2012/10/05

බුදු පියාණන් වහන්සේගේ සිනහවට ලක් වූ ඊරියට අවසානයේ සිදු වූයේ කුමක්ද? | දන්න කතාවක නොදන්න ඉතිරිය.....!

එක දවසක් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩින විට මඩෙහි සිටින ඊරියක් දැක සිනා පහල කලා. බුදු රජාණන් වහන්සේලා විශේෂ කරුණකට හැර සිනා පහල කරන්නෙ නෑ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අසා සිටිනවා සිනා පහල කිරීමට හේතුව. එතකොට උන්වහන්සේ කියා සිටිනවා මේ ඊරියක්ව සිටින්නෙ කාලයකට පෙර බ්‍රහ්ම ලෝකයේ සිටි ආයුශ ගෙවී ගිය බ්‍රහ්මයෙක් බව.

ඔය කතාව අපි ඕන තරම් අහලා ඇති බණ ගෙවල් වල දී, ධර්ම සාකච්ඡා වල දී.

මේ ලෝකයේ සත්වයින් නිර්වාණය දක්වා යන නොනිමි ගමනේදී දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙලා හිටියත් ඊලග මොහොතෙ දී තමන්ට විය හැකි අතිශය සාධාරණ වූත් සාමාන්‍ය වූත් සංසිද්ධියක් විස්තර කරද්දි ඒකට උදාහරණයක් විදිහටයි ඔය කතාව බොහෝ වෙලාවට දේශකයන් හෝ දේශකයාණන් වහන්සේලා ගෙනහැර පාන්නෙ. නමුත් බොහෝ විට වෙන්නෙ "බ්‍රහ්මයෙක්ව සිට ඊරියක් වුනා" කියන කාරණාව ප්‍රකට කරලා කතාව අවසාන කරන එක.

අද මම කියන්නේ ඒ ඊරියට අන්තිමට මොකද වුනේ කියලා. ඒ කතාව හරිම දිග එකක්. මේ තියෙන්නෙ ඒ කතාව කෙටියෙන්.

මම මුලින් කියපු විදිහට ආනන්ද හාමුදුරුවෝ විචාරා සිටිනවා බුදු පියාණන් වහන්සේගෙන් සිනා පහල කිරීමට හේතුව. එතකොට බුදු පියාණන් වහන්සේ, "ආනන්දය, අර ඊරිය දක්නෙහිද? ඕ තොමෝ කකුසද බුදුන් වහන්සේ සමයෙහි එක් ආසන ශාලාවක් සමීපයෙහි කිකිළියක්ව විසුවාය. එකල්හී ඕ විදර්ශනා කර්මස්ථානය සඡ්ඡායනා කරන්නා වූ එක් යෝගාවචර භික්ෂුවකගේ ඒ ධර්ම සඡ්ඡායනාව අසා සිත පහදා ඉන් චුතව රාජ කුලයෙහි ඉපිද උබ්බරී නම් කුමාරිකාවක් වූවාය. ඕතොමො දිනක් වැසිකිලි වලක පණු සමූහයක් දැක පුලවක සඤ්ඤාව වඩා ප්‍රථම ධ්‍යානය උපදවා එයින් චුතව බ්‍රහ්මලෝකයේ උපන්න්නාය. එයින් චුතව භවයෙන් භවයට යන්නෙ ඌරු ජාතියේ උපන්නාය" යනුවෙන් විස්තර සහිතව වදාරා සිටිනවා.

ඒ විස්තර කිරීම අහලා ආනන්ද හාමුදුරුවෝ ඇතුලු එදා පිඬුසිඟා වැඩි බොහෝ භික්ෂුන් පිරිසක් සංවේගයට පැමිණෙනවා. බුදු පියාණන් වහන්සේත් ඒ කාරණාව ම නිමිත්ත කරගෙන එතැනම සිටිමින් ධර්මදේශනාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනාවෙන් එතන සිටි බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණෙනවා. අර ඊරියත් මේ ධර්ම දේශණයට සවන් දෙනවා.

ඒ සිදුවීම එහෙම අවසාන උනත් ඊරියක්ව සිට නැවත ධර්මය ශ්‍රවණය කරපු හින්දා ඊරිය රජ පවුලක උපත ලබනවා. ඊටත් පස්සෙ බරණැස් නුවර උපත ලබනවා. ඊටත් පස්සෙ සුප්පාරක පටුනේ අශ්ව වෙළෙන්දෙක්ගෙ ගෙදරක උපදිනවා. ඊටත් පස්සෙ කාවරිපටුනේ වෙළදාමෙන් ජීවත්වෙන දෙමව්පියන්ට දාව උපදිනවා. ඊ‍ටත් පස්සේ ලංකාවේ අනුරාධපුරයේ පෝසත් දෙමපියන්ට දරුවෙක් වෙනවා. ඊටත් පස්සෙ අනුරාධපුරයට දකුණින් තිබුනු හෝකන්ත කියලා ගමක සුමනා කියලා ගැණු ළමයෙක් වෙලා ඉපදෙනවා. කාලයාගේ අවෑමෙන් මිනිස්සු ඒ ගම අතඇරලා යද්දි මේ සුමනා ඇතුලු පවුලත් දීඝවාපියේ මහාමුනි කියන ගමට පදිංචියට යනවා.

මේ වෙද්දි බුදුපියාණන් වහන්සේගේ පිරිණිවන් පෑම සිදුවෙලා, මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරලත් කාලයක් ගත වෙලා. මේ වෙන කොට ලංකා රාජ්‍ය පාලනය කරන්නෙ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාට හිටියා ලකුන්ටක අතිම්බර කියලා ඇමති කෙනෙක්. ඒ ඇමති රාජකාරී වැඩකට එනවා මහාමුණි ගමට. ගමට පැමිණි වෙලාවේ ඇමති මේ සුමනාව දැකලා ඇය ගැන පැහැදිලා ඇයව එක්කගෙන ගිහින් විවාහ කරගන්නවා.

දවසක් කෝටිපබ්බත මහා විහාරයේ මහා අනුල කියන රහතන්වහන්සේ පිඬුසිගා වඩිමින් යද්දි මේ සුමනා දැකලා අනිත් තෙරුන් වහන්සේලා අමතලා "සූකර පොතිකාව ලකුන්ටක අතිම්බර මහ ඇමතිගේ භාර්යාව බවට පත්වුනා" කියලා ප්‍රකාශ කර සිටිනවා. ඇමති බිරිඳක් වෙලත් තමන්ට "සුකර පෝතිකාව" කියලා ආමන්ත්‍රණය කරපු එක ගැන ඇය කල්පනා කරද්දි පෙර ජාති සිහිකරන්න පුලුවන් ජාතිස්මරණ ඥාණයෙන් සසර ගමන දැකලා ඒ ගැන කලකිරිලා ඇමතිගෙන් අවසර අරගෙන පැවදි වෙලා තිස්සමහාරාමයේ දී සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවාන් වෙනවා.

තවත් කාලයක් ගත වෙනවා. ඒ වෙද්දි දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සමඟ යුද්ධ කරලා ජයග්‍රහනය කරලා නැවත අනුරාධපුරයට ආපු කාලේ. ඒකාලේ දී ‍මේ සෝවාන් වුනු තෙරණිය නැවත දෙමව්පියන්ගේ ගම වෙන මුලින් කියපු හෝකන්ත ගමට වැඩම කරලා, ඒ ගමේ කල්ලක මහා විහාරයේ දී ආසිවිසෝපම සුත්‍ර ධර්මය අහලා රහත් භාවයට පත්වෙනවා.

තවත් කාලයක් ගත වුනාම මේ තෙරණිය පිරිණිවන් පෑමට තීරණය කරලා මේ මුලින් පවසපු තමන්ගේ අතීත චරිතය විස්තර වශයෙන් දක්වලා අවවාද කරලා පිරිණිවන් පානවා.

මෙයින් කියවෙන්නෙ භවයට ලොභ වෙන අපි නොයෙක් ජාතින්ට පැමිණෙමින් සසරෙහි ගමන් කරන හැටි. මේ කතාවෙන් අපට ගන්න තියෙන්නෙ භවය කෙරෙහි ඇති ලෝභය, මාර්ග ඥාණය වඩලා සහමුලින් නැති කරන්න ඕන කියන පණිවිඩය.

ලෝභය විසින් සත්වයන්ගේ භවය දිර්ඝ කරන ආකාරය ගැන සොයා බලත්වා! අපද දැනුවත් කරත්වා!!

ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!!! 

.......................................
- බුද්ධි.

ප/ලි-
මම ධර්ම දේශකයෙක් නෙමෙයි. සප්ත මහා සාගරය වගේ ධර්මස්කන්ධය හමුවේ එහි පාවෙන කිරල ඇබයක් තරම් වත් නැති මම කවදාවත් ධර්මදේශකයෙක් වෙන්න හිතන්නෙවත් නෑ. නමුත් මේ වගේ ලිපි ලියන්න කාලයක ඉදලා බලාපොරොත්තුවක් තිබුනා. ඒ කාටවත් උපදේස සපයන්න නෙමේ. සාකච්ඡාවක් ගොඩනඟලා නොදන්න දේ දැනගන්න.

