පොරොන්දු වෙච්ච විදිහටම පහුගිය දා කියන්න ගත්තු කතාවේ හොදම ටික දැං කියන්නයි යන්නෙ. ඕගොල්ලංට එදා කිව්වනෙ මගේ අලුත්ම සොයා ගැනීම ඔය උඩ තියෙන විදිහට කතා කරන එකයි කියලා.
මතකනේ!
කොහොමත් ඔය මගුල් ගෙදරට ගිය ගමන් මට කතාබහ කරන්න කියලා වැදගත් කවුරුත් හිටියේ නැති තැන මම තනි පංගලමේ පුටුවක් උඩට වෙලා හිටියා. ඔන්න ඔය වෙලාවෙදි තමා මේ හැමදේටම වගකියන්න ඕනෙ මොල්ලිගොඩ මට හම්බුනේ.
හරියට ගහට ගහක් මොරටුවෙදී හම්බුනා වගේ.
ඔතනදි අපි පොඩි බහින්බස් වීමකට පැටලුනා. ඒ අපේ අයියා අර අක්ක බැඳලා “දවස් දෙක තුනක් යනකං රෑට නිදා ගන්න දෙන්නැ” යි කිව්ව රහස මම මොල්ලිගොඩට එලිකරපු වෙලේ. ඕගොල්ලන්ට හිතා ගන්න බැරිනං මේ තියෙන්නෙ ඒ පින්තුරෙ. ඔක්කොටොම කලින් ඒක බලලම ඉන්නකො.
පස්සෙ අපි දෙන්නා සමාදාන වෙලා බීම කාමරේට ගියානෙ. එතෙන දී තව රහසක් එලි උනා. ඒ මොල්ලිගොඩ පන්තියෙ “එක” නෙමෙයි “තුන”යි කියලා. ඔතනදි මම මගේ අලුත්ම සොයා ගැනීම මොල්ලිගොඩට කියලා දුන්නා. මොකද ඒ වෙනකොට මිනිහා මට හොද විදිහට පේන්න අරංනෙ තිබුනේ.
ඇරත් මිනිහත් මං වගේමයි. වැඩක් පටන්ගත්තොත් ඒකෙ කෙරෝලක් දකිනකං උත්සහය නං අත්අරින්නැ.
වැඩිපුරම ඒක තේරුනේ බීම, කෝප්ප වලට දාන වෙලාවෙදි.
මිනිහා මගේ බීම විදුරුවට බීම වක්කරේ අර මහ ජෝග්ගුවලින්මයි.
බීම කොච්චර නං බිමට හැලුන කියලද, මේසෙ උඩ කොච්චර ඉහිරුනා කියලද, ඒත් මිනිහා නෙමේ උත්සහය අත්ඇරියෙ. බීම වීදුරු දෙකම පුරොනකං මිනිහා කොහොමහරි එල්ලෙ අල්ලලා විදුරු පිරෙව්වා. හරියට මේ වගේ.
ඔන්න ඕකයි එදා මම කිව්වෙ!
ඒ උනාට කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි හොඳට ගිහිල්ලා ඒක කියෝලා ආවට මට කමක්නැ.
කොහොමහරි මොල්ලිගොඩට ක්‍රමේ කියලා දුන්නට පස්සෙ උනේ මම නොහිතපු වැඩක්.
ඒක උනේ මෙහෙමයි.
මගේ ක්‍රමේ පුරුදු වෙන්න මිනිහා අම්මා, තාත්තා, බල්ලා වගේ වචන ඒ විදිහට කඩලා කිව්වා. ටිකකින් වාක්‍යත් කැඩුවා. කොහොමහරි මිනිහා ක්‍රමේ අල්ලාගත්තා. හැබැයි මම තරං හොඳට කිව්වෙ නෑ. මොකද එයා මේකට තාම අලුත්නෙ. ඇරත් මම කොහොමත් ඕන දේකට පළපුරුදු කාරයනේ.
