2011/12/22

චුටි මහත්තයා හේන් ගොවියෙක් වෙයිද? | සිත්තර ඇතුලේ......!

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?"

"කළගෙඩියක්....." ඒක ඇහිච්ච තාත්තා ඇහැව්වා.

"ඕ......මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ....!"

"හේනක් කරන්ඩ....ඒ මොකෝ....එතකොට හමුදාවට යන්නැද්ද.....?" තාත්තා මං දිහාට කඩපු කජු පුහුලමකින් ගහන ගමන් අම්මගෙන් ඇහැව්වා. එයා හිටියෙ අපිට ටිකකට එහායින් කජු ගහ පල්ලෙ "යසිකා" කැමරාවත් කරේ එල්ලගෙන.

"ඔය ලොකු අක්කලා වතුර දානවා බලං ඉඳලා වෙන්ඩැති....මෙයාටත් වතුර කිව්වොතිං ඉතිං......"

"චුටි මහත්තයට පුලුවනෑ.....උදේ ඉදං දවල් වෙනකං අර විදිහට වතුර අදින්ඩ...." තාත්තා පොටෝ එකක් අල්ලන්ඩ දෙයක් හොයන ගමන් කියලා දැම්මා.

"අන්න බලන්ඩකො අම්මේ තාත්තා මං ගැන හිතාගෙන ඉන්න හැටි.....!" මම අත් දෙක ඉනට තියාගෙන තරහ ගිහිං වගේ මූණ හදා ගත්තා.

"ආ......හරි හරි පුලුවන්නං කමන්නැ...."

"ආං....ඒකනෙ. බලන්ඩකො ඒ ගොල්ලං කොච්චරවත් වතුරෙමනෙ. ඕං මටනං බෑ ලොකු වෙලා තාත්තා වගේ කන්තෝරුවට වෙලා රස්සාවක් කරන්ඩ......" මම තාත්තා මට ගහපු කජු පුහුලම අරං තැඹිලි ගහට ඉලක්කෙ ඇල්ලුවා.

"හා...හා....බලමුකො එහෙනං..."

ඇත්තටම දෙක වසරට හරි, තුනට හරි එනකල්ම ලොකු වෙලා කව්රු වෙනවද කියලා හරි අදහසක් මට තිබුනේ නෑ. මුලින්ම මම හිතාගෙන හිටියේ එඩ්වඩ් ජයකොඩි මාම වගේ කොන්ඩේ ගොඩාක් වවාගෙන සින්දු කියන්න. පස්සෙ පස්සර නැන්දලාගෙ ගෙදර යන්න කෝච්චියෙන් බදුලු යද්දි, තාත්තා එන්ජින් මාස්ටර්ව පෙන්නුවට පස්සෙ මං හිතාගත්තා ඒ රස්සාව තමා මට හරියන්නෙ කියලා. අර සුදු පාට කොස් ඇට මීයෙක් තැගි දුන්න අපේ බාප්පා වගේ නැවක රස්සාවක් හොයාගන්ඩත් හිතෙ තිබුනා කාලයක්. ඒත් ඒ ඔක්කොටම වඩා හොඳයි හමුදාවට යන එක කියලා තේරුනේ එක දවසක් අපිව බස් එකෙන් බස්සලා ඒ ගොල්ල බෑග් සෝදිසි කරන්ඩ ගත්තමයි. ඉතිං මමත් ලොකුවෙලා හමුදාවට යන්න හිතාගත්තා. හමුදාවේ ලොකු මහත්තයට කියලා කොහොමහරි බෑග් චෙක් කරන අංසෙට ගියොත් වැඩේ හරි. එතකොට මට හිතෙන හිතෙන අයගේ බෑග් වල මොනාද තියෙන්නෙ බලන්න පුලුවන් වෙයි. බාග වෙලාවට පාට පාට පෑන්, තුල් මාරු කරන පැන්සල්, මැකුවාම සුවද හමන මක්ක කෑලී, එක එක ස්ටීකර් ජාති උනත් ඒවයේ තියෙන්ඩ පුලුවනි.

ඒත් මේ නිවාඩුවට අපි ලොකු නැන්දලාගෙ දිහා ගියානෙ. එහෙදි තමා මට හිතුනේ මම කවදම හරි හේන් ගොවියෙක් වෙනවා කියලා. හේන් ගොවියෙක් වෙන එක අනිත් හැම රස්සාවකටම වැඩිය නියම රස්සාවක්. කවදහරි ලොකුවෙලා හේනක් කරන්න තියෙනවා නං එයා හරි ලක් කාරයෙක් තමා.

හේනෙ වවලා තියෙන දේවල් දැක්කාම මට එක පාර කැරකිල්ලට ආවා. එච්චර එලවලු පළතුරු ගොඩාරියක් මම කවදාවත් එක තැනකදි දැකලා තිබුනේ නෑ.

