2013/02/28

සුවර පෙට්ටි වාදකයා ! - අවසාන කොටස - චූටි මහත්තයාට එරෙහිව රදනක මංජුසාව...!

පළවෙනි කොටස කියෝපු අයට මෙන්න දෙවෙනි කොටස...

අක්කා ස්වර අල්ලා එය නියමිත තැනට ගන්නා ආකාරය බලන්ඩ ලස්සන යැයි කීම මුසාවක් නොවේ. වරෙක එක ස්වරයක් අල්ලා ගන්නා ඇය එය උච්ච සහ මන්ද්‍ර යන ස්ථාන අතරේ වේගයෙන් දෝලනය කරන්නේ නිවැරදිව ක්ලච් බැලන්ස් එක තබා ගත නොහැකිවූ ආධුනික ලොරි රථ රියදුරෙකුගේ ඇංජිමක විලාපයක් මට සිහි ගන්වමිනි. මේ මොහොතේ දී අක්කා දකුණත මදක් උඩට ඔසවා මනඃකල්පිත යමක් අල්ලා එය ඇඟිලි තුඩු වලින් ඩැහැගෙන අර දෝලනයේ වේගයට සමානුපාතික වන සේ වෙව්ලවයි. මගේ සිතුවිලි නිවැරදි නම් ඒ ඇය අල්ලා ගන්නෙ කටින් පිට වන ශබ්දය නියෝජනය කරන අකුර විය යුතුය. ඒ කෙසේ වුවද අක්කාගේ නිවැසියන්ගේ වාසනාව හොඳ දවසක් නම් ඇය උදෑසනම එම කාර්ය පටන් ගනියි. එවිට නිදා සිටින සියල්ලන් ම අවදි වී අවසිහියෙන් යුධ වදින ලස්කිරිඤ්ඤා භටයින් මෙන් අපව සාලයට කොටුකර ගනිති‍. එහෙත් ඔවුන්ට අප වෙනුවෙන් කිසිදු ඉදිරි පියවරක් ගත නොහැකි බව ඒත්තු ගැන්වුනු පසු මදක් අප දෙස බලා සිට මුලු තැන් ගෙය දෙසට පසු බසිති.

උදෑසන සිට අප මේ ආකාරයෙන් ඉතා සාහසික ලෙස ස්වර වලට දස වද දෙන්නෙමු. යම්කිසි නිශ්චිත කාලයක් ගත වී අක්කාගේ හඬ පදම් වූ බව ඇයට හැඟී ගිය පසු මේ අතිශය භාවාත්මක රුදුරු සංධ්වනිය ඉතා සොම්‍ය තැනකට සේන්දු කරයි. එවිට ඇය ඉතාමත් සොම්‍ය ලෙස - උදාහරණකින් පැවසුවහොත් අනෝතප්ත විලට ජලය සපයන සැපයුම් මාර්ගයක් සේ සෞම්‍ය ලෙසද, පැහැදිලි ලෙසද ස්වර හසුරවයි. එය ඉතාමත් කන්කළු වූ විට ඇය රාගතාල අල්ලයි.

“බයගති දනවන බයිරවී රාගේ -  උදයෙහි ශිව දෙවි පුදනට සෑහේ......“ මේ ඇයගේ ප්‍රියතම ගායනා අතරින් එකකි. ඇත්තටම මේ ගායනය ඇය කෙතරම් තාත්වික හා ස්වාභාවික ලෙස කරන්නේ දැයි පැවසුවොත් මෙහි අර්ථ රසය දැනෙන හැටියට වටහාගෙන සිටි මා, මේ දැන් අවදි වූ බහිරවයෙක් මේ ගායනය ඔහුට කරන ආරාධනාවක් දෝයි සිතා මා සිටින තැනට පිටුපසින් පැමිණ මගේ ගෙල මිරිකනු ඇතැයි බිය වීමි. නමුත් ඒ කිසිවකින් මාගේ මේ ව්‍යායාමය නැවැත්විය නොහැකිය. ඒ මක්නිසාද යත් කිසියම් හෝ අත්වැරැද්දක් සිදුවන තෙක් බලා සිටි වාසනා කෙල්ල, මගේ යම් ප්‍රමාදයක් බලා මේ තැන ගන්නට දිවා රෑ දත කයි. විටෙක මා සිටින තැන වාසනා කෙල්ලට ලැබී ඇති මනෝ විකාර දකින මගේ සිරුර ශීතල වී යයි. ඉතින් මම පෙට්ටියෙන් එලියට පැමිණි ඔලුවෙහි පයන්න මුද්‍රිත සුවච කීකරු නාගයෙක් මෙන් වමතින් ස්වර පෙට්ටියේ හුළං පියන ගැසීමෙන් ද දකුණු අත ස්වර පෙට්ටිය මත සැහැල්ලුවෙන් තබා ගනිමින්ද අක්කාගේ ස්වර තාලයට මගේ හිස දෙපසට වනමි.