"අයන්න, පියන්න, අපි, දැයන්න, බින්දුව, දැං යයන්න, බිංදුව, දයන්න, යංද, අපි දැන් යංද? හක් හක් හා......" මිනිහා මගේ පළවෙනි ගෝලයා උනේ එහෙමයි.
"හා...." බීම හින්දා සිමෙන්තියට ඇලිලා තිබුනු කකුල් ඇද ඇද මමත් එතනින් යන්න පිටත් උනා.
අපිට එලියට යන්න තිබුනෙ මගුල් ගෙදර සාලේ හරහා. අපි මගුල් ජෝඩුවයි තව නැදැ පිරිසකුයි පහු කරලා බිම බලාගෙන හොඳ ලමයි වගේ සාලේ තරණය කරන්න පටන් ගත්තා.
මේ වෙද්දි අයියව ගෙදරට පිලිඅරගෙන කාරිය ඉවරවෙලා මගුල් ගේ සංසුන් වෙලා තිබුනෙ. කට්ටියත් සංසුන් විදිහට තම තමන්ගෙ මේසවල කකා බිබි හිටියෙ. ඒක හින්ද සාලෙ හරහා ගමනට අපි වැඩිය බය උනේනෑ.
ඒත් උනේ වෙන දෙයක්.
"ඒයි......එයි..... කොහෙද මේ කොල්ලෝ දෙන්නා මේ පැත්තෙ හොරගල් අහුලන්නෙ....."
"කොහෙවත් නැ! මේ මොකවත් නැ පියසිරි මාමේ....." මොල්ලිගොඩට පැටලුනා.
"මෙහෙට එමු, මෙහෙට එමු......" ඒ පියසිරි මාම කියලා මොල්ලිගොඩගේ මාම කෙනෙක්, එයා අපිට කතා කලා. ඒ ගොල්ලං හිටියෙ අපේ මගුල් ජොඩුව ඉන්න හරියෙම සාලේ දමාපු මේසෙක.
එතන තව මාමාලා වගේකුයි, ඒ ගොල්ලංගේ නෝනලයි කියන්න පුලුවන් විදිහේ හෙනට මහත නැන්දලා වගේකුයි හිටියා. ඒ ඔක්කොමලා අපි දිහායි බලං හිටියෙ. මාමලා ඕනැවට වැඩිය ඇස් පිල්ලං ගහන හැටියෙනුයි, හිනාවෙන හැටියෙනුයි මං දැනගත්තා මේ ගොල්ලංට ටිකක් වෙරි විත්තිය.
"මොකවත් නැත්තං ඔය මොකද නිකං....ඇ........ මුන් දෙන්නා මොකක් හරි මගෝඩි වැඩක් කරලයි මේ එන්නෙ...... නැද්ද වයලා........" මොල්ලිගේ මාමා අර මහත නැන්දා කෙනෙක්ගෙන් ඇහැව්වා.
"කො බලමු........" මහත නැන්දා මොල්ලිව එයා ගාවට ඇදලා ගත්තා.
"කොහෙද පුතේ මෙ ළමයත් එක්කලා ගියෙ"
" නැ......... මෙයා මට අච්චු පොත පාඩං දෙන අලුත් විදිහක් කියලා දුන්නා."
"කොහොමද?"
මෙහෙමයි..... ලේසියි, දැං මටත් පුලුවං! ඒක කරන්නෙ වචන වල අකුරු කඩලයි!
"අකුරු කඩලාය කිව්වා” පියසිරි මාමගේ යාලුවෙක් ඒකට බය උනා.
"කෝ කියමු බලන්ඩ...... ඔය අකුරු කඩන ක්‍රමේ අපිටත් අල්ලගන්ඩ......."
“දැං මෙහෙමයි.... අපි හිතමු පියසිරි මාමා කියලා කියන්න ඕනැ කියලා, එතකොට අපේ ක්‍රමේ හැටියට කියන්නෙ පියන්න,යයන්න, සියන්න රියන්න පියසිරි මායන්න මායන්න මාමා, පියසිරි මාමා! අන්න එහෙමයි.” මොල්ලි අපේ "දොඩං බීම" රහස හංගන්න වෙන කතාවක් ඇදලා ගත්තා.
