කැරම් බෝඩ් එකකටයි, ඉත්තො ටිකකටයි කරන්න පුලුවන් මොනවද?
අපි කව්රුත් දන්නෙ කැරම් බෝඩ් එකකට කරන්න පුලුවන් ඒක උඩ තියෙන ඉත්තො එක්ක අපිට සෙල්ලම් කරන්න අවස්ථාව දීලා බලාගෙන ඉන්න එක විතරයි කියලා.
ඒත් කැරම් බෝඩ් එකකුයි, පුංචි ඉත්තො ටිකකුයි දවසක් මට හරි වැඩක් කලා.
ඒ මම කුරුලු හමුදාවේ හිටපු කාලේ. ඒ කාලේ අපි විවේක තියෙන හැම තිස්සෙම කලේ කැරම් ගහපු එක. නිතර දෙවෙලේ කැරම් ගහලා අපිට ඉත්තො කපන එක කජු කනවා වගේ ලේසි වෙලයි තිබුනෙ.
ඔය කාලෙදි අපි ගියා අපේ පරණ ගමට. දුරින් නෑයො වෙන ගෙදරකට උත්සවේකට. උත්සවයෙ වැඩ වලට උදව් වෙන්න හින්දා මම දවස් දෙක තුනකට කලින්ම නිවාඩු දාලා එහෙ ගියා. නෑදෑ කෙනෙක්ගෙ උත්සවයක් හින්දා අපේ නෑයොත් ගොඩක් දෙනෙක් එහෙ ඇවිල්ලා තිබුනෙ.
කොහොම හරි ලොකු ලොකු වැඩ ටික ඉවර කරලා අපි හැන්දෑවේ සතුටු සාමිච්චියෙ යෙදිලා ඉද්දි මම යෝජනාවක් කරා, “අපි කැරම් අතක්වත් ගහමුද, නිකං ඉන්න එකේ.....?“ කියලා. කිව්වට මොකද කැරම් ගහන්ඩ කව්රුත් වැඩි කැමැත්තක් නෑ.
“අපෝ බං. කැරම් අතක් ගහන්ඩ එකෙක් නැ එතකොට නේ.........?” මම ආයෙත් ඇහැව්වා.
“මොන කැරම්ද බං, අපි තුන්සිය හතරක් වත් බලමුද?”
“අනේ මේ මට බෑ.....එතකොට කැරම් ගහන්ඩ එකෙක් නෑ මාත් එක්කලා නේ.....?”
“මම එන්නං.....” ඒ කව්දෝ ගැල්ලමයෙක්. මං ගැස්සිලා ගියා.
“හා..........” මම ඒ කටහඬ ආපු ඉසව්ව හෙව්වා. ඒ අපේ නැන්දලා එක්ක ආපු නංගි කෙනෙක්. එයා අපේ නෑදෑ කෙනෙක් වෙන්ඩ බෑ. අපේ නංගිලා මල්ලිලාව මම අඳුරන්නැති එකක් යැ. මමත් එදා ගිය වෙලාවේ ඉදලා විපරම් කර කර හිටියෙ ඒ සුදුපාට හුරුබුහුටි කව්ද කියලා.
“හ්ම්....අපි නොදන්න චෙස් කිව්වලු! බෝඩ් එකට පවුඩර් ටිකක් දාලා ගනිංකො එහෙනං...!!!” මගෙ හිත කිව්වා.
ඔන්න ඔහොම තනි මම, සගයෙක් හොයාගෙන, කැරම් බෝඩ් එක ගෙනල්ලා, අඔ ගහ යට තියලා, පුටු ටික තියලා ගත්තට පස්සෙ මෙන්න කැරම් ගහන්ඩ කට්ටිය ඕසෙට. මට නං තරහත් ගියා. මම හීන හතක් මැද හිටියෙ, අඔ ගහ යට හෙවනේ, හැන්දැ කොරේ අර නැන්දලා එක්ක ආපු හුරුබුහුටිත් එක්ක තනි පංගලමේ කැරම් අතක් ගහන්ඩ. සිකේයියා මේ ගොල්ලං හිටියෙ නැත්තං මට වැඩ ටිකක් පෙන්නන්ඩ තිබ්බා නිල් කැටේට.