මමත් අක්කාත් හිමිදිරි පාන්දර ආරම්භ කරන මේ යාගය උදෑසන ගෙවී යන්ඩ ඔන්න මෙන්න කියා තිබිය දී අවසාන වෙයි. මේ සද්කාර්ය අවසාන කර මම හිස් අතින් ගෙදර යාමට සැරසෙන විට සංතෝසමක් ලෙස අක්කා මට සූකිරි කැබැල්ලක් දෙයි. මට පමණක් සූකිරි දීම සදාචාර සම්පන්න නොවේයැයි තීරණයකට පැමිණ සිටි අක්කා සිය නැගණිය වෙත ද ඒ අවස්ථාවේදී ම සුකිරි කැබැල්ලක් දික් කරයි. වාසනා කෙල්ල ප්‍රසිද්ධියේ මේ සූකිරි කැබැල්ල ප්‍රතික්ෂේප කලාය. නමුත් මෙහි යම්කිසි රහසක් තිබිය යුතුයැයි නිගමනය කළ මා තලගොයි දිවක් තම්බා පානය කරවනු ලැබූ නියම දඩබල්ලෙක් මෙන් අක්කාගේ කාමරය අසල හොරගල් අහුලමින් සිට එක් දිනක දී මගේ සැකය තහවුරු කර ගත්තෙමි.

තම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් චීනයට පයින් ගොස් ගිණි මකර හමක් වුවද ගෙන ඒමට සැදී පැහැදී සිටි මාමා, අක්කාට තම හඬ වඩාත් සීඝ්‍ර ලෙස මුවහත් කරගැනීමට උත්ප්‍රේරකයක් ලෙස පසුගිය දවසක වැල් මී වනාන්තරයකුත්, සුකිරි හොන්ඩරයකුත් ගෙනැවිත් දී තිබුනි. ඒවා අක්කාගේ කාමරයේ ගොඩ ගසා තිබුනු අතර අක්කා මේවා විටින් විට කටේ දමාගෙන කෑවේ එයින් උගුරු දණ්ඩ හරහා ස්වර ගලායාම වඩාත් සුමට වේය යන පුදුමාකාර ඔත්තුව නිසාය. අවස්ථාව එනතුරු බලා සිටි මා වාසනා කෙල්ලෙගේ හොරය අතටම අල්ලා ගත්තේ බාගෙට සූප්පු කරන ලද සූකිරි කැබැල්ලක් ද සහිතවය. පසුව දින වකවානු සහ වේලාව නිවැරදිව දක්වා ඇයව අක්කා ඇතුලු නිවැසියන්ට පාවා දුන්නෙමි. මෙයින් වඩාත් කුපිත වූ වාසනා කෙල්ල මේ පලිය කෙසේ හෝ මගෙන් ගන්නා බවට පොරොන්දු වූයේ ජීවන් කුමාරණතුංග මාමා මෙනි. එනම් තමන්ගේ දෙමාපියන්ගේ සොහොනේ වැලි මිටක් ගෙන එය සුළගට පාවෙන්නට හැර ඉතා රොද්‍ර ලෙස සතුරාට ඇසේ යැයි අනුමාන කරන ශබ්දයකින් “මම පලිය ගන්නවා යකෝ....“ යැයි ඉතා උස් ශබ්දයක් වාතලයට මුදා හැර එය ඈත පිහිටි කදු වළල්ලේ දෝංකාර දීමට සැලැස්වීමෙනි. වාසනා කෙල්ලද නැමී මිදුලෙන් පස් මිටක් ගෙන එය වඩාත් නිවැරදි ලෙස අනුකරණය කල හෙයින් මම වඩාත් බියට පත් වුනෙමි.