“හොහ් හොහ්..... මරු වචන කැඩිල්ලනේ... මගේ පුතත් දන්න දේවල් ඈ....”
ඒ කියමනෙන් මෙච්චර වෙලා හොඳට හිටපු මොල්ලිගොඩ ඉදිමුනා. පස්සෙ මිනිහා එතන හිටපු අනිත් අයගෙ නම් ගම් කඩලා කියන්න ගත්තා. නිකනුත් නෙමේ මහ හයියෙන්. ඇත්තම කියනවනං කිව්වට වැඩිය වැරැද්දුවා. ඔය සද්දෙට ඒ අහල පහල මෙසේ වල අයත් මොල්ලිගොඩ දිහා බලන්න ගත්තා. ඒ ඔක්කොමලා මොල්ලි කියන කං බය වෙලා වගේ මිනිහගේ මූන දිහා බලං ඉඳලා පස්සෙ හයියෙන් හිනා උනා.
ඒකෙන් මේකෙන් උනේ මොල්ලිගොඩට මුල අමතක වෙච්ච එකයි.
මිනිහා මගේ හොයා ගැනීම පාවිච්චි කරලා එතන "මුදුනා" උනා. මම නිකමෙක් උනා. මට හිතුනා මිනිහව පෝරුව පිටිපස්සට එක්කන් ගිහිං හොඳවයින් පාරවල් දෙක තුනක් දෙන්න. ආයෙත් ඔය වගේ දියාරු වැඩ නොකරන්න.
අනික මිනිහා වචන වරද්දන එකේ කෙරෝලකුත් පේන්න නැනේ.
"මේ ඔයා බැරි වැඩ නොකර ඉන්නවද, ඔයා මගේ ක්‍රමේ පාවිච්චි කරාට කමන්නැ. හැබැයි වරද්දලා නං අහුවෙන්න එපා... හොඳේ.!" මම කෝකටත් මිනිහට අනතුරු ඇගෙව්වා.
නෑ ඉතිං මගේ ක්‍රමේ පාවිව්වි කලාට කමන්නැ! මිනිහට තිබුනා නිකමට මගේ නම මතක් කරලා දෙන්න නේ.
ඔහොම හිත හිතා ඉන්න කොට මට කන්දෙක පැලෙන්න වගේ මහා හිනා සද්දයක් ඇහුනා. මම බලද්දි පියසිරි මාමලායි, එතන හිටපු ඔක්කොමලායි දෙකට නැමී නැමී හිනා වෙනවා. ඒ අස්සෙ එක්කෙනෙක් මගෙන් මෙහෙම ඈහැව්වා.
“ඇත්තද පුතේ මේ පුතා කියන්නෙ....”
“මොකද්ද?”
“අක්කට නිදා ගන්න දෙන්නැයි කිව්වද ඔයාලගෙ අයියා”
මම කෝකටත් සද්ද නැතුව හිටියා. මං දන්නැනේ මේක මොන අතකට පෙරලෙයිද කියලා.
එතකොට මේ කෝලං වලින් මුදුනා වෙලා හිටපු මොල්ලිගොඩ,
“කිව්වා තමා මෙයා. ඒක කියලා මම "නෑ" කිව්වම මට ගහන්නත් ආවා” කියලා තවත් ඉදිමුනා.
ඔය වගේ දේවල් වලට නං මං කොහොමත් කැමති නෑ කියලා ඕගොල්ල උනත් දන්නවනෙ. ඉතිං මමත් ඇරියේ නැ.
“ඔව් අපේ අයියා එහෙම කිව්වා තමා....... නෑ කියලද කියන්නෙ......” මමත් කියලා දැම්මා. මං කාට බයවෙන්නද? ඒ වෙලාවේ මට ගිහිල්ලා තිබුනු කේන්තියට මොල්ලිගොඩ නෙමේ, මිනිහගේ හත්මුතු පරම්පරාවම ආවත් ඔක්කොමලාව උස්සලා බිම දාන්න පුලුවන් හයියක් ඇවිල්ලායි තිබුනෙ. හැබැයි එක එක්කෙනා ආවොත්!
