2017/04/27

පත්තෑයාගේ කතන්දරය | මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.

=========================================================
නිවේදනය යි!
මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.
=========================================================

01. පත්තෑයාගේ කතන්දරය.

පහුගිය කාලේ ආණ්ඩු කරපු පක්ෂය පරාජය කරන්න විපක්ෂය ගෙනගිය ප්‍රචාරක වැඩ අතර රන් ආභරණ උකස් කරපු නෝනා මහත්තුරුන්ගේ අවධානය දිනාගන්න පොරොන්දුවකුත් තිබුනා. ඒ, ඔවුන් ප්‍රකාශ කළ වටිනාකමට අඩුවෙන් රන් ආභරණ උකස් කර තිබූ අය ට පනවා ඇති පොලී මුදල් කපා හරින බව.

ආණ්ඩු මාරුවෙන් ටික දිනකට පස්සේ මම කතා කලා අපි රන් ආභරණ උකස් කරලා තිබුනු බැංකුවට. කතා කරලා විස්තරේ ඇහැව්වා.

මෙන්න මැනේජර් නෝනා මෙහෙම කියනවා,

‘‘එහෙම කරන්න මුදල් අමාත්‍යංශයෙන් අදාල පොලී මුදල් කපලා දාන්න කියලා චක්‍රලේඛණයක් එවන්න ඕන. ඒක තාම අමාත්‍යංශයෙන් මෙහෙට මන්දු කරලා නැහැ. ඒක නිසා මහත්තයා ඕවා ගැන බල බල ඉන්නැතුව පුලුවන් ඉක්මනින් මේ බඩු ටික බේරගන්න.....“

ඔය විස්තරේ මම හාමිනේට කිව්වා.

ඒ පාර හාමිනේ කියනවා,

‘‘එහෙනං ඉතිං අපි උකස් කරලා තියෙන රත්තන් බඩු වලින් කොටහක්වත් බේරගමු නේද?“ කියලා.

මම,

 “එහෙනං එහෙමවත් කරමු“ කියලා බැංකුවට යන්න හදද්දි හාමිනේ මට කතා කළා.

"බඩු ගද්දි අර පත්තෑයා වගේ බ්‍රේස්ලට් එක මතක් කරලා අරගෙන එනවද?"

‘‘ඕක මොකද්ද?“ මම කිව්වා.

මම බැංකුවට ගිහින් මූලික වතාවත් ටික හමාර කලාම බැංකු මහත්තයා බඩු ටික මේසෙට දාලා ඇහැව්වා මහත්තයාට දැන් මොකද්ද ඕන කියලා.

මම කිව්වා,

“අපේ හාමිනේ කිව්ව පත්තෑයා වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක අරගෙන එන්න කියලා....!“

බැංකු මහත්තයා රත්තරන් බඩු ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කලා. බ්‍රේස්ලට් එක හොයලා දුන්නා.

ආන්න එතකොට එයාගෙ සහායිකාව දවල් බතට ගිහිල්ලා එතෙන්ට ආවා.

"මේ මහත්තයාගේ නෝනා කිව්වලු, පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක බේරගෙන එන්න කියලා... මම ඒක හොයලා දුන්නා..... රමණි මිස් ඉතුරු වැඩ ටික කරලා දෙන්න මේ මහත්තයට එහෙනං...... මම ලන්ච් එක අරගෙන එන්නම් ටක් ගාලා....." බැංකු මහත්තයා අර නෝනා ඉඳගන්නත් කලින් කිව්වා. 

බැංකු නෝනා ත් හා කියලා බාගයක් ඉවර වුනු වීදුරු වතුර බෝතලේ එයාගේ පුටුව ලඟින් තියලා කෑම පෙට්ටිය රාක්කෙ හැංගුවා.

බැංකු මහත්තයා,

 "එහෙනං මේක අරං යන්න පුතේ....!" කියලා කෑමට නැගිට්ටා.

මමත් ඉතුරු වැඩ අහවර කරලා ගෙදර ආවා.

ගෙදර ආ හැටියේ මම සාක්කුවෙන් ඇදලා බැංකුවේ ඉටි බෑග් එකේ ම දාගෙන ආපු බ්‍රේස්ලට් එක එයාගේ අතේ තිබ්බා.

හාමිනේ ඒක දැක්ක ගමන් මෙහෙම කිව්වා,

"ආනේ.... මේ තියෙන්නේ... ඔයා හරිය ට ම ගෙනල්ලා.....  කොච්චර කාලෙකට පස්සෙද මේක දැක්කේ?"

ඉතින් මට හරිම සතුටු හිතුනා. හාමිනේ කියපු විදිහට ම වැඩේ සිද්ද වුනු නිසා. මොකද බ්‍රේස්ලට් එකක් කවදාවත් පත්තෑයෙක් වගේ හදන්නේ නෑ.  නමුත් හාමින්ලා කියන දේ නිවැරදිව තේරුම් ගන්න අපට තියෙන්න ඕන එකම දේ ස්ථානෝචිත ප්‍රඥාව. ඒක මට හොඳම එකෙන් තියෙනවා කියලා එදා මම දැනගත්තා. ඒ නිසා හැමදේම සතුටින් අවසාන වුනා.

================================================

02. ඇත්ත කතන්දරය.

සිද්දියක් කතන්දරයක් වෙද්දි මූලික සිදුවීමට කොච්චරනම් දේවල් සිද්ද වෙන්න පුලුවන්ද?

ලෝ පතල චිත්‍රපටික් වුනත් හැදෙන්න අඩිතාලම වැටෙන්නේ සිද්ද වුනු පුංචි සිදුවීමක් නිසා වෙන්න පුලුවන්.  කලින් කිව්වා වගේ සිදුවීමක් කතාවක  ට ගොඩ නගද්දි පොඩි පොඩි වෙනස්කම් කරන්නේ හේතු ඇතුව. හේතුවක් ඇතුව කතාවක සිදුවීම් වෙනස් කළාම ඒකට පැහැදිලි අර්ථයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන්න වෙන්නේ අපි කතාවක් ඉදිරිපත් කරන අරමුණ මොකද්ද, ඉදිරිපත් කරන්නේ කා උදෙසා ද වගේ දෙවල් වෙනුවෙන්. මම ඔය ඉහලින් දක්වපු කතාව ඉදිරිපත් කරන්නේ ලෝකය තවත් ලස්සන කරන්න තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙය වන ලෝකයේ සියලුම බුද්ධිමත් සැමියන් ට. ඒක නිසා මම ඇත්ත කතාව පොඩ්ඩක් වෙනස් කලා.

මෙන්න මෙහෙම!

මම මුලින්ම බැංකුවට ගියානේ, ගිහින් ඒ වතාවත් හමාර කලාම බැංකු මහත්තයා බඩු ටික මේසෙට දාලා ඇහැව්වා මහත්තයාට දැන් මොකද්ද ඕන කියලා.

මම කිව්වා,

“අපේ හාමිනේ කිව්ව පත්තෑයා වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක අරගෙන එන්න කියලා....!“

කතාවේ තියෙන්නේ මම එහෙම කිව්වා ම බැංකු මහත්තයා රත්තරන් බඩු ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කලා. බ්‍රේස්ලට් එක හොයලා දුන්නා කියලා. ඒත් එහෙම වුනේ නෑ.

මොකද ඒ මහත්තයා රත්තරන් බඩු ටික මේසේ උඩ දිග ඇරියම එතන පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් තිබුනේ නෑ. සමාවෙන්න! හිටියේ නෑ. ඒ පාර මම ඇඹරෙනවා දැකලා උකස් මහත්තයා ඇහැව්වා,

‘‘ඇයි මහත්මයා....“ කියලා.

මම කිව්වා,

“අපේ හාමිනේ කිව්වනේ පත්තෑයා වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක අරගෙන එන්න කියලා....!“

ඒක අහලා උකස් මහත්තයාගෙ බඩේ සමනල්ලු පියාඹන්න ඇති. මොකද එහෙම එකක් එතන නෑනේ. බාග වෙලාවට එයා බැංකුවේ ආරක්ෂාව උනත් සැකය ට භාජනය කරන්න ඇති. සාමාන්‍යයෙන් උකස් බඩු බේරගන්න රාජකාරිය එහෙම ඕනාවට එපාවට කරන්නෙ නෑ. නූලට කරන්නේ. එකක් එහේ මෙහෙ වුනොත් ප්‍රශ්ණ කෝටියයිනේ!

කොහොමහරි අපි දෙන්නා වැඩි සද්ද බද්ද නැතුව සමගි සමාදානයෙන් පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් හොයා ගන්න හිතට දහිරිය ගත්තා. බැංකු මහත්තයත් මගේ තියෙන වැදගත් පෙනුම දැකලා රත්තරන් බඩු ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරලා පත්තෑයා හොයන්න ඉඩ දුන්නා. මොකෝ බැංකු මහත්තයත් බැංකු මහත්තයෙක් උනාට පිරිමියෙක්නේ. මොන සෙල්ලම් දැම්මත් අපි දෙන්නාටම බැරි උනා එතන පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් හොයාගන්න. ආන්න එතකොටයි එයාගෙ සහායිකාව දවල් බතට ගිහිල්ලා එතෙන්ට ආවේ. නැතුව බේස්ලට් එක හොයා ගත්තට පස්සේ නෙමෙයි උන්දැ සැපත් වුනේ. 