වැටෙන් ඇතුල් වෙන තැනම තියෙන්නෙ මාලු මිරිස් යායක්. මාලුමිරිස් කරල් යායට දිලිසි දිලිසි තියෙනවා. ඊට පස්සෙ වම්බටු. තක්කාලියි, ළුණු ගසුයි තිබ්බෙ මැදට වෙන්ඩ. කෙරෝලෙම බඩ ඉරිඟු යාය. අනිත් පැත්තෙ මිදි. මිදි පොකුරු හිටියෙ ඒවාට එල්ලිලා ඉන්ඩ හදලා තිබුනු මැස්සවල් යටින් රිංගලා හුලඟට හරි බරට පැද්දි පැද්දියි. පේන තෙක් මානෙක තිබුනේ මේ වගේ බෝග වර්ග. ඈත වැට මායිමේ කෙහෙල් යායක්. කෙහෙල් ගස් ගැනනං ඉතිං දන්නවනේ........ ඒ ඇරුණම ගොවිතැන් කරලා නැති හරියවල් වල තිබුනා ලොකු කජු ගස්. ඒ ගස් යට කජු අහුලලා ගස් යටම පුච්චලා කෑවයි කියන්ඩ පුලුවන් සලකුණු හැම තැනම තිබුනා. කජු ගස් වල මායිමෙන් මාමලාගෙ ඉඩම ඉවර වෙද්දිම අනිත් අයගේ හේන් පටන් ගන්නවා.

"අපි දැං මේවට වතුර දාන්නයි යන්නෙ....." ලොකු මාමා මගේ කල්පනාව බින්දා.

"මොනවා මේ ඔක්කොටම......."

"නැතුව....." බට්ටි අක්කා කට දැම්මා.

"මගේ අම්මො...." පැලේකට දෙකකට වතුර දාලා තිබුනට මේ පේන තෙක් මානේ තියෙන හැම ගහකටමට වතුර දානවා කියන එක මම කො‍හොම විස්වාස කරන්නද?

ඉස්සරින්දා නැන්දලාගෙ ගෙදරට ආවට, හවස් උන නිසා අපි හේනට ආවේ පහුවෙනිදා උදේ.

අපි එද්දි උමබලකඩ දාලා හදපු ලුණුමිරිස් එක්ක කන්න රොටියි, තේ වතුරයි අරං ඇවිල්ලා තිබුනෙ.

මට හේන් ගොවියෙක් වෙන අදහස මුලින්ම ආවේ ඒගොල්ල පැල වලට වතුර දාන්ඩ පටන් ගත්තම. මාමලා, නැන්දලා උදේම නැගිටලා කෑම හදාගෙන ඒවත් අරගෙන ඒ ගොල්ලන්ගෙ ළමයි එක්ක හේනට එනවා. ඇවිල්ලා හේනේ පැලේ තියෙන කළගෙඩි අරගෙන පල්ලෙහා "පතහ"ට යනවා. ගිහිං කලගෙඩි වලින් වතුර ගෙනල්ලා පැල වලට දානවා. එක කළගෙඩියක වතුර ඇතිවෙන්නෙ පැල දෙක තුනකට විතරයි. ඉතිං ඒගොල්ලං උදේම වැඩ පටං අරං දවල් වෙනකම්ම වතුර දානවා. ළමයිවත්, මාමාලවත් මහන්සියි කියලා අපි වගේ තැන තැන ඉදගෙන ටැක්ගැහෙන්නැ. හරියට එක මැසිමක දැති රෝද වගේ එක දිගට, එකම වෙලාවට ඒගොල්ල රවුමට රවුමට පතහෙ ඉදලා එනවා, දානවා, යනවා.උදේ සීතල පින්න, ඒ එක්කම පින්නයි, මීදුමයි අරගෙන යන්න එන සීතල හුලඟ, පස්සෙ වැටෙන අව්රැල්ල තියා මද්දහන වෙද්දි ඉන්න හිටින්න බැරි ගානට වැටෙන ගින්දර රස්සෙ අව්ව වත්, ඒ හින්දා අඩිය තියන්න බැරි තරම් රස්නෙ වෙන වැලි පොලොවට වත් බෑ ඒගොල්ලන්ගේ මේ රාජකාරියට බාදා කරන්න. ඒ වටපිටාව කොච්චර වෙනස් උනත් ඒ ගොල්ල දිගමට ඒ වැඩේ කරගෙන ගියා.

වතුර පැලවලට දාලා ආපහු පතහට යන ගමනෙදි මමත් එක්ක හිනාවෙලා අතේ ඉතුරු වෙලා තියෙන වතුර ටික මගේ ඇගට ඉහලා යන්නත් ඒ ගොල්ල අමතක කරේ නෑ. ඒ වැඩේටනං මම හරි කැමතියි. ඒත් ඒ වෙලාවට මම අම්මගේන් හොඳ නම ගන්ඩ,

"සික්....අන්න බලන්ඩකො ඉතිං...කරපු වැඩේ..." කියලා ටීෂර්ට් එකේ යට කෙරෝලවල් දෙක ඉස්සරහට ඇඳගෙන අම්මා දිහා බැලුවට අම්මා නෙමේ මාව පයිසෙකටවත් මායිම් කලේ.

ඒ පැත්තෙ තැනිතලා බිම හින්දා හුලං සැරට හමනවා. ඉතිං කළගෙඩියෙන් වතුර පැළ වලට වැටෙද්දි ඒවා හුලං පාරට අහුවෙලා ඇඟවල් වලත් විසිරෙනවා. බලා ඉන්ඩ ලස්සනයි. අනික විඩෙං විඩේ කාටද පතහට බහින්ට වාසනාවක් ලැබෙන්නෙ.