“ අනේ යන්ඩ ඔයා.... ඔගොල්ලංගෙ අයියා අපේ අක්කගෙ හැටි දන්නැතුවයි ඔය.....”
“මොනා දැන ගන්නද? අක්කගෙ මූණටම තමා එදා කිව්වෙ”
“කවද්ද?”
“අපි ඇඳුං ගන්ඩ ටේලර් සාප්පුවට ගිය වෙලාවෙනෙ....... ඔගොල්ලංගෙ අක්කත් ඇවිල්ලා හිටියෙ ඔයා නොදන්වට.....”
“ බුදු අම්මෝ...... මෙයා කියන පච...... අක්කා කොහෙ ගියත් මම එක්ක මිසක් තනියම යන්නැ....කවදාවත්”
“අනේ නිකං යනවා යන්ඩ පච නොගහා........එහෙනං එදා ඇවිල්ලා හිටියෙ............!”
"ආ..... එහෙනං අක්කා මොකද්ද ඇඳගෙන හිටියේ......."
"අක්කා ඇඳගෙන හිටියෙ අර ත්‍රිකෝන හැඩ තියෙන ලා පාට ගවුමක් ද කොහෙද, ඒක නං මට මතකත් නෑ.... කොහොමහරි අක්කා ඇවිල්ලා හිටියා, අක්කා මට පේර ගෙඩි බෑග් එකකතුත් දුන්නා හරිද, අපේ අයියා එහෙම කිව්වම ඕගොල්ලංගෙ මහ ලොකු අක්කා ඇඔරි ඇඔරි හිටියා ඇරෙන්න මොකවත් කලේ නෑ. අන්තිමට "ඒවා හඳේ තමා....." කියලා ද මොකද්දෝ හිමීට කිව්වා මිසක්. මට පේන්නෙ අක්කත් ඔයා වගේ ම බය ගුල්ලෙක්ද කොහෙද?"
“ඒයි පචයා මං තමුසෙට......"
කියාගෙන මිනිහා මට ගහන්න ඇඟට පැන්නා. එතකොටම මෙච්චර වෙලා අපේ ගෝරිය නවත්තන්න කිසි උනන්දුවක් නැතිව, ඒකට "බක බක" ගගා ගෙම්බෝ වගේ හිනාවෙවී හිටපු නැන්දලා මාමලාගෙන් කෙනක් මිනිහව අල්ලාගත්තා.
“ආ... හරි හරි... අපි එහෙනං ඒ ගොල්ලංගෙන්ම මේක අහමුකො” වෙරිවෙච්ච මාමලා, නැන්දලයි අපිවයි අරං අක්කයි, අයියයි ඉන්න තැනට ගියෙ කැකිරි පල පලා. සමහර නැන්දලා මේ සිද්දියට කෙලින්ම සම්බන්ධ නෑ කියලා පෙන්නන්න පිටිපස්සට වෙලා බෙලි දික්කරං සාරි පොටවල් වලින් කටවල් තද කරං හිටියා.
“ඇත්තද පුතේ මේ කියන්නෙ........." වෙරි මාමලාගෙන් එක්කෙනෙක් හිනා වෙවී ඇහැව්වා.
"මොකද්ද " ඒ අපේ සංජීව අයියා.
"මේ අපේ දුවට නිදා ගන්න දෙන්නැ කිව්වා කියන්නෙ"
“කව්ද කිව්වෙ?” මෙන්න අයියත් ඇඔරෙන්න තියා ගත්තා. අක්කා ඊට එහා. ඒ උනාට අර මාමලා ටිකයි, සමහර තරුණ නැන්දලා වගේකුයි හිකි හිකි ගගා කැකිරි පලන්න තියා ගත්තා.