ඊට පස්සේ සිද්දවුනු සේරෝම දේවල් මම කපලා දැම්මා. මේ තියෙන්නේ ඒ කපලා දාපු ටික.

ඔය විදිහට බැංකු නෝනා කොටු සර්වියට් එකේ ඔතාපු හිස් කෑම පෙට්ටියයි, බාගයක් ඉවර කරපු වීදුරු වතුර බෝතලෙ යි අරගෙන එතෙන්ට ආවා. ඔන්න ඔය වෙලාවෙයි මගේ හිතට, හපුතලේ කන්ද අදින කොටන් ලොරියක් වගේ හිමීට හිමීට ස්ථානෝචිත ප්‍රඥාව ඇතුල් වෙන්න ගත්තේ. 

ඉතින් මම කෝකටත්,

''මහත්මයා අපි අර මිස්ගෙන් වත් උදව්වක් ගමුද?" කියලා බොහෝම ගරුසරු ඇතිව යෝජනා කලා. බැංකු මහත්තයට ඒ යෝජනාව මොන අස්වැසිල්ලක් වෙන්න ඇතිද? එයා ගත් කටට ම,

"මේ..... රමණි මිස්, මේ මහත්තයා ඇවිල්ලා ඉන්නේ, එයාගේ නෝනා ගේ බ්‍රේස්ලට් එකක් බේරගෙන යන්නලු..." කියලා අර නෝනා ඉඳගන්නත් කලින් එස්.ඕ.එස්. නිවේදනයක් නිකුත් කලා.

"ඉතින්.... දැං මොකද්ද ප්‍රස්නේ?" ඒ නෝනා බාගයක් ඉවරවුනු වීදුරු වතුර බෝතලේ එයාගේ පුටුව ලඟින් තියලා කෑම පෙට්ටිය රාක්කෙ හංගන ගමන් අපෙන් ඇහැව්වා.

ඒ අල්ලපනල්ලේ මම මැදට පැන්නා,

"මේ අපේ හාමිනේ කිව්වා මට මෙතන පත්තෑයෙක් වගේ බ්‍රේස්ලට් එකක් ඇති ඒක බේරගෙන එන්න කියලා..... වැඩේ කියන්නේ අපි දෙන්නට ම පත්තෑයෙක් වගේ එකක් පේන්න නෑනේ......!"

"ඇයි නැත්තෙ....!“ නෝනා මහ පුදුම හිතෙන කතාවක් කියාගෙන අපි ලඟට ම ආවා.

“මේ තියෙන්නේ... මේක තමා... මහත්තයා මේක අරං යන්න...." නෝනා බඩු දිහා පොඩි බැල්මක් දාලා ස්ථීරසාර තීරණයකට ආවා. අපි දෙන්නා පුදුම වුනා.

ඒ පාර මහත්තයා කිව්වේ මෙන්න මෙහෙම,

"එහෙනං මේකවත් අරං යන්න පුතේ....!"

කියපු සේරෝම දේවල් කපාගෙන ඇවිල්ලා ඊලඟ ට මම ඇතුලත් කලේ ඔය අන්තිම වාක්‍ය ය. හැබැයි මම ඔතනත් පොඩි වෙනස් කමක් කලා. මහත්තයා කිව්වේ, “මේකවත් අරං යන්න පුතේ....“ කියලා. බැංකු මහත්තයත් ඒ වෙලාවේ හොඳටෝ ම අසරණ වෙලා හිටියේ කියලා ඒ කියමනෙන් මට දැනුනා. එයාට මං ගැනත් අනුකම්පාවක් හිතෙන්න ඇති. ඉතින් මම ඒක, ‘‘මේක අරං යන්න පුතේ.....“ කියලා වෙනස් කලා. අර්ථය සුමට කරලා මුඛ්‍ය තේමාවට හානි නොවෙන්න කියලා.

ඊලඟට මම නැවත වතාවක් බ්‍රෙස්ලට් එක දිහා බැලුවා. පත්තෑයෙක් අරගෙන කකුල් උගුල්ලලා, ඔලුව කඩලා වල්ගේ කපලා බැලුවත් මේ බ්‍රෙස්ලට් එක සතා ලඟින්වත් යන්නේ නෑ.

මගේ සේරෝම බලාපොරොත්තු නැති වුනා. දැන් හාමිනේ අහන ප්‍රශ්ණ වලට මම මොනවද දෙන උත්තර. “ඔයාට ඒකවත් හොයාගන්න බැරි වුනාද?“ වගේ උත්තර නැති ප්‍රශ්ණයක් එහෙම ඇහැව්වොත්. මොකද එයාට එහෙම අහන්න සාධාරණ හේතු මෙතන තියෙනවා. ඒත් දැන් කරන්න දෙයක් නෑ. රමණි මිස්ගේ තීරණයට අපි කාටත් හිස නමන්න වුනා. අන්තිමේ මම රමණි මිස් පෙන්නපු බ්‍රේස්ලට් එක අරගෙන ගෙදර ආවා.

‘‘බ්‍රෙස්ලට් එක හොයාගන්න පුලුවන් වුනා ද?‘‘ මහන්සි ද කියලා අහලා, ඒ පිටට ම තියලා හාමිනේ මගෙන් ඇහැව්වා. ඒ වාක්‍යත් මම අයින් කළා. මොකද ඒ වාක්‍ය යෙන් ගම්‍ය වන යටි පෙළ මට එච්චර ඇල්ලුවේ නෑ. මොකද මේ කතාවෙන් කියවෙන්න ඕන ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු බුද්ධිමත් සැමියන් ගැනයි.

‘‘ඔව්. ඔයා හිතන්නේ මට ඕක හොයාගන්නත් බෑ කියලද?“ මම කෙලින් උත්තර දුන්නා. ඊලගට මම සාක්කුවෙන් ඇදලා බැංකුවේ ඉටි බෑග් එකේ දාගෙන ආපු බ්‍රේස්ලට් එක එයාගේ අතේ තිබ්බා.

"ආනේ.... මේ තියෙන්නේ... ඔයා හරිය ට ම ගෙනල්ලා.....  කොච්චර කාලෙකට පස්සෙද මේක දැක්කේ?" ඒ ටික නම් ඇත්තම ඇත්ත! ඒක නිසා ඒ කොටසින් මම කතාව ඉවර කලා.

ඔන්න දැක්ක ද ගැණු මොලේ කොතනත් වැඩ කරන්නේ එක ම තාලෙට. ඒක බැංකුව, ගෙදර, නාන තොට කියලා වෙනස් වෙන්නේ නෑ. නැත්තම් රමණි මිස්ටයි, හාමිනේටයි දෙන්නටම කොහොමද ඒ බ්‍රේස්ලට් එක පත්තෑයෙක් වගේ පේන්නේ.

කොහොමහරි ඇත්ත කතාව ඔය විදිහට ඉවර වුනා.

හරි! දැන් පොඩ්ඩක් හිතලා බලන්න. මම අර වෙලාවේ අපට බ්‍රේස්ලට් එක හොයලා දෙන්න කියලා රමණි මිස්ට යෝජනා නොකළා නම් මොකද වෙන්නේ.

ආන්න ඒකයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ.

කතාව ඉවරයි. ගන්ඩ තියෙන ආදර්ශයක් තියෙනවානම් ගන්ඩලා!

...................................................
 - යූරෝ දෙකේ වීරයා


 ================================================
වෙන වැඩ නැත්තම් බ්ලොග් වසන්තයට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ඉදිරිපත් කළ "හිනා මූණ!" බ්ලොග් ලිපිය කියවලා බලන්න.

චූටි මහත්තයා කියන්නේ මීට දශක දෙකහමාරකට විතර කලියෙන් පෘථිවිය විශාල වස්තුවක්ව නිස්කලංකව ඉර වටේ භ්‍රමණය වෙන කාලේ, ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ, ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්.

"හිනා මූණ" කතන්දරයෙන් කියවෙන්නේ කාලෙකට පස්සේ චූටි මහත්තයගේ ඉස්කෝලෙට අලුතෙන් ආපු තරුණ ඉංග්‍රිසි ගුරුතුමික් ගැනයි.
================================================

2017/04/25

බ්ලොග් අවකාශයේ අලුතින් දිදුලන තරු වලට වල්ග තරුවකින් වැඩකට නැති කතාවක්!

මේ වෙද්දි බ්ලොග් අවකාශයට අලුත් තරු පායලා. පරණ තරු සමහරකට වල්ග ඇවිල්ලා.  ඉතින් වල්ග තරු පේන්නේ කාලෙකට විතරයි නේ. මේ තමා ඒ කාලේ!