කොහොමහරි අපි කැරම් ගහන්ඩ පටන් ගත්තා.
මුලින්ම මමත් එක්ක කැරම් ගහන්න කැමතිවුනු ඒ හුරුබුහුටියි මායි එක පැත්තක. අනිත් පැතිවල කව්රු හිටියද මට වැඩක් ඇතැයි.
මට කැරම් බෝඩ් එක හුරු තරමටම අර හුරුබුහුටිට ඒක හුරු නෑ. එයාට තියෙන්නෙ කැරම් ගහන්න ආසාව විතරයි. ගහන්ඩ බෑ.
“ආ...... හරි නංගි....ඔයා මේ ඉත්තගේ මේ පැත්තට යාන්තං වදින්ඩ ගහන්ඩ ඩිස්ක් එක මෙතන තියලා........” ඒ මම.
“අයියෝ........හිකිස්” ඒ අර හුරුබුහුටි. එයා ඉත්තට ඉලක්කෙ ඇල්ලුවට වදින්නෙ වැරදියට. ඒත් අර විදිහට හිනාවෙනවනං අනිත් ඉත්තො ඔක්කොම අපායට කැපුවත් මම නෙමේ මොකවත් කියන්නෙ.
“ආ.... කමන්නැ කමන්නැ....... ඊලග පාර අපි ඔය ඉත්තව ගොඩ දා ගමුකො..... නංගි ගනං ගන්ඩ එපා.......හොදේ...”
ඔහොම ටික වෙලාවක් සෙල්ලං කර කර ඉඳලා, කට්ටිය නරියට කුකුල් කූඩුව බාර දීලා එක එක වැඩ වලට නැගිටලා ගියා.
දැං මමයි අර හුරුබුහුටියි, ඒ කියන්නෙ නැන්දලා එක්ක ආපු නංගියයි විතරක් කැරම් බෝඩ් එක දෙපැත්තෙ. බලන්ඩකෝ ඒකෙත් හැටි නේද! මේවා ගිහිං අරුන්ට කියද්දි උන් ඉරිසියාවේ පැලෙයි.
“කො......ඔයා කැරම් ගහමු කිව්වට ඔයාට එච්චර මෙව්වා එකක් නෑ නේද.........?” මම වචන පාවිච්චි කලෙ අන්තිම පරිස්සමට. බැරි වෙලා හරි වැරදි මෙව්වා එකක් කියවුනොත් එහෙම.
“හ්ම්.......”
“ඇයි ඔයා කැරම් ගහන්ඩ කැමති උනේ මාත් එක්ක.............”
“මං පොඩි කාලේ කැරම් ගහලා තියෙනවා අපේ තාත්තත් එක්කලා.......”
“ඉතිං.........”
ඔහොම අහද්දි මට තේරුනා මගේ දකුණු ඇහෙන් බොඳ වෙලා පේන හරියෙ මොකක් හරි සිද්දියක් සිද්ද වෙනවා කියලා. මං අර ගැල්ලමයට හොරා ඒ පැත්තට යැව්වා මගේ ඇහේ බබාව. වැඩේ හරි. මට මතක හැටියට මුලින්ම අර ලොකුවට හදලා තිබුනු තාවකාලික මුලුතැන්ගේ පැත්තතෙන් එබුනෙ රාණි නැන්දා. පස්සෙ අපේ අම්මා. ඊලඟට තාත්තා. ඔන්න දැං එබිලා බැලුවේ මේ ගැල්ලමය එක්කගෙන ඇවිල්ලා තිබුනු නැන්දලා. අපේ නංගියි අනිත් කට්ටියි එබුනේ ඊටත් පස්සෙ. මට පේන්නෙ ඒ ගොල්ලං ටිකට් නැතුව ෂෝ එක බලලා වගේ.
“මේ....අයියෙ මං ටිකක් අර පැත්තට ගිහිල්ලා එන්නං.....ලේන්සුවක් ගේන්ඩ අමතක උනා. මෙන්න අර ළමයා නැගිටලා ගියා, අන්තිමට අහපු ප්‍රශ්ණෙට උත්තරයක්වත් නොදී. එයාටත් අරගොල්ලන්ගෙ වැඩේ තේරෙන්ඩ ඇති.
