2010/07/16

හෙලෝ ෆ්ලයිට් !

සිත්තර ඇඳිලි, පොටෝ ගැහිලි අස්සෙ අලුතෙන් පටන්ගත්තු මේ බ්ලොග් කෙරුවාවටත් දැන් මාස හය හතක් වෙනවා. ඒ හින්ද මොනිටරේ දිහා බලාගෙන ඉන්න කාලේ තවත් වැඩි උනා. ඇස් වලට අපල කාලයක්ද කොහෙද?

උදේම නැගිටලා ගෙදර මැසිමෙන් මේල් චෙක් කරනවා. පස්සෙ කෙලින්ම කතන්දරගෙ ගෙවල් පැත්තෙ. එතනිත් මගේ සයිබර් යායට නිකමට හරි පාර වැරදිලා ගොඩවැදිච්ච කෙනෙක් ලියපු මොකක් හරි පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලාද බලනවා.

ඊට පස්සෙ රස්සාව කරන තැන උදේ 9 හවස 6 වෙනකං මැසිම ගාව.

ආයේ ගෙදර ඈවිල්ලා 7.30 විතර මැසිම ගාව 10.30 විතර වෙනකං.

තත්වය මෙසේ තිබුනත් බ්ලොග් කෙරුවාව කොහොම නවත්තන්නද? මෙ බ්ලොග් කෙරුවාව හින්දා මට අලුතෙන් හම්බවෙච්ච දේවල් එහෙමත් ගොඩක් තියෙනවානේ!

ඒක හින්දා මගේ යාවජීව සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි, එහෙම නොවෙන සාමාජිකයොයි හැරුනම තවත් සාමාජිකයින් සිටීනම් ඒ අයටයි, කියවන්න අදත් කතාවක් දාන්නයි යන්නෙ.

පොඩි කතන්දරයක් කිව්වට පොඩිමත් නෑ ඉතිං දන්නවනේ මගේ කතා!

හමුදාවෙ ඉන්න කාලේ අපිව හදුන්වාදෙන්නෙ අපේ නිල අංකයෙන්. මුලින්ම අංකේ. ඊට පස්සෙ නිලය, ඊට පස්සෙ නමේ අන්තිම කෑල්ල. ඊට පස්සෙ වාසගමේ අකුරු ටික.

උදාහරණයක් විදිහට අපි කෑම්ප් එකේදි කෝල් එකකට ආන්සර් කරන්න ෆෝන් එක ගත්තා කියමුකෝ. එතකොට අපි ෆෝන් එක අරං,

''ගුඩ් මෝනින් සර්, 0102458, එල්. ඒ.සී. රංජිත් ඒ.සී, '' කියනවා.

ඕවා නැතුව නිකම්ම,

''හලෝ'' කියලා දැම්මොත්,

''ඈයි උඔලට ඉස්සරහට පස්සට මුකුත් නැද්ද?'' කියලා එහා පැත්තෙන් දෙනවා අම්බානක.

මේක මගේ යාලුවෙක් කිව්ව කතාවක්. මේක හොඳයි, මගේ කතාවෙ පෙරවදනට, ​මේකෙන් තෙරුම්ගන්ට පුලුවන් වෙයි කොහොමද හරිහමන් විදිහට කොල් එකකට ආන්සර් කරන්නෙ කියලා.

පෙරවදන මෙහෙමයි, අපේ යාලුවාගේ ගැණු දරුවත් වැඩකලේ හමුදාවෙමයි. එක දවසක් ඒ ගැනුදරුවගේ බිලට් (නිවස්නයට) එකට කොල් එකක් ආවලු. ගැණු දරුවා ෆෝන් එක අරං,

'' හෙලෝ, ආකාසෙ තාරුකා එල්ලේ'' කිව්වලු.

ඔතන ආකාසෙ කියන්නෙ ආධුනික කාන්තා සෙබළ කියන එකයි. තාරුකා කියන්නෙ නම. එල්. ඒ. කියන්නෙ වාසගම. දැන් තේරෙනවා නේ සහසුද්දෙන්ම හමුදාවෙ කොල් ගන්න හැටි.