වල්ග තරුව වසන්ත කක්ෂයෙන් ඉවත් වෙන්න කලින් මෙන්න තවත් කතාවක් ගෙනාවා.

ඇත්තටම මේ කතාව බ්ලොග් වසන්තය ඡන්දය අතරතුර ඉදිරිපත් කරන එන්ටර්ටේට්මන්ට් අයිටම් එකක් වශයෙන් බාර ගන්නවා නම් මම වැඩිය කැමතියි. මොකද මේ කතාවේ ගන්න ඒ හැටි දෙයක් නෑ.

බෝඩිමේ දුරකතනය සහ අපේ මල්ලී!

ඔන්න එකෝමත් එක රටක නියම මල්ලි කෙනෙක් හිටියා. ඒ අපේ මාමාගේ පුතා. මාමාගේ පුතා ගැන වැඩි විස්තර මේ දවස් වල පායලා තියෙන වල්ග තරු හොඳට දන්නවා. අලුත් තරු වලට දැනගන්න ඕනෙ නම් මොහොතක් ඉවසන්න.

ඔය මල්ලිගේ ගමත් අපි පොඩි කාලේ හිටපු ගමමයි. අපි ගමෙන් ආවට පස්සෙයි මිනිහා ශිෂ්‍යත්වය ලිව්වේ. ශිෂ්‍යත්වේ ගොඩ දාගෙන මිනිහත් ආවා අපේ ඉස්කෝලෙට. මල්ලි නව නිර්මාණ කරන්න දක්ෂයා. මේ සිදුවීම වුනේ මල්ලි ට සාමාන්‍ය පෙල විභාගය කිට්ටු වෙලා තියෙද්දි.

මල්ලිගේ දෙමාපියෝ සාමාන්‍ය පෙල පංතියට මල්ලි පාස්වුනු හැටියේ එයාව ඉස්කෝලේ ලඟ බෝඩිමක නතර කලා. මිනිහත් එක්කලා යාලුවෝ දෙන්නෙකුත් නතර වුනා. යාළුවො හිටියත් බෝඩිමේ නැන්දාගේ නීති ගොඩකට යටවෙලා ඉදලා කට්ටියට එපා වෙලා තිබුනේ. ඒවායින් කෙලින්ම එයාලගේ ජන ජීවිතයට හානිකරන නීති අතර පහත දැක්වෙන ඒවා ප්‍රධාන වුනා.

01. රාත්‍රී දහයෙන් පස්සේ ලයිට් දල්වාගෙන සිටීම තහනම්.
02. අනවශ්‍ය යාලුවන් බෝඩිම අසලට ගෙන්වාගෙන කතා කිරීම තහනම්. (යාළුවන් වර්ග කිරීමේ සියලු බලතල බෝඩිමේ නැන්දා සතුයි. අවශ්‍ය නම් නිශේධ බලය යොදලා අවශ්‍ය යාලුවෙක් වුනත් අනවශ්‍ය කාණ්ඩයට දැමීමේ පරම බලය නැන්දා සතුයි).
03. එක එක අවශ්‍යතා වෙනුවෙන් නිතර නිතර කඩේ යාමට අවසර ඉල්ලීම තහනම්.
04. නිවසේ දුරකතනය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම්.

ඔය නීති වලිනුත් තදින් ම ක්‍රියාත්මක වුනේ දුරකතනය සම්බන්ධ නීතිය. මොකද ඒ කාලේ සී.එල්.අයි, ඩීටේල්ස් බිල් එහෙම ගන්න අමාරු  කාලේ ඔය වගේ දේවල් වල හොර අල්ලන එක ලේසි නෑ. ඉතින් බිල කීය ආවත් නැන්දට ගෙවන්න වෙනවා.

මේ බොඩිමේ මාමයි, නැන්දයි එක එක රේඩියෝ චැනල් වලට කතා කරලා සිංදු ඉල්ලගෙන අහන්න හරිම කැමතියි. නැන්දා රේඩියෝ එකට කතා කරද්දි මාමා රේඩියෝ එක උස්සගෙන වත්ත පල්ලෙහාට ගිහිං අහගෙන ඉන්නවා. මොනවා වුනත් මායියගේ කටහඬ රේඩියෝ එකේ ස්පීකරෙන් අහන්න හම්බෙන්නේ ලෝකේ ඉන්න රාළලාගෙන් කීයෙන් කී දෙනාටද?

මාමා වැඩිපුර කතා කරන්නේ සිරස ට. නැන්දානම් ලක්හඬ ට. නැන්දා ඒකට කතා කරන්නේ ගොඩක් වෙලාවට ඒ ලයින් එක බිසිවෙන්නේ නැතුව දෙතුන් පාරක් උත්සහ කරලා සජීවී ව ගීතය ඉල්ලගන්න තියෙන අවස්ථාව වැඩි හන්දා.

දැන් තමා හරි විදිහට කතාව පටන් ගන්නේ.

දවසක් නැන්දා ලක්හඬට කතා කරලා සිංදුවක් ඉල්ල ගන්න නම්බර් එක ඩයල් කලා. එතකොට ම නැන්දට මතක් වුනා එයාගේ ගීතයට එකතු කර ගන්න අයගේ නාම ලේඛණය ලියපු කොල කෑල්ල එයා ගෙනල්ලා නෑ නේද කියලා. නැන්දා ආයෙමත් කෝල් එක කට් කරලා කොළ කෑල්ල ගේන්න ගියා.

අපේ මල්ලි දන්නවනේ? මිනිහගේ විනෝදාංශය නව නිර්මාණ කිරීම. ඊට අමතරව කාලීන වැදගත් කමකින් යුතු මාතෘකා ගැන අත් පොත් හැදුවා. ඒ වෙද්දි මිනිහා මායා බන්ධන එකේ ඉන්න ආශ්කාගේ බල ඇඳුම ඇත්තටම හදන්නේ කොහොමද කියන කාරණයට පොතකින් උත්තර හොයලා තිබුනා. ඊට පස්සේ බටනලාව ගැන පොතක් කළා. ඒ බටනලාවේ උපතේ ඉඳලා ඉලෙක්ට්‍රොනික බටනලාවක් ගෙදරදී හදාගන්නේ කොහොමද කියන කාරණාව දක්වා. මේ කියන දවස් වල මිනිහා අධ්‍යනය කලේ චෙස් ක්‍රීඩාව ගැන. කොහොමහරි ඔය අල්ල පනල්ලේ අපේ මල්ලිට මතක් වුනා එයා චෙස් ක්‍රීඩාව ගැන ලියාගෙන ඇවිල්ලා බාගෙට ඉවර කරලා තිබුනු පොත සති අන්තයේ ගෙදර ගිහිල්ලා එද්දි දාලා ආවා නේද කියලා. මිනිහට තරු පෙනුනා. මොකද අද වාගේ අන්තර්ජාල අරවා මේවා ජනප්‍රිය නැති ඒ කාලේ මිනිහා කරුණු එක්කාසු කර ගත්තේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් අහලා, පුස්තකාලයේ පොත් පත්, පත්තර කියවලා. අතින් ලියපු නිසා ඒක නැතිවුනොත් නැතිවුනා. ඇයි සොෆ්ට්කොපිය ලැප් එකේ තියෙනවා කියන්නද?

ඉතින් මිනිහා දෙපාරක් හිතුවේ නෑ. කෙලින්ම බෝඩිමේ නීතිය කඩලා ගෙදරට කෝල් එකක් ගන්න තීරණය කලා. මිනිහගේ යාලුවෝ ඔත්තු බලන අතරේ කොල්ලා පැන්න ගමන් ගෙදරට ඩයල් කරලා අම්මට විස්තරේ කියලා, පොත නංගිට අහුවෙන්නෙ නැති තැනකින් තියන්න කියලා එතනින් දිරාමාර් වුනා.

ඔන්න ඔය අතරේ බෝඩිමේ නැන්දා කොලේ හොයාගෙන ආවා. ඇවිල්ලා රීඩයල් බොත්තම ඔබලා කෝල් එක ගත්තා. ඇයි ඔය මොහොතට වෙන කවුරු කෝල් කරන්නද? නැන්දගේ වෙලාවට ලයින් එක කනෙක්ට් වුනා. නැන්දටත් පුදුමයි. එකපාරින් කනෙක්ට් වුනු නිසා. ටිකකින් අනිත් පැත්තෙන් ආන්සර් කලා.

"හෙලෝ...."

"ආයුබෝවන්.... මම කතා කලේ ඕගොල්ලන්ගෙන් සිංදුවක් ඉල්ලගන්න...."

"ආයුබෝවන්, ආයුබෝවන්..... මේ බෝඩිමේ අක්කා නේද?" එහා පැත්තෙන් ඇහැව්වා.

බෝඩිමේ නැන්දට ඊට වඩා දෙයක් තියෙන්න පුලුවන්ද? නැන්දට සතුට ඉහවහා ගිහිල්ලා. මොකද රේඩියෝ වැඩසටහන් කරන අයට අසන්නන්ව, අසන්නියන්ව වෙන් කරලා මතක හිටින්නේ එහෙමත් වෙලාවට.