මේ හැමදේම කරන්ඩනං, වැදගත්ම දේ, සැරින් සැරේ ගිහිං පතහට බැහැලා කළගෙඩි පුරවන්ඩ වගේ හරි සෝක් රස්සසාවක් කරන්ඩ නං, කරන්ඩ තියෙන එකම දේ ඉතිං මේ පැත්තෙන් ඉඩම් කෑල්ලක් අරං හේනක් කරන එක තමා.

මේ සේරම ගැන දුර දිග කල්පනා කරලා මගේ යෝජනාව අම්මට ඉදිරිපත් කලා. මමයි, අම්මයි, නංගියි හිටියේ හේනේ කෙරෝලක තියෙන මාදං ගහ යට මැස්සක. එතන තමා මාමලා, නැන්දල, කෑම කන්නෙ, තේ වතුර බොන්නෙ. කතාවට පටන්ගැන්මක් විදිහට මම මෙහෙම ඇහැව්වා.

"අම්මෙ මට ගෙදර ගිය හැටියෙ කළගෙඩියක් අරන් දෙනවද?" ඔන්න මම මුලින්ම වැඩිහිටියො දැනුවත් කලේ ඒ විදිහට.

“මමත් ලොකු උනාම හේනක් කරන්ඩයි හිතාගෙන ඉන්නෙ.....හාද අම්මේ......?

කොහොමහරි තවත් සෑහෙන වෙලාවකින් කට්ටිය කළගෙඩිත් අරං මාදං ගහ පැත්තට ආවා. කජු අහුලන්ඩ කියලා ගිය තාත්තලාගෙ නඩෙයි, තැන තැන ටැක් ගැහි ගැහි හිටපු අනිත් අයයි ආවා ඔක්කොම මාදං ගහ යටට. වතුර දාපු නැන්දයි මාමයි, ඒ ගොල්ලන්ගේ ළමයි වෙන බට්ටි අක්කයි, චන්ඩි අයියයි, බබා අයියයිත් කලගෙඩි ටික පැත්තකින් තියලා තැන් තැන් වල ඉඳගෙන හොඳ හුස්මක් ගත්තා. හරියට මෙච්චර වෙලා හුස්මක් කටක් ගන්ඩ අමතක වෙලා තිබුනා වගේ.

දැං කට්ටිය ලෑස්ති වෙන්නෙ අර ගෙනාපු රොටි උදේ කෑම විදිහට කාලා, ‍තේ වතුර බොන්ඩ. අපේ තාත්තා නං කොහෙ ගියත් "යසිකා" කැමරාව කරෙ එල්ලා ගත්තු ගමන්නෙ. ඉතිං තාත්තා කලේ අපි රොටි කන්ඩ යන හැටි පොටෝ අල්ලපු එක.

"පුතා රොටි කන්ඩ කැමති ද පුතේ......" ඒ නැන්දා.

"ඕ.....මං කැමතිම කෑම වලින් එකක්නෙ රොටී...."

"තව මොනාටද පුතා කැමති....."

"ම්........ හැබැයි ගොඩක් කෑමවලට මම කැමති නෑ...."

"ඒ මොකෝ අනේ....පොඩි අය උනාම හොඳට කන්ඩෙපැයි...හරි, එතකොට චුටි මහත්තයා කැමති ඒවා මොනාද......?" ඒ පාර බට්ටි අක්කා මැදට පැන්නා.

"මං කැමතියි විස්කිරිඤ්ඤා කන්ඩ, සීනි දාපුවනං නිකං.... නැත්තං තේ එක්කලා පොඟවං, තව වැලි තලප, ලැවරියා, ආස්මි, හැබැයි රතුපාට පැණි දාපුවා, සීනිබොර, තල ගුලි, හුලං විස්කෝතු පැතලි එවා, පැණි වලලුත් මරු.... පරිප්පු තිබ්බොත් රෝස්පාන් කන්නත් ආසයි.... එතකොට......"

කෝ ඉතිං මම හරියකට ඒ ටික කියලා ඉවර වෙන්ඩ කලින් ඒ කට්ටිය කැකිරි පලන්ඩ තියාගත්තා.

"එතකොට අකමැතියි කිව්වෙ මොනාටද? චන්ඩි අයියා හිනාව තද කරාගෙන ඇහැව්වා.

"අල කන්ඩ...."

"එච්චරද?"

"ඕ.......ඇයි?" මම ඕනෑවට එපාවට උත්තර දුන්නෙ ඊලඟට මේ ගොල්ල මොනා කරයිද හිතාගන්න බැරි උන හින්ද.

"නෑ, නෑ. මොකවත් නෑ" ඔන්න ආයෙ කට්ටියගෙ කැකිරි පැලිල්ල. හරියට ඒ ගොල්ල මං දිහා බලන්නෙ, ඒ ගොල්ලන්ට කෝලං පෙන්නන්න දුර පලාතකින් ආපු කෝලං කාරයෙක් දිහා බලන ගානට.

කොහොම හරි මගේ හොඳ වෙලාවට ඔය අල්ල පනල්ලෙ නැන්දලා, අම්මලා අපි ඔක්කොටම රොටී බෙදලා, කපං ආපු කෙහෙල් කොල කෑලි වලට ලුණු මිරිසුත් බෙදලා ඉවර වෙලයි තිබුනේ. මං නං ලුණු මිරිස් දාගත්තෙ රොටිය උඩටමයි.
පස්සෙ අපේ බබා අයියා, මටයි එයාටයි ඉඳගන්ඩ පොල් බිඩංග දෙකක් කඩාගෙන ආවා.

