තෘන් වහන්සේ පිළිබඳවත්, උන් වහන්සේ දෙසූ ධර්මය පිළිබදවත්, උන්වහන්සේගේ පැවදි ශ්‍රාවකයින්ගේ ආනුභාවය දැන ගැනීම පිණිසත් රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ රචනා කරන ලද පොත් අතරින් එකක් වන "සුවිසි මහා ගුණය" පරිශීලනය කරන්න.  භාවනාව ගැන තවත් තොරතුරු තනූජ ජයසුන්දර මිතුරාගේ මෙම ලිපි පෙලින් දැන ගන්න.

බෞද්ධයන් වන අප තෙරුවන් හොඳින් හැඳිනගෙන සිටිය යුතුයි. තෙරුවන් හැඳින ගැනීමට මෙම සුවිසි ගුණය හැර වෙන ක්‍රමයක් නැහැ. මේ ගුණ සූවිස්ස දැනගෙන මැනවින් තෙරුවන් හැඳිනගත් පුද්ගලයාට කිසි කලෙක වෙනස් නොවෙන, කිසිවෙකුට උපායකිනුත් වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් තුණුරුවන් කෙරෙහි ඇතිවෙනවා. මේවා හරිහැටි නොදැන තුණුරුවන් විවේචනයෙන් පුද්ගලයන් කර ගන්නා අකුසලයේ තරම මෙතෙකැයි කියන්න බෑ. මේ ගුණ සූවිස්ස නොදන්නෙ නම් අපි නාමික බෞද්ධයන් පමණයි!

ගෞතම බුද්ධ සාසනයේ දීම සසර ගමන අවසන් කිරීමට පළමු පියවර අපි අද ම තබමු. පෙර කුසල් හා පාරමී පුරා තිබුනහොත් ඔබත් මේ භවයේ දී අරමුණ කරා ලඟා වේවි. නැතිනම් මෙම පියවර ඉදිරියේ දී පාරමිතා සම්පූර්ණ කරගැනීමට ඔබට ඉවහල් වේවි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අදට ලිපිය අවසානයි.

ප්‍රිය මිතුරනි, ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!

..........................................
- බුද්ධි.

2012/09/17

ළෝඛයේ ශ්‍රේෂ්ඨ භළ්ළෝ සහ තවත් කතා | මතු යහපත පතන බ්ලොග් ලියන කියවන පුරුෂ පක්ෂය උදෙසා !

" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........." කියාගෙන ස්වාමියා අතට ගත්තු හැලපෙ ඔතලා තිබුනු කැන්ද කොලේ ගලවන්න ගත්තා.

එදා අපි කතා වෙමින් උන්නෙ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම බල්ලො ගැන.  හැලප කමින් ඉන්න ස්වාමියා උපතින් ම සතුන් ගැන ඇල්ම තියෙන කෙනෙක්. එයා කුරුල්ලන්ටත් හෙන ආදරෙයි. ලස්සන කුරුල්ලෙක් ඉන්නවා කිව්වොත් ‍ලෝකෙ ගැට්ටට ම හරි යනවා ඌව හොයාගෙන. මේ ස්වාමියාගේ බිරිඳත්, අපිත් එක්කම කතාවට අගුල්පත් තියමින් ලඟ ලඟම හිටියා. අපි කියන මේ ස්වාමියාගේ බිරිඳ බ්ලොග් ලියන්නියක්. එයා හරිම ස්වාධීන අදහස් තියෙන කෙනෙක්. යමක් කියන්ඩ තියෙනව නං ඒක කියනවා ආය මහ ඒජන්තට හරි. ඒ වගේමයි පතිභක්තියත්.

අපේ මිතුදම ආරම්භ වුනේ මගේ බ්ලොග් එකේ එතුමියගේ කමෙන්ට් වැටුනට පස්සෙ. මීට අවුරුදු තුනකට කලින් අගෝස්තු පොත් ‍ප්‍රදර්ශනේ දවසේ, ඒ කාලේ නැවුම් බ්ලොග්කරුවෝ ටික දෙනෙක් BMICH එකේ දී මුණ ගැහුනා. එතනට මෙතුමියයි, එතුමියගේ ස්වාමියයි, ඒ කියන්නෙ මේ හැලප කමින් කතාකරන එක්කෙනයි, ඒ ගොල්ලන්ගේ බිනරමලියි ඇවිල්ලා හිටියා. එතනදී වෙච්ච කතාවෙනුයි අපි දැනගත්තෙ මේ ඇවිල්ලා මැරියන්ලගේ අල්ලපු වැටේ අයයි කියලා.

ඒ කිව්වෙ මේ ස්වාමියයි, අපේ මැරියන්ලගේ අක්කලයි ඒකාලේ දන්න අයලු. පොඩි කාලේ සෙල්ලම් කරද්දි මේ ස්වාමියලා කරක් නොගහපු තැනක් නැලූ. බලාගෙන යද්දි මැරියන්ලයි, මේගොල්ලයි එක ගමේ දෙපැත්තෙ.

ඔහොම අපේ මිතුදම මෙව්වා වුනාට පස්සෙ අපි ඒ ගොල්ලන්ගෙ ගෙදර යනවා, ඒ ගොල්ල අපේ ගෙදර එනවා. ඇයි ඉතින් දන්න කියන අයනෙ දැන්. ඔන්න එකෝමත් එක දවසක ඒ ගොල්ලන් අපේ ගෙදර ඇවිල්ලා හැලප කකා ඉද්දි තමා අර බලු කතාව ඇදිලා ආවේ.