"ඔව්, ඔව්... මම ඔයාලාට හැමදාම කතා කරනවා. මට දෙන්න වික්ටර් රත්නායක මහත්තයගේ ඉර හඳ තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ සිංදුව......."

ඔන්න ඊට පස්සේ වෙන්න ඕනේ සජීවීව මැදිරියට සම්බන්ධ වෙනතුරු ලයින් එකේ ඉන්න එක. ඒත් සිද්ද වුනේ ඒක නෙමෙයි!

“බෝඩිමේ අක්කට වැරදිලාද කොහෙද මම අහවල් පුතාගේ අම්මා....."

ඒ එක්කම නැන්දා දුරකතනයේ රිසිවරේ තමන්ගේ මූණ ඉස්සරහට අරගෙන ඒ දිහා හොඳට බලාගෙන හිටියලු! නැන්දගේ මූණ ලැජ්ජාවෙනුයි, කෝපයෙනුයි රතු වුනාලු. මට එහෙම කිව්වේ ඔය සිද්දිය දොර රෙද්ද අස්සෙන් හොරෙන් බලාගෙන හිටපු මලයයි, එයාගේ යාලුවොයි.

තාක්ෂණික පරිණාමය නිසා බොඩිමක වුනත් දැන් කාලේ නම් මේ වගේ ප්‍රශ්ණයක් ඇතිවෙන්න බොඩිමේ අයිතිකාරයොයි, බෝඩිම්කාරයොයි වාසනා කරලා තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට රේඩියෝ නාලිකා වලත් දැන් කෝල් කරනවට වඩා කරන්නේ වයිබර්, වට්ස්ඇප්, එස්.එම්.එස් වලින් පණිවිඩය එවන්න කියන එක.

කතාව ඉවරයි! මං කිව්වේ නැද්ද මේ කතාවෙන් ගන්න ඒ හැටි දෙයක් නෑ කියලා. මම එහෙම කිව්වට මී කුණෙන් ගොඩ ගිය අයත් ඉන්න ලෝකයක් මේක.

කොහොම වුනත් මේ ලිපිය කියවපු ඔයගොල්ල බ්ලොග් අවකාශයේ පායපු අලුත් තරු නම් කරුණාකරලා ඔබේ බ්ලොග් ලිපිනය මට ලබා දෙන්න. මට පුලුවන් එතකොට වසර පුරා ඔයගොල්ලන් බ්ලොග් අවකාශයේ දිලිසෙන හැටි බලන්න.

මල්ලි ගැන වැඩි විස්තර ඕන අය, "සිංහල බ්ලොග් කරුවෙක්ද? මෙන්න කියවන විට සිංහල ලියවෙන සුපිරි මෘදුකාංගය උණු උණුවේ.....!" ලිපිය කියවලා බලන්න.

ඊලඟ දවසේ ඔබට පුලුවනි තමන්ගේ වයස මොහොතකට අමතක කරලා මල්ලි කළ නවතම සොයා ගැනීමක් ගෙදරදීම අත්හදා බලන්න.

එතෙක් (වෙන වැඩ නැත්තම්) බ්ලොග් වසන්තයට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ඉදිරිපත් කළ "හිනා මූණ!" බ්ලොග් ලිපිය කියවන්න. චූටි මහත්තයා කියන්නේ මීට දශක දෙකකට දෙක හමාරකට කලියෙන් පෘථිවිය නිස්කලංකව ඉර වටේ භ්‍රමණය වෙන කාලේ ගතවෙන කාලය ගැන වද නොවී හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළ ඒ කාලයේ ජීවත් වුනු සුවහසක් දරුවන්ගෙන් කෙනෙක්. 

ඒ ගැන දැනගන්න ඒ පැත්තේ යන ගෑණු ළමයි තිබුනොත් අම්මා හෝඳලා මැදලා දුන්නු ලේන්සුවක් අරගෙන යන්න. ඒත් අතීතයේ සුවඳ හොයන අද කාලයේ ෆිට් කොල්ලෙක් නම් අත්දෙක වන වනා ගියත් කමක් නෑ. කතාව කියවලා හොඳනම් මනාපයක් ලබා දෙන්න. ඔබට සිංහල බ්ලොග් කරුවන්ගේ කැමති ලිපි තුනකට මනාප ඉදිරිපත් කරන්න හැකියි. 

කක්ෂයෙන් මිදෙන්න පෙර සයිබර් යායෙ දී නැවත හමුවෙමු!

2017/04/21

හිනා මූණ! | බ්ලොග් වසන්තය වෙනුවෙන් චූටි මහත්තයාගේ කතාව

''මා එදා කියු දේ,
අද ඔබට මතක නැතිදෝ,
කියූ වදන් මතකේ තියාගන්න බැරිදෝ,
මේ වතාවේ පමණයි,
සමා දෙන්නේ මා නම්,
අයෙත් මතක නැති නම්,
කියන්නේ ම නෑ මයි....."

අපේ අලුත් ඉංග්‍රීසි ටීචර් ඔහොම කිය කියා හිනා මූණක් මවාගෙන ජයසිරි ගාවට කිට්ටු කලා. ජයසිරි ගල්වුනා. අපිට නං හෙන සංතෝසේ! ඒත් ඒක විඳින්න වුනේ නෑ. චාන්දනී මැද්දට පැන්නා.

"හානේ...... ටීචර් ඒ ජාතියේ සිංදුත් කියනවද?"

ඒ එක්කම තමන්ගේ තාත්තගේ කැසට් පීස් කන්ද පණ වගේ ආරක්ෂා කරන රොෂාන් කට ඇරියා.

"ඇයි ඒ ජාතියේ සිංදු කිව්වම මක් වෙනවද?"

ටීචර් ඒවා කණකට ගන්නැතුව මෙහෙම කිව්වා.

"මොකද ජයසිරි අපි දැන් කරන්නේ..... හෙටයි දවස....!" ඊලඟට ටීචර් හිනා මූණ කල්පනාවට බර මූණකට හැරෙව්වා.

ඔය අලකලංචි සේරෝම මුලින්ම ඇදිලා ආවේ මෙන්න මෙහෙමයි.

ඒ මම කෙහෙල් කොටුව පැත්තට ගාටන එක පැත්තක තියලා තැපැල් කන්තෝරුවේ බිත්ති කන්ද උඩට වෙලා පාර දිහා බලාගෙන හිටපු එක නිවාඩු දවසක උදේ! ටවුමේ ඉදලා සුදත් අයියලාගේ කොළපාට කැරවෑන් එක දූවිලි අවුස්සාගෙන වේගෙන් ආවා. වෑන් එකට සෙනග පටවලා ජනේල වලින් එළියට පනින තරමට!  ඒක ඇවිල්ලා තැපැල් කන්තෝරුව ඉස්සරහා ගැහුවා බ්රෙක් පාරක්. එකත් එකටම මයිකල් මාමාගේ බටු වෑන් එක මෙයාලා පස්සේ පන්නවා. සුදත් අයියා වෑන් එක නැවැත්තුවයි ගියර් එක මාරු කරන පමාවෙන් ලෑල්ල උඩ හිටගත්තයි. වෑන් එක ආපහු බොරලු පාරේ දූවිලි අවුස්සගෙන ඉගිල්ලුනා. ඔය දූවිල්ල මෑකීගෙන යද්දි අපි දැක්කා අපේ තැපැල් කන්තෝරුව ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ හිටගෙන ඉන්න කෙනෙක්. එයා අලුත් ම අලුත් රෙදිවලින්, අලුත් ම අලුත් මෝස්තරේකට මහපු, අලුත්ම අලුත් ඇඳුමක් ඇඳගෙන හිටියා. වෑන් එකේ දූවිල්ල එයාට කොච්චර නුහුරුද කියන්නේ දූවිල්ල මැකිලා තවත් සෑහෙන වෙලාවක් යනකල් එයා එයාගේ අලුත් ම ලේන්සුවෙන් මූණ වහගෙන හිටියා. එයා ලේන්සුවෙන් මූණ අහකට ගන්නකල් අපි බලාගෙන හිටියා. එයාගේ දෙපැත්තේ හිටියේ තරමක වයස පහේ දෙන්නෙක්. බාග වෙලාවට එයාගේ අම්මයි තාත්තයි වෙන්න ඇති. ඊලඟට එයාලා පාර පැනලා අපේ පැත්තට ආවා. එයාලා තාත්තා හම්බවෙලා බොහොම ගරුසරු ඇතිව තාත්තට කතා කලා. ටික වෙලාවක් කතා බහ කරපු එයාලා ආපහු යන්න ගියා. හැබැයි එයාලත් එක්ක තැපැල් කන්තෝරුව පැත්තට හමාපු සමන්පිච්ච මල් සුවඳ නම් හුළඟට දිය වෙලා යන්න තරමක වෙලාවක් ගත්තා.