"කොහොමද චුටි මහත්තයා ඉතිං.....සෙල්ලං කරන්ඩ නැතුව කම්මැලිද?" එයා කතාව වෙන පැත්තකට හැරෙව්වා. අනිත් කට්ටියටත් වෙන වෙන කතා පටන් ගත්තා.

"අපෝ.....නෑ චුට්ටක්වත් කම්මැලි නෑ..... ඕගොල්ලං වතුර දානවා කොච්චර වෙලා හරි බලං හිටියෑකි....." මං රොටි කෑල්ලක් කඩාගෙන ලුණුමිරිස් වල ගාලා කටේ දා ගත්තා.

"ආ.... එහෙනං කමන්නැ... අපි මේවට වතුර දාලා ඉවර වෙලා හවස් අතේ සෙල්ලං කරමු එහෙංන......." බබා අයියා තෙමිච්ච කමිසේ ඉස්සරහින් අල්ලලා ගසන ගමන් කිව්වා.

"හවස් අතේ කිව්වෙ මේවා කාලා ආයෙ වතුර දාන්ඩ යන්ඩද යන්නෙ...."

"ඔව්...තාම බාගෙකට විතරනේ දැම්මෙ..... දවල් වෙද්දි තමා ඔක්කොටම දාලා ඉවර වෙන්නෙ...." බබා අයියා වතුර ඉහිරිලා හින්දයි, දාඩිය හින්දයි තමන්ගෙ ඇඟට ඇලිලා තියෙන අත්දිග කමිසෙ අත් නමන්න ගත්තා.

"ශා.............මරුනේ....."

"ඒ මොකො...."

"මරුනේ ඕගොල්ලං දවස් බාගයක්ම වතුරෙනේ......මමත් ලොකු වෙලා හේනක් කරන්නඩ හිතාගත්තා....."

"හේනක්......." කියලා බබා අයියා හිනාවෙලා මා දිහා බලලා මෙහෙම කිව්වා.

"ඒකට නං කමන්නැ....හැබැයි ඉතිං මහන්සි වෙන්ඩ වෙයි......"

"ඉතිං....මට පුලුවං....අනික මං වතුරෙ ඉන්ඩ කොච්චර ආසද?"

බබා අයියා ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා ඈත බලාගෙන මෙහෙම කියන්න ගත්තා,

"වතුර විතරක් දාලා හේන් කරන්ඩ බෑ අයියෝ. මේවා බලාගන්ඩ ඕනේ. පෝර දාන්ඩ ඕනේ.... ගෙඩි හැදුනම සත්තුන්ගෙන් බලාගන්ඩ ඕනේ. පස්සෙ ඒවා කඩන්ඩ ඕනේ. ගෝනි වලට දාලා කරත්තෙ පටෝගෙන ටවුමට ගෙනියන්ඩ ඕනේ. පස්සෙ කොළඔ ගෙනියන ලොරිවලටයි, මෙහෙ වෙලෙන්දොන්ටයි විකුණන්නඩ ඕනේ....වැඩ කොච්චරද?"


"ඉතිං මරුනේ...... ඇයි ඉතිං ඒවා ලේසි වැඩනෙ......මම සීයා එක්කලත් පොල් පටොගෙන කරත්තෙ යනවා. ඒක නං ශෝක් වැඩක්නෙ...."

"හාහා.....එහෙනං ලොකු වෙලා කරලා බලන්ඩකො.... චුටි මහත්තයත් නිකං අපි වගේ වෙයි... පේන්නැද්ද අපේ ලස්සන...."

මම පොඩිම කාලේ මෙහෙ එද්දි බබා අයියලා ඉස්කෝලෙ යනවා. හැබැයි ඒ කාලෙට වඩා නං බබා අයියලා දැං ගොඩක් වෙනස් තමා. ඒ අය දැං ලොකු මිනිස්සු වගෙයි වැඩ. කතා කරන්නෙත් අඩුවෙන්. අත පය වල සමහර තැන් වල ඕනැවට වඩා ලොකු මස්ගොබ දාලා, සමහර තැන් ඕනැවට වඩා කෙට්ටුයි. අල්ලෙ කරගැට ඇවිල්ලා. වැල්ලත් එක්ක බරට අඩිය තියන හින්දා එයාගේ ඇගිලි හරියට මහත් වෙලා ඇත් වෙලායි තියෙන්නෙ. අනික අව්වට එයාගෙ හම හොඳටම පිච්චිලා ගිහිල්ලා. එයා හුස්ම ගද්දි අපේ කුමාරගේ වගේ තෙත කමිසේ අස්සෙන් ඉල ඇට කූඩුව පිම්බිලා ආයෙ නැතිවෙලා යනවා. හැබැයි මුණත් ඇදිලා ගිහිල්ලා ඇස් ඇතුලට ගිහිල්ලා තිබුනට අර ඉස්සර වගේම ඇස්වල දිලිසෙන ගතිය නං තාම තියෙනවා.

“බලාගෙන ඉන්නෙ මොකද, ඔය රොටිය කන්ඩ......දැං ලුණු මිරිස් ටිකත් හලා ගන්නවා....ආ...?“ කියාගෙන බබා අයියා, එයාගේ ලුණුමිරිස් වල තිබුනු උම්බලකඩ කෑල්ලක් මට පෙන්නලා ගන්ඩයි කිව්වා.