මැරියන්ලගේ මහගෙදර ලග තියෙන අසල්වැසි ගෙදරක ඉන්නවා හුරුබුහුටි බැල්ලි පැටියෙක්. ඌ කවදාවත් මාව දැකලා නැති වුනත් මම එහෙ ගිය මුල්ම දවසෙම මෙයා ඇවිල්ලා ඇඟේ දැවටෙන්න ගත්තා. මම මාස ගාණකින් එහෙ ගියත් එයා කොහොම හරි ඒ බව දැනගෙන මාව හොයාගෙන මැරියන්ලගේ දිහා එනවා. ඉතින් ලොකේ හිටපු ශ්‍රෙෂ්ඨ බල්ලො ගැන කතාවෙද්දි මේ බැල්ලි පැටියාගේ කතාව ඇදිලා එන එක අහන්න දෙයක් නෑනේ.

ඒ ගොල්ල තීරණය කලේ සංසාර ගමනේ පරණ මතකයක් හන්දා බැල්ලි පැටියා මාව හොයාගෙන එනවා ඇති කියලා. ඒකට මම එකඟ වුනත්, ඇමරිකන් ජනාධිපති තුමා වගේ මම පපුවට අත තියලා ඉතාම වගකීමෙන් කිව්වා "එහෙමමත් නෙමේ අනේ, හදවතේ කරුණාව තියෙනව නං ඕනෙම කෙනෙක්ට, ඕනෙම සතෙක්ට ඒ බව දැනෙනවා කියලා".

ඕක කිව්ව හැටියේ තමා අර ස්වාමියා කේක් කෑල්ලත් එක්ක කාපු කෙසෙල් ගෙඩියේ පොත්ත පැත්තකින් තියලා, හැලපේ අතට අරං පුටුවෙ හරි බරි ගැහිලා මෙහෙම කිව්වෙ.

"ඔයා දන්න තරම තමා. එහෙනං අපේ ගෙදර හිටපු බල්ලා කාටක්කත් කීකරු නෑනේ මට විතර. ඔය හදවතේ කරුණාව තියෙන කාටවත් ඌව නමා ගන්න බැරි වුනා, නේද අනේ......."

"ඒක තමා....." අපේ ජනප්‍රිය බ්ලොග්කාරිය අගුල්පත් තිබ්බා. ඒකෙන් උද්දාමයට පත් වෙච්ච පාර තමා ස්වාමියා,

" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........" කියාගෙන කතාව පටන් ගත්තෙ.

ඒ කතාව පුරාම කියවුනේ ඒ බල්ලගේ තිබුනු පුදුම හිතෙන ගතිගුණ ගැන. මේ කතාව අතරතුර අපි අහපු හරස් ප්‍රශ්ණ, හූමිටි තැබිලි වගේ මුඛ්‍ය තේමාවට අදාල නැති ඔක්කොම කෑලි කපලා දැම්මොත් මෙහෙමයි කතාව එන්නෙ.

අපේ කතා නායකයා සත්තුන්ට ආදරේ හින්දම බල්ලෙක් හදන්න අරගෙන තියෙනවා. ඒ බල්ල වැඩියෙන්ම කීකරුත් එයාටමලු. ඉතින් පොර වැඩට ගිය අතරතුර දී මොකක් හරි දඩයමක් කලොත් එයා වැඩට ගිහිල්ලා එනකල් ම දඩයම කකුල් දෙක ගාව තියාගෙන ඉන්නවලු. මෙයා ඇවිදින් බල්ලව පැසසුවට පස්සෙලු දඩයම පැත්තකට දාන්නෙ. ඕනෙම ජාතියෙ අමුත්තෙකුට කිසිම හේතුවක් හන්දා සාලේ පැත්ත පලාතෙ සිමෙන්ති පාගන්න දෙන්නෑලු, එයාගේ අවසරයකින් තොරව. එහෙම ආවත් බල්ලා හොඳට ඇහැ ගහගෙනලු ඉන්නෙ මෙයාට අමුත්තා අනතුරක් කරයි‍දෝ කියලා. දවසක් යාලුවෙක් ඇවිල්ලා විහිලුවට කෑගහලා ගහන්ඩ ගිය හැටියේ බල්ලා පැනලා යාලුවගේ කකුලෙන් කෑල්ලක් කඩා ගත්තලු බඩගිනි වුනාම පස්සෙ කන්ඩ කියලා. ඔය වගේ වීර ක්‍රියා ගොඩකින් එයාගේ ජීවිත කතාව පිරීගෙන එද්දි තමා දවසක් හරි වැඩක් වෙලා තියෙන්නෙ.

ඒ වෙන මුකුත් නෙමේලු. මෙයා වැඩට ගිය අතරතුර දවාලක එයාගේ තාත්තා මොකද්දෝ අපබ්‍රන්ස වැඩක් කරන්න ගිහින්, බල්ලා තාත්තගේ අතෙනුත් කෑල්ලක් කඩා ගෙනලු බඩගිනි වුනාම කන්නයි කියලා. හැබැයි ඒක බල්ලට වුනු අත්වැරැද්දක්ලු. මොකද මෙයාට වගේ ම බල්ලා ලෙංගතු සීමිත පිරිසෙන් තවත් එක්කෙනෙක්ලු තාත්තත්. ඒකට තාත්තට වගේ ම බල්ලටත් හරිම අප්සෙට් ලු. ඒත් අකමැත්තෙන් හරි බල්ලව කූඩුවට දාන්න කට්ටිය එකඟ වුනාලු. තාත්තාත් බේත් දාගෙන ඇවිල්ලා "මේ බලන්ඩ ඔයා මට කරපු දේ" කියලා බල්ලට අත පෙන්නුවලු. බල්ලට ඒකට තවත් අප්සෙට් වුනාලු. බල්ලා කන්නෙ නැතුව අතඇරියලු. එයා කරපු වැඩේ ගැන එයා හොඳටම පසුතැවිලි වෙන බව දිගටම පෙන්නන්න ගත්තලු. පස්සෙ මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑලු. අන්තිමේ මෙයා හොඳටම ලෙඩ වුනාලු. කෑම කෑමත් අත්ඇරලම දැම්මලු. ටික දවසක් ඔහොම ගතවුනාලු. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලාලු!