හැබැයි ඒ බලා‍පොරොත්තුව තිබුනේ මුඩුබිමකට වැටුනු බීජයක් වගේ. ඒ බීජය වියලී යන්න කලින් දළු දාලා ලියලලා එන්න පොහොර වුනේ හසිතගේ ආගිය කතා. ජලය වුනේ කස්සගේ ඔසී කතාවේ බුදු දහමින් බිඳක්. හිරු කිරණ වුනේ තනුජ ජයසුන්දරගේ බුද්ධ රශ්මි.

මේ තියෙන්නෙ මම ලියපු

87 ක් කියන්නේ !:

  1. මේ කතාව දැක්කාම හිතට ආවේ අපේ සංසාර ගමන කොහොම වෙන්ට ඇතිද කියලයි.

    කුමාරිකාවක් විදියට උපත ලබලා, ප්‍රථම ධ්‍යාන ලබලා, බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටපු බ්‍රහ්මයෙක් පින් ටික ගෙවිලා ඊරියෙක් බවට පත් උනේ කොහොමද? ඒකේ තේරුම කිසිම පවක් නොකර ජීවත් උනු පුද්ගලයෙක් ඒ තත්වයට පත්වෙන්ට පුලුවන් කියන එකද? බ්‍රහ්ම ලෝකේ ඉපිද සිටි අයකුගෙන් පවක් සිද්ධවෙන්ට බෑනේ...

    කරුණාකරලා විස්තර කරන්ට.

    අහලා තිබුනේ නැති කතාවක්. මේ විදියට ධර්මය බෙදලා දෙන එක ගැන බුද්ධි, හසිත, කස්ස, ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පොකු,

      කුමාරිකාවක් විදියට උපත ලබලා, ප්‍රථම ධ්‍යාන ලබලා, බ්‍රහ්ම ලෝකේ ඉපදිලා හිටපු බ්‍රහ්මයෙක් පින් ටික ගෙවිලා ඊරියෙක් බවට පත් උනේ කොහොමද? බ්‍රහ්ම ලෝකේ ඉපිද සිටි අයකුගෙන් පවක් සිද්ධවෙන්ට බෑනේ///

      පොඩ්ඩිට පොඩි දෙයක් අමතක වෙලා ඒකයි මේ ගැටලුව. කුමාරියක්ව ඉපදෙන්න කලින් අනේක වාරයක් ඒ කුමාරිය මේ භවය තරණය කරනවා. ඒ එන ගමනෙ දී ඇය කුසල් සහ අකුසල් එකතු කරගන්නවා. කුමාරිකාවක් වෙලා ප්‍රථම ධ්‍යානව උපදවා බ්‍රහ්මයෙක් වෙනවා.නමුත් බ්‍රහ්මයෙක් විදිහට කුසල් ක්ෂය වෙනතුරු ඒ භවය ගලාගෙන ගියත්, ගංගාවක පතුලේ නොසෙල්වී තිබෙන ගල් කුළු වගේ කළ අකුසල් ඒ විදිහටම තිබෙනවා. ඒවා අවස්ථානුකූලව මතුවෙනවා. ඒකයි බ්‍රහ්මයෙක්ව සිටියත් ඉන්පසු විවිධ ජාතිවල උපදින්නෙ.... මීට පෙර ලිපියේ කිව්වා වගේ සත්වයෙක් සෝවාන් මාර්ගයට පිවිසෙනතුරු අපාය දොරටු නම් වැහෙන්නෙ නෑ.

      අනෙක් අතට කළ සියලු අකුසල් හා සියලු කුසල් ඒ ඒ සත්වයින්ට අනිවාර්යෙන් පල දෙනවා ද නැද්ද කියලත් පොකුට ප්‍රස්ණයක් එන්න පුලුවන්. ඒ ගැනත් සොයා බලන්න.:)

      අගය කිරීම ගැන තුති.

      Delete
    2. අහෝසි කර්ම කියලා ජාතියක් තියනවා නේද ? ඒ කියන්නෙ ඊට වඩා බලගතු පවකින් හෝ පිනකින් අදාල කර්මයේ බලය අහෝසි වෙලා පටිසන් නොදී ඉන්න පුළුවන් කියලා උගන්වනවා නේද බුද්ධි ?

      Delete
    3. මමත් දන්න විදියට ඔව් අහෝසිකර්ම තියෙනව .විස්තර කරන්න තරම් දැනුම මදි.

      Delete
    4. සෙන්නා සහ විපොකුර,
      කෙටි උත්තරයක් දෙනවට වඩා හොඳයි මේ ලින්ක් එකේ සම්පුර්ණ විස්තරය කියවන එක.

      http://rightmindfulness.wordpress.com/2012/02/14/%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA/

      Delete
    5. පොඩි කුමාරිහාමිට ස්තුතියි :)

      Delete
  2. සාධූ.... සාධූ.... සාධූ... බ්ලොග් එකේ නම වෙනස් කරලා ඔය් හෙළ විජය හරි මොකක් හරි නමක් දාගනින්. වෙන උන්ට වයසට ගිහින් හැදෙන ලෙඩේ. මූට කලින්ම හැදිලා. එක බනක් ඇහුවම් සෝවාන් වෙනවනම් මම අහන බන ප්‍රමාණය හා අවභෝධ කර ගැනීම අනුව නිවන් දැකලා ආයෙත් දැකලා....

    ReplyDelete
    Replies
    1. අනේ මාතලන්.....

      Delete
    2. මාතලන්,
      01. සාධූ.... සාධූ.... සාධූ... බ්ලොග් එකේ නම වෙනස් කරලා ඔය් හෙළ විජය හරි මොකක් හරි නමක් දාගනින්. //

      එහෙම කරන්න බෑනේ මාතලන් ගොයියෝ, මේ බ්ලොග් එකේ වෙන වෙන ලිපිත් යනවනේ වෙන වෙන ලේබල් යටතේ.:)

      02. වෙන උන්ට වයසට ගිහින් හැදෙන ලෙඩේ. මූට කලින්ම හැදිලා.// ව්‍යංගයෙන් කස්සලාව, හසිතලාව වයසට යැව්ව එක ගැන ඒ ගොල්ල මොනවා කියයිද දන්නෑ?:P

      03.එක බනක් ඇහුවම් සෝවාන් වෙනවනම් මම අහන බන ප්‍රමාණය හා අවභෝධ කර ගැනීම අනුව නිවන් දැකලා ආයෙත් දැකලා....//ඔව්නේ. එතන ගැටලුවක් තියෙනවා තමා. මටත් ඔය ගැටලුව තිබුනා. අහවල් සුත්‍රය අහලා මෙච්චර ගාණක් රහත් වුනා නම් ඒ සුත්‍රය ම අහන අපි ඇයි ඒ විදිහටම ඉන්නෙ කියලා. මාතලන් ඒ ගැන හෙව්වද? මේ මමහොයා ගත්තු කරුනු!

      01. පළවෙනි කාරණය බණ දේශනා කරනවිට එය ශ්‍රවනය කරන්නා තේරුම් ගන්නා ප්‍රමාණය සහ ශ්‍රවණය කරන්නාකුල ධර්මාවබෝධය කරගැනීම සඳහා පුරන ලද පාරමී බලය හා කුසල් ශක්තිය කියන දේවල් බලපානවා.

      02. දෙවෙනි කාරණය බුදුපියාණන් වහන්සේ දේශණයක් කරනවිට අපි හිතාගෙන ඉන්නෙ ජාතක කතාවක් දේශණා කල පූර්වාපර සංධි ගැලපුවා බණ දේශණාව ඉවර කලා කියලා. ජාතක පොතේ තියෙන්නෙත් මේ කතාව අහගෙන හිටපු බොහෝ පිරිසක් මාර්ග පලවල පිහිටියා කියලනේ.

      බුදු පියාණන් වහන්සේගේ එක් ධර්ම දේශණය ක් බොහෝ වෙලාවක් පවත්වනවා. දාන කතා ශීල කතා ආදීයෙන් අනුන මේ දේශනාවන් බොහෝ විට උදේ පටන් අරගෙන නොනවත්වාම දහවල් වෙනතුරු පවත්වනවා. ඒ අනුව දේශනා කල රහතන් වහන්සේලාත් එවැනි ම දීර්ඝ කාලයක් එක් දේශණාවක් සඳහා යොදා ගන්නවා. (කෙටි දේශනාවලින් ම මාර්ගඵල ලැබූ අයත් ඉන්නවා.)

      එතකොට පුරන ලද පාරමී බලයෙන් අර ධර්මය අවබෝධ කරගන්න හැකිවෙලා තමා මාර්ගඵල වලට එළබෙන්නෙ. එක බණක් අහපුවාම මාතලනුත් මමත් සෝවාන් නූනේ ඒකයි. නමුත් අපිට පුලුවනි ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න.