එයාලා ගියාට පස්සේ තාත්තා අපට මෙහෙම කිව්වා,

"ඒ තමයි ඔයාලගේ ඉස්කෝලෙට අලුතින් එන ඉංග්‍රීසි ටීචර්..... එයා එයාගේ අම්මයි තාත්තයි එක්කලා ඉස්කෝලේ බලාගෙන යන්න ඇවිල්ලා..... ඊලඟ වාරේ ඉදලා ටීචර් ඔයාලට උගන්නයි...."

ඔන්න ආයෙමත් වතාවක් ඉංග්‍රීසි භාෂාවට අධිපති දේවියන් වහන්සේගේ නේත්‍ර මානෙට අපිව අහුවෙලා. ඉතින් උන්නාන්සෙට හිතිලා අපේ ඉස්කෝලෙට ඉංග්‍රීසි උගන්වන්න හැකි දේව දූතියක් එවන්න. එවලා අපට ඉංග්‍රිසී උගන්වන්න. ඒක මොනතරම් නං සතුටු දායක පුවතක් ද? ටීචර් ආවම මට පුලුවනි වෙන්ස්ඩේ කියන වචනයට එන සද්දේ අනුව අකුරු ලියන්නේ නැත්තේ ඇයි කියලා අහලා දැනගන්න! අයිලන්ඩ් කියලා ලියද්දි මුලට අයිඑස් දාන්නේ ඇයි කියලා දැනගන්න! එලිෆන්ට් කියලා ලියද්දි මැදට එච් අකුරු ඔබන්නේ ඇයි කියලා දැනගන්න! මම ඔය වගේ දේවල් ගැන නිවි හැනහිල්ලේ බිත්ති කන්ද උඩට වෙලා කල්පනා කරන්න පටන් ගන්න ගියා විතරයි ලියුම් බෙදන රණවීර මාමා තාත්තගෙයි පුතාගෙයි කතාවට අවසර නැතුවම මැද්දට පැන්නා.

''උගන්නයි උගන්නයි....... හැබැයි කී දවසකට ද දන්නේ නෑ......?"

රණවීර මාමා ඔහොම කතා කරන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව අපි හැමෝම දන්න නිසා ආයේ රණවීර මාමට උත්තර බඳින්න ගියේ නෑ. ඒක නිසා රණවීර මාමා ම අයෙමත් හැමදාම කියන කතාවේ ඉතුරු ටික ඇදලා ගත්තා.

"ආ...... තැපැල් මහත්තයා, ඔය ගුරුවරු දවසක් ඉදියි දෙකක් ඉදියි.... ඊට පස්සේ පැදුරටත් නොකියනේ මාරුව හදාගෙන මාරු වෙන්නේ... නීතියේ හැටියට එහෙම පුලුවන්ද? අපි රස්සාව අරගද්දි රටේ ඕනම පැත්තක රාජකාරී කරන්නයි අත්සන් කරන්නේ..... කියන්ඩකෝ අපිව ඕන තූත්තුකුඩියකට දාන්ඩ කියලා, අපි වතුරට දාපු බල්ලො වගේ දවසෙන් දෙකෙන් හැරිලා එයිද කියලා බලන්ඩ..... ඒකට මෙහෙට එන ගුරුවරු. මාස හතර පහක් දත කාගෙන කොහොමහරි ඉදලා අගෝස්තු නිවාඩුවෙදි පැන ගන්නවා.... තුන් වෙනි වාරෙ වෙද්දි ඉස්කෝලේ හේදිලා ගිහිල්ලා වගේ.....!"

කොහොම වුනත් අපට ඉංග්‍රීසි ටීචර් කෙනෙක් එනවා කියන ආරංචිය අලුත් එකක්. ඉතින් මම දන්නවා අලුත් ආරංචියක් ආපු හැටියේ කරන්න ඕන මොකද්ද කියලා. ඒ සුභ ආරංචිය මගෙන් පස්සේ මුලින්ම දැන ගත්තේ කුමාර. ඇයි දන්නෑ ඒක කිව්ව හැටියේ කුමාරගේ මූණ නිල් පාට වුනා. ඒත් අපි දෙන්නා එදා හවස් වෙන්න කලින් මුළු ගමම ගිණි තිබ්බා. අලුත් වාරේ ඉස්කෝලේ පටන් ගද්දි ඒක ලැව් ගින්නක් වගේ ඇවිළිලා ඉස්කෝලෙටත් පැතිරිලා.

ඔන්න ඔහොම ගමට ආපු ටීචර් තමා අපට ඉංග්‍රීසි සිංදුවක් පුරුදු කරන්න පටන් ගත්තෙ. ටීචර්ගේ නම හරියට මෝටරයක් කැරකෙන සද්දේ වගේ? නි-ර්-ම-ලී!

"හරි ඔයාලා හැමෝටම සුබ ආරංචියක් කියන්න තියෙනවා.... ඔයාලා දන්නවනේ සිංහල සාහිත්‍ය දිනේ.... ආන්න ඒ වගේ ඉංග්‍රීසි සාහිත්‍ය දිනයකුත් තියෙනවා...... දැන් මම මේ ඉස්කෝලේ ඉන්න නිසා මේ පාර අපේ ඉස්කොලෙත් ඉංග්‍රීසි සාහිත්‍ය දිනයක් තියෙනවා...... ඔයාලටත් වෙනවා සාහිත්‍ය දිනේට දෙයක් කරන්න..... ඔයාලා කරන දේවල් ඉස්කෝලෙන් විනිශ්චය කරනවා. දිනුවොත් කලාප තරගෙට යන්න සුදුසුකම් ලබනවා.....  මම හිතාගෙන ඉන්නේ මේ පංතියෙනුත් ගීතයක් ඉදිරිපත් කරන්න....... ඔයගොල්ල කැමතියි ද ඒකට?"

"ඕ.......ව්" අපි කතාවේ හරිහමන් බරක් පතලක් නොදැන ම කෑ ගැහුවා.

ඊලඟට අපට වැඩ අධික කාලයක් ආවා. ඒ ඉංග්‍රීසි සාහිත්‍ය දිනේ වෙනුවෙන් ගීතයක් පුරුදු වෙන්න.

ඒක වුනේ මෙහෙමයි.

මුලින් ම අපිට ගැලපෙන ගීතයක් හොයාගන්න වුනා. ඒකට ටීචර් යෝජනා කළ ගීත සීයක් විතර ප්‍රතික්ෂේප කරගෙන යද්දි ඔන්න ඒ දෛවෝපගත ගීතය අපට අහුවුනා. ඒ සිංදුව මොකද්ද දන්නවද? "ආන්ටි මොනිකා". 

ආන්ටි මොනිකා! එහෙම නැත්තම් මොනිකා නැන්දා. මේ ගීතයෙන් කියවෙන්නේ සුදු රටක මොනිකා කියලා නැන්දා කෙනෙක් කඩ පිලට යන සිද්දියක්. එයා කඩේ යන්නේ අපේ නැන්දලා වගේ හාල් පොතයි, පං මල්ලයි අරගෙන නෙමෙයි. එයා යන්නේ හැඩට ඇඳලා, තොප්පි දාලා. තොප්පියේ තියෙනවා පිහාටුවක්! එයා කඩේට යද්දි පිහාටුව හුලඟට වැනෙනවා. ගීතයේ මුලින්ම කියවෙන්නේ ඒ ගැන. ඊළඟට තොප්පිය. ඔය විදිහට අන්තිම වෙද්දි නැන්දත් තාලෙට පැද්දි පැද්දි බොහොම සැහැල්ලුවෙන්  කඩ පිලට යන හැටියි ගීතයෙන් විස්තර කරන්නේ.

මුල් ම කාරිය හැටියට ටීචර් කලේ අපිට ගීතයේ තේරුම කියලා දුන්නු එක. ඊලඟට ටීචර් තාලෙට ගීතය කිව්වා. ටීචර් කිව්වා මොනිකා නැන්දා පැද්දෙන තාලෙට අපිත් සිංදුව පද්දන්න ඕනය කියලා. එතකොට තමයි වේදිකාවෙන් පහළ ඉන්න නරඹන්නන්ගෙයි, විනිශ්චය මණ්ඩලෙයි අවධානයට නියම විදිහට අපිව ලක් වෙන්නේ. ටික දවසක් යන්න ඇරලා ටීචර් ගීතය කියන්න කලින් සභාවෙන් අවසර ගන්න හැටි කියලා දුන්නා. ඉතින් අපේ නිර්මලී ටීචර් නගරෙන් ආපු දේව දූතියක් වාගේ හරිම කැමැත්තෙන්, හරිම උනන්දුවෙන් අපිට ගීතය ඉගැන්වූවා.