ඇත්ත වශයෙන්ම අප අතර අරෝව මකර කටක් මෙන් විශාල වීමට බලපෑ හේතුව එය නොවෙයි. සංගීත පරික්ෂණය හෙටයි කියා තිබියදී උදෑසන යුහුසුලුව අප ගෙදරට දුව ආ අක්කා අම්මාට කතා කොට වතුර බොන වීදුරුවක් පරිස්සමට අරන් තබන ලෙස ඉල්ලා සිටියාය. එහි වූයේ සූකිරි කැබැල්ලක් හා වැල්මී දඬු කැබැල්ලක් සහිත පිරුනු වතුර වීදුරුවකි. එය සංගීත පරික්ෂණය දා උදෑසන හිස්බඩ පානය කර යැමෙන් ස්වර ගායනය වඩාත් පහසු වන බව ඇය සොයාගෙන තිබුනි. වැඩි ආරක්ෂාවට එය අපේ ගෙදර තැන්පත් කළ අතර, මම ද වහා වාසනා කෙල්ල ඉන්නා ඉසව්වට ගොස් ඇය කුපිත කලෙමි. අක්කා අපේ ගෙදර පැමිණි පුවත නැමැති ලොසිංජරයට මම පාට තැවරූ සීනි නැමැති බොරුව වඩාත් තාත්වික ලෙස ඉස්සෙමි. ඒ ඇය ගැන තඹ දොයිතුවකට විශ්වාස නොකල හැකි නිසා අර පානය අපේ ගෙදර තබනා බව අක්කා අම්මාට පවසනු මම හොදින් අසා සිටිය බව පැවසීමෙනි. 

පසුවදා උදෑසන අප කාටත් විශේෂ දිනයක් විය. නැන්දලා කිරිබත් උයා තිබුනු අතර අම්මා තාත්තා සහ මම හිමිදිරි සීතලේ පැල ඉනි වැට පැන තවමත් අදූරේ ගිලි ඇති අඩිපාරේ නැන්දලාගෙ ගෙදරට ගියෙමු. මේ මොහොතේ නැන්දලාගේ ගෙදර වඩාත් කාර්යබහුල වී තිබුනු අතර අඳුර පලවා හැරීමට තබා තිබු චිමිනි ලාම්පුව වඩාත් උද්යෝගිමත් ලෙස හාත්පස එ‍ලිය කලේය. සියල්ලන් අක්කාට සුබ පැතූ පසු මම ම ගෙදර සිට ඉතා පරිස්සමින් රැගෙන ආ අර අමෘත පානය අක්කාට පි‍ළිගැන් වූ අතර අක්කා ද එය වහ වහා පානය කර අන්තිම ටික ඉතිරි කලේ අඩියෙහි තවමත් දිය නොවි නොහික්මුනු ලෙස ඉතිරිව තිබූ සූකිරි කැබැල්ල දුටු නිසා ය. අවසානයේ ගෙයින් පිට වීමේ වෙලාව ලං වූ බැවින් මම රැයක් පුරා වෙහෙසෙමින් සංස්කර‍ණය කර සාදාගෙන තිබූ ඉතා කෙටි එහෙත් ආකර්ශණීය වදන් පෙලින් අක්කාට සුබ පතා ඒ මොහොත වඩාත් සිහිකටයුතු එකක් බවට පත් කලෙමි.

සියල්ල ඉතා හොඳින් සිදුවිය. මිදුලට බට අක්කාත් මාමාත් කාලය විසින් තටු කපන ලද සුපර් කබ් නම් කුරුල්ලා මත නැගී ය. මාමා එය පණගන්වා අවට වාතලය සවුදි තෙල් ආකරයක් අසල සුවඳට මඳක් අඩු සුවඳක් වන තුරු රේස් කලේය. නියමිත උෂ්ණත්වයට ඇන්ජිම රත් වූ බව ශබ්දයට කන් යොමා සිටි මාමා ප්‍රත්‍යක්ෂ කරගත් පසු කිසිම පෙර දැනුම් දීමකින් තොරව ගියරය පෑගිමේ ආදීනවයක් ලෙස එකවර ගැස්සුනු ඔවුන් දෙදෙනා වෙරි වූ ඹබරෙකු මත යන්නාක් මෙන් වැනි වැනි ගේට්ටුව පසු කර ටවුම පැත්තට ගියෝය.

අපි සියල්ලෝ ම ඉතා සැහැල්ලුවෙන් ඔවුනොවුන් දෙස බැලුවෙමු. වාසනා කෙල්ල දහසක් බුදුන් බුදුවෙන මේ හිමිදිරියේ දී පවා මා සමඟ වෛරයෙන් සිටින ආකාරයක් පෙන්වීය. නමුත් දැන් මගේ සිත පුලුන් රොදක් මෙන් සැහැල්ලුය. ඇයට පළිගැනීමට කිසිම අවස්ථාවක් ඉතිරි නොකොට සියල්ල මගේ වාසියට හේතු වෙමින් අවසාන වී ඇත. ඉතින් මා ඇයට අන්තිම පහර වශයෙන් ළඟට ගොස් “ඇද්ද!“ යැයි විරිත්තා ගෙදර ගියෙමි.