ඔන්න ඔය විදිහට එක හුස්මට කතාව කියලා දමාපු අපේ කතානායක තැන බොහොම උදාර ලීලාවෙන් අපි දිහා බැලුවා. ඇයි ඉතින් එයාට ඉදලා තියෙන්නෙ කොච්චර උදාර ගතිගුණ තියෙන බල්ලෙක් ද?

පස්සෙ එයා අර හැලප කෑල්ලෙ අන්තිම කෑල්ලත් කටේ දමා ගත්තා. අපි ඔක්කෝමලා තත්පර ගණනාවක් නිහඬව මේ ගැන කල්පනා කලා. ඇත්තටම තමන් කරපු දෙයක් ගැන මෙච්චර පසුතැවුනු බල්ලෙක් ගැන අපි ඇහැව්වමයි.

හැබැයි ඔය සිතුවිල්ල එච්චර කාලයක් අල්ලලා හිටියේ නෑ. ඒ වෙන මුකුත් හින්දා නෙමේ. එයාගේ බිරිඳ, ඒ කියන්නෙ ස්වාධීන අදහස් තියෙන, නියම පතිභක්තියක් තියෙන අපේ බ්ලොග්කාරිය, එයාගේ ස්වාමියාට අමතක වෙලා තිබුනු මේ බලු කතාවේ වැදගත් කොටසක් මතක් කරලා දීපු හින්දා. ඒක වුනේ ‍මෙන්න මෙහෙම.

ඕගොල්ලන්ට වඩා හොඳට කතාව පැහැදිලි වෙන්න මම ඒ ටික ආයිමත් කියන්නම්.

‘කො‍හොමහරි අන්තිමේදී මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑ. එයා හොඳටම ලෙඩ වුනා. කෑම කෑමත් අත්ඇරලම දැම්මා. ටික දවසක් ඔහොම ගතවුනා. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලා." ස්වාමියා කිව්වා.

එතකොටම අපේ බ්ලොග්කාරී නේද, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“ කිව්වා.

කතාව ඉවරයි. මේ කතාව පුංචි උනත් ගන්න තියෙන ආදර්ශ එමටයි. බොහෝ දෙනාගේ පහන් සංවේගය උදෙසා මම මේ කතාව ලියන්න හිතුවෙත් ඒකයි. හැබැයි ඒ ආදර්ශ ඔක්කොම එකට හිරවෙලා පැටලිලා තියෙන්නෙ.

ඕගොල්ලන්ට පුලුවන් නම් ඕක ලිහලා කරලා ගන්ඩ තියෙන ආදර්ශක් ගන්ඩලා.

................................................
කලකට පස්සේ - වෙලකට බැස්සේ
- මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
ඇත්තම කියනවා නම් මමත් ඔය කතාවෙන් කෑල්ලක් කපලා දැම්මා. අච්චර ලස්සනට කතාව කියලා අවසාන වුනාම අපේ බ්ලොග්කාරී කිව්වනේ, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“කියලා. ඒ වෙලාවේ අපේ කතානායක තැන මොනවද දන්නව ද කිව්වෙ, “ඹව් තුවාලෙකුත් නං තිබුනා තමා“ කියලා. ඒක කියපු ස්වරෙවත්, ඒ  අවස්ථාවේ මිනිහා පත් වෙච්ච ඉරණම ගැනවත් නියම තතු මට වචනෙට පෙරලගන්න තේරෙන්නෙ නෑ. අනිත් අතට කාටද කියන්න පුලුවන් පිරිමි අපට ජිවිතේ කවදාක හරි ඔයවගේ අවස්ථාවකට මුණ දෙන්න ලැබෙන්නෙ නෑ මයි කියලා. ඒක නිසා ඒ කෑල්ලත් කතාවට ඇතුලත් කරනවට වඩා හොඳ නැද්ද මේ විදිහට කතාව ඉවර කරලා මගේ බ්ලොග් රසිකයින්ට හිතන්ඩ යමක් ඉතුරු කරන එක තමන්ගේ අනාගතේ ගැන.

ප/ප/ලි -
ගිය සතියෙ දවසක සාදයකට නැවත අපි ඒ ගොල්ලන්ගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමා කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබුනු මේ කතාව මට මතක් වුනේ. හැබැයි ඊට කලින් දවසක අපි හම්බුනු වෙලාවෙයි සමස්ත බ්ලොග් පාඨකයන්ගේ මතු යහපත තකා උක්ත කතාව දාන්න මම නිසි අවසර අරගත්තෙ.

2012/09/14

සොයා දෙන්න... | සයිබර් යාය සමාජ සත්කාර


 මීට තරු ඇතුලු මිතුරු කැල.
තොරතුරු සොයා ගත්තෙ facebook මගිනි.