      උදා- කිව්වොත් සූනීත වැසිකිලි හෝදමින් ඉදලා එක පාරට කොහොමද ධර්මය අවබෝධ කරගෙන රහත් වුනේ. ඒ ඔහුගේ කුසල ශක්තිය නිසා. පෙර බුදුවරුන්ගෙන් බණ අහලා බොහෝ කුසල් එකතු කරගෙන සිටියත් තවත් භවයක එක පසේබුදු වරයෙක් ගමක පිඩුසිගා වඩින කොට ඒ ග‍මේ තරුණයෙක් වෙලා හිටලු සුනීත සහ එයාගේ යාලුවෝ "කුශ්ෂරෝගියෙක් වගේ මුලු ඇඟට පෙරොගෙන යන්නෙ ඇයි, ගෙයින් ගෙයට කෑම ඉල්ලගෙන යන්නෙ වැඩක් පලක් කරලා කීයක් හරි හොයා ගන්න බැරිද, වැඩකරන්න දන්නෙ නැතිනම් අපගේ වැසිකිලි හෝදන්න අපි කන්න දෙන්නම්" කියලා පරිභව කරලා තියෙනවා. මාතලන් දන්නවා ඇතිනේ ප්‍රතිග්‍රාහකයාගේ සිල්වත් කම අනුවත් අපිට ලැ‍බෙන කුසලාකුල වෙනස් වෙනවා කියලා. ඒ අනුව පෙර කුසල් තිබුනත් අ‍නේක ජාතියකක සුනීතට ඒ රැකියාව කරන්න වුනා.

      නමුත් බුදුපියාණන් වහන්සේ පස් යට සැඟව තිබූ මැණිකක් ව‍ගේ යටපත් වෙලා තියෙන සූනීතගේ කුසල් ශක්තිය දැකලා තමා ඒහිභික්ඛු භාවයෙන් පැවදි කලේ.

      යටගිය කතාව දන්නෙ නැති කාටත් හිතෙන්න පුලුවන් මේ වගේ සුලු දෙයක් කරලා රහත් වෙන්න පුලවන්ද කියලා. නමුත් ඒ පිටුපස ලොකු කතාවක් තියෙනවා.

      Delete
    3. බුද්ධිගේ මේ කෙමෙන්ට් එකට මම අහලා විශ්වාස කරන දෙයකුත් එකතු කරන්න හිතුනා..

      කුසලය කියලා කියන්නේ නිර්වාණ මාර්ගයට අපේ ඇති කුසලතාවය නැත්නම් Skill කියලා කියන්නත් පුළුවන්..ඉතින් සසර පුරා අපි කුසලතාව පුහුණු කරලා දියුණු කරලා තියනවා නම් අපිට ඉක්මනට නිර්වාණ මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන්

      නැත්නම් කවදා හරි නිවන් අවබෝධ කරගන්න උවමනා නම් මේ කුසලතාවය දියුණු කරන්න උත්සාහ කරන්න ඕන..බණ අහලා ඒවා තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන එක තරම් පුහුණු වීමක් තවත් නෑ..Skill එකක් නැතුව මොනවත් කරන්න බෑනේ..

      Delete
    4. මම දන්නවා මොනවා කිව්වත් උඹ තරහ වෙන්නේ නෑ කියලා. අපේ රජවරු සහ මහනුන් ඒ කාලෙත් කළේ උඹ දැන් කරන දේ. ඒ කියන්නේ කුසල් අනුව සියල්ල පලදෙනවා කියන එක. පව් කරපු අය දුක් විඳිනවා, පින් කරපු අය සැප විඳිනවා කියන කතන්දරේ. ඕකෙන් වෙන්නේ කාළකන්නි කම්මැලි ජනතාවක් බිහි කරන එක. අපේ රටට වෙලා තියෙන්නේ ඒක. අද මේ නවීන මුහුණුවරකින් කරන්න හදන්නෙත් ඒක. එතකොට සඝුන්ට රජුන්ට පාලනේ ගෙන යන්න ලේසියි. ඇයි අපේ කුසල් මදි නේ. අපි පව් කාරයෝ. එතකොට මට කියලා දෙනවද පස් පව් ඔක්කෝම කරණ උන් පන පිටින් දිවිය ළෝකේ යන ක්‍රමේ. මටත් යන්න. පස්සෙ බැරිය නිවන් දකින්න.

      Delete
    5. මාතලන්,
      01. අපේ රජවරු සහ මහනුන් ඒ කාලෙත් කළේ උඹ දැන් කරන දේ.//

      කරන දේ එක වගේ පෙනුනට දෙන දේ වෙනස්!:)

      02. ඒ කියන්නේ කුසල් අනුව සියල්ල පලදෙනවා කියන එක. පව් කරපු අය දුක් විඳිනවා, පින් කරපු අය සැප විඳිනවා කියන කතන්දරේ.//

      මමත් මුලින් හිතුවෙ එහෙම. එහෙම හිතන්නෙ බුද්ධ ධර්මය උඩින් පල්ලෙන් අතගාපු අයයි. ඉතින් රටේ ජනයා බුද්ධිමත් නැතිනම් ඕනෙම කෙනෙක්ට රවටන්න ලේසියි.

      උදා - ඔය කතාව ඇත්තනම් මිනිසුන් දහසක් මැරූ අංගුලිමාල රහත්වුනේ කොහොමද? ඕක සාමාන්‍ය ජනතාව හිතන්න ඕනේ පාලකයෝ රවටන්න කලින්. ඒ ඔස්සේ ගියොත් පව් කරපු අය දුක් විඳිනවා, පින් කරපු අය සැප විඳිනවා කියන කතන්දරේ ඇත්තද කියලා හොයාගන්න තිබුනා.

      03. ඕකෙන් වෙන්නේ කාළකන්නි කම්මැලි ජනතාවක් බිහි කරන එක. අපේ රටට වෙලා තියෙන්නේ ඒක.// ඒක බුද්ධ ධර්මයේ වැරැද්ද නොවෙයි. තේරුම් ගැනීමේ හා ඇදැහිලි වල වැරැද්ද.

      04. එතකොට මට කියලා දෙනවද පස් පව් ඔක්කෝම කරණ උන් පන පිටින් දිවිය ළෝකේ යන ක්‍රමේ.// මේ ගැන කියා දෙන්න දෙයක් නෑ. මාතලන්ට ලේසියෙන් ම අවබෝධ වෙයි.

      අමතරව-
      කාලයක් මමත් හිතුවෙ ඔය විදිහට. නමුත් කල්‍යාන මිතුරන් කිහිපදෙනෙක් හා තවත් හේතු නිසා මේ තත්වය වෙනස් වුනා.

      මාතලන්,
      රටේ මිනිස්සු හා පාලකයින් ඒයාලා කරන දේවල් වලට වග කියාවි. ඔබත් මමත් බලන්න ඕනේ නිවැරදිව ධර්මය අව‍බෝධ කරගෙන මේ වගේ පාලකයින්, මේ වගේ රටවැසියන්ගෙන් පිරුනු ලෝකයෙන් ගැලවෙන්න.

      හැමදේ ගැන ම විමසිල්ලෙන් බලන මාතලන්ට බුද්ධ ධර්මය නිවැරදිව තේරුම් ගන්න එක මාර ලේසි වෙයි. මොකද විශ්වාස හා ඇදැහිලි එක්ක සිතුවිලි බැඳිලා අඳුරු වෙලා නැති නිසා. හැබැයි ඒ වෙනුවෙන් අපේ බුද්ධියට සාපේක්ෂව හැමදේම නිර්වචනය කරන්න ගියොත් නැවත පැටලෙනවා. එකෙන් කියන්නෙ අන්ධ භක්තියක් ඇති කරගන්න කියන කාරණාව නෙමේ.

      අනෙක් අය ගැන දෙවනුව හිතමු. මුලින් අපි ටාගට් එකට යමු.

      මාතලන්ට හිතුනොත් මුලින් අපි ගැන හිතමු කිව්වට මමත් මේ ලිපිය අනිත් අයටයි ලියලා තියෙන්නෙ කියලා ප/ලි කෑල්ල බලන්න.

      Delete
    6. රූ,
      Skill එකක් නැතුව මොනවත් කරන්න බෑනේ.//

      එකඟතාවය 100%. බුදු පියාණන් වහන්සේට කොච්චර Skills තිබුනද? අපි උන් වහන්සේගේ අනුගාමිකයෝ. අපේ බාසාවෙන් කිව්වොත් ගෝලයෝ. නායකයාණන් වහන්සේ අරවගේ සුපිරි Skills වලින් අනූන කෙනෙක් වීම ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනේද?

      හැබැයි ගොබ්බසේනලා වගේ අපි ඒ ගැන උදම් අනමින් ඉදලා වැඩක් නෑ. කරන්න තියෙන්නෙ ඒ Skills අප තුල ඇති කරගන්න මාර්ගයට අවතීරණ වෙන එක. නැතිනම් ඒක උන් වහන්සේට කරන අගෞරවයක් කියලා මම පුද්ගලිකව හිතනවා.

      Delete
    7. සාදූ සාදු.. හුඟක් කරුණු සහිත පිළිතුරක්..

      Delete
    8. මාතලන්/
      බ්ලොග් මාධ්‍ය තුල ඔබ ඉන්න තැනින් පහලට ඇද වැටෙනවට මමනම් කැමති නෑ...
      මෙවැනි මිත්‍යදිඨ්ඨික කොමෙන්ට්ස් දාන්න කලින් ටිකක් හිතල බලන්න..තරහ ගන්න එපා..