නරියට කුකුල් කොටුව බාර දුන්නට, කොටුව ඇතුලට නරියා පැන්න විතරයි, මෙන්න අයිතිකාරයො කලුවරේ ලීයකින් කූරු ගානවා නරියා තාම ඇතුලෙද බලන්ඩ.
“ඔය ලීය වැනුවට කමන්නැ පුතෝ.....මගේ ඇහේ වැදුනොත්නෙ...!!!!”
ඔන්න ඊලගට උදා උනේ “එයාර් සපෝට්” ගන්න වෙලාව. ඒ කියන්නෙ කුරුලු හමුදාවෙන් උදව් ඉල්ලන වෙලාව. ගත්තා ෆෝන් එක.
“කීක්.... කීක්.... කීක්.... කීක්.... කීක්....හෙලෝ......”
“අනේ උදාව් උදාව්..... මට උදව් කරපල්ලා යකුනේ........”
“මොකෝ බං.... මේ හැන්දැවේ..... ගමේ උන් උඔට නෙලනවද... පරණ කේස් එකකට.....” ඕං බලමුකො අපේ උන් මං ගැන හිතාගෙන ඉන්න හැටි.
“පිස්සුද බං...... කෝ දෙයියට දීපං ෆෝන් එක.......උඔලත් එක්ක මේ වගේ දේවල් කතා කරලා වැඩක් ඇතැ.......”
දෙයියා ඇවිල්ලා ඔය වගේ තනි ඉරේ යන වැඩ, අල වෙන්ඩ යන වැඩ, පියෝ වැඩ වලට, නං දරාපු අපේ එකම පොර. දෙයියා සාමි කිව් දෙයක් ආය වැරදිලා එහෙම නෑ. ඉතිං මං මිනිහගෙනුත් උපදෙස් අරං වැඩේට බැස්සා කාටත් නොදැනෙන්න.
ඉදිරි දවස් දෙක තුන මට වැඩ බහුල කාල පරිඡ්චේදයක් උනා.
“අපි දිඹුල් අහුලන්ඩ යන්නෙ......” ඒ අපේ නංගි.
“යං මාත් එන්නං... දැං කව්රු කව්රු ද යන්නෙ.....?” නෑ ඉතිං යන්නෙ කව්ද, කොහෙද යන්නෙ කියලා දැන ගන්න එක කෝකටත් හොඳයිනෙ.
“අපි වැවට නාන්න යන්ඩ යන්නෙ..... චුටි මහත්තයලගේ ක්‍රිකට් ගැහිල්ල දැම්ම ඉවරවෙන්නැනේ නේද?” ඒ අපේ අම්මලා නැන්දලා.
“විකාරද......ක්‍රිකට් ගැහිල්ල යකාට ගියාවේ.....කොළඔට වඩා රස්නෙ මෙහෙනෙ.....යං යං මාත් එනවා.... දැං කව්රු කව්රු ද යන්නෙ.....?” මට ඉතිං කෙලින්ම අහතැහැකිය අර ගැල්ලමයත් එනවද කියලා.
“කොහෙද ඕගොල්ලං යන්ඩ යන්නෙ......?”
“අපි පංසල් යනවා... මේ ගොල්ලංට යන්ඩ කලින් අපේ පන්සල පෙන්නන්ඩලු.......” ඒ අර පොඩි කාලේ මාත් එක්ක කොච්චරවත් වලි අල්ලන එහා වැටේ වාසනා කෙල්ල. දැං එයා මාත් එක්කලා හෙන ෆිට්.
“දැං කව්රු කව්රු ද යන්නෙ.....?” මේ ටික දැං ඕගොල්ලන්ටත් හුරු ඇති.
“කව්රු කව්රුද.......අනේ මේ අපි දන්නවා හරිද......”
“මොනවද......” මාව ඩිග් ගාලා ගියා.
“නැනැ..... මුකුත් නෑ...... හැමෝම යනවා.... එන්ඩ ඉතිං....... මේ ඒක නෙමේ, එතකොට අර කොළඹ ගැල්ලමයිට මොකෝ වෙන්නෙ....ආ”
“පිස්සුද බං උඔට.....”