2012/05/11

අවුරුදු 22 ක් නොකානොබී සිටි මිනිසෙක් හමුවේ | ඡායාරූප සහිතයි.

සාමාන්‍යයෙන් මම ලියුමක් දාලා කාලයක් අන්තරස්ධාන වෙලා හිටිය නම් ඊ ලග ලියමන වෙන් වෙන්නෙ ඒකට හේතු කියන්න. අච්චර ලස්සනට ‍අන්තිම පෝස්ට් එක හිට් වෙලා තියෙද්දි, මට ඒ එක්ක ලියුම් දෙකක් තුනක් දාගන්න බැරි උනේ තියෙන කම්මැලි කමට නෙමේ.

මම පහුගිය දවසක ගියා අප්‍රිකානු මහද්වීපයේ මාලි රටේ සංචාරෙකට. ඒ මගේ මිත්‍රයෙක් වන සංඛ එදිරිමාන්නයි තව කට්ටියකුයි එක්ක. කාලෙකට කලින් මම පොරට උදව්වක් කලා කවදාවත් අමතක වෙන්නෙ නැති ජාතියේ. එකෙන් ලැබෙන ආනිසංස ‍ගොනා පිටි පස්සෙ බැඳපු කරත්තෙ වගේ එන්නෙ කාලෙක ඉඳලා. මේ විදේශ සංචාරෙත් එයින් එකක්.

සංඛයලා එහේ ගියේ මාලි ‍රටේ සිද්ධ වෙන සීග්‍ර සංවර්ධනය ගැන වාර්තාමය චිත්‍රපටියක් කරන්න. මම ගියේ ඒගොල්ල වාර්තා චිත්‍රපටිය හදන හැටි පොටෝ අරගන්න ඡායාරූප ශිල්පියා හැටියට.

කවදා කාපු ටකරන්ද!

එතකොට මේ කව්ද?


මේ තියෙන්නෙ මාලි රටේදී අපිට හමුවුනු අරුම පුදුම පුද්ගලයෙක්ගෙ ඡායාරූපයක්.

මිනිහා අවුරුදු විසිදෙකක් නොකා නොබී ඉදලා තියෙනවා. අදටත් මිනිහා ජීවත් වෙන්නෙ නොකානොබී!!!

ගහෙන් ගෙඩි එන්නා වගේ මෙහෙම කිව්වම කව්රුත් උඩ විසි වෙනවා තමා. 2500/- කින් නොමැරි ඉන්ඩ පුලුවන් පුලුවන් කියලා කියද්දි  බෑ බෑ කියන මේ වගේ කාලෙක මේ ප්‍රවෘත්තිය ඇහුවම අනිවාර්යෙන් සෑහෙන දෙනෙක් උඩ විසි වෙනවා. ඒක නිසා මේ කතාව පටන් ගන්න කලින්ම මම ඕගොල්ලන්ට අවවාද කරනවා පුටුව අල්ලගන්න උඩ විසිවෙන්න කලින් කියලා.

දවසක් මට සංඛයා කෝල් කලා මෙහෙම කිව්වා.

"මේ සුබ ආරංචියක් තියෙනවා......මම තෝව ටුවර් එකක් එක්කන් යන්නයි යන්නෙ"

"අනේ...පලයං...."

"පලයං නෙමේ.....අපේ සර් කිව්වෙ.....උඔ දන්නවද? කොහෙද මන්දා රටක සංවර්ධනේ ගැන ඩොකියුමෙන්ට්‍රියක් කරන්න අපිව ඔපිස් එකෙන් යවන්න ඉන්නෙ... සර්ට වෙන වැඩක් හන්දා මාව ඒකට තොරගත්තා. ස්නැප්ස් ටිකක් ගන්න ඕනනං තෝවත් පටවං ගියැකි, එනවද?"

"කොහෙද දැං යන්නෙ......."

"උඔ‍ට ඒකෙන් වැඩක් නැ‍නේ........ කොහෙද අප්‍රිකන් ර‍ටකට.... උඹ මට කරලා තියෙන උදව්වලට රිටන් එකකුයි මේ දෙන්ඩ යන්නෙ.... උඔ කැමතිනං කියහන්...... නැතුව පොටෝ ගන්ඩ මිනිස්සු නැතුව නෙමේ අපේ කොම්පැනියේ........."

"අපෝ බං අප්‍රිකාවේද......මම හිතුවේ උඔල‍ත් එක්කලා ගිහිල්ලා එහෙදි පනින්ඩ....අපරාදේ..... ?"

ඔය වගේ වියත් සංවාද කිහිපයකට පස්සෙ ඒ ගොල්ලන්ට කරන උදව්වක් හැටියට ගමනට සහභාගී වෙන්න මම කැමැත්ත දුන්නා. මේ ගමනට අපිත් එක්ක වීඩියෝකරණ ශිල්පී සමීර අතපත්තු කියලා බුවෙකුයි, ප්‍රොඩියුසර් මහත්තැන් හැටියට කොම්පැනියෙම තව පොරකුයි එකතු උනා. සංඛයා තමා අපේ නල්ලමලේ ඉන්ටර්ප්‍රිටර්.

කටුනායකට ඇවිදින් අපි පොල් රුප්පාවෙන් අහසට නැගලා කාන්තාර වැල්ලෙනුයි, ලඳු කැලැ වලිනුයි වටවෙච්ච ගොඩනැගිලි තියෙන බිමකට පාත් උනා පැය ගාණකට පස්සෙ. මේ අවස්ථාවෙ දී අපේ බාසා පරිවර්තක තැන! අපේ සංඛ ඒ ගැන විස්තරයක් කියන්න ගත්තා.