      Delete
    9. @ මාතලන්

      "ඒ කියන්නේ කුසල් අනුව සියල්ල පලදෙනවා කියන එක. පව් කරපු අය දුක් විඳිනවා, පින් කරපු අය සැප විඳිනවා කියන කතන්දරේ"

      කුසල් අකුසල් අනුව හැමදේම තීරණය වෙන්නේ නැහැ. අපි මේවා කම්ම කියලා පහසුවට දක්වමුකෝ. පංච නියාම ධර්මයන්ගෙන් කම්ම නියාමය කියන්නේ එකක් විතරයි. බීජ, සෘතු, චිත්ත, ධම්ම නමින් තවත් නියාම ධර්ම 4 ක්ම තියෙනවා.

      ඒ වගේමයි සම්පත්ති 4 ක් සහ විපත්ති 4 ක් තියෙනවා. කාල, ගති, උපධි, පයෝග නමින්. ඒක නිසා හැමදේම කුසල් අකුසල්වලට ලඝු කරන්න බැහැ.

      සරලම උදාහරණයක් දෙන්නම් කොච්චර කුසල් කරපු කෙනෙක් වුණත් කාල විපත්ති එහෙමත් නැත්නම් නපුරු කාලයක ඉපදුණොත් එයාගේ කුසල් පඩිසන් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එයාටත් දුක සේ තමා ගත කරන්න ලැබෙන්නේ.

      Delete
  3. මම මේ කල්පනා කලේ බුද්ධි මොකද මේ හැටි දහම් නැඹුරුවක් පෙන්නන්නෙ කියලා, මෑතක ඉඳන්. :) හොඳයි හොඳයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,
      මට දැනුනු එකම දේ මේකයි.

      අප ගෞතම බුදු පියාණන් වහන්සේ පහල වූ කාලයත්, මීලගට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන්වහන්සේ බුදුවන කාලයත් අතරතුර ගෙවී යන කාලය හා සසදා බලන විට අප ගෞතම බුදුන් වහන්සේ මෙලොව පහල වෙලා තවම ගෙවී ඇත්තෙ ඇසිල්ලක තරම් කාලයක්.

      ඒ වගේ විරළ අවස්ථාවක ඉපදුනු අපි මේ කරන්නෙ මොනවද? ඊලග භවය ඉතාම හොඳ එකක් වුවොත් එක්කෝ දෙවියෙක් වෙයි. ඒත් කුසලය ක්ෂය වුනාම නැවත අපි කොහාටද වැටෙන්නෙ. නැතිනම් මිනිසෙක් වෙයි. මිනිසෙක් වුවොත් මාස 10 ක් කළගෙඩියක මෙන් සිර වී සිටිමින් තවත් අවුරුදු ගාණන් කුඩා කල සිටිමින් රැකියා කරමින්, මුදල් සොයමින්, ඒවා රකිමින් මොන විකාරයක්ද? අද උත්සහ කලොත් හැකි ආසන්නම අවස්ථාවේදී අපේ ඉලක්කයට යා හැකි වෙයි.

      Delete
  4. බණ ඇහීම සම්බන්ධයෙන් නම් මගේ ඒ තරම් කැමැත්තක් නෑ... හේතුව ගොඩක් වෙලාවට බණ අහනකොට මට නිදිමත වෙන නිසා.... අනිත් එක බිම වාඩි වෙලා ඉන්න කොට කකුල් හිරි වැටුනම බණට අවධානය යොමු කරන්න අමාරුයි... හි හි...

    කොහොමත් ජාතක කතා සහ එක එක විදියේ පරණ කතා අහන්න ආසාව නම් තියෙනවා....

    ///භවය කෙරෙහි ඇති ලෝභය, මාර්ග ඥාණය වඩලා සහමුලින් නැති කරන්න ඕන කියන පණිවිඩය.////

    කතාව නම් හැබෑව.....

    මම දැක්කා මොකක් හරි Documentry එකක කියනවා මේ වෙනකොට ඉන්න මනුස්ස වර්ගයා යම්කිසි තරමකින් කලින් හිටපු අයට වඩා ඥානවන්තයි කියලා....ආ හරි .. Ancient Aliens එකේ... මීට අවුරුදු 1000කට කලින් තිබ්බ දැනුමට වඩා දැනුමක් මේ වෙනකොට මනුෂ්‍ය වර්ගයාට තියෙනවා කියලා..

    බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවට ‘ලෝකයේ ආරම්භය, අවසානය කො‌ෙහාමද “ කියලා බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙන්නේ නැත්තේ මේ හින්දා කියලායි මට හිතුනේ... ඒ කාලේ හිටපු මිනිස්සු ඒක පැහැදිලි කලාට තේරුම් ගන්න තරම් මනසින් වැඩිලා හිටියේ නෑ.. හැබැයි බුද්ධ කාලායක උපත ලබන්න තරම් පින් කරලා තිබුනා.... ඒකයි ඔවුන්ට ලේසියෙන්ම මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් උනේ.... දැං කාලේ ඉන්න අයට නුවණ තිබ්බත් පින නෑ කියලායි මට හිතෙන්නේ.. ඒකයි මාර්ගඵල අවබෝධ කරගන්න අමාරු...

    ඒ ඉතිං මට හිතිච්ච දෙයක්.. දැන් කවුරුහරි කිව්වොත් “ දැන් ඉන්න අය ඉස්සර හිටපු අයට වැඩිය මොලේ වැඩියි කියන්නේ කොහොමද.. දැං කට්ටිය කරන්නේ වඳුරන්ටත් අන්ත වැඩනේ “ කියලා... ඒකත් හැබෑව කියලා මම පිළිගන්නවා.....

    ReplyDelete
    Replies
    1. ලෝකයේ කෙලවර තියෙන්නේ මේ හතර රියනක් වෙච්ච මනුස්ස සරීරය ඇතුලෙයි.. ඒ නිසා ලෝකේ කෙලවර නොසොයා තමා තුලට එබී බලන්න කියලයි උන්වහන්සේ දේශනා කලේ.. අපි හැමෝටම නිවන අවබෝධ කරගන්න අවශ්‍ය පසුබිම තිබුනත් ඒ සුදුසුකම් සපුරාල නැති එකයි හිරු ප්‍රශ්නේ.. සුදුසුකම් කියන්නේ පාරමිතා. එකින් එක ක්ලේශයන් ඉවත් කරන්න ඕනේ..ආත්ම ගණනක් ගියත් එහෙම පටන් ගත්තාම පිරෙන දවසක් එනවා. භාවනාවෙන් සිත පිරිසිදු කලාම කල්පාන්තරයක් තිස්සේ එකතු කල දැනුම වතුර පිරිසිදු උනාම ලිඳක පතුල පෙනෙනවා වගේ පෙනෙන්න ගන්නවා. එතකොට අවබෝධය එනවා. අමතක කරන්න එපා සිදුහත් කුමාරයා වසර හතළිහක් හිටියේ ගිහි ගෙයි.. අවබෝධය ආවේ සතිපට්ටාන භාවනාව දියුනුකලාට පස්සේ අර එකතුකළ ඥාන සම්භාරය මතුපිටට ගැනීමෙනුයි..

      Delete
    2. කෙටි පැහැදිලි කිරීම අපූරුයි....තෙරුවන් සරණයි ඔබට....

      Delete
    3. අමතක කරන්න එපා සිදුහත් කුමාරයා වසර හතළිහක් හිටියේ ගිහි ගෙයි..// 40 ක්ද 29 ක්ද?

      Delete
    4. ඔන්න අපේ හසිතයා එන්නේ නැති පාඩුව.. ඔබ හරි සිදුහත් කුමාරයා හැටියට අවුරුදු 29ක් ගිහිගෙයි තවුසා හැටියට අවුරුදු හයක් ඉන් පසු බුදු වී අවුරුදු හතලිස් ගණනක්.. මගේ අදහස හරි නේද ?

      Delete
    5. ඔව්...

      ගිහිගෙයි 29, බෝසත්ව 6, බුදුව 45 = අවුරුදු 80

      Delete
    6. @ සරත් ලංකාප්‍රිය

      ප්‍රමාදය පිළිබඳ කණගාටුව :)

      අපේ දහම් පාසලේ දරුවන්ටත් ඔය ටික පාඩම් කරවන්නේ මෙහෙම.

      සිදුහත් කුමාරයා

      විවාහ වුණා - වයස අවුරුදු 16 දී
      රජ සිරි වින්දා - අවුරුදු 13 ක්
      ගිහිගෙය හැර ගියා - වයස අවුරුදු 29 දී

      බෝසතාණෝ
      සත්‍ය සොයා ගියා - අවුරුදු 6 ක්
      බුද්ධත්වය ලැබුවා - වයස අවුරුදු 35 දී

      බුදු හාමුදුරුවෝ
      ලෝක සත්වයා වෙනුවෙන් කැප වුණා - අවුරුදු 45 ක්
      පිරිනිවන් පෑවා - වයස අවුරුදු 80 දී

      Delete
  5. බුද්ධිටත් ජාතිස්මරණ ඥාණය පහළ වෙලා වගෙයි !

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, එහෙම උනානං මටත් බලාගන්න තිබුනා!

      Delete
  6. අදටත් මාර්ග ඵල ලැබූ රහත් අය කොතෙක්වත් ඇති..අප අනාවරනය වන මාධ්‍ය වලින් එන එකක් නම් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ තියෙන්නෙ රහත් වුනු අයට මාධ්‍ය ප්‍රචාරණය ඕනි නැති එකනේ..

      Delete
    2. වෙනී, රූ, මේ ගැන පින්තූර සහිත ලිපියක් රසිකයෙක්ගේ උදව්පිට ඉදිරි දිනක දී බලාපොරොත්තු වන්න.