"කියන්න, අල්වයන්න, වේයන්න, කිව්වේ, මයන්න, මයන්න, අල්යයන්න, මමයි, කිව්වෙ මමයි!" මගේ ක්‍රමේන්ම එක හුස්මට මම කියලා දැම්මා. අන්න එතකොට තේරෙන්න ඇති මොල්ලිගොඩගේ නෑයන්ට මමත් නිකමෙක් නෙමේ ය කියලා. ඇරත් මම අයියගේ නම්බුව ගැන හිතන්නත් එපැයි.
ඒ කියමනෙන් අයියත් ගැස්සිලා ගියා.
"ආ........ එදා මම නිකමට කිව්වා තමා..." මිනිහා පොඩි හිනාවක් දාලා අක්කා දිහා බලන ගමං කියලා දැම්මා.
“ඒයන්න, කයන්න, නේයන්න......., ඒකනෙ, මයන්න, මයන්න, මම, කියන්න, අල්වයන්න, වේයන්න, කිව්වෙ, ඒකනෙ මම කිව්වෙ....” යාන්තං මං සැනසිල්ලෙ හුස්මක් ගත්තා.
මම විශේෂයෙන් ඒක ඔය විදිහට කිව්වෙ මට ඕනැම අමාරු වෙලාවක උනත් ඔය මගේ ක්‍රමේට කතා කරන්න පුලුවන් ය කියලා කට්ටියට ඒත්තු ගන්නත් එක්කලාමයි.
ඒකෙන් මොල්ලිගොඩට කට උත්තර නැතිව ගියා. එයාගේ අක්කා එවෙලේ වගේම දැනුත් ඇඔරෙනවා ඇරෙන්න වෙන මුකුත් කලේ නැ.
ඇයන්න, අල්දයන්න, දයන්න, ඇද්ද, ඔයන්න, යායන්න, ටයන්න, ඔයාට, ඇද්ද ඔයාට? මම මිනිහට හිනිහට උරුක් කලා.
මේ මුලු වෙලාවෙම මාමාල නැන්දලා කලේ අපි දෙන්නට නඩුව විසඳගන්න දීලා ඒගොල්ල හිනා වෙච්ච එකයි. ඒ ගොල්ල අපි කවුරු මොනා කිව්වත් හිනා උනා ඇරෙන්න වෙන මුකුත් කලේ නෑ.
ඒ කොහොම උනත් ඇත්ත එලි උනා. ඒකෙන් මොල්ලි නිකං හුලං බැහැපු බැලුම වගේ වෙලා.
ඇයන්න, අල්තයන්න, තයන්න, දයන්න, ඇත්තද අයන්න, අල්යයන්න, යේයන්න, අය්යේ... මේයන්න, මේ, කියන්න, යයන්න, අල්නයන්න, නේයන්න, කියන්නෙ, මෙයන්න යායන්න මෙයා, ඇත්තද අයියෙ කියන්නෙ මෙයා? මොල්ලි ඇහැව්වා.
"ඔව් ඇයි ....". අයියා මොල්ලියට හිනා වෙවී කිව්වා.
ඒකෙන් මොල්ලිගෙ අන්තිම හුලං බින්දුවත් බැස්සා, ඒත් මොල්ලි තාම වැඩේ අත්ඇරලා නැති පාටයි.
"අයන්න, පේයන්න, අපේ, අයන්න, අල්කයන්න, කායන්න, අක්කා......අපේ අක්කා......"
මොල්ලි තවත් මොනාද දොඩවන්න ගත්තා. ඉතිං අපි ඔක්කොමලාම, මිනිහා දිහා බැලුවා.
“පයන්න, කයන්න ,පව්!" කිව්වා. අර මංගල සභාව මැද්දෙම.
“ඇ.............පයන්න, කයන්න, පව් යෑ මිනිහො!” මට එක පාරට කියවුනා.
ඒකනෙ මං කිව්වෙ පුලුවන් වැඩක් කරගෙන ඉන්න කියලා. පයන්න ක යන්න පව් ද හලෝ......." මං මිනිහගෙ බඩට අනින්න පැන්නා.
ඒත් කව්රු හරි එක්කෙනෙන් ඒ පාරත් මාව අල්ලා ගත්තා.
........................................
-මීට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.