"මේ තමා මචං....... මාලි.... දැං අපි ඉන්නෙ අප්‍රිකාවේ උඩහ පැත්තෙ ටිකක් වෙස්ට්කෝස්ට් එකට බරව..."

"අනේ මේ.... කට වහගෙන ඉඳින් සංඛ. මම හොඳටම පෙඩප් වෙලා ඉන්නෙ.... ඉස්සෙල්ලා කන්ඩ තියෙන තැනකට එක්කන් පලයං, කෝ දැං උඔ කිව්ව හෝටල් බුවාලා........."

තවත් ටික වේලාවකින් අපි ඉන්න තැනට හැඩි දැඩි ඒත් මිත්‍රශීලි හිනාවක් තියෙන කලු ජාතික මහත්තුරු වගයක් ඇවිල්ලා අපිට නොසෑහෙන්ඩ ගරු බුහුමන් දැක්වූවා. ෂික්.... ගෙවල් වල මිනිස්සුයි මේවා දකින්ඩ තිබ්බෙ.

"අල්ලූකූයි බොල්ලුකූහැන්!" අර කල්ලොන්ගෙන් එක්කෙනෙන් දත් බේත් හිනාවක් දාගෙන මගේ අත්දෙකෙන් අල්ලලා ඇහැව්වා.

"මොනාලු.....?!" මම ඒ මහත්තයට හිනාවෙලා සංඛයා පැත්තට හැරුනා.

"උන් මචං අපිට ආචාර කරනවා. සාදරයෙන් පිළිගන්නවලු...."

පස්සෙ අපි හතර දෙනාම ඒ ගොල්ලන් අතින් "අල්ලුකූයි බොල්ලූකූහැන්" උනාට පස්සෙ, අපිව එලියට කැන්දන් ගිහින් ඩිෆෙන්ඩර් එකක පටෝගෙන එයාපෝට් බිමෙන් එලියට ඇවිදින් පාරේ දූවිලි අවුස්සගෙන ඈතට ඈත‍ට ඈතට ම ගිහිල්ලා එහෙ තිබුනු හෝටලේකට වැදුනා.

හෝ‍ටලේ කාමර වෙන් කරගෙන, නිවී හැනහිල්ලෙ ඉන්ඩ එලියට ආපුවාම ඔන්න ආයි අර අපිව බාරව ඉන්න කලු මහත්තුරු දත්‍ බේත් හිනාව දාගෙන ආවා හෝටලේ වේටර් ගැල්ලමයත් එක්කලා. ඒ ළමයා අපිට දුන්නා හරිම රස බීමක් මහන්සි නිවෙන්ඩ බොන්ඩ කියලා.

අපිට දුන්නූ බීම ජාතිය මීට කලින් කවදාවත් මම බීලා නෑ. ඒක පැණි රහයි. නෙක්ටෝ රහද මන්දා? ඒක හරියට තද දුඹුරු පාට එකක්. ඒක සීත කරලා තියන්නෙ......! මේ කාස්ටක අව්වෙ තැම්බී තැම්බී ඉඳලා ඒකෙන් උගුරක් බිව්ව හැටියෙ එකපාරම කන් දෙකෙන් මීදුමක් පිටවෙනවා.

"මේ සංඛයා...අහපං මුගෙන් මේ බීම ජාතිය මොකද්ද කියලා......" මම සංඛයට කිව්වා. පොරට බෑ කියන්ඩ බෑ. ඇයි එයා ඇවිල්ලා අපේ ඉන්ටප්‍රිටර් නොවැ.

"මචං මේක ඔටුවන්ටත් දෙන ජාතියෙ බීමක්ලු....!"

"මොකක්.......චීයා බං! අහපං ඌට අපිව පේන්නෙ ඔටුවො වගේද කියලා...."

"හෙහ්...... නෑ... උන්ට ඉන්න වටිනාම සතා ඔටුවලු... ඉතිං උන් හිතන්නෙ රටට එන අමුත්තෝ ඔටුවො කියලලු...."

"නෑ......ඒ කියන්නෙ අපි ඔටුවෝ......!"

පස්සෙ අපේ සංඛයා ඇහැව්වා ඒ මහත්තුරුන්ගෙන් වාර්තා චිත්‍රපටිය හදන්න පටන්ගන්න අපිට සහයෝගය දෙන්නෙ කවදද කියලා. ඒගොල්ල කුටු කුටු ගාලා මොනවද කතා කරලා අපිට කිව්වා "මෙහෙට එන සංචාරකයින්ට රට තොට බලලා මහන්සි වෙන්න දෙයක් නෑ, අපි මුලු රටේ ම සංවර්ධන ගැන වීඩියෝ එකක් හදලා තියෙන්නෙ ඒක බලන්න" කියලා. ඕන්නම් මෙහෙ ඉන්න දවස් ගානෙම මේ හෝටලේම ඉඳලා කැමතිනම් එලියට පහලියට බැහැලා "පොඩි ෆන්" එකකුත් ගන්ඩ කියලා. ඒ මදිවට ඒ ගොල්ල කියනවා යද්දි අපිට බලන්න දෙන වීඩියෝ එකේ කොපියක් දෙන්නම්ලු, අපි බොරුවට කැමරා උස්සන් කට්ට කන්න ඕනි නැහැලු.

ඉතිං අපි මූනෙන් මූණ බලාගත්තා.