කොහොමත් ටීචර් හැම තිස්සෙම වාගේ දෙයක් ගැන අලුත් විදිහට ම හිතුවා. ගීතය විතරක් නෙමෙයි, ඉංග්‍රීසි උගන්වද්දි වුනත් දෙයක් අපට අමාරුනම් ටීචර් අලුත්ම වැඩක් දාලා අපේ හිතට වදින විදිහට ඒක කියලා දුන්නා. ටීචර් හිටියේ හැම තිස්සෙම හිනාවෙලා. සමහර අමාරු වෙලාවට වුනත් එයා හිනාවක් මවාගෙන හරි ඉන්න උත්සහ කලා. කොච්චර වුනත් ඒ වෙලාවට නම් අපට ඒ වග පේනවා. ඉතින් ඒවගේ වෙලාවට අපි වඩාත් හොඳින් ටීචර් කියන කාරණා තේරුම් ගන්න උත්සහා කළා. ඉංග්‍රීසි විෂයේ අමාරු තැනක් ආ හැටියේ ටීචර් එයාගේ තඩි අත්මල්ලෙන් මොකක් හරි, එයාම හදාගත්තු උපකරණයක් ගත්තා. සමහර වෙලාවට ඒක කැපිටල් අකුර ලියලා තියෙන කාඩ්බෝඩ් දොරක් වෙන්න පුලුවනි. ඒ දොර අරිද්දි ඇතුලේ තිබුනේ සිම්පල් අකුර. සිම්පල් අකුර ඇති දොරත් ඇරියම අදාල අකුරෙන් පටන් ගන්න වචනයක් එක්ක පින්තූරයක් මතු වුනා! ඔය වගේ උපකරණ ගොඩක් ටීචර් එක්ක නිතර එහෙට මෙහෙට යන අත්මල්ලේ තිබුනා.  

කොහොමහරි ඔය උපදෙස් වලින් පස්සේ මුලින්ම අපට ටිචර් එක්ක ගීතය කියලා පුහුණු වෙන්න අවස්ථාව ආවා! මුලින් මුලින් තාලේ අල්ලගන්න අපිට ටීචර්ගේ කටහඩ පස්සේ පන්නන්න වුනා. හරියට හන්දිගානේ ඉඳගෙන බයිසිකල් පිටිපස්සේ බුර බුරා පන්නන හොරිකඩ බල්ලො වගේ.  ඒත් ටික දවසක් යද්දි අපට තාලේ අහුවුනා. අපි "අයි හෑව් ඇන් ආන්ටි, ඇන් ආන්ටි මොනීකා, වෙන් ෂී ගෝස් ෂොපින් වී වෝ සෙ හුලල්ලා....“ කියලා පටන් අරගෙන ගීතය කීපාරක් නං පුරුදු වුනාද කියලා අමතක වෙන තරම් වාර ගාණක් පුහුණු වුනා. අන්තිමේ අපි ගෙදර ගියත් අපිට ඒ ගීතය ඔලුව අස්සේ පිලිරැව් දුන්නා. අපි හැමෝටම ඒ ගීතය හොඳ හැටි කට පාඩම් වුනා. හැබැයි හැමෝටම කිව්වට එක්කෙනෙක් ඇර! ඒ ජයසිරි! එයාට සිංදුව පාඩම් හිටියේම නෑ. එයා කලේ බොරුවට කට හොල්ලපු එක.

අපිට හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා. ජයසිරි කියන්නේ අපේ පංතියේ ඉන්න ආරක්ෂකයෙක් කිව්වත් ඒකේ වැරැද්දක් නෑ. පංතිය ඇතුලේ මොන කෝන්තර තිබ්බත්, ඉහල පංතියකින් හරි කමක් නෑ මොකක් හරි අරියාදුවක් අපේ පංතියට ආවොත් ජයසිරි තමා පපුව ඉස්සරට දාලා වීරයෙක් වගේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඉදිරියට යන්නේ.

දවසක් දා හවසක ඉහල පංතියක ළමයින්ට අපේ පංතියේ අමතර පංතියක් තිබිලා. ඒ ළමයි අපේ පංතියේ ගෑණු ළමයින්ගේ ඩේස් වල රතු පෑනෙන් කුරුටු ගාලා. අපි ඒ වග දැනගත්තේ පහුවදා උදේ! අපි තාම පෑන් වලින් ලියන්න පටන් අරගෙනත් නැති කාලේ අපේ පංතියේ ඩෙස් වල පෑන් වලින් කුැරුටු ගාලා කිව්වම. අනික රතු පෑන් වලින්. අපට මොන නව නිංගිරාවක්ද? ජයසිරි පංතියට ආ හැටියේ ඒ ආරංචිය අපි ජයසිරිගේ කණේ තිබ්බා. මිනිහව වෙවුලන්න ගත්තා. "අපේ ඩෙස්සොල කොහොමද අනිත් පංතියේ ළමයි කුරුටු ගාන්නේ......" මිනිහා අපේ පංතියේ නිලුකාගේ ඩෙස් එකේ රතු පෑනෙන් ඇන්ද බලි කුරුටු දිහා බලාගෙන දත් මිටි කෑවා. ඒක දැකලා ගෑණු ළමයි විතරක් නෙමෙයි අපිත් ගැස්සුනා.

අපි කිව්වා,

"ඕක අල්ලා දාමු. විවේක කාලේදී බ්ලේඩ් තලයකින් ඕවා සූරලා වැඩේ ගොඩින් බේරගමු......." කියලා. ගෑණු ළමයිනුත් ඒකට එකඟ වුනා.

ඒත් ජයසිරිද ඇහැව්වේ! මිනිහා නිලූකයි, එයාගේ අගතියට පත් වෙච්ච යාළුවන්ටයි පොරොන්දු වුනා මේ සිදුවීමට අදාල සාධාරණය ඉෂ්ඨ කරන්න. ඒ එක්කම මිනිහා ගියා ඉහල පංතිය පැත්තට. අපි සේනාවත් පස්සෙන් ගියා. මිනිහා එයාගේ දකුණු අතේ මාපොට ඇගිල්ලෙන් දකුණු ඇහැ යට කහන ගමන් ඉහල පංතියෙ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වුනා. හරියට කේසර සිංහයෙක් කැනහිල් ගුබ්බෑයමකට රිංගනවා වගේ. ඒත් අපි නං දොර ගාව නතරවුනා. ඊට පස්සේ ජයසිරි මුළු පංතිය දිහාම බැලුවා. ඉහල පංතියේ ළමයි කවුරුත් ජයසිරි දිහා වපර ඇහෙන් බැලුවා.

"ඊයේ හවස අපේ පංතියේ ගෑළලමයිගේ ඩෙස්සොල කවුරු හරි රතු පෑන්ඔලින් කුරුටු ගාලා තියෙනවා..... කවුද කියන එක අපට වැදගත් නෑ...... ඉන්ටෝල් එකට කලින් එව්වා මැකිලා තිබුනේ නැත්තං අපි එන්නේ මෙහෙම නෙමෙයි....." ජයසිරි බොහොම තැන්පත් තාලෙන් පළපුරුදු වීරයෙක් වගේ සිංහ නාද කළා.

ජයසිරි සිංහනාද කළාට මොකද අපේ නං පපුව හිර වෙලා කොඳු නාරටිය හිරි වැටීගෙන ගියා. මොකද ඉහල පංතියටම ගිහිල්ලා එහෙම කිව්වම. වැරැද්ද කාගේ වුනත් ඒ අයටත් තියෙනවානේ අභිමානය කියලා එකක්. ඒ වුනාට මොකද අපි එළියට පනින්න හදන ඇස් ගෙඩි දෙක බලෙන් රඳවගෙන ඉද්දි වගේ භයානක බැල්මකින් ඉහල පංතිය දිහා බලාගෙන හිටියා.

ඔය වගේ කියනවා නම් ජයසිරි ගැන කියන්න වීර කතා ඕන හැටියේ! ඒත් ඔන්න ඔය වගේ වීර කතා වලින් පිරුනු ඉතිහාසයක් ඇති ජයසිරිට තමා මේ ගීතය පාඩම් කරගන්න බැරි වෙලා තියෙන්නේ. හිතලා බලන්නකෝ ජයසිරි ඉන්න තත්වය මොන වගේ එකක් ද කියලා. ඇත්තම කිව්වොත් ජයසිරි හන්දා වැඩිපුරම අමාරුවේ වැටුනේ අපේ ටීචර්. ටීචර්ට දැන් ජයසිරිව ගීතය කියන කණ්ඩායමෙන් අයින් කරන්නත් බෑ. ඒ එයාට දුක හිතෙයි කියලා. පංතියේ ළමයි ඉස්සරහා මේ ලෝකේ තියෙන හොඳම වචන වලින් කිව්වත් අන්තිම ප්‍රතිඵලය ජයසිරි පැත්තකට වෙන එක. අවංකව කිව්වොත් එයාට ගීතය කියන්න බැරි එයාගේ උනන්දුවේ අඩුවක් නිසා නෙමයෙි. එයා හොඳටම උනන්දු වුනා සිංදුව කොහොමහරි කටපාඩම් කරගන්න. ඉතින් එහෙම කෙනෙක් වේදිකාවේ පහල බලාගෙන ඉද්දි අපි කොහොමද හිත හදාගෙන සිංදුව කියන්නේ.