"මට කන්ඩ බෑ වගේ.."

"ඒ මොකෝ...."

"ඔයා කියන්නෙ හේන් කරන හින්දා ඔයාව කේට්ටුවෙලා කියලද?, අනික ඔයා දිගමට මම වගේ සපත්තු දැම්මනං ඔය වගේ කකුල් ලොකු වෙලා ඇගිලි ඇත්වෙන්නැ.....ඔයා බොරු කියනවා නේද.... මට....."

"කෝ දැං ඔය දෙන්නා ඉන්ඩ බලන්ඩ පොටෝ එකට...." බබා අයියා ඒකට උත්තරයක් දෙන්න කලින් තාත්තා කෑ ගැහුවා.

බබා අයියා ඔක්කොම පැත්තක දාලා එතනම සීරුවෙන් හිටගත්තා. මම නං එහෙම නෑ. මම දන්වනෙ පොටෝ වලට ඉන්න හැටි. ඉතිං මම ටිකක් පැත්තට හැරිලා කෙලිම්ම කැමරාවේ කාචේ දිහා බලලා පොඩි හිනාවකුන් දාගත්තා. පස්සෙ බබා අයියා එක අතක් මගේ කරට දා ගත්තා. එතකොටයි මට තේරුනේ එයා කොච්චර කෙට්ටුවෙලා හිටියත් එයාගෙ අත කොච්චර බරද, කොච්චර ශක්තිමත්ද කියලා.

"ආ..... ඔය මොකද "බබා" සීරුවෙන් හිටගෙන..... නිකං ඉන්න විදිහට ඉන්ඩ...." කව්දෝ කිව්වා.

ඉතිං බබා අයියා ආයෙත් කොන්ද පාත් කරලා, පැත්තකට ඇල වෙලා හිටගත්තා. හැබැයි අතේ බර ගතිය නං මුලින් වගේම මට දැනුනා.

.................

-කෙහෙල් කොටුවේ චූටි මහත්තයා.

38 ක් කියන්නේ !:

  1. හරිම ලස්සන ලිපියක් බුද්ධි. මැවිලා පේනවා හේන. ඒ එක්කම චූටි මහත්තයාගේ හීන. අර බෑග් පරීක්ෂා කරන එක ඇත්තටම හරි ළමා හීනයක්. මේ වගේ අහිංසක පිරිමි ලමයිනේද ලොකුවෙනකොට වෙනස් වෙන්නේ කියලත් මට හිතුනා.:D:D:D

    ආ...සිත්තරාගේ සිත්තරත් හරිම ලස්සනයි. එයත් එක්ක නම් මගේ පොඩි අවුලක් තියනවා පොඩ්ඩිගේ සිත්තරේ ඇන්ඳේ නැති හන්දා.

    ඔය කියන වාගේ හේනකට ගිහින් බලන්ටත් හරිම ආසයි. මගෙත් ආසම කෑමක් තමා රොටී සහ ලුනු මිරිස්. හැබැයි ඉතින් කවුරු හරි හදලා දෙනවානම්.

    ReplyDelete
  2. හේන් කෙරුවාව ලේසි නෑ තමයි..බතල මඤ්ඤොක්කා, වැල් අල තිබුනු හේනක් අපිටත් තිබුනා. මමයි චූටි අක්කයි යන්නෙ වැට දිගට තිබුනු පඳුරු වල තිබුනු එරමිනියා, දන්, බෝවිටියා කන්නම විතරයි..

    ReplyDelete
  3. ඉතිං චූටි මහත්තය හේන් ගොවිතැන අත ඇරලා හමුදාවට ගියා. පස්සෙ ඒකෙනුත් ඇවිල්ලා පොඩි පොඩි මල් වගේ ඉන්න අයව බලා ගත්තා. තවත් කාලයක් යනකොට තමන්ගෙම කියලා............(ඒයි මම උඹට කිව්වනෙ මචං) හරි හරි ඉවරයි

    ReplyDelete
  4. විහිළුවෙන් වගේ කිව්වට මේ කතාවේ තියෙන්නේ ඈත ගම් වල හේන් හොවිතැන කරන අය ගැන. එයාලා කොච්චර අමාරුවෙන්ද මේ දේවල් කරන්නේ කියන එක ගැන. ලස්සනට ලියලා!

    ReplyDelete
  5. චූටි මහත්තය ලියනව නම් පට්ටයි...

    ReplyDelete
  6. හ්ම්....කතාවක් වගේ කිව්වට බෑරෑරුම් දෙයක් නෙ කියලා තියෙන්නෙ.

    ReplyDelete
  7. කාලෙකින් කියවපු හොඳම පෝස්ට් වලින් එකක්, මට නං.

    ReplyDelete
  8. අපරාදෙ ඔයැයි හේන් ගොවියෙක් නොවුනෙ :(

    ReplyDelete
  9. හේං ගොයියෙක් උනානං දැන් තමා කරගත්ත මෝඩකම කියල තේරුම් ගන්නෙ.... ඇයි දැං කූඩ ගන්න එපැයි එව්වා දාන්න

    ReplyDelete
  10. මුලින් හිනා ගියාට අන්තිමට දුක හිතුනා...ලස්සනයි.