ඉතිං හවස් අතේ අපි පන්සලට ගියා.
“මේ හදලා තියෙන්නෙ පව් කරපු අයව කටු ඉඹුලෙ නග්ගන හැටි...... ඔයා දන්නවද... මේ කටු වැඩ කරන්නෙ මෝටරේකින්ලු” මං අර ගෑල්ලමයට කිට්ටු කරලා හෙමින් කිව්වා. පොඩි කාලේ ඒවා මට තාම මතකයි.
“හිකිස්...........අම්මෝ මෙයා කියන බොරු”.
“බොරු..... මං බොරු කියන එක අතඇරලා ගොඩක් කල්නෙ................“
කොහොම හරි මගේ නිවාඩුත් ඉවර වේගෙන ආවා. ඒත් මට අර ළමයට දැනෙන්ඩ මුකුත් කරකියා ගන්ඩ බැරි උනා.
යන්ඩ කලින් දා හවස, නොකියා කොම්පැනියට පින්සිද්ධ වෙන්ඩ යන්තං වැඩේ දික්ගස්ස ගන්ඩ පුලුවන් පොටක් පෑදුනා. ඒ ගැල්ලමට ඒ ගොල්ලංගෙ අම්මා රට ඉඳං ෆෝන් එකක් එවලා තිබ්බා. ඒත් ඒකෙන් එස්.එම්.එස්. යවන්ඩ බෑ කියලා මට හදලා දෙන්ඩ කිව්වා.
මමත් පැන්න ගමං ගත්තා ෆෝන් එක. මැසේජ් සෙටින්ග්ස් වලට ගිහිං සෙන්ටර් නම්බර් එක හරියට ගහලා වැඩේ ක්ලෝස් කරා. පස්සෙ හීන් සැරේ මගේ ෆෝන් එකට ගැහුවා මිස්ඩ් කෝල් එකක්.
“මොකද්ද ඒ කරේ......?”
“ඇයි! මුකුත් නෑ....”
“හොර තක්-කඩියා!”
අනේ ඒ විදිහට හොර තක්කඩියා කියනවනං මම හැමදාම උනත් හොරකං කරනවා.
ඊට පස්සෙ කොච්චර දේවල් උනාද?
මං රුපියල් හාරසීයේ කාඩ් කීයක් නං ඉවර වෙනකං කතා කරන්න ඇද්ද ටිකකට අපි හම්බවෙමු කියන්න. ඔය මං මගේම ව්‍යපෘතියකට කියලා වියදම් කරපු වැඩිම මුදල. ඒ ලෙවල් එකට හදපු ව්‍යපෘතියටත් මම උපරිම වියදම් කලේ රුපියල් හැටයි. ඒකත් පිටකොල දෙක ලැමිනේටින් කරන්ඩ.
කොහොමහරි අන්තිමේ එක දවසක් “හා” කිව්වා. එයා ඉරිදා එනවා කිව්වා මොකද්දෝ කෝස් එකකට ලියාපදිංචි වෙන්ඩ අපේ රාජධානියට. ඒ කියන්නෙ ටොරින්ටන් ක්‍රීඩාංගනේ හරියෙ තැනකට. මම කතා කරාම හවස හතරට එන්නං කිව්වා බී.එම්.අයි.සී.එච්. එක ගාවට. මම කෝල් එක කට් කරපු ගමන් ඩබල් බෙඩ් එකේ උඩට නැගලා කෑ ගහලා කිව්වා,
“හා කිව්වා යකුනේ......” කියලා.
කොල්ලො කඩි ගුල වගේ ඇවිස්සුනා. එදා ඉදං කොල්ලො මට එක එක උපදෙස් දුන්නා. ගැල්ලමයා ඉස්සරහා මුලින්ම කතා කරන්න ඕන දේවල්. ඒවා කියද්දි හඬ පාලනය කරන්න ඕනේ කොහොමද වගේ කාරණා ගැන.
කොහොමහරි ඉරිදා උනා.