පහුවදා උදේ ඒගොල්ල අපිව පොඩි පහේ චිත්‍රපටි ශාලාවකට අරගෙන ගිහිල්ලා අර විඩියෝ එක දිගඇරියා. ඒ අතරතුර කලු පොර මැදින් පැනලා විස්තර කරනවා. මහ වදේ. හරියට ගෙදර සාලේ ටීවී බලනවා වගේ.

හරියටම කිව්වොත් ඒක වෙන්නෙ මෙහෙමයි.

මුලින්ම තිරේ ඒ ගොල්ලන්ගෙ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් ගැන විස්තරයක් යනවා. එතකොට පොර එලෝ මෙලෝ නැතුව ඒ ගොල්ලගේ බාසාවෙන් ඒක විස්තර කරනවා අපේ සංඛයට. පස්සෙ සංඛයා නේද අතිනුත් එක්ක දාලා ඒක අපිට විස්තර කරනවා. මොකෝ අපිට තේරෙන එකක් යෑ.

කොහොමහරි මෑන් කිව්ව විදිහට මේ රට වෙන්ඩ ඕන අප්‍රිකාවේ සංවර්ධිතම රට. ඇයි පොර කිව්වනේ මෙහෙ දළ දේශීය නිශ්පාදනෙ මෙච්චරයිලු, දළ දේශිය ආදායම මෙච්චරයිලු, ඒක පුද්ගල ආදායම මේන්න මෙච්චරයිලු, ඒ විතරක් නෙමෙයිලු, ගම්මාන වලට කාන්තාර වලින් එන වැලි කුණාටු වලක්කන්න චීනෙන් බඩු අරන් වේල්ලක් හැදුවලු, දැන් වැලි වේල්ල නිසා වැලි කුණාටු ගම්මාන වලට එන්නැලු. කෙලින්ම එක තැනකට එක්කහු උනාම මෙහෙම කරලා අරගෙන යනවලු, පස්සේ ඒ වැලි මිරිකලා වතුර ගන්නවලු. හැබැයි ඒ කර්මාන්ත ශාලාව නම් මේ දවස් වල ටිකක් අප්සට්ලු. මොකද ශක්‍යතා මෙව්වා එකේ අවුලක් ගිහිල්ලා ඒක හදලා තියෙන්නෙ ගලක් උඩලු. හැබැයි රටේ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ අන්තිම හොඳලු. ගෙවල් මෙහෙමලු, ඉස්පිරිතාල මහෙමලු, රජයේ ආයතන වලට යන මිනිස්සුන්ට සලකන්නෙ මෙහෙමලු. වැරදි පැත්තෙ ඔටුවා පාක් කලොත් කාටත් දඩ කොල ලියනවලු සිවිල් බලේ බලන්නෙ නැතුව. හොඳම දේ ඒක නෙමේලු. රටේ නායකයින් කිසිම කෙනෙක් රටින් ගෙන්නන පොරින් ඔටුවෝ යූස් කරන්නෑලු, ගමන් බිමන් ඔක්කොම වගේ යන්නෙ සාමාන්‍ය ජනයාගේ කරපිටින්ලු, මේවා නිකං ආවට ගියාට කියන්නෑලු, මහ බැංකු වාර්තාවෙනුත් ඒක කියවෙනවලු, අරවලු මෙව්වලු.

වීඩියෝ එක ඉවර උනාම පොර අපේ දිහා බැලුවේ ලෝඩ් පකිර් වගේ හෙනට හිත‍ට අරගෙන. මට නේද හොඳටම කේන්ති ගියා.

"මේවා මොනාද? අපේ රටේ පාරවල් වල බත් දාගෙන කෑවැකි...... අනිත් දේවල් ගැන කියන්ඩ ඕනි නෑනේ....අනික මෙච්චර දියුණුවක් කොහොමද එකපාරට! අපි දන්න හැටියට මේ රට ‍ගෝත්‍ර මෙව්වා‍ එක ඔලුව උඩ තියාගෙන ඉන්න රටක්නෙ....."  මමත් ඇරියේ නෑ. සංඛයත් ඒක අරගොල්ලන්ගෙ බාසාවට මෙහෙම කරද්දි හරෝලා කිව්වා.

ඒකට තියුණු බැල්මක් දාපු කලු බුවා මගේ පිටට තට්ටුවක් දාලා නෝන්ඩි හිනාවකුත් එක්ක මෙහෙම කිව්වා,

"ලෝකෙන්ම අපේ ජාතිය ඉන්නෙ මෙහෙ විතරයි. අපි ගැන අපි බලාගන්න ඕනේ. අනිත් අයට වගේ අපි ගැන බලන්න වෙන කව්රුත් අපිට නෑ. මෙහෙන් අපිට යන්න උනොත් අපිට ඉන්න වෙන බිමක් නෑ. ඒක ගෝත්‍ර මෙව්වා එකද?" මිනිහා මගෙන් ඇහැව්වෙ එහෙමලු.

"අපි නෙමේ ඕවා කියන්නෙ.... ඕගොල්ලන්ගෙම අයනෙ.....?" මම වහාම නිවැරදිකාරයා උනා.

"මේ ගිලෙන නැවෙන් සශ්‍රීක නැවකට අතරමග දී ගොඩ වෙච්ච සමහරු ඔය වගේ කතා කියලා මේ නැවට පයින් අනිනවා තමා, ඒක අද විලාසිතවනේ...... " කලු බුවා කිව්ව දේ සංඛයා මට පැහැදිලි කලා.