      Delete
  7. ඔන්න ඕක තමයි දැන් අපේ හාමුදුරුවරු බොහොමයක් දෙවු මිනිස් සැප කෙලවර අමාමහ නිවන පතන්කොට මට හිනා යන්නේ . භව තන්හාව විතරක් නෙවෙයි ලවුකික සැප පිලිබඳ තන්හාව තවත් වැඩි දියුණු කරමින් මේ උන්නාන්සේලා දේශනා කරන්නේ බුදු බණද ? වැඩි දෙනෙක් හිතන් ඉන්නේ දෙඋව් සැප ලැබුනොත් ඊළඟට එන්නේ මනුස්ස ලෝකෙට කියලා. එහම එකක් නැහැ.. කර්මය ගෙවුනාම ඊළඟට ප්‍රතිපල දෙන්නේ පාප කර්මයක්නම් ඉතින් තිරිසන් භවයක් වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය මේ.. අපේ අම්මගෙන් අහලා තිබුනත් ආයිත් මතක් කලාට ඔබට පින් ..

    ReplyDelete
  8. මම නම් මේ වගේ ඒවා කියවන්න හරිම කැමති..වටිනා ලිපියක් ...

    ReplyDelete
  9. හැමදේකම ඉස්සර මිනිසුන්ගේ හිත් සුවපත් කරල ඉන්න ඕන.

    චීවරය දරාගෙන දවසක් හිටියොත් ඒකෙ තියන අමාරුව තේරේවි. (ගැහැණියගේ වැඩයි පිරිමියෙකුගේ වැඩයි දවසකට මාරු කරගත්තම තියන ප්‍රශ්න දන්නවනේ..

    ඒ නිසා එතරම් කැපවීමක් කරන බුද්ධ පුත්‍රයෙකුටත් සමහර ද් ගෝචර වෙන්නෙ නෑ. වරදින්න පුලුවන්.

    ඇරත් අමාමහ නිවන් සුව පැතුවාය කියල කිව්වට වරදක්ද?

    සරත් මහත්මයාටත් ඔයවගේ බණ දේශණාවකදී හිනා පහල වෙන්නෙ, අනුන්ගේ ඇද කුද සොයන නිසාවෙන්. තමන් සියල්ල දත් කියන මුලාවෙන්ද කියල හිතෙනවා?

    ධර්ම දේශනාවක් අවසානයේදී එහෙනම් කියන්න ඕනා සසර කෙලවර අවීචි මහා නරකාදී සම්පත් ලැබේවා කියලාද? හොදයි ඔයා යෝජනා කරන්න බලන්න?

    ReplyDelete
    Replies
    1. මහත්මයා. ඔබ කවරෙක්දැයි නොදන්නා නිසා එසේ ඇමතීම ගැන සමාවෙන්න..ඔබේ වතගොත පැහැදිලි වුවා නම් මේ සංවාදය මීට වඩා කාටත් පැහැදිලිවේවි.. චීවරයක් දරා සිටීම අපහසු වෙන්නේ චීවරයට අදාළ පැවැත්ම හරිහැටි ගෙනයනවා නම් විතරයි නේද ? චීවරය දරාගෙන ගිහියෙකු මෙන් ක්‍රියා කිරීම නම් ඉතින් වෙනම දෙයක්.. . එහෙම අය ගැන ඉතින් අමුතුවෙන් නොලීවාට මෙය කියවන බොහොමයක් අය දන්නවා ..
      ඔබ වරක් හෝ චීවරයක් දරාගෙන ඉන්න ඇති.. ඒ කාලයේදී ඔබ නිසි පරිදි අදාළ පැවතුම් රකින්නත් ඇති.. ඒ නිසා එහි බරපතලකම ඔබ දන්නවා. එත් සිවුර දරන්නකු විසින් නොකළයුතු දේ කරමින් සිවුර දැරීම පමණක් බරපතල කරුණක් කර දක්වා ඉන් මිදීම නම් හරි නැහැ.. දැන් දැන් සිවුර දරාගෙන අපරාධ කරන සංක්‍යාව වැඩි බව කවුරුත් දන්නා දෙයක්.. සිවුර දරා සිටීම කැප වීමක් වෙන්නේ නිසි පරිදි අදාළ සිල් දරාගෙන ජීවත් වුවොත් විතරයි. බර ඇත්තේ සිල් වල මිස සිවුරේ නොවෙයි .. හැරත් එසේ සිල්වත්ව ඉන්න හිමිවරුනට සිවුර බරක් නොවෙයි ආශීර්වාදයක් . සිවුර බරක්වෙන්නේ ඊට අදාළ ගති පැවතුම් දරාගන්න බැරි අයට විතරයි..
      අපි දේව ලෝක වල සරිසරුවොත් වෙන්නේ නිවනට දුර වීම නෙවෙයිද ? සමහර ස්වාමීන් වහන්සේලා තාවතිංසා යනාදියෙන් සියලු දෙවු බඹ තල ලැයිස්තුවක් කියවලා ඊට පස්සෙයි නිවන පතන්නේ ! නිර්වාණය ලඟා කරගන්න හැකි වෙන්නේ මනුස්ස ආත්ම භාවයක් ලැබුව කෙනෙකුට විතරයි කියන එක අමුතුවෙන් කියන්නෝන නැහැනේ. ඉතින් දෙවු සැප කියන්නේ එක ප්‍රමාද කිරීමේ මගක් විතරයි.. අනික බුදු හිමියන්ගේ දසුනේ ඉතාම පැහැදිලි දෙයක් තමයි දෙවු සැප මිනිස් සැප කියන්නේ දුක පමණක් බව. දෙවු මිනිස් සැප කියන්නේ කම් සැප මිස වෙන දෙයක් නෙවෙයි..ඔබට තව තවත් කම් සැප ඇති තෙක් තෙක් විඳ එහි කෙලවර අම මහා නිවන ලබන්න කියා කීමෙන් වෙන්නේ කම් සැපට ඇති ලොල් බව තවත් වැඩි කිරීමට අනුබල දීම නෙවෙයිද ? ඉතින් ඒක සිතුනාම මට සිනා පහල වීම වරදක්ද ? ඉතින් මම නම් කැමති අපේ ස්වාමීන්වහන්සේලා නිවන ලඟා කරගැනීමට පිහිටවෙන මනුස්සාත්මභාවයක් ලබලා හැකි ඉක්මනින් නිවන් දකින්න කියලා ආශීර්වාද කරනවා නම්. එහෙම ආශීර්වාද කරන හිමිවරු මට හමුවී තිබෙනවා. මගේ දහම් දැනුම ගැන නම් මට කිසිම තෘප්තිමත් කමක් නැහැ ඒ මොකද දහම් දැනුම නිසි පරිදි ලබන්න නම් පොත පතින් ලබන දැනුමට වඩා සිත දියුණු කිරීම මගින් ලබන අවබෝධය වැදගත් කියලයි සිල්වත් හිමිවරු දේශනා කරන්නේ.
      වරද අමාමහ නිවන් පැතීම නෙවෙයි..අවීචි මහා නරකාදියට බය කරවලා තාවතින්සයට ආසාකරවලා සසර දික් කිරීමට අනුබල දීමයි. අමාමහ නිවන දීව්‍ය මනුස්ස සැප කෙලවර ලැබීමට පැතීමයි. වයධම්මා සංකාරා අප්පමාදෙන සම්පාදේත.. කියලයි බුදුපියාණන් අවසාන වතාවට සංගයා වහන්සේට අවවාද කලේ. ..එය පමා කිරීමට පැතීම සිනාවට කාරණයක් නොවේද ? මේ පැතුම කොතරම් බුදු දසුනට ගැලපෙනවාද කියා මම තර්ක නොකලත් බොහෝ අය දන්නවා.
      බුදු පියාණන් අපට උගන්වා ඇත්තේ යමෙක් කී පමණින් භාර ගන්න නොවේ. ඒ දේ හරි වැරදි තමා සිත බලා වටහාගෙන තීරණයක් ගන්නයි මම කිවුවේ මගේ තීරණේ. එහෙම තීරණේ කරන්න බවුද්දයෙක් හැටියට මට අනුබලය උන්වහන්සේගෙනුයි.. එක ඇද කුද හෙවීමක් කියලා මම නම් හිතන්නේ නැහැ..

      Delete
    2. "ධර්ම දේශනාවක් අවසානයේදී එහෙනම් කියන්න ඕනා සසර කෙලවර අවීචි මහා නරකාදී සම්පත් ලැබේවා කියලාද? හොදයි ඔයා යෝජනා කරන්න බලන්න?"
      (මෙතන නම් වචන පැටලිලා වගේ.. ඒ මොකද සසර කෙලවර නම් කොහෙද තව අවීචියට යන්න කෙනෙක් ඉන්නේ ?)