ඉතාමත් සැහැල්ලු සිතින් ගෙදර ගිය මම මුලුතැන්ගෙයි තිබුනු දෙයක් දැකීමෙන් අතිශය බියට පත්වීමි. මා කෙතරම් බියට පත් වී ද යත් මගේ හදවත එලියට එතැයි මම අතින් කට වසා ගත්තෙමි. මෙය සිදු විය හැකි දෙයක්ද? මා දෘෂ්ඨි මායාවකට හසු වී ඇද්දැයි සැක හැර දැන ගැනීමට මම දෑස හොඳින් පිසදමාගෙන නැවතත් එය අසලට වඩාත් ලං වී බැලුවෙමි. පුදුමයකි. අක්කාගේ සුකිරි හා වැල් මී කැබැල්ල සමඟ වතුර වීදුරුව ඉතා පුදුම සහගත ලෙස එදා තැබූ තැනම තිබේ. ඒ වෙනුවට ඒ අසලම තිබූ වෙනත් වතුර වීදුවක් අස්ථාන ගත වී තිබුනි. මා සක්සුදක් සේ දන්නා පරිදි ඒ අස්ථානගතවී තිබුනේ තාත්තාට කරාටේ පුහුණුවේ දී යාලුවෙක්ගේ පහරක් වැදීම නිසා ගිලිහි වැටුනු වම් රදනක දත වෙනුවට පාවිච්චි කරන බොරු දත දමන වතුර වීදුරුවයි. මා කෙතරම් බියට පත් වී ද යත් මගේ තුනටිය පණ නැති වී දනිස් දෙක වෙව්ලන්ට ගත්තේය.

එහෙත් තුනටියකට හා දනිස් යුවලකට මෙතෙක් කල් රැකගත් අභිමානය කෙලෙසන්නට දී බලා සිටිය යුතු නැතැයි මගේ හිත මොරගෑවේය. මම වහාම සිත එක්තැන් කරගත්තෙමි. මේ වෙනුවෙන් කල හැකි යමක් ඇද්දැයි සිතුවෙමි. ඇත්ත වශයෙන්ම මේ වන විටත් දන්ත මංජුසාව කිසිවෙකුගේ ඇස ගැටී නොමති නම් සියල්ලන්ගේ ඇස් වලට වැලි ගසා එය නැවත ගෙන ඒමෙන් ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය කර ගත හැකිය.

එහෙත් මේ වන විටත් සියල්ල මගේ අවාසියට සිදු වී ඇත්නම්, සියලු දෙනා තාත්තාගේ දත යැයි රැවටි ඇත්තේ ඇත්ත වශයෙන්ම දතකට නොව අවසාදිත සූකිරි කැබැල්ලකට යන අහස පොලොව නුහුලන බොරුව සත්‍යක් ලෙස සියලු දෙනා ඉදිරියේ ඒත්තු ගැන්විය යුතුව තිබුණි. ඉතින් මම උදෑසන ශීතල කපාගෙන නැන්දලාගේ ගෙවල් දෙසට විද්දෙමි.

එහෙත් මා නැන්දලාගේ ගෙදරට යන විට අපේ අම්මලා සහ නැන්දලා වට වී යමක් ගැන කතා කරමින් සිටි අතර, තාත්තාගේ රදනක දත සහිත වීදුරු මංජුසාව වාසනා කෙල්ලගේ භාරයට ගෙන තිබුනි. 


.......................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

2013/02/27

සුවර පෙට්ටි වාදකයා !

එක්තරා හිමිදිරි උදෑසනක මම ඉතාමත් ඉවසිලිවන්තව, ඉතා සැලසුම් සහගත ලෙස කාමරයේ ඔබ මොබ සක්මන් කරමින් මගේ නිවාඩු දවස සැලසුම් කරමින් සිටියෙමි. හිමිදිරියේ හිරු කිර‍‍ණ කාමරයේ ජනේල පොලු අතරින් පැමිණ හරි හැටි ආලෝකය උරාගැනීමට පොර අල්ලමින් සිටි ඇසේ බබා මතට පතිත වී ඊට උඩින් වූ ඇහිබැම හකුලුවමින් තිබිනි. උදෑසන කූරුලු නාද හා අම්මා තේ සාදන හඬ යටපත් කරමින්, බණ්ඩක්කා නොකෑම නිසා අවම කාටිලේජ ප්‍රමා‍ණයකින් දුවන මගේ අස්ථි පංඤරය, තබන තබන අඩියක් පාසා චිටිස් යනුවෙන් නින්නාද දෙමින් උදෑසන වඩාත් ජීවමාන සහ නැවුම් දෙයක් බවට හරවන්නට වෙර දැරීය.