මම උදේ නැගිටලා අත පත ගාලා කොට්ටෙ යට තිබ්බ මගේ ෆෝන් එක හොයාගෙන එස්. එම්. එස්. එකක් යැව්වා සිංදු කෑල්ලකුත් එක්ක මෙහෙම කියලා.
ඒකනං ඔන්න කොල්ලො කියපු දෙයක් නෙමේ. මගේම අදහසක් !
“මලක් වෙලා ඔබ පිපෙන්න - ආදරේ සුවඳ දෙන්න...
ගඟක් වගේ ඔබ ගලන්න - සෙනෙහසින් පිරී යන්න...
අද හවස ඔයා හමුවෙන්න මම බලාගෙන ඉන්නවා.........!"
දැං වත් තේරෙන්නැතැ මං කියන්ඩ හදන්නෙ මොකද්ද කියලා. ඇරත් මම ලිඛිතව මේ වෙනකං ඉල්ලිමක් කරලා තිබුනෙත් නෑනේ. ඔක්කොම ගියේ කටවචනෙට.
ඔන්න දැං හවස් වරුව ආවා.
ඉතිං මං යන්ඩ ලෑස්ති වෙද්දි, අන්න යාලුවො. ජෙල්වලින් කට්ටියක්, පොලිෂ් වලින් කට්ටියක්, කිරිං වලින් කට්ටියක්, උපදෙස් වලින් කට්ටියක්, හරියට අලුත් අවුරුදු උදාවට ලෑස්ති වෙනවා වගේ.
ඒ ඔක්කොම ඉවර වෙලා කොල්ලො ටික මට හදවතින්ම සුබ පැතුවා, “වැඩේ ගොඩ දාගෙන වරෙන්...! නැත්තං තෝ මේ පැත්ත පලාතෙ පස් පාගන්ඩ එපා.....!” කියලා.
ඉතිං මම නිදහස් මාවතේ පාවෙලා ගිහිල්ලා, පාර පැනලා බී.එම්.අයි.සී.එච්. එකට මෙහා පැත්තෙ තියෙන බුද්ධ ප්‍රතිමාවේ හෙවනැල්ල යටට වෙලා හිටිය අර නැන්දලත් එක්ක ආපු, සුදුපාට හුරුබුහුටි ගැල්ලමයා මාව හොයාගෙන එනකං.
ටිකෙන් ටික වෙලාව ගත උනා. හතර වෙද්දි මගේ ඇඟට නිකං උණ ගතියක් ඇවිල්ලා තිබුනෙ. එයා ඇවිල්ලා මොනවා කියයිද කියලා.
ඕගොල්ලම පොඩ්ඩක් හිතලා බලන්ඩකො කොහොමද ඒ අවස්ථාව කියලා.
ඔන්න ඊලග විනාඩියෙදී මට මේ ටික දවසට වැඩිපුරම හිතට වැදුනු ඒ ගැණු ළමයා වංගුවෙන් මතු උනා. මේ එන්නෙ මාව හම්බවෙන්න නේද කියලා හිතෙද්දි මගේ බඩ පපුව සීතල වෙලා ගියා. එයා මං ගාවට ආවා.
“ඇයි එන්න කිව්වෙ......” එයානං බොහොම සැහැල්ලු හිනාවකින් ඉන්නෙ. මගෙනං තුනටියට හෙණ ගහලා වගේ. හිරියක් අල්ලලා ඒක ඇඟ දිගේ දුවනවා.
“නිකං............”
මං එයා දිහා බැලුවා. මෙයා හින්දා පහුගිය සතියෙ මට හරියට නින්දකුත් නෑ. ඇස් ඇරියත්, ඇස් වැහුවත් පේන්නෙ මෙයාව. මං ගිය සතියෙම කැරම් බෝඩ් එකක් පැත්ත පලාතෙ ගියෙ නෑ. මෙයා නැති කැරම් බෝඩ් මොකදට අයියෝ! අනික සිං සිං ගාලා ඉත්තො කපපු මට, පහුගිය ටිකේ ඉත්තෙක් වලට කපනවා කියන එක කොච්චර අමාරු උනාද! පවර් ස්ටීරියන් නැති 1210 ලොරියක් හරෝනවට ඊට ලේසියි. කොහෙද ඉතිං මෙයාට තේරෙන එකක් යැ ඕවා. අනින්ඩ හිතෙනවා ටොක්කක්!