දවසක් දා අපි ඇහැව්වා ජයසිරිගෙන් මේකට හේතුව.

"මට සිංදුව පාඩම් කරද්දි මතක හිටිනවා. ඒත් දෙවෙනි පේලිය කියද්දි පළවෙනි පේලිය අමතක වෙනවා. කොහොමහරි මතක තියාගෙන ඔයාලත් එක්ක කියන්න හදද්දි  පළවෙනි පේලිය මොකද්ද දෙවෙනි පේලිය මොකද්ද කියලා පැටලෙනවා. ඒ සේරම දේවල් ලිහාගෙන සිංදුව කියද්දි ඔයාලා එක්ක තාලෙට කියන්න බෑ. ඒකයි මම සිංදුව පැත්තක දාලා ඕගොල්ල එක්ක බොරුවට කට හොල්ලන්නෙ. මට පේන්නේ මට හරියට කට හොල්ලගන්නත් බෑ වගේ. එහෙම වුනොත් උත්සවේ දාට ඒක විනිශ්චය මණ්ඩලේ දැකලා හොදටම ලකුණු කැපෙයි........" අසරණ වූනු වීරයා අමාරුවෙන් අපි ඉස්සරහා වචන ගැටගහගත්තා.

අපි ඒක කාටත් හොරා නිර්මලී ටීචර්ගේ කණේ තිබ්බා. නිර්මලී ටීචර් පුලුවන් හැම විදිහටම ජයසිරිට අපිත් එක්කලා වේදිකාවට ගොඩවෙන්න මඟක් හදා ගන්න ඉණි කපලා දුන්නා. ඒත් මිනිහා කොච්චර උත්සහ කළත් ඒවා එයාගේ අතින් ම ගඟට වැටුනා. හැමදේ ගැනම අලුත් විදිහට හිතන නිර්මලී ටීචර්ටත් ඉතින් ඊටත් වඩා ඒ වෙනුවෙන් නම් කරන්න දෙයක් ඉතුරු වුනේ නෑ.

කොහොමහරි අපි සාහිත්‍ය උත්සවයට කලින් දවසේ අන්තිම පුහුණු වීම කලා. ටීචර් කිව්වා අපි ඉතා හොඳට ගීතය ගායනා කරනවා කියලා. එදාටත් මෙහෙම කිව්වොත් අපිව කලාප තරගයට ඉදිරිපත් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා කියලා. ඒත් අපේ ජයසිරි! එදත් ජයසිරි බොහොම පළපුරුදු තාලෙට කට හෙල්ලුවා විතරයි.

කොහොමත් අපි අන්තිම මොහොත වෙනකල් උත්සහය අත ඇරියේ නෑ. ජයසිරිත් එහෙමයි. එයාටත් ඕන වුනේ තමන්ගේ ඉස්කෝලේ ළමයි, දෙමාපියෝ, ගුරුවරු ඉස්සරහා වීරයෙක් වගේ වේදිකාව උඩට නැගලා ඉංග්‍රිසියෙන් ගීතයක් කියන්න. අපි හැමෝගෙම හීනේ එකයි. ඒත් හැම පුහුණුවීම් වාරෙකම ජයසිරි ඉස්සරටත් වඩා හොඳට කට හෙල්ලුවා මිසක ගීතය නං කිව්වේ නෑ.

"මොකද ජයසිරි අපි දැන් කරන්නේ..... හෙටයි දවස....!" ආන්න ඒ වෙලාවේ තමයි අපේ නිර්මලී ටීචර් හිනා මූණක් මවාගෙන අර මම මුලින්ම කියාපු ගීතය කිය කියා ජයසිරිට කිට්ටු කලේ.

උත්සවය දවස උදා වුනා.

එදා අපි කවුරුත් හිටියේ හොඳටම උද‍්‍යයෝගයෙන්. මුලු ඉස්කෝලෙම ප්‍රධාන ශාලාවට එක්රොක් වුනා. දෙමාපියන්ට වෙනම ආසන පනවලා තිබුනා. අපි කවුරුත් එකා වගේ එකමුතුව හිටියා. ටික වෙලාවක් ගත වෙද්දි අපේ ටීචරුත් අමාරුවෙන් ළමයි අතරින් අපිව හොයාගෙන ආවා. "හැමෝම ලෑස්තිද?" ටීචර් බොහොම උනන්දුවෙන් ඇහැව්වා. අපි "ඔව්" කිව්වා. උත්සවය පටන් ගත්තා. අපි නොයිවසිල්ලෙන් හිටියේ අපේ අංකය එනතුරු. නොයිවසිල්ලෙන් කිව්වට මොකද බඩ ඇතුලේ වී හුළං කරනවා වගේ.

ගීත ගායනා කරන අය ගීත ගායනා කළා, කතා පවත්වපු අය කතා පැවැත්වූවා, නාට්‍ය කරන අය ඒවා කළා. අපි හැමදේම හොඳට බලාගෙන හිටියා. තරමක වෙලාවක් ගත වෙද්දි ඉහල පංතියක සංවිධායකයෙක් ඇවිදින් ඊලඟ අංකය අපේ ඉදිරිපත් කිරීමයි කියලා දැනුවත් කලා. ටීචර් කිව්වා අපි පුහුණු වුනු තාලෙට නියම විදිහට ගීතය ගායනා කරන්න කියලා. අපි ලොකු හුස්මක් ගත්තා. ඒ අස්සේ ජයසිරි අත ඉස්සුවා.

"ටීචර් මට නිකං උණ ගැනෙන්න වගේ..... කලන්තෙත් වගේ....." එහෙම කිව්වට අපි දන්නවා මෙතන ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා. ජයසිරිට ඇති උණක් නෑ. එයා දැන් මේ අවස්ථාවෙන් මඟ අරින්නයි යන්නේ. ඒත් ඒ වෙනුවෙන් අපට දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ. මොකද දැන් වේදිකාවේ ඉදිරිපත් කරන අංකය අහවරවුනු හැටියේ නිවේදක තැන අපේ පංතියේ නම කියනවා. එතකොට අපි නොපමාව වේදිකාවට ගොඩවෙන්න එපැයි. මොනවා වුනත් අපිට ජයසිරි ගැන මොකද්දෝ දුකක් ඇති වුනා. එයා කොච්චර කැමැත්තෙන් ඉන්න ඇතිද එයාගේ දෙමාපියෝ ඉස්සරහා ඉංග්‍රිසියෙන් ගීතයක් ගායනා කරලා තමන්ගේ තරම පෙන්වන්න. ඒත් එයා අන්තිම මොහොත වෙනතුරු කොච්චර උත්සහ කළත් ඒ දේ එයාට ඉටු කරගන්න බැරි වුනා. කෙහොම හරි ඒ කතාව ඇහුනා විතරයි වහාම නිර්මලී ටීචර් ජයසිරිව අපි ඉන්න පේලියෙන් අයින් කලා. දැන් කොහොමත් ගීත ගායනා කණ්ඩායමේ ජයසිරි නෑ. එයාව කවුරුත් ඉවත් කලෙත් නෑ. එයාමනේ අයින් වුනේ. ඒ මදැයි දැන් එයාට හිත හදාගන්න.  කොහොමහරි ටීචර් එහෙම කරලා "හරි ඔයාලා වේදිකාවට ගොඩවෙන්න..... මම කියලා දුන්නු හැටියට ම කරන්න" කියලා අන්තිම අවවාදේ දුන්නා. එහෙම කියලා ටීචර් ජයසිරිව එතනින් එක්කගෙන ගියා.

මෙතුවක් වෙලා තමන්ගේ ඉදිරිපත් කිරීම කරපු ළමයි ඒක අහවර කරලා ප්‍රේක්ෂකාගාරයට ආචාර කරලා වේදිකාවෙන් බැහැලා ගියා. නිවේදක තැන අපේ පංතියේ නම කිව්වා.

අපි පුහුණු වුනු විදිහට වේදිකාව උඩට ගිහින් නියම තැන් වල හිටගත්තා. මුල් පේලියේ මැද හිටපු සමන්ත අඩි තුනක් ඉස්සරහට ගියා. ඊලඟට, "ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ලිමන්, වියා ගොයින් ටු සිං අ සෝං..." කිව්වා. ආපස්සට හැරෙන්නේ නැතුව පස්සෙන් පස්සට අඩි තුනක් ආවා. එතකොට එයා හිටපු තැනමයි! ටීචර් කියලා දුන්නු විදිහටම! ඊට පස්සේ වේදිකාවෙන් පහල ප්‍රෙක්ෂකාගාරයට ඇහෙන්නේ දැනෙන්නේ නැති සද්දෙකින් "වන් ටූ ත්‍රී" කිව්වා. ත්‍රී කියලා මොහොතකට පස්සේ අපි අපේ සම්පුර්ණ ශක්තියම දාලා සිංදුව කියන්න පටන් ගත්තා. ඇත්තටම පටන් ගත්තා කිව්වට පටන් ගන්න හොඳ හුස්මක් ඉහලට ඇද්දා විතරයි! මෙන්න මහ අමුතු දෙයක් වුනා!