පෙරවදන ඉවරයි.

මෙන්න හොඳ හරිය. මේක මමයි මගේ යාලුවොයි හමුදාවේ දි ෆෝන් එකෙන් කොල් එකක් ගත්තු හැටි කියෙවෙන ​​ෛඑතිහාසික කතාවක්.

සයිබර් යායේ මුල ඉදල හිටපු අය දන්නවා ඇතිනෙ මම ගුවන් හමුදාවෙ සේවය කොලා කියලා. මම ගියේ ක්‍රීඩා කරන්ඩ. විනය හොඳ කම නිසා අපිට කෝස් එකකතුත් කරන්ට උනා. එහෙදි මී සෙවන්ටීන් එක ඔලුවට කඩා වැටිච්ච හැටිත් දන්නවනෙ. ඇයි නිවාඩු යන්න ගිහිං විනය කාර්යාලේ පැණි කුරුල්ලො අල්ලපු හැටි. හොඳම සිද්දිය තමා ගුවන් හමුදා නිවස්නයට ආපු සෘෂිවරයා කියපු කතාව.

අද කියන්නෙ අපි අර කරපු කෝස් එක ගැන, අපේ ඉහල නිළයක් දරණ ''ෆ්ලයිට් සාජන්'' කෙනෙක්ගෙන් ෆෝන් කෝල් එකක් අරං විස්තර අහපු හැටියි.

හමුදාවේ කෝස් එකක් කරද්දි, ඒක සිද්දවෙන්නෙ හරිම පිළිවෙලක් ඇතුව. පිටින් බලන්නෙකුට ඒකම කොලු රෑනක් වගේ පෙනුනට, මේ මුලු කෝස් එක කරන ඔක්කොමලාවම කොටස් කරනවා. ඒ එක කොටසක් හදුන්වන්නෙ ''ෆ්ලයිට්'' එකක් කියලා.

අනිත් කාරනේ තමයි, එයාපෝස් නිල තල. මුලින්ම එල්ඒසී, ඊට පස්සෙ කොප්රල්, ඊලගට සාජන්, ඊට පස්සෙ ෆ්ලයිට් සාජන්, ඔය ෆ්ලයිට් සාජන්ට අපි වගේම හැමොන කියන්නෙ ලේසියට ''ෆ්ලයිට් '' කියලා. සෙසු නිළයන්ගෙ අන්තිම රෑන්ක් එක වොරන්ට් ඔ​ෆිස.

අපි හොයා ගත්තු ඔත්තුවලට අනුව අපේ කෝස් එකෙ, අපි ඉන්න ෆ්ලයිට් එක බාරව ඉන්නෙ යකෙක්වගේ වසම වස ​''ෆ්ලයිට් සාජන් කුලතුංග'' කියලා පොරක්ලු. අපි මේක දැනගත්තු දවසෙ ඉදං හිටියෙ ලබුගම ජලාසෙ අපේ ඇඟ හරහාට දැම්මා වගේ. තනිකර ලේ ධාතුව එච්ටූඹ් වෙලා.

අපි කට්ටිය කතා වෙලා එක දවසක් ප්‍රැක්ටිස් එහෙමත් ඉවර වෙලා ඇවිල්ලා, කාලා, නාලා, කාරිය හවස දෙකට විතර කෝල් එකක් ගන්න සෙට් උනා, මේ සිද්දියේ ඇත්ත නැත්ත මිනිහගෙන්ම අහලා සැක ඇරලා දැන ගන්න.

දැං කව්ද කොල් එක ගන්නෙ. පූසගෙ කරේ සීනුව එල්ලන කේස් එක වගේ කතාකරන්න එකෙක් හොයා ගන්න බෑ.

පස්සෙ සෑහෙන සාකච්ඡාවකින් පස්සෙ ''සූරි'' කියලා අපේ කොල්ලෙක් ඉදිරිපත් උනා කියමුකෝ අර යකත් එක්ක ගනුදෙනුවට.