    ReplyDelete
  11. 'චූටිමහත්තයාගේ කතා' ලේබලෙන් එන්නේ බ්ලොග් පෝස්ට් නෙවෙයි, 3D ඩොල්බි ඇනිමේෂන් චිත්‍රපටි... :)

    චූටිමහත්තයගේ ළමාකාලේ ගෙවුන තැන් වල ඇත්තම ෆොටෝ දානවා කියලා බස් රේඩියෝ ඉන්ටවීව් එකේ අපි ඇහුවා... ඒක ළගදි වෙන්නේ නැතිද..?

    ReplyDelete
  12. පින්තුරත් එක්ක කතාව මාරම ලස්සනයි අයියේ...

    ReplyDelete
  13. ලස්සන කතාවක් හිතට වදින්න ලියල තියෙනව චූටි මහත්තය.
    චිත්‍ර ටිකත් නියමයි.

    ReplyDelete
  14. harima lassanata liyala tiyenawa

    ReplyDelete
  15. 1960 ගණන් වල අග බාගෙ තිබ්බ ආණ්ඩුවකිනුත් ගොවි හමුධාවක් හෙම පිහිටෝල 'වගා සංග්රාමයක්' දියත් කලා.මාත් ඒ කාලෙ ගේ පිටි පස්සෙ පොඩි හේනක් කෙටුව.තාම මතකය් පලදාව දකින කොට ඇතිවෙන සංතෝශෙ.

    වතුර අතින් අදින්න නං වුනේ නෑ, මංඤ්ඤොක්ක හිටවන්න වලක් හාරන කොට වතුර පයිප්පයක කැපිල උල්පතක් මතු වෙච්ච හැටි තාම මතකයි.

    ReplyDelete
  16. හෙහ් මටත් තිබුන හේනක් බදුල්ලෙ, වට්ටක්කා පත්තක්කා කුරහං බඩ ඉරිඟු සාරෙට වැවිල බලන්න ඒපැයි අපූරුව. ඒත් මේ අලින්ගෙන් බේරගන්න බැරුව පස්සෙන් පහු අතෑරලම දැම්ම. හෙහ් හෙහ් හේ.......

    ඈ චූටිමහත්තයො රොටියෙ පලින් පල කරවෙලාද එහෙමත් නැත්නං කුරුට්ටත් එක්කම ගලවල යන්න ගෑවෙ වේලිච්ච් පොලයක්ද ?

    ReplyDelete
  17. අර චූටි මහත්තයගෙ තාත්තා ගත්ත පොටෝ
    එකත් තිබුනනම් මරු.....

    ඇත්තටම කියනවනම් මම හුගක් ආස චූටි මහත්තයට
    සහ
    එයාට වෙච්ච දේවල් වලට....

    ReplyDelete
  18. පුදුම ලස්සනක් තියෙන්නේ මේ කථා වල ඇත්තටම මේ කියවන්නේ පොඩි එකෙක් ලියන දින පොතක් වගේ කියවන කොට මැවෙන දේවල් වලට දාලා තියෙන සිත්තර පුදුම ලස්සනයි උපරිමයි කථාව ජය වේවා

    ReplyDelete
  19. නියමයි එතන හිටියා වගේ දැනෙනවා...

    ReplyDelete
  20. චූටි මහත්තය ලස්සනට ලියල තියෙනව.

    අපේ පැත්තෙ අය හේනට වතුර දාන්නෙ වෙන විදියකට.

    හේනට උඩාහිං යන ඇළ පාරෙන් ඉස්සෙල්ලම හේනට වතුර හරෝනව. පාත්ති වල දෙපැත්තෙං පාදල තියෙන කාණු වලට වතුර පිරෙන්න දීල ඊට පස්සෙ ඒ කාණුවට බැහැල පරණ පිඟානකිං පාත්තියට වතුර ඉහගෙන ඉහගෙන යනව. පටං ගද්දිනං වැඩේ ජොලි, ඒත් වරුවක් විතර වතුර දැම්මහම අත් දෙකේ මාපටෑඟිලි නෑ වගේ දැනෙන්නෙ. ඊටත් එහා දැනෙන කොන්දෙ අමාරුව.

    ReplyDelete
  21. අපේ චූටි මහත්තයා හේන් ගොවියෙක් උනා නම්... මරු !!!
    එතකොට අපට පත්තක්කා කන්න තිබ්බා

    ReplyDelete
  22. හේනක් කෙසේ වෙතත් කෙහෙල් කොර‍ටුවක් වත් ඔය තියෙන්නේ... ඒකම මදෑ!!! හැබෑට මටත් වවාගෙන කන්ට ආසවක් තියනවා... වැඩේ කියන්නේ මෙහෙ වැවෙන්නේ කරවිල, වට්ටක්කා, මෑ වගේ මං කන්ට ආසම නැති දේවල් නෙව! ඉතිං කෝමද රජ්ජුරුවෝ වවං කමු කීවට වවං කන්නේ...? මං අහන්නේ ඈ?????!!!

    ReplyDelete
  23. වූටි මහත්තයා කතාව තුළින් හේන් ගොවියාගේ කටුක ජීවිතය ඉදිරිපත් කර ආකාරය බොහෝ අගේය. කතාව පටන් ගත් තැන සිට කතාව තුල ජීවත් කරවූ අන්දමත්, ඒ පරිසරය ගොඩනැඟූ අන්දමත් ගොඩාක් සිත්ගත්තා බුද්ධි. රසවත් පොස්ට් එකක් දුන් ඔබට ජය.