යාලුවෝ දවස් ගානක් මට පුරුදු කරපු දේවල් මේ වෙද්දි මට අමතක වෙලා තිබුනේ. මට මතක් කරලාවත් කොනක් අල්ලගන්ඩ බැරි උනා. අනික හඬ පාලනයත් බිංදුවට වැටිලා. මොකෝ ඒ වෙද්දි මගෙ උගුර කටත් එක්ක වෙලිලා තිබුනෙ.
“එහෙනං මං යන්නං..........පරක්කුත් වෙනවා.....“
“පොඩ්ඩක් ඉන්ඩකො...............”
“ඇයි.......” ඔන්න දැං නං එයත් පොඩි තිගැස්මකින් ඉන්නෙ කියලා මට තේරුනා.
“හාද.............?!” මම හරකෙක් වගේ එක පාරටම ඒ වචන ටික දමලා ගැහුවා. අරුං ටික කොහෙ හරි ඉඳලා බලාගෙන හිටිය නං මට ටොකු කාලා විසේ යනවා.
“මොනාද?”
මට තේරුණා මේ විදිහට මේ වැඩේ කරගෙන යන්න බෑ කියලා. ඉතිං මං එදා ප්‍රශ්නෙ ආය ඇහැව්වා.
“ඇයි එදා ඔයා කැරම් ගහන්ඩ කැමති උනේ මාත් එක්ක.............”
“මං පොඩි කාලේ කැරම් ගහලා තියෙනවා අපේ තාත්තත් එක්කලා.......” පරණ උත්තරේමයි.
“ඉතිං......... දැං තාත්තා කැරම් ගහන්ඩ එන්නැද්ද?”
“නෑ.....”
“ඇයි.....ඒ....?”
“තාත්තා දැං නෑ......” එයාගෙ ඇස් වලට කඳුලු ආවා.
“අනේ සොරි....... මං දන්නැනේ ඉතිං......”
“ඒකට කමන්නැ............අයියා කව්ද කියලා දන්නැතුවත් මට එකපාරට හා කියවුනේ ඒකයි......”
“ආ.......හරි ඒක අමතක කරලා දාන්ඩ. අපි මෙහෙම කරමු.......................!”
එයා කඳුලු පිහදානවා.
“ඔයා කැමති නැද්ද ජීවිතේ හැමදාම මාත් එක්ක කැරම් ගහන්ඩ........ඒ කාලේ තාත්තා එක්ක සෙල්ලං කලා වගේ......”
එයා මගේ මුණ දිහා බැලුවා. අපේ ඇස් පළවෙනි වතාවට එකට හමුඋනා. ඒ ඇස් මගේ යෝජනාවට කැමති උනා කියලා මට හිතුනා. මම අන්තිමට කිව්ව වචන ටික එයාගෙ හිතේ ඕනැවටත් වැඩිය ලොකු බලාපොරොත්තුවක් ඇතිකරලා. තත්පර ගානක් අපි ඒ විදිහට බලාගෙන හිටියා. ජීවිතේ කිසිදාක නොබිඳින්ඩ බැරි බැම්මක පදනම වැටුනෙ අන්න ඒ විදිහට.
“ඕන්නං මං ඔයාට කියලත් දෙන්නම්කෝ හරියට කැරම් ගහන්නෙ කොහොමද කියලා..........................” මම ඉත්තෙකුට ගහන විදිහට ඇඟිලි හදලා හිමීට එයාගෙ කම්මුලට තට්ටුවක් දැම්මා.
.............................
දැං ඕගොල්ලන්ට තේරෙනවනෙ. අන්න එහෙමයි කැරම් බෝඩ් එකකුයි, පුංචි ඉත්තො ටිකකුයි, හැමදාම මගේ තනිනොතනියට මා ලඟ ඉන්න, මටම කියලා හුරුබුහුටි ගැල්ලමයෙක්ව හොයලා දුන්නෙ.
................................
- මීට යුරො දෙකේ වීරයා.