ටිකකින් ආයිත් අර මුලින් බීපු බීම වඩියක් ආවා. ඒක බිබී ටිකක් වෙලා කතා කරකර හිටපු එයාලා හෙට හමුවෙන බලාපොරොත්තුවෙන් නික්ම ගියා.

පහුවදා වේවේකී දවස.

ඒත් අපි කල්පනා කලා මේක අස්සට වැදිලා ඉන්නෙ නැතුව රටතොට ඩිංගක් බලා කියාගෙන එන්න. කොහොමහරි හෝටලේ ඩිෆෙන්ඩර් එකක් කතා කරගෙන අපි ගියා මාලි රටේ, අපි හිටපු මොප්ටි නුවර සංචාරෙට. අපි යද්දි අර ඔටු බීම කේස් දෙක තුනක් ජීප්පුවට දාගෙන ගියා. මගදී අව්වට හෙම්බත් උනාම බොන්න.

ඔන්න දැනුයි හරි විදිහට කතාව පටන් ගන්න යන්නෙ. මෙච්චර වෙලා ඕගොල්ල කියෙව්වෙ පූර්විකාව.

ඉතින් ඔහොම යන අතරතුරදි නේ අර අරුම පුදුම මෑන්ස් අපිට හම්බ උනේ. අපි ඩිෆෙන්ඩර් එකේ ගම්මානෙට වැදිලා මෙහේ ඇත්ත තොරතුරු ටිකක් හොයාගන්න අපිට කැපෙන පුද්ගලයෙක් හොයමින් හිටියෙ. අන්න ඒ වෙලාවේ තමා ටිකක් වයසින් වැඩි ප්‍රියමනාප පුද්ගලයෙක් ඒගොල්ලන්ගේ ජාතියට හුරු දත්බේත් හිනාව දාගෙන අපි ඉන්න පැත්තට ආවේ. මේ ඉන්නෙ එයා.


ඉතින් මෑන්ස් එක්ක එකතු වෙලා අපි මුලු නගරෙම සංචාරය කරන්න  පටන් ගත්තා. දවල් වෙද්දි ඉරව්ව හන්දා අපේ ඇගේ ජලවාෂ්ප ප්‍රමාණය පහලට වැටිලා තිබහ ගතිය වැඩි වුනා. අපි අර ඔටු බීම එක අරගෙන බොන්න ගත්තා.


ඒ විතරක් යෑ. අපි අර මෑන්ස්ටත් එකක් දික් කලා. එතන දී තමා වැඩේ පත්තු උනේ.

බීම එක දික් කරද්දි මිනිහා සංඛයට මොනවදෝ කිව්වා.

"ඇයි පොර මොකෝ කියන්නෙ........"

"පොරට මේක එපාලු. පොර නොකානොබී ඉන්න පටන් අරගෙන දැනට අවුරුදු විසිදෙකක්ලු....."

"මොනවා...... නොකානොබී අවුරුදු විසිදෙකක්........." අපේ ප්‍රඩියුසර් උන්දෑ එහෙම්ම ජීප් එකට හේතතු උනා. එයා විතරක් නෙමේ මටත් එකපාරට මෙව්වා වෙලා ගියා.

බෑලු බැල්මට මිනිහගේ ලොකු දරිද්‍රතා ලුක් එකකුත් නෑ. මම ආය කන්ෆෝම් කරගන්න අදහසින් වැඩි විස්තර අහන්න කියලා සංඛයට අණකලා.

"මල්ලුකුං විල්ලුකුතරක් නෙල්ලුකුමෙයි. තල්ලුකුව ඉල්ලුකුන්නවා නොල්ලුකුකා නොල්ලුකුබී....."

"මොනාලු.....!"

"මූ විතරක් නෙමෙයිලු.... තව ඉන්නවලු නොකානොබී ඉන්න පටන් ගත්තු අය සෙට් එකක් ම... සමහරු අවුරුදු තිහක් විතර නොකානොබී ඉන්නවලු......."

"නෑ...................." ඒක ඇහැව්වා විතරයි මගේ ගලනාලේ හිරවෙලා, පිත්තාසේ ගල්වෙලා, අන්නසෝත්‍රය කූඩා වෙලා, අක්මාව හීං වෙලා, ප්ලීහාව අවනත වෙලා, මහබඩවැල සලිත වෙලා, උන්ඩුකපුඡ්චය පරළවෙලා හෝස් ගාලා හුස්මක් උඩට ඇදිලා කලන්තෙට වගේ ආවා. ඒත් මං ඒක කාටවත් පෙන්නුවෙ නෑ. රටේ ගෞරවේ වටිනවනේ ඔක්කොටම වඩා.

"ඈ...... බං... එතකොට අපේ එවුන්ට තමා දෙදාස් පන්සීයකිනුත් කාලා ඉන්ඩ බැරී.... "

"ඒක තමා..... පොඩ්ඩක් හිටපංකො මම තව විස්තර අහගන්ඩ............"

ඒ පාර අර මෑන්ස් අපේ සංඛයට හෙන දේසනාවක් පටන් ගත්තා. අර අපී බිබී හිටපු බෝතලේටත් ඇගිල්ල දික් කර කර. මට කිසි දෙයක් තේරුම් ගන්ඩ බැරි උනා. හැබැයි මම එවෙලෙම අපේ ප්‍රඩියුසර් බුවා ව කැමති කරගත්තා මේ විස්තර අපේ රටේ පතල කරලා අහුවෙන්ඩ එපා කියලා. මේක එහෙ ගිහිං කිව්වම දෙදාස් පන්සීයත් වැඩියි කියලා එක මඟුලක් කරයි.