එක් වරම නැන්දලාගේ ගෙවල් දෙසින් පැමිණි විලාපයක් බඳු සංගීත රාවයක් මගේ කාමරයේ ජනේල් පොලු අතරින් රිංගා විත්, මම ඉතා ඕනෑකමින් ඔප මට්ටම් කරමින් සිටි නිවාඩු දිනය නම් වීදුරු පලගානට පොලු පාරක් දී එය කාමරයේ සීසී කඩ විසුරුවා හැරියේය. කෝපයෙන් සිත බිරුසන් දෙන අතරතුර ඒ කුමක් විය හැකිදැයි බැලීමට අවුල් වූ හිසකෙස් අතරට, මගේ ඇගිලි පහ පනාවක් මෙන් යවා මෙච්චල් කරගෙන, අතරවාරයේ ගෙයින් එලියට පැන්නෙ, අම්මාට තේ එක සාදා අවසාන වීමට පෙර නැවත මුලුතැන්ගෙට වාර්තා කරන බව ස්ථිර කිරීමෙන්  අනතුරුවයි.

නැන්දලාගේ ගෙදරට යාර කිහිපයක් තියෙද්දී ම වාගේ මට සියල්ල අවබෝධ විය. තවත් දින කිහිපයකින් නැන්දලාගේ ලොකු දුව වන වාසනා කෙල්ලගේ අක්කා හෙවත් මට නිතර දෙවේලේ වුවමනා වෙන පාට මාරු කරන පෑනෙහි හිමිකාරිය සංගීත විභාගයක ප්‍රායෝගික පරීක්ෂණයට මුහුන දීමට සැරසෙයි. උදෑසන සිට මගේ සෞන්දර්යාත්මක මනස කුපිත කොට මගේ පලගාන බිද දමා ඇත්තෙ ඇගේ මේ පුහුණු වීමේ හඬයි. උදෑසන ම අවදි වී ස්වර මෙච්චල් කිරීම මගින් ඇය ඇයගේ අඬ වඩාත් තියුණු ලෙස මුවහත් කරමින් සිටි අතර ඇගේ මුවහතට හසු වූ සියලු ස්වර ඉතා වේගවත් ලෙස කෑපි කෑපී අවට විසිරි ගියෝය.  ඇයගේ නංගී ඒ අසල මේසය මත හිදගෙන පෙට්ටියක් බඳු උපකරණයකට යමක් කරමින් දත කෑ අතර එයින් නිරන්තරයෙන් සංගිතය උගත් කුපිත වූ නාගයෙක් පිඹින්නා මෙන් හඬක් නියමිත තාලයට කලින් නික්මවීය.

අක්කා තම හඬ මුවහත් කරනා අතරතුර නංගිගේ මෙම ක්‍රියාව නිරන්තරයෙන් නිවැරදි කරමින් ඈ දෙස වරින් වර රවා බලයි. මේ අරුම පුදුම භා‍ණ්ඩය සංගීතය ඉගෙන ගන්නා අයට උපකාර වෙන යමක් බවත් මුග්ධ බවේ ප්‍රතිමූර්තියක් වන් වාසනා කෙල්ල මෙය හරි හැටි හසුරුවන්නේ නැති බවත් මේ වන විට මට හොඳින් වැටහෙමින් තිබිනි. මේ මොහොතේ මිනිස් පහසක් නොලැබු වැසි වනාන්තරයක නිකැලැල් දිය කඩිත්තක පතුල මෙන් පිවිතුරු කරනු ලැබූ, සියවරක් පෙලු කපු පුලුන් කැටියක් මෙන් සැහැල්ලු කරනු ලැබූ මගේ උදෑසන මනස නැමැති හිතෛෂිවන්තයා වහාම යම්කිසි සැලැස්මක් සකස් කිරීමට පටන් ගත්තේය. බොහෝ විට මෙහි අවසාන ප්‍රතිඵලය වන්නෙ වාසනා කෙල්ල සතුව ඇති අර අරුම පුදුම භාණ්ඩයේ අයිතිය කිසිම ලේ වැගිරීමකින් තොරව මා හට හිමි කර ගැනීමයයි මට ඉවෙන් මෙන් වැටහිනි. ඒ සඳහා කල යුත්තෙ නිසි බළධාරීන්ට පවතින තත්වය අවබොධ කර දීම පමණක් බව ස්ථානෝචිත ප්‍රඥාව විසින් මා දැනුවත් කර තිබිනි.