ඒ මොකද්ද? සායකුයි හැට්ටයකුයි ඇඳගත්තු ලොකු පං තොප්පියක් පැළඳගත්තු කෙනෙක් අපේ වේදිකාවේ වම් පැත්තේ පෙනී හිටියා. අපි බැලුවා මේ කවුද කියලා. ඒ මොකද එහෙම දෙයක් අපි කවදාවත් පුහුණුවීමකදී දැකලා හරි කතා කරගෙන හරි තිබුනේ නෑ. ඒත් අපිට එයාව අඳුරගන්න එක ඒ හැටි අමාැරු වුනේ නෑ. ඒ තමයි ජයසිරි! ජයසිරි හදිසියේ ගෑණු කෙනෙක් වගේ ඇඳගෙන වේදිකාවට ගොඩ වෙලා. මෙහෙම සැළසුමක් ගැන ටීචර් අපට මීට කලින් කවදාවත් කියලා තිබුනේ නෑ. ඒත් අපි ඉහලට ගත්තු හුස්මට පිටවෙන්න දීලා අලුත් හුස්මක් අරගෙන ගීතය පටන් ගත්තා.

මෙන්න සිංදුවත් එක්ක ජයසිරි නටන්න තියාගත්තා. එයා වේදිකාවේ වම් පැත්තේ ඉඳලා දකුණට නට නටා යනවා. ආපහු හැරිලා හිටපු තැනට නට නටා එනවා. ඒ අස්සේ බොරුවට කටත් හොල්ලනවා. ඒක නං මිනිහට කොහොමත් පුරුදුයිනේ! මේක මොන තරම් කෝළං නැටුමක්ද කියලා පහදන්න මට තේරෙන්නේ නෑ? මෙතුවක් වෙලා ගීත ඉදිරිපත් කරපු අය ගීත මිසක්කා ඒකට නැටුම් ඉදිරිපත් කළේ නෑ. නැටුම් අංක තියෙන්නේ වෙනම! ගීත වෙනම. ඒත් අපේ ජයසිරි මේ සේරෝම දේවල් උඩුයටිකුරු කරගෙන ගීතයට නටනවා. අපි මොනිකා නැන්දගේ තොප්පිය වැනෙනවා කියද්දි පං තොප්පිය අල්ලගෙන නටනවා.  අපි මොනිකා නැන්දගේ සාය වැනෙනවා කියද්දි ජයසිරි සාය අල්ලගෙන නටනවා. එයා පිරිමි ළමයෙක් වුනාට නැන්දා කෙනෙක් වාගේ ඉන පද්දලා යද්දි මේ ලෝකේ හොඳ සිහියෙන් ඉන්න කිසිම කෙනෙකුට හිනාව නම් නවත්ත ගන්න බෑ.

මේ සිද්දිය හන්දා මුලු ඉංග්‍රිසි සාහිත්‍ය දිනේම අලුතෙන් පණ ගහලා ආවා. ප්‍රෙක්ෂකාගාරය නියෝජනය කරන ගුරුවරු, ළමයි, දෙමාපියෝ සේරෝම දෙනා බඩවල් අල්ලගෙන හිනා වෙන්න ගත්තා. ඒක දැකලා අපිට යෝධ බල යෝධ ශක්තිය ආවා. අපි ගීතය කිව්වා ප්‍රධාන ශාලාවේ දැල් කවුලු දෙදරුම් කන්න. මේ අවස්ථාව කොච්චර උද්වේගකර වුනාද කියන්නේ නට නටා හිටපු ජයසිරිට මොනිකා නැන්දා වැහුනා! දැන් නටන්නේ ජයසිරි නෙමෙයි මොනිකා නැන්දගේ සමයම! ඔය විදිහට අපි සිංදුව කියාගෙන කියාගෙන ගියා. ජයසිරි නටාගෙන නටාගෙන ගියා. මට තේරෙන්නේ නෑ අපේ ගීතය නිසා ප්‍රේක්ෂකාගාරය හිනාවෙන් කුල්මත් වුනාද, හිනාවෙන් හෙම්බත් වුනාද කියන්න. කොහොමහරි ඔහොම කියාගෙන ගිහිං ගීතය අහවර කරන වෙලාව ආවා. අපි පුහුණු වුනු විදිහට ගීතය අහවර කරන්න හිතාගෙන ගීතයේ අන්තිම පේලිය ඇදලා කිව්වා. මොනිකා නැන්දත් ඉණ ඒ තාලෙටම රවුමක් පද්දලා වේදිකාව මැද අත්දෙක දෙපැත්තට දාගෙනම ගල් වුනා. ඒ එක්කලා මුලු ප්‍රෙක්ෂකාගාරයම ගල්වුනා. මොහොතක් ඒ විදිහට කාලය ගත වුනා. ඊලඟ මොහොතේ ප්‍රෙක්ෂකාගාරයෙන් ප්‍රධාන ශාලාවේ බිත්ති හෙල්ලෙන්න අත්පොළසන් වැදුනා. විනිශ්චය මණ්ඩලේ හිටපු විදුහල්පති තුමා පවා සේරම දේවල් නවත්තලා ප්‍රෙක්ෂකාගාරය එක්ක එක්කහු වෙලා අත්පොළසන් දුන්නා.

ඔන්න ඔය විදිහට අපේ පළවෙනි ඉංග්‍රීසි සාහිත්‍ය දින ඉදිරිපත් කිරීම කාටත් අමතක නොවන මතකයක් වෙලා අහවර වුනා.

ප්‍රීති ඝෝෂා මැද්දේ අපි වේදිකාවෙ පිටිපස්සේ දොරෙන් බැස්සා. අපි ජයසිරි දිහා බැලුවා. ජයසිරිගේ කට කණේ! ඇයි කවදාවත් හිතුව දෙයක් ද මේ සිද්ද වුනේ. ඒක නිසා මම ජයසිරිගෙන් මෙහෙම ඇහැව්වා.

"ඔයයි ටීචරුයි කලින් සැළසුම් කරළද මෙහෙම කලේ......"

"පිස්සුද, මම බොරු උණක් ගත්තට, දුකේ හිටියේ ඕගොල්ල එක්ක සිංදුව කියන්න බැරි වෙන එකට...., ඒත් ටීචර් නං කලින් සැළසුම් කරලා වගේ...., ඒයා මේ ඇඳුම් එයාගේ අර තඩි අත් මල්ලේ ඔබාගෙන ඇවිල්ලා තිබුනේ......"

"නෑ....."

"නෑ නෙමෙයි ඔව්......! මට ඕන වුනේ කොහොමහරි  අම්මලාට පේන්න වේදිකාවට නඟින්න...... ටීචර් යෝජනාව කළ හැටියේ මම උඩින් කැමති වුනේ මේ ඇඳුම් ඇඳගන්න....!"

අපි ඔහොම කතා කරකර වේදිකාව පිටිපස්සේ දොරටුවෙන් බැහැලා ප්‍රධාන ශාලාවෙන් පිටවුනා. නිර්මලී ටීචර් අපි එන මඟ බලාගෙන හිටියා. අපි ටීචර් ගාවට දුවගෙන ගියා. ජයසිරි පිරිස අස්සෙන් බේරිලා ඉස්සරහටම ගිහිල්ලා සමහර වෙලාවට ටීචර් ඉන්නවා වගේ ඉණට අත්දෙක තියාගෙන ටීචර් දිහා බලාගෙන හිටගත්තා. මිනිහගේ මූණෙන් එකයි හිනාව. එයා බලාගෙන හිටියේ පරදින්න නියමිත යුද්ධයක් අන්තිම මොහොතේ ජයග්‍රහනයකට හරවපු යුධ වීරයෙක් වගේ.  ඒ පාර නිර්මලී ටීචරුත් ඉණට අත්දෙත තියාගත්තා. නිර්මලී ටීචර් පුරුදු විදිහට හිනා මූණක් මවා ගත්තා. ඒත් මොහොතකින් හිනාව මැවුනු ටීචර්ගේ කම්මුල් දිගේ ඇස්වළින් ගලාගෙන ආපු කඳුලු බිංදු පහලට ගලාගෙන ගියා. අපි තවත් ටිකක් ටීචර්ට කිට්ටු වෙලා ටීචර්ගේ හිනා මූණ දිහා බලාගෙන හිටියා. ජයසිරිත් එක්කම!

.........................................
- කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.


තුන් වන බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියැවුනු මේ කතාව දරුවන්ගේ අභිමානය ඔප්නැංවීම වෙනුවෙන් සිය නිර්මාණාත්මක චින්තනය අසීමාන්තිකව වෙහෙසවන ලෝකයේ සියලුම ගුරුවර ගුරුවරියන් වෙනුවෙනි!


බ්ලොග් වසන්තය ඡන්ද පොළට මෙතනින් යන්න>>> 

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...