      Delete
    3. Unknown සහ සරත් අයියා,

      නිවන් පැතීම ගැන කෙටියෙන් කිව්වොත්,

      එක් පසේ බුදුවරයෙක් උදෙසා මීපැනි පූජා කල සහෝදරයින් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් පුන්‍යානුමෝදනා‍වෙදී "වහා නිවන අවබෝධ වේවා" කියලා ප්‍රාර්ථනා කලාලු. අනෙක් සහෝදරයා "දෙව් මිනිස් සැප කෙලවර නිවන අව‍බෝධ වේවා කියලා පැතුවලු. මුලින් කී සහෝදරයා ඊලග බුද්ධෝත්පති කාලයෙ දී ඉපදිලා නිවන් අව‍බෝධ කරගත්තලු. නමුත් දෙව් මිනිස් සැප කෙළවර වශයෙන් ප්‍රාර්ථනා කළ කෙනා දෙව් මිනිස් සැප ලබමින් අනේක කල්ප ගාණන් සසරෙහි සැරිසරලා අප ගෞතම බුද්ධ ශාශනයේ දී ලු නිවන් අවබෝධ කලේ. මම හිතන්නෙත් " හැකි පහසුම ප්‍රතිපදාවෙන් වහ වහා නිවනම පැතිමයි සුදුසු කියලා"

      (මම කියපු කතාවේ දින වකවානු හා නම් ගම් සහ බුදුන් වහන්සේලා ගැන විස්තර හරියට මට මේ වෙලාවේ මතක් වුනේ නැති නිසයි ඔය විදිහට කිව්වෙ.)

      Delete
  10. සාදු..සාදු...සාදු..!!!

    බුද්ධිගෙ ලිවිමේ හැකියාව ඉතා ඉහලයි..මේ වගේ දේවල් නොකියවන කෙනෙකුට වුනත් කියවන්න කැමති වෙන විදියට අපූරුවට ගලපලා තියනවා..ධර්මය බෙදාදීම බොහොම පිං ඇති වැඩක්.

    හැකිනම් ඉරිදා රෑට අටලෝ දහමින් කම්පා නොවී සිටීම ගැන යමක් ලියන්න...T20 ඉවරවුනාම කියවන්න..

    ReplyDelete
    Replies
    1. දැන් ටී ටුවෙන්ටි ඉවරයි!

      කම්පා වෙලාද ඉන්නෙ....

      Delete
  11. සාධු සාධු............ අම්මටත් කියන්න වටින කතාවක්.. :))

    ReplyDelete
    Replies
    1. නිසුපා, දැන් නං අම්මට කියලත් ඇති.

      Delete
  12. ලිපිය වගේම කමෙන්ට් කියෙව්වාමත් ගොඩක් දේවල් හිතන්න පුළුවන්..
    ඉතින් මේ ධර්ම දානයෙන් ලබා ගන්න කුසල කර්මය බුද්ධිටත් නිර්වාණ අවබෝධය පිණිසම වේවා...

    ගොඩක් වෙලාවට නිර්වාණ මාර්ගෙයේ පළවෙනි පියවර ගොඩක් සරල නිසා (ඒත් අමාරුයි) ගොඩක් අය ඒක ප්‍රමුඛතා ලැයිස්තුවේ පස්සට දානවා..

    වයස මෙච්චර වුනාම ළමයි ලොකු වුනාම ගෙයක් හදපුවාම මම මේක කරන්නම් කියලා..ඒත් බුද්ධ දේශනාවෙන නම් තියෙන්නෙ සියොළඟ ගිනි ගත්ත මනුස්සයෙක් තමන්ගෙ ගිනි නිවන්න උත්සාහ කරනවා වගේ පුළුවන් තරම් ඉක්මන් වෙන්න කියලා..

    මොකද තමන්ව ගින්නකට අහුවුනාම ළමයි ලොකු වෙලාද නැත්නම් ගෙවල් දොරවල් හැදිලා ඉවරද කියලා හොය හොය ඉන්නෑනේ..

    ReplyDelete
    Replies
    1. නැවතත් එකඟතාවය 100%. අනික මේ අපේ අවසන් අවස්ථාව කියලා හිතලා වැඩ කරන්න ඕනේ. අපිට අනාගතය හෝ අතීතය බැලීමේ නුවණ නැති නිසා අපි කොහෙ යයිද කව්ද දන්නෙ.

      අනිත් අතට බුදු පියාණන් වහන්සේම දේශනා කලේ අයෙක් ගෙදරින් පිටවෙලා තැන් නැන් වල නැවතී නැවතී උනත් නැවත ගෙදර එන්නා සේ මේ සත්වයින්ද තමන්ගේ ම නිවසට යන්නා වගේ අපායටම යන බවයි. ඉතින් රූ පෙන්වා දුන් දේවල් පසෙක තබා එයින් ගැලවෙන් දැන් තමා නියම වෙලාව.

      Delete
  13. සලං මහත්මයෝ, දෙව් මිනිස් සැප කියන ඒකෙ අපි හිතනවට වඩා ගැඹුරු තේරුමක් තියෙනවා. මෙතන සැප කියන්නේ ලෞකික සැප ගැන පමණක් නොවෙයි. ඒවා ලබන්නත් පින් රැස් කරන්න ඕනේ. ඒත් අධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න පුළුවන් මේ ආත්ම වර්ග දෙකේදී විතරයි. දැන් අර කිකිළිය හා ඊරිය එන ඔබට හිතෙන්න පුළුවන්. ඒත් ඒ අතලොස්සක් තමන්ගේ කුසල ශක්තිය නිසා එඑහෙම ඥාන ශක්තියක් ලැබුනත් පින් සහ කුසල් රැස් කල හැකි ආත්ම වන්නේ දෙව් මිනිස් ආත්ම වලදී පමණයි. පින් සහ කුසල් වලින් ධනවතෙක් වෙන්න ඕනා මාර්ග පල ලබන්න. ඉතිං අපිට ලැබිල තියෙන මේ ජීවිත් කාලේ ඇතිද කියලත් හිතෙනවා ඒ අවශ්‍ය පින් සහ කුසල් රැස් කරන්න.

    ReplyDelete
    Replies
    1. සුදීකගේ මේ ටික විවාදයකට වටිනවා .(මට අලුත් නමකුත් දීලා තියෙන්නේ !!) මං අහලා තියෙන කියවලා තියෙන හැටියට පින් දහම් රැස් කරන්න පුළුවන් මනුස්ස ආත්ම භාවේදී විතරයි.. දෙවියන්ට ලැබෙන්නේ තමා ඉහත ආත්මවල කල දේ වල ප්‍රතිපල සහ අනුමෝදන් කරවන ලද පින්වල ප්‍රතිපල විතරයි නේද ? කොහොමටත් නිවන් දැකීමට හැකි වෙන්නේ මනුස්සයෙකුට විතරයි නේද ? ලැබීමට වඩාත්ම දුෂ්කර මනුස්ස ආත්මයක් කියලා පැහැදිලිව කියලා තියෙනවානේ . මේ දෙවු සැප පිලිබඳ අපේ ඇති දැඩි මතය හින්දු ආගමෙන් ලද ආභාෂයක් වෙන්න ඕනේ..

      Delete
    2. දෙවියන්ට පින් රැස් කරන්න බෑ තමයි.. ඒකනෙ අපි පුණ්‍ය කටයුත්තක් අවසානයේදී දේව සමූහයාට පින් අනුමෝදන් කරවන්නේ...
      දෙව් සැප පතන එක මෝඩකමක් තමා..
      පස්මහ බැලුම් බලලා දෙව්ලොවින් මනුස්ස ලොවට වැඩියානෙ සිදුහත් වේසයෙන්..

      Delete
    3. මං අහල තියෙන විදිහටනං දෙවිවරුන්ට පින් කරන්න වගේම නිවන් දකින්නත් පුළුවන්.

      Delete
  14. කියවීමි‍......
    අවබෝධ කරගැනීමට උත්සහ කරමින් පවතී....

    ReplyDelete
    Replies
    1. අසේල, හරි ඒකනෙ වෙන්නත් ඕනේ

      Delete
  15. බුද්ධි...
    ඔබේ නම ඔබට ඉතා හොඳින් ගැලපෙනවා බුද්ධි...
    මේ ව‍ගේ බුද්ධිමත් සංවාද වලට මග විවර වෙන ලිපි තව දහස් ගනනින් ලියවේවා ඔබේ අතින්...
    අපි අහල තියෙන්නෙ බුදු දහම බැබලෙන්නේ විවර වූ තරමටයි කියලනේ...
    නුඹට තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. නිමල්, ස්තතුයි මේ කාර්ය අගය කිරීම ගැන. හැකි තරම් කල් කරගෙන යන්නයි උත්සහය. තව කීපදෙනෙක් දැනට මේ කාර්යට සහයෝග දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      ඔබටත් තෙරුවන් සරණයි!