නැකත බලල එ​හෙම මිනිහා ෆෝන් එක උස්සලා කනේ තියා ගන්තා. අපි එහා පැත්තෙ අනිත් ෆෝන් එක උස්සලා කනේ තියාගත්තා, බැකප් දාගන්න හිතාගෙන.

මම '' සූරියා, විෂ් කරලා ගනින්. දන්නවනේ'' කියලා ලාස්ට් වෝනිං එකත් දුන්නා.

මිනිහා ''ෆිට් තමා'' කියලා මාපට ඈඟිල්ලත් උරුක් කරලා වැඩේට බැස්සා.

එහා පැත්තෙන් ෆෝන් එක ඉස්සුවා.

'' හලො, ෆ්ලයිට් සා... කුලතුංග'' කියලා මහා භයානක සද්දයක් ආවා.

අපිත් නිකං දාලා ගියා වගේ උනා.

''අම්මෝ මිනිහගේ කටේ සද්දෙ බොල'' මට හිතුනා. මම සුරියා දිහා බැලුවා.

මිනිහා ''කිරි කාපු රිලව'' වගේ වචන ලොක් කරගෙන තටමනවා.

''අහපං යකෝ'' අපි අතිං සංඥාවක් දුන්නා.

සුරියා තටමල තමටලා එක පාරටම, නමේ ඉස්සරහට පස්සට තියෙන කෑලි ඔක්කොම අමතක කරලා, කොටිම්ම නමත් අමතක කරලා, අහපි මෙන්න මෙහෙම,

''හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට්
,
ප්ලයිට්!''

ඒ පැත්තෙන් දැඩි නිහඩ බවක් පැතුරුනා.

''මොකක්...'' ඊලගට ඇහුනේ බොහොම සන්සුන් ස්වර කිහිපයක්.

''මේ....හෙලෝ ප්ලයිට්, ප්ලයිට් ද ප්ලයිට් අපේ ප්ලයිට් එකේ ප්ලයිට් ප්ලයිට්!'' මෙන්න සූරියා ආයිමත් ඒකම කියලා දැම්මා. මිනිහට පිස්සු වැහිලද මන්දා.

''මේ..... මට කරුණා..............කරලා කියපං, ඔය කතාකරන්නෙ, මයිනෙක්ද, නැත්තං මන්තරකාරයෙක්ද?'' කිසිදෙයක් එක පාරට තේරුම් ගන්න බැරුව ගිය කුලතුංග මහත්තයා කන් පැලෙන්න එහෙං ඉෂූ එක දෙනවා. ස්දදෙට අපි ඔක්කොමල ගල් උනා. මම සුරියා දිහා බැලුවා.

සූරියා රිසිවරේ තියලා ඔලුව බදාගෙන එහෙම්ම බිම ඇණ තියා ගත්තා.

අන්න ඒ විදිහටයි අපේ අමතක නොවන දුරකතන සංවාදය අවසන් උනේ.

ඔය පහල තියෙන්නෙ ඒ ​​ෛඑතිහාසික සිද්දිය විදෙස් සිත්තරා දැක්ක විදිහයි!



ගැටපද විවරණය -
කාටහරි කතාව ටියුබ් ලයිට් උනානනං මේ ටිකත් කියවන්න. හිතන්ඩකො කව්රු හරි කෙනෙකුට අපේ කතන්දරට කතා කරලා කතන්දර බ්ලොග් එක ලියන්නෙ එයාද කියලා කන්ෆෝම් කරගන්න ඕන උනා කියලා.

එතකොට ඒ කෙනා කතන්දරට කතා කරල,
''හෙලෝ කතන්දර, කතන්දරද කතන්දර, කතන්දර ලියන කතන්දර, කතන්දර'' කියලානෙ අහන්න ඕන. අන්න ඒවගේ හතර බිරි කතාවක් තමා ''සුරිය'' කුලතුංගයගෙන් ඈහැව්වෙ.

දැං ඔය ගැට පද විවරණයෙන් කතාව තේරුං ගත්තු අයට ලකුණු 50යි. අනිත් අයට 100යි.

එතකොට අදට කතාව ඉවරයි!.




...................................................................

Related Posts Plugin for WordPress, Blogger...