ඉතින් එහි ප්‍රථිපලය වූයේ ඒ රමණීය උදෑසන, දෙමලිච්චන්, කපුටන් ආදී කුරුල්ලන්ගේ කූංඡනය පරයා නැගි සිටි පුපුරා යන ගල්කොරියක කැට කැබිලිති මෙන් වූ වාසනා කෙල්ලගේ වාග් ප්‍රහාර හමුවේ ශාන්තිනායක තවුසා මෙන් මුනිවත රැකගෙන අවශ්‍ය දේ වෙනුවෙන් ඉතා පරිස්සමින් වචන හැසිර වූ මට අර භාණ්ඩය - එය වාදනය කිරිමේ අයිතිය ද සමඟ හිමිවීමයි.

මේ භාණ්ඩය ගැන වචනයක් පවසනවා නම්, මෙය වනාහි නමින් ස්වර පෙට්ටිය යැයිද, මෙහි ඇති සිදුරු වැසීම හා ඇරීම මගින් නියමිත ස්වරයට හිමි ශබ්ද ධ්වනිය පිටතට ගලා ඒමට සැලැස්විය හැකි බවද, මෙය අපේ ඉස්කෝලේ සංගීත ගුරුතුමී වන නිර්මලා ගුරු මෑණියන් විසින් තාවකාලිකව අක්කාට ස්වර මුවහත් කිරීමේ කාර්ය උදෙසා “ගෙදර ගෙනයාමට“ ලබා දුන් එකක් බවද ඇය පැහැදිලි කලාය.

ඉතින් මා ඉන් පසු ඇගේ නිත්‍ය ස්වර පෙට්ටි වාදකයා වීමි. එය ඉතා පහසු කාර්යක් යැයි ඔබ සිතන්නෙ නම් එය සහමුලින් ම වැරදි අදහසකි.

උදෑසනම අවදි වන අක්කා පුහුණුවට පෙර වතාවත් රාශියක් කරයි. උදෑසනම ළිඳට ගොස් නා කියා ගනියි. ඉන් පසු දුම් අල්ලා බුදු පහණ තබන ඈ දෙවනුව සරස්වතී මැණියන් උදෙසා පහන් දල්වා ආශිර්වාද ලබා ගනී. ඉන් පසු සාලයේ සුදුසු තැනක පැදුරක් එලා සංගීත පොත් හා ස්වර පෙට්ටිය රැගෙන හඬ මුවහත් කිරීමට සැරසෙයි. ඒ වන විට යටත් පිරිසෙයින් මූණවත් හොඳාගෙන පිරිසිදු ඇදුමෙන් සැරසි අක්කා ඉදිරියේ මා පෙනී සිටිය යුතුය. ඉන්පසු අක්කා “පටන් ගමුද චූටි මහත්තයා...“ යැයි පවසත්ම මම ද ඔලුව වනා අයියනායක දෙවියන් වහන්සේ උදෙසා කෙටි කන්නලව්වක් කරමි. කන්නලව්වේ දී මා අයියනායක උන්නාන්සේගෙන් ඉල්ලා සිටින්නේ අක්කාගේ මුවහත් කිරීමේ වැඩ කටයුතු අවසන් වන තෙක් ස්වර නිවැරදි තාලයට වාදනය කල හැකි වන සේ මගේ මැණික් කටුවේ, උර බාහුවේ හෝ කොන්දේ වේදනාවක් මතු වී හෝ වෙනත් යම්කිසි ආපදාවක් සිදු නොවන සේ මා ආරක්ෂා කරන ලෙස යි. සියල්ල ඉතා ශාන්ත, ප්‍රනීත හා සැහැල්ලු ලෙස ආරම්භ වෙයි. මම ද නියමිත ස්වරය එලියට පැමිනෙන සිදුර විවෘත කොට නොකඩවා ස්වර පෙට්ටියට තුලට හුළං ගැසීමේ ඒ භාරදූර කාර්යය ආරම්භ කරමි.

දෙවෙනි කොටස ට...


............................................
- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...