    ReplyDelete
  24. මෙදා සැරේ පින්තූර ටිකත් තිබ්බ හින්දා පෝස්ට් එක තවත් ලස්සනයි. අන්තිමට බබා එක්ක ගහපු පොටෝ එක දැම්ම නම් කියල වැඩක් නෑ.

    ReplyDelete
  25. මටත් හරි ආස හිතුන පෝස්ට් එකක්...
    බුද්ධිගේ ලිවිම පංකාදුයි.
    දැන් ඔය කියන හේන නැද්ද බං
    මමත් ඉස්සර ඉඳල ගොවිතැන් කරන්න ආසවෙන්නේ ඉන්නේ
    මමනම් පස්සේ කාලෙක පටන් ගන්නනේ ඉන්නේ
    අර උඹ කිව්වත් වගේ දැන්මම කලගෙඩියක් අරගෙන තියා ගන්න ඕනේ

    ReplyDelete
  26. හම්මේ යන්තම් ඉවරයි...... චූටි මහත්තයත් මං හිටි නැති මාස 3ට මාර ලිවිල්ලක් ලියලනේ......... ඒ ඔක්කොම කියවලා ඉවර කලේ දැන් තමා.
    මාත් තරහයි විදෙස් සිත්තරා එක්කලා මගේ පොටෝවත් නැති නිසා..........

    ආ මේ ලිපිය.... හේන් ගොයියටත් මාරයිනේ චූටි මහත්තයෝ....... මට නං ඉතින් පුංචි කාලේ ඉඳන් කටේ තිබ්බේ බලු දොස්තර කෙනෙක් වෙන්ට....... ඒ හීනේ නම් ඉතිං ඔය යාන්තමට වගේ හැබෑවෙන ලකුණු පෙන්නුම් කරලනේ තියෙන්නේ.....

    ආ තව එකක් දැන් සිත්තර අඳින්නේ අර බෝඩ් ලෑල්ලෙන් වගේ ලෝභ නැතුව එක කතාවට සිත්තර හතර පහක්ම දමලා තියේ......

    ReplyDelete
  27. චූටි මහත්තය ලියන ශෛලිය සහ පින්තූර බොහොම අගෙයි... ළඟදි ඉඳල පරන ලිපි කීපයක් අතරින් පතර කියෙව්වට තව සෑහෙන්න තියෙනව කියවන්න... සටහනක් තියල යන්න වෙලාවක් ලැබුනෙ අද තමයි...

    පොඩි කොලු ගැටයෙක්ගේ හිනා යන චන්ඩි වැඩ සහ සිතුවිලි වගේ මතුපිටින් පෙනෙන සමහර ලිපි වල ලොකු අර්ථයකුත් තියෙනව... හරියට මේ ලිපියෙන් පෙන්නන හේන් ගොවියෙක්ගෙ ජීවිතය වගෙ දේවල්...

    තව මට නැගුනු ප්‍රශ්නයක්... චූටි මහත්තයගෙ සිත්තර දිය සායාම් වලින් අතින් අඳින ඒවද නැත්තන් යම්කිසි මෘදුකාංගයකින් පාට කරපුවද??? කොහොම උනත් හරි ලස්සනයි....

    ReplyDelete
  28. පොකු නැන්දා,
    මේ වගේ අහිංසක පිරිමි ලමයිනේද ලොකුවෙනකොට වෙනස් වෙන්නේ කියලත් මට හිතුනා.:D:D:D//

    ඔක්කොම හොඳයි මොකද්ද මේ කියලා තියෙන කතාව.
    විදෙස් සිත්තරා කිව්වොත් කිව්වා. බලාගෙන ඉන්ඩ.
    අපි නම් දැන් ඉන්නෙ ඒ වගේ පැත්තක මේ නිවාඩුව අපි ගතකරන්නෙ එහෙයි.
    ...............

    අමිල අයියා,
    ස්තුතියි.
    ......

    වෙනී අක්කා,
    ආමේ ඉන්න හේන් ගැන දන්න කස්ටිය.
    .....

    ඉෂාර මාමා,
    කට කට!
    .......

    පුසා,
    අන්න කතාව තේරුම් ගත්තු මාමා කෙනෙක්

    ReplyDelete
  29. සාතන් මාම,
    ස්තුතියි අගේ කිරිම ගැන.
    .......

    නිසූපා,
    හෙහ් හෙහ්....තේරුනාද?
    ........

    ඔබා සීයා,
    මේ විදිහට වැදගත් තාලෙට කතා කරද්දි බයෙත් බෑ ඕන්
    ........

    ඉන්දරේ මමා,
    එහෙනං මටත් කූඩ ගන්ට වෙයි.
    ........

    සහන්මාම,
    අන්න දිග දුර හිතන මාම කෙනෙක්.
    ........

    නිරොෂනි නැන්දා,
    එහෙම තමා මොනා කරන්නද?
    ........

    බීටලේ,
    චූටිමහත්තයගේ ළමාකාලේ ගෙවුන තැන් වල ඇත්තම ෆොටෝ දානවා කියලා බස් රේඩියෝ ඉන්ටවීව් එකේ අපි ඇහුවා... ඒක ළගදි වෙන්නේ නැතිද..?// අනිවාර්යෙන් දානවා. ලඟදීම....
    .........