      Delete
  16. බුද්ධි, මටත් ප්‍රශ්න ටිකක් ඇතිවුනා. මම කතෝලිකයෙක් නිසා මේවා ගොන් ප්‍රශ්න වෙන්න පුළුවන්.
    1. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් කරුණු නිසා මිනිසුන් එක් එක් උසස්තල වලට ගියානම් ඇයි දැන් දහම් අසන අය ඒ තත්වයට නොයන්නෙ.
    2. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නෙමේද දැන් දේශනා කරන්නේ ?
    3.නැත්නම් පාලි භාෂාව නිසා අවබෝද වෙන්නෙ නැතිද ?
    4.පිරිත් කියන්නෙ සුත්‍රයක්ද,?
    5.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ දැන් වගේ ගායනා විලාශයකින්ද ?
    තවත් තිබේ,ඒවා පසුවට

    ReplyDelete
    Replies
    1. කම්මල,

      01. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම් කරුණු නිසා මිනිසුන් එක් එක් උසස්තල වලට ගියානම් ඇයි දැන් දහම් අසන අය ඒ තත්වයට නොයන්නෙ.//

      මේක කම්මලට විතරක් නෙමේ බුදු පියාණන් ජීවමාන කාලයේ වැඩසිටි මහා කාෂ්‍යප තෙරුන් වහන්සේට ද තිබුනු ගැටලුවක්. ඒක නිසා ඒක කොහොමත් ගොන් ප්‍රස්ණයක් වෙන්නෙ නෑ.:)

      දවසක් කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේන් ඔය ප්‍රස්නෙම අහනවා මෙහෙම," භාග්‍යවතුන් වහන්ස පෙර සික පද තිබුයේ ටිකකි. එහෙත් බොහෝ භික්ෂුන් රහත් වුනා. දැන් සික පද බොහෝ ඇත. එහෙත් අලුතින් රහත්වන පිරිස ටික දෙනෙකි. එයට හේතුව කුමක්ද?" කියලා.

      සික පද කියන්නෙ ප්‍රතිපත්ති කියලා හිතන්න. ඒ අනුව මුල් කාලයේ දී ප්‍රතිපත්ති අඩුවෙන් තිබියදීත් රහත් වූ පිරිස වැඩියි. පසුකාලීනව ප්‍රතිපත්ති වැඩි වුනත් රහත් වූ පිරිස අඩුයි. ඒකෙන් කියවෙන්නෙ තවත් අමතර දෙයක් මේ සඳහා අඩුයි කියන එක. ඒ තමා පාරමීතා.

      පාරමිතා කියන්නෙ තේරෙන බාසාවෙන් කිව්වොත් පෙර භවයන් වල මේ තත්ව වලට එන්න බලාපොරොත්තුවෙන් ඇතිකර ගත් ශක්තින් කියමුකෝ. එතකොට බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහල වෙද්දි එහෙම පාරමිතා පුරපු අය ඒකාලේ උපත ලබලා තමන්ගේ ශත්කිය අනුව කෙටි කලකින්, දිගු කලකින් ඒ අවස්ථාවන්ට පත්වෙනවා. ක්‍රමානූකූලව ඒ අය අඩුවෙලා මේ කාලය වෙද්දි එහෙම පාරමිතා පුරපු අය බොහෝ දුරට අවසන් වෙලා තියෙන්නෙ. නමුත් පෙර තරම් නැතත් තවත් අය ඉන්නවා. ඒ අය මම මේ තත්වෙට ආවා කියලා ලෝකෙට කියන්නෙ නෑ. මොකද ඒවා හරිම හිස් දේවල් කියලා ඒ ගොල්ල වටහාගෙන ඉවර නිසා.

      02. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නෙමේද දැන් දේශනා කරන්නේ ?// ඒකම තමා. ඒ ධර්මය රහතන් වහන්සේලා කට පාඩමින් මතක තබාගෙන ඉඳලා පසුව ලියා තැබුවා. මේ ගැන තව විස්තර ඇතත් මේ ඇති කියලා හිතනවා. තවත් අමතර කරුණක් කිව්වොත් බුදුපියාණන් ජීවමානකාලයේ දී උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවනය කරපු දේව බ්‍රහ්ම කොටස් අදටත් ඒ ඒ ලෝකවල වැඩ සිටිනවා.

      03.නැත්නම් පාලි භාෂාව නිසා අවබෝද වෙන්නෙ නැතිද ? පාලි භාෂාව නිසා අවබෝධ වෙන්නැ කියන්න බෑ. බුදුන් වහන්දේ සිය දේශනා කලේ මගධ භාෂාවෙන්. මගධ භාෂාවේ හඩ සිංහලෙන් ලිව්වම තමා පාලි කියන්නෙ. හරියට සිංග්ලිෂ් එස් එම් එස් වගේ. ඒ අනුව භාෂාවේ වැරද්දක් නෑ. අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව හා පාරමිතා ශක්තිය මද කම තමා බලපාන්නෙ.

      04. පිරිත් කියන්නෙ සුත්‍රයක්ද,? පිරිත් කියන්නෙ සුත්‍රයක් නෙමේ සුත්‍ර විශාල සංඛාවක් තියෙනවා. ඒවා විවිධ අවස්ථා වල විවිධ අරමුණු වෙනුවෙන් සඡ්ඡානයන කරන ලද ඒවා.

      05. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ දැන් වගේ ගායනා විලාශයකින්ද ? මම දන්නා හැටියට. සුත්‍ර වශයෙන් ඒ කියන්නෙ ගාථා වශයෙන් දේශනා කරලා තියෙන්නෙ.

      කම්මලට ප්‍රමාණවත් කියලා හිතනවා. ස්තුතියි පැමිණියාට......! කතෝලික අයට බුද්ධාගම කියලා දෙන්න අමාරු නෑ. හැබැයි ටයිප් ‍කරන වැඩේ තමා අමාරු.... හෙහ් හේ....

      Delete
    2. බොහොම පිං ධර්මය ගැන කියල දුන්නට.

      Delete
    3. @ කම්මල

      1. අවබෝධයේ ගැටළුව තමා මූලිකම ප්‍රශ්නය. ඒ වගේම සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වීමත් එක්ක මිනිස්සු ඒ කරුණු වටහා ගැනීමට දක්වන උනන්දුවේ අඩුකම

      2. බුද්ධ කාලයේ ඉදන් කට පාඩමින් රැගෙන ආපු ධර්මය වළගම්බා රාජ සමයේදී ග්‍රන්ථාරූඪ කෙරෙනවා. ඒ කෘතීන් තමා අද දක්වාම ඒ ඒ කාලවලදී භික්ෂූන්වහන්සේලාගේ කැපවීම නිසා අද දක්වාම ප්‍රවේශම් වෙලා තියෙන්නේ.

      3. ධර්මය පාලියෙන් තිබුණත් ඒක පාලි භාෂාව අධ්‍යයනයෙන් හරි එහෙමත් නැත්නම් පාලි භාෂාවෙන් සිංහලයට පෙරලලා තියෙන ග්‍රන්ථවලින් හරි දැනගන්න පුලුවන්.

      4. මාගධී කියන්නේ විරිත්වලට අනුකූලව කතා කරන භාෂාවක් කිසියම් ගීතවත් බවකුත් ඒකේ තිබෙනවා. ඒක නිසා පසුකාලීනවත් විවිධ විරිත් මේ සඳහා එකතු වෙලා තියෙනවා.

      Delete
    4. ස්තුතියි හසිත,

      Delete
  17. කිකිළි, කුමාරිකාව, බ්‍රහ්මයෙක්, ඊරියක්.... සුමනා

    මේ ඔක්කොම ස්ත්‍රී ලිංග උනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. දන්න හැටියට බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රී, පුරුෂ කියලා බෙදීමක් නෑ. සමහර බ්‍රහ්ම ලෝකවල රූපයක් දකින්ටත් නෑ.

      හැබෑට ගෑනු වෙලා ඉපදින්නේ වැඩිය පිං කරලා නැති අය කියන්නේ ඇත්තක්ද දන්නේ නෑ. මම දන්න හැටියට නම් පිං කරපු අය. පිරිමි මහන්සිවෙලා හම්බ කරන මුදල්, ගෙදර ඉඳන් වියදම් කරන්ට ලැබෙන එක පිනක් නෙමේද? :D

      Delete
    2. @ radicaladahas

      ඇයි?
      රජ කුමාරවරු නේ කුකුළෝ? ඉතිං කුමාරි ලා කිකිළියෝ!

      Delete
    3. @ Podi Kumarihami

      බ්‍රහ්ම ලෝක රූපාවචර සහ අරූපාවචර නමින් කොටස් දෙකකට බෙදෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපයක් පවති නමුත් ලිංග භේදයක් පවතින්නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සිත විතරයි පවතින්නේ...

      Delete
  18. බොහොම පින් බුද්ධි අයියා. භාෂා රටාවත් හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, තීර්ථ යාත්‍රිකයා.

      Delete
  19. මේ ධර්ම දානයේ ආනුභාවයෙන් බුද්ධිටත් පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!!!

    ප්‍රශ්ණ කිහිපයක් පැන නැගුනා...

    1. තිරිසන් සතෙකුට ධර්ම ශ්‍රවනය කළායැයි පලක් වේද ? මොකද ඔවුන්ට එය අවබෝධ කොට ගතනොහැකි නිසා, ඔය කියන විදිහේ සිත් පහදවා ගැනීමක් වෙයිද ?