පස්සෙ වැඩි විස්තර කතා කරගෙන අර මෑන්ස් ඒගොල්ලන්ගේ බාසාවෙන් හොඳටම හිනා උනා. අපේ සංඛයත් සිංහලෙන් විරිත්තුවා.

"මොකද බං.... අපිටත් කියකො........."

"මේකයි සීන්ස් එක. පොරට සීනි අමාරුවලු. කාලෙකට කලින් මෙහෙට වෙන රටකින් ආවලු බහුජාතික බීම ජාතියක්. ඒකේ හෙනට සීනි හන්දා සීනි අමාරු කාරයෝ ඒ බීම බොන එක නතර කලාලු. ඒ විදිහට මෙයත් ඒක බොන එක නතර කලාලු, තවත් කට්ටිය නතර කලාලු......."

"ඉතිං......"

"ඉතිං ඒ බීම ජාතිය තමයි ලු මේ. මේකෙ නම "නොකා"ලු. අපෙත් තියෙන්නෙ අරවයි මෙව්වයි කිය කිය වයිවාරන්න බීම ජාති........."

"ඉතිං....."

"ඉතිං පොර නොබී ඉඳලා තියෙන්නෙ මේ "නොකා" බං. එච්චරයි..... කෑම බීම වෙලාවට ගන්නවලු...... නැත්තං ගෑස් අමාරුව වැඩි වෙන හින්දා..... අනික පොරගෙ සීනි අමාරුව හන්දා පොරගෙ ඇග බලාගෙන ඉද්දි වැටුනලු. ඒකාලේ පොරට හෙන ඇගක් තිබුනලු. මේ තියෙන්නෙ පොරගෙ තරුණ කාලේ පින්තූරයක්ලු." ඔහොම කියලා සංඛයා අපිට පොටෝ එකක් පෙන්නුවා. ඔය මම උඩින් දැම්මේ ඒක.

ඔන්න ඔය හින්දයි මට දවස් ගානක් යනකල් බ්ලොග් ලියුමක් දාන්න බැරි උනේ. දැන් ඉතින් ආයිමත් සුපුරුදු වැඩසටහන් යයි. රැදී සිටින්න අප සමගම.....!

......................................
- මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
අර අපිව බාරව හිටපු මෑන්ස් කිව්ව ආකාරයට සංවර්ධනයේ ගැට්ටෙ තියෙන මොප්ටි නුවර පින්තූරයි මේ තියෙන්නෙ. මේ ටික දැම්මෙ නැත්තම් සංඛයා මා එක්කලා තරහ වෙයි.


මොප්ටි තියෙන තැන.

සංවර්ධන නිසා රැකියා සුලභ වී ඇත.
වැලි මිරිකා වතුර ගන්න කර්මාන්තශාලාව ගලක් මත ඉදිකර ඇති නිසා තාවකාලිකව මෙසේ වතුර සොයා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත.

සුන්දර තාරුණ්‍යය
දිරිය වනිතාවන්
පැරණි තාක්ෂණයට ඉදිකල නවීන නිවසක අනාගත හිමිකරුවන්-  ඇතුලත ඒසී කර ඇත.
නිවසක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. බලන්න ඔවුන්ගේ බලාපොරොත්තුවේ දෑස් (සොරි!! දෑස් පේන්නෙ නෑ නේද?)
සැබෑ නිරුවත
‍කොල්ලගේ තරමට නෙමේ වැඩ -  ටොපියේ තරම දැක්කද?
කුක්කු බොන දිරිය දරුවෙක්
විනෝද සවාරියක් ඇවිදින් වගේ!
මොකද හිතෙන්නෙ ?

පසුව එක් කරන ලද මෙම පින්තූරු තරු මහතාගේ "ඔබගේ මනරම් පින්තූර අතර තිබූ සරුවට වැඩුනු ගස් ලබුගෙඩි ගැන තව පැහැදිලි කිරීම් අවශ්‍යයි'' යන කමෙන්ටුව හා යාවේ.

පිටත් වෙන්ඩ සැරසෙමින්...
පැරණි ක්‍රමයට වැලි මිරිකා වතුර ගන්නා ගැමි ලඳුන්.
ඈ.... කා එක්කද මේ අම්මා හිනාවෙන්නෙ! (තරු මහතාගේ අවධානය පිණිසයි)
නොපිට (තරු මහතාගේ අවධානය පිණිසයි)

ප.ප.ලි -
අප්‍රියෙල් 20 ට පස්සෙ දාන පළමු ලිපිය මේක. ඒක හන්දා කියන්ඩ දේවල් ගොඩයි. මේ ඒවා,
01. Facebook ගෘප් එකක් හැදුවා සයිබර් යායට. කැමති අය එකතු වෙන්ඩ. හැබැයි කොන්දේසි තියෙනවා. මේ වෙද්දි ඒකට ඇවිල්ලා තියෙන නසරානි කට්ටිය වගේ ඕගොල්ල නං දග වැඩ කරන්න එපා.
02.මේ යන්නෙ යූරෝ දෙකේ වීරයාගේ කතාවල අන්තිම ටික. දැන් Coming Soon තත්වයේ තියෙන්නෙ නව ආරකට ලියැවුනු "කෙහෙල්කොටුවේ චූටි මහත්තය"ගේ කතා.
03. එච්චරයි. ගිය සෙනසුරාදා පෝය නිසා දාන්න බැරි වුනු කාටුන් එක ඊලගට බලාපොරොත්තු වෙන්න.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...