    දිනේෂ්,
    ස්තුතියි මල්ලි.
    ........

    ප්‍රසන්න සහ ඉසිඹුව,
    ස්තුතියි ප්‍රසන්න.
    .....

    ඔබා මාමා,
    ඔය තියෙන්නෙ නියම මතක.
    .......

    නවම් මාවත,
    හේන් ගැන කතාව පැත්තක තියමු. හැබැයි රෝටි ගැනනං නියම පළපුරුද්දක් තියෙනවා වගේ...., රොටියෙ තියෙන පොල් කෑලි කන්ඩත් මම කැමතියි.
    .......

    අසේල මාමා,
    පොටෝ නං වැඩි හරිය දැං වනාස වෙලා.
    අසේල වගේ තමා වැඩිදෙනා කැමති චුටිමහත්තයගේ කතා කියවන්න.
    ......

    ගැමියාගේ පත් ඉරුව,
    අවංකව කල ඇගයිම මගේ සිත ගත්තා.
    .........

    හසී නැන්දා,
    කාලෙකින් ආවෙ නැති නිසා මම හිතුවෙ අමතක වෙලයි කියලා.
    ..........

    පරිකල්පන,
    කියද්දිත් අමාරුයි. හැමදාම කොහොමද එහෙම වතුර දාන්නෙ.
    ........

    මධුරංග මාමා,
    හෙහ් හෙහ නියමෙට තියෙයි.....
    ........

    මේනකා,
    හෙහ්.... ඉතිං ඔහේ වැවෙන හැමදේම ගුණ දේවල්නෙ.... ඉතිං ඔයා කැමති මොනවා වවන්නද ජුජුස් ගහක් කේක් අලයක් වගේ දෙයක්ද හා-හා- හා
    .........

    ගල්මල්,
    කාලෙකින්. දිරිමත් කළ කමෙන්ටුවට ස්තුතියි.
    ....

    පිණිබිඳු,
    පොටො නාස්ති වෙලා ගිහිං. අපරාදේ. කව්ද දැනං උන්නෙ මම බ්ලොග් එකක් ලියන්ඩ ගනීයි කියලා.
    ..........

    ReplyDelete
  30. ලොකු පුතා,
    තවම තියෙනවා ඒ හේන්. නිවාඩුවට අපි ඒ පැත්තෙ ගිහිල්ලා එන්ඩයි කල්පනාව.
    ......

    හා පැටික්කි,

    මම නම් හිතුවේ සයිබර් යාය අමතක වෙලා කියලා.
    දොස්තර නෝනා කෙනෙක් වෙනවනම් කොච්චර හොඳද?

    කිව්වත් වගේ දැං සිත්තර අඳින්නෙ අහවල් උපකරනෙන් තමා. ලේසියි ඒකෙන් වැඩ. තවටිකක් හුරු උනාම තව ඇන්දැකි
    .........

    අෂි,
    දිගමට කියවනවා කියල දැන ගත්තම සතුටුයි. අගය කිරීම ගැනත් ස්තුතියි.

    මම මේ සිත්තර අඳින්නෙ කම්පියුටරේම තමා. පාවිච්චි කරන්නෙ පොටෝ ෂොප්. මෙච්චර කල් ඇන්දේ මවුස් එකෙන්. දැං ග්‍රැෆික් ටැබ්ලට් එකෙන්. ඒකත් මට උන්නෙ ඔයා වගේම බ්ලොග් කියවන ලියන කෙනෙක්මයි.

    ReplyDelete
  31. හප්පා, හේනට වතුර දාල නිකන් මටත් දැන් මහන්සියි මහන්සියි වගේ.... අර වගේ ගහක් යට වාඩිවෙලා ලුණුමිරසකුත් එක්ක පොල් රොටි ටිකක් කන්න තිබුනනන් පංකාදු පහයි....!

    ReplyDelete
  32. //රවුමට රවුමට පතහෙ ඉදලා එනවා, දානවා, යනවා.//
    මේක කියෙවුවම මතක් උනේ ආටිලරි බුවාලට කරන විහිලුවක් . . . "උස්සගෙන ආව, ඇලකෙරුව, දැම්ම, ගැහුව, දිවුව"

    //වෙනී අක්කා,
    ආමේ ඉන්න හේන් ගැන දන්න කස්ටිය.//
    හුටා . . මෙන්න මූ වෙනියගෙ ලිංගෙ වෙනස් කරල . . . මට මතක විදියට මේ වෙනියගෙ ලිංගෙ මාරු උන දෙවනි වතාවද කොහෙද . . . .

    ReplyDelete
  33. ලක්ෂණ කතාවක්. මමත් ආසයි හේන් වල ඉන්න. (ඒත් ජීවිතේට එහෙම ඉන්න ලැබිල නම් නෑ. :D )

    ReplyDelete
  34. වවන්නෝ දිනන්නෝය

    ReplyDelete
  35. සදරෑ මොකද මෙකට කොමෙන්ටුවක් දාලා නැත්තේ

    ReplyDelete
  36. ටෝම් සෝයර් කියවීමෙන් ලද ආනන්දයම මෙය කියවාත් ලදිමි. හැකියාවනම් සුපිරිය..

    ජයම පතමි !!!

    ReplyDelete
  37. මේක ඉතින් මම ඔය කියවලා තියෙන්නෙ..

    ReplyDelete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...