    2. ඇත්තටම ඔය කියනවා වගේ බුදු කෙනෙකුගෙන් බණක් ඇහූ පමණින්, කිසිම වීර්යයක් නොවඩා නිර්වානය අවභෝධ කොට ගත හැකිද ? ඕක නිකන් සාහිත්‍ය කෑල්ලක් වෙන්ඩ බැරිද ? මට හිතෙන්නෙ අපේ අය මෛත්‍රී බුදුන් එනතෙක් නිර්වානය කල් දාලා තියෙන්නෙත් ඔය වගේ ලේසියෙන් නිවන් යන්ඩ වෙන්න ඕනා.. ඒත් ඒ බුද්ධෝප්පත්ති කාලෙදිම, එම බුදුන්ගේ ඇසුරේම උපත ලබන එකට උපමාවක් මට හිතා ගන්නවත් බෑ.. ඒක අතරම්ම විරල අවස්ථාවක් කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      1. තිරිසන් සත්වයාට අවබෝධයක් නොතිබුණත් ඒ හඬ කෙරෙහි තියෙන පැහැදීම නිසයි එයාට ඒකෙන් පිනක් සිද්ධ වෙන්නේ. උදාහරණයක් කිව්වොත් නොතේරෙන භාෂාවකින් තියෙන ගීතයක් වුණත් අපිට ප්‍රියමනාප වෙන්නේ ඒකෙන් කියන්නේ මොන වගේ දෙයක් වුණත්

      2. පුරුදු පුහුණු කරලා තියෙන සිතට යමක් ක්ෂණිකයෙන් වටහා ගන්න පුලුවන්. ඒත් නොපුහුණු සිතට එහෙම නැහැ. ඒ නිසා තමා බුදු හාමුදුරුවන්ට බොහෝ අවස්ථාවල මුණ ගැහුණු කොසොල් රජතුමා සෝවාන්වත් නොවී මියගියේ.

      Delete
    2. ස්තූතියි හසිත...දළ අදහසක් ලැබුනා.. ඒ කියන්නෙ අපි පාරමී නොපුර මෛත්‍රී බුදුන් ලඟින්ම ඉන්ඩ ලැබුනත් ගොඩ යනු බොරු නේද ?

      Delete
    3. සෙන්නට දුන්න ලින්ක් එකේ මේ ගැනත් ඇති.

      Delete
    4. @ සෙන්නා

      ඔව් ඔව් අයියා. කළයක් යටිකුරු කරලා තියෙද්දී කවුරු වතුර පිරෙව්වත් පිරෙන්නේ නැහැ වගේ නුපුහුණු මනසක් තියෙද්දී බුදු හාමුදුරුවන්ව දැක්කත් හැමදාම බණ ඇහුවත් නිවන අවබෝධ කරගන්න නම් ලැබෙන්නේ නැහැ.

      හැබැයි බුදු හාමුදුරුවෝ ගැන ඇතිවන පැහැදීම [ආකාරවතී ශ්‍රද්ධාව] නිසා මරණයෙන් පස්සේ හොඳ භවයක උපත ලැබීමේ නම් හැකියාවක් පවතිනවා.

      Delete
  20. මේ කතාව කි‍යවගෙන යද්දි මට මතක් උනේ මං අහල තිබ්බ ගාථාවක්. මට ගාථාවනං දැන් හරියට මතක නෑ. ඒත් ඒ ගාථාවෙ තේරුම මෙන්න මේ වගේ...

    "කලකදී සක්වල ඒකාලෝක කරමින් මහානුභාව සම්පන්න බ්‍රහ්ම රාජයන්ව වාසය කල අය තවත් කලකදී කණාමැදිරියන්ව අහසේ සැරිසරයි"

    ReplyDelete
    Replies
    1. පරිකල්පන, හරියට ම ගැලපෙන කියමනක්!

      Delete
  21. මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා මම ඒක ආයි නිස්කලන්කේ කියවන්න වගේම අදහස් එකතු කරන්න එනවා :)

    ReplyDelete
    Replies
    1. දැන් ඇවිල්ලා ඉවරයි නෙ!

      Delete
  22. ලෝකේ හැම කිකිළියකගේම, ඊරියකගේම, කුමාරිකාවකගේම ආත්මයක් ගානේ විස්තර, පව්, පින් ස්ටොක්ස් ගණං හිලව් සේව් කරලා තියෙන ඩේටා බේස් එක කොච්චර ලොකු ඇත්ද කියලයි මට නං හිතුනේ.

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      මට තේරෙන විදිහට නම් ඔක්කොම තියෙන ලොකු ඩේටා බේස් එකක් නැහැ. තම තමන්ගේ ෆයිල්ස් තම තමන්ගේ විඤ්ඤාණයේ සේව් වෙලා තියෙන්නේ

      Delete
    2. අපේත් තියෙනවා. වැඩේ කියන්නෙ යුසර් නේම් පාස් වර්ඩ් අමතකයි!

      Delete
    3. data base කියන දේ ගැලපෙන්නෙ නෑ නේද බුද්ධාගමට, මැවුම් කරුවකු හෝ සර්වබලදාරී දෙවි කෙනෙක් නැති හින්ද අපේම මෙමරිය අන්තිමට දෙන විදානය අනුව තමයි ඊලග ආත්මය තීරණ වෙන්නෙ. මම දන්නා විදිහට චුති සිත්තය කියන දෙයින් . ඒ කියන්නෙ ඉන් බිල්ඩ් මෙමරිය update වෙවී සසර පුරා අපිත් එක්ක එනව.

      Delete
    4. හසිත බුද්ධි සහ කම්මල ගේ පිළිතුරුවලින් මට ගොඩක් දේ පැහැදිලි වුනා.

      මෙතන සෙන්ට්‍රලයිස්ඩ් ඩේටා බේස් එකක් නැතුව ඩිස්ට්‍රිබියුටඩ් රෙකෝර්ඩ්ස් තියෙනවා කියන්නේ ඩේටාබේස් සර්වර් ඇඩ්මින් ලා නෑ. අපිම තමයි අපේ ඇඩ්මින්.

      අපේ රෙකෝර්ඩ් අපිටම හැක් කරලා වෙනස් කරගන්න පුළුවන්.

      පාස්වර්ඩ් එක හොයා ගැනීම තමයි සත්‍යාවබෝධය.

      මගේ හිතටත් පොඩි විඥාණයක් වගේ එකක් ආවා!

      Delete
    5. @ Kathandara Karaya

      මට නම් හිතෙන්නේ විඤ්ඤාණය කියන ඩේට් බේස් එක අපේ හැම භවයේම රෙකොඩ්ස් එකක් අප්ඩේට් වෙනවා. හැබැයි අපිට කලින් භවය ගැන මොකුත් ෆයිල්ස් කියවන්න බැහැ.

      නිවන අවබෝධ කරගත්තා කියන්නේ අපේ ඩේටා බේස් එකේ ඇඩ්මින් වෙන්න පුලුවන්කම ලැබෙනවා වගේම ඩේටා බේස් එකට අලුත් ෆයිල්ස් එකතු වීම නතර වෙන එක.

      …ඒ වගේමයි ඇඩ්මින්කම ලැබුණු නිසා ඒකත් එක්ක යම් යම් කොන්දේසි යටතේ පරණ රෙකොඩ්ස් වුණත් කියවීමේ අයිතිය ලැබෙනවා.

      අන්තිමට වෙන්නේ ඩේටා බේස් එකට අලුත් ෆයිල්ස් එකතු වීමක් නොවන නිසා ඒ භවයෙන් පස්සේ ඒ ඩේටා බේස් එක අක්‍රීයයි

      "අපේ රෙකෝර්ඩ් අපිටම හැක් කරලා වෙනස් කරගන්න පුළුවන්."

      පරණ රෙකෝඩ්ස් හැක් කරන්න කාටවත්ව බැහැ. ඒවායින් මොකක් හරි එෆෙක්ට් එකක් වෙන්න තියෙනවා නම් ඒක වෙනවාම තමා :)

      "මගේ හිතටත් පොඩි විඥාණයක් වගේ එකක් ආවා"

      විඤ්ඤාණය එන්න විදිහක් නැහැ. කොහොමත් ඒක තියෙන එකක්

      Delete
  23. කමෙන්ට්ස් ටිකත් එක්ක මෙතනට එනකම් කතා කරලා තියන ඒවා කියවලා සෑහෙන දැනුමක් ලබා ගත්තා. බොහොම පිං ඒ වගේ දේකට මග පාදපු එක ගැන.

    බොහොම ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර්ටත්, ස්තුතියි.

      Delete
  24. අපුරු ලිපියක්

    ReplyDelete
  25. සංසාර ගමන කොච්චර දිග එකක්ද.. අපිත් ආත්ම කියකනම් ඉපදෙන්න ඇත්ද? වටිනා කියන ලිපියක් අයියේ..

    ReplyDelete
  26. ස්තුතියි දිනේශ්!

    ReplyDelete
  27. බුද්ධි මම මේ ලිපිය කිසිදු සංස්කරණයක් නොකර මගේ අඩවියේ පළ කරන්නද? මෙය ඉතා ආදර්ශවත් කතාවක් මමත් අහපු පළමු වතාවයි මේ.
    මෙන්න මගේ අඩවිය.
    http://buduhamuduruwo.blogspot.com/

    ReplyDelete
  28. දිලීප ඉලංගකෝන්,

    පළ කරන්න. කිසි ම ගැටලුවක් නෑ.

    ReplyDelete
  29. මාත් කියෙව්ව, වටිනව

    ReplyDelete
  30. කතාව කියවන්න එද්දී හිතුවේ තවත් ෆන් කතාවක් කියලා. බොහොම සතුටුයි මේ සටහන ගැන.
    තමන් දන්නා දේ අන් අයටත් කියා දීම බෙහෙවින් ම වැදගත්. උතුම් ම දානය ධර්ම දානය කියනවා නේ.

    ජය වේවා!

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...